Jump to content

කව්සිළුමිණ-කව්සිළුමිණ-iv

Wikibooks වෙතින්

කව්සිළුමිණි

කල්පලතාව්‍යාඛඨාව


නමවු මුණිසරණ



1.සර්‍ගය 1 සිංහලමහාකවීශ්වර වූ කලිකාලසර්‍වඥ නරෙන්ද්‍රයෝ අප මහා බෝධිසත්වයන් වහන්සේගේ පූර්‍වචරිතාචදානයක් කථාශරීර කොට ගෙණ සිංහලමහාකාව්‍යයක් රචනා කරණු කැමැත්තාහු ස්වකීය නිරඬකුශභාවය දක්වමින් ස්වකීය ඉෂ්ටදේවතා වූ සම්බුද්ධයන් වහන්සේගේ වචනයක පරිවර්‍තනයකින් කාව්‍යමුඛය අලඬ්කාර කරණු පිණිස ‘තමා වරදස’ යනාදිය කියති.

අන්වය:- තමා වරදස නො දිස්නේ. මෙරමා දොස් මැ දිස්නේ නුවන් තමා මුත් බැහැරැ නහමන නො දක්නේ කිම්?

අර්ථ :- තමාගේ වරද නො පෙණේ. අනුන්ගේ දොස් ම පෙණේ. නේත්‍රය තමා හැර පිටත බලත් හොත් නො දක්නේ කුමක් ද?

විස්තරය:- නේත්‍රයට තමා (නේත්‍රය) ම හැර පිටත තිබෙන ඉතා සුළු දෙය පවා පෙණෙන්නාක් මෙන් ලෝවැසියාට ද අනුන්ගේ ම මිස තමන්ගේ දොස් නො පෙණේ. බුදුරජාණන් වහන්සේ ද මෙහි ප්‍රථමාර්‍ධයෙහි දැක්වූ අර්ථය “සුදස්සං වජ්ජං අඤෙඤසං අත්තනො පන දුද්දසං” (ධම්මපද මලවග්ග) යනුවෙන් වදාළහ. මහාභාරත කර්‍තෘ වූ ව්‍යාසයෝ ද

බලඃ සර්‍ෂපමාත්‍රාණි - පරච්ඡිද්‍රාණි පශ්‍යති, ආත්මානො බිල්වමාත්‍රාණි - පශ්‍යන්න පි පශ්‍යති” යනුවෙන් එයම අන්ලෙසකින් කීහ.

බැහැර තිබෙන අබඇටය පවා දක්නට සමර්ථ ඇස තමන් තුළ ම තිබෙන ඉතා මහත් වූද කෘෂණමණ්ඩලය දැක්ක නො හෙයි. එ මෙන්ම අනුන්ගේ කෘති වූ මෙ බඳු කාව්‍යයන්හි ඉතා සුළු දොස් පවා දැකීමට සමර්ථ වූ ද, එ බඳු දොස් මහදොස් සේ දැක්වීමට යුහුසුලු වන්නා වූද, පණ්ඩිතයෝ දොසින් නො මිදුණාහු වූ නමුත් සියදොස් දැක්මට අසමර්ථ ‍ වෙති. අන්‍යයන්ගේ නැති දොස් ඇති සේ ද , ඇති ඉතා සුළු දොස් මහත් සේද, දක්වන්නට සැරසෙන පණ්ඩිතම්මන්‍යයන් අපේ මහාකවීශ්වරයෝ මෙයින් නිහඬ කෙරෙති.

“වරදස” යන්න “වරද අස” යි බිඳ “වරදෙහි ස්වල්පයකුදු (අංශයකුදු)” යි පැරණිසන්නයෙහි අර්ථ කියන ලදී. “පරස්ස අණු මත්තං වජ්ජං සුදස්සං අත්තනො පන අතිමහත්තම්පි දුද්දසං” (ධම්මපදඨකථා 527 පිට) යනු හා එය නො ගැළපේ. තමාගේ මහ දොස් පවා නොපෙණෙන කල්හි දොෂාංශු පෙණෙන්නේ කෙසේ ද?

කාව්‍යරම්භයෙහි ආශිර්‍වාදය, ඉෂ්ටදේවතා නමස්කාරය, වස්තු නිර්‍දෙශය (=වර්‍ණනා කරනු ලබන වස්තුවක් දැක්වීම ) යන තුණින් එකක් විය යුතු ය යි කාව්‍යනීතිසම්පාදකයෝ නියම කළහ. (සියබස්ලකර -1-21 හෝ කාව්‍යාදර්‍ශ 1-14). තමා “ වරදස” යනාදී පද්‍යයෙහි ඒ එකක් වත් සුඵුට ව නො පෙණේ. එහෙයින් මේ කාව්‍යයාගේ ආරම්භය කාව්‍යනීති විරුද්ධ නො වේ ද? යත්-

මේ ගීය ම මේ කාව්‍යයාගේ ආරම්භය යි සිතිය නො හැකිය. මුලින් වූ ගී කීපයක් නැති ව ගිය බව හැඟේ. දැනට තිබෙන පිටපත් සමහරක “ තමා වරදස” යනාදී ගීයට මුලින් “නමෝ බුද්ධාය කලා වූ චිත්තය තෙමේ, මා මෙහි යුහු කෙලෙ කාව්‍යබන්ධනයෙහි දක්ෂ කෙළෙ” යන පාඨය පෙණේ. සමහර පිටපත් හි 20 වැනි ගීය දක්වා නැත. එහි ආරම්භය “නමො බුද්ධාය - යො සිරි වුන් සෙවෙතුන්” යනුවෙනි. “කළා වූ චිත්තය තෙමෙ” යනාදී වාක්‍යය සසදාවතෙහි 6 වැනි ගීයෙහි “මොකැසිරැ බඳ මන මා - යුහු කෙළෙ සෙබෙ සේ කිවි” යන්නට කළ ව්‍යාඛ්‍යානයට සමාන හෙයින් එය මුද්‍රිත පොතට ඇතුළත් නො කළබව මඩුගල්ලේ සිරිසිදුහත් නාහමිපානෝ කියති. සසදාහි හා කව්සිළුමිණෙහි 6 වැනි ගීයෙහි ද පෙණේ. එහෙයින් “මන මා මෙහි යුහු කෙළෙ” යන පාඨය කව්සිළුමිණෙහි ම නැති වූ ගීයක අවශේෂ වචන බව සිතිය හැක්ක. මෙයින් පෙණෙන්නේ කව්සිළුමිණෙහි ආරම්භයෙහි ගී කීපයක් නැති වූ බවයි. එහෙයින් “තමා වරදස” යනාදී ගීය කාව්‍යයාගේ ආරම්භය සේ සැළකිය නො හැකි ය. ඉෂ්ටදේවතා නමස්කාර ආදිය නැතිවූ සේ පෙණේ.

මෙය ම ආරම්භපද්‍යයයි සලකතත් කාව්‍යනීති කඩ කළැයි යන දෝෂාරෝපණය අපේ මහාකවීශ්වරයන් කෙරෙහි කළ නො හැකි ය. මෙයින් ඉෂ්ටදේවතා නමස්කාරය ප්‍රකට ව නො පෙණුනත් එය මෙහි නැතැයි නො කිය හැකිය. කය වචන දෙක පමණක් නොව මනසද නමස්කාරයට කරණ වෙයි.. මනසින් කරණ නමස්කාරය ම ශ්‍රේෂ්ඨ වේ. බුදුවදන් පිළිපදින්නේ ශාස්තෲන් වහන්සේට සැබවින්ම නමස්කාර කෙරෙයි. බුඬවචනයක් ම හෙලුවට පෙරළා මෙහි ම

යෙදීමෙන් ම මේ මහාකවීශ්වරයෝ බුදුන්ට ස්වකීය භක්තිප්‍රණාමය දක්වති.

මේ කාව්‍යයෙහි කර්‍තෘ මහාකවියෙකි. මහාකවීහු නිරඬ්කුශ යෝ යි; හෙවත් නීති නමැති හෙණ්ඩුවෙන් පාලනය කළ යුත්තෝ නො වෙති. කාව්‍ය නීති පණවන්නෝ ඔහු ය. පුරාතනකාව්‍ය ප්‍රාරම්භයන් බලා කාව්‍යාදර්‍ශකර්‍තෘ ආශිර්‍වදාදී තුණින් එකක් කාව්‍යමුඛය විය යුතු ය යි කී නමුත් අනිකක් නො විය යුතු යයි නො කීය. එහෙයින් මේ කවීශ්වරයෝ ස්වකීයනිරඬ්කුශ මහාකවීත්වය දක්වමින් අළුත් මඟක් ම ගෙණ මේ මහාකාව්‍යය ආරම්භ කළහු යනු ද කිය හැකි ය. කාව්‍යානුශාසනයන්හි නො තිබුන ද මහාකවීන් ප්‍රතිභානයෙන් නිපදවා යෙදූ දෙය ද නිරවද්‍ය වේ. (කාව්‍යදර්‍ශ 1-30)

සමහරු මේ පද්‍යයෙහි ප්‍රථමාර්‍ධය “තමා වරදස නො- මෙර මා දොස් මැ දිස්නේ” යි වෙනස් කරති. පතිරාජපරිවේණාධිපතිහු “තමා වරදස නො දිස්නේ” යි සිදතෙහි යෙදීමෙන් “දිස්නේ” යන්න අනික් තැනකට අදින්ට ඉඩ නො දෙති.

“වරදස” යන්න “වරදෙහි අස = වරදස”යි ද, “වරද ම = වරදස”යි ද දෙ අයුරකින් විග්‍රහ කළ හැකිය. පළමුවැන්න සමාසවිග්‍රහයයි. දෙ වැන්න තද්ධිතවිග්‍රහයයි. එවිට “අස” යන්න ස්වාර්ථප්‍රත්‍යයයෙකි. “වෙළලස, මුහුලස” යනාදීන්හි මෙනි.

මේ සර්‍ගයෙහි පද්‍ය ගීවිරිතින් බැඳුනේ ය. ප්‍රථමපාදයෙහි මාත්‍රා නවයක් ද ඉතිරි පාදයන් හි මාත්‍රා එකො‍ෙළාස බැගින් ද යොදා බඳනා ලද්දේ “ගීවිරිත්” නම් වේ. යහගීවිරිතෙහි ද මාත්‍රාසඬ්ඛ්‍යා මෙ බඳු වන නමුත් එය සර්‍වලඝුවෘත්තයකි. මේ පද්‍යයෙහි ප්‍රථමපාදයෙහි මාත්‍රා නවයක් නො පෙණේ. එහෙයින් එය ගී විරිත බිඳි ද? නො බිඳී. අවශ්‍ය තැන්හි දී පාදාන්තලඝුව ගුරක් සේ ගත යුතු යයි ඡන්දශ්ශාස්ත්‍රයෙහි (එලුසඳැස්ලකුණ- 4) නියම කළ හෙයිනි. ‘නො’ යන්න ලඝුවක් සේ පෙණෙතත් පාදාන්තයෙහි තිබෙන හෙයින් මෙහි දී ගුරක් ම සේ සලකනු ලැබේ. එහෙයින් නො පෙණෙන මාත්‍රාව ලැබේ. මේ කවෙහි ගී යොන්විරිතට පෙරළන්නට යත්ත කරන්නෝ බොහෝ තැනදී පළමුවන පාදයෙන් ද තෙවන පාදයෙන් ද ඒ දෙකින් ම ද ගීවිරිතට පනිති.

(මෙ තැන් සිට පද්‍යයන්ගේ අන්වය දක්වනු නො ලැබේ. අර්ථකථනයෙහි දී ම දුර්‍බොධපදයන් උඬරණය කොට වරහන් තුළ දක්වනු ලැබේ)

අර්ථ:- සරස්වතියගේ බැලුමෙහි අංශයකින් ජනයෝ කවීහු වෙත්වා. (එහෙත්) පද්‍යයෙහි රසභාවයන් විඳින්නා (=දැන ගන්නා ) වූ ජනයෝ ඉතා දුර්‍ලභයෝ යි.

විස්තර:- ‘සරසවි’ නම් වචනය යි. එය දෙවඟනක ලෙස පැරණියෝ මූර්‍තතිමත් කළහ. ඇය බැලූ විට- පැහැදුනු විට මිනිහා උගතෙක් වේ. කවියෙක් වේ. සම්පූර්‍ණ කවියෙකු වීමට සරසවිය‍ෙග් සම්පූර්‍ණ නිරීක්ෂණය අවශ්‍යය. ඇගේ නිරීක්ෂණාංශයකින් වන්නේ කවි අංශයකි. සරස්වතියගේ නිරීක්ෂණාංශය නම් මඳ උගත්කමකි.එබඳු මඳ උගත්කමක් ලැබූ පමණකින් ඇතැම්හු “කවියම්හ” යි දාප්ත ව මහාකවීන් ලබන කීර්තිය ලබන්නට දඟලති. එහෙත් ඔහු නෛසර්ගිකකවියෙකු‍ෙග් පද්‍යයක රසභාවයන් විඳීමට වත් සමර්ථ නො වෙති. මෙයින් මේ මහාකවිනරෙශ්වරයෝ මඳ උගත්කමකින් මහාකවීන් මෙන් පෙණෙන්ට දඟලන පුගුලන්ට සරදම් කෙරෙති.

සැබෑ කවි‍ෙයකු වීමට නෛසර්ගිකප්‍රතිභානය (=උත්පත්තියෙන් ම පිහිටි වහා වැටහෙන නුවණ) ද. නිර්‍මල වූ බහුශ්‍රැතභාවය ද පද්‍යබන්ධනයෙහි නිරන්තරාභ්‍යාසයද අවශ්‍ය ය. (සියබස්ලකර 1-64), ඒ එකකින් වත් පිරිහුනොත් සැබෑ කවියෙක් නො වේ. එසේ ඇති කල්හි මඳ උගත්කම පමණකින් කවියෙක් වන්නේ කෙසේ ද? මහාකවීන් ගැණ කවර කථා ද? අන්‍යකවීන්ගේ පද්‍යයන්හි රස භාවයන් නිරවශෙෂයෙන් වින්දනය කිරීමට සමර්ථ වන්නේ ද එබඳු ව්‍යක්තපණ්ඩිතයෙක් ම ය. ඒ බව සංස්කෘත මහා කවීහු ද-

“කවිඃ කරොති කාව්‍යානි - ස්වාදං වින්දන්ති පණ්ඩිතාඃ”

යනුවෙන් කීහ. එබන්දෝ ලෝකයෙහි ඉතාමත් දුර්‍ලභයෝ යි. මේ මහාකවීහු කියති.

‘රස’ නම් පද්‍යයන් කියවන විට හෝ අසන විට කියවන්නා හෝ අසන්නා තුළ උපදනා ශෘඬ්ගාර, හාස්‍ය, කරුණ, රෞද්‍ර, වීර, භයානක, බීහත්ස, අද්භුත, ශාන්ත යන මානසිකගතියි (=හැඟීම් ය).


‘හව්’ නම් ඒ ඒ රසයන්ට පිළිවෙළින් මුල් වන්නා වූ රති, හාස, ශොක, ක්‍රොධ, උත්සාහ, භය, ජුගුප්සා, විස්මය, නිර්‍වෙද යන නවය යි. මොහු ‘ස්ථායිභාව’ නම් වෙති. ඒ ද මානසික ගති යි. මෙයින් අන්‍ය වූ විභාව, අනුභාව, ව්‍යභිවාරිභාව නම් වූ අප්‍රධාන භාව විශෙෂයෝ ද වෙති. ඒ විභාවාදී හැඟීම්වලින් පුෂ්ට ව ප්‍රකටභාවයට පැමිණි රති ආදී ස්ථායිභාවයෝ ම ‘රස’ නම් වෙත්. කවිහුගේ අභිප්‍රාය ද භාව නාමයෙන් දැක්වේ. කවීන් නොවන්නන් ද පද්‍යයන්හි රසභාවයත් විඳිතත් නෛසර්ගික කවීත්වයෙන් යුක්තයෝ ම එහි අතිශය සමර්ථ වෙති. රසභාවයන් විඳුනා ජනතාව දුර්‍ලභය යි කීයේ එහෙයිනි.

‘දනතා’ යන්න ‘දන’ සදින් සමූහාර්තයෙහි ‘තා’ ප්‍රත්‍යය වීමෙන් සිඬ යි. ‘දෙනෝ’ යන්න මෙන් ම ‘දෙනෙතා’ යන්න ද මුල දී අප පාඨ සේ සැලකුන ද දැන් සුපාඨ සේ සලකනු ලැබේ. 6 අර්ථ:- මේ (සෙබේ=) ස්වාභාවයෙහි මගේ වචනය පාද බන්ධනය කළ හොත් (=පිහිටීම ලැබුව හොත්) (පිළි=) නැවත ඒ විශෙෂයක් වේ; (ඒ එසේ මැ යි) කාඤචනඬ්කණයෙහි (=රන්කෙවුන්නේ) ම බැඳි මිණ (=රත්නය) ම ගුණයන් ශ්‍රෙෂ්ඨ වේ. විස්තර:- අනුන්ගේම දොස් දැකුමත්, මඳ ඉගෙණීමකින් කවිසශඃප්‍රාර්ත්ථි වීමත්, රසභාවාවබෝධයෙහි සමර්ථයන් ඉතා දුලබ වීමත් ලොකස්වාභාවය යි. එබඳු ස්වාභාවයෙන් යුක්ත මේ ලෝකයෙහි මාගේ මේ වචනයට හෙවත් මේ කාව්‍යයට පය ගසන්නට තැනක් - පිහිටක් ලැබුනොත්-මේ කාව්‍යය පරරන්ධ්‍රග‍ෙවෂණයෙහි තත්පර නුවූ, ගුණදොෂවිවේචනයෙහි දක්ෂ වූ පරගුණප්‍රතිච්ඡාදනයෙහි බද්ධකක්ෂ නුවූ රසභාවවින්දනයෙහි සමර්ථ වූ සැබෑ කවින් අතට ගිය හොත්- එය විශෙෂයකි. සාමාන්‍යස්වාභාවයෙන් වෙනස් වූවකි. මෙසේ කියන්නේ කවර හෙයින් ද? මේ කාව්‍ය මිණකි. නිකම් මිණක් ද නො වේ. සිළුමිණකි. මිණෙහි උතුම් බව පෙණෙන්නේ රන්කෙවුන්නකම බැඳි විට ය. මේ කව්සිළුමිණ බැඳීමට සුදුසු කෙවුන්න නම් රසභාවවින්දනයෙහි සමර්ථ කවිජනයා යි. ඔවුන් අතට පත් වූ විට ම මෙහි අගනාබව පෙණේ. කවිත්වමානයෙන් දර්පිත වූ අයඃකඬකණ වැනියන් අතට ගිය හොත් මෙහි උතුම්බව නොපෙණේ. කාඤචනකඬකණ වැනි සැබෑ කවීන් දුර්‍ලභ වන අතර සරසවියගේ මඳ පැහැදුමකින් කවිත්වයට නැඟුනත් නමැති අයඃකඬකණ ඉතා සුලභ ය. එහෙයිනි. ‘සෙබේ’ යනු ‘සභ‍ාව’ ශබ්දයෙන් ‘සබව = සබා සබ’යි ක්‍රමයෙන් ආ ‘සබ’ සදින් සිද්ධ යි. උතුරත් = ශ්‍රෙෂ්ඨාර්ථවාචී මේ ශබ්දය “ලො ඉකුත් ගුණමුළිනුතුරත්” (ශි. සං. 1. 1291) “සව්ගුණමුළින් උතුරත්” (ශි. සං 1. 1852) යන ශිලාලේඛනපාඨයන්හි ද යෙදුනේ ය.

4 අර්ථ:- කවිභාවය තෙමේ කවියා නැමැති ද්‍රැමයෙහි (=ගසෙහි) කුසුමසමපත්තිය යි. ( මල් හට ගැණුම යි) ඒ කුසුමසමෘද්ධියෙහි මහත් වු ඵලය නම් බෝධිසත්ත්වචරිතවර්‍ණනාවයි. (එ වියත්මුව පත්=) ඒ ඵලය ව්‍යක්තයන්ගේ මුඛයට පත් ‍‍ වේවා.

විස්තර:- ‘කිවිබව’ නම් ප්‍රතිභානය, ලොකශාස්ත්‍රකාව්‍යාදී පරීක්ෂණයෙන් ඇති කර ගත් නිපුණත්වය, කාව්‍යකරණවිචාරණයන්හි දක්ෂයන්ගේ උපදේශ අනු ව කාව්‍යකරණයෙහි පුහුණු වීම යන මෙයින් උපදවාගත් ශක්තිය යි. එය කුසුම්සැපතක් වැන්න. එය හටගන්නේ කවියා නමැති ගසෙහි ය. එයින් උපදනා ඵලයන් අතු‍ෙරන් ශ්‍රේෂ්ඨතමය නම් බෝධිසත්ත්වචරිතවර්‍ණනය යි. එය ව්‍යක්තයෝ - පණ්ඩිතයෝ වළඳත්වා. හෙවත් බෝධිසත්ත්වචරිතවර්‍ණනාවක් වූ මේ කාව්‍යය ගුණදෝෂවිචාරණයෙහි හා රසභාවවින්දනයෙහිත් සමර්ථ වූ ව්‍යක්තයෝ කියවත්වා. මේ කාව්‍යයෙහි රස විඳීමට සුදුස්සෝ ව්‍යක්තයෝ ම ය යනු භාවයි.මෙයින් අපේ මහාකවීශ්වර නරේශ්වරයෝ ස්වකීය මහාකාව්‍යය ව්‍යක්තයන්ට ම පවරා දෙති. එහෙත්, අහෝ! අද ඊට පත් දසාව! “පමාදෙන” යන්නෙහි අර්ථයවත් නො දත හෙන්නෝ ඊට ව්‍යඛ්‍යා කරන්නට සැරසෙති. ‘කිවිබව්’ යනුවෙන් කථිකභාවය ද ගත හැකි ය.

5 අර්ථ:- රාජ්‍යයට පැමිණි බෝධිසත්ත්ව තෙමේ සත් රජුන්ගේ එඩිය - දර්‍පය- මර්‍දනය කොට (කලක්=අක්, කල්=) අග්‍රකාන්තාව තමාට (විසි=) වසග කොට කලක් දශරාජධර්‍මයෙන් විසී ය.

විස්තර:- මේ පද්‍යයෙන් මේ මහාකාව්‍යයෙහි ඔජස- සාරය- දක්වන ලදී. එහෙයින් ම මෙ බඳු පද්‍ය ඔජඃප්‍රාණයෙන් යුක්තය යි. අලඬ්කාරිකයෝ කියති. (සුබොධාලඬ්කාර 1-125). ‘දසරජදම්’ නම් දානය, ශීලය, පරිත්‍යාගය , ඍජුබව, මෘදුභාවය, තපස (ඉඳුරන් හික්මවීම), අක්‍රෝධය, අවිහිංසාව, ක්ෂාන්තිය, අවිරුද්ධභාවය යන මේ යි. එළු සඳැස්ලකුණෙහි සඳහට ගීයට නිදසුන් කරන ලද්චේ මෙය යි.

6 අර්ථ:- (ලද පියන්) බාලස්ත්‍රීන්ගේ පියොවුරුබිඳු (=ඉතාකුඩාතනය) මෙන් මේ ජාතකය දක්වා (පිළි=) නැවත පීන (=මහත්) පයොධරමණ්ඩලය මෙන් මෙහි විස්තරය දක්වමි.

විස්තර:- ලදැරියන්ගේ පියොවුරුබිඳත් තරුණියන්ගේ පින් පියොවුරුත් ‘පියොවුරු’ නම් ම වේ. එහෙත් දෙවැන්න මිස පළමුවැන්න රසවතුන්ගේ සිත් ගන්නේ නොවේ. එ මෙන් ම මේ කාව්‍යයෙහි ඔජස වශයෙන් “රජ පැමීණි” යනාදින් දක්වන ලද්ද සහෘදයහෘදයානන්දවර්‍ධනයෙහි අසමර්ථය. පීනපයෝධරමණ්ඩලයක් වැනි, ව්ච්ත්‍රාලඬ්කාරයන්ගෙන් හෙබුනු, මහා කාව්‍යයක්ම එහි සමර්ථ වේ.

මෙහි මෙන් ම සසදා- මුවදෙව්දා දෙක්හි ද කාව්‍යයෙහි ඔජස පළමු කොට උදෙසමින් එක් මඟක් ම ගන්නා ලදී. ඒ දෙක්හිම දැක්වූ උපමාවන්ට වඩා මෙහි දැක්වූ උපමාව උචිත ද රසික චිත්තාකර්‍ෂක ද වේ. ගීපෙළෙහි ‘මඬලෙව්’ යන්න ‘මඬලඑව්’ යි විසන්ධි කර ගත යුතු.

පුරවැණුම්

7 අර්ථ :- බ්‍රහ්මලෝකයෙහි (දුනු=) උපන් පාරිභොගිකධාතුශ්‍රීයට නිධාන වූ පියුම වැනි සත්ත්වසාරයන්ට (ශ්‍රේෂ්ඨසත්ත්වයනට) (උපත්=) උප්පත්තිසථාන වූ කුශාවතී නම් වූ නගරයෙක් වී ය.

විස්තර:- කුශ‍ාවතී නගරය වනාහි දක්ෂිණකොශලදෙශයෙහි අගනුවර යි. එය වින්ධ්‍යාපර්‍වතයෙහි දකුණුපස පටුබිම්තීරයක පිහිටියේ ය. මිට ම රාමනගර, කුශස්ථලි යන නාමයෝ ද වෙත්. ‘පිරිබෝදා’ නම් මහබෝසතුන් වහන්සේ පැවැදි වූ දින ඝටීකාර නම් මහබඹහු විසින් ගෙණවුත් පිළිගැන්වූ අටපිරිකරයි. (පූජාවලී 11 වන පරිච්ඡේදය) ලෝකප්පදීපිකසාර ආදී සමහර පාළිපොත්වල පෙණෙන පරිදි කල්පාරම්භයෙහි පළමු කොට ම පහළ වන්නේ බුදුවරුන් බුදු වන බෝ මැඩයි. එහි පියුම්ගසක් උපදී ල. ඒ ගසෙහි ඒ කල්පයෙහි පහළ වන බුදුවරුන් ගනනට (එක තුවටුවෙහි) මල් ද එක් එක් මලෙහි එක් එක් අටපිරිකරක් ද තිබේ ල. මහබඹහු ඒ අටපිරිකර ගෙණගොස් බඹලොව තබා මහබෝසතුන් මහණ වන දවස්හි ගෙණවුත් දෙත් ල. (ලොකප්පදීපිකසාර 166 පිටුව) එහෙයින් “බඹතෙලේ දුනු” යි යන්න දැන් තිබෙන පාළිපොත්හි එන කථාව හා නො ගැළපේ.

8 අර්ථ :- ධරණීය (වුලුඹු=) විලුම්පනය - පැහැර ගැණීම කළා වූ ඒ පුරයෙහි (නුබසරන්අසර=) නභශචාරින්ගේ සඤ්චාරය දුරු කළ (සේමිණිමහවුරු=) ශ්වෙත (ස්ඵටික - පළිඟු) මණිමය මහාප්‍රාකාරය (නුබපාගත් මිණිවලා වලා=) ආකාශ නමැති පාත්‍රය ගත් (=දැරූ) මණිවලයයක් (මැණික් දරණුවක්) වලක යි. (වැනි ය)

විස්තර:- මේ නගරය ඉතා විශාල ය. ධරණියෙන් මහා ප්‍රදේශයක් මිට යට වී ය. එහෙයින් මේ නුවර පොළොව පැහැර ගෙණ- කොල්ල කා ගෙණ-සිටින්නාක් වැනි ය. “වුලුඹු” යන්න “වුළුඹු” යි ගතොත් “ධරණියට විඩම්බනය(=විහිළු) කළා වූ” යි අර්ථ කිය හැකි ය. නගරය පොළාවට විඩම්බනය කරන්නේ ස්වකීය විශාලත්වය නිසා ය. මේ නගරය වටා බැඳි පවුර ඉතා උස් ය අහස්හි යන සිද්ධාදීන්ගේ ගමනමාර්‍ගය අවුරා සිටියි. එහෙයින් නුබසරන් අසර දුරැ ලී ය. ආකාශය නමැති පාත්‍රය තැබූ මිණි වලල්ලක් වැනි ය. නගරප්‍රකාර සුණු පිරියමින් ධවල වූ හෙයින් ශ්වෙතමණියෙන් ‍ බැඳි ලෙස කවීහු වර්‍ණනා කළහ. ‘ශ්වෙතමණි’ යනු ස්ඵටික මාණික්‍ය ය යි සැලකේ . එහෙත් ක්ෂීරපාෂාණ (කිරිගරුඬ ) නම් වඩා ගැළපේ. සසදා 19 වැනි ගීයෙහි “නුඹ වුලුඹුනා” යනුයෙන් පවුර වෙසෙසන ලදි. මෙහි එක්’වලා’ යන්නක් වලය වාචියි. අනෙක උපමාද්‍යෝතක යි.


9 අර්ථ:- (සහගුම්......පිරි) ‘ගුමු’ යන නාද සහිත භෘඬ්ගපඬ්ක්ති යුක්ත පියුම් ඇති පරිබාව (=දිය අගළ) පුරනමැති කාන්තාව‍ෙග් (මහවුරු=) මහප්‍රකාර නමැති ජඝනවෘත්තයෙහි (=වට වූ උකුළෙහි) නිබද්ධ බද්ධ වූ (= නිතර බැඳි) රසනාදාමය (කියලී=) දැක්වී ය.

විස්තර:- මේ නගරය කාන්තාවකැ යි සැළකූ විට ඇගේ උකුළ සේ ගත යුත්තේ මහාප්‍රකාරය යි. එහි බැඳි රසන්දම නම් සහගුම් බිඟුපෙළ සහිත පියුම් ඇති පරිබාව යි. ‘රසන්දම’ යනු ස්ත්‍රීන්ගේ ඉ‍ඟෙහි පලඳින ආභරණයකි. එහි මිණිගෙඩි හා පත් ද බඳිනු ලැබේ. මේ රසන්දමෙහි බැඳි මිණිගෙඩි ලෙස ගැණෙන්නේ නද කරණ බිඟුවැලයි. භෘඬ්ගයන් කිකිණි (මිණිගෙඩි) ලෙස ගුත්තිලකව්කාරයෝද “බමර කිකිණි සැදි සියපත්මෙවුල්දමා” යනුවෙන් දැක්වූහ. (දහම්සොඬකවෙහි 27 වැනි පද්‍යය බලනු) අසදිසදා 165 වැන්නට මේ ගීය ඉවහල් වී ය. කියලි යනු ‘කියොල’ ධාතුවෙන් සිද්ධ වේ මෙය ‘කියෙලී’ යි විය යුතු වුවත් බොහෝ තන්හි ‘කියලී’ යන රූපය පෙණෙන හෙයින් මෙහි ද එය ම යෙදින.

10 අර්ථ:- විමානයන්ගෙන් උජ්ජලිත වු ඒ නගරයෙහි (නුබේ=) අහසෙහි සුපූර්‍ණ වූ (සරා=)රාග - ප්‍රභා- සහිත ශරත් කාල චන්ද්‍ර තෙමේ කැරලි (=කොත්) වල මාණික්‍යයන්ගේ රශ්මි නමැති (යටිඅගෙහි=) රිටිමුදුනෙහි ශ්වේතච්ඡත්‍රයක් (=සුදු කුඩයක්) මෙන් (තෙවුනේ=) බැබලුනේ ය.

විස්තර:- මේ නගරයෙහි විමානයන්ගේ කොත්හි මැණික් වෙ යි. එයින් නික්මෙන කාන්ති ධාරා අහස්හි වැදි සිටියි. ඒ රැස් රිටිමුදුනට පැමිණි ශරච්චන්ද්‍රයා ශ්වෙතච්ඡත්‍රයක් මෙන් පෙණෙයි. ශරත් කාලයෙහි අහස පිරිසිදු ය. ආකාශවස්තුහු අතිශය දිප්තිමත් වෙති. සරාසඳ ම ගත්තේ එහෙයිනි. (දහම්සොඬ 28 වැනි පද්‍යයට ලියූ පරිකථා බලනු). වෘත්තමාලාකාරයෝ මේ ගීය “වරමන්දිරථූපිකනිග්ගතහා” යනාදීන් පාළියට නඟති. එහි 64 වැනි පද්‍යය බලනු.

11 අර්ථ :- ඉතා නිල් වූ මිණියෙන් කළ වීථීභූමියෙහි ප්‍රතිබිමබ බන්ධනය කළ ධ්වජසමූහය පෙරළෙන කල්හි ඒ පුරවරය තෙමේ කලිඳු ග‍ඟෙහි මීන (=මත්ස්‍ය) සමූහයාගේ ක්‍රීඩා දැක්වී ය. විස්තර:- මේ නගරයෙහි වීථි ඉන්ද්‍රනීල මණිමය ය. එහෙයින් නිල්වන් වූ කලිඳුගඟ වැන්න. අහසෙහි තිබෙන ධ්වජසමූහයාගේ ඡායාව ඉන්ද්‍රනීලමණිමය භූමිය ඇතුළත පෙණෙ යි. ධ්වජ මස්‍යයන් වැනි ය. වාතයෙන් ධ්වජයන් පෙරළෙන (=සෙලවෙන) කල්හි ඡායාද පෙරළෙයි. එවිට එය කලිඳු ග‍ඟෙහි මසුන් ක්‍රීඩා කරන්නාක් මෙන් පෙණේ. ‘කලිඳුගඟ’ නම් ගඬ්ගානදියෙහි අත්තක් වූ යමුනානදිය යි. (දහම්සොඬ 29 බලනු)

අලගියව්නයෝ මේ ගීයෙන් පද ගෙණ සිවුපද බඳිති. (සැවුල්අස්න 17)

12 අර්ථ:-එ පුරෙහි රකතමාණික්‍ය තොරණයන්ගේ රශ්මියෙන් රතු වූ සුපූර්‍ණ වූ චන්ද්‍රයා (ලහිරු හොයි=) අභිනවසූර්යයා දෝ හෝ යි අභිසාරිකාවන්ට සැක (නොසරස් දැනවී=) වහා ඉපද වී.

විස්තර:- මේ නගරයෙහි තොරණයෝ රක්තමාණික්‍යමය වෙති. එයින් විහිදෙන කාන්තිය අහස පුරා සිටී. ඊට පැමිණි සුපුන්සඳ ද රතු වෙ යි. එවිට එය උදාවී ගෙන එන තරුණ සූර්යය මණ්ඩලය මෙන් පෙණේ. අභිසාරිකාවෝ නම් පුරුෂයන් කී තැන්වලට යන වෙසඟනෝ යි. අන්ධකාරයෙහි යන්නෝ අන්ධකාරාභිසාරිකා නම් ද, හඳ පානේ යන්නෝ ජ්‍යෙත්සනාභිසාරිකා නමු දු වෙත්. මෙහි කීවෝ ජ්‍යොත්ස්නාභිසාරිකාවෝයි. සූර්යයා ඔවුන්ගේ අදහසට බාධාවකි. හිරු දුටු විට සියකැමින් වෙන් ව සියනිවෙස් කරා යෙති. මේ නගරාකාශයට පැමිණි සුපුන්සඳ තෙමෙ ලහිරු මෙන් පෙණෙන හෙයින තමා දුටු හැම විට ම “දැන් එළි වීගෙණ එන්නේ දෝ”යි ඔවුන් තුළ වහා ම සැක ඉපිදැවීමෙන් ම හැ‍ඟේ. සැ දුරු වන්නේ අහස මැද බාල සූර්යයා සිටිය නො හැකි බව සිහි වීමෙන් පසුව ය. ‘නොසරස්’ යන්න ශීඝ්‍රාර්ථ වාචී ක්‍රියාවිශෙෂණ නිපාතයකි. සරස්- හරස් වන විට පමා වෙ යි එසේ නො වන කල ශීඝ්‍ර වෙයි. “දැනැවි” යන්න “දන-ඉපැද්දිමෙහි” දයින් පියෙදුකිරිය‘ව’ පස වී සිද්ධ යි. රත්මිණිගෙයි මරිචියෙන් රැඳුනු සඳ ලහිරු වන්නැ යි සසදා කාරයෝ ද කියති. (සසදා 23 වැනි ගීය බලනු) සැවුල් =ස‍ඳෙස්හි 16 වැනි සුවුපදයට පිහිට වූයේ මේ ගීයයි.

13 අර්ථ:- අනේකමණිරශ්මිරාජින්ගෙන් (=රොදින්) නභස (=අහස) අමුණන කල්හි ඒ නුවරතෙමේ සුරපුරින් රුවන්මුවා උජ්ජ්වලිත යොත්වලින් (බට=) බැස්සා වූ (සමහර එව්=) අර්‍ධයක් වැනි ය.

විස්තර:-මේ නගරයෙහි විමානතොරණාදියෙහි මාණික්‍යයන්ගෙන් නිකුත්වන කාන්තිධාරාවෝ රැහැන් මෙන් අහසෙහි ඇමිණි සිටිත්. එවිට මේ නුවර බැලූවන්ට පෙණෙන්නේ රුවන් යොතින් එල්ලා පොළොවට බානාලද දෙවලොකාංශයක් මෙනි. මේ නුවර සුරපුරය සේ ම ශෝභාසම්පන්න ද සමෘද්ධ ද වන හෙයිනි.

14 අර්ථ:- ඒ පුරයෙහි (යොනන්-) යුවතීන් - තරුණියන්-ගේ නේත්‍ර නමැති ඊ සලීලයන් (=කාමුකයන්) (අලළත=) කලඹන කල්හි ස්වකීය කර්‍මයෙන් (ඔබල=) දුර්‍වල වූ (මල්සර-) අනඬ්ගයාගේ මල් නමැති ශර (=ඊ) සැතපුනාක් වැනි වී ය.

විස්තර:- මේ නගරයෙහි කාන්තාවන් ගේ නෙත් නමැති ඊතල ක‍ාමීජනයන් කලඹ යි. හෙවත් කාන්තාවෝ බැලුම් පමණකින් පුරුෂයන්ගේ සිත්හි රාගය උපදවති. රාගය ඉපිදවීම අනඬ්ගයාගේ ඊතලවලට අයත් කාර්යයකි. දීර්‍ඝකාලයක් එක ම කාර්යයක යෙදෙන්නේ ඔබල වෙ යි. එසේ ඔබල වූ අනඬ්ගයාගේ මල්සැර තමන් විසින් කළ යුතු කාර්යය කතුන්ගේ නෙත් වලින් කරණු දැක විවේක ගත්තාක් වැනි වී ය. ඒ ඊවලට වැඩක් නැති වී ය. පුරුෂයන්ගේ සිත්හි රාගය ඉපිදවීම කාන්තා නෙත්‍රයන්ට ම අයත් වී ය. යුවතිවාචි ‘යොන’ සද මිස ‘යෝන’ සද පුරාණභාෂාවෙහි නො වී ය. මයුරසන්දේශයෙහි ‘යෝන’ සද යෙදුනේ ය. මල් ම සර වනු‍යෙන් අනඬ්ගයා ‘මල්සර’නම් වෙයි. ඔහුගේ දුන්න උග්ගසකි. දුනුදිය බමරවැලකි. ඊ වනාහී පියුම්, හෝපලු, මීඅඹ, ඉද්ද, නිලුපුල් යන මල් පස යි. එයින් කාමීන්ට විද රාගාදී මනෝවිකාර උපදවනු ලැබේ. මෙහි පළමුවැනි ‘මල්සර’ යන්න අන්‍යාර්ථසමාසපද යි. ‘මල් ම සර වනුයේ යමෙකුට ද හේ=මල්සර’ යනු එහි විග්‍රහවාක්‍යයි. දෙ වැන්න විශෙෂණසමාස යි. ‘මල් ම සර=මල්සර’ යනු නිර්‍වචනයි. ‘ගී’ යන්න උපමාද්‍යොතක නිපාත‍ෙයකි. තිසරස‍ඳෙස් 172 වැනි කව ද මෙ බඳු අදහසක් පවස යි.

15 අර්ථ:- එහි දෙපසෙහි (නන්රුවන්පහා=) නානාරත්න ප්‍රසාදයන්ගේ මරිචිරාජීන් (=කාන්තිධාරා)ඇනී (=මිශ්‍ර වි) මහාවීථියෙහි බැඳි රඬ්ගවිතානයන් (=නන්පැහැයෙන් යුත් වියනක්) මෙන් ලෝකයාගේ නෙත් බැන්දේ ය.

විස්තර:- මෙහි වීථි දෙපස රුවනින් නිමි ප්‍රාසාදයෝ වෙත්. එයින් කැලුම් රොදු විහිදේ . එසේ විහිදෙන කාන්තිධාරා එකිනෙක ඇනී තිබෙන විට පෙණෙන්නේ වීථියෙහි බැඳි නානා වර්‍ණවත් විතානයක් මෙනි. එය කොතරම් නයනාකර්‍ෂක ද?යත්- ඒ දුටුවෝ ඇස් එයින් අන් අතකට හරවීමට අසමර්ථ වෙත්. ඇස් එහි ම බැඳී ගියාක් මෙන් වෙ යි.

16. අර්ථ:- එපුරෙහි (රඟ ඔත මත් අඟනවිදු=) නෘත්‍යයට බැස ගත් මත් වූ අඟනන් නමැති විදුලිය ඇති (වැදගනගැජුම්=) වාද්‍ය නමැති ඝන (=මේඝ) ගර්‍ජනා ඇති ඉඳුනිල් මිණිමුවා විමන් නමැති (ගෙනෙ=) ඝනය වැසිවලාකුළ-තෙමේ (විමන්සිකිකැන්=) ගෘහමයුර සමූහයා තුටු කෙළේ ය.

විස්තර:- මෙ නගරයෙහි හීලෑ මොනරු වෙත්. ඔහු මෙඝ ප්‍රියයෝ ය. මන්දිරයෝ ඉඳුනිල්මිණිමුවා හෙයින් වැසිවලාකුළු මෙන් පෙණෙත්. මන්දිරයන් තුළ රන්වන් අඟනෝ නටත්. ඔහු විදුලිය මෙන් පෙණෙති. භෙරි ආදි වාද්‍ය නාදයද ඇසේ. අඩු ව තිබුනු මෙඝගර්‍ජනය එයින් පිරේ. ඉඳුනිල්මිණිවිමන් දුටු මොනරුන්ට ඒ මෙඝ නො වෙතැ යි සිතන්ට දැන් කරුණක් නැත. අහසෙහි නිල්වන් ව තිබේ නම්, විදුලිය කොටා නම්, ගර්‍ජනය පවති නම්, වලාකුළු නො වන්නේ කෙසේ ද? ඒ සැබෑ මෙඝ ම ය යි සිතා සතුටු ව මොනරු නැටුම් අරඹති. ‘ඉඳුනිල්මිණි’ යනු කිරෙහි බැහූ විට එහි පැහැයෙන් කිරි ද නිල්වන් කරණ අගනා මැණික් වෙසෙසකි. ඉන්ද්‍රයා නිල්වන් ය. එසේ නිල් වූ මිණි ඉඳුනිල්මිණි යි. ‘කෙළෙ’ යන්නෙහි කර්‍තෘ ‘ගෙනෙ’ යන්නයි. ‘සිකිකැන්’ යනු ප්‍රකෘතිකර්‍ම ද ‘තුටු’ යනු විකෘතිකර්‍ම ද වේ. සසදාවෙහි 27 වැන්න සසඳනු. වෘත්තමාලාකාරයෝ ද (75) අලගියවන්නයෝ ද (සැවුල්142) මේ ගීය ම පෙරළති.

17 අර්ථ:- පද්මරාගමණිමය ම මන්දිරයෙහි අඟනන්ගේ (සමහරදිසි=) අඩක් පෙණුනු (වුවන්=) වක්ත්‍ර නමැති චන්ද්‍රයා දනන්ගේ (මුහුලු=) මුකුලිත වූ (=හැකුළුනු) හස්තතාමරසයන් (=අත් නමැති පියුම්) වින්දේ ය. (=ලැබී ය.)

විස්තර:- පුරපස අළුත් සඳ බස්නාහිරදිග පද්මරාගවර්‍ණවත් සන්ධ්‍යාවලාහක අතර පෙණුනු විට පැරණියෝ දෙ අතුල් එකතු කර වැන්දාහ. මේ නගරයෙහි සමහර ප්‍රාසාදයෝ පද්මරාගමණිමය වෙති. ඉතා උස් ය. එහි හැම දෙස ම බැලිය හැකි සේ තැනූ සීහපඤ්ජර (=කවුළු) වෙයි. ඒ ඉතා උස් හෙයින් එහි සිටින කතුන්ගේ මුඛයෙන් බිමට පෙණෙන්නේ සමහරෙකි (=කොටසෙකි). ඒ දුටු දනෝ ඒ අභිනව චන්ද්‍රකලාව ය යි ද, ඒ එක්කම තිබෙන්නේ සන්ධ්‍යා වලාහක ය යි ද රැවටී, වැඩිදුර නො විමසා, දෙ අතුල් එකතු කර වඳිති. වැඳීමෙහි එකතු කළ දෙ අතුල් හැකිළී ගිය පියුම් වැනි ය. චනුද්‍රයා පියුම් හකුළුව යි යනු කවිසමය යි. එහෙයින් හේ මුහුලු පියුම් ලබයි. මේ චක්ත්‍රචන්ද්‍රයන් හකුළුවන පියුම්නම් රැවටුනු ජනයන්ගේ දෙ අතුල් ය. මිනිසුන් නවසඳ වඳිනබව සිරිරහල්මාහිමියෝ ද කීහ. (සැළ 99) ‘වින්’ යනු ‘විඳු’ දයින් සිද්ධ යි.

18 අර්ථ :-ඒ පුරයෙහි පිළිමිණි (=පළිඟු) ගෙය තෙමේ නටන්නා වූ මත්තාඬ්ගනාවකගේ ප්‍රතිබිම්බයන් කරණ කොට‍ ගෙණ ප්‍රතිමල්ල ව (=විරුද ව) (නස්නා=) නටන දිව්‍යප්සරස් සමූහය දැක්වී ය.

විස්තර:- මේ නගරයෙහි පළිඟුමුවාගෙයක නටන කාන්තාවකගේ ප්‍රතිබිම්බය අවට භිත්තිවල පෙණෙ යි. එක් කතක වුවත් භිත්ති ද පළිඟු ද බොහෝ හෙයින් ප්‍රතිබිම්බ ද බොහෝ වෙ යි. ඒ ප්‍රතිබිම්බයෝ වනාහි දෙව්ලොවින් අවුත් ඒ නිළියට විරුද්ධ ව තරඟයට නටන දෙවඟනන් වැනි වෙත්. මේ ගීය ද වෘත්තමාලාවෙහි පාළියට පෙරළා යෙදින. (76 ගාථා) අසදිසදාකවිකාරයෝ ද (178) මීට බුහුමන් කරති.

19 අර්ථ:- මිණිමුවා වීණාවෙහි තත් (සුන ද=) සිඳුනු නමුත් ඒ පුරවරයෙහි (කලුන්=) කාන්තාව‍න්ගේ රක්ත වූ අත් නමැති තාම රසයට (=පියුමට) (රැවැ=) නාද කොට වැතුරුණු භෘඬ්ගාවලිය තන්ත්‍රිශ්‍රිය (තත් ආකාරය) ඉසුලූ.

විස්තර:- මේ නුවර කාන්තාවෝ පද්මිනිහු ය. පද්මිනීහු පද්මසුගන්ධයෙන් යුක්තයහ. ඒ සුවඳ අසා භෘඬ්ගයෝ එ දෙසට පියඹා එති. වෙණ වයමින් සිටින කතුන්ගේ පත් වැනි ඇගිලි ඇති අත් දැක පියුමැ යි රැවටෙති. වෙණහඬ රොන් ගන්නට ආ ස්වකීයයන්ගේ නාදය යි හගිති. එහෙයින් එ දෙසට ම වැල නො කඩා පියඹති. වීණාවෙහි තත් කැඩී ගියත් ඒ බව මේ බිඟුවැල නිසා අවට සිටින්නන්ට නො හැගේ. පියඹා එන මී මැසිපෙළ තන්ත්‍රිය මෙන් ද උන්ගේ නාදය වෙණනද මෙන් ද පවත්නා හෙයිනි.

‘සුන’ යන්න ‘සිඳු’දයින් සිද්ධ අසම්භාව්‍යක්‍රියාපදයි. ‘ඉසුලූ’ යනු ‘උසුල’ දයින් සිද්ධ අතිතාඛ්‍යාතබහුවචන යි. එහි කර්‍තෘපදය ‘බිඟුවැල” යන්න ය. “නිලූ ද වට බිඟුපෙළ අද තඹරනිලූ” (සැ’2) යනු ද සසඳනු.

20 අර්ථ:- විමානයන්ගේ (මිණිපතර=) මාණික්‍යසමූහයාගේ (තර=) රශ්මිය ඒ පුරවරය රතු කරණ කල්හි (සුරත් ඇස්=) ඉතා රක්තවර්‍ණ වූ නේත්‍රය තෙමේ (සියො...=) සඬ්ගමශ්‍රිය (=සමහම්සුව) වින්දා වූ ම සපත්නීන් බියෙන් දුරු කෙළේ ය.

විස්තර:- අතීතයෙහි දී බහුභාර්යා විවාහය නීතිවිරෝධ නො වී ය. එහෙයින් සමහර තැන එක පුරුෂයෙකුට භාර්යාවෝ කීප දෙනෙක් වූහ. සමාන -එකම-පතියා ඇති ස්ත්‍රීහු ‘සපත්නී=සෙවෙත්’ නම් වෙත්. (ධ.ගැ.179) එකකට හිමියාගෙන් වැඩි සැලකිලි ලැබෙනු දුටුවිට අනික් සපත්නීහු ඊර්ෂ්‍යා කරත්. සමෙභාගයෙන් ඇස් රතු වෙයි. (සි.ල 2-139) සියොසිරි වුන් සෙවෙතගේ රතු ඇසු දුටුවිට අනික් සෙවෙත්හු ඇයට ගැහැට කරත්. ඕ තොමෝ ඒ ගැන නිතර බියෙන් පසු වෙයි. එහෙත් මේ නගරයෙහි විමානමාණික්‍යරශ්මියෙන් සියල්ල ම රත් වන හෙයින් රතු ඇස් ම රහස එලි වීමට ඉවහල් නො වේ. එහෙයින් අනික් සෙවෙතුන්ගේ ද රතුඇස් සියොසිරි වින්දා වූ ම සෙවෙත උන්ගේ ගැහැටින් වන බියෙන් දුරු කෙළේ ය. ‘ලි’ යන්නෙහි කර්‍තෘපදය ‘සුරතැස්’ යන්න යි. ‘සෙවෙතුන්’ යනු කර්‍ම යි. ‘දුරැ’ යනු ආධාර යි. ‘වුන්’ යනු ‘විඳු’ දයින් සිද්ධ යි.

21 අර්ථ:- එහි(නුබැ=) අහසෙහි තමා විසින් බැඳි රිසිය (=ආශාව) (නොසිදු=) සිද්ධ නුවූ සිද්ධ (කැන්=) සමූහයා පුරකතුන් (දඟ=) අවහිර කළ කලහංසයන් අහස් නැඟුමට රිසිය බැන්දහ.

විස්තර:- සිද්ධයෝ නම් අහසින් ගමන් කරණ දෙව විශේෂයකි. ඔහු අහසින් යන විට මේ නගරයෙහි කලහසුන් හා ක්‍රීඩා කරණ කතුන් දකිති. කාන්තාවන් පොළොව දෙසට මුහුණ ලා සිටින හෙයින් ඔවුන්ගේ මුහුණු දැකීමට සිද්ධයෝ නො හැකි වෙති. අනික් අවයවයන්ගේ ශොභමානභාවය දුටු ඔහු කාන්තාවන්ගේ මුහුණු දැකීමට ද රිසි බඳිති. සසදාවත් කාරයෝ ද එහි 205 වැනි ගීයෙන් එය ද පැහැදිලි කරති. හංසයන් ඒ කතුන් ක්‍රීඩාවෙහි ම බැඳ ගෙණ සිටින හෙයින් සිද්ධයන්ගේ රිසිය සිද්ධ නො වේ. හංසයන් අහසට නැඟුන හොත් සිය රිසිය නිරායාසයෙන් ම සිදුවන බව දන්නාහු “කලහංසයෝ පියඹා අහසට නගිත්වා” යි රිසි බැන්ඳහ. පැතූහ. ‘කලහංසයෝ’ නම් රතු තුඩු හා පා ඇති රාජහංසයෝ යි. මෙහි අටවැනි ගීයෙහි ද “නුබසරනසර දුරැ ලු” යි කළ ප්‍රතිඥාව ඒ කතුන්ගේ මුහුණුසිරිය නිසා මේ කවීශ්වරයන්ට විසමෘත වූ බව පෙණේ.

22 අර්ථ:- ඒ පුරවරයෙහි සියගණන් (=බොහෝ) (රවු=) රහුගෙඩි බඳනාලද මිණිමුවාදඬුවෙහි (=රිටෙහි) වූ පට‍ෙරදි ධ්වජය තෙමේ (නෙලෙන්=) වාතයෙන් ඇඹරුණු කල්හි ‘ගුම්, ගුම්’ යන නාද ඇති බිඟුන් වැදුනු මුවරඳ (=මල්පැණි) සහිත රොන්සුළියක් වැනි ය.

විස්තර:- සුළියෙහි යට කොටස නාලයක් වැනි ය. මෙහි කී පටකොඩි සුළියෙහි ඒ කොටස ලෙස ගැණෙන්නේ මිණිදඬුව යි. සියරවු (=සියගණන් මිණි‍ෙගඩි) ගුම්බිඟුන් වැනි ය. හුදු රොන් ම නො ගෙණ මුවරඳ සහිත රොන් ගත්තේ එකට ඇලී තිබෙන සේ දැක්වීමට ය. මුවරඳ නැති විට රොන් විසිර යනු පහසු ය. රසු= රහු=රවු. දඬු+ එ දඬියෙ. ‘අඹළ’ යනු ‘අඹර’ දයින් සිද්ධ යි. 23. අර්ථ:- මිණිකැලුමින් (අලු=) ආලෝකවත් වූ (විමනත්=) ගෙය ඇතුළ ප්‍රියයන්ට (=පුරුෂයන්ට) (අත්වැල්=) උපකාර වන කල්හි මීඉටියෙන් හා කපුරුවලින් ද (උදුම්=) උද්දාම-අධික-වූ ධූමලෙඛාව (=දුම්රොද) වස්ත්‍ර පැහැර ගත් අඟනන්හට සහාය (=උපකාර) වී ය.

විස්තර:- ප්‍රියයෝ ප්‍රියාවන්ගේ අවයව බැලීමට ද, ප්‍රියාවෝ එය නොපෙන්වීමට ද, ප්‍රයත්න කරති. (මෙහි ම7-5ගීය බලනු) ප්‍රියාවන් දුර්‍වල හෙයින් ඔවුන් ඇඳි වත් ප්‍රියයෝ පැහැර ගණිති. පහන් නැති වුව ද විමානොදරය, මිණිකැලුමින් ආලොකවත් වන හෙයින්, ප්‍රියයන්ට සිය රිසිය පුරා ගන්නට උපකාරි වෙයි. එහෙත් ඒ සමග ම ප්‍රියාවෝ ද සිය අදහස සිදුකර ගැණීමට අනිකක් සහාය කර ගණිති. එනම් දුම්රොද යි. ප්‍රියයන් වත් පහරණ විට ම ප්‍රියාවෝ දුමොළොසුවට මී හා කපුරු ද දමා දුම් නංවත්. ඒ දුම වස්ත්‍රයන් මෙන් සිරුර වසා සිටී යි. එපමණක් නොව දුම්හි තිබෙන දැලි සහිත වාෂ්පය සිහිල් වූ මැණික්වල වැදී ඝන ව ඒ මතුවෙහි සිවියක් මෙන් බැ‍ඳේ. එයින් රත්නාලෝකය නැති වේ. ‘අත්වැල්’ යනු ඒ දඬු මතුවෙහි යන එන්නන්ගේ උපකාරයට බඳිනු ලබන වැල යි. ඒ සද උපකාරාර්ථයෙහිද රූඨ වී ය. ‘පහළ’ යන්න ‘පහර’ දයින් සිද්ධ යි.

24 අර්ථ:- (දවනා=) දුවන්නා වූ මත්තහස්තීන් විසින් සීමැඳුරෙහි විහිදවූ මදජලයතෙමේ (මඳසුසුමෙන්=) මන්දාශ්වාසප්‍රශ්වාසයෙන් (ඔසළ=) රැස් වූ බමරුන්ගෙන් (සැකි=) චකිත (=බිය) වූ පුරප්‍රියාවන් මුසපත් (=මූර්ඡිත) කෙළේ ය.

විස්තර:- මේ නගරයෙහි ඇත්තු බොහෝ ය. ඔහු සීමැඳුරුවල අඟනන්ගේ මුහුණු දැක පියුමැ යි රැවටී කඩා ගණු පිණිස සොඬ දිගු කෙරෙති. (තිසර 14කව බලනු) ඊට සොඬ දිග මඳ ය. එහෙයින් එය නො හැකි වූවාහු. මදජලය පිඹ හරිති. එය සීමැඳුරෙහි විහිදෙ යි. භෘඬ්ගයෝ මදජලයට ඉතා රුචි කෙරෙති. මෙ නුවර කතුන් පද්මිනීන් වන හෙයින් (19 වැනි ගීය බලනු) ඔවුන්ගේ පියුම් සුවඳ වූ මඳසුසුම් අසා බමරු එති. (කා. ශෙ 1-36 බලනු) අඟනෝ බමරුන්ගෙන් තැති ගණිති. පිටිසර ගැහැණියන් පවා බමරුන් දැක තරාස වූ පරිදි (පරෙවි 104) සිරිරහල්මාහිමියෝ වණති. වනයෙහි ම වැඩුනු ශකුන්තලාව ද එක ම බමරෙකුට බිය වූ පරිදි කාලිදාසයෝ (ශාකුන්තල 1 අඬ්කය) කියති. ඉතින් මෙ බඳු සියුමැලි බොලඳ කතුන් බමරුන්ට බිය වීම පුදුමයක් ද? ගජමදය සීමැඳුරෙහි විහිදුනු විට තවත් බොහෝ බමරුන් එනු නියත ය. එය සිතීමෙන් පුරපියන් බමරුන්ට කළ බිය දියුණු තියුණු වේ. එයින් ඔහු මුසපත් වෙති. ඊට කර්‍තෘ වූයේ මදජලය යි. (ඇතුන්ගේ නාසයෙන් මද වැගිරේ) ‘මඳ’ යන්න ‘මද’ යි ගෙණ “මත්පැන් සුවඳ ඇති” යි සමහරු අර්ථ කියති. ඒ පෙරළිය අයුතු බව “මඳසුසුම්ගඳින් එ වෙනෙහි බමරකැල බමවමින්” (ධ. ප්‍ර.273. පිට) යන පාඨයෙන් ඔප්පු වේ.

25. අර්ථ:-ඒ පුරයෙහි ලයාන්විත ගීතයන් (කියන්ට) ගත්තා වූ කතුන් ලාලී කෙළින කල්හි (නිසල=) නිශ්චල නෙත්‍රය තෙමේ අප්සරසුන්ගේ විලාසයෙහි (පිළිබෙදුම්අසක්=) ප්‍රතිභෙදාංශුවක් (=වෙනසෙහි මඳක් වත්) නො තිබී ය.

විස්තර:- ‘ලය’ නම් නෘත්‍යගීතවාද්‍යයන්ගේ කාලයෙන් සම වන බව ය යි කියන ලද තාලය යි. මෙනුවර කත්හු එකකින් මිස අනික් හැම ලෙසින් ම දෙවඟනන් වැනි වෙත්. ඒ එක නම් ඇසිපිය හෙළුම යි. දෙවියන්ගේ ඇසිපිය හෙළුම් නැත. මේ කතුන් ලියගී කියමින් ලාලී කෙළින විට ලාලීවට බිම නො ගිය දී අහසෙහි ම රඳවා ගණු පිණිස ඇසිපිය නො හෙළා එදෙස බලා සිටිති. එවිට ඔවුන්ගේ නිසල නෙත් ඒ වෙනස ද ඔවුන් තුළ නො තිබීම ය. හැම ලෙසින් ම දෙවඟනන්ට සමාන කෙළේ ය. ‘ලාලි’ යනු ‘දාදු’ නමින් ව්‍යවහාරයෙහි පවත්නා ක්‍රීඩාව ය යි සමහරු කියති. ලතුයෙන් කළ ලී ‘ලාලි’ නමි. ඒ ලාලීවට තුණක් අහසට දමමින් ඒ එකක් වත් බිම ගිය නො දි කරණ ක්‍රීඩාව ලාලී කෙළීම යි. (පූජා -23 පරිච්ඡේදය) එහි දී ඉතාමත් සාවධානව ඒ ලී වට දෙස බලා සිටිය යුතු ය. නො එසේ වුවොත් එය බිම වැටීමෙන් පරාජය අත් වේ. (සසදා 205 බලනු)


26 අර්ථ:- තාමරදසයෙකැ යි (අසක්නි=) ආශඬ්කායෙන් (=සැකයෙන්) (අතවටා) භ්‍රමණය කරන කල්හි මකරන්දභාර ඇති බමරවැල පුරකතුන්‍ගේ අතෙහි වූ ඉඳුනිල්මිණි බැඳි කනකමය වලල්ල වැනි ය. විස්තර:- 19, 24, වැනි ගී වලට ලියූ විස්තර බලනු. බමරු ඉඳුනිල්මිණි මෙන් ද, උන් ගත් රොන් රන් මෙන් ද පෙණෙත්.


27 අර්ථ:- (එ පුරෙ=)ඒ පුරයෙහි ප්‍රමදාජාන තෙමේ (=කාන්තාවෝ) කෙලෙස් නිවෙසුන් හෙයින් ද, සඳ කලා දෙළෙහි බැඳමෙන් ද, බුජුඟුන් (උරෙනි=) වෘක්ෂයින් වැලැඳැ ගැණීමෙන ද, ඊශ්වරයෝ යි (ඊශ්වරයා වැනියෝ යි)

විස්තර:- මෙහි ‘ඉසුරු’ සදින් ගැණෙන්නේ ශිවදෙවයායි. හිමාලය පර්‍වතයෙහි එක් කූටයක් ‘කෙලෙස් (=කෛලාස)’ නමි. ශිවදෙවයාගේ නිවෙසුන (= වාසස්ථානය_ එය යි. කෙලෙස නිවෙසුන් කොට ඇති හෙයින් ශිවතෙමේ ‘කෙලෙස්නිවෙසුන්’ නම් වේ. ඉසුරා සඳකලාවක් (චන්ද්‍රයාගෙන් කොටසක්) දෙළෙහි (=ජටාවෙහි) බඳියි. බුජුගුන් (=නයින්) වෘක්ෂයින් මාලා සේ වලඳි යි. හෙවත් ලපැත්තෙහි පැලඳ ගණියි (බු. ල 160 කවිය බලනු) මෙනුවර ප්‍රමදාවෝ ද කෙලෙස්නිවෙසුන් වෙති. සඳකලා දෙළෙහි බඳිති. බුජුගුන් උරෙන් වැලඳ ගණිති. ඉතින් ඉසුරාගේ ලක්ෂණ ඇති හෙයින් ඔහු කෙසේ නම් ඉසුරෝ නො වෙත්ද? ඉසුරෝ මැයි. මෙහි ‘පමා‍ෙදනෙ’ යන්න උපමේයය යි. ‘ඉසුරෝ’ යන්න උපමාව යි.“කෙලෙස්නිවෙස්නෙන්” යනාදිය ඒ උපමා උපමේය දෙපක්ෂය හා ම සම්බන්ධ වෙ යි. එහෙත් ශබ්දවශයෙන් මිස අර්ථ වශයෙන් නො වේ. ඊශ්වරපක්ෂයෙහි දී ගත යුතු අර්ථ මුල දී කීමු. ප්‍රමදාපක්ෂය හා සම්බන්ධ වන විට ඒ පදයන්ගේ අර්ථ ඊට වඩා වෙනස් වේ. ‘කෙලෙස් ‘යනු රාගාදීන්ට නම් වෙයි. ප්‍රමදාවෝ ඒ රාගාදී කෙලෙසුන්ට නිවෙසුන් හෙයින් ‘‍ෙකලෙස්නිවෙසුන්’ නෙම් වෙත්. ඊශ්වරපක්ෂයෙහි දි ‘සඳ’ සද හා සම්බන්ධ වු ‘කලා’ සද ප්‍රමදා පක්ෂයෙහි දී ‘දෙළෙ’යන්න හා සම්බන්ධ කළ යුතුයි. ‘සඳ’ යනු ස්නේහවාචී ද අධ්‍යාශයවාචි ද වේ. (රුවන්. 93.117 පද්‍ය බලනු) ‘කලා’ සද ද නෘත්‍යගීතාදිය කෙරෙහි ද වැටේ. ‘දළ’ යන්න ධුරවාචී ද වේ. එහෙයින් “සඳ කලාදෙළෙහි බැඳමෙන්” යන්නෙන් “ස්නේහය හෝ අදහස කලාධූරයෙහි හෙවත් නෘත්‍යගීතාදියෙහි බැඳීමෙන්” යන අර්ථය ද ගත හැකි ය. ප්‍රමදාපක්ෂයෙහිදී ඒ අර්ථය ඉතා සුදුසු ය. ‘බුජග’ සද ද සර්‍වවාචී ම නො වේ. එයින් ‘ධූර්‍ත’ යන අර්ථය ද ලැබේ. (රුවන් 513 පද්‍යය) මෙ නුවර ප්‍රමදාවෝ ධූර්‍තයන් උරෙන් වැලඳ ගණිති. ශ්ලෙෂයුක්තපද්‍යයන්ට පුරාණරීතිය අනු ව අර්ථ කියන්නේ මෙසේ ය:- ‘එපුරෙ - ඒ නගරයෙහි; පමාදෙන- ප්‍රමදාජනතෙමේ; කෙලෙස් නිවස්නෙන්-රාගිදීකෙලෙසුන්ට නිවාස වූ හෙයින් දෝ හෝ නොහොත් කෛලාසපර්‍වතය වාසස්ථානය කොට ඇති හෙයින් ද, කලාදෙළෙ සඳ බැඳමෙන් - කලා(=ක්‍රීඩා) ධුරයෙහි ඡන්දය බැඳීමෙන් දෝ හො නොහොත්, දෙළෙ සඳකලා බැඳමෙන්-ජටාවෙහි චන්ද්‍රකලාව බැඳීමෙන් ද, බුජුගුන්-සලෙලුන් දෝ හෝ නොහොත් සර්‍පයන්; උරෙන්-වෘක්ෂඃස්ථලයන්; වැලැඳමෙන්-වැලඳ ගැණිමෙන් ද; ඉසුරෝ-ඊශ්වරයෝ යි. මෙහි ‘කලා’ යන්න ‘තලා’ යි ගෙණ පුරාණ සන්නයෙහි “තිලකද්‍රැම ඇතිහෙයින් දෝ හෝ නොහොත් තිලකාභරණ ඇති හෙයින්” යි අර්ථ කියන ලදී. ප්‍රමාදාවන්ට තිලකාභරණ ඇතත් ඊශ්වරයාට තිලකද්‍රැම ඇතිබවක් අප්‍රසිද්ධ ය . එහෙයින් එය සුදුසු නො වේ. සමහරු ‘තළා’ යි ගෙණ ‘තඩාගය- අහස් ගග’ යි අර්ථ කියති. ඒ ද කවිසමය විරුද්ධ ය. “ඉන්දුමෞලිමහාදෙවො ගඬගාමෞලිර් න තු ඣචිත්” ( මහාදෙව තෙමේ චන්ද්‍රමෞලිය කිසිම තැනක ගඬ්ගා මෞලි නො වේ) යනු කවි සමය යි. ඉසුරාගේ ජටාවෙහි ලා අහස් ගඟ වර්‍ණනා කිරීම කවීන්ට අනභිමත ය.

28 අර්ථ:- එ පුරෙහි ගර්‍ජනා කරණ (ගජ=) ඇත් නැමැති වලාකුළ තෙමේ මොනරුන් තුටු කෙළේ (මෙ ද=) මතු ද? පමණක් ද? (නැත) විසිර වූ පොකුරු පොදින් (සියොත්කැන්=) පක්ෂිසමූහයා (දැවැවී හා=) ධාවනය ද කරවී.

විස්තර:- මේ නගරයෙහි හස්තියා වලාකුළ සේ මොනරාට පෙණේ. හස්තියාගේ ගර්‍ජනය මේඝගර්‍ජනයයි හඟි යි. එයින් තිසැක වූ මොනරා සන්තුෂ්ට ව නෘත්‍යාරම්භ කෙරේ. මෙසේ ඇතා මොනරුන් තුටු කෙරේ. එ පමණක් ද නො වේ ඔහුගේ පොකුරින් (පුෂ්කරයෙන්-සොඬ අඟින්) දියබිඳු විසුරුව යි. එවිට පක්ෂිහු ඒ සැබෑ වැස්සකැ යි සිතා දුවන්ට වෙත්. එහෙයින් හස්තියා සියොත්න් ද දැවවී ය. “මෙද ....... හා” යන නිපාතසමුදාය ඉංග්‍රීසියෙහි “ not only…….but also” යන නිපාතසමුදායට සමාන ය. මෙහි ‘හා’ යන්න වාක්‍යසමුච්චයාර්ථයෙහි ය. මෙයින් පූර්‍වාපර වාක්‍යයන් සම්බන්ධ කරණු ලැබේ. පුරාණසන්නයෙහි ‘වහා’ යි ගෙණ “ක්ෂණයෙහි” යි අර්ථ කියන ලදි. ඒ සදොස් ය. මේ ‘හා’ නිපාතය ක්‍රියාපදයෙන් පර ව ම යෙදේ. 56, 157 ආදී ගි වල ද මෙය පෙණේ. ‘සියොත්’ සද සාමාන්‍යයෙන් සියලු පක්ෂීන් කොරහි ද, විශේෂයෙන් කෑඳැත්තන් කෙරහි ද යෙදේ. කවීන්ගේ කෑඳැත්තෝ වැස්සෙන් ම දිය ලබති. එහෙයින් වෘතකයෝ වැස්ස දැක නො දුවති. “දැවැවී” යනු ‘දව- දිවීමෙහි” දයින් සිද්ධ ප්‍රයෝජ්‍යක්‍රියාපද යි. වෘත්තමාලාවෙහි 12 වෙනි ගාථාව මේ ගීයෙහි මාගධපරිවර්‍තනයකි.

29 අර්ථ:- (දවමිණිරස්වුදු=) දිවසමිණි (=සූර්ය) රශ්මි වැදුනු (හය=) අසුන්ගේ කුරපහරින් බිඳුනු රජඃස්කන්ධ (දූලිකඳු) ඇති විථියෙහි (වඩනා=) ගමන් කරණ ගිජිඳුරැස (සඳ=) සන්ධ්‍යාව මර්‍දනය කරණ (තම=) අන්ධකාරස්කන්ධ මෙනි.

විස්තර:- මේ නගරයෙහි අසුන්ගේ කුර පහරින් ධූලි නැ‍ඟෙ යි. ඊට සූර්යරශ්මි වැදුනු විට සන්ධ්‍යාවර්‍ණවත් වෙයි. ඒ අතර ගමන් කරණ ඇත්තු සන්ධ්‍යාව මර්‍දනය කිරීමට පැමිණි අඳුරුකඳු මෙන් පෙණෙත්. “දවමිණි” යන්න අප වෙත තිබෙන සියලුම පිටපත්හි “වේමිණි” යි තිබේ. එහි අර්ථය නම් “වීථි මාණික්‍ය” යනු යි. පැරණි සන්නය ද ඒ “වේ” යන්න හැර “මිණි” යි උද්ධරණය ‍ෙකාට “මාණික්‍ය” යි අර්ථ දෙයි. එහෙත් වෘත්තමාලාවෙහි (10) ‘සුරංසු සඬ්කුලතුරඬ්ගබූරාවධූත- ධූලිහි’ යනාදි ගාථාවෙහි සූර්යවාචි ‘සූර’ ශබ්දය යෙදුනු හෙයින් “වේමිණි” යි වෙනස් වූයේ ‘දවමිණි’ ‘නුබමිණි’ යන දෙකින් එකක් ය යි හැ‍ඟේ. එහෙයින් ‘දවමිණි’ යන්න ම යෙදීමු. ‘වුදු’ යන්න ‘වද’ දයින් අතීතකාල ‘උ’ ප්‍රත්‍යය වී සිද්ධ වේ.

30 අර්ථ:- ගජන්ගේ (ඇත්=) සොඬ නමැති යන්ත්‍රයෙන් විහිදවූ සෝදියබිඳුවලින් (අද=) ආර්ද්‍ර (තෙත්) වූ සීමැඳුරෙහි සෙව්‍ය ප්‍රියාවන්ගේ (=සෙවනයට සුදුසු කතුන්ගේ) වක්ත්‍ර කෙළිදෙළෙන් වූ ශ්‍රාන්තභාවය (=වෙහෙස) හැඟවී ය.

විස්තරය:- ඇතුන් සොඬින් විහිදුවන (24 වැනි ගීයට ලියූ විස්තරය බලනු) දියබිඳු සීමැඳුරුවල සිටින කතුන්ගේ මුහුණුවල වැටේ. එය ක්‍රීඩාවන්හි යෙදීමෙන් වූ ඩහදියබිඳු මෙන් පෙණේ. ඩහදිය වැටෙන්නේ සරතස නිසා ය. සෝදිය නම් ශරීරයෙන් ගලන දියයි. මෙහි ‘යතුරු’ නම් දිය විදින උපකරණයකි. “යන්ත නම් නළ කුස පිරිවැටෙන දඬු” (ධ. ගැ 206 පිට 35 පෙළ) (යන්ත්‍ර නම් නළයක් තුළ කරකැවෙන-ඔබ මොබ යන් දඬු) ය යි පස්වැනි කාශ්‍යප නරේන්ද්‍රයෝ කීහ.

31 අර්ථ:- ඒ පුරය ශාන්තිපුර (=නිර්‍වාණ) මාර්‍ගයෙහි යෙහෙන් ඉසුඹු ලත හොත් (=විශ්‍රාම ගණිතොත්) රිසිදෑ දෙන එක ම ශාලාවෙකි. (වසනවු=) ව්‍යසන නමැති අව්ව ඇති භව නමැති කාන්තාරයෙහි ඝන වූ ශාඛා ඇති කල්පවෘක්ෂයෙකි.

විස්තර:- නිවන්පුරට යා හැකි වන්නේ අති දීර්‍ඝ කාලයක් සසර සැරිසරමින් පින් කොට නුවණ නිසි පමණට මෝරවා ගත් විට ය. එහෙයින් නිවණට යන මඟ වැටී තිබෙන්නේ සසර උඩනි. සසරෙහි හැම තැන ම දුක ම ය. ව්‍යසන ම ය. එහෙත් මේ නගරය පමණක් ඒ මාර්‍ගයෙහි තිබෙන කැමති දැ දෙන එක ම ශාලාව වැනි ය. කල්පවෘක්ෂයක් වැනි ය. මෙහි පැමිණියන් මඳ කලක්වන් දුක් අඩු කර ගෙණ වසන හෙයිනි.

‘ඉස්බෙත’ යනු ‘ඉසුබු’ දයින් සිද්ධ අසම්භාව්‍ය ක්‍රියා යි. වෘත්තමාලාකාරයෝ (14) මෙය ද නො හරිති.

පුරවැණුම නිමි.

රජවැණුම්

32 අර්ථ:- දෙරණ උසුලා (වහළ=) වෑරුණු අනන්තයා ද දිග්ගජයන් ද උඩුකුරු කළ (පුවළ=) ප්‍රෞඨ වූ (එඩි ඇති) (රෙණේ=) යුද්ධයෙහි සිංහස්වර ඇති කුස නම් නිරි‍ඳෙක් එ පුරෙහි වී ය.

විස්තර:- අනන්තනාගරාජයා ද අෂ්ටදිග්ගජයෝ ද පොළොව උසුලා සිටිති. අනන්තනාගයා නම් දික්හෙයින් නාගයෙකු සේ රූපණය කළ කාලය යි. දිග්ගජයෝ නම් දිශාවෝ මැ යි. කාලයත් දිශාත් නැත් නම් පොළොවක් ද නැත. එහෙයින් ඔහු පොළොව උසුලති. දීර්‍ඝකාලයක් මුළුල්ලෙහි ඔහු පොළෙ‍ාව ඉසිලීමෙන් වෙහෙස ව වෑරී ගියහ. එහෙයින් ම යටිකුරු වූහ. නැමුනහ. කුසරජ පොළොවෙහි බර සිය අතට ගත් කල්හි ඔවුනට තිබුනු බර අඩු වී ය. එයින් උඩුකුරු වන්ට ඉඩ ලැබින. පොළොව පාලනය කිරීම ද පොළොවෙහි බර ඉසිලීමකි. කුසරජ රෙණෙහි සීසර වූ පරිදි කාව්‍යවසානයෙහි කියවේ. ‘වහළ’ යනු ‘වහර’ දයින් සිද්ධ වේ.

33 අර්ථ:-( සිවුවත්=) චතුර්මුඛ (=බ්‍රහ්ම) තෙමේ නිර්‍මල වූ යශසය, තද තෙද ය, තීක්ෂණ වූ නුවණ ය යන ආදී ගුණසමූහ රැස් කර ඔහු ම තමාගේ මහානිධානය කෙළේ.

විස්තර:- මහබඹුගේ ධනය නම් ගුණ යි. කුසරජු තුළ සියලු ම ගුණ තිබේ. එහෙයින් හේ මහබඹුගේ මහානිධානය වැනි ය. මහබඹහු විසින් ලොව මැවිනැ යි වෛදිකයන්ගේ හැඟීම යි. පසු ව එය කවිසමයට අයත් වූවක් ලෙස සලකා බෞද්ධ කවීහු ද සමහර වර්‍ණනාවන් කළහ. (දහම්. 16 වැන්නට ලියූ පරිකථා ද තිසර 159 ද බලනු)


34 අර්ථ:-ප්‍රවර වූ ඒ නරේන්ද්‍ර තෙමේ බැමලියෙහි (=ඇස්බැමෙහි) සෞම්‍යගුණය නො හළුයේ නම්, සියලු විරුද්ධ නරේන්ද්‍ර (දිය=) ජගත් (=ලෝකය) තෙමේ ඔහුගේ යශසට අනුව යෙහෙන් විසී ය.

විස්තර:- බැම දික් හෙයින් ද නැමුනු හෙයින් ද ලියක් සේ සැලකේ. බැමලියෙහි සොමිගුණය හැරෙන්නේ රවා බැලීමෙන් බැම බි‍ඳෙන විට ය. මේ රජ එසේ බැමලියෙහි සෞම්‍යගුණය නො හළුයේ නම්, සතුරන් දුටුවිට-ඔවුන්ගේ නම් ඇසුනු විට බැම නො බින්දේ නම්, ඒ සතුරු රජවරු මොහුගේ යශසට අනුව යෙහෙන් විසූහ. සොමිගුණය හළුයේ නම්, ඒ සතුරු රජවරු මොහුගේ යශසට අනුව යෙහෙන් වසන්ට ඉඩ නුදුන්හ. යුදසෙනඟ යවා ඔවුන් මුලින් ම සිඳ ලූහ.. එකම බැමලියෙන් ප්‍රිය වූ ද අප්‍රිය වූ ද උභය වසුතූන් දෙන බව මුවදෙවදා 39 ගීය, සැළ 80 කව ආදියෙහි සඳහන් වේ. ‘දිහි’ යනු ‘දහ-හැරුම්හි’ දයින් සිද්ධ අතීතාඛ්‍යාතයි.

35 අර්ථ:- ඔහුගේ යශසට (=කීර්තියට) (හිමි=) සීමා නම් (දිය=) ලොකය යි. (තිළිණට=) ත්‍යාගයට සීමා නම් යදින් (=යාචකයන්‍) ගේ අදහස් ය. තියුණු නුවණට සීමා නම් ශාස්ත්‍රය යි. තෙජොරාශියට රිපු විනාශය සීමා යි.

විස්තර:-මේ රජුගේ කීර්‍තතිය ‘මේ තාක් පැතිර තිබේය’ යි සීමාවක් දැක්විය නො හැකිය. ඊට සීමාව වන්නේ ලෝකය මැ යි. ලෝකය යම්තාක් ද, ඒ තාක් මේ රජුගේ කීර්‍තතිය පැතිර තිබේ. යදීන්ගේ ගැණීමේ අදහස යම්තාක් ද, ඒ තාක් මේ රජුගේ පරිත්‍යාගය පවතී. ශාස්ත්‍ර යම් තාක් ද, ඒ තාක් මේ රජුගේ තියුණු නුවන තිබේ. ශාස්ත්‍රයෙහි අඩුවක් මිස රජුගේ නුවණෙහි අඩුවක් නැත. සියලු සතුරන් නැසුම යම් තාක් ද, ඒ තාක් තෙදරැස පවතී. ‘යසට, නුවණට’ යන තන්සි මෙන් ‘ට’ විබත නැතත් ‘තිළිණ, තෙදරැස්’ යන දෙතැන්හි ද සම්බන්ධ විභක්තිය වෙ යි. එහෙයින් පටන් ගත් රීතිය නො බි‍ඳේ.

36 අර්ථ:- ඔහුගේ ගුණ නමැති මකරන්දයට (=මල්පැණියට) ලෝකයාගේ ශ්‍රවණ (=කන් නමැති) භෘඬ්ගාවලිය ප්‍රමාණ වේ. මදන (= රාග) රස නමැති අමෘතයට ප්‍රමාණ නම් ප්‍රමාදාවන්ගේ හෘදය නමැති ක්ෂීරාර්‍ණවය (=කිරිමුහුද) මැ යි.

විස්තර:- මේ රජුගේ ගුණ මෙ පමණ ය යි කිය නොහැක්ක. එය ප්‍රමාණ කළ හැක්කේ ඇසීමට තිබෙන කන් ගණනිනි. ඇසීමට කන් යම් තාක් තිබේ ද, කීමට වෙන වෙන ගුණ ද මේ රජු තුළ තිබේ. ‘මදනරස’ යනු රාගය යි හෙවත් ආලයයි. ඊට උත්පත්තිස්ථානය පමාහිද ය. ඊට හේතුවන ගතිගුණ ද අහෙදොපචාරයෙන් ‘මදනරස’ නම් ම වේ. එය තිබෙන්නේ රජු කෙරෙහි ය. මෙහි ‘මදනරස’ යනුවෙන් ගැණෙන්නේ එය යි. මදනරසයෙහි හෙවත් මොහු කෙරෙහි අඟනුන්ගේ ආලය උපදවන ගතියෙහි ප්‍රමාණයක් ද නැත. ප්‍රමාදාවන්ගේ හෘදය (=සිත්) යම් පමණක් තිබේ ද, එ පමණට මොහු තුළ වෙන වෙන මදනරස ද තිබේ. ඇතැම් ප්‍රමාදාවෝ රූපයට ද, ඇතැම්හු වෙන වෙන ශබ්ද ආදියට ද ශෞර්යවීර්යාදීගුණයන්ට ද පැහැදී ඒ ගුණ ඇතියන්ට ඇලුම් කරති. ඒ හැම දෙනාම ඇලුම් කරවන ගුණ මේ එක ම රජු වෙත තිබේ. කුසරජු විරූපියෙකු බව මෙහිදී අපේ මහා කවීශ්වරයානන්ට විසමෘත වූ බව පෙණේ. මදනරස අමා සේ රූපණය කළ හෙයින් පමාහිද ද කිරණව්ව ලෙස සැලකින. දෙවියන් අමෘතය මතුකර ගත්තේ කිරිමුහුදෙනි.

37 අර්ථ:- සෞම්යත වූ ප්රමබන්ධ වූ (=අතරට අගුණ වැටීමෙන් නො කැඩුනු) ගුණයාගේ ප්රවමාණය නම් උසස් අනන්ත කවීන්ගේ තෙපුල් ය. නානාසමයන් (=නොයෙක් ආගමධර්මඋශාස්ත්රා්දිය) පිළිබඳ බිණීමෙහි (=කථ‍ා‍ෙවහි) ප්රසමාණය නම් ප්ර තිමල්ලයන් (=විරුද්ධවාදීන්ගේ) වචන මැ යි.

විස්තර:- කවීන්ට වචන තිබෙන පමණට වර්ණඋනා කිරීම පිණිස මේ රජු වෙන වෙන සොමිපබඳගුණ තිබේ. විරුද්ධ ව කථා කරණ කරණ පමණට නානාවිධ ආගමශාධර්මණශාස්ත්රට පිළිබඳ කථා කිරීමේ ශක්තිය ද මේ රජුට තිබේ. රජුගේ කථාව නවතින්නේ විරුද්ධවාදීන් නිහඬ වූ විට ය. 38 අර්ථ:-ඔහුගේ (හිවි=) එසෙවූ ඛඬ්ගය නමැති මේඝය තෙමේ රුපුන්ගේ අඹුවන්ගේ බැම නමැති මොනරාගේ (=කියඹු=) අලකා නමැති (සිකිපිල්=) සඳැස්පිල් නලල්තලය නමැති රන්ගල් තලාවෙහි ඇතිරී ය.

විස්තර:- මේ රජු කඩුව එසෙවූ (=යුද්ධාරම්භ කළ) විට සතුරු රජුන්ගේ දේවීහු සියහිමියන්ට නියතින් ම අන්තරාය වෙති යි ශොකයෙන් කියඹුවැල් තැබුම් ආදී ප්ර සාධන කාර්යයන්හි නො යෙදෙති. එවිට කියඹුවැල් නළලෙහි වැටේ. බැම මොනරෙකු සේ සැලකූ විට උගේ පිල් ලෙස තැකිය හැක්කේ කියඹුවැල් ය. ‘කියඹු’ යනු ගැහැණුන්ගේ නළල දෙපසෙහි කොට කර කැපූ නොහොත් මුතුහර, කොඳකැකුළු, මීපුප්, නිකමල් ආදිය දමා ගෙතූ කෙස්රොද යි. මෙහි ‘සික්පිල්’ යන්න උදෙසා ‘කප්පිල්’, ‘සඳැස්පිල්’ යන වචනයක් යෙදුනේ නම් මැනවි. දහම් 51 වැනි කව බලනු. ‘හිවි යනු ‘හුව-එසවීමෙහි’ දයින් ද ‘අතළේ’ යනු ‘අතර’ දයින් ද සිද්ධ යි.

39 අර්ථ:- ඔහුගේ තෙද (එක්වන්=) එක සේ නිතර (දස අත=) දශදිශාවන් හෝ දිශාන්තයන් (සදත=) සරහන කල්හි මෙහෙසුරා (සඳෑසඳනෙන්=) සන්ධ්යාළව ය යන අදහසින් නැටුමෙහි පරිච්ඡේදය (=කෙළවර පෙර සේ නො දත්තේ ය. විස්තර:- මෙහෙසුරා හැමදා සැන්දෑවෙහි කෙලෙස්කුළ මුදුනෙහි බහුරූ නැටුම් කෙරේ. (බු.ල 190 කව) මේ රජුගේ තෙද ලොව හැම අත ම පැතිරිමෙන් රෑදාවල් දෙක එකම සන්ධ්යාෙවක් මෙන් පෙණෙන්නට වූ හෙයින් සන්ධ්යාෙකාලාවසානයෙහි නැටුම නවත්වන මෙහෙසුරා රාත්රි ය දවාලින් වෙන් කර ගැණීමෙහි නො පොහොසත් වි ය. හේ තවමත් සැන්දෑව ය යි සිතා රෑ ද දවල් ද නො නැවතී නටන්නට වී ය. නැටුමෙහි කෙළවරක් නො වී ය. තෙද රක්තවර්ණවය යනු කවිසමය යි. අඳුරු වූ රැයත් දීප්තිමත් හිරුරැසත් සන්ධ්යාොවර්ණනවත් කිරීමට කොතරම් තෙදක් තිබිය යුතු ද? 40. අර්ථ:- ඒ නරවරයා (රජු)ගේ තෙද දිශා නමැති වාමාවන් (කාන්තාවන්)ගේ විචිත්රන වූ (රුදු=) මහත් වූ පයොධරමණ්ඩලයෙහි (දූලූ=) බැබලුනු ප්රොකට වූ කුඬ්කුමාඬ්ගරාග (ගී=) වැනි වීය.

විස්තර:- මේ රජුගේ තෙද පැතිරි දිශාවන්හි කෙළවරට ම ගියේ ය. ගොස් උඩට ද නැගී දිශා නමැති අඟනන්ගේ පියොවුරු ද වසා සිටියේ ය. ඒ එහි ගෑ කොකුම්විලෙවුනි වැන්න. කොකුම් ගෑමෙන් උණුසුම ලැබේ. පුරාතනයෙහි ශීතනිවාරණය සඳහා අඟනෝ පියොවුරුවල කොකුම් ගෑහ. ‘කොකුම්’ යනු ‘කුඬ්කුමප්පු’ නම් ද්රයව්යමය යි. ඒ ද රක්තවර්ණ’ යි. තෙද රක්තවර්ණ( ද උණුසුම් ද වේ. එහෙයින් ඒ දෙක එක් වැනි ය. ‘දුලූ’ යනු ‘දල-දිලුම්හි’ දයින් සිද්ධ යි. දහම් 50 වැනි කව බලනු. 41 අර්ථ:- ඒ නරවරයාගේ ප්රයකට වූ ස්තබ්ධතෙජස තෙමේ කොප නමැති (දෙලෙන්=) ජලයෙන් ඔද වැඩුනු (=බලවත් වූ ) විපක්ෂයන් (=සතුරන්) නමැති ජලනිධීය (=මුහුද) සිඳුවන= වියල වන වඩබාග්නිජ්වාලාකලාපයක් ගෙණ ඇර දැක්වී ය.

විස්තර:- මේ රජුගේ තදතෙද වඩබාග්නිකලාපයක් බඳු ය. වඩබාග්නිය නම් මුහුදින් මතු වෙතැයි සැලකෙන ගිනිදළුවකි. එය වෙළඹකගේ මුඛය වැනි ලු. එහෙයින් ඒ නම යෙදේ. ඊට අසු වූ මුහුදුදිය ක්ෂණයකින් වියලී ය යි. දිය වැටෙත් වැටෙත් ම එය ද දියුණු තියුණු වේ. ‘මකරකට’ ය යි සාමාන්ය් ව්යණවහාරයෙහි පවත්නේ මෙය යි. මෙහි කී වළබදලකලබින් හි‍ඳෙන්නේ විපක්ෂ සාගරය යි. ‘රැපා’ යනු ‘ඇරැ පෑ’ යන්නෙහි ‘ඈ’ යන්න ලොප් වීමෙන් සිද්ධ යි. ‘ඇරැ’ යනු ‘අර’ දයින් සිද්ධ පූර්ව්ක්රිධයා යි. ‘පෑ’ යනු ‘පා’ දයින් සිද්ධ අතීතක්රි‘යාපද යි. අලගියවන්නයෝ මෙය ද නො හළහ. සැවුල් 43 බලනු.

42 අර්ථ:- ඒ වීරයාගේ ප්රදබන්ධ වූ (= එකට බැඳී පවත්නා) තෙජස විපක්ෂසුපක්ෂ ජගත්හි දාඨශොකාග්නිය ලෙසින් ද හෘදයෙහි අනුරාගය ලෙසින් ද (බිම්=) භ්ර්මණය කෙළේ ය. (=පැවැත්තේ ය)

විස්තර:- මේ රජුගේ එක ම තෙජස විපක්ෂයන් කෙරෙහි එක් ලෙසකින් ද, සුපක්ෂයන් කෙරෙහි අනෙක් ලෙසකින් දැ යි දෙ අයුරකින් පැවැත්නේ ය. එය විපක්ෂයන් අතරට ගිය විට ඔවුන්ගේ දැඩිසෝගින්න මෙන් වී ය. විපක්ෂයෝ රජුගේ තෙද දැක දාඨාශොක කළහ. ‘හුතැස්’ යනු ගින්නට නමකි. හොම කරණ (=පුදන) ලද්ද කා නු යි ගින්න ‘හුතාශ’ නමි. එම තෙද සුපක්ෂයන් අතරට ගිය විට ඔවුන්ගේ සිතෙහි රජුට අනුරාගය (=ප්රෙශමය-ආලය) ඇති වේ. අනුරාගය ද රක්තවර්ණග සේ කවීහු සලකති. (සාහිත්ය දර්පයණ 437 පිට) ‘බිමී’ යනු ‘බම’ දයින් සිද්ධ යි.

43 අර්ථ:- රුපුන්ගේ අඹුවන්ගේ මනස නමැති කුඹුරෙහි ඔහුගේ තෙද නමැති බිජුවටින් (දුනු=) උපන් සිතිවිලි නමැති ලා වැලෙහි පෙති (=කොළ) දෙකක් (ඔවුන්ගේ ) රතු වූ නෙත්රදවයය තෙමේ හැඟවී ය.

විස්තර:-රූපඅඹුවන්ගේ සිත කෙතකි. මේ රජුගේ තෙද බිජුවට ය. එ කෙනෙහි මේ බිජුවට වැටෙ යි. එයින් වැලක් හට ගණී. එනම් සිතිවිලි යි. රජුගේ තෙදින් සියහිමියන්හට විය හැකි අන්තරාය සලකා රුපුඅඹුවෝ සොවින් සිතිවිලි කරන්නට පටන් ගණිති-යනු කී පරිදි යි. බියෙන් හා සොවින් ද රතු වූ ඔවුන්ගේ දෙනෙත ඒ වැලෙහි ලා කොළ දෙකක් මෙන් පෙණේ. ලා කොළ ද රතු ය. (සැවුල් 45 බලනු.) 44 අර්ථ:- ඔහුගේ තදතෙදරැස දිශාමණ්ඩලයන් මර්ද නය (=යට) කරමින් (දවත=) දුවන කල්හි (නො සැහැ=) එය නො ඉවසා මෙහෙසුරා (අහස්) ගඟ ද (වෙන්=) විෂ්ණු (කිරි) මුසුද ද ඇසුරු කළාක් වැනි ය. විස්තර:- මෙහෙසුරා අහස්ගඟ දළමඬුල්ලෙන් උසුලා ලූ (දහම් 46 පරිකථා බලනු) විෂ්ණු කිරිමුහුදෙහි අනන්තනාගරාජයාගේ දරණවැලෙහි සැතපේ ල. ලොකයෙහි බොහෝදෙනා විසින් ශ්රේපෂ්ඨ ය යි සම්මත ඒ දෙදෙනා එසේ දිය ඇසුරු කරන්නේ මේ රජුගේ තදතෙද රැස දසදෙස මඬිමින් දිව යන කල්හි එයින් හටගත් දාහය නො ඉවසීමෙන් මෙනැ යි මේ මහාකවිශ්වරයෝ උත්ප්රෙහක්ෂා කරති.

45 අර්ථ:- ඒ සත්ත්වසාර (ශ්රේ.ෂ්ඨ සත්ත්ව)යාගේ තෙද නමැති (අග=) ගිනිමඬුල්ලෙන් (=අග්නිචක්ර යෙන්) ජගදග්රනය (ලොව කෙළවර) මඩින කල්හි සුරගඟ (සනහනු අසින් ආ) නාන අදහසින් (තමා වෙත) ආ සිද්ධාඬ්ගනාවන්ගේ හා අප්සරසුන්ගේ ද සමූහ (විහිටි=) විහිද වී ය.

විස්තර:-මෙ රජුගේ තෙදරැස් වැදීමෙන් අහස්ගඟ ගිනි ගොඩක් මෙන් පෙණෙන්නට වී ය. සිද්ධාඬ්ගනාවෝ ද අප්සරාවෝ ද නාන අදහසින් අහස්ගඟට සමූහ සමුහ ව එති. ඔහු තෙදරැසින් රතු වූ දිය ගලා එනු දැක ගිනිකඳක් එතැයි සිතා බිය වැද පලා ගියහ. (සැවුල් 46 බලනු) ‘විහිටි’ යනු ‘විහිදු’ දයින් සිද්ධ ආඛ්යාාතපදය යි. එහි කර්තෘෙ ‘සුරගඟ’ යන්න ය. කර්මැය සිදසරන්කැන් ය.

46. අර්ථ:- නරවීරයා තෙද නමැති ගිනිමඬුල්ලෙන් රුපුන් නමැති (ඉළු=) වනය අළු කරණ කල්හි රුපුඅඹුවන්ගේ රත්නෙත් (එයින්) විසුරුණු ගිනි (රොන්=) පුපුරු වැනි වී ය. විස්තර:- ‘විසුළ’ යනු ‘විසුර’ දයින් සිද්ධ යි. (දහම් 49 බලනු)

47 අර්ථ:- ඒ නරවරයාගේ තෙදතෙමේ යුගාන්තයට (=කල්පාන්තයට) පත් හිරුගේ ගුරු ය. ඔහුගේ නයනයෙහි (=ඇසෙහි) අඩ (රවා) බැලුමෙක් නම්. දර්ප( සහිත වූ (කප්දල=) කල්පාන්තයෙහි වූ ජ්වාලා (ගිනිදැල්) කලබකි. (=මිටියකි) විස්තර:- කල්පය කෘත හෙවත් සත්ය) (වර්ෂම17.28,000) ත්රෙතතා, (12,96,000) වාපර (8,64,000) , කලි (4,32,000) යුගය යි සතරකට බෙදේ. කලියුගය අවසානයෙහි සියලු ග්ර හතාරකාවෝ ඒකරාශිගත වෙත්. සප්තසූර්යෝද්ගමනය නමින් දැක්වෙන්නේ ද එය යි. මහාභාරතයෙහි ද “ෂඩ්භිරන්යෛ්ශ්ව සහිතො භාෂ්කරඃ ප්රයතිපිෂ්යාති” යනුවෙන් එය කියන ලදී. එකල්හි සූර්යයා අතිශය චණ්ඩ වෙ යි. මේ රජුගේ තෙද ඒ හිරුගේ ද ගුරුහු වැනි ය. ඔහු එතරම්. චණ්ඩ වීමට - අසභ්ය වීමට - ගුරුකම් ගත්තේ ඒ රජගේ තේජසින් වැනි ය. ඒ හිරුට ද වඩා මේ රජුගේ තෙද අසභ්යැ ය. කල්පාන්තයෙහි ලොව හට ගන්නා ගින්න ද අතිශය රෞද්රර ය. ඊට අසු වූ කුමක් වුවත් ඇසිල්ලකින් අළු වෙයි. ඒ රජුගේ රවා බැලීම ද එබඳු ය. ඊට අසු වූවෙක් ඉතිරි නො වෙයි.

48 අර්ථ:- ඒ රජහුගේ තදතෙද නමැති ජ්වලිත වූ තඹ (වන්) වතුරෙහි යැතීමෙන් (=තල්ලු කිරීමෙන් (සතුරන්ගේ යුද්ධභටයන් නමැති (ගහළ=) කලුසයන් (=රිණි) ශ්රෙනණිය (=රැස) මලය (ගල්=) පර්විතයාගේ (පයත්=) පාමුල ගත්තාක් (රැඳුනාක්) මෙනි.

විස්තර:- ‘වතුර’ යනු ගැලූ දිය යි. වතුර ගැලූ විට ඊට අසු වූ කුණුකසළ හයින් තල්ලු වීමෙන් ගොස් බෙහෙවින් කඳු අද්දර රැස් වෙයි. මෙ රජුගේ තදතෙද තඹවතුරක් වැනි ය. ඊට අසු වන කසළ නම් රුපුබළයෝ යි. එයින් තල්ලු වී ගිය ඔහු කඳුකරපෙදෙස්හි රැ‍ඳෙති. සතුරු භටයෝ මෙ රජුගේ තෙදින් බිය ව කඳුකරට ගොස් සැඟවුනහ යනු කී අයුරු යි. “ගහළ’ යනු ‘කලුස’ යන්නට අර්ථ කීමට පුරාතනයෝ යෙදූහ. ‘යැතමෙන්’ යනු ‘යත-මෙහෙයුම්හි’ දයින් සිද්ධ ‘යැතුම්’ යන භාවනාමයෙන් ‘එන්’ විබත වි සිද්ධ නාමපදයෙකි. (බුත්සරණෙහි “අංඅගිත් යතයතා” - යනු ද සසඳනු)

49 අර්ථ:- ඒ මහාත්මයාගේ තෙද වැජඹෙන (=දියුණු වන) කල්හි සියලු භූජඬ්ග (=නාග) ලෝකය තෙමේ (දවහ=) නිරන්තරයෙන් (නේසහතරකටමිණිරිළු=) නොයෙක් රශ්මි සහිත කණ්ඨමාණික්ය ශ්රෙරණි ලෙසින් ඉසිලී ය.

විස්තර:- කණ්ඨමාණික්යිව්යා ජයෙන් නාගයෝ මේ රජුගේ තෙද ඉසුලූහ. නාගයෝ කණ්ඨකයෙහි රක්තමාණික්යෙ පලඳති. ඒ අනෙකක් නො ව මේ රජුගේ තෙජඃපිණ්ඩය යි මේ කවීශ්වරයෝ සලකති. 50 අර්ථ:- ඔහුගේ ප්රඃකට වූ ධවල වූ (යසබඳ=) කීර්තිශරීරය මුළු තුන්ලොව භ්ර මණය කරණ (=පවතින) කල්හි අනන්තනාග රාජකුලය හා සඬ්ඛපාලනාගරාජකුලය ද ගාත්රරභෙදය (=සිරුරෙහි වෙනස) නො ගැන්නේ ය. (= නො සැලකී ය)

විස්තර:- යශස ශ්වෙතවර්ණක ය. මේ රජු ගේ කීර්තිශරීරය දෙව්ලොව, මිනිස්ලොව , පාතාලය යන තුන්ලොව ම පැතිර පැවත්තේ ය. එයින් හැම දෙය ම සුදු වී ය. අනතකුලයෙහි හා සක්පල්කුලෙහි නයි ද එක සේ සුදු වූහ. එහෙයින් ඔහු කුලය නිශ්චය කිරීමට ශරීරයෙහි වෙනස්කම ගණනට නො ගත් හ. පෙර මෙන් සුදු කණ භේදයක් නුවූ හෙයිනි. මෙහි දැක් වූ දෙ කුලයෙන් එක් කුලයක නයින් කළු විය යුතු ය. අනන්තයා සුදුය යි කවිහු කියති. සක්පල්නාරජ ද රිදීදමක් සේ සුදු ය යි ජාතකපොත කිය යි. අනන්තයා මහාකාලනාමයෙන් ද හැඳින්වේ. ‘මහාකාල’ යන්න ‘මහකලු’ යි ද ‘මහකෙල’ යි ද සිංහලයට එයි. ඔහුගේ කුලයෙහි නයින් කළු ය යි සිතූ සේ හැඟේ. ‘ගිණි’ යනු ගණන් කිරීමෙහි වැටෙන ‘ගණ’ දයින් සිද්ධ යි.