පරිශීලක:Pubudu Gamage
මිනීමැරුමක්.. එම මරණයට විරුද්ධව සේනා සංවිධානය වෙමින් පවතී.
එහෙත්...මදක් සිතන්න.ඔබ වක්‍රාකාරයෙන් නැවතත් ඉල්ලා සිටින්නේ මරණය ම නොවේද.
මරණය මරණය ම ය. මිනීමරුවන් මිනීමරුවන් මය. එහි කිසිදු තර්කයක් නොමැත. එහෙත් අප එම මිනීමැරුමට විශේෂණ පද එක් කරමින් එය "ජාතිවාදී මිනීමැරුමක්" බවට පත්කොට තිබේ.
යම් හෙයකින් මෙම ගැටුම සිදු වූයේ සිංහල දෙපිරිසක් අතර නම් එය තවත් එක් මිනී මැරුමක් පමණි. එසේත් නැත්නම් මෙම ගැටුම ඇති වූයේ මුස්ලිම් දෙපිරිසක් අතර නම් එය හම්බයන්ගේ ඇනකොටා ගැනීමකි. අප සිතන්නේ එසේ ය.එහෙත් අවාසනාවකට මෙම මිනීමැරුම සිදුවී ඇත්තේ සිංහල හා මුස්ලිම් යන ජන කොටස් දෙක අතරය. එවිට එය "තවත් මිනීමැරුමක්" නොවන්නේය. අහෝ! අපගේ අදහස් ක්‍රියාත්ම වන ආකාරය නම් හරිම පුදුම සහගතය.
"නීතිය" ක්‍රියාත්මක විය යුතු ප්‍රශ්නයක් හමුවේ "ජාතිය" ක්‍රියාත්මක වීමේ භීතියෙන් මුළු රටම දැවෙයි.. පරිස්සම් වෙන්න.. යහපත් වෙනසක් ඇති කිරීමට මෙන්ම අයහපත් අරගලයක් ඇති කිරීමට ද අවශ්‍ය වන්නේ එක් සිතුවිල්ලක් පමණකි.
උපතට විරුද්ධ උන් වඳ පෙති අතට ගනිද්දි මරණයට විරුද්ධ උන් ජාතිවාදයට පක්ෂ ව අවි ආයුධ අතට ගනිති . කෙසේ හෝ මේ දෙකෙන්ම නැති වන්නේ ජීවත් වන්නවුන්ට ඇති මහ පොළොවේ අයිතියයි. මහපොළොව අසීමාන්තිකය.. එහි ඉමක් කොනක් නොමැත. ජීවිතය ප්‍රාර්ථනා කරන උන් ඒ බව හොඳින් වටහාගත යුතුය.
මෙරට ඇතැම් නායකයන් සූක්ෂම ආකාරයෙන් තම පටු දේශපාලන කතා හරහා ජන වාර්ගික අරගලයක් පිළිබඳ නිතරම සඳහන් කරයි.ඒත් මේ කියන ජනවාර්ගික අරගලය සත්‍ය වශයෙන්ම පවතින්නේ කොහේද? එය සත්‍ය වශයෙන්ම පවතින්නේ උන්ගේ අරමුණුවල නොවේද?
ඔව්. සත්‍යය වශයෙන්ම එවැනි අරගල පවතින්නේ අපේ ජීවිත වලින් ගොඩාක් දුර ඈත ය. කොටින්ම කියනවානම් එය දෙමාපියන් හා දරුවන් අතර ඇතිවන අරගලය ටත් වඩා ගොඩාක් දුර ය. සහෝදර සහෝදරියන් අතර ඇතිවන අරගල වලටත් වඩා ගොඩක් දුර ය. නැන්දම්මා හා ලේලිය අතර ඇතිවන සදාතනික අරගලයටත් වඩා එය තව තවත් දුරය. එහෙත් ෆේස්බුක් වැනි සමාජ ජාල හරහා ගොඩක් දේවල් වෙනස් වෙමින් පවතී.එය අපිට දුර සිටින ඇතැම් මිනිසුන් සමීප කරනවා සේම දුර තියෙන ඇතැම් සූක්ෂම ප්‍රශ්න පවා අපි හිතනවාටත් වඩා වැඩි වේගයකින් අපට සමීප කරවයි.
සත්‍ය වශයෙන්ම මෙරට වාර්ගික අරගලයක් පවතී.එය පවතින්නේ සිංහල, මුස්ලිම් ,දෙමළ ,බර්ගර් වැනි ජන කොටස් අතර නොවේ. ඇත්තෙන්ම එය පවතින්නේ හොඳ මිනිසුන් හා නරක මිනිසුන් අතර ය. හොඳ මිනිසුන් එකට එකතු වී නරක මිනිසුන්ට එරෙහිව මෙම අරගලය දියත් කළ යුතුය. එබැවින් යහපත් මිනිසුන්ට මෙම පණිවිඩය තේරුම් යා යුතුය. ඔවුන් සැනෙකින් ඊට විරුද්ධව නැගී සිටිය යුතුය.
පුබුදු ගමගේ- 06 - 03 - 2018