Jump to content

උම්මග්ග ජාතකය-ix

Wikibooks වෙතින්

40. නිෂ්ඵල ව්‍යායාමය[සංස්කරණය]

ඒ රාත්‍රිය පහන්‌ වූ ඇසිල්ලෙහි චූලනී රජ්ජුරුවෝ සේනාව මෙහෙයන්නාහු නුවරට සමීප වූහ. ඒ රජහු සේනාවට විධාන කෙරෙමින්‌ සැරහී ආ නියාව ප්‍රකාශ කොට වදාරන බුදු රජාණන්‌ වහන්සේ:-


රක්ඛිත්වා කසිණං රත්තිං - චූළනීයෝ මහබ්බලො

දෙන්තං අරුණුග්ගම්හි - උපකාරිං උපාගමි.


ආරුය්හ පචරං නාගං - බලවන්තං සට්ඨිහායනං

රාජා ආවොච පඤ්චාලො - චූළනීයෝ මහබ්බ ලො’


‘සන්නද්ධෝ මණිවම්මේන - සරමාදාය පාණිනා

පෙස්සියෙ අජ්සඞභාසිත්ථ - පුථුගුම්බෙ සමාගතෙෙ’


“එම්බා මහණෙනි, බලවාහන සහිත වූ බ්‍රහ්මදත්ත රජ තුන්යම්‌ රාත්‍රියෙහි තුන්‌ සන්ධියකින්‌ හා සතර වළල්ලකින්‌ අතුරැ සිදුරු නොපෑ ඒ ඒ ස්ථානයෙහි බලඇණි සිටුවා, තුමූ රැකවල්‌ බලා ඇවිද, අරුණු නැඟී පහන්‌ වන්නා හා ම ඒ උපකාරී නුවරට ආය. තවද, පංච ප්‍රකාර බලයෙන්‌ යුක්ත වූ බ්‍රහ්මදත්ත රජ සැට අවුරුද්දෙන්‌ මද නැඟී විහිදුනා වූ කන්පට තුන්‌ තැනකින්‌ පැළී තිබෙන්නා වූ 'සටන්හි ජය බිම හඳුනන්නා වූ ගිය ගිය තැන සතුරන්‌ බිඳ ජය ගන්නට සමර්ථ වූ මහ බල ඇති සර්ව ලක්ෂණ සම්පන්න සියලු හස්ත්‍යාලංකාරයෙන්‌ සරහන ලද මඟුලැතක්හු පිටට පැන නැඟී මැණික්‌ ඔබා කරන ලද රන්‌ සන්නාහ සන්නද්ධ ව හියවුර ඇකයෙහි ලා, ධනුශ්ශිල්පයෙහි දක්ෂ වූ සන්නාහ සන්නද්ධ අනේක ප්‍රකාර යෝධයනට මෙසේ විධාන කෙරෙමින්‌ නුවරට සමීප වීය”යි වදාළ සේක.


ඒ චූලනී රජහු වේදේහ රජ ජීවග්‍රාහයෙන්‌ අසු කොට ගැන්ම පිණිස ස්වකීය සේනාව මෙහෙයූ පරිදි මේ ගාථාවෙන්‌ වදාළ සේක.


හත්ථාරූහෙ අනීකට්ඨෙ - රථිකෙ පත්තිකාරකෙ

උපාසනම්හිකතහත්ථෙ - වාළවෙධෙ සමාගතෙ


ඇතුන්‌ නැඟෙන්නා වූ ද අසුන්‌ නැඟෙන්නා වූ ද රථ නැඟෙන්නා වූ ද පංචායුධ සන්නද්ධ ව ආවා වූ මහා සේනාවද, ඉනුත්‌ ධනුශ් ශිල්පයෙහි දක්ෂ වූ කෘතහස්ත වූ එක්‌ කරන ලද අභ්‍යාස ඇති, එසේ හෙයින්‌ ම කළුහස්‌ ලොම්‌ කර බටුවක්‌ බැඳ දඬු බස්නා. මානයේ දෙ දංඩක් හිඳුවා එහි සරස බැඳි විශාල දංඩෙහි බැඳ කර බටුව එල්වූ කළුහස්‌ ලොම විදුලිය ආදී වූ යම්‌ කිසි ආලෝකයකින්‌ පළා විද පියන්නට සමර්ථ වූ යෝධයෝ වහා සන්නාහ සන්නද්ධ ව එත්ව”යි කියාද තව ද චූලනි රජ්ජුරුවෝ වේදේහ රජ නොමරා අල්වා ගනිමි'යි කියමින්‌, සැට අවුරුද්දෙන්‌ මද හෙන්නා වූ මට සිලුටු වූ දළ ඇති 'කුඤ්ජර'යයි කියන ලද බල සම්පන්න යෝධ ඇත්‌ සමූහයන්‌ සියදහස්‌ ගණන්‌ මෙහෙයා වේදේහ රජු නිසා මහෞෂධ පණ්ඩිතයා විසින්‌ කරන ලද මේ උපකාරී නුවර අටළොස්‌ රියන්‌ පවුර මිරිකා පිය'යි කියාද, තව ද බාල වස්සන්ගේ දත්‌ සේ ඉතා සුදු වූ තියුණු මුවහත්‌ ඇති හීයෙන්‌ විදිනා කල ඇට පළා විදපි යත්‌ මුත්‌ මෑතක නොරඳවන්නා වූ ධනුශ් ශිල්පයෙහි දක්ෂ යෝධයෝ මහා වර්ෂණයක්‌ පරිද්දෙන්‌ ශර වර්ෂණ වස්‌වත්ව'යි තව ද සූර වීර්ය ඇති අනේක ප්‍රකාර විචිත්‍ර වූ පංචායුධ සන්නද්ධ ව සංග්‍රාමයෙහි එඩි පසු නොලා ඉදිරියට ම දිවන්නා වූ තමන්‌ ඉදිරියෙහි ඇතුන්‌ දුටත් දළ අල්වාගෙන වෙවුල්වා පියන්නට සමර්ථ වූ තරුණ යෝධයෝ වහා එත්ව'යි තව ද ආයුධ ම බල කොට ඇත්තා වූ නොහොත්‌ බලවත්‌ ආයුධ ගත්තා වූ සන්නාහ සන්නද්ධ වූ සටනෙහි පිටි පා නොයන්නා වූ මාගේ යෝධයන්‌ අතින්‌ වේදේහ රජ කෙසේ නම්‌ මිදී පලා යන්නේද? ඉදින්‌ යම්කිසි භාග්‍යයකින්‌ පක්ෂියකු පරිද්දෙන්‌ ආකාශයෙන්‌ යේ නමුත්‌ මාගේ දුනුවා යෝධයෝ යා නොදෙන්නාහ: තව ද මාගේ තිස්‌ නවදහසක්‌ පමණ බල සම්පන්න වූ අසමාන යෝධයෝ සංග්‍රාමයට සිසතින්‌ ගියාහු වී නමුත්‌ සතුරන්‌ අත ආයුධ ම උදුරා ගෙන සතුරන්‌ සාධා ගන්නාහ. උන්‌ සමාන එකෙකුත්‌ දඹදිව එක්‌ රජක්හු සමීපයෙහි මා දක්නේ නැත. එබඳු වූ යෝධයන්‌ ඇත්තේ මම්‌ මය, 'උයිත්‌ සන්නාහ සනනද්ධ ව වහා එත්ව'යි තව ද රන්‌ සන්නාහයෙන්‌ සරහන ලද බල සම්පන්න ඇතුන්‌ පිට උන්නා වූ මනා වූ දැකුම්‌ ඇති රාජ කුමාරවරු වහා ඇතුන්‌ මෙහෙයවත්ව'යි තව ද රන්වන්‌ පිළිහැඳ ස්වර්ණාලංකාරයෙන්‌ සැරහී රන්වන්‌ අංගරාග ගල්වා, පංචායුධ සන්නද්ධ ව රන්‌ සත්‌ රන්‌ පොරෝදු ආදී ස්වර්ණාලංකාරයෙන්‌ සරහන ලද ඇතුන්‌ නැඟී නඳුන්‌ උයන්හි දේවතා සමූහයක්‌ මෙන්‌ අසමාන වූ යෝධයෝ සියදහස්‌ ගණන්‌ වහා එත්ව'යි තව ද පෙටියන්‌ බඩ පැහැ සමාන වර්ණ ඇති සකස්‌ කොට ධාරා නඟන ලද නුවණැති පුරුෂයන්‌ විසින්‌ සුනිසිත කොට තුන්‌ සන ගා නිමවන ලද ඉදින්‌ සුළඟින්‌ මුවහතට සම්ප්‍රාප්ත වූ පුළුන්‌ රළ වුවත්‌ කැපී සිඳීයන තරම්‌ තීක්‍ෂණ වූ මුවහත්‌ ඇති මධ්‍යහ්නයෙහි සූර්ය මණ්ඩලය මෙන්‌ බබළන්නා වූ යහපත්‌ කොට කරන ලද කඩු ගත්තා වූ - හේ කෙසේ වූ කඩු ජාතියෙක්ද යත්‌, ජාති වානේ කැටි පිහිරින්‌ හා සුනු කොට ඒ සුනු දඩ මස්‌ හා එක්‌ කොට අනා ඒ මස්‌, කොස්වා ලිහිණියන්‌ කවා, උන්‌ ලූ වසුරු දවා වානේ ගෙනැ. නැවත ගා හනා පළමු පරිද්දෙන්‌ ම ඒ පක්‍ෂීන්‌ කවා එම පරිද්දෙන්‌ සත්‌ වාරයෙක කවා දවා ගත්‌ වානයෙන්‌ කළ කඩු ජාතියකැයි දත යුතු. යෝධයෝ සතුරනට නොවරදවා පහර දෙන්නාහු කොපුවෙන්‌ අදනා ලද කඩු ගෙන වහා එත්ව'යි තව ද මාගේ අසමාන වු තිස්‌ නව දහසක්‌ පමණ පතාක යෝධයෝ වහා එත්ව'යි ඔහු කෙසේ වූ යෝධ කෙනෙක්ද යත: යම්‌ සේ මාර සේනාවක්‌ බඳු වු සතුරු සේනාවක්‌ අගල පුවරු අට්ටාල බලකොටු වාසල්‌ සහිත වූ අයෝධ්‍ය පුරය හා සමාන එක්‌ නුවරෙක උන්නා වූ නමුත්‌ මේ මාගේ පතාක යෝධයෝ ඉන්‌ පිටත සිටියා වූ එබඳු අවිෂය ස්ථානයෙහි සිටි සතුරන්‌ සාධම්හ'යි සිතූ නම්‌ පිටත සිටි තැන ම සිට, ආකාශයට කරනම්‌ පැන, එසේ උඩ පිනූ කරනමින්‌ ම, නැවත බිම නොහී, නැවත නැවතත්‌ කරනම්‌ පනන්නාහු, ආකාශයෙන්‌ ගොස්‌ අත තුබූ ආයුධයෙන්‌ ඇතුළු නුවර උන්‌ සතුරන්‌ සාධා නැවත එපරිද්දෙන්‌ ම කරනම්‌ පැන පැන ආකාශයෙන්‌ අවුත්‌ තමන්‌ පළමු සිටි තැන සිටිනට පෝසත්හ. ඒ 'යෝධයෝ ඉදින්‌ ඇත්‌ කඳ වී නමුත්‌ තමන්ගේ කඩුවෙන්‌ එක පහරින්‌ මැදින්‌ පොලු ගසන්ට සමර්ථය- 'එම්බල වේදේහ කොල්ල. පළමු තාගේ ගොවියා පුතුන්ගේ මන්ත්‍රීකමින්‌ හා ඔහුගේ ප්‍රඥානුභාවයෙන්‌ ගැළවිණ. දැන්‌ වූ කලී තට මිදී යෑමෙක්‌ නම්‌ කොයින්ද? දැන්‌ තාගේ රාජානුභාවයෙනුත්‌ තාගේ පණ්ඩිතයාගේ මන්ත්‍රී කමිනුත්‌ මින් ගැලවී මියුලු නුවරට යෑමත්‌ බලන්නෙම්‌ වේද? දැන්‌' තෝ කරප හෙළා ගත්‌ මසකු පරිද්දෙන්‌ අසු වූයෙහි වේදැයි වේදේහ රජහට තතනමින්‌ ‘දැල්හි අසු වූ මසකු මෙන්‌ දැන්‌ අල්වමි'යි වජ්‍රාංකුශයෙන්‌ ඇතු මෙහෙයන්නාහ. 'ගනුව, විදුව'යි කිය-කියා සෙනඟ මෙහෙයන්නාහු, උපකාරී නුවර මැඬ වතුරක්‌ ගලන්නාක්‌ පරිද්දෙන්‌ අවුත්‌ වන්හ.


ඉක්බිති බෝධිසත්ත්වයන්‌ වහන්සේගේ චරපුරුෂයෝ තමන්‌ තමන්ගේ ආණ්ඩු පිරිස හා සමඟ කවුරු දනිද්ද, කිම්දැ”යි ඉදින්‌ පවුරු බිඳ නුවර මිරිකාගෙන වදිත්‌ නම්‌ එක් සියයක්‌ රජුන්‌ හා බ්‍රහ්මදත්තයන්ගේ ඉස්‌ ගසා ලා අපගේ පණ්ඩිත ස්වාමීන්ගේ පා පිට දමා ලම්හ"යි තම තමන්‌ සිටින්නා වූ රජදරුවන්‌ පිරිවරා ගත්හ.

41. මහෞෂධ බ්‍රහ්මදත්ත සංවාදය[සංස්කරණය]

ඒ වේලෙහි තුන් ලෝ තිලක වූ ත්‍රෛලොකෛක ගුරු වූ පරශත්‍රැ මර්දන ප්‍රතාප හා ගම්භීර ප්‍රඥා විශේෂ හා සකල ගජචක්‍ර මර්දන භාස්වර කේශර සිංහ රාජ වික්‍රම ඇති මාගේ ස්වාමිදරු වූ ශ්‍රී මහා බෝධිසත්ත්වයන්‌ වහන්සේ, රෑ සැතපුණු ශ්‍රීයහනින්‌ නැඟී සිට ශරීර කෘත්‍ය සපයා පෙරවරු බත කල්‌ තබා අනුභව කොට, රන්‌ පට රුවන්‌ සෝලු කර්ණ කුණ්ඩලාභරණ තා ඩංක නාග වඩම්‌ කාදු කාප්පු මුතුපට පට්ටෝඩම්‌ බාහුදණ්ඩි මිණි වළලු ගිගිරි වළලු මණි කයිවඩම්‌ පස්රූ රුවන්‌ වැළ රන්‌ සවඩි පාද සංඛ පාදාභරණ පා සළඹ පාද කිංකිණික පාද ජාලා මේ ආදී වූ ආභරණයෙන්‌ සැරහී, ලක්‍ෂයක්‌ වටනා කසී සළුවක්‌ හැඳ, ලක්‍ෂයක්‌ වටනා රන්‌ පලසක්‌ ඒකාංශ කොට පෙරව ගෙන, රන්මය, රුවන්‌ කර්මාන්තයෙන්‌ විසිතුරු වූ සෝලු ලීයක්‌ අතින්‌ ගෙන රන්‌ මිරිවැඩි සඟළක්‌ පය ලා දෙවඟනන්‌ පරදන රූ ඇති ස්වර්ණාභරණයෙන්‌ සැරහුණා වූ තරුණ ස්ත්‍රීන්‌ දෙදෙනකු ලවා සුදු චාමර දෙකක්‌ සල්‌ වන සේක්‌, සිත්කලු කොට සරහන ලද තමන්‌ වහන්සේගේ මාළිගයේ සී මැදුරු කවුළු හරවා චූලනී රජ්ජුරුවනට තමන්‌ වහන්සේ පෙනෙන පරිද්දෙන්‌ ශක්‍ර දේවේන්ද්‍ර ලීලාවෙන්‌ ඈත්‌ මෑත්‌ බලා සක්මන්‌ කළ සේක. චූලනී රජ්ජුරුවෝ ඒ මහතාණන්‌ වහන්සේගේ රූප ශ්‍රී බලා සිත පහදවා ගත නොහී, 'දැන්‌ ම මොහු අල්ලා ගනිමි'යි සිතා වහ වහා ඇතු මෙහෙයන්නාහ.


ඒ දැක පණ්ඩිතයන්‌ වහන්සේ සිතන සේක්‌, මේ රජ "ඒකාන්තයෙන්‌ වේදේහයා මා විසින්‌ අසු කරන ලදැ'යි සිතා වහා ඇතු මෙහෙයමින්‌ එන්නේය. තමන්ගේ අඹුදරුවන්‌ ඇරගෙන අපගේ රජ්ජුරුවන්‌ මියුලු නුවරට ගිය නියාව නො දන්නේය”යි සිතා සකස්‌ කොට ඔසප්‌ නැගූ රන්‌ කැටපතෙක පැහැ සමාන වූ මාගේ මුහුණ මේ රජුට දක්වාලා රජු හා සමඟ කතා කෙරමි'යි සිතා සී මැදුරු කවුළුවෙන්‌ රජහු මුහුණ බලා මධුර ස්වරයෙන්‌ රජු හා කතා කරන සේක්‌, මෙසේ වදාරන සේක.


කින්නු සන්තරමානෝව - නාගං පේසේසි කුඤ්ජරං

පහට්ඨරූපෝ ආපතසි - ලද්ධත්ථොස්මීති මඤ්ඤසි.


ඔහරේතං ධනු චාපං - ඛුරප්පං පටිසංහර,

ඔහරෙතං සුහං හුභං වමිමා වෙළුරියමණිසත්ථතං


“ඇයි මහරජ, ඉක්මන්‌ ඉක්මන්‌ ව ඇතු මෙහෙයන සේක්‌, තමාගේ අභිමතාර්ථය සිද්ධ වී යයි සිතන සේක්ද? එක විටෙකත්‌ එසේ නොසිතුව මැනැව. මහරජ, නුඹ වහන්සේ සිත ඇත්ත තබා පියා මෙවිට මා කීවක්‌ කළ මැනැව, ඊයේ දවස්‌ පස්වරු දුනු මිටි තරව අල්වා ගත්‌ අත තව දක්වා මිට මිරිකා ගැන්මෙන්‌ සිරිහී ගියයි සිතමි. එසේ හෙයින්‌ තෙල දුනු හී තල දමා පුව මැනැව. එසේ නැත, අනෙකක්‌ හට හෝ දෙවාපුව මැනැව. තව ද වෛදුර්ය මාණික්‍යමය කොට කරන ලද ශෝභමාන වූ තෙල සන්නාහයත්‌ ඊයේ පස්වරු ම ලා ගත්‌ හෙයින්‌ ශරීරය ඉදී නුඹ වහන්සේට බොහෝ පීඩායයි, නොහොත්‌ ශරීරය පඬුවන්‌ පැහැ වී යයි සිතමි. තව ද ඊයේ ම පස්වරු පටන්‌ තුන්යම්‌ රාත්‍රියෙහි නිදි මරා විඩාව ගිය සේක. තව ද ඉර අවු කා ක්ලාන්ත නොවී නිදා නැඟී නුඹ වහන්සේගේ නුවරට පලා ගොස්‌ මාලිගාවේ සුව සේ සැතපී වදාළ මැනැව'යි රජහා කෙළෙනා සේ වෙහෙසූහ.


රජ ඔබගේ බස්‌ අසා ගොවියා, පිත්‌ මා හා ම කෙළෙනේය'යි බොධිසත්ත්වයන්‌ වහන්සේට ගර්ජනා කොට "තට කළ මනා දෑ දන්නෙම්‌ චේද”යි සැහැසෙන්නාහු මේ ගාථාවෙන්‌ කියත්‌:-


පසන්න මුඛවණ්ණොසි මහිතපුබ්බංච භාසසී

හොතා ඛො මරණෙ කාලෙ තාදිසි වණ්ණ සම්පදා


මේ ගාථායෙහි අභිප්‍රාය කෙසේද යත්‌:- "තාගේ මුඛය හෙවත්‌ තාගේ මුහුණ ඔප නැගූ රන්‌ කැටපතක්‌ සේ යහපත්ව බබළන්නේය. සිනා පෙරදැරි කොට ම බස්‌ කියයි. ඒ තට මතු නො වෙයි. සමහර කෙනකු මරණාසන්නයෙහි මෙබඳු මිහිරි බස්‌ හා මුහුණු පැහැ ඇති වන්නේය. දැන්‌ තොයිත්‌ නොබෝ කලකින්‌ මියෙයි. එබැවින්‌ මෙබඳු රූපශ්‍රීන්‌ බබළයි. දැන්‌ දැන්‌ තා මරා හිස කපා ජය පානය බොමි’යි කීහ.


මෙසේ රජහු බෝධිසත්ත්වයන්‌ හා දොඩන වේලෙහි මහතාණන්ගේ රූප ශෝභාව දුටුවා වූ මහා සේනාව, "අපගේ රජ්ජුරුවන්‌ හා මහෞෂධ පණ්ඩිතයන්‌ දෙන්නා කතාවක්‌ කෙරෙති ඒ කුමක්‌ බවත්‌ නොදැනුම්හ. කොල, අසන්නට යම්හ"යි එක්‌ සියයක්‌ රජුන්‌ හා සමඟ රජහු සමීපයට ගියහ. මහතාණෝ සිතන සේක්‌, “මේ රජ තව ම මා මහෞෂධ පණ්ඩිත බව නොදනී. මම මා මරා ගත නොදෙමි'යි වදාරන සේක්‌, "මහරජ, යම්‌ දවසක්‌ නුඹ වහන්සේ කේවට්ටයා හා දෙන්න සිතින්‌ එකක්‌ සිතා බසින්‌ එකක්‌ කළ මන්ත්‍රණයෙක්‌ වී ද, එයින්‌ සිතින්‌ සිතුවා නොවීය. බසින්‌ කීවා ම විය"යි ප්‍රකාශ කෙරෙමින්‌:-


‘ මොඝං තෙ ගජ්ජිතං රාජ භින්නමන්තොසි ඛත්තාය

දුග්ගණ්හෝහි තයා රාජ කලුංකෙනෙව සින්ධවො,


‘තිණ්ණොහි රාජ ගංගං සාමාඤ්චො සපරිජ්ජනො

හංසරාජා යථා චකො අනුජ්ජවං පපතිස්සති


මෙයින්‌ වදාරා "මහරජ, නුඹ වහන්සේ හා කේවට්ටයා හා දෙන්නා මතු මාලේ තනි ව ශ්‍රී යහන්‌ ගබඩාවේ හිඳ රහස්‌ මන්ත්‍රණයක්‌ කරන්නාහු 'අප දෙන්නා මුත්‌ අනික්‌ දන්නෝ නැතැ'යි සිතා කළ මන්ත්‍රණය නො දනිතියි සිතූ සේක්ද? එසේ නොසිතුව මැනැව. ඒ මන්ත්‍රණය මට කියා ලූ දෙයක්‌ සේ ඉඳුරා ම දනිමි. නුඹ වහන්සේගේ මන්ත්‍රණය භින්නව ගියේය. එසේ හෙයින්‌ අපගේ රජ්ජුරුවෝ තමන්ගේ නුවරට පලා ගියෝය. ඉදින්‌ 'ලුහුබඳවා ගනිමි'යි සිතන සේක්‌ වී නම්‌ එයිත්‌ නොපිළිවන. අපගේ රජ්ජුරුවෝ ජාති සෛන්ධවයකු නැඟී බලවත්‌ අශ්චාචාර්යයකු වැන්නාහ. නුඔ වහන්සේ කොටළුවකු නැඟි ඉතා බාන සුලු වූ පුරුෂයකු වැන්නාහ. එසේ හෙයින්‌ ලුහුබඳවා අල්ලා ගන්නට නොපිළිවන. කේවට්ටයා කොටළුවා වැන්න. නුඹ වහන්සේ කොටළුවා නැඟි පුරුෂයා වැනි සේක. මම අජානේය සෛන්ධවයා වැන්නෙමි. අපගේ රජ්ජුරුවෝ ඒ සෛන්ධවයා නැඟි පුරුෂයා වැන්නාහ"යි උපමා කොට වදාළ සේක.


“මහරජ වැළිත් ගඟින්‌ එතෙරව යන්නාහු තනි ව ගියාහු නොවෙති: සේනා වාහන සහිත ව අමාත්‍ය මණ්ඩලයා පිරිවරා මහ පෙරහරින්‌ වැඩි සේක. ඉදින්‌ නුඹ වහන්සේ ලුහුබඳවා අල්ලා ගනිමි'යි සිතා දිවන සේක්‌ වී නම්‌, අල්වා ගත නොහී අතරමඟ නස්නා සේක. කුමක්‌ මෙන්ද යත්‌: ස්වර්ණ හංසයකු ලුහුබඳවා දිවන කොකකු මෙනැ”යි කියා නැවතත්‌ අසම්භීත කේසර සිංහ රාජයෙකු පරිද්දෙන්‌ උපමාවක්‌ දක්වමින්‌:-

සිගාල රත්තිභාගස්මි ඵුල්ලං දිස්වාන කිංසුකං

මංසපෙසීති මඤ්ඤන්ත පරිප්පුළ්හා මාගධමං


එවමෙව තුවං රාජ වෙදෙහං පරිවාරිය

ආසච්ජින්තො ගමිස්සයි සිගාල‍ා කිංසුකං යථ


“මහරජ, නුඹ වහන්සේ මේ සා සේනාවක්‌ ඇරගෙන තුන්යම්‌ රාත්‍රියෙහි නිදිවරා සිතූ අර්ථයෙන්‌ ස්වල්ප මාත්‍රයකුත්‌ සාධාගත නුහුණු නියාව කුමක්‌ මෙන්ද යත්‌: යම්‌ සේ ගොදුරු සොයා ඇවිදිනා සිවල්‌ මුළෙක්‌ සුපුෂ්පිත වූ කෑල වෘක්‍ෂයෙක චන්ද්‍රාලෝකයෙන්‌ වත්‌ තාරකාලෝකයෙන්‌ වත්‌ විද්‍යුල්ලතාදියෙන්‌ වත් යම්‌ කිසි ආලෝකයකින්‌ එල්ලෙන්නා වූ මල්‌ කැන්‌ දැක මේ වූ කලී ඒකාන්තයෙන්‌ මස්‌ වැදැලි යයි වරදවා සිතා ගත්තාහු, අනෙක්‌ ගොදුරක්‌ සොයා නොගොස්‌, 'දඩමස්‌ කම්හ'යි ගස්‌ වට කොටහිඳ අරුණු නැඟී පහන්‌ වූ කල සුපුෂ්පිත වූ කෑල මල්‌ දැක ඒ ශෘංගාලයෝ ඔවුනොවුනට 'කොල මස්‌ වැදලි නොවෙයි. කෑල මල්‌ කැනැ'යි නියම දැන එහි ආලය හැරපියන්නාහ. එපරිද්දෙන්‌ මහරජ, නුඹ වහන්සේ 'වේදේහ රජු අසු කෙළෙමි'යි සිතා රාත්‍රිය මුළුල්ලෙහි නිදි වරා ඇවිද අධම චූ කැනහිලුන්‌ පරිද්දෙන්‌ අපගේ රජ්ජුරුවන්‌ කෙරෙහි ආලය හැරයන සේක්‌ වේ දැයි? වදාළ සේක.


රජ්ජුරුවෝ බෝධිසත්ත්වයන්‌ වහන්සේ කිසි චකිතයක්‌ නැති ව නිර්භීත ව කියන්නා වූ බස්‌ අසා සිතන්නාහු, මේ ගොවියා පුත්‌ බුහුටි ව රජහු පැලෑහ'යි කියන්නේය. මොහු විසින්‌ රජහු යවාපු සේ සැබෑ සැටිය'යි අතිශයින්‌ කිපී, 'පෙරත්‌ අපි මේ ගොවියා පුතු ම නිසා මොහුගේ නුවරට ගියමෝ හන්කඩටත්‌ උතුරු සළුවටත්‌ අස්වාමික වැ දමා පියා ආම්හ. දැන්‌ හස්තප්‍රාප්ත වූ පසමිතුරා පලවා පියන ලද, මූ තරම්‌ අනර්ථකාරී එකෙක්‌ නැත. රජුටත්‌ මූටත්‌ කළ මනා ඉස්‌ සිඳීම්‌ ආදි වූ යම්‌ වධයෙක්‌ ඇත්නම්‌ මොහුට ම කෙරෙමියි විධාන කරන්නාහු “මේ මහෞෂධයා මා හස්ත ප්‍රාප්ත වූ සතුරු වේදේහ රජහු, ගලවායවා පිය. එසේ කළා වූ මොහුගේ දෑත් දෙපා කන්‌ නාසා කපාහරුව. ඇඟ මස්‌ කපා ලියා උල අවුණා ගින්නේ ලා පලහා පියහ. තව ද සිංහ-ව්‍යාඝ්‍ර වෘෂභ-මෘග ආදීන්ගේ සම්‌ බිම්‌ වනා වට කණු ගසා වියළන්නාහ. එපරිද්දෙන්‌ මේ මහෞෂධයා බිම හොවා සතර අතට කණු ගසා වධ කරව. තව ද මොහු බිම හොවා තියුණු මුවහත්‌ ඇති කඩුවෙන්‌ කොටා පළා ව්‍යාඝ්‍ර මෘග සූකරාදීන්ගේ මාංශ පරිද්දෙන්‌ ඉරා ලියා වධ කරව'යි කීහ.


මේ එක්‌ රජකු තබා දස දහසක්‌ සක්වළ රජ දරුවෝ එක්‌ වත්‌ මාගේ ස්වාමිදරුවනට එවැන්නක්‌ කරන්නට අසමර්ථයහ. ඒ රජහුගේ බස මුත්‌ කීවායින්‌ කිසිවකුත්‌ කළ නොහෙන්නාහ. බසින්‌ වූ බස්‌ අසා බෝධිසත්ත්වයන්‌ වහන්සේ සිනා පහළ කොට වදාළ සේක. ඒ රජහු කිපෙත්‌ කිපෙත්‌ මාගේ ස්වාමි දරුවාණන්‌ මූණ පෙම්‌ වඩනා නියාව කුමක්‌ වැනිදයත්‌: බ්‍රහ්මදත්ත රජහුගේ ඉතා රළු වූ ක්‍රෝධ නමැති සුනුයෙන්‌ උලා ඔප්‌ නැගූ රන්‌ කැට පතෙක පැහැ සමාන ව වඩ වඩා ශෝභමානවත්‌ ව අතිශයින්‌ බබළන්නට වන. එවිට සිතන සේක්‌, "මේ නුවණ නැති රජ තමාගේ නෑයන්‌ ආ ගිය අත්‌ නොදැන මට වධ විධාන කරන්නේය. මෑණියනුත්‌ අඹුදරුවනුත්‌ ගෙන්වාගෙන මියුලු නුවරට යැවූ නියාව නොදැන මට සෑහෙන්නේය. මේ රජ මහා ඓශ්චර්යයෙහි පිහිටා සිටියේ, මා කළක්‌ කෙළේය'යි සිතා ක්‍රෝධ වශයෙන්‌ අත තුබූ හීයෙන්‌ විද පී නමුත්‌ අන්‌ කිසි උපක්‍රමයකින්‌ නසා පී නමුත්‌ නපුර, මේ රජහු ශෝකයෙන්‌ මුර්ජා කරවා උන්‌ ඇතු පිට ම විසංඥ කරවා පියා නැවත අස්වසා ලමි”යි සිතා වදාරන සේක්‌.


‘සචෙ මෙ හත්ථෙ ච පාදෙ ච කණ්ණානසඤ්ච ජෙදයී එවං පඤ්චාලචණ්ඩස්ස වෙදෙහො ජෙදයිස්සති,

‘ සචෙ මෙ හත්තෙථ ච ලාද්රෙහ ච කණ්ණනාසඤ්ච ජෙදයී එවංපඤ්චාලචණ්ඩියා වෙදෙහො ජෙදයිස්සති,

‘සචෙ මෙ හත්ථෙ ත පාදෙ ච කණ්ණනාසඤ්ච ජෙදයි එවං තෙ පුතුතදාරස්ස වෙදෙ‍ෙහො ජෙ දයිස්සති,

‘සචෙ මෙ හත්ථ පාදංච කණ්ණනාසඤ්ච ජෙදයි එවං තෙ ලුත්තදරස්ස වෙදෙ‍ෙහෙ‍ ජෙදයිස්සති,

‘සචෙ දෙ හත්ථ පාදංච කණ්ණනාසඤ්ච ජෙදයී එවං තන්දාදෙවියා චෙදෙහො ‍ජෙදයිස්සති,

‘සචෙ මෙ හත්ථ පාදංච කණ්ණනාසඤ්ච ජෙදයි එවං තෙ පුත්ගදාරස්ස වෙදෙ‍ෙහෙ‍ා ජෙදයි ස්සති,

‘සචෙ මංසච පාතබ්බං සුලෙ කත්වා පච්ස්සති එවං මංසච පාතබ්බං චණ්ඩස්ස වෙදෙහො පාචයිස්සති,

‘සචෙ මංසංච පාතබ්බං සුලෙ කත්වා පචිස්සසි එවං පඤ්චාල චණ්ඩඩියා වෙදෙහො පාචයිස්සති’


“මහරජ, ඉදින්‌ නුඹ වහන්සේ මාගේ අත්‌ පා කන්‌ නාසා කප්පවා වධ කැරැවූ සේක්‌ වී නම්‌ නුඹ වහන්සේ මට කැරැ වධ මුළුල්ල නුඹ වහන්සේගේ පුතණුවන්‌ දියණියන්‌ නන්දා දේවීන්‌ නුඹ වහන්සේ වැදූ මෑණියන්‌ යන සතර දෙනාට අපගේ රජ්ජුරුවෝත්‌ කරවන්නාහ. මහරජ, මාගේ ඇඟ මස්‌ ලියා උල අවුණා වධ කරවා පී දෑ වී නම්‌, අපගේ රජ්ජුරුවෝත්‌ නුඹ වහන්සේගේ නෑයන්‌ සතර දෙනාට මට කළ වධයට දිවුණක්‌ කරවන්නාහ. තව ද සිංහ ව්‍යාඝ්‍ර මෘග වෘෂභාදීන්ගේ සම්‌ බිම වනා කණු ගසා වියළන්නා සේ මට වධ කරවා පී දෑ වී නම්‌, නුඹ වහන්සේ නෑයන්‌ සතර දෙනාටත්‌ අපගේ රජ්ජුරුවෝ නොයෙක්‌ චිත්‍ර වධ කරවන්නාහ. තව ද, මහරජ, සම්‌ කරුවන්‌ ලවා සම්‌ සියයක්‌ පටින්‌ සකස්‌ කරවා වැළඳ ගන්නා ලද සන්නාහය තම හට බැහැරින්‌ වදනා සැර ආදී උපද්‍රව නිවාරණය කොට ආත්මාරක්‍ෂාව පිණිස වන්නේද - එ පරිද්දෙන්‌ම මම මාගේ රජ්ජුරුවනට සම්‌ සියක්‌ පටින්‌ කළ සන්නාහයක්‌ පරිද්දෙන්‌ ඉදිරියේ සිට කිසි භයක්‌ නොවැද්ද දී සැප එළවමි"යි වදාළ සේක.


මෙසේ කියා නැවත වදාරන සේක්‌, “මහරජ, වැළිත්‌ මේ නිකම්‌ කියන දෙයකැයි නොසිතුව මැනැව. නුඹ වහන්සේගේ අඹුදරුවන්‌ හා මෑණියන්‌ අපගේ රජ්ජුරුවනට පාවා දී මියුලු නුවරට යවන්නෙම්‌, මහරජ, ඉදින්‌ චූලනි රජ්ජුරුවෝ නුඹ වහන්සේ 'තමනට සොරා යවාපී හ'යි මා අල්ලාගෙන කන්‌ නසා අත්‌ පා කප්පවා වධ කරවූ නම්‌ කුමක්‌ කරන සේක්දැයි කී හෙයින්‌, මහෞෂධ පණ්ඩිතයෙනි, ඒ රජ සැබවින්‌ තොපට වධයක්‌ කෙළේ වී නම්‌ ඒ තොපට කළ වධ මුළුල්ල ම ඒ රජ තමා මහා බල ඇති හෙයින්‌ ඕහට කළ නොහෙතත්‌ ඔහුගේ අඹුදරුවන්‌ මෑණියන්‌ යන සතර දෙනාට, තොපට කළ වධයට දිවුණක්‌ ම කරව'මි' කියා ප්‍රතිඥා ගතිමි'යි කියා 'මහරජ, නුඹ වහන්සේ මා එක තැනැත්තවුට එක්‌ වධයක්‌ කරවූ සේක්‌ වී නම්‌ නන්දා දේවීන්‌ හා දරුවන්‌ දෙන්නා ඇතුළු වූ නෑයන්‌ සතර දෙනාටත්‌ අපගේ රජ්ජුරුවෝ තමනට පිළිවන්‌ වධ බන්ධන කරවන්නාහ'යි වදාළ සේක. මෙසේද කියා 'මහරජ, නුඹ වහන්සේගේ ප්‍රඥා නමැති හීයට මම සම්‌ සියක්‌ පටින්‌ කළ සන්නාහයක්‌ ව ඉදිරි ව සිට මාගේ රජ්ජුරුවනට ඒ සැරයෙන්‌ වන්නා වූ උපද්‍රව දුරු කොට සැපයක්‌ ම එළවමි'යි වදාළ සේක.


ඒ අසා චූලනී රජ්ජුරුවෝ සිතන්නාහු, 'මේ ගොවියා පුත්‌ කුමක්‌ කියාද? මම 'යම්‌ වධයක්‌ තමාට කරවමි' කීම්‌ නම්‌ මේ තෙමේ ‘තමාගේ රජ්ජුරුවෝ මාගේ අඹු දරුවනට කරවති' කියති. මම ඊයේ එන්නෙම්‌ මාගේ අඹුදරුවනට සුරක්‍ෂිත කොට රැකවල්‌ ලවා ලා ආමි. ඒ නියාව නොදන්නා වන, නොබෝ කලෙකින්‌ මේ මියන්නේය. එබැවින්‌ මරණ විකලයෙන්‌ නන්දොඩව'යි කියා මහතාණන්ගේ බස්‌ නොහැදහූහ.


පර සිත්‌ දන්නා නුවණැති මාගේ බෝධිසත්ත්වයන්‌ වහන්සේ රජු සිතුවා දැන 'මේ රජ මා මරණ භයින්‌ නන්‌ දොඩතියි සිතයි. සැබවින්‌ ම අඹු දරුවන්‌ මියුලු නුවරට යැවූ නියාව දන්වා ලමි'යි සිතා වදාරන සේක්‌, 'මහරජ, මරණ භයින්‌ නන්‌ දොඩති' සිතූ බැවින්‌ මාගේ බස්‌ අදහන පිණිස තොපගේ අන්තඃපුරයට මිනිසුන්‌ යවා මාළිගාව බැලුව මැනැව. නන්දා දේවීන්‌ හා දරු දෙදෙනා හා නුඹ වහන්සේගේ මෑණියන්‌ ඇතුළු වූ නෑයන්‌ සතර දෙනා සුළු උමඟින්‌ බා ගෙන'වුත්‌ වේදේහ රජ්ජුරුවනට පාවා දී මහ උමඟින්‌ මියුලු නුවරට යවා පියන ලද්දාහු මෙතැනට සාර සියයක්‌ ගවු ගෙවා මියුලු නුවරට යන්නාහ'යි වදාළ සේක.


එවිට රජ්ජුරුවෝ සිතන්නානු, 'පණ්ඩිතයෝ ඉතාම තරව බුහුටිව ම කියන්නාහු, මධ්‍යම රාත්‍රියෙහි ගං තෙර රැකවල්‌ බලා ඇවිදින මා විසිනුත්‌ නන්දා දේවීන්ගේ ශබ්දයක්‌ සේ ම කටහඬකුත්‌ අසන ලදී. මේ පණ්ඩිතයෝත්‌ එසේ මෙසේ කෙනෙක්‌ නො වන්නාහ. මුන්‌ හා සමාන ප්‍රඥා ඇති කෙනෙක්‌ කොයිත්‌ නැත්තාහ. එබැවින්‌ මුන්ගේ බස්‌ සැබෑ සැටිය'යි උපන්නා වූ බලවත්‌ ශෝක ඇත්තහු රාජ ධෛර්ය උපදවා ගෙන නිශ්ශොකී එකක්හු මෙන්‌ එක්‌ අමාත්‍යයකු කැඳවා මාලිගාව බලවන්නාහු, 'එම්බා දරුව, මේ මහෞෂධ පණ්ඩිතයෝ කියන්නාහු 'මාගේ අඹුදරුවන්‌ ආදී වූ අවශ්‍ය බන්ධූන්‌ සතර දෙනා උමඟින්‌ ගෙන්වා තම රජ්ජුරුවන්ට පාවා දී මියුලු නුවරටයවා පිමි'යි කිවූය. උන්ගේ බස්‌ සැබෑද පරීක්‍ෂා කොට පියා වහා එව'යි ගාථාවකින්‌ කීහ.


ඉඃඝ අන්තො පුරං මයහං ගන්ත්වාන විචිනාථනං

යථා ඉමස්ස වචනං සච්චං වා යාදි වා මුසාති


ඒ අසා අමාත්‍යයා සේනාව පිරිවරා මාලිගාවට ගොස්‌ දොර හැර රජගෙට වැද, ඒ රජගෙයි රැකවල සිටියවුන්‌ අල්වා අත්‌ පා බැඳ කට කඩ රෙදි ඔබා බිත්ති කොකුවල එල්ලා පියා තිබූ අන්තඃපුර රකින්නන්ද කුදුන්‌ කුරුන්‌ ආදි වුවන් ද බඳුන්‌ බිඳ ඒ ඒ ස්ථානයෙහි විසුරුවා පියා තුබූ කන බොන දෑ ද, රුවන්‌ ගබඩාවල දොරහැර රුවන්‌ උකා ගත්‌ තැන ඉස පියා තුබූ රුවන්‌ සමූහයද, දොරහැර තුබූ ශ්‍රී යහන්‌ ගබඩාව ද, එසේ ම ඇර පියා තුබූ සී මැදුර කවුළුවෙන්‌ ඇතුළට වැද, උනුනුන්‌ කටින්‌ පූ උදුරා කන්නා වූ කා රැස්‌ බැඳ ඇවිදිනා වූ කපුටු සමූහයන්ද මූදු බඩ කෙවුලන්‌ හැරපියා ගිය සැඬි ගමක්‌ සේද, අමුසොහොනක්‌ සේද, ඉතා නිශ්‍රීක වූ රාජ භවනය බලා පියා ඇවිත්‌ කියන්නේ,


“එවමෙතං මහාරාජා යථා ආහ මහොසධො

සුඤ්ඤං අන්තොපුරං සබ්බං කාකපටට්නකං යථා”


“මහරජ, යම්‌ සේ මහෞෂධ පණ්ඩිතයෝ කිවුද, උන්‌ කීවායින්‌ එක බසෙකත්‌ බොරුවෙක්‌ නැත. ඒ සැබෑ මය. පෙර නුඹ වහන්සේගේ මාළිගය දිව පුරයක්‌ වැන්නැයි සිතමි. එසේ වූ රජගෙය දැන්‌ මූදු තෙර බඩ කෙවුළන්‌ ඇර පියා ගිය ගමෙක මස්‌ ගඳට හැසිරෙන්නා වූ කාක සමූහයක්‌ සෙයින්‌ ඒ මාළිගය කපුටු සමූහයන්‌ ගෙන්‌ අතුරු, සිදුරු නැති ව තුබුයේය. ඒ රජගෙයි නුඹ වහන්සේගේ අඹුදරුවෝත්‌ මෑණියෝත්‌ මා දුටුවේ නැත. ආ ගිය තෙනක්‌ ඇසූ දෑත්‌ නැතැයි, පණ්ඩිතයන්‌ කීයේ සැබෑ මය'යි කීහ. රජ්ජුරුවෝ නෑයන්‌ සතර දෙනාගේ වියෝ දුකින්‌ කම්පිත ව වෙවුලන්නාහු 'මේ දුඃඛය ගොවියා පුතු නිසා ම මට වූයේ යැ’යි දණ්ඩෙන්‌ පහරන ලද ආශීර්විෂයකු පරිද්දෙන්‌ බෝධිසත්ත්වයන්‌ කෙරේ පළමු තරමටත්‌ වඩා ක්‍රෝධ ඉපිද වූහ.


බෝධිසත්ත්වයන්‌ වහන්සේ රජුගේ ආකාරයෙන්‌ ම දැන ලා සිතන සේක්‌ 'මේ රජ්ජුරුවෝ මහා යසස්‌ හා කීර්ති හා පරිවාර හා ඇත්තාහ. යම්‌ සේ ක්‍රෝධ වශයෙන්‌ තමාට මතු මා නිසා වන්නා වූ අභිවෘද්ධි නොසලකා රාජ මානයෙන්‌, ඔවුන්‌ ගෙන්‌ මට ප්‍රයෝජන කිම්ද'යි නොසොයා මට හිංසාවක්‌ කළෝ නම්‌ නපුර, නුවණ නම්‌ මෙසේ වූ තැනට වේද? 'උපායකින්‌ මේ රජු මා කරා නමා ගන්මි' සිතා නන්දා දේවීන්‌ පෙර මේ රජ නොදුටු විරූ කෙනකුන්‌ මෙන්‌ ඒ බිසවුන්ගේ රූප ශ්‍රී වර්ණනා කෙළෙම්‌ නම්‌ බිසවුන්‌ සඳහන්‌ කරන්නහුට 'මේ මහෞෂධ පණ්ඩිතයන්‌ මරා පිම්‌ නම්‌ එබඳු මාගේ ස්ත්‍රී රත්නය නොලබන්නෙමි, ඉදින්‌ නොමැරිම්‌ නම්‌ ඒකාන්තයෙන්‌ නෑයන්‌ සතර දෙනා ලබන්නෙමි'යි සිතා තමන්ගේ බිසොවුන්‌ කෙරේ කළ ස්නේහයෙන්‌ මට කිසි අපරාධයක්‌ නොකරන්නාහ'යි සිතා තමන්‌ වහන්සේගේ ආත්මාරක්‍ෂාව පිණිස මාළිගයේ මතු මහලේ සිටි සේක්‌ ම සන්ධ්‍යා වලා පටලයක්‌ හස්සෙන්‌ ගැසූ විදුලියක්‌ පරිද්දෙන්‌ පෙරව සිටියා වූ රත්‌ පලස යටින්‌ රන්වන්‌ වූ ශ්‍රී හස්තය මෑත්‌ කොට ගෙන, නන්දා දේවීන්‌ ගිය මඟ මේයයි කියන්නා සේ උන්ගේ රූප වර්ණනා කරන සේක්‌, මෙසේ වදාරන සේක.


‘ඉතො ගතා මහාරාජ නාරි සබ්බංගසොහනා

කොසුම්භ ඵලක සුස්සොණි හංසගග්ගරභාණිනි.


“සූරත්තපාද්රා කල්යාගණි ුවණ්නමණිමෙඛල‍ා

පාරවතක්ඛී සුතනු බිම්බොට්ඨා තනුමජ්ඣිමා


“සුජාතා භුජංගලට්ඨිව වෙල්ලීව අනුමජ්ඣිමා

දීගස්ස කෙසා අසිතා ඊසකග්ග පචෙල්ලිතා


‘සුජාතා මිගජාපිව හෙමන්තග්ගි සිකාරිව

නදිව ගිරිදුග්ගෙසු සඤ්ජන්නා බුදුදවෙළුහි


“නගනාසූරු කල්යාසණි පඨමාතිම්බරුත්ථනී

නෙවාතිදීසා නාරස්සා නලොමා නාතිලොමසා’


මෙයින්‌ වදාරා "රජ්ජුරුවන්‌ වහන්ස, සිවු සැටක්‌ පමණ ස්ත්‍රී ලක්‍ෂණයෙන්‌ විරාජමාන වූ නන්දා දේවී මෙසේ ගියාහ. කෙසේ ගියාද යත්‌? උන්‌ මා විසින්‌ උමඟකින්‌ පිටත්‌ කරවා වේදේහ රජ්ජුරුවන්‌ හා කැටි ව මියුලු නුවරට යවා පියන ලදු. තව ද මහරජ, නුඹ වහන්සේ ඒ බිසවුන්‌ කෙසේ වූ රූ ඇති කෙනකුනැ'යි සිතන සේක්ද? උන්ගේ උපමා රහිත වූ රූප ශ්‍රී විලාසය මා අතින්‌ අසා ගත මැනැව, ගන රන්‌ පෝරුවක්‌ බඳු වූ ඉතා මට සිලුටු වූ ශ්‍රෝණි ප්‍රදේශ ඇත්තාහ. බාල හංස පෝතකයන්ගේ ශබ්ද හා සමාන වූ මිහිරි වූ ළඳ බොළඳ ප්‍රිය තෙපුල්‌ දන්නාහ. කශී දේශයෙහි රන්කම්‌ කළ තිහිරි පිළි ඇන්දාහ. ස්වභාවයෙන්‌ ම රන්වන්‌ ශරීර ඇත්තාහ. ජාත රූපයෙන්‌ කරන ලද මිණි මෙවුල්දම්‌ පැළැන්දාහ. මෙසේ සර්වාංග සුන්දර වූ ඒ නන්දා දේවී මා විසින්‌ මෙසේ යවා පියන ලදැ'යි වදාළ සේක.


තව ද අලතා පිරියම්‌ කළාක්‌ වැනි වූ රත්‌ වූ පතුල්‌ ඇත්තාහ. ළද මුව පොල්ලන්ගේ ඇස්‌ හා සමාන ව කනට රහස්‌ කියන්නට ගියාක්‌ වැනි ව දික්‌ වූ කෘෂ්ණ මණ්ඩලය පරවියන්ගේ ඇස්‌ මෙන්‌ ඉතා කොට වැ නිලුපුල්‌ පෙති පරදවන්නා වූ පස්‌ පෑ දිස්නා නේත්‍ර ඇත්තාහ: මනා ව විලිකුන්‌ බිඹු පල සේ රත්‌ වූ අධර පල්ලව ඇත්තාහ: තව ද දෑ හිඟුල්‌ පල්ලෙක්හි ගා වැද්දු සක්‌ කැබලි පෙළක්‌ සේ ශෝභමාන වූ දන්ත පංක්ති ඇත්තාහ. තව ද මනා ව හට ගත්‌ කළථුවැල්‌ ලතාවක්‌ මෙන්‌ ඉතා චංචල ගාත්‍ර ඇත්තාහ: සිහින්‌ වූ මධ්‍ය ප්‍රදේශ ඇත්තාහ. තව ද ඉතා නිල්‌ වූ දික්‌ වූ සිනිඳු වූ අක්‌ බඹුරු වූ කේශ කලාප ඇත්තාහ: තව ද අබිනව මෘගාංගනාවක්‌ සේ ඉතා යහපත්‌ බැලුම්‌ ඇත්තාහ: හේමන්ත කාලයෙහි ගිනි කඳක්‌ මෙන්‌ බැලූ බැලූවන්‌ ඇසට ඉතා ප්‍රිය වන්නාහ. ඇයි ගිනි කඳක්‌ දැකත්‌ ප්‍රිය වෙත්ද යත්‌, ඒ මෙසේ යයි දතයුතු, හිම සමයයෙහි ගින්නක්‌ දුටු කල්හි එහි අත තවා පියන්නට නොසිතන කෙනෙක්‌ නැත්තාහ. එසේ පැහැපත්‌ වහ්නි රාශියක්‌ මෙන්‌ සියලු රූපශ්‍රීන්‌ බබළන්නා වූ ඒ නන්දා දේවීන්‌ දුටුයේ නම්‌ උන්‌ ප්‍රාර්ථනා නොකරන එකද පුරුෂයෙක්‌ ම නැති. තව ද පර්වත ප්‍රාන්තයෙන්‌ හුණු ගංගාවක්‌ දෙහිත්තියෙන්‌ දියට හී එක පිට ගමන්‌ ගෙන සිටි සිහින්‌ නළ කොළ සමූහයෙන්‌ හොබනීද, එපරිද්දෙන්‌ ම ඒ බිසවු ඇඟ තුනු වූ, නොදික්‌ වූ, නිල්‌ වූ, එකහී සිටියා වූ රෝම රාජියෙන්‌ හෙබියාය.


තව ද නන්දා දේවී ඡවි කල්‍යාණය, මාංස කල්‍යාණය, වය කල්‍යාණය, දන්ත කල්‍යාණය, කේශ කල්‍යාණය යන ඉතා ආශ්චර්ය වූ පඤ්ච කල්‍යාණයෙන්‌ යුක්තය. තව ද ඉතා යහපත්‌ ස්වර්ණ ඵලකයෙහි තබා ලූ රන්‌ තිඹිරි ඵල දෙකක්‌ සේ ඉතා සන්තෝෂකර වූ, දරුවන්‌ කොතෙක්‌ ලදත්‌ ආයුෂ කෙතෙක්‌ ගියත්‌ සොළොස්‌ හැවිරිද්දෙහි තන මෙන්‌ ඉතා දැඩි වූ තන සඟළ ඇත්තාහ. ඒ බිසවුන්ගේ තන දැඩි නියාව කියන්නට කාරණා කිම්ද යත්‌, යම්‌ ස්ත්‍රියක්‌ දිව්‍යාංගනාවක්‌ සේ යහපත්‌ වූ රූ ඇත්තී නමුත්‌ එසේ වූ ස්ත්‍රිය නඛාග්‍රයෙහි පටන්‌ කේශාග්‍රය දක්වාත්‌ ඇගේ සර්වාංගයෙහි ඒ ඒ ස්ථානයෙහි සැරහුවමනා චිචිත්‍ර වූ නොයෙක්‌ පළඳනාවෙන්‌ අනූන ව සැරසී සිටියා නමුත්‌ ඇගේ තනය මොළොක්‌ වී නම්‌ පුරුෂයන්‌ ඈ කෙරෙහි කරන්නා වූ ස්නේහය සුඟත්‌ තනය සේ ම මොළොක්‌ වන්නේය. එබැවින්‌ බිසවුන්ගේ රුවත්‌ සිත්‌කලුය, තන දෙකත්‌ ඔවුන්‌ දුට පුරුෂයන්ගේ ස්නේහ වඩනා පරිද්දෙන්‌ ඉතා දැඩිය. එසේ වූ සිවුමැලි බිසව මෙසේ මියුලු නුවර බලා ගියහ'යි ශ්‍රී හස්තය ඔසවා පෑ වදාළ සේක.


මෙසේ ඒ මහතාණන්‌ වහන්සේ නන්දා දේවීන්ගේ රූප ශ්‍රී වර්ණනා කරත්‌ චූලනී රජ්ජුරුවෝ නන්දා දේවී පෙර තමන්‌ නුදුටු විරූ කෙනකුන්‌ පරිද්දෙන්‌ බලවත්‌ ස්නේහ ඉපැද වූහ. රජහුගේ ස්නේහය ආකාරයෙන්‌ දැන වදාරා 'මහරජ, මෙ බඳු රූපත්‌ බිසවුන්‌ මිය යෑමෙහි සතුටු සේක්ද උන්‌ මළ කල නුඹ වහන්සේට කිසි ප්‍රයෝජනයෙක්‌ ම නැද්ද? තවත්‌ උන්‌ මළහොත්‌ මට සන්තෝෂ කරය, කාරණා කිම්ද යත්‌: නුඹ වහන්සේ මා මොබදී මරා පූ නම්‌ මාගේ රජ්ජුරුවෝ ඔබින්‌ නන්දා දේවීන්‌ මරා පියති. එකල නන්දා දේවීත්‌ මමත්‌ දෙන්නා සම ව යම රජු ළඟට යම්හ, ඉතා ධර්මිෂ්ඨ වූ යමරජ අප දෙන්නා බලා පියා කියන කල පුරුෂයන්‌ ගෙන්‌ මහෞෂධ පණ්ඩිතයන්‌ වැනි කෙනකුන්‌ නැත. ස්ත්‍රීන්‌ ගෙන්‌ නන්දා දේවීන්‌ වැනි කෙනකුන්‌ නැතැ”යි කියා, "නන්දා දේවී මහෞෂධ පණ්ඩිතයන්‌ තරම්හ. නන්දා දේවීන්‌ මට ම පාවා දී පියන්නාහ. එබැවින්‌ මා මියත්‌ එබඳු ස්ත්‍රී රත්නයක්‌ ලබන කල සෙසු කුමක්‌ නම්‌ මට සිද්ධ නොවේද? එබැවින්‌ මා මිය යාමෙහි කිසි හානියක්‌ නැතැ”යි වදාළ සේක. බෝධිසත්ත්වයන්‌ වහන්සේ මෙ පරිද්දෙන්‌ නන්දා දේවීන්‌ ම වර්ණනා කළ සේක. සෙස්සවුන්ගේ නමකුත්‌ නොකී සේක. කුමක්‌ නිසාද යත්‌: පුරුෂයෝ නම්‌ තමන්‌ ප්‍රිය භාර්යාවන්‌ කෙරෙහි මෙන්‌ සෙස්සවුන්‌ කෙරෙහි ස්නේහ නැත්තාහ. ඒ නන්දා දේවීන්‌ සඳහන්‌ කරන්නෝ දරු දෙන්නාත්‌ සඳහන්‌ කරත්මය”යි සිතා නන්දා දේවීන්‌ ම වර්ණනා කළ සේක. තලතා දේවී මැහැලි හෙයින්‌ උන්ගේ නමකුත්‌ නොවදාළ සේක. ප්‍රඥා සම්පන්න ඒ මාගේ ස්වාමි දරුවාණන්‌ නුවණින්‌ යෙදී මධුර ස්වරයෙන්‌ වර්ණනා කරත්‌ කරත්‌ ම නන්දා දේවී අවුත්‌ තමා ඉදිරියේ පෙනී ගියා සේ වැටහිණ.


එවිට රජ්ජුරුවෝ සිතන්නාහු, 'මේ මහෞෂධ පණ්ඩිතයන්‌ හැර අනික්‌ කෙනෙක්‌ නන්දා දේවීන්‌ ගෙනවුත් මට දෙන්නට සමර්ථ නැතැ'යි සිතූහ. මෙසේ ඒ බිසවුන්‌ සිතන්නා වූ රජහට බලවත්‌ ශොක උපන්නේය. ඒ බව තමන්‌ වහන්සේ දැන 'මහරජ, නොසිතා වදාළ මැනැව. නන්දා දේවීත්‌ පුතණුවෝත්‌ මෑණියන්‌ වහන්සේත්‌ තුන්‌ දෙනා ම එන්නාහ. උන්‌ මීට එන්නට බාධා නම්‌ මා යන පමණක්‌ මය. මා ගිය විට ම එන්නාහ”යි වදාළ සේක. මෙසේද කියා නැවත වදාරන සේක්‌, "මහරජ, මා ඉන්ද දී මෙ විචරකට ශෝක නොකළ මැනැව, අස්‌ වැසුණ මැනැව”යි රජහු අස්වසා වදාළ සේක. එවිට රජ්ජුරුවෝ සිතන්නාහු, ඉතා ආශ්චර්ය නියාය, මාගේ නුවර සුරක්‍ෂිත කොට රැකවල්‌ ලවා මහත්‌ වූ බල ඇණි පිරිවරා අවුත්‌ මේ නුවර මෙසේ රැකවල්‌ ගෙන සිටිය දී, මේ පණ්ඩිතයෝ නුවරින්‌ නන්දා දේවීන්‌ ඇතුළු වූ මාගේ නෑයන්‌ සතර දෙනා කිසි කෙනකුන්‌ නොදන්නා පරිද්දෙන්‌ ගෙන්වා ගෙන වේදේහ රජුට පාවා දී, අප හැම තමා හුන්‌ මේ නුවර තුන්යම්‌ රාත්‍රියෙහි නිදි මරා රැකවල්‌ ගෙන සිටිය දී, අප ගෙන්‌ කාත්‌ නොදන්නා පරිද්දෙන්‌ වේදේහ රජු හා සේනාව නුවරින්‌ පිටත්‌ කොටයවා පීය. දිව්‍ය මායමක්‌ දනිද්දෝ නොහොත්‌ ඉන්ද්‍ර ජාලයක්‌ දනිද්දෝ හෝ'යි විචාරා බලමි'යි සිතා කියන්නාහු:-


‘දිබ්බං අධියසෙ මායං අකාසි චක්ඛුමොහනං

යො මෙ අමිත්තං හත්ථගාතං වෙසදහං පරිමොචයි’


“මේ කිමෙක්ද පණ්ඩිතයෙනි, මේ සා රාජ සේනාවක්‌ වටලා ගෙන සිටිය දී එසේ රැකවල උන්‌ මාගේ නෑයන්‌ සතර දෙන ගෙන්වා මාගේ සතුරු වේදේහ රජුත්‌ එක්කොට නුවරින්‌ පිටත්‌ කොට යවාපූ තෙපි දිව්‍ය මායමක්‌ දනුද? නොහොත්‌ ඇසට ඉන්ද්‍රජාලයක්‌ දනුදෝ හෝ'යි විචාළහ.


ඒ අසා මහතාණන්‌ වදාරන සේක්‌, "මහරජ, මම දිව්‍ය මායමුත්‌ දනිමි. ඉන්ද්‍රජාලයත්‌ නොදන්නෙම්‌ නොවෙමි, නුවණැත්තාහු දිව්‍ය මායම්‌ ඉගෙන යම්‌ තමහට භයක්‌ පැමිණි කල ඒ භයින්‌ තුමූත්‌ ගැලවී ආශ්‍රය කළවුණුත්‌ ගලවන්නෝ වෙත්ය'යි වදාරා මේ ගාථා වෙන්‌ කීහ:


‘අධියන්තෙ මහාරාජ දිබ්බමායිධ පණ්ඩිතා

තෙ මොචයන්ති අත්තානං නිස්සිතෙ මන්තිනො ජනෙ.


‘සන්ති මානවපුත්තාමෙ කුසලා සන්ධි‍දෙකා

තෙසං කතෙන මග්ගෙන වෙදෙමහා මිථිලං ගතො.


“මහරජ, මා විසින්‌ කළ මායමකුත්‌ නැත. ඇසට ලූ ඉන්ද්‍ර ජාලයකුත්‌ නැත. එසේ කල කෙසේ ගියෝද යත්‌? උමං බිඳීමෙහි දක්‍ෂ වූ මාගේ තරුණ යෝධයන්‌ විසින්‌ දිව්‍ය පුරයක්‌ මෙන්‌ විසිතුරු කොට සරහන ලද උමඟකින්‌ වේදේහ රජ්ජුරුවෝ නුඹ වහන්සේගේ නෑයනුත්‌ ඇරැගෙන මියුලු නුවරට පලා ගිය සේක”යි වදාළ සේක.


ඒ අසා රජ්ජුරුවෝ සිතන්නාහු, එකකු දෙන්නකු පවා උමඟින්‌ යන කල මහා ව්‍යසනයෙන්‌ දුක සේ පිටත්‌ වන්නේය. මේ පණ්ඩිතයෝ සේනා සහිත රජ්ජුරුවන්‌ උමඟින්‌ සුව සේ පැලෑහ'යි කියති. ඒ උමඟ කෙබඳු දෝ හෝ'යි උමඟ දක්නා කැමැති වූහ. බෝධිසත්ත්වයන්‌ වහන්සේ රජ්ජුරුවන්ගේ ආකාරයෙන්‌ ම 'රජහු උමඟ දක්නා කැමැති සැටිය, උන්ගේ මන දොළ පුරා උමඟ දක්වා පියමි”යි සිතා රජහට වදාරන සේක්‌:-


ඉඞිඝ පස්ස මහාරාජ උම්මග්ගං සාධු මාපිතං

හත්ථිනමථ අස්සානං රථානමථ පත්තිනං

ආලොක භූතං තිට්ඨන්තං උම්මග්ගං සාධු නිට්ඨිතං’

මෙසේ වදාරා "මහරජ, මා විසින්‌ කරන ලද උමඟ චිත්‍රකාරයන්‌ විසින්‌ සරහා සිටුවන ලද ඇතුන්ද අසුන්ද එසේ ම රථාලංකාරයෙන්‌ සරහා සිටුවන ලද රථ වාහනද, යුද්ධයට සැරසී සිටියාක්‌ මෙන්‌ ආවේයයි වහා නොදත හැක්කා වූ නොයෙක්‌ ආයුධ අත්‌ ඇති ව සිටි මහත්‌ වූ පාබල සේනාව ද යන සියලු අලංකාරයෙන්‌ දිව්‍ය සභාවක්‌ මෙන්‌ දස දහසක්‌ සක්වළ එකද තෙනකත්‌ මෙබඳු ආශ්චර්යයෙක් නැත. එබඳු උමඟ බලා වදාළ මැනැව”යි කියා නැවතද වදාරන සේක්‌. “මහරජ, මාගේ ප්‍රඥා නමැති චන්ද්‍රයා හා උපාය නමැති සූර්යයා එක්‌ ව නැංගා වූ ස්ථානයෙහි සරහන ලද උමඟ අසූවක්‌ පමණ මහ දොර ඇත්තේය. සිවු සැටක්‌ පමණ සුළු දොර ඇත්තේය. එක්‌ සියයක්‌ ශ්‍රී යහන්‌ ගබඩා ඇත්තේය. නොයෙක්‌ සිය ගණන්‌ පහන්‌ ගබඩා ඇත්තේය. මේ සියල්ල ම දක්නා පිණිස වඤ්චා සිතක්‌ නැති ව සතුටු සිතින්‌ අවෛරි ව මට අවනත ව අව මැනැව. එක්‌ සියයක්‌ රජදරුවන්‌ හා අමාත්‍ය මණ්ඩලය පිරිවරා මේ උපකාරී නුවරට වැඩිය මැනැව.


ඉතින්‌ එසේ නොව 'වේදේහ රජහු ගියත්‌ අර්ධයක්‌ ලද්දේ පණ්ඩිතය'යි කීවා සේ මා කෙරේ මායමින්‌ ඉත සිතින් අඟවා නොසතුටු ලෙසින්‌ නුවරට වැද, දෙන්නාට කළ මනා දෙය මූට ම කෙරෙමි”යි සිතා මා අල්වා ගන්නට මායම්‌ සිතකින්‌ ආ සේක්‌ වී නම්‌ මේ එක දස දහසක්‌ යොදුන්‌ දඹදිව එක්‌ සියයක්‌ රජුන්හා අටළොස්‌ අක්ෂෞහිණි සංඛ්‍යාත චතුරංඟනී සේනාවක්‌ තබා සෘද්ධි සම්පන්න චක්‍රවර්ති රජෙක්‌ තමාගේ ආනුභාවයෙන්‌ සතර මහාද්වීපයෙහි සේනාව ඒ ඒ රජදරුවන්‌ සහිත ව ගෙනා යේ වී නම්‌, මාගේ එකදා උපන්‌ යෝධයන්ගෙන්‌ එක්‌ යෝධයෙක්‌ ම ඒ සේනාව මරා ලුහුබඳවා ජය ගෙන මා රැක ගන්නට පොහොසත්‌ වන්නේය. එබැවින්‌ මහරජ මා කෙරේ පරණ වෛරයක්‌ සිත ඇත්‌ නම්‌ එසේ වූ දුර්මතයක්‌ නොසිතා වහා වැඩිය මැනැව”යි උපකාරී නුවර වාසල් හරවා වදාළ සේක.

42. බ්‍රහ්මදත්තයන් උමඟට වැදීම[සංස්කරණය]

චූලනී රජ්ජුරුවෝ එක්‌ සියයක්‌ රජුන්‌ හා අමාත්‍ය මණ්ඩලය පිරිවරා උපකාරී නුවරට වන්හ. අභිමතාර්ථ සාධක චින්තා මාණික්‍යයක්‌ බඳු වූ ජනනේත්‍ර රසාඤ්ජන වූ මාගේ ස්වාමි දරු වූ තිලෝගුරු බෝධිසත්ත්වයන්‌ වහන්සේ ඇත්‌ සේනාවක්‌ මැදට නොබා නික්මුණු අභීත කේශර සිංහ රාජයකු සේ මාලිගයෙන්‌ බැස රජ්ජුරුවන්‌ වැඳ බ්‍රහ්මත්ත රජ්ජුරුවන්‌ ඇතුළු එක්‌ සියයක්‌ රජදරුවන්‌ හා මහා සේනාව පිරිවරා උමඟට වන්‌ සේක. බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ රාජ මංගල්‍යයට සරහන ලද මාහැඟි වූ නුවරක්‌ බඳු වූ ඉතා ආශ්චර්යවත්‌ වූ උමඟ දැක බෝධිසත්ත්වයන්ගේ ගුණ කියන්නාහු, 'එම්බා රජදරුවෙනි, යම්‌ රජක්හුගේ ජනපදෙහිද එක රටද එක නුවරද එක රජගෙයිද මේ 'මහෞෂධ පණ්ඩිතයන්‌ වැනි කෙනෙක්‌ වෙසෙත්‌ නම්‌, ඒ ජනපදයටත්‌ රටටත්‌ ඒ නුවරටත්‌ ඒ රජුටත්‌ ලාභයෙක්‌ මුත්‌ අලාභයෙක්‌ නැත්තේය. එසේ හෙයින්‌ පණ්ඩිතයන්‌ හා සමඟ වසන්නා වූ වේදේහ රජහට එසේ ම මහා ලාභයෙකැ”යි බෝධිසත්ත්වයන්ට ස්තුති කරන්නාහු වේදේහ රජු කෙරේ ව්‍යාජයෙන්‌ "ඉදින්‌ මහෞෂධ පණ්ඩිතයෝ මා සමීපයෙහිවත්‌ මාගේ නුවරවත්‌ මාගේ ජනපදයෙහි වත්‌ මාගේ ආඥා පවත්නා රට දනව්වෙහි වත්‌ වෙසෙත්‌ නම්‌ මටත්‌ වන්නේ මහා වැඩෙක්‌ මය. මහා අභිවෘද්ධියෙක්‌ මය”යි මහා පසාරයෙන්‌ කීහයි. දත යුතු.


ඉක්බිති බෝධිසත්ත්වයන්‌ වහන්සේ එක්‌ සියයක්‌ ශ්‍රී යහන්‌ ගබඩා දැක්වූ සේක. ඉන්‌ එක්‌ ගබඩාවෙක දොරහළ කල මුළු ගබඩාවල ම දොර හැරුණේය. එකක්‌ පිහි කල මුළු දොර පිහීයන්නේය. මෙසේ ආශ්චර්යවත්‌ වූ උමඟ විස්තර බලමින්‌ රජ්ජුරුවෝ පළමු ව යන්නාහ. පණ්ඩිතයන්‌ වහන්සේ පසු ව යෙති. එක්‌ සියයක්‌ රජදරුවන්‌ හා රජ්ජුරුවන්ගේ අගම්පඩි සේනාව උමඟට වන්නාහ. මහඋමඟ දෙගවුවක්‌ පමණ ගෙවා ගෙන ගොස්‌ රජ්ජුරුවෝ උමං දොර එළිපතින්‌ පිටත්‌ වූහ. බෝධිසත්ත්වයන්‌ වහන්සේ රජහු පිටත්‌ වූ බව දැන තමන්‌ වහන්සේ පිටත්‌ වන සේක්‌ අනිකක්හු පිටත්‌ විය නොදී උමඟ දොර පියන සේක්‌ නොහඟවා එක්‌ ඇණයක්‌ මැඬලූ සේක. ඒ ඇසිල්ලෙහි අසූවක්‌ මහ දොරය, සූ සැටක්‌ සුළු දොරය. එක්‌ සියයක්‌ ශ්‍රී යහන්‌ ගබඩාවල දොරය. සිය දහස්‌ ගණන්‌ පහන්‌ ගබඩාවල දොරය යන සියලු දොරවල්‌ ඒ ක්‍ෂණයෙහි පිහී අගුලු වී ගියේය. ඒ සියලු ම උමඟ ලෝකාන්තරික නරකය මෙන්‌ විය. මහජනයෝ භයින්‌ තැතිගෙන ගියෝය. උමඟ හසු වූවෝ ඔවුනොවුන්ගේ ශබ්දය මුත්‌ 'මූ මූ මැ යැ'යි නොදන්නාහ.

බෝධිසත්ත්වයන්‌ වහන්සේ ඊයේ මධ්‍යම රාත්‍රියෙහි සරණ පාවා දී වේදේහ රජ්ජුරුවන්‌ යවා නැවත උමඟට වදිමින්‌ තමන්‌ වහන්සේගේ මඟුල්‌ කඩුව වැල්ලේ සඟවා තුබූ සේක්ද, ඒ කඩුව තුබූ තෙනින්‌ වහාම අතට ගෙන අටළොස්‌ රියනක්‌ පමණ තැන්‌ ආකාශයට පැන නැඟී බිමට බැස, වමතින්‌ රජහු අත අල්වාගෙන කඩුව බොටුවට පෑ අමෝරා භය ගන්වා “මහරජ, මේ සියලු දඹදිව රාජ්‍යය කාටදැ”යි විචාළ සේක.

රජ්ජුරුවෝ භයින්‌ තැති ගෙන, “පණ්ඩිතයෙනි තොපට මය, තොපට මය, තොපට මය”යි තුන්‌ වරක්‌ කියා “මා නොමරා මට අභය දෙව”යි කීහ. එබසට බෝධිසත්ත්වයන්‌ වදාරන සේක්‌, "මහරජ! නොබව මැනැව, නුඹ වහන්සේ මරන පිණිස කඩුව එසවුයෙම්‌ නොවෙමි. මාගේ ප්‍රඥාවේ ආනුභාව දක්වන පිණිස කඩුව එසවීමි” කියා රජ්ජුරුවන්‌ අතට කඩුව දුන්සේක්‌. “මහරජ ඉදින්‌ මා මරනු කැමැති සේක්‌ වී නම්‌ මේ කඩුවෙන්‌ දැන්‌ මා මැරුව මැනැව, නොමරන සේක්‌ වී නම්‌ අභය දුන මැනැවැ”යි වදාළ සේක. ඒ අසා රජ්ජුරුවෝ “මා විසින්‌ තොපට අභය දෙන ලද්දේය, තෙපි මා කෙරෙහි සැක නොකරව”යි මතුත්‌ ඔවුනොවුනට නොවරදනා ලෙස කඩුව ගෙන සපථ කළහ.


ඉක්බිති රජ්ජුරුවෝ කියන්නාහු “පණ්ඩිතයෙනි, තොපගේ මෙබඳු ප්‍රඥා බල හා කාය බල ඇති ව කුමක්‌ පිණිස රාජ්‍යය නොගනුදැ?”යි කී කල්හි “මහරජ, ඉදින්‌ කැමැත්තෙහි නම්‌ සියලු රජදරුවන්‌ මරා රාජ්‍යය ගනිමි. අනුන්‌ මරා යසස්‌ ගැන්ම නුවණැත්තන්‌ විසින්‌ නින්දා කරන ලදැ'යි වදාළ සේක. රජ්ජුරුවෝ එබසට සතුටු ව කියන්නාහු 'පණ්ඩිතයෙනි, උමඟට හසුවූ මහජනයා උමං දොර නොහරනෙන්‌ වලප්නාහ. උමං දොරහැරැ ඒ සා සත්ත්වයනට ජීවිත දානය දෙව”යි කීහ.

සකල ජනානන්දකර වූ තිලෝගුරු වූ අනාථනාථ වූ කරුණා නිධාන වූ මාගේ ස්වාමිදරුවාණෝ ඒ වේලෙහි දොර හළ සේක. සියලු උමඟ ඉරු නැංගා සේ ඒකාලෝක විය. මහජනයෝ අස්වස්‌ ලදින්‌ සැප සේ සිටියහ. එක්‌ සියයක්‌ රජදරුචෝ තම තමන්ගේ අගම්පඬි සේනාවං හා සමඟ උමඟින්‌ පිටත්‌ ව බෝධිසත්ත්වයන්‌ සිටි තෙනට ගියහ. ඉක්බිති රජ්ජුරුවෝ කියන්නාහු 'තොප නිසාය පණ්ඩිතයෙනි, අප ජීවිත ලද්දේ. මඳ ඇසිල්ලෙකින්‌ දොර නොහළුවෝ නම්‌ අප හැම උමඟ මළම්හ'යි කීහ. ස්වාමි දරුවාණෝ වදාරන සේක්‌ 'දැන්‌ මතු නොවෙයි, තොප හැම මා නිසා රැකුණේ පළමුත්‌ රැකුණේ වේදැ'යි වදාළ සේක, පළමු තමන්‌ ඔබ නිසා රැකුණු නියාව නොදන්නා රජ්ජුරුවෝ 'ඒ කවර කලකද, පණ්ඩිතයෙනි?'යි කීහ. ස්වාමි දරුවාණෝ උන්හැම ගිවිස්වා සලකුණු වදාරන සේක්‌, “රජදරුවෙනි, 'අපගේ මියුලු නුවර තබා සියලු දඹදිව රාජ්‍යය ගෙන මේ උත්තර පංචාල නුවරට අවුත්‌ 'මඟුල්‌ උයන දී, ජය පානය බොම්හ'යි මන්ත්‍රණය කර රා මස්‌ ආදී සියල්ලක්‌ සැරහූ දවස්‌ සිහි කරවූ'යි වදාළ සේක. 'එසේය, පණ්ඩිතයෙනි සිහි ඇතැ'යි කීහ. එසේ වී නම්‌ මේ රජ්ජුරුවන් හා කේවට්ටයා කළ නපුරු මන්ත්‍රණයකින්‌ කේවට්ටයාගේ බස්‌ ගෙන විෂ මිශ්‍ර රා හා මච්ඡ මාංශ කවා තොප හැම මරන පිණිස කළා වූ මන්ත්‍රණය මම දැන, මා සේ වූ පණ්ඩිතයකු ජීවත්‌ ව ඉන්දැ දී මා බල බලා මේ රජ්ජුරුවෝ අනාථ මරණින්‌ නොමියෙත්ව'යි සිතා මාගේ සහජාත යෝධයන්‌ එවා රා හා මච්ඡ මාංශ පිරූ ඒ සැළවල්‌ බිඳුවා, මොවුන්‌ දෙදෙනාගේ මන්ත්‍රණය බිඳ තොපහැම දෙනාට ම ජීවිතදානය දුන්නෙම්‌ වේදැ'යි වදාළ සේක.


ඒ රජදරුවෝ කළකිරුණු සිත්‌ ඇති ව, 'සැබෑද මහ රජ, එසේ කෙළේ? 'යි කීහ. 'කේවට්ටයාගේ බස්‌ ගෙන, රජදරුවෙනි, මා එසේ කෙළේ සැබෑය, බොරුවක්‌ නොවෙයි. පණ්ඩිතයන්‌ කී බස්‌ සැබව'යි කීහ. ඒ රජදරුවෝ සැම දෙන ම බෝධිසත්ත්වයන්‌ සිප ගෙන 'පණ්ඩිතයෙනි, අප හැම දෙනාට පිහිට ව සිටියෝ තෙපි මය. තොප නිසා අප දිවි ලද්දෝය' තමන්‌ තමන්‌ පලන්‌ ඔටුනු සහිත වූ සැට ආභරණයෙන්‌ බෝධිසත්ත්වයන්ට පූජා කළහ. ඒ පූජා විඳ ගෙන සිටි චූලනී රජ්ජුරුවනට උපන්‌ කනස්සල්ල හරණ සේක්‌, "මහරජ නොසිතුව මැනැව, නුඹ වහන්සේගේ වරදක්‌ නොවෙයි මේ වූ කලී දුෂ්ට වූ කේවට්ටයාගේ පාප මිත්‍ර සංසර්ග යෙන්‌ වූ දෝෂයෙකි. මතු මෙ වැන්නක්‌ නොකරන්නෙමි"යි මේ රජදරුවන්‌ ඇම ක්‍ෂමා කර ගත මැනැව”යි වදාළ සේක. රජ්ජුරුවෝ කියන්නාහු, "රජදරුවෙනි, මාගේ නුවණින්‌ තොපහැම දෙනා කෙරෙහි ජන්මාන්තර වෛරයකින්‌ මා කළ දෙයක්‌ නොවෙයි, තෙල ඉතා දුර්ජන වූ, ගුණමකු වූ, ලාමක වූ, කෙළෙහි ගුණ නොදන්නා වූ, අලජ්ජි වූ අනාර්ය ස්වරූප ඇති අවලක්‍ෂණ වූ කේවට්ට නම්‌ ජඩයා නිසා, මා නොදැන කළ අපරාධ ක්‍ෂමා කරවා නැවත මා පණ තබා මෙ වැන්නක්‌ කරන්නේ නැතැ”යි ක්‍ෂමා කර වූහ. මෙසේ රජදරුවන්‌ ඔවුනොවුන්ගේ වරද දෙසා හැම එක්‌ සිත්‌ වීමෙන්‌ සමාගම වූහ.


43. මහෞෂධයන් රඳවා ගන්නට ප්‍රයත්න කිරීම[සංස්කරණය]

ඉක්බිති බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ බොහෝ කන බොන දෑ හා මල්‌ ගඳ විලවුන්‌ ගෙන්වා සියලු රජදරුවන්‌ හා උත්තර පංචාලය, වේදේහ යන දෙරට සේනාව එක්‌ ව, සත්‌ දවසක්‌ උමඟ ඇතුළෙහි ම කෙළ, ඉන්‌ නැඟී උපකාරී නුවරට වැද, බෝධිසත්ත්වයන්‌ වහන්සේට බොහෝ සත්කාර සම්මාන කොට එක්‌ සියයක්‌ රජදරුවන්‌ පිරිවරා මාලිගයේ මතු මහල්‌ තෙලෙහි හුන්නාහු, බෝධිසත්ත්වයන්‌ තමන්‌ සමීපයෙහි රඳවනු කැමැති ව කියන්නාහු, "මහෞෂධ පණ්ඩිතයෙනි දවස්‌ පතා ජීවිත වෘත්තියට දෙන ලද වියදම්‌ ආදියද, ගම් -බිම්-ගව මහීෂ-ඇත්- අස් ආදීන් හා වාහන සමූහයාද, මුතු-මැණික්‌-පබළු-වෛදුර්ය-මසාරගල්ල-ලෝහිතංක-රජත-ස්වර්ණාදී දශවිධ රත්න සමූහයද දෙමි. ඒ ඒ දේශයෙහි අනේක ප්‍රකාර වස්ත්‍ර සමූහයෙන්ද දාසි දාස ආදී වූ නොයෙක්‌ කර්ම කාරයන්ගෙන්ද මාගේ රාජාභිවෘද්ධියට දෙ වනු කොට සිටුවා ලමි. වේදේහ රජ්ජුරුවන්‌ තබා දුන්‌ වෘත්තියට හැම දෙයින්‌ ම කිසිවකුත්‌ නොවරදවා ද්විගුණ කොට දෙවාලමි. එක දේශයට නායක වේදේහ රජ්ජුරුවන්‌ තොප රැක ලිය හෙන කල, දස දහසක්‌ යොදුන්‌ දඹදිවට නායක වූ මම රැක්ක නොහෙම්ද? තව ද තෙපි මියුලු නුවර එක වේදේහ රජ්ජුරුවනට හා වේදේහ රටට සෙනෙවිරත්‌ කම්‌ කරන පමණෙක්‌ වේද? මා සමීපයෙහි රැඳුණා වූ දෑ වී නම්‌ දස දහසක්‌ යොදුන්‌ දඹදිවටත්‌ එක්‌ සියයක්‌ රාජධානියෙහි රජදරුවන්ටත්‌ මටත්‌ තොප තනි ව සෙනෙවිරත්‌ ධූරය කරන හෙයින්‌ රජහු එක්‌ සියයක්‌ දෙනය, එක සෙනෙවිරද්දුය. රජදරුවන්‌ මුළුල්ලට වඩා තොපගේ ආඥාවත්‌ තේජසත්‌ ප්‍රඥාවත්‌ කීර්තියත්‌ සිටින්නේය. ඉදින්‌ මෙහි තෙපි රඳා උන්නු නම්‌ එක්‌ සියයක්‌ රාජධානිවල අමාත්‍ය මණ්ඩලයා සහිත වූ මනුෂ්‍යයෝ තොප මුත්‌ අප ඇතැ'යි කියා නොදන්නාහ. තව ද අවශේෂ වූ මනුෂ්‍යයන්‌ හා එක්‌ සියයක්‌ රජදරුවන්‌ තබා මමත්‌ තොප කීවා මුත්‌ සිතින්‌ සිතා කිසිවකුත්‌ නොකරමි, රඳව'යි කීහ.


රජුගේ සම්පත්‌ බෝධිසත්ත්වයන්‌ වහන්සේ ප්‍රතික්‍ෂේප කරන සේක්‌ මෙසේ වදාරන සේක. "මහරජ, යම්‌ පුරුෂයෙක්‌ බොහෝ දවසක්‌ බොහෝ සම්පත්‌ දී භර්තෘ ස්වාමී ව රක්‍ෂා කළ රජක්හු සමීපයෙන්‌ අනික්‌ රජක්හු 'ඒ සම්පතට වඩා සැපත්‌ දෙමි' කීවයි, ඒ චිරාත්‌ කාලයක්‌ මුළුල්ලෙහි රැකි රජහු හැර, අමුතුව සැපත් දෙමි කී රජහුගේ සම්පත්‌ නිසා එහි ලෝභයෙන්‌ ගියේ වී නම්‌ ඒ හට සිතිනුත්‌ නින්දා ම ය, අනුන්‌ විසිනුත්‌ නින්දා ම ය”යි වදාළ සේක. ඒ කෙසේද යත්‌: තමා විසින්‌ ලබන නින්දා නම්‌, මේ රජ්ජුරුවෝ තමාට සෙසු නෑසියකමක්‌ නැති ව සත්‌ ඇවිරිද්දෙහි පටන්‌ මා තමන්‌ සමීපයෙහි රඳවා මා නිසා ම මාගේ දෙමවුපියනට ඒ සා මහත්‌ උපකාරයකුත්‌ කොට මා මේ සා මහත්‌ තනතුරකට තබා මහා ඓශ්චර්යයෙහි පිහිටුවා රකිමින්‌ සිටියහ. ඒ රජහු අත්හැර 'වඩා සැපත්‌ දෙමි' කීවයි මා කළදෑ නපුරැ”යි තමා තමාට ම නින්දා කරන්නේය. තමා බාල අවස්ථාවෙහි පටන්‌ කාරණාකාරණා උගන්වා 'සම්පත්තීන්‌ සමෘද්ධ කොට මේ සා තනතුරෙක තබා රකිමින්‌ සිටි රජහුහැර, සැපත්‌ වඩා දෙමි'යි කී පමණින්‌ මෙතෙක්‌ දවස්‌ කළ උපකාර ජල රේඛාවක්‌ පරිද්දෙන්‌ කෙළේය. නැවත අන්‌ රජ හටත්‌ මෙතෙක්‌ වේදැ”යි අනුන්ගෙන්‌ ලබන නින්දා නම්‌ මේය. මෙසේ දෙතැනින්‌ නින්දායෙන්‌ මට ගැලවීමෙක්‌ නැත. එබැවින්‌ මාගේ රජ්ජුරුවෝ යම්‌ තාක්‌ ජීවත්‌ ව ඉඳිද්ද ඒ තාක්‌ කල්‌ මුළුල්ලෙහි ම වේදේහ රජ්ජුරුවන්ගේ මහෞෂධ පණ්ඩිතයෝයයි කිවවුන්‌ ලවා බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ මහෞෂධ පණ්ඩිතයෝයි නොකියවමි. මියුලු නුවර මහෞෂධ පණ්ඩිතයෝයයි කියවුන්‌ ලවා උත්තර පංචාල දේශයෙහි මහෞෂධ පණ්ඩිතයෝය'යි නොකියවමි. මේ මාගේ රජ්ජුරුවන්‌ ජිවත්‌ ව ඉන්ද දී මා රඳන්නේ නැතැ”යි වදාළ සේක.

නැවත රජ්ජුරුවෝ කියන්නාහු, “එසේ වී නම්‌ පණ්ඩිතයෙනි, තොපගේ රජ්ජුරුවන්‌ ස්වර්ගස්ථ වූ කල එන්නෙමි” කියා ප්‍රතිඥා දෙව" කීහ. “මහරජ, ජීවිතය නම්‌ මහලුය, බාලයයි නියමයෙක්‌ නැත. එතකොට මම රැකී උනිම්‌ නම්‌ එන්නෙමි”යි වදාළ සේක. ඉක්බිති රජ්ජුරුවෝ බෝධිසත්ත්වයන්‌ වහන්සේට ප්‍රමාණාතික්‍රාන්ත මහා සත්කාර කරවූහ. සත්දවසක්‌ ඉකුත්‌ වූ කල්හි මහතාණෝ ගමනට සමු ඉල්ලූ සේක. නැවත රජ්ජුරුවෝ “පණ්ඩිතයෙනි, තොපට මේ මේ දෙය දෙමි. ඒ ගන්ව”යි ප්‍රසාද කියන්නාහු, මේ ගාථාවෙන්‌ කියත්‌:


“දම්මි නික්ඛ සහස්සං තෙ, ගාමාසීති ච කාසිසූ

දාසීසතානි චත්තාරි, දම්මි හරියා සතං ච තෙ,

සබ්බසෙනඬ්ගමාදාය, සොත්ථිං ගච්ඡ මහොසධ”.


මේ ගාථාවෙහි අභිප්‍රාය නම්‌ "මහෞෂධ පණ්ඩිතයෙනි, තොපට නික දහසක්‌ දෙමි, හෙවත්‌ රන්‌ පස්‌ විසිදහසක්‌ දෙමි. තව ද තොපගේ වේදේහ රටට ආසන්න වූ කශී දේශයෙන්‌ එකී එකී ගමකින්‌ අවුරුද්දකට ලක්‍ෂයක්‌ අය නිමන්නා වූ මෙසෙයින්‌ අවුරුද්දකට අසූ ලක්‍ෂයක්‌ නිමන උත්තම තරමේ සළු ගම්‌ අසූවක්‌ දෙමි. තව ද නොමැහැලි වූ බාල පරම්පරායෙහි සිටි කෙල්ලන්‌ සාර සියයක්‌ දෙමි. තව ද නොයෙක්‌ බිසෝ පළඳනාවෙන්‌ සරහා නිම වන ලද ශරීර ශෝභා ඇති සර්වලක්‍ෂණ සම්පන්න වූ බිසෝවරුන්‌ සියයක්‌ බිරින්දන්‌ කොට පාවා දෙමි. තව ද මාගේ ඇත්‌ අස්‌ රථ පදාති සේනාවන්‌ තොපට නින්දේ ම ප්‍රසාද සේනාවන්‌ කොට දෙමි. තොපගේ සේනාවත්‌ මාගෙන්‌ දුන්‌ සේනාවත්‌ ඇරගෙන සුව සේ තොපගේ රටට යව'යි සමු දුන්හ.


ඉදින්‌ නන්දා දේවීන්‌ හා නෑයන්‌ සතර දෙනා වේදේහ රජ්ජුරුවෝ නේවත්‌ නමුත්‌ පණ්ඩිතයන්‌ වහන්සේ තමන්ගේ යාඥාවට රැඳුණු දෑ වී නම්‌, බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝත්‌ චක්‍ර රත්නය හස්තප්‍රාප්ත වූ සක්විති රජක්හු මෙන්‌ සතුටු වෙත්‌ මුත්‌, පිටත මාගේ බිසවුන්‌ හා නෑ කෙනෙක්‌ ඇත්තෝ වෙද්දැ'යි කියන්නා තබා සිතිනුත්‌ නොසිතන්නාහ.


44. මහෞෂධයන් පෙරලා මියුලු නුවරට පැමිණීම[සංස්කරණය]

බෝධිසත්ත්වයන්‌ වහන්සේ සමු දුන්‌ රජ්ජුරුවන්‌ අස්වසා වදාරන සේක්‌, මහරජ, නුඹ වහන්සේගේ නෑයන්‌ 'මාගේ නෑ කෙනෙක්‌ සාර සියයක්‌ ගව්වෙන්‌ පිටත වෙත්දැ'යි නොසිතුව මැනැව. මම මාගේ රජ්ජුරුවන්‌ නික්මෙන දවස්‌ ම මෙසේ වූ සම්මතයක්‌ කෙළෙමි. කෙසේද යත්‌ : 'මහරජ තෙල නන්දා දේවීන්‌ මවු තනතුරේ තබා දුට මැනැව. පංචාලචණ්ඩ කුමාරයන්‌ මල්‌ තනතුරේ තබා දුට මැනැව'යි කියා පංචාලචණ්ඩි කුමාරිකාවන්‌ අභිෂේකයට පමුණුවා සොළොස්‌ දහසක්‌ බිසෝවරුනට නායක කොට ඔටුනු පළඳවා, රජහට පාවා දී යැවීමි. නුඹ වහන්සේගේ නෑයන්‌ මෑණියන්‌ වහන්සේත්‌ බිසවුන්‌ වහන්සේත්‌ පුතණුවන්දෑත්‌ මා ගිය නොබෝ දවසකින්‌ වහා එවා ලන්නෙමි' වදාළ සේක.


"යහපත, පණ්ඩිතයෙනි”යි කියා තමන්ගේ දියණියනට දුන මනා දායාදයට දාසි දාස වස්ත්‍රාභරණ අලංකාර මුතු මැණික්‌ ආදී දශවිධ රුවන්‌ සමූහයද රත්නාලංකාරයෙන්‌ සරහන ලද ඇත්‌ අස්‌ රථ ආදී වූ වාහන සමූහයද යන මේ දායාද මුළුල්ල කිසිවෙකිනුත්‌ අඩු නොකොට තමන්ගේ නායක තනතුරට හා 'රජ ව මුත්‌ මෙසේ දිය හැකිදැ'යි කට කට කයිවාරු කරන පරිද්දෙන්‌ නොයෙක්‌ සම්පත්‌ මුළුල්ල මාගේ දියණියනට දෙව'යි බෝධිසත්ත්වයනට පාවා දී බෝධිසත්ත්වයන්‌ කැටි ව යන සේනාවට දිය යුතු වියදම්‌ ආදී සියල්ලට විධාන කරන්නාහු එහි නියුක්තයනට මෙසේ කියත්‌, 'කෙසේදයත්‌:-


"එම්බා සගයෙනි, වේදේහ රජ්ජුරුවන්ගේ සොළොස්‌ දහසක්‌ ඇත්‌ ඇණිය. සොළොස්‌ දහසක්‌ අස්‌ ඇණිය, සොළොස්‌ දහසක්‌ රථ ඇණිය, ඒ තරමට නොමඳ වූ සේනාවය යන සියල්ලෝ ම වේදේහ රජ්ජුරුවන්‌ හා කැටි ව පළමු පලා ගියහ. පණ්ඩිතයන්‌ කැටි ව ම සිටියාහු බොහෝ දෙනෙක්‌ නොවන්නාහ. උන්‌ තමනට අගම්පඩි ව සිටින්නාහු සොළොස්‌ දහසක්‌ ඇත්‌ ඇණිය, සොළොස්‌ දහසක්‌ අස්‌ ඇණිය. සොළොස්‌ දහසක්‌ රථ ඇණිය. ඒ තරමට ම වඩා සිටිනා වූ මහා සේනාවය, උන්‌ උනට දෙන්නේ වැඩියෙක්‌ නොවෙයි. උන්‌ උනට පළමු දෙන තරම්‌ පණ්ඩිතයන්ගේ වියදම්‌ අතින්‌ නියම දැන පළමු උන්ගෙන්‌ දෙන්නාට දෙන වියදම්‌ දැන්‌ එකකුට බැගින්‌ සියල්ලනට දෙන වෘත්තිය උත්තමයන්‌ කෙරේ පටන්‌ අධමයන්‌ දක්වා, ඇතුන්‌ පටන්‌ ගවයන්‌ දක්වා, පළමු වියදම්‌ කා සිටින වුනට කිසිවෙකිනුත්‌ රැහැණි නොකරවා, අන්නපාන වස්ත්‍රාභරණ ආදී වූ සියල්ලකිනුත්‌ අඩු නොකොට වහා දෙව. එසේ කල සාර සියයක්‌ ගවු ගෙවා යන්නාහු මග සුව සේ නිදුකින්‌ ක්ලාන්ත නොවී යන්නාහ"යි විධාන කළහ.


නැවත බෝධිසත්ත්වයන්‌ වහන්සේට සමු දෙන්නාහු මෙසේ කියත්‌:-


හස්ති අස්සා රථා පන්ති ගච්ඡෙවාදාය පණ්ඩිත

පස්සතු තං මහාරාජා, වෙදෙහො මිථිලාගතං

මෙයින්‌ කියා, "මහෞෂධ පණ්ඩිතයෙනි, ඇත්‌ අස්‌ රථ පාදාති සේනාව පිරිවරා මහා සන්තෝෂයෙන්‌ 'අසුර විජය කොට ජය ලත්‌ ශක්‍ර දේවේන්ද්‍රයා පරිද්දෙන්‌ වහා නික්මෙව, තොප සුව සේ මියුලු නුවරට ගියවුන්‌ දකින්නට පුල පුලා වේදේහ රජ්ජුරුවන්‌ හා පෙරමඟ බල බලා හිඳිනා නුවරවාසීහු, තොප ගියවුන්‌ දැක සතුටු වෙත්ව”යි කීහ. එක්‌ සියයක්‌ රජදරුවෝද බෝධිසත්ත්වයන්‌ වහන්සේට බොහෝ 'සත්කාර කොට බොහෝ පඬුරු දුන්හ.


ඒ ඒ රජදරුවන්‌ අතරේ සිටි චරපුරුෂයෝ එක්‌ සියයක්‌ දෙන තමන්ගේ පර්ෂද්‌ සමඟ අවුත්‌ පණ්ඩිතයන්‌ වහන්සේ පිරිවරා ගත්හ. මහතාණන්‌ වහන්සේ, ප්‍රාමාණාතික්‍රාන්ත වූ නොහොත්‌ මෙතෙකැයි පමණ නැන්තා වූ චතුරංගිනී සේනාවෙන්‌ ගොඩ ගමන්‌ ගත්‌ මහා සමුද්‍රය පරිද්දෙන්‌ නික්මුණු සේක්‌, අතරමඟ සිට බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්‌ දුන්‌ සළු ගම්‌ අසූවෙහි අය ගෙන්ව”යි මිනිසුන්‌ යවා තමන්‌ වහන්සේගේ වේදේහ රටට සම්ප්‍රාජ්ත වූ සේක.


45. මහෞෂධයන් පිළිගැනීම[සංස්කරණය]

එදවස්‌ උමඟින්‌ යන්නටය'යි කී බසින්‌ දණ නළල වැළමිටි කඬරෙදි බැඳ කෝනමක්‌ හැඳ සැරසුණු ප්‍රඥා සමුද්‍ර වූ ඉතා ගැටවා සේනකයා මතු වන්නා දැන, අතරමග එක්‌ පුරුෂයෙක්‌ සිටුවන්නේ මෙසේ කියා "එම්බා කුඩෙනි! චූලනි රජ්ජුරුවන්‌ මෑත එන්නක්‌ වත්‌ අනෙක්‌ කිසි කෙනකුන්‌ මෑත එන්නක්‌ වත්‌ වහා අවුත්‌ මට කියව"යි කියා සිටුවීය. ඒ පුරුෂයා මියුලු නුවර දොළොස්‌ ගව්වකින්‌ ඔබ්බේ වඩනා මහා බෝසතාණන්‌ දැක, "මහෞෂධ පණ්ඩිතයන්‌ වහන්සේ මහ පෙරහරින්‌ වඩමින්‌ සිටි සේකැ”යි අවුත්‌ සේනකයාට කීහ. ඒ අසමින්‌ සේනකයා වහා රජගෙට ගොස්‌ රජහට කීය. රජ්ජුරුවෝ පණ්ඩිතයන්‌ වහන්සේ එන නියාව දැන, මාලිගාවේ මතු මහලට නැඟී සී මැදුරු කවුළුවෙන්‌ පිටත බැලූ කල්හි සේනාව දැක කියන්නාහු ”අපගේ පණ්ඩිතයන්‌ වහන්සේගේ සේනාව මඳය, උන්හැම තබා සොළොස්‌ දහසක්‌ රථ ඇණිය, එපමණ තරම්‌ සේනාවට වඩා පා බල සේනාවය, ඉතා භයානක ඇත්තේය”යි භයින්‌ තැති ගෙන 'සේනකයා අතින්‌ විචාරන්නාහු:-


“හ්තථි අස්සා රථා පත්ති සෙනෙහි දිස්සතෙ මහ

චතුරඬ්ගිනි භිසංරූපං කින්නු මඤ්ඤසි පණ්ඩිත.”


”ඇත්‌ සේනාවය, අස්‌ සේනාවය, රථ සේනාවය, මේ තෙකැයි පමණ නැති පදාති සේනාවය, මෙසේ හෙයින්‌ ඉතා භයානක ස්වරූප ඇත්තේය. සේනකයනි! තෙපි අන්‌ කවුරුනැයි සිතවුද?”යි කීහ.


සේනකයා රජහු සැක හරවා තත්‌ වූ පරිද්දෙන්‌ කියන්නේ "මහරජ! නොබා වදාළ මැනැව. නුඹ වහන්සේට උතුම්‌ සන්තෝෂයක්‌ වන්නේය. ඊට කාරණා කිම්ද යත්‌: එක්‌ සියයක්‌ රජදරුවන්ගේ සේනාවය, බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ සේනාවය. මියුලු නුවර ගිය සේනාවයයි යන චතුරංඟනී සේනාව පිරිවරා සුවසේ එන සේක්‌ වේද අපට යස දායක වූ අපගේ ළයක්‌ වැනි අපගේ ඇසක්‌ වැනි අපගේ ජීවිතයක්‌ වැනි අපගේ ස්වාමිදරු වූ ජනානන්දකර වූ ලෝක ස්වාමි වූ තිලෙගුරු වූ තිලෝක තිලක වූ ප්‍රඥා සම්පන්න වූ ශරණාගත වජ්‍රපඤ්ජර වූ ප්‍රඥා ප්‍රදීප වූ අපගේ මහෞෂධ පණ්ඩිතයන්‌ වහන්සේ වඩනා සේකැ”යි කීය.


”සේනකය, කුමක්‌ කියවුද පණ්ඩිතයන්ගේ සේනාව මඳය. මේ සේනාව එ දවස්‌ බ්‍රහ්මදත්තයන්‌ ආ නියාව මෙන්‌ මහා සේනාවකැ”යි කීහ. නැවත සේනකයා කියන්නේ "මහරජ, නොසිතා වදාළ මැනැව. අපගේ ස්වාමිදරුවාණන්ගේ ඉතා මිහිරි වූ කර්ණ රසායනයක්‌ බඳු වූ ධර්මාන්විත වූ මධුර කතායෙහි බැඳුණ රජ්ජුරුවන්‌ විසින්‌ ඔබ කෙරෙහි පැහැද ඔබට ප්‍රසාදයෙන්‌ දුන්‌ සේනාවය. සැක නොකොට මැනැවැ”යි කීහ.


ඒ අසා ඉතා සතුටු ව නුවර බෙර ලවන්නාහු "මේ මාගේ සත්‌ යොදුන්‌ මියුලු නුවර දිව්‍ය පුරයක්‌ මෙන්‌ සරහා පණ්ඩිතයනට පෙර ගමන්‌ කෙරෙත්ව”යි කියා බෙර ලැවූහ. නුවර වාසිහු දැක්මට පුල පුලා උන්නාහු එබස්‌ අසමින්‌ ම අටවිසි ගව්වක්‌ පමණ ඒ සා මහත්‌ නුවර අසුර විජය කොට ජය ලදින්‌ එන ශක්‍ර දේවේන්ද්‍රයාට සරහා නිමවන ලද ශක්‍ර භවනයක්‌ මෙන්‌ අති මනෝහර කොට ධජ පතාක පුන්‌ කලස්‌ කදලි තොරණ ආදියෙන්‌ හා සුදු වැලි ලද පස්‌ මල්‌ ආදියෙන්‌ විසිතුරු කොට සරහා නුවරවාසීහු ස්ර්වාභරණයෙන්‌ සැරහී ස්වාමිදරුවාණනට පෙර ගමන්‌ කොට වඩා ගෙනාහ. පණ්ඩිතයන්‌ වහන්සේ ඒ නුවර වාසී වූ ස්ත්‍රී පුරුෂයන්ගේ නේත්‍ර සමූහයන්‌ සතුටු කඳුළෙන්‌ පුරා, තුෂාරයෙන්‌ ආර්ද්‍ර වූ නිලුපුල්‌ පෙති සේ කෙරෙමින්‌, ඇස්‌ සිත්‌ නිවා, තමන්‌ වහන්සේ පස්‌ මසක්‌ මුළුල්ලෙහි නුදුටුවන්‌ ගේ ශෝක සන්සිඳුවා, ළෙහි අමාදිය එව, ඇසට රසාඤ්ජන දෙන්නාක්හු මෙන්‌ අනන්තයා සේ දහසක්‌ මුඛ මවා ඉදින්‌ කිවහොත්‌, ඒ මහතාණන්ගේ ශ්‍රී විලාශයෙන්‌ ස්වල්ප මාත්‍රයකුත්‌ කියන්නට අසමර්ථ වූ අනුපමේය වූ ශ්‍රී විභූතීන්‌ රජගෙට වැද රජ්ජුරුවන්‌ දුටු සේක.

"https://si.wikibooks.org/w/index.php?title=උම්මග්ග_ජාතකය-ix&oldid=19096" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි