උග්ගල් අලුත්නුවර/හැඳින්වීම
හැඳින්වීම
[සංස්කරණය]සියලු බොදු හා හින්දු බැතිමතුන්ගේ ද භක්ත්‍යාදරය දිනාගත් පූජනීයවූත් ඓතිහාසික වූත් සිද්ධස්ථානයක් වශයෙන් 1950 හා 60 දශකය දක්වාම මහත් ප්‍රසිද්ධියට පත්ව තිබූ උග්ගල් අලුත්නුවර පූජනීය සිද්ධස්ථානය, 70 දශකයේ සිට එළඹුනු අවදියේ තරමක් වෙනස් මතක සටහන් තබන ස්ථානයක් වූවා වැන්න. 50 සහ 60 දශකවල ඉන්දීය මහාරාජාවරුන් පවා මෙහි පෙරහර උත්සවයට සහභාගීවීම පිණීස පැමිණියහ. 1970 දශකයේ සිට දේවාලයට අයත් ඉඩම්වල බහුලව (දැනටත්) පහළවන්නට වූ මැණික් සම්පත් කෙරේ වැඩි අවධානයක් යොමු වීම මේ ස්වභාවයට මූලික හේතුව වූ බව පෙනේ. අද වනවිට තත්වය නැවතත් වේගයෙන් වෙනස් වෙමින් දේවාලය රජමහා විහාරයත් එහි වත් සිරිත් කෙරේත් අවධානය තදින් යොමුවෙමින් පවතින බව පෙනී යයි. එකල තරමක් අපහසු ගමන් මගක් වු උග්ගල් අලුත්නුවර ඓතිහාසික ගම්මානයට ළඟා වීම අද පහසු එකකි. දේවාලය දක්වාම වාහනයකින් ළඟා විය හැකිය. බළන්ගොඩ සිට ගමන් ආරම්භ කෙරෙන දේවාලය කරා එන බස් ද ඇත. කොළඹ සිට බදුල්ල බලා දිවෙන ප්‍රධාන පාරේ පැමිණ රත්නපුර පැල්මඩුල්ල හා බළන්ගොඩ නගර පසු කර යන විට කිලෝමීටර් 151 කණුව අසළ දී හමුවන මංසන්ධියකි. එයින් දකුණට මෑතදී ඉදි කළ ශෛලමය තොරණ යටින් දිවෙන අතුරු මාවතකි. එමගින් මීටර 430 ක් පැමිණි විට දකුණු දෙසට හැරෙන සේ ඇති දේවාල මාවතේ දුර මීටර 120 ක් පමණි. එසේ පැමිණි විට උග්ගල් අලුත්නුවර ගම්මානයේ එතිහාසික ස්මාරක, එනම් ඓතිහාසික දේවාලය හා රජ මහා විහාර ගොඩනැගිලි සමග දුටුවන් ආකර්ශනය කරගන්නා නිර්මිත පරිශ්‍රය ද හමුවේ. වාර්ෂිකව පවත්වන ඇසල මහා පෙරහර ගමන්ගන්නා “පෙරහරමග දිග“ කිලොමීටර් 1/2 කටත් වඩා වැඩිය.(මීටර් 560 කි.) දැනට මෙය අලුත්නුවර ග්‍රාම නිළධාරි කොට්ඨාසයට සීමාවී ඇති නමුදු මෙම ලේඛනයේදී සලකන උග්ගල් අලුත්නුවර සීමාව ඊට වඩා පුළුල් එකකි. උග්ගල් අලුත්නුවර ලෙස සදහන් ඓතිහාසික ප්‍රදේශය ග්‍රාමනිලධාරී වසම් කිපයකින් සැදුම්ලත් විශාල එකක් වෙයි. දේවාල පරිශ්‍රයේ පිහිටීම නිරපේක්ෂව දක්වතොත් උත්තර අක්ෂාංශ6.684210431505406 රේඛාව සහ නැගෙනහිර දේශාංශ 80.7469366537781 රේඛාව හමුවන ප්‍රදේශයය. 7 දශකයේ සිට හදිසියේ පහළවන්නට වූ මුදල් නිසා ජනජීවිතය මෙන්ම දේවාල පරිශ්‍රය හා ගොඩනැගිලි ද නවීකරණය විය. අප්‍රමාණ භක්තිය නිසා පුරාවස්තු පිළිබඳ අනවබෝධයේන ප්‍රතිසංස්කරණ සිදුවි ඇත්තේද යන කුකුස පරිශ්‍රය විමසන විට ඇති වන්නකි. ප්‍රතිසංස්කරණ හා නවීකරණයන් නිසා නුවර යුගයේ (මධ්‍යකාලීන ලංකාවේ) කලාශිල්ප පිළිබඳ හැදෑරීමට ප්‍රයෝජනවත් භෞතික නිර්මාණ සමහරක් ද නවීකරණයට ලක්ව ඇති බව පෙනේ. දේවාල සංකීර්ණය හා ඊට අයත් පරිශ්‍රය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කළයුතු පුරාවස්තුවක් බවට ප්‍රකාශවිය. ඒ නිසා අනවබෝධයෙන් සිදුවෙමින් පැවති හානිය අවම වී ඇත. භෞතික නිර්මාණ කෙසේ වුවද පුරාණ පරම්පරාවන්ගෙන් පැවත එන පවුල් විසින් රැකගෙන එන සිරිත් සම්ප්රදායයන් බොහොමයක් තවමත් නිරුපද්‍රිතය. ආවේනික පුරාණ නැටුම්, ගායනා සහ වාදන ආදී ශිල්පීය සම්ප්රදායයන් අජීවී වස්තූන් මෙන් ස්ථාවර නොවේ. සමාජ ගතිකත්වය හමුවේ වේගවත්ව වෙනස්වෙමින් යාම ස්වභාවය කොට ගනී. එසේ වුවද මේ ඓතිහාසික දේවාලයේ අපූර්වත්වය වන්නේ අද වනවිටත් ඉතිරිවී සිටින පුරාණ පරම්පරාවන්හි ඇත්තන් දේවාලය කෙරේ පවතින අකලංක බැඳීම නිසා රැකී තවමත් දෘෂ්‍ය මානවන පාරම්පරික ඥාණසම්භාරයේ අපූර්වත්වයයි. එය ගවේශකයකුට හමුවන මහඟු නිධානයක් වැනිය. දැනට මේ පුරාවස්තු සංකීර්ණය, ගම්මානය හා එහි සම්ප්‍රදායන් ගැන අප රටේ උසස්පෙළ දරුවන් කරන හැදෑරීම් විශ්වවිද්‍යල ප්‍රාථමික උපාධිය සදහා සිසුන් වෑයම් කර සකසන නිබන්ධන මගින් වන අනාවරණයන්ට පමණක් බොහෝ විට සීමා වී පවතී. ඒ නිසා ශ්‍රීලංකාව තුළ වැඩිවශයෙන් ප්‍රචලිත නොවූ වා විය හැකිය. එහෙත් මහාචාර්ය ජුලිෆ්(එංගල්න්තය) වැනි විදේශ වියතුන්ගේ අවධානය යොමුවීම අඩුවක් වී නොමැත. ශ්‍රී ලාංකීය ජාතියේ සාඩම්බර සංකේතයක් වූ මෙහි පිහිටි රජමහා විහාරයත්, පුරාණ කුඩා කරතගම් දේවාලයත් හා එහි අතීත සම්ප්‍රදායනුත් ඉදිරියටත් පවත්වා ගැනීමට ගමේ වර්තමාන තරුණ කොටස් උත්සුක වීම දක්නට හැකි ධනාත්මක ලක්ෂණයකි. උසස් පෙළ හා සාපෙළ ඉගෙනුම ලබන ගම හා ආසන්න ගම්වල ද බළන්ගොඩ නගරයේ පාසල් වල දරුවන් ගෙන් බොහෝ දෙනෙක් ද සිය අධ්‍යයන වර්ගයේ ව්‍යාපෘති සඳහා මෙම කතරතම් දේවාලය, රජමහා විහාරය හා එහි පුරාණ සම්ප්‍රදායනුත් හැදෑරීමට යොමුවීම දක්නට ලැබීමෙන් එය පැහැදිලි වෙයි.
ශලුත්සකන් තුන්සිය වරුසෙට හිමි දුරුතු මසේ පුර සද කාලේ ගලුත් කඩා කටු කණුමුල් උදුරා සීමා පවුරකි මැදමාලේ දිලුත් එරන්කොත් නවයක් තිබුණයි ශක්‍ර පුරය බදු ඒ කාලේ දිලුත් ඒ දික්පති සූරිය නෙරපති කෙරව්ව මැදගම දේවාලේ
යනු 2004 දී අභාවප්‍රාප්ත වූ දේවාලයේ ප්‍රධාන කපුමහතකුව සිටි මංගලනාත බ්‍රාහ්මණගේ භාරතරරත්න බණඩාර මහතා ද නිතර කියූ කවියකි. ගම්පල රාජධානි සමයේ ශකවර්ශ 1304(ක්‍රි.ව.1382) "සූරිය නෙරපති" විසින් කළ මැදගම දේවාලයක් ගැන මෙසේ ප්‍රදේශයේ පවතින ජනකවි හා ජන කතා මගින් කදිම තොරතුරු හෙලිවේ. මේ කවි හා ජන කතා මගින් ලැබෙන තොරතුරු දේවාල ලේකම් මිටියේ තිබූ පුස්කොල ලේඛනයක දැක්වෙන වාර්තා මගින් ද බොහෝ විට සනාථ වේ. (රචනා ශෛලිය හා භාෂාවිලාශය අනුව එය මහනුවර යුගයට අයත් ලියවිල්ලක් බව නිගමනය කළ හැක්කකි.) එම ලේඛනයේ තොරතුරුම කන්දකුමාර සිරිත නම්වූ මහනුවර සමයේම ලියවී ඇති කාව්‍ය සංග්‍රහයකින්ද දේවාලයේ යාතිකා සහ ආවතේව ආදියේදී ගැයෙන කවි වලින්ද තහවුරුවේ. මෙවැනි දෑ මූලාශ්‍ර කරගත් විට උක්ත කවියේ සඳහන් මැදගම දේවාලයට වූ භාරය ඔප්පු කිරීම පිණීස දැනට විද්‍යාමාන දේවාලය කරවා ඇති බව පැහැදිලි වේ.
එකල් යාපා නිරිඳු යුදයට ගොසින් දෙවරක් පැරදුනේ සියල් සිව්රඟ සෙනග ගනිමින් තුන්වෙනුව වඩිනා දිනේ එකල් මැදගම යන ගමේදී සක් නදක් අසමින් වනේ විපුල් රිවිකුල ප්‍රභාපති මේ කිමෙක්දැයි වදහල තැනේ
යන කවිය දැකුම් අත් නැටීමේදී ද කවිකාරපංගුවේ ස්තෝත්ර ගායනාවලදීද නිතර ගැයේ. සමහර රාජකාරි කරුවකු එය තෙවරක් පැරදී සිව්වෙනුව යුද්දයට ගිය අවස්ථාවක් සේ ද ගයති. වර්තමාන දේවාලය ඇත්තේ මේ කවිවල කියවෙන පුරාණ මැදගම දේවාලයේ අත්තිවාරම් සේ පෙනී යන පාෂාණ අැතුරුමක් දක්නට ඇති ස්ථානයට මීටර 75 කට පමණ උතුරු දෙසිනි. ඉහත මූලාශ්‍රවලින් පැවසෙන ආකාරයට නව දේවාලය කරවා ඇත්තේ "යාපා මහරජු" විසිනි. 1582 සිට ම පෙරහහර මංගල්‍යය ඇතුළු කාර්තික මංගල්‍ය 4 ක් වාර්ෂිකව පවත්වා ඇති අතර ඒවා කඩවන්නට ඇත්නම් ඒ 1818 සිංහලේ විමුක්ති සටන් පැවති වසර හා 1915 ඇතිවූ අරගල මැඩීමට යුද්ධ නීතිය පනවා පෙරහර තහනම් කළ වසර වල පමණක් බව කියනු ලැබේ. 1989 හා 1990 වර්ෂ මේ ප්‍රදේශ භීතියෙන් ඇලලී ගිය ද පෙරහර ඇතුළු කාර්තික මංගළ්‍යයන් පැවැත්විය යුතු නියමිත අවදියේ ඇඳිරි නීතිය පැවතියද, එය ඉවත් කෙරෙන අවස්ථාවන් සොයාගනිමින් ඉටු කිරීමට වගකිවයුත්තන් සේම රාජකාරි ඇත්තෝ ද වග බලාගත්හ. එහෙයින් මෙම පෙරහර අඛණ්ඩව පැවැත්වීම මහත් වගකීමක් සේ කවුරුත් සලකන බව පෙනී යයි. 1870 ඉංග්‍රීසි ආණඩුව විසින් විහාර දේවාලගම් පිළිබඳ පත්කළ කොමසාරිස් මණ්ඩල මගින් 1870 විහාර දේවාලගම් පණත අංක 4 යටතේ දේවාලයේ එක් එක් රාජකාරි සම්ප්රදාය, ඒවා ඉටුකළයුතු එක් එක් පුද්ගල නම සහිතව පරම්පරාව, ඒ සඳහා වෙන් කළ රාජකාරි පංගු ප්‍රමාණය(ගොඩමඩ ඉඩම්පංගු ප්‍රමාණ) ලේඛන ගත කර ඇති බැවින් ඒ අවදියේ පැවති මේ සම්ප්රදාය පිළිබඳ කදිම චිත්‍රයක් මවාගත හැකිය. එක් එක් රාජකාරි පරම්පරාව තම සම්ප්‍රදායික වත්පිළිවෙත් අඛණඩව පවත්වා ගෙන පැමිණිම නිසා අපගේ පාරම්පරික ඥාණ සම්භාරයේ අසිරිය හා අගය පිළිබඳ තොරතුරු රාශියක් ලැබිය හැකිය. (ආනන්දකුමාරස්වාමි විද්වතා විසින් සිය මධ්‍යකාලීන සිංහල කලාහි අනාවරණය කරන යකඩ වානේ කර්මාන්තය පිළිබඳ විස්තර මෙහිලා දැක්විය හැකි වැදගත්ම උදාහරණයකි. ඔහුට මෙහි සිටි පාරම්පරිකශාස්ත්රවන්තයන් විසින් අමු යකඩ වලින් ලෝකයේ ඉස්තරම්ම වානේ නිස්සාරණය කරනු දක්නට හැකිව ඇත. එසේ නිෂ්පාදිත වානේ නිදර්ශක එංගලන්තයේ රාජකීය පර්යේෂණායතනයේ(Royal institute) දී කරන ලද සසඳා බැලීම්වලින් ෂෙපීල්ඩ් වානේ අභිබවායන කාබන් අනුපාතයන් පිළිබඳ විස්තර ඉදිරිපත් කර ඇත්තේ විශ්මයට පත් වෙමිනි. ඉතා මෑත දී එනම් 1990 දශකයේ එංගලන්ත පුරාවිද්‍යාඥවරියක වූ ජුලිෆ්ට මෙහි පැවති පාරම්පරික තාක්ෂණය අනුව යකඩ උනුකිරීම සඳහා දැනුම දුන්නේ මෙහි දැනටත් සිටින ශිල්පීන්ම විසින් යයි කියනු ලැබේ. ජුලිෆ් මහත්මිය සිය පර්යේෂණ වාර්තාවල සටහන් කළා දැයි හරි හැටි ලේඛකයාට සෙවීමට අවස්ථාව තවම නොලැබුණත්, යපස්මගින් පාරම්පරික ක්‍රම අනුව යකඩ උනු කිරීම සඳහා සුදුසු දැව අනුපාතයන් අනුව අවශ්‍ය අඟුරු සකස් කර දුන්නේ තමන් විසින් බව උග්ගල් අලුත්නුවර හටන්පල ප්‍රදේශයේ සිටින එලියෙස් මහතා පවසයි. එම ප්‍රදේශයේ පවතින කම්හල්වල තොරතුරු ගවේශන සඳහා එන විදේශ විද්වතුන් අදත් බහුලය. යකඩ වානේ පමණක් නොව විවිධ ක්ෂෙත්රයන්හි මේ ප්‍රදේශයේ භාවිතයේ පැවති හා දැනටත් ඉතිරිව ඇති පාරම්පරික දැනුම මිල කළ නොහැකි එකක් බව පෙනේ. ඉන්දීය ආයූර්වේදය හෝ බටහිර වෙදකමට හසුනොවූ නිධාන වේද ක්‍රම හා ඖෂධ වර්ග ද ඇතුලත් හෙළ වෙදහෙදකමේ මහිමය පෙන්වීමට හැකි නිදසුන් තවමත් පවතී. පෙරහර විස්තර පැවසීමට පාදක කර ඇත්තේ 1960 ට පෙරතත්වය පිළිබඳ ඇසුරෙන් වුවද අද වන විට පෙරහර වෙනස්ව ඇත්නම් ඒ ඉතාම ස්වල්ප වශයෙන් බව මෙහිදී සඳහන් කරනුයේ පෙරහර කරන හා කරවන ඇත්තන් සියලු දෙනාම කරේ භක්තියෙන් හා කෘතඥතාවෙන් යුතුවය. ඉතිහාසය නොනිදයි. පියවි ඇසින් බලන්න ඉතිහාසය දැකීම අසීරු නොවේ.
1.පුරාණ ලේඛනයේ ඒ ක්‍රි.ව. 1582 සේ දැක්වෙයි. මේ ආකාරයට සඳහන් වන සූරිය හා යාපා යන රජවරුන්, අප අතර ප්‍රකාශිත සිංහල රාජවලියට අයත් අය නොවෙති. ජාතික ඉතිහාසය අනාවරණයවන මහාවංශය රාජවලිය මූලාශ්‍ර ග්‍රන්ථවල ද පැහැදිලිව සෙවිය නොහැකි අය වෙති. මේ අය පිළිබඳ විමසුම වෙනම පරිච්ඡෙදයක දැක්වේ.