උම්මග්ග ජාතකය-iii

Wikibooks වෙතින්

9. කකණ්ටක -සිරි කාලකණ්ණි ප්‍රශ්නය[සංස්කරණය]

කකණ්ටක ප්‍රශ්නය[සංස්කරණය]

නැවත එක්දවසක් රජ්ජුරුවෝ පණ්ඩිතයන් හා සමඟ උයනට ගියාහ. එදවස් එක් බොහොඬෙක් තොරණ අගැ වසන්නේය. ඒ තෙම රජ්ජුරුවන් එන්නවුන් දැක තොරණ අගින් බැස බිම වැදහොත්තේය. රජ්ජුරුවෝ ඒ බොහොඬාගේ ක්‍රියාව බලා, "මහෞෂධ පණ්ඩිතයෙනි, මේ බොහොඬා කුමක් කෙරේදැ”යි විචාළහ. "දේවයන් වහන්ස නුඹ වහන්සේට සේවය කරන්නේය”යි වදාළ සේක. රජ්ජුරුවෝ "ඉදින් එසේ වී නම් අපට කරන සේවය සිස් නොවේවයි, ඕහට වස්තුවක් දෙව"යි කීහ. බෝසතාණන් වහන්සේ "දේවයන් වහන්ස ඕහට වස්තුවෙන් ප්‍රයෝජන නැත. කෑයුතු දෙයක් ඇත්නම් පමණය"යි වදාළ සේක. "මේ තෙමේ කුමක් කන්නේදැ”යි රජ්ජුරුවෝ කීහ. "දේවයන් වහන්ස මස් අනුභව කරන්නේ වේදැ”යි වදාළ සේක. කෙතෙක් දෙය ලැබ්බයුතුදැ'"යි විචාළහ. දේවයන් වහන්ස වියට සමාරක් පමණ රත්රන් පුස්නා මසැ”යි වදාළ සේක. රජ්ජුරුවෝ එක් පුරුෂයකුට "රජ්ජුරුවන් දෙන දෙය නම් වියට සමාරක් පමණ නුසුදුසුය”යි කියා "මෝහට රන් දෙවියට සමාරක් අගනා මස් නිබඳව ගෙනහැර දෙව"යි කියා නියෝග කළහ. ඒ පුරුෂයාත් "යහපතැ”යි කියා එතැන් පටන් කොට රජ්ජුරුවන් විධාන කළ ලෙසට මස් ගෙනැ හැරැ බොහොඬාට දෙන්නේය.

ඒ පුරුෂයා එක්දවසක් උපෝසථ දිනයෙහි රාජ සම්මත හෙයින් පණිවා කළවුන් නැති කල්හි නුවර මුළුල්ලෙහි මස් සොයා නොලැබ එම දෙවියට සමාරක් පමණ රන් මැඳින් විදහුයෙන් අවුණා බොහොඬා කරැ බැන්දේය. ඉක්බිත්තෙන් ඒ බොහොඬාට රත්රන් දෙවියට සමාර නිසා මානයෙක් උපන්නේය. එදවස් ම රජ්ජුරුවෝ නැවත උයනට ගියහ. ඒ බොහොඬ තෙමේ රජ්ජුරුවන් එන්නවුන් දැක වස්තු නිසා උපන් මානය කරණ කොටගෙන "වේදේහයෙනි, තෙපි ම නොව මහත් වස්තු ඇත්තෝ මමත් වස්තු ඇත්තෙමි”යි රජ්ජුරුවන් හා සමඟ තමා සම කරන්නේ තොරණ අගින් නොබැස තොරණ අගැ මැ හිස සලමින් වැද හොත්තේය.

රජ්ජුරුවෝ ඔහුගේ ක්‍රියාව දැක "මහෞෂධ පණ්ඩිතයෙනි, තෙමේ පෙර පරිද්දෙන් අද නොබසින්නේය. කවර කාරණයකින් ඒ තද බව ඇති වීදැ”යි ගාථාවකින් විචාළහ. පණ්ඩිතයන් වහන්සේ "පොහෝ පණිවා නොකිරීම නිමිත්ත කොටගෙන, මස් නොලබන්නාහු රාජ පුරුෂයා විසින් තමා කර බැඳි රත්රන් දෙවියට සමාර නිසා උපදනා මානය ඔහුට වියයුතුය"යි දැන එම කාරණය ගාථාවකින් කියන සේක් "නො ලත් විරූ අර්ධමාෂක සම්මත වූ වස්තුවක් ලදින් මේ තෙමේ මියුලු නුවරගේ කොට ඇත්තා වූ දෝ හෝ නොහොත් දාන ප්‍රිය වචන අර්ථ චර්යා සමානාත්මතා සංඛ්‍යාත සංග්‍රහ වස්තුවෙන් ජනයා සගන්නා වූ වේදේහ රජු 'තොපි තොප පමණට වස්තු ඇත්තාහ. මමත් මා පමණට වස්තු ඇත්තෙමි. එසේ හෙයින් තොපට මා අඩු කිමෙක්දැ"යි ඉක්මැ සිතන්නේ හෙළාදැක්කේය”යි මේ කකණ්ටක ප්‍රශ්නය විසඳා වදාළ සේක.

රජ්ජුරුවෝ කටුසු බොහොඬාට මස් ලන්නට නියම කළ පුරුෂයා ගෙන්වා “පණ්ඩිතයන් කීවා සැබෑදැ”යි විචාළහ. ඒ වූ පරිද්දෙන් ම කීයේය. රජ්ජුරුවෝ “කිසි කෙනකුන් නො විචාරා ම සියල්ල බුදු කෙනකුන් වහන්සේ විසින් දත් අදහසක් මෙන් පණ්ඩිතයන් විසින් බොහොඬාගේ අදහස් දන්නා ලදැ”යි වඩා ලා පැහැද පණ්ඩිතයන් වහන්සේට සතර වාසලින් නිමන සුන්වත් අය දුන්හ. බොහොඬාට වනාහී රජ්ජුරුවෝ කිපී තමන් තැබූ වෘත්තිය අරවන්නට වන්හ. පණ්ඩිතයන් වහන්සේ වනාහී “තබාලූ වෘත්තිය හරවාපීම සුදුසු නොවන්නේය”යි වැළැකූ සේක.


සිරි කාලකණ්ණි ප්‍රශ්නය[සංස්කරණය]

ඉක්බිත්තෙන් මියුලු නුවර වැසි පින්ගුත්තර නම් ළදරුවෙක් තක්සලා නුවරට ගොස් දිසාපාමොක් ආචාරීන් සමීපයෙහි ශිල්ප උගන්නේ වහා ම උගත. ඒ තෙමේ උගත් ශිල්ප වණපොත් දී "මම සමු ගනිමි”යි ආචාරීනට කීය. ඒ ආචාරීන්ගේ කුලයෙහි වනාහි ඉදින් වැඩිවිය පැමිණි දියණි කෙනෙක් ඇත්නම් මාලු අත වැස්සාණනට දිය යුත්තාහ"යි පැවැත එන වතෙක් ඇත. ඒ ආචාරීන්ගේ දෙවඟනක හා සමාන වූ විශිෂ්ට රූ ඇති එක දියණි කෙනෙක් ඇත්තාහ. ඉක්බිත්තෙන් "ඒ දියණියන් පුත තොපට දෙමි. උන් හැරගෙන යව”යි ආචාර්යයෝ කීහ. මානවකයා වනාහී පින් නැත්තේය, කාලකණ්ණිය, කුමාරිකාව තොමෝ මහපින් ඇත්තීය. ඕහට ඒ කුමාරිකාව දැක සිත නොඇලුණේය.


ඒ මානවකයා කුමාරිකාව නුරුස්සන්නේ ම ආචාරීන්ගේ බස මරුත්තු නොකෙරෙමි'යි කියා ඉවසීය. බමුණාණෝ මානවකයාට තමන්ගේ දියණියන් දුන්නාහ. ඒ තෙමේ රාත්‍රී භාගයෙහි සකස් කොට අතුරන ලද ශ්‍රීයහනෙහි සැතපිණ. කුමාරිකා අවුත් හැඳට නැඟෙන්නාහා ම තතනමින් හැඳින් බැස බිම හෙව වැද හොත්තේය, ඒ කුමාරිකාවද හැඳින් බැසැ ඒ මානවකයා සමීපයට ගියායැ, ඒ තෙමේ එතැනින් නැඟී සිට නැවත හැඳට පැන නැංගේය, නැවත ඒ කුමාරිකාද හැඳට නැංගාය. ඒ තෙම නැවත හැඳින් බටුයේය. කාලකණ්ණියා නම් ශ්‍රී කාන්තාව හා සමඟ අහසට පොළව සේ ළං නොවන්නේය. එසේ හෙයින් කුමාරිකා යහනෙහිම සැතපුණිය. ඒ කාලකණ්ණියා බිම වැද හොත්තේය. මෙසේ සතියක් දවස් යවා කුමාරිකාව කෙරෙහි ස්නේහ නැති වත් ආචාරීන්ගේ බස මරුත්තු කොට නොහී ඇය හැරගෙන ආචාරීන් වැඳ සමුගෙන තමාගේ නුවරට නික්මුණේය. අතරමඟ පෙර පසු කතා පමණකුත් ඔවුනොවුන් හා නැත්තේය. නොකැමැතිව ම ඔහු දෙදෙන මියුලු නුවරට පැමිණියාහ.

පිංගුත්තර නම් මානවකයා නුවර සමීපයෙහි පල ගත් දිඹුල් ගසක් දැක සා දුකින් පීඩිත වූයේ ගසට නැඟිලා දිඹුල් කඩා ගෙන කන්නට වන. කුමාරිකාද සාදුකින් පෙළුණි "මටත් දෙව"යි කිව. "ඇයි තිට අත් පා නැද්ද? තොමෝත් ගසට නැඟී දිඹුල් කඩාගෙන කා "යි කීය. සා දුකට වඩා දුකක් නැති හෙයින් කුමාරිකා තොමෝ ම නැඟී දිඹුල් කඩා ගෙන කන්නට වන, මානවකයාත් ඈ ගසට නැඟි බව දැන වහ වහා ගසින් බැස ගසවට කටු ගසාලා "කාලකණ්ණිය කෙරෙන් මිදිණිමි" කියාලා නුවරට නැඟී ගියේය. කුමාරිකා ගස මුල කටු හෙයින් බැස පියන්නට නොපිළිවන් ව ගස උඩම හුන්නීය.

ඉක්බිත්තෙන් රජ්ජුරුවෝ ඒ දවස් උයන් කෙළි කෙළ සරහන ලද ඇතකු පිටහිඳ සවස වේලෙහි නුවරට වදනාහු දිඹුල් ගස උන් කුමාරිකාව දැක පිළිබඳ සිත් ඇති ව පුරුෂයන් ඇත්ත නැත්ත විචාරා යවූහ. කුමාරිකාත් "ස්වාමීනි මාගේ දෙමාපියන් විසින් පාවා දෙන ලද සමණන්දෑ කෙනෙක් ඇත. ඒ වනාහී මා මේ ගස උඩ හිඳුවා හැරපියා පලා ගියේය"යි කිව. විචාරන්නට ගිය අමාත්‍යයා එපවත් රජ්ජුරුවනට කීය. රජ්ජුරුවෝ ඒ අසා හිමියන් නැති වස්තු නම් රජ්ජුරුවනට පැමිණෙන්නේය”යි කියා කුමාරිකාව ගසින් බස්වා ඇතු පිට නංවාගෙන මාලිගාවට ගෙන ගොස් රුවන් රැසක් පිට සිටුවා අගමෙහෙසුන් කළහ. ඒ බිසවු රජ්ජුරුවන්ට ප්‍රියයෝය. මන වඩති. දිඹුල් ගස දී දුටු බැවින් "උදුම්බරා දේවිය"යි ප්‍රසිද්ධ වූහ.

ඉක්බින්තෙන් එක්දවසක් රජ්ජුරුවෝ උයන් කෙළියට යන පිණිස වාසල්කඩ ගම්වැස්සන් ලවා මාර්ගය ඉදිකරවූහ. පිංගුත්තරයාද රාජ සම්මතයෙන් මෙහෙවර කරන්නේ කැසපට කවාගෙන උදැල්ලකින් මඟ සසින්නට වන. මාර්ගය සරහා නොනිමවන තුරු රජ්ජුරුවෝ උදුම්බරා දේවින් හා සමඟ උතුම් රථයක නැඟී උයන් කෙළියට මහ පෙරහරින් නික්මුණාහ. උදුම්බරා දේවි මඟ සසිමින් සිටි ඒ කාලකණ්ණියා දැක "මෙබඳු සම්පත්තියෙක් දරා ගත නුහුණුයේ මූ"යි ඌ දිසාව බලමින් සිනාසුනාභ. රජ්ජුරුවෝ බිසවුන් සෙන්නා දැක කිපී "කුමක් පිණිස සුණුහිදැ"යි විචාළහ. "දේවයන් වහන්ස මේ මඟ සසිනා මිනිසා මා ආදියෙන් රක්‍ෂා කළ මිනිසාය. මා දිඹුල් ගසට නංවා මුල කටු ගසා ගියේ මොහුය. මම මූ බලා මෙබඳු ශ්‍රීයක් දරාගත නුහුණුයේ මේ කාලකණ්ණියායි සිනාසීමි"යි කීහ. රජ්ජුරුවෝ තී කියන්නේ බොරුය, අනික් කිසි පුරුෂයකු දැකය තී සිනා සුණුයේ, තී මරමි"යි කඩුව කොපුවෙන් ඇද ගත්තාහ. බිසවු භයපත්ව "දේවයෙනි, යළි පණ්ඩිතවරුන් විචාළ මැනැව"යි කීහ. රජ්ජුරුවෝ මෑ කී බස් අදහවූදැ'යි සේනකයන් විචාළහ. සේනකයෝත් 'නොඅදහමි දේවයන් වහන්ස කවරෙක් නම් මෙබඳු ගෑනියක් හැර පියා නැඟී යේදැ'යි කීහ. බිසව සේනකයන්ගේ බස් අසා වඩා ලා ම භය වූහ.

ඉක්බිත්තෙන් රජ්ජුරුවෝ "සේනකයා කුමක් දනීද මහෞෂධ පණ්ඩිතයන් විචාරමි"යි සිතා ගාථාවකින් පණ්ඩිතයන් වහන්සේ විචාරන්නාහු "මහෞෂධ පණ්ඩිතයෙනි, ස්ත්‍රියක් තොමෝ අධික රූ ඇත්ති වුවද ආචාර සීලයෙන්ද යුක්ත වුව. එසේ වූ ඒ ස්ත්‍රිය පුරුෂයෙක් නොකැමැත්තේ ල. තෙපි ඒ අදහවූදැ"යි චිචාළහ. එබස් අසා "දේවයිනි, මම අදහමි. පුරුෂයා දෛව නැත්තේ වී නම් ශ්‍රී කාන්තාද කාළකණ්ණිද යන මොහු දෙදෙනා මූද එතර මෙතර සේ එක් නොවන්නාහ"යි වදාළ සේක. රජ්ජුරුවෝ මහතාණන් වදාළ කාරණය සිතට නඟා සන්සුන් සිත් ඇති ව පණ්ඩිතයන් වහන්සේට සතුටු ව "පණ්ඩිතයෙනි, ඉදින් තෙපි මෙතැන නැත්තාහු නම් අද මේ නුවණ නැති සේනකයාගේ බස් ගෙන මෙ බඳු ගෑනු රුවනක් නොලද්දෙම් වෙමි. දැන් තොප නිසාය මේ බිසවුන් ලද්දේ"යි කියා පණ්ඩිතයන් වහන්සේට මස්සෙන් දහසක් පූජා කළහ.

ඉක්බිත්තෙන් බිසවුද රජ්ජුරුවන් වැඳ 'දේවයන් වහන්ස, පණ්ඩිතයන් නිසාය මා දිවි ලද්දේ, මුන් මම මල් තනතුරෙහි තබන්ට වර ඉල්ලමි'යි කීහ. රජ්ජුරුවෝ 'යහපත දේවිනි තොප ඉල්ලූ වරය දෙමි ගනුව'යි කීහ. 'දේවයන් වහන්ස, මම අද පටන් මාගේ මලණුවන් හැර පියා කිසි මිහිරි රසයක් අනුභව නොකරමි. මෙතැන් පටන් වේලකවත් නොවේලකවත් වාසල් දොර හරවා පණ්ඩිතයනට මිහිරි රසයක් යවන්නට ලබන වරයක් ගනිමි'යි කීහ. 'යහපත සොඳුර ඒ වර ගනුව'යි කියා රජ්ජුරුවෝ වර දුන්නාහ.


10.මෙණ්ඩක ප්‍රශ්නය[සංස්කරණය]

එක්දවසක් රජ්ජුරුවෝ දහවල් මෙහෙ නිමවා සැඳැල්ලෙහි සක්මන් කරන්නාහු සීමැදුරු කවුළුවෙන් එක් එළුවකු හා බල්ලකු මිත්‍ර සන්ථවය කරන්නා දුටුහ. එළු වනාහි ඇත්හල ඇතුට ඉදිරියෙහි ලා ලූ තණ නොකන තුරු කන්නේය. ඉක්බිත්තෙන් ඇත්හලයෝ ඔහු තණ කන්නා දැක මරා පලා පීහ. අඬ ගසාගෙන යන්නා වූ ඔහු දැක එක් ඇත්හලයෙක් ලුහුබැඳ ගොස් දණ්ඩකින් පිට අවුරා පහරක් ගැසීය. එතෙමේ පිට නම නමා වේදනාවෙන් වෙවුලමින් ගොස් රජගෙයි මහබිතක්කන නිසා පිට පදනම වැද හොත්තේය. ඒදවස්ම රජ්ජුරුවන්ගේ මුඵතැන්ගෙයි ඇට හා සම් ආදී වූ දෙය කා වැඩි “බල්ලෙක් අරක්කැමියා බත් මාලු පිස වසුන් කොට ගෙන් පිටත සිට ඇඟ ඩාදිය සිඳිමින් සිටිය දී මත්ස්‍යමාංසයෙහි ගන්ධය ඉවසා ගත නොහී, මුළුතැන්ගෙට වැද වළන් වැසූ මලා ආදිය හෙළා මාංස අනුභව කෙළේය. අරක්කැමියා වළන්හුණු හඬ අසා ඇතුළු ගෙය වැද මාළු.කමින් සිටි බල්ලා දැක දොර පියා ලා කැට මුගුරු ආදීන් ඔහු තැළීය. ඒ තෙමේ තමා කෑ මාලු නඟා පියා හඬා ගෙන දිව ගත, අරක්කැමියා ඔහු දිවගත් බව දැක ලුහුබැඳ දණ්ඩෙකින් පිට අවුරා ගැසීය. එයිත් පිට නම නමා කොතැනක ගැසුවත් පයක් වක් කිරීම බල්ලන්ගේ ස්වභාවයක් හෙයින් එක් පයක් ම ඔසවා ගෙන එළුවා වැදහොත් තැනට ම ගියේය.


ඉක්බිත්තෙන් එළු තෙමේ "සබඳ තෝ පිට නම නමා එන්නෙහි කිමෙක්ද? තා පිට රුජාවෙක් පහරිදැ"යි බල්ලා විචාළේයැ. හේ බල්ලාද "තොපිත් පිට නමාගෙන වැද හොත්තේහගි කිමෙක්ද? තොප පිට රුජාවෙක් පහරීදැ"යි එළුවා අතින් විචාළේය. එළුවා තමාගේ ස්වරූප බල්ලාට කීහ. බලුත් එළුවාට තමාගේ ස්වරූපය කීය. ඉක්බිත්තෙන් එළුවා බල්ලාට "කිමෙක්ද, තෝ නැවත මුළුතැන් ගෙට යන්නට පොහොසකතුදැ"යි විචාළේය. බලු "නොපොහොසතිමි, ගියොත් මාගේ දිවි නැතැ"යි බල්ලා එළුවාට කීය. "තෝ වනාහී ඇත්හලට යන්නට පොහොසතුදැ"යි විචාළේය. එළුවා "මා විසිනුත් ඇත්හලට යන්නට නොපිළිවන, ගියොත් මාගේ දිවි නැතැ"යි කීහ. ඔහු දෙන්න කෙසේ අපි දෙන්නා ජීවත්වමෝදැයි උපායෙක් සිතූහ.

ඉක්බිත්තෙන් එළු තෙමේ "ඉඳින් දෙන්න මැ සමඟිව ගත හෙමෝ නම් එක් උපායක් ඇතැ"යි කියා බල්ලා විසින් "එසේ වී නම් එය කියව"යි කී කල්හි "සබඳ තෝ මෙතැන් පටන් ඇත් හලට යා, බල්ලන් තණ නොකන හෙයින්, මේ තණ නොකයි" කියා ඇත්හලයෝ තා කෙරෙහි සැක නොකෙරෙති. තෝ සඟවා මට තණ කැරැල්ලක් ඩැහැගෙන වුත් මහබිතක්කනෙහි තබව, මමත් මුළුතැන් ගෙට යෙමි. එළුවන් මස් නොකන හෙයින් "මේ මස් නොකයි" කියා අරක්කැමියා මා කෙරෙහි සැක නොකෙරයි. මමත් තට කන්නට මස් ඩැහැගෙන එමි"යි කීය. "මේ උපාය තෙමේ අප දෙන්නා ජීවත් වීමට ඇතැ"යි දෙන්නා ම ගිවිස බලු ඇත්හලට ගොස් තණ කැරැල්ලක් ඩැහැගෙන අවුත් මහබිතක්කන පිට පදනමැ තබයි. එළු ද මුළුතැන්ගෙට ගොස් මස් කැබැල්ලක් ඩැහැගෙන වුත් එහි තබයි. මේ උපායෙන් දෙන්නා ම සැප සේ වෙසෙති.

රජජුරුවෝ උන් දෙන්නාගේ මිත්‍ර ධර්මය දැක "මා විසිනුත් නුදුටු විරූ කාරණයක් දක්නා ලද. මොහු දෙන්නා ඔවුනොවුනට පසමිතුරුවත් සමඟි වැ වාසය කෙරෙති. මේ කාරණය අලලා පැනයක් කොට පණ්ඩිතවරුන් පස් දෙනා විචාරමි, මේ පැනය නොදත් කෙනකුන් රටින් යවමි. දත් කෙනකුට මෙබඳු පණ්ඩිත කෙනකු නැතැ"යි උපකාර කෙරෙමි. අද වේලා මඳ ව ගියේය. සෙට සේවයට ආ කල විචාරමි'යි සිතූහ. මෙසේ සිතා රජ්ජුරුවෝ අනික් දවස් පණ්ඩිතවරුන් සේවයට අවුත් උන් කල්හි ප්‍රශ්න විචාරන්නාහු ගාථාවක් කියා 'මේ සත්ත්ව ලෝකයෙහි යම් සත්ත්ව කෙනකුන්ගේ විශ්වාසයෙක් කිසි කලෙකත් සත් පියවරකුත් පවා නොවූ විරූද එසේ පසමිතුරු වූ දෙදෙනෙක් සබඳ වූහ. සබඳවත් අදහාගෙන හෙවත් මිත්‍ර සන්ථවය කොට ඇවිදින්නාහ. එයට කරුණු කිමෙක්දැ'යි කීහ. මෙසේද කියා නැවත මෙසේ ගාථාවකින් 'අද පෙරවරු වේලෙහි ඉදින් මේ පැනය මට කියන්නට නොපොහොසත්හු වූ නම් තොප හැමදෙන ම රටින් නෙරපමි. නුවණ නැත්තවුන් ගෙන් මට ප්‍රයෝජන නැතැ'යි කීහ. සේනකයෝ මුල් හස්නෙහි හුන්හ. මහෞෂධ පණ්ඩිතයෝ කෙළවර හස්නෙහි වැඩහුන් සේක. උන් වහන්සේ ඒ පැනය පරීක්‍ෂා කෙරෙමින් අර්ථ නොදැක 'මේ රජ තෙම බොළඳ ගුණ ඇත්තේය. මේ පැනය සිතාගෙන දැන ගන්නට නොපොහොසත. ඔහු විසින් කිසිවක් දක්නා ලදැ'යි සිතා එකදවසකට අවසර ලබන්නෙම් වී නම් මේ පැනය දැන ගතිමි. සේනකයෝ කිසි උපායකින් අද එකදවසක් පමණ රඳවා පියති'යි සිතූ සේක.

සේනකාදි පණ්ඩිතවරු සතර දෙනද අඳුරු ගබඩාවකට වන්නවුන් මෙන් කිසිවක් නුදුටුවහ. සේනකයන් "මහෞෂධ පණ්ඩිතයන්ගේ ප්‍රවෘත්ති කිමෙක් දෝහෝ"යි මහබෝසතාණන් වහන්සේ දෙස බැලූහ. මහබෝසතාණන් වහන්සේ සේනකයන් දෙස බැලූහ. සේනකයෝ බෝධිසත්ත්වයන් වහන්සේ තමන් බැලූ ආකාරයෙන් ම උන් වහන්සේගේ සිතදැන "පණ්ඩිතයනට පැනය නොවැටහුණු සේය, එසේ හෙයින් එක්දවසකට අවසර ඉල්ලනා කැමැත්තෝය, උන්ගේ මන දොළ පුරමි"යි රජ්ජුරුවන් හා සමඟ විශ්වාසයෙන් මහත් කොට සිනාසී "දේවයන් වහන්ස, අප හැමදෙනා පැනය කියාගත නුහුණ හොත් රටින් යවන සේක්ද, මෙයිත් අපට එක් පැනයෙකැ'යි සිතන සේක්ද? අපි මේ පැනය කියන්නට නොපොහොසතුමෝ නො වම්හ. එතකුදු වත් මඳක් ගැට මුසු පැනය බොහෝ දෙනා මැදයෙහි කියන්නට නොපිළිවන. තනිව හිඳ සිතා පසු ව නුඹ වහන්සේට කියම්හ. අපට අවසර දුන මැනැව"යි කීහ.


මහෞෂධ පණඩිතයෝ හුනස්නෙන් නැඟී උදුම්බරා දේවීන් සමීපයට ගොස් "දේවීන් වහන්ස අද වේවයි ඊයේ වේවයි රජ්ජුරවෝ බොහෝ වේලාවක් කොතැනක සිටියෝද"යි විචාළ සේක. මලණ්ඩ, සී මැදුරු කවුළුවෙන් පිටත බලමින් නඩයෙහි සක්මන් කළහ"යි බිසව කීහ. ඉක්බිත්තෙන් පණ්ඩිතයන් වහන්සේ "රජ්ජුරුවන් විසින් මේ දිසාවෙන් කිසිවක් දක්නා ලද වන්නේය"යි සිතූ සේක. ඒ ස්ථානයට ගොස් පිටත බලා එළුවාගේ හා බල්ලාගේ ක්‍රියාව දැක "මුන් දෙන්නා දැකය රජ්ජුරුවන් විසින් පැනය සලකන ලද්දේදැ"යි සනිටුහන් කොට ගෙට වැඩි සේක.

පුක්කුසාදි වූ අනික් තුන් දෙනත් ප්‍රශ්නයෙහි අර්ථ කල්පනා කොට කිසිවක් නොදැන සේනක පණ්ඩිතයන් සමීපයට ගියාහ. සේනකයෝ "තොප විසින් පැනයෙහි අර්ථ දක්නා ලදදැ"යි විචාළහ. "නොදක්නා ලදැ"යි කීහ. එසේ නම් තොප රටින් නෙරපති, කුමක් කෙරෙත් දැ 'යි කී කලැ. "ආචාරිනී, තොප විසින් දක්නා ලදදැ"යි කීහ. "මමත් අනේක ලෙස සලකා පැනයෙහි අර්ථ නුදුටිමි"යි කීහ. තුන් දෙන ම නුඹ වහන්සේ පැනයෙහි අර්ථ නොදක්නා කල අපි කෙසේ දක්නමෝදැ"යි කීහ. මෙසේ සේනකාදී සතර දෙන ම ප්‍රශ්නයෙහි අර්ථ නොදැක රජ්ජුරුවන් සමීපයේ දී එකදවසකට අවසර ලදුමෝ නම් සලකා ප්‍රශ්නය විසඳම්හ'යි සිංහනාද පෑ පියා ආම්හ. පැනය නොකී කල්හි රජ්ජුරුවෝ කිපෙති. "කුමක් කරමෝදැ"යි සිතා උකටලී ව, පණ්ඩිතයෙනි, මේ පැනය අප විසින් හවුරුද්දක් හිඳ සිතුවත් දක්නට නොපිළිවන. එසේ හෙයින් මහෞෂධ පණ්ඩිතයන් විසින් මේ පැනය ශතසහස්‍ර ගුණයෙන් සිතා නිමවනු ලැබෙයි. ගර්ව වැ නොඉඳ උන් සමීපයට යම්හ"යි උන් සතර දෙනා ගොසින් තමන් අවුත් සිටි බව කියා යවා එන්නට කියව"යි කී කල මාලිගාවට වැද සිහි කටයුතු සුව දොස් දොඩා එකත්පස් ව සිටියාහු "මහෞෂධ පණ්ඩිතයෙනි, නුඹ වහන්සේ විසින් පැනය සිතන ලදදැ"යි මහබෝසතාණන් විචාළහ.

උන් වහන්සේ "මා පැනය නොසිතන කල මේ භූවනත්‍රයයෙහි අනික් කවරෙක් සිතන්නේද? එසේය පැනය සිතන ලදැ"යි වදාළ සේක. පණ්ඩිතවරු සතර දෙන "එසේ වී නම් අපටත් වදාළ මැනැව"යි කීහ. සියලු සතුන් කෙරෙහි පතළ මහා කරුණාවෙන් යුක්ත වූ මහතාණෝ "ඉදින් මම මුන් සතර දෙනාට පැනය නොකීයෙම් නම් රජ්ජුරුවන් මේ ජඩ කොල්ලන්ගෙන් කාරිය කිම්ද'යි මුන් සතර දෙනා රටින් නෙරනාහ. මෙවැනි පණ්ඩිත රුවනක් නැතැ'යි මට සත් රුවනින් පූජා කරන්නාහ. එසේ වන්නාට ඒ මාගේ කරුණාවට තරම් නොවෙයි, මේ අඥානයෝ මා වැනි පණ්ඩිත කෙනෙකුන් ඇති ව ඉන්ද දී නොනසිත්ව"යි උන් කෙරෙහි පතළ කරුණායෙන් "පැනය උනට කියමි" සිතා සේනකාදී පණ්ඩිතවරුන් මිටි හස්නෙහි හිඳුවා තමන් වහන්සේ දිසාවට සතර දෙන දොහොත් මුඳුනේ තබා වැඳගෙන හිඳිනා නියායෙන් සම්මත කොට, රජ්ජුරුවන් දුටු නියාව නො හඟවා රජ්ජුරුවන් "විචාළ කළ මෙ ලෙස කියව"යි සතර දෙනාට ම ගාථා සතරක් බැඳලා ඒ ගාථාව අර්ථ නූගන්වා පාළිය පමණක් ම උගන්වා ලා යැවූ සේක. ඔහු සතර දෙනද මහබෝසතාණන් වහන්සේද අනික් දවස රාජ සේවයට ගොස් රජ්ජුරුවන් දැක පනවන ලද හසුන් මත්තෙහි උන්නාහ.

රජ්ජුරුවෝ "සේනකයිනි, පැනය දන්නා ලදදැ"යි සේනක පණ්ඩිතයන් විචාළහ. සේනකයෝත් "දේවයන් වහන්ස, මා පැනය නොදන්නා කලැ අනික් කවරෙක් දනීදැ"යි වැදූවන් ඉදිරියේ කොළොම්බු ලන්නා සේ බෝධිසත්ත්වයන් මධ්‍යයෙහි තමන්ගේ වියත් කම අඟවා "එසේ වී නම් කියව"යි රජ්ජුරුවන් කී කල්හි "ඇසුව මැනැව දේවයන් වහන්සැ"යි කියා පණ්ඩිතයන් වහන්සේ උගන්වා ලූ සැටියේ ම ගාථාව කීහ. එහි අර්ථය මෙසේ දතයුතු:- "ප්‍රසිද්ධ අමාත්‍ය පුත්‍රයන්ට එළුමස් ප්‍රියය, මන වඩී: අමාත්‍ය පුත්‍රාදීහු බලු මස් අනුභව නොකරන්නාහ. එසේ වූ එළුවා හා බල්ලා හා සමඟි සංඛ්‍යාත විශ්වාසය වී”. ගාථාව කී බව මුත් සේනක පණ්ඩිතයෝ අර්ථ නොදන්නාහ. රජ්ජුරුවෝ වනාහී තමනට ප්‍රත්‍යක්‍ෂ විසින් අර්ථ දක්නාහු සේනකයන් විසින් පැනය දක්නා ලදය. "පුක්කුසයන් විචාරම්"යි දෙවනු ව උන් පුක්කුසයන් විචාළහ. ඒ පුක්කුසයෝ රජ්ජුරුවනට 'කිමෙක්ද මම අපණ්ඩිතයෙම්දැ'යි උගත් සැටියේ ගාථාව කීහ, එහි අර්ථය මෙසේ දතයුතු:- “අස් පිට ආස්තරණ සුව පිණිස එළුවාගේ සම් නඟන්නාහ. එසේ ආස්තරණ සුව කැමැති ජනයෝ බල්ලන්ගේ සම් අසු පිට නො අතුරන්නාහ. එසේ වූවත් එළුවාගේ හා බල්ලාගේ හා සමඟි සමාගම් සංඛ්‍යාත විශ්වාසය වී". ඒ පුක්කුස පණ්ඩිතයා ගාථාවෙහි අර්ථ නොදන්නේ මැ යැ. රජ්ජුරුවෝ තමනට අර්ථ ප්‍රගුණ හෙයින් මුන් විසිනුත් පැනය දක්නා ලදැ'යි සිතා තුන් වැනිව හුන් කාවින්දයන් විචාළහ. උයිත් තමන් උගත් ගාථාව කීය. ගාථාවෙහි අර්ථ මෙසේ දතයුතු:- "එළු තෙම ඇඹරී ගිය අං ඇත්තේය. බල්ලාගේ අං නොම ඇත්තේය. එළු තණ කන්නේය. බලු මස් කන්නේය. එසේ වුවත් එළුවාගේ හා බල්ලාගේ හා සමඟි සංඛ්‍යාත විශ්වාසය වී". රජ්ජුරුවෝ "මුන් විසිනුත් පැනය දන්නා ලද්දේය”යි. සතර වැනි ව උන් දේවින්ද පණ්ඩිතයන් විචාළහ. උයිත් තමන් උගත් ගාථාව කීය. එහි අර්ථ මෙසේ දතයුතු:- "එළු තෙමේ තණ හා කොළ කන්නේය' වැළි කුමක් කන්නේද යත් බලු තෙමේ සාවුන් හා බළලුන් කන්නේය, එසේ වූවත් එළුවා හා බල්ලා හා සමඟි සමාගම සංඛ්‍යාත විශ්වාසය වී".

මේ සේනකාදී සතර දෙන තමන් තමන් උගත් ගාථා පමණක් කී කල්හි රජ්ජුරුවෝ තමන්ට අර්ථය ප්‍රකාශ හෙයින් ගාථාවල අර්ථ උන් අතින් නො විචාරා පස් වැනි වැ හුන් අසරණ සරණ කරුණා නිධාන ජන මූර්ති වූ මහෞෂධ පණ්ඩිතයන් අතින් "පණ්ඩිතයෙනි, තෙපි පැනය දනිවූදැ"යි විචාළහ. "දේවයන් වහන්ස අවීචියෙහි පටන් භවාග්‍රයදක්වා මා විනා අනික් කවරෙක් මේ පැනයදනුදැ"යි සිංහ නාද කළ සේක. රජ්ජුරුවෝ "එසේ වී නම් කියව"යි කීහ. "ඇසුව මැනැව දේවයන් වහන්සැ'"යි කියා එළුවාගේ හා බල්ලාගේ ක්‍රියාව තත්ත්ව වශයෙන් දත් බව ප්‍රකාශ කරන සේක් ගාථා දෙකින් කී සේක. ඒ ගාථාවල අභිප්‍රාය නම් "පා අටෙක් ඇති හෙවත් සතර පයෙහි අටකුරෙක් ඇති එළු තෙමේ මස් ගන්නා වේලෙහි කිසි කෙනකුට නොපෙනී මේ බල්ලාට මස් ගෙණෙන්නේය. මේ බල්ලාද එළුවාට තණ ගෙණෙන්නේය. බල්ලා ගේද එළුවා ගේද යන මොවුන් දෙන්නාගේ ගෝචර පිණිස ඔවුනොවුන්ට මෙහෙවර කරන පෙරළිය ජන ප්‍රධාන වූ වේදේහ නම් රාජෝත්තම තෙම ප්‍රාසාදයෙහි සිටියේ ප්‍රත්‍යක්‍ෂ කොට දිටීල"යි වදාළ සේක. රජ්ජුරුවෝද මහබෝසතාණන් නිසා සේනකාදී පණ්ඩිතවරුන් සතර දෙන පැනය දත් බැව් නොදැන “මෙබඳු පණ්ඩිතවරහු යම් බඳු වූ මාගේ කුලයෙහි වෙසෙද්ද, එසේ හෙයින් ඒකාන්තයෙන් මට වූයේ බොහෝ ලාභයෙකැ"යි කීහ. මෙසේ පණ්ඩිතවරුන්ට ස්තුති කළ ඉක්බිති "පණ්ඩිතවරුන්ගේ ප්‍රශ්න ව්‍යාකරණයෙහි සතුටු වූ මා විසින් උනට උපකාර කළමනා වේදැ”යි උපකාර කරන්නාහු "සුවිනිශ්චිත ප්‍රශ්න විසර්ජනය කරණ කොටගෙන වෙසෙසින් ම සතුටු සිත් ඇත්තෙම් පණ්ඩිත වූ තොප හැම දෙනාට අජානීය අශ්වයන් යෙදූ එකි එකී රථයක්ද වස්ත්‍රාභරණ ධන- ධාන්‍යයෙන් සමෘද්ධ වූ එකි එකී ගම්වරයක්ද දෙමි"යි කියා මෙ කී සියල්ල පණ්ඩිතවරුන් පස් දෙනාට දෙවූහ.

උදුම්බරා දේවී වනාහි සේනකාදී පණ්ඩිතවරුන් සතර දෙනා ම මහෞෂධ පණ්ඩිතයන් නිසා ප්‍රශ්නය දත් බව දැන "රජ්ජුරුවන් වහන්සේ විසින් මුං හා උඳු හා වෙනසක් නොකරන්නක්හු මෙන් පස් දෙනාට ම උපකාර සම සේ කළහ. මා ගේ මලණුවන් මහෞෂධ පණ්ඩිතයන්ට විශේෂ කොට සත්කාර කරන බව සුදුසු ම වේ”දැයි රජ්ජුරුවන් සමීපයට ගොස් "දේවයන් වහන්ස නුඹ වහන්සේට පැනය කා විසින් කියන ලදදැ”"යි විචාළහ. "සොඳුර" පණ්ඩිතවරුන් පස් දෙනා විසිනැ"යි කීහ. “දේවයිනි, සේනකාදී පණ්ඩිතවරුන් සතර දෙන ඒ පැනය කා නිසා දත්හයි සිතූ සේක්දැ"යි විචාළහ. “සොඳුර නොදනිමි”යි කීහ. "දේවයන් වහන්ස, ඒ සේනකාදී සතර දෙන කුමක් දනිත් ද? මහෞෂධ පණ්ඩිතයෝ වනාහී මේ අඥානයෝ නහමක් නසිත්ව”යි සිතා පැනය ඉගැන්වූහ. නුඹ වහන්සේ සැම දෙනාට ම සම සම සේ උපකාර කළ සේක, ඒ අයුක්ති යැ. මහෞෂධ පණ්ඩිතයනට වැඩියක් උපකාර කරන බව සුදුසුය" කීය. රජ්ජුරුවෝ "තමන් නිසා පැනය දත් බව නොකිවු යැ"යි මහෞෂධ පණ්ඩිතයන් වහන්සේට සතුටු ව වඩා උපකාර කරනු කැමැත්තෝ. "වන්නාටය, ම පුතණුවන් එක් පැනයක් විචාරා ඒ පැනය කී කලැ මහත් සත්කාර කෙරෙන්නෙමි”යි සිතූහ.



11. සිරිමන්ද ප්‍රශ්නය[සංස්කරණය]

මෙසේ සිතා ඊට සුදුසු පැනයක් සිනතන්නාහු සිරිමන්ද ප්‍රශ්නය සිතූහ. ඒ ප්‍රශ්න චින්තනය කොට එක් දවසක් පණ්ඩිතවරුන් පස් දෙනා සේවයට අවුත් පිළිසඳර කථායෙන් සුව සේ උන් කල්හි සේනක පණ්ඩිතයනට "සේනක පණ්ඩිතයෙනි, පැනයක් විචාරමි"යි කීහ, "දේවයන් වහන්ස, විචාළ මැනැව"යි කීහ. රජ්ජුරුවෝ සිරිමන්ද ප්‍රශ්නයෙහි පළමු වැනි ගාථාවෙන්, "නුවණ ඇති සම්පත් නැති, හස්ත්‍යාශ්වාදී පරිවාර සම්පත් ඇති, නුවණ නැති, මුන් දෙන්නා අතුරෙන් නුවණැත්තෝ කවුරුන් උතුමැයි කියද්ද? සේනකයෙනි. එකෙක් පොළොව හා සමාන නුවණ ඇත්තේයැ. දිළිඳුය. එකෙක් පරිවාර සම්පත් ඇත්තේය. අඥානය. මුන් දෙන්නා ගෙන් කවුරු උත්තමයයි තොපට වැටහේද? මේ කාරණය කියා ලව"යි කීහ. මේ පැනය වනාහී සේනක පණ්ඩිතයන්ගේ පරම්පරාවෙන් පැවත ආයේය. එසේ හෙයින් ඒ සිරිමන්ද ප්‍රශ්නය වහා ම රජ්ජුරුවන්ට කීහ. කෙසේ වූ ද යත්: "ජන ප්‍රධාන වූ රජ්ජුරුවෙනි, ඒකාන්තයෙන්ම නුවණැත්තෝද නුවණ නැත්තෝද හස්තාශ්වාදී ශිල්පයෙන් යුක්තෝද කිසි ශිල්පයක් නොදන්නාහු ද ක්ෂත්‍රිය බ්‍රාහ්මණාදී උතුම් ජාති ඇත්තාහුද හීන ජාති ඇත්තාහුද යන සියල්ලෝම ජාතීන් ගෙන් හීන වුවත් සම්පත් ඇති තැනැත්තවුට කී නොකී දෙය කොට සේවාවටත් වන්නාහ, මේ කාරණය දැන මම කියමි. නුවණැති තැනැත්තෝ යටත් මය. සම්පත් ඇති තැනැත්තෝ ම උතුමැ"යි කීහ.

රජ්ජුරුවෝ සේනකයාගේ බස් අසා පුක්කුසාදි තුන් දෙන නොවිචාරා පස් දෙනාට කෙළවර උන් මහෞෂධ පණ්ඩිතයන් වහන්සේට "අලාමක වූ නුවණැති සියලු ධර්මයන් සර්වාකාරයෙන් දන්නා වූ මහෞෂධ පණ්ඩිතයෙනි, තොප විචාරමි. නුවණැති පරිවාර සම්පත් ඇති, පරිවාර සම්පත් නැති මේ දෙදෙනා අතරෙන් නුවණැත්තෝ කා උතුමැයි කියද්ද කියා ලව"යි කීහ. ඉක්බිත්තෙන් මෙසේ විචාළ රජ්ජුරුවන්ට "ඇසුව මැනැව දේවයන් වහන්සැ"යි ගාථාවකින් "ස්ථානාන්තරාදි කිසි ලාභයක් සම්පත්තියක් ලදින් ම මේ උතුමැයි සිතන්නා වූ අඥාන තෙමේ පාණාතිපාතාදී පාප කර්මයන් කරන්නේය. එසේ හෙයින් මේ ලොව බලන්නේ ඓශ්චර්ය මදයෙන් ප්‍රමාද ව කළා වූ පාප කර්ම බලයෙන් නරකාදියෙහි අනන්ත දුඃඛයට භාග් වන්නේයැ. මෙසේ උපේක්‍ෂා පූර්වංගම වූ චින්තාවක් නැති ව පරලොව නොබලන්නේ "දෙලොවෙහි ම හෙවත් ඉසුරු මදයෙන් පව් කොට නරකාදියෙහි උපදනේ පරලොවද නැවත එයින් චුත ව දිළිඳු කුලයෙගි නොයෙක් දුකට භාජන ව උපදනේ මේ ලොවදැයි මෙසේ දෙලෙව්හි ම නුවණ නැති තැනැත්තේ පරාජයක් ගන්නේය, හෙවත් විනාශයට පැමිණෙන්නේය. මේ කාරණය දැක මම නුවණැත්තේ ම උතුම් යසසින් යුක්ත වූ නුවණ නැති තැනැත්තේ උතුම් නොවෙයි කියමැ"යි වදාළ සේක.

මෙසේ බෝසතාණන් වහන්සේ විසින් වදාළ කල්හි රජ්ජුරුවෝ සේනකයන් මුහුණ බලා "මහෞෂධ පණ්ඩිතයෝ නුවණැත්තවු ම උතුමැ'යි කියති. කෙබඳුද? ආචාරිනී"යි කීහ. සේනකයෝ දේවයන් වහන්ස, මහෞෂධ පණ්ඩිතයෝ ළදරුවෝය: අද දක්වාත් උන්ගේ මුඛය කිරි සුවඳ අමයි. මේ බාලදරුවෝ කුමක් දනිද්දැ"යි කියා ගාථාවකින් කාරණයක් දක්වන්නාහු "මේ ශිල්ප තෙමේ හෙවත් නුවණ තෙමේ ධනධාන්‍යාදී වූ භෝග සම්පත් සිද්ධ නොකරන්නේය: පුත්‍රදාරාදි වූ නෑයෝද, රූප සම්පත්තියද ධනධාන්‍යාදී වූ සම්පත් සිද්ධ නොකරන්නාහ. ඊට දෘෂ්ටාන්ත කවරේදැයි යතහොත්: කෙළ තොලු වූ හෙවත් අනවරතයෙන් දෙකොළින් බස්නා කෙළ ධාරා ඇති: රූප සම්පත්තියක් නැති හස්ත්‍යශ්වාදී පරිවාරයෙන් හා ධනධාන්‍යාදී සම්පත්තීන් යුක්ත ව සුව විඳිනා මේ ගෝරිමන්ද නම් සිටුහු ශ්‍රී කාන්තා සෙවුනිය, දේවයන් වහන්ස බලා වදාළ මැනැව, "මේ කාරණය දැක නුවණැති වත් දිළිඳු තැනැත්තේ උතුම් නොවෙයි. නුවණ නැති වත් ඉසුරුමත් තැනැත්තේ උතුමැයි මම කියම්"යි කීහ.

ඒ ගෝරිමන්ද සිටාණෝ වනාහි කෙසේ වූ කෙනෙක්දයත්: ඒ මියුලු නුවර අසූ කෙළක් සම්පත් ඇති සිටාණ කෙණෙක: උන්ගේ බැලිය යුතු රූපයකුත් නැත්තේය. පුත්‍ර කෙනකුත් නැත්තේය. දියණි කෙනකුත් නෑසිය කෙනකුත් නැත්තාහ. කිසි ශිල්පයකුත් නොදන්නාහ. බැණ නැඟි කල්හි ගෝරිමන්ද සිටාණන්ගේ දෙ කොළින් කෙළ ධාරාත් වැගිරෙන්නේය. එසේ වැගිරෙන්නා වූ කෙළ ධාරාවන් දෙවඟනන් හා සමාන රූ ඇති සර්වාලංකාරයෙන් සැරහුණු ගෑනු දෙදෙනෙක් සුපිපි නිලුපුල් කලබ් දෙකක් ගෙන දෑලෙහි සිට නිලුපුල් මලින් පිස මල් වීථියට දමන්නාහ. රා සොඬහුද රා හළට යන්නාහු නිලුපුලින් ප්‍රයෝජනයක් ඇති කල්ගි ඒ ගෝරිමන්ද සිටාණන්ගේ ගෙදොරට ගොස් "ස්වාමීනි ගෝරිමන්ද සිටාණන් වහන්සැ"යි කියන්නාහ. ඒ සිටාණෝ රා සොඬුන්ගේ බස් අසා සී මැදුරු කවුළුව සමීපයේ සිට "කිමෙක්ද? දරුවෙනි" කියන්නාහ. ඉක්බිත්තෙන් බැණ නැංගාවුන්ගේ දෙකොළින් කෙළ ධාරා වෑහෙන්නේය. නිලුපුල් මල් ගත් අත් ඇති ව සැරහී දෑලයෙහි සිටි ගෑනු දෙන්නා මලින් කෙළ පිස මල් අතුරු වීථියට දමන්නාහ. රා සොඬහු ඒ මල් ගෙන දියෙහි සලා පියා පැළඳගෙන රාහලට වදනාහ. ඒ ගෝරිමන්ද සිටාණෝ නම් මෙබඳු සම්පත් ඇත්තාහ. සේනකයෝ මේ දෘෂ්ටාන්ත කොට රජ්ජුරුවන්ට කීහ.

සේනකයන් කී බස් අසා රජ්ජුරුවෝ "කෙසේද පුත, මහෞෂධ පණ්ඩිතයෙනි?" කීහ. මහෞෂධ පණ්ඩිතයන් වහන්සේ "දේවයන් වහන්ස, සේනකයෝ කුමක් දනිත්ද? බත් හුළු වැගිර ගිය තැන අවුළා කන කපුටුවකු වැන්නේය. ඉස හෙන මුගුරු නොබලා දී බොන්නට වන් බල්ලකු වැන්නේය. මෙලොව විඳ ගන්නා සම්පත් බලයි. ඉස වැටෙන අපා දුක් නමැති මුගුරු නොබලයි. ඇසුව මැනැව, දේවයන් වහන්සැ"යි ගාථායෙකින් කාරණයක් දක්වන සේක. "නුවණ නැත්තේ සුවයක් ලදින් එහිම ඇලුණේ කුශල කර්මයෙහි පමා වන්නේය. ප්‍රමාද ප්‍රත්‍යයෙන් පව් කරන්නේය. ඥාති ව්‍යසනාදී අනේකප්‍රකාර වූ දුකින් මඩනා ලද්දේ විශේෂයෙන් ම මුළා බවට පැමිණෙන්නේය. අමුතු අමුතු ව චක්‍රාකාරයෙන් පවත්නා වූ සුව දුකින් පීඩිත වූයේ. ග්‍රීෂ්ම කාලයෙහි දියෙන් ගෙනහැර අව්වෙහි ලූ මසකු මෙන් වෙවුලන්නේය. මේ කාරණය දැක මම නුවණැත්තෝ උතුම, ඉසුරුමත් තැනැත්තෝ උතුම් නොවෙති" කියමි යි වදාළ සේක.

මහ බෝසතාණන් වහන්සේ වදාළ කාරණය අසා රජ්ජුරුවෝ "කෙබඳුද ආචාරිනී?" කීහ. සේනක පණ්ඩිතයෝ "දේවයන් වහන්ස මූ කුමක් දනිත් ද? මිනිස්සු සිටිත්වා, හෙවත් මිනිසුන් තබා වලැ හටගත් ගසක් ඵල සම්පන්න වී නම් එසේ වූ ගසට ම පක්‍ෂීහු එළඹෙන්නාහ'යි කියා ගාථාවකින් එම උපමාව දක්වන්නාහු, වලැ හට ගත් මියුරු ඵල ඇති වෘක්ෂයට අනේකප්‍රකාර වූ ශාරිකා ශකුනිකාදි ළිහිණියෝ හාත්පසින් යම් සේ අවුත් රැස් වෙද්ද, එපරිද්දෙන් ම පොහොසත් වූ රත්රන් අමුරන් ආදී ධන සහිත වූ අවශේෂ උපභෝග වස්තු ඇති මෙ බඳු පුරුෂයා බොහෝ දෙන තමනට වැඩ පිණිස සෙවුනාහ. මේ කාරණය දැක මම නුවණැතිවත් දිළිඳු තැනැත්තේ උතුම් නොවෙයි. නුවණැ නැති වත් ශ්‍රීමත් තැනැත්තේ උතුමැයි කියමි"යි කීහ.

සේනකයන් කී කාරණය අසා රජ්ජුරුවෝ "කිමෙක්ද පුත මහෞෂධ පණ්ඩිතයෙනි" කීහ. පණ්ඩිතයන් වහන්සේ "මේ මහ බඩ ඇති සේනකයා කුමක්දනීද? ඇසුව මැනැව දේවයන් වහන්සැ"යි කාරණයක් දක්වන තැනැත්තේ ගාථාවකින් "පවත්වන ලද අණසක ඇති නුවණ නැත්තේ උතුම් නොවෙයි. කුමක් හෙයින්ද යත්:- තාඩන බන්ධනාදි නොයෙක් දරුණු කමින් ජනයන්ට දුක් දී වස්තු ලබන්නේය. එසේ වූ අඥානයා බලවත් පශ්චාත්තාප දුඃඛයෙන් අභිභූත වැ හඬන්නා ම භයානක වූ නරකයට යමපල්ලෝ නොකැමැති සේ ම අදනාහ, හෙවත් නරකයෙහි බොහෝ දුකට පැමිණෙන්නේය. මේ කාරණයද දැක මම දිළිඳු වුවත් නුවණැත්තේ උතුමැ, ඉසුරුමත් වුවත් නුවණ නැත්තේ උතුම් නොවෙයි කියමි"යි වදාළ සේක.

නැවත රජ්ජුරුවන් "කිමෙක්ද සේනකයෙනි කී කල්හි ගාථාවකින් කාරණයක් දක්වන්නාහු "ඇළ හෝ කඳුරැලි ආදි කිසි ජලාශය කෙනෙක් නිම්න වැ ගොස් ගඟට අඬා බසිද්ද ඔහු හැම දෙනම තම තමන්ගේ යථෝක්ත වූ හොය ඇළයනාදී නම් ගොත් හරනාහ, ඒ ඇළ හෝ ආදීන්ගේ ප්‍රවේශත්වයට ආධාරත්වයෙන් ගංගා තොමෝ මහ මුහුදට වදනා ලබන්නී 'ගංගාය' යන ව්‍යවහාර නැති වැ ගොස් මුහුද හා එක් වීමෙන් මුහුද යයි යන ව්‍යවහාරයට යන්නී ද එපරිද්දෙන් ලෝවැස්සෝ තුමූ සම්පත් ඇත්තාහු ම පිහිට කොට ඇත්තාහ, හෙවත් මහා නුවණැත්තෝද ඉසුරුමත් තැනැත්තවුන් කරා පැමිණ මුහුදට වන් ගඟක් සේ තේජස් නැති හෙයින් ප්‍රසිද්ධ ව නොපෙනෙන්නෝය. මේ කාරණය දැක මම නුවණැත්තෝ උතුම් නොවෙති, ඉසුරුමත් තැනැත්තෝ උතුමැයි කියමි"කීහ.

නැවත රජ්ජුරුවෝ "කිමෙක්ද මහෞෂධ පණ්ඩිතයෙනි"යි කීහ. පණ්ඩිතයන් වහන්සේ "ඇසුව මැනැව දේවයන් වහන්සැ"යි කියා ගාථා ද්වයෙකින් කාරණයක් වදාරන සේක්, "මහත් වූ සාගරයක් උපමා කෙරෙද්ද සාගරයට ගංගා යමුනා අචිරවතී ආදී වූ අනේක ප්‍රකාර ගං හෝ හැම කල්හි ම මෙතෙක් ගඟ මෙතෙක් හොය යන ප්‍රමාණයක් නැති වැ නොයෙක් දිගින් හඬා බසිද්ද සමුද්‍ර සංඛ්‍යාත වූ ඒ සාගරය තෙමේ අනවරත වූ සියදහස් ගණන් මහත් වූ රළ වේග ඇන්තේ වෙරළ ඉක්ම ගත නොහී වෙරළ ම ගැසී බිඳේද, එපරිද්දෙන් නුවණ නැත්තහුගේ තෙපුල් නුවණැත්තවු ඉක්ම නොපවතින්නේය. කිසියම් අර්ථානර්ථයෙක්හි උපන් සැකයෙක් ඇත් නම් ඉසුරුමත්හුද දිළිඳු වුවත් නුවණැත්තහු කරා පැමිණ නිශ්චය වන්නේ යැ. මේ කාරණය දැක මම නුවණැත්තෝ උතුමැ, ඉසුරුමත් නුවණ නැත්තේ උතුම් නොවෙයි කියමි"යි වදාළ සේක.

බෝසතාණන් වහන්සේ වදාළ කාරණය අසා රජ්ජුරුවෝ "කිමෙක්ද සේනකයෙනි" කීහ. “ඇසුව මැනැව දේවයන් වහන්සැ'යි ගාථාවකින් කාරණයක් දක්වනු පිණිස “කායාදි සංයමයක් නැතිවත් යමෙක් පරිවාර සම්පත් ඇත්තේ වී නම් එබඳු ඉසුරුමත් පුරුෂ තෙමේ මහ පිරිස පිරිවරා අධිකරණයෙහි හිඳ අනුනට මෙලොවින් පරලොවින් වැඩක් වන කාරණයක් වත් අවැඩක් වන කාරණයක් වත් කියන්නේ වී නම් තේජස් වී හෙයින් සභා මධ්‍යයෙහි ඔහුගේ බස ම නැගෙන්නේය. ඉසුරුමත් තැනැත්තේ හිමියන් නොහිමි කිරීම ආදී වූ අවැඩට සුදුසු බසකුදු කියන්නේ වී නම් සභාවට ඇදහිය යුතු බව ශ්‍රී කාන්තා මැ කරන්නීය. ප්‍රඥා තොමෝ එසේ කොට ලිය නොහෙන්නී ය. මේ කාරණයද දැන මම නුවණැත්තෝ යටත්හු මය, ශ්‍රීමත් ඇත්තෝ මැ උතුමැ'යි කියමි"යි කීහ.

නැවත රජ්ජුරුවන් විසින් “කිමෙක්ද පුත මහෞෂධ පණ්ඩිතයෙනි” කී කල්හි මහෞෂධ පණ්ඩිතයන් වහන්සේ, "මේ කෙළතොලු සේනකයා කුමක් දනීදැ"යි වදාරා ගාථාවකින් කාරණයක් වදාරන සේක් "මඳ නුවණැනි බාල තෙමේ අනුන් නිසා වත් තමා නිසාවත් බොරු බෙණෙයි නම් හේ සභා මැද නින්දාත් ලබයි, පරලොව අපායාගාමීද වෙයි. මේ කරුණත් බලා නුවණැත්තේ උතුම, නුවණ නැති ඉසුරුමත් තැනැත්තේ උතුම් නොවෙයි මම කියමි"යි කීහ.

ඉක්බිත්තෙන් සේනක පණ්ඩිතයෝ ගාථාවකින්‌ කාරණයක්‌ දක්වන්නාහු "වී නැළියක් සාල් නැළියක් වෙල්හැල් නැළියක් පමණවත් නැති අකක් මස්සක් වස්තුවක්, නැති එසේ හෙයින් එවේලෙන් වේලාවට දුක සේ ජීවත්වන්නාවූ පොළොව සමාන වූ "නුවණැත්තේ සභා මධ්‍යයේ හිඳ ඉදින් කාරණයකුදු කියා නම් ඔහුගේ වචනය සභාවට නොනැඟෙන්නේය. යමෙක් නුවණැති වත් ඉසුරු මත් නොවේ නම් ශ්‍රී කාන්තා ඔහු භජනය නොකරන්නීය. යමෙක් නුවණ නැති වත් ඉසුරුමත් වී නම් ශ්‍රී ඔහු සෙවුනීය. එසේ හෙයින් ඉසුරුමත් තැනැත්තහු සම්මුඛයේ නුවණැත්තේ කදෝපැණියකු මෙන් වැටහෙන්නේය. මේ කාරණයද දැක මම ප්‍රඥාවත් තැනැත්තේ හීනය. ඉසුරු මත් තැනැත්තේ වර්ධන යැ'යි කියමි" කීහ.

නැවත රජ්ජුරුවන් "කිමෙක්ද පුත මහෞෂධ පණ්ඩිතයෙනි"යි කී කල්හි පණ්ඩිතයන් වහන්සේ: "සේනකයා කුමක්දනීද? මේ ලොව විඳ ගන්නා යසස බලයි, පරලොව අපාය දුක් නො බලයි" කියා ගාථාවකින් කාරණයක් දක්වන සේක්. "උදාර වූ නුවණැත්තේ අනුන්ගේ බිඳීම පිණිස වේ වයි බොරුවක් නොකියන්නේය: සබවස රකින්නාවූ හේ තෙමේ මහ පිරිස් මැද බොහෝ දෙනා විසින් "කී නියා යහපතැ"යි පිදිය යුතු වන්නේය. පරලොවෙහි දු "සුභාෂිත කාරණයෙන් සුගතියට ම යන්නේය. මේ කාරණා ද දැක මම නුවණැත්තෝ ම උතුමැ. නුවණ නැති ඉසුරුමත් තැනැත්තෝ උතුම් නොවෙති කියමි" වදාළ සේක.

නැවත "කෙසේදැ"යි විචාළ රජ්ජුරුවනට සේනකයෝ ගාථාවකින් උත්තරයක් කියන්නෝ "මහරජ ඇසුව මැනැව. ඇතුන් අසුන් ගව මහිෂාදී වස්තු හා මුතු මැණික් ආදී වූ රුවන්ද මැණික් මය කුණ්ඩලාභරණ හා කනක කටක නූපුර යනාදී ආභරණයෝද ඉසුරු කුලයෙහි උපන්නා වූ දෙවඟනන් හා සමාන වරඟනෝද අවශේෂ පරිවාර ජනයෝද යන සියල්ලෝ ම පොහොසත් තැනැත්තවුට උපභෝග පරිභෝග පිණිස වන්නාහ. නුවණ ඇතත් දුක්පත් තැනැත්තවුට එසේ වන්නාහු නොවෙති. මේ කාරණයෙනුත් සම්පත් ඇත්තෝ උතුම් වෙති කියමි" කීහ.

ඉක්බිත්තෙන් පණ්ඩිතයන් වහන්සේ වදාරන සේක් "මේ නුවණ නැති සේනකයා කුමක්දනීද?"යි එක් කාරණයෙක් ගෙනහැර දක්වන්නෝ ගාථාවකින් "නොසලකා කරන ලද මෙලොවින් පරලොවින් අනර්ථ දායක වූ කටයුතු ද ඇති අඥාන වූ තෙපුල් ඇති මඳ නුවණැත්තහුද දිරාගිය සැවයක් නිරපේක්‍ෂා කොටහැර පියා යන සර්පයකු මෙන් ශ්‍රී තොමෝ හරිනීය. තව ද ඊට කාරණා කිමෙක්ද යත හොත්: ප්‍රථම කල්පයෙහි අකුසල් නම් කළු බව සුදු බව නොදන්නා මිනිසුනට ආයු බොහෝ සමයෙහි දඹදිව චේතිය නම් රජ කෙනෙක් ඇති වූහ. උන්ගේ ශරීරයෙන් සඳුන් සුවඳ හමන්නේය. මුඛයෙන් මහනෙල් මල් සුවඳ හමන්නේය. ආකාශයෙහි පළක් බැඳගෙන හිඳිනට සමර්ථ වූ සෘද්ධි ඇත්තාහ. කාමාවචර දෙවියෝ සතර දෙනෙක් රෑ දාවල් ආරක්‍ෂා ඇති ව රැකවල් ගෙන සිටිනාහ. අනන්ත ඇතුන් අසුන් ආදි වූ සිවුරඟ සෙනඟින් යුක්ත ව දස දහසක් යොදුන් දඹදිව අගරජ කරන්නාහ. එසේ වූ ඒ චේතිය රජ්ජුරුවන් කී බොරුවෙන් ශරීරයෙන් නික්මෙන චන්දන ගන්ධයද මුඛයෙන් නික්මෙන උත්ඵල ගන්ධයද නැති ව දුර්ගන්ධ හමන්නට වන, සතර දිග රැකවල් ගෙන සිටි දෙවියෝද ඔහු හැර පියා නැඟී ගියාහ, ආකාශයෙහි පළක් බැඳ සිටිනට සමර්ථ සෘද්ධි නැති ව බිමටම බටුයේය. කීවා වූ මෘෂාවාද කරණකොට ගෙන ජීවමාන ශරීරයෙන් ම පොළොව විවර ව අවීචියෙන් ගිණිදැල් අවුත් රත් පලසක් බඳු ව වලඳිනා ලද්දේ නරකයෙහි උපන, සතර දිග දෙවියන් රැකවල් ගත් එබඳු ඔහුගේ සැපත පවා නුවණ නැති ව අපායට යන කල පිටිවහල් නොවී මුහුදු එතෙරට මෙතෙර සේද ආකාශයට පොළොව සේද නො ළඟ වීය. එසේ හෙයින් මේ කාරණයද දැක මම නුවණැත්තෝ උතුමැ, නුවණ නැති තැනැත්තෝ උතුම් නොවෙති" කියමි වදාළ සේක.


ඉක්බිත්තෙන් රජ්ජුරුවන් "කිමෙක්ද සේනකයෙනි" කී කල්හි "කිමෙක්ද දේවයන් වහන්ස, මේ බාලදරුවෝ කුමක් දනිද්ද? තවත් මා කියන කාරණයක් ඇසුව මැනැව"යි පණ්ඩිතයන් වහන්සේ කර බාවමි හෙවත් කියන උත්තරයක් ඇත් නම් නැති කෙරෙමි සිතා ගාථායෙකින් කාරණයක් දක්වන්නාහු "දේවයන් වහන්ස නුවණින් තීරණය කටයුතු වූ කාරණයෙක්හි සැක උපන් කල සේනකාදී පණ්ඩිතවරුන් කැඳවව’යි අපහැම කැඳවා යැවූ ඔබ වහන්සේගේ සැකය දුරලන මෙසේ වූ ප්‍රඥා සම්පන්න වූ අපි පණ්ඩිතවරු පස් දෙන ම දොහොත් මුඳුනෙහි බැඳගෙන ඔබ වහන්සේට සම නොවමු ව, අප ඔබ වහන්සේද දෙව් ලොව දෙවියන් පිරිවරා ඔවුන්ගේ ආනුභාව මැඬ පවත්නා වූ සක්දෙව් රජු මෙන් කීර්ති හා තේජසින් පරිවාර සම්පත්තීන් මැඬගෙන පවත්නා සේක. ඉඳින් නුවණැත්තාහු උතුම් වුවහොත් අප අනුශාසක ව සිටි බැවින් ඔබ වහන්සේ අපට යටත් වුවමනා වේද? එසේ ද නොවන හෙයින් මේ කාරණය දැක මම නුවණැත්තෝ උතුම් නොවෙති. පරිවාර සම්පත් ඇති තැනැත්තෝ උතුමැ"යි කියමි කීහ.

සේනකයන් විසින් කියන ලද දැන් මේ වූ කාරණය ම අසා රජ්ජුරුවෝ "සේනකයන් විසින් ගෙනහැර දක්වන ලද්දා වූ මේ කාරණය ඉතා ම යහපත, ම පුතණුවෝ මහෞෂධ පණ්ඩිතයෝ මේ සේනකයාගේ වාදය බිඳ අනික් කාරණයක් ගෙනහැර දක්වන්නට පෝසත්හු දෝ හෝ'යි සිතා "මේ කිමෙක්ද පණ්ඩිතයෙනි"යි කීහ. සේනකයා තමන් විසින් මේ කාරණය ගෙනහැර දක්වන ලද කලදැන් වනාහි මහා බෝසතාණන් වහන්සේ විනා අනික් ඒ වාදය බිඳින්නට සමර්ථ කෙනෙක් මුළුදඹදිව නැත්තෝය. එසේ හෙයින් බෝධිසත්ත්වයන් වහන්සේ තමන් වහන්සේගේ විදුරක් හා සමාන අසාධාරණ වූ ප්‍රඥානුභාවයෙන් ඒ සේනක පණ්ඩිතයන්ගේ වාදය බිඳිනා සේක් "දේවයන් වහන්ස මේ නුවණ නැති සේනකයා කුමක්දනී ද? මේ ලොව විඳ ගන්නා යසස් බලයි, නුවණෙහි අරුම නොදන්නේය. නුවණෙහි අරුම ඇසුව මැනැව, දේවයන් වහන්සැ"යි කියා ගාථාවකින් කාරණා දක්වන සේක් නුවණ ඇත්තන් ම පසඳියයුතු වූ එබඳු කටයුත්තක් උපන් කල්හි 'නුවණ නැති ඉසුරු මත් තැනැත්තේ නුවණ ඇත්තාහු ගැත්තකු මෙන් පවත්නේය. නුවණැත්තේ ප්‍රඥාවෙන් කටයුතු වූ සියුම් වූ යුක්ති ආදි යම් ගැටමුසු කාරණයක් සැක හැර කියාද එබඳු කාරණයෙහි නුවණ නැත්තේ අවලෝකනය කොටගත නොහී ඒක්ෂණයෙහි කණ ගෙරි වල් වන්නා සේ මුළා බවට පැමිණෙන්නේය. මේ කාරණයද දැක නුවණැත්තෝ ම උතුම, නුවණ නැත්තෝ උතුම් නොවෙතියි" කීහ. මෙරගල් මුඳුනෙහි සත් රුවන් ගෙනහැර පා වගුරුවන්නක්හු මෙන්ද ආකාශයෙහි පුන්සඳ ඔසවා පාන්නක්හු මෙන්ද උත්තර ගෙනහැර දැක්වූ සේක. මෙසේ මහබෝසතාණන් වහන්සේ විසින් නුවණෙහි අරුම වදාළ කල්හි ඉක්බිත්තෙන් රජ්ජුරුවෝ සේනක පණ්ඩිතයනට "කිමෙක්ද සේනකයෙනි පෝසතු නම් උත්තරයක් කියව"යි කීහ.

සේනකයාත් කොටුවෙහි පටවා තිබූ වී කා නිමවා කොටු පත්ල අත ගා පියා රැකෙන මාන සිතන එකක්හු මෙන් උගත් උගත් තරම නිමවා පියා මත්තෙහි වැටහෙන උත්තරයක් නැත්තේ එසේ හෙයින් කර බාගෙන කොඳුර කොඳුරා සිතිවිල්ලේ හුන්නේය. ඉදින් ඒ සේනකයෝ අනික් උත්තරයක් ගෙනහැර කිවු නම් ගාථා දහසකින්වත් මේ උම්මග්ග ජාතකය නොනිමෙන්නේය. ඒ සේනකයන් කිය හෙන උත්තරයක් නැති කල්හි ගැඹුරු මහවතුරක් එක පැහැර නමන්නක්හු මෙන්ද ආකාශ ගංඟාව පොළෝ තලයට බහන්නක්හු මෙන්ද මහබෝසතාණන් වහන්සේ මත්තේ ප්‍රඥා වර්ණනා කරන සේක් ගාථාවකින් "ඒකාන්තයෙන් බුදු පසේබුදු මහරහතුන් ආදී වූ නුවණැත්තවුන් විසින් නුවණ උතුමැයි පසස්නා ලද, යම් හෙයකින් නුවණ නැති මිනිස්සු සම්පතෙහි ඇලුණාවූ නම් එහෙයින් ඔවුහු ශ්‍රී කාන්තාව උතුමැයි කියති. මේ ලොව පරලොව දන්නා නුවණින් වැඩි සිටියනට මේ යසස් නම් ගැරැවිල් කුණක් හා සමානය. ප්‍රඥාව අසදෘශ වූ ස්වරූප ඇත්තීය. එසේ හෙයින් මහා සාගරයට වෙරළ ඉක්ම ගත නොහෙන්නා සේ ශ්‍රී කාන්තා තොමෝ කිසි කලෙක ඥානවන්තයා ඉක්ම ගත නොහෙන්නීය, දේවයන් වහන්සැ"යි වදාළ සේක.

ඒ අසා රජ්ජුරුවෝ මහබෝසතාණන් වහන්සේගේ ප්‍රශ්න විසර්ජනයෙන් සතුටු ව "බුදු කෙනකුන් පරිද්දෙන් අපට විසඳා කිව. ඒ තොපගේ ප්‍රශ්න ව්‍යාකරණයෙහි සතුටු වූ මම ගෙරි දහසක්ද නැඟෙන්නට උතුම් හස්ත්‍යාලංකාරයෙන් සරහන ලද්දා චූ සුශික්ෂිත හස්ති රාජයෙක්ද අජානීය අසුන් යොදන ලද රථාලංකාරයෙන් සරහන ලද රථදහසක්ද, ධන ධාන්‍යයෙන් සමෘද්ධ වූ එකෙකි ගමින් හවුරැද්දකට ලක්‍ෂයක් බැගින් අය නිමන ගම් සොළසක්ද යන මෙකී වස්තූන් තොපට උපකාර කොට දෙමි" කියා සියල්ල දෙවූහ.


12. ජන්නපථ ප්‍රශ්නය[සංස්කරණය]

එතැන් පටන් කොට මහබෝසතාණන් වහන්සේගේ යසස කිරි මුහුදු රළ පරිද්දෙන් මහත් වූයේය. ඒ සියලුම සම්පත් බුනණියෝ උදුම්බරා දේවී ම විචාරත්. බෝසතාණන් වහන්සේ සොළොස් හැවිරිදි වූ කල "මාගේ මලණුවෝ වැඩි මාලුව ගත්හ. උන්ගේ යසසත් මහත. උනට සමාන කුලයකින් සරණ පාවා දෙන බව සුදුසුයැ"යි සිතූහ. මෙසේ සිතා එපවත් රජ්ජුරුවනට දැන් වූහ. රජ්ජුරුවෝ එ පවත් අසා සොම්නස් ව "යහපත සොඳුර එ පවත් උනට කියව"යි කීහ. දේවීත් මහබෝසතාණන් වහන්සේට එ පවත් දැන්වූය. එ පවත් පණ්ඩිතයන් වහන්සේ විසින් යහපතැ'යි ගිවිසි කල්හි, "එසේ වී නම් මලණ්ඩ සුදුසු තැනකින් කුමාරිකාවක් ගෙනෙමෝදැ"යි කීහ. මහබෝසතාණන් වහන්සේ "මුන් වහන්සේ විසින් ගෙන්වා පාවා දෙන ලද කුමාරිකාව කිසි සේත් මට අභිප්‍රාය නොවන්නේය. එහෙයින් මම ම පළමු කොට සුදුසු එකක පරික්‍ෂා කෙරෙමි"යි සිතා "දේවින් වහන්ස, කීප දවසක් රජ්ජුරුවන් වහන්සේට මා අසවල් කාරියට ගියහයි නොකිව මැනැව, එක් කුමාරිකාවක් පරීක්‍ෂා කොට මට අභිප්‍රාය එකක ලදිම් නම් නුඹ වහන්සේට දන්වා ලමි"යි කියා බිසවුන් විසින් "යහපත, මලණ්ඩ එලෙසක් කරව" යි කී කල්හි මහබෝසතාණන් වහන්සේ බිසවුන් වැඳ, තමන් වහන්සේගේ ගෙට ගොස් හිත මිත්‍රයනට එපවත් කියා එක්තරා වේශයකින් සන්නාලි උපකරණ ගෙනහුදකලාව ම උතුරු වාසල් දොරින් නික්ම උතුරු යවමැදුම් ගමට වැඩි සේක.

එසමයෙහි උතුරු යව මැදුම් ගම දුප්පත් ව සිටි පුරාතන සිටු කුලයෙක් විය. ඒ සිටු කුලයෙහි අමාරා දේවී නම් එක ම දුවණි කෙනෙක් බැලූවනට ප්‍රියකරු වූ රූ ඇත්තාහ: සියලු ස්ත්‍රී ලක්‍ෂණයෙන් සම්පන්නයහ. මහ පින් ඇත්තාහ, ගෑනු රුවට හොබවන ලද ඇඳි රූ කඩක් හා සමානයහ. ඒ අමරා දේවී තුමූ එදවස් උදෑසන ම හුළුකැන් පිසගෙන "පියාණන් සානා තැනට යෙමි" නික්ම මහබෝසතාණන් වහන්සේ වඩනා මඟට පිළිපන්හ. මහබෝසතාණන් වහන්සේ ඉදිරියට එන්නා වූ ඒ කුමාරිකාව දැක "ස්ත්‍රී ලක්‍ෂණයෙන් සමන්චිත ස්ත්‍රියක, ඉදින් ස්වාමීන් නැත්තී නම් මෝ තොමෝ මට බිරින්දෑට සුදුසුය"යි සිතූ සේක. ඒ අමරා දේවී බෝසතාණන් වහන්සේ දැක ලා "ඉදින් මෙබඳු පුරුෂයක්හුගේ ගෙයි වූයෙම් නම් කුටුම්බ සණ්ඨාපණය කරන්නට හෙවත් වස්තු, රැස් කරන්නට පිළිවනැ"යි සිතූහ. ඉක්බිත්තෙන් මහබෝසතාණන් වහන්සේ "මෑගේ සැමියන් ඇති නැති බව නොදනිමි. එපවත් හස්ත මුද්‍රාවෙන් විචාරමි. ඉදින් මෝ නුවණැන්නී වී නම් හස්ත මුද්‍රාවෙන් විචාළාදැන ගන්නීය'යි සිතා, දුරැ මැ සිට ඇඟිලි හකුළුවා මිට කළ සේක. ඒ අමරා දේවීත් මේ පුරුෂයා මාගෙන් සැමියන් ඇත්ත නැත්ත විචාරන්නේය'යි දැන අත්ල විදාලූහ. මහබෝසතාණන් වහන්සේ සරණ නුහුණු බවදැන සමීපයට ගොස් "සොඳුර, තෙපි කිනම්මු දැ"යි විචාළ සේක. "ස්වාමීනි ගියදවස වේවයි මතු දවස වේවයි, දැන් වේවයි සමස්ත ලෝකයෙහි යමෙක් නැත්නම් මම ඒ නම්මි" කීහ. "සොඳුර ලොව උපන් සතුන් ගෙන් නොමියන කෙනකුන් නැති හෙයින් 'අමර' නාමය නැත්තේය. තොපි ඒ නම්මුදැ"යි විචාළ සේක. "එසේය, ස්වාමීනි"යි කීය. "සොඳුර කවුරුනට කැඳ ගෙන යෙවුදැ"යි විචාළ සේක. "පූර්ව දේවතාවනටය"යි දී කීහ. "තොපගේ පියාණනට කැඳ ගෙන යෙවූ දැ"යි විචාළ සේක. "ස්වාමීනි, එසේය"යි කීහ. "තොපගේ පියාණෝ කුමක් කෙරෙද්ද?"යි විචාළ සේක. "එකක් දෙක කෙරෙති" කීහ. "එකක්හුගේ දෙක කිරීම නම් සීසෑමය. සී සාද්ද සොඳුරැ "යි වදාළ සේක. "ස්වාමීනි එසේය"යි කීහ. "තොපගේ පියාණෝ කො තැනක සාද්දැ"යි විචාළ සේක, "යම් තෙනකට එක වරක් ගිය කෙනෙක් නො එද්ද එතැනය"යි කීහ. "එක් විටෙක ගිය කෙනකුගේ පසුව නො එන තෙන සුසාන යැ, සොඳුර සෝනක් සමීපයෙහි සාද්දැ?"යි විචාළ සේක. "එසේය ස්වාමීනි"යි කීහ. "සොඳුර අද ම එවුදැ"යි විචාළ සේක. "ඉදින් ආව හොත් නොඑමි, නාවොත් එමි" කීහ. "සොඳුර තොපගේ පියාණෝ ගඟකින් එතරක සාති, එයට කාරණා කිමෙක්ද යත හොත් ගඟ දිය ආවොත් නොළඑව, දිය නො ආවොත් එව, එහෙයිනැ"යි වදාළ සේක. "එසේය ස්වාමීනි" කිව.

මෙසේ මෙ පමණක් පෙර පසු කතා කොට අමරා දෙවී තුමූ හුළුකැන් පුව මැනැව ස්වාමීනි, පැවරූහ. බෝසතාණන් වහන්සේ ආදියෙන් කී පෙරැත්ත නොඉවසීම අවමංගලය'යි සිතා "යහපත බොමි" වදාළ සේක. අමරා දේවී කැඳ සැළිය හිසින් බා තුබූහ. මහබෝසඝතාණන් වහන්සේ "ඉදින් මණ්ඩය නොදෙවැ අතට පැන් නොදී ම කැඳ අතට දිනි නම් මෙ තැන ම හැර පියා යෙමි"යි සිතූ සේක. ඒ අමරා දේවී වනාහී මණ්ඩයෙන් පැන් ඇරගෙන අවුත් අතට දී ලා සිස් මණ්ඩය අත නොතබා බිම තබා ලා සැළියේ කැඳ අළලා හුළුකැන් මණ්ඩය පුරා ලූහ. වැළිත් ඒ කැඳෙහි හුළු මඳ වූයේය. ඉක්බිති බෝසතාණන් වහන්සේ "කිමෙක්ද සොඳුර හුළුකැන් ඉතා ම බොල්වනැ"යි වදාළ සේක. "පැන් නොලද්දේයයි ස්වාමීනි"කීහ. "තොපගේ කුඹුර පූදිනා අග දිය නොලදැයි සිතමි" වදාළ සේක. අමරා දේවීත් "එසේය ස්වාමීනි" කීහ. පියාණනට හුළුකැන් තබා බෝසතාණන් වහන්සේට හුළුකැන් පෙවූහ.

උන් වහන්සේ හුළුකැන් අනුභව කොට අත කට සෝදා "සොඳුර, අප තොපගේ ගෙටයම්හ. අපට මග කියව"යි වදාළ සේක. අමරා දේවී "යහපතැ"යි කියා තමන්ගේ ගෙට මඟ කියන්නාහු: "මේ මඟ හොස්සේ ගොස් ඇතුළු ගමට වන් කලැ යම් තෙනක අස්සණු තබා විකුණන සල්පිලද, ඉන් ඔබ්බට ගිය කල කැඳ තබාගෙන විකුණන සල්පිල්ද, ඉන් ඔබ්බට ගිය කල පිපී සිටි කොබලීල ගසෙක් ඇත්තේය. ඒ ගස මුලට ගිය කලයම් අතකින් අනුභව කෙරෙද්ද ඒ අත මඟ යන්නට කියමි. යම් අතකින් නොකද්ද, ඒ අත යන්නට නොකියමි. හෙවත් දකුණත මඟ වැඩිය මැනැව, ඒ මඟය, හෙවත් යව මැදුම් ගම අපගේ දෙමවුපියන් ගේ ගෙට මඟය, මා සඟවා කී මඟ දැන වදාළ මැනැව"යි කීහ. මෙසේ අමරා දේවී බෝධිසත්ත්වයන් වහන්සේට මඟ කියාලා පියාණනට හුළුකැන් ඇරගෙන නැඟී ගියහ.

"https://si.wikibooks.org/w/index.php?title=උම්මග්ග_ජාතකය-iii&oldid=20205" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි