උම්මග්ග ජාතකය-ii

Wikibooks වෙතින්

5. පුත්‍රාදිය[සංස්කරණය]

පුත්‍ර ප්‍රශ්නය[සංස්කරණය]

පස් වැනි පුත්‍ර ප්‍රශ්නය කෙසේ ද යත් :- එක් ස්ත්‍රියක් පුතකු වඩා ගෙනැ පණ්ඩිතයන් වහන්සේ ගේ පොකුණට ගොස්, ආදී කොටැ පුතු නහවා, තමා ගේ කඩ මත්තේ හිඳුවා, තොමෝ ඉස් සෝදා නහන්නට බට. ඈ නාන්නට බට ඇසිල්ලෙහි යකිනියක් ඇගේ පුතු දැකැ, කනු කැමැති වැ, ගෑනු වෙසක් ගෙනැ දරුවන් සමීපයට අවුත්, “යෙහෙළිය, මේ දරුවෝ ඉතා හොබනා හ. මූ තොප ගේ දරු කෙනෙක් දැ’යි විචාරා, “එසේ යැ, යෙහෙළියෙනි’ කී කල්හි, මේ දරුවන් කිරි පොවම් දැ’යි කී කල්හි මෑණියන් විසින් යහපතැ යි කී කල්හි, ඕ දරුවන් වඩා ගෙනැ මඳක් කිරි පොවා ලා වඩා ගෙනැ පලා ගියා යැ. මෑණියෝ තමන්ගේ දරුවන් ඇරැ ගෙන යන්නිය දැකැ දිවැ ගෙන ගොස්, “මා ගේ පුතු කොයි ගෙනැ යෙයි දැ”යි අල්ලා ගත. යකිනි කියන්නී, "තී කොයින් ලත් පුතෙක් ද? මූ මාගේ පුතණුවෝ යැ’යි භයක් නැති වැ කිව. ඔහු දෙන්නා කලහ කෙරෙමින් ශාලාව දොර කඩින් යන්නා හ.


මහ බෝසතාණන් වහන්සේ, කලහ ශබ්දය ආසා දෙන්නා මැ ගෙන්වා ‘මේ කුමන ඩබර ද’යි අසා, ඇස් නොමරන බැවින් ද, ඔලිඳැට දෙකක් සේ රත් වැ තිබෙන බැවින් දැ, "මේ යකින්න යැ"යි දැනැ, "මා කී යුක්තියෙකැ සිටිවූ දැ"යි විචාරා, එසේ යැ, සිටුම්හ යි කි කල්හි, බිමැ හිරක් අඳවා හිර මැඳැ දරුවන් හොවා, යකිනිය ලවා දෑත හා මෑණියන් ලව‍ා දෙපය හා ගන්වා, "දෙන්නා මැ ඇදැ ගනුව'යි ඇදැ ගත් එකක් හට යැ පුතණුවෝ" යි වදාළ සේකැ. දෙන්නා මැ දරුවන් ඇදැ ගත්හ. දරුවො දෙන්නා විසින් අඳිනු ලබන්නාහු දුකට පැමිණිය හ. මෑණියෝ ළය පැළුණු කලක් මෙන් ශොකයට පැමිණැ, දරුවන් අත හැරැ අඬමින් සිටියා හ.


බෝසතාණන් වහන්සේ, "දරුවන් කෙරෙහි වැදුවවන් ගේ ළය මොළොක් ද; නොහොත් නොවැදුවන් ගේ ළය මොළොක් දැ" යි බොහෝ දෙනා, විචාළ සේකැ. බොහෝ දෙන “පණ්ඩිතයන් වහන්ස, වැදුවන්ගේ ළය වේද, මොළොක් වන්නේ,යි කීවාහු යැ. ඒ අසා පණ්ඩිතයන් වහන්සේ "කිමෙක් ද, දැන් දරුවන් වඩා ගෙනැ සිටි තැනැත්තිය මෑණියනැ'යි වැටහේ දැ"යි හැම දෙනා මැ විචාළ සේකැ. හැම දෙන මැ, “දරුවන් හැරැ සිටි තැනැත්තෝ වේ ද, පණ්ඩිතයන් වහන්ස, මෑණියෝ" යි කි හ. "කිමෙක් ද, තෙපි හැම මේ දරු සෙර දනුදැ" යි විචාළ සේකැ. හැම දෙන මැ, "නොදනුම් හ. පණ්ඩිතයන් වහන්සැ" යි කී හ. "ඇසි පිය නොමරන බැවින් ද, ඇස් දෙක රත් බැවින් ද, ඡායාවක් නැති බැවින් ද, කිසි කෙනෙකුන් කෙරෙහි සැකයක් නැති බැවින් ද දයාවක් නැති බැවින් දැයි - මෙතෙක් කාරණයෙනැ" වාදාළ සේකැ.


ඉක්බිති මේ ලෙසැ වදාරා, "තෝ කවරහිදැ" යි යකින්න විචාළ සේකැ, "යකින්නකිමි, ස්වාමීනි" කිව. "කුමක් පිණිස මේ කුමරුවා ගත්තෙහි දැ"යි වදාළ සේකැ, "කන පිණිසැ යැ ස්වාමිනි" කිව. "නුවණ නැත්තිය, පෙරැත් තෝ අකුසල් කොටැ යකින්න වැ උපන්නේහි වේ ද, දැන් වනාහි නැවැතත් අකුසල් කරන්නෙහි වී ද? අහ! නුවණ නැත්තිය කියා අවවාද කොටැ, ඉක්බිති ඈ පන්සිල්හි පිහිටුවා යැවු සේකැ. කුමරුවාගේ මෑණියෝ, බොහෝ කලක් ජීවත් වුව මැනැව, ස්වාමිනි" යි මහා බෝසතාණන් වහන්සේට ස්තූති කොටැ පුතණුවන් වඩා ගෙනැ නැගී ගියාය.


කාළ ගෝළ ප්‍රශ්නය[සංස්කරණය]

සවැනි වූ කාළ ගෝළ ප්‍රශ්නය කෙසේ ද යත්:- මිටි හෙයින් ගෝළ යැයි කියා ද කළු පෑ ඇති හෙයින් කාළ යැයි කියා ද, ලබන ලද නම් වූ එක් මිනිසෙක් වනාහි, සත් අවුරුද්දක් ගෙයි කඹුටැ අඹුවක ලද. ඕ නමින් දික්තලා නමැ. ඒ පුරුෂයා එක් දවසක් තමාගේ අඹුව බණවා, "සොඳුර, දෙමව්පියන් බලා පියම් හ. කැවුම් පෙවුම් ඉදි කොටැ ලව" යි කියා, ඈ විසින්, "මවුපියන් ගෙන් කාරිය කිම්ද? නො බණු"යි ප්‍රතික්ෂේප කරන ලද්දේ, තුන් වර දක්වා කියා තුන් වැනි වාරයෙහි ගිවිස්වා කැවුම් පිසවා ගෙනැ, පලා බත් ආදි මාර්ගෝපකරණ ද, කැවුම් ආදි දෙමවුපියනට ගෙන යා යුතු පඬුරු ද ඇරගෙනැ, ඒ අඹුව හා සමග මඟට පිළිපන්නේ අතර මඟැ පැතිරැ දිය යන හොයක් දිටි. නොගැඹුරු වුවත් ගඟ දියට ඔහු දෙදෙනා මැ බානාහ. එසේ හෙයින් ඒ ගඟින් එ තෙර වැ යා ගත නොහෙන්නාහු ගං තෙරැ සිටිය හ.


එවේලෙහි දික්පිටියා යන නමක් ඇති එක් දුක්පත් පුරුෂයෙක් ඒ ගං තෙරැ ඇවිදුනේ, උන් දෙදෙනා සිටි තැනට පැමිණියේ යැ. ඉක්බිති ඔහු දැකැ, "යහළු, මේ ගඟ ගැඹුරු හෝ නැද්දැ" යි පිළිවිස්ස හ. ඒ ‍ෙතමේ, ඔහු දියට බන්නාහ'යි දැනැ "මේ ඉතා ගැඹුරු යැ; කිඹුලුන් හා දැති මුවර ආදී වූ චණ්ඩ මත්ස්‍යයන් ගෙන් ගහණ යැ"යි කි යැ. එබස් අසා "සබඳ, තෙපි කෙසේ එතෙර වුවදැ" යි විචාළ හ. මේ ගඟැ කිඹුලූන් හා දැති මුවර ආදී වූ චණ්ඩ අය හා අප පුරුදුකම් ඇති. එ හෙයින් අප නොකන්නාහ” යි කී යැ. "එසේ වී නම් සබඳ, අපත් එතෙර කරව" යි කිවු යැ. ඒ පුරුෂයාත්, "යහපතැ” යි ගිවිස්සේ යැ. ඔහු ගිවිසි කලැ දෙමහල්ලෝ කන බොන දෑ ඕහට දුන් හ. ඒ පුරුෂයා කරන ලද ආහර කෘත්‍ය ඇත්තේ, "සබඳ, කවුරුන් පළමු කොටැ ගෙනැ ‍යෙම් දැ” යි විචාළේ යැ. එබස් අසා කාළ ගෝළයා, "තොප ගේ බැදෑණියන් දෑ පළමු කොටැ ගෙනැ යව මා පසු වැ ගෙනැ යව" යි කී යැ. ඒ පුරුෂයාත් "යහපතැ" යි දික්තලා කරැ හිඳුවා ගෙනැ සියලු මැ වූ මාර්ගෝපකරණයත් කැවුමුත් ඇරැ ගෙනැ ගඟට බැසැ මඳක් තැන් ගොස්, කෙළිල්ලෙන් බැසැ හිඳැ ගියේ යැ.


ගෝළ කාළයා ගං තෙරැ සිටියේ, “මේ ඉතා ගැඹුරු යැ. මෙ සේ උස් තැනැත්තවුට පවා මෙ‍තෙක් දිය මාරු නොවන්නේ යැ.” යි සිති යැ. දික්පිටියා ද දික්තලා ගඟ මැදට ගෙනැ ගොස් , “සොඳුර, මම තොප රක්ෂා කෙරෙමි. හැඳූ පැළැඳ දෙවඟනක සේ කැමැති පරිද්දෙන් සැරැසී දැසිදස්සන් විසින් පිරිවරන ලදු ව ඇවිදුව, තොපට මේ අඟුටු මිටියා කුමන පෝෂණයක් තමා දී ලිය හෙන්නේ ද? මා ගේ බස් ගිවිසුව'යි කී ය. ඕ තොමෝ දික්පිටියා කී බස් අසා සත් හවුරුද්දක් තමා නිසා ගෙයි කඹුළ තමා ගේ සැමියා කෙරෙහි ස්නේහ සිඳ, ඒ ඇසිල්ලෙහි ම එකී දික්පිටියා කෙරෙහි පිළිබඳ සිත් ඇති ව, 'ස්වාමීනි, ඉඳින් මා නො හරු නම් මම තොප කීවා කෙරෙමි' යි ගිවිස්සී ය. ඔහු දෙදෙන එතෙර ගොස් විශේෂයෙන් ම සන්තුෂ්ට ව, කාළ ගෝළයා හැර පියා, “තෝ එ සේ සිටුව' යි කියා, ඔහු බල-බලා සිටිය දී ම කැවුම් කකා යන්නට වන්හ. කාළ ගොළයාත් උන් දෙන්නා ගේ ක්‍රියාව දැක, 'මුන් දෙන්නා එක් ව ගෙන මා ඇර පියා යෙති' යි සිතමින් ඈත් මෑත් බලා දිවෙන්නේ, මඳක් දියට බැස භයින් ගොඩට නැඟී, නැවතත් උන් දෙන්නා කෙරෙහි කෝපයෙන් 'මියෙම් වා, රැකෙම්වා' යි ගඟට පැන දියට බටුයේ ය. දිය මඳ නියාව දෑන ගඟින් එතෙර ව, වහා දික්පිටියා කරා පැමිණ, 'කොල, දුෂ්ට වූ සොර, මා ගේ අඹුවන් කොයි ගෙනයෙයි ද' යි විචාළේ ය. දික්පිටියා, "කොල අඟුටු මිටිය, තට අඹුවෝ කොයින් දැ' කියා කාළ ගොළයා කර අල්ලා, දමා ලී ය. ගෝළ කාළයා ද ඒ දික්තලා අත අල්ලා ගෙනැ, තෝ කොයි යෙයි ද, සත් අවුරැදක් ගෙයි කඹුටැ ලත් මාගේ අඹු වේ ද” යි කියා දික්පිටියා හා සමග කලහ ‍ෙකරමින්, ශාලාව සමිපයෙන් යන්නා හු ය.


බෝහෝ දෙනා කලහ ශබිදය අසා රැස් වුහ. මහ බෝසතාණන් වහන්සේ, "මේ කුමන අරගල යක් දැ” උන් දෙන්නා ම ගෙන්වා දෙන්නාගෙන් ඔවුනොවුනට කියන බස් අසා, “මා කී යුක්තියෙහි සිටිවු දැ” යි කියා, “සිටුමි හ”යි කී කල්හි, පළමු කොට දික්පිටියා බණවා, “තෝ කිනම් දැ”යි විචාළ සේකැ. “දික්පිටියා නම් ස්වාමීනි” කී යැ. අඹුවන්ගේ නම කිම් දැ“යි විචාළ සේකැ. ඇගේ නම නොදන්නේ අනෙක් නමක් කීයැ. “තා ගේ මෑණියෝ පියාණෝ කිනමු දැයි විචාල සේකැ. මේ මේ නම කියැ. තා‍ගේ අඹුවන් ‍ෙග් මැණියෝ පියාණෝ කිනම්මූ දැ”යි විචාළ සේකැ. ඒ නො දැන අනෙක් නමක් කීයැ. ඉක්බිත්තෙන් ඔහු ගේ බස් සභායෙහි උන්න වුන් ගිවිස්වා, ඔහු එ තැනින් පිටත් කරවා, ගෝළ කාළයා ගෙන්වා පෙරැ පරිද්දෙන් මැ හැම දෙනා ගේ මැ නම් විචාළ සේකැ. ඒ වූ පරිද්දෙන්මැ දන්නේ නො වරදවා මැ කී යැ. ඔහු ද එතැනින් පිටත් කරවා, දික්තලා ගෙන්වා, “තෝ කිනම් දැ’යි විචාළ සේකැ. ඕ මම ස්වාමිනි , දික්තලා නමි’ කිව. “තිගේ සැමියා කිනම් දැ’යි විචාළ සේකැ. ඕ සොර සැමියාගේ නම නොදන්නී අනෙක් නමක් කිව. ‘ති‍ෙග් මෑණියෝ පියාණෝ මවුපිය දෙන්නා කිනම් දැ’යි විචාළ සේකැ. “ස්වාමිනි අසවල් නම්මු යැ’යි කිව. “තිගේ සැමියාගේ මවුපිය දෙන්නා කිනම් දැ’යි විචාළ සේකැ. ඕ නන් දොඩන එකක මෙන් අනෙකක් කිව. මහෞෂධ පණ්ඩිතයන් වහන්සේ දික්පිටියා හා ගෝළ කාළයා හා දෙන්නා ගෙන්වාගෙන. ‘මැගේ බස් දික්පිටියාගේ හා සම ද, ‘ගෝළ කාළයා ගේ බස් හා සම දැ”යි බොහෝ දෙනා විචාළ සේක. හැම දෙන ම පණ්ඩිතයන් වහන්ස කාළ ගෝළයා ගේ බස් හා සම හැ”යි කීහ. ඉක්බිති, ‘මේ කාළ ගෝළයා මැයගේ සැමියා යැ, ‘දික්පිටියා සොර සැමියා යැ’ යි කියා විචාරා සොර සැමියා නියාව ගිවිස්සු සේකැ .


රථ ප්‍රශ්නය[සංස්කරණය]

සත් වැනි රථ ප්‍රශ්නය කෙසේ :- එක් පුරුෂයෙක් රථයෙකැ ඉඳැ මුහුණ සෝදන පිණිසැ නික්මුණේ යැ. ඒ ඇසි‍ල්ලෙහි සක් දෙව් මහ රජාණෝ මනුෂ්‍ය ලෝකය බලන්නාහු, මහෞෂධ බුද්ධංකුරයා ගේ ප්‍රඥානුභාවය ප්‍රකාශ කරවමි’ සිතා මිනිස් වෙසින් අවුත්, පුරුෂයා පදිමින් සිටි රථයෙහි පසු කඩ අල්ලා ගෙනැ යන්නාහු ය. රථයෙහි උන් පුරුෂයා, 'කුඩෙනි, කුමන කටයුත්තක් නිසා අවුදැ' යි විචාරා, 'නුඹ දෑ සමීපයෙහි සිටිනා නිසා ආමි' යි කී කල්හි, 'යහපතැ'යි ගිවිස රථයෙන් බැස ශරීර කෘත්‍ය සපයන පිණිස ගියේ ය.

ඒ ක්ෂණයෙහි ශක්‍රයෝ රථයට පැන නැගී වහ-වහා රථය පදනාහ. රථය ඇති පුරුෂයා ශරීර කෘත්‍ය කොටැ නිමවා නික්මුණේ රථය හැර ගෙන යන්නා වූ සක් දෙව් රජහු දැක, යුහු වැ ගොස්, 'සිටුව, සිටුව, මාගේ රථය කොයි ගෙන යෙයි දැ' යි කියා 'තොපගේ රථය අනෙකෙක් වන්නේ ය. මේ වනාහි මාගේ රථය වන්නේ යැ' යි කී කල් හි , ඔහු හා සමග කලහ කෙරෙමින් ශාලාව දොරට පැමිණියේ ය. පණ්ඩිතයන් වහන්සේ ‘මේ කිමෙක් දැ’ යි ඔවුන් බණවා, එන්නා වූ දෙදෙනා ම දැක කිසි භයක් නැති බැවින් ද ඇස් නොමරන බැවින් ද 'මේ ශක්‍රයා ය, මේ රථ ස්වාමියා යැ' යි දත් සේක. එසේ වුව ද, කලහ කාරණ විචාරා, 'මා ගේ යුක්තියෙක සිටිවු දැ 'යි විචාරා, 'සිටුම්හ යි කී කල්හි, 'මම රථය පදවමි. තොප දෙන්නා ම රථය පස්සෙන් ගනුව. රථය හිමි තැනැත්තේ නොහරනේ යි කියා තමන් දෑ ගේ පුරුෂයකුට 'රථය පදුව' යි වදාළ සේක. ඒ යුහු වැ රථය පදනට වන. ඔහු දෙන්නත් රථය පස්සෙන් අල්ලා ගෙන යන්නාහ. රථය හිමි තැනැත්තේ මඳ තෙනක් ගොස් රථය පස්සෙන් දිවිය නොහෙන්තේ, රථය හැර පියා සිටියේ ය. ශක්‍රයා රථය හා සමඟ දිවෙන්නේ මැ ය. පණ්ඩිතයන් වහන්සේ රථය පැදීම නවත්වා මිනිසුනට, 'මේ පුරුෂයා මඳක් ගොස් රථය හැර පියා සිටියේ ය. මේ වනාහි රථය හා සමඟ ම දිවැ රථය හා සමඟම වැළැක්කේ ය. මොහු ගේ ශරීරයෙහි ඩා බිඳෙකුත් පමණ නැත. ඈනීමකුත් නැත්තේ ය. භයෙකුත් නැත්තේ ය. නො මරන ලද ඇස් ඇත්තේය. මේ තෙමේ සක් දෙව් රජ යැ' යි වදාළ සේක. ඉක්බිත්තෙන් ඕ හට, "තෝ දිව්‍ය රාජයෙහි ද" යි විචාරා එසේ යැ යි කී කල්හි, කුමක් නිසා මේ මනුෂ්‍ය ලෝකයට අවු දෑ යි විචාරා 'නුඹ වහන්සේගේ නුවණ ප්‍රකාශ කිරීම පිණිස යැ, පණ්ඩිතයන් යි කල්හි, 'එසේ වී නම් මෙබන්දක් මතු නො කරව' යි වදාරා අවවාද කළ සේක. සක් දෙව් රජාණෝත් තමන්ගේ ශක්‍රානුභාවය දක්වමින් ආකාශයෙහි සිට 'නුඹ වහන්සේ විසින් රථ යුක්තිය යහපත් කොට පසිඳිනා ලද' යි පණ්ඩිතයන් වහන්සේට ස්තූති කොට, තමන් වසන දිව්‍ය ලෝකයට ම ගියාහු ය.

6.දණ්ඩකාදිය[සංස්කරණය]

දණ්ඩක ප්‍රශ්නය[සංස්කරණය]

අට වැනි කිහිරි දණ්ඩෙන් විමසූ ප්‍රශ්නය කෙසේ:- ඉක්බිත්තෙන් එක් දවසක්, “පණ්ඩිතයන් විමසම්හ” යි කිහිරි දණ්ඩක් ගෙන්වා එයින් වියතක් පමණ ගෙන, තත්තකාරයකු ගෙන්වා සකස් කොට ලියවා, “නැගෙනහිර යවමැදුම් ගමැ වසන පුරුෂයෝ නුවණැත්තෝ ; මේ අග යැ. මේ මුල යැ‘යි දනිත් ව යි. ඉඳින් නොදනිත් නම් දහසක් දඩ යැ’යි කියා යැවූ හ.

ගම් වැස්සෝ රැස් වැ කිහිරි දණ්ඩෙහි අග මුල දැනැගත නො හෙන්නාහු සිරිවඩ්ඪන සිටාණනට, “කිසි සේත් මහෞෂධ පණ්ඩිතයෝ දැන ගන්නා හ. උන් ගෙන්වා ගෙනැ විචාරව”යි කීවෝ යැ. සිටාණෝ ඒ පණ්ඩිතයන් කෙළි මඬලෙන් ගෙන්වා එපවත් කියා, “පුත, අපි හැම කිහිරි දණ්ඩෙහි අග මුල දැන ගන්නට නොපොහොසතුම් හ. කිමෙක් ද පුත, තෙපි පොහොසතුදැ “යි විචාළ හ. පියාණන් කී බස් අසා පණ්ඩිතයන් වහන්සේ, “රජ්ජුරුවනට මේ කිහිරි දණ්ඩෙහි අගින් වෙවයි මුලින් වේවයි ප්‍රයෝජනයෙක් නැති. මා විමසනු පිණිස එවන ලද්දේ වනැ' යි සිතා "ගෙනෙව කුඩාචරුනි, මා පොහොසත් මි“ යි ගෙන්වා ගෙනැ, කිහිරි දණ්ඩ අතින් අල්ලා ගෙනැ මැ, “මේ අග යැ, මේ මුල යැ “යි දැන බොහෝ දෙනා සිත් ගන්නා පිණිසැ පැන් තලියක් ගෙන්වා, කිහිරි දණ්ඩ මැදින් හූ ලණූවෙකින් බැඳැ, හූ අග අල්ලාගෙනැ කිහිරි දණ්ඩ දිය පිටැ තබා ලූ සේකැ. මුල බර බැවින් පළමු කොට දියේ ගැලිණ. ඉක්බිත්තෙන්, “ගසෙහි නම් මුල බර වේ ද, නොහොත් අග බර වේ දැ “යි බොහෝදෙනා විචාළ සේකැ. හැම දෙනා මැ, “පණ්ඩිතයන් වහන්ස, මුල බර වේ දැ “යි කී හ. එසේ හෙයින්, “කිහිරි දණ්ඩෙහි පළමු කොටැ ගිලුණු අත මුලයැ “යි මේ සලකුණෙන් අගත් මුලත් වදාළ සේකැ.

ගම් වැස්සෝ ද, “මේ මුල යැ, මේ අග යැ “යි රජ්ජුරුවනට කියා යැවූ හ. රජ්ජුරුවෝ සතුටු වැ “මේ අග මුල කවරෙක් දත්තේදැ “යි විචාරා, සිරිවඩ්ඪන සිටාණන් පුතණුවෝ මහෞෂධ පණ්ඩිතයෝ ය “යි අසා සතුටු වැ, “කිමෙක්ද සේනකය මහෞෂධ පණ්ඩිතයන් ගෙන්වමෝ දැ “යි විචාළ හ. “ඉවසුව මැනැව, දේවයන් වහන්ස, දේවයන් වහන්ස, අනෙක් උපා‍යයෙකිනුත් විමසම්හ“යි නැවැතූ හ.

ශීර්ෂ ප්‍රශ්නය[සංස්කරණය]

නව වැනි වැ ගෑනු ඉසෙකින් හා පිරිමි ඉසෙකින් විමසූ ප්‍රශ්නය කෙසේ ද යක්:- ඉක්බිත්තෙන් එක් දවසක් ගෑනියක ගේද, පිරිමියකු ගේ ද හිස් දෙකක් ගෙන්වා "මේ ගෑනු හිසයැ මේ පිරිමි හිස යැ’යි දනිත්වයි නොදන්නාහු නම් දහසක් දඩ දෙන්නාහු යැ’යි නැඟෙනහිරි යවමැදුම් ගම්වැස්සන්ට යවූහ.


ගම්වැස්සෝ විභාග නොදන්නාහු හිස් දෙක ගෙන බෝසතාණන් වහන්සේ විචාළහ. උන් වහන්සේ හිස් දෙක දැකලා ම මේ ගෑනු හිස යැ, මේ පිරිමි හිසයැ’යි දත් සේක. පිරිමි හිස මැස්ම වක් නොව ඉදිව යන්නේය, ගෑනුහිස මැස්ම වක් වන්නේය. බෝසතාණන් වහන්සේ මේ සළකුණෙන් 'මේ ගෑනු හිසය මේ පිරිමි හිසයැ'යි ගම්වැස්සන්ට වදාළ සේක. ගම්වැස්සෝ රජ්ජුරුවන්ට ඉස් දෙක තෝරා යවූහ. රජ්ජුරුවන් විචාළ නියාවද සේනක පණ්ඩිතයන් වැළකූ නියාවද පෙර සේ මැයි.

අභි ප්‍රශ්නය[සංස්කරණය]

දස වැනි වූ සර්පයන් දෙදෙනා ගෙන් විමැසූ ප්‍රශ්නය කෙසේ ද යත්:- නැවත එක් දවසක් නයකු හා සැපින්නක ගෙන්වා ගෙන "මේ නයාය, මෝ සැපින්නය'යි දනිත්වයි. නොදන්නාහු නම් දහසක දඩය”යි නැඟෙනහිර යවමැදුම් ගම්වැස්සන්ට යවූහ. ගම්වැස්සෝ නොදන්නාහු පණ්ඩිතයන් වහන්සේ විචාළහ.


පණ්ඩිතයන් වහන්සේ දැකලා මැ දැනගත් සේක. නයාගේ නගුට මහත් වන්නේය. සැපින්නගේ නගුට සිහින් වන්නේය. නයාගේ හිස මහත් වන්නේය. සැපින්නගේ හිස දික් වන්නේය. නයාගේ ඇස් වට වන්නේය. මහත් වන්නේය, සැපින්නගේ ඇස් දික් ව කුඩා වන්නේය, නයාගේ පෙණය හාත්පසින් සම්පූර්ණ ව තිබෙන්නේය. සැපින්නගේ පෙණය එක් දිසාවකින් සැහැපුවා සේ අර්ධ ව තිබෙන්නේය. මේ සළකුණෙන් "මේ සර්පයා යැ, මෝ සැපින්නය"යි වදාළ සේක. සෙස්ස යට කියන ලද්දා වූ ක්‍රමය මැයි.


කුක්කුට ප්‍රශ්නය[සංස්කරණය]

එකොළොස් වැනි වූ කුකුළා ගෙන් විමසූ ප්‍රශ්නය කෙසේ ද යත් ඉක්බිත්තෙන් එක් දවසක් "නැඟෙනහිරි යවමැදුම් ගම වැස්සෝ සර්වාංගයෙන් ධවල වූ පය අං ඇති හිස මොල්ලියක් ඇති කාලත්‍රය නොයික්මවා හඬන්නාහු ගොනකු එවත්වයි, ඉදින් නේ වූ නම් දහසක් දඩය”යි කියායවූහ. ඒ ගම්වැස්සෝ ප්‍රශ්නයෙහි විභාග නොදන්නහු පණ්ඩිතයන් වහන්සේ විචාළහ.


පණ්ඩිතයන් වහන්සේ "රජ්ජුරුවෝ තොප අතින් හැළි කුකුළකු ගෙන්වති” වදාළ සේක. ඒ කුකුළා වනාහී පය පොරකටු ඇති බැවින් පය අං ඇත්තේ නම, හිස මල් ඇති බැවින් හිස මොල්ලියක් ඇත්තේ නම, භ්‍රස්ව දීර්ඝ ප්ලුත යන තූන් කාලයට උච්චාරණ ශුද්ධ කොට හඬ නඟන හෙයින් කාලත්‍රය නොඉක්මවා හඬන්නේ නමැ. එසේ හෙයින් මෙබඳු කුකුළකු යවව"යි වදාළ සේක. ගම්වැස්සෝ එබඳු කුකුළකු යවූහ.


මණි ප්‍රශ්නය[සංස්කරණය]

දොළොස් වැනි වූ මැණිකකින් විසඳූ ප්‍රශ්නය කෙසේ ද යත්:- ශක්‍ර දේවේන්ද්‍රයන් විසින් කුස රජ්ජුරුවනට දුන් මැණික තෙමේ අට තැනකින් වක් වූයේය. ඒ අට වක් මැණිකෙහි ශක්‍රයන් ඇවුණු පුරාතන හුය දිරා ගොස් කැඩී ගියේය. පරණහුය හැර පියා අලුත් හුයක් අවුණා ලන්නට කිසි කෙනෙක් නොපොහොසත්හ. එක් දවසක් "මේ මැණිකෙහි පරණ දිරා ගියහුය ඇරපියා අලුත් ලණුවක් ලව"යි කියා යවමැදුම් ගම ඇත්තනට වේදේහ රජ්ජුරුවෝ යවූහ.


ගම්වැස්සෝ පරණ හුය අරින්නටත් අලුත් හුය ලන්නටත් නොපිළිවන් වූවාහු මහෞෂධ පණ්ඩිතයන් වහන්සේට කීවාහුය. පණ්ඩිතයන් වහන්සේ "තෙපි නොසිතව, මී ටිකක් ගෙන්වා ගනුව”යි කියා ගෙන්වා ගෙන මැණිකෙහි දෙකෙළවර සිදුරෙහි මී බිංදු ගල්වා පලස් හුයින් ලණුවක් අඹරා, අග මීයෙහි ගාලා මඳක් මැණිකෙහි සිදුරට වද්දාලා කුහුඹුවන් නික්මෙන කුහුඹු බිලයක තබාලූ සේක. කුහුඹුවෝ මීයෙහි ගඳින් බිලයෙන් නික්ම මැණිකෙහි දිරාගිය පරණහුය කාගෙන පලස්හූ අග ඩැහැගෙන යටින් අදනාහු අනික් ඇළයෙන් පිටත් කොට පීය. පණ්ඩිතයන් වහන්සේ මැණිකෙහි ලණුව ඇවිණි ගිය බැව් දැනගෙන 'රජ්ජුරුවන්ට දෙව'යි කියා ගම්වැස්සනට මැණික දුන් සේක. ගම්වැස්සෝ රජ්ජුරුවනට යවූහ. රජ්ජුරුවෝ ලණුව ඇවුණූ උපාය අසා සතුටු වූහ.


විජායන ප්‍රශ්නය[සංස්කරණය]

තෙළෙස් වන විජායන ප්‍රශ්නය කෙසේ ද යත්:- එක් දවසක් වනාහී රජ්ජුරුවන්ගේ මඟුල් ගොනු උඳු බොහෝ කොට කවා බඩ මහත් කොට, හං සකස් කොට තෙල් ගල්වා සර්වාංගයෙහි කසා නාවා නැඟෙනහිර යවමැදුම් ගම ඇත්තනට "තෙපි නුවණැත්තෝල, මේ රජ්ජුරුවන්ගේ මඟුල් ගොනාය. පිහිටි දරුගැබ් ඇත්තේය. මොහු වදවා පියා වස්සා සහිත කොට එවව. එසේ නොඑව්ව හොත් දහසක්දඩය”යි යැවූහ. ගම්වැස්සෝ "මේ ගොනුදරුවන් වදවන්නට නොපිළිවන, කුමක් කරමෝ දෝ හෝ"යි පණ්ඩිතයන් වහන්සේ විචාළහ.

උන් වහන්සේ "සමාන පැනයකින් විසඳිය යුතු”යි සලකා රජ්ජුරුවන් හා සමඟ කියන්නට එක් බුහුටි පුරුෂයකු කැඳවූහ. ඉක්බිත්තෙන් මහබෝසතාණන් වහන්සේ ඒ පුරුෂයාට "මෙසේ එව පින්වත් පුරුෂය, තෝ තාගේ හිසකේ පිටිදෑ මැද හෙළා ගෙන නොයෙක් පරිද්දෙන් මහ විලාප හඬහඬා රජගෙයි වාසලට යා, සෙස්සවුන් විචාරණ ලදුයෙහි කිසිවක් නොකියා මහ රජ්ජුරුවන් විසින් ගෙන්වාගෙන හඬන කාරණා විචාරණ ලද්දේහි 'දේවයන් වහන්ස, මපියාණෝ වදාගත නොහෙති. අදට විළි පහරන්නේ 'සත්දවස, මට පිළිසරණ වුව මැනැව. වදන උපායක් වදාළ මැනැව’යි කියා රජ්ජුරුවන් විසින් 'කිමෙක්ද නන් දොඩයිද? මේ කාරණයෙක් නොවෙයි, පිරිමින් වදන්නාහු නැතැ'යි කී කල්හි 'දේවයන් වහන්ස' එසේ වී නම් නැඟෙනහිර යවමැදුම් ගම්වැස්සෝ කෙසේ මඟුල් ගොනා වදවද්දැ'යි විචාරව'යි වදාළ සේක. ඒ පුරුෂයාත් "මහබෝසතාණන් වදාළ වචනය පිළිගෙන වදාළ පරිද්දෙන් ම කෙළේය. රජ්ජුරුවෝ "සමාන ප්‍රශ්නය කා විසින් සිතන ලදදැ”යි විචාරා 'මහෞෂධ පණ්ඩිතයන් විසිනැ'යි අසා සතුටු වූහ.


ඕදන ප්‍රශ්නය[සංස්කරණය]

තුදුස් වැනි වූ පැසි බතින් විමසූ ප්‍රශ්නය කෙසේ ද යත්:- එක් දවසක් 'පණ්ඩිතයන් විමසම්හ'යි කියා නැඟෙනහිරි යවමැදුම් ගම්වැස්සෝ අපට අට කාරණයකින් සමන්විත වූ පැසි බතක් පිස එවත්වයි. ඒ පැසි බතැයි කියන්නේ මේ අට කාරණයයි:- සාලිනුත් නොපිසුව මැනැව, දියෙනුත් නොපිසුව මැනැව, සැළියෙනුත් නොපිසුව මැනැව, ගින්නෙනුත් නොපිසුව මැනැව, දර උදුන ලාත් නොපිසුව මැනැව, මෙසේ වූ පැසි බත ගෑනිය අතත් නො එවුව මැනැව, පිරිමියකු අතත් නො එවුව මැනැව, මඟෙකත් නො එවුව මැනැව, මේ අට කාරණයෙන්, යුක්ත පැසි බත නො එවුව හොත් දහසක් දඩය”යි කියා යවූහ. ගම්වැස්සෝ ඒ කාරණය නොදන්නාහු පණ්ඩිතයන් විචාළහ.


උන් වහන්සේ 'නොසිතව'යි කියා "නොසාල් නම් සුන්සාල් ගෙන, නොදිය නම් පිනිදිය ගෙන, නොසැළිය නම් අනික් මැටි බඳුනක් ගෙන, නොඋදුන නම් අලුත් කණු ගසා, නොගිනි නම් පියවි ගිනි හැර දණ්ඩේ හෙළූ ගිනි ගෙන, නොදර නම් පරණලා ගෙන, පැසිබත පිසවා සැළියක ලා අස් ඔබා නොගෑනු නොපිරිමියකු නම් නපුංසකයකු ඉස තබාලා නොමඟින් නම් මාවත පියා හසරකින් රජ්ජුරුවනට යවව”යි යැවූ සේක. රජ්ජුරුවෝ ප්‍රශ්නය කා විසින් විසඳනා ලද දැ'යි විචාරා මහෞෂධ පණ්ඩිතයන් විසිනැ'යි අසා සතුටු වූහ.


7. වාලුකාදිය[සංස්කරණය]

පසළොස් වන වැලි යොතින් විමසූ ප්‍රශ්නය කෙසේ ද යත්:- එක් දවසක් පණ්ඩිතයන් වහන්සේ විමසනු පිණිස නැඟෙනහිරි යවමැදුම් ගම්වැස්සනට අස්නක් යවූහ. ඒ කෙසේ වූ අස්නෙක්ද යත්:- රජ්ජුරුවෝ ඕවිල්ලෙහි කෙළෙනා කැමැත්තෝය. පරණ වැලියොත කැඩී ගියේය, එක් වැලි යොතක් අඹරා එවත්වයි, නොඑවුව නම් දහසක් දඩය'යි කියායවූහ. ඒ ගම්වැස්සෝ අර්ථය නොදැන පණ්ඩිතයන් වහන්සේ විචාළහ.

පණ්ඩිතයන් වහන්සේ 'මේ පැනයත් සමාන පැනයකින් ම විසඳිය යුතුය'යි සිතා 'ගම්වැස්සෙනි, නොසිතව'යි අස්වසා කීමෙහි බිණීමෙහි දක්‍ෂ වූ පුරුෂයන් දෙතුන් දෙනකු බණවා 'යව ගොස් රජ්ජුරුවනට කියව, 'දේවයන් වහන්ස ගම්වැස්සෝ වැලි යොතෙහි සීන වේවයි දළ වේවයි පමණ නොදන්නාහ. පරණ වැලි යොතින් වියතක් පමණ රෑන මාල්ලක් එවුව මැනැව, ඒ වැලි රෑන පොල්ල බලා ඊ සීන දළ පමණින් වැලි යොතක් අඹරන්නාහ'යි කියව. ඉඳින් තොපට රජ්ජුරුවෝ 'අපගේ ගෙහි වැලි යොතක් නම් කිසි කලෙකත් නොවූ විරීය'යි කියත් නම් ඒසේ කී රජ්ජුරුවන්ට 'දේවයන් වහන්ස, ඉදින් එසේ වී නම් යවමැදුම් ගම්වැස්සෝ කෙසේ වැලි 'යොතක් අඹරා එවද්දැ'යි කියා ලව'යි කියා යවූ සේක. ඒ පුරුෂයෝ 'මහබෝසතාණන් වහන්සේ වදාළ ලෙස ම කළහ. රජ්ජුරුවෝ ඒ අසා 'මේ සමාන පැනය කා විසින් සිතන ලදදැ'යි විචාරා 'මහෞෂධ පණ්ඩිතයන් වහන්සේ විසිනැ'යි අසා සතුටු වූහ.

තඩාග ප්‍රශ්නය[සංස්කරණය]

සොළොස් වැනි වූ පොකුණකින් විමසූ තඩාග ප්‍රශ්නය කෙසේ ද යත්:- එක්දවසක් 'රජ්ජුරුවෝ දිය කෙළිනා කැමැත්තෝය. රක්ත, නීල, ස්වේතාදී පස් පියුමෙන් ගැවසීගත් පොකුණක් එවත්වයි, එසේ නො එවූ නම් දහසක් දඩය'යි ගම්වැස්සනට කියායවූහ. ඔහු ඒ අර්ථය නොදැන පණ්ඩිතයන් වහන්සේට දැන්වූහ.

උන් වහන්සේ මෙයිත් සමාන ප්‍රශ්නයකින් මිස විසඳිය නොහැක්කැ'යි සිතා මුඛරි වූ මිනිසුන් කීප දෙනකුන් කැඳව'යි කියා ගෙනා කල්හි ඒ පුරුෂයනට මෙසේ කිවුය. තෙපි දිය කෙළ ඇස් ඔලිඳැට සේ රත් කොට තෙත් හිසකේ ඇති ව අඳනා ලද තෙත් පිළි ඇති ව මඩ වැකුණු ශරීර ඇති ව වියදඬු කැවිටි බහන් කැට මුගුරු ගත් අත් ඇති ව රජගෙයි වාසලට ගොස් වාසලෙහි සිටි බැව් රජ්ජුරුවනට කියා යවා රජ්ජුරුවන් විසින් 'එන්නේ'යි කියන ලද අවකාශ ඇති ව රජගෙට වැද 'දේවයන් වහන්ස' නුඹ වහන්සේ විසින් වනාහි' නැඟෙනහිරි යවමැදුම් ගම්වැස්සෝ පොකුණක් එවත්වයි කියා යවන ලද හෙයින් අපි නුඹ වහන්සේට දිය කෙළනට සුදුසු වූ පස් පියුමෙන් සැදුණු පොකුණක් ඇරගෙන ආම්හ. ඒ පොකුණ තමා වෙනෙහි වැස ගත් බැවින් නුවර දැක අට්ටාල පවුරු පදනම් අගල හා වාසල් ආදිය බලා වෙවුලා වෙවුලා භයින් බහන කඩා ගෙන ගොස් වලට ම ගියාය. අපි කැට මුගුරු ආදීන් මරන්නමෝද නවතා ගත නුහුණම්හ, නුඹ වහන්සේ විසින් ගියදවස වලින් ලද පොකුණක් එවුව මැනැව, ඒ පොකුණ හා අපගේ පොකුණ හා එක් කොට යොදා ගෙනෙම්හ'යි කියා රජ්ජුරුවන් විසින් කිසි කලෙකත් මා විසින් පොකුණක් නොගෙන්වන ලද විරීය, කිසිවක් හට මා විසින් එක් කොට යොදා ගෙනෙන පිණිස පොකුණක් නොඑවන ලද විරී යැ'යි කී කල්හි 'ඉදින් දේවයන් වහන්ස එසේ වී නම් නැඟෙනහිරි යවමැදුම් ගම්වැස්සෝ කෙසේ පොකුණක් නුඹ වහන්සේට එවද්දැ'යි කියව'යි කියායවූ සේක. උයිත් මහබෝසතාණන් වහන්සේ වදාළ ලෙස ම කළහ. රජ්ජුරුවෝ ඒ මිනිස්සු අතින් 'කවුරු විසින් විසඳන ලදදැ'යි විචාරා පණ්ඩිතයන් විසිනැ'යි අසා සතුටු වූහ.

උද්‍යාන ප්‍රශ්නය[සංස්කරණය]

සතළොස් වැනි වූ උයනින් විමසූ ප්‍රශ්නය. කෙසේ ද යත්;- නැවත එක්දවසක් 'අපි උයන්කෙළි කෙළනා කැමැත්තෙම්හ. අපගේ උයන පරණ ව ගියේය. යවමැදුම් ගම්වැස්සෝ චම්පකාශෝකවකුලතිලකාදීන් සුපුෂ්පිත තරුවරාකීර්ණ අලුත් උයනක් එවත්ව'යි කියා යවූහ. පණ්ඩිතයන් වහන්සේ 'මෙයින් සමාන පැනයකින් ම විසඳිය යුතුය'යි ගම්වැස්සන් අස්වසා මුඛරි මිනිසුන් කීප දෙනකුන් යවා පෙර පොකුණට කියායැවූ පරිද්දෙන් ම කියායවූ සේක. ඒ දවසුත් රජ්ජුරුවෝ සතුටු ව සේනක පණ්ඩිතයනට කියන්නාහු 'පණ්ඩිතයන් ගෙන්වා ගනුමෝදැ'යි විචාළහ. ඒ තෙමේ ලාභමාත්සර්‍යය නිසා ‘මෙපමණකින් ම පණ්ඩිත නම් නොවෙති, හැම්මුන මැනැව'යි කීය.

8. ගද්‍රභ - මණි ප්‍රශ්නය[සංස්කරණය]

ගද්‍රභ ප්‍රශ්නය[සංස්කරණය]

ඒ සේනකයාගේ බස් අසා රජ්ජුරුවෝ 'මහෞෂධ පණ්ඩිතයෝ තුමූ වැලි කෙළියෙහි පටන් පැසිඳි මාංස ප්‍රශ්නය ආදී වූ ප්‍රශ්න සතළොසින් මැ මා සිත් ගත්හ. මෙබඳු උන්ගේ දැඩි වූ පැන විසඳීමෙහිද අප විසින් යවන ලද්දා වූ ප්‍රශ්න චින්තනයෙහිද උන්ගේ ප්‍රශ්න විසර්ජනය බුදු කෙනකුන් වහන්සේගේ ප්‍රශ්න විසර්ජනයක්හා සමානය. සේනකයා මෙ බඳුවූ පණ්ඩිතයන් ගෙන්විය නොදෙයි. සේනකයාගෙන් මට කාරිය කිම්දැ'යි ඒ මහෞෂධ පණ්ඩිතයන් ගෙනෙමි'යි මහත් වූ හස්ත්‍යශ්වාදී පරිවාරයෙන් යුක්ත ව පණ්ඩිතයන් වසන නැගඟෙනහිරි යවමැදුම්. ගමට යන්නට නික්මුණාහ. මඟුලසු නැඟීගෙන යන්නා වූ රජ්ජුරුවන්ගේ මඟුලසුගේ පය පැකිලී වළෙක වැටී බිඳී ගියේය. රජ්ජුරුවෝ එතැන සිට නැවත නුවරට වන්නාහ.


ඉක්බිත්තෙන් අතරමඟ සිට ආ වේදේහ රජ්ජුරුවන් සමීපයට සේනක පණ්ඩිතයෝ එළඹ 'දේවයන් වහන්ස මහෞෂධ පණ්ඩිතයන් ගෙනෙන්නට යවමැදුම් ගමට වැඩි සේක් වේදැ යි විචාළහ. "එසේය පණ්ඩිතයෙනි, රජ්ජුරුවෝ කීහ. 'දේවයන් වහන්ස මා අවැඩකරු කොටදත් සේක. තවත් හැම්මුන මැනැවයි කියද්දීත් ඉතා ඉක්මන් ව ගොස් ආදි ම යන ගමනේ මඟුලසුගේ පය බිඳී ගියේ වේදැ'යි කීය. රජ්ජුරුවෝ සේනක පණ්ඩිතයන් කී බස් අසා තුෂ්නීම්භූත ව නැවත එක්දවසක් සේනකයන් හා සමඟ 'සේනක පණ්ඩිතයෙනි, මහෞෂධ පණ්ඩිතයන් ගෙන්වමෝදැ'යි විචාළහ. 'එසේ වී නම් දේවයන් වහන්ස, නුඹ වහන්සේ නොගොස් 'පණ්ඩිතයෙනි, තොපගේ සමීපයට එන්නා වූ අපගේ මඟුලසුගේ පය බිඳී ගියේය. අශ්වතරයකු හෝ ශ්‍රේෂඨතරයකු හෝ එවව'යි මෙහෙවර කරන්නකු යවුව මැනැව. ඉදින් අශ්වතරයකු එවත් නම් තුමූ ම එන්නාහ. ශ්‍රේෂඨතරයකු එවත් නම් පියාණන් එවන්නාහ. මේ තෙමේ අපට ප්‍රශ්නයක් වන්නේය'යි කීහ. රජ්ජුරුවෝ 'යහපතැ'යි ගිවිස සේනකයන් ගිවිස සේනකයන් කී ලෙස ම කියා මෙහෙවර කරන්නකු යැවූහ.

පණ්ඩිතයන් වහන්සේ මෙහෙවර කරන්නහුගේ බස් අසා රජ්ජුරුවෝ මාද පියාණන් වහන්සේද දක්නා කැමැත්තෝය'යි සිතා පියාණන් වහන්සේ සමීපයට ගොස් වැඳලා 'පියාණන් වහන්ස රජ්ජුරුවෝ නුඹ වහන්සේද මා ද දක්නා කැමැත්තෝය. නුඹ වහන්සේ පළමු කොට සිටුවරුන් දහස පිරිවරා වැඩිය මැනැව. වඩිනා සේක්ද සිසතින් නොගොස් අලුත් හෙළඟිතෙල් පිරුණු සඳුන් කරඬුවක් හැරගෙන වැඩිය මැනැව, රජ්ජුරුවෝ නුඹ වහන්සේ හා සමඟ පිළිසඳර කතා කොට 'සුදුසු අස්නක් දැන හිඳුව'යි කියති. නුඹ වහන්සේ එබඳු අස්නක් පරීක්‍ෂාකොට හුන මැනැව. නුඹ වහන්සේ කතා කොටහුන් වේලෙහි මම එමි. රජ්ජුරුවෝ මා හා සමඟද පිළිසඳර කතා කොට 'පණ්ඩිතයෙනි, සුදුසු අස්නක් දැන හිඳුව'යි කියති. ඉක්බිත්තෙන් මම නුඹ වහන්සේගේ මූණ බලමි. ඒ සලකුණෙන් හුනස්නෙන් නැඟී 'පුත මහෞෂධ පණ්ඩිතයෙනි, මේ අස්නෙහිඳුව'යි වදාළ මැනැව. එසේ කල්හි එක් පැනයෙක් අපට වන්නේය'යි වදාළ සේක.

සිටාණෝ 'යහපතැ'යි ගිවිස පුතණුවන්දෑ කී සැටියේ ම ගොස් තමන් වාසල සිටි බව රජ්ජුරුවන්ට කියායවා 'එන්නේය'යි කියා එවූ කල්හි රජගෙට වැද රජ්ජුරුවන් වැඳ එකත්පස් ව සිටියහ. රජ්ජුරුවෝ සිටාණන් හා සමඟ කතා කොට 'සිටාණෙනි, තොප පුතණුවෝ මහෞෂධ පණ්ඩිතයෝ කොහිදැ'යි විචාළහ. 'පස්සෙහි එති දේවයන් වහන්සැ'යි කීහ. රජ්ජුරුවෝ 'එති'යනු අසා සතුටු සිත් ඇති ව 'තොපට සුදුසු අස්නක් දැනහිඳුව'යි කීහ. සිටාණෝ තමන්ට සුදුසු අස්නක් බලා එකත්පස් වැ හුන්නාහ.

මහ බෝසතාණන් වහන්සේ ද සර්වාලංකාරයෙන් සැරැහුණු සේක් කුමාරවරුන් දහස විසින් පිරිවරන ලදු ව සරහන ලද උතුම් රථයක හිඳ නුවරට වදනා සේක් අගල පිට තණ කන එක් කොටළුවකු දැක ශක්ති සම්පන්න පුරුෂයනට ‘මේ කොටළුවා ලුහුබඳවා ගෙනයම් පරිද්දෙකින් ශබ්ද නොකෙරේද එපරිද්දෙන් ම ඔහුගේ මුඛය බන්ධනය කොට එක් පරක්කුවෙකින් කර තබා නොපෙන්නා ගෙන එව'යි වදාළ සේක. ඒ මානවකයා බෝධිසත්ත්වයන් වදාළ ලෙස ම කළහ.

බෝධිසත්ත්වයන් වහන්සේ ද මහත් පිරිසින් යුක්ත ව ශක්‍රදේවේන්ද්‍ර ලීලාවෙන් නුවරට වන් සේක. බොහෝ දෙන සිරිවඩ්ඪන සිටාණන් පුතණුවෝ මහෞෂධ පණ්ඩිතයෝ නම් මූල, උපන්නාහු බෙහෙත් ගුළියක් අතින් ගෙන උපන්නෝ මූල, විමසූ මෙතෙක් ප්‍රශ්නයන්ගෙන් අර්ථ විභාග දක්නා ලද්දෝ හෙවත් පැන විසඳුවෝ මූල'යි මහබෝසතාණන් වහන්සේට ස්තූති කරන්නාහු තෘප්තියට නොපැමිණෙන්නාහ. පණ්ඩිතයන් වහන්සේ රජගෙයි වාසලට ගොස් තමන් වහන්සේ ආ පවත් දොරටු පාලකයා අත කියායැවූ සේක. රජ්ජුරවෝ ඇසූ පමණින් ම තුටු පහටු ව ‘මපුතණුවෝ මහෞෂධ පණ්ඩිතයෝ වහා එත්ව'යි කීහ. බෝසතාණෝ කුමරුන්දහස පිරිවරා පහයට නැඟ රජු වැඳ එකත් පසෙක සිටි සේක. රජ්ජුරුවෝ ඔහු දැකම සොම්නසට පැමිණ මිහිරි කතා කොට, 'පණ්ඩිතයෙනි, සුදුසු අස්නක් දැනහිඳුව'යි කීහ. පණ්ඩිතයන් වහන්සේ පියාණන්දෑ මූණ බැලූ සේක. ඉක්බිත්තෙන් උන් වහන්සේගේ පියාණෝ බැලූ සලකුණෙන් හස්නෙන් නැඟී 'පණ්ඩිතයෙනි, මේ හස්නේ හිඳුව'යි කීහ. පණ්ඩිතයන් වහන්සේ ඒ අසමින් පියාණන් හුන් හස්නෙහි වැඩහුන් සේක.

පියාණන් හස්නෙන් නඟා පියාහස්නෙහි උන්නා වූ පණ්ඩිතයන් දැකලා ම සේනක පුක්කුස කාවින්ද දේවින්ද යන පණ්ඩිතවරු 'සතර දෙනද සෙසු නුවණ නැත්තාහුද අත්ලෙන් අත්ල ගසා මහත් කොට සිනාසී 'මේ නුවණ නැත්තහු නුවණැත්තැ’යි කියති. ඒ තෙම පියාණන් හස්නෙන් නඟාපියා තෙමේ ඒ හස්නෙහි හිඳිනේය. මොහු ‘නුවණැතැ’යි කියන්නට යුක්ත නොවන්නේය'යි වෙහෙසූය. රජ්ජුරුවෝ ද දුර්මුඛ වූහ.


ඉක්බිත්තෙන් මහබෝසතාණන් වහන්සේ දුර්මුඛ ව උන් රජ්ජුරුවන් වහන්සේට 'කිමෙක්ද දේවයන් වහන්ස කනස්සලු සේක්දැ'යි විචාළ සේක. 'එසේය පණ්ඩිතයෙනි, කනස්සල්ලෙමි. තොපගේ ස්වරූප ඇසීම සිත් ගත, දැක්ම සිත් නොගතැ'යි කීහ. 'මාගේ ස්වරූප ඇසීම සිත් ගත්තේත් දැක්ම සිත් නොගත්තේත් කුමක් නිසාදැ'යි විචාළ සේක, 'පියාණන් හුනස්නෙන් නඟාහුන් හෙයිනැ'යි කීහ. 'කිමෙක්ද දේවයන් වහන්ස නුඹ වහන්සේ ඇමතන්හි ම පුතුන්ට වඩා පියෝ ම උතුම්හයි කියන සේක්දැ'යි විචාළ සේක, රජ්ජුරුවෝ එසේය, පණ්ඩිතයෙනි' කීහ. ඉක්බිත්තෙන් මහ බෝසතාණෝ රජ්ජුරුවන්ට 'දේවයන් වහන්ස නුඹ වහන්සේ විසින් අපට 'අශ්වතරයකු හා ශ්‍රේෂ්ඨතරයකු හෝ එවන්නේය'යි අසුන් යවන ලද්දේ නොවේදැ'යි කියා උන්හස්නෙන් නැඟී. කොටළුවා ගෙනා මානවකයන් මූණ බලා 'තොප විසින් ගන්නා ලද කොටළුවා ගෙනෙව'යි ගෙන්වාගෙන රජ්ජුරුවන්ගේ පා මුල හොවා ලා 'දේවයන් වහන්ස මේ කොටළුවා කෙතෙක් අගී දැ?'යි විචාළ සේක. රජ්ජුරුවෝ 'ඉදින් උපකාර ඇත්තේ නම් අට මස්සක් අගනේය'යි කීහ. මූ නිසා සෛන්ධව කුලයෙහි වෙළඹ බඩ උපන් ආජානීය අශ්වයා කෙකෙක් අගී දැ'යි විචාළ සේක. 'පණ්ඩිතයෙනි අගය නැතැයි කීහ. දේවයන් වහන්ස කුමක් හෙයින් එසේ කියන සේක්ද? නුඹ වහන්සේ විසින් දැන් ඇම තන්හි ම පුතුනට වඩා පියෝම උත්තමහ'යි කියන ලද්දේ වේද? ඉදින් ඒ සබෑවී නම් නුඹ වහන්සේගේ වාදයෙහි ආජානීය අශ්වයාට වඩා කොටළුවා උතුම් වන්නේය. කිමෙක්ද දේවයන් වහන්ස නුඹ වහන්සේගේ පණ්ඩිතවරු මෙපමණකුත් දැනගන්නට අසමර්ථ ව අත්ලෙන් අත්ල ගසා සෙන්නාහු ද? නුඹ වහන්සේගේ පණ්ඩිතවරුන්ගේ නුවණ විශේෂය ආශ්චය යැ. නුඹ වහන්සේ කොයින් මුන් අතපත ගා ලත් සේක්දැ'යි පණ්ඩිතවරුන් සතරදෙනාට පරිභව බැණ රජ්ජුරුවන්ට 'ගද්‍රභ ප්‍රශ්නයෙහි එම කාරණා ගාථාවකින් කියා 'දේවයන් වහන්ස පුතුනට වඩා පියෝ උත්තමයෝ නම් මපියාණන් නුඹ වහන්සේට වැඩ පසස්නා පිණිස ගත මැනැව, ඉදින් පියනට වඩා පුත්‍රයෝ උත්තමයෝ නම් මා නුඹ වහන්සේ සමීපයෙහි රඳවා ගත මැනැවැ'යි වදාළ සේක. රජ්ජුරුවෝ සොම්නස් වූහ. සියලු රාජපර්ෂද් 'පණ්ඩිතයන් විසින් ප්‍රශ්නය මනා කොට කියන ලදැ'යි ඔල්වර හඬ ගසමින් සාධුකාර ශබ්ද පැවැත්වූහ. අසුරුසන්ද පිළි දහස් ගණන් ඉස නැටවීම්ද පැවැත්වූහ. සේනකාදී පණ්ඩිතවරු සතර දෙන දුර්මුඛ වූහ.


මවුපියන් ගුණ දන්නට බෝධිසන්ත්වයන් වහන්සේ හා සමාන කෙනෙක් නැත. වැළි මුන් වහන්සේ කුමක් නිසා පියාණන් වහන්සේ හස්නෙන් නඟා ඒ හස්නෙහි වැඩහුන් සේක්ද යත් පියාණන් දෑට අවමානයක් පිණිස නොවෙයි. රජ්ජුරුවන් විසින් 'අශ්වතරයකු හෝ එවන්නේය. ශ්‍රේෂ්ඨතරයකු හෝ එවන්නේය'යි අසුන් යවන ලද හෙයින් ඒ පැනය විසඳන පිණිසත් තමන් වහන්සේගේ නුවණැති බව අඟවන පිණිසත් සේනකාදී පණ්ඩිතවරුන් සතර දෙනාගේ නුවණින්‌ බැබැළීම නැති කරන පිණිසත් යැ යි දතයුතු.

රජ්ජුරුවෝ ගද්‍රහ ප්‍රශ්නයාගේ විසර්ජනයෙහි සතුටු ව සුවඳ පැන් පිරූ රන් කෙණ්ඩිකාව අතින් ගෙන 'නැඟෙනහිර යවමැදුම්‌ ගම පමුණු කොට අනුභව කරව'යි සිටාණන් අත පැන් වත් කොට 'සෙසුදාසක් සිටුවරු සිරිවඩ්ඪන සිටාණනට සම්මත වෙත්ව'යි කියා මහබෝසතාණන්ගේ මෑණියන්දෑට සිරිකන් තෝඩු තැලි වැල් පට්ටකාර පා සළඹ පාද ජාලාදී වූ සියලු ස්ත්‍රී ආභරණ යවා කොටළු පැනයෙහි පහන් ව මහබෝසතාණන් වහන්සේ දරු කොට වඩා ගන්නා පිණිස මහසිටාණන්ට 'සිටාණෙනි, මහෞෂධ පණ්ඩිතයන් මට දරු කොට දෙව'යි කීහ. සිටාණෝ 'දේවයන් වහන්ස දරුවෝ තව ම ළදරුවෝය. අද දක්වාත් දරුවන් තුඩ කිරි සුවඳ අමයි, වැඩී ගත් කළ නුඹ වහන්සේ සමීපයෙහි වසන්නේය'යි කීහ. සිටාණෙනි මෙවක් පටන් පණ්ඩිතයන් කෙරෙහි ආලයහරුව. මූ අද පටන් ම පුතණුවෝය. මම මාගේ පුතණුවන් රක්නට පොහොසත්මි, තෙපියව'යි සිටාණනට ගමට යන්නට සමුදුන්හ. සිටාණෝ රජ්ජුරුවන් වැඳ පුතණුවන් මහෞෂධ පණ්ඩිතයන් වහන්සේ සිපගෙන ළෙහි හොවා 'ගෙන ඉස සිඹ පුතණුවනට අවවාද දුන්හ. උන් වහන්සේද සිටාණන් වැඳ 'පියාණන් වහන්ස නොසිතුව මැනැව'යි කියා පියාණන් යැවූ සේක.

රජ්ජුරුවෝ මහෞෂධ පණ්ඩිතයන් වහන්සේ 'ඇතුළත දී කවුද නොහොත් පිටත දී කවුදැ'යි විචාළහ. උන් වහන්සේ 'මාගේ පරිවාර බොහෝය. මා පිටත දී බත් අනුභව කිරීම සුදුසුය'යි සිතා 'පිටත දී අනුභව කෙරෙමි'යි වදාළ සේක. ඉක්බිත්තෙන් රජ්ජුරුවෝ පණ්ඩිතයන් වහන්සේට සුදුසු ගෙයක් දී කුමාරවරුන් දහස ආදී කොට සියලු පරිවාරයට වියදම් දෙවා සියලු උපකරණ ගෙයි ලා දෙවූහ. පණ්ඩිතයන් වහන්සේ එතැන් පටන් කොට රජ්ජුරුවන් සමීපයෙහි අනුශාසනා කෙරෙමින් සිටි සේක.


මණි ප්‍රශ්නය[සංස්කරණය]

රජ්ජුරුවෝ පණ්ඩිතයන් වහන්සේ විමසනු කැමැති වූහ. එසේ කල්හි නුවර දකුණු වාසලට නුදුරු වූ තන්හි පොකුණු තෙර සිටි එක් තල් ගසෙක උඩ කවුඩු කැදැල්ලෙක මිණි රුවනෙක් වූයේය. ඒ මැණිකෙහි ඡායාව පොකුණෙහි පෙනෙන්නේය. ‘පොකුණෙහි මැණිකකැ'යි රජ්ජුරුවනට දැන්වූහ. රජ්ජුරුවෝ සේනකයන් කැඳවා 'පොකුණෙහි මිණි රුවණෙක් පෙනේ ල. ඒ මැණික කෙසේ ගනුමෝදැ'යි විචාරා සේනකයන් විසින් 'පැන් ඉස්සවාපියා ගන්නා බව සුදුසුය'යි කී කල්හි 'එසේ වී නම් එලෙස ම කරව'යි සේනකයනට භාර කළහ. සේනකයෝත් බොහෝ මිනිසුන් රැස් කරවා පොකුණෙහි දියත් මඩත් අරවා බිම කැණද මැණික නුදුටුවාහ. නැවත පොකුණෙහි දිය පිරී ගිය කල්හි මැණිකෙහි ඡායාව පෙනෙන්නේය. නැවතත් 'සේනකයෝ දියත් මඩත් අරවා බිමත් කැණවා මැණික නුදුටුවාහුමය.


ඉක්බිත්තෙන් රජ්ජුරුවෝ මහෞෂධ පණ්ඩිතයන් වහන්සේ කැඳවා "පොකුණෙහි මැණිකෙක් පෙනෙන්නේය. සේනකයෝ දියත් මඩත් අරවා බිම බිඳ මැණික නුදුටුවාහ. පොකුණෙහි දිය පිරී ගිය කලැ නැවත පෙනෙයි. මෙය ගන්නට පොහොසතුදැ'යි විචාළ සේක. උන් වහන්සේ "දේවයන් වහන්ස, ඒ බැරි නොවෙයි. වැඩිය මැනැව නුඹ වහන්සේට මැණික පාමි"යි වදාළ සේක. රජ්ජුරුවෝ මැණික පාමි'යි කී බසින් සතුටු ව 'අද පණ්ඩිතයන්ගේ නුවණෙහි බල දකුම්හ'යි බොහෝ දෙනා විසින් පිරිවරන ලදුව පොකුණු තෙරට ගියහ. මහබෝසතාණන් වහන්සේ පොකුණු තෙර සිට. මැණික බලන සේක් "මේ මැණික පොකුණෙහි නොවෙයි. මේ තල්ගස උඩ වියයුතුයයි දැන දේවයන් වහන්ස පොකුණෙහි මැණික නැතැ'යි කියා පෙනෙන්නේ මැණික නොවේද?”යි කී කල්හි පැන් තලියක් ගෙන්වා "බැලුව මැනැව දේවයන් වහන්ස, මේ මැණික පොකුණෙහි ම මතු පෙනෙන්නේ නොවෙයි, තලියෙහිත් පෙනෙන්නේය"යි කියා රජ්ජුරුවන් විසින් පණ්ඩිතයෙනි මැණික කොහි වියයුතුදැ'යි කී කල්හි "දේවයන් වහන්ස පොකුණෙහි ඡායාව ම පෙනෙන්නේය, මැණික පොකුණෙහි නොවෙයි, මැණික වනාහි මේ තල් ගස උඩ කවුඩු කැදැල්ලේය, මිනිසකු නංවා බාවා ගත මැනැව"යි වදාළ සේක.

රජ්ජුරුවෝ බෝධිසත්ත්වයන් වහන්සේ වදාළ ලෙස ම මිනිසකු නංවා මැණික බෑවූහ. පණ්ඩිතයන් වහන්සේ ඒ මැණික තමන් අතට ඇරගෙන රජ්ජුරුවන් අත තැබූ සේක. බොහෝ දෙන පණ්ඩිතයන් වහන්සේට සාධුකාර දී සේනක පණ්ඩිතයනට බණන්නාහු 'මැණික තල් ගස උඩ තිබිය දී සේනකයා දුන්නක් දමා ගිය එකක්හු කළයෙහි අතගානා සේ ශක්තිමන් පුරුෂයන් ලවා පොකුණ ම බිඳ වීය. "නුවණැති වතොත් මහෞෂධ පණ්ඩිතයන් වහන්සේ වියයුතුය"යි මහබෝසතාණන් වහන්සේට ස්තූති කළහ; රජ්ජුරුවෝ බෝධිසත්ත්වයන් වහන්සේට සතුටු ව තමන් කර පැළැඳි රන් ලක්‍ෂයක් පුස්නා දී කුමාරවරුන් දහසට මුතුපට දුන්නාහ. "රාජ සේවයට එන විට මේ පැළඳ ගෙන එන්නේය"යි මහබෝසතාණන් වහන්සේටද කුමාරවරුන් දහසටද සම්මත කළහ.

"https://si.wikibooks.org/w/index.php?title=උම්මග්ග_ජාතකය-ii&oldid=15266" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි