අන්දරේ

0% developed
Wikibooks වෙතින්
අන්දරේ
Gamini විසිනි.


අන්දරේ සීනි කෑ හැටි[සංස්කරණය]

රජ කාලේ ලංකාවෙ සීනි හැදුෙව නැහැ. පිටරටවලින් තමයි සීනි ගෙනාවේ. රටේ සාමාන්‍ය මිනිසුන්ට සීනි නොතිබුනාට රජගෙදරට නම් සීනිවලින් අඩුවක් වුනේ නෑ. දවසක්දා අන්දරේ රජ ගෙදර පැත්තේ යනකොට රජ මිදුල පුරාම පැදුරුවල දාලා සීනි වේලනව. මොකද, සීනි තියෙන්නෙ ගෙයි ඇතුලෙ ගෝනිවල. ඉතින් ටික දවසක් සීනි ගෝනිවල තියෙනකොට වතුර උරල තෙතබරි වෙනව. එතකොට සීනි අව්වේ දාලා වේලා ගන්න ඕනෑ. අන්දරේත් සීනි දැකල තිබුණ කෙනෙක් නෙවෙයි. රජ මිදුල පුරාම දුඹුරු පාටට වනල තියෙන්නෙ මොනවද කියල දැනගන්නතුරු ඉවසිල්ලක් නෑ. අන්දරේ ඉතින් උගුරහෙම පාදල එකස්පස්ව ඉඳල රජතුමාගෙන් අහනවා.

“දේවයන්වහන්ස, මොනවද අර මිදුල පුරාම පැදුරුවල දාලා වේලන්නේ, අලුත් විදියේ ධාන්‍ය වර්ගයක්වත් රටවැසියෙකුගෙන් ලැබිල ද?”

අන්දරේ එහෙම ඇහුවෙ, ඒ කාලේ රටේතොටේ අලුත් වටින කියන දෙයක් රටවැසියෙකුට ලැබුනොත් රටේ රජ්ජුරුවන්ට ගිහිල්ල දෙන එක තමයි සිරිත. එහෙම ගිහිල්ල දෙන කෙනෙකුට මොනව හරි සංතෝෂමක් දෙන්නත් රජ්ජුරුවො අමතක කළේ නැහැ.

අන්දරේගේ හැටිපාට රජ්ජුරුවෝ නොදන්නවයැ, උදේ හවස මාළිඟාවට යනඑන අන්දරේට සීනිවල රස වැටුනොත් වැඩි දවසක් යන්න කලියෙන් සීනි ටික කොහේ ගියාද නැතිවෙයි. ඒ හින්ද රජ්ජුරුවොත් ගත් කටටම කියාපි, තොට මොංගල්ද “අන්දරේ,ඕවා මේ අපේ උයන්පල්ලා පළතුරු උයනට දාන්න හදාපු පොහොර පස් වගයක්නේ.ඔය පොහොර පළතුරු ගස්වලට දාපුවාම ඒවයෙ හැදෙන පළතුරු මීපැණි වගේ රස වෙනවලු”

රජ්ජුරුවෝ එහෙම කිව්වෙ අන්දරේට කිසිම සැකයක් සාංකාවක් ඇති නොවෙන විදියට.මොකද රජ්ජුරුවන්ගෙ උයන කියාපුවාම ඒක රටේ තියෙන හොඳම උයන වෙන්න එපායැ.උයන ලස්සනට තියාගත්තට විතරක් මදි.උයනේ තියෙන එළවලු පළතුරු ඉස්තරම් වෙන්නත් ඕනෑ.ඒකට ඉතින් උයන්පල්ලා නොකරන දෙයක් නැහැ. නොයෙක් විදියේ සාත්තු සප්පායම් කරනවා‚අත්හදා බැලීම් කරනවා. රටේ තොටේ තියෙන හොඳම පළතුරු ගස් ගෙනත් හිටවනවා විතරක් නොවෙයි ඒවායේ රස ගුණ වැඩි කර ගන්න යොදන පොහොර ජාතිත් උයන්පල්ලම හදා ගන්නවා.

කොහොම උනත් අන්දරේටනම් මේ අමුතු විදියේ පොහොර ජාතිය ගැන තව ටිකක් විපරම් කරල බලන්න කියල හිතුන.අන්දරේගෙ හැටි එහෙම තමයි.ඔහුගේ රාජකාරියනම් හැබයි රජ ගෙදර කවටකම් කරන එක තමයි.ඒ වුනාට රජ ගෙදර කරන කියන දේවල් ගැන අන්දරේ හොඳ විපරමෙන් තමයි නිතරම ඉන්නේ.එහෙම කරන්නේ යහපත් හිතකින් මිසක්,කාටවත් කරදරයක් හිරිහැරයක් කරන්න නොවෙයි.එහෙම විපරමෙන් ඉන්නකොට තමයි රජ්ජුරුවෝ හිත සතුටින් ඉන්නවාද, කෝපවෙලා ඉන්නවාද, ශෝකයෙන් ඉන්නවාද, කියල දැන කියා ගන්න ලේසි පහසු වෙන්නේ.


රජ්ජුරුවන්ට කවටකම් කරන්නෙත් නිකම් ආවාට ගියාට නොවෙයි.කවටකම්වල ගැඹුරු තේරුමක් තියෙනවා.කවටකම් කරනකොට, හිනා වෙනකොට, හිත සැහැල්ලුවෙන් තියාගන්න පහසුයි.

රටක් පාලනය කරන එකත් ලේසි පහසු රාජකාරියක් නොවෙයි.කැරැළි කෝළාහල ඇති වුනාම ඒවා මැඬ පවත්වන්න ඕනෑ.රටවැසියන්ට ගොවිතැන් කරන්න ඕනවෙන වැව් අමුණු හදන්න ඕන.ලෙඩ දුක් වසන්ගත ඇති වුනාම ඒවාට පිළියම් හොයන්න ඕනෑ.එහෙම වැඩ රාජකාරි වැඩිවෙනකොට රජ්ජුරුවන්ගේ හිත ගිනි කබලක් වගේ.එහෙම වෙලාවට අන්දරේගේ කවටකමකින් තමයි හිත සැහැල්ලු කරගන්න පුලුවන්.එහෙම හිත සැහැල්ලු වුනාම තීන්දු තීරණ ගන්න පහසු වෙනව.එතකොට තමයි රජ්ජුරුවන්ට රටට හොඳ සේවයක් කරන්න පුලුවන් වෙන්නෙ.

රජ බිසවගේ දොළ දුක[සංස්කරණය]

අන්දරේත් බොහොම සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්නෙ.එහෙම කෙනෙකුටම තමයි විහිලුවක් තහලුවක් කරල,හිනාවෙලා ඉන්න පුලුවන්.හිත තද කරගෙන ඉන්න අපි වගේ අයට විහිලු-තහලු කරන්න බෑ.ඒවා හිතට එන්නේ නැහැ.ඒ නිසා විහිලු කරන එකත් ආවාට ගියාට ඕනෙෑම කෙනෙකුට කරන්න පුලුවන් කෙරුවාවක් නොවෙයි.


මොන විහිලුව කළත් අන්දරේ රජ ගෙදර විතරක් නොවෙයි රටේතොටේ කොයි කාගේත් හිත් දිනාගෙන හිටිය කෙනෙක්.කාගෙවත් හිත රිදෙන,ඒ කියන්නෙ ඇස් රතුවෙන විදියේ විහිලු කිරීම අන්දරේගේ සිරිත නොවෙයි.ඒ හින්ද රටවැසියො කවුරුත් අන්දරේත් එක්ක දොඩමලු වෙන්න,හිතවත් වෙන්න කැමැතියි. ඒ විතරක් නොවෙයි,අන්දරේ ගැන රටවැසියන්ට ගෞරවයක් මෙන්ම බයකුත් තිබුණ.මොකද ඉතින් කවටයා වුනත් රජ්ජුරුවන්ගෙනෙ.ඒ නිසා අන්දරේත් එක්ක තරහක් අමනාපයක් ඇති කරගන්න කාටවත් ඕනෑ වුනේ නෑ.

රජ ගෙදර ගියාම මුලුතැන්ගේ පැත්තටත් යන්න අන්දරේ අමතක කරන්නේ නෑ.එහෙම ගියාම අරක්කැමියත් අන්දරේට නොසලකා ඉන්නවායැ.රජවාසලේ මුලුතැන් ගෙයි හදන රසමසවුලුවල රස බලන්නත් පූරුවේ පිං කරල තියෙන්න ඕනෑ.එදත් ඉතින් අන්දරේ මුලුතැන්ගෙට ගොඩ වැදුනේ දිවකට පිනවාගන්න හිතාගෙන.අරක්කැමියත් බොහෝම හිතේෂිවන්තකමින් අන්දරේට වාඩිවෙන්න බංකුවක්හෙම දීල රජ මේසෙට හදාපු රස කැවිලි පිඟානකුත් අතට දුන්නා. අන්දරේත් රස කැවිලිවල රස බලන ගමන් නිකම් ඉන්නෙ නැහැ,රටේතොටේ සිද්ධියක් අල්ලගෙන අරක්කැමියව කථාවට ඈඳාගන්නව.මෙහෙම අල්ලාප සල්ලාපයේ යෙදෙන ගමන් පොඩි පොඩි විහිලු තහලුත් කරන නිසා අරක්කැමියත් අන්දරේගෙ කථා බහට හරි කැමතියි.

ඔහොම අල්ලාප-සල්ලාපයේ යෙදෙන ගමන් අරක්කැමියගෙන් අන්දරේ අහනව, ˝අරක්කැමි උන්නැහේ මෙදාපාර වප්මඟුලට රාජකීය ඇඹුල හදන්න උන්නහේට සෑහෙන්න මහන්සි වෙන්නවෙයි. මොකද ඉතින් අප්පේ ලේසිපාසු මිනිස්සු කන්දරාවක් එක්කාසු වෙයි කියලයැ. එනමිනිස්සුන්ට සප්පායම් වෙන්න.ඔහෙගෙ අතින් හැදෙන රසමසවුලුගැන ඉතින් අටුවාටීකා ඕනෑයැ. ඒ කොයික කොහොම වුනත් මගේ පංගුව වරද්දන්නේ ැහැනේ.මෙදා පාර නම් මොනව හරි අරුමෝසම් කෑමක් හදන්න ලකලෑස්ති වෙන පාටක් තමයි පේන්නෙ.මොකද බොරුවක්යැ මම දොඩන්නෙ? දැන් කාලේ හැදෙන ඈයෝ ඔය ඇඹුල කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැතුව ඇති. කුඹුරකට-පිටියකට බැහැල හීයක් හාලා අඬහැරයක් පාන්න; ගොයම් කපන තැනෙක කවියක් සීපදයක් තාලෙකට කියන්න.

"https://si.wikibooks.org/w/index.php?title=අන්දරේ&oldid=19141" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි