සැවුල් අසුන් පවත්-20

Wikibooks වෙතින්

සැවුල් අසුන් පවත්-20[සංස්කරණය]

191. පෙළ:- මහගු, ඉඳුනිල් ඉඳුවරන් රඟ දිළෙන, සුමන සුර රජුගෙ දිගු නිල් නුවන් යුග, නිතින සව් සතන් වෙතැ එක රඟ පතළ කුලුණුගඟ සරන සොඳුරු මින් යුවළෙකි.

(මහත් අගය ඇති ඉඳු නිල් මිණි, මානිල් යන දැය සෙයින් දිළෙන්නා වූ සමන් දෙව් රජුගෙ, දික්වූ, නිල් පැහැ දෑස ඇම විටැ සියල් සතුන් කෙරේ එක් සේ පැතුරුණු මහ කුලුණු ග‍ඟේ හැසිරෙන, මනා වූ මස්හූ දෙදෙනෙකි).

මහගු = මහ අගු. ගඟ = ගඟැ.

පිරිමි බවට ඇස්හි පුළුල මිසැ දිග හොබනේ නො වේ. එ හෙයින් ‘දිගු නිල් නුවන්’ යනු මෙ තැනට නිසි යි නො කියැ හැකි. ඉඳුනිල් ඉඳුවරන් රඟැයි කී පසු ‘නිල්’ යන්න යෙදීම ද වැඩියෙකි.


192. පෙළ:- ලොවැ සත් සතන් කොඳ නඳ කළ තරිඳු යුත, නිසි සොමි ගුණ නුමුත, සිරිමත් සුරනිඳු ගෙ, ගහනත දෙ පස සුලකළ, යහපත් දෙබැම ගොබින් යුගපත් රඹ පැළෙකැ සිරි ගත.

(ලෝ සතුන් ගේ සිත් නැමැති කොද මල් පුබුදු කළ සඳ බඳු, සුදුසු වූ සොමිගුණ තොර නුවූ, සුබ ගුණයෙන් යුතු, දෙව් රජු ගේ මනා වු නැහැය, දෙ පැත්ත නිසිසේ සැරැසුවා වූ බැම දෙක නැමැති කොළ දෙකක් ඇති ගොබයෙන් හොබන කෙසෙල් පැළයෙකැ හැටිය ගත්තේ යි).

සිතන අරුත යොදන වදනින් දෙනවා ද යනු ‍ෙනාබලා කළ පබදෙකි.

‘තරිඳු යුත’ යි කී පසු ‘සොමිගුණ නුමුත’ යන්නක් හෙළීම අග මුල නො දැන කරන්නෙකි. ‘සිරිමත්’ යනු යොදා ඇත්තේ ‘දැක්මෙන් සෙත සැලැසෙන’ යන අරුත දෙන්නට යි. ‘ගහනත දෙපස සුලකළ’ යනු ද නො සිතා යොදන ලද්දෙකි. දෙබැම ඇත්තේ කොහි ද යනු ත් ‍ෙනා සිහි වූයේ උවමට සිත ගොස් පැවැති හෙයිනි. ‘ගොබින් යුත’ යන්න තම සිතේ වූ උවම සිහිනෙන්


යෙදුවා මිසැ තමා මැවූ උවමෙකැ සැටි විමසා බැහුවා නො වේ. නැහැය කෙහෙල් පැළයේ කඳ යි, දෙ බැම දෙ පත යි. ඉතින් ගොබය කීමෙක් ද?

‘සදන ලේ ළ‍ෙගාබ

නළලැතැ බැම ලේ දෙපත්

වැනුම් කවර ගහනත

මනහර රඹ පුවළ හළ’ (ක. සි. v. 20) යන්නයි මේ කීයේ. මේ වරද මීට පසු ද මේ කිවියන් විසින් කරන ලද බව දක්නට ලැබේ. (කුසදා. 199) එ තැනැදී, මෙ ද, මෙහි මැ 190 වැන්නද එකට ඇඳා ඇති හෙයින් මොවුන් ගේ උවම් මැවීම පැරැණි ගෙබිතු මැටි අන අනා පවුරු බැඳීමක් බඳු බව දත හැකි.


193. පෙළ:- සුමන දෙව් වුවන දසන දිමුතු මුතු, හස තරහින් දිමුතු පැහැදුළ දසන වසන පබළ පෙළ යුතු, සුර නරන් නදන වදනම සතත පිරි සමුදුර විලස් ගත.

(සමන් දෙව් රජු ගේ මුව ගබ, දත් නැමැති) දිළිසුම සහිත මුතු ඇති, සිනාව නැමැති රළින් බැබැළීම වන, පැහැයෙන් දිළී තොල් නැමැති පබළු - කොරල් - පෙළ ඇති, දෙව් මිනිසුන් තුටු කරන වදන් නැමැති අමාව සියලු කල්හි පිරි සයුරේ - මහ මූදේ - සබාව ගත්තේ යි).

දැන් දැන් රාලහාමින් ගේ පැදි කුඩා ළමයන් උන් හිටි හැටියේ පබද කෙරෙමින් ගයන පැදීමෙන් සිතු අරුත් දිවැසින් දැකැ දත යුතු පබඳ බවට පත්වන සේ පෙනේ. දැනුත් ‘හිටිවන කවියෝ’ මේ හැටි පබද කෙරෙති.

‘දසන දිමුතු මුතු, හස තරඟින් ‘දිමුතු’ යනු කිවි බසට නො යෙදේ. ‘සුරනරන් නඳන වදන් අම’ යන තැනැ සුරනටත් නරනටත් නදන වන්නේ වදන් පමණෙකි; ‘අම’ නරනට නදන වතොත් ඒ නිකම් බසින් පමණයි. නරෝ අම නො දකිත්. නුබුදිත්. අම පිරි

සමුදුරු අසන්නට නැති. කිරිමුහුදේ අම වූ බවක් යෙති. එහෙත් එ මූද ද අම පිරි එකෙක් නොවී කිරි පිරි එකක් මිසැ. මෙහි ‘වුවන’ යනු යොදා ඇත්තේ, මුවගබ අඟවන සදහා බව පෙනේ.

වදනම = වදන් අම. දසන වසන (දසන් වැස්ම- තොල)


194. පෙළ:- සිරි සරසවි කෙළින රනොවිලියුරු සොබන, මිණි තෝඩු බබළන සුරවර යුග සවන, තුගුතර අඳුන් ගිරිකුළු යුග පසැ දිලෙන, පැහැසර ළහිරු යුවළෙක් ඇත්නම් එ මෙන.

(සිරි කත යැ සරසවි ළද යැ යන දෙදෙන කෙළෙන රන් උන්සිල්ලා වැනි වැ හොබනා මැණික් තෝඩු බබළන්නා වූ, දෙව් තුමා ගේ කන් දෙක ඉතා උස් අඳුන් ගිරි මුදුනක් දෙපැත්තේ පැහැයෙන් සරුවූ බාළ හිරු මඬල දෙකක් ඇත්නම් අන්න ඒ හැටියි).

දෙසවන ළහිරු මඬල බඳු කොටැ පැවැසීම එතරම් සුදුසු නො වෙයි. රන් ඕවිලි වැනියි කීම නම් සුදුසු යි. ළහිරු මඬල ‘පැහැසර’ යි වෙසෙසීම ද සුදුසු නො වේ.

‘මනහර සදවලා පෙළ කෙළවරැ පෙනෙන

පැහැසර ල සද යුවළෙක් ඇත්නම් එ මෙන’(සැළ.) යන්න ඇති ‘පැහැසර’ යනු සලකායි මෙ හිදු එ යොදනට ඇත්තේ.

රනොවිලි = රන් ඕවිලි (රනෝවිලි යි වූ පසු විරිත නිසා ‘‍රනොවිලි’ යි ලුහු කැරිණි).


195. පෙළ:- සුරිඳු කර, දිගු තර සුරතැගිලි දළු, නිය කුසුම් සර, පියකර සුනිල් මිණි අබරණ බමර රැඳි, නිතොර සුර නර නදන කැරැ සව් සිරි දෙන, සුර තුර අතු විලස කියෙලියැ.

(දෙව් රජු ගේ අත්, ඉතා දික් තද රතු, ඇඟිලි නැමැති දළු ඇති, නිය නැමති මල් ගහන ඇති, පියකරුවු නිල් මැණික් පළදනා නැමැති බමරුන් රැඳී ඇති, දෙවියන් මිනිසුන් තුටු වන පරිදි තිතින්, සියලු සැපත් දෙන දෙව් රුකේ අතුවලැ හැටි පළ කෙළේ යි)-

සුරතැඟීලි = සුරත් ඇඟිලි.


196. පෙළ:- මෙ සුරිඳු ගෙ නිසි විපුල් පුළුලුර මඩල, සුනිල් වසා රොද නිල් සෙවල ගැවැසුණු, ළකල් සුරඹ නෙත් කැන් මිහිලොල කෙළෙන, සිහිල් කුලුණඹින් පිරි මනකල විලෙකි.

(මෙ දෙව් රජු ගේ සුදුසු පමණ‍ට මහත් වූ පුළුල් උර තලය හෙවත් ළැම පෙදෙස තද නිල් පැහැ වසා රෝම නැමැති නිල් සෙවල ගැවැසුණු, හිත ඇදගන්න: සුලු දෙව් ලියන් ගේ ඇස්හි කැල්ම නැමැති බමරුන් කෙළිනා, සිසිල් වූ කරුණා ගුණය නැමැති දියෙන් පිරුණු සිත් අදනා විලෙකි).

පුළුලුර = පුළුල් උර. කුලුණඹින් = කුලුණු අඹින්.


197. පෙළ:- පැහැනද, අනැගි නව මිණි ගනරනින් කළා පැහැසර ඉණසැද වොරැඳි, නිසි පුළුලුකුළ, සුරරද තුනු කලිඳු ගහ සුලකළ, පුවළ, මනනද, රුවන් වැලිතල විලස පළ කළ.

(පැහැයෙන් රැඳුණා වූ, අගය පමණ කළ නොහැකි නව රුවනින් ද, ගත රනින් ද කළා වූ පැහැයෙන් සරුවූ, මෙවුල්දමින් බබළන, සුදුසු පමණ‍ට පුළුල් වූ උකුළ, දෙව් රජුගේ සිරුර නැමැති යමුනා නදිය මනා වැසැරැහු, මහත් වූ, සිත් තුටු කරවන මැණික් වැලි තලයෙකැ සැටි දැක්වූයේ යි).

පුළුලුකුළ = පුළුල් උකුළ. පුළුලුරමඩල (196) ට සේ මැ පුළුලුකුළට ද ‘නිසි’ යන වෙසෙසුන යොදා ඇති මේ ‘නිසි’ යන්න:-

‘නිසි පුළුලුකුළ රිය සකයුරු තිසර තන’ (සැළ) යනු නිති කටට ඊමෙන් යොදන්නට සිදුවූ බව පෙනේ.


198. පෙළ:- තිනයන දළ නයන, යුග කෙළ රිවි විලස වැජැඹෙන, පුවළ තෙදැති මෙ සුමන සුරිඳු ගෙ, පැහැසර ලකළ දෙවටොර දිය විමන උසුලන ඉඳුනිල් ටැම් සහළ සිරි ගෙන දිළෙයි.

(මෙහෙසුරු ගේ නළල් ඇස, කප අගැ හිරු ද මෙන් වැජැඹෙන්නාවූ මහත් තෙද ඇති මෙ සමන් දෙව් රජු ගේ පැහැයෙන් සරු වූ, සැරැසුම් සහිත කලවා දෙක ලොව නැමැති විමන දරා සිටිනා, ඉඳුනිල් මැණික් කණු දෙකෙකැ හැටි ගෙනැ බබළ යි).

මෙහි වෙසෙසුන් යොදා ඇත්තේ විරිතට පිරිමසිනා නියා මිසැ අරුතට වැඩක් වන අයුරු සලකා ‍ෙනා වේ. ‘ලකළ දෙවටොර’ යන්නෙන් සරසන ලද කලවා දෙක යනු ඇඟැ වේ. කලවා සැරැසීම පිණිසැ පැහැ තැවැරීම හෝ සමේ රූ කෙටීම ‍හෝ කළ යුතු. එ හැටි සිරිත් මේ දිවේ පෙරැ පැවැති බවක් අසන්නට නැති.

‘පැහැසර’ යන වෙසෙසුන මෙ වැනුමේ බෙහෙවින් දක්නා ලැබේ.


199. පෙළ:- දස දිග පරසිදු වූ සුමන සුර රජුගෙ, පැහැසර සොඳුරු මොනර කර රහ දිළෙන, නොමින රුවැති, සසිලිටු, කොමළ යුග දහ දකින සුරඹ මන නෙත දඟ කරවා ය.

(දස අතේ පරසිදු වූ සමන් දෙව් රජු ගේ, පැහැපත්, මනාවූ, මොනර කර මෙන් දිළෙන, අපමණ රුව ඇති, සිලිටි බැවින් හෙවත් මට බැවින් යුතු, මෙළෙක් වූ කෙංඩ දෙක එ දක්නා දෙව් ලියන් ගේ සිතත් නෙතත් බදව යි).

දසදිග = දස දිගැ, සුරඹ = සුර අඹ. දකින = දකින: (දක්නා).


200. පෙළ:- සුරවර සරණ තල, තරසර සුනිල් මිණි අබරණ බිඟුන් රැඳි, දිලි දිගුතර සුරතැඟිලි දල පෙළින් සැදි, සුර නරවර තිසර කැල නිසැදි සෙව්නා, රත කමල සිරි ලදී.

(දෙව් රජු ගේ පාද තලය, කැලුම්න් සරු තද නිල් මැණික් පළඳනා නැමැති මී මැස්සන් රැඳි සිටිනා -195-වූ බබළන ඉතා දික් රත් ඇඟිලි -195- නැමැති පත් පෙළින් සැදුණා වූ, දෙව් රජුන්, නර රජුන් නැමැති හසුන් නිති සැදි ඇසුරු කරන, රත් නෙළුම් මලේ සැටි ලද්දේයි).

"https://si.wikibooks.org/w/index.php?title=සැවුල්_අසුන්_පවත්-20&oldid=4123" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි