Jump to content

උම්මග්ග ජාතකය-vi

Wikibooks වෙතින්

24. මියුලු නුවර වට ලෑම[සංස්කරණය]

චුලනී රජද 'එක්‌ සියයක්‌ රජදරුවන්‌ මරන පිණිස ශෘඞ්ගි ලා ඉදිකරන ලද මෙබඳු සුරා පානය මහෞෂධ පණ්ඩිතයන්‌ විසින්‌ බාධා කෙළේය'යි කිපියේය. එක්‌ සියයක්‌ රජදරුවෝද ‘අපට ජය පානය බී ගත නුදුන්හ'යි කිපියෝ ය. සේනාවද අපි නොමිලයේ බොන සුරා පානය නොලද්දම්හ'යි කිපිය හ. බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝද එක්‌ සියයක්‌ රජදරුවන්‌ බණවා "එච පින්වත්නි. මියුලු නුවර ගොස්‌ වේදේහ රජ්ජුරුවන්ගේ ඉස තල්‌ පැන්‌ පලක්‌ මඬනා සේ කඩුවෙන්‌ කපා පියා දෙපයින්‌ මැඬ ගෙන හිඳ ජය පානය බොම්හ. සේනාව ගමනට සැරසී ගෙන එන පරිද්දෙන්‌ විධාන කරව”යි කියා නැවත රහසිගත ව කේවට්ටයනටද එපවත්‌ කියා “අප ගේ මෙබඳු මන්ත්‍රණයකට බාධා කළා වූ පසමිතුරා ගනුම්හ, එක්සියයක්‌ රජදරුවන්‌ හා අටළොස්‌ අක්ෂෞහිණියක්‌ පමණ සේනාව පිරිවරා ඒ මියුලු නුවරට යම්හ, අප කැටුව එව ආචාරීනී” කීහ.


බමුණානෝ තමන්‌ නුවණැනි හෙයින්‌ ‘මහෞෂධ පණ්ඩිතයන්දෑ ගන්නට නොපිළිවන, ගියොත්‌ අපට මහත්‌ ලජ්ජා වන්නීය’. කාරණා කියා රජ්ජුරුවන්‌ නවතමියි සිතා රජ්ජුරුවනට “දේවයිනි, මේ වේදේහ රජහුගේ බලයෙක්‌ නොවෙයි. මහෞෂධ පණ්ඩිතයන්ගේ විධාන යැ, ඌ තුමූ මහානුභාව ඇත්තාහ. ඒ මහෞෂධ පණ්ඩිතයන්‌ විසින්‌ රක්නා ලද මිථිලා නම්‌ රාජධානිය සිංහයකු විසින්‌ රක්නා ලද රන් ගල්‌ ගුහාවක්‌ පරිද්දෙන්‌ වෙන කිසි කෙනකු විසින්‌ ගන්නට නොහැක්කීය. ගියොත්‌ හුදෙක්‌ අපට ම ලජ්ජා වන්නීය. ඔබ ගමන නොකැමැත්තෙමි” යි කීහ. රජ්ජුරුවෝ වනාහී රාජ මානයෙන්ද ඉසුරු මදයෙන් ද මත්‌ ව දණ්ඩකින්‌ පහරන ලද සර්ප රාජයකු සේ කෝපයෙන්‌ දිලිහී ඒ මහෞෂධයා කුමක්‌ කෙරේදැ'යි කියා එ සේ ම අභිමාන පුරස්සර වූ එක්‌ සියයක්‌ රජදරුවන්‌ පිරිවරා වේරම්බ වාතයෙන්‌ හැළලී ගිය මහා සාගරය සේ කෝප නමැති වාතයෙන්‌ හැළලී ගිය අටළොස්‌ අක්ෂෞහිණියක්‌ සේනාවෙන්‌ යුක්තව නික්මුණාහ. කේවට්ටයෝද තමන්ගේ බස්‌ රජ්ජුරුවන්‌ සිතට නංවාගත නොහී රජ්ජුරුවනට පටහැණි වීම නම්‌ යුක්ත නොවෙයි සිතා රජ්ජුරුවන්‌ හා සමඟ නික්මුණාහ.


බෝධිසත්න්වයන්‌ වහන්සේ විසින්‌ බ්‍රහ්මදන්ත රජ්ජුරුවන්ගේ ජයපානය විධ්වංසනය කරන්නට එවන ලද්දා වූ දහසක්‌ යෝධයෝ තමන්‌ ආ කටයුතු සම්පාදනය කොට එක දවසින්‌ ම රාත්‍රිය මුළුල්ලෙහි ගොස්‌ මියුලු නුවරට පැමිණ තමන්‌ කළ කටයුතු පණ්ඩිතයන්‌ වහන්සේට දැන්වූහ. පළමු ඒ ඒ රජ්ජුරුවන්‌ සමීපයට යවන ලද්දා වූ චරපුරුෂයෝද පණ්ඩිතයන්‌ වහන්සේට චූළනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ 'වේදේහ රජ්ජුරුවන්‌ ගනුම්හ'යි එක්‌ සියයක්‌ රජුන්‌ පිරිවරා එන්නාහ. ‘පණ්ඩිතයන්‌ වහන්ස, පමා නොවන සේක්වා'යි හසුන්‌ එවූහ. 'අද අසවල්‌ තෙන ලැඟුම්‌ ගත්තාහ. අද අසවල්‌ තැන ලැගුම්‌ ගන්නාහ, අද වනාහී නුවරට එන්නා'යි පණ්ඩිතයන්‌ වහන්සේට හසුන්‌ එවන්නා හ. ඒ අසා මහබෝසතාණන්‌ වහන්සේ වඩාලා ම කළමනා විධානයෙහි නොපමා වූ සේක. වේදේහ රජ්ජුරුවෝ වනාහී 'මේ නුවර ගන්නට එත්‌ ල'යි පරම්පරා ශබ්දයෙන්‌ ඇසූහ.


ඉක්බිති බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ පෙර සන්ධ්‍යායෙහි ම ගන්නා ලද්දා වූ ලක්‍ෂ ගණන්‌ ඳඬුවැට පහන්‌ ආලෝකයෙන්‌ ගොස්‌ සියලු සත්‌ යොදුන්‌ මියලු නුවර පිරිවරා ගත්හ. කෙසේ වට කළෝද? යත්‌:- පළමු කොට පාපොළොන්‌ අගල වටා රන්‌ සන්නාහ ලද්දා වූ රන්‌ සැත්‌ රන්‌ පොරෝදු ආදී හස්ත්‍යාලංකාරයෙන්‌ සරහන ලද්දාවූ සොඬින්‌ ගන්නා ලද මුගුරු ඇති ලෝහ ප්‍රාකාර වී නමුත්‌ පිටින්‌ ඇණ සුණු විසුණු කරන්නට සමර්ථ ශක්ති ඇති දෙකපෝලය හා කෝෂය යන තුන්‌ තැනින්‌ වැහෙන්නා වූ එක්‌ එක්‌ මදයකින්ද යථොක්ත ස්ථාන තුන හා දෙකන්‌ සිදුරු හා දෙඇස්‌ සිදුරු යයි යන සප්ත ස්ථානයෙන්‌ වැහෙන්නා වූ එක්‌ මදයකින්ද, එම සජ්ත ස්ථානය හා දෙනාසා පුට, ගුද මාර්ගය යන දශ ස්ථානයෙන්‌ වැහෙන්නා වූ එක්‌ මදයකින්දැයි මෙසේ ගිළිහෙන තුන්‌ මදයකින්‌ යුක්ත වූ සර්වාභරණයෙන්‌ විභූෂිත ජය අකුසු හා තොමරා දී ආයුධ ගත්‌ අත්‌ ඇති ව පිට හිඳිනා ඇතැරුවන්‌ විසින්‌ ගැවසී ගත්‌ ඒ රජ්ජුරුවන්ගේ කෝප නමැති ගින්නෙන්‌ නැගි දුම්‌ කඳක්‌ සේ උස්‌ වූ කන්‌ තලින්‌ කන්‌ තලා ගසා සිටුවන ලද්දා වූ ඇත්‌ වළල්ලකින්ද යුද්ධයට ලන ලද්දා වූ සන්නාහ ඇති අශ්වාලංකාරයෙන්‌ සරහන ලද සින්ධු කාම්බෝජ යෝනකාදී උත්තම දේශයෙහි උපන්නා වූ නානාභරණ ප්‍රතිමණ්ඩිත ව සන්නාහ සන්නද්ධ ව පිටහිඳිනා අසරුවන්‌ විසින්‌ ගැවසී ගත්‌ ‘සතුරා හසු කොට ගනිමි' ඔද වැඩියා වූ රජ්ජුරුවන්ගේ සිත්‌ නැමැති ආකාශ ගංගාවෙහි බිඳී බිඳී දිවන්නා වූ රළ පතර සේ යුද්ධයට පිඹිනා ලද කාහල ශබ්දයෙන්‌ සතුටු ව පැන පැන සිටියා වූ ග්‍රීවයෙන්‌ ග්‍රීවය ගසා සිටුවනු ලද්දා වූ අස්‌ වළල්ලකින්ද, සිංහ සම්‌ ව්‍යාඝ්‍ර සම්‌ අතුරන ලද්දා වූ රථාලංකාරයෙන්‌ සරහන ලද නඟන ලද නානා වර්ණ ධ්වජ පංක්ති ඇති සෛන්ධවයන්‌ යොදන ලද සර්වාලංකාරයෙන්‌ සැරහි පිට බඳනා ලද හියවුරු ඇති නැගෙන ලද ධනුර්ධරයන්‌ විසින්‌ උපක්‍ෂිත වූ සේනා නමැති සමුද්‍රයෙන්‌ නැංගාවූ මහ තල්‌ මස්‌ කැල සේ රිය සකින්‌ රිය සක ගසා සිටුවන ලද රථ වළල්ලකින්ද "සිද්ධාර්ථ කුමාරයන්‌ සමතිස්‌ පෙරුම්‌ පුරා මුළු කොටගෙන බෝධිද්‍රැමයක්‌ පිටුවහල්‌ ලදින්‌ සත්‌ තිස්‌ බෝධිපාක්‍ෂික ධර්ම සංඛ්‍යාත යෝධයන්‌ බල කොට ගෙන විදුරසුන්‌ අරා බුදුවන්නට උන්‌ වේලෙහි ජය ගැන්ම පිළිවන්‌ හෝ වේවයි දුර තබා ම අන්‍යතර ජාතියක අන්‍යතර යුද්ධයක්‌ “කොට බැලුව මැනැව”යි සිතා චූළනී රාජ ව්‍යාජයෙන්‌ ආ වශවර්ති මාරයාගේ සිංහ මුඛ අශ්ව මුඛ ව්‍යාඝ්‍ර මුඛාදී වූ නොයෙක්‌ භයංකාර වූ මුඛ මවා අසි ශක්ති තෝමර හෙණ්ඩිවාල කරවාලාදී වූ දීප්තිමත්‌ නානා විධ අවි ගනිමින්‌ අනේක ප්‍රකාර විකාර වේශයෙන්‌ ආ දස බිම්බරක්‌ මාර සේනාව සේ භයංකාර වූ සේනායෙහි බාහුයෙන්‌ බාහුව ගසා සිටුවන ලද්දා වූ යෝධ වළල්ලකින්දැයි මෙසේ සතර වළල්ලකින්‌ ඒ සත්‌ යොදුන්‌ මියුලු නුවර වටලාවා ඒ ඒ ස්ථානයේ බළ ඇණි සිටවූහ.


මනුෂ්‍යයෝ ඔල්වරහඬ දෙන්නාහු අත්‌ පොළසන්‌ දෙන්නාහු "වටලාගතුම්හ' යන සමාධියෙන්‌ නටමින්‌ ගර්ජනා කරමින්‌ සිට ගත්හ. අටළොස්‌ අක්ෂෞහිණියක්‌ පමණ සේනාවෙහි නඟන ලද මිණිදඬු වැටෙහි ලක්‍ෂ ගණන්‌ පහන්‌ ආලෝකයෙන් ද, එක්‌ සියයක්‌ රජදරුවන්‌ හා හස්ත්‍යශ්වාදී සේනාව පළන්‌ ආභරණයෙහි ආලෝකයෙන් ද සියලු සත්‌ යොදුන්‌ මියුලු නුවර ඒ මහෞෂධ පණ්ඩිතයන්ගේ ප්‍රඥා නමැති සූයදියා පහළ ව සත්ත්වයන්ගේ සිත මෝහන්ධකාර විගමනයෙන්‌ හෙළි වූ කලක්‌ පරිද්දෙන්‌ ආලෝක විය. ඇතුන්ගේ කුංච නාදයෙන් ද අසුන්ගේ භේෂාරවයෙන් ද, රථයෙහි චක්‍ර නාදයෙන් ද, පාබල සෙනඟිහි ගර්ජනාවෙන්ද, සක්‌, සින්නම්හර තන්තිරිපට ගැටපහටු මහබෙර පනාබෙර රන්‌සක්‌ රිදී සක්‌ ආදී වූ පඤ්චාංගික තූර්ය වාදයෙන් ද පොළොව පැළීයන පරිද්දෙන්‌ වූයේ යැ.


සේනකාදී පණ්ඩිතවරු සතර දෙන මහත්‌ වූ කෝලාහල ශබ්දය අසා කුමන අරගලයක්‌ බවත්‌ නොදන්නාහු වේදේහ රජ්ජුරුවන්‌ සමීපයට ගොස්‌ “දේවයිනි මහත්‌ වූ කෝලාහල ශබ්දයෙක, අපි කුමක්‌ බවත්‌ නොදැනුම්හ, කුමන අරගලයෙක්ද'යි විමසුව හොත්‌ යහපතැ”යි කීහ. එබස්‌ අසා රජ්ජුරුවෝ “යළි බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්‌ ආවනැ”යි සී මැදුරු කවුළුව හරවා පිටත බලන්නාහු උන්‌ ආ බැව්‌ දැන භයින්‌ ත්‍රස්ත ව “ඉදින්‌ අපගේ දිවි නැත. බ්‍රහ්මදත්තයා තෙමේ දැන්‌ දැන්‌ අප හැම මරන්නේය”යි සේනකාදීන්‌ හා සමඟ කතා කරමින්‌ හුන්හ.


මහබෝසතාණන්‌ වහන්සේ වනාහී චූළනී රජ්ජුරුවන්‌ ආ බව දැන, සිංහයකු මෙන්‌ කිසි භයක්‌ නැති ව නුවර මුළුල්ලෙහි රැකවල සකස්‌ කොට ලවා “රාජාදීනු භයින්‌ දිලිහී ලා හිඳිති. මා උන්‌ අස්වසාලුව මැනැව”යි රජගෙයි මතූමාලයට නැඟී රජ්ජුරුවන්‌ වැඳ එකත්පස්‌ ව සිටි සේක. රජ්ජුරුවෝ මහබෝසතාණන්‌ වහන්සේ දැක ලබන ලද අස්වස්‌ ඇති ව ම පුතණුවන්‌ මහෞෂධ පණ්ඩිතයන්‌ විනා අනික්‌ මා මේ දුකින්‌ මුදන්නට සමර්ථ කෙනෙක්‌ නැතැයි සිතා පණ්ඩිතයන්‌ වහන්සේ හා සමඟ කතා කරන්නාහු :- "මහෞෂධ පණ්ඩිතයෙනි, පඤ්චාලදේශ වාසී වූ බ්‍රහ්මදත්ත රජ තෙමේ එක්‌ සියයක්‌ රාජධානියෙහි සියලු අටළොස්‌ අක්ෂෞහිණියක්‌ පමණ සේනාව සමඟ ආයේය. පඤ්චාල රාජධානි සන්තක වූ මේ සේනා තොමෝ 'මෙතෙකැ'යි පමණ නැත්තීය. ඉතා මහත්‌ ද්වාරට්ටාල සාලාදී වූ නොයෙක්‌ කර්මාන්තයට පිටින්‌ ගෙන එන්නා වූ දැව පත්‍ර සංගාලියම්‌ වෙට්ටම්‌ ලෑලි ආදී වූ දාරු සම්භාරයන්‌ ගෙන ඇවිදිනා වඩු සෙනඟින්‌ යුක්ත වුව, සියලු සංග්‍රාමයෙහි දක්‍ෂ වූ ඇතුන්‌ අසුන්‌ ආදී වූ බළ සෙනඟ ඇත්තීය. ගහන බැවින්‌ තමා අතුරට වන්නවුන්‌ නොපෙනෙන පරිද්දෙන්‌ පය බිම ගෑවිය නොදී උර පිටින්‌ ගෙන යන්නීය. හස්ති ශබ්දය, අශ්ව ශබ්දය, රථ ශබ්දය වීණා ශබ්දය, මෘදංග ශබ්දය, ගීත ශබ්දය, තාල ශබ්දය 'විදුව ගනුව අනුව'යි මෙසේ දශ විධ ශබ්දයෙන්‌ යුක්ත වුව, ඇතුන්‌ ආදී වූ සිවුරඟ සෙනඟෙහි පවත්නා නාදය මූදු පරගානා සේ පවත්නා හෙයින්‌ මුඛ එව, ඔබ යව, යුද්ධ කරව, පමා නොවෙව්‌, යනාදී වූ ඒ ඒ කටයුත්තෙහි නියෝග වචන වාග්‌ භේදයෙන්‌ දන්වන්ට නොපිළිවන්‌ හෙයින්‌ මෘදංග මද්දලාදි වූ නා නා ප්‍රකාර භේරි ශබ්දයෙන්‌ හා සංඛ කාහල ශබ්දයෙන්‌ හඟවන්නා වූ ඒ ඒ කටයතු ඇත්තීය. සත් රුවනින් විසිතුරු වූ සන්නාහයෙන් හා ස්වර්ණ ජාල හස්ති කුන්ත විශේෂයෙන් ද රාජ රාජ මහාමාත්‍යාදීන් විසින් පළඳනා ලද්දා වූ කනක, කටක, රසනා, නූපුර, තාඩංක, වළය, තිසර පට, අවුල් හර, උදර බන්ධන, ගැට නිමුල් හර, පස් රූ පස් වළලු, පේරැස්, එක්වැටි, පාමුදු, පාඩගම්, පාසලඹ, පාදජාලා, පාදත්‍ර-පාදාභරණාදි වූ ශරීරාභරණයෙන් ද හොබනී ය. කනක රජතාදීන් විචිත්‍ර වූ රක්ත නීලාදි වූ නා නා වස්ත්‍රයෙන් සමුජ්වලිත රථාදියෙහි නඟන ලද නා නා ප්‍රකාර ධවලච්ඡත්‍ර පංක්තියෙන් ගැවැසී ගත්තී ය. ඇත් වාහන, අස් වාහන රථ වාහනයෙන් යුක්ත ය. හස්ති ශිල්ප යැ, අශ්ව ශිල්ප යැ, රථ ශිල්ප යැ, ධනුශ්ශිල්ප යැ ආදි වූ අටළොස් මහා ශිල්පයෙහි කෙළ පැමිණියන් විසින් විශේෂයෙන් සමෘද්ධ ය. මේ සේනා තොමෝ සිංහ සමාන වික්‍රම ඇත්තී ය. ශූර යෝධයන් විසින් සුප්‍රතිෂ්ඨිත ය. මේ සේනාවෙහි පොළොව හා සමාන නුවණ ඇති රහස් මන්ත්‍රණ කරනසුලු වූ හෙවත් දෙදවසක් තනි වැ හිඳ සිතුව හොත් මහ පොළොව පෙරළන්නට ද අහස හා පොළොව හා ගැට ලන්නට ද පොහොසත් වූ පණ්ඩිතවරු දස දෙනෙක් ඇත්තාහ. ඒ පණ්ඩිතවරුනට වඩා අධික වූ ප්‍රඥා ඇති රජ්ජුරුවන්ගේ මෑණියෝ තලතා දේවී පණ්ඩිතවරුන් දස දෙනාට එකොළොස් වැනි ව හිඳ චූලනී රජ්ජුරුවන්ගේ සේනාවට අනුශාසනා කරන්නාහු ය.


"වැළිදු ඒ තලතා දේවීන්ගේ ප්‍රඥාව කෙසේ ද යත හොත්:- එක් දවසක් මිනිසෙක් සාල් නැළියක් ද බත් මුළක් ද මසුරන් දහසක් ද හැරගෙන "ගඟින් එතෙර යෙමි" යි ගඟ මැදට ගොස් දිය සැඬ සෙයින් එතෙර වැ ගත නොහී, එතෙර සිටි මිනිසුන්ට "පින්වත්නි, මා අතැ සාල් නැළියක් හා බත් මුළක් ද මසු දහසක් ද ඇති. මෙකී තුනින් මට යමක් රුචි වී නම් ඒ දෙමි; තොප හැම දෙනා කෙරෙන් යම් කෙනෙක් මා එතෙර කළ හොත් නම් ඌ මා එතෙර කෙරෙත්ව" යි මෙසේ කී ය, ඉක්බිති ශක්ති සම්පන්න පුරුෂයෙක් කච්චිය තර කොට හැඳ ගෙන ගඟට බැස ඒ පුරුෂයා අත අල්ලා ගෙන එතෙර කොට, "මට දිය යුතු දෙය දෙව" යි කී ය. ඒ තෙමේ "සාල් නැළිය හෝ බත් මුළ හෝ ගනුව" යි කී ය. ඒ අසා දියෙන් එතෙර කළ පුරුෂයා, "මම මාගේ ජීවිතය නොසලකා තොප එතෙර කෙළෙමි. මට සාල් නැළියෙන් හා බත් මුළින් හා ප්‍රයෝජන නැති. මසු දහස දෙව" යි කී ය. ඒ අසමින් "යමක් මට රුචි වී නම් ඒ දෙන්නෙමි, කීයෙමි. දැන් මට යමක් රුචි වී නම් ඒ දෙමි. කැමැත හොත් ගනුව" යි කී ය.


ඒ තෙමේ සමීපයෙහි සිටි එකකුට එපවත් කී ය. එයිත්, "යමක් තමනට රුචි වී නම් ඒ තොපට දෙමීයි කියා වේ ද උන් කීයේ? උන් දෙනු කැමැති දෙයක් හැර ගනුව" යි කීයේ ය. ඒ පුරුෂයා උන් කී බසැත් නො සිට, "එසේ මා ගන්නේ නැතැ" යි ඔහු ඇරගෙන අධිකරණ නායකයන්ට සරුප කී ය. අධිකරණයේ ඇත්තෝ ද දෙන්නාගේ බස් අසා, "ඌ දුන් දෙයක් ගනුව" යි එ ලෙස ම කිවූ ය. ඒ පුරුෂයා අධිකරණ නායකයන්ගේ යුක්තියෙහි නො සිට රජ්ජුරුවන්ට දැන්වී ය. රජ්ජුරුවෝ අධිකරණ නායකයන් ගෙට ගෙන්වා ගෙන උන් මැදයේ දෙන්නාගේ බස් අසා, එලෙස ම කියා යුක්තිය පසිඳිනා සේ නොදන්නාහු, තමාගේ ජීවිතයෙහි ආසාවක් නැති වැ ගඟට බට තැනැත්තවු ම පැරැදවූහ. එවේලෙහි රජ්ජුරුවන්ගේ මෑණියෝ තලතා දේවී තුමූ එ තැනට නුදුරු තැනෙක හුන්නාහු රජ්ජුරුවන් යුක්තිය නපුරු කොට පසුන් බව දැන, "පුත, මේ යුක්තිය සලකා පියා කියව" යි කීහ. "මෑණියන් වහන්ස, මා දන්නේ මෙ පමණෙක් ම ය. ඉදින් නුඹ වහන්සේ අමුත්තක් දන්නා සේක් වී නම් පසිඳුව මැනව" යි කීහ.


තලතා දේවී, "යහපත, යුක්තිය පසිඳිමි" කියා ඒ දියෙන් යන්නට සිටි පුරුෂයා බණවා, "මෙසේ එව දරුව, තොප අත තුබූ සාල් නැළියත් බත් මුළත් මසු දාසත් තුන පිළිවෙළින් බිම තබාලව" යි කියා පිළිවෙළින් ම තබවා තෝ දියෙන් යන්නෙහි මූට කුමක් කී දැ?"යි විචාරා, මෙලෙස කීමි’ කී කල්හි "එසේ වී නම් තට රුචියක් හැර ගෙන යව" යි කීහ. ඒ තෙමේ මසු දාහ අතට ගත. ඉක්බිති ඌ මඳ තැනක් ගිය කල බිසොවු ඌ ගෙන්වා, "දරුව, මසු දහස තොපට අභිප්‍රාය දැ?" යි විචාරා, "එසේ ය, කැමැත්තෙමි" කී කල "දරුව, තොප විසින් මින් මට යමක් රුචි වී නම් ඒ දෙමී" මෝහට කියන ලද ද, නොකියන ලද දැ යි කියා, "කියන ලද ය, දේවීන් වහන්සැ" යි කී කල, "එසේ වී නම් මේ මසු දාස මෝ හට දෙව" යි කීහ. ඒ තෙමේ හඬමින් වලපමින් මසු දාස ඕ හට දුන්නේ ය. එ වේලෙහි රජ්ජුරුවෝ ද අමාත්‍යයෝ ද සතුටු වැ සාධුකාර දුන්හ. එ තැන් පටන් තලතා දේවීන්ගේ නුවණ දඹදිව මුළුල්ලෙහි පතළ වී ය. මේ නිසා ය, මා චූලනී රජ්ජුරුවන්ගේ මෑණියන් තලතා දේවීන් එකොළොස්වනු වැ සේනාවට අනුශාසනා කෙරෙති’ යි කීයේ.


නැවැත ඒ සේනාවෙහි පඤ්චාල රාජ්‍යයෙහි අනූන වූ පරිවාර සම්පත් ඇති බ්‍රහ්මදත්තයා විසින් හැර ගත් රට ඇති, මරණ භයින් තැති ගත් එක් සියයක් රජ දරුවෝ මේ චූලනී රාජයා සමග යෙති. අටළොස් අක්ෂෞහිණියක් සේනාවෙන් මේ මිථිලා නම් රාජධානිය වට ලා පළමු ඇත් පවුරෙක, දෙවැනි ව අස් පවුරෙක, තුන්වැනි ව රථ පවුරෙක, සතරවැනි වැ යෝධ පවුරෙකැයි මෙසේ සතර වළල්ලක් හා ඇත් වළල්ලට හා අස් වළල්ලට හා අතුරෙහි එක් වීථියෙක; අස් වළල්ලට හා රථ වළල්ලට අතුරෙහි හා එක් වීථියෙක; රථ වළල්ලට හා බළ වළල්ලට හා අතුරෙහි එක් වීථියෙක; මෙ සේ තුන් සන්ධියකින් වට කරන ලද වේදේහ රට වාසීන්ගේ මිථිලා නම් රාජධානිය හාත්පසින් කැණ උඩ නඟන කලක් පරිද්දෙන් පවුරු පදනම් බිඳ, දැන් සුනු විසුනු කරනු ලැබෙයි. මහෞෂධ පණ්ඩිතයෙනි, හාත්පසින් යම් බඳු සේනාවක් විසින් පිරිවරන ලද ද, ඒ සේනාවට මත්තෙහි පෙනෙන නොයෙක් සිය දහස් ගණන් මිණි දඬු වැට පහන් කරණ කොට ගෙන තරුවැලින් ගහන වූ ආකාශය වැන්න. පණ්ඩිතයෙනි, නුවණ නම් මෙ සේ වූ තැනට වේ ද? තොප හා සම නුවණැති කෙනෙක් නම් නැති, මෙ සේ වූ මහා සේනාවෙන් අප ගැලැවීමක් කෙසේ වේ දැ?" යි කීහ.


මෙසේ රජ්ජුරුවන් මරණ භයින් යුක්ත වැ කියන්නා වූ බස් අසා මහ බෝසතාණන් වහන්සේ, ‘මේ රජ්ජුරුවෝ ඉතා මරණ භයින් භයපත් වැ ගියාහ. රෝගයෙන් පෙළෙන එකක් හට අවස්ථා පිළියමක් දන්නා වෙදකු පිළිසරණ වන්නා සේ ද සා දුකින් පෙළෙන එකකුට භෝජනය මුත් අනෙකක් පිළිසරණ නොවන්නා සේ ද පිපාසා ඇති එකකුට පැන් පුව හොත් මුත් ඒ පිපාසය නොසන්සිඳෙන්නා සේ ද මේ රජ්ජුරුවනට මා මුත් අනෙක් පිළිසරණක් නැති. රජ්ජුරුවන් අස්වසාලමි’ යි සිතා ඉක්බිති රජ්ජුරුවනට මහ බෝසතාණන් වහන්සේ සැට යොදුන් රග්ගල් තලා මස්තකයෙහි නාද කරන ලද සිංහ රාජයකු මෙන් "නො බව මැනැව, දේවයන් වහන්ස, රාජ්‍ය සුව අනුභව කළ මැනැව, මම කැටක් ගෙන කපුටු රැසක් පලවන එකක්හු මෙන් ද දුන්නක් අල්ලා ගෙන වඳුරු මුළක් පලවන එකක්හු පරිද්දෙන් ද මේ අටළොස් අක්ෂෞහිණියක් පමණ සේනාව බඩැ බන් කඩ පමණකටත් අස්වාමික කරවා නිගණ්ඨ සේනාවක් පරිද්දෙන් ඉස් ලූ ලූ අත ලුහුබඳවා පියමි. එය මට භාර ය. ‘සටනෙකැ’යි සිතක් නො තබා භය නො ගෙන සුව සේ රාජ්‍ය ශ්‍රී අනුභව කළ මැනැවැ" යි කී සේක.


මෙ සේ කියා රජ්ජුරුවන් අස්වසාලා මාළිගයෙන් බැස නුවර බෙර ලවා හැම දෙනාට වදාරන සේක් "පින්වත්නි, තෙපි හැම සතුරෝ වටලා ගත්තෝ වේ දැ’ යි නො සිතා, මල් ගඳ විලෙවුන් හා අටළොස් වර්ගයේ කැවුම් හා රා මස් ආදි නොයෙක් අන්නපාන සපයා වස්ත්‍රාභරණයෙන් සැරැහී උත්සවයට පටන් ගනුව; සමහර කෙනෙක් තොප තොපට සුදුසු පරිද්දෙන් බොවු නම් මහා පානයත් බොව; බෙර ගසව; ගී කියව; එළු සන්, ඔල්වර සන්, අසුරු සන් දෙව. සියල්ලක් නැති කෙනකුට මාගෙන් දෙමි. මහෞෂධ පණ්ඩිතයෝ නම් මම ය. කිසි භයක් නො කරව; මාගේ අනුභාව බලව" යි කියා අස්වසා වදාළ සේක. ඒ බසින් නුවර වාසීහු සත් අවුරුද්දේ පටන් ඔබගේ බල තමන් ඇම ඉඳුරා දන්නා හෙයින් කිසි භයක් නැති වැ සංකා රහිත වැ නැටුම් ආදි සියල්ලෙන් ම මහතාණන් වදාළ පරිද්දෙන් උත්සවයට පටන් ගත්හ.

25. නුවර ගැන්මට යෙදු උපාය[සංස්කරණය]

නුවර ඇතුළෙහි ගී කියන වයන අරගල පිටත සිටි සතුරෝ අසන්නාහ. සතුරන්ගෙන් බොහෝ දෙන කුරුබිලියෙන් ඇතුළු නුවරට වදනාහ. සතුරු වැ ආ විටෙක මුත් දුටු දුටුවන් නො අල්ලන්නාහ. එ සේ හෙයින් සතුරන්ගේ සඤ්චාරය නො සිඳෙන්නේ ය. නුවරට වන් වන් මනුෂ්‍යයෝ උත්සව කෙළනාත් ජය පානය බොන්නාත් ජන කෝලාහලත් දක්නාහ. බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ ඇතුළු නුවර කෝලාහල අසා සමීපයෙහි සිටියවුන්ට කියන්නාහු "පින්වත්නි, අටළොස් අක්ෂෞහිණියක් පමණ මේ සේනාව ගෙන’වුත් තමන්ගේ නුවර වටලා ගත් නියාවට කිසි භයක් වත් තැති ගැන්මක් වත් නැත්තේ ය. සන්තෝෂයෙන් යුක්ත වැ පස්වනක් ප්‍රීතින් පිනා ගියවුන් සේ අත්පොළසන් දෙන්නාහ; අඬ ගසන්නාහ; එළුසන් දෙන්නාහ; ගී කියන්නාහ; බෙර ගසන්නාහ. කොල කුමන අශ්චර්යයෙක් දැ?" යි කීහ. එ සේ කී රජ හට චරපුරුෂයෙක් බොරුවක් ගොතා ගෙන කියන්නේ, "දේවයන් වහන්ස, මම කිසි කටයුත්තක් නිසා කුරුබිලියෙන් ඇතුළු නුවරට වන්නෙම්. සැණකෙළි කෙළනා ජනයන් දැක, පින්වත්නි, සියලු දඹදිව රජ දරුවන් සේනා සහිත වැ අවුත් තොපගේ නුවර වට ලා ගෙන සිටිය දී තොප හැම මෙසේ ප්‍රමාද වැ වසන්නට කාරණා කිම් දැ"යි විචාළෙමි. ඔහු මට කියන්නාහු, "අපගේ රජ්ජුරුවන් කුමාර කල මෙසේ වූ දොළෙක් විය. කෙසේ ද යත්: දස දහසක් යොදුන් දඹදිව රජුන් මුළුල්ල සේනාව පිරිවරා අවුත් මා උන් නුවර පිරිවරා සිටි කල සැණකෙළි කෙළිමී" යි දොළක් උපන. ඒ දොළ දැන් මුඳුන් පැමිණියේ ය. එබැවින් සත් දවසක් සැණකෙළි කෙළුව යි නුවර බෙර ලවා තමන් වහන්සේ මාළිගයේ මතු මහලේ අමාත්‍ය මණ්ඩලය පිරිවරා හිඳ මහා සන්තෝෂයෙන් මත් වැ ජය පානය බොන සේක් යැ" යි කීහ. මම එ බස් අසා "රජකු බොළඳ නියා යැ" යි නින්දා කෙළෙමි’ යි කී ය.


බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ එ බස් අසා දණ්ඩෙන් ගසන ලද ආශීර්විෂයක්හු මෙන් ක්‍රෝධයෙන් දිලිහී කිපුණාහු "කොල, වහා මේ නුවර ඒ ඒ දිගින් අගල මැඬ හස්වා පවුරු, දොරටු, අටලු, වාසල්, බලකොටු ආදිය බිඳ, සුනු විසුනු කෙරෙමින් වහා නුවරට වැද, ගැල් පුරා ගෙන’වුත් කොමඩු බානා සේ මහා ජනයා ඉස් කපා ගනුව; වේදේහ රජහු ඉසත් වහා ගෙනෙව" යි කීහ. එ බස් අසා බලසම්පන්න යෝධයෝ නොයෙක් ආයුධ ගත් අත් ඇතිව, "නුවර ගනුම්හ" යි පවුරු වාසල් සමීපයට ගියාහු, බෝධිසත්ත්වයන් වහන්සේගේ යෝධයන් විසින් දමන ලද කලල් වැලි ආදියෙන් මහා විනාශයට පැමිණ නුවර බිඳිනා තබා පවුර සමීපයටත් යා නොහී, නැවත යන්නාහ. ඉදින් සමහර කෙනෙක් නොනැවත, "පවුර බිඳුම්හ" යි වාසි කියා සාහසික වැ ගොස් අගලැ බටවු නම් අන්තරට්ටාලවල සිටියෝ ඊ, දඬු, මුණ, කොහොල්, තෝමර, භෙණ්ඩිවාලාදීන් දමා මහා විනාශයට පමුණුවන්නාහ. බෝධිසත්ත්වයන් වහන්සේගේ යෝධයෝ බ්‍රහ්මදත්තයන්ගේ යෝධයනට අතින් මුහුණින් උසුළු පෑ නොයෙක් ප්‍රකාරයෙන් ආක්‍රෝෂ පරිභව බෙණෙමින් ගහට කරන්නාහ. මච්ඡ මාංස හා කන බොන දෑ හා රා විත් ඔඩම් ආදිය පුරා ගෙන පිටත සිටියවුන්ට දික් කොට පුළු ගන්වා නැවත තුමූ ම කන්නාහ; බොන්නාහ. මෙසේ සතුරන් කිපෙනසුලු වූ නොයෙක් විකාර කෙරෙමින් පවුරින් ඇතුළේ පදනමැ උන්ට පෙනෙන නියාවෙන් සක්මන් කරන්නාහ. බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ යෝධයෝ උනට කිසිවකුත් කොට ගත නො හී ගෙඩි බැට කා, අත පය හිස නළලැ ලේ පිස පසු බල-බලා දිවන්නාහු, රජ්ජුරුවන් සමීපයට ගොස් "දේවයන් වහන්ස, ඍද්ධිමත් කෙනකුන් ආකාශයෙන් ගොසින් වදුත් මුත් මිනිසුන් විසින් මේ නුවර වදනා තබා සිතන්නටත් බැරි යැ" යි කීහ. එබස් අසා රජ්ජුරුවෝ නොසතුටු වැ කීප දවසක් රඳා නුවර ගන්නා උපායක් නොදන්නාහු කේවට්ටයා විචාළහ. "ආචාරීනි, නුවර ගන්නා තබා පවුර ළඟට යන්නටත් සමර්ථ එක ද සත්ත්වයෙක් නැති. කුමක් කරමෝ දැ?" යි කීහ.


එබස් අසා බමුණා කියන්නේ, "වන්නා ව මහ රජ, නුවරට පැන් නම් පිටතින් වන්නේ ය. කීප දවසක් පැන් නවතා ලන්නා පැන් නොලදින් ක්ලාන්ත වූවාහු දොර ඇර පියන්නාහ. එවිට අපි සිත් වූ පරිද්දෙන් සතුරන්ට කට යුතු කියම්හ" යි කී ය."කොල, එයිත් උපායකැ"යි එතැන් පටන් පැන් වැද්ද නො දෙන්නාහ. එපවත් බෝධිසත්ත්වයන් වහන්සේගෙන් රජහු සමීපයෙහි සිටි චර පුරුෂයෙක් පතක ලියා ඊ දණ්ඩක බැඳ, ඇතුළු නුවරට විද පී ය. බෝධිසත්ත්වයන් වහන්සේ ද සතුරන් ආ දවස් විධානයක් කරන සේක්, "යමෙක් ඊදණ්ඩක බැඳ විද පී පතක් දුටුයේ වී නම් වහා ගෙන’වුත් මට දෙව" යි වදාළ සේක. එ බැවින් එක් පුරුෂයෙක් ඒ පත ගෙන’වුත් දින. ස්වාමි දරුවාණෝ ඒ බව දැනිමේ කේවට්ට මහල්ලා ඇතුළු වූ අඥාන ජඩයෝ මා තව ම මහෞෂධ පණ්ඩිත බව නොදන්නා වන්හ’ යි සිතා, සැට රියන් උණ දණ්ඩක් ගෙන්වා සරියේ දෙකක් කොට පළා ඇතුළ පිට ගැට හරවා ශුද්ධ කොට නැවත එක් කොට තබා සමින් වසා බඳවා පිට මැටි ගාවා තපස්වීන් ලවා හිමාලයෙන් ගෙන්වූ මැටි හා ඇඹුල බිජු හා ගෙන පොකුණු අසැ දියෙහි බිජුවට රෝපණය කරවා මැටි පිට උණ දණ්ඩ සිටුවා ඇතුළේ පැන් පුරවා ලූ සේක. එක රැයින් ම පැළය නැඟී උණ දණ්ඩ මුඳුනින් රියනක් පමණ වඩා මලෙක් පිපී සිටියේ ය. ඒ අභිමතාර්ථසාධක වූ චින්තා මාණික්‍යයක් බඳු වූ මාගේ ස්වාමි දරු වූ බෝධිසත්ත්වයන් වහන්සේ ඒ මල් දඬු මුලින් උදුරුවා "මේ බ්‍රහ්මදත්ත රජ්ජුරුවනට දෙව" යි තමන් වහන්සේගේ පුරුෂයන්ට දුන්හ. ඔහු ඇඹුල දණ්ඩ වළල්ලේ ලා "කොල, බ්‍රහ්මදත්තයන්ගේ පුරුෂයෙනි, සයින් නො මියැ තෙල මල කඩා හිස පැලඳ ගෙන ඇඹුල දඬු හුයා ගෙන බඩ පුරා කා පියව" යි පවුරින් පිටත දමා ලූහ.


එයිත් බෝධිසත්ත්වයන් වහන්සේගෙන් ම සිටි චර පුරුෂයෙක් හැර ගෙන රජ්ජුරුවන් සමීපයට ගොස්, "බැලුව මැනව, දේවයන් වහන්ස, මෙබඳු ඇඹුල මලක් හා මේ සා දිග ඇඹුල දණ්ඩක් දුටු විරූ දෑ නැතැ" යි කී ය. රජහු,"මැන බලව" යි කී හෙයින්, චර පුරුෂයා මනන්නේ සැට රියන් දණ්ඩ අසූ රියන් කොට මැන පී ය. රජහු "මේ කෙසේ වූ තැනක ඇති වී දැ?" යි කී හෙයින්, ඉන් ම එකෙක් රජහු කටින් බස උදුරා ගත්තා සේ බොරුවක් ගොතා ගෙන කියන්නේ, "මම එක් දවසක් රා ටිකක් බී පියනු කැමැති ව කුරුබිලියෙන් ඇතුළු නුවරට වන්නෙම්, නුවර වාසීන් දිය කෙළිනා මහ පොකුණක් දිටිමි. බොහෝ මනුෂ්‍යයෝ ඔරු අඟුළු ආදියෙහි ඉඳගෙන මල් කඩා දිය කෙළ ඇවිදිනාහ. මේ වූ කලි ඒ පොකුණේ ගොඩ අස පිපි මලක සැටි ය. ඉදින් ගැඹුරු තැනෙක පිපි මලෙක් වී නම් සියක් රියනටත් වඩා ඇත්තේ වේ දැ" යි කී ය. ඒ අසා,"ආචාරීනි ‘පැන් නවතා මේ නුවර ගනුම්හ’ යි නො සිතව. ඒ තොපගේ උපායෙක් නො වෙය" කීහ.


"එ සේ කල දේවයන් වහන්ස, මෙ විට මා සිතූ දෙය ඉතා ම යහපත. නුවරට වී සාල් නම් පිටතින් ම වන්නේ ය. ඒ වී සාල් වැද්ද නො දෙම්හ. බතින් පීඩිත වූ මනුෂ්‍යයෝ දොර හැර පියන්නාහ. එවිට අල්ලා ගෙන කැමැත්තක් කරම්හ" යි කී ය. ඒ මන්ත්‍රණයත් පළමු පරිද්දෙන් ම පතෙකින් දැන "මේ නිවට වූ කේවට්ටයා මා නුවණැති නියාව නොදන්නා වනැ" යි කියා, අනුප්‍රාකාර යැ යි කියන ලද පදනම් මුඳුනේ කලල් අතුරුවා, ඊ පිට වී ඉස්වාලූ සේක. බෝධිසත්ත්වයන්ගේ අභිප්‍රාය නම් සිද්ධ වන්නේ ය. එබැවින් එක රැයින් පෑළ නැඟී සත් යොදුන් මියුලු නුවර වටා පවුරු මුඳුනින් ඉතා නිල් වලා සමූහයක් සේ අතිනීල වැ පෙනෙන්නට වන. ඒ දුටු රජ්ජුරුවෝ, "පවුරු මුඳුනේ ඉතා නිල් වැ අර මේ පෙනෙන්නේ කිම් දැ?" යි සිටියවුන් විචාළහ. චර පුරුෂයෙක් කියන්නේ "දේවයන් වහන්ස, ගොවියා පුත් මහෞෂධ පණ්ඩිතයා තමා ප්‍රඥා බලයෙන් මතු වන්නා වූ භය දැන, තමාගේ විධාන වැටෙන්නා වූ මේ ජනපදයෙහි වී ටිකක් ඇයි තිබී දැ යි එක හෙළා ගෙන්වා ගෙන මේ සා මහත් නුවර හැම දෙනාගේ කොටු ගෙවල් පුරවා, ඉතිරි වී පවුර පිට හා වීථියේ ඒ ඒ ස්ථානයෙහි හා ලවා පී ය. ඒ වී තාක් මුළුල්ල අවුවේ වියළී වැස්සේ තෙමී පැළ නැඟී ගොයම් වැ ගියේ ය. මම එක් දවසක් කටයුත්තක් පිණිස කුරුබිලියෙන් ඇතුළු නුවරට වන්නෙම් පවුර අසැ තුබූ වියෙන් වී ටිකක් ඇර ගෙන "කොල, ඉතා යහපත් වීයෙක, ඉස්නෙමි, කියා වීථියට දමා පීමි. ඒ දැක එතැන සිටි ජනයෝ මා වෙහෙසන්නාහු, "ඉතා ම බඩ සා සැටි ය. කැමැත්තෙහි වී නම් තිලින් පොදියක් කොට බැඳ ගෙන ගොස් පැහැර පියා පිස ගෙන බඩ පුරා කා නො මිය" යි කීහ. "ඒ වී මා ඇල්ලූ සේ ඉතා නපුරැ" යි මම ලජ්ජාවට පැමිණියෙමි" යි කී ය. ඒ අසා රජ කේවට්ටයාට කියන්නේ "වී නවතාත් මේ නුවර ගත නොහැක්ක. තාගේ එයිත් උපායෙක් නො වෙයි. හැර පියව" යි කීහ.


"දේවයන් වහන්ස, නොසිතා වදාළ මැනව, අනෙක් බලවත් මාගේ උපායෙක් ඇති. නුවර ඇතුළේ වලක් නැති හෙයින් දර නම් පිටතින් ගෙන මුත් නොහැක්කේ ය. දර නවතා ලා නුවර ඇර ගනුම්හ" යි කීයේ ය. ඒ මන්ත්‍රණයත් පෙර පරිද්දෙන් ම දැන වදාරා පවුරු පිටින් වී හා ගොයම් හා හරවා පිටතට පෙනෙන නියායෙන් දර රැස් කරවා පී සේක. පවුරේ උන් මනුෂ්‍යයෝ බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ යෝධයනට සිනා සිසී වෙහෙසන්නාහු "කොල, දර නැති වැ පිස කෑ නොහී සයින් පීඩිත වැ නො හිඳ, නැති කෙනෙක් උළු කැන් බත් ආදිය පිස කව; බොව" යි කියමින්, "තෙල ඇර ගන්ව" යි මහත් දර කඳන් ඇඟට දමා ලන්නාහ. සමහරු ඒ වැද ගෙන තැළි-තැළී මහත් දුක්ට පැමිණෙන්නාහ. රජ්ජුරුවෝ දර රාශිය පෙනෙන්නා දැක "තෙල කිමෙක් දැ?" යි විචාළහ. එතැන ද සිටි චර පුරුෂයන්ගෙන් එකෙක්, "ඇයි මහ රජ, නො දන්නා සේක් ද? ගොවියා පුත් මහෞෂධයා මතු වන්නා වූ භය දැන වලැ දරෙක් තිබී ද? එක හෙළා අද්දා ගෙන’වුත් නුවර ගෙයක් පණහා පෑළ දොරවල් පුරා ලා ඉතිරි වන දර පවුරු පිට රැස් කරවා පී යැ" යි කී ය. ඒ අසා කේවට්ටයාට "මේ නුවර දර නවතාලා ඇර ගන්නට නොපිළිවන. තාගේ එයිත් උපායෙක් නො වෙයි. ඇර පියව" යි කීහ. ඉතා ඇවිලි අවන්නා වූ නිවට වූ කේවට්ටයා කියන්නේ, "මහරජ, නො සිතා වදාළ මැනව. මාගේ බලවත් අනෙක් උපායක් ඇතැ" යි කී ය. ඒ අසා "ආචාරීනි, උපාය නම් තමා කිම් ද? මේ සා මහත් වූ තොපගේ උපායෙකින් වැඩකුත් නිමාවකුත් දුටු දෑ නැති. මෙ නුවර වේදේහ රජු අල්ලා ගන්නට නොපිළිවන. එබැවින් අපගේ නුවරට යම්හ" යි කීහ.



26. ධර්ම යුඬය[සංස්කරණය]

නැවත අඥාන වූ මහලු බමුණු කියන්නේ, "දේවයන් වහන්ස, බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ එක් සියයක් රජ දරුවන් හා ඒ සා මහත් චතුරංගිනී සේනාවන් ගෙනවුත් වේදේහ රජු අල්ලා ගත නො හී පැරැද පලා ගියහ’ යි අපට මහත් ලජ්ජා වන්නී ය. නුවණැත්තෝ නම් මහෞෂධ පණ්ඩිතයෝ මතු නො වෙති. මමත් මහා නුවණැත්තෙමි. එක් ලෙසකින් ඔහු පරදවා පියම්හ" යි කී ය. "ආචාරීනි, එ ලෙස නම් තමා කිම් දැ?" යි කී හ. "ධර්ම යුද්ධය නම් දෙයක් කෙරෙමි" යි කී ය. "ධර්ම යුද්ධ නම් කිම් දැ?" යි කීහ. "මහරජ, දෙසේනාව සටන් නොකොට මැනව, රජ දරුවන් දෙදෙනාගේ පණ්ඩිත දෙදෙන එක තැනකට එද්ද, ඉන් එක් කෙනෙක් වැන්දවු නම් වැඳි පක්ෂයේ රජ හට පරාජය වන්නේ ය. වැඳුම් ලත් පක්ෂයේ රජ හට ජය වන්නේ ය. ඒ මන්ත්‍රණ මහෞෂධ පණ්ඩිතයෝ නොදන්නාහ. මම ඉතා වැඩිමහල්ලෙමි. මහෞෂධ පණ්ඩිතයෝ බාලයෝ ය. ආචාර දන්නා නුවණැති පණ්ඩිතයන් හෙයින් ඔහු මා දුටු කල සැක නැති වැ වඳනාහ. එවේලෙහි වේදේහ රජු සැබැවින් පැරැද්දා නම් වන්නේ ය. එ සේ කොටත් වේදේහ රජු පරදවා පියා නැඟී යම්හ. එසේ කලැ අපට ලජ්ජා නොවන්නී ය. ධර්ම යුද්ධ නම් මේ යැ" යි කීහ. එසේ රහස් කථාවත් පෙර පරිද්දෙන් ම දැන වදාරා, "කේවට්ටයාට මිනුත් මම පැරැද්දෙමි නම් මාගේ කුමන පණ්ඩිත කමක් දැ?" යි සිතූ සේක. බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝත්, "ආචාරීනි, ඒ උපාය ඉතා යහපත, සෙට උදෑසන ධර්ම යුද්ධ වන්නේ ය. ඉදින් ධර්ම යුද්ධයට නො අවු නම් එයිත් පැරැද්දා නම් වන්නේ යැ" යි ලියා කුරුබිලියෙන් වේදේහ රජ හට යැවූහ.


ඒ අසා වේදේහ රජ්ජුරුවෝ බෝධිසත්ත්වයන් දෑ කැඳවා එ පවත් කී හ. ඒ අසමින් සකල ජනානන්දකර වූ තිලෝගුරු බෝධිසත්ත්වයන් වහන්සේ "යහපත, දේවයන් වහන්සැ" යි කියා, බස්නාහිර වාසලින් පිටත ධර්ම යුද්ධ මණ්ඩලය සැරැහූ සේක. එතෙකුදු වුවත් ඒ ඒ රජුන් කෙරෙහි සිටි චර පුරුෂයෝ එක් සියයක් දෙන, "කවුරු දනිද්ද, කිම් දැ" යි බෝධිසත්වයන් වහන්සේට ආරක්ෂාව පිණිස කේවට්ටයා පිරිවරා සිට ගත්හ. බ්‍රහ්මදත්තයන් හා එක් සියයක් රජදරුවෝ ධර්ම යුද්ධ මණ්ඩලයට ගියාහු පුර දියවක යහපත් දවස් සඳ බලන්නට එක් සිත් වැ එක දිසාව බලන්නවුන් පරිද්දෙන් පැදුම් දිග බලා සිටියහ. එසේ ම නිවට වූ කේවට්ටයාත් නැඟෙනහිර දිසාව බල-බලා "කල් යේනු, කල් යේනු" යි කිය-කියා සිටියේ ය.


තමන් පා පියුම් ලෝ මුඳුන් කළ තිලෝගුරු බෝධිසත්ත්වයන් වහන්සේ, එ දවස් උදෑසන සොළොස් කළයක් සුවඳ පැනින් ඉස් සෝධා නහා ලක්ෂයක් අගනා කසී සළුවක් හැඳ සර්වාභරණයෙන් විභූෂිත වැ, නොයෙක් රසයෙන් අග්‍ර වූ, අමරා දේවීන් විසින් පිසින ලද භෝජනය අනුභව කොට, මහත් පෙරහරින් වාසල් දොරකඩට ගොස්, ආ නියාව කියා යවා "මපුතණුවෝ වහා එත්ව" යි රජ්ජුරුවන් විසින් කී කල්හි රජ ගෙට වැද, රජ්ජුරුවන් වැඳ එකත්පස් වැ සිට, "කිමෙක් ද පුත, මහෞෂධ පණ්ඩිතයෙනි?" යි රජ්ජුරුවන් කී කල්හි, "ධර්ම යුද්ධයට යෙමි" යි වදාළ සේක. "පුත මා විසින් කුමක් කළ මනා දැ?" යි කීහ. "දේවයන් වහන්ස, කේවට්ටයා මැණිකෙකින් වඤ්චා කරනු කැමැත්තෙමි. එ බැවින් අෂ්ටවංක මාණික්‍ය රත්නය ලද මැනැවැ" යි වදාළ සේක. "පුත, එයිත් මට කියා ද ගන්නේ? ඇර ගන්ව" යි කී කල්හි, ශක්‍රයන් පළමුත් තමන් වහන්සේට දුන් මාණික්‍ය රත්නය ශ්‍රී හස්තයෙන් ගෙන, රජහු වැඳ මාළිගයෙන් බට සේක. තමන් වහන්සේ හා එක දවස උපන් යෝධයන් දහස හා සිවුරඟ සෙනඟ හා පිරිවරා, අනූ දහසක් රන් වටනා හැළි අසුන් යොදන ලද, සර්වාලංකාරයෙන් සැරහූ රථයකට පැන නැඟී, දවල් මේ නිමවන වේලාවට වාසල සමීපයට පැමිණි සේකැ.


කේවට්ටයෝ ද, “මහෞෂධ පණ්ඩිතයන් දැන් එතී, දැන් එතී” මහ බෝසතාණන් වහන්සේ වඩනා පෙර මඟ කර ඔසව-ඔසවා බලා ගෙන සිටීමෙන් කොක් කරක් සේ දික් වූ කර ඇති වූහ. මහා බෝධිසත්ත්වයන්ගේ දිගන්තරයෙහි පතළා වූ තේජස් පරිද්දෙන් පහරන්නා වූ හිරු රැසින් ඩා වෑහෙන්නා වූ ශරීර ඇති වූහ. මහ බෝසතාණන් වහන්සේ ද, ඔද වැඩියා වූ සාගරය පරිද්දෙන් පොළොව මැඬ පියන්නා සේ වීථිය පුරා ගෙන යන්නා වූ ඇත් අස් ආදි වූ පරිවාරයෙන් යුක්ත වැ අසම්භීත වැ, වාසල් දොර හරවා, නුවරින් නික්ම, රථයෙන් බැස, කෙසරු සලා විදහා කිලිපොළන්නා වූ සිංහ රාජයකු සේ විජෘම්භනය කෙරෙමින්, ධර්ම යුද්ධ මණ්ඩලයට ම වැඩි සේක. එක් සියයක් රජ දරුවෝ ඒ මහතාණන් වහන්සේ රූපෛශ්වර්යය දැක, “නුවණින් සියලු දඹදිව තමන්ට දෙවන, කෙනකුන් නැති, සිරිවඩ්ඪන සිටාණන් පුතණුවෝ මහෞෂධ පණ්ඩිතයෝ නම් මොහු යැ” යි සමාධීන් ඔල්වර හඬ සිය ගණන් පැවැත්තූහ. පණ්ඩිතයන් වහන්සේ ද දෙව්ලොව දෙවියන් පිරිවරා අසුර යුද්ධයට නික්මුණු සක්දෙව් රජහු පරිද්දෙන් උපමාවිෂයාතික්‍රාන්ත වූ ශ්‍රී සෞභාග්‍යයෙන් යුක්ත වැ ඒ අෂ්ටවංක මාණික්‍යරත්නය අතින් ගෙන, කේවට්ටයන් ඉදිරියෙහි ළංව වැඩි සේක. කේවට්ට බමුණා මහ බෝසතාණන් වහන්සේ දැක, ඔබගේ තේජසින් සිටි පළ සිටින්නට අපොහොසත් වැ පෙර ගමන් කොට, "මහෞෂධ පණ්ඩිතයෙනි, අපි දෙන්නමෝ ම පණ්ඩිතවරුම්හ. තොප නිසා අවුත් මෙතෙක් කල් මෙතැන වසන අපට තෙපි අමුතු පඬුරක් පමණ වත් නොඑවූ විරූ ය. කුමක් නිසා ද මෙසේ ම සාදරයක් නොකළේ?" යි කී ය. එසේ කී කේවට්ටයන්ට බෝසතාණන් වහන්සේ "පණ්ඩිතයෙනි, තොපට සුදුසු පඬුරක් සොයන්නෙම් අද මේ මිණි රුවන ලදිමි. හැර ගනුව. මෙ බඳු මිණි රුවනක් මේ මුත් නැතැ" යි වදාළ සේක. කේවට්ටයෝ පණ්ඩිතයන් වහන්සේ අත දිලියෙන මිණි රුවන දැක, ‘මේ පණ්ඩිතයෝ මට මිණි රුවනක් ගෙනා වන්නාහ’ යි සිතා, "එසේ වී නම් දෙව" යි අත දික් කළහ. බෝසතාණන් වහන්සේ ද "හෙ ද ගනුව" යි අත දික් කොට, අත ඇඟිලි අග මැණික එළාලූ සේක. බමුණාණෝ බර වූ මිණි රුවන ඇඟිලි අගින් රඳවා ගත නුහුණුවහ. මැණික පෙරැළී ගෙන ගොස් බෝසතාණන් වහන්සේගේ පාමුල වැටී ගියේ ය.


බමුණාණෝත් ලෝභයෙන් ‘මැණික ගනිමි’ යි බෝධිසත්ත්වයන් වහන්සේගේ ශ්‍රී පාද මූලයට නැඹුරු වූහ. ඒ දැක බෝසතාණන් වහන්සේ බමුණා නැඹුරු වූ තැනැත්තවු කර ඔසවා ගත නොදී ම එක් අතෙකින් පිටිකර හා එක් අතෙකින් පිටි මුල හා තරයේ අල්ලා ගෙන, "නැඟී සිටුව, ආචාරීනි, නැඟී සිටුව, ආචාරීනි, මම බාලයෙමි; තොපගේ මුනුබුරු තරමට ඇත්තෙමි. මා නො වඳුව" යි කිය-කියා මුඛය හා සමග නලළ පෙරළ-පෙරළා කොරසැඩි බිම උලා රත් වද මලක් සේ ලේ හා පස් හා වකා, "නුවණ නැත්තව, තෝ මා අතින් වැඳුම් ගන්නට සිතයි දැ?" යි බොටුව අල්ලා ගෙන දමා ලූ සේක. මෙ තෙමේ ඉස්බක් පමණ තැන වැටී ගොස් නැඟී සිට වැලි පිස-පිස පලා ගියේ ය. මැණික වනාහි මහ බෝසතාණන් වහන්සේගේ මිනිස්සු ම ඇර ගත්හ.


"නැඟී සිටුව, ආචාරිනි, මා නො වඳුව" කියා මහ බෝසතාණන් වහන්සේ බැණ නැඟි හඬ සියලු චතුරංගිනී සේනායෙහි අරගල මැඬ ගෙන සිටියේ ය. "කේවට්ට බමුණා විසින් මහෞෂධ පණ්ඩිතයන් වහන්සේගේ පා වඳනා ලදැ" යි සියලු පර්ෂත් කොක් සන් දී පිළී හිස සිසාරා අත්පොළසන් දී කෝලාහල කළහ. බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් හා එක් සියයක් රජ දරුවන් හා ඇතුළු හැම දෙන ම කේවට්ටයා මහෞෂධ පණ්ඩිතයන් පා පිට නැමුණා දුටුවාහු ම ය. නැවත කියන්නාහු, "අපගේ කේවට්ට ආචාරීන් විසින් මහෞෂධ පණ්ඩිතයෝ වඳනා ලද. එ බැවින් අපි පැරැද්දම්හ. අපගේ ජීවිතය මෙ විට නො දෙන්නාහ" යි භයින් තැති ගෙන, තමන්-තමන්ගේ අසුන් පිට නැඟී උත්තර පඤ්චාල නුවරට මූණ ලා නමා ගත්හ. ඒ යන්නවුන් දැක බෝධිසත්ත්වයන් වහන්සේගේ පිරිස එක පැහැර කියන්නාහු, "කොල බ්‍රහ්මදත්ත රජු එක් සියයක් රජුන් හා සේනාව හා ඇරගෙන බිඳී පලා යන්නාහ" යි මහත් කොට හඬ ගසා කෝලාහල කළහ. ඒ අසා රජදරුවෝ තාක් මුළුල්ල වඩ-වඩා භයපත් වැ පලා යන්නාහු ම ය. ඔවුනොවුන් නො බලා මහා සේනාවෝත් බිඳී ගියහ. බෝධිසත්ත්වයන්ගේ පිරිස ඒ දැකත් වඩ-වඩා කෝලාහල පැවැත්වූහ. කරුණානිධාන වූ මාගේ ස්වාමිදරුවාණෝ “බිඳී යන්නවුන් ලුහුබඳව” යි යන බසකුත් නො කියා, තමන් වහන්සේගේ සේනාව පිරිවරා නුවරට වන් සේක. බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් හා ඒ සා මහත් සේනාව හා දොළොස් ගව්වක් තැන් බිඳී පලා ගියහ.


ඉතා අලජ්ජී වූ දුෂ්ට වූ කේවට්ටයා අසු නැඟී, කටින් ලේ දම-දමා නළලේ ලේ පිස-පිස දිවන්නේ ය; සේනාවට ආසන්න ව අසු පිට ම හිඳ, "පින්වත්නි, නො යව; මම ගොවියා පුතු නොවැන්දෙමි. සිටුව, සිටුව" යි කී ය. එසේ කීවත් සේනාව නොරඳා ම දිවන්නාහු මෙසේ කියන්නාහථ "කොල පවිටු දුෂ්ට අධර්මිෂ්ඨ වූ නිකෘෂ්ට අනාචාර ස්වරූප ඇති අවලක්ෂණ වූ අඥාන බමුණු මහල්ල, තෝ, ‘ධර්ම යුද්ධය කෙරෙමි’ යි කියා ගොසින් තට මුනුබුරු තරමටත් නැති ඉතා බාල තැනැත්තන් වැඳ පී ය. මේ මනුෂ්‍ය ලෝකයෙහි උපන් සත්ත්වයන්ගෙන් ජඩ වූ යම් එකක්හු කළ මනා යම් නොකටයුත්තක් ඇති නම් ඒ සියල්ලෙන් තා විසිනුත් නොකළමනා දෙයක් ඇද්ද? ජඩය, මැත නොදොඩා තොයිත් තාගේ පණ නො නසා යන අතෙක නැඟී යා" යි යනාදීන් කිය-කියා ඔහුගේ බස් තමන් කනෙක නො හෙළා ඕ හට ආක්‍රෝශ පරිභව බෙණෙමින් නොරඳා ම දිවන්නාහ.


එ බමුණා වහ-වහා ම දිව ගෙන ගොස් සේනාව මැදට පැන මෙසේ කියා ලී ය "ඇයි? කුමක් කියවු ද? මම ගොවියා පුතු නො වැන්දෙමි. මම ගොවියා පුතු නොවැන්දෙමි. කොල, වඳනා කෙනෙක් නළල දණ වැලමිටි ලේ ලා ගෙනත් වඳිද්ද? මේ වැඳීම් මාන තොප අතින් අද ඇසීමි, ඒ ගොවියා පිත් මාණික්‍ය රත්නයෙකින් මා වංචා කොට පී යැ" යි නොයෙක් කාරණ කියා ගිවිස්වා තමා වසඟ කොට, එසේ මිදී තුන් යොදුනක් පලා ගිය ඒ සා මහත් සේනාව රඳවා නැවත ගෙන’වුත් පළමු පරිද්දෙන් මැ වට ලා ගත. බෝධිසත්ත්වයන් වහන්සේගේ අනුභාවයෙන් නො සිතූ හෙයින් මුත් ඉදින් ඒ සේනාව එක් එක් පස් මිටක් වත් දැමුයේ වී නම් අගල් තුන පුරා ගෙන අටළොස් රියන් පවුර පිට නැවත එපමණ ගොඩ කරන්නටත් වඩා ඇති වන්නේ ය. ඒ එසේ මැ යි. තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් ම "බෝධිසත්තානං අධිප්පායා නාම ඉජ්ඣන්ති" "බෝසතුන්ගේ අදහස් නම් සිදු වේ" යි වදාළ බැවින් අභිමතාර්ථසාධක වූ චින්තාමාණික්‍යයක් බඳු වූ මාගේ බෝධිසත්ත්වයන් වහන්සේගේ තේජසින් ම පස් මිටක් වත් කැටක් වත් නුවර දිසාවට දමන්නා තබා සිතිනුත් සිතූ එක ද සත්ත්වයෙක් නැත්තේ ය. සියල්ලෝ ම අවුත් තමන් පළමු උන්නා වූ ස්ථානයෙහි ම හිඳ ගත්හ.


27. අනුකේවට්ට උපායය[සංස්කරණය]

බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ 'ආචාරිනි, මෙවිට කුමක්‌ කරමෝදැයි කේවට්ටයා විචාළහ. ඒ දුෂ්ටයා කියන්නේ 'දේවයන්‌ වහන්ස! කිසි කෙනකුන්‌ මහවාසලින්‌ තබා කුරුබිලියෙනුත්‌ පිටත්‌ විය නොදෙම්හ, එසේ කල මනුෂ්‍යයෝ උකටලී ව තුමූ ම දොරහැර පියන්නාහ, එවිට අපි ආනායාසයෙන්‌ සතුරන්‌ අල්ලාගෙන කැමැත්තක්‌ කරම්හ'යි කියූ නියාවත්‌ බෝධිසත්ත්වයන්ගේ චරපුරුෂයෙකු පියදු පතෙකින්‌ ම දැන වදාරා 'මේ සතුරන්‌ බොහෝ දවසක්‌ මෙතැන විසීමෙන්‌ අප හැම දෙනාගේ ම සිතට සැපයෙක්‌ නැත්තේය. උපායකින්‌ මුන්‌ පලවා පියමි'යි සිතා මන්ත්‍රණයෙහි දක්ෂ වූ උපායවත්‌ පුරුෂයක්හු පරීක්‍ෂා කරන සේක්‌ 'අනුකේවට්ටය'යි යන එකකු දැන ඕහට වදාරන සේක්‌ 'අපගේ කටයුත්තෙක්‌ ඇත, තොප විසින්‌ සමෘද්ධ කොට දුන යහපතැ'යි වදාළ සේක, 'ස්වාමීනි කුමක්‌ කෙරෙම්ද වදාළ මැනැව'යි කීය. 'තෙපි මහපවුරෙහි පදනම සිට අපගේ මිනිසුන්ගේ ප්‍රමාදයක්‌ බලලා අතරතුරේ බ්‍රහ්මදත්තයන්ගේ පිරිස සිටියවුනට 'පින්වත්නි' උකටලී නොව කීපදවසක්‌ රඳන්නට උත්සාහ කරව. නුවරවාසී සියල්ලෝ ම මැදිරියෙහි අසු වූ කුකුළන්‌ පරිද්දෙන්‌ ඉතා උකටලී ව ගියහ, කීප දවසකින්‌ තුමූම දොර හරින්නාහ, එවිට තෙපි වේදේහයාත් දුෂ්ට වූ ගොවියා පුතුත්‌ අල්ලා ගනුව'යි කියා මච්ඡ මාංශ කන බොනදෑ දීමෙන්‌ ඔහුන්‌ සිත්‌ ගෙන කියා ඇවිදුව. ඒ තොපගේ කතාව අපගේ මනුෂ්‍යයෝ අසා තොපට ආක්‍රෝෂශ පරිභව බැණ තොප අල්ලාගෙන බ්‍රහ්මදත්තයාගේ මිනිසුන්‌ බල බලා සිටිය දීම දෑත දෙ පය තර වැ අල්ලාගෙන උණ පත්තෙන්‌ මරන්නා සේ පෑලා ඉන්‌ බාගෙන ඉස පස්‌ කොණ්ඩයක්‌ බඳවා ඇඟ උළුසුණු ගල්වා රත්‌ මල්‌ කණේරු මල්‌ වඩම්‌ කරැ ලා කීප පාරක්‌ ගසා පිට ගඩු නංවා පිටිතලහයා බැඳ පවුර පිට නඟා සාල්ලෙක හිඳුවා යොතෙකින්‌ පිටත බාවා බ්‍රහ්මදත්ත රජුගේ මිනිසුන්‌ බල බලා සිටිය දී 'යව මන්ත්‍ර භේදක සොරැ'යි කියා දක්වන්නාහ. ඔහු තොප ගෙන ගොස්‌ රජහට පානාහ, රජ්ජුරුවෝ තොපට මෙ වැන්නක්‌ කරන්නට තොපගේ අපරාධය කවරේදැ'යි විචාළෝ නම්‌ තොප කියන කල 'මහරජ මාගේ සම්පත්‌ බෙහෙව, ගොවියා පුත්‌ මහෞෂධයා මන්ත්‍ර භේදක සොරාය'යි මට කිපී රජහට කියා මාගේ සම්පත්‌ උදුරා ගත, ඒ නිසා දැන්‌ මම මාගේ සම්පත්‌ නැසුවා වූ සොර වූ ගොවියා පුතුගේ ඉස දෙවා පියන්නට සිතන්නෙම්‌ නුඹ වහන්සේගේ සේනාව මේ නුවර සාධා ගත නොහී උකටලී වන හෙයින්‌ එහි ඉතා කනස්සලුව ඔවුනට අතරතුරේ කන බොන දෑත්‌ දෙමි, ඇතුළු නුවර අඩු වැඩියක්‌ කියමි, ඒ දැන මාගේ පරණ වෛරයක්‌ සිත තබාගෙන මට මේසා මහත්‌ ව්‍යසනයක්‌ කර වීය. මේ සියල්ල ම නුඹ වහන්සේගේ මනුෂ්‍යයෝ දන්නාහ'යි කියා රජහු නොයෙක්‌ පරිද්දෙන්‌ ම ගිවිස්වා තොප කෙරේ තරව ඇදහිලි ව ගත්‌ කල නැවත තොපි මෙසේ කියව - 'මහ රජ මෙවිට මා ලත්‌ පසු නොසිතා වදාළ මැනැච, වේදේහයාත්‌ ගොවියා පුත්‌ මහෞෂධයාත්‌ දිවි නැත්තේය. මම මේ නුවර පවුර තර තැනුත්‌ නොතර තැනුත්‌ අගල මුවරුන්‌ හා කිඹුලුන්‌ ඇති තැනුත්‌ නැති තැනුත්‌ ඉඳුරාදනිමි. නොබෝ දවසකින්‌ නුවර දී ලමි'යි ඉක්බිති රජ්ජුරුවෝ 'සැබෑ'යි ගිවිස තොපට බොහෝ සත්කාර කොට තමන්ගේ සේනා තොපට පාවා දෙති, තෙපි ඒ සේනාව හා සටනට ගොස්‌ චණ්ඩ වූ කිඹුලුන්‌ හා මුවරුන්‌ ඇති තෙනට බාලව, කිඹුලුන්ගෙන්‌ හා මුවරුන්ගෙන්‌ භය පත්‌ වූවාහු සටන්‌ තබා අගල සමීපයටත්‌ ළං නොවන්නාහ, එවිට අවුත්‌ 'දේවයන්‌ වහන්ස, නුඹ වහන්සේගේ සේනාව ගොවියා පුතු විසින්‌ භින්නව ගියාහ. කේවට්ටයා ඇතුළු වූ සියලු රජදරුවෝ ම ඔහු අතින්‌ අත්ලස්‌ නොගත්‌ එකද කෙනෙක්‌ නැත්තාහ. නුඹ වහන්සේට හිතයෝ නම්‌ මම්මය. හුදක්‌ නුඹ වහන්සේ පිරිවරා ඇවිදිනා බව මුත්‌ මේ සියල්ලෝ ම ගොවියා පුතු සන්තකයහ, මේ තෙක්‌ දෙනා නුඹ වහන්සේට වෙනස්‌ කල මම තනි ව කුමක්‌ කොට ලියහෙම්ද? ඉදින්‌ 'මා නොඅදහන සේක්‌ වී නම්‌ 'සියලු රජදරුවෝ සර්වාභරණයෙන්‌ 'සැරහී අවුත්‌ මාදකිත්ව'යි නියෝග කළ මැනැව'යි කියව. එබසින්‌ හැම දෙනම සැදී පැහැදී ආ කල්හි ගොවියා පුත්‌ තමාගේ නම අකුරු ලියා දෙන ලෙස වස්ත්‍රාභරණ කඩු ආදිය අකුරු බලා තෙල අදහා ගත මැනැව'යි කියව: ඔහු තොප කී පරිද්දෙන්‌ රජදරුවන්‌ එන්නට කියව'යි නියෝග කොට ඔවුන්‌ සැරසී ආ කල්හි තොප කී පරිද්දෙන්‌ අකුරු දැක භයින්‌ තැති ගෙන බිය ගත්තාහු රජ්ජුරුවන්ට සමුදී යවා 'මේ වන විට කුමක්‌ කරමෝද ආචාරිනි, විචාරති. ඒ විචාළ රජහට තෙපි මෙසේ කියව - 'මහරජ ගොවියා පුත්‌ බොහෝ මායම්‌ දන්නේය. ඉඳින්‌ කීප දවසක්‌ මෙතැන රැඳුණු සේක්‌ නම්‌ නුඹ වහන්සේගේ සියලු සෙනග තමා වසඟ කොටගෙන නුඹ වහන්සේ ජීවිතක්‍ෂයට පමුණුවයි, ප්‍රපංච නොකොට අද මධ්‍යම රාත්‍රියෙහි අසු පිටහිඳ පලා යම්හ, සතුරන්‌ අත මියෙන මරෙක්‌ අපට නොවේව'යි කී කල්හි රජ්ජුරුවෝ ගිවිස තොප කී ලෙසම කරන්නාහ. තෙපි උන්‌ නික්මෙන වේලා දැන නැවත අපගේ මනුෂ්‍යයනට ඒ බව හඟවා ලව'යි වදාළ සේක.


ඒ අසා අනුකේවවට්ට බ්‍රාහ්මණයා “පණ්ඩිතයන්‌ වහන්ස! මා නිසා වැඩෙක්‌ වේ නම්‌ නුඹ වහන්සේ වදාළ ලෙස ම කෙරෙමි”යි කීය. එසේ වී නම්‌ උනට පෙනෙන පරිද්දෙන්‌ පහර කීපයක්‌ ඉවසාපුව යහපතැ'යි වදාළ සේක. පණ්ඩිතයන්‌ වහන්ස, මාගේ ප්‍රාණයක්‌ දෑත්‌ දෙපයත්‌ නොනසා සර්වාංගය මුළුල්ල නුඹ වහන්සේ කැමැත්තක්‌ කර වුව මැනැව'යි කීය. ඒ වේලෙහි අනුකේවට්ටයාගේ අඹුදරුවන්‌ පටන්‌ උන්‌ සන්තක කිසි කෙනකුත්‌ නොවරදවා සංග්‍රහ කොට අනුකේවට්ටයන්‌ හිස පස්‌ කොණ්ඩයක්‌ බැඳ පෙනෙන ලෙස පහර කිහිපයක්‌ ගසා ගඩු නගා සර්වාංගයෙහි උළුසුණු ගල්වා රත්මල්‌ කණේරු මල්‌ වඩම්‌ කර ලා මහා විප්‍රකාරයට පමුණුවා සාල්ලෙක හිඳුවා ලණුවෙක බැඳ පිටතට බාවා බ්‍රහ්මදත්තයන්ගේ මනුෂ්‍යයනට දැක්‌ වූවාහ. රජ්ජුරුවෝ අනුකේවට්ටයන්‌ නොයෙක්‌ පරිද්දෙන්‌ විමසා අදහා ගෙන ඕහට ප්‍රසාද දී සේනාව පාවා දුන්හ. ඒ තෙමේ සේනාව ගෙන නුවර ගනිම්‌' ගොස්‌ මෙතැන්‌ බට කල නිරුපද්‍රවය, මෙතැන පවුරත්‌ දුර්වලය. මෙතැන රැකවලුත්‌ නැතැ'යි ගෙන ගොස්‌ පොවාලූ ඇඟිල්ල කඩා කන තරම් චණ්ඩ වූ කිඹුලන්‌ හා මුවරුන්‌ ඇති තොටවලට ම බා ලයි, බටු බටුවන්‌ ගසා කන්නාහ. අට්ටාලවල සිටියාහු හී මුණ කෝල්‌ හෙණ්ඩවාල තෝමරාදියෙන්දමා ඇන මහා විනාශයට පමුණුවන්නාහ. සේනා වහා ව්‍යසනයට පැමිණ නැවත ඒ දිසාවට යන්නා තබා බලන්නටත්‌ අසමර්ථ වූහ. අනුකේවට්ටයෝ රජහු සමීපයට ගොස්‌ මහරජ, නුඹ වහන්සේ නිසා සටන්‌ කරන කෙනෙක්‌ නැත්තාහ. හැම ගොවියා පුතුගෙන්‌ අත්ලස්‌ ගත්තාහ. මා බස්‌ නොඅදහන සේක්‌ වී නම්‌ රජදරුවන්‌ සැරසී එන්නට කියා ගෙන්වාහන්‌ පළන්‌ වස්ත්‍රභරණාදිය අකුරු බලා සැක හල මැනැව'යි කී යැ.


රජ්ජුරුවෝ ඔහු කී පරිද්දෙන්‌ හැම ගෙන්වා නොයෙක්‌ ආභරණාදියෙහි ලියා තුබුවා දැක "ඒකාන්තයෙන්‌ හැම දෙන ම අත්ලස්‌ ගත්තේ සැබෑය'යි අදහා ගෙන උන්හැම යවා ආචාරීනි! මෙ විට කුමක්‌ කරමෝදැ'යි විචාරා 'දේවයන්‌ වහන්ස, මෙවිට අනික්‌ කළ හැකි දෙයක්‌ නැත. ඉදින්‌ ප්‍රපංච කොට කල් යවූ සේක්‌ වී නම්‌ ගොවියා පුත්‌ නුඹ වහන්සේ අල්වා ගන්නේය. වැලිත්‌ කේවට්ටයාත්‌ නළල වණයක්‌ කොටගෙන ඇවිදිනා බව මුත්‌ ඔහු විසිනුත්‌ අත්ලස්‌ ගත්තේ මය. ධර්ම යුද්ධයෙහි දී අනර්ඝ වූ මාණික්‍ය රත්නයන්‌ කාටත්‌ නොදන්නා පරිද්දෙන්‌ ඇරගෙන නුඹ වහන්සේ තුන්‌ යොදුනක්‌ පලා ගියවුන්‌ නැවත ගිවිස්වා ගෙනවුත්‌ මේ මර උගුලේ ලා පීය. එයින්‌ නුඹ වහන්සේට ඒකාන්තයෙන්‌ ම අහිතය. එබැවින්‌ එක රැයකුත්‌ මෙතැන රඳන්නා කැමැති නැත, අද මධ්‍යම රාත්‍රියෙහි නැඟී යන්නා කැමැත්තෙමි. මා විනා නුඹ වහන්සේට මනා සිත්‌ කෙනෙක්‌ මේ සේනාවෙන්‌ එකෙකුත්‌ නැතැ'යි කීය. ඒ අසා රජ්ජුරුවෝ වඩ වඩා භයින්‌ තැතිගෙන එසේ වී නම්‌ ආචාරීනි! තොප විනා මට හිත කෙනෙක්‌ නැත. තෙපි මා අසකු සාදා ගමන නිලකරව'යි කීහ. අනුකේවට්ටයාත්‌ රජහු ඒකාන්තයෙන්‌ ම යන බවදැන මහරජ, නො බා වදාළ මැනැව'යි අස්වසාලා ඒ ක්ෂණයෙහි අවුත්‌ චරපුරුෂයනට කියන්නේ අද රජ්ජුරුවෝ පලායෙති, කොළ නිදා පියම්හ'යි නොසිතව'යි කියා ලා රජහට අසු සදන්නේ යම්‌ සේ රඳන්නට කඩියාලම හයා ලූ කල නොරඳා ම ඉදිරියට දිවේද එපරිද්දෙන්‌ අවකම්පන සැදීමෙන්‌ අසු සදා ලා මධ්‍යම රාත්‍රියෙහි අවුත්‌ 'අසු සාදා ලා ගෙනාමි, වේලා දත මැනැව, වහා නික්මුණු මැනැව'යි රජ්ජුරුවෝ අසු නැඟී පලා ගියහ. අනුකේවට්ටයාත්‌ අසකු නැඟී රජුහා එක්‌ ව යන්නා සේ මඳක්‌ තැන්‌ ගොස්‌ රඳා ගියේය. අවකම්පන සැද්මෙන්‌ සැදූ අස්‌ රඳවන්නට හයා ලූයේය. නොරඳා ම ඉදිරියට දිවන්නේ බ්‍රහ්මදත්ත රජුහැර ගෙන පලා ගියේය.


අනුකේවට්ටයා සේනාව මැදට වැද 'චුලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ පැලෑහ'යි මහත්‌ කොටහඬ ගසා ලීය. චරපුරුෂයෝ තම තමන්ගේ අතවැසි පුරුෂයන්‌ හැ සමඟ මහත්‌ කොට හඬ ගසා ශබ්ද පැවැත්වූහ. එක්‌ සියයක්‌ රජදරුවෝ සිතන්නාහු 'මහෞෂධ පණ්ඩිතයෝ වාසල්‌ හරවා පිටත්‌ වූ වන්හ. මෙවිට අප හැමගේ ජීවිතය නැත්තේය'යි භයින්‌ තැතිගෙන උපභෝග පරිභෝග වස්තුවෙන්‌ කිසිවකුත්‌ නොගෙන 'මඟුල්‌ කඩු හා උතුරු සළු ආදී වූ වස්ත්‍රාභරණාදියටත්‌ ආලය නොකොට නිගණ්ඨ සේනාවක්‌ සේ ඉස්‌ ලූ ලූ අත උනුන්‌ නොබලා ම දිවගත්හ. චරපුරුෂයෝ එවිටත්‌ 'එක්‌ සියයක්‌ රජදරුවෝ පැලෑහ'යි වඩ වඩා කෝලාහල පැවැත්වූහ. ඒ අසා නුවර වාසල්‌ අට්ටාල පුවරු පදනම්‌ ආදිය සිටියාහු මහත්‌ කොට කෝලාහල කළහ. එවේලෙහි පිටත සිටි චරජුරුෂයෝ ඇතුළු නුවර මනුෂ්‍යයන්‌ හා එක පැහැර ශබ්ද පවත්වා කෝලාහල කළහ. ඒ ගැසූ සියලු හඬ පොළොව පැලී යන්නා සේ වාත 'වේගයෙන්‌ මහා සමුද්‍රය ඇලලී ගියා සේ ක්ෂෝහව ගොස්‌ පිටි නුවරත්‌ ඇතුළු නුවරත්‌ කෝලාහලයෙන්‌ ගියා සේ ඒක නින්නාද විය. අටළොස්‌ අක්ෂෞහිණියක්‌ පමණ මනුෂ්‍යයෝ සිතන්නාහු 'මහෞෂධ පණ්ඩිතයන්‌ විසින්‌ බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්‌ හා එක්‌ සියයක්‌ රජදරුවෝ ඒකාන්තයෙන්‌ ම අල්වා ගන්නා ලදහ'යි මරන භයින්‌ තැනිගත්තාහු කිසි සරණක්වත්‌ පිටිවහලක්වත්‌ ගැලවෙන්නට කිසි උපායක්වත්‌ නොදන්නාහු සෙසු දෑ තබා හන්කඩටත්‌ අස්වාමික ව සියල්ලන්ම උන්‌ උන්‌ තැන ම ඇර පියා පළමු පැලෑවුන්‌ සේ ඉස්‌ ලූ ලූ අත දිව ගත්හ. ඒසා මහත්‌ රාජ සේනාවක්‌ කඳවුරු බැඳ හුන්‌ තැන එකද මනුෂ්‍යයෙක්‌ නැති ව සිස්‌ වූයේය. චූලනී රජ්ජුරුවෝ එක්‌ සියයක්‌ රජදරුවන්‌ හා සමඟ බිඳී තමන්ගේ නුවරට ම ගියහ. රෑ පැවති, කෝළාහළයෙන්‌ ඇත්‌ අස්‌ ආදීහු කඹදම්‌ ආදීන්‌ කඩා බිඳගෙන ගොස්‌ වල්‌ නැංගාහ.


දෙවන දවස්‌ උදෑසන නුවර වාසල්හැර බලඇණි නුවරින්‌ පිටත්‌ ව ඒ මහා විප්‍රකාර දැක අභිමතාර්ථ සාධක චින්තා මාණික්‍යයක්‌ බඳු වූ මහෞෂධ පණ්ඩිතයන්‌ වහන්සේ සමීපයට ගොස්‌ 'මේ සම්පතට කුමක්‌ කරමෝදැ'යි විචාළහ. ඔබ වදාරන සේක්‌. උන්‌ ඇම දෙනා නොකැමැති කරවා උදුරා ගත්‌ දෙයක්‌ නොවන පසු උන්‌ තමන්‌ ම ආලය නැති ව දමා පියා නිරාලය ව ගිය වස්තු හෙයින්‌ සියල්ල ම අප සන්තක වන්නේය. ඉනුත්‌ රජදරුවන්‌ සන්තක වස්තු අපගේ රජ්ජුරුවනට දෙව, සිටුවරුන්‌ හා කේවට්ටයා සන්තක වස්තු තාක්‌ මුළුල්ල අපට ගෙනව, සෙසු අටළොස්‌ අක්ෂෞහිණියක්‌ පමණ මහා සේනාව සන්තක වස්තු මුළුල්ල නුවරවාසීහූ ගනින්ව'යි වදාළ සේක. ඉන්‌ මාහැඟි රන්‌ රුවන්‌ ආදී වස්තු අදනවුනට දෙපෝයක්‌ ම ඉක්ම ගියේය. වී සාල්‌ ආයුධ ආදී වූ අවශේෂ වස්තු අදනවුනට සාර මසෙක්‌ ඉක්ම ගියේය. හෙවත්‌ සාර මසක්‌ ඇද්දාහ. වල ගිය ඇත්‌ අස්‌ ආදීන්‌ බඳවා ගෙන්වා ගත්තාහ. බෝධිසත්ත්වයන්‌ වහන්සේ අනුකේවට්ටයනට බොහෝ සත්කාර කළහ. එවක්‌ පටන්‌ මියුලු නුවරවාසීහු දශවිධ රත්නයෙන්‌ සමෘද්ධ වූහ.

"https://si.wikibooks.org/w/index.php?title=උම්මග්ග_ජාතකය-vi&oldid=18563" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි