උග්ගල් අලුත්නුවර/උග්ගල් අලුත්නුවර ඉතිහාසය හා භූගෝලීය පරිසරය
උග්ගල් අලුත්නුවර ඉතිහාසය හා භූගෝලීය පරිසරය
[සංස්කරණය]84. තුමුල් දිගු පුළුල් ගල් ටැම් පිහිඑි අගල්වට උරග දරනෙකි මහත් නදිනා
විසල් තල් පොල් පුවක් උක් කෙහෙල් අඹ ද මෙපුර වට නැදුනුයන ලෙසිනා කමල් විල් පුල් පතැස් පොකුණු ජල පිරි පමණ නැත ලද සුවඳ වැකුනා මෙකල් කල් නුදුටු නුවර නමින් යුත් මෙපුරවර ඇද්ද මුළු දෙරනා
(සතර අතට ගලා යන ජල දහරා ගම වට කොට වෙලාගත් උරග දරනක් වැනිය. උස්වූත් දිගට විහිදුනා වූත් පුළුල් ගල්ටැම් වලින් සැදුනාවූ ද අගල් වලින් වටව ඇති මේ බිම අවට ඇති, පතැස් හා පොකුණු වල පිපෙන නෙළුම් ඕලු ආදී පුෂ්පයන්ගෙන් පලාතම සුවඳවත් වෙයි. මින්පෙර නුදුටු නුවර නම් වූ මේ පුරය වැන්නක් දෙරන තුළ තවත් නම් කොයින් ද ? ) යනුවෙන් භූවිෂමතාව හා ජලවහන රටාව ගැන කන්දකුමාර සිරිතේ විස්තර කෙරෙන මෙතෙක් කල් නුදුටු නුවර නම් වූ පුරාණයේ ඉදිකළ ගම් පියස හෙවත් අලුත්නුවර(උග්ගල් අලුත්නුවර ගම) , ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරය වෙන් කර දක්වන, මූදු මට්ටමේ සිට මීටර් 300 රේඛාවේ දකුණු මායිමේ පිහිටියකි. එය ප්‍රධාන වශයෙන් ගිණිකොණ දෙසට විහිදෙන කඳු රැලි බිමක් සහිත සාරවත් භූමි ප්‍රදේශයක් වන මහවලතැන්න සානුවට අයත්වේ. වඩා නිශ්චිතව දක්වනවිට, මහවල තැන්න සානුවේ ගිණිකොණට බර ඊසාන දිග සීමාව උග්ගල් අලුත්නුවර දේවාලගමට පිහිටීම දුන් භූගෝලිය ප්‍රදේශයයි. ගමේ නිරපේක්ෂ පිහිටීම උත්තරාක්ෂාංශ6.684210431505406 හා නැගෙනහිර දේශාංශ 80.7469366537781 වශයෙන් දැක්විය හැකිය. ක්‍රි.ව.1712 දී (ශකවර්ෂ 1630 දී) කන්දකුමාර සිරිත රචනා කළ දේවාලයේ පුරාණ කපු මහතකු වූ බාලචන්ද්‍ර බ්‍රාහ්මණයන් උග්ගල් අලුත්නුවර භූගෝලීය පරිසරය විස්තර කළේ ඉහත කවියේ දැක්වෙන ලෙසිනි. එකල ඔහු දුටු භූවිෂමතාවන් හා ජලවහන රටාවන් මැනවින් දැක්වීමට උක්ත කවියෙන් වෑයම් කර ඇත්තේය. කොළඹ සිට බදුල්ල මාර්ගයේ (A4) කිලෝමීටර 151 කණුව අසලින් ඇති තොරණෙන් ඇතුළුව දකුණට හැරී දිවෙන මාර්ගයේ මීටර 500 ක් පමණ එන කෙනෙකුට උග්ගල් අලුත්නුවර කතරගම දේවාලය හා රජමහා විහාරය හමුවේ. දේවාලය ආසන්නයට පැමිණ අවට පරිසරය නිරීක්ෂණය කරන විට තමා පැමිණ සිටින්නේ සතර අතින්ම උස්බිම් වලින් වට වූ වර්ග කිලෝමීට ¼ ක් පමණ විශාල සම භූමි භාගයකට බව හැඟීයයි. වඩා හොඳින් සොයා බලන විට පහත් බිමේ සිටින්නකුට තෙමහලක් සේ පෙනෙන ලෙසින් උස්බිමක් වටා බැමි බඳවා සුරක්ෂිත වන පරිදි දේවාල මළුව සකස් කරවා ඇති බව පෙනෙනු ඇත. තෝරාගත් උස්බිමක් වටා ශක්තිමත් අත්තිවාරමකින් සවිගන්වා වටා බැමි බැඳීමෙන් දේවාල මළුව නිමැවූ බව පුරාණ ලේඛනයේ ද සඳහන් වේ. පරිශ්‍රයේ පූජනීය ස්මාරක පැදකුණු කරමින් ගමන්ගන්නා පෙරහර මග වටා දිග මීටර 560 කි. එය කිලෝමීටර ½ කට වඩා වැඩි දුරකි. සැලසුම් කර නිර්මාණය කර ඇති පරිශ්‍රයේ බටහිර කොටස පෙරහර මග ආසන්නයෙන්ම වන පරිදි හා උතුර දෙස දේවාල ගමේ වෙන් කරගත් පරිශ්‍ර සීමාවට කිට්ටු වන පිණිස ද ඉදිකර ඇති උඩ මළුවේ බැමි මීටර් 42 ක් දිග ද 14 ක් පළල ද වේ. මළුව දළ වශයෙන් ඍජු කෝණාකර එකකි. පහතින්ම ඇති උඩ මළුව සවිගන්වන බැමි නැගෙනහිර පසින් මීටර් 70 ක් ද බටහිර පසින් මීටර් 80 ක් ද උතුරු දෙසින් මීටර් 50 ක් ද දකුණු සීමාව හෙවත් දේවාලයේ ඉදිරිපස මීටර් 40 ක් ද වශයෙන් දිස්වෙයි. මෙසේ නිර්මිත දේවාල මළුව හැරෙන විට ඉතිරි භූමි පරිසරය ද නිර්මාණය කර සමභූමිගන්වා ඇති එකකි. මේ තොරතුරු පහත උපුටා දක්වන කන්දකුමාර සිරිතේ කවි වලද පුරාණ ලේඛනයේද කියවේ. 82.දිමුත් යාපා එභූපා රජු සෙනග ගනිම්න් වැඩම කරගෙන
තුරුත් සිඳබිඳ ගළුත් උදුරා සතරවීදිය තනා අවටින මහත් නුගයක් බිඳී ගිනිගෙන අළුගොඩක් විය එදෙවි බලයෙන සවත් දෙවිඳුගෙ මාලිගාවට ලකුණු මේ යයි බලා නුවණින
83.බින්දවා තුරු මුලුත් උදුරා සතර වීදිය තනා අවටින
ඉන්දවා කප සුබ මොහොත් ගෙන තනා තෙමහල් පාය අවටින බන්දවා සත ආවැඩුන් දී රන් අවිය එහි වැඩම කරමින වින්දවා පුද පඩුරු සමගින් ගමත් පුදවා එරජ වැඩි තැන
යනුවෙන් කන්දකුමාර සිරිතේ බාලචන්ද්‍ර බ්‍රාහ්මණයන් විස්තර කරන ගොඩ නැගීමේ ව්‍යාපරය පුරාණ පුස්කොල ලේඛනයේ විස්තර වන්නේ ද ඊට සමාන ආකාරයෙනි." .........මැදගම දේවාලෙට නුදුරුව මාලිගා ගොඩ වැඩ හිටගෙන දෙවියන් වහන්සේට නුවර කරවඬ ගොඩලිතුනක් (උස්බිම්තුනක්)පේකර............ දේවාලෙ සිද්ධ කරවඬ වැඩ අල්වමින් දුනුමිටි පහක උසට මළුව බන්දවමින් දුනුමිටි පහලොහක ඉඩම ගනිමින් සමභූමි කරවා...........පනස්සත් බඹයක් මළුව වට හතරස් පහුර බන්දවා.......දේවාලෙ සතර දෙස වීදි ගෙවල් කරවා සතරමං වාසල්කඩ සතරක් කරවා.........එහි දේවාලෙ ඉදිරිපිට පත්තිනි දේවාලෙ සිද්ධ කරවා............, දැක්වෙන මේ විස්තර අනුව නිසැකවම මධ්‍යයේ පැවති උස්බිම සඟවා ඒ මත දේවාලය රජමහාවිහාරය චෛත්‍යය ඇතුළු පූජනීය ගොඩ නැගිලි දර්ශනය වන ලෙස සකස් කර ඇත්තේය. ඒ අනුව පෙරහර මග ඇතුළු පරිශ්‍රය ආවරණය කෙරෙන වර්ග කිලෝමීටර් 1/4 ක් පමණ වූ භූමි දර්ශනය මුළුමනින්ම කෘත්‍රිම එකක් බව නිගමනය කළ හැකිවෙයි. දේවාල පරිශ්‍රයේ සිට සතරවටින්ම උස්බිම් වලින් වට වූ පරිසරයක තමා සිටින ආකාරය නිරීක්ෂකයකුට පසක් වෙයි. උතුර දෙසින් දේවාලයට පසුබිම්වන හාගල කුඩා කඳු වැටිය වන අතර නැගෙනහිර හා ඊසාන දෙසින් හපුතලේ කඳු පන්තියයි. ශ්‍රී පාද කඳු පන්තිය හා දෙතනගල කඳු උතුරෙන් ඇති අතර වඩා නැගෙනහිරට බරව මායිම සදන ර් හෝරට්න් තැන්නේ(Horton plains) ලෝකාන්තයෙන්(Worlds end) ග්ලයිඩර් යානයකින් (Glider)ඉතා පහසුවෙන් උග්ගල් අලුත්නුවරට පැමිණිය හැකි බව 1997 දී විදේශිකයකුට සිදුවූ අකරතැබ්බයකින් ඔප්පුවිය. කුඩාදරුවන් හා දරුවන් වැනි වැඩිහිටියන් ද විනෝදයට හා ත්‍රාසයට පත් කළ එම අවස්ථාව මුලින්ම ප්‍රසිද්දියට පත් වූයේ පාසල් පිට්ටනිය අසලට අඟහරු ලෝකයෙන් මිනිසකු ආ බව පවසමින් දුවයන්ට වූ අයගේ ප්‍රකාශ වලිනි. නැගෙනහිර හා ඊසාන දෙසින් මායිම්වන හපුතලේ කඳු පන්තිය හරහා ඇති "හපුතලේ කපොල්ල" දක්වා දිවෙන A4 ප්‍රධාන මාවතේ කඳු මග ඇරඹෙන්නේ ද, පුරාණ කරත්තකරුවාට සිය ගවයන් විඳින දුක දැකීමෙන් ඇතිවන කම්පාව නිසා "හපුතලේ කන්ද දැකලා බඩදන්නේ" ද බදුල්ල මාර්ගයේ උග්ගල් අලුත්නුවරට හැරෙන හන්දිය පසු කළ විගසිනි.
භූ විෂමතාව
ප්‍රදේශයේ උස මීටර් 400 ත් 500ත් අතර වෙයි. පාරෙන් වයඹ දෙසට උස මීටර් 600ට වඩා වැඩි වන අතර උතුර දෙසට හා ඊසාන දෙට යත්ම භූමිය වඩා උස්වෙමින් මීටර් 600 ,800, 1000, 1200 දක්වා උස්වන සමෝච්ඡ රේඛා මායිම් සටහන් වෙමින් කදුකරය බවට පත්වෙයි. ලෝකාන්තය සහ හෝට්න් තැන්නට ඍජු දුර සැතපුම් හතරකට(කි.මී.21/2) වඩා වැඩි නොවේ. උග්ගල් අලුත්නුවර භූමිභාගය නිරිත,බටහිර,වයඹ, උතුර හා නැගෙනහිර දෙසින් කඳුකරය ද ගිණිකොණ හා දකුණු දෙසට බෑවුම්වන ආකාරයෙන් ද පිහිටි සානුවකි. දේවාල පරිශ්‍රය පමණක් හුදෙකලාව ගත් විට මීටර් 500 සමෝච්ඡ රේඛාවෙන් හැම පසකින්ම ආවරණය වන බේසමක් වැනිය. එහි යන්තම් හෝ විවරයක් ඇත්තේ ගිණිකොණ දෙසට හැරෙමින් ගලා බසින දෙනගංඔයට සම්බන්ධවන පටු නිම්නයක් නිසා පමණි. හෙල්වැටි ගිණ කොණ දෙසට විහිදෙන ලක්ෂණ වලින් යුතුවන අතර භූමි ප්‍රදේශයේ උස්බිම් මුදුන් බහුලය. එවැනි එක් උස්බිමක් වටා පරිසරයට වන හානිය අවම වන පරිදි වෙනස්කර දේවාල පරිශ්‍රය ගොඩ නැගීමට තරම් පැරැන්නෝ දූරදර්ශිව කටයුතු කර ඇති බව පසක් කළ හැකිය. ඔවුහු පරිසරයට අත තබා ඇත්තේ ඉතා පරෙස්සමිනි. මේ භූ විෂතාවය මගින් දේශපාලනික රැකවරණය ද ලැබිණි. 1620 දී කොන්ස්තන්තීනුද සා නොරොඤඤා මල්වාන, කරුවිට, සපරපුර, නිවිතිගල, සංවාන සහ බළන්ගොඩ හරහා පැමිණ කණතිරියන්වෙල පිහිටි ශ්‍රීමහා බෝධි ශාඛාව කපා දමා විනාශ කර මැද්දේගම් රාජධානිය ගිනිතබා විනාශකරන ආකාරයත් රජපවුල පළවා හැර පවුල් පිටින් මිනිසුන් සමූලඝාතනය කළ ආකාරයත් එතැන්සිට ඉඹුල්පේ දක්වා ගම් බිම් ගිනිතබා විනාශ කරමින් පැමිණි බවත් අලගියවන්න මුකවෙටි විසින් රචිත කෘතියක් යයි සැලකෙන "කුස්තන්තීනු හටන" කාව්‍යයේ විස්තර කෙරෙයි. නොරොඤ්ඤාට උග්ගල් අලුත්නුවර දේවාලය හෝ රජමහාවිහාරය හමුවී නැත්තේ උස්බිම් හා ඒ අවට වසාගත් මැදගම වන්න්තරයත් හේතුවෙනි. ඒ අනුව දේවාලයට ආරක්ෂාව ස්වාභාවික රැකවරණය නිසාම සැලසී ඇති බව පෙනේ.
ජලවහන රටාව
ප්‍රදේශයට ජලය ලබා දෙමින් පෝෂණය කරන්නේ ප්‍රධාන වශයෙන් වළවේ ගංගාවෙන් හා එහි ශාඛා ජාලයෙනි. උග්ගල් අලුත්නුවර දේවාලයට ඍජු දුර සැතපුම් 2½ ක් පමණ තිබියදී ඊට දකුණෙන් බටහිර දිශාවෙන් ඇතුළු වන වලවේ ගංගාව ගිනිකොණ දෙසට සැතපුම් පහක් පමණ ගලායයි එතැන් සිට උතුරට හැරී ගලා එමින් දිස්වන්නේ උග්ගල් අළුත්නුවර වටා එන උරගයකු සේ ය. දේවාලයට නැගෙන හිරින් එහි සිට ඍජු දුර සැතපුම් තුනකදී බෙලිහුල්ඔය වලවේ ගඟට එක්වේ. එම ස්ථානය "ලබුලැස්ස" නම් වේ. ඊට පෙර වැලිකුඹුර ප්‍රදේශයේදී දේවාලයට ඊසාන දෙසින් තදාසන්නයෙන් ගලායන දෙනගංඔය බෙලිහුල්ඔයට එක්වෙයි. පුරාණයේ පෙරහර දිය කැපීම සඳහා ලබුලැස්සට අවස්ථා කීපයකම ගොස් ඇති බව පරැන්නෝ සඳහන් කරති. උග්ගල් අලුත්නුවරට නැගෙනහිරෙන් හා දකුණෙන් දෙනගං ඔයට එක්වන තවත් කුඩා ඔයවල් රාශියක් වූ ආකාරය 1940 සංශෝධිත අඟලේ සිතියම පැහදිලිව දක්වයි. අද මේ කුඩා ශාඛවන් අතරින් ඉතිරව ඇත්තේ රතවැල් ආර වැනි කීපයක් පමණි. පිටවල ආර අලුත්නුවරට බටහිරෙන් හා දකුණෙන්ම ගලා ගිය කුඩා ශාඛාවක් විය. එය ඉහත්තාව වේල්ලක් බැද වැවක් සාදා සකස් කිරීමෙන් පහළ කොටස් ද සමග අස්වැද්දූ බවක් ද පැරැන්නෝ කියති. මේ කියන වැව පුරාණ ලේඛනයේ දක්වන අන්දරමුල්ලේ වැව බව අනුමාන කළ හැකිය. ඇල මග හා වැවේ සලකුණු 1970 දක්වා තිබුණි. දේවාලයට ආසන්නයේ බටහිරදෙසින් පැමිණි ඔයක් දේවාලයට ආසන්නවත්ම දකුණ දෙසට හැරී ගලා යමින් දේවාල මළුව මත සිට බැලූ විට පෙනෙන මානයෙන් ගිණි කොණ දෙසට හා ඉන්පසු උතර බලා ඇදෙමින් දෙනගං ඔයට සම්බන්ධව තිබුණ බව 1940 සංශෝධිත හපුතලේ අඟලේ සිතියම බලන විට පැහැදිලිව පෙනෙයි. පුරාණ ඔයක් සේ සැලකෙන එය පසු කාලයේ කුඹුරු බවට අස්වද්දා අති බව සිතිය හැකිය. දේවාලයට ආසන්නයේ බටහිර දකුණ සහ ගිණිකොණ දෙසින් උතුරට හැරී අද දක්නට හැක්කේ විවිධ රාජකාරි පංගු වෙනුවෙන් වෙන් කර දී ඇති එම කුඹුරු යායයි. බාලචන්ද්‍ර බ්‍රාහ්මණයන් කන්ද කුමාර සිරිත ලියන අවදියේ එය ඔයක් වශයෙන්ම තිබුණා විය හැකිය. "තුමුල් දිගුපුළුල් අගල්වට තිබූ උරගදරනක්" සේ මෙහි මුල්ම කවියේ විස්තරවන්නේ ඒ විය හැකිය. මේ අනුමානය නිවැරදි වන්නේ පුරාණයේ නළුවෙල දේවාලගම සම්බන්ධ කළ රජමාවත යයි හැඳින්වෙන මාර්ගයට යොදා තිබුණ පාලමක සලකුණු පතල් කැනීම් වලදී අනාවරණය වීමෙනි. 1975 දී අඩි 40 කට ආසන්න දිගකින් යුතු අඟල් 18x18 පමණ වන ලෙස පුරාණයේ හතරැස් කරන ලද පුදුම එළවන දැවකඳන් දෙකක් පතල් කම්කරුවන්ට අඩි 14 ක් පමණ ගැඹුරේ දී හමු විය. එයින් එකක් අව් වැසිවලට අනාවරණයව දේවාල වීදියේ දී දිරාපත්වූයෙන් අනෙක දේවාල මාලිගයේ බටහිර පස ආලින්දයේ ප්‍රදර්ශනය පිණිස තැන්පත් කර ඇති බැවින් අදත් දක්නට හැකිය. මෙවැනිම දැව කඳන් තවත් තුනක් පොළව යට අදත් පවතින බව පතල් කරුවෝ සඳහන් කරති. පිටවල ආර ගලා ඇත්තේද දෙනගංඔය දක්වා වෙයි. කරුණාරත්න මොහොට්ටාල නිළමේ පවසන ලෙස වර්තමානයේ දිස්වන බදුලු පාර තැනීමේදී (ඉංග්‍රිසි පාලන අවදිය එඩ්වඩ් බාන්ස් ආණඩු කාර සමය)පිටවල ආර වෙනත් පසෙකට හරවා යැවීම නිසා වැව විනාශව කුඹුරු ද පාළු වන්ට හේතු වූ බව කියයි. අනෙක් කුඩා ශාඛා බොහොමයක් වැසි කාලයට පමණක් ජලය ගෙන යන මළ ආරයන් වී ඇති නමුදු 1970 දශකයේ පවා ඒවා නොසිඳී ගැලූ බව මෙම ලේඛකයාගේ මතකයේද පවතී. ඉහත බාල චන්ද්‍රයන් කියන පතැස් පොකුණු අතරින් හල්කඳුරේ තිබූ පොකුණ දැන් සිඳී ගොසිනි. පුරාණ ලේඛනයේ සඳහන් අන්දරගහයට වැව තිබූ ස්ථානයයි සැලකෙන ප්‍රදේශයේ හෙවත් අන්දරමුල්ල යනුවෙන් අදටත් හැඳින්වෙන ස්ථානයේ තිබූ ජල පොකුණ සිඳී ගොසිනි. 1920 වකවානුවේ එය පෙරහර දියකැපීමේ උත්සවය පවත්වා ඇති බව කපු නැටුම් පංගුවේ 1960 ගණන්වල කටයුතු කළ කපු පංගුවේ පී.ආර්. අප්පුහාමි මහතාගේ සටහන්වල ඇත. (මෙම පුරාණ විද්වතාගේ දින සටන් ගොනු එම මහත්මාගේ මුණුපුරන් වන දැනට දේවාලයේ කපු නැටුම් තේවාව කරන පී.ආර්.කුලරත්න මහතා සහ ඔහුගේ සොයුරු රට වෙනුවෙන් තම පාදයක් ද පරිත්‍යාග කළ අභීත රණවිරුවකු වන පී.ආර්. සෙනරත් මහතා භාරයේ පවතී.) සමනළ වැව ඉදිකිරීමේදී එහි වැව් තාවුල්ල බවට පත්ව ඇත්තේ දේවාල ඉඩම් වල කොටසකි. එහෙයින් ශ්‍රී ලංකා අඟලේ සිතියම් වල සටහන්ව තිබූ කුඩා ඇල වේලි ස්වාභාවික ජල දහරා අද වැසී ගොසිනි. පුරාණ ලේඛනයේ සඳහන්ව තිබූ සාම්ප්‍රදායික රාජකාරිකරුවන් පදිංචිව සිටි කරපේ,වරකාවෙල, පීලිපොත් කිංචිගුණේ, නැදුන්ගමුව, මද්දෙපාලම, පාලම, කරපේ, පීලිපොත, වරකාවෙල ආදිය නාමාවශේෂ ගම් පමණි. ඉඹුල්පේ පවා නමක් පමණි. ඉඹුල්පේ නමින් ඇති ප්‍රා.ලේ.කාර්යාලය හා තැපැල් හල නිසා එම නාමය පමණක් තවත් කාලයක් යනතුරු ඉතිරි වනු ඇත. අනෙක් පුරාණ ගම්මාන ප්‍රදේශ කුඹුරු ආදීයේ නම් පවා ඉදිරි කාලයේ ජනප්‍රවාදයට පමණක් සීමාවන ආකාරයට පරිසරය වෙනස්ව ගොසිනි.
පස හා ඛනිජ සම්පත්
උග්ගල් අලුත්නුවර ප්‍රදේශය භූ විද්‍යාත්මකවශයෙන් ප්‍රාග් කේම්බ්‍රීය යුගයේ නිර්මිත ප්‍රධාන වශයෙන් ග්‍රැන්‍යුලයිට් පරිදර්ශ පාෂාණ කාන්ඩයට වර්ග කළ හැකිවෙයි. ග්‍රැනයිට් පාෂාණ හා ඝනිභවනය වූ අවශාදිත පාෂාණ පිළිබඳ උදහරණයන් එමටය. පුරාණයේ සිට යකඩවානේ කර්මාන්තයට ප්‍රසිද්ධ අලුත්නුවරට ආසන්න පිදවිලිගම් සේ ගැනෙන හතරබාගෙ, වෙරළුගස් මංකඩ හා මහවලතැන්න වැනි ප්‍රදේශවල යපස් නිධි බහුලය. වෙරළුගස්මංකඩ සහ හතරබාගෙ ප්‍රදේශවල යකඩ උනුකිරීම සඳහාම වෙන්ව සිටි "යමන්" පවුල්වල අය තවම වෙසෙති. පුරාණයේ මෙම ප්‍රදේශවල නිස්සාරණය කරගැනුන යකඩ නිසා ඉතිරි වූ අප ද්‍රව්‍ය සේ සැලකෙන යබොර කොටස් කඳු සේ දිස්වෙමින් අදත් පවතී. ඒ දසුන චිරාත්කාලයක සිට යපස් මගින් යකඩ නිෂ්පාදයකර ඇති බවට දෙස් දෙන්නකි. එසේ පැවති යකඩ නිස්සාරණය කරගත් ස්ථාන හෝ හටන්පල ප්‍රදේශයේ තිබුණ එම යකඩ යොදා ගනිමින් නිෂ්පාදනය කළ වානේ සහ වානේ පුරාණ යුද අවිආයුධ, ගල්වඩු ආයුධ හා කෘෂිකාර්මික ආම්පන්න නිපදවීමේ අවස්ථාවන් 1819 මේ ප්‍රදේශය හරහා ගිය ජෝන් ඩේවිට හමු නොවුනි. එහෙත් ආනන්දකුමාරස්වාමි විද්වතාගේ ගවේශන වලට ඉතා හොඳින් ලක්ව ඇත්තේය. නන්දදේව විජේසේකරයන්ගේද අවධනයට ලක්ව ඇත.(විමසා බලන්න ඩේවි දුටු ලංකාව- ජෝන් ඩේවි- එච්.එම්. ඇල්ලෙපොල පරිවර්තනය මෙන්ම මධ්‍යකාලීන සිංහල කලා - ආනන්දකුමාරස්වාමි සහ ලංකාජනතාව -නන්දදේව විජේසේකර) ප්‍රදේශයේ වළං කර්මාන්තය හා උළුගඩොල් කර්මාන්තය අදට වඩා සරුවට එකල පැවතිනි. ඒ සඳහා ප්‍රයොජනයට ගත හැකි මැටි බහුලව ලබාගත හැකි ප්‍රදේශයක් ද විය. භූ විද්‍යාත්මකව රතු සහ කහ පොඩ්සෝලික පස සහිත ඛාණ්ඩයට මේ ප්‍රදේශය ද ගැනෙයි. විවිධ කාර්මික ව්‍යාපාර සඳහා විවිධ ඛනිජ සම්පත් බහලු බවට සාධක එමට ඇති අතර ඒ සඳහා විධිමත් ගවේශන තවම සිදු වී නැතැයි සිතේ. ප්‍රදේශය ආශ්‍රිත විශේෂිතම ඛනිජ සම්පත වන්නේ කොරන්ඩම් වර්ගයේ නිල්, රතු, පුෂපරාග, රත්න පුෂ්පරාග, පද්මරාග හා ගෙවුඩ වැනි මැණික් වර්ගයන් වේ. කොරන්ඩම් යනු දියමන්ති වලට පමණක් දෙවැනි වන දැඩියාවෙන් යුතු ඛනිජයකි. එහෙයින්ම ඒවා දුර්ලභ මෙන්ම ඉතා වටිනා මැණික් වර්ගයකි. 1970 වසර ලබන්නට ආසන්නයේ මැණික් සම්පත බහුල වශයෙන් අනාවරණය විය. මුලදීම මැණික් බහුලව ලැබෙන්නට වූයේ දේවාලයට බටහිර දකුණ ගිනිකොණ දෙසින් උතුර බලා විහිද යන කුඹුරු යායේය. කලින් විස්තර කළ පරිදි ප්‍රදේශයේ ජලවහන රටාවේ මෑත අතීතයේ එය ප්‍රදේශය වටා ගලා බැස ගිය ඔයකි. අඩි 14-18 දක්වා පොළව යට මැණික් සහිත ඉල්ලමේ මධ්‍යකාලීන යුගයේ නිෂ්පාදිත මැටිභාණ්ඩ "ගිර" (nut crackers) යකඩ පෙට්ටගම්, විදින ලද මැණික් වර්ග ද නොයෙක් පුරාවස්තු අනාවරණය වූ බව පතල් කරුවවෝ පවසති. ලේඛකයාට ද එවැනි දෑ දක්නට ලැබුණත් පෙන්විය හැකි වස්තුවකට දැනට ඇත්තේ දේවාලයේ බටහිර ආලින්දයේ තැන්පත් කර ඇති අතිවිශාල ශාඛයකින් සකස් කරන ලද දැවමුවා පාලම් කඳ පමණි. "රංගනාථමුල්ල" හෙවත් අද ව්‍යවහාර වන පරිදි "සංගනාතමුල්ල" යනුවෙන් හැඳින්වෙන කුඹුරේ මැණික් පතලයක යට කී පරිදි දිරාපත්ව යමින් තිබූ යකඩ පෙට්ටගම හා ගිරය ද හමුවී ඇති බව පැවසේ. මෙසේ හමු වූ දේ අතර රන් ආභරණ හා විශාල ප්‍රමාණයේ රත්රන් කැබලි ද එකල මැණික් සමගම විකුණා දැමූ බව ගැමියෝ පවසති. කුඹුරු යායේ හමුවූ මැණික් බොහෝ විට කැරට් 300 හෝ 400 ඉක්මවා යනතරම් විශාල ඒවා වූ අතර ඇතැම්විට කැරට් 1000-2000 අතරට වැටෙන රත්නපුෂ්පරාග ගනයේ පුෂ්පරාග ද වූ බව පැවසේ. ගැමියන් පතල්වල හවුල්කරුවන් ද වූ බැවින් ගෙවල් දොරවල් අලුතෙන් ඉදි කරමින් සුඛොපභෝගී ජීවිතයකට හිමි කම් ලැබූ නමුත් එතරම් සීඝ්‍රයෙන් අධ්‍යාපනයෙන් ලද ශික්ෂණයක් නොලැබූ හෙයින් ඇතැම්විට අධ්‍යාත්ම පරිහානියක ලකුණු ද දක්නට ලැබිණි. එහි ප්‍රතිඵලක් වශයෙන් පිටතින් පැමිණි ව්‍යාපාරිකයන්ට ගැමියන් රවටා ගැනීමේ හැකියාව ලැබුණ බවක් බොහෝ ගැමියන්ගේ අදහසයි. 1985 "බෝගහකඹුර" ට ඉහළින් වූ තලාවේ අැවිද ගවයන් සොයා ගිය තරුණයක් දෙදෙනකුට අහන්බෙන් පෑදුනු මැණික් තොගයක් නිසා දැඩි උද්‍යෝගයකින් ඇලලී ගිය කැළඹිල්ලක් ප්‍රදේශයේ දක්නට ලැබිණි. අඩි 25x25x25 පමණ කොරන්ඩම් ගණයේ නිල්මැණික් පමණක් තිබුණු ඒ කොටස ගැමියන් හැඳින්වූයේ නිධානය වශයෙනි. ලංකාවේ එවැනි ආකාරකින් මැණික් ලැබුණ බවට තොරතුරක් නොමැත. ලැබුණ මැණික් ගමටම පැමිණි ව්‍යාපාරිකයන් විසින් මිලදී ගත් අතර එයින් ලබාගත් මුදල් භාවිත වූයේ පරිභොජනයට පමණක්ම දැයි සිතෙන තරමට ලැබූ දියුණුවක් නොවූ බව පෙනේ. මෙලෙස මැණික් සහ ඒ ආශ්‍රිත ඛනිජවර්ග හැරෙනවිට සමනළවැව ඉදි වීමට පෙර රත්රන් ගරාගැනීමේ හැකියාව ප්‍රදේශයෙන් ගලායන වළවේ ගංගාවතුළින් ලැබුණි. මැණික් සෙවීම සඳහා ගඟ ඇදීම වශයෙන් හඳුන්වන ක්‍රමයක්ද වෙයි. මෙසේ ගඟ ඇදීමේ දී "මාලාව" යනුවෙන් හැඳින්වෙන ඉල්ලමට යටින් ඇති මෘදු පාෂාණ කොටසේ රත්රන් ලැබීම ගැමියන්ට පෑදුන අතිරේක වාසියකි. සමහර දිනෙක මැණික් නොලැබුණ ද සෑම දිනකම රත්රන් ලැබෙමින් පැවතුනි. සාමාන්‍යයෙන් එක් අයකුට දිනකට එකල රුපියල් 300 කට මිල කළ හැකි රත්රන් ප්‍රමාණයක් පහසුවෙන් ලබා ගැනීමට හැකියාව තිබුණු බව පැවසේ. රත්රන් ගැරීම නතරවූයේ සමනළවැව ඉදි කර පිරවීමෙන් අනතුරුවය. මෙයින් අනාවරණය වන්නේ මේ ප්‍රදේශය රත්රන් වැනි වටිනා ඛනිජ වර්ගයන්ගෙන් ද පොහොසත් බිමක් වශයෙනි. යකඩ වානේ පමණක් නොව පුරාණයේ සිටම මැටිකර්මාන්තය ද ප්‍රදේශයේ ප්‍රධාන රැකියාවකි. මහා පෙරහර උත්සවයේ දේවාලයේ මළුවේ පැවැත්වෙන පෙරහර මුල් දින පහ මැටිකර්මාන්ත ශිල්පීන් පෙරමුණු කරගෙන දේවාල මාලිගය පැදකුණු කරමින් ගමන්ගනී. මේ දින පහ පෙරහර පෙරමුණේ ගමන්ගන්නේ පොල්මල් පිටතට පෙනෙන පරිදි රුවාගත් සුදුපිරුවටවලින් වසන ලද පුන්කලස් දෙකක් දෑතින් ගත් ප්‍රවේනි රාජකාරියක් ඉටු කරන මැටිකර්මාන්ත ශිල්පීන් දෙදෙනෙකි. එය හැඳින්වෙන්නේ ද "කුඹල් පෙරහර" වශයෙනි. උළුගඩොල් හා මැටි කර්මාන්තයට ගැලපෙන පස මිණිරන් හා තලාතුමිණිරන්ද(talc) මේ ප්‍රදේශයේ ලබාගත හැකිය. අනාරවරනය නොවූ සහ තවමත් අනාවරණය වෙමින් පවතින වටිනා විවිධ ඛනිජවර්ග බහුල බව ලැබෙන තොරතුරු අනුව නිගමනය කළ හැකිය.
දේශගුණය
21 සියවස මුල මේ පියසේ වෙසෙන අයට දේශගුණය සමහර විටෙක තරමක් වියලි, විශ්වාසය තැබීම අපහසු කාලගුණ රටාවක් සහිත බවක් දැනේ. එසේ වී ඇත්තේ සමනළ වැව හා එය ඉදිකිරීමේ දී ඇති වූ පරිසර විනාශය බව පැරැන්නන්ගේ අදහස වෙයි. පුරාණයේ වඩා ස්ථාවර වූ කාලගුණරටාවක් සහිත දේශගුණයක් පැවති බව පැරැන්නෝ නිතර කියති.වප්(ඔක්තෝබර්) සිට දුරුත්ත(ජනවාරි)දක්වා මෙහි ප්‍රධාන වැසි කාලයයි. සැප්තැම්බර් මැදදී පමණ ඇරඹෙන සංවහන වැසි(දෙගොඩ දෙවාරමේ වැසි) ඊසාන දිග මෝසම නිසා නොවැම්බර් මාසය මැද වන විට පැල්බැඳගෙන වැටෙන හද්දාවැහි බවට පත්වෙයි. "හද්දා වැහි → හත්දා වැහි" යනුවෙන් විග්‍රහ කර දිනහතක් පුරා නොකඩවා වැටෙන වැස්සක් පැවති බව පැරැන්නන් දක්වන වැහි ගැන ඊසාන දිග මෝසම් වැසි බව පෙනේ. දෙසැම්බර් මාසය පුරාවටම වැසි වැටෙන අතර ජනවාරි(දුරුතු) මැද කිට්ටු වන විට වැසි අඩුව යමින් උදය කාලය බොහෝ විට ඝන මීදුමින් වැසෙන පරිසරයක් උදාවෙයි. ඒ වැසි නවතින ලකුණ ද වෙයි. පෙබරවාරි(නවම්) මාසය උදෑසන මීදුම් සහිත වියලි කාලයකි. මෙය උඳුවප් මහ දුරුත්තයයි ගමේ ඇත්තෝ කියති. උඳුවප් මහා දුරුත්ත එනතුරු ගෙම් බිම්වල වැවෙන හතු වර්ග ආහාරයට ගැනීමේ ආශාවෙන් බොහෝ අය වෙති. මහ කන්නයේ අස්වනු නෙලන කාලය ළං වෙයි. අලුත්සහල් මංගල්‍යය පැවත ඇත්තේද මේ කාලයේය. හුණුවෙල පේරස් ඇල ආසන්නයේ කුඹුරු යායක හා නළුවෙල මුත්තෙට්ටුවක මුල් අස්වැන්න අදත් දේවාලයේ අලුත්සහල මංගල්‍යය සඳහා වෙන්වන බව කියවේ. මාර්තු අග විට සංවහන වැසි කාලයයි. එය ප්‍රදේශයේ හැඳින්වෙන්නේ බක්පටාරය ලෙසිනි. වචනාර්ථය අනුව එහි වැසි සමග ශබ්දයක්ද පවතින බව හැඟවේ. අප්‍රෙල් හෙවත් බක් මාසය උදයකාලයේ වහීද කියන්න බැරි තරමට පායා තිබී හවස 1.00ත් 2.00 ත් අතරදෙගොඩදෙවාරමේ වැස්ස අකුණු ද සමග කඩා හැලෙන්නට වෙයි. සංවහන වැස්ස මේ ඇත්තන් හඳුන්වන්නෙ දෙගොඩ දේවාරමේ වැස්ස යනුවෙනි. එම වැසි සහිත කාලගුණය වෙසක් මස අවසන් වන විට ක්‍රමයෙන් අඩුවෙමින් යන එකකි. වෙසක් මස සමගම සුළඟද ඇරඹේ. ඒ නිසා විහාරයේ පොල්තෙල් පහන් දල්වන්නේ අමාරුවෙනි. වෙසක් කූඩු සෑදුවද සුළඟනිසා ඒවා තුළ ඉටිපන්දම් ස්ථාවරව නොපැවතීම කුඩාදරුවන් හඬවන්නකි. පොසොන් මස වන විට නිරිත දිග මෝසමින් හමා එන සුළඟ සමග එන්නේ හරස් අතට වැටෙන වැස්සකි. පොහොන වහිනවා යනුවෙන් ගමේ ඇත්තෝ කියති. නැගෙනහිරෙන් ඉර එළය වැටෙද්දී බටහිරෙන් පොහොන වැටේ. එය අවුවයි වැස්සයි දෙකම එක් ව ප්‍රදේශයට ලැබේ. කඳුමුවාව බැවින් එය කෙසේවත් බලවත් වැස්සක් නොවේ. ජුලි (ඇහැල මහ) වනතුරු මෙසේ සුළං සමග මද වැසි පතිතවෙයි. "බස්නාහිර වැස්ස විස්වාස කරන්න පුළුවන් එකක් නෙවෙයි." මේ ගමේ ඇත්තන් මේ අවදියේ කාලගුණය විස්ත කරන ආකාරයයි. ජුලි මැද වන විට මේ වැසි අවසන් වීම සමග වියලි කාලගුණය දක්නට ලැබෙයි. ඇහලමහ නිකින්නේ ඉඩෝරය වශයෙන් ගැමියෝ හඳුන්වති. ප්‍රදේශයේ හමායන වියලි සුළංධාරා ද දේවාලගමේ මේ කාලයේ සුළභය. දරුවන් විසින් සකස් කරන ලද "හූබට බඳින ලද සුළංපෙති" හේන් යාය වල් පාළු කරන සතුන් බියගැන්වීමට බඳින්නේ ද මෙකලය. දවස පුරා සුළංපෙති කරකැවෙන නාදය දසත පැතිරෙයි. වරින්වර උස්ව නැගෙන එය වගා හානි කරන සතුන් පළවාහරින උපක්‍රමයකි. එය "සුළංහොල්මනක්" යනුවෙන් වැඩිහිටියෝ හඳුන්වති. යල් කන්නය බැවින් වී අස්වැන්නට වඩා මෙකල දක්නට ලැබුණේ හේන් අස්වැන්නය. ඇසල මාසය හෙවත් ජුලි මාසයේ අමාවක දිනයට පසු දිනය (අවඅමාමාසයේ පෑවිය දිනය) මහ පෙරහර කරන බවට දෙවියන්ට පොරොන්දුවෙමින් දේවාලයේ කප්සිටුවීම කෙරේ. කලට වැසි වස්වා සශ්‍රීකත්වය ලබා දෙන ලෙස දෙවියන් කන්නලව් කිරීමද මේ සමග වෙයි. උෂ්ණත්වය 1819 මාර්තු මස පැමිණි ඩේවිගේ මානයේ සටහන්ව ඇත්තේ ද සෙන්ටිග්‍රේඩ් අංශක 26 ක් වශයෙන් බවක් සටහන්ව ඇත. ප්‍රදේශයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 24 ත් 25ත් අතර අගයක දැක්වේ. වියලිකාලයේ සුළං හමායන බැවින් අවුරශ්මිය බහල වුවද උෂ්ණත්වය නොනගී. ජනවාරි පෙබරවාරි ශීත කාලයය සේ ප්‍රදේශයේ හැඳින්වෙමින් උඳුවප්මහ දුරුත්තේ හීතල ව්‍යවහාර කරතත් ගෙවල් තුළ හෝ එළමහනේ මිනිසාට දරාගත නොහැකි මට්ටමක උෂ්ණත්වය පහළ යාමක් හෝ ඉහළ යාමක් කිසිවිටක වාර්තාවී නැත. මේ තොරතුරු හා දත්ත අනුව ප්‍රදේශයේ දේශගුණය දිවයිනේ තෙත් සහ වියලි කලාපයන් අතරට වැටෙන ක්‍රාන්තීය කලාපයක් සේ නිගමනය කළ හැකිය. එමෙන්ම එය කඳුකර දේශගුණයකි. ස්වාභාවික ආපදා පිළිබඳ වාර්තාවක් පැරැන්නන්ගේ සාකච්ඡාවල දී ද දැනගත නොහැකිය. මේ පිළිබඳ දැනට 75 විය ඉක්මැවූ පුරාණ තොරතුරු පිළිබඳ සංවේදී තාවයෙන් යුතු හා දැනඋගත්කම්වලින් යුතු අය කිසිවෙක් තමා ඇසූ දුටු කලෙක එවැනි ස්වාභාවික ආපදාවක් නොවූ බව සඳහන් කරති. භූගෝලීය තත්ත්ව නිසා නිසා ලංකාවේ මෑතදී ඇති වූ ස්වාභාවික ආපදා කිසිවකට උග්ගල් අලුත්නුවර ගොදුරු නොවූ බව ලේඛකයාගේද සහතිකය වෙයි. සාමවිනිසුරු ඒ.ජී. අල්විස් ලේකම් මහතා මේ ස්වභාවය ගැන කියනුයේ "පෙරැස් ඇලෙන් මෙගොඩ උග්ගල් අලුත්නුවර ප්‍රදේශයේ නැගෙන හිර සීමාව වූ පඹහින්න දක්වාද, උතුරු සීමාව ලෙස ගත හැකි බොල්තුඹය ප්‍රදේශය හා මොරහැල දෙසින් ඇති රදළ නින්දගම් ප්‍රදේශ වලින් මෙපිට හා දකුණේ සහ නැගෙන හිරෙන් ගලා බසින වලවේ ගංගා සීමාව දක්වාද කිසිවිටෙක ස්වාභාවික විපත් ඇති නොවේ. කතරගම දෙවියන්ගේ ආරක්ෂාව හැම විටම පවතී" යනුවෙනි. ගංවතුර ගලා යටවීමට තරම් භූවිෂමතාවේ අනුබලයක් නොමැති අතර නායයාමට ගොදුරු විය හැකි අන්දමේ බෑවුම් හා කඳු ගම්මානය ආසන්නයේ නැත. එහෙත් ගම් ප්‍රදේශයට පුරාණයේ සතුරු අවදි වල දී රැකවරණ සැපයූ විශාල කඳු නොවූවත් පවතින ස්වාභාවික උස්බිම්, නැගෙනහිර හා බටහිර දෙපසින්ම ඇත. මේ නිසාම 1620 පමණ කොන්ස්තන්තීනු ද සා බළන්ගොඩ ගමින් පැමිණ මැද්දේගම් රාජධානිය ගිනි තබා ඉඹුල්පේ දක්වා පැමිණ ඇති බව කුස්තන්තීනු හටන කාව්‍යයේ ඇතත් මේ ප්‍රදේශය හමුවූ බවට සාක්ෂියක් නොලැබේ. ඔහු තමාට හමුවන සෑම ගමක්ම, මල්වානේ සිට මැද්දෙගම් රාජධානිය හා එය පසුකර දෙනගම් ඔය දිගේ පැමිණෙන විට හමුවන සෑගමක්ම සිද්ධස්ථානයක්ම විනාශ කර ගිනිතබා දමන ලද්දෙක් බව එම හටන් කාව්‍යය පැහැදිලි කරයි. උස්බිම් හා වනාන්තරයෙන් වැසී තිබුණු උග්ගල් අලුත්නුවර ඔහුට හමුව නැති බව පැහැදිලි කරණකි. තද සුළඟකින් වියහැකි ආපදා ද වැලකී යාමට ද එයම හේතුවකි. වැස්ස අඩු නොවන බැවින් ජලහිඟයක් නිසා ඇතිවන නියංසායක් පිළිබඳ බියක් ද කිසිකලෙක තිබූ බවට ද වාර්තා නොමැත. තද වැහි මාසවල දී (නොවැම්බර් දේසැම්බර් මාස)සිදුවන අකරතැබ්බය වී ඇත්තේ රැකියාව සඳහා යාමට ඇති අපහසුවය. ආහාර සංරක්ෂණ උපාය මාර්ග වශයෙන් වැලිකොස් ඇට වැලි අටු කොස් වැනි දෑ පිළියෙල කර ගැනීම පිළිබඳ සාම්ප්‍රදායික සුරුබුහුටි කම් අදත් පෙදෙස් වැසියන් සතුය.
ස්වාභාවික වෘක්ෂලතා
මේ ප්‍රදේශයේ පවතින දේශගුණික සාධක වල බලපෑම නිසා තෙත්කලාපීය සදාහරිත වෘක්ෂලතා මෙන්ම වියලිකාපයට අවේනික අර්ධ පතනශීලතාවෙන් යුතු තුරුලතාවන්ද බහුල වේ. තැනෙන් තැන මානා ඉලුක් වැනි තෘණ වර්ග අඩංගු තලාවන් මෙන්ම විරල වශයෙන් කටුපඳුරු ද දක්නා ලැබෙයි. ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙන වටිනා ශාඛ වර්ග කීපයක් පහත දැක්වේ.
- ගම්මාළු
- කුඹුක්
- බුරුත
- කරුවල හා කළු මැදිරිය
- මී
- කහට(ප්‍රදේශ වැසි ඇතැමුන් හඳුන්වන පරිදි “කඩුපුල්”)
- කැකුණ හා දික් කැකුණ(ප්‍රදේශ වැසියන් හඳුන්වන පරිදි “දෘතරාෂ්ට්‍ර”)
- කැන්ද සහ වැරව්
- මිල්ල, මාදන් සහ දඹ
- මරං(යකඩ උනු කිරීමේදී මරං දර විෙශ්ෂයෙන් භාවිත වූ බව යමන් නමින් හඳුන්වන ශිල්පීන්ගෙන් පැවසේ. යකඩ නිෂ්පාදනය පිළිබඳ පවසන නන්දදේව විජේසේකර ශූරීහු සිය ලංකා ජනතාව කෘතියේ පිටරටින් ආනයනය කිරීම නිසා යකඩ උනු කිරීම නැති වී යාමට ඉඩ ඇති බව පවසයි. අද එම අනාවැකිය සාර්ථකව ඇත. යපස් උනුකිරීමක් අද නොකෙරේ.)
- හුලංහික්
- නා
- අරළු,බුළු,නෙල්ලි
- පලොල්
- ගොරක
- කදුරු
- සපු වර්ග සියල්ල
- කුඩුදවුල
- දවුල්කුරුඳු
- පැඟිරි කුරුඳු
- කොහොඹ
- රුක්අත්තන
- එරමුදු වර්ග
ආදී ලෙස පළමු පන්තියේ දැවමය වටිනාකම් සහිත ශාඛ මෙන්ම ඖෂධීය ශාඛ ලැයිස්තුවක්ම ඉදිරිපත් කළ හැකිය. මෙහිදී සටහන් කර ඇත්තේ වඩා බහුල වශයෙන් දක්නට හැකි වූ ශාඛ හා වැල්වර්ග වෙයි. අරළු, බුළු, නෙල්ලි, පලොල් සහ ගොරක වැනි ශාඛ යායයන් වශයෙන් පැතිර ගොස් තිබුණි. ඇතැම්විට ඒවා වඩා වටිනා ඖෂධීය ශාඛ වශයෙන් භාවිත වීම නිසා වගා කිරීමට ද පෙළඹුනා විය හැකිය. මරංශාඛය ද මෙවැනි යායන් වශයෙන් පැතිර තිබේ. මෙහිදී විශේෂිත වූවකි. කුඩුමිරිස් වැල ද මෙහිලා විශේෂයෙන් දක්නා ලද යකඩ උනු කිරීමේදී කුඩුමුරිස් වැල ද දර වශයෙන් භාවිතයට ගැනුනි. කුඩුමිරිස්, මරං වැනි ශාඛ වල දරවර්ග කිසියම් අනුපාතයක් අනුව යකඩ වානේ නිෂ්පාදනයේදී යොදා ගත් ආකාරය ආනන්දකුමාරස්වාමිගේ නිරීක්ෂණයන්ට ද හසුව ඇත. ඉතා දුර්ලභ සමහරවිට මේ ප්‍රදේශයේ පමණක්ම තිබූ “මල්මදාරා” ශාඛයද මෙහි සටහන් කළ යුත්තකි. එය පූජනිය ශාඛයක් වශයෙන් සැලකුණකි. එය "Historical Malmadara tree" යනුවෙන් නම් කර 1940 අඟලේ සිතියමේ කෝන්ගහමංකඩ ආසන්නයේ කටුපත්ඔය හා දියවිනි ඔය යාවන ස්ථානයේ සටහන් කර තිබේ.
- වේ වැල් වර්ග (මාවේ වැල්, හීන් වේවැල් )
- වෙනිවැල්,
- හිඹුටු, කොතල හිඹුටු
- පුස්වැල්
- මදුවැල්
- අඟුණ වැල්
- රස කිඳ,තිත්තකිඳ
- වැල් රුක්අත්තන
ලෙස වටිනා ඖෂධීය හා කාර්මික නිෂ්පාදන වටිනාකම් සහිත "වේ" වැනි විටිනා වැල්වර්ග ප්‍රධානවෙයි. සමනළවැව ඉදිවීමත් සමග මේ වෘක්ෂ ලතා වර්ග බොහොමයක් කැපී විනාශ මුඛයට ගිය අතර “වෘක්ෂ දේවතාවුන් වහන්සේලා වැඩහිටිය ගස්පවා පෙරලා දැමුව එක නම් හොඳකට සිද්ධ වෙච්ච දෙයක් නොවෙයි” ආදි දෑ කියමින් මේ වනස්පති වෘක්ෂ සිඳී යාම දකිම්න ගැමියෝ කම්පාවූහ. මේ ඇත්තෝ පරිසරයට මහත් භක්තියක් දැක්වූ එය ඇදහූ අය වෙති. මෑත අතීතයේ වර්ධනය කරගත් ආකල්ප අනුව හැඩගැසුන, එනම් 1889 න් පමණ පසුව ස්ථාපනය වූ බටහිර ආකෘතියේ පාසල් අධ්‍යාපනයෙන් ලද ශික්ෂණය යටතේ ගොඩ නැගී ඇති චින්තනය අනුව ගස්වැල්වලට වැඳීම මුලාවක් ලෙස දකිමින් සිනහවට ලක්කළෝ වඩා නුවනැත්තෝ වූහ. සත්‍යය එයද ? යනුවෙන් ප්‍රශ්න කිරීමට කාලය පැමිණ ඇතුවා වැන්න. ගසක් කපා දැමීම පැය කිපයක් ඇතුලත කළ හැකි වුවද වනස්පති වෘක්ෂයක් ඒ තත්ත්වයට පැමිණීමට ගතවන කාලය, ඒවායින් මිනිසා සහ සත්ව ප්‍රජාව වෙත ලැබෙන අමිල සේවාව ගැන සලකන විට වැඳුම්පිදුම් ලැබීමට නුසුදුසු නොවේ. ඔවුහු ගස්වැල් එක්තරා අපූරු ජීවියෙක් බව අලුතෙන් හඳුන්වා දීමට පෙර සිටම දැන සිටියේ " අපූරු ජීවියෙක් වශයෙන් පමණක් නොව තමන්ට පිහිට වන ජීවමානව පෙනෙන දෙවියෙක් වශයෙනි, දේවි දේවතාවුන් වහනසේ ලා වැඩ සිටින විමානයන් වශයෙනි. “මෛමතය” යනුවෙන් හඳුන්වා දෙන පොත් පිංච ඉදිරිපත් කරමින් ගමේ දැනමුත්තකු (සාමවිනිසුරු ඒ.ජී. අල්විස් මහතා වැනි අය) ගසක් කැපිය යුතු ආකාරය ලේඛකයා සමග විස්තර කළේ සිදුවන ශාඛ විනාශය ගැන කම්පාව පළ කරමිනි. තම ප්‍රයෝජනය සඳහා ගසක් කපා ගැනීම හා හේනක් එළි කර ගැනීම සඳහා කැළෑ කොටසක් එළි කර ගැනීමේ ලා පිළිපදින චාරිත්‍ර සමූහයක් හෙතෙම විස්තර කරයි. “මායාමතය” ලෙස ආනන්ද කමාරස්වාමි ගේ විමසුමට ලක් වූ ග්‍රන්ථය ද මේ කියන “මෛමතයම” විය හැකිය. දැනට මදාරා ශාඛයක් මහවලතැන්නේ චන්ද්‍රසේකරාරාමයේ දැකිය හැකිය. එය මල්මදාරා නොවන බවට මතයක් ද පවතී. ඉහත කියවෙන ඓතිහාසික මල්මදාරා ශාඛය ඉංග්‍රීසි පාලන අවදියේ සිටි සබරගමුවේ දිසාපතිවරුන් නිරීක්ෂණය හා අධ්‍යයනය පිණිස වරින්වර පැමිණිබව ඔවුන් තබා ඇති දිනසටහන් මගින් තහවුරු වෙයි. පුරාණයේ සිටම වී ගොවිතැන තමන් විශේෂායනය වූ ශිල්පයට අනුව කළ නිෂ්පාදනයන්ට අමතරව සෑම දෙනාම නිරත වූ ආර්ථික කටයුත්තකි. වී ගොවිතැන පමණක්ය එක් කුලයකට සීමා නොවීය. දෙනගංඔය, වළවේ ගඟ සහ පිටවල ආර වැනි ප්‍රධාන ජල ප්‍රවාහයන්ට සම්බන්ධවීමට ගලා බසින උල්පත් වලින් ගලා එන කුඩා ජල ධාරාවන්හි නිම්න ඒවායේ මෝයයන්ට ආසන්නවත්ම දෙපස අස්වද්දාගත් කුඹුරු වලට ජලධාරාවන්ගේ ඉහළින් බඳින ලද අමුණු සහ ඒ අනුව සකස් කළ ඇළ මාර්ග මගින් සම්පාදනය කරගත් ජලයෙන් වී වගාව සරුවට කළ අතර දේවාලයට සම්බන්ධ රාජකාරි කුඹුරු ඉඩම් ප්‍රමාණය සමනළ වැව ඉදිවනතුරු අක්කර 800 ඉක්මවා තිබුණි. ජුලි මස (ඇසල මස) දේවාලයේ මහා පෙරහර මංගල්‍යයෙන් අනතුරුව හේනක් සකස් කර ගැනීම සඳහා අවධානය යොමු වෙයි. මහ කැළෑව ඒ සඳහා භාවිත කළ බවට සාධකහමු නොවේ. කුඹුරට ආසන්නයේ රාජකාරි පංගුව සේ ලැබුණු ගොඩ ඉඩම් ඒ සඳහා භාවිත වී ඇත. මීට අමතරව තිබූ වගාවන් අතර කිතුල් තල් කොස් දෙල් පොල් පුවක් සහ කෙසෙල් අඹ උක් ගස් වැනි වගාවන් සරුවට කළ හැකි පරිසරයක් වූ බව මේ ඡේදයේ ඇති පළමු කවිය ද පෙන්වා දෙයි. ස්වාභාවික වනසතුන් අතර වලසා කොටියා සහ ඇතා කුළු හරකාද විය. මෙයින් හීලෑවූ ගවයන් මගින් දේවාලයේ පට්ටිකාරපංගුවේ ගවයන් රෑනක්ම වී ඇති අතර එක් එක් අයභාරයේ සිටි ගවගහනය සම්පතක් විය. ඇතා පෙරහරට එකල ද අත්‍යවශය වී ඇත. මිනිසාට ළංව ස්වාභාවිකව කීකරු වී සිටි බවට තොරතුරුද ජනකතා අතර හමුවේ. එැවිනි සතුන් ගැමියන්ගේ ආදරය දිනාගත්තන් වී ඇති බවට ජනකවි ද හමුවේ. මෙහි ඇතුන් පිළිබඳව ප්‍රදේශයේ ඇති කලාත්මක අගයෙන් අනූන ජනකවියක් පහත දැක්වේ.
කන්දේ කකා ලන්දේ යන බෝසත්තූ අතමිණි බැඳ පය මිණි බැඳ ජයගත්තූ රාජසබාවෙන් කරුණා ලැබගත්තූ වළවේගඟට බැස්සයි ගෝමරඇත්තූ
ස්වාභාවික වෘක්ෂලතා කලාපයේ පැවති නොඉඳුල් වනය(virgin forest) මිනිසාගේ අසීමාන්තික මැදිහත්වීමෙන් හෙලි පෙහෙලිවන්නට වූයේ ශ්‍රීලංකා ඉතිහාසයේ මධ්‍යකාලීන යුගයේ ඇරමීමත් සමග වගේ බව ඉතිහාස පුවත් විමසනවිට පැහැදිලි වේ. රොබට් නොක්ස්ගේ වාර්තාවන් විමසනවිටද මහනුවරින් බැහර එහි නිරිතදිග කොටස් ඝනවනාන්තරයෙන් වැසී තිබුණ බව පැහැදිලිවේ. අප්‍රමාණ ලෙස පාරවල් ිබුණද ඒ සෑම එකකම යායුත්තේ එකාපස්සේ එකා ගමන්කිරීමෙන් පමණක් බව ද ගංගා හරහා පාලම් නොතිබුණ බවක්ද නොක්ස් කියයි. පුරාණ පුස්කොල ලේඛනයේ හමුවන ගැට්ටපාන වන්නිරාල සහ කොට්ටයාකන්දේ වන්නිරාල වැනි චරිත වලට නම්පටබැඳ ඇත්තේ ඔවුන් කැළයේ අධිපතිත්වය දරන අයසේ හැඟවෙන අයුරෙනි. නොඉඳුල් වනයට අත තැබීම ඉමහත් පරෙස්සමින් කළ බවට සාධකයක් වන්නේ ගමරාලවරුන් අතර නොව වන්නිරාලවරුන් පිරිසක්ද සිටි ඇති බවට සාධක හමුවීමෙනි. එකල වන්නිකරය යනුවෙන් මේ පෙදෙසද හඳුන්වන්ට ඇති බව මේ අනුව සිතිය හැකිය. ක්‍රි.ව. 1382 ම්ලවරට ඉදි කළ දේවාලය මැදගම වනාන්තරයේ තිබූ මැදගම දේවාලය විය. එය වනයෙන් වැසී ගොස්තිබුණු තරම කෙතරම් ද යත් ඒ ආසන්න උස්බිමේ පිහිටි නුගවෘක්ෂය යට සේනා සංවිධානයේ යෙදී සිටි රජුට පවා පළමුවරට හඳුනාගන්ට ලැබුණේ සංඛනාදයක් ඇසීමෙනි. ඒ නාදය අනුව කළ විමසීමෙන් පසුව සෙනෙවිවරුන් විසින් දේවාලය ගැන පවැසීමත් තම අපේකෂාව පරිදි යුද්ධය දිනුවොත් "මෙතන දෙවියන්ට නුවරක් කරවා ගමුත් පුදවමියි" භාරවීමෙන්ද හෙිවන්නේ ඒවනවිටත් මෙය වනාන්තරයක් වශයෙන්ම තිබූ බවයි. මේ කාලය පුරාණ ලේඛනයේද දැක්වෙන ලෙස 1582 වේ. ඒ අනුව මේ පෙදසේ කැළය ඉඳුල්වීම හරි හැටි ඇරඹී ජනාවාස බිහිවන්නට වූයේ 1582 න් පසුව බව කිවහැකිය. දේවාලය සඳහා පරිශ්‍රය ගොඩ නැගීමේදී "බින්දවා තුර මුලුත් උදුරා සතරවීදිය තනා අවටින." වශයෙන් කන්දකුමාර සිරිතේ දැක්වුනද එය කර ඇත්තේ ඉවක් බවක් නොමැතිව නොවන බව පසුකාලීනව වනයේ ඇති වූ වෙනස්කම් සාක්ෂි දරයි. දේවාල පරිශ්‍රයට ආසන්න කැළය වනස්පති ගනයේ ඔෂධමය ගස්වලින්ද දේවාල පරිශ්‍රය බෙහෙත් පැළෑටිවලින්ද සමන්විත වන ආකාරයෙන් සැලසුම් වී තිබුණ බවද මනාව පැහැදිලිවන සාක්ෂි ලැබේ. මේ වෙනස සිදුව පැවති ආකාරය පහතින් විස්තර වේ.
සැළසුම් කළ පුරාණ ඔසු උයනක්.......? උග්ගල් අලුත්නුවර ...!
ස්වාභාවික වෘක්ෂලතා හෙවත් නොඉඳුල් වන ගහනය නිමවන සීමාව පුරාණයේ වැවූ කළැ වැනි තත්වයකට පත්වන ආකාරය මේ පුරාණ දේවාල පරිශ්‍රය ළංවද්දී දක්නට හැකිය. 1582 සපමණ සිටට දේවාල පරිශ්‍රයට ආසන්නයේ ළඳු කැළෑවල බහුල වශයෙන් පැතිරී ගිය යායවල් ආකාරයට කැකුණ, පේරවර්ග, කොතල හිඹුටු, හිඹුටු, “නෝනපලං” යනුවෙන් හැඳින්වූ පැෂන්පෲට් වැල්, කැළැ කෙසෙල් හෙවත් ඇට කෙහෙල් වැල් වැල්රුක් අත්තන හා මාවේවැල්, හීන් වේවැල් ද බහුල විය. මේවා අතර දෙල්, කොස්, කැළෑ දෙල්, ගොරක, පොල්, තල්, පුවක්, අඹ, සුදුහඳුන්, කෙසෙල්,නාරං වර්ග, හල්, දොඩම් සහ මුරුංගා වැනි සමහරක් සෘජුවම ආහාර සඳහා ද ඒ අතර ඖෂධ වර්ග වෙනුවෙන් පලොල්, රණවරා, ඇහැළ, නා, කහට, නෙල්ලි, අරළු, බුළු, දෘතරාෂ්ට්‍ර,වල්ලපට්ට,කුඩුදවුල, මී,තල්, පොල්, පුවක්, උක් , කොහොඹ, රුක්අත්තන වැනි විශාල වනස්පති ශාඛ වශයෙන් යායවල් සෙ හමු විය. දේවාල පෙරහර මගින් සීමාවන පූජාභමි පරිශ්‍රය අඩි 3ක් හෝ 4 ක් පමණ ලඳු කැළෑවකින් වැසී තිබෙනු එකල දක්නට හැකිවිය. මේ තත්වය 1970 දශකය දක්වාම විය. එකල පෙරහර නිම වීමෙන් අනතුරුව ඊ ළඟ වසරේ පෙරහර එනතුරු කුඩා ලන්දක් වැවෙයි. එහි දක්නට ලැබුණේ හෙල වෙදකමේ දී මහත්සේ උපයෝගීකරගත් ඖෂධීය පැළෑටි පමණකි. මෙහි සෑම ගෙවත්තකම දක්නට හැකිවූ කැකුණ ගස්වල ගෙඩි වලින් ලබාගත් තෙල්, ගෙවල් අඳුර දුරු කරන පහන් සඳහාත් පෙරහර මග එළියකරන පන්දම් වැටි සඳහාත් උපයෝගී කරගත් බව කියවේ. කැකුණ පන්දමේ ආලෝකය ඇස්වලට ගුණදායක ඔසුවක් වන බව මෙහිම සිටින පුරාණ වෙදදුරන් පළකරන වැදගත් මතයකි.(කළකට පෙර වියෝ වූ පුරාණ පාරම්පරික අක්ෂි වෛද්‍ය මැණික් අප්පුමහතා ගේ ප්‍රකාශයකි.) මේ ශාඛ සමගම සර්වාංග වෙදකමේ යෙදුන හෙළ වෙදවරුන්, හෙළ වින්නඹුමාතාවන්, යම්යම් රෝග සඳහා විශෙෂඥවරුන් සේ කටයුතු කළ හෙල වෙදුන්ද විය. දැනුදු විශමය ජනක ගිනි වෙදකම හටන්පල කම්හල් ආශ්‍රිතව පවතී. සෙංගමාල වෙදකමට දිවයිනේම මහත් ප්‍රසිද්ධියක් ඉසිලූ වෙදමහතා වියෝ වූයේ මෑතදීය. අතිපූජ්‍ය අග්ගමහා පණඩිත ආනන්දමෛත්‍රෙය මහා සමිඳුන්ගේ ඇස්වලට වෙදකම් කරමින් සම්මානයට පාත්‍රවූ අකෂි වෛද්‍යවරයා වියෝ වූයේ මෑතදීය. එම වෙදකම් තවමත් සුරැකි තිබීම ඇතැම්විට වාසනාවකි. එහි නරක ලක්ෂණය වී ඇත්තේ නිධානවේදය පිරිහී යමින් ඔෂධ වට්ටෝරු පමණක් ඉතිරි වන ලකුණු පහළ වීමය. රෝග අනාවරණය පිණිස ඔවුන් පාවිච්චි කළ ක්‍රමවේදයන් අභාවයට යමින් පවතී. කලින් සඳහන් කළ අක්ෂි වෛද්‍ය මැණික්අප්පු මහතා සතුව තිබූ රෝග නිධානවේදයේ සමහර කොටස් අතුරුදහන්ව ගොසිනි. එතුමාගේ දියණිය පියාගේ ඇවෑමෙන් අදටත් රත්නපුර ආයූර්වේද රෝහලේ විශේෂඥ අක්ෂිවෛද්‍ය සේවයේ නියැලෙන්නීය. ඇයට සිය පියාගේ රෝගනිධාන සෙවීමේ ක්‍රමය තමා ලාබාලව සිටිහෙයින් සම්පූර්ණයෙන් ලබාගන්නට අවස්ථාව නොලැබුණ බව කියන්නීය. මේ වෛද්‍යවරයා අතිපූජ්‍ය අග්ග මහා පණ්ඩිත බළන්ගොඩ ආනන්දමෛත්‍රෙය මහ නාහිමි සමිඳුන් සිය ඇස් සඳහා වෙදකම් ගෙන ප්‍රශංසාවට ලක්විය. මහනාහිමිසඳුන්ගේ අනුදැනුමෙන් රත්නපුර ආයූර්වේද රෝහලේ විශේෂඥ සේවයට පත්ව වයෝවෘද්ධව අභාවප්‍රාප්ත වනතුරුම මේ වෛද්‍යවරයා සේවයේ නිරත විය. මේ හැර නොයෙකුත් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු ද ප්‍රදේශයේ වූහ. හෙල සම්ප්‍රදාය අනුව ප්‍රසූතියේ දී විශේෂ සමත්කම් දැක්වූ කාන්තාවන්ද 1960 දශකය වනතුරු වූහ. දැනටත් ඔවුන්ගේ දස්කම් පිළිබඳ ජනතා මතකයේ ඇති දේවල් හාස්කම් වැනි ඇදහිය නොහැකි දේවල් වේ.
- බහුලව හීන් බැවිල සහ මහ බැවිල වශයෙන් හඳුන්වන බැවිල වර්ග
- බහුලව හීන් තෝර සහ මහ තෝර ඇත්තෝර වශයෙන් සියලුම තෝරවර්ග
- බහුලව හීන් බොටියා සහ මහ බෝටියා
- බහුලව කටුතම්පලා සහ රත්තම්පලා වැනි තම්පලාවර්ග
- බහුලව ගෙඳ හා බිම් හීන් කූර මහකූර ඇතුළු කූරවර්ග
- මුකුණුවැන්න වර්ග, ගොටුකොලවර්ග
- ගොඩ කොහිල, නික, රට එඬරු
- වේලා, කටු අනෝදා සහ වල් අනෝදා
- සන්නිනායම්, මදුරුතලා සහ රටතලා
- වැටහිර හෙවත් පත්පාඩගම්
- ඉරවේරිය හා ඒකාවේරිය
- උඩහළු වැල් සහ පෙනෙල වැල්
- පින්න
- ගොකටු
- මෑල්ල
- බිංපොල් හා බිංතල්
- බිංකොහොඹ
- එළවරා
- පිල වර්ග
- කරල්හැබ
- සම්මැට්ටිය
- හීන් රත්මල්
- වල්ලූණු
- හෙන්දිරික්කා
- කොහිල ගාල්
- බුත්සරණ
- සියලුම හබරල වර්ග
- රත්මල්
- සමන්පිච්ච,ගැටපිච්ච ඇතුළු පිච්ච වර්ග
- ඉද්ද වල්ගම්මිරිස් කුඩුමිරිස්
- නිදිකුම්බා
- කලාඳුරු
- බැලතණ
- සස්සඳ හෙවත් සප්සඳ
- දුහුඳු වැල්
ආදි රාශියකි. ඊ ළඟ ඇසළ මස තෙක් වැවෙන මේවා පෙරහර කිට්ටු වනවිට ඵලදරා නව පැළෑටි ජනිත කිරීම පිණිස මැලවී යමින් තිබෙනවා වැනිය. අත්තනායක මොහොට්ටාල නම් වූ දේවාලයේ විධායක මණ්ඩලයේ ප්‍රධානයා හැර අන් සෑම රාජකාරි ඇත්තන්ටම පෙරහරේ සාම්ප්‍රදායික විශ්ෂිත රාජකාරියට අතිරේකව තවත් කටයුත්තක් පැවරී තිබූ බව 1870 කොමසාරිස් ලේඛනය ද පෙන්වා දෙයි. මෙය පංගුරැහිම යනුවෙන් හැඳින්විනි. “පෙරහරට පෙරාතුව වීදියේ හත්රියනක් රැහැලා සුද්ද කිරීම” යනුවෙන් නියමව ඇත්තේ ඉහත පැළැටි සහිත බිම පෙරහරට සූදානම් කිරීම පිණිසය. පෙරහරින් පසුව එන වප් වැස්සත් සමග බිම වැටී සුදුසු පරිදි පදම්ව තිබූ ඉහත කී ඖෂධ පැළෑටි දළුලා නවමු ලෙස වැඩීම සුලභ ලක්ෂණයක් වශයෙන් තිබූණි. ගැමියන්ට මැල්ලුම් හා සලාද වර්ග පිළිලෙ කිරීම පිණිස අවැසි දෑ ද වෙදැදුරන්ට බෙහෙත් වර්ගද නෙලා ගැනීමට අවස්ථාව ලැබෙයි. මෑත්ක වනතුරුම මෙසේ ඵලා නෙලන ගැමියන්ද ඖෂධ වර්ග නොලා ගන්නා වෛද්‍යවරුන්ද දේවාල පරිශ්‍රයේ සුළභ විය. මෙතෙක් විස්තර කළ තොරතුරු අනුව දේවාල පරිශ්‍රය “පැරැන්නන් ඇති කර තිබූ ඔෂධ උද්‍යානයක් විය හැකිය” යන නිගමනයකට පැමිණීම අපහසු නොවේ. බිම්මට්ටම හෝ අඩි 3 ක් හෝ 4 කට වඩා උස නොයන ඔෂධීය පැළෑටි පූජා භූමියේද දෙමට, පලොල්, කහට, අරළු, බුළු සහ ගම්මාළු වැනි වනස්පති ඔෂධීය ශාඛ තදාසන්න වතුවලද වවා තිබුණා වැනිය. නොඉඳුල්වනගහනයට මෙසේ බෙහෙත්වනයක් බවට පත්වීමෙන් මායිම සැදුනේ දේවල පරිශ්‍රය ඉදිවීමෙන් බව පෙනේ.