කෝකිල සන්දේශය-අරුත් වියකන-iv
151. ක පු රු සදුන් මුව මද සොද සුවඳ ඇති
රු සි රු සියුම් පට සළු සමඟ නන් වති
ව තු රු ලෙසින් ගෙනැ නන් දෙසැ නිරිඳු නිති අ තු රු නො දී දි වැඳැ වැඳැ එහි සිටිති
151. සොඳ සුවද ඇති කපුරු, සඳන්, මුව මද, රුසිරු, සියුම් පට සළු සමගැ නන් වත් ගෙනැ නන් දෙසැ නිරිඳු නිති වතුරු ලෙසින් නො දි දි වැඳැ වැඳැ එහි සිටිති. මනා සුවදින් යුත් හෙවත් පිය ගඳ වහන කපුරු, සඳුන්, කස්තුරු, සිතට අල්ලන සිනිඳු පට පිළි (වන දැය) මා නො එක් (තවත්) දැයක් ගෙනැ (පැමිණි) නො එක් රටේ රජහු නිබඳ වැ මැ ගලන දිය සෙයින් අතරක් ඉඩ නෑරෑ දෙමින් වැඳැ වැඳැ එහි සිටිත්. මෙහිඳු ‘නිරිඳු’ යන්නෙන් රජුන් ගේ දූතයන් මැ අදහස් කරන ලද බව සපකන්නට දිදු වේ. පිට රටින් පඬුඑට, කපුරු, සඳුන්, කස්තුරි, සිනිඳු සළු ඈ දැය මෙ රජුට ලැබෙන බවයි ඒ කීයේ. ඒ සියල්ල ලක් දිවේ නැති දැයයි.
152. කර ගත් වෙනස් තම ගැළැවෙන උපා දැන නැවතත් එ රන් රස විලසින් එක් කරන දැනැගත් රජ නීති සත තතු ලෙස නැණින සිරි මත් ඇමති ගණ වැඳැ සිටිති අදරින
152. තම ගැළැවෙන උපා දැනැ වෙනස් කරගත් එ නැවත් රන් රස සේ එක් කරන, රජ නිති සත නැණින් තතු ලෙසැ දැනැ ගන් සිරිමත් ඇමැති ගණ අදරින් වැඳැ එහි සිටිති. තමන් ගැළැවෙන්නා වූ උපා දැන (ඒ වූ නියායෙන්) බිඳැවීම් කරතත් ආය්ත් ඒ (බිඳුණවුන්) රන් හා රස දියත් සෙයින් හා කරන්නා වූ, රජුන් ගේ (හෙවත් රට රක්නවුන් ගේ) නීති ශාස්ත්‍රය ඇති සැටියේ නුවණින් දැනැ ගත්තා වූ, සිරිමත් ඇමැති සමූහයා අදරින් (රජු) වැඳැ එහි සිටිත්. රජ දහම හෙවත් රජුන් ගේ රට රැකුම් පිළිබඳ නීතිය රට වැසි දනා ගේ පවතින් වෙනස් වේ. බොහෝ විටැ රට වැසියා ගේ පවත අනුවැ සුදුසු නැති සේ පෙනෙන කිරියා ද රජුන් රක්නා, රජ කුලැ රහස් රක්නා ඇමැත්තනට ද එ මැ කරන්නට සිදු වෙයි. මේ කීයේ රට රක්නා දනන් ඇසුරු කරන සිවු උපා යෙන් ‘භේද’ නම් උපාය යි. ‘එං යනු මෙහි දෙන්නේ ‘පසිදු’ (පළ) යන අරුතයි. රනත් රස (දිය) ත් එක් වීම ඉතා පළ පවතෙකි.
153. ව ද න සතර පැවැසු සත දැනැ නො හැර ක ර න සකම් විදි නො වරදවන පවර න ද න පෙරෙවි බමුණන් සිටැ එක පැහැර කි ය න නොයෙක් ආසාරි වදනින් නිතොර
153. සතර වදන පැවැසූ සත නො හැරැ දැනැ තරක පවර යකම් විදි නො වරදවන, නදන පෙරෙවි බමුණන් සිටැ එක පැහැර කිවන නොයෙක් ආසිරි වදනින් නිතොරැ. බඹු පළ කළ සතර හෙවත් ශාස්ත්රැය ඉතිරි නො කොටැ දැනැ, කරන්නා වූ, උතුම් වන සවැදැරුම් කර්මයෙන් පිළිබඳ නියමයන් වරදවන්නේ නැති, සිත් පිය කරන පුරෝහිත බමුණන් සිටැ ගෙනැ එක විටැ කියන්නා වූ ආයු සැපත් වැඩීමේ වදන්වලින් තොරෙක් නැත්තේයැ. (පෙළෙහි ‘එක පැතිර’ යනු ‘එක පැහැර’යි වියැ යුතු) ‘වදන’ යනු මෙහි ‘මුහුණ’ යන අරුතැ යෙදුණේ යි. සතර වදන (චතුර්මුඛ = සිටු මුවා) නම් බඹ තෙමෙයි. බඹුට මුහුණු සතරක් වෙතියි යෙති.
බඹු පැවැසු සත (=ශාස්ත්රයය) නම් තුන් වැදෑරුම් වේධයයි. සාක්,යජුස්, සාම යනු තුන් වේදයේ නම් යැ. පසු කලැ ‘අථර්වාන්’ යැයි තව ද වේධයත් පහළ වූයෙන් දැන් සිවු වේදයෙක් වේ. අසා දන්නා ලද හෙයින් වේධ ධර්මයට ‘ශ්රැධති’ ධර්මය යන නම් වේ. බ්රාැහ්මණයෙක් නම් වේධය හදාරා දැනැ. ‘දහන්හුය’ (පුනනූල) ලත ලද්දෙකි. ර හුය බැඳි පසුයි ඔහු ‘බ්රාරහ්මණ වන්නේ’ එ සේ නර පනුවකු හැටියට වරක් ඉපිදැඋපතයනයෙන් හෙවත් දහන් හුය බැඳීමෙන් බ්රාවහ්මණ වනුයේන් දෙවරක් උපනේ යි බමුණාට ‘ද්විජ (දද)’ යන නම පැවැසේ. සකම් විදි නම් බ්රාතහ්මණයකු විසින් දැනැ කළ යුතු වූ යස වැදෑරුම් ‘කර්මයන්’ කරන අයුරුයි. මනුහු ගේ දහම් සතරේ හැටියට:- අෂ්ධඅයන අධ්යායපන යජන යාජන දාන ප්රනතිග්රතහණ’ යැයි කර්ම සය (ෂට් කර්මය) සදහන් වෙයි. අධ්යයයන නම් ඉගෙනීමයි, අධ්‍යාපන නම් ඉගැන්වීමයි, යජන නම් පූජා කර්මයයි, යාජන නම් එ මැ අනුන් උදෙසා කිරීමයි, දැන නම් දන් දීමයි, ප්ර තිග්රරහණ නම් දන් පිළිගැනීමයි. පසු කැලැ ධර්ම ශාස්ත්රධ අඳුරෝ :- ස්නාන සන්ධ්යාැජප බ්රධහ්මයජප නර්පණ හෝම දේව පූජා යන බ්රායහ්මණයා ගේ දින චර්යාව ෂට්කර්මය හැටියට දැක්වූ. ස්නාන නම් චර්යායේ නියමය පරිදි දිය නාහා පිරිසුදු වනුයි. සන්ධ්යා්ජන නම් ත්රිනසන්ෂ්යයයෙහි යැදුමයි, නර්ලණ නම් පැන් වැඩීමයි, හෝම නම් ගින්නට දර, සහල් පිදීමයි, දේව පූජා නම් සුළු දෙවි ගනා උදෙසා පුද පැවැත්වීමයි. (සුලු දෙවි යන්නෙන් ත්රිමමූර්තියට නො අයත් වන දෙවියන් සලකා ගත යුතු) සෘත, අමෘත, මෘත, කර්ෂණ, සත්යාඩනාත, ශ්වවෘත්ති යන ෂට් කර්මය වෛශ්යයයන් සඳහා හෙයින් ඒ මෙහි නො ගැනේ. ධෞතී, වස්තී, නේතී, ත්රා ටක, නෞලික, කපාලභානී යන ‘යෝග’ ෂට් කර්මය ද, ශාන්ති, වශ්යන, ස්තම්භන, විද්වේෂ, උච්චාටන, මරණ යන තන්ත්රට නියමයේ ෂට්කර්මය ද එ සෙයින් මැ මෙහි නො වැටේ.නියම ෂට්කර්මය තමා මානව ධර්ම ශාස්ත්රමයෙහි සඳහන් වන්නේ. මේ පෙරෙවි බමුණෝ එ නො වරදවා කෙරෙති. පෙරෙවි බමුණෝ නම් රජුනට උවදොස් දෙන ඇදුරු බමුණෝයි.
154. සොඳ එඑ දෙමළු මාගද දෙව් බස පසිඳු සෙ ද මියුරසින් නොසැතෙව් කිවියෙහි පුරුදු ඔ ද ගුණ ගිහිණි නන් කුල යුත් මහ කිවිඳු වැ ද වැඳ කියති නො මඳ වැ කව් බැඳැ විරිඳු
154. ළුළු, දෙමළු, මාගද, සකු බසැ සොඳ පසිඳු,ඔද ගුණ ගිහිණි,නො සැකෙවි, මියුරසින් සෙද කවියෙහි පුරුඳු. නන් කුග යුත් මහ කිවිඳු නො මඳ වැ විරුඳු කවි බැදැ වැදැ වැඳැ කියති. ළුළු යැ, දෙමළු යැ, මාගද යැ, සකු යැ යන බස්හි මනා සේ නම් දැරුවා වූ, ඔද ගුණයෙන් යුතු වූ, කොටැ විගසේ කවි පද බැඳැ කිමෙහි පුරුදු කම් ඇති නො එක් පරපුරින් පැවැතැ එන මහ කවි ඇදුරෝ මඳ යැයි නො කියැ හැකි පමණට කවි පද බඳිමින් වැඳැ වැඳැ කියත්. එ සඳහන් කරන ලද්දේ විරිදු කවි කියන ඇදුරන් ගැනැයි. වෙසෙසුන් ආ ගිය අතේ යොදන්නට සිදු වීම පැදිය අවුල් සහිත වී ඇති.එ හෙයින් අවුල් හැරැ හැරැ අරුත ගළපා ගත හැකි වෙයි. විරිදු නම් රජු ගේ යම් යම් වීර ක්රිහයා, උදාර ගුණ ආදිය සඳහනැ කරන පැසැසුම් නාම වෙයි. අපේ මෙ (සවන) සිරි පැරැකුම් රජුට තුන්සිය හැට තුනකට නො අඬු වැ විරිදු නම් (නම්බු නාම) වූ බව සඳහන් වෙයි. එ සේ හෙයින් කිවන ලදී ගිරා අස්නෙහි, ‘ප ර සි දු කිවිදු තෙපුලෙන් බැදි දසට රට මෙ නිරිදු විරිදු නම් නො හැරැ මැ තෙසිය සැට’ යැයි. ඒ එක් එක් විරිදු නමක් අසු කොටැ බඳනා ලද එක් එක් පැදිය විරුදු කවක් විරිදු කවක් හැටියට සලකනු ලැබේ. ඒ එකක් එකක් සැකෙවි (කොටින් කියන ලද්දේ) නො වූ පමණට පිය කරු වේ.
‘ර න මිණි මුතු පඬුරු ලබන රටින් ලාඬ ගවුඩ වංග තැ න තැන වන විල් වැදැ රැදි තුඩ වැඩි රුපු මැඩි බුජංග දි න මිණි කුල විජය නිරිඳු පරපුරිනා පුර කලිංග දි න පැරැකුම්බුජ රජ හිමි රාජ වෙස්සා බුරංග’ යනු ‘රාජවේශ්යාජභුජංග’ යන විරිදු නම අසු කොටැ බැඳි විරුදු කවක් වන පැදියෙකි. ඒ අයුරු පැදි උන් හිටි ගමන් බැඳැ කිම කවියා ගේ සපන් කමෙකි.
මෙ පැරැක්ම් නිරිදු ගේ සෙබේ කවි රජහු (කවි ඉඳු) හෙවත් කවි නායකයෝ සිටිති. ඌ තුමු ‘මහ කවි’ ගණයේ ඉහළ කිවිදෝ යි. වහා (උන් හිටි වත මැ) සැකෙවි නො වන (නො සැකෙවි) කවි ගොතා කීමෙහි පුරුදු කම් ඇත්තෝයි. ඒ කවි මියුරු බැවින් යුතු වෙයි, ඔද ගුණයෙන් ද ගහන වෙයි. එ මහ කවි නායකයෝ නො එක් (ඇදුරු) පරපුරින් එන්නෝ වෙති. ඌ තුමු මනා සේ පසිදු දනෝ වෙති. ඔවුන් පසිදු වූයේ ළුළු, දෙමළ, (දැන් අප විසින් ‘පාලි’ යි කියනු ලබන) මලද, සකු හෙවත් සංස්කෘත යන බස් දැනීමෙනි. ‘මාගද’ යනු ‘මාගධ’ යන්නම සිංහල මූණුවර ගන්වා මැවුවෙකි. මාගධ යනු එළුයේ සිටිනේ ‘මගද’ කියායි. ‘සකු’ යන් තවෙනුවට ‘දෙව්’ යනුදු කිසි පිටපතෙකැ දක්නා ලැබේ. ඒ වැඩියෙන් සුදුසු වේ. ‘සකු’ යන්නෙන් ‘සංස්කෘත’ (සංස්කරණය කැරැණු) බව මිසැ වෙසෙස් බසෙක් පළ නො වේ. ඒ ‘ප්රවකෘත’ යන්නේ අනෙක් පිටයි. වේදය පළ කොටැ ඇති බස ‘දෛවී’ හෙවත් ‘දෙවි’ යන්නෙන් වෙසෙසේ. එළු යනු නුමුසු සිංහලයට නමයි. සිංහල මුසුයි. එළුව නුමුසුයි. ආදී දනෝ අනාර්ය භාෂාවන් වන දෙමළය ගණන් නො ගත්හ එ හෙත් මෙ අවදිය වන විටැ දෙමළ බලය සිංහල බලය යට කොටැ ලක් දිවේ පළ වෙමින් පැවැති හෙයින් එ ද වැදගත් තැනක් මෙ දවසේ ලැබී. මුකවෙට්ටි අලගියවන්නයෝ ද, ‘ප හ ළ පොරණ ඉසිවර මුවෙනි මන නඳ දෙ ම ළ සකු මඟද නොහසළ සතට දද’ යනු පවසති. කිවිඳු = කිවි ඉඳු
155. නිමල් බරණ ගත සරසා සකස් කොට තුමුල් උතුර පට සළුවෙන් එකස් කොට කමල් සදිසි අත් ලෙළවා උසස් කොට වි පු ල් වැ වැඳි තෙපලත් තැනි වෙසෙස් කොට
155. නිමල් බරණ ගත සකස් කොටැ සරසා, තුබුල් උතුරු පට සළුයෙන් එක් අස් කොටැ, කමල් සඳිසි අත් උසස් කොටැ ලෙළවා වැඳි වෙසෙස් කොටැ තුනි විපුල් වැ තෙපලත්. මල නැත්තා වූ (හෙවත් පිරිසුදු වූ) අබරණ පැළැදීමෙන් ඇඟ සුදුසු පර්දි සැරැසිලි කොට ගෙනැ, මහත් වූ ඇඟ කඬින් හෙවත් සිරුරේ ඉහළ කොටස වසා ගන්නා දුහුල් සළුවෙන් එක් අසක් පමණක් පෙනෙනට සිරැර වසා ගෙනැ හෙවත් ඇඟ කඩය උරයක් පළා ලා ගෙනැ, නෙළුම් මල් හා එක් සම වැ පෙනෙන අත් ඔසොවා ලෙළවමින්, තුති ගයන දැනන් වෙසෙසින් එ පිණිසැ බදනා ලද පැසසුම් ගී උස් හඬ නගා පවසති. ‘වැඳි’ යනු තුති පැසැසුම් ගී ගයන්නවුන් (චන්දිභට්ටයන්) හට කියන නමයි. මූ තුමු කලින් සඳහන් කරන ලද මහ කිවිදුන් ගෙන් වෙනස් වෙති. මොවුන් ගයන්නේ මුන් මැ විසින් බඳනා ලද පැදි නො වැ කිවියන් ලා බඳවා ගන්නා ලද විරුදු ඈ පැදියි. එකස් = එක් අස්
156. දි ව ස රවන් ලිය රන් තළි ගෙනැ අතට වි ල ස පැපෑ සිරි විලි ආ වඩන සිට මෙලෙස සව් සිරින් සුසැදුණු සබ මැද ට පි වි ස සෙමෙන් ගොස් බුහුමන් කැරැ වෙත ට
156. දිව සර වන් ලිය රන් තළි අතට ගෙනැ සිරි විලි විලස පැ පෑ සිටැ ආ වඩන, මෙ ලෙස සව් සිරින් සුසැදුණු සබ මැදට පිවිසැ, බුහුමන් කැරැ සෙමෙන් වෙතට ගොස්. දෙව් අසරන් වැනි ගෑනුන් රනින් කළ තැටි අතින් ගෙනැ, මඟුල් සම්මත බෙලි පල සැටි දක්වමින් සිටැ ගෙනැ ආ වැඩිම කරත් ම, මේ (පළමු කී) ආකාරයෙන්, සියලු සැපතින් මනා වැ සැරැසුණු සබා (මඩුව) මැඳට පැමිණි ගරු සැලැකිලි දැක්වීම වනු පිණිස (සිංහාසනය) ළඟට සෙමෙන් සිටැ ගොසින්- ආ වැඩුම් ගී ගැසීමේ දී රන් නළි රිදි නළි තූර්ය හැටිය ගැනීම:- ‘ගණ රන් නිළි රිදී තළී ගනිම්න අතට සිරිතින් ආ වඩා ළද’ ඟන නැවැති විට’ යන්නෙන් අලගියවන්නයෝ ද සඳහන් කරති. දැන් ඒ නළි වෙනුවට ගනු ලබන්නේ පොල් කටු යි. ‘දිව සර’ යන තැනැ ‘සර’ යනු ‘අසර’ යන්න මැයි. අසරෝ (අප්සරාවෝ) නම් රුවින් අඟ පත් දිවි නිළියෝයි. දඹ දිවැ සාහිත්ය්යෙහි ඉතා පසිදු ‘උරුවසිය’ ද අසරකි. ගඳඹුන් (ගන්ධර්වයන්) ගේ අඹුවෝ අසරෝයි. වලා දිය බිඳු සරතියි උනට ‘අප්සර’ යන නම් වේ. ඌ දියට පිය වන්නෝ යි. ‘විලි’ යනු ‘බෙලි’ යන අරුතැ යෙදිණි. විල්ව, බිල්ව යන නම් දෙක මැ සකුයේ එකයි. සිරි කත වසන තැනෙකි බෙලි වනය ද එ:- ‘ලක්ෂ්මී බිල්වවනේ කදම්බ කුසුමේ:- කන්යාං්ගනා කුංජරේ’ ඈ විසින් කියැවිණි.
157. මි තු රු කුලග දුන් රසුදුළ මිණි මිතුරු ස තු රු අඳුරු දුරු කළ සියපත් මිතුරු උ තු රු කරන වරැ පැරැකුම් දෙරණිසුරු රු සි රු සරණ වැඳැ මෙ ලෙසින් කිය මිතුරු 157. මිතුරු, මිතුරු කුල අග දුන්, රස් උඳුළ, මිණි මිතුරු- සතුරු අඳුරු දුරු කළ සියපත් මිතුරු - පැරැකුම් දෙරණිසුරු උතුරු කරන වරැ රුසිරු සරණ වැඳැ මෙ ලෙසින් කීය. යහළුව, සූර්ය වංශය නැමැති ගෙහි තිබන ලද රසින් බබළන මැණික් පහන වැනි වූ (ද), සතුරුන් නැමැති කළුවර දුරු කළා වූ හිර වැනි පරාක්රඳම (බාහු) රජු (රට තොට) පවත් විතාරන විටැ සිතට ප්රිමය වූ ( එ තුමා ගේ) පතුග වැඳැ මෙ අයුරින් පවසව. ‘මිතුරු’ යනු යහළු, පහන, හිරු යන තුන් අරුතෙහි මැ මෙහි යෙදී ඇති. මිතුරු කුලය නම් හිරු ගෙන් පැවැතැ එන කුලය යි. මනු රජු තෙමේ හිරු ගේ පුත් යැ. එ හෙයින් මනු රජු කුලය කුලයෙකි. අග (ආගාරය) නම් ගෙයයි. අග (ගෙය) වැනිනුයි අග නම්. මිතුරු (හිරු) ගෙන් පැවැතැ එන කුලය කුලය කුලයයි මිතුරු කුලය මැ අඝ වූයේ මිතුරුකුල අග යි. සිය ගණන් පත් ඇතියේනුයි නෙණම් මලට සියපත් යන නම් වේ. සියපතට (නෙළුමට) මිතුරු වූයේ සියපත් මිතුරුයි. ඉර එළියට නෙළුම් මල් පිපේ යැයි හිරුට නෙළුම් හි මිතුරා, නෙළුම් හි නූයා යැයි කිවියෝ කියති. රුසිරු යනු මෙහි ‘රූ සිරි’ යන අරුතෙහි නො වැ සිතට ප්රිනය වූ යන ‘රුචිර’ යන අරුතෙහි යෙදිණි. කුලග = කුල අග රසුදුළ = රස් උදුළ දෙරණිසුරු = දෙරණ ඉසුරු 29. අවසර ගෙනැ ගටන්
158. සැ ප තින් දිනිඳු දිනු හිමි සඳ දැන් ඔබ ට ඔ ප තුනු සිරි යුත් පත් තෙනෙ තනතුර ට සි ප සිරි සඳ වැඩි සපුමල් කුමරිඳු ට අ ප යති හිමි අස්නක් දිනි දෙන ලෙසට 158. සැපතින් දන ඉඳු දිනු හිමි සඳ, දැන් ඔබට තෙනෙ තනතුරට පත්, ඔප තුනු සිරි යුත්, සිරි සඳ සිපැ වැඩි සපුමල් කුමරිඳුට දෙන ලෙසට අප යති හිමි අස්නක් දිනි. සම්පතින් හෙවත් ධනයෙන් ධනේශ්වරයා හෙවත් කුවේරයා පැරැදැ වූ ස්වාමීනී, මේ දවස්හි ඔබ ගේ පුත් පදෙවියට පැමිණි, හොබනා ශරිර සම්පතින් යුක්ත, සිරි කත වැලැඳැ ගෙනැ වැඩුණා වූ සපු මල් කුමර තුමාට දෙන්නට යැ කියා අප ගේ ලොකු සාමි දරු කුමා හසුනක් දුන්නේයි.
දනයට අදිපති වූයේ හෙවත් දනයෙන් අදිපති වූයේයි කුවේරයාට ‘දිනිඳු’ යනු තමෙකි. දිනට පතිවූයේයි හිරුට ද දිනිඳු යන නම යෙදේ. මෙහි ‘සැපතින්’ දිනිඳු දිනූ යි කීයෙන් ‘දිනිඳු’ යනු කුවෙරයාට මැ යෙදුණු බව දත හැකි වෙයි. ‘තෙනෙ’ යනු ‘පුතා’ යන අරුත දෙයි. තෙනෙ තනතුරට පත්වී නම් පුතු හැටියට වඩනු ලැබීමට පැමිණීමයි.
දිනිඳු = දන ඉඳු කුමරිඳු = කුමර ඉඳු
159. එ ගෙ නු යන පවන් දැන් එ රදුන් ළඟ ට උගෙ න සැළ කරන මෙන් කීයෙන් මොබට මෙතැන පැමිණියෙමි පවසා මේ ලෙසට රැගෙ න වසර වැඳැ නැෙඟෙමින් නුබ තල ට 159. එ රඳුන් ළඟට එ ගෙනැ යන පවත්, මොබට ළගෙනැ සැළ කරන මෙන් කීයෙන් දැන් මෙ තැන පැමිණියෙමි, මේ ලෙසට පවසා වැඳැ අවසර රැගෙනැ නුබ තලයට නැගෙමින්- ‘ඒ රජුන් වෙතට එය ගෙනැ යන බව මුඹ වහන්සේට සිතට අල්ලන සේ දන්වන්නට කී නිසා මෙ වේලාවේ මේ තැනට ළගා වුයෙම්’යි මේ විදියට කියා (රජු) වැඳැ අවසර ලබා ගෙනැ අහසට නැගී- කලින් ‘සපුමල් කුමරිඳු’ යි කියා දැන් ‘එ රජුන්’ යැයි කීම එ තරම් මැ සුදුසු සේ නො පොන්. රැගෙනවසර = රැගෙනැ අවසර
160. මිතුරු, අකුරු නො හැරැ ඉවුර අසැ පිහිටි වන නටින් බිඟු රැඳුණු මල් පිටින් ළ තුරු උඳුරමින්, වතුරු උතුරුවා අවටින් ඇවිදින් පිරෙන කොන්තනන් තොටින් එ තෙර යා කර. යහළුව, අතරක් හෙවත් ඉඩක් නෑර, ඉවුර අයිනේ පිහිටියා වූ කලෑ පටියෙන්, මී මැස්සන් රැදී සිටිනා මල් පිටින් මැ තුරුණු ගස් උදුර උදුරා ගලා බසුනා දිය දහර ඉවුරු යට කොටැ උතුරමින් හාත් පසින් පිරෙන්නා වූ කොන්තගන් තොටින් එ ගොඩට ගමන් කරන්නැ. රජ ගෙන් නික්මුණු හැටියේ මැ හමු වන්නේ කොන්තගන් තොටයි. එය වාසල් දොර ළඟැ මැ ඇති බව:- ‘දිසි මන කල් වාසල් දොර ඉසිරිපිට සිටැ මඳ කල් සුවිසල් කොන්තගන් තොට’ යන හස් අසුන් පවතින් පළ වෙයි. මෙය දියවන්නා හොයේ වූ තොටෙකි. කැලැණි ගඟින් එන එ හොය ඔස්සේ ගඟට දිය ගලා බැසීම නො වැ ඉන් දිය ගලා ඊම සිදු වන බව ගගේ (හොයේ) නමැන් මැ පළ වෙයි. ඒ හෝ ඉවුරු පිටැ වන පිටියෙකි හෙවත් වන රොදෙකි. එහි ගස් වැඩී ඇත්තේ අතරක් නො දී යැ. එ ගස්හි මල් පිරී ඇති. එ මල් පිටැ මී මැස්සෝ වසා සිටිත්. ඉවුරු යට කොටැ උතුරා අවටින් එන වතුරු කඳේ වෙයින් එ වන රොදේ තුරණු ගස් පවා ඉදිරි යයි. මහලු වැ මුල්හි සවිය අඩු වූ ගස් ගැනැ කියනු කුමට ද? එ තුරුණු රුක් පවා ඉදිරී යන්නේ එ ගස්හි මල් පිටැ වසා සිටිනා මී මැස්සනට ඉගිළීමට ද අවසර කල් නො ලැබෙන පමණ ඉක්මනටයි. එ ගලා එන වතුර පිරෙන්නේ කොන්තගන්තොට සිරියේයි. ‘පෙරව සඳ කිරණ පිපි කුමුදු මල් වටින් ප ර ව තඹර පෙති ගිලි දිය තලා පිටින්’ යැයි සැළ ළහිණි අසුන් කරුවෝ අවට නො වැ තොටේ මැ දිය තලාවේ සැටි කියති. ඉවුරසු = ඉවුරු අසැ පිරෙනවටින් = පිරෙන අවටින් 80 ලැඟුම් (6)
161. ස ර සිය සිය පැරැකුම් නිරිඳු පුවතර න ර හිමි මුතු සේ සත් සේ ද අර තර පෙ ර දිගඟන මුකුරෙව් වත සිසිර කර ව ර මමිතුරු සැතපෙව තුරෙකැ පල බර 161. වර ම මිතුරු, සිසිර කර සරසිය සිය, පුවතර පැරැකුම් නිරිඳු (ගෙ), නර හිමි මුතු සේසත් සේ ද, පෙර දිගු අඟන අරතර මුකුර එව් (ද) වත පල බර තුරෙකැ සැතැපෙව. උතුම් වූ මගේ යහළුව, සඳ, හිරු කුලයේ වූ පසිදු පැරැකුම් රජු ගේ, මහත් වූ, උස් වූ සේසත (හෙවත් සුදු කුඩය) සේ ද, නැගෙන හිර දිග නැමැති ගෑනිය ගේ ඉතා මහත් කැටපත සේ ද වත් මැ, ගෙඩිවලින් බර වූ ගසෙකැ සැතැපුම් ගන්නැ. ‘සර’ යනු නෙළුම් නමෙකි. හිරු දකින්නා හා නෙළුම් පුබුදු වනුයෙන් නෙළුම්හි නෑයායි හිරුට සරසිය යනු නමෙකි. පැරැකුම් රජු හිරු කුලේ වනුයේ හිරු ගේ නෑයායි. එ හෙයිනි එ රජු ‘සරසියසිය’ නම් වනුයේ අලගියවන්නයෝ මේ මැ ‘සියපතසියසිය’ යනුයෙන් සඳහති. ‘අරතර’ යනු ‘ඉතා මහත්’ යන අරුත දෙයි. සිරි රහල් හිමියෝ:- ‘අරතර මෙ ලොවැ වැඩ කිරීමෙන් හෝ කැමැති’ යි ද මෙත් මහා තෙරණුවෝ:- ‘අරතර අවා බිය දෙන පව් මැ කැරැ ලති’ ‘සිතුවොත් බිය කරවන අරතරයේ’යි ද මෙ අරුතෙහි ‘අරතර’ යන්න යොදති. මුකුර නම් මූණ බලන කැටපතයි. දිගඟන = දිගු අඟන මුකුරෙව් = මුකුර එව් 81 කින්මුව්, මහ වැනුම් (6)
162. අ ඹ ර මිණි රැසින් ගණදුරු යත බැහැර ත ඹ ර පුබුදු වන පෙති එකිනෙකින් හැර බ ඹ ර කැලෙහි වැදැ වැදැ තුඩු දෙත නො හැර අ ඔ ර තුරු පිවිසැ යන් පිය පිය පැහැර 162. සිය, අඹර මිණි රැසින් ගණ අඳුරු බැර යත, පෙති එකින් එකින් හැර තඹර පුබුදු වත, බමර කැල නො හැර වැදැ වැදැ එහි තුඩු දෙන, පිය පැහැර අඔරතුරු පිවිසැ යන්. ප්රිුයය (හෙවත් යහළුව), ඉරු රස් නිසා ගණ වූ අඳුරු ඉවත් වැ යත් මැ, පෙති එකින් එක දිග හැරෙමින් නෙළුම් මල් පිපෙත් මැ, බමර (මී මැසි) සමූහයා (එකක්) නෑරැ එහි වැදි වැදී තුඩ ගසත් මැ අත් තටු ගසා අහස් කුසට වැදී යන්නැ. අහසට මැණික යැයි හිරුට අඹර මිණි (නුබ මිණි) යනු නමෙකි. ඟනදුරු = ගණ අඳුරු එකිනෙකින් = එකින් එකින් කැලෙහි = කැල එහි අඔරතුරු = අඹර අතුර
163. ඇල ව ඉපිලිපිලි ගණ විදුලි සෙ එළිය බ ල ව දිවන වරලින් දී දිය රැළිය නිල ව කලෙකැ සිටැ කෙළනා නො හැකිළිය බ ල ව කැලැණි ගඟැ මින් ගණ මස්කෙළිය 163. මින් ගණ කලෙකැ නිලව සිටැ, වරලින් දිය රැළිය දී බල ව ඉපිලැ ඉපිලැ ඇල ව, ගණ විදුලිය සෙ එළිය දිවන, කැලැණි ගඟැ මින් ගණ මස්කෙළිය බලව. මසුන් සමූහයා (මඳ) වේලාවක් සැගී සිටැ, වරල් ගසා දිය රැළි නංවමින් සිරුරට වැර ගෙනැ, මතු වෙමින් ඇලය පැපෑ වැසි වලාවේ විදුලිය සෙයින් එළියේ පෙනී දිවෙන්නා වූ කැලැණි ගඟැ මසුන් සමූහයා ඇති මස්කෙළිය නම් තැන දකු. අයෙක් කැලැණි ගඟැ මස් කෙළින්නා වූ මසුන් ගේ කෙළිය බලවයි කී සේ ‘මින්ගණ’ යනු ‘සොබමන් යැයි යොදා. එහෙත් පැරැණි මැ අසුන් කව වන මියුරු අස්නේ පවා:- ‘තො ද විසිනා බල විසිනා මස්කෙළය’ යැයි එනම් තැනක් ඇති බව සඳහනි.තිසර, සැලළිහිණි, හස් අසුන් කරුවෝ ද එ මැ කියති. මස් කෙළිය නම් තැනැ මසුන් කෙළිනා බව නම් ඇත්තයි. එ තැනට වූයේ එ හෙයිනි. ඉපිලිපිලැ= ඉපිලැ ඉපිලැ
164. කිරණි නුදුළ මිණි කෙත් කැරැළි ලෙළ දදී පැරැණි නො වන හැම සඳ නහවමින් රැඳි තරණි පතට අසල වැ උසැති පා සදි කැලැණි පුරට වදු දිය නා විඩා සිඳී 164. මිණි කොත් කිරණින් ලෙළ දිදි උදුළ, හැම සඳ නහවමින් රැඳි, පැරැණි නොවන, තරණි පතට අසල වැ ඇති පා රැඳි, කැලණි පුරට දිය නා විඩා සිඳී වඳු, මැණික් අල්ලන ලද කොත් කැරැලි කාන්තියෙන් ලෙළ දෙමින් බබළන, සියලු විටැ පිරියමින් පැහැ පත් වෙමින් පැරැණි බවට නොපැමිණෙන, අහසට ළං වැ සිටිනා උස ඇති මහල් සහිත මැඳුරු ඇති කැලණි පුරට දිය නෑමෙන් වෙහෙස සිඳුවා ගත් පසු පිවිසෙන්නැ.
අරුත් වියකත
ඒ කීයේ මස්කෙළියේ දී දිය නා වෙහෙස සිඳුවා ගෙනැ කැලැණිපුරට පිවිසියැයුතු බවයි.
කැලැණිපුරේ උස් වූ මැඳුරු ඇති. ඒ මැඳුරු හිරු යන මගට හෙවත් අහස් තලයට අසල් වන පමණට උස් යැ.එමැඳුරු මතැ කොත් කැරැලි මැණික් සහිතයි. එයින් කැලුම් විහි දේ. ඒ කැලුම් ලෙළ දිදී පවත්නේය. එමැඳුරු නිති පිරියම් ලබයි. එහෙයින් පැරැණි නොවේ.
නොවැ පැරණිය වන රමණිය විටින් විට’ යැයි සිරි රහල් හිමියෝ ද වදාරති.
කිරණිනුදුළ= කිරණින් උදුළ නවහමින්= නවකමින් උසැති= උස ඇති
165. ත ද නිසසර විරුදුන් මන් මන් සිඳැ පසිඳ බැඳ යස දද දිගු දුගු යටගෙහි නිබඳ න ඳ කළ සත සව් සිරි දීමෙන් නොමඳ
165 . තද නිසසර විරිඳුන් මන් සිඳ පසිඳ, යස දද දිගු දිගු යටි අගෙහි බැඳ, සව් සිරි දීමෙන් සත නිබඳ නොමඳ නඳ කළ එහි විබිසණ සුරිඳු සඳ වැඳ අනතුරු- දැඩි වූ සතුරු යකුන් (යකුන් වූ සතුරන්)ගේ උඩගු බව බිඳැ නැති කොටැ දමා කිර්ති පැසසුම් නැමැති කොඩි දිශා නැමැති දික් රිටි අගැ බැන්දා වු , සියලු සැපත් දීමෙන් සතුන් (එනම් නර දනන් ) නිතින් බොහො තුටු කැරැ වු කැලැණි පුරේ විබිසණ දෙව් රජ තුමා වැඳැ එයින් ඉක්බිති- නිසසරහු (නිශාචරයෝ) නම් රැයේහැසිරෙන්නෝ යි. මෙ දිවයිනේ වැසියන් විසින් ‘අමනුඹ්ය යෝ, යක්ෂයෝ, පිශාචකයෝ’ යන නම්වලින් සඳහනු ලබන්නෝ නම් ඌ තුමුයි. ඌ දැඩි කම් කරන්නෝ වෙති. එහෙයිනි ‘තද’ යනු කීයේ. නො එක් ගෙණේ නිසසරන් චතුදු මෙහි එ නිමින් සදහන් වූවෝ නම් රකුසෝයි. මෙ විබීසණ දෙව් තෙමේ රක්සන් ගේ උඩගු බව සිඳැ බැඳැ නැතිකොට දැමුයේයි. කෙසේ? රම් රජුගේ පිල ගෙනැ රකුසන් පරදවා ලීමෙනි. රකුසෝ මහමන් ඇත්තෝයි. ඔවුන් ගේ රජ වු රවුළා (රාවණයා) මහ මන් ඇති රජෙකි. එහෙයිනිඃ- ‘අති ගර්වේණ රාවණා’ යනු කියන්නේ . එ රවුළු තෙමේ මෙ විබිසණ සුරිඳා ගේ දෙටු සෝවුරායි. රාම රජු ගේ සීතා දේවිය මෙහි ගෙනැ ආයෙන් රාවණ රජුට සතුරු වැ රාම තෙමේ යුදට මෙහි වනි. දස වසක් මුළුල්ලේ කැරුණු එ යුදයේ අගැදී මෙ විබිසණ තෙමේ රාම රජුට පිහිටට සිටැ සිය සොහොවුරාසහිත රක්සන් වනසා රාමයාට සීතාව ගෙනැ දිනි. උපතින් රකුසු වූ, සිරි රහල් වදන සේ ඃ- ‘තුන් ලෝ තමා නතු කළ රවුළු සොහොවුරු’ වූ මොහු දෙව් බව ලද්දේ එ සෙයිනි. සුරිඳු වුවද රකුස් රුව ඇති බව මොහුගේ රුව අඹන්නෝ දෙදළින් දක්වති. මොහු ‘සුර’ වූයේ ජාති ද්රෝගහි, ඥාති ද්රෝ හි , කුල ද්රෝ්හි ක්රිෝයායෙන් සුරන් ගේ පැත්ත ගැනීමෙනි. යටගෙහි = යටිඅගෙහි
166. ස ඳ සිළු මලග නොකෙලෙස දිමුතු මුතු රැස බ ඳ පිරියමින් තර සර සෑය මහ උස න ඳ මුනි සහ දුමිදු නරඹා පුරා ඇස න ඳ ඉටු මිතුරු සඳ දියුණුව සිතැ සතො ස
166. ඉටු මිතුරු සඳ, සධ සිළු, මලඟ, කෙලෙස, දිමුතු මුතු රැස නො, පිරියමින් බඳ තර සර මහ උස සෑය නඳ මුනි සහ ඳුමිඳු අය පුරා නරඹා සිතැතොස දියුණු වැ වැඳ- (මගෙ) සිතට කැමැති මිතුරු තුමාණෙනි (හෙවත් උතුම් යහළුව), මහ ඉසුරා යැ, අනංගයා යැ, කෙලෙස් ගිර (කෛලාස කූටය) යැ, දිලිසුම සහිත මුතු රාශිය (වරුව) යැ (යන මොවුන්) වැනි වූ සුනු පිරියම දිමෙන් බදනා ලද, නොසැලෙන ගුණයෙන් යුත්, බොහෝ උස් දා ගබද, පියකරු වූ මුනිඳු හා බෝරුක ද සිතේ සතුට වඩා වැඳැ- මුදුනේ සඳ බඳිනුයෙන් (දළැ අඩ සඳ මඳින.බු.ගු.) මහ ඉසුරාට 'සඳ සිළු’ යන නම යෙදේ. සුදු පැහැ සිරුර ඇත්තෙකි. මේ දා ගබ සුනු පිරියමින් යුත් හෙයින් සුදුයි, මහ ඉසුරා සේ සුදුයි, අනංගයා සේ සුදුයි, කෙලෙස් ගිරි කන්ද සේ සුදුයි. දිලෙන්නා වූ මුතු ගොඩ සේ සුදුයි. එය මහ උසයි.
සිරි රහල් හිමියෝඃ-
දහමුත් දෙසු තැන කළ සැටරියන් කොට’ යන්නෙන්එහි උස හරයටම වදාරති. සකුහයහි ‘න’ යනු ‘වැනි’ යන අරුත ද දෙල. එ සලකා වනැ මෙහි ‘නො’ යි’වැනි’ යන අරුතෙහි යොදන ලද්දේ. මලක = මල් අග දුමිඳු =දුම් (රුක්රජු)
167. ස ඳ කැ න් මිණින් යුතු බිති පා සැදැල්ලේ ස ඳ ව න් වුවන් පෑ කෙළි ලිය මඬුල්ලේ බ ල මි න් මඳක් ඉදැ රන් කොත් කැරැල්ලේ ස තො සි න් පියාසර කර එ මැ ඇසිල්ලේ
167. බිතු සඳකැන් මිණින් යුතු පා සැඳැල්ලේ, සඳවන වුවන් පෑ කෙළි ලිය බලමින් රන් කොත් කැරැල්ලේ මඳක් ඉඳ, එ මැ ඇසිල්ලේ සතොසින් පියාසර කර බිත්ති සද එළියට දිය වැගිරෙන (චන්ද්රන කාන්ත) මැණික් ගලින් බඳනා ලද මැඳුරුවලැසදලු තෙලේ, සඳ වැනි මුහුණු දක්වමින් සෙල්ලම කරන කතුන් සමූහය බලමින් (එහි) රනින් කළ කොත් කැරැල්ල මුඳුනේ මඳ වේලාවක් ඉඳැ එ සැණේ මැ සතුටු සිතින් පියඹා යන්නැ. එ කියේ කැලැණි වෙහෙරේ නොවැ කැලැණි පුරේ මැඳුරු ගැනයි. මඬුලු යනු එළි නිසා ‘මඬුල්ලේ. යි වී. සැඳැල්ලේ = සඳ අලු +ඒ
188. ගගා සුමිණි වෙණ ගෙනැ සිනිඳු තත් නගා රගා සුරඹ ලිය ගී කියන මන රගා මහා මිතුරු තුම ළද බොළඳ කොමළගා ළගා නොවැඳ වැදැ යන් එසදැ සුර මගා
168. මිතුරු තුමා සුමිණි වෙණ ගෙනැ සිනුඳු තන් නගා ගශා, සුරඹ රගා මන රගා ලියගී කියන ළද, බොළඳ කොමළගා මහා ළගා නොවැද එසදැ සුරමග වැද යන්. උතුම් යහළුවාණෙනි, මනා වූ මැණික් වීණාව ඇරැගෙනැ, සිනිඳු වූ තත් නඟමින් වය වයා, දෙව් ලියන් සෙයින් සිතට අලලන ලිය ගී කියන තුරුණු වූ, අහිංසක වූ අඟනුන් බලි ළඟට ගොස් එ විට අහසට වැදී යන්නැ. කැලැණි ගඟ බඩැ නම් නාලියන් මිණි වෙණ ගගා ගී ගයන බව සිරි රහල් හිමියෝසැලළිහිණියට වදාළ හ. මේ අසුන් කරු ගේ කැලැණියපිළිබඳ විතර ඉතා දුඹුල් බවයි පෙනෙන්නේ. සුරඹ= සුර අඹ
169. ව ත් ත ල කුසුම තුගු නැහැ වොරැදි හැම සඳ ව ත් ත ල පල නිමල පියොවුරු බරින් නඳ ව ත් ත ල නළලැ කතසු ලිය ලිය රැඳි නොමඳ ව ත් ත ල සොඳුරු සිරි දැක යන් මඳක් ඉඳ 169. හැම සඳ තල කුසුම වත් තුගු නැහැ වොරැඳි, තලපල වත් නිමල පියොවුරු බරිනි නඳ, තෙසු ලිය නළලැ තලවත් නොමඳ ලිය, වත්තල සොඳුරුසිරි දැක මඳක් ඉඳැ යන්. සියලු කල්හි තල මල් වැනි උස් වූ නැහැය බබළමින් පවත්නා, තල් ගෙඩි වැනි පැහැපත් තන බරින් සිත් පිය කරවන,සෙසු ලියන්ගේ නළල් තලයට තිලක අබරණක් වන් බොහෝ අඟනුන් සිටිනා වත්තල, මනා වූ සුබ පෙනීම දක්වමින් මඳ වේලාවක් (ටිකක් වේලා) ඉඳැ යන්නැ. තල් මල් යැයි කීයේ පුස්කොළ සදහා අතු ගන්නා, මල් පිළිබඳ වරුණ ඉතා පසුඳු තල ගස්හි මල් නොවැ සස් වගක් වූ තල ගස් හිමල්යැ ‘දෙමට තල මල් ලෙස දිගුතුගු ගහන මියුලැස’ යැයි සිරි රහල් හිමියෝ ද නැහැයේ උස් බව යහපත් සේ වදාරති. දිගු බව, උස් බව නැහැයේ පියකරු ගුණයි. තල පල යැයි කියෙ තල් ගෙඩි සඳහැනැ. තල් ඉතා මහත් ද නොවේ, ඉතා කුඩාද නොවේ. තල් ගෙඩියේ දැඩි බව ඉතා පසිඳුයි. තනයේ දැඩි බව අන් සියලු ගුණ පැටි කොට සිටි. ‘යම් ස්ත්රිනයක් දිව්යංකගනාවක සේ යහපත් රූ ඇත්තී නමුත් එසේ වූ ස්ත්රි්ය නඛාග්රදහයෙහි පටන් කේශාග්රයය දක්වාත් .................සැරැහී සිටියා නමුත් ඇගේ තනය මොළොක් වී නම් පුරුෂයන් ඈ කෙරෙහි කරන්නා වූ ස්නේහ සුඟක් තනයේ සේ මැ මොලොක් වන්නේ යැ’යි උම්මග්ග ජාතක කතුවරයෝ පවසති.
‘නිමල’ යන්නෙන් ඹපය සහිත බව ඇඟැවිණි. පිරිසිදුව සියල්සිරුරට පොදු වේ.
‘තෙසු ලිය’ යන්නෙන් අදහස් කරනු ලබන්නේ අනෙක් තන්හි අඟනෝයි.ආදි අඟනෝ තිලක අබරණය මහ ඉහළින් සැලැකූ. එයින් උන්ගේ හොබනා බව වැඩෙන හෙයිනි. මෙ අඟනන් නිසා සෙසු තන්හි අඟනන් ගේ ද නම යනුවෙන් ඌ තුමු මුන් තම නළල් තෙලේ තිලකය කොටැ තකති. වත්තල කැලැණි ගං මෝය අසැ වූ පැරණි තොටමුණෙකි සිංහල රජුන් ගේ බළ සෙන් රැඳි සිටි තැනෙක් ද වෙයි.එහි වනවාස වෙහෙර බිමෙක් ද වූයේයි, දඹදෙණි අවදියේදී.
170. නෙ ත නිල් උපුල් වන් වත පුන් සඳ සේය ර ත ලවනත කෙම් පල බඳු වද සේය වෙ ත එන ලියන් දැකැ දැකැ රන් ලිය සේය සැ ත පෙව මඳක් ඉඳැ මා බෝ වේ සේය
170. වෙත එන, නෙත නිල් උපුල් වන්,වත පුන් පුන් සඳ සේ(ය), රතල වනත බඳුවඳ, කෙම් පලසේ(ය), රන් ලිය සේ(ය) ලියන් දැකැ දැකැ මා බෝවේ සේය. මඳක් ඉඳ සැතපෙව. ළගට එන්නා වූ, ඇස නීල් උපුල් (මානිල්) මල් වැනි,මූණ, පුරා හඳ සේ වූ, රත් පෑ යටි තොල බඳු වද මල්, (ඉඳුණු)කෙම් ගෙඩි සේ, වූ රන් වැල් වැනි ගෑනුන් දකවමින් මාබෝවේ හෙයේ(ඒ දඩේ) ටික වෙලාවක් ඉදූමෙන් සරතස නිවාපන්. ඉතා පසිඳු උපමා යි. මාබෝවේ දැන් මාබෝලේ යි වහරෙහි සඳහන් වේ ‘එහි අදත් හෙයක් ඇත්තෙයි. ඒ මතිනි මීගමු මහ පාර වැටි ඇත්තේ.
171. ම තු වනු නොදැනැ ගුරු එ රහත් හමි තිමිල
සු තු විකලින් බඳනෙහි ලූ වෙනි උණු තෙල
ඇතු සහ නිරිඳු ගෙනැ ගාය මග පොළෝ තල
ඇතු බුන් වළැයි යෙති ඒ දැකු මග අසල
171. මතු වනු නෙදැන, ගුරු , නිමල රහත් තෙර සිතු විකලින් උණු තෙල් බඳනෙහි ලමින් නිරිඳු ඇතු සහ පොලො තල ගෙන ගිය මඟ ඇතු බුන් වළැයි යෙති, මග අසල ඒ දකු. ඉදිරියට සිදුවන විපා නොදැනීම නිසා (තමා ගේ) ගුරුවු. පිවිතුරු එරහත් තැන, සිතේ පෙරැළීමෙන් හෙවත් පිස්සුවෙන් උණුවන්නා වූ තෙල් සැළියේ ලීම නිසා රජු ඇතුද සමඟින් පොළෝතලයට ඇදැ ගෙනැ ගිය උමං පාරට ඇතු බුන් වළ යනු කියති. පාර අයිනේ ඇති එය දකිනු. කැලණියේ තිස්ස රජු ඇතු ද සමඟින් පොළෝ තලයේ ඇතුළතට කිදා බට බව ඇත්තයි. එරජු එ සෙයින් බිම ගගතවූයේ තම හට ගුරු වූ රහත් තෙර නම කැකෑරෙන උණුතෙල් සැළියෙකැ1 ලාමැරිම නිසා යැයි බණ දහම ඇදුරෝ යෙති. නි රි ඳුන් කැලැණි තිස් නිවැරැදි රහත් තැන සැකයෙන් ලැවු අණු තෙල් සැළ තුබූ තැන
යැයි මෙ පුවත සිරි රහල් හිමියෝ ද සඳහන් කොටැ වදාරති.
ලක රද ඉසුරු ලද-දද කැලැණිතිස් මහ රද යු ව ර ද වරද තතු ලෙසැ නො දැනැ පිරිසිමහදේ නි ව ර ද වරද යතිඳුට වරද කළ සරිදේ කිපියෙන් සුරන් සිත්- සිඳු එත වෙරළ පැනැ ගෙනැ නිසා මෙ ලක සෙත ඒ මුහුද පැහැ මැවූ දිසා පිළිම හිමි දැකැ සක් දෙවිඳු මැවූ යැයි ගිරා අසුන් කරුවෝ ද මෙ සඳහති. මුව සිව රජු ගේ පුුත් උත්තිය රජු ගේ පුතුන් දෙදෙනා ගෙන් (කැලැණි) තිස් තෙමේ කැලැණි රට රක්මින් සිටියැ දී වුසුයේ කැලැණි පුරේයි. එ රජු හා සිටි ඔහු මල් උත්තිය තෙමේ රජ මෙහෙසන හා වරදවා විසීමෙන්,එබව දත්, දෙටු සොහොවුරු රජුට බියෙන් පෑලෑ ගොසින් මුහුදු බඩ උත්තිය දනවූයේ විසී. රජ මෙහෙසනට හසුන් පතක් යවනු රිසි වූ හෙ තෙමේ මිනිසකු මහණ වෙස් ගන්වා ඔහු අතේ එ යැවි. එ මහණ වෙස් ගත් සොරා රජ ගෙට දනට වඩනා සඟ වැළ අන්තයේ පෙනී ගමන් කෙටැ දන් බත් බිඳැ පෙරළා එන ගමන් මොහෙසන ළගැ හසුන් පත හෙළී. රජ තෙමේ එ ගෙන කියැවා බලා කොවින් උමතු වූයේ එය දනට වඩනා සඟ වැළේ මුල් තන් ගන්නා, තම හට ගුරු වූ රහත් තෙර නම ගේ යැයි සිතා එ තෙර නම කැකෑරෙන තෙල් සැළෙකැ ලා නස්වා මළ සිරුර මුහුදට දැමැවි. ඉක්බිති, රට යට කොටැ මුහුද ගලා ආයෙන් ඒ තම කිරියායෙන් සිත කිපුණ දෙවියන් සන් හිඳුවනට සිය දුව බිලි පඬුරක් හැටියට මුහුදු යැවී. ඕ තොමෝ රුහුණේ කාවන්තිස් රජුට අයත් මූදු වෙරළ අසලට පාවී එ රජුට මෙහෙසී වූ. මූදු දිය බැසැ ගිය පසු ඉන් යට වැ පැවතී මතු වූ පියෙස් බලන්නට ඇතු පිටින් ගිය රජ තෙමේ පොළෝ තුලට ඇතු පිටින්ම කිදා බැස්සේයි. ආගම දහම වගා කරන්නෝ එ රජු බැස්සේ නිරයට යැයි කියති. කොහි බැස්සත් ඒ බට තැන මෙතෙක් පළ වැ පැවැති බව මෙ අසුන් කරු ගේ කීමෙන් පළ වෙයි. රහත් තෙර නම සත් දිනක් එ කැකෑරෙන තෙල් සැළේ මතු පිටැ සක්මන් කෙරෙමින් සිටැ තම හට ඒ විඳිනට සිදු වූයේ පෙර අත් බැවෙකැ ගොපලු දරු වැ කිරි උණු කරමින් සිටියැදී කිරි ඇතිළියේ වැටුණු මැස්සකු ඉවතට නොදැම්මේ අකුසල නිසා යැයි දුටු විගසේ පිරිනිවුණා හයි යෙති පැවිදි දනෝ. තෙල් බඳනේ සකමන් කරන ගමන් එ රහතුන් වදාළ හ යි පළ ‘තේලකටාහ ගාථා’ නම් වූ පැදි රැසෙක් ද වෙයි.
‘ලංකිස්සරෝ ජයතු වාරණරාජගාමි භෝගින්ද භෝගම්ඛිලායතපිනබාහු සාධුපවාරනිරතෝ ගුණසන්නිවාසෝ ධම්මේ ඨිතෝ විගත කෝධමදාවලේපෝ’ යනු එහි මුල් ගාථාවයි. ‘රන්ත්වා පුරේ වවිධථුල්ලලනාකුලේසු දේවාපි නන්දන වනේ සුරසුන්දරීහි තේ වේකදා චිත්තකණ්ට කසංකමේසු භෝ කෝටිසිම්බලිවනේසු ඵුසන්ති දුක්ඛං’ යනු එහි මැද සරියේ ගාථාවෙකි. එ ගාථාවන් සලකා බැලීමේදී නම් පෙනී යන්නේ ඒවා කැලැණි තිස් අවදියේ නොවැ පොලොන්නරු අවදියෙනුත් මෙපිටැ මගද බසින්බැඳී ඇති බවයි. රහත්හු තම රහසිනුදු පව් නොකරන පුදට නිසු වූ උතුමෝයි. කැලැණි තිස් රජුට එ රහත් බව නො සිඟි වූ සැටිය. ‘එ රහත් තෙර’ යන තැතැ ‘එ’ යනු ‘පසිදු’ අරුතෙහි වේ. රහත්හු පියෙවියෙන් මැ ‘නිමල’උතුමෝයි. එ හෙයින් මෙහි ‘නිමල’ යන වෙසෙසුන යෙදිමෙන් අරුතට වැඩෙක් නැත්තේයි.
172. ත රි ඳු කිරණ කිරණව රළ පෙළ තුල්ල
සි නි ඳු සිහිල් මළුතුළ පළ සුදු වැල්ල
වි හි දු කුසුම් සුවඳැති තුරු සෙවණැල්ල
න ම දු වෙහෙර මහ වත වෙතැ රිළවුල්ලී
172. තරිඳු කිරණ, කිරි අණව රළ පෙළ තුල්ල, සිනුඳු, සිහින්, පළ සුදු වැල්ල අතුළ, සුවඳ විහිඳු කුසුම් තුරු සෙවණැල්ල ඇති මළු ( යුත්), මහවක වෙතැ රිළවුල්ල වෙහෙර නමුඳු. සඳ කැන් යැ කිරි මුහුදේ ර ල වැලයැ යන මේ බඳු, සිනිඳු වු , සිහිල් ගුණයෙන් යුතු වූ කැපීපෙනෙන සුදු වැලි අතුරන ලද, සුවඳ පතුරුවා ලන මල් ගස් සෙවණැලි ඇති මිදුල් සහිත වූ , මහ මඟ අසැ රිළවුල්ලේ වෙහෙරට නැමැදීම කර. කිරණව= කිරි අණව මළු තුළ=මළු ඇතුළ සුවඳැති= සුවඳ ඇති
173. ඉ ඟ සුඟ සිහින්මොළොකත් මල්දම් සැටිය
ර ඟ අඟවන අඟනන් තන හෙම් තැටිය
ග ඟ ළගැ සුසැදි මල් බර සල් රම් යටිය
ම ග මග අසලැ සිරිසර වැලිගම්පිටිය
173.සිහින් ඉඟ සුඟ, මල් දම් සැටි (ය) මොළොක් අත්, හෙම්තැටි(ය)රග අගවන තන අගනන්, මල්බර සල් යටිය.රම් ගග ළඟ සුසැදි, සිරිසර, මග අසල වැලිගම්පිටිය මග.
ඉති සිහින් ඉඟ (ඇති) මල් මාලා වැනි මොළොක් අත් (ඇති), රන්තැටි විලස අගවන්නා වූ තන (ඇතිඅඟනන්මලින් බර වූ සල් අතු නිසා රම්යැ වූ ගඟ අයිනේ මනා වැසැරැසි සිටිනා, සිරින් සරු වු, මං බඩැ ඇති වැලිගම්පිටිය බලව.
වැලිගම් පිටිය මග අසැ ඇත්තේයි. එය සැපතින් සරු වූ ගමෙකි. ඒ අස ග ඟෙක් ද වෙයි. එගඟ මලින් බරවූ සල් අතුනිසා රම්ය්යි. එ ගඟ ළගැ අඟනෝ මනා වැසැඳි සිටිති.ඔවුන්ගේ තන (ඔප මට්ටමින්) රන් තැටි අයුරුයි. අත්මල් මාලා සෙයින් මොළොක් වේ. ඉඟ ඉතා සිහින්යැ.
‘ඉඟ සුඟ ‘ යනු ‘සිහින් ඉඟ’ යන අරුත දේ. සිහින් ඉග සුභැයි කී කලැ සිහින් මැ සිහින් ඉඟ යන අරුත ගත යුතු වෙයි.
‘හෙම තැටිය කීවාට වැඩියෙන් හෙම් තැටිය යැයි කීවා නම් සුදුසු සේ පෙනේ. එහෙත්:-
‘රන් තැටි අයරු තුගු පින් පියයුරු උදුල’
යැයි සිරි රහල් හිමියන් ද වදාරනුයෙන් මේ වෙනස් නොකළ යුතු වේ. එයින් ඇඟැවෙන්නේ පියෝවුරේ ‘ඔප මට’ බව මිසැ’ හැඩහුරු කම නො වේ.
මල් බර සල් යටි ඇති තැනැ සිටීම අඟනන් හට වෙස් විලස් පැමට ද ඉඩසැලසෙන්නෙකි. ‘ යලි මල් කැන් නව සල් යටි සිඳින ලෙසින් කර මුල් සැටි පැ දුටුවන් වන ලෙසැ අටි යව බලමින් අඟනන් සිටි’ යි වදාරති සිරි රහල් හිමියෝ.
174. රැ ඳි ඉවුරස පුල් නාමල් වෙළපතුර
බැ ඳි නිල් වරල ගෙනැ හැර හැර කළපතුර
ඇ ඳි සළු සමඟැ ලිය පැනැ පැනැ කළපතුර
කි ඳි ගොඩ හොය කෙළෙනු සතොස ළපතුර
174. නිල් වරලැ බැඳි, පතුර කළ හර ගෙනැ ඉවුර අසැ රැඳි මල් පුල් නා වෙළෙප් අතුර පැන පැනැ ලිය කිඳිගොඩ හොයැ කෙළිනු දැකැ ළ සතොස පතුර.
නිල් පැහැ වරලේ බඳිනා ලද, දිග හළ මුතු වැළ ගෙනැ, ඉවුර අයිනේ මල් පිපි ඇති නා අතු අතරේ රඳවා, ඇඳි සළු පිටින් කළු වන් දිය තුළට පනිමින් අඟනන් කිඳි ගොඩ හොයේ කෙළිනවා බලා සිතෙහි සතුට පතුරුව.
කිඳි ගොඩ හොයේ දොඹ හෙමින් ( හෙවත්අට හලු වැනි උස් තන් නැඟි දියට පනිමින්) අඟනෝ දිය කෙළිති. උන් දියට පීනීමට නගිනේ හෝ ඉවුර අයිනේ පිහිටි නා ගස් හි අතු උඩටයි. එ නා අතු පිපුණු මලින්සැරහි ඇති. ලියන් ගේ වරල් සුනිල් යැ. එහි මුතු දම්බැඳැ ඇති. මුතු දම් අගිනා දැයයි. එ දැය දියේ සැඟි නැති වුවොත් ඒ පාඩුවෙකි. එහෙයින් දියට පනිනා ලියෝ මුතු වැළ උනා දිග හැරැ නා ඇත්තේ රඳවා ඇඳි සළු පිටින් මැ දියට පනිති. කළපුව අසල් හෙයින් එහි දියංකළුයි.
ඉවුරසැ= ඉවුර ඇසැ වෙළපතුර= වෙළෙප් අතුරැ කළපතුර= කළ අප අතුරැ කිඳිගොඩ හොයට දැන් කියන්නේ ‘දඬුගම් ඔය’ යන නමයි. එහි මුල් කොටසයි අත්තනගලු ඔය . දී ඇල්ලේ ඔය එහි අත්තෙකි. උතුරු දකුණු අලුත්කූරු දෙ රට වෙන් වන්නේ දඬුගම් ඔයිනි.
175 ලෙ සි නේ සෙමෙර පෙළ මලවල තළානේ
රි සි නේ ළපලු බිඳැ කන මුව රළානේ
තොසි නේ මෙහැම දුටු දන මන වෙළානේ
ගොසි නේ නරඹ සිරි බෝනාවළානේ
175. සෙමර පෙළ ලෙසිනේ මල් අවල තළා ‘වනේ, රිසිනේ ළ පලු බිඳැ කන මුව රළානේ, මෙ හැම දුටු දන මන වෙළානේ, ගොසිනේ බෝනාවළානේ සිරි නරඹ.
වල් විදුනා (චාමර) පෙළ සෙයින් මල් ගැවසි තළා වනය යැ, (එහි) දොළින් හෙවත් ආසාවෙන් ළා දළු කඩා බුදිනා මුව රළන් යැ යන මේ දුටු දනන් ගේ සිත සතුටින් වෙළයි. ගමන් කොටැ (එ ‘අයුරැ’) බෝනාවළානේ හැටි බලව.
තළානේ = තළා වනය
ලෙසිනේ= ලෙසින්
රළානේ= රළන් යැ
වෙළානේ = වෙළා
ගොසිනේ= ගොසින්
පළමු වැන්න හැර සෙසු සියල්ල එළි බලයෙන් සිදු යි. බෝනාවළාන දැන් බෝලවළාන යන නමින් පසිදු යි.
176. නෑරැමුවේ පිය ලිය කියන රස කොට
ගිළමුවේ පුරමින් සවන කැරැ තුට
බාගමුවේ වන් ගොදුරට ලොබ නො කොට
මීගමුවේ ගෙ මුවෝ සිටිති හැම විට
176. මුවේ නෑර පිය ලිය රස කොට කියන ගී ළමුවේ පුරමින් සවන’තුට කැරැ බාග බුවේ වන් ගොදුරට ලොබ නො කොටැ හැම විටැ මීගමුවේ ගෙමුවෝ සිටිති. කටින් නෑරැ (හෙවත් කටට අවසරයක් නො දී) ප්රිුය වු ගෑනුන් රස කරමින් කියන්නා වූ, ගී සිත යොමු කරමින් එහි පුරා කන සතුට කොටැ, අඩක් කට ඇතුළට වැදුණු ගොදුරට ආසා නොකරමින් සියලු විටැ මීගමුවේ හීලෑ මුවෝ සිටිත්. මීගමුවේ පියකරු ලියෝ සිටිති. ඌ තුමු රස කොටැ කොටැ ගී ගයති. පුරා ගත් ගීය කටින් නෑරැ ඌ ගැයීම කරති. එහි නිවෙස්හි වඩනු ලබන මුවෝ ගොදුරු ගන්මින් සිටිත්. එ ගි පුරා අස අසා, බාගයක් කට ඇතුළේ වූ ගොදුර ගැනවත් සිත යොමු නොකොටැ එය කටේ ඇති වැ මැ සිටිති. මුවේ = මුවය 32. ලැගුම්(7)
177 පැ ළ පෙර ගිර දෙ රද දකිනෙව් ඔවුනොවුන
දු ළ දිනමිණි සඳ කිරුළින් සිය මුඳුන
ක ළ සුලකුළ ඒ නරඹා නොවැ ගමන
කොළ තුරැ තුරැ වැදැ නිදි ගන් රතනුවන
177. රතුනුවන, පැළ පෙර ගිරි දෙ රද ඔවුනොවුන් දකිනා එව් දුළ දිනමිණි සඳ කිරුළින් සිය මුඳුන සුලකළ කල එ නරඹා ගමනැ නොවැ තුරැ කොළ අතුරැ වැදැ නිදි ගන්. කොවුල, අවර (ගිර) පෙර ගිර යන රජුන් දෙදෙන ඔවුන් ඔවුන් දක්නට (සැරැහී) දිලිසෙන්නා වූ හිර යැ, සඳ යැ යන වොටුනින් තම තමන්ගේ හිස් මුඳුන මනා සේ සැරැහු විටැ එ බලා ගමනේ නො යෙදී ගසෙකැ කොළ අතරට වැදි නිදා ගත්තැ. රත් වූ ඇස් ඇතියෙන් රතනුවන යනු කොවුලාට නම් විණි. සවසැ ඉර පැළ ගිර හෙවත් අවර ගිර මුඳුනේ දිලේ, සඳ පෙර ගිර හෙවත් උදාගිර මුඳුනේ දිලෙයි. අවර ගිරත් උදා ගිරත් රජවරු දෙදෙනෙක් නම් එ දෙක මුඳුනේ දිලෙන හිරත් සඳත් එ රජුන් හිස් මුඳුනේ පැළැදි බබළන වොටුනුයි. ඔවුන් වොටුන් දර සැරැහුණේ උන් උන් හමු වී දක්නා සඳහා යි. ඒ කීයේ එ දා සවසැ ඉර ගල වීමත් සඳ නැගීමත් එක විටැ සිදු වූ බවයි. කව් සමය සලති එ එසේ කිවද එ අයුරක් වියැ හැක්කේ පසළොස්වක් පෝයදාට පමණයි. දකිනෙව් = දකිනා එව් කොළතුරැ= කොළ අතුරැ 33. නික්මුම් (7)
178. දි ලු ණු නිසා කල තුරු මල් කළු වරල මැ ලු ණු වර හැළි පැළ සිඳු යහන් තල ඇ ලු ණු නෙතෙහි නිදි දැහැ වැදැ ගුවන් තල කු ලු ණු දියණු නුඹ යන් රැව් දිදී ගල
178. නිසා කල කළු වරලැ දිලුණු තුරු මල් පැළ සිඳු යහන් තලැ හැලි මැලුණු වරැ නෙතෙයි ඇලුණු නිදි දැහැ ගුවන් තල වැදැ කුලුණු දියුණු නුඹ ගල රැව් දදී යන්. රැය නැමැති අඟන ගේ අඳුර නැමැති කෙස් කලබේ බැබලුණු තාරකා නැමැති මල් බට හිරි සයුර නැමැති ඇඳ මත්තේ හැළි මැලැවුණු (හෙවත් පරවු) විටැ ඇසෙහි බැඳුණු නිදි බර දුරු කොටැ, අහසට වැදී කරුණාව වැඩුණු සිත ඇති කණ්ඨ රාවය දෙමින් යන්නැ. ගල රැව් නම් උගුරින් නික්මෙන රාවයයි. ඒ අකුරින් සදහන් නොකොටැ හැකි. රැය අඟනක වන අඳුර ඇගේ වරලයි. තරු එ වරලේ ගවසන ලද කුසුම් යැ. පැළ දිගැ මූද ඇගේ ඇදයි. පැළ පසින් එළිය පිරිහුණු තරු බැසැ යන්නට පටන් ගැන්ම ඇඳ මත්තේ වැටුණු මල් පරවීම බඳුයි.
34. මඟ වැනුම (7) 179. තෝ ප් පු වෙ සනහා- මඟ දෙ පසැ වන විල්හි තෝ ප් පු ව නම් පියෙසින්- යා ගන් නිවී සැනැහී
179. මග දෙපසැ තෝපුපුව විල්හි වන සනහා නිවි සැනැහි තෝප්පුව යාගන්. පාර දෙපැත්තේ කැලැ රොදේ විල්හි දිය නහා නිවි සැනසිල්ලේ තෝප්පුව නම් පෙදෙසින් යා ගන්නැ. ‘තෝප්පු’ යනු ‘රුක් අරඹ’ යන අරුත් ඇති දෙමළ වදනෙකි. ‘වන විල්හි’ යන තැනැ ‘වන’ යන් ‘දිය’ යන අරුත දෙයි. ‘සිලිල්, පා, අමා පැන්, නි, අඹුස්, දිය, දල, අඹ, තෝ, වන, පැන වස , රස, අප, අඹු ( නැවතැ)2 යි රුවන් මලෙහි එයි.
180. පා න ව බට මුවඟන නෙත් පිළිරුවට
මා න ව මින් ළැඟි රැවැටෙන සමහමට
මා න ව හොය එතෙරවැ සෙද බැසැ මගට
පා න ව යා කර මමිතුර සිතු ලෙසට
180. ම මිතුර, බට මුව අඟන නෙත් පිළිරුව මානව සමහමට ළැගි මින් රැවටෙන මානව හොයින් එතෙර වැ, පානවැ සෙද මගට බැසැ සිතු ලෙසට යා කර, මගේ යහළුව, පවසින් (දිය බීමට) බැස්සා වූ මුව දෙනුන් ගේ ඇස්හි පිළි රූ දැකැ තමන් හා සමාන බැවින් සමාගමයට ළං වී මසුන් රැවැටෙන මානව හොයින් එ ගොඩ වී, පහන් වැ හෙවත් සිතේ පැහැදීම ඇති කොටැ ගෙනැ වහා මඟට බසිමින් සිත් නියා ගමන් කරන්නැ. මානව හොය දැන් ‘මා ඔය’ යනුවෙන් පළ වැ පවත්නේයි. මුවඟන =මුව අඟන
181. සී රා ලෙසින් උල් තියුණග තුඟු අඟිනි
සා රා දෙරණ පස් සියලඟෙහි ඉසිමිනි
සූ රා මහත් කොටැ පිළිමල්න දකිමිනි
මා රා විලැ සිටිති වත මිවු මෙ ලෙසිනි
181. පිළිමල්න දකිමින් මහත් කොටැ සුරා, තියුණු අග සිරා ලෙසින් උල් තුඟු අඟින් දෙරණ සාරා පස් සියල් අඟෙහි ඉසිමින් මෙලෙසින් වන මිවු මාරාවිලෙහි සිටිති. පොර වදින්නවුන් වන විරුදු පැසැ වන්නවුන් දැකැ දැඩි සේ කුර බිම ඇදැ, මැදීමෙන් මුවහත් වු අග දැති තුඩ සෙයින් උල් වු උස් වු අඟින් බිම හාරා පස් ඇඟ පුරා ඉසැ ඉසැ, මේ අයුරින් වල් මී ගොන්නු මාරාවිලේ සිටිත්. සිරා නම් උල් කටු යි. උල් දැති සහිත මන්නය ( අවිය) සීරා මන්නය නමි එයට අපි හිරමනය යන නම කියමු. එය තෙළඟු දෙමළ වදනෙකි. තියුණග = තිහුණු අග (තිහීම නම් මැදීමයි.) මිවු = මීහු
182. ක න ත පැමිණි අඳුනැදි යුග නෙත් පෙටිය
සු න ත දෙබැම යුග තන ගන රන් තැටිය
තනෙ න සිත සතුටු කරවන ලිය සිටිය
ව නත බැර අතත සිරි පිරි නිකපිටිය
182. කනත පැමිණි, අඳුන් ඇඳි යුග නෙත් පෙටි (ය), සුනත දෙ බැම, යුග තන ගන රන් තැටි(ය) තනෙත සිත සතුටු කරවන ලිය සිටිය අනත සිරි පිරි නිකපිටිය වනත බැරි. කන කෙළවරට පැමිණියා වු, අඳුන් අඳිනා ලද දෑස පෙටියන් වැනි වූ, බැම දෙක මනා වැ නැමී සිටිනා, දෙතන ගන රන් තැටි වැනි වු, ත ගේ ඇසත් සිතත් සතුටු කරවන ගෑනුන් සිටියා වූ, කෙළවරක් නැති සැපතින් පිරුණු නිකපිටිය වනත් හොත් (ඒ) බැරියි. කන කෙළවරට පැමිණි නෙත් යැයි කීමෙන් ඇස් දිගටි බව පැවසිණි. ලියන්ගේ ඇස් දික් වූ පමණට එහි රුව වැඩි වේ. දික් වූ ඇස් ඇති යෙනි, ලියනට දිගු ඇසි (දිගැසි) යන නම. වැලිගම්පිටියේ ගෑනුන් ගේ තන ද රන් තැටි අයුරු බව පැවැසිනි. දෙතැනැ මැ උපමාව ඇදී ආයේ එළි දෙ වැට නිසා බව පෙනේ. ‘ලිය සිටිනා’ යන්න වෙනුවට ‘ලිය සිටිය’ යනු යෙදූ සේ හොබනේ නො වෙයි. එ ද එළි දෙ වැට නිසා සිදු වූ වෙකි. ‘නිකපිටිය’ යන්න වෙනුවට තින පිටිය යනු ද කිසි පිටපතෙකැ දක්නා ලැබේ. කනත = කන අත අඳුනැඳි = අඳුන් ඇඳි
183. ක ලා සපිරි සඳ සේ සස ලපින් යුත
නි ලා තිබෙන දෙ නුවන සමඟ වුවනත
දු ලා සිටින රන් ලිය වන් ලිය අනත
ස ලා වතට වැදැ දැකැ යන් ලෙසට සිත
183. නිලා තිබෙන දෙනුවන සමඟ වුවනත සස ලපින් යුත කලා සපිරි සඳ සේ දුලා සිටින රන් ලිය වන් අනත ලිය, සලාවතට වැද සිත් සේ දැකැ යන්.
නිල් පෑයෙන් ඇති දෑස සහිත මූණ සා ලපයෙන් යුත් වූ ( සොළොස් ) කලා සම්පූර්ණ වැ ඇති සඳ මෙන් දිලි සිටිනා, රන් වැල් බඳු අපමණ ගෑනුන්, හලාවතට වැදී සිතේ හැටියට බලා යන්නැ.
ඉතා පළ උපමා මෙහි දක්නා ලැබේ
184. ම නා ලෙසට තරඟින් රැගෙනැ වෙලළසේ ව නා තිබෙන තැනැ තැනැ දිමුතු මුතු රැසේ උ නා නොහැර අත විඳැ සිඳු ලිය පහසේ සි නා ගතෙව් නි රද තොසිනි නොකමසේ 184. තරගින් රැගෙනැ වෙලළ අසේ තැන තැනැ මනා ලෙසට වනා තිබෙන මුතු රැසේ, අත උනා නො හැරැ සිඳු ලිය පහසේ විදැ නි රද නො කමසේ තොසිනි සිතා ගත් එව්. රළින් ඇරැගෙනැ වෙරළ අයිනේ තන්හි තන්හි සුදුසු පරිද්දෙන් විසුරුවා තිබෙන මුතු සමූහය, අත මුදා හරින්නේ නැතිවැ නදිය නැමැති ළද ගේ පහස විදැ මහත් වූ හෙවත් අතිශය සතොසින් මුහුද සිතාගත් වැනි. සලාවත වෙරළ අයිනේ රළින් ගෙනැ දැමූ, විසිතුරට තැන තැනැ විසුරුණු මුතු රැස් ඇති. එ මුතු දෙස බැලුවා ම පෙනෙන්නේ මූද සිනා සෙන්නා මෙනි. ඇයි මූද සිනා සෙන්නේ? මහත් සතුටට පත්වීමෙනි. ඇයි ඒ මහ සතුට? ගඟ නැමැති ගෑනිය අතින් අලලා ගත් වන මැ අත නුමුදා ඇගේ පහස විඳීම නිසා යි. ‘සිඳු’ යනු මෙහි ‘නදි, අරුතෙහි යෙදී ඇති . සිඳු ලිය නම් ගඟ නැමැති අඟනයි. ( ඒ කීයේ දැදුරු ඔයයි.) ‘නී’ යනු නදියට නමි. නී රද නදින් ගේ රජයි, එනම් මූදයි. රැස, පහස, යනු රැසේ, පහසේ යි වූයේ එළි නිසා යි. වෙලළසේ= වෙලළ අසේ ගතෙව් = ගත් එව් 35. ලැගුම (8) ( මඟ වැනුමේ’දී සදහන් වූ තන් ටික වුවත් ගමන් කළ දුර බැහැර මඳ නුවු බව පළ වෙයි මේ ලැගුමෙන්.)
185. පැ ළ දිගු වෙනුර සරහන කොතබු මිණ ලෙසින් ද ළ රිවි බිඹු බබළත වෙසෙස සහ රසින් ද ළ සඳ පිහිටි මුන්නේ සරඹ දැකැ තොසින් ලෙ ළ තුගු තුරෙකැ වැදැ සැතැපෙන්නැ සිතු ලෙසින්
185. දළ රිවි බිඹු පැළ දිගු වෙන් උර සරහන කොතබු මිණ ලෙසින් වෙසෙස සහරසින් බබළන දළ සඳ පිහිටි මුන්නේසරම තොසින් දැකැ, ලෙළ තුඟු තුරෙකැ වැදැ සිතු ලෙසින් සැතැපෙන්නැ. පිරිහුණු තෙද ඇති හෙවත් තෙදැස අඩු වූ හිරු මඩල බටහිර දිග නැමැති වෙනු (විෂුණු ) හු ගේ උර බිත සරසන්නා වූ කොතබු මැණික සෙයින් (එයට) වෙසෙස් වූ රස් සහිත වැ බබළන කලට, මහ ඉසුරු දෙවියා පිහිටුවා ඇති මුන්නේසරම් දෙවොල තුටින් දක්වමින් ලෙළෙන්නා වූ, උස් ගසෙකැ වැදි සිතේ හැටියට සැතැවපෙන්නැ. ‘දළ රිවි’ යන තැනැ ‘දළ’ යනු ‘ජඩ’ යන්න මැයි. ප්රඅතාපය හෙවත් තැවීම කරන දැඩිය පිරිහුණු යනු යි එයින් ඇඟැවෙන්නේ ‘සහරසින්’ යනු ‘රස් සහිත වැ’ යන අරුත දේ. වෙසෙස ‘සහ රසින්’ යැයි කීයේ එයට මැ අරුණු රස් සහිත වැ යනු ඇඟැවීමටයි. කොතබු මිණට වෙසෙස් වූ රස් නම් තද ලේ (සුරත්) කැල්ම යැ. බස්නා හිරු ගේ ද දක්නට බැබෙන්නේ සුරත් කැල්ම යැ. ‘පතසන් අවර ගිරි නැටියෙන් වැටෙන කල විලිකුන් සුරත් පල වැනි වේ රිවි මඬල’ යනු
සිරි රහල් හිමියෝ වදාරති. ඒ පියුමරා මිණි පැහැය යි. කෞස්තුභාඛ්යිමභූත් රතනං පද්මරාගෝ මහොදධො තස්මිං හරිඃ ස්පාහාං චක්රෝ් වක්ෂෝ ලංකරණේ මණෞ, (කොතබු නම් මිණොක් - පියුමරාවෙක් සයුරින් නැංගේයි. තම ලැම සරහන ඒ මිණි රුවනට වෙනු තෙමේ රිසි වී) යි භාගවත පුරාණ කරුවෝ කියති. මෙය කිරි මුහුද ඇලැළිමේ දී නැගුණ බවඃ- ‘ලක්ෂ්මිඃ කෞස්තුභපාරිජාතකසුරා ධන්වන්තරිශ්චන්ර්වඃ මඃ’ ඈ විසින් කිරි සයුර ඇළැලීමේ දී පැනැ නැඟුණු දැය සඳහන් කරන්නෝ කියති. ‘කොතබු ගලැ පහස වෙහෙසුණු සිරි වෙනුරැ වැස’ යනුවෙන් සිරි රහල් හිමියෝ වෙනු උරේ කොතබු ගල ඇති සේ දුටහ. සුනිල් වූ පැළ දිගැ අහස වෙනු ගේ උර තලය සේද, එ මැදැ ලේ පැහැයෙන් දිලෙන අවර හිරු එ උර මඬල මැදැ කොතබු මිණ සේ දමෙ කවියා දිටි. ‘දැළ සඳ, යන තැනැ ‘දළ’ නම් ජටාවයි. ජටාව මුඳුනේ (නව) සඳ බැඳැ ඇත්තේ යි මහ ඉසුරු දෙවියාට ‘දළ සඳ’ යනු පැවසේ. මහ ඉසුරා ගේ හන පිහිටුවා ඇති දෙවොලෙකි මුන්නේස්සරම. වෙනුර= වෙන් උර 36. නැගුම (8)
186. යොන් පැළ දිගු දැළැ රැඳි මෙන් තලා ටික
ව න පැළ සිදු මතැ කෙළිනා සදිව් සක
මි න් පිරිවර සමඟ වැ ගිය සඳැ සසක
ය න් ම සබඳ සෙද නැඟි තුරගින් නිසැක
186. ම සබඳ පැළ දිඟු යොන් දළ රැඳි තලා ටික වෙන්, පැළ සිඳු මතැ කෙළිනා සඳිව් සක වන් සසක මින් පිරිවර සමග වැ ගිය සඳැ තුරඟින් සෙද නැගි නිසැක යන්. මගේ යහළුව, බටහිර පැත්ත නැමැති තරුණ ළදගේ නළලේ රැඳුණා වූ ‘තිලක බින සේ වූ ද, බට හිර පැත්තේ මූද මතු පිටැ කෙළින්නා වූ පණ ඇති සක් බෙල්ලා වැනි වූද සඳ තාරකා පිරිවර සමගින් ගිය කල්හි ගස මුඳුනින් වහා නැඟි සැක නැතිවැ යන්නැ. බටහිර පැත්තේ තුරුණු ලියක් නම් අවරට නැමුණු සඳ ඇගේ නළලේ රැඳුණු තිලක තිතයි. එ සඳ බටහිර මූද මතැ පෙනෙන්නේ කෙළින්නා වූ පණ ඇති සක් බෙල්ලකු මෙනි. අහසේ සඳ නිසල වැ පෙනෙතත් රළ නගිනා බස්නා රළ ඇති මුහුද මතැ එ පෙනෙන්නේ සැලෙන සේ යි. ‘තරු’ යන අරුත් ඇති ‘මින්’ යන්න දෙමළ ඇසිරින් දත් සැටියි.
37මඟ වැනුම (8) (වනයක්)
187. සිය ඹර ඬෙබර මොර- කළුහර මුහුළු සිඳුවර පැසුණු රස දෙළුඹාන මහදඹාන හැසුණු කනකරඹාන බඹරඹාන නව නලිය වැලැඳි -පුවඟු පුවඟු දු රෑරග දු නු කේ සලළ ලෙ ළා න මල් සළා න වැනුකේ යුවළ කොළාන තල් තළා න
පල බර පර රුකීය මහ රුකීය සල මඳ නල වැකීය නො වැළැකීය පුල වන සිරි මෙකීය එකි නෙකීය බල ස පුරා සකීය තෝ සකීය
187. සකීය, සියඹර, ෙඬෙබර, මොර, කළුහර, මුහුළු, සිඳුවර, පැසුණු රස දෙළුඹාන, මහ දඹාන, ගැසුණු කනක රඹාන, බඹර, අඹාන, නව නාලිය, වැලැඳි පුවඟු ද රෑ රඟ, ලෙළාන මල් සළාන දුනුකේ, යුවළ කොළාන, තල් තළාන, පල බර පර රුකීය, මහ රුකීය, මෙ කිය මඳ නල වැකිය එකි නෙකීය නොවැළකීය සලපුල වන සිරි සකිය සපුරා තෝ බල. (එළි විකාර හළ කැල පෙළ) සකි, සියඹර, ෙඬෙබර, මොර, කළුහර, මුහුළු, සුඳුවර,(පල) පැසුණු රස දෙළුඹ, මහ දඹ, හැසුණු කනක රඹ, බඹර, අඹ, නව නාලිය වැලැඳි පුවඟු, පුවඟුද, රෑ රඟ, ලෙළ මල් සළා දුනුකේ, සලළා, වැනුකේ, යුවළ කොළ, තල්, තළා, පල බර පර රුක්, මහරුක්(යන) මෙකී, මඳ මඳ නලවැකි එකින් එක නොවැළකැ සල, පුල් වන සිරි යක් පුරා තෝ බල. යහළුව, සියඹලා, මසන්, මොර , කළුවර, මූණමල් ,නික, (ගෙඩි) ඉඳුණා වු රස දෙළුම්, මාදම්, තරවැ එකටයා වූ රත් කෙසෙල්, කෑල, අඹ, අලුත් බුලත් වැල් බැදු පුවක්, ගස් රුක් ද, ඕෂධි, ලෙළ දෙන්නා වු මල් සුළි ඇති දුනුකේ, වනුක්, කොබලීල, තල්, තළා, පල නිසා බර වූ (ගොඩ, දිය හොඬ) පර ගස්, පොල් ගස්, (යන) මේ කියු, මද සුළඟ ගැටී එකින් එක වළැකීමක් නැති වැ සැලෙන(මල්) පිපුණු වනයේ හැටි ඇස් පුරා තෝ බලව. එකිනෙකීය= එකින් එකිය.
188. නි ල ල කස කෑල ගිරි නිල් ලියනගල පු ල ල කුසුම බිගු සහ ගළ පුළිනතල දු ල ල හිවි සහලගර හළු දුමිනවල වෙල්ල වල වෙනැති සැටි සකි තො දැකැ පල
188. සකි තෝ, බිඟු සහ ගල, නිල්( ල) කස, කැල, ගිරිනිල්, ලියනඟල පුල්(ල) කුසුම සහල අහර, හළු, දුමින් අවල හිවි පුළින දුල් (ල) වෙල්ලවල වෙනැ ඇති සැටි දැකැ පල. යහළුව තෝ මී මැස්සන් සහිත වැ ගැලැ වී වැටුණු නිල් පැහැ කොර කස, එරබඳු, ගිනිහිරියා, නියඟලා, යන පිපුණු මල් මැ වූ දැඩි ගිනි අඟුරු අළු දුම් යන මෙයින් ගැවසි, උස් වූ වැලි තල බබලන වෙල්ලවල නම් වු වනයේ ඇති සැටි දක්වමින් ගමන් කරව.
189. පෙම් පෙන්නා කුවෙණී සරි විජයි ඳුට
බි ම් දුන්නා ලක හිමි කැරැ සප ත කොට
උ ම් දෙන්නා වැසැ උන් නුවර ඉදි කොට
ත ම් මැන්නා අඩවිය දැකැ යන් එ පිට
189. කුවෙණි සිරි විජයඳුට පෙම් පෙන්නා සපත කොටැ ලක හිමි කැරැ බිම් දුන්නා. උන් දෙන්නා නුවර ඉදි කොටැ වැසැ උන් තම්මැන්නා අඩවිය දැකැ එපිට යන්. කුවෙණි සිරිමත් රජුට ඇල්ම දක්වා, ( ඔවුනොවුන් වෙන් නොවන සේ) දිවුරුම් ඇති කොටැ ලක්දිව හිමි වන සේ බිම දුන්නා යැ. උන් දෙන්නා නුවර ඉදි කොටැ ගෙනැ වසමින් කල් ගෙවු තම්මැන්නා පියෙස දැකැ ඉන් ඔබ්බෙහි යව. ‘උන් දෙන්නා’ යනු පෙළෙහි ‘ උම්දෙන්නා ’ යි වූයේ එළි වැට නිසායි. දැන් මිනිස්සු පුත්තළමෙන් ඔබ්බෙහි උතුරු පැත්තේ තම්මැන්නා අටවියක් දකිති. එහෙත් කොවුල් අසුන් කරු ගේ තම්මැන්නා අටවිය පුත්තළමෙන් මොබැ දකුණු පැත්තෙන් වේ. යට ගියාව පිළිබඳ බිම් දැන්මේ කොවුල් අසුන් කරු ගේ වෙසෙස් බව ‘ඇතු බුන් වළ’ සඳහනින් මැ පළ වෙයි.එ හෙයින් ඇදැහිය යුත්තේ කොවුල් අසුන් කරු ගේ බසයි. කුවේණිය තම්මැන්නා පියෙසේ වුසු යක් රැසේ කුමරියකි. ඕ තොමෝ ලාට දෙසින් පැමිණි විජය කුමරු සහිත පිරිසට රැඳුම් බිම් දී සැලැකිලි දැක් වූ. විජය තෙමේ ඇය බිය ගන්වා, බියට පත් ඇය විසින් සිය සැමියා හැටියට පිළිගනු ලැබී. තමා අත් නො හරිනා සේ දිවුරුම් දීමට විජය කුමරුනමා ගත් ඕ තොමෝ සිය නෑයන් වනසා ලක් දිව අත් කොටැ ගන්නට මං පායාදුන්නා යැ. අත්කොටැ ගත් විජය තෙමේ තම්මැන්නා නුවර ඉදි කොටැ ගෙනැ කුවේණිය හා එහි විසී. ඇය ඔහුට දා කොටැ දරු දෙදෙනෙකු වැදු පසු හෙ කතමේ දෙසින් කැත් කුමරියක ගෙන්වා මෙහෙසිනිය කොටැ අබිසෙස් ලබන රිසින් ඇයත් දරු දෙන්නාත් බැහැර කැරැ වි. පෙරළා නෑයන් වෙතට ගිය කුවෙණි තොමෝ ඇය ඔත්තු බැලීමට වන්හයි සැකයට පත් එකකු විසින් දෙන ලද පහරක් වැදී මළා. දරු දෙදෙන වනගත වූ.
190. ලොබඳ වඩා රා බී මත් කත්තළම
ස බ ඳ පතුරුවා දෙන රඟ අත්තළම
ස බ ඳ බලා සිටැ තුටු කරැ නෙත්තළම
නු බ ඳ පමා නොවැ වැදැ යන් පුත්තළම
190.සබඳ, පුත්තළම වැදැ, අද ලොබ වඩා රා බී මත් කත් තළම අත් තළම සබඳ පතුරුවා දෙන රඟ බලා සිටැ ත නෙත් ළම තුටු කැරැ නුඹඳ පමා නොවැ යන්.
යහළුව, පුත්තළමට වැදී (එහි) සිතේ ආසාව වැඩීම නිසා රා බි මත් වූ ගෑනුන් ගොල්ල අත් තාළම් හඩ පතුරුවමින් කරන්නා වූ රැඟුම් බලා සිටැ ත ගේ ඇසුත් සිතක් සතුටට පමුණුවා, එහි බැඳීමෙන් පමා නොවී යන්නැ.
පුත්තළමේ ලියන් ගොල්ල ගිජු වැ (තල්) රා බී මත් වෙති. වෙරි මතේ රැඟුම් දෙති, රැඟුමෙහි උපයෝග කොටැ ගන්නේ අත් තල එකට ගැසීමෙන් දෙන තාළම් ශබ්දය මැයි. ඒ රැඟුම්යි මේ බලා සිටැ යන්නට කීයේ.
‘තළම්’ යනු දෙමළෙහි ‘ගොල්ල’ යන අරුත දෙන වදනෙකි.
පුත් අළම් (පුත්තලම්) යනු ‘ අලුත් ලේවා’ යන අරැත දෙයි.
191. දෙ ව් සිරි සර දිසි වන රන් පරප්පුව
කො ව් ලඟනක සමග වැ වැසැ සරප්පුව
එ ව් මීරස බිදැ අඹ තරප්පුව
ස ව් සැපතින් යුතු දකු පොන්පරප්පුව
191. දෙව් සිරිසර දිසි වන (අ) රන් පරප්පුව කොවුල් අඟනක සහ වැසැ සරප්පුව මී රස එව් මී අඹ බිඳැ තරප්පු ව සව් සැපතින් යුතු පොන්පරප්පුව දකු. වැසි වලායේ අයුරු පිඩු වැ පෙනෙන වන පියෙසේ කෙවිලියක හා එක්ව වැසැ , ගමන් කොටැ, මි (පැණි) රසය වැනි වූ රස ඇති මී අඹ බිදීමෙන් පිනා ගොස් සියලු සැපතින් යුතු පොන් පරප්පුව බලව. පුත්තළමෙන් ඔබ්බේ වන පියෙසෙකි. එය පෙනේනනේ වැසි වලාවෙකැ සැටියෙන් සරු වැයි. එහි දී කෙවිලියක හා සමාම් සුව විදැ ගොස් මී බඳු රස ඇති මි අඹ බිදිමෙන් සෑහීමට පැමිණැ ගොස් සියලු සැපත් ඇති පොන්පරප්පුව දක්නටයි ඒ කීයේ. ‘රන්’ යනු ‘වන’ අරුත දෙන අරණ සදින් වූසය්යි. සැලලිහිණි අස්නේ ‘දිනමිණ’ යනු ‘දින් මින්’ යැයි වූ සේ මෙහි ‘අරණ’ යනු ‘අරන්’ යැයි සිඳුවැ මුල’කුරු ලොප් වීමෙන් ‘රන්’ යැයි විණි. මදු රදුන් රන් යා දී වෙසතුරු තනන් දිනී, යන තැන ද රන් යනු අරණ සදින් වූයේ යි. ‘පරප්පු’ යනු ‘පියෙස’ යන අරුත දෙන දෙමළ වදනෙකි. ‘සරප්පු’ යනු ගමන් අරුතෙහි ‘ඍප්ත යන්නෙන් ද , ‘තරප්පු’ යනු ‘තෘප්ත’ යන අරුත දෙයි. ‘පොන් යනු දෙමෙලළහි ‘රන්’ යන අරුත දෙයි. 38ලැඟුම (9) (මුන්නේස්සරමෙන් නික්මුණු කොවුලාට ‘වෙල්ලවල, තම්මැන්නා අටවිය, පුත්තළම, පොන් පරප්පුව යන සතර තැන පසු කළ ඉක්බිති ලැගුම් ගන්නට සිදු වේ. පසුකළ තැන් මඳ වුව ද ගෙවන ලද මඟ දුර වු හෙයිනි.)
192. ලෙ ළ සිවි රැස වලා වැළ තරගින් ගැවසි
ක ළ පුරඳුරු කැළලිඳුවර පඳුර දිසි
කෙ ළ නා සරා හස එව් වත සුපුන් සිසි
වෙ ළ පතුරෙකැ වැදැ නිදි ගන්න සෙද නිසි
192. ලෙළ සිවි, වලා වැළ තරහින් ගැවසි, පුරඳුරු කළ කැළල ඉඳුවර පඳුර දිසි කෙළනා හස සරා එව් සුපුන් සිසි වත සෙද නිසි වෙළප අතුරෙකැ වැදැ නිදි ගන්නැ. ලෙළ දෙන්නා වූ කැල්ම නැමැති දිය (ලෙළෙන) වලා පෙළ නැමැති රළින් ගැවසුණු වූ , සුරිදා විසින්කරන ලද ලපය නැමැති මා නිල් මල් රැස පෙනෙන හංසයා කෙළනා විල මෙන් සපිරි සඳ සැදෙන විටැ වහා සුදුසු වූ අතු අතරකට වැදී සැදෙන විටැ වහා සුදුසු වූ අතු අතරකට වැදී නිදා ගන්නැ. මෙහි විල හැටියට සඳහන ලද්දේ සඳ සහිත අහසයි. සුරිඳු කළ කැළල නම් සා ලපයයි. විලට අහසිනුත් සඳිනුත් උපමාන කොටස් ගන්නට යාම නිසා පබඳ දුබල වී ඇති. කැළලිඳුවර = කැළල ඉඳුවර
39 නැඟුම(9)
193. පෙ ර ගිර ලෙණින් බාසුරු බාසුරු කෙසර
ක ර කර කෙසුරු පොලමින් පිටත් එන වර
දු ර දුර පලනු ගනඳුරු පිනිපා එතර
හැ ර නිදි මිතුර බලමින් යෙහෙනි යා කර
193. මිතුර, පෙර ගිරි ලෙණින් බාසුරු කෙසර බාසුරු කර කර කෙසර පොලමින් පිටත එන වරැ එතර ගන අඳුරු පිනිපා දුර දුර පළනු බලමින් නිදි හැරැ යෙහෙනි යා කර. යහළුව, උදය පවුව නැමැති ගුහායෙන් තෙද වත් වූ කේශර සිංහයා දැඩි වූ රස් නැමැති කෙසරු සලා විදහා බැහැරට එන විටැ ගන වූ අඳුර නැමැති මහ අලියා ඈතින් ඈතට පැලැ යනු බලි නින්ද දුරු කොටැ සුවසේ ගමන් කරන්නැ. පිනිපා යනු නැවැතැ බොන්නේ නුයි ඇතාට නමි. පළමු වැ හොඬ වැළට දිය ගැන්ම එක් වරක් බිමෙකි.සොඩින් කටට ගෙනැ බිම පෙරළා (නැවත) බීමයි. 40. මඟ වැනුම් (9)
194. වනළ කැලුම් දසනග ලවනත හමුව
සියු මැලුතුම් රන් ලිය වැනි ලිය සුමුව
වෙතැ සැතැ පෙම් කැරැ සිටිනා සලෙළ මුව
දැකු මන රම් මුවදොරගම තො ද යොමුව
194. දසන් අග කැලුම් ලවනත හමුව වතළ, සියුමැලි, උතුම්, රන්ලිය වැනි ලිය සුමුව වෙතැ සිතැ පෙම් කැරැ සලෙළ මුව සිටිනා මනරම් මුවදොර ගම තො ද යොමු වැ දකු. දත් අගින් නික්මෙන කාන්තිය තොල් හමු වීමෙන් හෙවත් තොලේ ගැටීමෙන් වැතුරුණා වූ (=දත් අගැ රසින් බිඳුණු තොල් කැලුම් යුත්) මොළොක් සිනිඳු සිරුර ඇති උතුම් වු, රන් වැල් බඳු අඟනන් ගේ සොමි වූ මුහුණට සිතේ ඇල්ම ඇති කොටැ සලෙළ දන රැස් සිටිනා, සිත් අලවන මෝදර ගම තෝත් ඉදිරියෙන් සිටැ බලව. දසනග = දසන්අග සියුමැලිතුම්= සියුමැලි උතුමු ‘සලෙළ මුව’ යන තැනැ ‘මුව’ යනු ‘සමූහයා’ යන අරුත දෙයි. ‘බලා සිරිගන එ කලැ සඟ මුව’ යැයි ‘ සංඝ සමූහයා’ සදහා සිරි රහල් හිමියෝ වදාරති.
195. ස ස ලිය තරඟ පෙළ කෙළෙනා දියාසර අ ස ලිය දිමුතු මුතු සක් පිරි දියාසර බැ ස ලිය පැනැ තරන දැකැ කැරැ පියාසර මු ස ලිය මුව දොරින් සකි කර පියාසර
195. සකි සසලිය ( සසල) තරග පෙළැ දියාසර කෙළෙනා, දියාසර(අසලැ) දිමුතු මුතු සක් පිරි, පැනැ බැසැ තරන ලිය දැකැ පිය අසර කැර මුයලිය මුව දොරින් පියාසර කර. යහළුව, සැසලෙන්නා වූ හෙවත් වෙවුලන්නා වූ රළ පෙළේ දිය ඇසුරු සතුන් (මසුන්, මුහුදු ළිහිණි ආදීන්) කෙළින්නා වූ, ළගැමැ දිය ඇසුරේ දිලුම් සහිත මුතු සක් බෙලි කට පිරී ඇති, පනිමින් බැසැ එ ගොඩ මෙ ගොඩ යන එන ගෑනුන් දක්මින් පිය වු සිරිත් දක්වා මුසලිය මෝදරින් පියාඹන්නැ. ‘සසලිය අසලිය’ යනු එළි විකාරයි. දියාසර= දිය අසර ( ජලචර, ජලාශ්රි ත) පියාසර= පිය අසර (පිය ආචාර)
41. ලැඟුම්(10) (පළමු ලැගි තැනින් නැගී ගොස් පසු කෙළේ මෝදර ගම, මුසලිය මෝදර යන දෙ තැන පමණයි. එ හා මැ ආයේ ද ලැගුමෙකි. එ තන් අතරේ මග ඉතා දිගු හෙයිනි.)
196. පැ ළ දිගගන පට වැටියෙහි අවරැදුරු
ලෙ ළ දිගතින් ලු රිවි පහනින් සොඳුරු
දු ළ ත නකති පති ගන සිරිනි ගනඳුරු
වෙළ විවැ ගොස් සැතපෙව සකි තුරු මැඳුරු
196. සකි, පැළ දිගු අඟන අවර ඇඳුරු පට වැටියෙහි, ලෙළ දිගු අතින් ලූ සොඳුරු රිවි පහතින් නකති පත දුළත ගන අඳුරු ගන සිරිනි වෙළ වැ තුරු මුඳුරු ගොසින් සැතපෙව.
යහළුව, බට හිර දිග නැමැති ගෑනිය අපර පර්වතය නැමැති රෙදි තිර වැටියේ, ලෙළෙන්නා වූ දිගු නැමැති අතින් දැල් වූ මනා වූ පහනින් අහස දිලෙත් දි මැ ගන අඳුරු වූ (=තද කළු)වැහි වලාවක් සේ රුක් මැදුරට ලහියේ ගොස් නිදා ගනුව.
‘පහත’ යනු ‘එළිය’ යන අරුත දෙයි. දැන් උවසරින් (උපචාරයෙන්) පහන් තැටිල්ලට පහන යන නම ද තිරයට නම් එ නම ද, පහනට පහන් සිළුව, පහන් දැල්ල යනු ද කියනු ඇසේ. මෙහි රෙදි කඩින් අඹරන ලද වැටිය හැටියට අවර ගිරද; තරු යන මග යැයි අහසට නමෙකි ‘නකතිපති’ යනු.
දිගඟන= දිගු අඟන
අවරැඳුරු= අවර ඇදුරු
දිගතින්= දිගු අතින්
ගනඳුරු= ගන අඳුරු
42. නැඟුම්(10)
197. එක් අත් ලෙසෙක් සක්වා වනැ රැ වෙනතට
රුක් අත් අගින් පැනැවන ගිය මා වතට
දික් අත් දිනිඳු අලු කළ පත සිකි නතට
නික් මෙත් මැනවි නෙතැ නිදි හැරැ මිතුරු තට
197. එක් අත් ලෙසැ එක් සක්වාවන් වෙන් අතට ඇරැ මා වන රුක් අත් අගින් පැනැ අතට ගිය, දික් අත් දිනිඳු අලු කළ, සිකි නතට පත, මිතුර තට නෙතැ නිදි හැර නික්මෙත් මැනැවි.
එක ආත්මය (එක දිවි) ත් ෙස එක් වූ සක්වාවන් (වෙන් කොටැ) වෙන වෙන අතට යවා, සඳ වනයේ ගස් අතු අගින් පැනැ අවරට ගියාම, හිරු දිගු අත් (දිගාන්තයන්) එළි කළාම, මොනරුන් නැටීමට පැමිණියා ම යහළුව ඔබට(ත්) ඇසේ නිදි (ගැට) හැරැ පිටත් වන එක හොඳයි. මේ පැදියේ මුල් පිය (පාදය) පෙළේඃ- එක් අත් ලෙසෙක් සක්වා වතැරැ වෙන’ යැයි විය යුතු. ලෙසෙක් =ලෙසැ එක් සක්වාවනැරැ= වෙන අතට (සක්වාවෝ ද විල් ළිහිණින් සෙයින් කඩ ඇසුරේ වෙසෙත්.) ‘සක්වා ළිහිණි තන සැදි විල් ලිහිණි මෙවුලින්’ යැයි කව් සේකරයේ කියැවුණ් එහෙයිනි.) 43 මඟ වැනුම(10)
198. පෑ ර රළ සිලිලැ මතු වෙමිනි එක ලෙස
මෝර රළ උනුන් ගතැ වැදැ වැදැ සරෝස
නෑ ර කෙළැ කරන කොලහල හැම දවස
මෝර වළ එ සිරි නරඹ යන් සියැස
198. රළ පැරැ සිලිලැ එක ලෙසැ මතු වෙමිනි මෝර රළ සරොසැ උන් උන් ගතැ වැදැ වැදැ, නෑර ඇම දවස නොවැළකැ කෙළැ කොලහල කරන මෝරවළ එ සිරි සිය ඇසැ දැකැ යන්.
රළට (වරලින්) පහරදී දියේ මතු පිටට පැමිණෙමින් හෙවත් ඉල්පෙමින් මෝර සමූහයා රෝස සහිත වැ හෙවත් කිපුම් සහිත වැ උන් ගේ ඇගේ හැපී, සියලු දා(එ සෙයින් කිරීම) නොනවත්වා, වැළැක්මක් නැතිවැ එ කෙළියේ යෙදී හඬ නැඟීම ඇති කරන මෝරවළ නම් තැනැ එ සැටිය තමා ගේ ඇසින් දැකැ යන්නැ.
උනුන්= උන්උන්
199. මුතු බෙල්ලන් තරහින් විසිරි වෙරළස සිතුලොල්ලන් මුතු අවුළන නොවී ලස ළඳ ගොල්ලන් රූ දැකැ වෙමිනි සහ තොස නොපැකිල්ලන් මමිතුරු සඳිනි එ විගස
199. ම මිතුරු සඳිනි, තරඟින් මුතු බෙල්ලන් විසිරි වෙරළ අසැ, ලඝ නොවී සිතු ලොල්ලන් මුතු අවුළන ළඳ ගොල්ලන රූ දැකැ සහතොස් වෙමිනි එ විගසැ නොපැකිල්ලන් මගේ මිතුරු තුමාණෙනි, රළින් මුතු බෙල්ලන් විසිරි ඇති වැල්ල අයිනේ නො පමා වෙමින් සිතේ ආසාවෙන් මුතු ඇහිඳින්නා වූ ගෑනු සමූහයන් ගේ රුව දැක්මෙන් සතුටු සහගත වෙමින් එ වහා පැකිලීමක් නැතිවැ-
200. පෙන්නා රමට අඟනන් සැරැසී සිටිය
සන්නා රමට වැදැ තල් පොල් සල් යටිය
දුන්නා රමට එන සතුටින් දිවැ පැටිය
මන්නා රමට වැදැ නරඹන් සිතු සැටිය
200. සැරැසී තල්, පොල්, සල් යටිය සන්න අරමට වැද සිටිය අඟනන් රමට පෙන්නනා දුනු ආරමට සතුටින් දිවැ එන පැටිය මන්නාරමට වැඳැ සිතු සැටිය නරඹන්. (ප්රි.ය යන් හා එක් වන්නට) සැදි පැහැදි තල්, පොල් , සල් රුක් කඳින් මුවා වැ (ආවරණ සැලැසී) පවත්නා (රුක්) අරඹට වැදී සිටියා වූ අඟනන් ප්රිකයයන් හට පෙන්නා දුනු කෙළිය පිණිසැ සතොසින් දිවැ එන්නා වූ කොල්ලන් මන්නාරමට වැදි සිතේ හැටියට බලන්නැ. සෙසු අසුන් කව්හි දක්නට නොලැබෙන, ඉති සැබැවි වැනුමෙකි. සන්නාරමට = සන්න අරමට (සන්න= ජන්න) දුන්නාරමට=දුනු අරමට ‘මණනාරම්’ යනු මුතු බිම යන අරුත් ඇති දෙමළ වදනෙකි. මෙ අවට මුහුදේ ගල් පර මුතු බෙල්ලන් ගෙන් ගැවසියේ වෙයි.