කොමියුනිස්ට් ප්‍රකාශනය

Wikibooks වෙතින්

කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රකාශනය (කාල් මාක්ස් , ෆෙඩ්රික් එංගල්ස් -1848)[සංස්කරණය]

කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රකාශනය[සංස්කරණය]

අවතාරයක් යුරෝපයේ හොල්මන් කරයි - එය කොමියුනිස්ට්වාදයේ අවතාරයය. පාප් වහන්සේ සහ සාර් රජුද, මෙටර්නිහ් සහ ගීසෝද, ප‍්‍රංශයේ රැඩිල්වරු සහ ජර්මන් පොලිස් ඔත්තුකරුවෝද යන මේ පැරනි යුරෝපයේ සියලූ බලවේග මෙම අවතාරය පලවා හැරීම පිනිස ශුද්ධවූ ගිවිසුමකට එලඹ සිටිති.

බලයට පත් වූ සිය ප‍්‍රතිවාදීන් විසින් කොමියුනිස්ට්වාදීන් යයි හෙලා දකිනු නොලැබූ විපක්ෂයක් ඇත්තේ කොහේද? තමන්ට වඩා ප‍්‍රගාමී විපක්ෂවලට විරුද්ධව මෙන්ම තමන්ගේ ප‍්‍රතිගාමී පසමිතුරන්ට විරුද්ධවද කොමියුනිස්ට්වාදය නැමැති හංවඩු ගසනලද දෝෂාරෝපනය ආපසු දමා නොගැසූ විපක්ෂයක් ඇත්තේ කොහේද?

මෙම කරුනෙන් පැන නගින ප‍්‍රතිඵල දෙකකි.

කොමියුනිස්ට්වාදය දැනටමත් සියලූ යුරෝපා බලවේගයන් විසින් බලයක් ලෙස පිලිගෙන ඇත්තේය.

කොමියුනිස්ට්වාදීන් ස්වකීය පක්ෂයේම ප‍්‍රකාශනයක් මගින් මුළුමහත් ලෝකය ඉදිරියෙහි විවෘත ලෙස ස්වකීය අදහස්ද, ස්වකීය අරමුනුද, ස්වකීය ප‍්‍රවනතාවයන්ද ප‍්‍රකාශ කල යුතු, කොමියුනිස්ට් අවතාරයපිලිබඳ ළමා කතන්දරවලට පිළිතුරු සැපයිය යුතු කාලය පැමින ඇත.

මේ පරමාර්ථය පෙරදැරි කරගෙන විවිධ ජාතීන් නියෝජනය කරන කොමියුනිස්ට්වාදීහු ලන්ඩනයට ඒකරාශී වී පහත සටහන් ප‍්‍රකාශනය ලියා ඉංගී‍්‍රසි, ප‍්‍රංශ, ජර්මන්, ඉතාලි, ප්ලෙමිෂ් සහ ඩෙන්මාක් භාශාවලින් මුද්‍රනය කිරීමට තීරනය කළහ.

I. ධනපතියෝ සහ නිර්ධනයෝ[සංස්කරණය]

මෙතෙක් පැවති සියලු සමාජ වල ඉතිහාසය පංති අරගල වල ඉතිහාසය වේ.

නිදහස් මිනිසා සහ වහලාද රෝම කුලීනයා සහ රෝම පොදු ජනයාද රදලයා සහ ප‍්‍රවේණිදාසයාද ශ්‍රේණි හිමියා සහ ජ්‍යෙෂ්ඨ ආධුනිකයාද - වචනයකින් පැහැදිලිි කළහොත් පීඩකයා සහ පීඩිතයා එකිනෙකාට විරුද්ධව නියත ලෙස නැගීසිට වරෙක සැඟවුනාවූද වරෙක විවෘත වූද සටනක් එක්කෝ මුළු මහත් සමාජයම විප්ලවවාදී ලෙස ප‍්‍රති නිර්මාණය කිරීමෙන් අවසන් වූ නැත්නම් සටන් කරන පංතීන්ගේ පොදු විනාශයෙන් අවසන් වූ සටනක් නොකඩවාම කරගෙන ගියහ.

ඉතිහාසයේ ආදි යුගවලදී විවිධ ස්තරවලට බෙදන ලද පූර්ණ සැකැස්මක් සමාජීය තරාතිරම් වල විවිධ සරණී කරණයක් හැම තැනකදීම පාහේ අපි දකිමු. පැරණි රෝමයෙහි කුලීනයින්ද අසරුවන්ද පොදු ජනයාද වහලුන්ද මධ්‍ය කාලීනයුග වලදී රදල අධිපතියන්ද ඔවුන්ගේ ගැත්තන්ද ශ්‍රේනි හිමියන්ද ජ්‍යෙෂ්ඨ ආධුනිකයන්ද (සිප්කැමියන්ද) ප‍්‍රවේණිදාසයන්ද අපි දකිමු. තවද මේ සියලු පංතීන් තුළම පාහේ තවත් අප‍්‍රධාන සරණී කරනයන් විය.

රදල සමාජයේ නශ්ඨාවශේෂවලින් ඇතිවුනු සමකාලීන ධනපති සමාජය පංති ප‍්‍රතීඝතයන් විනාශකර නැත. එය අලුත් පංතීන්, පෑගීම සඳහා නව තත්ත්වයන්, පැරණි සටන් ක‍්‍රම වෙනුවට අලුත් සටන් ක‍්‍රමද එය ඉදිරිපත් කළා පමණකි.

ධනපති පංතියේ යුගය වන අපේ මෙම යුගයට අයත් විශේෂ ලක්ෂණය නම් එය පංති ප‍්‍රතීඝතය සරළ කිරීමයි. සමස්තයක් වශයෙන් සමාජය වැඩි වැඩියෙන් එකිනෙක සතුරු මහ කඳවුරු දෙකකට, එකිනෙකාට එරෙහිව මුහුණට මුහුණලා සිටින මහා පංතීන් දෙකකට, ධනපති හා කම්කරු නැමති පංති දෙකකට බෙදෙමින් පවතී.

මධ්‍ය කාලීන යුගයේ ප‍්‍රවේණිදාසයන්ගෙන් ආදී නගර වල නිදහස් ජනගහනය ඇතිවිය. මේ නාගරිකයන්ගෙන් ධනපති පන්තියේ ප‍්‍රථම කොටස් ඇතිවිය.

ඇමරිකාව සොයාගැනීමත් අපි‍්‍රකාව වටා යාමට මුහුදු මාර්ගය සොයාගැනීමත් නිසා නැගී ආ ධනපති පංතියට අලූත් කි‍්‍රයාකාරී ක්ෂේත‍්‍රයක් ඇති විය. පෙරදිග ඉන්දියානු සහ චීන වෙළඳ පොළවල්ද, ඇමරිකාව යටත් විජිත කරණයට හසුවීමද, යටත්විජිත සමග වෙලදාමද, හුවමාරු කිරීමේ මාධ්‍යයන් සහ වෙළඳ භාණ්ඩ වල වැඩිවීමද නිසා වාණිජයටත් නෞකා ගමනටත් කර්මාන්තයටත් ගරා වැටෙමින් පැවති රදළ සමාජයේ සිටි විප්ලවීය කොටසට සීඝ‍්‍ර වර්ධනයක් ලබා දුන්නේය.

ශිල්පීන් අල්ප සංඛ්‍යාවකට සීමාවී තිබුණු ශ්‍රෙණි මගින් කාර්මික නිෂ්පාදනය මත ඒකාධිකාරයක් අයත් කර ගෙන සිටි පැරණි රදළ වාදයට වැඩිවෙමින් පැවති අලූත් වෙළඳ පොළවල්වල වර්ධනය වන ඉල්ලූම තවදුරටත් සපුරාලීමට නොහැකි විය. එය වෙනුවට හස්තෝපක‍්‍රම කර්මාන්තය ඇති විය. භාණ්ඩ සාදන මැද පංතිය විසින් ශ්‍රෙණි ශිල්පීන් පසෙකට තල්ලූ කැරිණ.ි සාමූහික ශ්‍රෙණි අතර පැවති ශ‍්‍රම විභජනය ඉදිරියෙහි අතුරුදහන් විය.

එහෙත් වෙළඳපොලවල් නොනැවතී වැඩෙන්නට වූ අතර ඉල්ලූමද එන්ට එන්ටම වැඩිවිය. හස්තෝපක‍්‍රම කර්මාන්තයට පවා එම ඉල්ලූම සපුරාලීමට තවදුරටත් නොහැකි විය. එවිට වාෂ්ප සහ යන්ත‍්‍ර සහ යන්ත්‍රෝපකරණ විසින් කර්මාන්ත භාණ්ඩ නිෂ්පාදනයේ විප්ලවයක් ඇති විණි. හස්තෝපක‍්‍රම කර්මාන්තය වෙනුවට නවීන මහා පරිමාණ යෝධමය කර්මාන්තය ඇතිවිය. කාර්මික මැද පංතියට අයත් ස්ථානය දස ලක්ෂාධිපති ධන හිමි කර්මාන්ත කරුවෝ, කර්මාන්ත හමුදා මෙහෙයවන නායකයෝ, සමකාලීන ධනපති පංතිය අයත් කර ගත්හ.

මහා පරිමාණ කර්මාන්තය සමස්ත ලෝක වෙළඳ පොළක් බිහි කළේය. මෙයට මග හෙළි කරන ලද්දේ ඇමරිකාව සොයා ගැනීම විසිනි සමස්ත ලෝක වෙළඳපොල වෙළඳාමේත් නෞකා ගමනයේත් ගොඩබිම ගමනාගමනයේත් ඉමහත් සංවර්ධනයක් ඇති කළේය. මෙය යලි කර්මාන්ත ව්‍යාප්තකිරීමෙහිලා බල පෑමක් ඇති කළේය. එමෙන්ම කර්මාන්තය වෙළදාම නෞකා ගමනය දුම්රිය සේවාව වර්ධනය වූ ප‍්‍රමාණයටම සමානුපාතිකව ධනපති පංතිය වැඩිදියුණු වී සිය ප‍්‍රාග්ධනය වැඩි කැරැුගෙන මධ්‍යම යුග වලින් දායාද වශයෙන් පැවත ආ සියලූ පංති පසුතලයට ඇද දැම්මේය.

මේ නයින් සමකාලීන ධනපති පංතිය දීර්ඝ කාලීන සංවර්ධන කි‍්‍රයාදාමයක ඵලයක් බවත් භාණ්ඩ නිෂ්පාදන විධිවල සහ හුවමාරුවල ඇති වූ පෙරළි මාළාවක ඵලයක් බවත් අපි දකිමු.

ධනපති පංතියේ දියුණුවේ සෑම පියවරක් සමගම ඊට අනුරූපව එම පංතියේ දේශපාලන ප‍්‍රගමනයක්ද ඇතිවිය. රදළ කුලීන ආධිපත්‍යය යටතේ පීඩිත පංතියක් වූ, මධ්‍යකාලීන කොමියුනය තුළ අවිගත් ස්වයං පාලක සංගමයක් වූ (ඉතාලියේ සහ ජර්මනියේ මෙනි), එක් තැනක ස්වාධින නාගරික සමූහාණ්ඩුවක් වූ (ප‍්‍රංශය මෙනි), තවත් තැනෙක රාජාණ්ඩුවට අයබදු ගෙවිය යුතු තෙවැනි ප‍්‍රජාව වූ, ඉන් ඉක්බිතිව හස්තෝපක‍්‍රම කර්මාන්ත පැවති අවධියේදී රදළ ප‍්‍රභූවරුන්ට විරුද්ධව පාවිච්චි කළ බලවේගයක් ලෙස අර්ධ රදළවාදයට හෝ පරම රාජාණ්ඩුවට හො සේවය කළ පොදුවේ මහා රාජාණ්ඩුවල ප‍්‍රධාන මුල්ගල වූ ධනපති පංතිය අවසානයේදී සමකාලීන මහා කර්මාන්තය සහ සමස්ත ලෝක වෙළඳ පොළ පිහිටුවාලීමෙන් අනතුරුව නියෝජිත සම කාලීන රාජ්‍යයන් තුළ තමාට පමණක් සීමා වූ සුවිශේෂ දේශපාලනමය ආධිපත්‍යයක් ලබාගෙන සිටී සමකාලීන රාජ්‍ය බලය අන් කිසිවක් නොව මුලූ මහත් ධනපති පංතියේම පොදු කටයුතු මෙහෙයවන කාරක මණ්ඩලයක් පමණකි.

ධනපති පංතිය ඉතිහාසයෙහි අති විප්ලවීය කි‍්‍රයා කළාපයක් ඉටුකර ඇත.

ධනපති පංතිය ආධිපත්‍යය ලැබූ හැම තැනෙකම සියලූ රදළවාදී පීතෘ මූලික පරමාදර්ශී (චාන් ගැමි ජීවිත) සබඳකම් විනාශ කළේය. ”ස්වාභාවික ස්වාමිවරුන්ට” මිනිසා බැඳ තිබුනු අනේකවිධ රදළවාදී බන්ධනයන් අනුකම්පා විරහිත ලෙස සිඳ බිඳ දැමූ ධනපති පංතිය මිනිහකු සහ මිනිහකු අතර නග්න ස්වාර්ථකාමය හැර, අනුකම්පා විරහිත ලෙස මුදල් ගෙවීම හැර, වෙනත් කිසුදු සබඳකමක් ඉතිරි නොකළේය. ආගමික භක්තියද ධීර - වීර උනන්දුවද අවරසිකවාදී අනුරක්තතාවයද අරභයා වූ ස්වර්ගමය ආනන්දයන් ආත්මාර්තකාමී ගණන්බැලීම නැමැති අයිස් වතුරෙහි ගිල්වා දමන ලදි. එය පෞද්ගලික අගය හුවමාරු වටිනාකම බවට පෙරලන ලදි. එමෙන්ම සංඛ්‍යා විරහිත , උදුරාගත නොහැකි, වර සහිත නිදහස් අයිතීන් වෙනුවට හෘද සාක්ෂියට ොකාහෙත්ම එකග නොවන එකම නිදහස වන වෙළදාම් කිරීමේ නිදහස පිහිටුවාලීය. වචනයකින් කියතොත් ආගමික සහ දේශපාලනික මායාවන්ගෙන් වාසා තිබුණු සූරාකෑම වෙනුවට එය විවෘත ලජ්ජා විරහිත සෘජු කෲර සූරාකෑම ආදේශ කළේය.

මෙතෙක් ගරුත්වයට භාජනය වූ ගෞරව පූර්වක විස්මයකින් යුතුව සැළකූ හැම වෘත්තියකම තිබූ ප‍්‍රභා මණ්ඩලය ධනපති පංතිය විසින් ඉවත් කැරිණි. එය වෛද්‍යවරයා, නීතිවේදියා, පූජකයා, කවියා, විද්‍යා කටයුතු වල නිරතවන්නා ආදී හැම කෙනෙක්ම වැටුප් ලබන ශ‍්‍රමිකයන් බවට පත් කළේය.

ධනපති පංතිය පවුලේ සිත් ගන්නා සුලූ අනුරක්තතාවයේ ආකල්ප බිඳදමා එය හුදු මුදල් පිළිබඳ ආකල්පයක් දක්වා පහත හෙලීය. ප‍්‍රගතිගාමීන්ගේ අභිමාණයට පාත‍්‍ර වූ මධ්‍ය කාලීන යුගවල පැවති තිරිසන් ලෙස සවිශක්තිය විදහා පෙන්වීමේ ගතිය ඉතා කම්මැළි කුසීතබාවය තුළ ඊට ගැලපෙන ප‍්‍රතිවිරුද්ධ ගතිය සොයා ගැනීම කෙසේ සිදුවීද යන්න ධනපති පංතිය හෙළි කළේය. මිනිස් කි‍්‍රයාකාරිත්වයට ලබාගත හැකි දේ මොනවාද යන්න එය ප‍්‍රථම වරට පෙන්වීය. මිසරයේ පිරමිඩ, රෝමයේ වාරිමාර්ග(ජල මාර්ග), හොතික් කලාව අනුව ඉදිකළ දේවස්ථාන වැනි වෙනත් වර්ගයකට අයත් විශ්මයජනක කලා වස්තුන් එය නිර්මාණය කළේය. ඊට කලින් පැවති ජාතීන්ගේ දේශාටනයන් සහ කුරුස යුද්ධ සියල්ලට වඩා වෙනත් වර්ග වල මහා ප‍්‍රයාන වල එය යෙදුනේය.

ස්්ථාවර ලෙසම නිෂ්පාදන උපකරණ වල පෙරළියක් ඇති නොකර, එමගින් නිෂ්පාදන සම්බන්ධකම් සහ සමාජයේ මුලූ මහත් සම්බන්ධකම් වල සමස්ථයද විප්ලවීය වෙනසකට භාජනය නොකොට, ධනපති පංතියට පැවතිය නොහැකිය. අනික් අතින් ඊට කලින් ඇතිවූ සියලූ කාර්මික පංතීන්ගේ පැවැත්මට අවශ්‍ය වූ පළමුවැනි කොන්දේසිය වූයේ වෙනස් නොවන අන්දමකින් පැරණි නිෂ්පාදන ක‍්‍රම පවත්වාගෙන යාමය. නිෂ්පාදනයෙහි ඇතිවන ස්ථාවර විස්ලවීය වෙනස්වීම්, සියලූ සාමාජීය සබඳතාවයන් වල අතිවන නිරන්තර කැළබීම්, සදාකාලික අවිනිශ්චිතතාවය සහ ගාමකත්වය විසින් ධනවාදී යුගය අන් සියලූ යුග වලට වඩා වෙනස් වේ. සිය පෞරාණික වූත් පූජනීය වූත් ප‍්‍රාග් විනිශ්චයන් සහ මත සහිත පාෂාණීභූත යකඩ මළ බැදුණු සියලූ සබඳතාවයන් විනාශ වී යන අතර අලූතින් ඇතිවන සියලූ සබඳතාවයන් අස්ථිකරණයට භාජනය වීමටත් පෙර ඒවා යල්පැන යයි. ඝන වූ හැම දෙයක්ම උණු වී වාතය බවට පෙරළේ. ශූද්ධ වු හැම දෙයක්ම කෙලෙසන්නේය. අවසානයේදී මිනිසාට තම ජීවන තත්වයන් සහ තම වර්ගයා සමග ඇති අන්‍යෝන්‍ය සබඳතාවයන් දෙස සන්සුන් සිතින් බැලීමට අවශ්‍යතාවයක් ඇතිවේ.

සිය නිෂ්පාදන භාණ්ඩ වලට නියත ලෙසම විශාල වෙමින් පවතිව වෙළඳපොලක් සොයා ගැනීමේ අවශ්‍යතාවය විසින් මුලූ මහත් ලෝකගෝලය වටා ධනපති පංතියට දුවන්නට සිදුවෙයි. එයට හැම තැනටම රිංගන්නටද හැම තැනකම පදිංචි වීමටද හැම තැනකම සම්බන්ධකම් ඇතිකර ගැනීමටද සිදුවේ.

ධනපති පංතිය සමස්ථ ලෝක වෙළඳපොල සූරාකෑම තුළින් හැම රටකම නිශ්පාදනයට සහ පරිභෝජනයට නිර්ජාතික සාර්ව භෞමික ස්වරූපයක් දී ඇත. එය ප‍්‍රතිගාමීන් මහත් සේ කනස්සල්ලට පත්කරමින් කර්මාන්තයේ ජාතික පදනම එහි පා යටින් ඉවතට ඇද දමා ඇත. පුරාණ චිරාගත ජාතික කර්මාන්ත විනාශ කර දමන ලදි. නැතිනම් දිනපතා ඒවා විනාශකර දමනු ලැබේ. සියලූ සභ්‍ය ජාතීන් ඉදිරියෙහි ඇති ජීවිතයත් මරණයත් අතර ප‍්‍රශ්න විසදාලීමක් වශයෙන් අභීනවයෙන් ආරම්භ කළ යුතු නව කර්මාන්ත මගින් තව දුරටත් දේශිය අමුද්‍රව්‍ය වලින් නොව ලෝකයේ ඉතා ඈත පෙදෙස් වලින් ගෙනෙනු ලබන අමුද්‍රව්‍ය වලින් වැඩකරන කර්මාන්ත මගින් එක් රටක් තුළ පමණක් නොව ලෝක ගෝලයේ හැම දිසාවෙකම පරිභෝජනයට ගන්නා භාණ්ඩ නිපදවන කර්මාන්ත මගින් පැරණි කර්මාන්ත පළවාහරිනු ලැබේ. රටක ජාතික නිෂ්පාදනය මගින් සෑහීමකට පත්කරනු ලබන පැරණි අවශ්‍යතාවයන් වෙනුවට ඈත සහ විවිධ දේශගුණික රටවලට අයත් නිෂ්පාදන මගින් පමණක් සෑහීමට පත්කළ හැකි නව අවශ්‍යතාවයන් පැන නගී. පැරණි ප‍්‍රාදේශිය සහ ජාතික හුදකලාතාවය සහ ස්වයංපෝෂිතතාවය වෙනුවට සමස්ථ ලෝක අන්තර් ආවේදනයක්ද එක් ජාතියක් තවත් ජාතියක් මත රදාපවතින සමස්ථ ලෝක අන්‍යෝන්‍ය පරායක්තතාවයක්ද ඇතිවේ. මෙය ද්‍රව්‍යමය නිෂ්පාදන වලට මෙන්ම අධ්‍යාත්මික නිර්මාණ වලට එකසේ බලපායි. එක් ජාතියකගේ අධ්‍යාත්මික නිර්මාණයේ ථල සියලූ ජාතීන්ගේ පොදු දායාද බවට පත්වේ. ජාතික ඒක පාර්ශ්විකත්වය සහ සීමා සහිත පටු බුද්ධිය වඩ වඩාත් නොකළ හැකි දෙයක් බවට පත්වේ. ජාතික හා පලාත්බද සාහිත්‍යයන්ගේ බහු සංඛ්‍යාවක් විසින් ජගත් සාහිත්‍යයත් බිහිවෙයි.

සියලූ නිශ්පාදන උපකරණ වල සීඝ‍්‍ර දියුණුව මගින්ද ඉමහත් ලෙස පහසු වන ප‍්‍රවාහන සහ පණිවුඩ මගින්ද ධනපති පංතිය අති ම්ලේච්ඡු ජාතීන් ඇතුලූ සියලූ ජාතීන් සභ්‍යත්වය වෙතට ඇදගනී. ධනපති භාන්ඩ වල ලාභ මිළ මහා කාලතුවක්කු වලට සමානය. මෙය පාවිච්චි කරමින් ධනපති පංතිය සියලූ චීන ප‍්‍රාකාර බිඳ දමයි. ම්ලේච්ඡුයින් තුළ විදේශකයන් කෙරෙහි ඇතිවන මුරණ්ඩු ද්වේශ සහගත වෛරය මෙල්ල කරලයි. වඳවී යාමේ භීතිය ඉදිරියේ ඉන් මිදෙනු පිණිස ධනවාදී නිෂ්පාදන ක‍්‍රමය පිළිගන්නා ලෙස එය සියලූ ජාතීන්ට බලකර සිටී. ඔවුනට ඊනියා ශිෂ්ඨත්වය එනම් ධනපතිවාදය පිළිගන්නා ලෙද බලකර සිටී. වචනයකින් පවසතොත් ධනපති පංතිය තම ප‍්‍රතිමූර්තියක් සහ තමාට සමාන ලෝකයක් මවාලයි.

ධනපති පංතිය ගම නගරයේ ආධිපත්‍යයට යටකර දමයි. එය අතිවිශාල නගර ඉදිකර ඇත. ගැමි ජනගහනය සමග සන්සන්දනය කරන විට නගරබද ජනගහනය සංඛ්‍යාව අතින් වැඩි කළේය. ඒ නයින් ජනගහනයෙන් සෑහෙන කොටසක් ගම්බද ජීවිතයේ මුග්ධභාවයෙන් මුදවා ගත්තේය. එය ගම නගරයට පරාධීන කළාක් මෙන්ම ම්ලේච්ඡු සහ අර්ධ ම්ලේච්ඡු රටවල් සභ්‍ය රට වලට පරාධීන කළේය. ගොවීන්ගෙන් සමන්විත ජාතීන් ධනපතීන්ගෙන් සමන්විත ජාතීන්ටද නැගෙනහිර බටහිරටද පරාධීන කළේය.

ධනපති පංතිය ජනගහණයත් නිෂ්පාදන මාධ්‍යයන් සහ දේපොළත් විසුරුම වඩ වඩාත් අහෝසිකරැු දැමීමෙහි යෙදීසිටී. එය ජනගහණය පිණ්ඩිත කොට නිෂ්පාදන මාධ්‍යයන් මධ්‍යගත කොට ඇත. දේපොළ අල්ප සංඛ්‍යාවක් අත සංකේන්ද්‍රණය කොට ඇත. මෙයින් අවශ්‍යයෙන්ම ඇතිවූ විපාකය වූයේ දේශපාලනමය මධ්‍යගත වීමකි. ස්වාධීන නමුදු ලිහිල් ලෙස එකිනෙකට සම්බන්ධව තිබූ, විභේදකාරී වුවමනාවන්, විවිධ නීති පද්ධති, ආණ්ඩු සහ අයබදු ක‍්‍රම තිබුණු පෙදෙස්, එකම ආණ්ඩුවක්, එකම නීති සංග‍්‍රහයක්, එකම ජාතික පංති වුවමනාවක්, එකම තීරුබදු ක‍්‍රමයක් සහිත, දේශසීමාවක් සහිත ඒකීය ජාතියක් ලෙස ඒකරාශී විය.

ධනපති පංතිය සිය වසරකටත් වඩා අඩු සිය පාලන කාලය තුළදී ඉන් පෙර පැවති සියලූ පරම්පරාවන් විසින් ඉදිකරන ලද නිෂ්පාදන බලවේගයන්ගේ සමස්තයට වඩා අති විශාල වූද අති දැවැන්ත වූද නිෂ්පාදන බලවේගයක් බිහි කළේය. සොබාදහම මෙල්ලකිරීම, යන්ත‍්‍ර නිෂ්පාදනය, කර්මාන්තයට හා කෘෂිකර්මයට රසායනය යෙදවීම, ධූම නෞකා සේවය ආරම්භ කිරීම, දුම්රිය සේවය, විදුලි පණිවුඩ ක‍්‍රමය, වගාව සඳහා මහද්වීප හෙළිකිරීම, ගංගා වාරිමාර්ගකරණයට යටකිරීම, බහු ජනගහණයන් පොළවෙන් මවා පෑම වැනිදේ ආදී මේ මහා නිෂ්පාදන බලවේගයන් සාමාජීය ශ‍්‍රමයේ උකුළෙහි සැතපුන බවට පෙර නිමිත්තක් තිබුණේ මින් පෙර කිනම් සියවසරටද!

ධනපති පංතියේ ඉදිකිරීමට පදනම වූ නිෂ්පාදන මාධ්‍යයන් සහ හුවමාරු ක‍්‍රම නිර්මාණය කරන ලද්දේ රදළ සමාජ ක‍්‍රමය තුළදී බැව්, එනයින් දැන් අපි දුටිමු. මේ නිෂ්පාදන මාධ්‍ය වල හා හුවමාරු ක‍්‍රමවල සංවර්ධනයේ එක්තරා අවධියකදී රදළ සමාජය සිය නිෂ්පාදනය සහ හුවමාරුව කළේ යම් තත්ත්වයන් යටතේද, එම තත්ත්වයනුත් කෘෂිකර්මය සහ කුඩා පරිමාණ කර්මාන්ත පිළිබඳ රදළවාදී සංවිධානයත්, එක් වචනයකින් කියතොත් දේපොළ පිළිබඳ රදළවාදි සබඳතාවයන්, ඒ කාලය වන විට සංවර්ධනය වී තිබුණු නිෂ්පාදන බලවේගයන්ට තවදුරටත් අනුරූපී නොවීය. නිෂ්පාදනය දියුණු කරනවා වෙනුවට ඒවාට බාධා කරන්නට විය. ඒවා විලංගු බවට පත් විය. ඒවා පුපුරවා දැමීම අවශ්‍ය විය. එලෙසම ඒවා පුපුරවා දමන ලදි.

නිදහස් තරගය ඊට අනුකූල වන පරිදි සකස් කරැුගත් සමාජීය හා දේශපාලනමය සංස්ථාපනයක්ද ධනපති පංතියේ ආර්ථික සහ දේශපාලනමය ආධිපත්‍යයද සහිතව ඒවාට අයත් ස්ථානය ගත්තේය.

අප ඉදිරියේ එබඳු ව්‍යාපාරයක් සම්පූර්ණ වෙමින් පවතී. නිෂ්පාදන සහ හුවමාරු සබඳතාවයන් සහිත, දේපොළ අයිතිය පිළිබඳ සබඳතාවයන් සහිත සමකාලීන ධනවාදී සමාජය, මෙතරම් බලසම්පන්න නිෂ්පාදන මාධ්‍යයන් සහ හුවමාරු ක‍්‍රම මවා තිබෙන මෙම සමාජය, තමා විසින් සිය විජ්ජාකාරි බලයෙන් ආරාධනා කොට ඇති පාතාල ලෝකයේ භූත බලවේගයක් තවදුරටත් මෙල්ල කළ නොහැකි විජ්ජාකාරයකුගේ තත්ත්වයකට වැටී සිටියි. ඉකුත් දසකයන් කීපයක් තිස්සේම කර්මාන්තයේ සහ වාණිජයේ ඉතිහාසය නම්, අන් කිසිවක් නොව, සමකාලීන නිෂ්පාදන තත්ත්වයන්ට විරුද්ධව ධනපති පංතියේ සහ ආධිපත්‍යයේ පැවැත්මට අවශ්‍ය තත්ත්වයන් වන දේපළ සබඳතාවයනට විරුද්ධව සම කාලීන නිෂ්පාදන බලවේගයන් ගෙනයන කැරැුල්ලේ ඉතිහාසයයි. කලින් කල, යළි යළිත් ආපසු පැමිණෙන එලෙෂ ආපසු පැමිණෙන හැම වාරයකදීම වඩ වඩාත් තර්ජනාත්මක ලෙස මුළු මහත් ධනපති සමාජයේ පැවැත්මට තර්ජනය කරන වාණිජ අර්බුද ගැන සඳහන් කිරීම ප‍්‍රමාණවත්ය. මෙම වාණිජ අර්බුද වලදී නිෂ්පාදනය කර තිබූ භාණ්ඩ වලින් සෑහෙන කොටසක් පමණක් නොව නිෂ්පාදන බලවේගයන්ගේද සෑහෙන කොටසක් පවා සෑම වාරයකදීම විනාශකර දමනු ලැබේ. මෙම අර්බුද වලදී ඊට කලින් හැම වකවානුවකදීම අමන කි‍්‍රයාවක් සේ පෙනී යා හැකි සමාජීය වසංගතයක් අධි නිෂ්පාදනය නැමති වසංගතය දසත පැතිර යයි. හිටිහැටියේ සමාජය ම්ලේච්ඡුත්වය කරා ආපසු ඇද වැටුණු සැටියක් දැනෙයි. දුර්භික්ෂයක්, සමස්ත ලෝක විනාශකාරී යුද්ධයක් විසින් ජීවත් වීමේ මාධ්‍යයන් සියල්ල කපා දැමූ කලෙක මෙන් සමාජයට දැනෙයි. කර්මාන්තය සහ වෙළදාම විනාශ වූවක් සේ දැනෙයි. කුමක් නිසාද? වුවමනාවට වඩා වැඩි ශිෂ්ඨත්වයක් සමාජයට ඇති නිසාය, අවශ්‍යතාවයට වඩා වැඩි ප‍්‍රමාණයක් ජීවන මාධ්‍යයන් තිබෙන නිසාය, වුවමනාවට වඩා වැඩි කර්මාන්තයක් සහ වාණිජයක් සමාජය සතු නිසාය. සමාජයට රිසි පරිදි පාවිච්චි කළ හැකි නිෂ්පාදන බලවේගයන් ධනපති දේපොළ අයිතියේ සබඳතාවයන් වර්ධනය කිරීමට තවත් දුර ඉඩ නොදෙයි. එහෙත් ඒ වෙනුවට, නිෂ්පාදන බලවේග දේපල සබඳතාවයන්ට වඩා ඉමහත් ලෙස බලවත් වේ. ධනවාදී සබඳතාවයන් ඒවායේ සංවර්ධනයට බාදා කරයි. මේ බාදා මැඩ නැගී සිටීමට නිෂ්පාදන බලවේග ඉදිරිපත් වූ විට, ඒවා මුළු මහත් ධනවාදී සමාජයම ව්‍යාකූලත්වයකට ඇද දමයි. ධනවාදී දේපොළ අයිතියේ පැවැත්ම තර්ජනයට ලක්කරයි. ධනේශ්වර සමාජයේ සබඳතාවයන් විසින් නිපදවන ලද ධන සම්භාරය අඩංගුකර තැබීමට ප‍්‍රමාණවත් නොවන තරමින් එය පටුවිය. ධනපති පංතිය මේ අර්බුදයන්ගෙන් ගොඩ එන්නේ කෙසේද? එක් අතකින් බලකිරීම නිසා නිෂ්පාදන බලවේගයන්ගේ ඉමහත් තොගයක් විනාශකර දැමීමෙනි. අනිත් අතින්, අලූත් වෙළඳපොලවල් අල්ලා ගැනීමෙන් සහ පැරණි වෙළඳ පොළවල් එහෙම පිටින්ට සූරාකෑමෙනි. එය කරන්නේ කෙසේද? වඩාත් විස්තීර්ණ වූද, වඩාත් විනාශකාරී වූද අර්බුදවලට මග හෙළිකිරීමෙන් සහ අර්බුද වලක්වාලන මාධ්‍යයන් අඩුකරලීමෙනි.

රදළ ක‍්‍රමය මුළින් උපුටා දැමීමට ධනපති පංතිය පාවිච්චි කළ අවි, දැන් ධනපති පංතියට එරෙහිව එල්ල වීමට පටන් ගෙන ඇත.

තමනට මරණය ළගා කරන අවි ධනපති පංතිය නිපදවූවා පමණක් නොව, මෙම අවි තමනට විරුද්ධව එල්ල කරන මිනිසුන්ද, එනම් සමකාලීන කම්කරුවන්, නිර්ධනීන් බිහි කළේය.

ධනපති පංතිය, එනම් ප‍්‍රාග්ධනය වැඩෙන්නේ යම් ප‍්‍රමාණයකටද, එම ප‍්‍රමාණය සරිලන සේ සමානුපාතිකව නිර්ධන පංතිය, නූතන කම්කරු පංතිය වර්ධනය වේ. මෙම පංතිය තමන්ට වැඩ සොයාගත හැකිතාක් කල් පමණක් පවතී, එයට වැඩ ලැබෙන්නේද, එය සිය ශ‍්‍රමයෙන් ප‍්‍රාග්ධනය වැඩිකරන තාක් කල් පමණකි තමන් එක එකා වශයෙන් වෙන්, වෙන්ව විකුණා ගත යුතු මේ කම්කරුවෝ, වෙළදාමට තබා ඇති අන් හැම භාණ්ඩයක් මෙන්ම, වෙළඳ භාණ්ඩයක් වන්නාහ. මෙහි විපාකයක් වශයෙන් ඔවුහු තරගයේ සියලූ ජය පරාජයන්ටද, සියලූ උච්ඡුාවචනයටද ගොදුරු වෙති.

යන්ත‍්‍ර සූත‍්‍ර විස්තීර්ණ ලෙස වැඩි වැඩියෙන් පාවිච්චි කිරීම නිසාත්, ශ‍්‍රම විභජනය නිසාත්, නිර්ධනීන්ගේ ශ‍්‍රමයෙහි පෞද්ගලික ස්වාධීන ස්වරූපය අතුරුදහන් විය. ඒ අනුව, වැඩකරන්නාට තිබූ වශීකරණත්වයද නැති විය. ඔහු යන්ත‍්‍රයේ සරළ උපාංගයක් බවට පත්විය. ඔහුගෙන් ඉල්ලා සිටින්නේ ඉතා සරළවූද, අතිශයින්ම ඒකතානමය වූද, ඉතා ලෙහෙසියෙන් ලබාගත හැකිවූද කි‍්‍රයාකාරිත්වයක් පමණකි. කම්කරුවකුගේ නිෂ්පාදන වියදම සම්පූර්ණයෙන්ම පාහේ, ඔහුගේ ජීවන යැපුම් මාධ්‍යයන් සඳහාත්, ඔහුගේ වර්ගය බෝ කිරීම සඳහාත් සීමා වෙයි. එහෙත් භාණ්ඩයක මිළත්, එම නිසාම ශ‍්‍රමයේ මිළත් එය නිපදවීමට යන වියදමට සමාන වෙයි. එබැවින් වැඩක ඇති විකර්ශනයට සමානුපාතිකව, වැටුප් අඩු වෙයි. එපමණක්ද නොවේ, යන්ත‍්‍ර සූත‍්‍ර පාවිච්චිය සහ ශ‍්‍රම විභජනය වැඩිවන ප‍්‍රමාණයට සමානුපාතිකව, වැඩ කරන පැය ගණන වැඩි කිරීමෙන් හෝ එක්තරා පැය ගණනක් තුළදී වැය කරන ශ‍්‍රමය වැඩි කිරීමෙන් හෝ එක්තරා පැය ගණනක් තුළදී වැය කරන ශ‍්‍රමය වැඩි කිරීමෙන් හෝ යන්ත‍්‍ර සූත‍්‍රවල වේගය වැඩිකිරීමෙන් ආදියෙන් හෝ ශ‍්‍රම ප‍්‍රමාණය වැඩි වෙයි.

සමකාලීන කර්මාන්තය, පීතෘ මූලික ශිල්පියාගේ කුඩා වැඩපොල කාර්මික ධනපතියාගේ මහා කම්හල බවට පරිවර්තනය කළේය. කම්හලට එක්රැුස් වූ කම්කරුවන් සෙබලූන් ලෙස සංවිධානය කරන ලදි. කාර්මික සේවාවේ සාමාන්‍ය සෙබලූන් ලෙෂ ඔවුන් උසස් නිලධාරීන්ගේ සහ සාජන්ට් වරුන්ගේ අණ දීම යටතේ ඉතා සම්පූර්ණ ධූරාවලියකට යටත්කොට ඇත. ඔවුහු ධනපති පංතියේ සහ ධනපති ආණ්ඩුවේ වහලූන් පමණක් නොවෙත්. ඔවුහු දිනපතාමත්, පැයක් පාසාමත්, යන්ත‍්‍රයේත්, පාලකයාගේ සහ අන් හැමටම වඩා පෞද්ගලික ධනවාදී නිෂ්පාදකයාගේත් වහලූන් බවට පත්වෙති. තම අවසාන සහ එකම පරමාර්ථය ලාභය ලබාගැනීම බව මෙම දුෂඨ ඒකාධිපතිත්වය ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරන තරමට, එය වඩාත් නීච, වෛර සහගත, වඩාත් කෲර දෙපක් බවට පත්වේ.

කායික හ‍්‍රමය සඳහා අවශ්‍ය වන නිපුණත්වය සහ කායික ශක්තිය අඩුවන තරමට, වෙනත් වචන වලින් කියතොත්, නූතන කර්මාන්තය සංවර්ධනය වන තරමට පුරුෂයින්ගේ ශ‍්‍රමයේ ස්ථානය ළමා සහ ස්තී‍්‍ර ශ‍්‍රමය විසින් දරනු ලැබේ කම්කරු පංතියට, වයස් භේදය සහ ස්ති‍්‍ර පුරුෂ භේදය විශේෂ සාමාජීය වටිනාකම තව දුරටත් බලනොපායි. ඔවුහ් සියලූ දෙනාම, වයස හා ලිංගික භේදය අනුව අඩු හෝ වැඩි වියදමින් පාවිච්චි කරනු ලබන ශ‍්‍රම උපකරණ බවට පත්වෙති.

කම්කරුවා කර්මාන්ත හිමියා විසින් සූරාකෑම අවසන්වීම සහ ඔහුට වැටුප් ලැබෙනවාත් සමගම, ධනහිමි පංතියේ අනෙකුත් කොටස් වන ගෙවල් හිමියාද, කඩකාරයාද, පොළීකාරයාද ආදීහු ඔහුමත කඩා පනිති.

මධ්‍යම පංතියේ පහළ තට්ටු වන කුඩා කර්මාන්ත හිමියෝද, සුළු වෙළෙන්දෝද, සුළු පොලීකරුවෝද, හස්තකර්මාන්ත කරුවෝ සහ ගොවියෝද යන මේ කොටස් නිර්ධන පංතිය දක්වා පහතවැටෙති අඩ වශයෙන් මෙසේ වීමට එක් හේතුවක්නම් විශාල කම්හලක් පටන් ගැනීමට තරම් ඔවුන්ගේ කුබා ප‍්‍රාග්ධනය ප‍්‍රමාණවත් නොවීමය, එමෙන්ම ඔවුන් විශාල ධනපතීන් සමග කරන තරගයේදී පරාජයට පත්වීමය. අනික් හේතුවනම්, නවීනතම නිෂ්පාදන ක‍්‍රමවිධි ඔවුන්ගේ ශිල්පමය දක්ෂතාවය නොවටනා දෙයක් බවට පත්කරනු ලැබීමය. මේ ලෙස ජනගහනයේ සියලූ පංතීන්ගෙන් නිර්ධන පංතියට පුද්ගලයින් බඳවාගනු ලැබේ.

සංවර්ධනයේ විවිධ අවධි තුළින් නිර්ධන පංතිය ගමන්කරයි. තම උපතත් සමගම නිර්ධන පංතිය, ධනපති පංතියට විරුද්ධව අරගලය ආරම්භ කරයි.

ආරම්භයේදී මෙම අරගලය පටන්ගන්නේ තනි තනි කම්කරුවන් විසිනි. ඉන් ඉක්බිතිව එක් කම්හලක කම්කරුවන් විසින්ද, අනතුරුව එක් වෘත්තියක කම්කරුවන් විසින් එක් පෙදෙසක තමන්ව කෙලින්ම සූරාකන ධනපතියකුට විරුද්ධව අරගලය ගෙනයනු ලැබේ. ඔවුහු සිය ප‍්‍රහාරය නිෂ්පාදනයේ ධනවාදී සබඳතාවයන්ට විරුද්ධව පමණක් නොව, නිෂ්පාදන උපකරණවලට විරුද්ධවද එල්ල කරති. ඔවුහු තම ශ‍්‍රමය සමග තරග කරන ආනයනිත භාණ්ඩ විනාශකරති, යන්ත‍්‍ර සූත‍්‍ර කඩාබිඳ දමති, කම්හල් ගිනිබත් කරති. මධ්‍ය කාලීන යුග වලදී කම්කරුවාට තිබුණු, නැතිවී ගිය තත්ත්වය, බලහත්කාරයෙන් යළි ලබා ගැනීමට ඔවුහු වැර දරති.

මෙම අවධියේදී, කම්කරුවෝ තවමත් මුළු මහත් රටපුරා පැතිර පවතින අසංසක්ත බලවෙගයත් වන අතර, තරගය නිසා කැඞී වෙන්වී සිටිති කම්කරු බහු ජනතාවගේ ඒකරාශිවීම තවමත් ඔවුන්ගේ ස්වයං සමගියේ ප‍්‍රතිඵලයක් නොවන අතර එය ධනපතීන්ගේ සමගියේ ඵලයක් පමණකි. ධනපති පංතියට සිය දේශපාලනමය අරමුණු ඉටුකර ගැනීමට අවශ්‍ය නිසා එයට මුළු මහත් නිර්ධන පංතියම කි‍්‍රයාවේ යෙදවීමට සිදුවී ඇත. එපමණක් නොව එයට තව කලකට එසේ කිරීමටද හැකියාවක් ඇත. මේ අවධියේදී නිර්ධනීන් සටන් කරන්නේ තම සතුරන්ට විරුද්ධව නොව, සතුරන්ගේ සතුරන් වන නිරපේක්ෂ රාජාණ්ඩුවේ නටඹුන් වලටත්, ඉඩම් හිමියන්ටත්, කාර්මික නොවන ධනපති පංතියටත්, සුළු ධනපති පංතියටත් විරුද්ධවය. මේ අනුව මුළු මහත් ඓතිහාසික සංවර්ධන ව්‍යාපාරය ධනවාදී පංතිය අත සංකේන්ද්‍රණය වෙයි එවැනි තත්ත්වයන් යටතේ ලබන සෑම ජයග‍්‍රහණයක්ම, ධනපති පංතියේ ජයග‍්‍රහණයක් වන්නේය.

එහෙත් කර්මාන්ත සංවර්ධනයන් සමගම නිර්ධන පංතිය සංඛ්‍යාත්මක ලෙස වැඩි වනවා පමණක් නොව, එය වඩාත් විශාල සමූහයන් ලෙස ඒකරාශී වී, සිය ශක්තිය වර්ධනය කරැු ගනී, එමෙන්ම එයට සිය ශක්තිය වැඩි වැඩියෙන් දැනෙයි. යන්ත‍්‍ර සූත‍්‍ර මගින් ශ‍්‍රමයේ සියලූ අන්දමේ විශේෂත්වයන් මකා දමන තරමට, හැම තැනකම පාහේ එකම පහත් මට්ටමකට වැටුප් හෙළන තරමට, නිර්ධන පංතියේ විවිධ අවශ්‍යතාවයන් සහ ජීවන තත්ත්වයන් වඩ වඩාත් එකම සමානතාවයකට පත්වේ. ධනපතීන් අතර වැඩිවෙමින් පවතින තරගයත්, එහි විපාකයක් වශයෙන් පැන නගින වාණිජ අර්බුධත් නිසා කම්කරුවන්ගේ වැටුප් වඩාත් අස්ථිර තාවයට භාජනය වෙයි. යන්ත‍්‍ර සූත‍්‍ර නොකඩවා දියුණුවන අතර වඩාත් අධික වේගයකින් වර්ධනය වන නිසා නිර්ධන පංතියේ දිවි පෙවෙත වඩ වඩාත් සැක සහිත වෙයි. එක් එක් කම්කරුවන් සහ එක් එක් ධනපතීන් අතර හටගන්නා අරගල එන්ට එන්ටම පංති දෙකක් අතර අරගලයක ස්වරූපය ගනී. කම්කරුවන් ආරම්භ කරන්නේ ධනපති පංතියට විරුද්ධව සභාග (වෘත්තීය සමිති* සෑදීමට පටන් ගැනීමෙනි. වැටුප් ප‍්‍රමාණය පහත වැටීම වලක්වාලනු පිණිස ඔවුහු එකට එක්වී කි‍්‍රයා කරති. සිදුවිය හැකි හැප්පීම් වලට සූදානම්වීම සඳහා ඔවුහු ස්ථාවර සංගමයන් පිහිටුවා ගත්හ. තැන් තැන් වල ඇතිවන මේ හැප්පීම් විවෘත ගැටීම් වලට පෙරළෙයි.

කම්කරුවන් ඉඳහිට ජය ගත්තද, එම ජයග‍්‍රහණය තාවකාලික ඒවා විය. ඔවුන්ගේ සටන් අරගලවල නියම ප‍්‍රතිඵලය වන්නේ සෘජු ක්ෂණික ජය නොව, වඩාත් පුළුල් ලෙස පැතිරෙන කම්කරු එක්සත්කමය. විශාල කර්මාන්තය විසින් බිහිකරන, විවිධ පෙදෙස්වල කම්කරුවන් අතර අන්‍යෝන්‍ය සම්බන්ධකමක් ඇතිකරන වඩාත් දියුණු වෙන සම්බන්ධ මාර්ග මෙම එක්සත් සංගමයට ආධාර වෙයි. සමාන ස්වරූපයකින් යුත් විවිධ ප‍්‍රාදේශීය අරගල ඒකීය ජාතික පංති අරගලයක් තුළට මධ්‍යගත කරලීමට අවශ්‍ය වූයේ මේ සම්බන්ධතාවය පමණකි. එහෙත් හැම පංති සටනක්ම දේශපාලන සටනකි. කාලකණ්ණි මහා මාවත් සහිත මධ්‍ය කාලීන යුගවල නාගරිකයින්ට සියවසර කීපයක් තිස්සේ මුදුන්පමුණුවා ගැනීමට නොහැකි වූ මෙම සංගමය සම කාලීන නිර්ධනයෝ දුම්රිය සේවාවන්ට පින්සිදු වන්නට වසර කීපයකින් සපුරාලූහ.

මේ ලෙස පංතියකට නිර්ධනයින් සංවිධානය කිරීමද, ඒ අනුව ඔවුන් දේශපාලන පක්ෂයකට සංවිධානය කිරීමද කම්කරුවන් අතර මොහොතක් පාසා පැන නගින තරගය නිසා විනාශ වේ. එහෙත් මෙම සංවිධානය යලිත් වරක් නැගී සිටින්නේ වඩාත් ශක්තිමත් වෙමිනි, වඩාත් ස්ථිර ලෙසිනි, වඩාත් බල සම්පන්න ලෙසිනි. ධනපතීන්ගේ විවිධ කොටස් අතර ඇතිවන භේද වලින් ප‍්‍රයෝජනය ගනිමින්, මෙය කම්කරුවන්ගේ තනි ඉල්ලීම් වලට නීත්‍යානුකුල පිළිගැනීමක් දිනාගැනීමට බලකරයි. එංගලන්තයේ දිනකට පැය දහයේ වැඩ පණත සම්මතකරවා ගත්තේ මේ ආකාරයටය.

පොදුවේ පැරණි සමාජයේ අභ්‍යන්තරික ඝට්ටනය බොහෝ අතින් නිර්ධන පංතියේ සංවර්ධනික කි‍්‍රයාදාමයට හේතු වේ. ධනපති පංතිය ස්ථාවර අරගලයක යෙදී සිටී. ප‍්‍රථමයෙන් රදළ කුලීනයින්ට විරුද්ධවද, ඉන් ඉක්බිතිව, කර්මාන්ත ප‍්‍රගමණයට පටහැනි වුවමනාවන් ඇති ධනපති කොටස් වලට විරුද්ධවද, නිත්‍ය වශයෙන්ම සියලූ විදේශිය රටවල ධනපතීන්ට විරුද්ධවද ධනපති පංතිය සටන් කරයි. මේ සියළු සංග‍්‍රාම වලදී නිර්ධන පංතියට ආයාචනා කිරීමටද, එම පංතියේ අධාර ඉල්ලා සිටීමටද, එමගින් එම පංතිය දේශපාලන ව්‍යාපාරයට ඇද ගැනීමටද ධනපති පංතියට සිදුවෙයි. එම නිසා ස්වකීය දේශපාලනමය හා පොදු අධ්‍යාපනය ධනපති පංතිය නිර්ධන පංතියට ලබාදෙයි, එනම්, ධනපති පංතියට විරුද්ධව සටන් කිරීමට නිර්ධනීන්ට අවි ලබා දෙයි.

තවද, අප දැනටමත් දුටු පරිදි, කර්මාන්ත ප‍්‍රගමනය මගින්, පාලක පංතීන්ගේ කොටස් නිර්ධන පංතියට ඇද දමනු ලැබේ. නැතහොත්, යටත් පිරිසෙයින් ඒවායේ පැවැත්ම අරභයා වූ තත්ත්වයන්ට තර්ජනය එල්ල කෙරේ. මේ කොටස් නිර්ධන පංතියට ප‍්‍රබුද්ධත්වයේ සහ ප‍්‍රගතියේ මූලිකාංග සපයති.

අවසානයේදී, පංති සටනේ තීරණාත්මක මොහොත සමීප වන විට, පාලක පංතිය තුළ, මුළු මහත් පැරණි සමාජය තුළ දිරාපත්වීමේ කි‍්‍රයාදාමය කෙතරම් ප‍්‍රචණ්ඩ, කෙතරම් තියුණු ස්වරූපයක් ගන්නේදයත්, පාලක පංතියෙන් සුළු කොටසක් කැඞී වෙන්වී, විප්ලවවාදී පංතියට, අනාගතය හිමි පංතියට එකතු වෙයි. මීට කලින්, රදළ කුලීනයින්ගෙන් කොටසක් ධනපති පංතියට ගියාක් මෙන්ම, දැන් ධනපති පංතියෙන් කොටසක් - එනම්, සමස්ථයක් වශයෙන් ඓතිහාසික කි‍්‍රයාදාමය න්‍යායික ලෙස සාක්ෂාත් කර ගැනීමේ තත්ත්වය දක්වා උසස් වී ඇති ධනපති දෘෂ්ඨි වාදීන්ගෙන් කොටසක් - නිර්ධන පංතිය වෙත පැමිණෙයි.

ධනපති පංතියට විරුද්ධව මුහුණට මුහුණලා නැගී සිටින සියලූ පංතීන් අතුරෙන්, නිර්ධන පංතිය පමණක් අද නියම විප්ලවවාදී පංතිය වේ. නවීන මහා කර්මාන්තයේ සංවර්ධනය නිසා ඉතිරි සියලූ පංතීහු දිරාපත්වීමකට හසුව අවසානයේදී විනාශවී යති. නිර්ධන පංතිය එහි ස්වකීයම වූත්, අවශ්‍ය වූත් ඵලය වේ.

මැද පංතීන්ගේ කොටස්: කුඩා කර්මාන්ත හිමියා, සුළු වෙළෙන්දා, හස්ත කර්මාන්ත ශිල්පියා, ගොවියා ආදීහු මැද පංතියේ කොටස් වශයෙන් සිය විනාශය වලක්වාලනු පිණිස ධනපති පංතියට විරුද්ධව සටන් කරති. මේ හේතුව නිසා ඔවුහු විප්ලවවාදීන් නොව ගතානුගතිකයින් වන්නාහ. එපමණක් නොව ඔවුහු ප‍්‍රතිගාමියෝය. ඉතිහාසයේ ඉදිරිගමන නැමති රෝදය ආපසු කරකැවීමට ඔවුහු මහන්සි දරති. ඔවුන් විප්ලවවාදී වෙති නම්, එයට හේතුව ඔවුන්ට නොබෝ දිනකින්ම නිර්ධන පංතියට ඇතුලූවීමට සිදුවී ඇති බැවිනි. ඔවුන් ආරක්ෂා කරන්නේ ඔවුන්ගේ අද්‍යතන වුවමනාවන් නොව, අනාගත වුවමනාවන්ය. ඔවුන් එසේ කරන්නේ, තම ස්ථාවරය අතහැර නිර්ධන පංතික ස්ථාවරය ගැනීම පිණිසය.

‘‘පාදඩ නිර්ධන පංතිය29’’ හෙවත් සමාජීය කුණුකන්දල්, නැතිනම් පැරණි සමාජයේ පහල තට්ටුව විසින් ඉවතට දමන ලද අකර්මණ්‍ය ලෙස කුණුවෙමින් පවතින කොටස එක් හෝ තවත් තැනක නිර්ධන පංතික විප්ලවයකින් ව්‍යාපාරය තුළට ඇදී ඒමට ඉඩ ඇත. කෙසේ වුවද ජීවන තත්වයන් අනුව, ප‍්‍රතිගාමී කුමන්ත‍්‍රණ වලදී මේ කොටස් අල්ලස් වලට යටවී ක‍්‍රියා කරන අවි බවට පත්වීමේ නැඹුරුව බෙහෙවින් බලපායි.

පැරණි සමාජයේ තත්වයන්, නිර්ධන පංතික ජිවන තත්වයන් යටතේ සම්පූර්ණයෙන්ම ගිලී යය’. නිර්ධනයාට දේපළ නැත. ඔහු සහ ඔහුගේ පවුලද, ¥ දරුවන්ද අතර ඇති සබඳතාවයන් හා ධනවාදී පවුල් සබඳතාවයන් අතර තවදුරටත් කිසිදු පොදු බවක් නැත. ප‍්‍රංශයේ මෙන්ම එංගලන්තයේද, ජර්මනියේ මෙන්ම ඇමරිකාවේද එක සමාන වූ සමකාලීන කර්මාන්තමය ශ‍්‍රමයට, සමකාලීන ප‍්‍රාග්ධනයට යටත්වීම නිසා ඔහුගේ හැම ජාතික ලක්ෂනයක්ම අකාමකා දමා ඇත. නීතිය, සදාචාරය, ආගම ආදිය ඔහුට අන් කිසිවක් නොව, ධනවාදී ප‍්‍රාග් විනිශ්චයන් පමණකි. මේවා ධනපති අයිතිය වසන් කරන කඩතුරාවන්ය.

මීට පෙර පංති, ආදිපත්‍ය ලබාගත් පසු, ඒවා විසින් ඒ වන විට ලබාගත් තත්වය තහවුරු කර ගැනීම සඳහා, ඒවා විසින් අයත් කර ගත් කොන්දේසි වලට මුළු මහත් සමාජයම පරාදීන කිරීම මගින් තහවුරු කරලීමට පරිශ‍්‍රම දැරූහ. තම පූර්ව අයත් කර ගැනීමේ ක‍්‍රමය විනාශ කරමින්, එමගින් ඊට පෙර පැවති අයත් කර ගැනීමේ සියළු ක‍්‍රම විනාශ කරමින් පමණක් නිර්ධනීන්ට සමාජය නිෂ්පාදනය අයත් කර ගත හැකි වන්නේය. නිර්ධන පංතියට රැුකගැනීමට හෝ ආරක්ෂා කර ගැනීමට හෝ කිසිවක් නොමැත. මෙතෙක් පෞද්ගලික දේපල රැුකවල් කිරීම සහ රක්ෂණය කිරීම කළ හැම දෙයක්ම විනාශ කර ලීම ඔවුන්ගේ ¥ත මෙහෙය වන්නේය.

මෙතෙක් පැවති ඓතිහාසික ව්‍යාපාර සියල්ලම අල්පතරයේ ව්‍යාපාර නැතහොත්, අල්පතරයේ උවමනාවන් සඳහා වූ ව්‍යාපාර වේ. නිර්ධන පංතික ව්‍යාපාරය, අති බහුතරයේ උවමනාවන් සඳහා වූ අති බහුතරයේ ස්වාධීන ව්‍යාපාරයයි. සමකාලීන සමාජයේ පහලම තට්ටුව වන නිර්ධන පංතියට, තමන් පිට නැගී සිටින නිල සමාජයෙන් සමන්විත වූ උඩු ව්‍යුහය සී සී කඩ යන සේ වීසි නොකර, නැගිට සිටීමටවත් සෘජු ලෙස කොන්ද කෙලින් කිරීමටවත් නොපුළුවන.

නිර්ධන පංතිය ධනපති පංතියට විරුද්ධව කරන අරගලය හරය අනුව නොවේ නම්, රූපානුකූලව නම්, මුලදී ජාතික අරගලයකි. හැම රටකම ධනපති පංතිය ප‍්‍රථම කොටම ස්වකීය ධනපති පංතිය සමග ගනුදෙනු බේරා අවසන් කළ යුතුය.

නිර්ධන පංතියේ සංවර්ධනය අරභයා වූ ඉතා හොඳ අවධි විස්තර කිරීමේදී, දැනට පවතින සමාජය තුළ අඩුවැඩි වශයෙන් ආවරණය වූ රටවැසි සිවිල් යුද්ධය, විවෘත විප්ලවයක් බවට පෙරලෙන අවස්ථාවක් දක්වා, ධනපති පංතිය ප‍්‍රචණ්ඩ ලෙස බලයෙන් පහ කර දැමීමෙන් නිර්ධන පංතියේ ආධිපත්‍යය සඳහා පදනම් දැමීම දක්වා අපි සටහන් කළෙමු.

අප දැනටමත් දැක තිබෙන පරිදි, මෙතෙක් හැම සමාජක‍්‍රමයක්ම පදනම් වී තිබෙන්නේ පීඩක සහ පීඩිත පංතීන් අතර වූ ප‍්‍රතිවිරෝධතාවයන් අතරය’ එහෙත් කිසියම් පංතියක් පාගාගෙන සිටීමට නම් එම පංතියට යටත් පිරිසෙන්, තම වහල් ජිවිතය පවත්වාගෙන යාමට ප‍්‍රමාණවත් වන තත්වයන් පීඩක පංතිය විසින් සහතික කළ යුතුය. ප‍්‍රවේනිදාස ක‍්‍රමය පැවති කාලයේදී, ප‍්‍රවේනිදාසයා නාගරික සමාජයේ - කොමියුනයේ සමාජිකයා දක්වා ඉහල නැග්ගේය. එලෙසම රදල පරමවාදයේ වියගසට යටත් වී සිටි සුළු ධනපතියා ධනපතියා දක්වා දියුණු වීමට සමත් විය. එහෙත් එයට පටහැනිව, සමකාලීන කම්කරුවා කර්මාන්තයේ ප‍්‍රගමනයන් සමග ඉහල නොයය’. තම පංතියේ පැවැත්මේ තත්වයන්ටත් වඩා පහලට ඇද වැටෙයි. ඔහු අන්ත දිළිදු බවට පත් වෙයි. දරිද්‍රතාවය ජනගහනයටත්, ධනයටත් වඩා සීඝ‍්‍ර ලෙස වර්ධනය වෙයි. සමාජ ආධිපත්‍යය උසුලන පංතිය වශයෙන් තවදුරටත් පැවතීමටත්, තම පංතියේ පැවැත්මට අදාල වූ තත්වයන් මුළු මහත් සමාජය මත සියල්ල මැඩ පවත්වන අනුක‍්‍රමික නීතියක් ලෙස පැනවීමටත් ධනපති පංතියට නොහැකි බව ඉතා පැහැදිලි ලෙස පෙනේ. ධනපති පංතියේ පාලනයට සුදුසු නොවන්නේ සිය වහලාට ඔවුන්ගේ වහල් තත්වය යටතේවත් ජිවත් වීමේ තත්වයන් සහතික කිරීමට එය අපොහොසත් වන බැවිනි. ඔවුන්ගෙන් යැපෙනවා වෙනුවට, ඔහුට යැපීමට සිදුවන තත්වයකට ඔහු පත්වීම වලක්වාලීමට එයට නොහැකි බැවින් සමාජයට තවදුරටත් ධනපති පංතිය යටතේ ජිවත් විය නොහැකිය, එනම් එහි පැවැත්ම සමාජයට තවදුරටත් නොගැලපේ.

ධනපති පංතියේ පැවැත්මට සහ එහි ආධිපත්‍යට අවශ්‍ය කොන්දේසිය නම්, පුද්ගලයන් කීප දෙනෙකු අතර ධනය සමුච්චය වීමත් ප‍්‍රාග්ධනය සම්පාදන වීම සහ එහ වැඩිවීමත් ය. ප‍්‍රාග්ධනය පැවැත්මේ කොන්දේසිය නම් වැටුප් ශ‍්‍රමයය. වැටුප් ශ‍්‍රමය මුළුමනින්ම රඳාපවතින්නේ කම්කරුවන් අතර පවතින තරගය මතය. ධනපති පංතිය ව්සින් අනිච්ඡුානුගතව වර්ධනය කරන කර්මාන්තයේ ප‍්‍රගමනය කම්කරුවන් අතර තරගයෙන් පැන නගින අසමගිය, වෙනුවට ඔවුන්ගේ සමගි සන්ධානයෙන් පැනනගින විප්ලවීය සමගියක් ඇතිකරලයි. එබැවින් සමකාලීන මහා කර්මාන්තයේ සංවර්ධනය ධනපති පංතිය නිෂපාදනය කරන නිෂ්පාදිත භාණ්ඩ අයත් කර ගැනීමේ පදනම වී ඇති අත්තිවාරම එහි මුලින්ම හාරා දමයි. එබැවින් ධනපති පංතිය අන් හැම දේටම වැඩියෙන් නිපදවන්නේ තම මිනීවලවල් හාරන්නන්ය. ධනපති පංතියේ වැටීමටත්, නිර්ධන පංතියේ ජයග‍්‍රහණයත් එකසේ නොවැලැක්විය හැකිය.

II. නිර්ධනයෝ සහ කොමියුනිස්ට්වාදියෝ Editing...[සංස්කරණය]

III. සමාජවාදී සහ කොමිනියුනිස්ට්වාදී සාහිත්‍ය Editing...[සංස්කරණය]

1. ප‍්‍රතිගාමී සමාජවාදය Editing...[සංස්කරණය]

(අ) රදල සමාජවාදය Editing...[සංස්කරණය]

(ආ) සුළු ධනපති සමාජවාදය Editing...[සංස්කරණය]

(ඇ) ජර්මන් හෙවත් සැබෑ සමාජවාදය Editing...[සංස්කරණය]

2. ගතානුගතික හෙවත් ධනපති සමාජවාදය Editing...[සංස්කරණය]

3. විවේචක - මනෝරාජික සමාජවාදය සහ කොමියුනිස්ට්වාදය Editing...[සංස්කරණය]

IV. විවිධ රටවල විරුද්ධ පක්ෂ සම්බන්ධව කොමියුනිස්ටිවාදීන්ගේ ස්ථාවරය[සංස්කරණය]

දෙවැනි කොටසින් කරන ලද පැහැදිලි කිරීමෙන් ඉක්බිතිව දැනට පිහිටුවා ඇති කම්කරු පක්ෂ එනම් එංගලන්තයේ චාටිස්ට්වරුන් සහ උතුරු ඇමෙරිකෙවි ඉඩම් ප‍්‍රතිසංස්කරණවාදීන් කෙරෙහි කොමියුනිස්ට්වාදීන්ගේ ආකල්පය කෙබඳුද යන්න අවබෝධ කරගත හැකිය.

කම්කරු පංතියේ ක්ෂණික අරමුණු ඉටුකර ගැනීමටත්, ක්ෂණික අයිතිවාසිකම් හා උවමනාවන් ක‍්‍රියාත්මක කර ගැනීමටත් සටන් කරන කොමියුනිස්ට්වාදීන් අද්‍යතන ව්‍යාපාරය කරගෙන යාමේදී, අනාගතය සඳහා ද සටන් කරති. ප‍්‍රංශයේ කොමියුනිස්ට්වාදින් ගතානුගතික සහ රැඩිකල් ධනපති පංතියට විරුද්ධව, සමාජප‍්‍රජාතන්ත‍්‍රවාදීන් සමග එකතුවෙති. එහෙත් එසේ කරන්නේ විප්ලවවාදී සම්ප‍්‍රධයේ සිට පැවති එන වාග් පාඨ සහ මායා මත විවේචනය කිරීමේ අයිතිය ප‍්‍රතික්ෂේප නොකරමිනි.

ස්විට්සර්ලන්තයේ කොමියුනිස්ට්වරු රැඩිකල්වාදීන්ට ආධාර දෙති. එහෙත් එසේ කිරීෙමිදී එම පක්ෂය එකිනෙකට ප‍්‍රතිවිරෝධී කණ්ඩායමි වලින් සෑදී තිබෙන බවත්, කොටසක් ප‍්‍රංශ ශෛලය අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදීන් බවත්, අනික් කොටස රැුඩිකල් ධනවාදීන් බවත් අමතක නොකරති.

පෝලන්තයේ ජාතික විමුක්තිය සඳහා ප‍්‍රධානතම කොන්දේසි වශයෙන් කෘෂික විප්ලවයක් ඇති කළ යුතු යයි තරයේ ප‍්‍රකාශ කරන පක්ෂයට, 1846 ක‍්‍රාකොවු කැරැල්ල 40 ඇතිකළ පක්ෂයට කොමියුනිස්ටිවරු ආධාර කරති.

ජර්මන් ධනපති පංතිය, නිරපේක්ෂ රාජාණ්ඩුවටත්, රදළවාදී ඉඩම් හිමියන්ටත්, ප‍්‍රතිගාමී අවරසිකයින්ටත් විරුද්ධව විප්ලවවාදී ලෙස ක‍්‍රියාකරන හැම විටම ජර්මන් කොමියුනිස්ට්වරු එම පංතිය සමග එකතුවී සටන් කරති.

එහෙත් ධනපති පංතිය සිය ආධිපත්‍යයත් සමගම අනිවාර්්‍යයෙන්ම ඉදිරිපත් කළයුතු සමාජයික සහ දේශාපාලනමය කොන්දේසි ජර්මන් කම්කරුවන් ධනපති පංතියට විරුද්ධව මෙහෙයවන අවි ලෙස ක්ෂණිකවම පාවිච්චියට ගැනීම සඳහාද, ජර්මනියේ ප‍්‍රතිගාමි පංතීන් ඇද වැටුනු වහාම ධනපති පංතියට විරුද්ධව සටන අරඹාලීම සහතික කරනු සඳහාද ධනපති පංතිය සහ කම්කරු පංතිය අතර ඇති ප‍්‍රතිඝතිකතාවය පිළිබඳ වඩාත් පැහැදිලි වැටහීමක් කම්කරු පංතිය තුළ ඇතිකරවාලනු පිණීස ඔවුහු එක මොහොතක්වත් අපතේ නොයවති.

ජර්මනිය යුරෝපයේ වඩාත් දියුණු තත්ත්වයක් යටතේ පවතින නිසාත්, එංගලන්තයේ 17 වන සියවසරේදී ද, ප‍්‍රංශයේ 18 වන සියවසරේද සිටි නිර්ධන පංතියට වඩා ඉහමත් ලෙස දියුණු වූ නිර්ධන පංතියක් සහිතව සිදුවීමට යන ධනපති විප්ලවයකට ජර්මනිය ආසන්නවී ඇති නිසත්, තම අවධානය ප‍්‍රධාන වශයෙන් ජර්මනිය කෙරෙහි යොමු කරති. එමෙන්ම ජරිමනියේ ධනපති විප්ලවය ඉන් ඉක්බිතිව කත්ෂණිකව ඇතිවිය හැකි නිර්ධන පංති විප්ලවයක ප‍්‍රාරම්භයක් විය හැකි බැවිනි.

එක් වදනකින් පවසතොත් සෑම රටකම සිටින කොමියුනිස්ට්වාදියෝ ඒ ඒ රටවල දැනට පවතින සාමජයික සහ දේශපාලනමය ක‍්‍රම වලට විරුද්ධව විප්ලවවාදී සෑම ව්‍යාපාරයකටම ආධාර දෙති.

මේ හැම ව්‍යාපාරයකම දේපොල පිළිබඳ ප‍්‍රශ්නය, එම අවධියේදී එය අඩු හෝ වැඩි හෝ වශයෙන් දියුණු ස්වරූපයක් ගත්තද ඒවා සියල්ලකම ප‍්‍රථම ප‍්‍රශ්නය ලෙස ඉදිරිපත් කරති.

අවසාන වශයෙන් සියලූ රටවල ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂවල සමගියක් සහ එකඟතාවයක් ඇති කරවනු පිණිස හැම තැනකදීම කොමියුනිස්ට්වරු පරිශ‍්‍රමයක් දරති.

සිය අදහස් හා අරමුණූ සැඟවීම කොමියුනිස්ට්වාදීහු පිළිකුල් කරති. දැනට පවතින සමාජීය තත්ත්වයන් ප‍්‍රජන්ඩකාරී ලෙස බිඳ හෙලීමෙන් පමණක් සිය අරමුණු සපුරාලිය හැකි බව ඔවුහු ප‍්‍රසිද්ධියේම පවසති. කොමියුනිස්ට්වාදී විප්ලවයක් ඉදිරියේ පාලක පංතීන් බියෙන් සැළෙත්වා. ස්වකීය විලංගු හැර නිර්ධනීන්ට නැති වීමට වෙන කිසිවක් නැත. දිනාගැනීමට ලෝකයක් ඔවුන්ට ඇත්තේය.

                                                                                                                                     සකල දේශවාසී නිර්ධනයිනි එක්වව්!

ආශ්‍රිත සැබැඳි[සංස්කරණය]

කාල් මාක්ස්, ෆෙඩ්රික් එංගල්ස්, වී අයි ලෙනින්, ජෝෆප් ස්ටාලින් සහ මාඕ සේතුං යන අය විසින් රචිත කෘති සහ නිර්ධනපංති සාහිත්‍යය කියැවීමට

කොමියුනිස්ට් ඩිජිටල් පුස්තකාලය (සිංහල බසින්) - LiberationBase

මාක්ස්වාදීන්ගේ අන්තර්ජාල ලේඛණාගාරය

පෙයර්බාග් තිසීසය [Theses on Feurbarch [PDF], 1845]

කොමියුනිස්ට්වාදයේ මූලධර්ම[Principles of Communism [PDF], 1847]

කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය [ Manifesto of the Communist Party [PDF - 250kb] 1848]

සමාජවාදය - මනෝරාඦ්‍යයෙන් විද්‍යාවට [ Socialism: Utopian and Scientific, 1880 1 PDF = 650kb]