Jump to content

ගිරා සන්දේශ විස්තර වර්ණනා-7

Wikibooks වෙතින්

61


අන්වය - සුනිල් වරලස කුසුම පටියෙන ගවසා, තනන තන රන තිසර පැටියන වෙහෙසා, ත-ගනු අටියෙන සහසා දිවෙන ලිය දැක මිතුර යටියන නොසිට නොලසා යා ගන්.

විස්තර - (1) යටියන නමැති ගමේ තරුණියෝ තමන්ගේ නිල් වරල මල් දම්වලින් සරසා ගෙන තමන්ගේ (සම්පූර්ණයෙන් නොවැඩුණු) ළපටි පියයුරු නටව නටවා ගිරවා අල්ලා ගනු අටියෙන් දුව එති. ඔවුන් දැක නතර වුවහොත් ඔවුන්ට අසු වනු නියති. එවිට මේ ගමන යා නොහැකිය. ඒ නිසා ඉක්මනින් යන්නට අණ කෙරිණ.

(2) කුසුම පටියෙන - පටිවලින් එකට ඇමුණු කුසුම්; මල්දම්

තනන තන රන තිසර පැටියන වෙහෙසා - ගැහැනු දුවන විට ඔවුන්ගේ ළපටි පියයුරු සෙලවි වෙහෙස වෙයි. පියයුරු ළපටි නිසාත් රන්වන් නිසාත් රන තිසර පැටියන්ට උපම‍ා කෙරිණ.

සහසා - වහා

ත - ගනු අටියෙන - පිටපත්වල එනුයේ ත-වෙත, තැවෙන, ත-යන යෙදුම්ය. තා-ගනු අටියෙන යනු වඩා සුදුසුය. මක් නිසාදයත් ගිරවා දකින තරුණියන්ට ඌ අල්ලා ගන්ට ආශා ඇති වන හෙයිනි.



62


අර්ථය - මිත්රිය, ඔබ එතැනින් ගොස් සූර්යයා අහස් ගැබින් බැස සමුද්රවය නමැති බබලන යහනෙහි වැටෙත්ම, පැපිලිය‍ානේ වෙහෙරට වැදී...

විස්තර - පැපිලියාන - මෙය වර්තමාන කොහුවල, පිලියන්දල මාර්ගයේ පිහිටා ඇත.


63


අන්වය - නුබ ගඟ වතුරු ලෙස පුන්සඳ කිරණ එත, තුරු රැස සමගව නන් කොඳ කුමුදු දිලෙත මුනිඳු පුදයට පසඟතුරු ගොස දුන් සඳ පවුර අස මිහි අඹ තුරු හිස මන් බැඳ ලගින්.

අර්ථය - ආකාශ ගංගාවෙහි ජල ප්රඳවාහය පරිද්දෙන් පූර්ණ චන්ද්ර් රශ්මිය එන කල්හි, තාරකා සමූහයා සමග නොයෙක් කොඳ, කුමුදු දිලිසෙන කල්හි බුද්ධ පූජාව පංචාංගික තූර්ය නාදය කළ විට, ප්රාකකාරය අසල මී අඹ ගස මුදුනෙහි සිත අලවා වසන්න.

විස්තර - (1) තවත් උත්කර්ෂවත් වර්ණනයකි. එහෙත් සුදු සඳරැස් මහා වතුරක් මෙන් ගලා එයි. මෙහෙන් නොයෙක් සමන් මල් වර්ගත් සුදු මානෙලුත් පිපෙයි. ඒ අතරින් බුද්ධ පූජාව සඳහා පවත්වන පංචතූර්ය නාදය ඇසේ. මෙමගින් කවියා මවන්නේ චමත්කාර ජනක දර්ශනයකි.

(2) බුද්ධ පූජාව පටන් ගන්නේ ඒ තරම් රෑ බෝ වී නොවේ. ඊටත් කලින් ලැගුම් ගන්නට කීමෙන් ගිරවාට වේලාසනම නින්දට යෑමට කී බව පෙනේ.

(3) වතුරු - අද වතුර කියා යෙදෙන්නේ මෙම ශබ්දයයි. අද මෙන් නොව එදා එය යෙදී ඇත්තේ ‘ජල ප්රනවාහය’ යන අර්ථයෙනි.

කොඳ - කුන්ද, සමන් මල්

කුමුදු - කෞමදී, සුදු මානෙල් යැයි සමහරු කියති. මේවා පිපෙන් නේ රෑටය.

