උම්මග්ග ජාතකය-iv

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

13. ස්ත්‍රී ප්‍රශ්නය[සංස්කරණය]

මහබෝසතාණන් වහන්සේ අමරා දේවීන් කී මඟින් උන්ගේ ගෙට වැඩි සේක. ඉක්බිත්තෙන් අමරා දේවීන්ගේ මෑණියෝ පණ්ඩිතයන් වහන්සේ දැක හිඳිනට අස්නක් දීලා "පුතණ්ඩ, බොන පරිද්දෙන් හුළුකැන් අත වඩාලම්දැ"යි කීහ. "මෑණියන් වහන්ස අපගේ නැඟණියෝ අමරා දේවී කැඳිත්තක් පෙවූහ" යි වදාළ සේක. දේවීන්ගේ මෑණියෝ "මාගේ දියණියන් නිසා ආ කෙනෙක් වනැ" යි සිතූහ. මහබෝසතාණන් වහන්සේ උන් දුක්පත් නියාව දන්නාහු "මෑණියන් වහන්ස, මම සන්නාලියෙකිමි. ගෙත්තම් කටයුතු වූ කිසිවක් ඇද්දැ"යි විචාළහ, "පුතණ්ඩ විද්දයුතු කොට්ට මාලු ආදිය ඇත. ඒ විද්ද ගෙන දී ලන්නට සුදුසු මිලයෙක් නැතැ"යි කීහ. "මෑණියන් වහන්ස, මිලයෙන් කාරියෙක් නැති. ගෙනෙව විද දී ලමි"යි වදාළ සේක. අමරා දේවීන්ගේ මෑණියෝ කඩ රෙදි හැර ගෙන ගෙත්තම් කරන පරිද්දෙන් දුන්හ. මහබෝසතාණන් වහන්සේ "ගම ඇත්තන් ගෙන ගෙනා රෙදි හා වුවමනා වුවමනා දෙයද නිම වූ සේක් මය, පිනැත්තන් කරන දෙය සිතූ ලෙසට සමෘද්ධ වන්නේ යැ.


ඉක්බිත්තෙන් බෝධිසත්ත්වයන් වහන්සේ අමරා දේවීන්ගේ මෑණියනට "මැණියෙනි වීථියක් පාසා හඬගා පිව මැනැව"යි වදාළ සේක. අමරා දේවීන්ගේ මෑණියෝ ගම මුළුල්ලේ ම හඬ ගෑහ. මහබෝසතාණන් වහන්සේ ගම ඇත්තන් ගෙන ගෙනා කඩින් සන්නාලි මේවර කොට එක දවසින් ම මසු දහසක් ලත් සේක. අමරා දේවීන්ගේ මෑණියෝද බෝධිසත්ත්වයන් වහන්සේට දාවල් බත් පිස කවා "පුතණ්ඩ රෑට සාල් කෙතෙක් ගරම්දැ"යි විචාළහ. "මෑණියන් වහන්ස, මේ ගෙයි යම් පමණක් කත් නම් එ පමණක් ම බත් පිසුව මැනැව"යි වදාළ සේක. අමරා දේවීන්ගේ මෑණියෝත් බොහෝ වූ රස මසවුළෙන් යුක්ත කොට බත් පිසූහ. අමරු දේවී හිසින් දර මිටියක් හා හිණින් පලාහිණක් ඇරගෙන වලින් අවුත් ඉදිරියේ දොර දර මිටිය හෙළා පෑළ දොරින් ගෙට වන්නු ය. උන්ගේ පියාණෝ වනාහී ඇඳිරි ගැසී ගිය කල ගෙට ආහ. බෝධිසත්ත්වයන් වහන්සේට අනේක ප්‍රකාර අනැගි රසයෙන් යුක්ත වූ ආහාර අනුභව කර වූහ. අමරා දේවී මවුපිය දෙදෙනා බත් කවා පසු ව තුමුත් කා මවුපිය දෙදෙනා පය සෝදවා තෙල් ගල්වා මහබෝසතාණන් වහන්සේ පය සෝදවා තෙල් ගැල්වූහ. පණ්ඩිතයන් වහන්සේ අමරා දේවීන් විමසන සේක් කීපදවසක් ම එහි විසූ සේකැ.


ඉක්බිත්තෙන් එක්දවසක් උන් විමසන සේක් "සොඳුර අමරා දේවීනි, සාල් මනාවක් පමණ ඇරගෙන ඉන් මට කැඳත් බතුත් අවුළුත් පිසව"යි වදාළ සේක. අමරා දේවීත් "එක සාල් මනාවෙන් මෙ තෙක් දෑ කෙසේ පිසම්දැ"යි නොකියා "යහපතැ"යි වදාළ බස ගිවිස, ඒ සාල් මනාව පැස මුල් සාලින් බත්ද කඩසාලින් කැඳද සුන් සාලින් කැවුම්ද පිස, ඊට සුදුසු අවුළුත් පිස මහබෝසතාණන් වහන්සේට අවුළු සහිත කැඳ දුන්හ. කැඳ කබලක් මුඛයට ගත් පමණෙකින් ම සියලු රස නහර වැල් පිනා සිට ගත්තේය. පණ්ඩිතයන් වහන්සේ උන් විමසන පිණිස "සොඳුර, තොප පිසමන් නොදන්නා කල කුමක් පිණිස මාගේ සාල් නසාපූදැ'යි කියා කෙළ හා සමඟ මුඛයට ගත් කැඳ කබල කාරා බිමට දමා පී සේක. අමරා දේවීත් නොකිපීම "කැඳ යහපත් නොවී නම් කැවුම් කැව මැනැව ස්වාමිනි"යි කියා කැවුම් අතට දුන්හ. කැවුම් මුඛයෙහි තුබූ පමණකින් ම රස නහර වැල් පිනා ගියේය. එයිත් එසේ කාරා දමා පී සේක. ඊටත් නොකිපීම "එසේ වී නම් බත් අනුභව කරව"යි කියා බත් අත තිබූහ. එයින් ආලෝපයක් මුඛයෙහි තබන්නා ම සියලු රස නහර වැල් පිනා ගියේය. බෝධිසත්ත්වයන් වහන්සේ "තොප පිසමන් නොදන්නා කල මා දුක සේ සොයා ගත් දෙය කුමට නැසූදැ"යි කිපි කෙනකු මෙන් තුන් වගය ම එක් කොට අඹරා පියා අමරා දේවීන් ඉස පටන් ඇඟ මුළුල්ලෙහි ගල්වා දොර හව්වෙහි ඉන්නට වදාළ සේක. අමරා දේවීත් ඊට මඳකුත් නොකිපී "යහපත ස්වාමීනි"යි දොර හව්වෙහි හුන්නාහ. මහබෝසතාණන් වහන්සේ අමරා දේවීන් මන් නැති බව දැන "සොඳුර, මෙසේ එව"යි වදාළ සේක. ඔයිත් දෙවිටක් නොකැඳවන තුරු එක බසින් ම සමීපයට අවුය. මහබෝසතාණන් වහන්සේ නුවරින් එන සේක් ම මසු දහසක් හා එක් සීන් කඩක් බුලත් පයියෙහි ලා වැඩි සේක. උන වහන්සේ ඒ කඩ මෑත් කොට අමරා දේවීන් අත තබා "සොඳුර තොපගේ යෙහෙළියන් සමඟ ගොසින් නා පියා මේ කඩ ඇඳගෙන එව"යි වදාළ සේක. ඔයිත් වදාළ ලෙසැ මැ කළ හ.


පණ්ඩිතයන් වහන්සේ සන්නාලිකමින් උපයා ගත් මසුරන්ද නුවර සිට ගෙනා මසුරන්ද යන මේ සියල්ල අමරා දේවීන්ගේ මවුපිය දෙදෙනාට දී ලා දෙමහල්ලනට "නුඹ වහන්සේ රක්‍ෂාවට නොසිතුව මැනැව"යි අස්වසා අමරා දේවීන් හැරගෙන නුවරට ගොස්. තවත් විමසන පිණිස දොරටුපාලයාගේ ගෙයි ඉඳුවා දොරටු පාලයාගේ අඹුවට සරූප කියාලා තමන් වහන්සේ ගෙට ගොස් පිරිමින් දෙදෙනකු කැඳවා "අසවල් ගෙයි ගෑනියකු රඳවා ආමි. මසුදහසක් ඇරගෙන ගොස් ඈ විමසව"යි මසුදහස දී යැවූ සේක. උයිත් බෝධිසත්ත්වයන් වදාළ ලෙස ම ගොස් අමරා දේවීන්ට මසු දහස දික් කොට විචාළහ. අමරා දේවී මේ මසුදහස මාගේ "සමුණන්ගේ පා පිසුන් නො අගනේ" යයි කියා උන් කී බස් නොගිවිස්සාහ. ඒ පුරුෂයෝ ගොස් පණ්ඩිතයන් වහන්සේට දැන්වූහ. ඉක්බිත්තෙන් බෝධිසත්ත්වයන් වහන්සේ ඒ පුරුෂයන් නැවත තුන් වර දක්වා යවා නොගිවිස්නා හෙයින් සතර වන වාරයෙහි "එසේ වී නම් ඈ අත අල්වා ඇදගෙන එව"යි වදාළ සේක. ඒ පුරුෂයෝ ගොස් නොකැමැති පරිද්දෙන් ඇදගෙන ගියහ.


අමරා දේවී මහබෝසතාණන් වහන්සේ සැපතෙහි සිටිය හෙයින් හැඳිනගත නොහී මූණ බලා සිනාසුණහ. හඬාත් පීහ. පණ්ඩිතයන් වහන්සේ අමරා දේවී සිනාසුණු කාරණයත් හැඬූ කාරණයත් විචාළ සේක. ඉක්බිති බෝධිසත්ත්වයන් වහන්සේට අමරා දේවී "ස්වාමීනි නුඹ වහන්සේගේ මූණ බලා සිනා සෙන්නෙම් ඔබ වහන්සේගේ දිව්‍ය සැපතක් හා සමාන වූ සැපත් බලා මේ සම්පත් නොකාරණයෙනුත් ලත් දෙයක් නොවෙයි. පූර්ව ජාතියෙහි පින්කම් කොට ලබන ලද කුශල කර්මයාගේ විපාකය නොසිතිය හැකි නිසායයි සිතා සමාධීන් සිනා සිණිමි. හඬන්නෙම් වනාහි දැන්ම බත්පත ලැබෙයි කියා අනුන් විසින් රක්‍ෂිත ගොපිතව සිටි ස්ත්‍රීන් කරා එළඹ හෙවත් පරදාර කර්ම කොට නරකයට යන්නාහයි සිතා ඔබ වහන්සේ කෙරෙහි දයාවෙන් හැඬීමි" කීහ. බෝධිසත්ත්වයන් වහන්සේ උන් පරීක්‍ෂා කොට පිරිසිදු අදහස් ඇති බව දැන "යව මුන් මෙසේ මා නොගිවිස්නෙන් උන් ගෙනා තෙන ම ලා පියව"යි කියා අමරා දේවීන් යවා නැවත තමන් වහන්සේ සන්නාලි වෙස් ගෙන එදා රෑ උන් දෑගේ ළඟට ගොස් සැතපී, දෙවන දවස් උදෑසනක් සේ රජගෙට ගොස් උදුම්බරා දේවීයනට සුදුසු කුමාරිකාවක ගෙනා බව වදාළ සේක. බිසවු රජ්ජුරුවනට එපවත් කියා අමරා දේවීන් පාමුදු පාඩගම් පාසළඹ පාදජාලා ශිරෝ ජාලා කර්ණාභරණ ග්‍රීවාලංකාර කෛපෝට්ටු සිරිකන් ආදී වූ සියලු ස්ත්‍රී ආභරණයෙන් සරහා මහත් හි‍ඳෝලුවෙකැ හිඳුවා ලා ඉක්බිති රජ්ජුරුවන්ගේ විධානයෙන් ඒ සා මහත් සත් යොදුන් මියුලු නුවර නොයෙක් පරිද්දෙන් සරහා රන් ධජ නඟා විසිතුරු කොට සරහා නිමවන ලද උතුම් වූ මංගල රථයෙක්හි වඩා රථයෙහි දේවීන් උන් හොත් කැළි බවත් එළැලි බවත් මිටි බවත් රූ ඇති බවත් නැති බවත් නුවර වාසීනට නොපෙනෙන්නේ වේදැ'යි සිතා දේවීන්ගේ රූප විලාසය නුවරවාසී සියල්ලන් ම සුව සේ දක්නා පරිද්දෙන් රථයෙහි සිටුවා දේවතාවන් හා සමඟ වීථියෙහි නමා ගත් තරුණ දිව්‍ය ස්ත්‍රියක පරිද්දෙන් මහ පෙරහරින් මහබෝසතාණන්ගේ ගෙට ගෙන වුත් සරණ පවා දී මඟුල් කළහ.


රජ්ජුරුවෝ බෝධිසත්ත්වයන් වහන්සේගේ සරණ මඟුලෙහි එකි එකී වස්තුවෙන් දහසක් මිල වටනා පඬුරු යැවූහ. රජ්ජුරුවෝ ආදි කොට වාසල් බලන්නවුන් ඇතුළු ව ගොපල්ලන් දක්වාත් මියලු නුවරවාසින්ගෙන් පඬුරෙක් නොගෙන ගිය එකද සත්ත්වයෙක් නැති. අමරා දේවීද රජ්ජුරුවන් යැවූ පඬුරු සම සේ දෙකක් කොට බෙදා එක් බාගයක් ගෙට ගෙන අනික් භාගය නැවත රජ්ජුරුවන්ට යැවූදෑය. මෙම ක්‍රමයෙන් උදුම්බරා දේවීන් ඇතුළු වූ නුවරවාසීන් විසින් එවන ලද සියලු පඬුරු සරියේ දෙකක් කොට බෙදා බාගයක් ගෙන නැවත බාගයක් උන් උනට යවා ඒසා මියුලු නුවරවාසීන් හැම දෙන ම එක දවසින් එක ඇසිල්ලෙන් ම සිත් ගත්හ. එවක් පටන් තුන් ලොවට ඇසක් වැනි මාගේ බෝධිසත්ත්වයන් වහන්සේ අමරා දේවීන් හා සමඟි වාසයෙන් වාසය කරන සේක්, රජ්ජුරුවනට අර්ථයෙන් හා ධර්මයෙන් අනුශාසනා කළ සේකැ.


