ත්‍රිපිටක පොත් වහන්සේ/සූත්‍ර පිටකය/දීඝ නිකාය/උදුම්බරික සීහනාද සූත්‍රය

Wikibooks වෙතින්

1. මා විසින් මෙසේ අසන ලදි. එක් කාලයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහිවූ ගිජුකුළු පව්වෙහි වැඩ වාසය කළෝය. එකල්හි නිග්‍රොධ පරිබ්‍රාජක තෙමේ තුන් සියයක් පමණ මහත් පිරිවැජි පිරිසක් සමග උදුම්බරිකා දේවියගේ පිරිවැජි ආරාමයෙහි වාසය කළේය.

2. එකල්හි සන්ධාන නම් ගෘහපති තෙමේ (දවල්කාලයෙහි) භාග්‍යවතුන් වහන්සේ දැකිම පිණිස රජගහ නුවරින් පිටත් විය. ´´භාග්‍යවතුන් වහන්සේ දැන් චිත්ත විවේකයෙන් යුක්තව වාසය කරන්නාහ. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ දැකිමට මේ සුදුසු කාලය නොවෙයි සිතීය.

3. එකල්හි සන්ධානගෘහපති තෙමේ නිග්‍රොධ පරිබ්‍රාජක තෙමේ වෙත පැමිණියේය. එකල්හි නිග්‍රොධ පරිබ්‍රාජක තෙමේ මහත් පිරිවැජි පිරිස සමග මහහඬින් නොයෙක් විදියේ පහත් කථා කියමින් හුන්නේය.

4. නිග්‍රොධ පරිබ්‍රාජක තෙමේ එන්නාවූ සන්ධාන ගෘහපතියා ඈතදීම දුටුවේය. දැක, සිය පිරිස හසුරුවාලීය. ´´ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකවූ සන්ධාන ගෘහපති තෙමේ එයි. ආයුෂ්මත්නි, මොවුහු වනාහී නිශ්ශබ්දතාවය කැමැත්තෝය. නිශ්ශබ්දතාවයෙහි හික්මුණෝය´´ කීය. මෙසේ කි කල්හි පිරිවැජියෝ නිශ්ශබ්ද වූවාහුය.

5. එකල්හි සන්ධාන ගෘහපති තෙමේ නිග්‍රොධ පරිබ්‍රාජකයා වෙත පැමිණ පරිබ්‍රාජකයා සමග සතුටු විය. සන්ධාන ගෘහපති තෙමේ නිග්‍රොධ පරිබ්‍රාජකයාට මෙසේ කියේය.

´´පින්වත්නි, මේ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ එක් රැස්ව මහාහඬින් යුක්තව උස්ශබ්ද ඇත්තාහු නොයෙක් විදියේ පහත් කථාවෙහි යෙදුනාහු වාසය කරත්. ඒ භාග්‍යවතුන් වහන්සේ වනාහි අන් පරිද්දකින්ම ස්වල්ප ශබ්ද ඇත්තාවූද, ස්වල්ප ාේෂා ඇත්තාවූද, ජනවාසයෙන් වෙන්වූ මිනිසුන්ගේ රහස් කටයුතුවලට යෝග්‍යවූ, එකී භාවයට සුදුසුවූ ගම් සීමා ඉක්මවූ දුර වාසස්ථානද සේවනය කරත්´´. මෙසේ කී කල්හී නීග්‍රොධ පරිබ්‍රාජක තෙමේ සන්ධාන ගෘහපතියාට මෙසේ කීයේය.

´´ගෘහපතිය, එසේ නම් ශ්‍රමණ ගෞතම තෙමේ කවරෙකු සමග කථාකරන්නේදැයි දන්නෙහිද, කවරෙකු සමග සාකච්ඡාවට පැමිණෙන්නේද, කවරෙකු සමග උත්තරයට උත්තර දීමේ ක්‍රමයෙන් නුවණැති බවට පැමිණේද, ශ්‍රමණ ගෞතමයන්ගේ නුවණ වනාන්තරයන්හිදී විනාශවිය. ශ්‍රමණ ගෞතම තෙමේවිශාරද නුවූ පිරිස් මැදට පැමිණෙන්ට අසමර්ථය, කථාවෙහි අසමර්ථය, හෙතෙම ´´කිසිවෙක් මා අතින් ප්‍රශ්න විචාරති´´යිප්‍රශ්නයට බය වූයේ වනයේ දුර සෙනසුන්ම සේවනය කරයි.

6. ´´එසේ නම් ගෘහපතිය, ශ්‍රමණ ගෞතමයන් මේ පිරිසට පැමිණියොත් එක් ප්‍රශ්නයෙන්ම ඔවුන් වෙහෙසට පමුණුවම්හ. ඔහු හිස් කළයක් මෙන් පෙරලා හැම පැත්තෙන්ම නමා බැඳ තබම්හ´´කීය. නීග්‍රොධ පරිබ්‍රාජකයා සමග පවත්වන සන්ධාන ගෘහපතියාගේ මේ කථාසල්ලාපය භාග්‍යවතුන් වහන්සේ දිව කණින් ඇසූහ. එවිට භාග්‍යවතුන් වහන්සේ ගිජ්ඣකූට පර්වතයෙන් බැස ´´සුමාගධා´´ නම් පොකුණ ඉවුරෙහි මොරනිවාපයට (මොනරුන්ගේ අභයස්ථානයට) පැමිණ ´´සුමාගධා´´ පොකුණ ඉවුරෙහිවූ එලිමහනේ සක්මන් කළෝය. නීග්‍රොධ පරිබ්‍රාජක තෙමේ භාග්‍යවතුන් වහන්සේ දුටුයේය. දැක ´´පින්වත්නි, නිශ්ශබ්ද වව්, ඉදින් ශ්‍රමණ ගෞතම තෙමේ පිරිසට පැමිණියොත් ඉතා යහපති´´යි තම පිරිස හසුරුවාලීය.

7. එවිට භාග්‍යවතුන් වහන්සේ නීග්‍රොධ පරිබ්‍රාජක තෙමේ වෙත පැමිණියහ. පනවනලද ආසනයෙහි භාග්‍යවතුන් වහන්සේ වැඩහුන්නෝය.

නිග්‍රොධ පරිබ්‍රාජක තෙමේද එක්තරා මිටි ආසනයක් ගෙන එක් පැත්තක හුන්නේය. නීග්‍රොධ පරිබ්‍රාජකයාට භාග්‍යවතුන් වහන්සේ මෙසේ කීය. ´´නීග්‍රොධය, දැන් තෙපි කවර කථාවකින් හුන්නාහුද, තොප විසින් කවර කථාවක් අතර නවත්වන ලද්දීද?´´ මෙසේ කී කල්හි නීග්‍රොධ පරිබ්‍රාජක තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීයේය.

´´ස්වාමිණි, ඉදින් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මේ පිරිසට වැඩියොත් උන්වහන්සේ අතින් මේ ප්‍රශ්නය අසන්නෙමු. යම් ධර්මයකින් භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන් හික්මවාද භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්මයකින් හික්මවන ලද ශ්‍රාවකයෝ සතුටට පැමිණියාහු තමහට නිශ්‍රයවූ (පිහිටවූ) මුල් ප්‍රතිපත්තියවූ ආර්යමාර්ගයයි යම් ධර්මයක් ප්‍රකාශ කරද්ද, භාග්‍යවතුන් වහන්සේගේ ඒ ධර්මය කවරේද? යනුයි. ස්වාමීනි, අප විසින් මේ කථාව අතරතුර නවත්වන ලදි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පැමිණියෝය´´.

´´නිග්‍රොධය, අන්‍ය දෘෂ්ටිකවූ, අන්‍ය ලබ්ධිකවූ, වෙනත් බලාපොරොත්තු ඇති අන්‍ය ප්‍රතිපත්තියක පිහිටියාවූ අන්‍ය තීර්වායතනයක ගුරුවූ තොප විසින් ඒධර්මය නොදත හැක. එසේ හෙයින් නිග්‍රොධය, තෝ ස්වකීය ආචාර්ය වාදයවූ වීර්යයෙන් පව් පිළිකුල් කිරීම සම්බන්ධව ප්‍රශ්න අසව. ´´ස්වාමිනි, කෙසේවූ වීර්යයෙන් පව් පිළිකුල් කිරීමක් සම්පූර්ණ වේද, කෙසේ අසම්පූර්ණ වේදැයි අසමි´´යී කීහ.

8. මෙසේ කී කල්හි පින්වත්නි, යමෙක් ස්වකීය ධර්මක්‍රමය තබා අනුන්ගේ ධර්මක්‍රමය ගැන විචාරවයි පවරන්නේද ඒ ශ්‍රමණ ගෞතමයන්ගේමහත් ඎද්ධි ඇති බව මහත් ආනුභාවඇති බව ආශ්චර්ය්ය, අත්භුතය´´යි. ඒ පරිබ්‍රාජකයෝ මහත්සේ හඞ නැගූහ. එකල්හී නීග්‍රොධ පරිබ්‍රාජක තෙමේ ඒ පරිබ්‍රාජකයන් නිශ්ශබ්ද කොට භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. ´´ස්වාමීනි, අපි වීර්යයෙන් පව් පිළිකුල් කිරීම කියන්නෝ වමු ´´ස්වාමීනි, කෙසේවූ වීර්යයෙන් පව් පිළිකුල් කිරීමක් සම්පූර්ණ වේද? කෙසේ නම් අසම්පූර්ණ වේදැයි?´´ ඇසීය.

´´නිග්‍රොධය, මේ ලෝකයෙහි යහපත් පැවතුම් වලින් මිදුනාවූ නිර්වස්ත්‍ර තාපසයෙක් වෙයි. හෙතෙම අමු පලාකයි. බඩහමු තණ කයි. වී ධාන්‍ය කයි. සම්කැබලි කයි. මැලියම් කයි. දිය සෙවෙල් කයි. ධාන්‍ය කුඩු කන්නේ හෝ වෙයි. දඬුබත් (දන්කුඩ) කන්නේ හෝ වෙයි. තල ආදී මුරුවට කන්නේ හෝ වෙයි. තණ කන්නේ හෝ වෙයි. ගොම කන්නේ හෝ වෙයි. වනමුල් ගෙඩි කැම කොට ඇත්තේ හෝ යැපෙයි. ඉබේ වැටුන ගෙඩි කන්නේ හෝ වෙයි. හෙතෙම හනවැහැරි හෝ හඳී, හනවැහැරි මිශ්‍ර රෙදි හෝ හඳී. මිනියෙන් ඉවත් කල වස්ත්‍ර හෝ දරයි. පාංශුකූලවස්ත්‍ර හෝ දරයි. රුක්පතුරු හෝ දරයි. මැදින් පැලූ අඳුදිවි සම් හෝ දරයි. නියඳ වැහැරි හෝ දරයි. පුවරු වැහැරි හෝ දරයි. හිසකේවලින් කල කම්බිලිද දරයි, කොටි සමින් කල කම්බිලිද දරයි. බකමුහුණු පිහාටුවලින් කල වැහැරිද දරයි, කෙස් රැවුල් උගුලන්නේද වෙයි. කෙස් රැවුල් ඉගිලීමෙහි යෙදුනේ ආසන ඉවත් කළේ උඩුකුරුව සිටියේද වෙයි. උක්කුටික වීර්යයෙන් යුක්තවූයේ උක්කුටිකයෙන් සිටින්නේද වෙයි. කටුමත්තේ ගමන් කරන්නේ කටු ඇතිරි මතුයෙහි නිදාගැනීමද කරයි, පුවරු මත්තේ නිදාගැනීමද කරයි. කුඩා තාප්ප, උස් බිම් කන්ඩි උඩ නිදාගැනීම කරන්නේද වෙයි.

´´දූලි දැලි දරන්නේ එක පැත්තකට නිදන්නේද වෙයි, එලිමහනේම වෙසෙයි. පළමුව එලූ පරිදිමවූ ආසනයේ හිඳී. අසූචි කෑමෙහි යෙදුනේ අසූචි කෑම කරයි, ඇල්දිය පානය නොකරන්නේ ඇල්දිය පානය නොකරයි. උදේ දවල් සවස යන තුන් වේලෙහි පව් සේදීම පිණිස දියට බැසීමෙහි යෙදී වාසය කරයි. නිග්‍රොධය, නුඹ ඒ කුමකැයි සිතන්නෙහිද? මෙසේ ඇති කල්හී විර්යයෙන් පව් දුරු කිරීම සම්පූර්ණ වේද, නැතහොත් සම්පූර්ණ නොවේද?´´

´´ස්වාමීනි, ඒකාන්තයෙන් මෙසේ ඇති කල්හී වීර්යයෙන් පව් දුරු කිරීම සම්පූර්ණ වෙයි, අසම්පූර්ණ නොවෙයි´´.

´´නිග්‍රොධය, මෙසේ පරිපූර්ණවූ විර්යයෙන් පව් දුරු කිරීමෙහි ඇති නොයෙක් උපක්ලේශයන් (කිලුටු වනදේ) මම කියමි. මේද තාපසයාගේ උපක්ලේශ වෙති.

9. ´´නිග්‍රොධය, මේ ලෝකයෙහි තාපස තෙමේ නිර්වස්ත්‍රව හිඳීම් තපස් කම් සමාදන් වෙයි. තාපස තෙමේ යම්කිසි තපසක් සමාදන් වේද, හෙතෙම ඒ තපසින් සතුටු සිත් ඇත්තේ සම්පූර්ණවූ අදහස් ඇත්තේ වේද, තාපස තෙමේ යම් තපසක් සමාදන් වෙයිද හෙතෙම ඒ තපසින් තමා උසස් කොටද අන්‍යයන් පහත් කොටද දකී නම් හෙතෙම ඒ තපසින් මානයෙන් මත්වේද, මුසපත් වේද, ප්‍රමාදයට පැමිණේද, ඒ තපසින් ලාභ සත්කාර කීර්ති උපදවයිද,සතුටු වූයේ සම්පූර්ණවූ අදහස් ඇත්තේ වේද, ඒ ලාභ සත්කාර කීර්ති ඉපදවීමේ තමා උසස් කොටද අනුන් පහත්කොටද සලකයිද, හෙතෙම ඒ ලාභ සත්කාර කීර්ති ඉපදවීමේන් මානයෙන් මත්වේද, මුසපත් වේද, ප්‍රමාදයට පැමිණෙයි. තාපස තෙමේ යම් තපසක් සමාදන් වේයිද, හෙතෙම ඒ තපසින් ප්‍රිය ආහාර, අප්‍රිය ආහාරයයි ආහාර දෙකොටසකට බෙදයිද හෙතෙම යම් ආහාරයක් අකමැති නම් ඒ ආහාරය අපේක්‍ෂා රහිතව දුරු කරයිද යම් ආහාරයක් කැමති නම් එහි ගැලී මුසපත්ව ආදීනව නොදැක පරිභෝග කෙරේද.

´´තාපස තෙමේ ලාභ සත්කාර කීර්ති කැමැත්තේ මට සත්කාර කරන්නාහුයයි තපස්කම් සමාදන් වෙයි.

´´තාපස තෙමේ එක්තරා ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ දකියී. දැක ඔහුට කුලයන්හි සත්කාර නොකරත්යයි මෙ ෙහෙතෙම කුලයන්හි ඊර්ෂ්‍යව හා මසුරුකම උපදවන්නේ වෙයි. තාපස තෙමේ මිනිසුන්ට පේන තැන්වල හිඳ තපස් කම් කරයිද මේ මාගේ තපසයයි මේ මාගේ තපසයයි තමාගේ ගුණ පෙන්වමින් කුලයන්හි හැසිරෙයි.

´´ඔබට මෙය රුචිදැයි අසන ලද්දේ නොකැමැති දෙයට කැමතියයි කියයි. කැමති දෙයට නොකැමැතියයි කියයි. මෙසේ හේතෙම දැන දැන බොරු කියන්නේ වෙයි. තාපස තෙමේ ධර්මය දෙසන්නාවූ තථාගතයන්ගේ හෝ තථාගත ශ්‍රාවකයෙකුගේ හෝ සතුටුවය යුතු ශාන්ත ධර්ම කුමයට සතුටු නොවෙයි.

10. ´´තාපස තෙමේ යම් හෙයකින් ක්‍රෝධ කරන්නේ බඞ වෛර ඇත්තේ වේද, තාපස තෙමේ ගුණමකු වූයේ ගුණවතුන් හා තමා සමකොට සිතන්නේ වෙයි. ඊර්ෂ්‍යා කරන්නේ මසුරු වූයේ වෙයි. කෛරාටික වූයේ අනුන් රවටන්නේ වෙයි. තද බව ඇත්තේ අධික මානයෙන් යුක්තවූයේ වෙයි. ලාමක අදහස් ඇත්තේ ලාමක අදහස් වලට වසඟවූයේ වෙයි. වැරදි ඇදහීම් ඇතිවූයේ උච්ඡේද දෘෂ්ටියෙන් (සංසාරයක් නැතැයි විශ්වාසයෙන්) යුක්තවුයේ වෙයි. ස්වකීය දෘෂ්ටිය ආශ්‍රය කරන්නේ එය දැඩිව අල්ලාගත්තේ එය දුරලිය නොහැක්කේ වේද,

´´යම් මේ තපොජිගුච්ඡා (වීර්යයෙන් පව් බැහැරකිරීම) කෙනෙක් වෙත්ද, ඔව්හු උපක්ලේශයෝද නැතහොත් අනුපක්ලේශයෝද´´ ´´ස්වාමීනි, ඒකාන්තයෙන් මේ තපොජිගුච්ඡාවෝ උපක්ලේශයෝය. අනුපක්ලේශයෝ නොවෙත්මය´´

´´ස්වාමීනි, මෙසේ වීමට ඉඩ ඇත්තේය. යම් හේතුවකින් ඇතැම් තාපසයෙක් මේ සියලු උපක්ලේශයන්ගේන් යුක්ත වන්නේය. එක එකකින් යුක්තවීම කියනුම කවරේද?´´ තාපසයාගේ උපක්ලේශයයි දක්වන ලද කරුණු නොකිරීමෙන් තපස් තෙම පිරිසිදු වන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළසේක.

´´තාපස තෙමේ තපස්කම් සමාදන් වෙයි. හෙතෙම මේ මට ප්‍රියයි. මට ප්‍රිය නොවෙයි කියා කෑම දෙකොටසකට නොබෙදයි. හෙතෙම තමාට යමක් ප්‍රිය නොවෙයිද එය බලාපොරොත්තු රහිතව දුරු කරයි. යමක් තමාට ප්‍රියද එය මත් නොවූයේ, මුසපත් නොවූයේ, අතිශයින් නොඇලුනේ දොස් දක්නාසුලු වූයේ නුවණින් මෙනෙහි කිරීමෙන් අනුභව කරයිද හෙතෙම ඒ කාරණයෙහිදී පිරිසිදු වෙයි´´

´´නිග්‍රොධය, නුඹ ඒ කුමකැයි සිතන්නෙහිද, ඉදින් මෙසේ ඇති කල්හී විර්යයෙන් පව් දුරු කිරීම (තපොජිගුච්ඡාව) පිරිසිදුවේද?, නැතහොත් අපිරිසිදුවේද?´´

11. ´´ස්වාමීනි, ඒකාන්තයෙන්මමෙසේ ඇති කල්හී තපොජිගුච්ඡාව පිරිසිදු වන්නේය. උතුම් බවට පැමිණියේද සාර බවට පැමිණියේද වෙයි´´

´´නිග්‍රොධය, මෙපණකින් තපොජිගුච්ඡාව (වීර්යයෙන් පව් දුරුකිරීම) උතුම් බවට පැමිණියේද සාර බවට පැමිණියේද නොවෙයි. එතකුදු වුවත් ගසක සුඹුලක් බවට පැමිණියේය´´යි කීහ.

´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මට තපොජිගුච්ඡාව උතුම් බවටද සාර බවටද පමුණුවා ධර්මය දේශනා කරන සේක් නම් යහපති´´යි කීය.

12. ´´නිග්‍රොධය, මෙලොකයෙහි තාපසතෙමේ ´´චාතියාම´´ නම් සංවරයෙන් සංවරවූයේ වෙයි. නිග්‍රොධය, මේ ලොකයෙහි තාපසතෙමේ ප්‍රාණාත නොකරයිද ප්‍රාණාත නොකරවයිද ප්‍රාණාත කරන්නාහට අනුබල නොදෙයිද එසේම නොදුන් දෙය නොගැනීමෙහිද බොරු නොකීමෙහිද පංචකාම සැප සේවනය නොකිරීමෙහිද ක්‍රියා කරයිද, නිග්‍රොධය, මෙසේ තාපස තෙමේ චාතුයාම නම් සංවරයෙන් සංවර වූයේ වෙයි. ඔහුගේ තාපස බැව්හීවැඩෙන ස්වභාවය ඇත්තේ වෙයි.ශීලය මතුමත්තේ වඩයි. ගිහි බවට නොපැමිණෙයි. විවේක තැනක් සේවනය කරයි. හෙතෙම පිණ්ඩපාතයෙන් හැරී ආයේ දවල් භෝජනයෙන් පසු (සවස් කාලයේ), එරමිණියා ගොතා කය කෙලින් තබා සිහි එලවා හිඳ ගනියී. හෙතෙම ආත්ම නම්වූ ලොකයෙහි ආශාව දුරුකොට පහවූ ආශාව ඇති සිතින් වාසය කරයි. ආශාවෙන් සිත පිරිසිදු කරයි. ක්‍රොධයෙන් හටගත් හිතේ අපිරිසිදු භාවය දුරුකොට ක්‍රොධ රහිත සිත් ඇත්තේ වාසය කරයි. සියලු සත්වයන් කෙරෙහි හිතානුකම්පා ඇත්තේ ක්‍රොධයෙන් හටගත් හිතේ අපිරිසිදු භාවයෙන් සිත පිරිසිදු කරයි. අලස භාවය දුරුකොට පහවූ අලස භාවය ඇත්තේ වාසය කරයි. ආලෝක සංඥා ඇත්තේ සිහි ඇත්තේ උතුම්ප්‍රඥා ඇත්තේ අලස භාවයෙන් සිත පිරිසිදු කරයි. සිතේ චංචලකම හා පසුතැවිම දුරුකොට නොවිසිර යන සිත් ඇතිව වාසය කරයි. අතුලත සංසිඳුනු සිත් ඇත්තේ සිතේ විසිර යාමෙන් හා පසුතැවීමෙන් සිත පිරිසිදු කරයි. විචිකිච්ඡාව (සැකය) දුරු කොට එතෙර කල විචිකිච්ඡා ඇත්තේ වාසය කරයි. කුශල ධර්මයන්හී කෙසේ කෙසේදැයි පැවති සැකයෙන් සිත පිරිසිදු කරයි.

13. ´´හෙතෙම සිත කිලුටු කරන්නාවූ ප්‍රඥාව දුර්වල කරන්නාවූ මේ පංචනීවරණයන් දුරුකොට මෛත්‍රි සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවෙනි දිශාවද එසේම තුන්වෙනි දිශාවද, සතරවන දිශාවද උඩ යට සරස යන සෑම තැන සියලු ලෝක සත්වයා කෙරෙහි විශාලවූ, මහද්ගතවූ, අප්‍රමාණවූ, අවෛරීවූ, ක්‍රොධ රහිතවූ මෛත්‍රි සහගත සිතින් වාසය කරයි. කරුණා සහගත සිතින්, මුදිතා සහගත සිතින්, උපෙක්‍ෂා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේම සෑම තැන සියලු ලෝක සත්වයා කෙරෙහි විශාලවූ, මහද්ගතවූ, අප්‍රමාණවූ, ක්‍රොධ නැතිවූ උපෙක්‍ෂා සහගත සිත පතුරුවා වාසය කරයි´´.

´´නිග්‍රොධය, ඉදින් මෙසේ ඇති කල්හී තපොජිගුච්ඡාව පිරිසිදුද, නැතහොත් අපිරිසිදුද?´´

´´ස්වාමීනි, ඒකාන්තයෙන්මමෙසේ ඇති කල්හී තපොජිගුච්ඡාව ( වීර්යයෙන් පව් දුරු කිරීම) පිරිසිදු වෙයි. අපිරිසිදු නොවෙයි. උතුම් වූයේද සාර වුයේද වෙයි´´

´´නිග්‍රොධය, මෙපණකින් තපොජිගුච්ඡාව (වීර්යයෙන් පව් දුරුකිරීම) උතුම් උතුම් වූයේද සාර වුයේද නොවෙයි. ගසේ පොත්ත වැනි බවට පැමිණියේ වෙයි´´.

´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, තපොජිගුච්ඡාව ( වීර්යයෙන් පව් දුරු කිරීම) උතුම් බවටද සාර බවටද පමුණුවා ධර්මය දේශනා කරත් නම් යහපති.´´

´´නිග්‍රොධය, මෙලොකයෙහි තාපසතෙමේ ´´චාතියාම´´ නම් සංවරයෙන් සංවරවූයේ වෙයි. නිග්‍රොධය, මේ ලොකයෙහි තාපසතෙමේ ප්‍රාණාත නොකරයිද ප්‍රාණාත නොකරවයිද ප්‍රාණාත කරන්නාහට අනුබල නොදෙයිද එසේම නොදුන් දෙය නොගැනීමෙහිද බොරු නොකීමෙහිද පංචකාම සැප සේවනය නොකිරීමෙහිද ක්‍රියා කරයිද, නිග්‍රොධය, මෙසේ තාපස තෙමේ චාතුයාම නම් සංවරයෙන් සංවර වූයේ වෙයි. ඔහුගේ තාපස බැව්හීවැඩෙන ස්වභාවය ඇත්තේ වෙයි.ශීලය මතුමත්තේ වඩයි. ගිහි බවට නොපැමිණෙයි. විවේක තැනක් සේවනය කරයි. හෙතෙම පිණ්ඩපාතයෙන් හැරී ආයේ දවල් භෝජනයෙන් පසු (සවස් කාලයේ), එරමිණියා ගොතා කය කෙලින් තබා සිහි එලවා හිඳ ගනියී. හෙතෙම ආත්ම නම්වූ ලොකයෙහි ආශාව දුරුකොට පහවූ ආශාව ඇති සිතින් වාසය කරයි. ආශාවෙන් සිත පිරිසිදු කරයි. ක්‍රොධයෙන් හටගත් හිතේ අපිරිසිදු භාවය දුරුකොට ක්‍රොධ රහිත සිත් ඇත්තේ වාසය කරයි. සියලු සත්වයන් කෙරෙහි හිතානුකම්පා ඇත්තේ ක්‍රොධයෙන් හටගත් හිතේ අපිරිසිදු භාවයෙන් සිත පිරිසිදු කරයි. අලස භාවය දුරුකොට පහවූ අලස භාවය ඇත්තේ වාසය කරයි. ආලෝක සංඥා ඇත්තේ සිහි ඇත්තේ උතුම්ප්‍රඥා ඇත්තේ අලස භාවයෙන් සිත පිරිසිදු කරයි. සිතේ චංචලකම හා පසුතැවිම දුරුකොට නොවිසිර යන සිත් ඇතිව වාසය කරයි. අතුලත සංසිඳුනු සිත් ඇත්තේ සිතේ විසිර යාමෙන් හා පසුතැවීමෙන් සිත පිරිසිදු කරයි. විචිකිච්ඡාව (සැකය) දුරු කොට එතෙර කල විචිකිච්ඡා ඇත්තේ වාසය කරයි. කුශල ධර්මයන්හී කෙසේ කෙසේදැයි පැවති සැකයෙන් සිත පිරිසිදු කරයි.

´´නිග්‍රොධය, මෙපණකින්ම තපොජිගුච්ඡාව (වීර්යයෙන් පව් දුරුකිරීම) උතුම්ද සාරද නොවෙයි. එතකුදු වුවත් ගසේ ඵලය වැනි බවට පැමිණියේ වෙයි´´.

´´ස්වාමීනි, කොපමණකින් වනාහී තපොජිගුච්ඡාව (වීර්යයෙන් පව් දුරුකිරීම) උතුම් බවට පැමිණියේ වේද, සාර බවට පැමිණියේ වේද?´´

´´නිග්‍රොධය, මෙලොකයෙහි තාපසතෙමේ ´´චාතියාම´´ නම් සංවරයෙන් සංවරවූයේ වෙයි. නිග්‍රොධය, මේ ලොකයෙහි තාපසතෙමේ ප්‍රාණාත නොකරයිද ප්‍රාණාත නොකරවයිද ප්‍රාණාත කරන්නාහට අනුබල නොදෙයිද එසේම නොදුන් දෙය නොගැනීමෙහිද බොරු නොකීමෙහිද පංචකාම සැප සේවනය නොකිරීමෙහිද ක්‍රියා කරයිද, නිග්‍රොධය, මෙසේ තාපස තෙමේ චාතුයාම නම් සංවරයෙන් සංවර වූයේ වෙයි. ඔහුගේ තාපස බැව්හීවැඩෙන ස්වභාවය ඇත්තේ වෙයි.ශීලය මතුමත්තේ වඩයි. ගිහි බවට නොපැමිණෙයි. විවේක තැනක් සේවනය කරයි. හෙතෙම පිණ්ඩපාතයෙන් හැරී ආයේ දවල් භෝජනයෙන් පසු (සවස් කාලයේ), එරමිණියා ගොතා කය කෙලින් තබා සිහි එලවා හිඳ ගනියී. හෙතෙම ආත්ම නම්වූ ලොකයෙහි ආශාව දුරුකොට පහවූ ආශාව ඇති සිතින් වාසය කරයි. ආශාවෙන් සිත පිරිසිදු කරයි. ක්‍රොධයෙන් හටගත් හිතේ අපිරිසිදු භාවය දුරුකොට ක්‍රොධ රහිත සිත් ඇත්තේ වාසය කරයි. සියලු සත්වයන් කෙරෙහි හිතානුකම්පා ඇත්තේ ක්‍රොධයෙන් හටගත් හිතේ අපිරිසිදු භාවයෙන් සිත පිරිසිදු කරයි. අලස භාවය දුරුකොට පහවූ අලස භාවය ඇත්තේ වාසය කරයි. ආලෝක සංඥා ඇත්තේ සිහි ඇත්තේ උතුම්ප්‍රඥා ඇත්තේ අලස භාවයෙන් සිත පිරිසිදු කරයි. සිතේ චංචලකම හා පසුතැවිම දුරුකොට නොවිසිර යන සිත් ඇතිව වාසය කරයි. අතුලත සංසිඳුනු සිත් ඇත්තේ සිතේ විසිර යාමෙන් හා පසුතැවීමෙන් සිත පිරිසිදු කරයි. විචිකිච්ඡාව (සැකය) දුරු කොට එතෙර කල විචිකිච්ඡා ඇත්තේ වාසය කරයි. කුශල ධර්මයන්හී කෙසේ කෙසේදැයි පැවති සැකයෙන් සිත පිරිසිදු කරයි.

14. ´´හෙතෙම පිරිසිදුවූ මිනිස් ඇස් ඉක්මෙව්වාවූ දිව්‍ය ඥානයෙන් චුත වන්නාවූද, උපදින්නාවූද පරලොව යන්නාවූද සත්වයන් දැනගනී. ´´පින්වත්නි, මේ සත්වයෝ ඒකාන්තයෙන් කයින් චවනයෙන් කරන දුශ්චරිතයෙන් යුක්තවූවාහු, සිතින් කරන දුශ්චරිතයෙන් යුක්තවූවාහු ආර්යයන්ට දොස් කියන්නාහු, වැරදි ඇදහීම් ඇතිවූවාහු, මිථ්‍යා දෘෂ්ටි කර්ම සමාදන් වූවාහු ශරීරයාගේ භේදයෙන් මරණින් මතු දුර්ගති නම්වූ විනාශයට පැමිණෙන්නාවූ නිරයෙහි උපන්නාහ. පින්වත්නි, මේ සත්වයෝ වනාහි කයින් චවනයෙන් සිතින් කරන සුචරිතයෙන් යුක්තවූවාහු, ආර්යයන්ට දොස් නොකියන්නාහු, සත්‍යවූ දැකීම් ඇත්තාහු, සම්‍යක් දෘෂ්ටි කර්ම සමාදන් වූවාහු ශරීරයාගේ භේදයෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපන්නාහුය´´යි දකී.

´´නිග්‍රොධය, මෙපණකින්ම තපොජිගුච්ඡාව උතුම් වූයේද සාර වූයේද වෙයි´´.

´´නිග්‍රොධය, මම යම් ධර්ම ක්‍රමයකින් ශ්‍රාවකයන් හික්මවම්ද, මා විසින් යම් ධර්ම ක්‍රමයකින් හික්මවන ලද ශ්‍රාවකයෝ අස්වැසීමට පැමිණ යම් ධර්මයක් ආර්ය මාර්ගට මුල්වේයයි ප්‍රකාශ කරද්ද, ඒ ධර්ම ක්‍රම ඉතා උතුම්ද ඉතා ප්‍රණීතද වෙයි´´. මෙසේ කී කල්හී ´´මේ කාරණයෙහි ලා ආචාර්ය්‍යයන් වහන්සේ සහිත අපි නැසෙමු. අපි මීට වඩා අතිශයින් උතුම් ධර්මයක් නොදනිමු´´යි කියා ඒ පරිබ්‍රාජකයෝ ශබ්ද නැගූහ.

15. ´´නිග්‍රොධය, නුවණැත්තාවූ, සිහිඇත්තාවූ, මහළුවූ යුෂ්මතුන්ට මෙබඳු අදහසක් නොවූයේද, ´´චතුස්සත්‍යය අවබෝධ කළ ඒ භාග්‍යවතුන් වහන්සේ අනුන්ට එය අවා්බා්ධ කරවීම පිණිස ධර්මය දේශනා කරති. දැමුණු ඉන්ද්‍රිය ඇති ඒ භාග්‍යවතුන් වහන්සේ අනුන්ගේ ඉන්ද්‍රිය දමනය පිණිස ධර්ම දේශනා කරති. අනුන්ගේ ශාන්තවීම පිණිස, අන්‍යයා සසරින් එතෙරවීම පිණිස, අනුන්ගේ කෙළෙස් ගිනි නිවනු පිණිස ධර්ම දේශනා කරති කියා අදහස් නොවූයේද?´´

මෙසේ කී කල නිග්‍රොධ පරිබ්‍රාජක තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. ´´ස්වාමීනි, බාලයකු, මෝඩයකු, අදක්‍ෂයකු කරා වරද යම්සේ පැමිණේද, එසේ වරද මා කරා පැමිණියේය. ඒ මම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවෙමි. ´´ස්වාමීනි, මතු සංවරය (හික්මීම) පිණිස ඒ මාගේ වරද , වරද වශයෙන් පිළිගන්නා සේක්වා´´

´´එසේ නම් නිග්‍රොධය, යම් තැනක පටන් ඔබ වරද වශයෙන් දැක ධර්මයවූ පරිදි පිළියම් කරන්නෙහිද ඔබගේ ඒ වරද අපි පිළිගනිමු. ඉන්මතු සංවරයට (හික්මීමට) පැමිණේද එය ආර්ය විනයෙහි වැඩීමක්ය´´.

´´හිත කෙලෙසන්නාවූ, නැවත ඉපදීම ඇතිකරන්නාවූ, දැවීම් සහිතවූ, දුක් විපාක ඇත්තාවූ, මත්තෙහි ජාති ජරා මරණ උපදවන්නාවූ යම් අකුශල ධර්ම කෙනෙක් වෙත්ද, ඔවුන්ගේ දුරුකිරීම පිණිස ධර්මය දේශනා කරමි. යම් පරිද්දකින් පිළිපන්නාවූ යුෂ්මතුන්ගේ හිත කෙලෙසන්නාවූ ධර්මයෝ දුරුවන්නාහුද, හිත පිරිසිදු කරන්නාවූ ධර්මයෝ දියුණුවන්නාහුද, ප්‍රඥාව සම්පූර්ණ බවටද උසස් බවටද පමුණුවන්නාවූ ඒ අර්හත් ඵලය මේ ආත්මයෙහිම තෙමේ උසස් ඥානයෙන් දැන අවබෝධ කොට ඊට පැමිණ වාසය කරව්´´

16. මෙසේ දේශනා කළ කල්හී ඒ පරිබ්‍රාජකයෝ තුෂ්ණිම්භූත වූවාහු, තේජස් රහි වූවාහු, කරබාගත්තාහු, බිම බලාගත්තාහු, කල්පනා කරන්නාවූ කිසිවක් නොවැටහෙන්නාහු, මාරයා විසින් මඩනාලද සිත් ඇත්තවුන් මෙන් සිටියාහුය.

එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේට මෙබඳු සිතක් විය. ´´මේ සියලු හිස් පුරුෂයෝ මාරයා විසින් ස්පර්ෂ කරන ලද්දාහුය. අපි ධර්මය දැන ගැනීමට උත්සහ කරමු´´ යන අදහසක් ඔවුන්ට නැත්තේය කියායි. එවිට භාග්‍යවතුන් වහන්සේ උදුම්බරිකාවගේ පරිබ්‍රාජිකාරාමයෙහි සිංහනාද කොට අහසට පැනනැගී ගිජුකුළු පව්වට ගියාහුය. සන්ධාන ගෘහපති තෙමේද එකෙණෙහිම රජගහ නුවරට පැමිණියේය.

උපුටා ගැනීම - උතුම් ශ්‍රී සද්ධර්මය ( dahamsithum.wordpress )