Jump to content

අසුන් කව් පවත්

Wikibooks වෙතින්

===අසුන් කව් පවත්===


සැවුල් අස්න අපේ පැරැණි අසුන් කව් පොත් පෙළේ බාල මැ එකයි. එය සෙසු පැරැණි අසුන් කව් පොත් වලින් බාල මැ වන්නේ වයසින් මැ නොවේ.ගියවුන් අනුව මැ යාම අතින් ඇර අන් කවර අතෙකින් වුවත් සැවුල් අස්න පැරණි කව් රැසෙහි ගන්නේ පහත් මැ තැනයි.


1. මියුරු, තිසර, පරෙවි,සැළ, කොවුල්, ගිරා, හස්, යන අනෙක් අසුන් කව් අතුරින් බස අතිනුත්, කව් අතිනුත්, ඉහළ මැ තැන ලැබෙන්නේ මියුරු අස්නටයි.

එළිනිසා වූ විසුළු බව ඇරුණාම එහි බස උස්යැ, රැසැයුම වියත්යැ, පැවැසුම විසිතුරුයි, කව් බව නොගැතියි. වදන් සිලුටු මැ හෝ නොවෙයි, රළු මැහෝ නොවෙයි.එ හෙයින් මැදි පණ වදනින් රැසැයුණු බව කියන්නට සිදු වෙයි.කව් අතින් ඇති වැනුම් රමණීය වෙයි, එහෙත් අති රමණිය යැයි නොකීයැ හැකි. වැනුම්හි වෙසෙසින් දක්නට ලැබෙන්නේ සැබැවි බවට වැඩියෙන් මැවුණු බවයි. අබරණ ලා සදන ලද සිරුරක් සේ, නැත්තම් මල් දම්, කොඩි, නන්වන් විදුලි පහන් බුබුළු ඈ දැඩින් විසුතුරට සරසන ලද රුකක් සේ, මවන ලද ලකරින් පියකර බවට පමුණුවන ලද අරුත් සහිත පැදි එහි බොහෝයි. එහෙත් අබරණ නුලු මනරම් රූ බඳුවූ හෝ සැබැවින් පිපිණු මලින් සැදුණු රුක් බඳු වූ හෝ හුදු පැවැසුම් එහි දු බෙහෙවින් හිඟ නොවෙයි.

‘ලෙ ව න් බැලුම් කිඳු දිගු නිල් නෙත් ලුවද

නු ව න් යුවළ මින් යුවළෙකි එහි නොබද

මෙව න් ගුණෙන් රැදි එ බිසෝ ළදුන් සොඳ

වු ව න් සහය යුත නත මිසැ වනනු කොඳ’

(මි. 19)

යනු විසිතුරු වැනුමක් බව නම් ඇත්තයි. එහෙත් එහි මැවූ බව, නන් ලකරින් සරසන ලද බව ඉස්මතු වී පෙනෙයි. එහෙයින් එය සැබැවියාවට වඩා මැවියාව පෙන්වන්නෙකි.

අලගක්කෝනාරයන් වැනීම බඳු තන්හි දී පමණ ඉක්මවා නැගී සිටුනා තුතිපත් හුරුව මියුරු අස්නේ ද ඇති.


දසි මිණි නිල් සැදැලියැ ලිය වත කමල

දැක නොමලන පුල් පියුමැයි කැරැ කුහුල

සද පිළිබිඹු තුරුසෙන් සමඟින් සකල

උදුරන ‍ෙලාබින් බට වැනි බට පියුමු අල


යනු උසස් කවෙකි. එහෙත් එහි සැබැවියාවට වැඩියෙන් මැවියාව ඉස්මතු වී පෙනේ. රුවින් යුත් ළදරුවා සිත් ගන්නේ සැබැවියාවෙනි. විසිතුරුවට සදන ලද බෝනික්කා නෙත් ගන්නේ මැවියාවෙනි.හරියට මැ අන්න එ දෙදෙනාගේ වෙනස බඳුයි සැබැවින් ගුණයමැ පානා කවෙතින් මැවූ විසිතුර මැ පානා කවේත් යන දෙකේ වෙනසත්.


2. තිසර අස්න බස අතින් මියුරු අස්නට දෙවැනි නොවෙයි.එහෙත් එහි රැසැයුම මියුරු අස්නේ රැසැයුම පමණට මැ වියත් නොවේ. පැවැසුම මියුරු අස්නේ පැවසුම පමණට මැ විසිතුරු තන් මෙහි දූ දක්නට ඇතත් එ සියලු තන්හි කව් බව ගැතියාවෙන් නොමිදුණේ වෙයි.


ළ ගි රු පියහු වස වසනතැ කරත දෙත

කෙසුරු දසක් මඳ මඳ පෑ එ පෑ පත

ත ඹු රු මුවින් සිනැහෙන ස‍ඳෙහි විල් කත

සොඳුරු සබඳ ඉන්යා ගන්නැ මාවත


යන්න පැවැසීම මැවියාවෙන් යුතු වූවද මෙහි කව් බව රමණීය වෙයි. එහෙත් ඒ පුරා ගැති වූ කව් බවෙකි.


‘දෙත දිවයුරු සරා

කර වසනත්හි විල් කල්

කෙසර දසනග තඹර

මියෙ මඳ මඳ රැ පෑ බඳ’ (ක.සි.මි)


යන්නට එය පුරා මැ ගැති හෙයිනි එසේ කියන්නට සිදු වනුයේ. තිසර අස්නේ ඇති සැබැවියාවෙන් තොර සියලු විසිතුරු අරුත් මෙ සෙයින් ගැතියාව පළ කරන්නේයි.

එහෙත් :-


‘ල ඹා දුහුල් පට වසමින් තන උඳුළ

ත බා පියේන් පිය පියනත් ගෙනැ සලෙළ

බ බා යනෙන රුසිරගනන් ගෙ සුලකළ

සු බා නෙතැදැ යව ඒයෙන් ඌරුවළ’


යන්නේ කව් බව මියුරු සදෙසේ කවර පැදියකටත් දෙවැනි නොවන්නේයි. ඒ පුරාමැ සැබැවි කවෙකි. කිසිදු ලකර පළදනාවෙකින් බර නොවූ එහි අරුත එතරම්මැ මනහරයි, එ තරම්මැ සැබැවියි, එතරම්මැ සරුයි. එහි වදන් අරුත් වැටැහෙන තැනැත්තාට ඒ ඇසෙන්නා හා මැ ඌරුවල. ඒය (ඒ දඬ) දිගේ තුරුණු ළඳුන් යන හිටිත්, ඔවුන් ගේ ඇඳුම් හැදුමේ හැටිත් මනසේ ඇදී පෙනෙයි.


3. පරෙවි අස්නෙ සියල්ල මියුරු තිසර දෙ අස්නේ සියල්ලට බාලයි.එහි බස එතරම්මැ උසස් නොවේ, සැලැකියැ යුතු පමණට පහත් ද නොවේ. රැසැයුමෙහි වෙසෙස් හොදෙක් හෝ නොහොදෙක් හෝ නැත්තේයි. කව් බව සියලු අතින් ගැතියි. අරුත් ‍වෙසෙසින් සැබැවියායෙන් තොරයි. ‘ජානකී හරණය’ ඈ පොත්හි පැදි එළුවට නැගීමෙන් බදනා ලද පැදියි එහි වැඩි. ඇතැම් සකුවදන්හි ‘හුණ අනිටු’ අරුත් පවා සිතට නංවා ගැන්මෙන් නො සැබි තැනට පත්වන පැදි පවා පරෙවි අසුන් කරුවා විසින් කරන් ලද බව පෙනේ. එහෙයින් එහි, (වීදාගම හිමියන් ගේ බසින්)


‘අයකු පිළිකුල් වන

අයකු සිතැරා වඩවන

පැදි දක්නට ඇත්තේයි.

සුගන්ධිගර්භං මූකලී කෘතං ප්රිනයා

පතිඃ ප්රරයත්නාදිව කත්යසකාමුඛම (ජාන.හ.)


යන තන්හි ‘කන්යරකාමුඛම්’ යනු ඇසෙන්නා හා සිතේ මැවුණු අනෙක් අරුතක් නැගිමෙන් ‘පත් නු අනග රස අහනකට’ (ප .102) ඈ විසින් හිතුමගේ, අරුත් යොදා සකු සිලෝ එළුවට නැගු තන් ද එහි දක්නට ලැබේ.

එහි සියලු වැනුම් ගැති බැවින් නොමිදුණේයි කියැ නොහැකි වෙතත් වැනුම් වලින් වැඩි හරියක් අනුන් ගැති පබඳ බව තම කීයැ හැකි. එහෙත් :-


‘එතැනින් තයත විලිකුන් කෙම්වැලැ සැදුණු

සොබමන් එ ඇල් ගෙවී යෝනන් ගේ දිලුණු

පැහැසන් දසන් වරණට හෙයින් පැරැදුණු

විලසින් දිසියැ ගෙලෙවැල ලා ගෙනැ එළුණු’


ඈ තන්හි පැවැසූම ඉමනහරයි. මැවියාවෙන් පුරා නොමිදුණත් එය සැබැවියාවමැ මුල් කොටැ වන්නේයි.


4. බෙහෙවින් සැබැවි වැනුම් දක්නට ලැබෙන, මැවූ යැදුම අඩු අසුන් කව නම් සැළලිහිණි අස්නයි. එහි මැවූ ලකරින් යැදුම් ලද කව් නැත්මැයැයි නොකියැ හැකි වූවද ඒවා ඉතා අඩු යැයි කියැ හැකිවේ. එහි මැවූ ලකර ද හැකි තාක් දුරට සැබැවියාවට අසල් වන පරිදි යෙදා ඇත.


‘දි ය ක ඳ ගැඹර පිරි පුවතර මහ සයුර

මු ව ර ඳ ලෙසින් වත අගතීසි කර තඹර

ම ත න ඳ කරන මිණිගණ මෙන් දිසි එවර

පැ හැ න ද පහන් එහි මහ වේ බල මිතුර’


‘සැ දෑ ළෙන් වරණ දෙව් රද මුහුදු වුසු

සැ දෑ සහසකර එන මහවතැ සැලැසු

වි දෑ උපුල් පිළ මෙන් රත් පටින් වැසූ

සැ දෑ වලා පෙළ පැළදිගැ පෙනුණු පසු’


ඈ යෙදුම් එබඳු මැවුම් දක්වයි.

‘උපමා’ ඈ ලකර නොමැති වැ විසිතුරු අරුත් පළ කිරීම බැරි සේ සිතන් නවුනට ගුරුකමට ගන්නට සුදුසු මැ අසුන් කවයි සැළ ලිහිණි අස්න.


‘ස ලා දු ලා පියොවුරු තඹර රොත් රත

පු ලා නි ලා උපුලන් ලා ගෙනැ කනත

ක ලා පි ලා නොවැ ඇල්ගෙවී කෙළෙන ඉත

බ ලා ප ලා යව අස්වන් ගුරුළු කෙත’


‘අවට සුපිපි සපු දුනුකේ ස ල ළා න

හඬන තැනින් තැන විලිකුළු කි ර ළා න

පැසී නැමි කරල් රත් හැල් ස හ ළා න

වඩිනු මැනවි මහ වෙල මැදැ වෙ ර ළා න’


ඈ තන්හි බස වියත් වෙයි, සිලුටු වෙයි; පැවැසුම ඉතා විසිතුරු යි. කව් බව ඉහළයි, සැබැවියි, නොගැතියි; වදන් මුදුයි. අසන්නවුන් ගේ මනසේ කියන්නා මසැසින් දුටු රුව මැ සිත්තම් වෙයි පැහැදිලි වැමැ. කව් අරුත් පුරා මැ සියත් බව පළ කරයි. සැළ ලිහිණි අස්නේ වැඩි හරියක් පැදි මෙ බඳුයි.


‘ස පු ම ල් යොහොඹුලා බැදෑ වරලා මන රඟ

රොනවුල් ‍නා කුසුම් කනැ ලා කො‍ඬොල් රඟ

පැ හැ දු ල් දොඹ කැකුළු හරකැරැලා තනග

ද හ ව ල් උයන් කෙළි කෙළැ සලෙළුන් සමඟ’


මේ කොතරම් සැබැවිද, විසිතුරුද, මනරම්ද, පියකරද!


මැවූ ලකරින් මිදුණු සැබැවි අරුතක් පළ කරන කව උපතින් මැ ලත් රූමත් සිරුරක් ඇත්තකු බඳුයි. මැවූ ලකරින් විසිතුරු වූ කව යක් නැටුමකට හෝ උඩරට නැටුමකට හෝ නො එක් විසිතුරු සැදුම්ලා පෙනෙන එකකු ගේ රුවක් බඳුයි.


