සම්බුලා ජාතකය
කොසොල් රජුගේ අග්‍ර මහේෂිකාව වූ මල්ලිකා දේවියගේ පතිව්‍රතාධර්මය පෙර දැරි කරගත් ගුණ ධර්ම පිළිබඳව දැක්වෙන කථාවකි; සම්බුලා ජාතකය.
බරණැස් නුවර විසූ බ්‍රහ්මදත්ත රජු තම සොත්ථිසේන නම් පුත් කුමරු වැඩි වියට පැමිණි කල්හි ඔහු හට යුවරජ තනතුර පවරා දී සම්බුලා නම් රාජකුමාරිකාව අගමෙහෙසිය කර දුන්නේ ය. එකී සම්බුලා කුමාරිය රූප ශෝභාවෙන් අගතැන්පත් තැනැත්තියකි. මෙසේ කල් යාමේ දී සොත්ථිසේන යුවරජුට දරුණු කුෂ්ට රෝගයක් වැලඳුණි. කෙතරම් දක්ෂ වෙදැදුරන් ගෙන්වුව ද එය සුව කළ නොහැකි වූ අතර ක්‍රමයෙන් රෝගය උත්සන්න වී ශරීරය කුණු වී ඉතා පිළිකුල් තත්ත්වයකට පත් විය. අවසන මේ සියල්ලෙන් කම්පා වන යුවරජු සියලු රජ සැප හැර වනගත වීමට තීරණය කළේ ය. එහෙත් ඔහුට තනිවම පිටවීමට ඉඩ නුදුන් සම්බුලාව ද වනයේ දී ඵලාඵල ගෙනැවිත් ඔහුව පෝෂණය කරන්නෙමි’ යි පවසා ගමනට එක් වූවා ය.
අවසන ඔවුහු වනයෙහි පන්සලක් ඉදි කරගෙන ජීවත් වූහ. සම්බුලා දේවිය සියතින් ම යුවරජුව නහවා පිරිසිදු කරමින්, තමන් ම ගොස් පලවැල නෙළා ගෙනැවිත් ඔහුව පෝෂණය කරමින්, රෝගී සිරුරෙහි විවිධ ඖෂධ වර්ග ගල්වමින් වනයේ ජීවත් වූවා ය. මෙසේ සිටිනා කල එක් දිනක් ඇය පලවැල ගෙන ඒමට වනයට ගිය කල එහි වූ දිය කඳුරැළියක් දැක ස්නානය කිරීමට සිතා එයට බැස දිය නා, වල්කලා ඇඳගෙන කඳුරැළි තෙරෙහි සිටියා ය. එවිට අහසින් ගමන් කරමින් සිටි දානව රාක්ෂයෙක් ඇයව දැක ඇගේ රූපශෝභාව කෙරෙහි ඇති වූ හැඟීමෙන් ඈ වෙත ගොස් සියලු තොරතුරු දැන රෝගී වූ යුවරජුගෙන් කවර ඵලක් දැයි පවසා තමා ඇගේ ස්වාමියා වීමට කැමති බව ප්‍රකාශ කර සිටියේ ය.
ඇය ඊට අකැමති වූ කල ඇයව ගොදුරු කරගැනීමටැ යි සිතා වහා ඇගේ අතින් අල්ලා ගත්තේ ය. එවේලෙහි සම්බුලාව මහත් සේ දුකට පත් ව තමා ප්‍රමාද වන විට තම ස්වාමියා වැරදි වැටහීමක් ඇති කරගනු ඇතැයි සිතා හඬ නඟමින් ලෝකපාලක දෙවි දේවතාවුන්ට යාඥා කළා ය. එවිට සක්දෙව් රජුගේ පඬුපුල් අසුන උණු විය. හෙතෙම පැමිණ සම්බුලාව දානව රාක්ෂයාගෙන් මුදාගෙන ඇගේ පතිව්‍රතාධර්මය පිළිබඳව ප්‍රශංසා කර නික්ම ගියේ ය.
වෙනදාටත් වඩා බොහෝ ප්‍රමාද වුව ද තවමත් කුමරිය නො පැමිණි හෙයින් සොත්ථිසේන යුවරජු ඇය වෙනත් පුරුෂයෙකු හා යාමට ඇතැයි සිතුවේ ය. යළි ඇය සිය සොර සැමියා සමඟ විත් තමාව මරා දැමීමට වුව ද ඉඩ ඇති හෙයින් හෙතෙම සැඟවී සිටියේ ය. සම්බුලාව රෑ බෝ වී පැමිණ සොත්ථිසේන රජු නො මැති බව දැක හඬන්නට වූවා ය. ශෝකය බලවත් වීමෙන් ඇයට හානියක් විය හැකි යැයි සිතා සොත්ථිසේන රජු සැඟවී සිටි තැනින් එළියට ආවේ ය. සම්බුලාව ඔහු සැඟවී සිටීමට කරුණු විමසද්දී සොත්ථිසේන රජු එතෙක් ඔහුගේ හදවතෙහි පැවති අදහස පැවසුවේ ය. ශෝකයට පත් සම්බුලාව තමාට වනයේ දී විඳීමට සිදු වුණු විපත්තිය කියා සිටියා ය. එහෙත් සොත්ථිසේනයන් එය විශ්වාස නො කළ බැවින් පැන් කළයක් ගෙන තම පතිව්‍රතාධර්මයේ බලයෙන් ඔහුට සුව වේවයි සත්‍ය ක්‍රියා කොට පැන් කළය යුවරජුගේ හිසේ සිට නමා හැරියේ ය. එවිට ම ඇඹුල් ගා මළ බැඳුණු යමක් සෝදන කල එහි වූ මලකඩ නැතිවන පරිද්දෙන් අසාධ්‍ය වූ කුෂ්ට රෝගය සුව විය.
ඉන්පසු ඔවුන් දෙදෙනා යළි බරණැසට ගිය අතර බ්‍රහ්මදත්ත රජු සොත්ථිසේන යුවරජුට රජකම දී සම්බුලාව අගමෙහෙසිය කොට අභිෂේක උත්සව පවත්වා තමන් තවුස් වෙස් ගෙන ම¼ගුල් උයනට වී කල් ගෙව්වේ ය. එසේ කල් යෑමේදී රජු කෙරෙහි සම්බුලාව පිළිබඳ ව කිසිදු සැලකීමක් නොවී ය. හෙතෙම සෙසු අන්තඞපුර ස්ත්‍රීන් සමඟ කල් ගෙවුවේ ය. ඒ හේතුවෙන් ම සම්බුලාව දිනෙන් දින රෝගී වී දුර්වල සිරුරකින් යුක්ත වූවා ය. රජගෙයින් දන් වැළඳීමට පැමිණි තවුසාණෝ මෙය දැක කරුණු විමසා තම පුතුගෙන් සිදු වී ඇති වරද දැක ඒ පිළිබඳ ව ඔහුව දැනුවත් කොට උපදේශ ලබා දුන්හ. කළ වරද වටහාගත් සොත්ථිසේන තෙමේ සම්බුලාවගෙන් සමාව අයැද ඇයට සියලු සැප සම්පත් හා රාජ්‍යය ද පවරා දෙදෙනා එක්ව බොහෝ කාලයක් දානමානාදී වූ කුසලකර්ම කරමින් සිට මිය පරලොව ගියහ.
02. ජාතක කථාකරු උපමාරූපක යොදා ගැනීමෙහිලා දැක්වූ ප්‍රතිභාව සම්බුලා ජාතකය ඇසුරින් විමසන්න.
ජාතක කථා පොතෙහි කර්තෘත්වය පිළිබඳ ව විමසීමේ දී ඉදිරිපත් ව ඇති මතවාද ත්‍රිත්වය අතුරින් වඩාත් පිළිගත හැක්කේ මෙය කර්තෘ පර්ෂදයක් විසින් රචනා කරන ලද්දක් ය යන්න යි. එහිදී මෙහි එන කථාවන් එකකට එකක් භාෂා භාවිතයෙහි ලා විවිධ වෙනස්කම් දක්වයි. එහෙත් සමස්තයක් ලෙස ගත් විට ඒ සියලු කථාවන් තුළ ශේෂ ව ඇති රසය අපූරු ය. සම්බුලා ජාතකයෙහි උපමා රූපක භාවිතය පිළිබඳව විමසීමේ දී එය මනාව ස්ඵුට වේ.
ස්ත්‍රියකගේ පතිව්‍රතාධර්මය පිළිබඳව කරුණු දක්වන සම්බුලා ජාතකයට අනුව මෙහි කථානායිකාව වන සම්බුලාවගේ ස්වාමියා වූ සොත්ථිසේන යුවරජු කුෂ්ට රෝගයක් හේතුවෙන් බොහෝ සෙයින් දුකට පත් ව ඒ හේතුවෙන් ම අවසන රජ සැප පවා අත හැර වනගත වෙයි. එතරම් දරුණු වූ මෙකී රෝගී තත්වයෙහි ස්වභාවය දක්වන කතුවර තෙමේ ඊට සුදුසු උපමාවක් යොදාගනී.
“අනුන්ට පිළිකුල්ව ගවර වළෙක්නි හුණු ගෝකුණපයක් මෙන් මෙබඳු කුණප ශරීරයෙහි පිළිකුල් ව...”
රෝගයෙහි අසාධ්‍ය ස්වරූපය හා එයින් සොත්ථිසේන යුවරජු විඳි වේදනාව කියා පෑමට මේ හැර වෙනත් සාර්ථක උපමාවක් නැති සේ ය. ඒ එය එතරම් ම උචිත යෙදුමක් වන බැවිනි. කුණු වළක වැටී ඇති කුණු වූ ගව කුණක් පරිද්දෙන් සොත්ථිසේනයන්ගේ සිරුර කුෂ්ට රෝගයෙන් ජරාවට පත් වූ ආකාරය වාග්චිත්‍ර පවා මවන සුලු ය. එය එතරම් ම යථාර්ථය හා සමීප උපමාවකි.
තව ද දානව රාක්ෂයාගෙන් මිදී යළි තම ස්වාමියා කරා පැමිණි සම්බුලාව ඔහුව නො දැක මහත් වූ ශෝකයෙන් හඬා වැටුණු ආකාරය විග්‍රහ කර ඇත්තේ මෙසේ ය.
“...ඒ සම්බුලා නම් බිසව් තමාගේ වල්ලභයා නො දැක මහත් වූ සෝක දුකින් පෙළෙන්නී යම් සේ පක්ෂිධේනුවක් තමාගේ පුතු කැදැල්ලෙහි තබා ගෝචරග්‍රහණයට ගොස් එන වේලෙහි තුඩින් ගොදුරු ගෙනවුත් කැදැල්ලෙහි දරු බිලිඳුන් නො දැක...”
තම පැටවා කැදැල්ලෙහි තබා ගොදුරු සොයාගෙන ඒමට ගොස් පැමිණි කිරිල්ලියක පැටවා එහි නැති බව දැක හඬා වැටෙනා ආකාරයට සම්බුලාව තම ස්වාමියා නො මැති සොවින් වැලපෙන බව කීම ද අවස්ථාවෝචිත ය.
ජලයෙහි පීනා යන මසුන් හා ආකාශයෙහි පියාසර කරන කුරුල්ලන්ගේ ගමන් විලාසය අපූරු ය. නමුත් එදෙස බලා සිටින්නෙකුට නිශ්චිත ව ම ඔවුන් ගමන්ගන්නේ කුමන ඉසව්වකට ද යන්න පූර්වයෙන් නිගමනය කළ නො හැකි ය. එය මෙහිදී ස්ත්‍රී ස්වභාවය කියාපෑම සඳහා උපමාවක ආකාරයෙන් යොදාගෙන තිබේ.
“ජලයෙහි ඇවිදිනා වූ මසුන්ගේ හසර මෙන් ද ආකාශයෙහි ඇවිදිනා පක්ෂීන්ගේ හසර මෙන් ද ස්ත්‍රීන්ගේ ස්වභාවය කිසි කෙනෙකුන් විසින් නො දත හැක්කේ ය.”
තව ද සම්බුලාවගේ සත්‍යක්‍රියා බලයෙන් හා පතිව්‍රතාධර්මයේ ආනුභාවයෙන් සොත්ථිසේන රජුගේ ශරීරයෙහි හටගෙන තිබූ කුෂ්ට රෝගය ක්‍රමයෙන් පහව ගිය ආකාරය දැක්වීමට යොදා ඇති උපමාව ද අපූරු ය.
“ඇඹුල් ගා සෝධන ලද තඹ මලයක් මෙන් ද පොකුරු පත හොත් දියත්තක් මෙන් ද ඒ ක්ෂණයෙහි ම සන්සිඳුණේය.”
ඉහත සඳහන් උපමාවන් හැරුණු කොට මෙහි තවත් විශාල උපමා ප්‍රමාණයක් දැකිය හැකි ය.
- තරුණ රිවි කිරණයෙන් දිලිසෙන කනකගිරි සිඛරයක් මෙන්
- සුවඳ පිඬක් සේ
- භස්මයෙන් ප්‍රතිව්ඡන්න ජාතවේදයක් පානා කලක් මෙන්
- ස්වර්ණකේයූරාභරණයන් ධරන්නා වූ මනා වූ රූ ඇති දිව්‍යාප්සරාවන් හා සදෘශ ව
- හුණු වැල්ලෙහි කඩා ලන ලද පද්මයක් පරිද්දෙන්
- පවනඹළ පල්ලවපත්‍රයක් මෙන්
- සමුද්‍රයට එතරට මෙතෙර සේ
මේ අනුව කථාකරුවාට පාඨක, ශ්‍රාවක හදවත් තුළ ජාතක කථා නිදන්ගත කිරීමෙහිලා මෙකී උපමා භාවිතය ම ඉවහල් වන්නට ඇතැයි අවිවාදයෙන් පිළිගත හැකි ය.
ලබන සතියට
මේ ලිපි පෙළ ලබන අගෝස්තු මස දක්වා පළවන අතර ඔබේ විෂය නිර්දේශය එමඟින් ආවරණය කිරීමට අපි කටයුතු යොදා ඇත්තෙමු. මෙය ප්‍රවීණ විද්වත් මණ්ඩලයක් විසින් සම්පාදනය කරනු ලබයි. ඔබේ විභාග ගැටලු හා අදහස් වෙතොත්
පුන්කලස, පත්තරේ සරසවිය, සිළුමිණ කර්තෘ මණ්ඩලය, ලේක්හවුස්, කොළඹ 10. ලිපිනයට යොමු කරන්න.