14. මහෞෂධයන් පලා යෑම[සංස්කරණය]

ඉක්බිති එක්දවසක් සේනක පණ්ඩිතයෝ පුක්කුසාදි අනෙක් තුන් දෙනා තමන් සමීපයට ආවුන් බණවා "පින්වත්නි අපි ගොවියා පුතු මහෞෂධ පණ්ඩිතයාට නොසෑහෙම්හ. දැන් වනාහි ගොවියා පුතු විසින් තමන්ට වඩා වියත් අඹුවක් ගෙනෙන ලද, කිසිවක් කියා රජ්ජුරුවන් කෙරේ ඌ බිඳුවා පුව මැනැව"යි කීහ. "ආචාරින් වහන්ස, අපි කුමක් කරමෝද නුඹ වහන්සේ ම ඊට සුදුසු කාරණා සිතුව මැනැව"යි කීහ. "වන්නාට තොපි නොසිතව, උපායෙක් ඇත, මම රජ්ජුරුවන්ගේ චූඩා මාණික්‍යය සොරා ගෙනෙමි. පුක්කුසයෙනි, තෙපි රන් මාලාව ගෙනෙව, කාවින්දයෙනි, තෙපි රජ්ජුරුවන් පොරෝනා පලස ගෙනෙව, දේවින්දයෙනි, තෙපි රන් මිරිවැඩි සඟළ ගෙනෙව"යි කීහ. මෙසේ ඔහු සතර දෙන ම වඤ්චාවෙන් යට කී වස්තු සතර රජගෙන් පිටත් කොට ගත්හ.

ඉක්බිත්තෙන් බොහෝ දෙනා නොදන්වා ගොවියා පුතු ගෙට යවම්හ'යි කියා, සේනකයෝ පළමු කොට තමන් ගත් මැණික මොර කළයක බහා ලා කෙල්ලක අත තබා "මොර කළය අනික් කෙනකුනට ගනිතොත් නොදී, මහෞෂධ පණ්ඩිතයන්ගේ ගෙයි ඉදින් ගනිත් නම් මිල නොගෙන කළයෙන් ම දීපියා එව"යි කියාලා යැවූහ. ඒ කෙලි පණ්ඩිතයන් වහන්සේ ගේ ගෙදොරට ගොස් "මොර ගනුව"යි කිය කියා දුරටත් නොගොස් ඊම දැවටෙන්නීය. අමරා දේවී දොර සිටි තැනැත්තෝ ඒ කෙල්ලගේ ක්‍රියාව දැක "මෝ අනික් තැනකට නොගොස් මෙතැන දැවටෙන්නීය. එක් කාරණයක් වුව මැනැවැ"යි සිතා තමන් ගෙයි කෙල්ලනට ඉඟි කොට ඔබ්බට යවා තුමූ ම "අම්ම මෙසේ එව මෝරු ගනුම්හ"යි ඒ කෙල්ල බණවා ඈ තමන් සමීපයට ආ කල්හි තමන්ගේ කෙල්ලන් අඬ ගා ආදීම කියා ලූ හෙයින් නොඇසුවා සේ තමන් සමීපයට නොඑන්නා, "යව අපගේ කෙල්ලන් මෙතැනට බණවා ලව"යි ඈම යවා කළයෙහි අත ලා ඇතුළෙහි තුබූ මැණික දැක ළඟට ආ කෙල්ලට "මෑණියෙනි තෙපි කවුරුන් සමීපයෙහි සිට අවුදැ"යි විචාරා "සේනක පණ්ඩිතයන් වහන්සේගේ කෙල්ලක්මි"යි කී කල්හි ඉක්බිති ඇගේද මවගේද නම් විචාරා "එසේ වී නම් මොර දෙව"යි කියා "අම්ම නුඹ දෑ මොර ගන්නා කල මට මිලයෙන් කාරිය කිම්ද කළයෙන් ම ගත මැනැව"යි කී කල්හි එසේ වී නම් යව'යි කියා ඈ යවා "අසවල් මස අසවල් දවස සේනකාචාරීහු තුමූ තමන්ගේ අසවල් කෙල්ල, දුව, අසවල් තැනැත්තිය අත රජ්ජුරුවන්ගේ චූඩාමාණික්‍යය පණයම් පිණිස එවූහ'යි පතෙකැ ලියා ගත්හ.


පුක්කුස පණ්ඩිතයෝ රන් මාලාව සමන් මල් කරඬුවෙක ලාලා සේනක ආචාරීන් යැවූ ලෙස ම යැවූහ. කාවින්ද පණ්ඩිතයෝ පලස පලා පැසෙක ලාලා යැවූහ. දේවින්ද පණ්ඩිතයෝ රන් මිරිවැඩි සඟළ පිදුරු කැරැල්ලක් ඇතුළේ බැඳ යවූහ. අමරාදේවී උන්හැම දෙනා යවූ දෙය හැරගෙන පතෙක වක දවස හා ගියවුන්ගේ නම් ලියා 'මහබෝසතාණන් වහන්සේට සරුප කියාලා තබා ලූහ. ඒ සේනකාදී සතර දෙන ම වස්තු සතර උපායෙන් බෝසතාණන්ගේ ගෙටයවා රජගෙට ගොස් "කිමෙක්ද දේවයන් වහන්සෑ ඔබ වහන්සේගේ ආභරණය වූ චූඩා මාණික්‍යය නොපළඳනා සේක්දැ"යි විචාළහ. "පළඳිමි ගෙනෙව"යි කීහ. මැණික භාණ්ඩාගාරයේ සොයා නුදුටුහ. සෙස්සත් එසේ ම විය.


ඉක්බිත්තෙන් සේනකාදී සතර දෙන ම "දේවයන් වහන්ස, ඔබ ආභරණ මහෞෂධ පණ්ඩිතයන්ගේ ගෙහිය. තුමූ එකී වස්තු පළඳින්නාහ. දේවයන් වහන්ස, ගොවියා පුත් නුඹ වහන්සේට සතුරුය”යි රජ්ජුරුවන් කෙරේ බෝසතාණන් බිඳ වූහ. ඉක්බිත්තෙන් එපවත් බෝසතාණන් වහන්සේට වැඩ පසස්නා මිනිස්සු ගොස් කීහ. පණ්ඩිතයන් වහන්සේ "රජ්ජුරුවන් දැක ඒ ස්වරූප දනිමි"යි රාජ සේවයට වැඩි සේක. රජ්ජුරුවෝත් සේනකාදි දුර්ජනයන්ගේ බස් අසා මහා බෝසතාණන් වහන්සේට කිපී "නොදකිමි මෙහි අවුත් කුමක් කෙරේදැ"යි තමන් දැක්ක නුදුන්හ. පණ්ඩිතයන් වහන්සේ රජ්ජුරුවන් කිපි බව දැන "පලායන්නට සුදුසු කලැ"යි අමරා දේවීන්ට සලකුණු දී අප්‍රසිද්ධ වේශයෙන් නුවරින් නික්ම දකුණු යවමැදුම් ගමට ගොස් කුඹල් ගෙයක කුඹල්කම් කොට වසන සේක.


නුවර මුළුල්ලෙහිත් "මහෞෂධ පණ්ඩිතයෝ පලා ගියහ"යි ඒක කෝලාහල ව ගියේය. සේනකාදී සතර දෙන ම පණ්ඩිතයන් වහන්සේ පලා ගිය බව දැන කනස්සලු නොවන්නාහු "කිමෙක්ද අපිත් පණ්ඩිතවරු නොවමෝද?"යි ඔවුනොවුන් නොදන්වා ම අමරා දේවියනට පත්යැවූහ. අමරා දේවී සේනකාදී සතර දෙන ම යවූ පත් අතට ගෙන "අසවල් වේලාවට එන්නේය"යි කියායවා වෙන වෙන ම උන් තමන් තමනට අවධි කළ වේලාවට ආ කල්හි අල්ලාගෙන නොසැලෙන අන්දමට බන්දවා ඉසකේ කප්පවා පරණ නාන ගෙයක හෙළවා බොහෝ දුකට පමුණුවා පැදුරු මලු හා පැස් මාලුවල හොවා වසා බන්දවා රජ්ජුරුවනට කියා යවා ඒ පණ්ඩිතවරුන් සතර දෙනා හා සමඟ වස්තු සතරත් ගෙන්වා ගෙන ගොස් රජ්ජුරුවන් වැඳ එකත්පස් ව සිට "දේවයන් වහන්ස, මහෞෂධ පණ්ඩිතයෝ සොර නොවෙති. ඔබ වහන්සේගේ භාණ්ඩාගාර සොරකම් කළෝ මේ සතර දෙනය, මුන් සතර දෙනාගෙන් සේනකයා මැණික් සොරාය. පුක්කුසයා රන් මාල ගත් සොරාය, කාවින්දයා පලස් සොරාය, දේවින්දයා රන් මිරිවැඩි සොරාය, අසවල් මස අසවල් දවස අසවල් කෙල්ලගේ දුව අසවල් තැනැත්තිය අත මොහු සතර දෙන මෙකී වස්තු මට පණයම් පිණිස එවූහ. මේ මා ලියා තුබූ පත් බලා වදාළ මැනැව, ඔබ වහන්සේ සතු මෙකී වස්තු පාවා ගත මැනැව. දේවයන් වහන්සැ"යි රජ්ජුරුවන් වැඳ ගෙට ගියහ. රජ්ජුරුවෝ බෝසතාණන් නැඟී ගිය බැවින් උන් වහන්සේ කෙරේ සැකයෙන්ද අනික් මන්ත්‍රී කෙනකුන් නැති බැවින් සේනකාදී පණ්ඩිතවරුන් සතර දෙනාට කිසිවක් නොකියා "නා පියා තෙපි තොපගේ ගෙදර වලට යව"යි කීහ.



15.ඛජ්ජෝපණ භූරි ප්‍රශ්නය[සංස්කරණය]

ඉක්බිති රජ්ජුරුවන්ගේ දළ පුඬු සේසත අධිගෘහිත දේවතා දූ "මහබෝසතාණන්ගේ කුරවීක නාදයක් හා සමාන වූ කටහඬ විහිදුවා වදාරන්නා වූ මිහිරි ධර්ම දේශනාවෙහි ශබ්ද නොඅසන්නී "කිමෙක් දෝ හෝ"යි පරීක්‍ෂා කොට ඒ කාරණය දැන පණ්ඩිතයන් ගෙන්වන උපායක් කෙරෙමි"යි මධ්‍යම රාත්‍රියෙහි දළ පුඬු සිදුරෙහි සිට අර්ධ ශරීරයක් දක්වා දේවතා ප්‍රශ්නයෙහි:-

භන්ති හත්ථේහි පාදෙහි - මුඛඤ්ච පරිසුම්භති; සවෙරාජා පියො හොති - කං තේන මභිපස්සසි

යනාදී ගාථා සතරකින් දක්වන ලද ප්‍රශ්න සතරක් රජ්ජුරුවන්ගෙන් විචාළීය.

රජ්ජුරුවෝ එහි අර්ථ නොදැන "සේනකාදී පණ්ඩිතවරුන් විචාරමි" එක් දවසකට අවසර ඉල්ලාගෙන දෙවන දවස් "පණ්ඩිතවරු සතර දෙන එත්"වයි කියා යවා පණ්ඩිතවරුන් විසින් "අපි මුඩු හිස් ඇරගෙන වීථියට බස්නට විළි ඇත්තම්හ"යි කී කල්හි පයි සතරක් විද්දවා යවා "තෙල ඉසලා ගෙන එන්නේය"යි කියා යවූහ. ඒ ඉස්පයි ඇති වූයේ එතැන් පටන් කොටල. පණ්ඩිතවරුන් පයි ඉස ලා අවුත් රජ්ජුරුවන් වැඳ පනවන ලද අසුන් මත්තෙහි හුන්හ. ඉක්බිති රජ්ජුරුවෝ "සේනකයෙනි, ඊයේ රෑ මධ්‍යම රාත්‍රී වේලෙහි දළ පුඬු සේසත වසන දෙව් දූ මා පැනයක් විචාළීය. මම එහි අර්ථ නොදන්නෙම් පණ්ඩිතවරුන් විචාරමි, ඒ පැනය මට කියව"යි කියා "භන්ති හත්ථේහි පාදෙහි"හි යනාදි පළමු ගාථාව කීහ. සේනකයෝ ගාථාව අසා "කිං භන්ති කිං භන්ති”යි කියා කටට ආ දෙයක් දොඩා කිසිවක් දැනගත නුහුණුවහ. සෙස්සෝත් කිසිවක් කියා ගත නොහී කරබා ගත්හ.

රජ්ජුරුවෝ දොම්නස් ව දෙවන දවස් රෑ දේවතා දූ විසින් පැන සතරෙහි අර්ථ දුටිදැ'යි විචාරණ ලද්දාහු "මා විසින් පණ්ඩිතවරුන් සතර දෙනා විචාරන ලදහ: උයිත් එහි අර්ථ නොදත්හ"යි කීහ. දේවතා දූ "මූ හැම දෙන ම කුමක් දනිද්ද? මහෞෂධ පණ්ඩිතයන් විනා අනික් මේ පැනය කියන්නට සමර්ථ කෙනෙක් නැත. ඉදින් මහෞෂධ පණ්ඩිතයන් ගෙන්වා මේ පැනය උන් ලවා නොකියවුහු නම් මේ දිලියෙන යකුලෙන් තොපගේ හිස සත් පළුවක් කොට බිඳ පියමි"යි රජ්ජුරුවන් භය ගන්වා "රජ්ජුරුවෙනි, ගින්නෙන් ප්‍රයෝජනයක් ඇති කල්හි කනමැඳිරියන් පිඹින්ටද, කිරෙන් ප්‍රයෝජනයක් ඇති කල්හි අඟ අල්වාගෙන දෝනටද සුදුසු නොවන්නේය" කියා ඛජ්ජෝපණ ප්‍රශ්නයෙහි මේ මතු කියන කාරණා කීහ.


"ගිනි නැති ව ගිනි සොයා ඇවිදිනා පුරුෂයෙක් දිළියෙන්නා වූ කදෝපැනියෙක් ගිනි පුපුරකැයි සිතා ඒ කදෝපැනියා මත්තෙහි ගොම වැරටිහා තණ රොඩු පොඩි පොඩි කොට ලාලා කනමැඳිරියා ගිනි පුපුරකැයියන විපරිත සලකුණෙන් දෙදණ බිම ඇන ඇස් පිපිරයන තුරු පිඹත් ගිනිදල්වා ගත නොහේද, යමෙක් කිරි දෝමියි ලොටතන තබා අඟ අල්ලාගෙන දවසක් මුළුල්ලෙහි ඇදත් කිරි පිහිරකුත් දොවාගත නොහේද, එපරිද්දෙන් ම නුවණ නැති හෙයින් තිරිසනුන් හා සමාන වූ තැනැත්තේ උපාය වත් කමක් නැති හෙයින් තමනට අභිවෘද්ධියක් නොලබන්නේය. පස මිතුරනට නිග්‍රහ කිරීමෙන්ද සත්ත්වයෝ නොයෙක් උපායෙන් වැඩට පැමිණෙන්නාහ. සේනාවට නායක අමාත්‍යයන්ගේ ලැබීමෙන්ද වැඩ පසස්නා මිත්‍රයන්ගේ උපදේශයෙන්ද රජ්ජුරුවෝත් රාජ්‍යයට පැමිණ වාසය කරන්නාහ. තොපගේ නුවණැති අමාත්‍යයන් ගෙන් පලවාපියා නොවසන්නාහ. ගිනි තබා කදෝපැනියන් පිඹින්නා සේද ලොට තන තබා අඟ ගෙන කිරි දෝනා සේද, තරාදිය තබාලා අතින් කිරන සේද, මේ නිසා ගැටුමුසු පැන මහෞෂධ පණ්ඩිතයන් නොවවිචාරා සේනකාදී වූ පණ්ඩිතවරුන් විචාරන්නට ඒ කොල්ලෝ කුමක් දනිද්ද? උන් ම කදෝපැනියන් හා සම වූය. ඉඳින් තොපගේ පණ රක්නා කැමැත්තහු නම් ගල් මුඳුනෙක දිලිසෙන මහා ගිනිකඳ සේ නුවණින් දිලියෙන්නා වූ මහෞෂධ පණ්ඩිතයන් ගෙන්වා විචාරා මට පැන සතරෙහි අර්ථ කියා ලව, එසේ නොකෙළෙහි නම් තොපගේ ජීවිතය නැතැ"යි රජ්ජුරුවන් භය ගන්වා සැඟ වී ගියාය.



භූරි ප්‍රශ්නය[සංස්කරණය]

ඉක්බිති රජ්ජුරුවෝ මරණ බියෙන් තැති ගෙන දෙවන දවස අමාත්‍යයන් සතර දෙනකු කැඳවාලා "දරුවෙනි, තෙපි සතර දෙන රථ සතරෙක නැඟී නුවර සතර වාසලින් නික්ම යම් තෙනෙකදී ම පුතණුවන් මහෞෂධ පණ්ඩිතයන් දුටු නම් එතැන දී ම උනට සත්කාර කොට වහා කැඳවාගෙන එව"යි කියායවූහ. උන් සතර දෙනා අතුරෙන් දකුණු වාසලින් නික්මුණු අමාත්‍යයා දකුණු යව මැදුම් ගම මහබෝසතාණන් වහන්සේ මැටි ඇරගෙන කුඹල් ආචාරිනට සක වටා මැටි වැකුණු ඇඟින් ම පිදුරු බිස්සෙක හිඳ මිටි මිටි කොට ගෙන යව සාලේ බත් අනුභව කරන්නවුන් දුටුයේය. කුමක් පිණිස ඒ බඳු දුකෙක් ගෙන කුඹල් කර්මාන්තය කළ සේක්දැයි යතහොත් "මහෞෂධ පණ්ඩිතයෝ, මහා නුවණැත්තෝය. නිසැකයෙන් ම රාජ්‍යය ගන්නාය"යි සැකයක් රජ්ජුරුවෝ කළෝ නම් කුඹල් කර්මාන්ත කොට ජීවත්වනු අසා සැක නොවන්නාහයි සිතා මේ කාරණය පිණිස මේ බඳු දුකක් ගත් සේක, මහබෝසතාණන් වහන්සේ රජ්ජුරුවන්ගේ අමාත්‍යයා දැක තමන් වහන්සේ කැඳවා ආ බැව් දැන "මාගේ සම්පත පෙර පරිද්දෙන් ම වන්නේය. අමරා දේවීන් විසින් ඉදිකරන ලද අනගි රසමසවුළෙන් යුක්ත වූ බත් ම අනුභව කෙරෙමි"යි සිතා, අතින් ගත් බත් පිඬ හෙළා නැඟී සිට, අත කට සෝදා පියා සිටි සේක. ඒ ඇසිල්ලෙහි ම අමාත්‍යයා ළඟට ගියේය. ඒ වැළිත් සේනක පණ්ඩිතයන් ලබ්ධි ගත් එකෙක, එහෙයින් මහබෝසතාණන් වහන්සේට "පණ්ඩිතයෙනි, ඉසුරුමත් තැනැත්තේ උතුමැ'යි යම් බසක් ආචාරී කිවූ නම් ඒ සේනක ආචාරී කී බස සැබෑව, තොපගේ යසස පිරිහුණු කල්හි එබඳු නුවණ තොපට පිටවහල් වන්නට නොපොහොසක් විය. දැන් මැටි වැකුණු ඇඟින් පිදුරු බිස්සෙක හිඳ මේ බඳු බතක් අනුභව කරව, ඉදින් තොපගේ වාදය සැබෑ වී නම් වයසින් පිරිහුණු තොපට තොපගේ නොපිරිහුණු වීර්යයත් ස්මෘති ශක්තියත් පිටි වහල් වුවමනා වේ දැ" යි කීහ.


ඉක්බිනි මහතාණන් වහන්සේ "නුවණ නැත්තව, මම මගේ නුවණ බලයෙන් නැවන ඒ මාගේ පිරිහුණු සම්පත මුහුකුරුවන්නෙම මේ සැඟවෙන මනා කාලය, මේ පිළියමට මනා කාලයයි කල් නොකල් දැන රජ්ජුරුවන් කිපුණු කල සැඟ වී ඇවිද සතුටු කල්හි එළි බැස පෙර පරිද්දෙන් විඳි සම්පතෙහි පිහිටන පිණිස කුඹල් කර්මාන්ත කොට මෙ බඳු රස නැතියව සාලේ බත් අනුභව කරන්නෙම් වීර්ය කරණයට කල් දැන, මාගේ නුවණින් පුරාතන සම්පතෙහි පිහිටා, සැට යොදුන් රග්ගල් තලා මැදුනෙහි විග්‍රමණය කරන සිංහරාජයක්හු මෙන් අසම්භීන ව හැසිරෙන්නෙම් දකුව"යි වදාළ සේක, නැවත අමාත්‍යයා "රජ්ජුරුවන්ගේ සේසත වසන දෙව්දු රජ්ජුරුවන් පැන සතරක් විචාළීය. රජ්ජුරුවෝ සේනකාදී පණ්ඩිතවරුන් සතර දෙනා විචාළහ. එක් කෙනකුත් ඒ පැනය කියාගත නුහුණුවන. එසේ හෙයින් රජ්ජුරුවෝ තොප සමීපයට එවූහ"යි කීහ. එසේ කල "නුවණෙහි බල දුටුයෙහි වේද, එසේ විට ඉසුරු සැපත් පිටි වහල් නොවන්නේය"යි මහතාණන් වහන්සේ නුවණෙහි ආනුභාව වර්ණනා කළ සේක.


අමාත්‍යයා "පණ්ඩිතයන් දුටුතැන දී ම නහවා පියා හන්දවා ලා ගෙන එව"යි කියා රජ්ජුරුවන් දුන් පිළිසඟළත් මසුරන් දහසත් මහබෝසතාණන් වහන්සේ අත තුබුයේය. කුඹලාණෝත් "මා මෙහෙ ගත්තේ මහෞෂධ පණ්ඩිතයන් අතිනැ"යි සිතා බා ගියහ. පණ්ඩිතයන් වහන්සේ "නොබව ආචාරිනී, තෙපි මට බොහෝ උපකාරී ව සිටියහුය”යි අස්වසා කුඹලානට මසුදහස දී මැටි වැකුණු ඇඟින් ම රථයෙහි හිඳ, සිත් සේ වනයෙහි ඇවිද වසන තෙනට ගමන් ගත් හස්ති රාජයකු පරිද්දෙන් නුවරට වැඩි සේක. ඇමැතියා රජ්ජුරුවනට බෝසතාණන් වහන්සේ වැඩි නියාව කීය. "පුත පණ්ඩිතයෝ තොප විසින් කොයි දී දක්නා ලදහුදැ"යි කී කල්හි "දේවයන් වහන්ස, දකුණු යව මැදුම් ගම කුඹල්කම් කොට ජීවත් වෙති. ඔබ වහන්සේ කැන්දා එවූහයි අසමින් නොනා ම මැටි වැකුණු ඇඟින් අවුය"යි දැන්වීය. රජ්ජුරුවෝ ඉදින් මට පසමිතුරු වූ නම් සම්පතෙහි පිහිටා සේනාව ඇති කොට ගෙන ඇවිදිති, මූ මට සතුරු නොවෙති" සිතා මපුතණුවන් තමන්ගේ ගෙට ගොස් ඉස් සෝදා නහා සර්වාලංකාරයෙන් සැරහී මා දුන් පෙරහරින් දක්නට එන්නට කියව"යි කීහ.


ඒ බස් අසා පණ්ඩිතයන් වහන්සේ රජ්ජුරුවන් කී ලෙස ම සැරහී සිවුරඟ පිරිවරා විජයොත් මහපායෙන් සූදම් දෙව් සභාවට වඩනා සක්දෙව් රජාණන් පරිද්දෙන් අවුත් රජ්ජුරුවන් විසින් "එන්නේය"යි කී කල්හි රජගෙට වැද රජ්ජුරුවන් වැඳ එකත්පස් ව සිටි සේක. රජ්ජුරුවෝ බෝධිසත්ත්වයන් වහන්සේ හා සමඟ සුව දුක් දොඩා පණ්ඩිතයන් වහන්සේ විමසන්නාහු "සමහර කෙනෙක් ඉසුරු සම්පතෙහි පිහිටා සිට 'මෙතෙක් සැපත් අපට ඇතැ'යි සම්පත් නිසා පණිවා ආදි පව් නොකරන්නාහ. සමහර කෙනෙක් 'තමනට සැපත් අන්නට වැරැද්දෝය'යි අනුන් බණන පිණිස පව් නොකරන්නාහ. සමහර කෙනෙක් කිසිවක් කරන්නට නොපොහොසත් හෙයින් පව් නොකරන්නාහ. සමහර කෙනෙක් නුවණ නැති ව අමන්ත්‍රි හෙයින් පව් නොකරන්නාහ. තෙපි බොහෝ වූ අර්ථ චින්තනයෙහි දක්‍ෂ ව සිතුව හොත් දස දහසක් යොදුන් දඹදිව රජ්ජුරුවන් මරා රාජ්‍යය ගන්නට පොහොසතු ව; කුමක් නිසා මට නොවැරැද්දූද? මරා පියා රාජ්‍යය නොගතුදැ"යි කීහ.

එබස් අසා බෝසතාණන් වහන්සේ "නුවණැත්තෝ තමනට සුව පිණිස පව්කම්හි නොහැසිරෙන්නාහ. යසසින් පිරිහී කායික චෛතසික දුකින් පෙළෙන ලදුවත් එක් කෙනකුන් කෙරෙහි සෙනෙහසයෙන් වේවයි උරණින් වේවයි පැවත එන සුචරිත ධර්මය නොහරනාහ”යි වදාළ සේක. නැවතත් රජ්ජුරුවෝ බෝධිසත්ත්වයන් විමසන පිණිස රාජ මායමක් කියන්නෝ. "මොළොක් වූ හෝ දරුණු වූ හෝ යම්කිසි කාරණයකින් සත්ත්ව තෙමේ බැගෑවට පැමිණ සම්පත පිහිටා පසුව ආචාර ධර්මයෙහි හැසිරෙන්නේය"යි කීහ. ඉක්බිති බෝධිසත්ත්වයන් වහන්සේ එසේ කී රජ්ජුරුවනට ගසක් උපමා කොට දක්වන සේක්, "යම් ගසක් මුල සෙවණ සැතපී යමෙක් හුන්නේ වී නම් වේවයි වැද හොත්තේ හෝ සිටියේ හෝ වී නම් ඒ සැතපුණු ගස අත්තක් වේව'යි සත්පුරුෂ තැනැත්තේ නොබිඳිනේය. ඉඳින් බින්දේ වී නම් පවිටු මිත්‍ර ද්‍රෝහීය"යි වදාරා "දේවයන් වහන්ස, සැතපුණු රුක කොළ අත්තක් පමණ කඩා පී මාතක්‍රයෙකින් මිත්‍රද්‍රෝහී වන කල, මපියාණන් වහන්සේටද බොහෝ සැපත් දී මාත් මේ ඉසුරු සම්පතෙහි පිහිටුවා රකිමින් සිටි ඔබ වහන්සේ වරදනා මම කෙසේ නම් මිත්‍රද්‍රෝහී නොවෙම්දැ"යි සියලු සැටියේ ම තමන් වහන්සේ මිත්‍රද්‍රෝහී නොවන බව වදාරා රජ්ජුරුවන්ගේ සිත්හසරට යෝජනා කරන සේක් "යම් පුරුෂයක්හු සමීපයෙන් යමෙක් තෙමේ ස්වල්ප වූ කාරණයකුදු විචාරා දත්තේද යම් නුවණැති කෙනෙක් තුමූ යමක් හට සිත උපන් සැකයකුත් දුරු කෙරෙද්ද ඌ තුමූ සැක විචාරා ගත් තැනැත්තවුට පිහිට ව සිටීමෙන් පිළිසරණ වන්නාහ. සැක දුරු කිරීමෙන් ආචාර්ය තනතුරෙහි සිටි නුවණැත්තවුන් සත්පුරුෂ තෙනැත්තේ විශ්වාසය නොකරනේය"යි වදාරා දැන් රජ්ජුරුවනට අවවාද කරන සේක් "රජ්ජුරුවන් වහන්ස, පස්කම් සුව අනුභව කරන ගෘහස්ථ තෙමේ කුසීත වී නම් යහපත් නොවන්නේය. තමා විඳිනා ඒ පස්කම් සැප තරකොට ගත නොහෙන්නේය. කායාදී සන්හිඳීමක් නැති මහණද ඒ මහණ ධර්මය පුරාගත නොහෙන්නේය, එසේ හෙයින් යහපත් නොවෙයි. එසේ ම යහපන අයහපත නොවිමසා සංග්‍රහ නිග්‍රහ කරන්නා වූ රජද යහපත් නොවෙයි, යම් නුවණැත්තෙක් තෙමේ කෝප වී නම් අමායෙහි විෂ බින්දුවක් හුණුවා සේ ඔහුගේ සන්තානයෙහි පිහිටි සියලු ගුණ ම නස්නා හෙයින් උතුම් නොවන්නේය. දේවයන් වහන්ස, රජ තෙමේ පරීක්ෂාකාරී ව රාජ්‍යය කරන්නේය. පරීක්‍ෂිතව දශරාජ ධර්මයෙන් රාජ්‍යය කරන්නා වූ රජ්ජුරුවෝ යසස් පරිවාර ගුණ කීර්ති ඒකාන්තයෙන් වඩන්නාහුය"යි වදාළ සේක.


16. දේවතා ප්‍රශ්නය[සංස්කරණය]

මෙසේ වදාළ කල්හි රජ්ජුරුවෝ මහබෝසතාණන් වහන්සේ නඟන ලද දළ පුඬු සේසත් ඇති රජ අස්නෙහි වඩා හිඳුවා තුමු මිටි අස්නෙහි හිඳ "පණ්ඩිතයෙනි, සේසතෙහි වසන දෙව් දූ මා පැන සතරක් විචාළී යැ. මම ඒ පැන දැනගත නුහුණුයෙමි. මේ සේනකාදී පණ්ඩිතවරුන් සතර දෙනාට කී තැන් උන්ටත් නොවැටහිණ. පුත, ඒ පැන මට කියව"යි ආරාධනා කළ සේක


එදවස් මහබෝසතාණන් වහන්සේ සැට යොදුන් රග්ගල් මුඳුනෙහි සිංහ නාද කරන අභීත කේසර සිංහයකු සේ "දේවයිනි, සේසතෙහි වසන දේවතා වේවයි චාතුර්මහාරාජිකාදී වූ සදිව්‍ය ලෝකයෙහි දේවතාවෝ වෙත් වයි විසින් සොළොස් බඹ තෙලෙහි බඹහු වෙත්වයි මේ කිසි කෙනකුන් විචාරණ ලද්දා වූ පැන තියුණු මුවහක් ඇති කඩුවකින් ඇඹුල මල් මිටියක් කපා වගුරු වන බල ඇති පිරිමියක්හු මෙන් මාගේ නිර්මල වූ නුවණ නමැති කඩුවෙන් පිරිසිඳ කියමි, කියව දේවයිනි. දෙව් දූ විචාළ පැනය"යි සර්වඥ ප්‍රවාරණයක් පරිද්දෙන් වදාළ සේක. ඒ දවස් මහබෝසතාණෝ සව්නේ නොදත්තෝ නම් කෙසේද? මතු ලොවුතුරා බුදු ව, සියලු සතුන් සිත සැක දුරු කොට ධර්ම සිංහනාද කිරීමට මෙම දෘෂ්ටාන්ත නොවේද? වැලි කෙළියෙහිද එතෙක් පැන විසඳූ ඒ මහතාණන් වහන්සේ ම දැන් එක දේවතාවකු විචාළ පැනයක් විසඳුම නම් කවර අරුමයක්ද?


(1) මාතෘ ප්‍රශ්නය[සංස්කරණය]

ඉක්බිති රජ්ජුරුවෝ දේවතා දුව විචාළ ලෙස ම කියන්නාහු "භන්ති භත්තෙහි පාදෙහි"යනාදින් දක්වන ලද පළමු පැනය කීහ.

භන්ති භත්ථේහි පාදෙහි - මුඛඤ්ච පරිසුම්භති; සවෙරාජා පියො හොති - කං තේන මභිපස්සසි


මහබෝසතාණන් වහන්සේට ගාථාව අසමින් ම ආකාශයේ නඟා ලූ පුන් සඳ මඬලක් මෙන් අර්ථය අවබෝධ විය. ඉක්බිති බෝධිසත්ත්වයන් වහන්සේ "අසව දේවයෙනි" වදාරා "යම් වේලෙක්හි මෑණියන්ගේ ඇකයෙහි හොත්තා වූ ළදරු කුමාරයා කිරි බී බඩ පුරාගෙන සතුටු ව මෑණියන් සමඟ කෙළනේ තමාගේ ළහෝ පලු පත් සේ මොළකැටි අතින් මෑණියන් මරන්නේද ඉසකේ ඇද කඩන්නේද මිටින් මෑණියන්ගේ මූණ අන්නේ ද, එවේලෙහි වගුළ සඳ රැසින් ඔද වැඩි කිරි මුහුදක් සේ ස්නේහයෙන් ඔද වැඩියා වූ සිත් ඇති මෑණියෝ පුතණුවනට "සෙරගේ පුත මා කුමට මරන්නේද"යි යනාදීන් ස්නේහ වශයෙන් කියා ස්නේහය ධරා ගන්නට අසමර්ථ ව දරුවන් වැළඳ ගෙන ළෙහි හොවා සිප ගනිති. මෙසේ ඔරැහිඳ තමන් මරා කෙළනා වේලෙහි මෑණියනට දරුවෝ ආදී ඇති ප්‍රේමයට වඩාලා ම ප්‍රිය වන්නාහ, පියාණනටත් එසේ ම ප්‍රිය වෙති" මෙසේ නභෝ මධ්‍යයෙහි සූර්ය මණ්ඩලය ඔසවා පාන්නක්හු මෙන් ප්‍රශ්නය පහළ කොට වදාළ සේක.

ඒ ප්‍රශ්නය විසර්ජනය අසා දේවතා දූ දළ පුඬු සේසත් විවරයෙන් මෑත් ව අර්ධ ශරීරයක් දක්වා "ප්‍රශ්නය වදාළ නියාව ඉතා යහපතැ"යි මිහිරි කටහඬින් ශබ්ද පවත්වා සත්රුවන් කරඬුවෙක දිව මල් දිව සුවඳින් පුරා මහබෝසතාණන් වහන්සේට පූජා කොට සැඟවී ගියාය.


(2) බාල පරායන ප්‍රශ්නය[සංස්කරණය]

රජ්ජුරුවෝද මහබෝසතාණන් වහන්සේට ගඳින් මලින් පූජා කොට දෙවන පැනයට ආරාධනා කොට "කියව දේවයෙනි, වදාළ කල්හි "අක්කොසතියතා කාමං"යනාදි ගාථාවෙන් දෙවන පැනය කීය.

"අක්කෝසති යථාකාමං - ආගමඤ්චස්ස න ඉචඡති, 'සචේ රාජ පියෝ හෝති - කං තේන මහිපස්සසි"

ඉක්බිති රජ්ජුරුවනට බෝසතාණන් වහන්සේ "රජ්ජුරුවෙනි, කකුල් දඩ ගොසින් කී දේ කට ලන්නට සමර්ථ සත්හැවිරිදි පුතණුවන් විසින් "ඉඳින් මට මේ කැවුම් දුන්නේ වී නම් යෙමි” කියන්නා "එසේද පුතණ්ඩ"යි උන් කැමැති කැවුම් ඉදිකොට දුන් කල්හි ඒ කැවුම් කාලා "තෙපි ගෙයි සිහිල් සෙවණේ හිඳුව, මම තොපට පිටත ඇවිද මෙහෙවර කෙරෙම් මැ"යි කියා හස්ත විකාර මුඛ විකාරාදි නොයෙක් උසුළු පැපෑ කී මෙහෙවරට නොගොසින් සිටිනා පුතණුවනට මෑණියෝ කිපී මරන්නට දණ්ඩක් හැරගෙන මා "සන්තක දෙය කාලා කුඹුරේ කුරුල්ලන් පමණ පලවා පියන්නටත් නොහෙයිදැ"යි භය ගැන්වූ කල වේගයෙන් දිව ගත් පුතණුවන් ලුහුබැඳ අල්ලා ගන්නට අසමර්ථ ව "සෝනට යේවයි බිල්ලට යේවයි සොරු තා කඩ කඩ කොට කපා පියත්ව"යි යනාදීන් කියා කැමැති පරිද්දෙන් කට හෙළන පමණක් හැවිලි හවන්නාහු යමෙක් මුඛයෙන් බෙණේ නම් ඉන් සිඟිත්තකුත් දරුවනට වන්නා නොකැමැත්තෝය.


ඒ කුමාරයා දවස මුළුල්ලෙහි කොල්ලන් හා එක් ව කෙළ පියා සවස ගෙට වදනට නොපොහොසත් වූයේ නෑයන්ගේ ගෙට යන්නේය. මෑණියෝද "දරුවො දැන් එත් දෝහෝ, දැන් එත් දෝහෝ"යි පෙරමඟ බල බලා හිඳ සවස් වන තුරු නොඑන්නා දැක "මා උරණ හෙයින් මගට එන්නට භය ඇති ව නොඑති"යි සිතා ශෝකයෙන් පුරාගෙන කඳුළු පිරුණු මුහුණින් යුක්ත ව නෑයන්ගේ ගෙවල්හි බලන්නාහු පුතණුවන් දැක වඩාගෙන සිප සනහා පියා දෑතින් තර කොට අල්වාගෙන, "මා කී බසුත් සිත තබත්දැ"යි ආදී ඇති ප්‍රේමයටත් වඩා ලා ප්‍රේම උපදවන්නාහ. මෙසේ දේවයෙනි, දරුවෝ මෑණියනට කිසි කලෙකටත් වඩා ලා ම ප්‍රිය වන්නාහ"යි වදාරා දෙවන පැනය විසඳා වදාළ සේක. දේවතා දූ පෙර පරිද්දෙන් ම සාධු කාර දී පුජා කළා යැ.


(3) අඹු සැමි ප්‍රශ්නය[සංස්කරණය]

රජ්ජුරුවෝද පූජා කොට තුන් වන පැනයට ආරාධනා කොට "කියව දේවයිනි" වදාළ කල්හි "අබ්භක්ඛාති අභූතෙන" යනාදී ගාථාවෙන් තුන් වන පැනය කීහ.

"අබ්භක්ඛාති අභූතේන - අලිකෙන මහිසාරයේ, ස චේ රාජ පියෝ හෝති - කං තේන මහිපස්සසි"


ඉක්බිති මහබෝසතාණන් වහන්සේ "දේවයෙනි යම් වේලක අඹු සැමි දෙමහල්ලෝ රහසිගත ව ලෝකාස්වාද රතියෙහි කෙළනාහු ඔවුනොවුනට "තොප මා කෙරෙහි මඳකුත් ප්‍රේමයක් නැත. තොපගේ සිත බැහැරය"යි මෙසේ ඔවුනොවුනට නැත්තක් කියද්ද බොරුවෙන් චෝදනා කෙරෙද්ද එවේලෙහි ඔහු දෙමහල්ලෝ ම ඔවුනොවුනට අධිකව ප්‍රිය වන්නාහ"යි තුන් වන පැනය වදාළ සේක. දේවතා දූ පෙර සේ ම පුජා කළාය.


(4) ශ්‍රමණ බ්‍රාහ්මණ ප්‍රශ්නය[සංස්කරණය]

රජ්ජුරුවෝද පුජා කොට අනික් පැනයට ආරාධනා කොට "කියව දේවයෙනි" වදාළ කල්හි "හරං අන්නඤ් ච පානඤ් ච"යනාදි ගාථාවෙන් සතර වන පැනය කීහ.


"හරං අන්නඤ්ච පානඤ්ච - වත්ථ සේනාසනානි ව, අඤ්ඤදත්ථු හරා සන්තා තෙ වේ රාජ පියෝ හෝති - කං තේන මහිපස්සසි"


ඉක්බිත්තෙන් රජ්ජුරුවන්ට "දේවයෙනි, මේ පැනය තෙම ධර්මිෂ්ඨ වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සඳහාය. ඔවුන් තමන්ගේ ගෙදර සිඟා සිටි කල්හි තමන් විසින් පිළිගන්වන ලද ආහාරාදිය පිළිගෙන යන්නාද ගොස් වළඳන්නාද දැක අප ම සිඟන්නාහ. අප ම සන්තක වු ආහාරාදිය ගෙනයන්නාහ, ගොස් අනුභව කරන්නාහයි, ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන් විෂයයෙහි වඩාලා ම ප්‍රේම ඇති වන්නාහ. මෙසේ ශ්‍රමණ බ්‍රාහ්මණාදීන් සැදැහැති උපාසක කුලය තමන් විසින් දෙන ලද්දා වූ සතර පසය දැක්ක දී අනුභව කරන කල්හි අධිකයක් ම ප්‍රිය කරන්නාහයි සතර වැනි පැනය වදාළ කල්හි දේවතා දූ පෙර පරිද්දෙන් ම පුජා කොට සාධුකාර දී සත් රුවන් පිරූ රුවන් කරඬුවක් "ගනුව පණ්ඩිතයෙනි" කියා මහබෝසතාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙයෙහි පූජා කළාය. රජ්ජුරුවෝද පැහැද සෙනෙවිරත් තනතුරු දුන්හ. එතැන් පටන් කොට මහබෝසතාණන් වහන්සේගේ යසස මහත් වූයේ යැ.

"https://si.wikibooks.org/w/index.php?title=උම්මග්ග_ජාතකය-iv&oldid=13522" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි