උම්මග්ග ජාතකය-vii

Wikibooks වෙතින්

28. “විවාහ” මන්ත්‍රණය[සංස්කරණය]

බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්‌ එක්‌ සියයක්‌ රජුන්‌ හා එක්‌ ව බිඳී ගොස්‌ උත්තර පංචාල නුවර වසන්න වුනට හවුරුද්දක්‌ ඉකුත්‌ ව ගියේය. එක්‌ දවසක්‌ කේවට්ට මහලු බමුණු කැට පතකින්‌ නමා මුහුණ බැලුයේ නළල කබර වදා ගියා සේ වණ කැලල්‌ දැක "මේ අනිකෙක්‌ නොවෙයි, ගොවියා පුත්‌ මහෞෂධයා අත කර්මාන්තය, ඔහු විසින්‌ එක්‌ සියයක්‌ රජුන්‌ හා මේ සේනාවේ මධ්‍යයෙහි ම ලජ්ජාවට පමුණුවන ලදිම්‌"යි දණ්ඩෙන්‌ ගසන ලද ආශිර්විෂයකු පරිද්දෙන්‌ වඩන ලද ක්‍රෝධ ඇත්තේ 'කවර දවසෙක ඔහු පිටි දැක පියම්දෝහෝ”යි සිතන්නේ "ඒ වනාහි බලවත්‌ උපායෙක්‌ ඇත. අපගේ රජ්ජුරුවන්‌ වහන්සේගේ පඤ්චාලණ්ඩි කුමාරිකාවෝ දිව්‍යප්සරාවක සේ උතුම්‌ රූ ඇත්තාහ. සිවු සැටක්‌ පමණ ස්ත්‍රී ලක්‍ෂණයෙන්‌ යුක්තයහ. ඒ කුමාරිකාවන්‌ වේදේහ රජහට දෙම්හ'යි කියා රජු කාමයෙන්‌ පොළඹවා බිලියක්‌ ගිලූ මසකු ගොඩ ගන්නා සේ මහෞෂධ පණ්ඩිතයා හා සමඟ මේ නුවරට ගෙනවුත්‌ දෙන්නා ම මරා ජය පානය බොම්හ"යි සනිටුහන්‌ කොට සිතා නිමවා රජහු සමීපයට ගොස්‌ "දේවයන්‌ වහන්ස, එක්‌ රහස්‌ කතා මන්ත්‍රණයෙක්‌ ඇතැයි කීය. 'පළමු තාගේ මන්ත්‍රණය නිසා අපගේ උතුරු සළුවටත්‌ අස්වාමික ව දමා පියා ආම්හ, මෙවිට මේ මන්ත්‍රණයෙන්‌ කුමක්‌ කෙරෙයිද, මුවෙන්‌ නොබැණ'යි කිවුය.”


මහරජ, මේ උපාය හා සමාන අනික්‌ උපායෙක්‌ නැතැ”යි කීය. 'එසේ වී නම්‌ කියවයි කීහ. "මහරජ අප දෙන්නා මතු තනි විය යුතුය'යි කියා ඔහු ඇරගෙන මාලිගාවේ මතුමාලට නැඟ 'මහරජ වේදේහ රජු කාමයෙන්‌ පොළොඹවා ගොවියා පුතු සමඟ මේ නුවරට ගෙනවුත්‌ ජීවිතක්‍ෂයට පමුණුවා පියම්හ'යී කීය. 'ඒ වන්නා තොප කීවා ඉතා ම යහපත, කවර උපායකින්‌ පොළාඹවා මේ නුවරට ගෙනමෝදැ'යි කීය. 'මහරජ, නුඹ වහන්සේගේ දියණියෝ පඤ්චාලණ්ඩි කුමාරිකාවෝ උතුම්‌ රූ ඇත්තාහ. ඒ ලක්‍ෂණ සම්පන්න වූ කුමාරිකාවගේ රූප විලාසය කවීන්‌ ලවා ගී බඳවා කාව්‍ය කරවා ඒ කාව්‍ය මියුලු නුවර ගායනා කරවා 'මෙබඳු ස්ත්‍රී රත්නයක්‌ නොලබන්නා වූ වේදේහ රජහට රාජ්‍යයෙන්‌ ප්‍රයෝජන කිම්දැ'යි රූප ශ්‍රී ඇසූ පමණකින්‌ ම ඔහු ශ්‍රවණ සංසර්ගයෙහි බැඳුණු කල මම්‌ ම ඔබ 'ගොස්‌ දවස්‌ නියම දැන නැකැත්‌ ලා එමි, ඒ රජදවස්‌ නියම කොට මා ආ කල්හි බිළියක්‌ ගිලූ මසකු සේ ගොවියා පුතුහා සමඟ මේ නුවරට එන්නේය. ඒ විට උන්‌ දෙන්නා අල්වාගෙන මරා ජිවිතක්‍ෂයට පමුණුවා පියම්හ"යි කීය. රජ්ජුරුවෝ ඔහුගේ බස්‌ අසා ගිවිස ඉතා සතුටුව 'ආචාරිනි, ඒ උපාය ඉතා යහපතැ'යි කියා තොප කී ලෙස ම කෙරෙමි'යි ගිවිස්සාහ. මේ දෙදෙනාගේ රහස්‌ කතාව චූලනී රජ්ජුරුවන්ගේ යාන බලන එක්‌ 'සැළලිහිණියක්‌ සකස්‌ කොට අසා සිත්‌ තබා ගත.


ඉක්බිති රජ්ජුරුවෝ යහපත්‌ කොට අදාළ කාව්‍යකාරයන්‌ ගෙන්වා ඒ වූ නියාව කියා බොහෝ වස්තු දී ඔවුනට දියණියන්‌ පෙන්වා 'කුඩාවරුනි, මේ කුමාරිකාවගේ රූප ශ්‍රී වර්ණනා කෙරෙමින්‌ මුන්‌ නිසා කාව්‍ය කරවයි'යි කීහ. ඒ කාව්‍යකාරයෝ කර්ණ රසායන කොට අති මනෝහර කොට ගී බැඳ රජහු ඇස්වූහ. එදවස්‌ රජ්ජුරුවෝ බොහෝ ප්‍රසාද දුන්හ. කවීන්‌ අතින්‌ විද්වත්‌ නායකයෝ ඉගෙන බොහෝ දෙනා මධ්‍යයෙහි ගායනා කළහ. ඒ ගීතිකාවන්‌ ඇසූවනට කර්ණ රසායනමය, මෙසේ කාව්‍ය ගීතිකා බොහෝ දෙනා අතරේ ප්‍රසිද්ධ වූ කල්හි රජ්ජුරුවෝ ගී කරන්නවුන්‌ කැඳවා කියන්නාහු "දරුවෙනි, තෙපි කොස්‌ ලිහිණියන්‌ අල්වාගෙන රෑ ගස්‌ උඩහිඳ ගීතිකාවන්‌ කියා අලුයම්‌ වේලෙහි උන්‌ කර 'කඤ්චුතාලම්‌ බැඳ උන්‌ ආකාශයට හැර පියා කාත්‌ නොදන්වා බැස පියව'යි කීහ. ඒ කුමක්‌ පිණිසද යත්‌: බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ දුවණියන්ගේ රූප විලාසය දේවතාවෝ පවා කියන්නාහ'යි දඹදිව ප්‍රසිද්ධ වන පිණිස කරවූහයි දත යුතු.


නැවත රජ්ජුරුවෝ ඒ කවීන්‌ කැඳවා "කුඩාවරුනි, දැන්‌ තෙපි කියන කල මෙවැනි රූ ඇති කුමාරිකාවක්‌ දඹදිව අනිත්‌ රජක්හට තරම්‌ නොවෙයි. මියුලු නුවර වේදේහ රජහට තරමැයි වේදේහ රජ්ජුරුවන්ගේ රාජ්‍ය ශ්‍රීයා කුමාරිකාවන්ගේ රූප වර්ණනාව හා එක්‌ කොට ගී බැඳ කාව්‍ය කරව”යි කීහ. ඔහු එතැන්‌ පටන්‌ වන්‌ වන්‌ තැන ගායනා කෙරෙමින්‌ සාර සියයක්‌ ගවු ගෙවා මියුලු නුවරට පැමිණ බොහෝ දෙනා රැස්‌ වූ සභායෙහි ගායනා කළහ. ඒ අසා බොහෝ ජනයෝ ඔල්වරහඬ දහස්‌ ගණන්‌ පවත්වා මහා 'සන්තෝෂයෙන්‌ බොහෝ වස්තු දුන්හ. ඒ ගායකයෝ රෑ ගස්වල හිඳ ගායනා කොට අලුයම්‌ වේලෙහි කොස්‌ ලිහිණින්‌ කර කඤ්චු තාලම්‌ බැඳ ආකාශයට හැර බස්නාහ. ආකාශයෙහි ඒ කඤ්චු තාලම්‌ හඬ අසා චුලනී රජ්ජුරුවන්‌ දුවණියන්ගේ රූප වර්ණනාව දේවතාචෝ පවා කියන්නාහ'යි නුවර මහත්‌ වූ කෝලාහල වීය. වේදේහ රජ්ජුරුවෝ ඒ අසා කාව්‍යකාරයන්‌ කැඳවා තමන්ගේ රජගෙයි දී බොහෝ දෙනා මධ්‍යයෙහි කියවා බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ තමන්ගේ මෙබඳු රූපශ්‍රීන්‌ විරාජමාන වූ දුවණියන්‌ මට සරණ දෙත්ල'යි මහත්‌ වූ 'සොම්නසට පැමිණ නාටකයනට බොහෝ ප්‍රසාද දී මහත්‌ වූ සත්කාර කළහ.


ඔහු නැවත අවුත්‌ ඒ බව චූලනී රජ්ජුරුවන්ට කීහ. ඊට අනතුරු ව කේවට්ට නම්‌ බමුණු කියන්නේ 'මහරජ' දැන්‌ මම ගොස්‌ නැකත්‌ ලා ලා දවස්‌ නියම කොට එන්නට යෙමි'කීය. 'යහපත ආචාරීනි, කුමක්‌ ලද මනාදැයි කීය. යම්තම්‌ පඬුරක්‌ ලද මැනැව'යි කීය. 'යහපත ගන්ව'යි කියා මාහැඟි පඬුරු දෙවූහ. ඒ බමුණු මහ පෙරහරින්‌ ගොස්‌ වේදේහ රටට පැමිණියේය. ඔහු එන ගමන්‌ අසා මියුලු නුවරවාසීහු ‘බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ තමන්ගේ දුවණියන්‌ අපගේ රජ්ජුරුවනට සරණ දෙත්‌ ල. රජදරුවන්‌ දෙදෙනාගේ බන්ධුත්වයත්‌ මිත්‍රකමත්‌ යහපත්‌ වන්නේය. කේවට්ට බ්‍රාහ්මණයා නැකත්‌ ලන්නට එමින්‌ සිටියේල'යි කියමින්‌ සිටියාහුය. මෙසේ නුවර ඒක කෝලාහල විය. එපවත්‌ වේදේහ රජ්ජුරුවෝත්‌ ඇසූහ.

29. විවාහ යොජනාව[සංස්කරණය]

පර සිත් දන්නා නුවණ ඇති බෝධිසත්ත්වයන්‌ වහන්සේ එපවත්‌ අසා සිතන සේක්‌ “මේ විවාහය කියා කේවට්ටයා එන ගමන මට රුස්නේ නොවෙයි. එහි තත්ත්වය දැන පීම්‌ නම් යහපතැ”යි සිතා, චූලනි රජ්ජුරුවන්‌ කෙරෙහි සිටි චරපුරුෂයනට මේ සරණ මඟුලේ තත්ත්වය වූ පරිද්දෙන්‌ කියා එව'යි යැවූ සේක. නැවත ඔහු කියා එවන්නාහු 'අපිත්‌ ඒ තත්ත්වය නොදනුම්හ. කේවට්ටයන්‌ හා රජ්ජුරුවන්‌ හා දෙදෙන මාළිගයේ මතු මාලේ ශ්‍රී යහන්‌ ගබඩාවේ හිඳ මන්ත්‍රණයක්‌ කළහ. රජ්ජුරුවන්ගේ යාන බලන සැළලිහිණියක්‌ ඇත. ඕ තොමෝ එහි තත්ත්චය ඉඳුරා දන්නීය'යි කියා යැවූහ.


ඒ අසා බොධිසත්ත්වයන්‌ වහන්සේ සිතන සේක්‌, 'යම්‌ සේ සතුරනට අවකාශයක්‌ නො පෙනේ ද එ සෙයින්‌ මා විසින්‌ සුරක්‍ෂිත කොට රක්නා ලද මේ නුවර මේ දුෂ්ට වූ කේවට්ටයාට නොපාමි”යි සිතා නුවර මහවාසල පටන්‌ රජගෙයි දොරකඩ දක්වාද එතැන්‌ පටන්‌ නමන්‌ වහන්සේගේ දොරකඩ දක්වාද ඇතුළු වීථි මාර්ග දෙ පාර්ශ්වයෙහි බට පැලැලි හඳවා, මුදුනතින්‌ පැදුරු බඳවා සිත්තම්‌ කරවා බිම සුදු වැල්ල ලවා පස්‌ වනක්‌ මල්‌ ඉස්වා දෙපාර්ශ්වයෙහි පුන්‌ කලස්‌ හා මාරුක්‌ මල්‌ තබා කේල්‌ ගස්‌ බඳවා, ධජ නංවා සරහා ලූ සේක. කේවට්ටයාත්‌ නුවරට වන්නේ නුවර ගෙවල්‌ ආදී වූ දෙය ඉඳුරා නොදැක 'රජහු විසින්‌ මා එන්නා වූ මඟුල්‌ පිණිස සරහන ලද්දේ වනැ'යි සිතිය. ඒ බමුණු තමාට නුවර නොපානා පිණිස කළ නියාව නොදන්නේය.


කේවට්ටයාත්‌ සරහන ලද වීථියෙන්‌ ගොස්‌ රජ්ජුරුවන්‌ දැක ගෙනා පඬුරු පාවා දී මියුරු කතා කොට එකත්පස්‌ ව හිඳ රජහු විසින්‌ කරන ලද සත්කාර සම්මාන විඳ තමා ආ කාරණය කියන්නේ 'මහරජ, අපගේ රජ්ජුරුවන්‌ වහන්සේ නුඹ වහන්සේ හා ඥාති සම්බන්ධයෙන්‌ අතිශයින්‌ හිත මිත්‍ර ව හිඳිනා කැමැති සේක. අනර්ඝ වූ රුවන්‌ ආදී වූ පාක්කුඩම්‌ එවූ සේක, මිහිරි වූ ප්‍රිය තෙපුල්‌ දන්නා දූතයෝ එරටින්‌ මෙහි එත්වා. ඒ ආවා වූ දූතයෝත්‌ මිහිරි වූ තෙපුල්‌ දන්නාහ. ප්‍රියවූ කතා දන්නාහ. විරෝධයට සුදුස්සක්‌ සිතිනුත්‌ නොසිතන්නාහ. දෙ තෙනට මධ්‍යස්ථව වැඩ හැසිරෙන්නාහ, උන්‌ තව බැහැරය'යි නොසිතුව මැනැව ඒ සියල්ලට මධ්‍යස්ථව ආයෙම්‌ මම් මැය'යි කියා නැවත කියන්නේ "යම්‌ බසක්‌ ප්‍රිය මනාප නම්‌ එසේ වූ මෘදු තෙපුල්‌ කියත්වා, පංචාලයෝද වේදේහයෝද යන දෙපක්‍ෂය එක්‌ වෙත්ව”යි මෙසේ කියා නැවත කියන්නේ "යම්‌ යම්‌ බසෙක්‌ සන්තෝෂයට කාරණා වී නම්‌ ඔවුනොවුනට එසේ වූ ප්‍රිය තෙපුල්‌ කියත්වා, කුමක්‌ නිසාදයත්‌: පංචාල දේශයෙහි රජ්ජුරුවන්‌ හා වේදේහ රජ්ජුරුවන්‌ හා දෙදෙන ආවාහ විවාහයෙන්‌ ඒකාත්මික ව ඔවුනොවුන්‌ කෙරෙහි සතුටුව වසන්නාහ. එබැවින්‌ අවමංගල වචනයක්‌ නොකියා මංගල සන්නිශ්ශ්‍රීත වූ බසක්‌ ම කියත්ව"යි කියා නැවත "තවත්‌ ඒ මතු නොවෙයි. තමන්ගේ දූ රුවන හා උතුම්‌ මාහැඟි රුවන්‌ එවන සේක. මෙවක්‌ පටන්‌ දෙ රටින්‌ ඔවුනොවුන්ට පාක්කුඩම්‌ ගෙන, මිහිරි වූ ප්‍රිය තෙපුල්‌ දන්නා දූතයෝ මොබින්‌ ඔබ යෙත්වා, ඔබින්‌ මොබ එත්වා මේ දෙ රට සම්බන්ධ නියාව කුමක්‌ වැනිද යත්‌: ගංගා නම්‌ ගඟ දිය හා යමුනා නම්‌ ගඟ දිය හා එක්‌ වූ කලක්‌ පරිද්දෙන්‌ ඔවුනොවුන්‌ එක්‌ සිත්‌ ව සමඟි ව සන්තෝෂ ව වෙසෙත්ව'යි කීය.


මෙසේ ද කියා නැවත කියන්නේ 'අපගේ රජ්ජුරුවන්‌ වහන්සේ අනික්‌ මහා අමාත්‍යයකු එවනු කැමැතිවත්‌ අනෙක්‌ කෙනෙක්‌ මේ මංඟල වචනය සිත්‌ ගෙන ඉඳුරා කියා ලන්නට අසමර්ථයයි සිතා මට කියන සේක්‌ "ආචාරිනී, තෙපි ම ගොස්‌ මේ මඟුල්‌ කියා රජ්ජුරුවන්‌ යහපත්‌ කොට සතුටු කරවා කැඳවා ගෙන එවයි කී සේක, එබැවින්‌ රාජෝත්තමයාණන්‌ වහන්ස, වහා වැඩිය මැනැව, ඔබ ගියා වූ නුඹ වහන්සේට වැඩ දෙකෙක්‌ වන්නේය. ඒ කවරේදයත්‌: අසමාන රූ ඇති කුමාරිකාවනුත්‌ ලබන සේක, රජ්ජුරුවන්‌ හා සමඟ මෛත්‍රී සිතත්‌ අධික වන්නේය"යි කීහ.


රජ්ජුරුවෝ ඔහුගේ බස්‌. අසා සතුටු ව 'උතුම්‌ රූ ඇති කුමාරිකාව ලැබේල'යි ඇසූ බස්‌ පමණින්‌ බැඳී ගොස්‌ නැවත කියන්නාහු "ආචාරිනී, තොප හා මහෞෂධ පණ්ඩිතයන්‌ හා දෙන්නා ධර්ම යුද්ධයෙහි පළමු වාදයෙක්‌ වූයේ වේද? යව මපුතණුවන්‌ දකුව තොප දෙදෙනා ම පණ්ඩිතවරුන්‌ බැවින්‌ ඔවුනොවුන්‌ ක්ෂමා කරවා පියා කතා කොට එව”යි කීහ. ඒ අසා කේවට්ට නම්‌ බමුණු තෙම "යහපත පණ්ඩිතයන්‌ දකිමි"යි ඔබ දක්නා පිණිස යන්නට නමා ගත. බෝධිසත්ත්වයන්‌ වහන්සේද ඒ දවස්‌ උදෑසන ඒ පවිටා හා මා හා එක්‌ ව කතාවෙක්‌ නොවේවයි සිතා උදෑසන තමන්ගේ බඩට කැප පිණිස එළඟි තෙල්‌ සුඟක්‌ අනුභව කොට ගෙයි ගොම පිරිබඩ ගාවන සේක්‌ දෑඟුල්‌ බොල ඇති කොට යවා මිදුණු තෙල්‌ කප්වල ගාවා බෝධිසත්ත්වයන්‌ වහන්සේ වැද හෝනා එක්‌ පුටු හැඳක්‌ පමණ තබා සෙසු හැඳ පුටු ආදිය ගෙන්‌ පිටත්‌ කර වූ සේක. නැවත සිටියවුනට විධාන කරන සේක්‌ "බමුණු මා හා කතාවට ආරම්භ කළ කල' 'බමුණ පණ්ඩිතයන්‌ වහන්සේ හා නො දොඩ, අද බෙහෙත්‌ තෙලක්‌ අනුභව කළ සේකැ'යි ඔහු නවතා මාත්‌ දොඩන්නට වන්‌ කල්හි "ස්වාමීනි, බෙහෙත්‌ තෙලක්‌ වැළඳූ සේක්‌ වේද? නොදොඩා වදාළ මැනැව’යි කියව”යි විධාන කොට රතක්‌ පොරවා ගෙන සත්වන දොරටුවේ යටි මාලේ පටු හැඳ මැඳ හොත්‌ සේක.


කේවට්ටයාත්‌ සත්‌ දොරටුවෙන්‌ පළමු දොරකඩට අවුත්‌ රැකවලුනට 'පණ්ඩිතයෝ කොයිදැ'යි කීය. සිටියෝ කියන්නෝ "බමුණ මහත්‌ කොට නොදොඩා අරගල නොකොට බැණ නොනැඟී ගොළුවකු සේ කර බාගෙන නැඟී වර, අද අපගේ ස්වාමිහු බෙහෙත්‌ තෙලක්‌ වැළඳූ සේක. ඒ බැවින්‌ මහත්‌ කොට දෙඩුම්‌ හා අරගල කිරීම නොකැමැත්තෝය"යි කීහ. සෙසු දොරටුවල සිටියාහුත්‌ එපරිද්දෙන්‌ ම කීහ. බමුණු මුවෙන්‌ නොබැණ කරබා ගෙන සත්‌ වන දොරටුව ගෙවා බෝධිසත්ත්වයන්‌ සමීපයට ගියේය.


බෝධිසත්ත්වයන්‌ වහන්සේ ඒ ගිය බමුණා හා කතාවට ආරම්භ දැක්‌ වූ සේක. ළඟ සිටියාහු "ස්වාමිනී, ඉතා සූක්‍ෂම වූ තෙලක්‌ වළඳන ලද්දේ වේද, එබැවින්‌ මේ දුෂ්ට වූ බ්‍රාහ්මණයා හා කතාවෙන්‌ ප්‍රයෝජන කිම්දැ'යි කියා නැවතූහ. කේවට්ටයා බෝධිසත්ත්වයන්‌ වහන්සේ සමීපයෙහි හිඳිනා ආසනයක්වත්‌ වැතිර ගෙන සිටිනා ආධාරයක්‌ වත්‌ බෝධිසත්ත්වයන්‌ වහන්සේගෙන්‌ මිහිරි කතා මාත්‍රයක්වත්‌ නොලදින්‌ වැසි සමයෙහි ගවර පිරි ගොවුදකට වන්‌ ගොන්‌ මාල්ලකු සේ බොල්‌ ගොම ඇඟිලි අසුවලින්‌ පලව පලවා මිරි මිරියේ ඒ පයින්‌ ඒ පය ලලා මිරිකමින්‌ සිටියේය. ඒ සිටියා වූ බමුණා මූණ බලා එකෙක්‌ තමාගේ නුවන කසාලීය. එකෙක්‌ තමාගේ බැම උඩ නඟා ලීය. එකෙක්‌ තමාගේ වැලමිට කසාලීය. බමුණු ඔවුන්ගේ මේ ක්‍රියාව දැක ඉඟිකරුව ඈත්‌ මෑත්‌ බලන්නේ “පණ්ඩිතයෙනි, අපි යම්හ”යි කියා අනිකකු විසින්‌ "කොල අරිටු බමුණ නොදොඩ”යි කියද්දීත්‌ දොඩ දොඩා ම සිටිනෙහිද? දැන්‌ තොප ගේ ඇට බැට තළා පියම්හ”යි කී කල්හි භයින්‌ ත්‍රස්ත ව නැවත පිටි පස්ස බැලීය. ඉක්බිති එසේ බැලූ බමුණට එකෙක්‌ හුණ පත්තෙන්‌ පිටට පහරක්‌ ගැසීය. එකෙක්‌ යෙයිද නොයෙයිදැ'යි කියා කර අල්වාගෙන දැමීය. එකෙක්‌ දිවමින්‌ ගොස්‌ පිටි දෙ මැද අතුල්‌ පහරක්‌ ගැසීය. ඒ තෙමේ දිවියකු කටින්‌ ගැළැවුණු මුවමාල්ලකු මෙන්‌ භයින්‌ තැති ගෙන වෙවුල වෙවුලා දුවන්නේ දුක සේ ගොස්‌ රජගෙට පැමිණියේය.


රජ්ජුරුවෝද සිතන්නාහු මපුතණුවෝ අද මාගේ විවා මඟුල්‌ අසා අතිශයින්‌ සතුටු වන්නාහ. තව ද පණ්ඩිතවරුන්‌ දෙදෙනාගේ ධර්මයෙන්‌ යුක්ත වූ කතාවකුත්‌ වන්නේය. අද දෙදෙනා ඔවුනොවුන්‌ ක්ෂමා කරවා ගන්නාහ, එබැවින්‌ මට වූයේ මහත්‌ ලාභයෙකැ'යි සිත සිතා උන්නාහ. එවේලෙහි ආන-ආනා අවුත්‌ එතැනට වන්‌ කේවට්ටයා දැක දෙදෙන ඔවුනොවුන්‌ දැක කළ කථා සංසන්දනය විචාරන්නාහු මේ ගාථාවෙන්‌ කීහ.


“කථං නු කෙවට‍්ට මහොසධෙන,

සමාගමො ආසි තදිඞ‍්ඝ බ්‍රූහි;

කච‍්චි තෙ පටිනිජ‍්ඣත‍්තො,

කච‍්චි තුට‍්ඨො මහොසධො”ති.


මේ ගාථාවෙන්‌ රජ්ජුරුවෝ කියන්නාහු "කිමෙක්ද කේවට්ට පණ්ඩිතයෙනි, මහෞෂධ පණ්ඩිතයන්‌ හා තොප හා එදවස්‌ ධර්ම යුද්ධයෙහි දී වූ කනස්සල්ල හැර ක්‍ෂමා කරවා ගතුද? නැවත තොප දෙදෙනාගේ මිහිරි කතා කෙසේ වීද? තොපගේ රජ්ජුරුවන්‌ කියා එවූ මඟුල්‌ විවාහය අසා ම පුතණුවෝ සතුටු වූද? ඒ මට නොවළහා තත්‌ වූ පරිද්දෙන්‌ කියව්‌"යි කීහ. ඒ අසා කේවට්ටයා කියන්නේ මේ ගාථාවෙන්‌ කීය.


“අනරියරූපො පුරිසො ජනින්‍ද,

අසම‍්මොදකො ථද‍්ධො අසබ‍්භිරූපො;

යථා මූගො ච බධිරො ච,

න කිඤ‍්චිත්‍ථං අභාසථා”ති.


"ජන ප්‍රධාන රජ්ජුරුවන්‌ වහන්ස, ඒ මහෞෂධ පණ්ඩිතයා නම්‌ අනාර්ය ස්වරූප ඇති සාධු ගුණයන්‌ නැති ඉතා තද එකෙක, ස්වභාවයෙන්‌ ම ඉතා තද එකෙක, අසත්පුරුෂයෙක, ගොළුවකු සේ බසකුත්‌ නොකීයේය. බිහිරකු මෙන්‌ මාගෙන්‌ බසකුත්‌ නො ඇසුයේය: ඒ පණ්ඩිතයා නුඹ වහන්සේට ම තරම, ඔහු තරම්‌ දුර්ජනයෙක්‌ මනුෂ්‍යයන්‌ කෙරෙහි එකද කෙනෙක්‌ නැතැ”යි ඉතා දොඩමලු වූ බමුණු මාළු තමා කටට ආචවාක්‌ ම කීයේය, තමා කෑ ගෙඩි බැටයෙහි නමකුත්‌ නොකීයේය. 'හන්දුරුවා කෑ බැට නම්‌ තමා මේය' සිතමි. එහෙයින්‌ තමා ලත්‌ අවමානයේ නමකුත්‌ නොකියා මහතාණන්ගේ නුගුණ ම කීය.


රජ්ජුරුවෝ තුටුද නොවී විරුද්ධයකුදු නොකියා කේවට්ටයාට හා ඔහු කැටි ව ආවුනට බත්‌ වියදම්‌ දී නවාතැන්‌ ලවා "යව ආචාරීනි සැතපී ගනුව"යි සමු දුන්හ. ඔහු යවා ඉක්බිති රජ්ජුරුවන්‌ "මපුතණුවෝ ඉතා නුවණැත්තාහ. මිහිරි කතා හා ප්‍රිය තෙපුල්‌ දන්නා කෙනෙක. එබැවින්‌ මේ බමුණා හා කතාවකුත්‌ නොකළාහ. දැක සතුටු පමණකුත්‌ නොවූහ. කිමෙක්ද මොහු ආ ගමනේ මතු වන්නා වූ භයක්‌ මපුතණුවන්‌ දුටු හෝයි සිතමි. එබැවින්‌ මේ කේවට්ටයා ආ ගමන අපට වැඩක්‌ අභිවෘද්ධියක්‌ නිසා නොවෙයි. සරණ දෙම්හ'යි කාමයෙන්‌ පොළඹවා ඔබ ගෙන්වා ගෙන මරණ පිණිස මා කැඳවා ආ යැයි සිතමි. ඒ බව දැනලා වන ම පුතණුවන්‌ ඔබට කිසිවකුත්‌ නොකී යේ"යි සිතා භයින්‌ තැති ගෙන හුන්‌ කල්හි සේනකාදී ප්‍රඥා සමුද්‍රයෝ සතර දෙන ආහ.

ඔවුනට රජ්ජුරුවෝ කියන්නාහු "කිමෙක්ද සේනකය, උත්තර පංචාලයට ගොස්‌ චූලනී රජ්ජුරුවන්ගේ දියණියන්‌ ගෙනමෝද ඒ ගමන තෙපි ඇම කැමැත්තෝදැ”යි විචාළහ. ඉක්බිති සේනකයා කියන්නේ 'මහරජ කුමක්‌ කියන සේක්ද? තමා කරා එන ශ්‍රී කාන්තාව ගසා දුරු කරන කෙනෙක්‌ ඇද්ද? ඉදින්‌ නුඹ වහන්සේ ඔබ ගොස්‌ ඒ කුමාරිකාව ගෙනා සේක්‌ වී නම්‌ බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්‌ හැර සියලු දඹදිව නුඹ වහන්සේ හා සමාන රජෙක්‌ නැත්තේය. ඒ කුමක්‌ පිණිසදයත්‌: නායක රජ්ජුරුවන්ගේ දියණියන්‌ රක්‍ෂා කරන හෙයිනි. තව ද ඒ රජ්ජුරුවෝ සිතන කල 'සෙසු රජදරුවෝ නම්‌ මාගේ සේවකයෝය. මාහා සමානයෝ නම්‌ එක වේදේහ රජ්ජුරුවෝ මය'යි සිතා දඹදිව සියලු ස්ත්‍රීනට වඩනා රූ ඇති දුවණියන්‌ නුඹ වහන්සේට දෙන්නාහ, නුඹ වහන්සේට වන්නේ මහත්‌ අභිවෘද්ධියෙක, යම්කිසි කෙනෙක්‌ නුවණ මඳ ව ඊට බාධා කෙරෙත්‌ නම්‌ ඊට කිසි සැකයක්‌ නොකොට වැඩිය මැනැව. අපිත්‌ නුඹ වහන්සේ හා ගිය කල වස්ත්‍රාභරණ අන්නපානාදියෙන්‌ සංග්‍රහ ලබන්නෙමු”යි කේවට්ටයාට නොඅඩු වූ ගුණ ඇති ඉතා දොඩමලු වූ ගුණමකු ස්වභාවයෙන්‌ ඉතා ලෝභී වූ සේනක නම්‌ බමුණු තෙම රජහු අතිශයින්‌ පොළඹා ගිවිස්නා පරිද්දෙන්‌ සිතට නඟා කීය. පුක්කුසාදී සෙසු පණ්ඩිතවරුන්‌ විචාළ කල ඔහුත්‌ එලෙස ම කිවුය. ඔවුන්‌ හා සමඟ කතා කෙරෙමින්‌ හුන්‌ තැනට කේවට්ටයා තමාහුන්‌ තැනින්‌ අවුත්‌ 'මහරජ, අප රඳන්නට නොපිළිවන. යම්හ' කීහ. රජ්ජුරුවෝ ඕහට සත්කාර කොට යැවූහ.


බෝධිසත්ත්වයන්‌ වහන්සේ ඔහු ගිය බව දැන නහා සැරසී රාජ සේවයට අවුත්‌ රජ්ජුරුවන්‌ වැඳ එකත්පස්‌ ව හුන්‌ සේක. රජ්ජුරුවෝ සිතන්නාහු, මපුතණුවෝ මහා මන්ත්‍රීය, සියලු මන්ත්‍රණයෙහි පාරප්‍රාජ්තය. අතීත අනාගත ප්‍රත්‍යුත්පන්න යන තුන්‌ කල්හි වන්නා වූ අර්ථයෙන්‌ පරෝපදේශ රහිත ව ස්වයම්භූ ඥානයෙන්‌ මනා කොට දන්නාහ. එබැවින්‌ අප ඔබ යන ගමනේ යහපත නපුර මේ පණ්ඩිතයෝ දනිති"යි සිතා තමන්‌ පළමු සිතූ ලෙස නොරඳා රාගයෙන්‌ මත්‌ ව මෝහයෙන්‌ මූඪ ව විචාරන්නාහු, මේ ගාථාවෙන්‌ කියත්‌:


“ඡන‍්නඤ‍්හි එකාව මතී සමෙති,

යෙ පණ‍්ඩිතා උත‍්තමභූරිපත‍්තා;

යානං අයානං අථ වාපි ඨානං,

මහොසධ ත්‍වම‍්පි මතිං කරොහී”ති.


“පුත මහෞෂධ පණ්ඩිතයෙනි, සේනකය, පුක්කුසය, කාවින්දය, දේවින්දය, කේවට්ටය, වේදේහ යන අප සදෙනාගේ අදහස්‌ උත්තර පංචාල දේශයට බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ දුවණියන්‌ ගෙනෙන්නට යාම යහපතැයි එක්‌ වූ නියාව ගංගෝදකය හා යමුනෝදකය හා වෙනසක්‌ නැති වූවා වැන්න. මහෞෂධ පණ්ඩිතයෙනි, තෙපිත්‌ කියව, ඔබ යෑමවත්‌ නොගොස්‌ රැඳීමවත්‌ යහපත නපුර යන මේ දෙකින්‌ එකක්‌ තොපගේ සූක්‍ෂ්ම වූ ප්‍රඥාවෙන්‌ මනා කොට සිතාලා කියව. ඔබ යමෝදැ”යි කීහ.


ඒ අසා මහතාණෝ සිතන සේක්‌ "මේ රජ තමා නුවණ මද හෙයින්‌ මුන්‌ සතර දෙනාගේ බස්‌ ගිවිස නුවණින්‌ අන්ධ ව කාමයෙහි ගිජු ව ඒකාන්තයෙන්‌ ම යන්නේය. ගොස්‌ මහා විනාශයට පැමිණෙන්නේය. ගමනේ දෝෂ කියා නවතිත්‌ නම්‌ නවතා ලමි”යි සිතා "මහරජ බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්‌ පංචප්‍රකාර බලයෙන්‌ යුක්ත නියාව නොදන්නා සේක්ද? පළමුත්‌ තමන්‌ මේ නුවරට අවුත්‌ පැරද පලාගිය හෙයින්‌ ලජ්ජාව පසිඳ ගන්නා පිණිස “දුව සරණ දෙමි”යි ඔබ ගෙන්වා දැළ මුවකු හසු වූ කල වැද්දකු සේ තමන්‌ කැමැත්තක්‌ කෙරෙති'යි සිතමි, තව ද ඇම කෙරේ ගිජු වූ මත්ස්‍යයා යට තුබූ බිළිය නොදැක ගැල පියා නස්නා පරිද්දෙන්‌ කාමයෙහි ගිජු ව ඉදින්‌ පංචාල දේශයට ගිය සේක්‌ වී නම්‌ ඒ බිලිය ගිලූ මත්ස්‍යයා පරිද්දෙන්‌ වහා නස්නා සේක. තව ද පණ හසු වූ මුවකු පරිද්දෙන්‌ මහත්‌ වූ විනාශයට පැමිණෙන සේක. එබැවින්‌ ඈත යන ගමන මම නොකැමැත්තෙමි”යි ගාථා සතරකින්‌ වදාරන සේක්‌.


“ජානාසි ඛො රාජ මහානුභාවො,

මහබ‍්බලො චූළනිබ්‍රහ‍්මදත‍්තො;

රාජා ච තං ඉච‍්ඡති මාරණත්‍ථං,

මිගං යථා ඔකචරෙන ලුද‍්දො.


“යථාපි මච‍්ඡො බළිසං,

වඞ‍්කං මංසෙන ඡාදිතං;

ආමගිද‍්ධො න ජානාති,

මච‍්ඡො මරණමත‍්තනො.


“එවමෙව තුවං රාජ,

චූළනෙය්‍යස‍්ස ධීතරං;

කාමගිද‍්ධො න ජානාසි,

මච‍්ඡොව මරණමත‍්තනො.


“සචෙ ගච‍්ඡසි පඤ‍්චාලං,

ඛිප‍්පමත‍්තං ජහිස‍්සසි;

මිගං පන්‍ථානුබන්‍ධංව,

මහන‍්තං භයමෙස‍්සතී”ති.


වදාළ කල්හි නුවණ නැති රජ එබස්‌ අසා නුවණින්‌ සලකා ගත නොහී 'තමනට හෙළා දෙඩුව'යි සිතා 'මේ තමාගේ දාසයකුත්‌ කොට නොසිතා රජ්ජුරුවෝය'යි මඳකුත්‌ නොතකා දඹදිවට අග්‍ර වූ රජ්ජුරුවන්‌ තමන්ගේ ලෙහිදා දුවණියන්‌ සරණ දෙමි'යි කියා තමන්ගේ දූතයන්‌ එවූ නියාව දැන දැන ම මඟුලට නිසි එක බසකුත්‌ නොකියා මා කෙළතොලුවකු සේ ද බිළියක්‌ ගිලූ මසකු සේද පැනැ හසු වූ මුවකු සේද මහත්‌ භයට හා මරණයට පැමිණෙතියි කියයි’ කිපී මඟුලට නිසි කතා දන්නෝ නම්‌ සේනකාදී පණ්ඩිතවරු සතර දෙනා හා කේවට්ට පණ්ඩිතයෝය. තා නිමුන්‌ මිට එලී ගෙන සීසා කන ගොවියා පුතු අතින්‌ මේ සා උතුම්‌ මංගල වචන විචාළ වූ අපි ම නුවණ නැති කෙළ තොල්ලම්හ”යි බෝධිසත්ත්වයන්‌ වහන්සේට නොයෙක්‌ පරිද්දෙන්‌ නින්දා පරිභව බැණ පියා 'මේ ගොවියා පුතු මෙ තැනින්‌ පිටත ලව'යි නියෝග කරන්නාහු මාගේ මේ නියා ස්ත්‍රී රත්න ලාභයෙන්‌ අන්තරායට සුදුසු බස්‌ කීවා වූ මොහුගේ කර අල්ලාගෙන මාගේ විජිතයෙන්‌ පිටත ලව'යි කීහ.


බෝධිසත්ත්වයන්‌ වහන්සේ රජහු කිපී බැවි දැන සිතන සේක්‌ 'ඉදින්‌ මෙහි යමෙක්‌ නුවණ නැති රජහුගේ බස්‌ ගෙන මා අත වත්‌ කර වත්‌ ඇල්වූයේ වී නම්‌ මා දිවිහිමියෙන්‌ ලජ්ජාවට එම සෑහෙන්නේය. එබැවින්‌ මම ම යෙමි'යි සිතා හුනස්නෙන්‌ නැඟී රජහු වැඳ තමන්‌ වහන්සේගේ ගෙට ගිය සේක. රජ්ජුරුවෝත්‌ කිපී බස්‌ කී බව මුත්‌ බෝධිසත්ත්වයන්‌ කෙරෙහි ගෞරවයෙන්‌ එකක්හට “තුළු ගසව මරව පිටත ලව”යි නොකීහ. එසේ හෙයින්‌ තමන්‌ මූණ බලා එකක්හට නොකී හෙයින්‌ බෝධිසත්ත්වයන්‌ ළඟට ගිය එකද කෙනකුත්‌ නැත්තාහ. ඒ එසේ මැයි. රජගෙයි වසන්නවුන්‌ විසින්‌ රජහු යමකහට කිපී "තුළු ගසව මරව පිටත ලව"යි සාමාන්‍යයෙන්‌ කී කල්හි සිටියවුන්‌ විසින්‌ ඒ බස්‌ අසා සිටි පියෙන්‌ නොඉගිලී රජහු මුහුණ යටැසින්‌ බල බලා සිටියවුන්‌ අතක්‌ නොසෙල්විය යුතුය. එකකු මුහුණ බලා කී කල ඒ නියෝග ලද්දාහු මුත්‌ අනිකක්හු කිසිවකුත්‌ නොකට යුතුය. ඒ නියෝග ලද්දාහු තබා අනික්‌ කෙනෙක්‌ නොමේවරෙයි මේවර කෙලේ නම්‌ අරූට කළමනා නිග්‍රහ වරදවා කළ තැනැත්තේ විඳ ගන්නේය. එබැවින්‌ රජහු එකක්‌ හට තෝරා නොකී හෙයින්‌ බෝධිසත්ත්වයන්‌ ළඟට ගොස්‌ සෙසු නිග්‍රහ තබා පිටත ගිය මැනැව'යි යන බසක්‌ පමණකුදු කී එකද සත්ත්වයකුත්‌ නුවූයේ ය.

30.ගිරවාණන්ගේ දූත මෙහෙවර[සංස්කරණය]

ඉක්බිති බෝධිසත්ත්වයන්‌ වහන්සේ සිතන සේක්‌ "රජ්ජුරුවන්‌ නුවණ නැති ව හිතයන්‌ අහිතයන්‌ නොදැන කාමයෙහි ගිජු ව බ්‍රහ්මදත්තයන්ගේ දුව ලබන්නෙමිය යි සිතා මතු වන භය නොදැන ගොස්‌ මහා විනාශයට පැමිණෙන්නාහ. එබැවින්‌ මට බොහෝ යසස්දායක වූ උපකාර ව සිටි රජ්ජුරුවන්ගේ බස්‌ සිත තිබීමට තරම්‌ නොවෙයි. මා විසින්‌ මෝහට පිටුවහල්‌ වියයුතුය'යි සිතා පළමු කොට ගිරවාණන්‌ යවා තත්ත්වය දැන පසු ව මම යන්නෙමි'යි සිතා ඒ නුවරට ගිරවාණන්‌ යවූ සේක. පණ්ඩිතයන්‌ වහන්සේ ගිරවාණන්‌ යවා තත්‌ වූ පරිදි දත්‌ නියාව බුදු ව වැඩහිඳ වදාරන මාගේ ස්වාමිදරු වූ තිලෝගුරු වූ බුදු රජාණන්‌ වහන්සේ මේ ගාථාවෙන්‌ වදාළ සේක.


තතො ච සො අපක්කම්ම වෙදෙයස්ස උපන්තිකා

අථ ආමන්තයි දූතං මාඨරං සුව පන්ඩිතා

එහි සම්ම හරි පක්ඛ වෙය්යාවවච්චං කරොහි මෙ

අත්ථි පඤ්චාල රාජස්ස සාලිකා සයනපාලිකා

තං පත්ථරෙන පුච්ජස්සු සාහි සබ්බස්බ කොවිද්රර

සා නෙ සබ්බං පජානාති රඤ්ඤො ච කොයියස්ස ච

ආමෙති සො පටිසුත්වා මාඨරෙ සුවපන්ඩිතො

ආගමාසි හරිපක්ඛා සාලිකාය උපන්තිකං

තතො ච සො ගන්ත්වාන මාඨරො සුවපන්ඩිතො

අථ ආමන්තයි දුතො සාලිකං මඤ්ජු බාණිකං

කච්චි ඝරෙ ඛමනීයං කඡ්ඡි වෙස්සෙ අනාමයං

කච්චි තෙ මදුනා ලාජා ලබ්බතෙ සුව පණ්ඩිත

කුසලස්සෙව මෙ සම්ම අනාමයෙමථො මම

අථො මෙ මධුනා ලාජාලබ්ගතෙ සුව පන්ඩිත

කුතොනු සම්ම ආගම්ම වා පභිතො තුවං

නච මෙ’සි ඉතො පුබ්බො දිට්ඨො වා’ යදි වා සුතො


එම්බා මහණෙනි, ඒ මහෞෂධ පණ්ඩිතයෝ වේදේහ රජ්ජුරුවන්ගෙන්‌ උදහස්‌ අසා තමාගේ ගෙට ගියාහු තමන්‌ වැඩූ මාඪර ගෝත්‍රයෙහි උපන්‌ ගිරා පැටවාණන්‌ කැඳවා ඕහට දූත මෙහෙවර කියා යවන්නාහු 'රන්වන්‌ පක්ෂද්වයක්‌ ඇති සබඳ ගිරා පණ්ඩිතයෙනි, මෙසේ එව, තොප විසින්‌ මට කළ මනා මෙහෙවරක්‌ ඇතැ'යි කීහ. ගිරවාණෝ ඒ බස්‌ අසමින්‌ ම තමන්‌ හුන්‌ රන්‌ මැදිරියෙන්‌ පිටත්‌ ව මහා සන්තෝෂයට පැමිණ තමන්‌ දෙපියා මුඳුනේ තබා වැඳ එකත්පස්‌ ව සිට. 'කී යම්‌ මෙහෙවරක්‌ කොට දී ලමි, සැක නොකොට වදාළ මැනැව'යි කීහ. ඒ අසා පණ්ඩිතයන්‌ වහන්සේ වදාරන සේක්‌ 'මාඪර ගෝත්‍රයෙහි උපන්‌ ගිරා පැටවාණෙනි, කේවට්ට බ්‍රාහ්මණයා හා බ්‍රහ්මදත්ත රජු 'දෙදෙනා සරණ දෙම්හ'යි කළ කතාව රහසින්‌ හෙයින්‌ සැබෑද බොරු දැයි රජහු ගේ යාන බලන සැළලිහිණිය අතින්‌ තත්‌ වු පරිද්දෙන්‌ විචාරා දැනගෙන වහා අවුත්‌ මට කියව”යි කියාලා මී හා විළඳ කවා මී පැන්‌ පොවා ශතපාක සහශ්‍රපාක තෙලින්‌ දෙපියා අතර මැඩි කල්හි ඉතා සියුම්‌ වූ නුවණැති ගිරවාණෝ අසා ගත්‌ මෙහෙවර ඉඳුරා සිත තබාගෙන මහතාණන්‌ තුන්‌ විටක්‌ පැදකුණු කොට වැඳලා මාලිගාවේ මතු මාලේ හරන ලද සී මැදුරු කවුළුවෙන්‌ නික්මුණාහු වාත වේගයෙන්‌ සිවිරට දිශාවට මූණ ලා නික්ම එහි පවත්‌ සිත තබා ගෙන සැළලිහිණිය සමීපයට ගියාහ. ඒ කෙසේද යත්‌: ගිරවාණෝ ගොසින්‌ බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ මාලිගාවේ රත්කොත්‌ කරැල්ල මුදුනේ හුන්නාහු මධුර ස්වරයෙන්‌ රාග නිශ්‍රිත හඬක්‌ හැඬූහ. ඒ කුමක්‌ පිණිසදයත්‌: සැළලිහිණි කවර මාලෙක කවර ගබඩාවෙක බවත්‌ නොදැන මේ මාගේ ශබ්දය අසා ප්‍රති වචන දී තොමෝත්‌ හඬයි. ඒ සලකුණෙන්‌ ඈ සමීපයට යෙමි'යි සිතා හැඬූහ. ඔයිත්‌ ඒ ශබ්දය අසා ඒ රජහුගේ ශ්‍රී යහන්‌ ගබඩා සමීපයට ගොස්‌ රන්‌ මැදිරියේ හුන්‌ තැනැත්තී රාගයෙන්‌ රත්වූ සිත්‌ ඇත්තී පිට පිට තුන්‌ හඬක්‌ හැඬූව. ගිරවාණෝ මඳක්‌ ගොසින්‌ නැවත නැවත ශබ්දය අසා ඒ අනුසාරයෙන්‌ ක්‍රමයෙන්‌ ගොස්‌ සීමැදුරු කවුළුවේ එළිපත පිට හිඳ ගෙයි මිනිසුන්‌ ඇත්ත නැත්ත පරීක්‍ෂා කොට නැති සේ දැක ඈ සමීපයට ගියාහ.


මෙසේ කෙළේ කුමක්‌ පිණිසද යත්‌: මේ සත්ත්ව ලෝකයෙහි ස්ත්‍රීන්‌ නිසා ගොස්‌ ඇන තොල්‌ මිටි බිඳවා ගෙන මහ පීඩාවට පැමිණෙන්නාහු ඇත. ඉදින්‌ මේ ගෙයි යමෙක්‌ මා දුටුයේ වී නම්‌ මටත්‌ අවවාදයක්‌ කෙළේ නම්‌ නපුරැ”යි සිතා එසේ පරීක්‍ෂා කළහ. නැවත සැළලිහිණි 'සබඳ මෙසේ අවුත්‌ රන්‌ මැදිරියේ හිඳිනැ'යි කිව. ගිරවාණෝ මැදිරියට වැද සැළලිහිණිය'යි බැණ වූහ. 'කිමෙක්ද 'ස්වාමීනි' කිව 'කිමෙක්ද තොප මේ රන්‌ මැදිරියෙහි වසන්නවුනට 'සැප ද දොම්නසෙක්‌ නැද්ද? මී හා විළඳ සුව සේ ලැබේදැ'යි විචාළහ. තොමෝත් කියන්නී 'මා මෙහි වසන්නියට ඉතා සැපය, දොම්නසෙකුත්‌ නැත. විළඳ හා මී සුව සේ ලැබෙයි. යහළුව තොපි කොයි සිට අවුද? කවරකුගේ බසට හෝ ආයෙහිදැ'යි කිව. ගිරවාණෝ ඈ කී බස්‌ අසා ඉදින්‌ මම 'මියුලු නුවර සිට ආමී' කීම්‌ නම්‌ තමා පණයේ නමුත්‌ සමාගමයෙක්‌ නොවන්නේයැ’යි සිවි දේශයෙහි අරිෂ්ට පුරය සඳහන්‌ කොට ඔබ සිට ආමි' කියා සිවි රජ්ජුරුවන්‌ එවුවා කොට බොරු ගොතා ගෙන කියන්නාහු මේ ගාථාවෙන්‌ කියත්‌ :-


අහොසිං සිවිරාජස්ස - පාසාදෙ සයනපාලකො

තතො සො ධම්මිකො රාජා - බද්ධෙ මොචෙසි බන්ධනා


"සොඳුර මම වැලිත්‌ එසේ මෙසේ එකෙක්‌ නොවෙමි. සිවි රජ්ජුරුවන්ගේ යාන බලන්නා වූ ගිරවෙක්මි. අපගේ රජ්ජුරුවෝ ඉතා ධර්මිෂ්ඨ කෙනෙක, එසේ හෙයින්‌ දඟගෙයි හිඳිනා මනුෂ්‍යයන්ද මැදිරිවල හිඳිනා පක්‍ෂීන්ද හරවන සේක්‌, මාත්‌ රන්‌ මැදිරියෙන්‌ හැරි සේක. මම මා කැමැති තෙන ඇවිද ගොදුරු කා අවුත්‌ දවස්‌ පතා මාගේ රන්‌ මැදිරියේ වෙසෙමි. තොප සේ ම මැදිරියෙන්‌ පිටත්‌ නොවී ඇතුළු මැදිරියේ හිඳිනෙම්‌ නොවෙමි” කීහ.

එසේ කී ගිරවාණනට සැළලිහිණි තමාට රන්‌ තැටිය ලා තුබූ විළඳ කවා මී පැන්‌ පොවා අන්තයෙහි කියන්නී 'සබඳ තෝ ඉතා දුර සිට අයෙහිය. කුමක්‌ පිණිස අවුදැ'යි කිව. ගිරවාණෝ ඇගේ බස්‌ අසා සිතන්නාහු මේ ලොව බොරුවක්‌ නොකියා බොරු සිනාවක්‌ නොකොට ස්ත්‍රීන්‌ නම්‌ සිත්‌ ගත නොහැක්ක. ඒ බැවින්‌ බොරුවක්‌ කියා ඈ නම්‌මා ගෙන රහස්‌ විචාරා ගනිමි’යි සිතා කියන්නාහු මේ ගාථාවෙන්‌ කීහ.


තස්ස මෙකා දුතියාසි - සාළිකා මඤ්ජුභාණිකා

තං තත්ථ අවධි සෙනො- පෙක්ඛතො සුඝරෙ මම.


"එම්බා සොඳුර තොපගේ කුලයෙහි ම වූ මාගේ පළමු ඇඹෑණි කෙනෙක්‌ වූහ. ඔයිත්‌ එසේ මෙසේ කෙනෙක්‌ නොවන්නාහ, පුරුෂයන්‌ සිත්‌ ගන්නා තරම්‌ ළඳ බොළඳ මිහිරි ප්‍රිය තෙපුල්‌ දන්නාහ. මාගේ ඇසට රසාඤ්ජනයක්‌ හා සමාන වූ ඒ මාගේ භාර්යාව මා බල-බලා සිටිය දී මා ඇස්‌ හමුවේ උකුස්සෙක්‌ අල්ලාගෙන මරා පියා ඇරගෙන පලා ගියේය'යි කීහ.

එසේ කී කල්හි සැළලිහිණි විචාරන්නී තොපගේ අඹුවන්‌ උකුස්සා කෙසේ මරා පියා ඇරගෙන ගියේදැ'යි කිව. ගිරවාණෝ ඈ සිතට නැඟෙන පරිද්දෙන්‌ බොරු ගොතා කියන්නාහු, "එක්‌ දවසක්‌ අපගේ රජ්ජුරුවෝ දිය කෙළියට යන්නාහු මාත්‌ කැඳ වූ සේක, මම මාගේ අඹුවත්‌ කැඳවා ගෙන ගොසින්‌ දිය කෙළා පියා සවස රජ්ජුරුවන්‌ සමඟ අවුත්‌ මාළිගයට නැඟී ඇඟ දිය වියළා ගන්නා පිණිස මාගේ බිරින්දෑ කැඳවාගෙන සීමැඳුරු කවුළුවෙන්‌ නික්මිලා පිටත කූටාගාර කුක්ෂියෙහි කොබෝ ගෙඩි වළල්ලෙහි උන්නෙමි. ඒ ඇසිල්ලෙහි උකුස්සෙක්‌ කුළුගෙය ආසින්‌ යන්නේ අප අල්ලා ගන්නට දිවීය. මම මරණ භයින්‌ තැනිගෙන වහා දිවිපීමි, ඕ දැරි ඇති හෙයින්‌ බඩ බර ව වහා යා නුහුණුවාහ. එවිට මා බල බලා සිටිය දී ම අල්ලාගෙන ගියේය. උනට ශෝකයෙන්‌ හඬන්නා වූ මා දැක අපගේ රජ්ජුරුවන්‌ වහන්සේ ‘සබඳ කුමට හඬාදැ'යි විචාරා ඒ බව අසා 'සබඳ නොහඬව, අනික්‌ බිරින්දක්‌ සොයා යව'යි කීහ. එබසට මම කියන්නෙම්‌ ස්ත්‍රීහු නම්‌ බොහෝ සේ අනාචාර ශීලීහුය. එසේ අනාචාර දන්නා දුශ්ශීලී එකක්‌ ගෙන ඊමට වඩා හුදෙකලා ව විසීම යහපතැ'යි කීමි. එබසට කියන සේක්‌ තොපගේ ඇඹණියට ශතසහස්‍ර ගුණයෙන්‌ වඩනා ශීලාචාර සම්පන්න සැළලිහිණියක්‌ චූලනී රජ්ජුරුවන්ගේ යාන බලා හිඳිනීය. ඕ ඉතා යහපත්‌ එකක, තෙපි වහා ඔබ ගොස්‌ ඇගේ අදහස්‌ පරීක්‍ෂා කොට පියා 'යහපත ඉඳිමි' ගිවිස්ස වූ නම්‌ ඈ ගෙන්‌ අවකාශයක්‌ ලද නම්‌ තෙපිත්‌ ඈ කමැත්තාහු නම්‌ වහා අවුත්‌ කියව, මම වත්‌ බිසවු වත්‌ ගොසින්‌ මහ පෙරහරින්‌ ගෙනවුත්‌ පාවා දෙන්නෙමු'යි කියා තොප 'සමීපයට එවූ සේක. මම තොප සරණ බණවා ආමී'යි කීහ. ඉක්බිති කියන්නාහු 'ඉදින්‌ තෙපි මා කැමැත්තා නම්‌ වහා කියව. මා රඳන්නට නොපිළිවන, මා කෙරේ රැකෙන්නා කැමැත්තා නම්‌ අපි දෙන්නමෝ සමඟ වාසයෙන්‌ එක්සිත්‌ ව සුව සේ වසම්හ’යි සිතා ඇත්ත නොවළහා කියව"යි කීහ.


උන්ගේ බස්‌ අසා සැළලිහිණි ඉතා මහත්‌ සොම්නසට පැමිණ තමා සතුටු බව නොහඟවා නොකැමැත්තියක මෙන්‌ හඟවන්නී මේ ගාථාවෙන්‌ කියා.


සුචොව සුවිං කාමෙය්‍ය - සාළිකෝ පන සාළිකං

සුවස්ස සාළිකාය ච - සංවාසො හොති කීදිසො


මේ ගාථාවේ අභිප්‍රාය නම්‌, 'ගිරා පණ්ඩිතයෙනි, කුමක්‌ කියවූද, ගිරවෙක්‌ රක්‍ෂා කෙරේ ගිරා ධේනුවක, සැළලිහිණියෙක්‌ රක්‍ෂා කෙරේ නම්‌ සැළලිහිණයක, ගිරවකු විසින්‌ සැළලිහිණියක රක්‍ෂා කිරීම නම්‌ කවර කලෙක විරූ වූ දෙයෙක්ද? එසේ දෙයක්‌ මා ඇසූ විරූදෑත්‌ නැතැ'යි කිව. ඒ අසා ගිරවාණෝ සිතන්නාහු 'දැරිය බැහැවුම්‌ කියන බව මුත්‌ මා නොකැමැති සැටි නොවෙයි, සිතින්‌ ඉතා කැමැත්තීය. නොයෙක්‌ පරිද්දෙන්‌ කාරණා කියා ගිවිස්වා ගත මැනැවැ'යි සිතා කියන්නාහු මේ ගාථාවෙන්‌ කීහ.

යංයං කාමී කාමයති - අපි චණ්ඩාලිකාමපී

සබ්බෙහි සදිසො හොති - නත්ථි කාමේ අසාදිසො


“එම්බල යම්‌ ස්ත්‍රියක්‌ යම්‌ පුරුෂයෙක්‌ කැමත්තේ වී නම්‌ චණ්ඩාල වුවත්‌ උත්තම වුවත්‌ හැම දෙන ම පංච කාමයෙන්‌ සමයහ. ඒ විෂයයෙහි අඩු වැඩියක්‌ නැති. මනුෂ්‍යයන්‌ විෂයයෙහි පවා නොයෙක්‌ ජාති වෙන වෙන ඇතත්‌ ප්‍රමාණ නම්‌ කාම චේතනාව මය'යි හඟවන්නාහු මේ ගාථාවෙන්‌ කීහ.

අත්ථි ජම්බාවතී නාම - මාතා සිවිස්ස රාජිනො

සා භරියා වාසු දේවස්ස - කණ්හස්ස මහෙසී පියා


යටගිය දවස ද්වාරාවතී නුවර රජ කළ කෘෂ්ණායණ ගෝත්‍රයෙහි උපන් දස බෑ රජ්ජුරුවනට වැඩි මාලු වාසුදේව රජ්ජුරුවෝ නුවරින්‌ නික්ම උයන්‌ කෙළියට යන්නාහු චණ්ඩාල ග්‍රාමයෙන්‌ තමාගේ යම්‌ කටයුත්තක්‌ නිසා නුවරට එමින්‌ සිට මගින්‌ ඉවත්‌ ව සිටි අනර්ඝ රූ ඇති එක්‌ කුමාරිකාවක දැක පිළිබඳ වූ අදහස්‌ ඇති රජ්ජුරුවෝ ඇයගේ ජාති විචාරා 'චණ්ඩාල කුලයෙහිය'යි කීවත්‌ බලවත්‌ ප්‍රේම ඇති බැවින්‌ අස්වාමික බව අසා උයනට නොගොසින්‌ ඈ රැගෙන නැවත මාලිගාවට ගොසින්‌ රුවන්‌ රැසක්‌ පිට සිටුවා සොළොස්‌ දහසක්‌ බිසෝවරුනට නායක කොට ඔටුනු පළඳවා අග මෙහෙසුන්‌ කළාහ. ඒ බිසවු රජහට සිවි නම්‌ පුතකු වැදූහ. ඒ කුමර පියරජහු ඇවෑමෙන්‌ ද්වාරාවතී නුවර රජ කළේයයි උදාහරණ කොට 'එබඳු ක්ෂත්‍රිය කුලයෙහි උපන්‌ රජ්ජුරුචෝ පවා චණ්ඩාල ස්ත්‍රියක්‌ රක්‍ෂා කළහ. තොපත්‌ අපත්‌ තිරිසනුන්‌ හෙයින්‌ කවර වෙනසක්ද? අපට ප්‍රමාද නම්‌ ඔවුනොවුන්‌ කැමැති පමණෙක්‌ මය'යි කියා නැවත අනික්‌ කාරණයෙකින්‌ ගිවිස්වන්නාහු මේ ගාථාවෙන්‌ කීහ.

රථාවතී කිම්පුරිසී - සාපි වච්ඡං අකාමයි

මනුස්සො මිගියා සද්ධිං - නත්ථි කාමෙ අසාදිසො.


මේ ගාථාවෙහි අභිප්‍රාය නම්‌:- 'යටගිය දවස එක්‌ බමුණෙක්‌ පංච කාමයෙහි ආදීනව දැක තමාගේ බොහෝ සැපත්‌ හැර හිමාලය වනයට වැද තවුස්‌ පැවිද්දෙන්‌ මහණ ව පන්සලක්‌ කොට වසන්නේය, එතැනට නුදුරු තැනෙක්හි ගල්‌ ගුහායෙක බොහෝ කිඳුරෝ වසන්නාහ. එතැනට නුදුරු තැනෙක මහ මකුළුවෙකුත්‌ වසන්නේය. ඒ මකුළුවා කිඳුරු ලෙන දොර දැලක්‌ බැඳ උදැසන එකකු බැගින්‌ කිඳුරන්‌ ඉස්‌ කඩා ලේ බොන්නේය. කිඳුරෝ ඉතා දුර්වල සත්ත්ව කෙනෙක, ස්වභාවයෙන්‌ ම බානසුල්ලහ. මකුළුවා නම්‌ රථ සකක්‌ පමණ ඇති මහා විශාල එකෙක, කිඳුරෝ ඕහට කිසිවකුත්‌ කොට ගත නොහී තාපසයන්‌ සමීපයට ගොස්‌ මිහිරි කතා කොට ආ කටයුතු විචාළ කල්හි 'ස්වාමීනි එක්‌ මකුළුවෙක්‌ අපගේ ජීවිතහරණය කෙරෙයි, නුඹ වහන්සේ හැර අනික්‌ පිටිවහලෙක්‌ නැත, ඌ මරා අප දිවි රැක දී අප සුවපත්‌ කළ මැනැවැ'යි කීහ. ඒ අසා තපස්වී 'අප වැන්නෝත්‌ ප්‍රාණවධ කෙරෙත්ද? මෙතැනින්‌ පහවයා'යි අසුර ගසා නෙරපීය. එවිට කිඳුරෝ සිතන්නාහු 'අපගේ රථාවතී නම්‌ කින්නරාංගනාව අස්වාමිකය, ඈ සරහාලා ගෙනවුත්‌ යාඥා කරමිහ'යි තපස්වී ළඟට ගෙනවුත්‌ 'මෑ නුඹ වහන්සේට පාද පරිචාරිකා වේවා. අපගේ සතුරා මරා වදාළ මැනැවැ'යි කීහ. තාපසයා ඈ කෙරේ පිළිබඳව සිත්‌ ඇති ව ඈ සමඟ වැස අලුයම්‌ වේලෙහි කිඳුරන්ගේ ලෙන දොර සැඟවී සිට ගොදුරට ආ මකුළුවා මුගුරකින්‌ ගසා ජීවිතක්‍ෂයට පමුණුවා පීය. ඈ හා සමඟ වසන තපස්වියා එහි ම දරුවන්‌ ලදින්‌ බොහෝ දවස්‌ වැස කාලක්‍රියා කළේය.' ගිරවාණෝ මේ උදාහරණය ගෙනහැර දක්වා 'එම්බල තාපසයෝ මනුෂ්‍ය ව සිට තිරිසන්‌ කින්නරාංගනාව හා සමඟ විසූහ. අපි දෙපක්ෂය ම පක්ෂීචම්හ, එබැවින්‌ තොපගේ හා අපගේ හා සරණ මඟුලට ප්‍රමාද නම්‌ ඔවුනොවුන්‌ කැමැති වීමය'යි කීහ.

එවිට සැළලිහිණි ගිරවාණන්ගේ බස්‌ අසා 'ස්වාමීනි, හැමදවස්‌ ම සිත නම්‌ එක ලෙස තිබෙන්නේ නොවෙයි. ප්‍රිය විප්‍රයෝග ඉතා 'නොකැමැත්තෙමි, හෙවත්‌ නුඹ වහන්සේගෙන්‌ මතු වියෝ වීමක්‌ ඇත. දැන්‌ ම නැවැත්ත මැනැව, පසුව වියෝ වීම්‌ ඉතා නොකැමැත්තෙමි' කිව. ගිරවාණෝ තමන්‌ ඉතා නුවණැති හෙයින්‌ තමා ස්ත්‍රී මායමෙහි දක්‍ෂ හෙයින්‌ තවත්‌ විමසනු පිණිස මේ ගාථාවෙන්‌ කීහ:-


හන්ද ඛෝහං ගමිස්සාමි - සාළිකෙ මඤ්ජුභාණිකෙ

පච්චක්ඛානුපදං හේතං - අතිමඤ්ඤෝසි නූන මං

මේ ගාථාව කියා 'තොප මෙසේ මා නොකැමැති ව කියන හෙයින්‌ අපි යම්හ. තොපගේ මෙ තැනට මා තනි ව අවුත්‌ යාඥා කරන හෙයින්‌ තෙපි මා නිකම්‌ එකෙකැ'යි සිතූද? මම ඉතා රාජ පූජිතයෙමි. මට අඹුවෝත්‌ අරුමද? අනිකක්‌ සොයා ගනිමි, එබැවින් දැන්‌ ම යෙමි, කීහ. සැළලිහිණි 'දැන්‌ ම යෙමි' කී බස්‌ අසමින්‌ ම ළය පැළීයන තරම්‌ සෝකයෙන්‌ පීඩිත වන්නී ඔහු දුටු විට ම උපන්‌ ස්නේහයෙන් හා කාම චේතනාවෙන්‌ සර්වාංගයෙහි දාහ වැද දැවෙන්නා සේ වියෝ ගින්නෙන්‌ පැලහෙන්නී තවත්‌ තමාගේ මායමෙන්‌ නොකැමැත්තියක මෙන්‌ හඟවා නොයාදී රඳ වන්නට, උපමා මිශ්‍ර නොකියන්නී මේ ගාථාවෙන්‌ කීහ:-


න සිරි තරමානස්ස - මාසර සුවපණ්ඩිත,

ඉධෙව තාව අච්ඡස්සු -යාව රාජානංදක්ඛසි,

සොස්සසි සද්දං මුතිඞ්‍යගානං - අනුභාවඤච රාජිනො.


මේ ගාථාවෙහි අර්ථ නම්‌, 'ගිරා පණ්ඩිතයෙනි, යම්‌ සේ සිත ඇත්තක්‌ සාදාගන්නා එකක්හු ඉක්මන්‌ නොවිය යුතුය. ඉක්මන්‌ තැනැත්තවුනට ශ්‍රී කාන්තා තොමෝ ම දුරු වන්නීය. එබැවින්‌ අද මෙහිම රඳව, ගෘහ වාසය නමුත්‌ බිරින්දක්‌ රක්‍ෂා කිරිම නමුත්‌ ඉතා ඉක්මන්‌ ව බැරිය, ඉක්මන්‌ ව කළ දෙය ඔබින්නේ නොවෙයි, එබැවින්‌ අද රෑ මෙහි රඳව, ඉදින්‌ රැඳුණා නම්‌ අපගේ රජ්ජුරුවන්ගේ මහත්‌ වූ රාජෛශ්චර්යය දැක උතුම්‌ වූ රූ ඇති සර්වාභරණයෙන්‌ සැදුණු නාටිකාංගනාවන්‌ ලිය කිඳුරන්‌ ස්වර හා සමාන ව කියන්නා වූ ගීතිකා ඇසුව මැනැව, ඔවුන්‌ විසින්‌ වයන ලද මෘදංග නාදයත්‌ අසව. ඉක්මන්‌ නොවී සැබැවින්‌ අද රැදුනා නම්‌ වැඩෙක්‌ මුත්‌ අවැඩෙක්‌ නැත්තේය. තොපගේ ගම බිරින්දත්‌ නැත, ඇති බිරින්ද උකුස්සා ගෙන ගිය'යි කිව, තොප ඉක්මන්‌ වන්නේ ඇයිද? රැඳුනා නම්‌ තොපගේ අභිමතාර්ථය සිද්ධ වන්නේය'යි බැහැවුම්‌ වශයෙන්‌ රඳනා කැමැතිව ම කිව.


ගිරවාණෝ 'තොප මෙසේ කියන පසු රඳා යෙමි' කියා රැඳුනාහු නොයෙක්‌ ආල්ලාප සල්ලාපයෙන්‌ ඈ සිත්‌ ගෙන එදවස්‌ සවස්‌ වේලේ ලෝකස්වාද රතියෙහි යෙදී සන්තුෂ්ට ව ඔවුනොවුන්ට ප්‍රාණ සමාන වූහ. ඉක්බිති ගිරා පණ්ඩිතයෝ 'මෙවිට මෝ තමා සිත්‌ ඇතියම්‌ ම රහසක්‌ මට නොවළහා කියයි. ප්‍රපඤ්ච නොකොට විචාරාගෙන මෙතැනින්‌ වහා නැඟී යෙමි' සිතා සැළලිහිණියයි කීහ. 'කිමෙක්ද ස්වාමීනි' කිව. 'යමක්‌ විචාරන්නා කැමැත්තෙමි කියවුදැ'යි කීහ. 'යහපත, කිව මැනැව, වැළි එකෙක්‌ ඇත. අද අපගේ මඟුල්‌ දිනයැ. පසු දවසේ දන්නෙම්‌ වේද, ඉදින්‌ මඟුලට නිසි දෙයක්‌ වී නම්‌ අද කිව මැනැව, අවමංගලයෙක්‌ වී නම්‌ නොකිව මැනැව ස්වාමීනි'යි කීව. 'තෝ කුමක්‌ කියයිද? මීයේ මී වත්‌ කළා සේ මඟුල්‌ පිට මඟුලෙක මා කියන්නේ'යි කීහ. 'එසේ වී නම්‌ කිව මැනැවැ'යි සැළලිහිණි කිව. 'ඉදින්‌ අසන්නා කැමැත්තෙහි නම්‌ කියම්‌'යි කියා 'කිමෙක්ද බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ ඉතා රූපශ්‍රීන්‌ බබළන්නා වූ තමන්ගේ දුවණියන්‌ තමන්‌ වසඟ ව හිඳිනා එක්‌ සියයක්‌ රජදරුවනට නොදී සතුරු වූ වේදේහ රජ්ජුරුවනට කුමක්‌ පිණිස දෙත්දැ'යි කීහ.


සැළලිහිණි ගිරවාණන්ගේ බස්‌ අසා ඉතා නොසතුටු ව කියන්නී 'ස්වාමීනි, අපගේ ඊ නියා මඟුල්‌ දවසේ මෙ වැනි අවමංගලයක්‌ කුමක්‌ නිසා කීයෙහිදැ'යි කිව. ගිරවාණෝ කියන්නාහු 'මම මඟුලැ'යි කියමි. තෙපි 'අවමඟුලැ'යි කියව. අප දෙන්නාගේ බස්‌ විපරිත වන්නේ කුමක්දැ'යි කීහ. 'ස්වාමීනි, මෙසේ වූ මංඟල දිනයෙහි කිව මනා දෙයක්‌ නොවෙයි, නොකියමි' කිව. සොඳුර, අවශ්‍යයෙන්‌ මට කිව මැනැවැ'යි කීහ. ස්වාමීනි, එසේ වූ නොඇසිය යුත්තෙක්‌ 'සමස්ත ලෝකයෙහි නැත. එබැවින්‌ කියන්නට නොපිළිවන. නොකියමැ'යි කිව 'එසේද තොප සිත ඇති රහස්‌ මට නොකියන කල තොපගේ හා මාගේ හා සමඟ වාසයෙන්‌ ප්‍රයෝජන කිම්දැ'යි කීහ. සැළලිහිණි එබසට ශෝකයෙන්‌ පිරුණු ළය ඇත්තී 'එසේ නොකීයෙම්‌ නම්‌ මා ඇර පියා පලා ගියෝ නම්‌ නපුරැ'යි සිතා එසේ වී නම්‌ කියමි, ඇසුව මැනැවැ'යි කියන්නී බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්‌ හා වේදේහ රජ්ජුරුවන්‌ හා දෙන්නාගේ විවාහ මංගලය සේ වූ මඟුලෙක්‌ තොපගේ සතුරන්ටත්‌ නොවේව'යි කිව.


නෙදිසො තෙ අමිත්තානං - විවාහො හොතු මාසර

යථා පඤචාලරාජස්ස - වෙදෙහෙන භවිස්සති


ගිරවාණන්‌ ඊට කාරණා කිම්දැ'යි කී කල්හි 'එහි තත්ත්වය කියමි. ඇසුව මැනැවැ'යි කියන්නී 'බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ දුවණියන්‌ 'සරණ දෙම්හ'යි කියා වේදේහ රජ්ජුරුවන්‌ හා මහෞෂධ පණ්ඩිතයන්‌ හා දෙන්නා මායමින්‌ මේ නුවරට ගෙන්නාගෙන මරන්නාහ, ඉදින්‌ අවු නම්‌ උනට මර බාධා නැත. මිත්‍රකමට කරන දෙයක්‌ නොවේ'යි ඒ මඟුල නිසා වන්නා වූ අභිවෘද්ධියක්‌ නැතැ'යි කිව. නැවත කියන්නී "සරණ දෙන්නා තබා දුව ඇසටත්‌ නොපානාහ. දෙන්නා ම මරා ජය පානය බොන්නෙමු'යි කේවට්ටයා හා රජ්ජුරුවන්‌ හා දෙන්නා මා උන්‌ ශ්‍රීයහන්‌ ගබඩාවේ හිඳ රහස්‌ මන්ත්‍රණය කොට දැන්‌ කේවට්ටයා රජු ගිවිස්සා ගෙනෙන්නට ගියේය'යි දෙන්නාගේ රහස්‌ කතාවෙන්‌ මඳකුත්‌ නොවරද වා ගිරා පණ්ඩිතයනට කීව.


ඒ අසා 'කේවට්ටයාගේ නුවණ ඉතා යහපත්‌ නියාය, මේ උපායෙන්‌ රජහු මේ නුවරට ගෙන්වා මරන්නට බැරි නොවෙයි, සිතූ නියාව ඉතා යහපතැ'යි කේවට්ටයා කයිවාරු කොට, 'අපගේ මේ නියා මඟුලේ අවමඟුලක්‌ කීමෙන්‌ ප්‍රයෝජන කිම්ද? ඒ නොකියයි'යි කියා නවතා තමන්‌ ආ කම්‌ සැපයුණු බවදැන ඒ රාත්‍රියෙහි ඈ හා සමඟ දවස්‌ යවා, පාන්‌ වූ කල්හි "සොඳුර, මම සිවිරට ගොසින්‌ 'මා සිත්‌ වන්‌ බිරින්දත්‌ ලදිමි'යි මාගේ රජ්ජුරුවනට කියන්නට යෙමි. මට සත්‌ දවසකට සමු දෙව, අට වැනි දවස මහ පෙරහරින්‌ එන්නෙමි. මා එන තෙක්‌ තෙපි මා කෙරේ සෝකයෙන්‌ නොකා නොබී වැහැර නොගොස්‌ උකටලී නොව සුව සේ ඉඳුව”යි කීහ. සැළලිහිණි ගිරවාණන්ගේ වියෝ දුක්‌ ඉවසිය නොහී සමුණනට උත්තර කීමෙහි අසමර්ථ වැ 'යහපත, සත්‌ දවසකට අවකාශ දෙමි, සත්‌ වැනිදා නාවොත්‌ අට වැනිදා ආයෙහි නම්‌ ඒකාන්තයෙන්‌ මා මළ තෙනට නුඹ එන්නෙහිය. එබැවින්‌ මා කැමත හොත්‌ සත් දවස ඇතුළත අව මැනැව'යි කිව, 'සොඳුර කුමක්‌ කියවුද? ඉදින්‌ අට වැනිදා තොප නුදුටීම්‌ නම්‌ මාගේ ජීවිතය තමා ඇද්ද? දැරි ඇති අඹුව නොකල්හි මිය යෑමක්‌ ඇති කල හා අලුත්‌ අඹුවක්‌ රක්‍ෂා කළ සත් දවසින්‌ මළ කල මාගේ ළය ගලෙක්ද? තෙපි මා එන ගමන සැක නොකරවයි බසින්‌ කියා සිතින්‌ සිතන්නාහු තෝ මියේ වා රැකේ වා තී ගෙන්‌ මට ප්‍රයෝජන කිම්දැ'යි මැදිරියෙන්‌ නික්ම සිවි රට දිසාවට මුහුණ ලා මඳක්‌ තැන්‌ ගොසින්‌ නැවත මියුලු නුවරට ගොස්‌ බෝධිසත්ත්වයන්‌ වහන්සේගේ උරයට බටහ.

මහතාණෝ මතු මහල්‌ තලයට වඩා ගෙන විචාළ කල්හි සැළලිහිණිය කී කළ දෑ මුළුල්ල ආද්‍යන්ත නොවරදවා ම කීහ. බෝධිසත්ත්වයන්‌ වහන්සේ මී හා විළඳ කවා මී පැන්‌ පොවා ශතපාක සහශ්‍රපාක තෙලින්‌ දෙපියා අතුර මැඬ, කකුල්‌ සන්ධි මිරිකා ඉතා සැප වූ රන්‌ මැදිරියේ සැතැප්පූ සේක. ඒ බව ප්‍රකාශ කොට වදාරන බුදු රජාණන්‌ වහන්සේ මේ ගාථාවෙන්‌ වදාරන සේක:-


තතො ච ඛෝ සො ගන්ත්වාන - මාඨරො සුවපණ්ඩිතො

මහොසධස්ස අක්ඛාසි - සාළියා වචනං ඉදං


"එම්බා මහණෙනි, ඒ ගිරා තෙමේ සැළලිහිණියගෙන්‌ රහස්‌ කතා ගෙනවුත්‌ මහෞෂධ පණ්ඩිතයනට කීයේ වේදැ”යි වදාළ සේක.

31.මහෞෂධ පණ්ඩිතයෝ උත්තර පංචාලයට පැමිණීම[සංස්කරණය]

ගිරවාණන්ගෙන්‌ බස්‌ ඇසූ අනතුරු බොධිසත්ත්වයන්‌ වහන්සේ සිතන සේක්‌ "මේ රජ්ජුරුවෝ මා නොකැමැති කරවා ගොසින්‌ මහා විනාශයට පැමිණෙන්නාහ. මෙ වැනි යසදායක වූ රජ්ජුරුවන්ගේ බස්‌ සිත තබා ඒ බවදැන පිටිවහල්‌ නුවූහ"යි දත්‌ කෙනෙක්‌ නින්දා කෙරෙති. මා වැනි ජගත්‌ පණ්ඩිතයකු ජීවත්ව ඉන්ද දී මේ රජ කුමක්‌ පිණිස නස්නේද? රජහට පළමු ව ගොස්‌ බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්‌ දැක වේදේහ රජ්ජුරුවනට යහපත්‌ නුවරක්‌ කරවා ලා ගව්වක්‌ පමණ සුළු උමඟක්‌ හා දෙගව්වක්‌ පමණ මහ උමඟක්‌ කරවා ලා චූලනී රජ්ජුරුවන්ගේ දියණියන්‌ අපගේ රජ්ජුරුවනට අභිෂේක කරවා දී එක්‌ සියයක්‌ රජදරුවන්‌ හා අටළොස්‌ අක්ෂෞහිණියක්‌ පමණ මහා සේනාව අප උන්‌ නුවර වටලාගෙන සිටිය දී අපගේ රජ්ජුරුවන්‌ රාහු මුඛයට වන්‌ සඳ මඬලක්‌ පරිද්දෙන්‌ ගලවාගෙන එන ගමන මට භාර වන්නේය”යි සිතූ සේක. මෙසේ සිතන්නාහු ස්වාමි දරුවාණන්ගේ ශරීරයෙහි පස්‌ වනක්‌ ප්‍රීති උපන්නේය. ප්‍රීති වේගයෙන්‌ උදන්‌ අනන සේක්‌ යම්‌ පුරුෂයෙක්‌ යම්‌ රජක්හු ගෙන්‌ සියලු සම්පත්‌ ලදින්‌ කිසිවකිනුත්‌ අනූන ව මහා ආඪ්‍ය ව වෙසේ නම්‌ එසේ වූ ප්‍රඥා සම්පන්න පුරුෂයා විසින්‌ කායවාඞමනස්‌ යන ද්වාරත්‍රයෙන්‌ ම ඒ රජහට වැඩෙහි හැසිරිය යුතුය. ඔවුන්ගේ ආපදාවක්‌ දුටු කල්හි ඉන්‌ මුදා ලන්නට ශක්ති ඇති වත්‌ ඊට පිටිවහල්‌ නොවී නම්‌ මිත්‍රද්‍රෝහිය. එබැවින්‌ රජහු නුවණ නැති ව නොදැන කියාපු යම්‌ බස්‌ පමණක්‌ සිත තබාගැන්ම මට තරම්‌ නොවෙ”යි සිතා සොළොස්‌ කළයක්‌ සුවඳ පැනින්‌ ඉස්‌ සෝදා නහා සර්වාභරණයෙන්‌ 'සැරහී මහ පෙරහරින්‌ රජගෙට ගොස්‌ රජහු වැඳ එකත්පස්‌ ව සිට වදාරන සේක්‌ "කිමෙක්ද මහරජ උත්තර පංචාල දේශයට යන සේක්‌ මදැ”යි වදාළ සේක."එසේය පුත, යෙමි. පඤ්චාලණ්ඩි කුමාරිකාව නොලබන්නා වූ මට රාජ්‍යයෙන්‌ ප්‍රයෝජන කිම්ද? තොපත්‌ මා අත්‌ නොහැර කැටි ව එව. ඔබ යෑමෙන්‌ වැඩ දෙකෙක්‌ වන්නේය, ස්ත්‍රී රත්නයත්‌ ලබමි. රජ්ජුරුවන්‌ හා නෑ වීමෙන්‌ ඔවුනොවුන්‌ කෙරෙහි මෛත්‍රී සිතත්‌ පිහිටන්නේය'යි කීහ.

ඉක්බිති රජ්ජුරුවන්‌ වහන්සේට පණ්ඩිතයෝ කියන්නාහු "මහරජ එසේ වී නම්‌ මම පළමු කොට ගොස්‌ නුඹ වහන්සේ ඉඳිනා මාලිගා ආදී ගෙවල්‌ නංවාලා යම්‌ දවසෙක්‌ කියා එවීම්‌ නම්‌ එදා වැඩිය මැනැව"යි වදාළ සේක. ඒ අසා රජ්ජුරුවන්‌ ඒකාන්තයෙන්‌ දරුවන්‌ මා අත්‌ නොහරන සැටිය'යි ඉතා සතුටු වු සිත්‌ ඇති ව 'පුත තොප පළමු යන්නවුනට කුමක්‌ ලද මනාදැ'යි කීහ. බල වාහන ලද මැනැව”යි කීහ. 'යම්‌ පමණක්‌ කැමැත්තා නම්‌ එපමණක්‌ ම ගෙනයව'යි කීහ. ඒ මහතාණන්‌ වහන්සේ සිර ගෙවල සිටිනා බල සම්පන්න යෝධයන්‌ මා හා කැටි ව එවුව මැනැව”"යි වදාළ සේක. රජ්ජුරුවෝ කියන්නාහු මට කියන්නාහු කිම්ද? තොප කැමැත්තක්‌ කරවයි කීහ. ඒ 'මහතාණෝ සිරගෙවල දොර හරවා ගිය ගිය තැන සිතු සිතූ අර්ථයක්‌ 'සාදා දෙන්නට බල ඇති සූර වීර චෞරයන්‌ යදම්‌ බිඳුවා පිටත්‌ කරවා ගෙන 'මට සේවය කරව'යි ප්‍රසාද දෙවා, වඩු කඹුරු සොම්මරු චිත්‍රකාරාදී වූ නොයෙක්‌ කර්මාන්තයෙහි දක්‍ෂ වූවන්ගෙන්‌ අටළොස්‌ කුලයක්‌ හා වෑ-පොරෝ-උදලු-යහුල්‌ ආදී වූ වුවමනා බොහෝ උපකරණ භාණ්ඩ ගෙන්වා ගෙන මහා සේනාව පිරිවරා නික්මුණු සේක. බෝධිසත්ත්වයන්‌ වහන්සේ නික්මුණු නියාව ප්‍රකාශ කොට වදාරන බුදු රජාණන්‌ වහන්සේ මේ ගාථාවෙන්‌ වදාරන සේක.

තතෝ ච පායාසි පුරේ මහෝසධෝ

පඤ්චාල රාජස්ස පුරං සුරම්මං

නිවේසනානි මාපේතුං

වේදේහස්ස යසස්සිනෝ


"එම්බා මහණෙනි, ඒ මහෞෂධ පණ්ඩිතයෝ වේදේහ රජහට පළමු ගොස්‌ නුවර හා ගෙවල්‌ කරන පිණිස බල වාහන ගෙන නික්මුණෝ වේදැ'යි වදාළ සේක. බෝධිසත්ත්වයන්‌ වහන්සේ වඩනා සේක්‌ සතර ගවුවෙන්‌ සතර ගවුවට එකි එකී ගමක්‌ බැගින්‌ ගම්‌ කරවා ගමකට ඇමැත්තකු බැගින්‌ සිටුවා මෙසේ විධාන කරවන සේක්‌ "තොපි අපගේ රජ්ජුරුවන්‌ පඤ්චාලචණ්ඩි කුමාරිකාවන්‌ ඇරගෙන එන කල ඇත්‌ අස්‌ රථ ආදී වූ වාහන සරහා සිටුවා ගෙන කැටි වැ ආ දුර්වල වාහන රඳවා ගෙනැ තෙ‍ාපගේ වාහනවලට නංවා සතුරනට අසු වියැ නො දී වහා මියුලු නුවරට යවා ලව’යි වදාළ සේකැ.


මෙසේ මාර්ග සංවිධානයෙන්‌ ගොස්‌ ගං තෙරට පැමිණ ආනන්ද කුමාරයයි යන එකක්හු කැඳවා "තෙපි තුන්‌ සියයක්‌ පමණ නැව්‌ වඩුවන්‌ ඇරගෙන උඩුගං බලා ගොස්හර ඇති දඬු කප්පවා තුන්‌ සියයක්‌ නැව්‌ කරවා මාළිගා වාසල්‌ දොරටු අට්ටාල ගෙවල්‌ ආදිය කරවා ගන්නා ලෙස දාරු සම්භාර ඔබ දී ම ලඝු කොට සලස්වා නැව්‌ තුන්‌ සියය පුරා ගෙන එව”යි විධාන කොට යවා තමන්‌ වහන්සේ ගඟින්‌ එතර ව බැස පියවර සනින්‌ ගණන සේක්‌ මේ දෙගවුවක්‌ පමණ තැන මහ උමඟ වන්නේය. ඉක්බිති මෙතැන්හි අපගේ රජ්ජුරුවන්‌ හිඳිනා නුවර වන්නේය. නැවත මෙතැන්‌ පටන්‌ රජගෙය දක්වා මේ ගවුවක්‌ පමණ තැන සුළු උමඟ වන්නේය'යි ස්වකීය ප්‍රඥාවෙන්‌ ම නියම දැන මහපෙරහරින්‌ නුවරට වන්‌ සේක.


බෝධිසත්ත්වයන්‌ වහන්සේ එන නියාව චූලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ අසා "මෙවිට මාගේ මනදොළ පිරෙන්නේය. ඒකාන්තයෙන්‌ ම මාගේ සතුරන්‌ පිටුදක්නෙම්‌, මහෞෂධයා ආ කල වේදේහයාත්‌ නොබෝ කලකින්‌ එන්නේය. මෙවිට දෙන්නා ම මරා ජය පානය බී සියලු දඹදිව එක්සත්‌ කොට රජ කරන්නෙමි"යි ඔදවැඩී සතුටු ව ගියහ. ජනනේත්‍ර රසාඤ්ජන වූ ස්වාමිදරුවන්‌ නුවරට වදුත්‌ ම අයම්‌ විතරින්‌ අට සාළිස්‌ ගවුවක්‌ පමණ ඇති ඒ සා මහත්‌ නුවරවාසි මනුෂ්‍යයෝ එකහෙළා 'මහෞෂධ පණ්ඩිතයෝ නම්‌ මූ ල, එක්‌ සියයක්‌ රජුන් හා අටළොස්‌ අක්ෂෞහිණියක්‌ සේනාව කැටක් දමා කපුටු රැසක්‌ නෙරනා සේ ඉස්‌ ලූ ලූ අත ලුහුබඳවාපුවෝ නම්‌ මේ මහතාණෝල”යි බලා ඇස්‌ ඇද ගත නොහී මහා ආශ්චර්යයට පැමිණියාහ. සියලු නුවර එදවස්‌ සඳරැස්‌ වන්‌ කිරි මුහුදක්‌ සේ ක්ෂොභ ව ඔද වැඩී ගියේය.

32.එක දවසින් නව කෝටියක් වස්තු සැපයීම[සංස්කරණය]

මෙසේ නුවරවාසීන්‌ තමන්‌ වහන්සේගේ රූපදර්ශනයෙන්‌ සන්තෝෂ ව බල බලා සිටිය දී ම රජගෙදොරට ගොස්‌ ආ නියාව කියා යවා එන්නට කියව'යි කී කල්හි රජගෙට වැද රජ්ජුරුවන්‌ වැඳ එකත්පස්‌ ව සිටි සේක. එවිට රජ්ජුරුවෝ මියුරු කතා කොට "පුත රජ්ජුරුවෝ කවරදා එද්දැ”යි කීහ. "මා කියා යැවූ කලය”යි වදාළ සේක. "තෙපි පළමු කුමක්‌ පිණිස අවුදැ”යි කීහ. "දේවයන්‌ වහන්ස, අපගේ රජ්ජුරුවනට මඟුලට මාළිගා නංවන්නට ආමි”යි වදාළ සේක. 'යහපතැ'යි කියා බෝධිසත්ත්වයන්‌ වහන්සේ හා කැටි ව ආ සේනාවට බත්‌ වියදම්‌ දෙවා මහතාණනට මහත්‌ සත්කාර කොට ඉදිනට යහපත්‌ මාළිගාවක්‌ දී "පුත රජ්ජුරුවන්‌ එන තෙක්‌ උකටලී නොව අපටත්‌ කළමනා දෙය කරවා ලා සුව සේ ඉඳුව”යි කීහ.


ඔබත්‌ රජගෙට නැඟෙන සේක්‌ ම මතු මාලට නැගෙන හිණි පා මුල සිට 'මෙ තැන්හි සුළු උමඟ දොර කඩය'යි සිතූ සේක. නැවත ඔබට මෙසේ වූ අදහසකුත්‌ වූයේය. 'මේ රජ්ජුරුවෝ 'අපටත්‌ කළමනා දෙය කරවා ලව'යි තුමූ ම කීය. එබැවින්‌ උමඟ කනන කල මෙහි පස් හා හිණ නොවැටෙන ලෙසත්‌ කෙරෙමි'යි සිතා නැවත රජ්ජුරුවනට වදාරන සේක්‌ "මහරජ, මාළිගාවට නැඟෙන්නෙම්‌ හිණි පා මුල සිට මාළිගාවේ නව කර්මාන්ත බැලීමු. සෙසු මා දුටු නපුරෙක්‌ නම්‌ නැත, නැඟෙනහිණ යම්තම්‌ වරදෙක්‌ ඇත. කැමැති සේක්‌ නම්‌ ඊට තරම්‌ දඬුපත්‌ ලදිම්‌ නම්‌ නිකම්‌ වඩුවකු තබා විශ්වකර්මයාත්‌ 'නපුරැ'යි නොකියන ලෙස කරවා ලමි'යි වදාළ සේක. 'යහපත තොප කැමැති ලෙසක්‌ කරවා ලව'යි දාරු සම්භාර දෙවුහ. ඒ මහතාණෝ සුළු උමඟ දොර මෙතැන විය යුතුය'යි ඉඳුරා සලකාගෙන පරණ හිණ හරවා යම්‌ තැනෙක උමඟ දොර වේද එතැන පස්‌ නොවැගිරෙන පරිද්දෙන්‌ පෝරු අතුරුවා නොහෙන පරිද්දෙන්‌ නිශ්චල කොට හිණ සිටුවා ලූ සේක. රජ්ජුරුවෝ මේ අන්තරාය නොදන්නාහු තමා කෙරේ ඉත සිතින්‌ ම කෙරෙති'යි සිතූහ. ඒ පරණ හිණ ඔබ දුටු වරද නම්‌ යටින්‌ උමඟ බිඳින කල හිණ හිණි නම්‌ නපුරැ'යි යන මෙ පමණෙක් මය.


මෙසේ එදවස්‌ නව කර්මාන්තයෙන්‌ දවස්‌ යවා දෙ වන දවස්‌ රජ්ජුරුවනට කියන සේක්‌ "දේවයන්‌ වහන්ස, ඉදින්‌ එක්‌ ගෙයක්‌ නිල කොට ලදුමෝ නම්‌ අපගේ රජ්ජුරුවන්‌ හිඳිනා පරිද්දෙන්‌ යහපත්‌ කොට මාළිගා ආදී වූ ගෙවල්‌ සකස්‌ කොට ලන්නමෝ වේදැ"යි වදාළ සේක. "යහපත පුත, මාගේ මාළිගාව හැර මේ නුවරින්‌ යම්‌ ගෙයක්‌ කැමැත්තා නම්‌ ඒ ගන්ව”යි කීය. "මහරජ, අපි ආගන්තුකයම්හ, නුඹ වහන්සේගේ බොහෝ වල්ලභයෝය, ඔහු තම තමන්ගේ ගෙවල්‌ ගන්නා කල අප හා කලහ කරන්නාහ. උනට අපි කුමක්‌ කරමුදැ”යි වදාළ සේක. “පණ්ඩිතයෙනි, තෙපි උන්ගේ බස්‌ නොගිවිස තොප කැමැති ගෙයක්‌ ම ගන්ව”යි කීහ. "දේවයන්‌ වහන්ස, ඔහු නැවත නැවතත්‌ අවුත්‌ නුඹ වහන්සේට කියන්නාහුය, එයින්‌ ඔබ සිතට සැපයෙක්‌ නොවන්නේය. ඉදින්‌ නුඹ වහන්සේ කැමැති සේක්‌ නම්‌ අප ගෙය නිල කොට ගන්නා තෙක්‌ ම අපගෙන්‌ දොරකඩ රැකවල්‌ වී නම්‌ කියන්නට ආවුන්‌ වැද්ද නොදෙන්නා පළායන්නාහ, එසේ කල අපටත්‌ නුඹ වහන්සේටත්‌ දොම්නසෙක්‌ නැත්තේය'යි වදාළ සේක. රජ්ජුරුවෝත්‌ "ඉතා යහපත, තොප ගෙන්‌ ම රැකවල්‌ ලවා ගන්වා”යි කීහ. බෝධිසත්ත්වයන්‌ වහන්සේද හිණි ඉසය, රජගෙයි දොරකඩය යන මෙහැම තැන්හි ම රජගෙට කාත්‌ වැද්ද නොදෙව”යි කියා තමන්‌ වහන්සේගෙන්‌ ම රැකවල්‌ ලැවූ සේක.


ඉක්බිති "පළමු කොට ගොස්‌ රජ්ජුරුවන්ගේ මැණියන්‌ තලතා දේවීන්ගේ ගෙය බිඳුව"යි තමන්‌ වහන්සේගේ මිනිසුනට නියෝග කළ සේක. ගියා වූ පුරුෂයෝ දොරටුවෙහි පටන්‌ බිත්ති පදනම්‌ ඇතුළු ව උළු සුණු මැටි ආදී වූ දෙය බිඳහරනට පටන්‌ ගත්හ. රාජ මාතාවෝ එපවත්‌ අසා වහ වහා ගෙන අවුත්‌ 'කොල! අපගේ ගෙය බිඳුනෝ කවුරුදැ'යි කීහ. 'මහෞෂධ පණ්ඩිතයන්‌ වහන්සේ ගෙය බිඳුවා තමන්‌ වහන්සේගේ රජ්ජුරුවනට මාළිගා නංවන සේකැ'යි කීහ. 'ඇයි දරුවෙනි, මේ ගෙයි හුන්‌ කල කිම්දැ'යි කීහ. 'අපගේ රජ්ජුරුවන්ගේ බොහෝ සේනාව හෙයින්‌ මේ ගෙය කුඩාය. මහත්‌ කොට මාළිගා කරන්නටය'යි කීහ. එබසට බිසවු කිපී 'කොල! තෙපි මා රජ්ජුරුවන්ගේ මෑණියන්‌ බව නොදනුද? දැන්‌ ම පුතණුවනට කියාලා තොපට කියටි දන්නෙම්‌ වේදැ'යි කීහ. “නුඹ වහන්සේ කුමක්‌ දොඩන සේක්ද? අපි රජ්ජුරුවන්ගේ ම බසින්‌ බිඳුම්හ, ශක්ති ඇති දෑ වී නම්‌ නවතා ගන්නැ”යි කීහ. “තොපට කියටි දන්නෙමි”යි කිපී රජගෙට කියන්නට ගියහ.


දොරකඩ සිටි රැකවල්ලු “නොවදුව”යි කියා උන්‌ නැවතූහ. “කුමක්‌ කියවුද? මම රජ්ජුරුවන්ගේ මෑණියෙමි. මට පෙර රැකවලෙක්‌ නැත, මා යා දෙව'යි කීහ. "කාත්‌ වැද්ද නොදෙව, තොපගේ රජ්ජුරුවන්‌ විසින්‌ ම කියන ලද තෝ මෙතැනින්‌ නොසිට පළායා” කීහ. බිසවු කිසිවක්‌ කියන්නට නොපොහොසත්‌ ව තමන්ගේ බිඳුනා බල බලා සිටියහ. එසේ සිටියවුන්‌ එකෙක්‌ නැඟී සිට 'මෙ තැනින්‌ යෙයිද? නොයෙයිද?යි බොටුව අල්ලාගෙන තරව දමා ලීය. ඒ මැහැලි වහන්සේ මුහුණින්‌ හීපියා දුක සේ නැඟී සිට සිතන දෑ ඒකාන්තයෙන්‌ රජ්ජුරුවන්‌ කීයේ සැබෑ සැටිය. ඉන්‌ මිසක්‌ මට මෙසේ කරන්නට “සමර්ථ එකෙක්‌ ඇද්ද? පණ්ඩිතයන්‌ සමීපයට යෙමි”යි සිතා ගොස්‌ "පුත මහෞෂධ පණ්ඩිතයෙනි, මාගේ ගෙය කුමක්‌ නිසා බිඳුවාදැ”යි කීහ. ඔබ උන්‌ හා කැටි ව එක බසකුත්‌ නොකියා නොඇසූ කන්ව ඒ දිසාව නොබලා පියා සිටි සේක. ළඟ සිටි පුරුෂයෝ “දේවීන්දෑ කියන්නේ කිම්ද”යි කීහ. “දරුවෙනි, පණ්ඩිතයෝ මාගේ ගෙය කුමට බිඳුවද්දැ”යි කීහ. 'වේදේහ රජ්ජුරුවනට මාළිගා කරන්නටය'යි කීහ. “ඇයි දරුවෙනි, මේ සා නුවර ගෙයක්‌ නොලැබෙයි සිතවූද? මාගේ මේ මසු ලක්ෂය ගෙන අනික්‌ තැනකින්‌ ගෙයක්‌ ගෙන මාළිගා කරව”යි කීහ.


"ඒ වන්නා නුඹගේ මේ ලක්‍ෂය ඇරගෙන ගෙය අරවා පීයම්හ, මේ නුවර අපොහොසත්‌ කෙනකුන්‌ මඳ වුව, එසේ හෙයින්‌ අනික්‌ ගෙයක්‌ අල්වා ගත්‌ කල උයිත්‌ අත්ලස්‌ දෙන්නට ම සිතති, එසේ කල ගත්‌ ගත්‌ ගෙවල්‌ අත්ලසට ම අරන කල අප ගෙවල්‌ ලබන්නේත්‌ මාළිගා තනන්නේත්‌ කෙසේද? වන්නාටය නුඹ වහන්සේ මෙසේ ම අඬා දොඩා යාඥා කරත්‌ අත්ලස්‌ දී ගෙය හරවා ගත්‌ නියාව ඔබ්බට නොකියතොත්‌ හැර පියම්හ”යි කීහ. 'දරුවෙනි, කුමක්‌ කියවුද? රජ්ජුරුවන්‌ මෑණියෝ පවා අත්ලස්‌ දී ගෙය හරවා ගත්හ'යි කී කළ මටත්‌ ලජ්ජා වන්නීය. ඒ බැවින්‌ මා පණ තබා කාටත්‌ නොකියයි කීහ. ඔහු 'යහපතැ'යි බිසවුන්‌ දුන්‌ මසු ලක්‍ෂය ඇරගෙන ගෙය බිසවුනට ම අළහ. වැළිත්‌ ඒ මසුරන්‌ ලක්‍ෂය නම්‌ දැන්‌ මේ සමයෙහි මෙන්‌ තඹ ආදී ලෝහයෙන්‌ ගැසූ රනෙක්‌ නොවන්නේය. ඒ රනට ‘නීලකර්ෂාපණ’යයි කියති. ඉන්‌ සතර අකෙක්‌ පස්ලෝය. එබැවින්‌ ඒ බිසවුන්‌ දුන්‌ මසුරන්‌ ලක්‍ෂයෙන්‌ පණස්‌ දාසෙක්‌ 'මාඪ රත්රනැ'යි දත යුතු.


ඒ ගෙය හැර එතැනින්‌ ගොස්‌ කේවට්ටයාගේ ගෙයි බා ගෙන පළමු පරිද්දෙන්‌ දොරටුයෙහි පටන්‌ බිඳිනට වන්හ. ඒ බමුණු බැණ නැඟී ගොවියා පුත්‌ තමාගේ නුවර එක්‌ සියයක්‌ රජදරුවන්‌ හා සේනාව බල බලා සිටිය දී තමාට සතුරු ව ගිය මෙතෙක්‌ දෙනාගෙන්‌ මාගේ ම බොටුව අල්ලාගෙන බිම උළා, නළල ආදී වූ තැන්‌ ලේ කැන්‌ ලේ මඬුලු කොට පියා දැන්‌ කබර වදා ගියා සේ මේසා ලජ්ජාවට පමුණුවා පීය, නැවත විවා මඟුල කියා ගියා වූ මා තමාගේ ගෙයි දී තනි කොට ගෙන තමාගේ බල සම්පන්න පුරුෂයන්‌ ලවා උණ පත්තෙන්‌ මරවා පිටිකර ගස්වා, එසේත්‌ මා නොමිය නියාවක්‌ කොට පීය. ඒ මදින්දෝ දැන්‌ මීට අවුත්‌ මේසා නුවරින්‌ මාගේ ම ගෙය බිඳුවා මා උන්‌ තැනින්‌ නෙරන මාන කෙරෙයි, වන්නාටය. ඌගේ රජු නාවත්‌ දෙන්නාට ම කළමනා දෙය මූට කරවමි'යි තරව කිපී රජහට කියන්නට රජගෙයි දොරට ගියේය. රැකවල සිටියවුන්‌ 'බමුණු මාල්ල මෑත නේයි, කියව කියවා තමා වල්ලභ කමට දොරකඩට ගියේය.


රැකවලුන්‌ 'කොල නිකෘෂ්ඨ ගුණ ඇති දුෂ්ට වූ බමුණ 'මෑත නේයි' කියව කියවා එයිදැ'යි එකෙක්‌ නැඟී සිට ගසන්නේ තමා පසැඟිල්ල බමුණු මාල්ලා පිටිකර පෙනෙන පරිද්දෙන්‌ සරස හිඳ ගසා ගඩු නඟා පීය. ඒ පාර ලදින්‌ තුෂ්නිම්භූත ව ඉඟිකරුව කකිය කකියා අනික්‌ උත්තරයක්‌ කියන්නට අසමර්ථ ව ගත යුත්තක්‌ නොදන්නේ මසු ලක්‍ෂයක්‌ දී ගෙය අරවා ගත. මේ උපායෙන්‌ එදවස්‌ සවස්‌ වන දෑතුරේ සියලු නුවර ගෙවල්‌ බිඳුවා නැවත හරනට ගත්‌ අත්ලස්‌ රන්‌ එක්‌ කොට නව කෝටියක්‌ වන්නේය. ඒ නව කෝටියෙන්‌ සතර කෝටි පනස්‌ ලක්‍ෂයක්‌ මාඪ රනැයි දත යුතුයි.

"https://si.wikibooks.org/w/index.php?title=උම්මග්ග_ජාතකය-vii&oldid=18562" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි