උග්ගල් අලුත්නුවර/පුරාණ පුස්කොල ලේඛනය

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

ප්‍රාථමික මූලාශ්‍ර ලේඛන අතර දැක්වෙන පුරාණ පුස්කොල ලේඛනයේ උපුටනය පිළිබඳ විශ්වස්‍යතාව හා වලංගුතාවය

උග්ගල් අලුත්නුවර වැසියන්ගේ සාඩම්බරය වන්නේ කුඩා කතරගම් දේවාලය හා ඊටම බද්ධව ඉදි කර ඇති රජමහා විහාරය හා ඒවා ස්ථාපනය කිරීම සදහාම නිර්මිත පරිසරයයි. එහෙයින් උග්ගල් අලුත්නුවර ඉතිහාසය යනු අවශ්‍යයෙන්ම මේ ආගමික සිද්ධස්ථානයන්හි ඉතිතිහාසය ද වෙයි. මේවායේ ආරම්භය හා ඒ සම්බන්ධ තොරතුරු සොයනවිට හමුවන වැදගත්ම ලේඛනය වන්නේ පුරාණ ලේකම් මිටියයි. එය දිරාපත්වන්නට යන හෙයින් නැවත උපුටා ගනිමින් සටහන් කර ඇති ලේඛනයක් වෙයි. දැනට 84 වන වියේ පසුවන 1960 ගණන්වල සිට සිය පියාණන් වූ ලොකුමුදියන්සේ ගේ ඇවෑමෙන් තමාට නියමිතව එන වාරයන්හි "අත්තනායක මොහොට්ටාල" නම් වූ ‍ මේ දේවාලයේ ස්ථිර ප්‍රධාන විධායක නිළය හිමි ඒ.එම්.එස්.එම්. කරුණාරත්න බණ්ඩාර නිළමේ සිය පියාණන් ළග තිබී හමු වී ඇතැයි සදහන් කරමින් පරම්පරාව සතු ලේඛනයක් ඉදිරිපත් කළේය. "පුරාණ දිරාපත්ගිය පුස්කොල කෑල්ලක තිබුනා. අළුත්නුවර කතරගම් දේවාලය ගැන ලියාතිබුණ අන්දම අග මුල නැත" යනුවෙන් ආරම්භ කර ඇති එය අවසන්ව ඇත්තේ "........ඉඹුල්පේ දෙවනැන්නැහේ අතින් මගුල් කප හිදුවමින් තුන්මාල් ප්‍රාසාදයක් කරවා දාගැබක් කරවා විහාරයක් කරවා තුන්මහල් ප්‍රාසාදයට ප්‍රසාධාන වූ පස්විසි රියන් දිග්ගෙය කරවා.පුස්කොල ඉරුපත තිබුන හරිය. මෙහි විස්තර ලේකම් මිටිය නුවරය.අපට දකි විට තිබුන කාවොකාපු දිරාපත්ගිය පුස්කොල කැබලිවල...අඩුවිස්තරය. අගමුල නැත." යනුවෙනි. ලේඛන‍ය කටු පෑනකින් ලියූ පැරණි පුල්ස්කැප් කොල දෙකකින් යුතුය. උක්ත නිලමේතුමා එම ලිපිය සිය පියා විසින් ලියන ලද්දක් නොවන බවත් පියාගේද පියාණන් හා තවත් අත්තනායක මොහොට්ටාල නිළමේ කෙනෙකු හා එක්ව ලියන ලද්දක් බවත් කීය. එම මුත්තන්ගේ නම් ඔහුට ඒ අවස්ථාවේ මතක තිබුණේ නැත. "සපරගමුවේ පැරණි ලියවිලි" නමින් 1942 දී ප්‍රකාශිත අතිපූජ්‍ය රාජකීය පණ්ඩිත කිරිඇල්ලේඥාණවිමල ස්වාමීන්ද්‍රයන් වහනසේගේ කෘතිය රචනා කරද්දී උග්ගල් අලුත්නුවර දේවාලයේ දී ලැබී ඇත්තේ උක්ත පුස්කොල පොතෙන් පිටපත් කරන ලද්දක්ම විය හැකිය.එම ලෙඛනය හා ඤාණවිමල හිමිපාණන් උපුටා දක්වන ලේඛන දෙක සැසදීමේ දී පිටපත් කිරීම් අක්ෂර දෝෂ දෙකතුනක් හැරෙන විට වෙනත් වෙනසක් නොමැත. උන්වහන්සේට ලැබී ඇත්තේ මහවලතැන්නේ චන්ද්‍රසේකර සෙනෙවිරත්න මුදියන්සේ රාලහාමි සහ අභයශ්‍රීවර්ධන අලහකෝන් නාමයෙන් පැවත එන වාරිගම බස්නායක නිළමේ යන දෙදෙනා විසින් ලේකම් මිටියේ ලියා තිබුණ ලෙසට ශකවර්ෂ 1447 (ක්‍රි.ව.1825) ලියන ලද ලේඛනයක් බව සදහන්ය.සමහර විට කරුණාරත්න බණ්ඩාර මහතා භාරදුන්නේ එයම විය හැකිය නැතහොත් එහි වෙනත් පිටපතක් විය හැකිය. උක්ත ලියවිල්ලේ දක්නට ලැබුණ “නුවර ඇතැයි” යන සදහන අනුව ලේකම් මිටිය සෙවීමට 1992 දී සිටි බස්නායක නිළමේ ලෙස කටයුතු කළ හරිශ්චන්ද්‍ර තෙන්නකෝන් මහතාණන්ද අනුග්‍රහයෙන් ගත් වෑයම නිෂ්ඵල විය. 1973 මහාචාර්ය පුණ්චිබණ්ඩාර සන්නස්ගල ශූරීන් “සෙරගුණු දේවාල පුවත” කෘතියේ උපුටා දක්වන කොළඹ කටුගෙයි ඇති “සීමාසංකර විනෝදනී’ පුස්කොල පොතේ අග පිටුවල දැක්වෙන පත්ඉරු 2½ ක පමණ වූ ලේඛනයේ ඡායා රූප පිටපත් ලබා ගැනීමට බස්නායක නිළමේතුමා කටයුතු කළේය. අත්තනායක මොහොට්ටාල නිළමේ වූ කරුණාරත්න බණඩාර මහතා ලබාදුන් ලේඛනයේ සදහන් පරිදි දිරාපත්ව නැතිවී ගොස් තිබුණ කොටස් හැර ඉතිරිය මේ ලේඛනයට සමානය. ඒ.එම් කුලසිංහ මහතා සිය “උග්ගල් අලුත්නුවර වත” නම් කෘතියේ උපුටා දක්වන ලේඛනයද ඊට සමානය. අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත ආනන්ද මෛත්‍රෙය මහ නාහිමිපාණන් වහන්සේට දේවාලයේ පුවත පිළිබද ලේඛනයක් ඇතැයි ජයවර්ධන බස්නායක නිළමේතුමා (1922 වකවානුවේ සිටි බස්නායක නිළමේ)සදහන් කරන ලේඛනයද එයම විය හැකියයි සිතිය හැකිය. (මහිමය 2004 කලාපය) මේ ලියවිල්ලේ නම “මැදගම සන්නස” ලෙස පුංචිබණ්ඩාර සන්නස්ගල ශූරීන් හා කුලසිංහ මහතා නම් කරන අතර කිරිඇල්ලේ ඤාණවිමල හිමිපාණන් වහන්සේ නම් කර ඇත්තේ “ලේකම් මිටිය ලෙසය. ලේඛකයාට ලැබී ඇති ලිපියේ සදහන් වන්නේ පුරාණ ලියවිල්ල ගත්තේ ලේකම් මිටියෙන් බවකි. මෙම ලේඛනයේ කොතනක හෝ “උග්ගල් අලුත්නුවර” යන නම සදහන් නොවේ. දේවාලයේ ආරම්භක කාලය පිළිබඳ තොරතුරු පූජ්‍ය නාවුල්ලේ ධම්මානන්ද හිමිපාණන් වහන්සේ ලියූ බව කියන අවසන් ලිපිය මගින් මේ ලේඛනයට වඩා වෙනස් ආකාරයකට දැක්වේ. උන්වහන්සේට ලැබුණ මෙවැනිම පුස්කොල ලේඛනයක් මගින් දේවාලයේ ආරම්භය වලගම්බා සමය දක්වා දිවයන බව කියවේ. එකල උග්ගල් කල්තොට තිබූ මෙම පූජනීය ස්ථානය "බැමිනිතියා සාය" නම් වූ මහා නියගය නිසා ඇති වූ තත්ත්වය හමුවේ වෙනත් තැනකට ගෙන ගොස් එහි අලුතෙන් නුවරක් ඉදි කර ස්ථාපනය කළ බවක් දැක්වේ. උග්ගල් කල්තොටින් පැමිණි හෙයින් මේ නුවර උග්ගල් අලුත්නුවර වීයැයි උන්වහන්සේ නිගමනය කරන බව කියවේ. බලන්න ‍ඇත්තලපිටිය් නන්දසාර හිමි සහ ටිකිරි බණ්ඩාර සීලොගම ලේඛකයා ලියන "නාවුල්ලේ ධම්මානන්ද හිමිපාණන්ගේ විචාර හා විමර්ශන" එහෙත් ලේඛකයාට ලැබුණ ඉහත කියවෙන පුරාණ ලියවිල්ල දක්වන්නේ මෙම දේවාලයේ තොරතුරුම බව පිටපත් කරන ලද කරුණාරත්න බණඩාර නිළමේගේ මුත්තාවරු සදහන් කරති. කිරිඇල්ලේඤාණ විමල හිමිපාණන්ට ලැබී ඇති පිටපත උග්ගල් අලුත්නුවර දේවාල කාර්යාලයේ තිබූ එකකි. මේ ලේඛනයේ විශ්වස්‍යතාවට හේතුවන වැදගත්ම ලක්ෂණය වන්නේ එහි දක්නට ලැබෙන පුද්ගල නාම, දේවාලයේ රාජකාරි කරන බොහෝ ඇත්තන්ගේ පරම්පරා නාමයන් වීමය. (නම්වල මුලින් යෙදෙන නම් හෙවත් වාසගම්) මංගලනාත බ්‍රාහ්මණගේ පරපුරේ ඇත්තකු වශයෙන් දැනට කටයුතු කරන මංගලනාත බ්‍රාහ්මණගේ සාලිය බණ්ඩාර මහතා ප්‍රධාන(දේවාලයේ මහබෙත්මේ කපු නිළය) හොබවයි. ඔහුට මේ ප්‍රවේනි රාජකාරිය හිමිව ඇත්තේ මංගලනාත බ්‍රාහ්මණගේ භාරතරත්න නම් වූ සිය පියාගෙනි. මුත්තාගේ නම මංගලනාත බ්‍රාහ්මණගේ කිරිබණ්ඩාර විය. මෙම ලේඛනයේ දැක්වෙන්නේ රඟනාත බ්‍රාහ්මණ, මංගලනාත බ්‍රාහ්මණ ඇතුළු බ්‍රාහ්මණ පිරිසක්ම පැමිනි බවකි. ඔවුන් පදිංචිව සිටියේ යැයි අනුමාන කළහැකි “රගනාතමුල්ල” වශයෙන් ව්‍යවහාර කෙරෙන ප්‍රදේශයක් අද ද දේවාලයට තදාසන්නයේ වෙයි. ලේඛනයේ හමුවන ගැට්ටොපාන වන්නිරාලගේ නිවස පිහිටි ඉසව්ව යැයි පැරැන්නන් දක්වන දේවාලයට මල් සැපයූ ප්‍රදේශය “ගැට්ටපානේ මල්වත්ත” ලෙස අද ව්‍යවහාරවන ප්‍රදේශය වෙයි. “නාගරදේවී” ද මෙහි ඇති ජනකතාවන්හිදීද හමුවන පුරාණ චරිතයකි. ඇයගේ සොහොන් ස්මාරකය ලෙස හැදින්වූ අදත් ව්‍යවහාරවන “නාගහයට”නම් ස්ථානයේ අඩි 50 කට ආසන්න උසකින් දිස්වූ ප්‍රදේශය පුරා අතුපතර විහිදුවා වැඩී තිබූ විශ්මය ජනක නාගසක් 70 දශකය අවසන් වනතුරුම දක්නට තිබිණි. ලේඛනයේ සිටින “රගනාත බ්‍රාහ්මණ” ඇතුළු පිරිස රාජකාරි කරමින් පදිංචිව සිටි බව පැවසෙන “බ්‍රාහ්මණවත්ත” දේවාලයට තදාසන්න ස්ථානයකි. “රාමචන්ද්‍ර බ්‍රාහ්මණගේ” යනුවෙන් සිය වාසගම සදහන් කරන අය ද තවමත් වෙසෙති. මීත්‍රීගේ පරම්පරාවේ ඇත්තන් දෙවුන්දරින් දේවාලය ගොඩ නැගීමට පැමිණි බව සදහන් ශිල්පියකු වූ “වඩුමීස්ත්‍රීගේ” පරම්පරාවේ අය විය හැකිය. මේ මීස්ත්‍රීගේ ඇත්තෝ අදත් රාජකාරියේ යෙදෙති. කෝට්ටයාකන්ද අදත් ව්‍යවහාර වන උග්ගල් අලුත්නුවරට ආසන්න ප්‍රදේශයකි. “ඉඹුල්පේ දෙවනැන්නැහේ” පදිචිව සිටියේ අද ව්‍යවහාර වන උග්ගල් අලුත්නුවරට තදාසන්න ප්‍රදේශයක් වූ ඉඹුල්පේ ගංගොඩ අරාවේයයි කියති. අන්දර මුල්ල ලෙස ව්‍යවහාර වන ස්ථානයේ වැවක් තිබුණු බවට සාධක සොයාගැනීම අපහසු නැත. ගැට‍ෙනටුලයට ගල්ලෙන ලෙස ඇත්තේ අදත් පෙදෙස් වැසියන් ඉතා ගෞරව මුසු බැතියෙන් සලකන ගල්වත්තේ පිහිටි “ගල්ගෙය” විය හැකිය. මෙකල ද ව්‍යවහාර වන ස්ථාන නාමයන් වූ ගැටට්ටපාන, රගනාතමුල්ල හා කෝට්ටයා කන්ද, මැද්දේගම, නැදුන්ගමුව,(ලේඛනයේ මැදුන්ගමුව) කලවැල්පේ,(ලේඛනයේ එකලවැල්පේ) කිංචිගුණෙ, පීලිපොත, වරකාවෙල, මලපේ, හැරෑඹුරුහීන්න,(ලේඛනයේ සරහාඹුරුහීන්න)වලේ‍ෙබාඩ, පල්ලෙකන්ද, දියවින්න,(ලේඛනයේ දියඉන්න) ගලගම, පොල්ලමුරේ සහ මැද්දෙගම ආදී ලෙස දැක්වෙන්නේ උග්ගල් අලුත්නුවර තදාසන්න ගම් ප්‍රදේශයන් වෙයි. මෙයින් බොහොමයක් දේවාලයේ “පිදවිලිගම්” ලෙස පුදපඩුරු ගෙ‍ෙනන ස්ථානයන්ය. මේ ස්ථාන වලින් වැඩි කොටසක් 1870 විහාර දේවාලගම් ලේඛනයේ උග්ගල් අලුත්නුවර දේවාලයට අයිති ඉඩම් ලෙස ද දැක්වේ. ලේකම් මිටියේ ඇති ස්ථාන නාම, පුද්ගල නාම හා පවතින ජනශ්‍රැතිය ද උග්ගල් අලුත්නුවර දේවාලය හා රජමහා විහාරය වෙනුවෙන් ස්ථාපිත චාරිත්‍ර විධි, රාජකාරි ඉඩම් පංගු හා රාජකාරි කරමින් සිටි අය ඇතුළු කර 1870 දී ඉංග්‍රීසි ආණ්ඩුව යටතේ පත් කළ කොමසාරිස්වරුන් විසින් සදහන් කර දක්වා ඇති විස්තර ද මේ පුරාණ ලේකම් මිටි‍ෙය් විස්තර වන ස්ථාන හා පුද්ගල නාම පරම්පරා බොහොමයක් හා සමානය. මෙහි ඊ ළඟට විමසුමට ලක් කරන “කන්දකුමාර සිරි‍ත” කාව්‍ය සංග්‍රහයේ අදාල විස්තර හා සමාන තැන් මෙහිදීද හමුවේ. මේ අනුව උක්ත ලේකම් මිටි‍ෙය් පැවති ලේඛනය හෝ සීමාසංකර විනෝදනියේ ඇති ලේඛනය උග්ගල් අලුත්නුවර සම්බන්ධව ලියැවුනක්ම බව පහසුවෙන් නිගමනය කළ හැකිය. . එහි ව්‍යවහාර භාෂාව හා රචනා ශෛලිය 16 හෝ 17 සියවසට අයත් ලේඛනයක් බව පෙන්වා දෙයි. මහනුවර සමයේ දී ලියා ඇති ලේඛන අතරින් "සන්නස්" නමින් බොහෝ තැන්වල දක්වා ඇත්තේ රාජකීය මහමුද්‍රාව වූ “ශ්‍රී” සදහන් කළ ලේඛනයන්ය. ඒ අතින් බලන විට මෙය "සන්නසක්" ලෙස නම් කිරීම ද උගහට වෙයි. මෙය ලියන ලද පුද්ගලයෙක් හෝ නිශ්චිත වකවානුවක් පිළිබඳව සටහනක් නොමැති වීම එහි වටිනාකමට හානියකි. එහෙත් ලියන ලද්දේ මහනුවර සමයේම බව එහි රචනා ශෙලිය හා භාෂා විලාසය අනුව කිව හැකි වේ. මහාචාර්ය සන්නස්ගලයන්ගේ නිගමනය වී ඇත්තේ එය ලියන වකවානුව වන විට පැවති ජනකතාවන් අනුව ලියා ඇති ලේඛනයක් වශයෙනි. මැදගම වන්නාතරය හා මැදගම දේවාලය ඉදිකිරීම ගැන දැක්වෙන තොරතුරු පමණක් ගම්පළ රාජධානි සමයට අයත් විස්තර වූවද ලේඛනය ලියද්දී ඒ තොරතුරු ලබා ගෙන ඇත්තේ ජනකතා ඇසුරෙනි. පරමිපරා දෙකකට හෝ තුනක කාලයකට ඉහත තොරතුතුරු බැවින් ජනප්‍රවාදය සෑහෙනතරම් විකෘතියකට භාජනය නොවී තිබුණා විය හැකිය යන අනුමානයකට පැමිණිය හැකිය. නටබුන් හා වාස්තුවිද්‍යාත්මක ලක්ෂණ අනුව මහනුවර සමයේ ඉදිවූ දේවාලයකි යන්න පැහැදිලිව නිගමනය කළ හැකිය. ලේඛනය ද මහනුවර සමයේම ලියැවුනක් බව පෙන්වන සාධක ඇති බැවින් ඓතිහාසික මූලාශ්‍රයක් වශයෙන් විශ්වස්‍යතාව හා වලංගුතාව ඉහළ අගයක් ගන්නකි. එහෙත් මේ ලේඛනයේ සහ ජනකවියේ දක්වන උග්ගල් අලුත්නුවර මූලාරම්භය පිළිබඳව ඇති කාල නිර්ණය කිරීම පිළිබඳ තොරතුරු(සූරියමහ රජතුමා විසින් ශක.ව. 1304 දී හෙවත් ක්‍රි.ව. 1382 දි පිහිටවූ බවට දක්වන තොරතුරු) වෙනත් මූලාශ්‍රවලින් තහවුරු නොවන ආකාරයක් පෙනීයයි. "නම්පොත" ලියන ලද්දේ හයවන පැරකුම්බා සමයේ බවට අග්ගමහ පණ්ඩිත ආනන්දත්‍රෛය හිමිපාණන්වහන්සේ පළ කරන මතය අනුව එය ලියූ වකවානුවේ දී "උග්ගල් අළුත්නුවර" 161 වන පූජනීය සිද්ධස්ථානය ලෙස දැක්වෙන බැවින් දේවාලය හා රජමහා විහාර ආරම්භය ඊටත් කාලයකට පෙර අවදිය දක්වා දිවයයි. රාජකීය පණ්ඩිත නාවුල්ලේ ධම්මානන්ද හිමිපාණන් වහන්සේ ගේ ප්‍රකාශයන් අනුව උග්ගල් අළුත්නුවර සමාරම්භය බැමිනිතියා සාය අවදිය දක්වා ඈතට යයි. "ඩේවි දුටු ලංකාව" ග්‍රන්ථයේ ජෝන්ඩේවිට උග්ගල් අළුත්නුවර පූජනීය සිද්ධස්ථානයේදී (ක්‍රි.ව.1819 වසර) හමුවී ඇති ප්‍රධාන නිළමේවරයා පැවසූ පරිදි එවකටත් එය වසර 800 ක් පැරණි සිද්ධස්ථානයක් බවය. (මෙහි මූලාශ්‍ර ගැන හැඳින්වීමේ කියවෙන නම්පොත හෙවත් විහාර අස්න පිළිබඳ ඡෙදය සහ වෙනත් මූලාශ්‍ර පිළිබඳ ඡෙදයන් බලන්න)