පසඟතුරු - (1) ආතත (එක් පැත්තක් ඇති බෙර) (2) විතත (දෙපැති බෙර) (3) විතතාතත (හැම පැත්තෙන්ම වැසුණු බෙර) (4) ඝන (කයිතාලම් ආදිය) (5) ශුෂීර (නළා)

පවුර’ස - පවුරු + අස; පවුර ළඟ



64


අන්වය - උදා දිනිඳු සිය රැස් සහස මුහුද රත් මිණි කිරණින් වෙසෙස රඳා රතු කර උදා සිරස වැනුවා මෙන් එදා ඉඳුරු දෙස අරුණු දිසි සඳ නුඹ ගසින් බැස.

අර්ථය - උදය සූර්යයා තම රැස් සමූහය මුහුදෙහි රතු මිණි රැසින් විශේෂයෙන් වර්ණ ගන්වා රතු පාට කර උදයගිර මත වැනුවාක් මෙන් නැ‍ෙඟනහිර දිශාවෙහි අරුණා‍ලෝකය පෙනුණු විට නුඹ ගසින් බැස (ම. ස.)

විස්තර - (1) මෙයද ඉතා කාව්යේෙචිත වර්ණනයකි. රත් මිණි කිරණ, රතු කර, රැස් සහස ආදි සියලු යෙදුම් මනහර උදයක ඇති වර්ණවත්භාවය ධ්වනිත කරයි.

(2) රඳා - රංජිත කොට, පාට පොවා

රැස් සහස - සූර්යයාට රැස් සහස්රොයක් හෙවත් දහසක් ඇතැයි කියනු ලැබේ. මෙයින් ඇත්ත වසයෙන්ම අදහස් කරන‍ුයේ රැස් සමූහයයි.

ඉඳුරු දෙස - සතරවරම් දෙවිවරුන් අතුරෙන් ඉන්ද්ර. අධිපති වනුයේ නැ‍ෙඟනහිරටය. ඒ නිසා එදෙසට ඉඳුරු දෙසයැයි කියනු ලැබේ.

එදා - මෙහි එදා යැයි කියූ නමුත් ගිරවා බසින්නේ පසුවදාය. නුඹ ගසින් බැස - කුමාරතුංග සංස්කරණයෙහි එනුයේ ‘නොගොසින්ම බැස’ යනුවෙනි. ගසින් නොබැස ඊ ළඟ පදයේ කියවෙන පරිදි පෙති පිළිම වඳින්නේ කෙසේද?


65


අන්වය - මිතුර, රිවිකුල දිවයුරුට දිනිතිය අයුරු, ලෙවු වැසි මන් තුටු කර රැඳි සුපිරිසුදු මවු බිසොවුන් උදෙසා අප නිරිඳු සඳු කරවූ තුනු රුවන සතු සොඳුරු වන වෙහෙරෙහි මුනි මැඳුරතට සිතු සතොසින් සපැමිණ තට සග මොක් සිදු වන ලෙස, සුගත් පසිඳු ගුණ තුඬ අග වැකි මතින් මහත් සසර සයුනේ නිසගය නැඟුණු කුසිත් තබා මුනිඳු ගුණ අගය කියමින් මහගය පෙති පිළිම වැඳ පින් අත් බඳුව.

අර්ථය - මිත්රුය, සූර්ය වංශයෙහි සූර්යයාට මව වූ අදිතිය මෙන් ලෝකවාසීන්ගේ සිත සතුටු කර සිටි මවු බි‍සොව වෙනුවෙනු අප රජතුමා විසින් කරවන ලද, රතනත්රයය සතු වූ සුන්දර වූ වෙහෙරෙහි බුදුගෙයට සිත් සතුටින් පැමිණ ඔබට ස්වර්ග මෝක්ෂ සම්පත් ලැබෙන ලෙස, බුදු ගුණ මුව අග වැකුණු ප්රැමාණයෙන් මහත් සංසාරයෙන් නිසර්ගයෙන් ලැබුණා වූ වැරදි සිතුවිලි පසකට දමා බුදු ගුණ අගය කියමින් මහත් අගය ඇති අඳින ලද හා අඹන ලද (බුද්ධ) ප්රගතිමා වැඳ පින් අයිති කර ගන්න.

විස්තර - (1) මෙහි ‘මහත් සසර සයුරින් නැඟුණු නිසගය කුසිත් තබා කියමින් මුනිඳු ගුණගය’ යන කවි පද දෙකට අප අර්ථ කියා ඇත්තේ වෙනත් සංස්කරණවලට වෙනස් ආකාරයකටය. මක් නිසාද යත් සසරේදී නිසර්ගයෙන්ම නරක සිතුවිලි කෙනෙකුට පහළ වීමට ඉඩ ඇති බැවිනි.

(2) දිනිතිය දිවයුරුට අදිතිය - අදිති සූර්යයාගේ මවය. එහෙයින් අදිති සූර්ය වංශයට ඉතා වැදගත්ය. එමෙන්ම සූර්ය වංශයෙහි උපන් පැරකුම්බා රජුට මව් බිසව වැදගත්ය.

රිවි කුල - මනුෂ්යවයන්ගේ මුල් රජු මනුය. මනු සූර්යයාගේ පුත්රුයෙකි. එහෙයින් ඔහුගේ වංශය රිවි කුලයයි.

දිනිතිය - ජනයිත්රී , මව,

පින’ත් බඳුව - පින් + අත් බඳුව, පින් ලබාගනුව

පෙතිපිළිම - අඳින ලද හා අඹන ලද බුදු පිළිම. පෙතිපිළිම යන්නේ සාමාන්යව තේරුම රෙදිවල ඇඳි රූපය.

මහග - මහාර්ඝ, බොහෝ අගනා


66


විස්තර - (1) මෙම පද්ය ය ඉතා පහසුය. එය රසවත් පද්යයයක්ද වේ. බිතු සිතුවම් හැටියට ඇඳි අඹ ගස්වල ගිරා රූපද වෙයි. ඒවා කොතරම් ස්වාභාවිකද යතහොත් මේ ගිරවා ඒවා නියම ගිරවුන් යැයි සිතා ගොස් රැවටීමට බැරි නැත. ඉන් වළකින ලෙස මින් දූතයාට අවවාද කෙරිණ.

(2) පෙලෙනු’දුල - පෙලෙන් + උදුල; ගෙඩිවලින් බබලන


67


අන්වය - වසවතු දප් බිඳ බුදු වූ ගුණ නදන අප දියබප් මුනි දා ගැබ නදන කර මුළු කප් කල පවතින ලෙස කළ නඳන දහගප් දින නඳන වඳිනා සඳ වඳු.

අර්ථය - වශවර්ති (මාරයා) ගේ එඩි බිඳ බුද්දත්වය ලැබූ ගුණ නිධාන වූ අපගේ ලෝකපිතෘ වූ බුදුන්ගේ ධාතු අභ්ය න්තරයෙහි නිධාන කොට මුළු කල්ප කාලයක් පවත්නා ලෙස ‍කළ සිත් පිනවන්නා වූ දාගැබ භික්ෂූන් වඳින කල්හි වඳුව.

විස්තර - (1) බොහෝ සංස්කරණවල දින නඳන යනු එනුයේ ‘දිය නඳන’ හැටියටය. එහෙත් කුමාරතුංග සංස්කරණයෙහි එන දින නඳන යනු වඩා හොඳ අර්ථයක් දෙයි.

(2) වසවතු - බෝසතුන් බුදු වන අවස්ථාවෙහි දස බිම්බරක් මාර සේනාව රැගෙන පැමිණියේ මෙම වශවර්ති මාරයාය. මෙය ඒ අවස්ථාවෙහි බෝසතුන් සිතට නැඟී ආ නොයෙක් ක්ලේශයන්ට පුද්ගලාරෝපණය කර දැක්වීමකි.

ගුණ නදන - ගුණයන්ට නිධාන වූ

දියබප් - ලෝකයාට පියා වූ; ‘බාපු’ යන වංග වචන සමග සසඳන්න.

දින නඳන - ජින නන්දන: නන්දන යනු සිත් සතුටු කරන යන අර්ථයත් පුත්රග යන අර්ථයත් දෙන්නකි. මෙතැන පුත්රෝ අර්ථය දේ. ජින නඳන යනු භික්ෂූහුය.


68


අන්වය - දුෂ්කර නැත.

අර්ථය - මිතුර, ස්වභාවයෙන්ම නිවන ගෙන දෙන්නා වූ බුදුන් උපදින දිනයෙහි එකට ඉපදී (බුදුන්ට) බෙහෙවින් පිහිටව සිට ලෝකාග්රන පූජාවද ලැබුවා වූ බෝධි වෘක්ෂයට ස-දෙව් ලෝ සැප සිදු වන ලෙසට නමස්කාර කරන්න.

විස්තර - නිසග - නිසර්ගයෙන්, ස්වභාවයෙන්

අපවග - අපවර්ගය; නිවනට නමකි; කෙළවර, මිදීම යන තේරුම් එම පදයෙහි ඇත.

සමග ඉපිද - දඹදිව ශ්රීන මහා බෝධිය සිදුහත් උපන් දිනයෙහිම පහළ වූ බව කියනු ලැබේ.

ලොව’ග පුද - ලෝකාග්රට පූජාව, බුදුන්ගෙන් පූජාවක් ලැබෙතොත් ඊට වැඩි පූජාවක් තවත් නැත. බුදුන් සතියක් මුළුල්ලේ බෝධිය දෙස ඇසි පිය නොහෙලා බලා සිටීම ඒ ‍ලෝකාග්රන පූජාවයි. එය ලැබූ වෙන කෙනෙක් හෝ වස්තුවක් තවත් නැත.

දූම රදු - බෝධිය සියලු ගස් අතර අග්රවය. එහෙයින් එය ‘ධූමරාජ’ නම් වෙයි.



69


අන්වය - මනහර එවෙහෙර’තුර රඳන මහරු සඟගණ මෙතින් සොඳුරු පිරිසිදු හිය මගෙහි යොදා නිතින් තිලෝගුරුහට පිළිවෙතින් පුදා හර දළ නෙත් අග වන් හිවි තව තෙදින් බබලන සුතුරු, විනය, අබිදම් පෙළ අමා අකර තමා නැණ තරිඳු කිරණින් උදම් කළ නොමඳ පුබුදු වියත් ගඟ රළ වැළ සේ නිබඳ දිමුත් සිවු පිරිසිදු සිල් පුරුදු මහත් මුනි බණ පැහැද දෙසුමෙහි පසිඳු සුනෙත් මහ දෙවි පිරුවන් තෙරිඳු නැමද.

අර්ථය - සිත් ගන්නා එම විහාරය තුළ සිටින මහාර්ග වූ භික්ෂු සමූහයා මෛත්රිනයෙන්, යහපත් පිරිසිදු හිත මාර්ගයෙහි යොදා නිතර බුදුන් වහන්සේට ප්රහතිපත්තියෙන් පූජා කොට, ඊශ්වරයාගේ නළලේ ඇස මෙන් උස් තාපස තේජසින් බබලන, සූත්රක, විනය, අභිධර්ම පාඨ නමැති ක්ෂීර සාගරය තමාගේ ඥානය නමැති සඳ රැසින් උද්දාම කළ මහත් වූ ප්රේබුද්ධ ආකාශ ගංගාවේ රළ පන්තිය මෙන් නිතර දීප්තිමත් සතර පරිශුද්ධ ශීලය පුරුදු කළ මහත් වූ බුදුබණ ප්රළසාදයෙන් දේශනා කිරීමෙන් ප්රරසිද්ධ සුනේත්රාක දේවී විහාර‍ාධිපති ස්ථවිර තුමා වැඳ.

විස්තර - (1) කොතරම් අලංකාර ලෙස කිරීමට තිබූ වර්ණනයක්ද? අනවශ්යි විශේෂණ පද රාශියක් යොදා ගෙන ඇති සැටි බලන්න. මනහර, මහරු, සොඳුරු, පිරිසිදු, හිවි, නොමඳ, පුබුදු, දිමුත්, පිරිසිදු, මහත්, පසිඳු ආදියෙන් කීයක් නම් පහසුවෙන් අත් හැරීමට ඉඩ තිබුණේද?

(2) හිය මග - හිත මාර්ගය, නිවන් මග

තිලෝ ගුරු - තුන්ලොවට ගුරු යන අරුතින් බුදුන්ට තිලෝගුරු යයි කියති.

හර දළ නෙක් අග - ඊශ්වරයාගේ නළලෙහි පිහිටි ඇසේ ගින්න. ඊශ්වරයාට කෝපයෙන් ඇති වූ විට ඔහුගේ නළල් ඇසෙන් ගිනි පිට වෙයි. අනංගයා මළේද එම ගින්නෙන් පිළිස්සීමෙනි.

හිවි - උස්

තව තෙදින් - තාපස තේජසින්

අමාකර - අමා + අකර, අමෘතයට ආකර වූයේ කිරි මුහුදයි.

සුතුරු, විනය’බිදම් - විනය, සූත්රම, අභිධර්ම

වියත් ගඟ - ආකාශ ගංගාව; වියත යනු අහසට නමි.

සුනෙත් මහ දෙවි පිරුවන - 6 වැනි පරාක්රුමබාහු රජු තම මෑණියන් වෙනුවෙන් පැපිලියානේ තනා පූජා කළ විහාරය. මෙය අද දක්වාත් මෙනමින් පවතී.



70


අන්වය - අපහසු නැත.

අර්ථය - බුද්ධ පූජාවට පැමිණි කාන්තාවන් බැලුවහොත්, ඔවුන්ගේ ඇස්වල කාන්තිය වැදි ඔබේ තුඬ කිළුටු වෙයි. එවැනි කිළුටක් ඇති වන තෙක් ඔවුන් ළඟ නොසිට අහසට නැඟී සිත් සේ යා ගන්න.

විස්තර - (1) කාන්තාවන්ගේ ඇස්වල කාන්තිය නීල වර්ණය. එය ගිරවාගේ රතු තුඬට වැදුණු කල්හි තුඬ මලානික පැහැයක් ගනියි.

(2) සවන් - සර්වඥ යන පදයෙන් භින්න විය.

මලින - කිළුටු

පවන් මග - පවනෙහි මාර්ගය, ආකාශය

මන ර‍ෙඟ් - සිත් පරිදි