5. කොවුල් අස්න මියුරු, තිසර, සැළ, යන අසුන් කව් පමණට උසස් නුවුවත් පරෙවි අස්නට වැඩියෙන් සිලුටු වන්නේයි. එහි දු වෙසෙසින් දක්නට ලැබෙන්නේ මැවියාවේ ලකුණුයි. එහෙත් :-


‘හොබවමිනේ සේ පටපයි තුළේ රැඳී

පබළුමෙනේ ගත රත් පැහැයෙන් වොරැඳි

වෙසෙසවනේ තැන තැනැ මකුළු දැල් රැඳී

මගසැපෙනේ මූ කළ ඉඳු කැන් සුසැදි’


ඈ සියත් බව පළ කරන සැබැවි කව් එහි දු නැත්තේ මැනොවේ


‘ර ළි න් දමන සිඳු සක් මුතු වෙලළ මුව

දො ළි න් රැගෙනැ කෙළනා පැටි ලිය සුමුව

ප ළි න් පළ මැ ඉඳ නරඹා සිත් යොමුව

ති ළි න් දිනත වදු ලැක්මට තොටගමුව’


ඈ තන්හි දු සියත් බව හා සැබැවියාවත් ඉස්මතු වී පෙනෙයි. මෙයින් පෙනී යන එක් කරුණක් නම් අපේ කිවියන් සියත් බව රක්මින් පබඳ කිරීමේ සමත් වැසිටියැ දීත් ගැතියාව ‘ආරක්’ හැටියට පැවැත්වූ බවයි. පෙර ඇදුරන් පැවැසූ දැය මැ පුන පුනා නන් අයුරින් පැවැසීමෙන් තමන්ගේ ඇසු පිරූ තන් ඇති බවත්, තම පබඳ පඩී වදනින් සරු බවත් පෙන්නීම එවකට පැවැති පිළිවෙළ සේ පෙනේ.


6. මැටියාවත් කිවියාවත් දෙක සම සමයේ පෙන්වන ගිරා අස්න සැබැවි රෙසෙන් සැළ ලිහිණි අස්නට නො ළං වතු දූ විසිතුරු කවක් විසින් තම මියුරු අස්න හා සැසැඳී නො මිටි වැ මැ පෙනේ. එහි බස උසස් යැ;

වදන් තිසරයේ පමණ රළු ද නොවේ, සැළයේ පමණ කොමළ ද නොවේ. පැවැසුම් මියුරු අස්නේ සේ මැ ඉතා විසිතුරු යි. එහෙත් මියුරු අස්නට ද වැඩියෙන් මැවියාව ඉස්මතු කොටැ පෙන්නයි මෙහි පැබැඳුම.

සැළ ලිහිණි අස්නේ පැදි නෙත් කලු රුවින් යුතුවැ උපන් ළමයින් බඳුයි. ගිරා අස්නේ පැදි දිවි ඇති සේ පෙනෙනට සැදු නෙත් කළු බෝනික්කන් බඳුයි. එහෙත් වැලිතොට අම්බලමේ පවත් පවසන තන්හි සැළලිහිණි අස්නට නොදෙවැනි වන සැබැවියාවෙන් ගිරා අස්නේ ද දක්නා ලැබේ. මැවියාවේ මහ විසිතුරින් ඇති සැබැවියාව ද දිවසැ පහන් එළිය සේ පැටිවී යාම නිසා යි ගිරා අස්නේ සැබැවි රසය ඉස්මතු වී නොදැනෙන්නේ.


‘තුරුවැළ උඳුළ සඳ රස් පිරි නුබගබ ද

බි ගු ර ළ බමන පිපි මල් නිල් වන හිස ද

ලෙළරළ වතළ පෙණ පිඬු සැදි සමුදුර ද

මනදොළ වඩා දැකැ දැකැ උන් සඳ සබඳ’


යන්න සැබැවී, මැවී, යන දෙකින් එකක් අනෙකට නොපරදිනා සේ කරන ලද පබදෙකි. එහිදී සැබැවියා මෙ ගප් කොටැ මැවියාව තුබු හැටි නම අති රමණීයවෙයි.


‘රො ද ක් කනැ අලක මුතු පට ගොතා බැඳ

ස ඳ ක් බඳු වුවනැ මදහස යොදා නඳ

ම ඳ ක් මතුමහලැ සිටි එළී පෙනී හොඳා

උ ද ක් සුරඟනන් බඳු පුරඟනෝ ළඳ’


යනු මාවියාව සැබැවියාවට යටවී පෙනෙන තැනෙකි.

ගිරා අස්න මියුරු අස්නට නො පරදි වදන්හි ඇති ළතාවෙන් (අනුප්රාිසයෙන්) ද. මියුරෙහි ඇති:-


‘‍ෙසාද දෙවි කඳ කඳ දෙවි කඳිති උසුලනා’ ඇතන්හි ඇසෙන ළතාවට නොදෙවැනියි, ගිරා අස්නේ:-

‘ප ත ඟ කිරණ දුරු කළ තුරු සෙවණැල්ල

න ර ඟ රඟන රඟ බිම් රඟ සුදුවැල්ල’


ඈතන්හි ඇසෙන සම ළතාව.


7. හස් අස්න ගිරා අස්නේ පිළිරුවක් බඳුයි. එහි සියල්ල ගිරා අස්න ගුරු කොටැ ගෙනැ කරන ලද සේ පෙනේ. එහෙත් සිතුවා නම් හස් අසුන් කරුවාට ද නොගැති පබදක් කිරීමේ පිළිබහන පැවැති බව පෙනේ. සැබැවි රෙසෙන් යුත් වැනුම් එහිදු තැනින් තැනැ දක්නට ලැබේ.


‘පැ සෙ යි නිබද සුවදැල් කෙත් වත් අවට

ඇ සෙ යි ළමා වසු පැටියන් හඬ දුරට

දි සෙ යි වෙහෙර එහි සුර විමනක් ලෙසට

ර සෙ යි අමා රස මැ යැ ඒ පියෙස දුට’


යනු වියත් පබදත් නූනනාට ‘රමණීය’ හුදු, සැබැවි වැනුමෙකි ‘සුර විමනක් ලෙසට’ යන උපමාව නොවී නම්.


‘පැ ළ ඳ බරණ පිපි දොඹ තුරු වන පිවිස

සු ව ඳ විහිදි මල් කැන් ගවසා සිරස

බො ළ ඳ ළඳුන් සිටිනා සුරඟනන් ලෙස

වෙ ළ ඳ ගොඩ ද සිරි නරඹව දකුණු පස’


යනු සිත් මත් ‘සුරඟනන්’ උපමානයට නොගැනුණා නම් හුදු මෑ හුදු සැබැවි වැනුමෙකි.


‘ඇ සෙ යි කියන රස ගී ලිය තුඩින් තුඩින්

දි සෙ යි බසිනු ගව මී රළ කඩින් කඩින්

පැ සෙ යි රුවට කළ කෙත්වත් ගොඩින්මඩින්

තොසෙයි එගම දූටඤ; ඒ වෑබඩින් වඩින්’


යනු මන කල් පුරා සැබැවි වැනුමෙකි.

හස් අසුන් කරු ගේ සමත් බවත් නොගැති බවත් ඉඳුරා පළවන්නේ ‘සැදෑ, නිග’ වැනුම්හි දීයි; එහෙත් එ ද සැබැවියාව මැවියාවෙන් යට වන‍ සේ කරන ලද පබදෙකි. දිය කෙළි වැනුම, රඟ පිළි වැනුම, වත වැනුම යන තන්හි දක්නට ලැබෙන ගැතියාව ඉතා සෝකුරුයි.


8. බාල මැ වූ සැවුල් අස්න ඉහතින් සදහන් අසුන් කව්හි ඇති වෙසෙස් ගුණ සියල්ලෙන් වියුතු වුවත් ඒ සියල්ලේ දක්නට ලැබෙන දුඹුල් කම් සියල්ලෙන් යුත් වූයේයි. කවක් හැටියට සැවුල් අස්න පැසැසුම් ලබන්නේ කව් නොහඳුනන්නවුන් ගෙන් පමණෙකි.

අ. සෙසු අසුන් කව් සේ මැ සැවුල් අස්නත් ‘සැරඳ’ යන්නෙන් පටන් ගැනුණු ගීයන් ඇරුඹුණේ වෙයි. මෙ ‘සැරඳ’ ගීයෙන් අපේ අසුන් කව් පරපුර පසිදු වන සැටි මෙ බලා දත හැකි : -


(1) සැරද මියුරිඳු සඳ

මියුරය නදින් නදනා

සදැස් පිල් කැල කැල්මෙන්

පිනවන සදැස් දුටුවන්

(ඒ මියුරු අසුන් කරු ගේ ආසිරි ගීයයි).


(2) සැරද තිසරිඳු සඳ

සඳ වන් සරාසිරිනද

නද නෙත් සොඳුරු විලසින්

විලසින් සිත් පිනවමින

(ඒ තිසර අසුන් කරුගේ ආසිරි ගීයයි).


(3) සැරද පරෙවිඳු සඳ

පඬුවන් සුරන් සරණින්

පහළ වූ කිරි මුහුදින්

සහ පබළ පලු සක් වන්

( ඒ පරෙවි අසුන් කරුගේ ආසිරි ගීයයි).


(4) සැරද සුලකළ කුරු

මියුරු තෙපලෙන් රඳනා

රජකුලැ රහසැ මැතිනිය

සියනිහි සැළලිහිණි සඳ

(ඒ සැළ අසුන් කරුගේ ආසිරි ගීයයි).


(5) සැරද කොවුලිඳු සඳ

සරසිරි අමා රස සේ

තුනු සිරිනි නිලුපුල තුල්

ලැබැ පුල් අමා රස සේ

(ඒ කොවුල් අසුන් කරුගේ ආසිරි ගීයයි).


(6) සැරද කිරරද සඳ

නන් වන් රුවන්රූ වන්

සහකුරු මියුරු ‍තෙපලෙන්

සව්ලෙව් හදන් හදනා.

(ඒ හිරා අසුන් කරු‍ගේ ආසිරි ගීයයි).


(7) සැරද හස රද සඳ

පුන්සඳ පහන් පිරිසුදු

පිය කරු පියන් පිරි පිය

පියොවුරු ලෙසින් හොබනා

(ඒ හස් අසුන් කරුගේ ආසිරි ගීයයි),


(8) සැරද සැවුලිඳු සඳ

රතමිණි සදිසි සිළුයුත්

දිමුතු මුතු කලඹෙව්

පළ හෙළ පිය පතර සැදී

(ඒ සැවුල් අසුන් කරුගේ ආසිරි ගීයයි).


ඒ ගී අතුරෙහි පද යෙදීමෙන් පමණක් වූවද මඳ වූ වෙනසෙක් පෙනේ නම් ඒ සැළ අස්නේ පමණෙකි.

සැරඳ මියුරිඳු සඳ (මොනර රජ තුමෙනි)

,, තිස‍රිඳු ,, (තිසර ,, ,, )

,, පරෙවිඳු ,. (පරෙවි ,. ,. )

,, කොවුලිඳු ,. (කොවුල් ,. ,, )

,, කිරරද ,. (ගිරා ,, ,, )

,. හසරද ,. (හංස ,. ,. )

,, සැවුලිඳු ,. (කුකුළු ,, ,, )


යැයි සතෙකු මැ යෙදී ඇති. සැළ අස්නේ පමණක් සැරද යන ආ වැඩීමෙන් පටන් ගත් ගීය ‘සියන් ඉහි’ යන්නක් ද සහිතවැ ‘සැළ ලිහිණි සඳ’ යන්නෙන් අවසන් වෙයි. සැළ අස්නේ සෙසු තන්හි දු මෙම වෙසෙසියාවේ ලකුණු දක්නට ලැබේ.

ආ: ආසිරි ගීයෙන් ඉක්බිතිවැ සැවුල් අස්නේ ද ඇත්තේ සෙසු අසුන් කව්හි සේ මැ දූතයාටග් රුව ගුණ පවසන දසපද සැහැල්ලෙකි. මෙ ලකුණු නිසා සියලු අසුන් කව් පෙනෙන්නේ එක් සැලසුමක් අනුවැ අඹන ලද පිළිම පෙළක් මෙනි.

මියුරු අසුන් කරුවා විසින් එ දසපද සැහැල්ල යොදන ලද්දේ එයින් මැ තමා විසින් දූතයාට කටයුතු සියල්ල සපුරා කාරිය පිරිමසා ලීමටයී. එහෙත් එ සැලැස්ම බලා ගෙන සෙසු අසුන් කට් ඇඹීම පිරුවාහු එය දූතයා වැනීමට පටන් ගැන්මක් හැටියට ගත්හ. මයුර, කොවුල්, ගිරා, හස්, යන අසුන් කරුවෝ මෙ දස පද සැහැල්ල දූතයා ගේ රූ මහිමය, ගුණ මහිමය, සිරිත් මහිමය, ඈ කරුණු වැනීම පිණිසැ යෙදූහ. තිසර, පරෙවි, සැළ, සැවුල් යන අසුන් කරුවෝ දූතයා ගේ රූ සිරිසර පළ වන පරිදි එන මහ සුවදුක් විතෑරීමක් හැටියට යොදා ලූහ.


(1) සද යුරු මිතුරු සඳ - සිය සඳ කුමුදු නඳ දෙන

මුළුලෝ සනහමින් එන ගනරදහු වෙත

තුටු රැව් මගුල් ගී ගයමින් රැඟුම් ගත

සිරිගිරි අසුන් පත් - සිරිමත් කෙළි මතින් වව


සොඳ ගුණ කඳ කඳ දෙව් කඳිති උසුලනා

නුබ තෙදියත දෙව් විකුමැති කුලෙකි මනා

සොබමන් මෙ වන් සිරිතැයන්ගේ දැකම්

දෙවියන් යැදැත් හැකි වෙද නො දැනේ නියම


අමුතු වැ අප පණෙව් ලත් සැප කියු කිම?

අප සිරි අනා අත් පත් වූ වැනි දැනුම

(මියුරු.)


(2) සිරි දෙන ලකුණු රැඳි - රතු නෙතිනි යුතු මමිතුර

හිවි සල් සහයුරු මල් සේසත් සෙමෙර

සුව් සල් නව වසතිඳු දිය මිහිඟු බෙර

පරපු වදන තුම් - රන කුරු කළ කිරුළු මෙර

නළා ගෙනැ වෙනෙත් පිඹි වෙනුට සර මඳින්

නළා කරන කැල්මෙන් සහද පිය නදින්

පුන් සඳ සුරිඳු සඳ සලකුණ අඳිනවර

බන් සොඳ තෙලි තුඩෙව් තෙල තුඩිනි මනහර

මින් දද ජය වීරුදු නද කරන පියකර

අන් කොද මෙ දිය තුරු තොප සරිවන මිතුර

(කොවුල්).


(3) ඉඳුදුනු පැහැ දිනු - තුනු සිරිනුළ මමිතුර

ළද සොඳ අදර වැනි තෙල තගෙ තුඬ දුටුව

‍ෙලාබබැඳ අදර නො කෙරෙති කවුරු සතුටුව

වන වනපති තුරෙහි - පුර පුරපතින් මැදුරෙහි


නදව නිතොර ලැබැ පිය පිය කරපහස

රඳව පවර කෙළි කෙළෑ කෙළෑ ඇම දවස


දිසි දිය කුසැ ඇම සියොතුන් ගේ ගුරුව

නිසි යස රැස කියවන නුවණින් සරුව

ඉසි වර ලෙස නිති පණිවායෙන් දුරුව

රිසි පල රස විද ‍සතොසින් දවසරුව

(ගිරා).


(4) තොප තෙපලෙකින් සැප - සැපයෙයි ලොවට හසරද

,, තුඩ තුළ‍ට කිරි රස දිය හැරැ වදිය

,, පිට පිහිට කැරැ බඹ තෙදිය ඇවිදිය

,, රුවලත් හසත් - සත සැපත රැකැ සැපදේ

,, උන් ටඹට පිට දී විදි සර සතර

,, ගෙනැ එතියි යෙති දිවැ බිමැ හෙන අතර


,, නම ඉදිරි කළ නමටත් උතුමැ යෙති

,, කුල රැගෙනැ මහසත්හුද හිරු දිනති

,, සැටි රැගෙනැ සිටි තැනටත් කෙරෙති රුති

,, වෙතැ මිතුර ඉන් අප සිත වැඩෙයි බැති

(හස්).


ඒ අසුන් කව් සතරේ දස පද හෑලි පෙළට වඩා වෙනස් අතකට අනෙක් අසුන් කව් සතරේ දස පද හෑලි පෙළ හැරී ඇති හැටි විමසා බැලියැ යුතු.


සතත ගත පැහැයෙන - තරමැණ මනැති මමිතුර

සරා වෙලෙකැ සිරි පානෙව් පවතිනෙ න

සරා අහස සහතොසිනෙන ත දකිම් න

තම පිය සෙමෙර යැයි - ළඟ නො මැවූ ද සරසවි?

දෙව් ලොව් නෙත අම පි‍ඬෙකැයි සත පින නි

ලෙව් තොප දැකැ වට නො කළෝද ස‍ඳෙකි නි

උ ය ති න් නඳුන් ගිලි මල් කැනෙකැ වි හැඟ

සොබමන් තදැකැ නුවුද සිදඹුවෝ ළඟ?

ග ම ති න් දුකෙක් නො විද කිසි අතර මඟ

නු ව නි න් ලබන ලබ නම දැකුම මැයි තඟ?

(තිසර).


මිතුරු තරු සරහන - මමිතුරු නම වසත යුරු

නුබි නෙන සඳ නඳ ගඳ මඳ පවනැ ලෙළි

හෙබි පුල් කුමුදු හැඟි අඟනක් අතිනි ගිළී

සුරගඟිනළ නෙඑඹු - දැලි සදහස් නොවෙත පත

සුදු බුදු නිවෙසිනෙන තොප දැකැ ලෙව් එ සඳ

සුදු බුදු රස් පි‍ඬෙකැයි නො කොළෝද පුද


ස‍ ඳෙ කි න් නඳුනුය නිනෙන මලෙකැ සුරතඹේ

‍ස ‍ඳෙ කි න් අවුත් වටලා නො දැමුද ඉඹේ?

නි දු කි න් අවුද සකි සඳ අතර මහැ නුඹේ?

ඉ ති කි න් අපට සැප නම් දැක්ම මැයි නුඹේ

(පරෙවි).


පුල් මල් කෙසරු මෙන්- රන්වනි තෙලෙ සරණයුග

සපු මල් කැලෙව් තුඬ මද රතිනි මනහර

නිලු පුල් දෙලෙව් සම්වනි පිය පිය පතර


මලින් කළ රූ එව් - එ බැවින් නුබින් එනවර

නිලු ඳ ළද සිදඹුවො දිගු වරලෑ නිලූ

නිලූ ද වට බිඟු පෙළ අද තඹ‍ර නිලු

ව න දෙව් ලියෝ නොකොළොද සවනැ අබරණ?

එ න මගැ දුකෙන් නොවිද සබඳිනි කලණ?

සෙනෙ හස බැඳු‍ණු තැනැ නොහරින කරැ දිවුණ?

වෙන සැප කුමකට තොප දකිනා එ මැ පමණ?

( සැළ ).


නද කඳ කුමර අත - සුල කළ පවර මමිතුර

හස රද සිරින් මානස නම් සරසිනෙ න

සියසද නිතින් ඔදවඩවා නිසි ලෙසි න

පියතර තරමින් - නුඹ නුඹ අරා එන වර

කිරි සිඳු තුරෙනුලැඟි අම පි‍ුඬෙකැ යන සිතින්

සුර නර මුළු ළඟැ නො මැවූද කුල් මතින්

නඳුනුයනින් ගිලි කුසුමෙකැ වෙමින් හැඟ

ළද සිදඹුවෝ නොපැළැදියෝද උතුමඟ

නොවැකිසි දුකෙන් සකි සැප සේ අවුද මඟ

තොප දුටු සඳ මෙන් සද සද දුටු කිරණ රඟ

(සැවුල්).

එ දස පද හෑලි සතරේ ඇති එක් සම බව ඉතා දුක්මුසුයි. අපේ කිවියන් එ පබඳ කිරීමේ දී සෙල්ලම් ගෙපැල් අටවන පැටියන් පමණට වත් ගියවුන් අඩි පාරේ මැ යාම බාල කොටැ නැති; ගියවුන් අඩි පාරේ යාමක් නොව ගියවුන් ගේ පදලස් මත්තේ මැ පිය ඔබ ඔබා යාමෙකි මෙහි පෙනෙන්නේ.

"https://si.wikibooks.org/w/index.php?title=අසුන්_කව්_පවත්&oldid=4066" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි