කෝකිල සන්දේශය-ඇඳින්නීම

Wikibooks වෙතින්

දැන්නීම[සංස්කරණය]

පැරණි සන්නයක් සහිත වූවද කොවුල් අස්න මාතර පඬිවරයන් අගේ අවදියෙන් පසු වෙසෙසින් භාවිත නුවූයෙන් ලියන්නන් අතින් වූ වරදින් ගහන වැ පවත්නේ වෙයි. වාසල මුදලි (W.F) ගුණවර්ධන පඬි තුමා විසින් බොහෝ වෙහෙස දරා වරෙකැ මේ පොත ‍පළ කරන් ලද්දේ යැ. එයින් එවකට බොහෝ වැඩ සිදුවියැ. එහෙත් සිය බස පාරලිමේන්තු වැදී‍මේ හිණක් බවට පත්වීම නිසාත්, ඉංගිරිසියෙන් අමුතු සිංහලයක් මැවීමට දඟලන රට සිංහල පඬුවන් ගේ ‘ශකාරි’ ප්රිතිපත්ති නිසාත් සිය බස සීඝ්රර වැ පිරිහීමට පත්වේ. ගෙනැ යන මේ අවදියට වාසල මුදලි තුමාගේ සැකැස්ම ප්රසමාණ නො වනුයෙන්ද, ශ්රී’ ලංකා ප්රයකාශක සමාගමය කොවුල් අස්නේ වියකනක් පළ කිරීමට කැමැත්ත දැක්වූයෙන්ද, පොතින් ඉක්මනට වැඩ ගත හැකි වන පරිදි විභාග කරන ලද වදන් වැළක් සහිත වැ මේ වියකත පිළියෙළ කරන්නට යෙදුණේ යි.

රැ. තන්නකෝන්

1962.02.03



ඇඳින්නීම[සංස්කරණය]

කොවුල් අස්න (කෝකිල සන්දේශය) අද අපට ඇති පැරැණි අසුන් කවි අටින් එකෙකි. වයසේ හැටියට නම් එයට ලැබෙන්නේ පස වන තැනයි. මියුරු අස්න හෙවත් මයුර සන්දේශය යැ, තිසර ස්න හෙවත් තිසර සන්දේශය යැ, පරෙවි අසන් හෙවත් කලරැවු සන්දේශය යැ, සැල ළිහිණි අස්න හෙවත් සැළ ළිහිණි සන්දේශය යැ යන අසුන් කව් සතරට ඉක්බිති වැ යැ මේ අසුන් කව රසයා ඇත්තේ. මියුරු, තිසර, පරෙවි යන අසුන් කවි සපුමල් කුමරු යාපා පටන් යන්නට පෙරැ කරන ලද හෙයින් එ පොත් කොවුල් අස්නට වැඩි මහලු බවට පැනයෙක් පැනැ නො නගී. සිරි (සවන) පැරැකුම්බා රජුට පන්තිස් (ක්රිර:ව: 1440 හෝ 1450) වැන්නේදී යි සැල ළිහිණි අස්න කරන ලද්දේ. එ රජුට සිවු තිස් වැන්නේදී යි යාපා පටුන ගැන්ම සිදු වුයේ. ඒ නිසා කොවුල් අස්න සැල ළිහිණි අස්නට පළමු කරන්නට ඇති යි යමකු හට සිතෙන්නට ඉඩ ඇති.

යාපා පටුන් රට නතු කිරීමට ගිය සපුමල් කුමරු එ දෙස ගෙනැ සටන් විත්තිය මහ රජුට සැළ කොටැ සිටිනු පිණිසැ පෙරළා ජයද්දන පුරට පැමිණෙමින් සිටිත් දී යි සැල ළිහිණි අස්න පබඳ කරන ලද්දේ. එ‍ හෙයිනි, කැලැණි යන සැල ලිහිණියාට ජයවද්දන පුරට රන සපුමල් කුමරු අතර මගැ දී හමු වන බව:-


නි ල තුරඟුට නැගෙමින් රිවි දෙව සිරිත

දු ල කැරු සේසත් මිණි බරණ කිරණිත

බ ල පිරිසෙන් සහ යාපා පටුන් ගෙන

බ ල සේනා නායක සපු කුමරු එනැ’ යැයි


සඳහන් කරන ලද්දේ.


යාපා පටුන් රට ගත් පවත් හා සටන් විත්තිය ද අසා තුටු සිරි පැරුකුම්බා රජ, යළිඳු දෙමළුන් පෙරැළියට නැගී සිටි හෙයින් එ පෙරැළිද මැඩැ යාපා පටුනේ මැ රැඳි එ රට රක්නා පිණිසැ සපුමල් කුමරා එහි යැවී. එ කුමරැ එහි ගොස් රජ සිරිත් එ රට රක්මින් සිටියැ දි යි කොවුල් අස්න රසයන ලද්දේ. එ හෙයිනි නො එක් තැන ‘රජ’ යන නමිනුත් එ කුමරැ සඳහන් වන්නේ.


අපේ අසුන් කවි අතුරින් දිග මැ එක මේ කොවුල් අස්නයි. එයට කරුණු වූයේ අස්න පැවැසීමට යා යුතු තැන ඉතා දුරෙහි පිහිටීමයි.

‘සස්නක් ලොවක් රක්නා රජකුට පවර

අස්නක් රැගෙනැ යන ගමනෙකි දුරු කතර’ යැයි


අසුන් කරුවා කල් ඇති වැ මැ දූතයාට පවසයි. අස්න ගෙනැ නික්මෙන්නේ දෙවිනුවරිනි. ගමන කෙළවර වන්නේ යාපා පටුනේදීයි. එ‍ හෙයින් දූතයාට ලක් දීමේ දකුණු මැ කෙළවරේ සිටැ උතුරැ මැ කෙළවර කිට්වුවට යන්නට සිදුවේ. ලක්දිවේ උතුරු මැ කෙළවර ගාංගේසන් (කන්කසන්) තුරය වේ. යාපා පටුනේ සිටැ එ තැනට ඒ හැටි දුර නොවේ. (දොළොස් මයිලයෙකි.) දූතයා ගෙවන්නේ පැළ සමුදුරු මගයි. එය මුළු මනින් මැ ගෙවා අවසන් කරන්නට ඔහුට සිදුවේ. අතර මගැදී ජයවද්දන පුරට ගොස් මහ රජුට ගමන සැළ කොටැ අවසර ගෙනැ යන්නට ඇතියෙන් මොරටු එළියේදී පැළ සමුදුරු මගින් ගොඩ අතර හැරී ජයවද්දන පුරට ගොස් රජුට ගමනේ පවත් දන්වා වර ලැබැ ගොස් ආයේද වත්තලදී, පැළ සමුදුරු මගට දූතයා බසී. වත්තලින් ඔබ්බේ දී ඌ ගමන් කෙළේ කෙළින් මැ පැළ සමුදුරු මග ඔස්සේයි.


අසුන් කරුවා දූතයා ගමන් කැරැවූයේ එවකට මිනිසුන් යාම් ඊම් කළ මඟ ඔස්සේ මැයි. එහෙයින් මෙ අසුන් කව සෝදිසි ඇති වැ කියවන්නවුනට කොවුල් අසුන් කරු ගේ අවදියේ ලක් දිවේ පැළ පසැ පියෙස් පැවැත්තේ කවර අයුරින් ද යනු දන්නට හැකි වෙයි. ජයවද්දන පුර අවදියේ පැදි පබඳ කරුවන්ගේ රැසැයුම් කියවන විටැ දෙ ගොඩෙකැ කිවියන් සිටි බවෙක් පෙනී යයි. එක් ගොඩෙකැ කිවියෝ දඹ දිවේ ඇදුරන්ගේ රැසැසුම් ගුරු කමට ගනිමින්, බොහෝ විටැ එ රැසැයුම්හි අරුත් ඇද හෙළමින් මහ විසිතුරට පබඳ කළහ. ඔවුන් ගේ රැසැයුම්හි හෙළමින් මහ විසිතුරට පබඳ කළහ. ඔවුන්ගේ රැසැයුම්හි ඔපයත් ලකරත් මඳිසි නො කියන්නට ඇතත් සැබැවියාව ඉතා හීනයි. අනෙක් ගොඩේ පැදි කරුවෝ සකු බස දැන්මේ කුසල මඳ වූ නිසා හෝ නැත් නම් සකු පැදි කරුවන් ගේ ලකර අපට ඇවැසි නැතියි සිතා හෝ ලකරින් සුරැසුම්, වෙසෙසින් අනුන්ගේ, පිරුළින් ගත් අබරණින් සැදෙන්නා සේ එතෙරැ ඇදුරන්ගේ ලකරින් සරැසුම් හැරැ දමා පවන දැක්වීම වැඩි කරමින් රැසැයුම් කළහ. අනුන්ගේ පබ‍ඳෙකැ අරුතක් ඉඳැ සිටැ ඇදැ ගන්නා විටැ ඌ තුමූ පෙර ඇදුරන් ගේ එළු පබඳින් මැ ඒ ගත්ය. තිසර අසුන් කරුවාත්, කොවුල් අසුන් කරුවාත්, හස් අසුන් කරුවාත් අයත් වන්නේ මේ දෙවැනි ගොඩටයි. එහෙයින් කොවුල් අස්න වඩා බර වන්නේ මැවියාවට නොවැ සැබැවියාවටයි. එදා රට තොට පවත් දනු රිසියනට එහෙයින් මින් බොහෝ වැඩ ගත හැකි වෙයි.


යම් තැනෙකැ ඇති සැටි පැවැසීම ගැන සිත නො මෙහෙ යවන ලද බවෙක් පෙනේ නම් ඒ එළි වැටට නිතැතින් මැ නැමෙන පුරුද්ද නිසා වූ බව සැලැකියැ යුතු වේ.

වැ ටි ය නොදී බැඳි තන ඉන් ඉන් ගැටිය පැ ටි ය කෙරෙයි ඔප නිසි ගන රන් තැටිය සැ ටි ය මෙ වන් අඟනන් තැනැ තැනැ සිටිය අ ටි ය නො කැරැ දැකැ යන් උඩුගල් පිටිය (74)


ක න ත පැමිණි අඳුනැඳැ යුග නෙක් ‍ පෙටිය සු න ත දෙ බැම, යුග තන ගන රන් තැටිය තනෙත යිත සතුටු කරවන ලිය සිටිය ව ත ත බැරි අතත සිරි පිරි නික පිටිය (75)

යන පැදි දෙකේ සඳහන් වන ‘ගන රන් තැටිය’ ගැනැ සලකා බලන විටැ පවත එළියේ මැ පෙනී යනවා ඇති. වැලිගම් පිටිය සඳහනේ දී මේ ‘රන් තැටිය’ ‘හෙම තැටිය’ වූයේ තවත් එළි වැටක් නිසායි.

අපේ අසුන් කව් කරුවන් මේ බොළඳුන් පිනවන එළි වැටට ‍හේත්තු නූණා නම් ඔවුන් ගේ පබඳ අසරින් මීට වැඩියෙන් රට තොට පවත් ද යට ගිය පවත් ද අපට දන්නට ලැබෙනු නියත වී. එ හෙත් එ දා සිටියවුනට අද සිටින්නවුනට පමණ එ පවත් අගය නො වන්නට ද ඇති. ඔවුනුත් බොල් වූ මැවූ වැනුම් අසන්නට පිය වුණා ද නැත් දැයි කවුරු දනිත් ද වරද එළි වැටෙහි නොවේ, එළි වැට නිසා සැබැවියාව යට පත් කොටැ වැදැ ගැන්මකට නැති දැය මවා පෑමෙහියි. ඇතුන්, දිවියන්, වලසුන් වසන වන පියෙසක් සඳහනේදී ඔවුන් සිටිනා පවත් ද නො සඳහා එළි වැටක් නිසා එහි සරන කුහුඹුවන් සඳහන විසුණුවෙක් නොවේ ද? එළි වැට නිසා සැබැවියාව නො නසා එය මැ එළි වැටට ගැනීමයි සපන් පැදි කරුවා කරන්නේ.


‘අ ඹා සරල් වරලස මල් කැනිති ඔබා ත බා විළිදු දිවැ දිවැ ඔවුනොවුන් අඹා නො බා සරන එහි ඇල් ගෙවි ලියන් සුබා ස බා සබඳ දැකැ ලැසි නො ව එ වන ගැබා’ (තිසර 125)


යනු සැබැවියා නො වසා පළ කරන ගමන් රිසි පරිදි එළිවැට ද නො බිඳැ රක්මින් රසයන ලද්දේ වෙයි. එහෙයින් එයින් මනසේ ඇ‍ඳෙන සිත්තම රමණීය වෙයි. ඒ මසැසට ද හුරු පුරුදු එකෙකි.

‘ ල ඹා දුහුල් පට වසමින් තනනුදුළ ත බා පියෙන් පිය පියනත් ගෙනැ සලෙළ බ බා යනෙන රුසිරඟනන් ගෙ සුළකළ සු බා නෙතැඳැ යව ඒයෙන් ඌරුවළ ’

‘ කෙ සා පුළුල් දුහුල ද ඇඳෑ දණිනු ඩැ ම සි සා රමින් ඇදැ ඇදැ තනමින් තරැ ම නි සා නො ඉඳැ යා ගත මැනැවි විල්ගම ’

යන යෙදුම් සැබැවියාව මුවා නො කොවැ පවත් ඇති සැටියේ මනැස ඉදිරියේ නඟා දක්වයි. එළි වැට ද එහි රැකී ඇති

‘ න යි ය න් යනැල් ගෙවි සරනා ගොයම් වෙල කොයියන් නෙ දැයි නුඹ දැකැ යෙති මඟ අසල ’ (205)

යනු ද ලක් දිවේ සබා පවතක් පළ කරයි.

එකක් කියැ හැකියි. එ නම් කොවුල් අසුන් කරුවා සෙසු අසුන් කරුවනට වැඩියෙන් ර‍ටේ තොටේ පවත් යට ගිය පවත් ලද අවසරින් සටහන් කළ බවයි. මියුරු අසුන් කරුවා මුත්, පැළ සමුදුරු මඟ ඔස්සේ දූතයන් ගමන් කුරැ වූ සෙසු සියලු අසුන් කරුවෝ මාදම්පා මෝදර දුටහ. එහෙත් කොවුල් අසුන් කරුවාට මිසැ අනෙක් අසුන් කරුවනට එ මෝය මැදැ ගලෙකැ කොටවන ලද අකුරු පෙළ පෙනුණේ නැති! පැළ සමුදුරු මඟ පුරුදු සියලු අසුන් කරුවෝ වැලිතොට හෙය දුටහ. කොවුල් අසුන් කරුවාට මිසැ සෙසු අසුන් කරුවනට එ හෙය තොටගමු පායේ රැඳි මහ තෙරිඳු විසින් කරවන ලද බව සිහිපත් නුවුයේ යි.

කැලැණි තිස් රජු ගේ පුවත විජය රජු ගේ පුවත ජාවකයන්ගේ පුවත ඈ යට ගිය පවත් පැළ සමුදුරු මඟැ උතුරු කොටසට අයත් වනුයෙන් කොවුල් අසුන් කරු මුත් සෙසු අසුන් කව්හි එ සඳහන් නො වීම ගැනැ අපට යමක් ‍කීමට ඉඩෙක් නැති.

පුර එ නම් දෙව් නුවර මැදැ වෙහෙරේ රැය ගෙවීමට ගිය කොවුලා වෙහෙරේ වැඳුම් පිදුම් නිමවා එහි අඹ ගසෙක නිදා පසු දිනැ උදයේ නැගී සිටැ බුදුන් වැඳැ ගමන් අරඹි.

මේ වෙහෙර පුර මැද පිහිටි බවයි කොවුල් අසුන් කරුවා කියන්නේ. පරෙවි අසුන් කරුවා පරෙවියාට දක්වන්නේ පුර වඳිනට පළමු දැක්කැ යුතු වූ, පුරින් පිටතැ වූ වෙහෙරෙකි. එහි ගලතුරු මුළ පැවිද්දන් ගේ පායක් ද පරෙවියා දකී. ‍පරෙවියා දෙව් නුවරට යන අවිදියේ පුරින් පිටැ වූ වෙහෙරෙ පුර මැදැ වන අයුරින් කොවුල් අසුන් කරුගේ අවදියේ එක්කෝ පුර මහත් කරන ලද්දේ හෝ වියැ යුතු. නැත් නම් මෙ කියන පුර මැදැ වෙහෙර යැ එ කියු පුරින් පිටතැ වෙහෙර යැයි දෙ වෙහෙරක් එහි පැවැතුණා හෝ වියැ යුතු. පුරාවිදු අදියුරුවන් ගේ හැඟී නම් පුරය මහත් කොටැ පෙරළා කරවන ලද බවයි. කවුරු දනිත් ද කොයි එක ඇත්ත දැයි? කොවුල් අසුන් කරු මෙ වෙහෙරේ නුවූ බව වෙහෙර වැනුමේ දී පළ වැ මැ පෙනෙයි. තමා තිලක පිරුව්න හිමි (291) බව පවසන හෙ තෙමේ ‘වසන දෙව් නුවරැ යති‍තඳෙක්’ යන්නෙන් සපු මල් කුමරුට තමා හඳුනවයි. එයින් පෙනෙන්නේ ‘තිලක පිරුවනත්’ දෙව් නුවරේ මැ වූ බවයි. එ හෙයින් එ නුවරැ කිහිප වෙහෙරක් වූ බව සලකනු යෙදේ.


පුර වදිනා මියුරාද, ‍පරෙවියා ද පුර දොරැ මාවත් මඬුවක් දකී, එ හෙත් පුරින් නික්මෙන තිසරා හෝ කොවුලා හෝ එයට නෙත් සිත් නුදුන් බවයි. පෙනෙන්නේ. පුර වදිනවුනට විඩා සන් සිඳුවා ගිමන් නිවා සැතැපෙන්නට ඇති මාවත් මඬු පුරින් නික්මෙන්නවුනට ඇවැසි නැති හෙයින් තිසර, කොවුල් අසුන් කරුවන් එය සඳහන් නොකළා වියැ හැකියි.

උපුල්වන් දෙව් රජු මෙහි රැඳීමට වැඩැ වදාළාට පසු ‘දෙව් නුවර’ යන නමින් පසිදු වූ මෙ පුර අනුර පුර රජුන් දවසැ පළ වැ පැවැත්තේ ‘ගිරියළ’ යන නමිනි. එහි වූ වෙහෙර ‘කිහිරැළි’ යන නමින් සඳහන් වෙයි. පූජාවලිය ‘කිරිළි’යි කියයි. මේ ‘ගිරියළ, කිහිරැළි. යන වදන් ඇසිරිනි පසු වැ ‘කිහිරැලි’ ‘ගිරිහෙල’ යන වදන් අති වූ යේ. ‘.........ඈපා කිතක් බොයාහු වජනින් ගිරියළ කිහිරැළි පිරිවනට බහා ලූ සල්කෙසෙල් මාගුළ ........’ ඈ විසින් දැක්වෙන සෙල් ලිපියෙන් එ පළ වෙයි. එ අනුවැ:- ‘කිහිරැලි උපුල් වන් - දෙව් රජුනි ගිරි හෙල්පුර’ යන පරෙවි අසුන් ගී අඩ:- ‘කිහිරැළි උපුල් වන් - දෙව් රජුනි ගිරියළ පුර’ යැයි වියැ යුතු සේ පෙනේ.


(1)දෙව් නුවරින් පිට වූ කොටු ලා අලුත් වීදිය, වැල්ලේ මඬම, උග්ගල් බැවුල, මා පා පටන යන තැන් පසු කොටැ නිල්වලා ගඟින් එ තෙරැ වැ මා තොටත් පඟුරන් වෙල් එළියත් ගෙවා පොල්වත්තේ හෙයින් එ තෙරැ වැ රෑ ලැගීමට මහ වැලිගම් පටුනට පැමිණේ. පළමු වන දවසේ ගමන එ පමණයි. තිසරා ද පළමු දවසේ ගෙවූයේ ඒ දුර මැයි. ඌත් රෑ-ලැගීම කෙළේ එහියි.

දෙව් නුවරින් නික්මුණු තිසරාත්, දෙව්නුවරට වදිනා පරෙවියාත් මඟුල් වැල්ල යන නමින් පසිදු වෙරළ බඩැ බිම් කඩක් දකිතත් කොවුලා පුරින් නික්මුණු වහා දුටුයේ අලුත් වීදියයි. තිසරාත් පරෙවියාත් ඒ නා දුටු සැටියි. එ හෙයින් මියුරා ගැනැ කියනු කුමට යැ? ඒ, පුරය මහත් වූ පසු මඟුල් වැල්ල සරියේ මැ ඉදි කොටැ ලන ලද වීදියක් වියැ යුතු.

අලුත් වීදියෙන් ඔබ්බේ වැල්ලේ මඩම වේ. එහි ගණ දෙවියා උදෙසා කරන ලද දෙවොලෙක් ව‍ේ මියුරු අසුන් කරු ගණන නොගත් හෝ නුදුටු හෝ මෙ දෙවොල සහිත වැල්ලේ මඩම තිසර, පරෙවි අසුන් දරුවෝද දකිත්.

වැල්ලේ මඩමින් ඔබ්බේ වන රොදෙක් ද, එයින් ඔබැ නාග කෝවිලෙක් ද කොවුලා ගේ නෙත සිත අදී, ඌ උග්ගල් බැවුලට යන්නට පළමුයෙන්. උග්ගල් බැවුල දක්නා මියුරාත්, තිසරාත්, පරෙවියාත් මේ වන රොද හෝ නාග කෝවිල හෝ වෙසෙස් කොටැ බැලූ බවක් පළ නො වෙතත් උග්ගල් බැවුලින් ඔබ්බේ දෙව් නුවර පැත්තෙන් ඇති වනයෙකැ සිරි නැරැඹූ බව පැවැසෙයි. මියුරු අසුන් කරුවාත්, පරෙවි අසුන් කරුවාත් වන වැනුම් කරන්නේ මේ තැනැදී යි. මියුරු අසුන් කරු තෙමේ මෙහි වෙහෙරක් ද දකී. ‘කෝවිල්’ යනු එ තෙරැ දෙවියන් පිහිටුවා වැඳුම් පිදුම් කරන තැන සඳහනැ යෙදෙන්නෙකි. මේ තෙරැ දෙවියන් රැඳුණු තන් සඳහන් වන්නේ ‘දෙවොල’ යන්නෙනි.

උග්ගල් බැවුලින් ඔබ්බෙහි දී කොවුලාට හමු වන මාපා පටුන තිසරා හා පරෙවියාත් දුටහ. මියුරා එය ‍නො දක්නේ උගේ අවදියේදී එය කරවා නැති හෙයින් වනැ. නිල්වලා ගඟ අසුන් කවිහි ඉතා පසිදු වැ සටහන් වන්නෙකි. නිල්වලා ගඟින් එ තෙරැ වැ මාතොට පසු කළ තිසරාට හමු වූ සුංගම කොවුලා දකී. මියුරා එය නොදැක්ම අරුම නො වෙයි. පරෙවියා සුගමක් නො දුටත් නිල්වලා නදිය හරහා වූ හෙය මතැ මැඳුරෙක්හි සුංගමෙක්හි දී සිදු කරනු ලබන රාජ කාරිය කැරෙනවා දිටි.


මා තොටින් ඔබ්බෙහි යතුරු කරන කොවුලාට පඟුරන්වෙල් එළිය දක්නට ලැබේ. එ ද දක්නා පරෙවියා එයටත් මා තොටටත් අතරේ කස රුප්පා වෙලක්ද දකී. මේ කස රුප්පා වෙල පඟුරන් වෙල් එළියේ මැ කොටසක් වියැ යුතු. තිසරා හා පරෙවියාත් දුටහ. මේ වෙල් එළිය එහෙත් මියුරා නො දිටී.

පඟුරන් වෙල් එළියෙන් මත්තේ ඇල් කෙත් රැසක් ද වන රොදක් ද දකී කොවුලා. තිසරා දක්නේ කසරුප්පා අම්බලම පමණයි. ‍පරෙවියා එය දක්නේ ‘මල්-අම්බලම’ යන නමිනි. වල් අම්බලම යනු වන පියෙස් මැදින් වැඩි ඇති මං අසැ අම්බලම් පිණිසැ යෙදෙන්නෙකි. ජයවද්දන පුරින් නික්මැ කැලැණි යන සැල ලිහිණියාට ද වල් අම්බලමක් දක්නට ලැබුණෙයි (සැල. 32). මේ අම්බලමටත් පඟුරන් වෙල් එළියටත් අතරේ සිරිබන්දල නම් තැනක් දකී පරෙවියා. ඒ වනාහි සිරි සඟ‍බෝ සිරි විජෙබා (මහලු විජෙබා) නිරිඳු ‘මාපා’ හැටියට සිරිය බැඳි තැනයි. පඟුරන් වෙල් එළියේ වෙරළ පස කොටස කසරුප්පා වෙල යන නමින් පළ වැ පැවැති බවයි මෙයින් පෙනී යන්නේ.

පොල්වත්තේ හෙය. කොවුලා සේ මැ තිසරාත් ‍පරෙවියාත් දකිති. පරෙවියා එය දක්නේ පොල්වතු මෝදර හැටියටයි. එයින්ද පෙනෙයි කස රුප්පා වෙල දක්නා පරෙවියා මූද පැත්තට මැ බර වැ ගමන් කළ බව. මියුරා පොල්වත්තේ හෙය හෝ පොල්වතු මෝදර හෝ නොදකී.

පොල්වත්තේ හෙය පසු කළ ඉක්බිති මහවැලිගම් පටුනු වදින කොවුලා වන රොදක් දකී. මියුරු, තිසර, පරෙවි යන දූතයෝ එය නො දකිත්. මහ වැලිගම් පටුන වෙණෙදහමේ යෙදුණු හෙටිටි මිනිසුන් ගෙන් ගැවැසි පුරක් බවයි කවර අසුන් කරුවාත් කියන්නේ. කොවුලා පළඹු වන දවසේ ගමන අවසන් කොටැ එහි ලැගුම් ගනී. තිසරා ලැගුම් ගත්තේ ද මෙහියි එහි දු වෙසෙසෙකි. කොවුලා ලැගුම් ගන්නේ එ පටුන මැදැ පිහිටි, සෙසු අසුන් කරුවන් විසින් නො සඳහන් ලද රජ කුලවඩන වෙහෙරේයි. තිසරා ලැගුම් ගත්තේ මහ නැවියා පොකුණු තෙරැ වූ අක්බෝ වෙහෙරේයි.


(2) දෙවැනි දිනැ උදයේ පිබිද අක්බෝ වෙහෙරේ බුදු පිළිමය ද දැක මග නැවියා පොකුණත් බලා මහ වැලිගම් පටුනින් නික්මුණ කොවුලා එ දවසේ තොටගමුව තෙක් ගමන් කරයි. තිසරා ද දෙවන දවසේ ගමන් කෙළේ එ දුර මැයි. අක්බෝ වෙහෙරත් මා නැවියා පොකුණත් ඉතා පසිදුයි. තිසරාත් පරෙවියාත් එ දෙක මැ දකිතත් මියුරා පොකුණ මිසැ වෙහෙර නො දකී. ඌ එහි යන දවස්හි එ වෙහෙර පිරියමින් සදා නො තිබුණා වියැ හැකි. එය පිරියමින් නංවන ලද්දේ සේන ලක් අදියර මැති තුමා විසැනැයි තිසර අසුන්කරුවා කියයි (ති. 48)

අක්බෝ වෙහෙරේ මුනි රුවත්, මහ නැවියා පොකුණත් බලා ගෙන දෙ වැනි උදයේ නික්මුණු කොවුලා වන පෙතක් අසැ වූ පොල්ලව නම් තැනට පැමිණේ. පරෙවියාට ද දක්නට ලැබුණු මෙය මියුරාත් තිසරාත් ගණන නො ගත් සැටියි. එයින් ඉක්බිති වැ කොවුලා දක්නේ ලණු මෝදර අරමයි. එ දැතුරෙහි පෝකර පිටියකුත් කතළුවකුත් තිසාරා දකී. කොවුලා එ තැන් කෙරේ නෙත සිත නො මෙහෙයවයි. පරෙවියා කතළුව නො බලතත් පෝකර පිටිය දකී. ලණු මෝදර කොවුලා සේ මැ මියුරාත් තිසරාත් පරෙවියාත් දක්නේ එහි පසිදු අරමක් වූ හෙයින් වනැ. එයින් ඉක්බිති එ සෙයින් මැ මියුරු, තිසර, පරෙවි යන දූතයන් ගේ ඇසට ලක් වූ මීරිපැන්න දුටු කොවුලා උනවටුන පසු කොටැ ගාල්ලට ළඟා වෙයි. සෙසු දූතයෝ උණවටුන නුදුටුවග. මියරු, තිසර, පරෙවි යන දූතයන් විසිනුත් විසිතුරට දක්නා ලද ගාල්ල එ දා මහ වැලිගම් පටුන පමණට දියුණු වැ නො පැවැති සැටියි. ගාල්ලෙන් නික්මුණු කොවුලා ගිං ගඟින් එ තෙරැ වැ රත් ගමට පැමිණෙයි. තිසර පරෙවි දෙ දෙනා ද ගිං ග‍ඟේ සැටි දුටත් මියුරා එ ගැනැ තැකීමක් නො කෙළේයි. එත් ගම පවා මියුරා ගේ ඇසට ලක් නුවු සේයි. ගාල්ලටත් ගිං ගඟටත් අතරේ උඩුතල, දඩහල්ල යන දෙ තැන තිසරා ගේ ඇසට හමු වූවත් සෙසු දූතයෝ එ තන් නො බැලූහ. රත් කම නම් තිසර, පරෙවි යන දෙදෙනා විසින් ද දක්නා ලද්දේ වෙයි.


රත් ගමින් උඩුගල් පිටියටද එයින් හික්කඩුවට ද යන කොවුලා සවස් වත් මැ තොටගමුවට පැමිණේ. උඩුගල් පිටිය තිසර, පරෙවි යන දෙ දෙනා ද දුටත් හික්කඩුව දුටුයේ කොවුලා ඇරාණා මැ පරෙවියා පමණයි. පරෙවියා තොටගමුයෙන් දකුණු පසැ මොළපුව නම් ඔයකුත් එයත් හික්කටුවත් අතරැ මාවේකඩ නම් පියෙසකුත් දකී. මොළපු ඔය පමණෙකි එ දෙකින් තිසරා දක්නේ. එ කිසිත් නො දක්නා මියුරා තොටගමුව අසැ වැලිතුඩුවක් දකී.

තොටගමුයේ දී කොවුලා සිරි රහල් හිමියන් දකී. තිසරා එහි යන අවදියේ සිරි රහල් හිමියෝ එහි නුවුහ. තොටගමු වැල්ලට රළින් පැමිණෙන සක් මුතු ඈ දැය ගෙනැ කෙල්ලන් සෙල්ලම් කරනවා කොවුලා දකී. මුතු කෙ සේ වතුදු නො එක් විදියේ බෙල්ලන් ගේ කටු ඇහිඳිමින් පැටි වියේ සිටිනවුන් වැල්ලේ සෙල්ලම් කරනු අද වුවද දක්නට ලැබේ.


කොවුලා තුන් වන රැය තොටගමුයේ ගෙවයි. තිසරා ද ලැගුම් ගත්තේ මෙහියි.


(3) තුන්වන දිනැ උදයේ නැගී සිටැ ගමනට බස්නා කොවුලා මුලින් මැ දක්නේ මාදම්පා මෝදරයි. ගිරවා තොටගමුවටත් මාදම්පා මෝදරටත් අතරේ ඇති කසාවද දකී මියුරා මාදම්පා මෝදරක් නො බැලුවත් එය බැලී තිසර, පරෙවි, ගිරා යන තුන් දෙන එ මෝදර මැදැ ගලේ කොටන ලද අකුරු පෙළ නො දුටු. එයට නෙත සිත දුන්නේ කොවුලා පමණයි.

මාදම්පා මෝදරින් නික්මෙන කොවුලා එ ළඟට වැලිතොට හෙයට නෙත සිත දෙයි. වැලිතොටැ අම්බලමක් සඳහන ගිරා අසුන් කරුවා එයටත් මාදම්පා මෝයටත් අතර පියෙස වනයක් වැ පැවැති බව පවසයි. අද ‘රන්දොඹේ’ යන නමින් පසිදු ගම පියෙස ගිරා අසුන් කරු ගේ කීම ඇත්ත බව පළ කරයි. මියුරු, තිසර, පරෙවි, ගිරා යන අසුන් කරුවන් වැලිතොට හෙය සඳහන් කළා මිසැ එහි යට ගිය පවත එළි නො කළ බව‍ පෙනේ. කොවුල් අසුන් කරුවා එය තොටගමු පායේ මහ තෙරිඳු විසින් සෙල් කමින් යුතු වැ කැරැ වූ බව පවසයි.


වලිතොට හෙය පසු කළ කොවුලා එ ලඟට දක්නේ කොස්ගොඩ වෙල් එළියයි. පරෙවියා දක්නේ කොස්ගොඩ බිම් පෙදෙසයි. වැලිතොට අසලැමැ අසුන්ගල් කඩුව දක්නාතිසරා කො‍ස්ගොඩ නොදකී. ගිරවා ද එය නො බලයි. මියුරා එ කිසිත් නො බලයි. එයින් ඉක්බිති ‍කොවුලා පරතරකය, නිල්ලපොළ යන දෙ තැන පසු කොටැ වනවාස වෙහෙරට පැමිණේ. තිසරාත් ගිරවාත් දක්නා පරතරකය මියුරාත් පරෙවියාත් නො දකිත්. නිල්ලපොළ දක්නේ කොවුලා ඇරුණාම පරෙවියා පමණෙකි. එ කිසිත් නොදක්නා මියුරා වනවාසය ද නො බලයි. තිසර, පරෙවි, ගිරා යන තිදෙනා කොවුලා සේ මැ වනවාසය දක්නට යති. සියල්ලන් ගේ මැ නෙත් සිත් ඇද ගත් තැන නම් බෙන්තොටයි. ‍පරෙවියා එහි කාලි ‍කෝවිලක් ද දකී.


බෙන්තොටින් එ තෙරැ වූ කොවුලා කළාවියනම් දිය කඩක් පසු කොටැ බේරුවලට පැමිණේ. බෙන් තොටින් එතරැ වූ තැනැ මැ අලුත්ගම ඇති බව තිසරා දකිතත් පරෙවියාත් ගිරවාත් ඒ ගණන් නො ගනිත් ‘අලුත්ගම’ යැයි නම නො කීවාට; ‘බෙන්තොට දෙ ගොඩැ දෙ නුවර ‍දෙ විලෝ දෙකෙකි’ යි මියුරු ඇසුන්කරුවා දෙ ගොඩේ දෙ නුවරක් සඳහන් කරයි. ඉන් එකක් අලුත්ගම වියැ යුත. කළාවිය කොවුලාට මියැ සෙසු දූතයනට නො පෙනේ. බේරුවල මියුරු, තිසර, පරෙවි, කොවුල්, ගිරා යන සියලු අසුන් කරුවන් විසින් සඳහන් කරනු ලැබූ පසිදු තැනෙකි. එය මූසිලිම මුවර දනන් ගෙන් ගැවැසුණු තොටමුණක් බව පරෙවි අසුන් කරුවාත් ගිරා අසුන් කරුවාත් පවසතත් සෙසු අසුන් කරුවෝ එ කිසිත් නො සඳහන් කරති. ‘ආ රා අතය පැණ අවුරා මුගුරු ගෙල බො රා මතය නන් දෙඩු මෙන් කල විකල පූ රා මැතය අඟවන මොළ බබුරු කැල බේරැවල’ යැයි පරෙවි අසුන් කරුවා කියයි (71) ‘බේරැවල... මත් වන අබිං කංසා කා රළු පරළු අත්තන කුසුම් රත් මල් කනැ ලා ලකුළු ගත් වන මුගුරු ලෙළවා ඇදැ ඇදැ රවුළු සිත් මෙන බමන බබුරන් රඟ බල යහළු’ යැයි ගිරා අසුන් කරුවා කියයි. බබුරු යන ‘පිට රැටියා’ යන අරුත් ඇති ‘බර්බර’ යන්නේ සිංහල රැවයි.

බේරුවලින් නික්මුණු කොවුලා මග්ගොන, පස්යාගල කලමුල්ල යන තැන් පසු කොටැ කළු තොටට පැමිණේ. එ කිසිත් මිටුරා නොබැලී. මග්ගොන, පස්යාගල යන දෙ තැන සෙසු සියලු දූතයෝ දකිත්. පස්යාගලැ වෙහෙරෙක් වේ. එහි දෙමළ කිවිවරන් රදනා බව කොවුල් අසුන් කරුවා කියයි. කලමුල්ල, කොවුලා අරුණා ම දන්නේ ගිරවා පමණයි.


කොවුල් අසුන් කරුවා කළුතොට යන නමින් සඳහන් කරන්නේ කළුගං මොයේ දකුණු දග පැත්තේ ඇති පුරයයි. තිසර අසුන් කරුවා කීයේ ද එ මැයි. එහෙත් ඇත්තේ හැටියට කළු තොට වනුයේ නදී මෝයේ උතුරු ඉවුරේ පිහිටි තොටමුණයි. පරෙවි අසුන් කරුවා කළු තොට යැයි කීයේ එයටයි. ගිරා අසුන් කරුවා එය මෙ ගොඩ කළු තොට යන්නෙන් සඳහන් කරයි. එසේ නම් කොවුලාත් තිසරාත් දුටුයේ එ ගොඩ කළු ‍තොට වියැ යුතු. එහෙත් මියුරු අසුන් කරුවා කියන්නේ. ‘වේලාපුරින් කළුතොටිනෙතර වැ වඩන’ කියායි. මෙගොඩ තොටමුණ කළු තොට යන නමින් ද එගොඩ තොටමුණු වේලාපුර යන නමින් ද පළවැ පැවැති බවයි එයින් පෙනී යන්නේ. මෙ ගොඩ කළු තොටට ‘දේශාන්තර කළු තොට යනු ද’ වහර වූයෙයි. එගොඩ කළු තොටැ ගංගා තිලක විහාරය වූ බව තිර අසුන් කරුවාත් කොවුල් අසුන් කරුවාත් කියති. පරෙවි අසුන් කරුවා එය වෙහෙර යනුයෙන් සඳහන් කරනවා මිසැ වෙසෙස් නමෙකින් සඳහන් නො කරයි. කොවුලා එහි ලැගුම් ගනී. තිසරා ද ලැගුම් ගත්තේ එහියි.


(4) සතරවන රැ එ ගොඩ කළු තොටැ ගෙවූ කොවුලා පසුදා උදයේ නැගී කළු ගඟ තරණය කොටැ සිවු වන දවසේ ගමනට බසී. කළු ගඟටත් පොතු පිටියටත් අතරේ වන පයෙසෙක් වෙයි. එහි (වන) මඟ අසැ ගණුඳු කෝවිලෙක් ද කොවුලාගේ නෙතේ ඇ‍ඳෙයි. තිසර, පරෙවි, ගිරා යන අසුන් කරුවෝද එ සරියේ කැලෑ රොදක් ඇති බව ඇ‍ඟෙන පරිදි මග වැනීම කරත්. එහෙත් මේ ගණිඳු දෙවොල නො සඳහන් කෙරෙත් පොතුපිටිය ගොපලු ලියන්නිති ගැවැසෙන සරියෙකි. පරෙවියාත් ගිරවාත් එ මැ දකිත්.

පොතුපිටිය‍ටත් පාණදුරයටත් අතරේ සුදසුන් දෙවොලක් තිසරාත් පරෙවියාත් දුට ද කොවුල එ වැන්නක් නො දකී. ගිරවාට ද එහි සඳහනෙක් නැති. කොවුලා සේ මැ තිරස, පරෙවි යන දෙදෙනාත් පුරය දකිති. ගිරවා පාණදුරේ ගඟද දකී. කොවුලා පාණදුරයෙන් ඔබ්බෙහි දී ලස්සපතියේ පොල් උයන් දකී. ගිරවා එහි පොල් උයන් දකිතත් ලසස්පතිය යන නම නො දනී. තිසරාත් පෙරෙවියාත් එ කිසිත් නො දකිත්. මොරටු එළිය ද පොතු පිටිය සේ ම ගොපලු අඟනන් ගැවැසෙන බිමෙකි. තිසරාටත් පරෙවියාට හා ගිරවාටත්එ මැ දක්නට ලැබේ. මොරටු එළියේදී කොවුලා පැළ සමුදුරු මග පියා පරෙවියාත් ගිරවාත් ඇසුරු කළ පැපිළියාන මඟට නැමේ. තිසර පැළ සමුදුරු මඟැ මැ යයි. මොරටු එළියෙන් ගොඩ අතර නැමුණු කොවුලා පෙරවියාත් ගිරවාත් පසු කළ අත්තිතිඩියේ හෙයින් එ ගොඩ වැ සවස් මානයේ පැපිළියානේ වෙහෙරට යයි. එදා රෑ එහි ලැගීම වේ. ජයවද්දන පුරින් වන් ගිරවා ද එහි ලැගුම් ගත්තෙයි. එහෙත් පරෙවියා එහිදී විඩා නිවා ගියා මිසැ එහි ලැගුම් ගත්තේ නැති.


(5) පැපිළියානේ ලැගුම ගත් කොවුලා උදයේ නැගී පස් වන දින ගමන් ගෙනැ යටියන ඔස්සේ ජයවද්දන පුරට යයි. ගිරවා ද දුටු මේ ය‍ටියන පෙරෙවියාට හමු නුවු සැටියි. ජයවද්දන පුරට පිවිසෙන්නට පළමු කොවුලා පෝය ගෙයද ගල් පොකුණ ද පතිනී දොවොල ද වෙහෙරද දකී. පෙරැ ගජබා නිරිඳු ද පතිනි දේවිය පිණිසැ පහයක් කැරැවූ බව කොවුල් අසුන් කරු තෙමේ පවසයි. ගජබා යන්නෙන් ඔහු විසින් සඳහන ලද්දේ අනුර පුරේ වූ ගජබා ගාමිණී රජ ද, නැත් නම් පොලොන්නරුයේ වුසු (දෙ වැනි) ගජබා රට ද යනු විසඳ දත යුත්තෙකි. ගජබා ගාමිණී රජු සොළී රජු බිය යද්දා එ රටින් මිනිසුනුත් පතිනිය ගේ හලඹත් මෙ දිවයිනට ගෙනැ වත් බව පැවැසේ. කේර‍ළයේ පතිනි දෙවොලක් පිදීමේ මඟුලට ගජබා රජකු ලක් දිවින් ගිය බවදඑහි සෙත්කුට්ටුවාන් රජ තෙමේ පවසයි. එ කේරළ රජු දවසැ ලක් දිවේ සිටි ගජබා රජ නම් ‘ගජබා ගාමිණී’ තෙමෙයි. දෙවන ගජබා රජුගේ මවද දඹදිවේ කුමරියකු වූයෙන් එ රජුට ද පතිනි දේවිය පිදීමේ උරුමය ඇත්තේයි. මේ දවස ජයවද්දන පුර වෙහෙරේ වැඩැ වැසැ වදාළේ දම්කිත් හිමියන් බව සඳහන් වෙයි. මේ දම්කිත් හිමියෝ නම් ‘සද්ධර්ම රත්නාකරය’ කළ ධම්මදින්නාචර්ය විමල කීර්ති තෙරණුවෝයි. ජයවද්දන පුරට වන් කොවුලා පුර සිරි බලා රජු ගේ සබය දැකැ රජු නැමැඳැ, යන ගමන සැළ කොටැ අවසර ගෙනැ සවස ‍ළඟා වත් මැ කොන්තගන් තොටින් එ තෙරැ වී ‍අතර මඟැ ගසෙකැ ලැගුම් ගනී.


(6) පසුදා උදයේ නැගී සිටැ සවන දිනට ගමන් අරැඹූ හෙ තෙමේ වෙහෙර දක්නට පවා පමා නො වී මස්කෙළිය අසලින් කැළැණි ගඟි එ තෙරැවැ රජ මහ කැලැණි වෙහෙරට යයි. එහි බිම්සණ දෙව් රජු වැඳැ ඉක්බිති සෑයත් පිළිමයත් බෝරුකත් වැඳීමෙන් කටයුතු නිමවා ගොස් වාත්තලදී යළි පැළ සමුදුරු මඟට බසී. මොරටු එළියේදී ගොඩ අතට නො නැමී කෙළින් මැ පැළ සමුදුරු මඟ ඔස්සේ ගමන් කළ තිසරා කැලැණිය ඔස්සේ දැතිගම පුරට යාමට ගොඩ අතර නැමුණේ ද මෙ තැනැදී යී.

වත්තලින් ගමන් කොටැ මාබෝවේ හෙය පසු කරන කොවුලාට මඟ අසලැ ඇති ‘ඇතබුන් වළ’ දක්නට ලැබේ. එ වනාහි කැලැණි තිස් රජු ඇතු පිටන් මැ පොළෝ ගබට වැදුණු මං දොරයි. එයින් ඔබ්බේ රැළවුල්ලේ වෙහෙර ද බලා ගෙනැ බුදුනුත් වැඳැ ගමන් කරන කොවුලා වැලිකම්පිටිය දකී. එ දවසැ එ අසලින් ගලා බස්නා දිය පාරක් වූ බව පෙනේ. එය ‘ගඟ’ යනුයෙන් සඳහන් කරයි. කොවුල් අසුන් කරුවා. එයින් ඔබ්බේ යන කොවුලාට කිඳිගොඩ හොය දක්නට ලැබේ. ඒ වනාහි අද දඬුගම් ඔය යන නමින් පසිදු ඔයේ මෝය අසැ කොටසයි. එයින් ගිය කල හමුවන බෝනා වළාන මුව රණ් ගැවැසෙන වන පියෙසක් අසැ පිහිටියේයි ඉන් ඉක්බිති හමු වන්නේ මීගමුවයි. එහි ගෙමුවන් (හීලෑ මුවන්) බොහෝ බව දක්නට ලැබේ. බෝතාවළාන බඳ වනයේ මුව රළත් ගැවැසෙනුයෙන් මෙහි ගෙමුවන් ඇති වීම අරුම නො වේ. මීගමුව අසලැදී සවස් කල් පැමිණෙනුයෙන් කොවුලා සත් වන රැය ගෙවන්නට ගසෙකැ ලැගුම් ගනී.


(7) උදයේ නැඟී සිටැ සත් වැනි දවසට ගමන් ඇරැඹි කොවුලාට මුලින් මැ හමු වන්නේ තෝප්පුවයි. මෙයින් ඔබ්බේ එන්නට එන්නට වන ගහන වැ ගම් අඩු වැ ඇති බව පෙනෙයි. තෝප්පුව පසු කොටැ මානව හොයින් එ තෙරැ වූ කොවුලා එ ළඟට දක්නේ මාරාවිලයි. මානව හොය අද ‘මා ඔය’ යන නමින් පළ වැ පවතී. එහි සිටැ මාරා විලට. පැමිණියැ යුත්තේ දුරැ මඟක් ගෙවමිනි. එහෙත් එදැතර ගමක් ගඟක් සඳහන් නොවී. එයට හේතුව එ පියෙස් වනගත වැ පැවැතීමයි. මාරාවිලැ වුව ද වල් මීමුන් සිටිනා බව සඳහන් වීමෙන් ඒ පෙනේ. මාරාවිලින් ඔබ්බෙහි තිකපිටිය වෙයි. එයින් ඔබැ සලාවතයැ එ අසින් මුහුදු වදිනා දැදුරු ඔය සඳහන් වන්නේ නැති. සලාවත දී සවස් කල් පැමිණෙනුයෙන් කොවුලා එහි ලැගීම කෙරෙයි.


(8) සලාවත අසැ ලැගීම කොටැ නැගී සිටි කොවුලා අට වැනි දවසේ ගමන් කරන්නේ වන පියෙසක් මැදිනි එය වෙල්ලවල යන නමින් පසිදුයි. එ වන පියෙස මැද්දේ පෙරැ කුවේණියත් විජය රජුත් පුරයක් ඉදි කොටැ ගෙනැ විසූ තම්මැන්නා අටවිය වෙයි. අද බොහෝ දෙන තම්මැන්නා අටවිය දක්නට යන දෙස වැරැදි බව එයින් පෙනේ. තම්මැන්නා අටවියෙන් ඔබැ පුත්තළම වෙයි. එ පියෙසේ රා සුලබ බවත් දනන් නිබඳ රා බී මත් වැ නැටීමෙන් ගැයීමෙන් කල් ගෙවන බවත් සඳහන් වෙයි. එහි දනන් සංහල බුදුනුවන් නුවූ බව එයින් පෙනෙයි. පුත්තළමෙන් ගිය කොවුලා එ ළඟට පොන්පරප්පුව දකී. එ ද වන පියෙසක් ඇසුරු කෙරෙමින් පැවැති බව පෙනෙයි. එහිදී සවස් කල් පැමිණැ කොවුලාට එහි ලගින්නට සිදු වේ.


(9) නව වැනි දවසේ ගමන් ඇරැඹූ කොවුලා මෝදරගම දැකැ ඉන් නික්මී සවස් මානයේ මූසලිය මුව දොරට පැමිණැ එහි ලැගුම් ගනී. එදැතුර පියෙස වනයෙන් වැසී පැවැති බවත් එයින් කොවුලා එ තෙක් දුරැ ගමන් කෙළේ මූදු වෙරළ අසළින් මැ බවත් මූසලිය මුවදොර සරියේ මුහුදු රළ හා වෙරළේ මුතු සක් ආදියත් සඳහන් කොටැ ඇති සැටියෙන් පෙනේ. ගහින් එන වැල්ල මුහුදු රළින් ආ පස්සට තල්ලු කරන හෙයින් මුව දොර ගැඹුරින් අඩු වැ පැවැත්තෙන් ලියෝ දියේ බැසැ මුව දොරින් එ තෙරැ මෙ තෙරැ යති, එති.


(10) දස වැනි දවසේ මුසලිය මුව දොරින් නික්මුණු කොවුලාට මෝරැන් ගහන වූ මෝර වළ නම් මූදු කඩ දක්නට ලැබේ. එ අයිනේ රළින් ගොඩ දමනු ලැබූ මුතු බෙල්ලෝ බොහෝයි. ලියෝ වැල්ලේ ඇවිදිති උන් ඇහිඳිමින්.

මෝර වළින් ඔබ්බේ මන්නාරම වේ. මෙ කියන මන්නාරම අද එ නම් දිවයිනේ ඇති පුරය නො වැ එ දිවයින ඉදිරියේ මහ බි‍මේ වූ එකෙකි. පැටියෝ එහි අඟනුන් අරඹට වැදැ සිටිනා තැන් ඔවුන්ගේ ප්රි යයන් හට පෙන්නා කෙළි සෙල්ලමේ යෙදී සිටිත්. ඒ අද වුවද නෙ තැනැ දක්නට නො ලැබෙන පවතෙක් නොවේ. මන්නාරමින් ඔබ්බේ අත්තාල මුක්කම නම් තැන වේ. එ ද වන රොදින් වැසුණු සරියෙකැයි ඇත්තේ. එහි නමින් පළ වෙයි එ පියසේ වැසියන් දෙමළ දනන් බව අත්තාල මූක්කමට කොවුලා ගේ පැමිණීම සවස් මානයේ හෙයින් ඌට එහි ලැගුම් ගන්නට සිදු වේ.


(11) එකොළොස් වන දිනැ උදයේ අත්තාලමුක්කමින් නික්මුණු කොවුලාට මුලින් මැ හමු වන්නේ මාවටු පටුනයි. එය එ දවසේ ද සල් පිල් ගහන වෙණෙ ඳ පටුනක් වැ පැවැති බව පෙනේ. ආදි ‘මා තො’ (මහා තිත්ථ) යන නමින් පසිදු වැ පැවැති, ලක් දිවේ ඉතා පළ තොටමුණයි ඒ. මාවටු පටුනින් ඔබ්බෙහි නයියයන් වෙල වේ. නයියයන් වෙල යනු දෙමළ නමෙකි. සිංහලයෙන් ‘දෙය්යන්නෙ වෙල’ යැයි කියන්නා බඳුයි දෙමළ බසින් නය්යන් (නායන්) වෙල යනු. එහි අය්යන් කෝවිලෙක් ද වේ. කෝවිල් යනු ද එතෙරැ දෙවියන් උදෙසා කළ දෙවොලට නමෙකි. මෙ තෙර දෙවියන් ගේ මැඳුරු දෙවොල යැ. අයියන් කෝවිල නම් දෙමළුන් ගේ අයියනාර් දෙවියා උදෙසා කරන ලද කෝවිලයි ඒ ගොයම වෙල ද එ දෙවියාට කැප කරන ලද්දක් වියැ හැකියි. එහි ඇල් ගෙවි ලියෝ සරති. ඌ තුමු කොවුලා දැකැ ‘කොහි ද යන්නේ’ යි පිළිවිසිනි. එ මේ දිවයිනේ දනන් හට පුරැදු සිරිතෙකි. නය්යන් වෙලින් ඔබ්බේ මඟ ඇත්තේ මහ වනය මැදිනි එය මහත් වූ වන පියෙසක් බව ‘නො ගෙවෙන වනය’ යන්නෙන් පළ වෙයි. එහි වැදි දනෝ වෙසෙත් වනය කොතරම් මහත් ද යත් කොවුලා එය පසු කරන්නට පළමු ඉර බසී. එ හෙයින් ඌට එහි ගසෙකැ ලගින්නට සිදු වේ.


(12) දොළොස් වන දිනයේ උදේ පිබිදැ ගමන් ගත් කොවුලාට වන මඟ අසැ මල් විල දක්නට ලැබේ. එය විසිතුරු විලක් හෙයින් ඒ කා ඉන් ඔබ්බට නො ගොස් එ (විල) අසැ උස් ගසක් මත්තේ වසා විලේ වන දනන් දිය කෙළිනා සැටි බලා සිටී. එ බලා සිටිත් දී මැ දවාල ගෙවී යනුයෙන් ඌට එහි ලගින්නට සිදුවේ.


(13) තෙළෙස් වන දිනැ උදයේ නැගී සිටි කොවුලාට එ විල අසැ උස් වූ පායකුත් එ තැළැ නාථ දෙවි රුවකුත් දක්නට ලැබේ. එඒකා ඒ නාථ දෙවියන් නැමැඳැ ගමන අරඹී. මල් විල අසලැ නාථ දෙවි පිළීමයක් තිබීමෙන් පෙනී යන්නේ ආදී එ පියෙසේ බුදුනුවන් විසූ බව හා එ පියෙස ඉතා දියුණු වැ පැවැති බවත් යැ. පර සතුරු උවදුරු නිසාත් සිංහල රජුන්ගේ දුර දිග නොබලා සියන් නැසීමට පිටතින් දෙමළුන් ගෙන්වීමේ පුරුද්ද නිසාත් මෙ පියෙස පිරිහී ගිය බව පෙනේ. මල් විල පසු කොටැ ගිය ඉක්බිති හමු වන්නේ ජාවක කෝට්ටයයි. එය සපුමල් කුමරු ගේ යුද බිමෙකි. එ කුමරු දෙමළ රජු‍ ගේ කණ්ණාඩි (කර්ණාට) සෙන් බිඳුවා හලේ මෙහිදී යි. එ තැනැ නමින් ඇහෙන්නේ එය ‘ජාවක’ දනන් කොටු බැඳැ ගෙනැ සිටි බිමක් බවයි. ජාවක දනන් මෙහි පැමිණියේ දඹ දෙණි අවදියේ දී යි ඒ අවදියේ ජවක දනන් පලවා හැරැ සිංහලයන් අත් පත් කොටැ ගෙනැ සිටි එ කොටුව පසු වැ දෙමළුන් අතර පත් වැ පැවැති බවයි මින් පෙනෙන්නේ. මෙ සරියේ ද වැඩි කොටස වනයෙන් වැසී පැවැති බව පෙනේ.

ජාවක කෝට්ටයෙන් ගිය ඉක්බිති හමු වන්නේ ලුණු හොයයි. කොවුල් අසුන් කරුවා ලුණු හොය යන නමින් සඳහන් කරන්නේ යාපන කළපුවයි. ඒ බව:- ‘අ සි ත ගැඹුරු දිය මතැ නැගි තුගු රළය වි ස ත තොමින් පැනැ පැනැ ගැසෙන වෙළලය’ යන්නේ පෙනේ. එයින් ඉක්බිති ගල්මූනය (කල්මූනායි) නම් තැන හමු වේ. එහි බොහෝ තල් වතු ඇති. එ වතු ඇත්තේ ද වෙරළ බව යැ අතරින් පතර ඇල් කෙත් ද ඇති. වැලි තලා බොහෝයි. වන රොද ද නැත්තේ නොවේ. ගල් මූනය පසු කොටැ යාපා පටුනට පිවිසීමෙන් ගමන කෙළවර වෙයි.


මෙහි සඳහන් තැන් අතුරින් පෙළක් වැදගත් කමින් බැසැ යාම නිසා හෝ වෙනෙන් වැසී යාම නිසා හෝ අනෙක් නම් ලැබීම නිසා හෝ එක් වරැ දැනැ ඇඳිනැ ගන්නට බැරි වෙයි. පෙළක් තැන් දුම්රිය පළ ආදියට සිය නම ගැන්ම නිසා එයින් ඈත් වැ නො පළ වැ පවත්නේ වේ. දෙව් නුවර පවා නටබුන් වී යාමෙන් කොවුල් අස්න කරන අවදියේ පැවැතුණාට වඩා වෙනස් වැ පවතී. අද මෙහි සඳහන් නාග කෝවිල, ගණිඳු විමන, මල් විල අසැ පහය පමණක් නො වැ ගංගා තිලක වෙහෙර ද නැති පයියාගල වෙහෙර හා රිළවු‍ල්ලේ වෙහෙරත් දක්නට නැති. ඇතු බුන් වළ වූ තැන ද අද සැහි ඇත්තේයි. දෙව් නුවර අසැ මැ වූ වැල්ලේ මඩමත් අලුත් වීදියත් නටබුන් අතරේ වෙයි. මාපා පටන අද එ නමින් පසිදු නො වේ. පඟුරන් වෙල් එළිය හෝ කසරුප්පා වෙල හෝ අද එ දා සෙයින් පසිදු නො වේ. මහ වැලිගම් පටුනේ එ දා සෙයින් අද වෙස් කුල දනෝ නො වෙත් අක්බෝ වෙහෙර පෙරළා නටබුන් වැ පවතී. තොටගමු වෙහෙර් සිරිසර පිරිහී ගොස් යැ. මාදම්පා ‍මෝදර ඇතත් එහි අකරු කෙටු ගල දක්නට නැත්තේයි. වැලිතොට අද ගං මෝයෙක් නැති. එ දා වැලි තොටින් මූදු වැදුණු ගඟ අද මුහුදට බස්නේ බළපිටි මෝදරිනි. පරතරකය අද සඳහන් වන්නේ කායිකාවල යන නමිනි. කළු තොටටත් පොතු පිටියටත් අතරේ වූ වන රොද අද වස් කඩුව නම් ගම්මානය වෙයි. පොතු පිටියේ අද ගොපලු අඟ‍නෝ නො වෙත්. අද මොරටුයේ දුම්රිය පළ පවත්නේ කොවුලා දුටු මොරටු එළියේ නො වේ. පැපිළියානටත් ජයවද්දන පුරටත් අතරේ වූ යටියන් අද එ නමින් දක්නට නො ලැබේ. පෝය ගෙය වූ තැනැ අද පිට කෝට්ටේ විහාරය වෙයි. ගල් පොකුණත් පතිනි දෙවොලත් මැකී ගොස් යැ. රජ මැඳුරද අද නැති. කොන්තගන්තොට වූ සරියට අද කියන්නේ තුඩුවේවත්ත යන නමයි.

මාබොවේ අද මාබොලේයි පසිදු යි. කිඳිගොඩ ඔයට අද කියන්නේ දඬුගම් ඔය යන නමයි. බෝතාවළාන ‘බෝලවළාන’ යැයි සඳහන් වේ. මානව හොය ‘මා ඔය’ යන නමින් සඳහන් වේ. තම්මැන්නා අටවිය කොවුලා දුටු තැනැ නො වෙයි, අද මිනිසුන් දක්නට වැර වඩන්නේ. මෝරවළත් ජාවක කෝට්ටයත් අද එ නමින් දක්නට නැති. එ අවිදියේ බෙහෙවින් පසිදු වූ ඇල් ගොවි තැන අද පිරිහී ඇති.

යාපනයේ රාම සුරනිඳු නමින් ද පුන්නාල දෙවි‍යා නමින් ද දෙවොල වූ බව සඳහන් වේ. එ දෙක ද අද දක්නට නැති. ආ: අස්නින් සපුමල් කුමරුට සැළ කැරැවෙන්නේ දෙවි නුවර වසන යතිඳකු සපුමල් කුමරුට සෙත් පතා උපුල්වන් දෙවියන් යැදීම කළ බවයි. එ අතින් එය තිසර අස්නට බෙහෙවින් සම වෙයි. ලක් දිවේ බුදුනුවන් දෙවි පිහිට යැදීම පෙරැ සිටැ මැ කළ බව පෙනේ. එයින් පළ වන්නේ ඔවුන් බුදුනුවන් වූ පසුත් ඊට පළමු සිටැ පුරුදු පුහුණු වැ පැවැති වත් පිළිවෙත් අත් නො හළ බවයි. පැවිද්දනුත් එය කරන විටැ සෙස්වුන් ගැනැ කවර කතාද?


කිරැළි උපුල් වන් යැ, සමන් බොක්සැල් යැ, කතරගමැ කඳ කුමරු යැ. කැලැණියේ විබිසණ යැ යන සිවු දෙවියන් ලක් දිවට අරක් ගෙනැ සිටිතියි බුදුනුවෝත් බුදුනු පැවිද්දෝත් සලකති. එ හෙයින් ඌ තුමූ බුදු දහම අනුවැ වත් පිළිවෙත් පිරීම යට පත් කොටැ දෙවියන් ගෙන් උදවු ඉල්ලීමට නැමෙති. මේ කිහිරැළි උපුල් වන් දෙව් තෙමේ ලක් දිවේ බුදු සසුනට අරක් ගෙනැ සිටිනා දෙවියා හැටියට පසිදුයි. එ හෙයින් හේ බුදුනුවෙකි. සමන් බොක්සැල් දෙවියා ද නිති සමනොළ සිරි පද ලස වඳිනා පුදන බුදුනු වෙකි. එ හෙත් කතරගමේ ගඳ කඳ කුමර දෙවියා ත්රීමමූර්තියෙන් එක් මූර්තියක් වන මහ ඉසුරු දෙවියා ගේ පුතු වනුයෙන් බුදුනු‍ වෙක් නො වේ. විබිසණ තෙමේ රවුළු රජු ගේ සොහොවුරු මල් වනුයෙන් ද, තුන් වේ ඇදුරු ‘පුලතිසි කුලැ’ වනුයෙන් ද බුදුනු වෙක් නොවේ. හෙ තෙමේ උපන් දෙවියෙක් ද නො වේ. රම් රවුළු සටනේදී සිය සෝවුරු රජුට ද්රොයහි වැ රම් රජු ගේ පැත්ත ගැනීමෙන් ‘දෙවි’ යන නම ලැබූවෙකි. බුදුනුවන් බුදුනු යැයි සම්මත දෙවියන් යැදීම අරුම නුවුවත් බුදුනු නො වන දෙවියන් යැදීම මහ අරුමයෙකි. බුදුනුවා ‍කතරගම දෙවියා ගේ පිහිට යැදීම බුදුනු බවට නිගාවෙක් නො වේ නම් ඔහු කිතුනු දෙවියන්ගේ පිහිට යැදීම එයට නිගාවක් වන්නේ කවර හෙයින් දැයි සිතා බැලීමට ඉඩ නො දෙයි අඳ බැති මත.


අද බුදුනු දනන්ගේ සැලැකිල්ලත්, අයදුමත් අඩුවෙන් මැ ලබන දෙවියායි මේ උපුල්වන් දෙව් තෙමේ. මෙ දෙවිඳු ගේ වැදගත් කම ‍කො තෙක් පාතට බැස්සා ද කියනාව නම් මෑතැ අවදියේ දෙවියන් අදහන්නෝ මෙ දෙවියා වෙන් (විෂ්ණු) දෙවියාට මුවා කොටැ සැඟැවූහ. එයින් ‘උපුල්වන්’ ‍යැයි ‍කි‍යන්නේ වෙන් (විෂ්ණු) දෙවියාට බවත්, ලක් දිවේ බුදු සස්න රක්නේ වෙන් (විෂුණු) දෙවියා බවත් පළ වූයෙයි. එ අනුවැ වෙන් (විෂ්ණු) දෙවි තෙමේ විහාර ගෙයි පවා වැඩැ හිඳිනට තැනක් ලැබී. සියල් සතුන් කෙරේ සම මෙත පතුරුවා වදාළ බුදු රදුන් ලා යකැදුරු කම් කරවා දුම්මල ගසා යකුන් පලව්න්නට නො පැකිලෙන බුදුනුවා වෙන් (විෂ්ණු) දෙවියා විහාර ගෙහි වැස්සීම අරුමයෙක් නොවේ


උපුල්වන් දෙවිඳු ගේ විකුම් වනන කොවුල් අසුන් කරුවා:- ‘විසේස වන විකුමෙන් සදිසි දිය බඳ’ යැයි පවසයි. දිය බඳ යනු, වෙන් (විෂ්ණු) දෙවියාට නමෙකි. ‘වෙසෙස් වූ රුපුන් මැඬීමේ සමත් කමින් වෙනු (විෂ්ණු) බඳු යැ’යි උපුල්වන් දෙවිඳු සඳහා කිමෙන් කොවුල් අසුන් කරුවා ගේ අවදියේ බුදුනුවන් උපුල්වන් දෙවිඳු වෙනු (විෂ්ණු) නො වන බව දැනැ සිටි තියා පෙනේ. පුරාවිදු අදිකාරි වැ සිටි ඇදුරු පරණවිතාන මහතා උපුල්වන් යන නමින් සඳහන් වන්නේ වරුණ දෙවියා යැයි පවසයි. වරුණයා වේද අවදියට ද ඉහතැ සිටැ පසිදු වූ ඉරාන දෙවියෙකි. හෙල්ලේන (ග්රීවක) දනෝ ‘වූර්ණ’ යනුයෙන් ඔහු සඳහති. ඉන්ද්රියා දෙවි ගණයෙහි ලා නො සලන්නා වූ සරාතුෂ්ට්රස තෙමේ ද වරැණයා ඉහළ පෙළේ දෙවියකු කොටැ සලකයි. ‍කා ගේ වුවද නැගීම බැසීම දෙක නියත හෙයින් වේද ඇදුරන් දඹ දිවට බට පසු වරුණ දෙවියා ගේ බැසීම ද වූයෙන් ඔහු මුහුදට අරක් ගත්, මහිමයෙන් වෙසෙස් නුවු දෙවියකු කොටැ එ ඇදුරෝ ස ඳහන් කළහ. මුහුද රක්නා එ දෙවියාගේ නම කෙමෙන් වෙනස් වී ‘උපුල්වන්’ ‍යනු වී යැයි දැක්වීමටයි ඇදුරු පරණවිතාන මහතා දැඩි වෙහෙසක් දරා ඇත්තේ1 ඒ මහතා කොටැ ඇති තැන නම් පැසැසියෑ යුතු වේ. මතය ඔප්පු වුණත් නූණත් එය ඒත්තු ගැන්වීමට නො එක් තැනැ ගෙනැ හැරැ දක්වා ඇති දෙස් නම් ඉතා අගනේයි. දක්වන ලද කරුණු ඉතා බොහෝ වුණත් කළ තැන කො තරම් මහත් වුනත්, විඳි වෙහෙස කො තරම් දැඩි වුණත් උපුල්වන් දෙවිඳු වරුණ දෙවි රජ මැ යැ යනු නම් ඒ කිසිවෙකිනුත් නිසි අයුරු තව මැ ඔප්ප වී නැති බව යි පෙනෙන්නේ.


පුරවිදු අදිකාරි තුමා විසින් ගෙනැ ඇරැ පෑ දෙස් එකක් එකක් ගෙනැ විමසා බැලීමට මෙහි අවසරයෙක් නැති. කොටින්මැ ඒ මහතා කිය‍න්නේ මුහුදු වැසි වූ වරුණ දෙවියා දියට අදිපති ‘උදාකපාල’ යැයි. සඳහන් වැ පසු අවරණ යනු අවණ වූ නියායෙන් ‘උදපාල’ යැයි පසිදු වැ ‘බුද්ධදාස’ යන්න ‘බුජස්’ වූ නියායෙන් ‘උදපල’ වී යලි සිය බසේ මුහුනුවරින් ‘උපල’ යන්නෙන් පසිදු වූ බවයි.

අවරණ යන්න අවණ වන බව ඇත්තයි. එහෙත් ඒ සද දහම සියලු සදන් උදෙසා පොදු වන්නේ නැති. අපවාද විදි එකකුත් නැති ඉරාන පාර්සි බසේ වුවද සියලු සදන් එක් නියරෙකින් සිදු කරනු බැරි වෙයි. ‘බුද්ධදාස’ යනු බුජස් යැයි සිටීම ද එ අයුරු මැයි, ‘උදක පති’ යනු ‘දක පති’ යි සිටියැ හැකි වෙතත් ‘උදපතියි’ සිටිනු නො යෙදේ. මේ නියාය සියලු සදන් කෙරේ එක් අයුරින් සිටී නම් ‘බඹදත්’ යනු අවරණ වරණ තයින්’බදත්’ යැයි සිදු කොටැ ‘බුජස් තයින් ‘බත්’ යැයි නිපදවන්නට හැකි වියැ යුතු නො වේද? එ ඇරත් ‘උදකපාල’ යනු වරුණයාට එහි වහර වූ බවක් හෝ ‘උදපල’ යනු මෙහි යෙදුණු බවක් හෝ අපි කොයින් දැකුමෝද? එ ද වේවා! උදකපාල යනු ‘උදපල’ යි වහරේ පැවතුනහයි ‍ අපි ‘සිතමු’ ඉතින් එය ‘උපුල්’ යැයි වූ යේ කෙ සේද!


‘වරුණ’ යනු ‘වන්’ යැයි සිටිනු සැබැවි. ඉතින් කුමටද, නියම නම වන ‘වන්’(වර්ණ) යනු වෙසෙසන්නට ‘උදපල’ යැ යි තවද නමෙක්? ‘උදකපාල වරුණ’ යැයි කියැ යුත්දතේ තවද වරුණයෙක් සිටී නම් වේද? විදුර පඬි දවසේ ‘වරුණ’ නම් නා රජකු සිටි බව කියති. හේ නා ර‍ජෙකි, දෙවි රජෙක් නො වේ.

ඇදුරු පරණවිතාන මහතා වරුණයා පිළිබඳ පවත් එළි කිරීමට නිදසුන් ඇදැ දක්වා ඇත්තේ මහා භාරතයෙන් පමණයි. එහි ‘උදකපාල’ යන්නක් මෙ දෙවියා උදෙසා යොදා ඇති බවෙක් නො පෙනේ. වරුණයා ගේ දේවිය ‘වරුණානි’ යන්නෙන් සඳහන් කොටැ ඇති බව ඇදුරු පරණවිතාන මහතා මැ පවසයි. එහෙත් පරෙවි අසුන් කරු සිරි රහල් හිමියෝ ‘සඳවන්’ යන්නෙන් උපුල්වන් දේවිය සඳහන් කරති. ඇදුරු පරණවිතාන මහතා සිතන්නේ එ දේවිය සුදු පැහැ හෙයින් ‘චන්ද්රුයාට බඳු වර්ණ ඇත්තී’යි ‘චන්ද්ර්වර්ණා’ (සඳවන්) යන්නෙන් සැඳැහුණු බවයි. කොහි ද ඇය ‘චන්ද්රතවර්ණ’ යන්නෙන් සඳහන් වැ ඇත්තේ? වරුණ දෙව් රජුට පුතකු ඇති බවෙක් සාක් වේදයේ හෝ මහා භාර‍තයේ හෝ සඳහන් නො වේ. එහෙත් උපුල්වන් දෙව් රජුට ‘දුන් වේ රජ’ යැයි පුතකු සිටිනා බව පරෙවි අස්න පළ කරයි. එයට ඇදුරු පරණවිතාන මහතා කියන්නේ සැල ලිහිණි අස්නේ විබිසණ දෙව් රජුට පුතකු සිටිනා බව සඳහන් හෙයින් පරෙවි අසුන් සන්න කරුවන් දුනු දෙව් රජු උපුල් වන් දෙවිඳු ගේ පුතු හැටියට වරදවා ගත් බවයි. ‘දුනු පුල්වන් දෙව් රජ කුලැ ගරුතර ව’ කියා එහි ඇති මුත් පුතු ‍බවෙක් එහි සඳහන් නො වේ ල ඒ වනාහි ළා බාල කීමෙකි. උපුල්වන් දෙව් රජ කුලේ ගරුතර වැ උපන්නේ පුතා මිසැ අන් කවෙරක්ද? සිය දේවියත් සමග ‍දෙව් රජු වසන මැදුරේ එකට වසන එ දෙව් රජ කුලේ උපන් අන් තැනැත්තා කවරෙක් ද? මේ උපුල්වන් දෙව් රජු වෙසෙසා වනන සිරි රහල් හිමියෝ වරුණයා සඳහමින්:-

‘සැදැ ළෙන් වරුණ දෙව් රජ මුහුද විසූ’ යැයි වදාරති. ලක් දිවේ දෙවියන් ඇඳිනීමෙහි සිරි රහල් හිමියෝ වෙසෙස් සමත් කම් ඇත්තෝයි. මේ වරුණ දෙවියා උපූල් වන් දෙවියා මැ නම් එ බව සඳහන් කිරීමට එ හිමියන් පසු බට නො වනු නියතයි. වරුණයාට හිරු හා සබඳ කම් ඇත්තේයි. උපුල්වන් දෙවියා ගේ එ අයුරු සබඳ කමෙක් නැත්තේයි. ඉරානයේ සුර අසුර දෙ ගණයේ මැ දනන් විසින් මහ ඉහළින් සලකනු ලැබූ වරුණ දෙවියා ගේ බැසීම වූයේ වේද ඇදුරන් දඹ දිවට බැසැ මඳක් කල් යත් මැ පැරුණි දඹ දිව වැසි දෙවියන් ද කෙමෙන් වෛදික දෙවියන් අතරට වැදැ මුසු වන්නට වූ පසුයි. වරුණයා බුදුනු දෙවයෙක් නො වේ. උපුල්වන් දෙවිඳු බුදුනු පැවිද්දන් විසින් බුදුනු බැවින් පුදන ලද්දේ වෙයි. දෙව් රජුට මුහුදු ලොව බලා වදාරන ගමන් සසුනක් ද රක්නට ඉඩ නැති.


මේ උපුල්වන් දෙවිඳු විජය ආදීනට පිරිත් නූල් බැඳැ අරක් සලසා ලූ බව මහාවංස කාරයෝ කියති. ඒ වනාහි බුදුන් ලා යකැදුරු කම් කැරැවූවන් විසින් නූල් බැඳීමට පිරිත මතුරු කොටැ ගන්නට නැමුනු යකැදුරන් ගේ බණ සලකා කියන ලද්දෙකි. යමා හලැ පිරිනිවන් පානා මුනිඳුන් එ දා මැ මෙහි පැමිණෙන විජය පිරිසට ඇරැක්ම සලසන සේ සක් දෙවිඳුට වදහළ බවත් සක් දෙවියා එ කටයුත්තේ උපුල්වන් දෙවිඳු මෙහෙයාවා ලූ බවත් පැරැණි. කතන්දරයෙහි සැඳැහෙයි. වරුණයා සක් දෙව් රජු ගෙන් අණක් ලබන දෙවියෙක් නො වේ. අනෙක් අතට ඊරාන වෛදිතයන්‍ ගේ ඉන්ද්රර (ශක්රෙ) යා ද වරුනයා මැ වේ. එ දෙදෙන මැ ගිනි දෙවියා ගේ වෙනස් වෙනස් මූර්ති සෙයින් සලකන ලදහ.

ත්වමග්නේ වරුණෝ ජායසේ යත් ත්වං මිත්රෝු භවසි යත් සමිද්ධ ත්වේ විශ්වේ සහසම්පුත්රත දේවා- ස්ත්වමින්ද්රෝහ දාශුෂේ මර්ත්යාාය (සාක් 5.3.1) (අග්නිය උපතැ තමා වරුණයා යැ. දැල්වුණු විටැ මිත්ර්යා බවට වෙයි. සවියේ පුතාණෙනි! සියලු දෙවියෝ ඔබ තුළැ සංගෘහිත වෙත්. අදහන්නට තමා ඉන්ද්රපයා වැ සිටි) යනු රුසියෝ කියති.

මහා වංසාකාරයන් එදා විජය පිරිසට නූල් බැන්දා යැයි කියන උපුල් වන් දෙවියා මෙ දිවයිනේ විසීමට පැමිණීයේ ඉතා මෑ තැ දී වෙයි- ‘ය ම ල් හලැ මුනි ලෙසින් වදහළ මේ ලක රකිනුව මෙත් සිතින් උ පු ල් වන් දෙව් රජුන් පිළිරුව වඬිනු දැකැ මහ සයුරතින් වි ම ල් ගුණ යුත් නමින් දාපුළු- සෙන් රජෙක් ආ ඒ මොහොතින් වි පු ල් සිරි දෙව් නුවර කරවා පිහිට කැරැවි යහපතින්’

යන පැරැකුම්බා සිරිත් ‍පැදියෙන් එ පළ වන සේ පෙනේ. එහෙත් ඒ කීයේ දෙවිඳු නො වැ දෙවිඳු ගේ පිළිරුව (පිළිමය) පැමිණෙන බවයි. එයින් පළ වන්නේ දෙව් නුවරේ‍ දෙවොලේ උපතයි. කලින් ගිරියෙළ යන නමින් පසිදු වැ පැවැති බිම දෙව් නුවර යැයි පසිදු වූ අයුරුත්, එය කිහිරැළි උපුල්වන් දෙවිඳුට මැ ඇරුණු අයුරුත් එයින් පළ වෙයි. ලක් දිව සසුන් බිමක් හැටියට යමකු හට බුදු රදුන් පැවැරූ බවෙක් මහා පරිනිර්වාණ සූත්රලයේ සඳහන් නො වේ. සිරි මුවින් නික්මෙන එක් වදනකුත් තමන් ගේ කනට නො වැදී බැහැරැ යන්නට ඉඩ නෑරැ ගිලන් බුදු රදුන් වෙතැ සිටි පැවිදි උතුමනට එ පැවැරීම නෑසුණු සැටියි.


මර යුද දවසේ සියලු දෙව් බඹුන් නයින් බුදු වන උතුමා තනි කොටැ පියා පැලෑ වේලෙහි මේ උපුල්වන් දෙවිඳු දුන්නත් සදා ගත් වන මැ විදුරත්න යටැ සිටි බව:- ‘අ මා ඇදුරු උන් සඳැ විදුරසුන් මතු ප මා නො වී පැමිණෙන යුදට වසවතු තමා මැ සැවු බල පෑ සිටි නො බා සිත’ යි. කොවුල් අසුන් කරුවා කියයි. එ ද පතිනිය ගේ ‘ඉදි කටු මුනැ පය දවුඩා ගෙනැ’ ස ිටීෆම පුවත බඳු වැ බුදුනු යක් ඇදුරන් කෙරෙන් පහළ වූවෙකි. අනුර පුර පිරිහීහ සිදු වන අවදියේ (දෙ වන) දාපුළු රජු දවසැ මෙහි දෙව් නුවරක් හෝ දෙවොලක් හෝ ඉහළ තැනක් ගෙනැ නො පැවැති බව එ රජු ගේ දූ වූ දේවා කුමරිය පාවා ගෙනැ සිටි කිත් අක්බෝ ඈපානන්‍ ගේ:- ‘... ඈපා කිතක්බොයාහු වජනින් ගිරියළ කිහිරැළි පිරිවනට බහා ලූ සල් කෙයල් මාගුළ..’ ඈ විසින් සඳහන් වන එහි සෙල් ලිපියෙන් පෙනේ. එ ‍හෙත් ඊට ද පෙරැ මිසරයේ ‍ටොලමියන් විසින් පිලියෙළ කරවන ලද බිම් සිතියමෙහි මෙහි බිම් තුඩුව මහ දෙවියා (දායුස්) ගේ බිම් තුඩු ගොඩැල්ල යනුයෙන් දැක්‍‍වෙනුයෙන් පෙරැ සිටැ මැ මෙහි උපුල් දෙවිඳු රැඳුණු බවත් එ දෙවිඳු ලක් දිවේ ඉහළ මැ දෙව් රජු හැටියට සැලැකුණු බවත් පෙනේ.


මේ දෙව් රජු අලුත් නුවර දෙවොලේද වසන බව පසිදු පවතෙකි. එහිදී ‘වාසල දෙවි’ යන නමිනුයි මොහු සඳහන් කරන්නේ. ‘ග ලු ත් කපා වේ රැහැණින් අලුත් නුවර කර ම ලු ත් පුදා අප මුනිඳුට ලඟ මැ තේව කර .......................................................................................... අ ලු ත් නුවර වාහල දෙවි පාවඩ අවසර’ යැයි ය ක් ඇදුරෝ මේ දෙවියා සඳහන් කරති. එයින් පෙනෙයි. මෙ දෙවිඳු ලක් දිවේ පසිදු වැ සිටි තැනැත්තකු බව කපුවෝ ‘දැඩිමුණ්ඩ’ සුදු මල් බණ්ඩාර, දේවතා බණ්ඩාර, වීර විකුම් සෙනෙවිරත් දේවතා බණ්ඩාර’ යන නම් ද මෙ දෙවිඳු සඳහා යොදති. මර යුදෙහිදී දැඩිමුණ්ඩ දෙවිඳු කළහයි කපුවන් යෙන සමත් කමයි කොවුල් අසුන් කරුවා විසින්:-

‘අමා ඇදුරු උන් සඳැ විදුරසුන් මත’ ඈ පැදියෙන් කියන ලද්දේ. දැඩි යන වෙසෙසුන මෙ දෙවියාට ලැබුණේ එ පෑ දස්කම නිසා ලු. දැඩි මුණ්ඩ දෙවි තෙමේ වරුණ නා රජු ගේත් විමලාවගේත් දූ වූ එන්දතිය කුසින් කුවෙරයා ගේ බෑන පූර්ණක යක් යෙනෙවියාට දා වැඋපන්නේ ල.

‘අස න්ඩ නන්දන සුරතල් කිව එ තෙන් දී වඩ න්ඩ සුන්දර එ සුගත් සස්ත වරන් දී දර න්ඩ මුද්දර දිලි නිල් වේවැල් බොන් දී යකුන්ඩ ගින්දර සෙනරත් අදිකාරන් දී’ යන්නෙන් ද (‘බොන්දි, යනු ‘බොණ්ඩි’ යන්නේද, මේ නිල් වේවැලත් බොණ්ඩියත් මෙ දෙවියාට දෙන ලද්දේ කුවෙරයා විසින් ල. ‘මාරු බලා දෙවි උතුමා පිරිවර යක් සෙනඟ හැමා මෝරුව පිරිසත් බොහොමා ගල් පහුරට නැගී හැමා මා දෙවි සිරි පතිනි යොමා සීනි එ ගම් තොටට තමා මා‍ තෙද දැඩිමූඩ උතුමා බැස පුව යක් සෙන් බොහොමා’ යැයි දැඩි මුණ්ඩ පරලයේ මෙ දෙවියා සීනි ගමට ගොඩ බර බව සඳහන් වෙයි. සීනි නමින් නො එක් තැන් කරා මෙ දෙවියා වැඩැ වදාළ සැටි පවසමින් ‘දැඩි මුණ්ඩ වරම’ කල යක් ඇදුරා පැරැණි පුවත තමා ගේ සිතට නැගෙන පරිදි ඇදුරු පරණ විතාන මහතා උපුල්වන් යනු වරුණ යන්නෙන් සිදු කළ සේ- නිරුක්ති දක්වමින් පැහැදිලි කෙළේයි.


පළමු මෙහි ඇදැ පෑ පැරැකුම්බා සිරිත් පැදියේ ‘......දාපුළු සෙන්......’ ඈ තැනැ ‘දාපුළු’ යනු ‘දාපු-අළු’යි විබා කල හෙ තෙමේ දැඩි මුණ්ඩ දෙවිඳු දෙව් නුවරට පැමිණැ එහි සිටැ ගැබිනි වැ මළ සෝමවතී දේවිය ගේ සිරුර දැවූ තැනට ගොස් එ සිරැර දැ අලු ගෙනැ ඉන් අර කුසැ වූ කුමරා යළි අඹා පණ ගැන්වූ බවත් එයින් දා පුළු (සෙන්) යන නම වූ බවත් පවසයි මුහුදට අදිපති වරුණ, දෙවි රජුට ‘උදාකපාල වරුණ’ (වණ්ණ) යැයි නමක් දී එයින් ‘උදපලවන්, යනු නිපදවා එය ‘උපුල්වන්’ යැයි සිදු කොටැ දැක්වීමත් ‘දාපුළු’ යනු නිපන් සැටි දැක්වීමත් එක් අයුරුයි. පුරා විදුව එකෙකි, යට ගියාව අනෙකෙකි, දෙව් පවත ඉනුත් අනෙකෙකි.

ඇ:- කොවුල් අසුන් කරුවා:


‘උස දෙව් නුවර දිසි ඉරුගල් කුලට කිරුළ් යස සිරි වඩන නිසි ගිරිවැසි තෙරිඳුට මල් ‍තොස යුතු තිලක පිරුව්න හිමි’ යි තමා හඳුනවයි. එයින් එ තැනැත්තා පිරුවන් හිමියකු බව පළ වෙයි. ඔහු ගේ පිරුවනේ නම තිලක’ යන්නෙන් දැක්වේ. එ සෙසු පිරුව්න සෙයින් පසිදු වැ නො පැවැති බව එ නම සඳහන් අන් තැනක් දක්නට නැති බැවින් පෙනේ. අද එ අයුරු පිරිවෙනකැ නය බුන් හෝ දක්නට නැති. එ හෙයින් එය කො තැන්හි වී ද යනු පවා විසඳා ගනු බැරි වෙයි. අස්න සැළ කරවද්දී ‘.... වසන දෙව් නුවර යතිදෙක්’ යැයි අසුන් කරුවා තමා සඳහන් කරනුයෙන් එ තිලක පිරිවෙන දෙව් නුවරෛ් මැ වූ බව සලකා ගත හැකි වෙයි. එ හෙත් එය දෙව් රජු ගේ මැදුර බද වෙහෙරෙහි නු වූ වෙයි. එ හෙත් එය දෙව් රජු ගේ මැඳුර බද වෙහෙරෙහි නු වූ බව, දෙව් රජු වැඳි ඉක්බිති:- ‘සුවිසල් මෙපුර මැදැ වෙහෙරට වදු මිතුර’ යැයි පුර මැදැ වූ වෙහෙරට කොවුලා යැවීමෙන් පෙනේ.


‘මෙ ගත් කතුවරයා ගිරි වැසි තෙරිදුට ලේ වූ බවත්, එ ගිරි වැසි තෙරිඳු ඉරුගල් කුලට කිරුළ වන බවත් මෙහි මැ සඳහන් වෙයි. ‘ගිරි’ යන්නෙන් අදහස් කරන ලද්දේ මුල්ගිරිගල වෙහෙර නම් මේ ඉරුගල් කුලේ තෙරුන් හට එ වෙහෙර අයත් වැ පැවැති බව පළ වැ පෙනේ. එ තෙරිඳුට මල් වූ යතිවරයෙකි. කොවුල් අස්න කළ පඬිවරයා. පෙරැ මයුරපාද පිරුවන් හිමි බුදු පුත් තෙරිඳු ද තමා වාගිරිගලැ අරමේ සුමඟුල් තෙරිඳුගේ සහෝදර බව පූජාවලියෙහි සඳහන් කරයි. මේ ගිරි වැසි තෙරිඳුන් තිලක පිරුවන් හිමි තෙරිඳුන් එ සෙයින් මැ දෙසෝවුරු කෙනකු වැ සිටි බව පෙනේ. කුලය මිසැ එක් නමකගේ ද නම සඳහන් නො වීම සැලැකියැ යුතු පවතෙකි ඉරුගල් කුලය සිංහල බවට පත් දෙමළ රජ කුලයෙකි. පසු කලෙකැ ජයද්දන පුරේ රජ වූ දොම් ජෝන් දහම්පල් පෙරිය බණ්ඩාර තෙමෙ ද, එ රජු පිය වීදියේ බණ්ඩාර තෙමේ ද, එ රජු සුළු පිය තම්මිට සූර්ය බණ්ඩාර තෙමේ ද, සත් කෝරලයේ මුණ්ඩ කොණ්ඩ පළ එදිරිමන සූර්ය රජ තෙමේ ද ඉරුගල් කුලයෙහි වූ වෝයි.


ආදි පැවිද්දන් බෙහෙවින් මැ සඟ පරපුරේ මූළ සඳහන් ‍කළත් මෙ පැවිදි තෙමේ කා ගේ වුවද කුලය සඳහන් කරයි. සිය දෙටු සොහොවුරු තෙර:- ‘ඉරුගල් කුලට කිරුල්’

යැයි සඳහන් කළ මෙ තුමා ජයද්දනපුරේ වෙහෙරේ දම්කිත් හිමි:- පුවතර විමලකුල - කිරණවැ සුපුන් සදයුරු’ යැයි සඳහන් කරයි. ‘යස කුල තිදසපුර - පුරඳුරු අයුරු’යි සපුමල් කුමරාගේ කුලයද සඳහන් කොටැ ඇති මේ පිරුවන් හිමියා දෙමළ කුලවතකු බව එ තුමා ගේ දෙමළ බස පිළිබඳ දැන්මෙන් ද පළවෙයි.


‘ දසන මතින් දැනැ එළු දෙමළ බණ තතු’ යැයි තමා ගේ සිංහල දැනීමත් දෙමළ දැනීමත් එතුමා මැ පළ කරයි. සකු ඈ බස් පිලි බඳ වෙසෙස් දැන්මක් මෙ තුමාට නුවූ බව මේ අසුන් කවෙන් ද පළ වෙයි. කවි සිළුමිණි කුස දාව, සස දාව, ඈ සිංහල පොත්හි පැදි මිසැ සකු පොත්හි පැදි ගුරු කමට ගන්නා ලද සෙයක් මෙහි පෙනෙන්ට නැති. දූතයා ගමන් කැරැව මඟැ මෙ අසුන් කව් කරු ද ගමන් කොටැ ඇති බව පෙනේ. යාපා පටුනේ පවත් පිරිසුදුවට දනී මේ ගත් කතුවරයා. තිසර අසුන් කරුගේ මඟ තොට පිළිබඳ දැන්මට වැඩියෙන් මෙ ගත් කරු ගේ එ පිළිබඳ දැන්ම පිරිසුදු බව කියැ යුතු වෙයි. වැනුම් ද මෙ ගත් කතුවරයා තිසර අසුන් කරුට දෙ වැනි නො වන්නට කොටැ ඇති බව පෙනේ.


මෙ ගත් කතුවරයාට වැඩියෙන් රැසැයීමේ සමත් බවකුත් කිවි කම්හි මූ කළ බවකුත් දන්වන ගිරා අසුන් කරු වුවද:- ‘පු න් ස ඳ කිරණ පෙර දිගිනෙත විපුල් ලේ නන් කොඳ කුමුදු විකසිත වන ඇසිල් ලේ දු න් න ද සපද තුරු මැදැ වෙහෙර තුල් ලේ ම න් බැඳ ලගින් කෙවිලඟනක තුරුල් ලේ’ (82) යන්නේ මුහුණුවර සඳහනින්:- ‘පු න් සඳ කිරණ එත නුඹ ගහැ වතුරු ලෙස නන් කොඳ කුමුදු සමඟ යැ දිලෙන තුරු රැස දු න් සඳ මුනිඳු පුදයට පසඟ තුරු ගොස ම න් බැ ඳ ලගින් පවුරසැ මිහඹ තු රු හිස’ (63) යනු පවසති.


සෙසු අසුන් කවි සේ මැ ‘සැරද’ යන්නෙන් පටන් ගන්නා ලද මෙ කවත් දූතයා පැසැසීම, කටයුතු නිදෙස නික්මෙන පුරයත් පුරපතියාත් වැනීම. ගමන් ඇරැඹීම, සුබ නිමිති දැක්ම, මඟ තොරතුරු, ගමන නනැමැවීම. අසුන ලබන්නාක් අස්නත් පැවැසීමේ දී සෙසු අසුන් කව්හි සඳහන් දූතයානට වැඩියෙන් මේ දූතයා ගමනට සුදුසු බව ද පැවැසෙයි. එයින් කොවුල් අස්නට පළමු වැ කරන ලද අසුන් කවි ද සඳහන් වන සේ සලකත හැකියි. ‘සැ බැ වි න් ගන කලට හස සපද සුර පතේ ත බ මි න් ගමන් සරැ, තුරු සිදුරැ සැඟැවෙතේ ලොබයෙන් රැගුමැ ලස් වෙති මියුරු දියනෙතේ එ බැ වි න් තොප මැ නිසි බව මෙ යතුරට සිතේ’ යන තැනැ තිසර, බිඟු, මියුරු යන අසුන් කවි සඳහන් බව පෙනේ බිඟු අස්නේත්, සිදතට පෙරැ පැවැති මියුරු අස්නේත් අද පවත්නේ නම් පමණෙකි.


පුර වැනුම් මෙහි සතරෙහි දෙව්නුවර යැ, මහ වැලිගම් පටුන යැ, ජයවද්දන පුර යැ, යාපා පටුන යැයි. මහ වැලිගම් පටුනේ විසිතුර විනා එහි පතියකු ගැනැ සඳ හනෙක් නැති. දෙව් නුවරේ උපුල්වන් දෙව් රජ යැ, ජයවද්දන පුරේ සිරි පැරකුම් රජ යැ, යාපා පටුනේ සපුමල් කුමරිඳු යැ යන තුන් දෙන පුර පතියන් හැටියට වැනුම් ලබති. සෙසු අසුන් කවි වැඩි ගණනෙකැ සේ මැ මෙහි දු වන වැනුම් සැඳෑ නිස උදා වැනුම් එළි කෙළියෙකි. දිය කෙළි වැනුම සෙසු අසුන් කවිහි එ වැනුම් හා සසඳන වැටැ උස් තැනක් ගනී. ඒ ඒ තන්හි දී සැඳෑ තෙළෙසකුත් උදය තෙළෙසකුත් වෙන් වෙන් වැ වනා දක්වා ඇති හෙයින් දෝ දිය කෙළි වැනුමෙන් ඉක්බිති වැ සිරිත් පරිදි කැරෙන සැඳෑ නිස උදා වැනුම බෙහෙවින් කොට වැ ඇති.


මඟ තොට වැනුම්හි දී නො එක් තැනැ සැබැවි වූ සොඳුරු බව සලකා ඇති සැටියෙන් මෙ අසුන් කරු තිසර අසුන් කරුට සම වන සේ පෙනේ. ‘හොබ ව මිනේ සේ පට පයි තුළේ රැඳි ප බ ළු මෙ නේ ගන රත් පැහැයෙන් වොරැඳි වෙසෙසවෙනේ තැනැ තැනැ මකුළු දැල් බැඳි ම ඟ සැ පෙ නේ මූ කළ ඉඳි කැන් සුසැ දි’ (53) යනු සැබැවියාවට මුල් තැනැ දුන් වැනුමෙකි. ‘සිටිනා මනා රඟ මඟ අසැ තුරු රැන්ද බිඟුනා දිනා පි රි පිපි සපු එරහැන්ද මලිනා වනා එන මඳ නල මකරන්ද ගිමනා උනා විඳැ විඳැ යව මිතුරින්ද’ (51) යනුත් එළි විහිළු නො තකා බලන විසිතුරු අරුතක් පළ කරන්නෙකි කිසි තැනෙක එළියට නත වීම නිසා විසිතුරු වූ අරුත නො පෙනෙන පමණට සෙසු වදන් හා නො සැසැ‍ඳෙන වදන් මෙ කිවියා යෙදූ බව පෙනේ.


‘ඇඳි සළු සමහැ ලිය පැනැ පැනැ කළපතුර’ (171) යනු නිදසුන් පිණිසැ සලකා බැලියැ යුතු. එහි ‘කළපතුර’ යැයි කීයේ ‘කළු, අප්, අතුර (කළු පෑ දිය තුළේ) යන වදන් එකට ගැළැපීමෙනි.

සිනා සුමුදු සුදු කුමුදුදන වනා ර රඟ මඬලැ සොබන තනා රඟන ලිය දකිමින උ නා සෝක හැරැ පිය මන’ (279)් යන රග වැනුම ද ඉතා විසිතුරියි.

‘මිදෙල් මල් කැකුළු මිණි වැළ පැළැඳ ගෙන සු පු ල් නා කුසුම් රන් තෝඩු ලා කන ක ම ල් වන් වතින් රස ගී පවසමින ළ ක ල් බල කෙළින ඇල් කෙත්වලැ නඳන’ (49) යනු සැල ළිහිණිය අස්නේ:-

‘ස ලා දුලා පියොවුරැ තඹර රොන් රත පු ලා නිලා උපුලන් ලා ගෙනැ කනත ක ලා පිලා නොවැ ඇල් ගෙවි කෙළින ඉන බ ලා පලා යව අස් වන් ගුරුළු නෙත’ (37) යන්න හා සසඳා බැලියැ යුතු එහි මැ:-

‘සපු මල් යොහොඹු ලා බැඳැ වරල මන රඟ පැහැ දුල් දොඹ කැකුළු හර කැරු ලා තනඟ රොනවුල් නා කුසුම් කනැ ලා කොඩොල් රඟ ද හ ව ල් උයන් කෙළි කෙළැ සලෙළුන් සමඟ’ (45) යන්න ද සලකා බලනු. එහෙත් තිසර අසුන් කරුගේ:-

‘අඹා සරල් වරලස මල් කැනිති ඔබා ත බා විලි දු දිවැ ඔටු නොවුන් අඹා නොබා සබඳ දැකැ ලැසිනොව එ වන සුබා සබා සබඳ දැකැ ලැසිනොව එ වන ගැබා’ (125) යන්න පෙන්වන්නේ ඉන් පුරා වෙසෙස් මුහුණුවරෙකි.

‘වැද සුර මඟ යන වන දෙවඹුවන්නේ ප ද ‍ලතු වැකි මෙන් තුඟු තුරු මුදුන්නේ ල ද ‍ලෙළ ළපලු පත් දැකැ මිරිපැන්නේ ඉ ද මඳ කල් නුඹ නුබ නැහැ වඬින්නේ’ (68) යන තුරු මුදුන් වැනුම ගිරා අසුන් කරුට ද සිහි වූ සෙයෙක්:-

ව න දෙවඟන සරණතැ ලා තැන තැන වැකි ලෙස උදුලා ව න තුරු හිසැ රැඳි ළදලා ම න තොස කැරැ බල එ කලා’ (185) යන්නෙන් පෙනේ


කොවුල් අසුන් කරු එළු බණ තතු ‘දසන මතින් දත්’ බව කියතත් ඔහු ගේ හෙළ බස පිළිබඳ දැනීම සෙසු අසුන් කව් කරුවන්‍ ‍ගේ එළුව දැනීමට නො අඩු වැ පැවැති බව පෙනේ. කවර කරුණක් නිසා වුව ද ‘කිරිය කරු පද සබඳ’ දෙ දැරැවීමක් ඔහු නො කළ බව කියැ හැකියි. යෙදුම්හි නන් විදියේ විසුළු රූ අපට දක්නට ලැබෙතත් ඒ එළි බසෙහි හැටිය විනා ගත් කරුගේ බසෙහි හැටියක් නො වන බව අප විසින් සැලැකියැ යුතු වෙයි. ‘උස දෙව් නුවර දිසි ඉරැගල් කුලට කිරුල්’ යැයි මේ ගත් කතුවරයා ‘කිරුළු’ යනු කිරුල් යැයි යොදා ඇති එහෙත් සිරි රහල් හිමියන් වැන්නවුනට ‘දිනමින’ යනු ‘දිනමින්’ යැයි යෙදීමට සරසෙක් නැති නමස් මෙ ගත් කතුවරයාට ‘කිරුළු’ යනු කිරුල් යැයි යෙදීමට සරසක් ඇති වියැ නො හැකි.


පෙම් පෙන්නා...... බිම් දුන්නා...... තම්මැන්නා...


යනු හා එළිවැට සහිත වැ සිටිනු පිනිසැ ‘උන්දෙන්නා යන්න ‘උම් දෙන්නා’යි යොදා ඇති ‘බිඟු නදින්’ යනු විරිත නිසා ‘බිඟු නා දිනා’යි යොදා ඇති සේ පෙනේ. එ සියල්ලල සද විකර මිසැ වියරණ නය සිඳීම් නොවේ. ‘මුව’ යන අරුතෙහි ‘වන’ යන්න යොදා ඇති සැටි ‘කමල් වන් වතින්’ (49) යන තැනැ පෙනේ.


1961.11.1


රැ. තෙන්නකෝන්.