Jump to content

ත්‍රිපිටක පොත් වහන්සේ/සූත්‍ර පිටකය/දීඝ නිකාය/මහා ගෝවින්ද සූත්‍රය

Wikibooks වෙතින්

1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවරට නොදුරු තන්හි වු ගිජුකුළු පව්වෙහි වැඩ වෙසෙන සේක. එ කලැ පන්සිළු නම් ගඳැවු පුත් රෑ බොහෝ වේලා ඉක්මි කලැ,(මැදුම් රැයෙහි) ඉතා දැකුම් කලු පැහැ සපුව ඇත්තේ, ගිජුකුළු පව්ව මුළුල්ල බබුලුවා භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළැඹැ ආදරයෙන් ඔබ වැඳ එක් පසෙක සිටියේ ය. පන්සිළු ගඳැවුපුත් (එසේ) එක් පසෙක සිටියේ ම, "වහන්ස, තව්තිසා වැසි දෙවියන් හමුයෙන් යම් කරැණෙක් මා විසින් අසන ලද ද,(ඔවුන් හමුයෙන්) අසා පිළිගන්නා ලද ද,එය භාග්‍යවතුත් වහන්සේට සැළ කෙරෙමි" යි කී ය. "පන්සිළුවෙනි, තෙපි එය මට දන්වවු" යැ යි භාග්‍යවතුත් වහන්සේ වදාළ සේක. දෙව් සබය

2. " වහන්ස, පෙර දවසැ , බොහෝ පෙර දවසැ, ඒ පසොළොස්වක් පොහෝ දිනැ, වස් පවාරණය ඇති, පිරැණු පුණුපොහෝ දා රැයෙහි තව්තිසාවැසි සියලු දෙවියෝ සුදම් දෙව් සෙබෙහි එක් වැ හුන්නාහු, එක් රැස් වුවාහු වෙත්. මහත් දෙව් පිරිස්හු ද හාත්පසැ එක් වැ හුන්නාහු එක් රැස්වුවාහු වෙත්. සතර වරම් දෙව් මහ රජු ද සතර දිගැ හුන්නාහු වෙත්. ධෘතරාෂ්ට්‍ර මහරජ දෙවියන් පෙරටු කොට පෑළ දිගට මුහුණ ලා පෙරදිග්හි හුන්නේ වෙයි. විරූඪක මහ රජ දෙවියන් පෙරටු කොට උතුරු දිගට මුහුණ ලා දකුණු දිග්හි හුන්නේ වෙයි. විරූපාක්ෂ මහරජ දෙවියන් පෙරටු කොට පෙර දිගට මුහුණ ලා පෑළ දිගැ හුන්නේ වෙයි. වෙසවුණු මහරජ දකුණු දිගට මුහුණ ලා දෙවියන් පෙරටු කොට උතුරු දිග්හි හුන්නේ වෙයි. වහන්ස, යම් කලෙක තව්තිසා වැසි සියලු දෙවියෝ සුදම් සෙබෙහි එක් වැ හුන්නාහු, එක් රැස් වුවාහු වෙත් ද, මහත් දෙව් පිරිස්හු හාත්පසැ එක් වැ හුන්නාහු, එක් රැස්වුවාහු වෙත් ද, සතර වරම් මහ රජහුත් සතර දිගැ හුන්නාහු වෙත් ද, මේ ඔවුන් ගේ අසුන් වේ. එක්බිති ඔවුනට පසු භාගයෙහි අපගේ අසුන් වෙයි. වහන්ස යම් දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වෙතැ බඹසර කොට තව්තිසා දෙව් මුළුවට (උත්පත්ති විසින්) අළුත පැමිණියාහු වෙත් ද, ඔහු පැහැ සපුයෙනත් යසසිනුත් සෙසු දෙවියන් ඉක්මැ බබලත්. වහන්ස, එයින් තව්තිසා වැසි දෙවියෝ 'භවන්ති, ප්‍රීතියෙක! දෙව්මුළුහු පිරෙත්, අසුර මුළුහු පිරිහෙත්'යි සතුටු සිතැත්තාහු ප්‍රමුදිත වුවාහු, හටගත් ප්‍රීති හා සොම්නස් හා ඇත්තාහු වෙත්.

3. වහන්ස, එ කල්හි සක් දෙවිඳු තව්තිසා වැසි දෙවියන්ගේ පහන් බව දැන,මේ ගාථාවලින් ඔවුන් ගේ සතුට මෙසේ අනුමොවන් විය: "භවන්ති, ප්‍රීතියෙක! ඉන්ද්‍රයා සහිත වු තව්තිසා වැසි දෙවියෝ තථාගතයනට ද ධර්මයා ගේ සුධර්මත්වයට ද නමස්කාර කරනුවෝ,

'සුගතයන් වහන්සේ වෙතැ බඹසර හැසිරැ මෙහි ආ පැහැපත් යසස් ඇති අළුත් දෙවියන් ද දක්නාහු සතුටු වෙත්. මෙහි ගුණවිශේෂයට පැමිණි මහ පැණැති බුදුරජුන් ගේ සවු වු ඔහුතුමූ පැහැයෙන් ද යසසින් ද ආයුෂයෙන් ද අන් දෙවියන් ඉක්මැ බබලත්.

ඉන්ද්‍රයා සහිත තව්තිසා වැසියෝ මෙය දැක, තථාගතයන් වහන්සේ ද ධර්මයා ගේ සුධර්මත්වය ද නමදනාහු සතුටු වෙත්' යැ යි කීය.

වහන්ස, එ කරැණින් තව්තිසා වැසි දෙවියෝ 'භවන්ති, ප්‍රීතියෙක! දෙව්මුළුහු පිරෙත්, අසුර මුළුහු පිරිහෙත්!' යැ යි බෙහෙවින් සතුටු වෙත්, ප්‍රමුදිත වෙත්, හටගත් ප්‍රීති හා සොම්නස් හා ඇත්තෝ වෙත්. ඇති ගුණ වැණුම් අට

4. වහන්ස, ඉක්බිති සක් දෙවිඳු තව්තිසා වැසි දෙවියන් ගේ පැහැදීම දැන,ඔවුන් බණවා, 'භවත් නිදුකාණනි, තෙපි භගවත් බුදුරජුන් ගේ විද්‍යාමාන වු ම ගුණ අට අසන්නට කැමැති වන්නාහු දැ?' යි විචාළේ ය. 'නිදුකාණනි, අපි ඒ භගවත් බුදුරජුන් ගේ විද්‍යාමාන වු ගුණ අට අසනු රිස්සම්හ' යි දෙවියෝ කීහු.

වහන්ස, ඉක්බිති සක් දෙවිඳු තව්තිසා වැසි දෙවියනට භාග්‍යවතුන් වහන්සේගේ විද්‍යාමාන වු ම ගුණ අට මෙසේ පැවසී ය:

"භවත් තව්තිසාවැසි දෙවියනි, එය කිමැ යි සිත වු ද? ඒ භගවත්හු කොතරම් බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට වැඩ පිණිස, හිත පිණිස, සුව පිණිස පිළිපන් සේක් ද යත හොත්: මෙසේ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට වැඩ පිණිස, හිත පිණිස,සුව පිණිස පිළිපන් මෙ කී අංගයෙන් ද සමන්විත අන් ශාස්තෘවරයකු ඒ භගවත් බුදුරජුන් හැර අතීතයෙහි ද නො දකිමු, දැනුදු නො දකිමු. I

ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මොනොවට වදාරන ලද්දේ ය, එය තමන් විසින් ම දැක්ක යුත්තේ ය, කල් නො යාදී ම දෙන එල ඇත්තේ ය, 'එව බලව' යි (තමා දකිනුවට) අනුන් කැඳවනුයෙහි සුදුසු යැ, තමන් සිත් සතන් හි එළවා දැක්ක යුතු යැ, නුවණැතියන් විසින් තම තමන් කෙරෙහි ලා දත යුතු යැ,මෙසේ තම තමන් සිත් සතන් හි එළවා දැක්ක යුතු දහමක් දෙසන, මෙ මැ අංගයෙන් ද සමන්විත ශාස්තෘවරයක්හු, ඒ භාග්‍යවතුන් වහන්සේ හැර, අතීතයෙහි ද නොදකිමු, දැනුදු නොදකිමු. Ii

ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මේ කුසල් යැ' යි ම මොනොවට පනවන ලදි. මේ අකුසසල් යැ' යි ම මොනොවට පනවන ලදි, මේ වරද සහිත යැ ම මොනොවට පනවන ලදි. මේ වරද රහිත යැ ම මොනොවට පනවන ලදි. මේ සෙවියැ යුතු යැ ම මොනොවට පනවන ලදි. මේ නො සෙවියැ යුතු යැ ම මොනොවට පනවන ලදි. මේ ලාමක යැ ම මොනොවට පනවන ලදි. මේ උතුම් යැ ම මොනොවට පනවන ලදි. මේ කෘෂ්ණ ශුක්ල (කුශලාකුශල) ධර්මයනට සමාන ධර්ම යැ යි මොනොවට පනවන ලදි. මෙසේ කුශලාකුශල සාවද්‍යානවද්‍ය සෙවිතව්‍යාසෙවිතව්‍ය හීනප්‍රණීත කෘෂ්ණ ශුක්ල සප්‍රතිභාග ධර්මයන් පණවන, මෙ කී අංගයෙනුදු සමන්විත ශාස්තෘවරයකු, ඒ භාග්‍යවතුන් වහන්සේ හැර, අතීතයෙහි දු නො දකිමි, දැනුදු නො දකිමි. Iii

ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් සව්වනට නිවන් යන පිළිවෙත මොනොවට පනවන ලදි. යම් සේ ගඟැ දිය යමුනාහි දිය හා සැසැඳේ ද, එසේ ම නිවන ද පිළිවෙත ද සැසැඳෙයි. මෙසේ ම ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් සව්වනට නිවන් යන පිළිවෙත මොනොවට පනවන ලද්දේ යැ, ඒ නිවන ද පිළිවෙත ද සැසැඳෙයි. මෙසේ නිවන් යන පිළිවෙත පනවන, මේ අංගයෙනුදු සමන්විත ශාස්තෘවරයක්හු, ඒ භාග්‍යවතුන් වහන්සේ හැර, අතීතයෙහි දු දැනුදු නො දකිමු. iv

ඒ භාග්‍යවතුන් වහන්සේ පිළිවෙත්හි සිටි ශෛක්ෂයන්ගේ ද වැස නිමැවු බඹසර ඇති රහතුන් ගේ ද (ඒ ඒ ශාස්තෘකෘත්‍යයෙහි) සහායත්වය ලද සේක. භාග්‍යවතුන් වහන්සේ ( ඔවුන් මැද දී ද, පලසමවතින් වසන සේක්) සිතින් ඔවුන් බැහැර කොට ඒකාරාමතායෙහි යෙදුණු මෙ කී අංගයෙනුත් සමන්විත, ඒ භාග්‍යවතුන් වහන්සේ හැර, අන් ශාස්තෘවරයක්හු අතීතයෙහිත් නො දකිමු, දැනුත් නො දකිමු. V

ඒ භාග්‍යවතුන් වහන්සේට ප්‍රත්‍යයලාභ වෙසෙසින් උපන, කීර්තිය වෙසෙසින් උපන, ක්ෂත්‍රියයන් පටන් කොට සියලු දිව්‍යමනුෂ්‍යයෝ ඔබ ප්‍රිය කරන සුලු වැ වෙසෙත්. ඒ භාග්‍යවතුන් වහන්සේ පහ වු මද ප්‍රමාද ඇති සේක් අහර ගන්නා සේක. මෙසේ පහ වු මද ප්‍රමාද ඇති වැ අහර ගන්නා, මෙ කී අංගයෙන් ද සමන්විත වු ශාස්තෘවරයකු, ඒ භාග්‍යවතුන් වහන්සේ හැර, අතීතයෙහිත් නො ම දකිමු, දැනුදු නො ම දකිමු. Vi

ඒ භාග්‍යවතුන් වහන්සේ වනාහි යම් සේ වදාරන සේක් ද එසේ ම කරන කෙනෙක, යම් සේ කරන සේක් ද, එසේ ම වදාරන සේක.මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ යථාවාදී තථාකාරී ද යථාකාරී තථාවාදීද වන සේක. මෙසේ ධර්මානුධර්ම ප්‍රතිපන්න වු මේ අංගයෙනුදු සමන්විත ශාස්තෘවරයක් හු, ඒ භාග්‍යවතුන් වහන්සේ හැර, අතීතයෙහිත් නො දකිමු දැනුදු නො දකිමු. Vii

ඒ භාග්‍යවතුන් වහන්සේ උතුමනට නිඃශ්‍රය වු ආර්‍ය්‍ය මාර්ගයෙන් තිණු විචිකිච්ඡා ඇති (සැක දුරැලු) සේක්, පහ වු කථංකථා ඇති ( තෙසේ ද කෙසේ දැ යි යන විමතිය දුරැලු) සේක්, අවසන් කළ මනොරථය ඇති සේක් වෙති. මෙසේ උත්තම නිඃශ්‍රිත ආර්‍ය්‍ය මාර්ගයෙන් තිණු සැක ඇති, පහ වු කථංකථා ඇති, පරිපුර්ණ මනොරථ ඇති, මේ අංගයෙනුදු සමන්විත ශාස්තෘවරයක්හු, ඒ භාග්‍යවතුන් වහන්සේ හැර, අතීතයෙහිත් නො දකිමු, දැනුදු නො දකිමු. Viii

5. වහන්ස, සක් දෙවිඳු තව්තිසා වැසි දෙවියනට භාග්‍යවතුන් වහන්සේ ගේ මේ යථාභූත ගුණ අට පැවසී ය. වහන්ස, තව්තිසා වැසි දෙවියෝ භාග්‍යවතුන් වහන්සේ ගේ යථාභූත ගුණ අට අසා, එයින් බොහෝ සෙයින් සතුටු වෙත්, ප්‍රමුදිත වෙත්,උපන් ප්‍රීති සොම්නස් ඇත්තාහු වෙත්.

වහන්ස, එහි ඇතැම් දෙව් කෙනෙක් "නිදුකාණනි, සතර නමක් බුදුවරැ ලොවැ උපදනාහු නම්, අප භාග්‍යවතුන් වහන්සේ මෙන් දහම් දෙසන්නාහු නම් ඉතා යෙහෙක. එය බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට වැඩ පිණිස, හිත පිණිස,සුව පිණිස වන්නේ යැ" යි මෙසේ කීහ. ඇතැම් දෙව් කෙනෙක් "නිදුක් වරිනි, සතර නමෙක් සම්මාසම්බුදුහු සිටිත් වා. තුන් නමෙක් සම්මාසම්බුදුවරැ ලොවැ උපදනාහු නම්, අප භාග්‍යවතුන් වහන්සේ මෙන් දහම් ද දෙසන්නාහු නම්, එය බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වන්නේ යැ" යි මෙසේ කීහ.

ඇතැම් දෙව් කෙනෙක් "නිදුක්වරිනි, තුන් නමෙක් සම්මාසම්බුදුහු සිටිත් වා. නිදුක්වරිනි, දෙනමෙක් සම්මාසම්බුදුහු ලොවැ උපදනාහු නම්, අප භාග්‍යවතුන් වහන්සේ මෙන් දහම් ද දෙසන්නාහු නම්, එය බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වන්නේ යැ" යි මෙසේ කීහ.

6. වහන්ස, මෙසේ කී කල්හි සක්දෙවිඳු තව්තිසා වැසි දෙවියන් බණවා, "නිදුක්වරිනි, එක් ලෝකධාතුවෙක රහත් සම්මාසම්බුදුහු දෙනමෙක් ඉදිරි පසු නොවැ (එක් විට ම) පහළ වන්නාහු ය යන මෙය නො කරැණෙකි, අවකාශ නැත්තෙකි (නො වියැ හැක්කෙකි). මේ කරුණ විද්‍යමාන නො වේ. නිදුක්වරිනි, ඒ භාග්‍යවතුන් වහන්සේ බොහෝ කලක් දික් කලක් ලෙඩ නැති වැ නිරොග වැ වැඩ සිටුනා සේක් වී නම් ඉතා යෙහෙක. එය බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වන්නේ යැ" යි මෙ බස් පැවැසී ය.

වහන්ස, එයට පසු, යම් කරැණෙකින් (යම් පවාරණ සංග්‍රහයක් පිණිස) තව්තිසා වැසි දෙවියෝ සුදම් සෙබෙහි එක් වැ හුන්නාහු,එක් රැස් වුවාහු වෙත් ද, එ කරුණ සිතා, එ කරුණ සාකච්ඡා කොට, එ කරැණෙහි සිවුවරම් දෙව්රජුහු සිය සිය අසුන්හි සිටියාහු,(ඒ දෙවියන් විසින්) කියන ලද වචන ඇත්තාහු (ඒ දෙවියන් කී බස් පිළිගත්තාහු ම අනුසස්නා ලද වචන ඇත්තාහු (දෙවියන් ගේ අනුශාසනය පිළිගත්තාහු) ම එ තැනින් නික්මැ නොගියාහු සිය සිය අසුන්හි ම හුන්නාහු වෙත්.

"කියන ලද වචන ඇති ඒ මහ රජුහු අනුශාසනය පිළිගෙන, වෙසෙසින් පහන් සිතැත්තාහු සිය අසුන්හි රැඳුනාහ."

7. වහන්ස, ඉක්බිත්තෙන් උතුරු දෙසැ දෙවියන් ගේ දෙවානුභාවය ඉක්මැ ම මහත් එළියෙක් උපන, මහත් අවහාසයෙක් පහළ විය.

එ කල්හි, වහන්ස, සක්දෙවිඳු තව්තිසා වැසි දෙවියන් බණවා, "නිදුක්වරිනි, යම් සේ පෙර නිමිතිහු දක්නා ලැබෙත් ද, මහත් එළියෙක් උපදී ද, මහත් අවභාසයෙක් පහළ වේ ද,එ නිමිත්තෙන් බ්‍රහ්ම තෙම පහළ වන්නේ ය. මේ එළියෙක් උපදී, අවභාසයෙක් පහළ වෙයි යන යමෙක් ඇද්ද, මෙය බ්‍රහ්මයා ගේ පහළ වීමට පෙර නිමිති වේ" යැ යි කී ය.

යම් සේ පෙර නිමිතීහු දක්නා ලැබෙත් ද එසේ බ්‍රහ්ම තෙම පහළ වන්නේ ය. පැතුරැණු මහත් අවහාසය (එළිය) යන මෙය බඔහු ගේ පහළ වීමට පෙර නිමිත්ත ය."

සනත්කුමාර කථාව

8. වහන්ස, ඉක්බිත්තෙන් තව්තිසා වැසි දෙවියෝ "මේ ආලෝකය දැන ගන්නමු, මේ ආලෝකය යම් එලයක් ඇතියෙක් වන්නේ ද, එය දැන ගෙන ම යන්නමෝ" යි තම තමනට පැමිණි අසුන්හි හුන්හ.සතර වරම් මහ රජුහු ද මේ ආලෝකය දැනගන්නමු. මෙය යම් එල ඇතියෙක් වන්නේ ද, එය සියැසින් දැක ම යන්නමු" යි තම තමනට පැමිණි අසුන්හි හුන්නාහ. මෙය අසා තව්තිසා වැසි දෙවියෝ 'මේ ආලෝකය දැනගන්නමු, මෙය කිසි යම් එලයක් පහළ කරණුයේ වන්නේ නම් එය ද දැන ගෙන ම යන්නමෝ වේ දැ යි එකඟ සිතැත්තෝ වුහ.

වහන්ස, යම් විටෙක සනත්කුමාර බඔ තෙම තව්තිසා වැසි දෙවියන් අතරැ පහළ වන්නේ ද, එ විට හේ දළ අත් බවක් ම (දැඩි සිරැරක් ම) මවා ගෙන පහළ වෙයි. වහන්ස, බඔහු ගේ යම් පියෙවි පැහැසටහනෙක් ඇද්ද එය තව්තිසා වැසි දෙවියන් ගේ ද චක්ෂුස්පථයෙහි නො පැමිණි යැ හැකි වෙයි (ඇසින් දැක්ක නො හැකි වෙයි). වහන්ස, යම් විටෙක සනත් කුමාර බ්‍රහ්ම තෙම තව්තිසාවැසි දෙවියන් අතරැ පහළ වේ ද, එ කලැ හේ පැහැයෙන් ද යසසින් ද අන් දෙවියන් ඉක්මැ බබළයි. වහන්ස රන්රැව මිනිස් සිරැර ඉක්මැ බබළා ද, එසේ ම, වහන්ස, යම් විටෙක සනත්කුමාර බ්‍රහ්ම තෙම තව්තිසා වැසි දෙවියන් අතරැ පහළ වෙයි ද, එ විටැ හේ පැහැයෙන් ද යසසින් ද සෙසු දෙවියන් ඉක්මැ බබළයි. වහන්ස, යම් විටෙක සනත්කුමාර බ්‍රහ්ම තෙම තව්තිසාවැසි දෙවියන් අතරැ පහළ වෙයි ද, එ විටැ එ පිරිසෙහි කිසිදු දෙවියෙක් ඔබට අභිවාදනා කරනුයේ හෝ දැක හුනස්නෙන් නැඟී සිටිනුයේ හෝ අස්නෙන් නිමතනුයේ හෝ නො වෙයි. සියල්ලෝ ම 'දැන් සනත්කුමාර බ්‍රහ්ම තෙම යම් දෙවියකුගේ පළඟ රිසියෙන්නේ නම්, ඒ දෙවියාගේ පළඟෙහි ඉඳගන්නේ යැ' යි නිහඬ වැ දොහොත් නමා පළඟින් හිදිත්. වහන්ස, සනත්කුමාර බ්‍රහ්ම යම් දෙවියක්හු ගේ පළඟෙහි ඉඳගනී ද, හේ දෙවි මහත් සතුට ලබයි, හේ දෙවි මහත් සොම්නස ලබයි. වහන්ස, මුදුනැ අබිසෙස් ලත්,අළුතැ රජ බැවින් අභිෂේක ලැබු කැත් රජෙක් වේ ද, හේ මහත් සතුටක් ලබා ද,මහත් සොම්නසක් ලබා ද, එ පරිද්දෙන් ම,වහන්ස, හේ දෙවි තෙම මහත් සතුට ලබයි, මහත් සොම්නස ලබයි.

9. වහන්ස, ඉක්බිති සනත්කුමාර බ්‍රහ්ම තෙම තව්තිසාවැසි දෙවියන් ගේ පැහැදීම දැන, අතුරුදහන් ව(නො පෙනී හිඳ) මේ ගාථාවලින් අනුමොදන් කෙළේ ය: "මොදන්ති වත-පෙ-සුධමමතන්ති"

ගාථාවල අදහස:

"භවන්ති, ප්‍රීතියෙක! ඉන්ද්‍රයා සහිත තව්තිසා වැසි දෙවියෝ තථාගතයන් වහන්සේට ද ධර්මයේ සුධර්මත්වයට ද නමස්කාර කෙරෙමින්, සුගතයන් වහන්සේ වෙත බඹසර හැසිර මෙහි ආ පැහැපත් වු, යශස් ඇති, අළුත් දෙවියන් ද දකිමින් ප්‍රමුදිත වෙත්.

"මහ නුවණැති බුදුරජුන් ගේ ශ්‍රාවක වු විශේෂාධිගමයට පැමිණි ඒ දෙවියෝ වර්ණයෙන් ද යසසින් ද ආයුෂයෙන් ද සෙසු දෙවියන් ඉක්මැ බබළත්".

මෙය දැක ඉන්ද්‍රයා සහිත තව්තිසා වැසි දෙවියෝ තථාගතයන් වහන්සේ ද ධර්මසුධර්මත්වය ද නමදනාහු සතුටු වෙත්."

10. වහන්ස, සනත් කුමාර බ්‍රහ්ම තෙම මේ ගාථා කී ය. වහන්ස, මේ කරුණ කියන සනත්කුමාර බ්‍රහ්මයා ගේ අටඟින් යුත් සුව සේ නික්මෙන, වහා අරැත් හෙළි කරණ, මිහිරි වු, කනට සුව එළවන, එකට කැටි වු, නො විසිරැ පවත්නා, ගැඹුරැ වු රැව් දෙන, මෙසේ මෙ කී අංග අටින් සමන්විත හඬෙක් වෙයි. වහන්ස, පිරිසේ පමණට ම සනත්කුමාර බ්‍රහ්ම තෙම හඬින් දන්වයි. ඔහු ගේ හඬ පිරිසෙන් පිටතට නො ද නික්මෙයි. වහන්ස, යමකුට මෙසේ වු අටඟින් යුත් කට හඬෙක් වේ ද, හේ බ්‍රහ්ම ස්වරය ඇත්තේ යැ යි කියනු ලැබේ.

"වහන්ස, ඉක්බිති තව්තිසා වැසි දෙවියෝ සනත්කුමාර බඹහු බණවා, "මහ බඹුනි, මැනැවි. අපි මෙය ම දැන සතුටු වමු. සක් දෙවිඳු විසින් ඒ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ වැ කියන ලද ඔබ කෙරෙහි ඇති සේ වු ම ගුණ අටෙක් විද්‍යමාන ය. අපි ඔවුන් ද දැන සතුටු වමු" යි මෙය කීහ. වහන්ස, ඉක්බිත්තෙන් සනත්කුමාර බ්‍රහ්ම තෙම සක් දෙවිඳු බණවා, "මැනැවැ! දෙවිඳ, අපි දු භාග්‍යවතුන් වහන්සේ ගේ ඒ යථාභූත ගුණ අට අසන්නමෝ වේ දැ"යි කීය. වහන්ස, සක් දෙවිඳු 'එසේ යැ මහ බඹුනි' යි කියා ම සනත්කුමාර බඹහට භගවත් බුදුරජුන් ගේ යථාභූත ගුණ අට විස්තරයෙන් පැවැසී ය:

භවත් මහ බඹ තෙම එය කිමැ යි සිත යි ද? ඒ භාග්‍යවතුන් වහන්සේ කොතරම් මහත් ලෙස බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස, දෙව් මිනිස්නට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස පිළිපන් සේක් දැ" යි යත හොත්, මෙසේ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස පිළිපන්, මෙකී අංගයෙන් සමන්විත ශාස්තෘවරයෙක්හු, ඒ භාග්‍යවතුන් වහන්සේ හැර, අතීත කාල පරිච්ඡෙදයෙහි ද දැනුදු නො ම දකිමු.

ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මොනොවට වදාරන ලද්දේ ය. එය තමන් විසින් ම දැක්ක යුත්තේ ය, කල් නො යා දී ම දෙන එල ඇත්තේ ය. 'එව බලව' යි (තමා දකිනුවට) අනුන් කැඳවනුයෙහි සුදුසු ය, තමන් සිත් සතන්හි එළවා දැක්ක යුතු ය, නුවණැතියන් විසින් තම තමන් කෙරෙහි ලා දත යුතු යැ. මෙසේ තමන් තමන් සිත් සතන් හි එළවා දැක්ක යුතු දහමක් දෙසන, මෙ මැ අංගයෙන් ද සමන්විත ශාස්තෘවරයක්හු, ඒ භාග්‍යවතුන් වහන්සේ හැර, අතීතයෙහි ද නො දකිමු, දැනුදු නො දකිමු.

ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මේ කුසල් යැ' යි ම මොනොවට පනවන ලදි. මේ අකුසසල් යැ' යි ම මොනොවට පනවන ලදි, මේ වරද සහිත යැ ම මොනොවට පනවන ලදි. මේ වරද රහිත යැ ම මොනොවට පනවන ලදි. මේ සෙවියැ යුතු යැ ම මොනොවට පනවන ලදි. මේ නො සෙවියැ යුතු යැ ම මොනොවට පනවන ලදි. මේ ලාමක යැ ම මොනොවට පනවන ලදි. මේ උතුම් යැ ම මොනොවට පනවන ලදි. මේ කෘෂ්ණ ශුක්ල (කුශලාකුශල) ධර්මයනට සමාන ධර්ම යැ යි මොනොවට පනවන ලදි. මෙසේ කුශලාකුශල සාවද්‍යානවද්‍ය සෙවිතව්‍යාසෙවිතව්‍ය හීනප්‍රණීත කෘෂ්ණ ශුක්ල සප්‍රතිභාග ධර්මයන් පණවන, මෙ කී අංගයෙනුදු සමන්විත ශාස්තෘවරයකු, ඒ භාග්‍යවතුන් වහන්සේ හැර, අතීතයෙහි දු නො දකිමි, දැනුදු නො දකිමි. Iii

ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් සව්වනට නිවන් යන පිළිවෙත මොනොවට පැනැවිණ. යම් සේ ගඟැ දිය යමුනාහි දිය හා සැසැඳේද, එසේ ම නිවන ද පිළිවෙත ද සැසඳෙයි. මෙසේ ම ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් සව්වනට නිවන් යන පිළිවෙත මොනොවට පැනැවිණ. ඒ නිවන ද පිළිවෙත ද සැසඳෙයි. මෙසේ නිවන් යන පිළිවෙත පනවන, මේ අංගයෙනුදු සමන්විත ශාස්තෘවරයක්හු, ඒ භාග්‍යවතුන් වහන්සේ හැර, අතීතයෙහි දු නො දකිමු, දැනුදු නො දකිමු.

ඒ භාග්‍යවතුන් වහන්සේ පිළිවෙත්හි සිටි ශෛක්ෂයන් ගේ ද, වැස නිමැ වු බඹසර ඇති රහතුන් ගේ ද (ඒ ඒ ශාස්තෘ කෘත්‍යයෙහි) සහායත්වය ලද සේක. භාග්‍යවතුන් වහන්සේ ( ඔවුන් මැදැ දී ද පල සමවතින් වසන සේක්) සිතින් ඔවුන් බැහැර කොට ඒකාරාමතායෙහි යෙදීත් වසන සේක්. මෙසේ ඒකාරාමතායෙහි යෙදුණු මෙ කී අංගයෙනුත් සමන්විත, ඒ භාග්‍යවතුන් වහන්සේ හැර, අන් ශාස්තෘවරයක්හු අතීතයෙහිත් නො දකිමු, දැනුත් නො දකිමු.

ඒ භාග්‍යවතුන් වහන්සේට ප්‍රත්‍යය ලාභ වෙසෙසින් උපන, කීර්තිය වෙසෙසින් උපන, ක්ෂත්‍රියයන් පටන් කොට සියලු දිව්‍යමනුෂ්‍යයෝ ඔබ ප්‍රිය කරන සුලු වැ වෙසෙත්. ඒ භාග්‍යවතුන් වහන්සේ පහ වු මද ප්‍රමාද ඇති සේක් අහර ගන්නා සේක. මෙසේ පහ වු මද ප්‍රමාද ඇති වැ අහර ගන්නා, මෙ කී අංගයෙන් ද සමන්විත වු ශාස්තෘවරයකු, ඒ භාග්‍යවතුන් වහන්සේ හැර, අතීතයෙහිත් නො ම දකිමු, දැනුදු නො ම දකිමු.

ඒ භාග්‍යවතුන් වහන්සේ වනාහි යම්සේ වදාරන සේක් ද, එසේ ම කරන කෙනෙක. යම්සේ කරන සේක් ද, එසේ ම වදාරන කෙනෙක මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ යථාවාදී තථාකාරී ද යථාකාරී තථාවාදී ද වන සේක. මෙසේ ධර්මානුධර්ම ප්‍රතිපන්න වු මේ අංගයෙනුදු සමන්විත ශාස්තෘවරයක් හු, ඒ භාග්‍යවතුන් වහන්සේ හැර, අතීතයෙහිත් නො දකිමු, දැනුදු නො ම දකිමු.

ඒ භාග්‍යවතුන් වහන්සේ උතුමනට නිඃශ්‍රය වු ආර්‍ය්‍යමාර්ගයෙන් තිණු විචිකිච්ඡා ඇති සේක, පහ වු කථංකථා ඇති සේක, නිම කළ මනොරථය ඇති සේක. මෙ කී අංගයෙනුදු සමන්විත ශාස්තෘවරයක්හු, ඒ භාග්‍යවතුන් වහන්සේ හැර, අතීතයෙහිත් නො දකිමු, දැනුදු නො දකිමු."

11. වහන්ස, සක් දෙවිඳු සනත්කුමාර බඹහට භාග්‍යවතුන් වහන්සේ ගේ මේ යථාභූත ගුණ අට විස්තරයෙන් පැවසී ය. වහන්ස, සනත්කුමාර බ්‍රහ්ම තෙම භාග්‍යවතුන් වහන්සේ ගේ යථාභූත ගුණ අට අසා, එයින් බොහෝ සෙයින් සතුටු වෙයි, හටගත් ප්‍රීති සොම්නස් ඇත්තේ වෙයි. වහන්ස, ඉක්බිත්තෙන් සනත්කුමාර බ්‍රහ්ම තෙම දළ අත් බවක් මවා ගෙන පන්සිළු ඇති වැ තව්තිසා වැසි දෙවියන් අතරැ පහළ විය. හේ අහස් නැඟ අන්තරීක්ෂ ආකාශයෙහි පළඟින් හුන්නේ ය. වහන්ස, ශක්තිමත් පුරැෂයෙක් මොනොවට පසතුරැණු අතුළ පළඟෙක හෝ සම බිම් පෙදෙසක හෝ පළක් බැඳ හිඳුනේ ද, වහන්ස, එසේ ම සනත්කුමාර බඔ තෙම අහස් නැඟ අන්තරීක්ෂ ආකාශයෙහි පළඟින් හිඳ තව්තිසා වැසි දෙවියන් අමතා මෙසේ කී ය:

ගෝවින්ද බ්‍රාහ්මණ වස්තුව

12. "භවත් තව්තිසා වැසි දෙවියෝ එය කිමැ යි සිතත් ද? ඒ භාග්‍යවතුන් වහන්සේ කොතරම් දික් කලක් මහාප්‍රාඥ ම වු සේක් ද! පෙරැ වුවක් කියම්. භවන්ති පෙර දවසැ දිසම්පති නම් රජෙක් විය. දිසම්පති රජහට ගොවින්ද නම් බමුණෙක් පෙරෙවි විය. දිසම්පති රජු ගේ පුත් රේණු නම් කුමරෙක් විය. ගොවින්ද බමුණහු පුත් ජෝතිපාල නම් මාණවකයෙක් විය. මෙසේ රජ පුත් රේණු කුමර ද ජෝතිපාල මාණවක ද අන් ස දෙනෙක් ක්ෂත්‍රියයෝ දැ යි මේ අට දෙන යහලුවෝ වුහ.

භවත්නි දික් කලක් ඇවෑමෙන් ගොවින්ද බමුණු කලුරිය කෙළේ ය. ගොවින්ද බමුණු කලුරිය කළ කලැ "භවත්නි යම් කලෙක අපි ගොවින්ද බමුණහු කෙරෙහි සියලු කටයුතු මැනැවින් පවරා පංච කාමගුණයන් ගෙන් සමර්පිත වැ සමන්විත වැ ඉඳුරන් හසුරුවමෝ ද, එ සමයෙහි ම අප ගොවින්ද බමුණු කලුරිය කෙළේ වේ දැ! " යි දිසම්පති රජ විලාප කී ය. භවත්නි, මෙසේ විලාප කී කලැ රාජපුත්‍ර රේණුකුමර තෙම දිසම්පති රජුහු බණවා "දේවයිනි, ඔබ ගොවින්ද බමුණුහු කලුරිය කළ කලැ (මෙසේ) ඉතා දැඩි කොට නො වැලපුණ මැනැව දේවයිනි, ගොවින්ද බමුණාට පියාට වැඩි තරම් පණ්ඩිත වු ද ඒ ඒ කටයුතු දැකීමෙහි පියාට වඩා සමර්ථ වු ද ජෝතිපාල නම් පුත්‍ර මාණවකයෙක් ඇත. ඔහු ගේ පියා යම් කටයුතු අනුසැසී ද (යම් කටයුතු පිළිබඳ ව අනුශාසන කෙළේ ද) ඒ කටයුතු ද ජෝතිපාල මාණවකයා ගේ අනුශාසනායෙන් ම කෙළේ යැ" යි කී ය. 'එසේ ද කුමරැවනි ? ' යි රජ ඇසී ය. 'එසේ යැ දේවයිනි' යි කුමර පිළිවදන් දුන.

13. භවත්නි, ඉක්බිති දිසම්පති රජ එක්තරා පුරුෂයකු බණවා හෙම්බා පුරුෂයය, තෝ මෙහි එව, ජෝතිපාල නම් මාණවකයා වෙත යව. ගොස් ඔහුට, "භවත් ජෝතිපාල මාණවකයාට වැඩෙක් වේ වා! දිසම්පති රජ භවත් ජෝතිපාල මාණවකයාණන් කැඳවයි. දිසම්පති රජ භවත් ජෝතිපාල මාණවකයාණන් දක්නා කැමැත්තේ යැ " යි මෙසේ කියව යි කී ය. භවත්නි, 'එසේ යැ දේවයිනි' යි කියා ම ඒ පුරැෂ තෙම දිසම්පති රජහට පිළිවදන් දී, ජෝතිපාල මාණවකයා කරා එළැඹියේ ය. එළැඹ, ජෝතිපාල මාණවකයාට, "භවත් ජෝතිපාල මාණවකයාණනට වැඩෙක් වේ වා. දිසම්පති රජුහු භවත් ජෝතිපාල මාණවකයාණන් කැඳවති, දිසම්පති රජුහු භවත් ජෝතිපාල මාණවකයාණන් දක්නා කැමැත්තාහ" යි සැළකෙළේ ය. 'භවත්, එසේ දැ' යි කියා ම ජෝතිපාල මාණවකයා ඒ පුරැෂයාට පිළිවදන් දී දිසම්පති රජු වෙත එළැඹියේ ය. එළැඹ, දිසම්පති රජු හා සතුටු විය. සතුටට කරුණු වු සිතැ රැඳවියැ යුතු කථා අවසන් කොට, එක් පසෙකැ හිඳ ගත. එක් පසෙක හුන්නා වු ම ජෝතිපාල මාණවකයාට දිසම්පති රජ, "භවත් ජෝතිපාල තෙමේ අපට අනුශාසන කෙරේ වා, භවත් ජෝතිපාල තෙමේ අපට අනුශාසන කිරීමෙන් ඉවත් නො වේ වා (අපට අනුශාසන කිරීම පිළිකෙවු නො කෙරේ වා), ඔබ සිය පියා අයත් වැ තුබුණු තනතුරෙහි තබන්නෙමි, ගෝවින්ද බමුණානන් දැරු තනතුරෙහි අභිෂික්ත කරන්නෙමි" යි කී ය.'එසේ යැ, භවතාණනි, යි හේ ජෝතිපාල මාණවක දිසම්පති රජහට පිළිවදන් දුන.

14. භවත්නි, ඉක්බිති දිසම්පති රජ ජෝතිපාල මාණවකයා ගෝවින්ද බමුණා දැරු තනතුරෙහි අභිෂික්ත කෙළේ ය. ඔබ පිය බමුණු දැරු තනතුරෙහි තැබී ය. ජෝතිපාල මාණවක තෙම ගෝවින්ද බමුණා දැරු තනතුරෙහි අභිෂික්ත වුයේ, සිය පියා දැරු තනතුරෙහි තබන ලදුයේ,ඔහු පියා යම් අර්ථයන් අනුසැසි ද, ඒ අර්ථ ද අනුසසී. ඔහු පියා යම් අර්ථ නො අනුසැසී ද ඒ අර්ථත් අනුසසී. ඔහු පියා යම් කර්මාන්ත සංවිධාන කොට තැබී ද, ඒ කර්මාන්ත ද සංවිධාන කෙරෙයි. ඔහු පියා යම් කර්මාන්ත සංවිධාන නො කෙළේ ද, ඒ කර්මාන්ත ද සංවිධාන කෙරෙයි. මිනිස්සු ඔහුට, "ආශ්චර්‍ය්‍යයෙක! භවත්නි, මේ ගෝවින්ද බමුණා යැ, පුදුමයෙකි! මේ තෙමේ මහා ගෝවින්ද බ්‍රහ්මණ යැ! " යි මෙසේ කීහ. භවත්නි, මෙ කරැණින් ජෝතිපාල මාණවකයාට 'ගෝවින්ද ය, මහාගෝවින්ද' යැ යි ම නම උපන.

රාජ්‍ය සංවිභාගය

15. එකලැ ඒ මහාගෝවින්ද බමුණාණෝ ඒ (යහලු) ක්ෂත්‍රියයන් සදෙනා වෙත එළැඹියාහ. එළැඹැ ඒ ක්ෂත්‍රියයන් ස දෙනාට මෙය සැළ කෙළේය: "භවත්නි, දිසම්පති රජ ජීර්ණය, වෘද්ධය, මහලු ය, ඉක්මුණු කල් ඇත්තේ ය, පැසීම් වයසට පැමිණියේ ය. භවත්නි, ජීවිතය (මෙතෙක් පවතිතැ යි) කවරෙක් දනී ද? දිසම්පති රජුහු කලුරිය කළ කල්හි රාජකාරක (රජක්හු පත් කරන) ඇමැතියෝ රාජපුත්‍ර රේණු කුමරහු රජයේ අභිෂික්ත කරන්නාහ යන යමෙක් ඇද්ද, මෙ කරුණ එකාන්තයෙන් විද්‍යමාන ය. භවත්හු එත් වා. රජ පුත් රේණු කුමර කරා එළඹෙත් වා. එළැඹැ ඔහුට "අපි වු කලි භවත් රේණුහු ගේ ප්‍රිය වු මන වඩන නොපිළිකුල් (අවිරැද්ධ) යහලුවෝ වම්හ. භවත් තෙමේ යම් සැපයක් ඇත්තේ ද අපිත් ඒ සැපය ම ඇත්තම්හ. භවත් තෙමේ යම් දුකක් ඇත්තේ ද අපිත් ඒ දුක ම ඇත්තම්හ (අපි සහසුඛී සහශොකී මිතුරම්හ). භවත් තෙමේ ඉදින් රජය ලබන්නේ ද,(එසේ කලැ) අපට රාජ්‍යයෙන් සංවිභාග කරන්නේ මැනැවැ යි(රාජ්‍යයන් බෙදා දුන මැනැවැ යි) මෙසේ කියවු" යනු යි.

'භවත්, එසේ යැ' යි ම ඒ ක්ෂත්‍රියයන් ස දෙනා මහාගෝවින්ද බමුණාට පිළිවදන් දී, රේණු රාජපුත්‍රයා කරා එළැඹියාහ. එළැඹැ ඔහුට "අපි වු කලි භවත් රේණුහු ගේ ප්‍රිය වු මනාප වු අනුකූල වු යහලුවෝ වම්හ. භවත් තෙමේ යම් සැප කොට ඇත්තේ ද අපිත් එය ම සැප කොට ඇත්තම්හ.භවත් තෙමේ යම් දුක් කොට ඇත්තේ ද අපිත් එය ම දුක් කොට ඇත්තම්හ. භවත, දිසම්පති රජ ජරාජීර්ණ ය, වෘද්ධ ය, මහලු ය, ඉක්මි කල් ඇත්තේ ය, පැසීම් වියට පැමිණියේ ය. භවත කවරෙක් ජීවිතය දනී ද? දිසම්පති රජහු කලුරිය කළ කලැ රාජකාරක ඇමැතියෝ රේණුහු රජයෙහි අභිෂික්ත කරන්නාහ යන මෙ කරුණ ඇති එකෙක. ඉදින් භවත් රේණු තෙමේ රජය ලද්දේ වී නම්, අපට රාජ්‍යයෙන් සංවිභාග කළ මැනැවැ" යි සැළ කළාහ. "භවත්නි, භවතුන් හැර, අන් කවර කෙනෙක් මා රටෙහි සැපයට පැමිණෙන්නාහු ද! භවත්නි, ඉදින් මේ රජය ලදිම් නම් ඔබ හැමට රාජ්‍යසංවිභාගය කරන්නෙමි " යි රේණු කුමර පිළිවදන් දුන.

16. භවත්නි, ඉක්බිති කල් යෑමෙන් දිසම්පති රජ කලුරිය කෙළේ ය. දිසම්පති රජු කලුරිය කළ කල්හි රාජකාරක ඇමැතියෝ රේණු රජකුමර රජයේහි අභිෂික්ත කළහ. රාජ්‍යයෙන් අභිෂික්ත වු රේණු තෙම පස් කම් ගුණවලින් සමර්පිත වැ සමන්විත වැ ඉඳුරන් හසුරුවයියි. භවත්නි,එ කල්හි මහාගෝවින්ද බමුණු ඒ ක්ෂත්‍රියයන් ස දෙනා කරා එළැඹියේ ය. එළැඹ ඒ ක්ෂත්‍රියයන් සදෙනා බණවා, "භවත්නි, දිසම්පති රජ කලුරිය කෙළේ ය. රේණු තෙම රජයෙන් අබිසෙස් ලදුයේ පස් කම් කොටසුන් ගෙන් සමර්පිත වැ සමන්විත වැ ඉඳුරන් හසුරුවයියි. කාමයෝ මද ප්‍රමාදයනට කරුණු හ. එයින් මත් වැ පෙරැ තමා ගිවිසු දෑ සිහි නො කෙරේ දෝ යි කවරෙක් දනී ද? භවත්නි එත්වා, රේණු රජු කරා එළැඹෙනු මැනැව. එළැඹ රේණු රජහට, "භවත්නි, දිසම්පති රජ කලුරිය කෙළේ ය. භවත් රේණු තෙම රජයෙන් අබිසෙස් ලද්දේ ය. භවත් තෙම (පෙර දවසැ කී) ඒ වචනය සිහි කෙරෙයි දැ?' යි මෙ වචන කියනු මැනැවැ " යි සැළ කෙළේ ය. 'භවත, එසේ යැ' යි ම ඒ කැත්හු ස දෙන මහාගෝවින්ද බමුණුහට පිළිවදන් දී, රේණු රජු කරා එළැඹුණාහ. එළැඹ, රේණු රජුට, 'භවතාණනි, දිසම්පති රජ කලුරිය කෙළේ ය. භවත් රේණු තෙම රජයෙන් අබිසෙස් ලද්දේ ය. භවත් තෙමේ (පෙර දවසැ කී) ඒ වචනය සිහි කෙරෙයි දැ? යි කීහ. "භවත්නි, ඒ වචනය මම් සිහි කෙරෙමි. භවත්නි, උතුරින් දික් වැ දකුණින් ගැල්මුව සේ පිහිටි මේ මහ පොළොව සමලෙස සත් කොටසකට මොනොවට බෙදෙන්නට කවරෙක් සමන් වෙයි" ? දැ යි රජ කී ය. "භවත, මහාගෝවින්ද බමුණු හැර අන් කවරෙක් සමන් වෙයි" ? දැ යි ඒ කැත්හු කීහ.

17. භවත්නි, ඉක්බිති රේණු රජ එක්තරා පුරුෂයයකු බණවා, 'හෙම්බා මිනිසා, මෙහි එව.මහාගෝවින්ද බමුණහු කරා යව. ගොස් ඔහුට, "වහන්ස, රේණු රජ ඔබ කැඳවා' යැ යි මෙසේ කියව' යි කී ය. භවත්නි, 'දේවයිනි, එසේ යැ' යි ම කියා ඒ පුරැෂ තෙම රේණු රජුට පිළිවදන් දී, මහාගෝවින්ද බමුණු වෙත එළැඹියේ ය. එළැඹැ ඔහුට, 'වහන්ස, රේණු රජ්ජුරැවෝ ඔබ අමතති' යි සැළ කෙළේ ය. 'එසේ ද භවත' යැ යි කියා ම ඒ මහාගෝවින්ද බ්‍රාහ්මණ තෙම ඒ පුරැෂයාට පිළිවදන් දී රේණු රජු කරා එළැඹියේ ය. එළැඹ, රේණු රජු හා සතුටු විය. සතුටට කරුණු වු සිතැ රැඳ වියැ යුතු වු කථා නිමවා, එක් පසෙක හුන්නේ ය.රේණු රජ එක් පසෙක හුන්නාවු ම මහාගෝවින්ද බමුණහු බණවා, 'භවත් ගෝවින්දයෝ එත් වා. උතුරුදිගින් දික් වැ ද දකුණුදිගින් ගැල්මුවක් බඳු ව ද පිහිටි මේ මහ පොළොව සම ලෙස සත් කොටසකට බෙදා වා 'යි කී ය. 'එසේ යැ, භවත්නි' යි ම ඒ මහාගෝවින්ද බ්‍රාහ්මණ තෙම රේණු රජුහට පිළිවදන් දී, උතුරින් දික් වැ ද දකුණින් ගැල්මුවක් සේ ව ද පිහිටි මේ මහ පොළොව සම ලෙස සත් කොටසකට බෙදී ය. සියලු රාජ්‍යයන් ගැල්මුව සේ සිටිනුවන් කොට පිහිටුවී ය. එහි ඒ හැම මැදැ රේණු රජුගේ ජනපදය වෙයි.

"කලිඟු රටැ දන්තපුරය ද, අශ්මකරට පෝතන පුරය ද, අවන්ති රටැ මාහිස්සති පුරය ද, සෝවීර රටැ රෝරුක පුරය ද, විදේහ රටැ මිථිලා පුරය ද, අංගරටැ චම්පා පුරය ද, කසී රටැ බාරාණසී පුරය ද යන මේ නුවර සත ගෝවින්ද බමුණුහු විසින් කරවන ලදී."

18. භවත්නි, ඉක්බිති ඒ කැත්හු ස දෙන "ආශ්චර්‍ය්‍යයෙක! භවත්නි, අප විසින් යමෙක් රිසියෙන ලද්දේ වී ද, යමෙක් අපේක්ෂිත වී ද, යමෙක් අදහස් කරන ලද්දේ වී ද, යමෙක් පතන ලද්දේ වී ද, එය අප විසින් ලබන ලදැ යි තමන් ලද පරිදි වු ලාභයෙන් සතුටු වුවාහු, පිරිපුන් මනෝරථ ඇත්තෝ වුහ.

"සත්තභූ රජ ද බ්‍රහ්මදත්ත රජ ද වෙස්සභූ රජ ද භරත රජ ද රේණු රජ ද දෙදෙනෙක් ධෘතරාෂ්ට්‍ර රජුහු දැ යි එදා භාරත රජුහු සත් දෙනෙක් වුහ."


පළමු බණවර නිමියේ ය.


තික්හඬ නැඟීම

19. භවත්නි, එ කලැ ඒ ක්ෂත්‍රියයෝ සදෙන මහාගෝවින්ද බමුණහු කරා එළැඹියාහ. එළැඹ, ඔහු බණවා, "භවත්, ගෝවින්දයාණෝ යම් සේ රේණු රජුහට යහලුත් ප්‍රියත් මනාපත් අවිරැද්ධත් වේ ද, එසේ ම භවත් ගෝවින්දයෝ අපට ද යහලුත් ප්‍රියත් මනාපත් අවිරැද්ධත් වේත්. භවත් ගෝවින්දයෝ අපට අනුශාසන කෙරෙත් වා. භවත් ගෝවින්දයෝ අපට අනුශාසන කිරීමෙන් ඉවත් නො වෙත් වා" යි මෙ බස් පැවැසුහ. 'එසේ ය භවත්නි, යි ම ඒ මහාගෝවින්ද බමුණු ඒ ක්ෂත්‍රියයන් ස දෙනාට පිළිවදන් දුන. භවත්නි,එ කලැ ඒ මහාගෝවින්ද බ්‍රහ්මණ තෙම රජබව්හි මුදුනැ අබිසෙස් ලත් සත් කැත් රජුනට ද,(අනුපුරෝහිත වු) බමුණු මහසල් සත් දෙනෙකුට ද අනුශාසන කෙළේ ය. ස්නාතකයන් සත් සියයකට වේද හැදෑරැවී ය.

20. භවත්නි, පසු කලෙක මහාගෝවින්ද බමුණා පිළිබඳ වැ "මහාගෝවින්ද බමුණාණෝ සියැසින් ම බ්‍රාහ්මයා දකී. මහාගෝවින්ද බමුණාණෝ සියැසින් දැක ම බ්‍රහ්මයා හා සාකච්ජාකෙරෙයි, කථාකෙරෙයි, මන්ත්‍රණය කෙරේ" යැ යි මෙසේ කල්‍යාණ වු යශොඝෝෂයෙක් උස් වැ නැංගේ ය. භවත්නි, ඉක්බිති මහාගෝවින්ද බමුණාහට "මහාගෝවින්ද බමුණු සියැසින් බ්‍රාහ්මයා දකී' යැ යි ,'සියැසින් දැක බ්‍රහ්මයා හා සාකච්ජා කෙරෙයි, සංලාප කෙරෙයි, මන්ත්‍රණය කෙරේ යැ" යි මා පිළිබඳ වැ මෙසේ කල්‍යාණ වු යශොඝෝෂයෙක් උස් වැ නැංගේ ය. එහෙත් මම් වු කලි බ්‍රහ්මයා නො ම දකිමි, බ්‍රහ්මයා හා සාකච්ජා නො කරමි, බ්‍රහ්මයා හා කතා බහ නො කරමි, බ්‍රහ්මයා හා මන්ත්‍රණය නො කරමි. එතෙකුදු වුවත්, 'යමෙක් වැසි සාර මසැ විචික්ත වැ වසන්නේ නම්, කරුණා ධ්‍යානය වඩන්නේ නම්, හේ බඹහු දක්නේ ය, බඹහු හා කතා බහ කරන්නේ ය, බඹහු හා මන්ත්‍රණය කරන්නේ යැ'යි කියන වැඩී සිටි මහලු වු ආචාර්‍ය්‍ය ප්‍රාචාර්‍ය්‍යයන් ගේ වචනය මා විසින් අසන ලදුයේ වෙයි. මම් වැසි සාර මසැ විචික්ත වන්නෙම් නම්, කරුණාධ්‍යානය වඩන්නේ නම් යෙහෙකැ" යි මේ සිත වී ය.

21. භවත්නි, ඉක්බිති මහාගෝවින්ද බමුණු රේණු රජු කරා එළැඹියේ ය. එළැඹ ඔහුට මෙය කීය: "භවත, මහාගොවින්ද බමුණා බඹහු සියැසින් දකියි, මහාගෝවින්ද බමුණා සියැසින් දැක බඹා හා සාකච්ජා කෙරෙයි, කතාබහ කෙරෙයි,මන්ත්‍රණය කෙරේ" යැ යි මෙසේ මා පිළිබඳ කල්‍යාණ වු අද්භූත වු යශෝඝෝෂයෙක් උස් වැ නැංගේ ය. එහෙත් භවත මම බඹහු නො දකිමි, බඹහු හා සාකච්ජා නො කෙරෙමි, බඹහු හා කතා බහ නො කරමි, බඹහු හා මන්ත්‍රණය නො කරමි.

'යමෙක් වැසි සාර මස විචික්ත වන්නේ නම් කරුණාධ්‍යානය වඩන්නේ නම් හේ බඹහු දක්නේ ය, බඹහු හා සාකච්ජා කරන්නේ ය, බඹහු හා කතාබහ කරන්නේ ය, බඹහු හා මන්ත්‍රණය කරන්නේ යැ' යි කියන වැඩී සිටි මහළු වු ආචාර්‍ය්‍ය ප්‍රාචාර්‍ය්‍ය බමුණන් ගේ මේ වචනය මා අසා ඇත. භවත, වැසි සාරමසැ විචික්ත වන්නට, කරුණාධ්‍යානය වඩන්නට මම් කැමැත්තෙමි. එක ම බත් එළවන්නක්හු විනා අන් කිසිවකු දු විසින් නො එළැඹියැ යුත්තෙම් වෙමි" යනු යි. "භවත් ගෝවින්දයෝ යමකට කල් සලකන්නාහු නම් එය කළ මැනැවැ" යි රජ කී ය.

22. ඉක්බිති ඒ මහාගෝවින්ද බ්‍රාහ්මණ ඒ ක්ෂත්‍රියයන් සදෙනා කරා එළැඹියේ ය. එළැඹ ඔවුන් බණවා "භවත්නි, මහාගෝවින්ද බමුණු බඹහු සියැසින් දකී යැ යි, මහාගෝවින්ද බමුණු ප්‍රත්‍යක්ෂයෙන් බඹුහු හා සාකච්ජා කෙරේ යැ" යි 'කතාබහ කෙරේ යැ' යි,මන්ත්‍රණ කෙරේ යැ' යි මෙසේ මා පිළිබඳ වැ කල්‍යාණ වු අද්භූත වු යශොඝොෂයෙක් ඉතා උස් වැ නැංගේ ය. භවත්නි, එහෙත් මම් බඹහු නො දකිමි, බඹහු හා නො ද සාකච්ජා කෙරෙමි, නො ම කතාබහ කරමි, මන්ත්‍රණ ද නො කරමි, වැලිදු 'යමෙක් වැසි සාර මසැ විචික්ත වන්නේ නම්, කරුණාධ්‍යානය වඩන්නේ නම්, හේ බඹහු දක්නේ ය, බඹහු හා සාකච්ජා කරන්නේ ය, බඹහු හා කතාබහ කරන්නේ ය, බඹහු හා මන්ත්‍රණය කරන්නේ යැ' යි කියන වැඩීසිටි මහළු ආචාර්‍ය්‍ය ප්‍රාචාර්‍ය්‍ය බමුණන් ගේ මේ වචනය මා අසා ඇත. භවත්නි, මම් වැසි සාර මසැ විචික්ත වන්නට, කරුණා ධ්‍යානය වඩන්නට කැමැත්තෙමි. එක ම බත් එළවන්නක්හු විනා අන් කිසිවකු දු විසින් මම් නො එළැඹියැ යුත්තෙම් වෙමි" යි කී ය. "භවත් ගෝවින්දයෝ යමකට කල් සලකන්නාහු නම් එය කළ මැනැවැ" යි ඔහු කීහ.

23. භවත්නි, ඉක්බිති ඒ මහාගෝවින්ද බමුණු (උපපෙරෙවි) සත් බමුණු මහ සලුන් ද, සත් සියක් ස්නාතකයන් ද වෙත එළැඹියේ ය. එළැඹ, ඔවුන් බණවා, "භවත්නි, 'මහාගෝවින්ද බමුණු බඹහු සියැසින් දකී යැ යි, මහාගෝවින්ද බමුණු බඹා හා ප්‍රත්‍යක්ෂයෙන් සාකච්ජා කෙරේ යැ යි කතාබහ කෙරේ යැ යි, මන්ත්‍රණ කෙරේ යැ'යි මෙසේ මා පිළිබඳ වැ අද්භූත වු, කල්‍යාණ යශෝඝෝෂයෙක් ව ඉතා උස් වැ නැංගේ ය. භවත්නි, එහෙත් මම් බඹහු නො දකිමි, බඹහු හා නො ද සාකච්ජා කරමි නො ම කතාබහ කරමි, මන්ත්‍රණ ද නො කරමි. වැලිදු 'යමෙක් වැසි සාර මසැ විචික්ත වන්නේ නම්, කරුණා ධ්‍යානය වඩන්නේ නම්, හේ බඹහු දක්නේ ය, බඹහු හා සාකච්ජා කරන්නේ ය, බඹහු හා කතාබහ කරන්නේ ය, බඹහු හා මන්ත්‍රණය කරන්නේ යැ' යි කියන වැඩී සිටි මහළු ආචාර්‍ය්‍ය ප්‍රාචාර්‍ය්‍ය බමුණන් ගේ මේ වචනය මා අසා ඇත. භවත්නි, මම් වැසි සාර මසැ විචික්ත වන්නට, කරුණා ධ්‍යානය වඩන්නට කැමැත්තෙමි. එක් බත් එළවන්නක්හු ම විනා අන් කිසි කෙනෙකු දු විසින් මම් නො එළැඹියැ යුත්තෙම් වෙමි" යි මෙ බස් බැවැසී ය. "භවත් ගෝවින්දයෝ යමකට කල් සලකන්නාහු, නම් එය කළ මැනැවැ" යි ඔහු කීහ.

24. භවත්නි, ඉක්බිති මහාගෝවින්ද බමුණු එක්බඳු සතළිස් බිරියන් කරා එළැඹියේ ය. එළැඹ, ඔවුන් බණවා, "භවතියනි, මහාගෝවින්ද බමුණු බඹහු සියැසින් දකී යැ යි, මහාගෝවින්ද බමුණු ප්‍රත්‍යක්ෂයෙන් බඹුහු හා සාකච්ජා කෙරේ යැ යි, කතාබහ කෙරේ යැ යි, මන්ත්‍රණ කෙරේ යැ යි මෙසේ මා පිළිබඳ වැ අද්භූත වු කල්‍යාණ යශෝඝෝෂයෙක් ඉතා උස් වැ නැංගේ ය. භවතියනි, එහෙත් මම් බඹහු නො දකිමි, බඹහු හා නො ද සාකච්ජා කරමි, නො ද කතාබහ කරමි,නො ද මන්ත්‍රණය කරමි. වැලිදු 'යමෙක් වැසි සාර මස විචික්ත වන්නේ නම්, කරුණාධ්‍යානය වඩන්නේ නම්, හේ බඹහු දක්නේ යැ යි බඹහු හා සාකච්ජා කරන්නේ යැ යි බඹහු හා කතාබහ කරන්නේ යැ යි, බඹහු හා මන්ත්‍රණය කරන්නේ යැ යි කියන වැඩී සිටි මහළු ආචාර්‍ය්‍ය ප්‍රාචාර්‍ය්‍ය බමුණන්ගේ මේ වචනය මා අසා ඇත. භවතියනි, මේ වැසි සාර මසැ විචික්ත වන්නට, කරුණාධ්‍යානය වඩන්නට කැමැත්තෙමි, එක ම බත් එළවන්නක්හු විනා අන් කිසිවක් හු විසින් මම් නො එළැඹියැ යුතු වෙමි" යි කී ය. "භවත් ගෝවින්දයෝ යමකට කල් සලකන්නාහු නම් එය කළ මැනැවැ" යි ඔහු කිවුය.

25. ඉක්බිති මහාගෝවින්ද බ්‍රාහ්මණ තෙම නුවරට පෙර දිගැ අළුත් සන්ථාගාරයක් කරවා, වැසි සාර මස මුළුල්ලෙහි විවෙකී විය, කරුණාධ්‍යානය දැහී ය, එක ම බත් එළවන්නක්හු විනා කිසිවෙක් මෙහි නො එළැඹෙයි. "භවත්නි, එ කලැ සිවු මසක් ඇවෑමෙන් මහාගෝවින්ද බ්‍රාහ්මණයාට "යමෙක් වැසි සාරමස විවෙකී ව හිඳුනේ නම් කරුණාධ්‍යානය දහනුයේ නම් හේ බඹහු දක්නේ යැ යි, බඹහු හා සාකච්ජා කරන්නේ යැ යි බඹහු හා කතාබහ කරන්නේ යැ යි බඹහු හා මන්ත්‍රණ කරන්නේ යැ යි ද කියන වැඩී සිටි මහලු ආචාර්‍ය්‍ය ප්‍රාචාර්‍ය්‍ය බමුණන් කියන වචනය මා විසින් අසන ලද්දේ ම ය. එහෙත් මම් බඹහු නො දකිමි, බඹහු හා නො ද සාකච්ජා කරමි, බඹහු හා නො ද කතා බහ කරමි, බඹහු හා නො ද මන්ත්‍රණය කෙරෙමි' යි බඹහු එනු දැක්මෙහි ආශාව ඇති වුයේ ම ය. බඹහු දැක්මෙහි අභිලාෂය ඇති වුයේ ම ය.

බඹහු හා සාකච්ඡාව

26. භවත්නි, එයින් පසු සනත්කුමාර බ්‍රහ්ම තෙම සිය සිතින් මහාගෝවින්ද බමුණුහු ගේ චිත්ත සංකල්පය දැන, ශක්තිමත් පුරුෂයයකු වක් කළ අතක් දිගු කරන්නා සේ, දිගු කළ අත වක් කරන්නා සේ ම බඹලොවැදි අතුරුදහන් වුයේ, මහාගෝවින්ද බමුණුහු ගේ හමුයෙහි පහළ විය. භවත්නි, එ කලැ නොදුටු විරූ ඒ රූපය දැකීමෙන් මහාගෝවින්ද බමුණුහට බියෙක් වුයේ ම ය, කයැ තද බවෙක් වුයේ ම ය, ලොමුදහගැන්මෙක් වුයේ ම ය ඉක්බිති මහාගෝවින්ද බමුණු බියපත් වුයේ සංවිග්න වුයේ හටගත් ලොමුදහගැනුම් ඇත්තේ, සනත් කුමාර බඹහට ගාථායෙන්,

"නිදුකාණනි, පැහැපත්, යශස් ඇති, ශොභාවත් ඔබ කවුරු නම් වෙත් ද? අපි නො දන්නමෝ ඔබ විචාරම්හ. අපි ඔබ කෙසේ දැන ගනුමෝ දැ? " යි මෙය කී ය.

"බඹලොවැ මා සනාතන කුමාර යැ යි ම දනිත්. සියලු දෙවියෝ මෙසේ මා දනිත්. ගෝවින්දයෙනි, මේ කරුණ මෙසේ දනිවු" යි බ්‍රහ්ම කී ය.

මේ අසුන් ද දිය ද (පයැ ගල්වනුවට) තෙල් ද මිහිරි අහර ද යන මේ අමුත්තන් පුදන දැයින් භවතාණන් නිමතමු. භවත්හු අප ගේ මේ ආගන්තුක සංග්‍රහය පිළිගනිත් වා" යි බමුණු කී ය.

"ගෝවින්දයෙනි, යමක් ඔබ කියත් ද, ඒ ඔබ ගේ පුජාද්‍රව්‍ය පිළිගනුම්හ. මේ අත් බව්හි වැඩ පිණිස, පරලොවැ සුව පිණිස යම් කිසි දැයෙක් පතන ලද ද, එය විචාරනුයෙහි කරන ලද අවකාස ඇති තෙපි එය විචාරවු" යි බ්‍රහ්ම කී ය.

27. එ කලැ මහාගෝවින්ද බමුණුහට "සනත් කුමාර බඹහු විසින් කරන ලද අවකාශ ඇත්තෙම් වෙමි. කුමක් නම් මම් සනත් කුමාර බඹහු විචාරම් ද, මෙ ලොවැ අභිවෘද්ධියට මඟ විචාරම් ද නො හොත් පර ලොවැ අභිවෘද්ධියට මඟ විචාරම් දැ ? " යි මේ සිත විය. ඉක්බිති මහාගෝවින්ද බමුණුහට "මම් වු කලි මෙ ලොවැ වැඩට කරුණු වන දැයෙහි සමතිමි (දැනුම් ඇත්තෙමි). සෙස්සෝ ද මෙ ලොවැ වැඩට කරුණු වන දෑ මා විචාරත්. මම් පරලොවැ වැඩට කරුණු වන දෑ ම සනත් කුමාර බඹහු විචාරන්නෙම් වීම් නම් මැනැවැ" යි මේ සිත විය. ඉක්බිති මහාගෝවින්ද බ්‍රහ්මණ තෙම සනත් කුමාර බඹහට ගාථායෙන් මෙසේ කී ය:

"මම් සැක ඇතියෙම්, මෙරමා විසින් දන්නා ලද ප්‍රශ්නයන්හි සැක නැති සනත්කුමාර බඹහු විචාරම්: සත්ත්ව තෙම කොහි පිහිටියේ, කිමෙක හික්මෙනුයේ, අමෘත (මරණය නැති) බඹ ලොවට පැමිණෙ යි ද? "

සනත්කුමාර බ්‍රහ්ම මෙසේ උත්තර දුන:

"බ්‍රාහ්මණය, මනුෂ්‍යයන් අතුරෙහි යමෙක් මමත්වය (උපකරණ තෘෂ්ණාව) දුරු කොට හුදෙකලා වුයේ, කරුණා ධ්‍යානයෙහි ඇලුණේ (කරුණාධ්‍යානය නිපදවා), ආගමන්ධ විරහිත වුයේ, මෙවුන්දමින් වැළැකුණේ ද, මෙසේ මෙහි පිහිටි මෙ දහම්හි නික්මෙන සත්ත්ව තෙමේ අමෘත වු බඹලොවට පැමිණෙයි.

28. " මමත්වය දුරු කොට" යන භවතාණන් කී වචනය දනිමි. මෙහි එක්තරා පුඟුලෙක් මඳ වු භෝග රැසක් හෝ මහත් භෝග රැසක් හෝ හැරදමා මඳ වු නෑ පිරිස හැර දමා, මහත් වු හෝ නෑ පිරිස හැර දමා, කෙහෙ රවුලු බහවා, කසාවත් හැද ගිහිගෙන් නික් මැ පැවිදි බිම් වදී. මෙසේ 'මමත්වය හැර'.

භවතාණන් ගේ ඒ වචනය මෙ පරිදි දැනගනිමි. 'හුදෙකලා වුයේ' යන භවතාණන් කී වචනය මෙසේ මම් දැනගනිමි. මෙහි එක්තරා පුඟුලෙක් අරන, රුක්මුල, පව්ව, කඳුරැළිය, ගිරිගුහාව, සොහොන, වනපෙත, එළිමහන, පිදුරු ගොඩ යන මේ විවික්ත සෙනස්නක් බෙජෙයි. මෙසේ 'එකළා වුයේ' යන භවතාණන් ගේ වචනය මම් දැනගනිමි.

'කරුණායෙහි ඇලුණේ' යන භවතාණන්ගේ වචනය මෙසේ දැනගනිමි: "මෙහි එක්තරා පුඟුලෙක් කුළුණු සහගිය සිතින් එක් දෙසක් පැතිරැ වැද ගෙන වෙසෙයි. එසේ දෙවෙනි දෙසක්, එසේ තෙවෙනි දෙසක්, එසේ සිව්වැනි දෙසක්, මෙසේ උඩ ද යට ද සරස දැ යි හැම තන්හි සව් සතුන් කෙරෙහි ආත්ම සමතායෙන් මුළු ලොව මහත් වු, මහද්ගත වු, අප්‍රමාණ වු, වෛර නැති, ව්‍යාපාද රහිත කුළුණු සහගිය සිතින් පැතිරැ වැද ගෙන වෙසෙයි." මෙසේ 'කරුණාධ්‍යානයෙහි ඇලුණු' යන භවතාණන් ගේ වචනය දැනගනිමි. වැලි එකෙක් ඇත. කරුණු කියන භවතාණන් ගේ 'ආගමන්ධ' යන්නෙහි අදහස මම් නො දනිමි.

'බ්‍රහ්මයෙනි, මිනිසුන් අතුරෙහි ආගමන්ධ නම් කවුරු ද? මොවුන් නොදන්නෙම් වෙමි. ධීරයෙනි, මෙහි ඔබ මෙ කරුණ වදාරන්න. කිමෙකින් ඇවුරුණු සත්ත්ව ප්‍රජාව දුගඳ වහනය කෙරෙයි ද? අපායගාමී වේ ද? වැහුණු බඹලොව ඇත්තේ වේ ද? " යි මහාගෝවින්ද බමුණු පුළුවුත.

"ක්‍රෝධය ද මෘෂාවාදය ද වංචාව ද මිත්‍රද්‍රෝහය ද තද මසුරු බව ද අතිමානය ද ඊෂ්‍යාව ද ඉච්ඡාව (තෘෂ්ණාව) ද වීප්සාව (ලාභයෙහි අධික ආශාව) ද මෙරමා පෙළීම ද ලෝහය ද දේවේෂය ද මදය ද මෝහය ද යන මේ තුදුස් කෙලෙසුන්හි යෙදුණු සත්ත්වයෝ ආමගන්ධරහිතයෝ නො වෙත් (ආගමන්ධය ඇත්තෝ ය), අපායගාමීහු ය, වැසුණු බඹලොව ඇත්තෝ යැ"

29. "ආමගන්ධයන් විස්තර කොට කියන භවතාණන් ගේ වචනය මම් යම් සේ දැන ගනිම් ද, ඒ ආමගන්ධ කරුණු ගිහි ගෙහි වසන්නහු විසින් පහසුවෙන් මැඩැලියැ හැකි (පහ කළ හැකි) නො වේ. (එහෙයින්) භවත්නි, මම් ගිහි ගෙන් අනගාරික බවට පැමිණෙන්නෙමි" යි මහාගෝවින්ද බමුණු කී ය. "භවත් ගෝවින්ද තෙමේ යම් පැවිද්දකට කාලය සලකයි නම් මේ ඒ කාලය වේ" යැ යි සනත්කුමාර බ්‍රහ්ම පැවැසී ය.

රේණුරාජා මන්ත්‍රණය

30. භවත්නි, ඉක්බිති මහාගෝවින්ද බමුණු රේණු රජු වෙත ගියේ ය, ගොස් ඔහුට, "යමෙක් භවත්හට අනුශාසනා කරන්නේ ද, භවත් තෙමේ එසේ වු අන් පෙරෙවියකු දැන් සොයා වා. භවත, මම් ගිහි ගෙන් මහණ බිමට වදින්න ට රිසියෙමි. ආමගන්ධයන් හෙළි කොට කියන බ්‍රහ්මයා ගේ වචනය මා විසින් අසන ලද පරිදි ගිහි ගෙහි වසන්නහු විසින් ඒ ආමගන්ධයෝ පහසුවෙන් මැඩලිය නො හැක්කේ ය. භවත, (එහෙයින්) මම් ගිහිගෙන් මහණ බිමට යන්නෙමි" යි කීයේ ය.

"මම් පොළොවට ස්වාමි වු රේණු රජුහු අමතමි. රජ බැවින් කටයුතු දෑ ඔබ දැන ගන්නැ. මම් පෙරෙවි බව්හි නො ඇලෙමි" යි (බමුණු කී.)

"ඉදින් ඔබට කාමයන් ගෙන් කිසිවෙක් ඌන නම්, ඒ හැම සම්පුර්ණ කරන්නෙමි. යමෙක් ඔබ වෙහෙසෙයි නම්, ඔහු වළක්වමි. මම පෘථිවියෙහි සියලු සේනාවට ස්වාමි වෙමි. ඔබ මට පිය වෙති (පිය තන්හි සිටියෝ වෙති.) මම් ඔබේ පුත් වෙමි (පුත් තන්හි සිටිමි). ගෝවින්දයෙනි, අප හැර නො යනු මැනැවැ." යි (රජ කී ය).

"මට කාමයන් ගෙන් අඩුවෙක් නැත. මා වෙහෙසන එකෙක් ද නැත. අමනුෂ්‍යයක්හු ගේ වචනය අසා, ඔහු බස් ඇසු හෙයින් ගිහි ගෙයි නො ඇලෙමි" යි ( බමුණු කීය).

"යමකුට කන් දී අප ගෙවල් ද අප හැම ද හැර යන්නාහු නම්,ඒ අමනුෂ්‍ය තෙම කෙසේ වු පැහැ සටහන් ඇතියෙක් ද? හේ ඔබට කවර කරුණක් කීයේ දැ? " යි (රජ විචාළේ ය).

"පෙරැ සිවු මසක් එකලා බවට පැමිණැ වුසු යජනු කැමැති වු ම මා විසින් (යාගවෙදිකායෙහි) ගින්න දල්වන ලදුයේ, කුසපතින් වසන ලද්දේ විය. එ විටැ සනාතන බ්‍රහ්ම තෙම බඹ ලොවින් අවුත් මෙහි මා ඉදිරියෙහි පහළ විය. හෙතෙම මගේ ප්‍රශ්න විසැදී ය. එය අසා ගිහිගෙහි නො ඇලෙමි" යි ( බමුණු කීය).

"ගෝවින්දයෙනි, යමක් ඔබ යමක් කියත් ද, භවතාණන් ගේ ඒ වචනය මම් හදහමි. අමනුෂ්‍යයා ගේ වචනය අසා කෙසේ නම් (එයට පිටු පා) අන් සැටියෙකින් පැවැත්ත හැක්කාහු ද? ඒ අපි ඔබ අනුව පවතින්නමු. ගෝවින්දයෙනි, භවත්හු අප ගේ ශාස්තෘහු ය. කැඩුම් බිඳුම් නැති පිරිසිදු වු ශෝභන වු වෙරළු මිණ යම් සේ ද, එසේ ම ගෝවින්දයන් ගේ අනුශාසනයෙහි පිරිසිදු වැ හැසිරෙන්නමු.

"ඉදින් භවත් ගෝවින්දයෝ ගිහි ගෙන් නික්ම මහණ බිමට වදනාහු නම්, අපි දු ගිහිගෙන් නික්මැ මහණ බිමට වදින්නමු. එ කලැ ඔබ ගේ යම් (පරලොවැ) ගතියෙක් වන්නේ ද එය අප ගේ ද (පරලොවැ) ගතිය වන්නේ යැ" යි රේණු රජ කී ය.

ක්ෂත්‍රියයන් සදෙනා ඇමැතීම

31. ඉක්බිත්තෙන් මහාගෝවින්ද බමුණු තෙම ඒ කැත් රජුන් ස දෙනා කරා එළැඹියේ ය. එළැඹ, ඒ කැත් රජුන් ස දෙනා බණවා "යමෙක් භවත්නට රජ බව්හි අනුශාසනා කරන්නේ ද, එසේ වු අන් පෙරෙවියකු භවත්හු සොයත් වා. භවත්නි, මම් ගිහි ගෙන් නික් මැ මහණ බිමට වදිනු කැමැත්තෙමි. ආමගන්ධයන් පැහැදිලි කොට වදාරන බඹුහු ගේ වචනය යම්සේ මා විසින් අසන ලද ද එ පරිද්දෙන් එ ආමගන්ධයෝ (කෙලෙස්හු) ගිහි ගෙයි වසන්නහු විසින් පහසු සේ මැඩැලියැ නො හැකිය හ. එහෙයින් භවත්නි, ගිහි ගෙන් නික්මැ මහණ බිමට වදනෙමි" යි මෙ වචන කී ය. භවත්නි, එ කලැ ඒ කැත්හු ස දෙන එක් පසකට ඉවත් වැ "මේ බමුණෝ වු කලි ධනයෙහි ඇලුණෝ ය. අපි මහාගෝවින්ද බමුණහු ධනයෙන් සගන්නමු යි (ඔහු සිත් ගන්නමු යි) මෙසේ කල්පනා කළහ. (ඉක්බිති) ඔහු මහාගෝවින්ද බමුණහු කරා ගොස් "භවතාණනි, මෙ සත් රාජ්‍යයන්හි බොහෝ සම්පත්ඇත. එයින් භවතාණනට යම් පමණෙකින් ප්‍රයෝජන ද එ පමණ (වුවමනා තරම) ගෙණෙනු ලැබේ ව" යි කීහ.

"භවත්නි, කම් නැත. භවතුන් ගේ ම උපකාරයෙන් (භවතුන්, දුන් බැවින් ම) රැස් වු, මා සතු වු ද මේ බොහෝ ධනය ඇත. මම් ඒ සියල්ල හැරදමා ගිහි ගෙන් නික්ම පැවිදි වදින්නෙමි. ආමගන්ධයන් පැහැදිලි කොට වදාරන බඹුහු ගේ වචනය යම් සේ මා විසින් අසන ලද ද, එ පරිද්දෙන් ඔහු ගිහි ගෙයි වසන්නහු විසින් පහසු සේ මැඩැලියැ නො හැකියහ. භවත්නි, මම් ගිහි ගෙන් නික්ම පැවිදි බිමට යන්නෙමි" යි බමුණු කී ය.

භවත්නි, ඉක්බිති ඒ කැත්හු ස දෙන එක් පැත්තකට වී "මේ බමුණෝ වනාහි ස්ත්‍රීන් කෙරෙහි ලොල් හ. අපි ගෝවින්ද බමුණා ස්ත්‍රීන් ගෙන් සගන්නමු" යි මෙසේ සිතූහ. (ඉක්බිති) ඔහු මහාගෝවින්ද බමුණු කරා එළැඹ, "භවතාණනි, මේ සත් රජයන්හි බොහෝ ස්ත්‍රීහු ඇත් ම ය. භවතාණනට ඔවුන් ගෙන් යම් පමණ කෙනකුගෙන් ප්‍රයෝජන ද(යම් පමණ වුව මනා ද) එ පමණ කෙනෙක් ගෙනෙනු ලැබෙත් වා" යි මෙසේ කීහ.

"භවත්නි, කම් නැත. මගේ ඒ සතළිස් බිරියෝ ද එ බන්ද හ. උන් හැම ද හැර දමා ගිහි ගෙන් පැවිදි බිමට යන්නෙමි. ආමගන්ධයන් පැහැදිලි කොට වදාරන බඹුහු ගේ වචනය යම් සේ මා විසින් අසන ලද ද, ඔහු ගිහි ගෙයි වසන්නහු විසින් පහසුවෙන් මැඩැලියැ නො හැක්කාහ. භවත්නි, මම් ගිහි ගෙන් නික්ම පැවිදි බිමට යන්නෙමි" යි බමුණු කීය.

32. "ඉදින් භවත් ගෝවින්ද තෙම ගිහිගෙන් පැවිදි බිමට යන්නේ නම්, අපි දු ගිහිගෙන් පැවිදි බිමට යන්නම්හ. එවිට යමක් ඔබගේ පරලොවැ ගතියෙක් වන්නේ ද එය අප ගේ පරලොවැ ගතිය වන්නේ යැ" යි ඒ ක්ෂත්‍රියයෝ කීහ.

"පුහුදුන් තෙමේ යමෙක්හි ඇලුණේ ද, ඉදින් ඒ කාමයන් හැර දමන්නහු නම්, ක්ෂාන්ති බලයෙන් සමන්විත ව වැර වඩවු, වැර ඉටා එහි දැඩි වවු.

මේ කරුණාධ්‍යාන මාර්ගය ඇඳ නැති මඟ වේ. මේ නිරුත්තර මඟ වේ. මේ බඹ ලොව ඉපැත්ම පිණිස සත්පුරුෂයයන් විසින් රක්නා ලද සද්ධර්මය වේ."

33."එසේ වී නම්, භවත් ගෝවින්ද තෙමේ සත් වසක් බලාපොරොත්තු වේ වා. සත් වසක් ආයාමෙන් අපි දු ගිහි ගෙන් පැවිදි බිමට යන්නමු. එ විට ඔබට යම් පරලොව් ගතියෙක් වන්නේ ද, එය අපේ ද පරලොව් ගතිය වන්නේ යැ" යි ඒ කැත් රජුහු කීහ.

"භවත්නි, සත් හවුරුද්ද ඉතා බොහෝ කලෙක් වෙයි, භවතුන් බලා සත් හවුරුද්දක් පොරොත්තු වන්නට මම් නො හැකියෙමි. කවරෙක් නම් ජීවිතයේ ගතිය දන්නේ ද? පරලොව යැ යුතු ය. නුවණින් මෙ කරුණ දත යුතු ය. කුසල් කළ යුතු ය. බඹසර සැරිය යුතු ය. උපන්නහු නො මැරෙන බවෙක් නැත. යම් සේ ආමගන්ධයන් හෙළි කොට කියන ඔහු ගේ වචනය මා විසින් අසන ලද ද, එසේ ඒ ආමගන්ධයෝ ගිහිගෙයි වසන්නහු විසින් පහසු සේ මැඩැලියැ නො හැක්කාහ. භවත්නි, මම් ගිහි ගෙන් නික්ම පැවිදි බිමට යන්නෙමි" යි බමුණු කී ය.

"එසේ වී නම් භවත් ගෝවින්ද තෙම ස වසක් පොරොත්තු වේ වා. ස වසක් ආයාමෙන් අපි දු ගිහි ගෙන් පැවිදි බිමට යන්නමු. එ විට ඔබට යම් පරලොව් ගතියෙක් වන්නේ ද, එය අපේ ද පරලොව් ගතිය වන්නේ යැ" යි ඒ කැත් රජුහු කීහ.

"භවත්නි, සය හවුරුද්ද ඉතා බොහෝ කලෙක් වෙයි, භවතුන් බලා සය හවුරුද්දක් පොරොත්තු වන්නට මම් නො හැකියෙමි. කවරෙක් නම් ජීවිතයේ ගතිය දන්නේ ද? පරලොව යැ යුතු ය. නුවණින් මෙ කරුණ දත යුතු ය. කුසල් කළ යුතු ය. බඹසර සැරිය යුතු ය. උපන්නහු නො මැරෙන බවෙක් නැත. යම් සේ ආමගන්ධයන් හෙළි කොට කියන ඔහු ගේ වචනය මා විසින් අසන ලද ද, එසේ ඒ ආමගන්ධයෝ ගිහිගෙයි වසන්නහු විසින් පහසු සේ මැඩැලියැ නො හැක්කාහ. භවත්නි, මම් ගිහි ගෙන් නික්ම පැවිදි බිමට යන්නෙමි" යි බමුණු කී ය.

එසේ වී නම් භවත් ගෝවින් ද තෙම පස් වසක් පොරොත්තු වේ වා. පස් වසක් ආයාමෙන් අපි දු ගිහි ගෙන් පැවිදි බිමට යන්නමු. එ විට ඔබට යම් පරලොව් ගතියෙක් වන්නේ ද, එය අපේ ද පරලොව් ගතිය වන්නේ යැ" යි ඒ කැත් රජුහු කීහ. "භවත්නි, පස් හවුරුද්ද ඉතා බොහෝ කලෙක් වෙයි, භවතුන් බලා පස් හවුරුද්දක් පොරොත්තු වන්නට මම් නො හැකියෙමි. කවරෙක් නම් ජීවිතයේ ගතිය දන්නේ ද? පරලොව යැ යුතු ය. නුවණින් මෙ කරුණ දත යුතු ය. කුසල් කළ යුතු ය. බඹසර සැරිය යුතු ය. උපන්නහු නො මැරෙන බවෙක් නැත. යම් සේ ආමගන්ධයන් හෙළි කොට කියන ඔහු ගේ වචනය මා විසින් අසන ලද ද, එසේ ඒ ආමගන්ධයෝ ගිහිගෙයි වසන්නහු විසින් පහසු සේ මැඩැලියැ නො හැක්කාහ. භවත්නි, මම් ගිහි ගෙන් නික්ම පැවිදි බිමට යන්නෙමි" යි බමුණු කී ය.

එසේ වී නම් භවත් ගෝවින්ද තෙම සිවු වසක් පොරොත්තු වේ වා. සිව් වසක් ආයාමෙන් අපි දු ගිහි ගෙන් පැවිදි බිමට යන්නමු. එ විට ඔබට යම් පරලොව් ගතියෙක් වන්නේ ද, එය අපේ ද පරලොව් ගතිය වන්නේ යැ" යි ඒ කැත් රජුහු කීහ.

"භවත්නි, සිව් හවුරුද්ද ඉතා බොහෝ කලෙක් වෙයි, භවතුන් බලා සිව් හවුරුද්දක් පොරොත්තු වන්නට මම් නො හැකියෙමි. කවරෙක් නම් ජීවිතයේ ගතිය දන්නේ ද? පරලොව යැ යුතු ය. නුවණින් මෙ කරුණ දත යුතු ය. කුසල් කළ යුතු ය. බඹසර සැරිය යුතු ය. උපන්නහු නො මැරෙන බවෙක් නැත. යම් සේ ආමගන්ධයන් හෙළි කොට කියන ඔහු ගේ වචනය මා විසින් අසන ලද ද, එසේ ඒ ආමගන්ධයෝ ගිහිගෙයි වසන්නහු විසින් පහසු සේ මැඩැලියැ නො හැක්කාහ. භවත්නි, මම් ගිහි ගෙන් නික්ම පැවිදි බිමට යන්නෙමි" යි බමුණු කී ය.

එසේ වී නම් භවත් ගෝවින් ද තෙම තුන් වසක් පොරොත්තු වේ වා. තුන් වසක් ආයාමෙන් අපි දු ගිහි ගෙන් පැවිදි බිමට යන්නමු. එ විට ඔබට යම් පරලොව් ගතියෙක් වන්නේ ද, එය අපේ ද පරලොව් ගතිය වන්නේ යැ" යි ඒ කැත් රජුහු කීහ.

"භවත්නි, තුන් හවුරුද්ද ඉතා බොහෝ කලෙක් වෙයි, භවතුන් බලා තුන් හවුරුද්දක් පොරොත්තු වන්නට මම් නො හැකියෙමි. කවරෙක් නම් ජීවිතයේ ගතිය දන්නේ ද? පරලොව යැ යුතු ය. නුවණින් මෙ කරුණ දත යුතු ය. කුසල් කළ යුතු ය. බඹසර සැරිය යුතු ය. උපන්නහු නො මැරෙන බවෙක් නැත. යම් සේ ආමගන්ධයන් හෙළි කොට කියන ඔහු ගේ වචනය මා විසින් අසන ලද ද, එසේ ඒ ආමගන්ධයෝ ගිහිගෙයි වසන්නහු විසින් පහසු සේ මැඩැලියැ නො හැක්කාහ. භවත්නි, මම් ගිහි ගෙන් නික්ම පැවිදි බිමට යන්නෙමි" යි බමුණු කී ය.

එසේ වී නම් භවත් ගෝවින්ද තෙම දෙ වසක් පොරොත්තු වේ වා දෙ වසක් ආයාමෙන් අපි දු ගිහි ගෙන් පැවිදි බිමට යන්නමු. එ විට ඔබට යම් පරලොව් ගතියෙක් වන්නේ ද, එය අපේ ද පරලොව් ගතිය වන්නේ යැ" යි ඒ කැත් රජුහු කීහ.

"භවත්නි, සිව් හවුරුද්ද ඉතා බොහෝ කලෙක් වෙයි, භවතුන් බලා සිව් හවුරුද්දක් පොරොත්තු වන්නට මම් නො හැකියෙමි. කවරෙක් නම් ජීවිතයේ ගතිය දන්නේ ද? පරලොව යැ යුතු ය. නුවණින් මෙ කරුණ දත යුතු ය. කුසල් කළ යුතු ය. බඹසර සැරිය යුතු ය. උපන්නහු නො මැරෙන බවෙක් නැත. යම් සේ ආමගන්ධයන් හෙළි කොට කියන ඔහු ගේ වචනය මා විසින් අසන ලද ද, එසේ ඒ ආමගන්ධයෝ ගිහිගෙයි වසන්නහු විසින් පහසු සේ මැඩැලියැ නො හැක්කාහ. භවත්නි, මම් ගිහි ගෙන් නික්ම පැවිදි බිමට යන්නෙමි" යි බමුණු කී ය.


එසේ වී නම් භවත් ගෝවින්ද තෙම එක් වසක් පොරොත්තු වේ වා. එක් වසක් ඇවෑමෙන් අපි දු ගිහි ගෙන් නික් මැ පැවිදි බිමට යන්නම්හ. එ කලැ ඔබ ගේ යම් පරලොව් ගතියෙක් වන්නේ ද එය ම අප ගේ ද පරලොව් ගතිය වන්නේ යැ" යි කැත්හු කීහ.

"භවත්නි, එක් වසෙක් ඉතා දික් කාලයෙකි. භවතුන් බලා එක් වසක් පොරොත්තු වන්නට මම් නො හැක්කෙමි. ජීවිතයේ ගතිය (පැවැත්ම මෙතෙක් කලැයි) දන්නේ ද? පර ලොව යෑ යුතු ය. මෙ කරුණ නුවණින් අවබොධ කටයුතු ය. කුසල් කළ යුතු ය. බඹසර සැරිය යුතු ය. උපන්නහු නොමියෙන බවෙක් නැත. ආමගන්ධයන් හෙළි කොට වදාරන බඹහු ගේ වචනය යම් සේ මා විසින් අසන ලද ද, එ පරිද්දෙන් ඒ ගිහි ගෙයි වසන්නහු විසින් පහසුවෙන් ඔව්හු මැඬැලියැ නො හැක්කාහ. භවත්නි, මම් ගිහි ගෙන් නික්ම පැවිදිබිමට යන්නෙමි" යි බමුණු කී.

එසේ වී නම් භවත් ගෝවින්ද තෙමේ සත් මසක් පොරොත්තු වේ වා සත් මස ඇවෑමෙන් අපි දු ගිහි ගෙන් නික්ම පැවිදි බිමට යන්නමු. එ විට ඔබට යම් පරලොව් ගතියෙක් වන්නේ ද, එය අපට ද පරලොව් ගතිය වන්නේ යැ" යි ඒ කැත්හු කිවු ය.

"භවත්නි, සත් මස ඉතා බොහෝ කලෙක, භවතුන් බලා සත් මසක් පොරොත්තු වන්නට මම් නො හැක්කෙමි. භවත්නි, ජීවිත පිළිබඳ පැවැත්ම කවරෙක් නම් දනී ද? පරලොව යෑ යුතු ය. නුවණින් අවබොධ කටයුතු ය. කුසල් කළ යුතු ය. බඹසර සැරිය යුතු ය. උපන්නහු නො මියෙනු නැත. ආමගන්ධයන් හෙළි කොට වදාරන බඹහු ගේ වචනය යම්සේ මා විසින් අසන ලද ද, එසේ ඒ ආමගන්ධයෝ ගිහිගෙයි වසන්නහු විසින් සුව සේ මැඩිය නො හැක්කාහ. භවත්නි, එ බැවින් මම් ගිහි ගෙන් නික්ම පැවිදි බිමට යන්නෙමි" යි බමුණු කී ය.

'එසේ වී නම් භවත් ගෝවින්ද තෙම ස මසක් පොරොත්තු වේ වා ස මසක් ඇවෑමෙන් අපි දු ගිහි ගෙන් නික්ම පැවිදි බිමට යන්නමු. එ විට ඔබට යම් පරලොව් ගතියෙක් වන්නේ ද, එය අපට ද පරලොව් ගතිය වන්නේ යැ" යි ඒ කැත්හු කිවු ය.

"භවත්නි, ස මස ඉතා බොහෝ කලෙක, භවතුන් බලා ස මසක් පොරොත්තු වන්නට මම් නො හැක්කෙමි. භවත්නි, ජීවිත පිළිබඳ පැවැත්ම කවරෙක් නම් දනී ද? පරලොව යෑ යුතු ය. නුවණින් අවබොධ කටයුතු ය. කුසල් කළ යුතු ය. බඹසර සැරිය යුතු ය. උපන්නහු නො මියෙනු නැත. ආමගන්ධයන් හෙළි කොට වදාරන බඹහු ගේ වචනය යම්සේ මා විසින් අසන ලද ද, එසේ ඒ ආමගන්ධයෝ ගිහිගෙයි වසන්නහු විසින් සුව සේ මැඩිය නො හැක්කාහ. භවත්නි, එ බැවින් මම් ගිහි ගෙන් නික්ම පැවිදි බිමට යන්නෙමි" යි බමුණු කී ය.


එසේ වී නම් භවත් ගෝවින්ද තෙම පස් මසක් පොරොත්තු වේ වා පස් මසක් ඇවෑමෙන් අපි දු ගිහි ගෙන් නික්ම පැවිදි බිමට යන්නමු. එ විට ඔබට යම් පරලොව් ගතියෙක් වන්නේ ද, එය අපට ද පරලොව් ගතිය වන්නේ යැ" යි ඒ කැත්හු කිවු ය.

"භවත්නි, පස් මස ඉතා බොහෝ කලෙක, භවතුන් බලා පස් මසක් පොරොත්තු වන්නට මම් නො හැක්කෙමි. භවත්නි, ජීවිත පිළිබඳ පැවැත්ම කවරෙක් නම් දනී ද? පරලොව යෑ යුතු ය. නුවණින් අවබොධ කටයුතු ය. කුසල් කළ යුතු ය. බඹසර සැරිය යුතු ය. උපන්නහු නො මියෙනු නැත. ආමගන්ධයන් හෙළි කොට වදාරන බඹහු ගේ වචනය යම්සේ මා විසින් අසන ලද ද, එසේ ඒ ආමගන්ධයෝ ගිහිගෙයි වසන්නහු විසින් සුව සේ මැඩිය නො හැක්කාහ. භවත්නි, එ බැවින් මම් ගිහි ගෙන් නික්ම පැවිදි බිමට යන්නෙමි" යි බමුණු කී ය.


එසේ වී නම් භවත් ගෝවින් ද තෙම සිවු මසක් පොරොත්තු වේ වා. සිව් මසක් ඇවෑමෙන් අපි දු ගිහි ගෙන් නික්ම පැවිදි බිමට යන්නමු. එ විට ඔබට යම් පරලොව් ගතියෙක් වන්නේ ද, එය අපට ද පරලොව් ගතිය වන්නේ යැ" යි ඒ කැත්හු කිවු ය.

"භවත්නි, සිවු මස ඉතා බොහෝ කලෙක, භවතුන් බලා සිවු මසක් පොරොත්තු වන්නට මම් නො හැක්කෙමි. භවත්නි, ජීවිත පිළිබඳ පැවැත්ම කවරෙක් නම් දනී ද? පරලොව යෑ යුතු ය. නුවණින් අවබොධ කටයුතු ය. කුසල් කළ යුතු ය. බඹසර සැරිය යුතු ය. උපන්නහු නො මියෙනු නැත. ආමගන්ධයන් හෙළි කොට වදාරන බඹහු ගේ වචනය යම්සේ මා විසින් අසන ලද ද, එසේ ඒ ආමගන්ධයෝ ගිහිගෙයි වසන්නහු විසින් සුව සේ මැඩිය නො හැක්කාහ. භවත්නි, එ බැවින් මම් ගිහි ගෙන් නික්ම පැවිදි බිමට යන්නෙමි" යි බමුණු කී ය.


එසේ වී නම් භවත් ගෝවින් ද තෙම තුන් මසක් පොරොත්තු වේ වා .තුන් මසක් ඇවෑමෙන් අපි දු ගිහි ගෙන් නික්ම පැවිදි බිමට යන්නමු. එ විට ඔබට යම් පරලොව් ගතියෙක් වන්නේ ද, එය අපට ද පරලොව් ගතිය වන්නේ යැ" යි ඒ කැත්හු කිවු ය.

"භවත්නි, තුන් මස ඉතා බොහෝ කලෙක, භවතුන් බලා තුන් මසක් පොරොත්තු වන්නට මම් නො හැක්කෙමි. භවත්නි, ජීවිත පිළිබඳ පැවැත්ම කවරෙක් නම් දනී ද? පරලොව යෑ යුතු ය. නුවණින් අවබොධ කටයුතු ය. කුසල් කළ යුතු ය. බඹසර සැරිය යුතු ය. උපන්නහු නො මියෙනු නැත. ආමගන්ධයන් හෙළි කොට වදාරන බඹහු ගේ වචනය යම්සේ මා විසින් අසන ලද ද, එසේ ඒ ආමගන්ධයෝ ගිහිගෙයි වසන්නහු විසින් සුව සේ මැඩිය නො හැක්කාහ. භවත්නි, එ බැවින් මම් ගිහි ගෙන් නික්ම පැවිදි බිමට යන්නෙමි" යි බමුණු කී ය.


එසේ වී නම් භවත් ගෝවින් ද තෙම දෙ මසක් පොරොත්තු වේ වා, දෙමසක් ඇවෑමෙන් අපි දු ගිහි ගෙන් නික්ම පැවිදි බිමට යන්නමු. එ විට ඔබට යම් පරලොව් ගතියෙක් වන්නේ ද, එය අපට ද පරලොව් ගතිය වන්නේ යැ" යි ඒ කැත්හු කිවු ය.

"භවත්නි, දෙ මස ඉතා බොහෝ කලෙක, භවතුන් බලා දෙ මසක් පොරොත්තු වන්නට මම් නො හැක්කෙමි. භවත්නි, ජීවිත පිළිබඳ පැවැත්ම කවරෙක් නම් දනී ද? පරලොව යෑ යුතු ය. නුවණින් අවබොධ කටයුතු ය. කුසල් කළ යුතු ය. බඹසර සැරිය යුතු ය. උපන්නහු නො මියෙනු නැත. ආමගන්ධයන් හෙළි කොට වදාරන බඹහු ගේ වචනය යම්සේ මා විසින් අසන ලද ද, එසේ ඒ ආමගන්ධයෝ ගිහිගෙයි වසන්නහු විසින් සුව සේ මැඩිය නො හැක්කාහ. භවත්නි, එ බැවින් මම් ගිහි ගෙන් නික්ම පැවිදි බිමට යන්නෙමි" යි බමුණු කී ය.


එසේ වී නම් භවත් ගෝවින් ද තෙම එක් මසක් පොරොත්තු වේ වා, එක් මසක් ඇවෑමෙන් අපි දු ගිහි ගෙන් නික්ම පැවිදි බිමට යන්නමු. එ විට ඔබට යම් පරලොව් ගතියෙක් වන්නේ ද, එය අපට ද පරලොව් ගතිය වන්නේ යැ" යි ඒ කැත්හු කිවු ය.

"භවත්නි, එක් මස ඉතා බොහෝ කලෙක, භවතුන් බලා එක් මසක් පොරොත්තු වන්නට මම් නො හැක්කෙමි. භවත්නි, ජීවිත පිළිබඳ පැවැත්ම කවරෙක් නම් දනී ද? පරලොව යෑ යුතු ය. නුවණින් අවබොධ කටයුතු ය. කුසල් කළ යුතු ය. බඹසර සැරිය යුතු ය. උපන්නහු නො මියෙනු නැත. ආමගන්ධයන් හෙළි කොට වදාරන බඹහු ගේ වචනය යම්සේ මා විසින් අසන ලද ද, එසේ ඒ ආමගන්ධයෝ ගිහිගෙයි වසන්නහු විසින් සුව සේ මැඩිය නො හැක්කාහ. භවත්නි, එ බැවින් මම් ගිහි ගෙන් නික්ම පැවිදි බිමට යන්නෙමි" යි බමුණු කී ය.


එසේ වී නම් භවත් ගෝවින් ද තෙම අඩ මසක් පොරොත්තු වේ වා, අඩ මස ඇවෑමෙන් අපි දු ගිහි ගෙන් නික්ම පැවිදි බිමට යන්නමු එ කලැ ඔබට යම් පරලොව් ගතියෙක් වන්නේ ද, අපට ද ඒ පරලොව් ගතිය ම වන්නේ යැ" යි කැත්හු කිවු ය.

"භවත්නි, අඩ මස ඉතා බොහෝ කලෙකි. භවතුන් බලා අඩ මසක් පොරොත්තු වන්නට මම් නො හැක්කෙමි. භවත්නි, කවරෙක් නම් ජීවිත පිළිබඳ පැවැත්ම දනී ද? පරලොව යෑ යුතු ය. නුවණින් මෙ කරුණ දැනගත යුතු ය. කුසල් කළ යුතු ය. බඹසර සැරිය යුතු ය. උපන්නහු නොමියෙනු නැත. යම් සේ ආමගන්ධයන් හෙළි කොට කියන බඹහු ගේ වචනය මා විසින් අසන ලද ද, එ පරිදි ඒ ආමගන්ධයෝ ගිහි ගෙහි වසන්නහු විසින් සුවසේ මැඩැලියැ නො හැකියහ. භවත්නි, මම් ගිහි ගෙන් නික්ම පැවිදි බිමට යන්නෙමි" යි බමුණු කී ය.

"එසේ වී නම් භවත් ගෝවින්ද තෙමේ අප සිය පුතුන් බෑයන් රජයෙහි අනුසස්නා තෙක් (රජය කරවන සැටි ඔවුනට පුහුණු කරවන තෙක්) සතියක් පොරොත්තු වේ වා. සතිය ඇවෑමෙන් අපි දු ගිහි ගෙන් නික්ම පැවිදි බිමට යන්නමු. එ කලැ යමක් ඔබ ගේ පරලොව් ගතිය වන්නේ ද, අප ගේ පරලොව් ගතිය ද එය වන්නේ යැ" යි ක්ෂත්‍රියයෝ ස දෙන කීහ.

"භවත්නි, සතිය බොහෝ කලෙක් නො වේ. භවතුන් බලා මම් සතියක් පොරොත්තු වන්නෙමි" යි ගෝවින්ද බමුණු කී ය.

බමුණු මහසල් ආදීන් ඇමැතීම

34. භවත්නි, ඉක්බිති මහාගෝවින්ද බමුණු මහසලුන් සත් දෙනා ද ස්නාතකයන් හත්සිය දෙනා ද කරා එළැඹියේ ය. එළැඹ, ඔවුන් බණවා "යමෙක් භවත්නට වේදයන් කියවන්නේ ද, භවත්හු එසේ වු ඇදුරකු සොයත් වා භවත්නි, මම් ගිහි ගෙන් නික්ම පැවිදි බිමට යන්නට කැමැත්තෙමි. ආමගන්ධයන් හෙළි කොට වදාරන බඹහු ගේ වචනය යම්සේ මා විසින් අසන ලද ද, එසේ ඒ ආමගන්ධයෝ ගිහි ගෙයි වසන්නහු විසින් පහසුසේ බැහැර ලිය නො හැකියහ. භවත්නි, (එ හෙයින්) මම් ගිහි ගෙන් නික්ම පැවිදි බිමට යන්නෙමි" යි ගෝවින්ද බමුණු කී ය.

"භවත් ගෝවින්ද තෙමේ ගිහි ගෙන් නික්මැ පැවිදි බිමට නො යේ වා. භවත්නි, පැවිද්ද අල්පයශස්ක ද අල්පලාභ ඇතියෙක් ද වේ. බ්‍රාහ්මණ බව මනායශස්ක ද මහාලාභ ඇතියෙක් ද වේ" යැ යි බමුණු මහසල්හු ද ස්නාතකයෝ ද කීහ.

"පැවිද්ද අල්පයශස්ක අල්පලාභ එකෙකැ යි ද බමුණු බව මහායශස්ක මහාලාභ එකෙකැ' යි ද භවත්හු නො කියත් වා. භවත්නි, මා හැර කවරෙක් නම් වඩා මහායශස්ක හෝ වඩා මහාලාභී හෝ වේ ද? භවත්නි, මම් දැන් රජුනට (සක්විති) රජක්හු බඳු වෙමි, බමුණට බඹුහු බඳු වෙමි. ගැහැවියනට සක්දෙවි බඳු වෙමි. මම් ඒ සියලු දෑ හැර දමා, ගිහි ගෙන් නික්ම පැවිදි බිමට යන්නෙමි. ආමගන්ධයන් පැහැදිලි කොට වදාරන බඹහු කී වචනය මා විසින් යම්සේ අසන ලදද, එසේ ඒ ආමගන්ධයෝ ගිහිගෙයි වසන්නහු විසින් බැහැරලිය නො හෙන්නාහ. (එ හෙයින්) භවත්නි, මම් ගිහි ගෙන් නික්ම පැවිදි බිමට යන්නෙමි" යි බමුණු කී ය.

"ඉදින් භවත් ගෝවින්ද තෙමේ ගිහි ගෙයින් නික්මැ පැවිදි බිමට යන්නේ නම්, අපි දු ගිහි ගෙයින් නික්ම පැවිදි බිමට යන්නම්හ. එ කල යමක් ඔබ ගේ පරලොවැ ගතියක වන්නේ ද, අපගේත් පරලොව් ගතිය එය ම වන්නේ යැ" යි ඒ බමුණෝත් ස්නාතකයෝ කීහ.

බිරියන් ඇමැතුම

35. භවත්නි, ඉක්බිති මහාගෝවින්ද බ්‍රාහ්මණ තෙම (රූ වයස් ආදියෙන්) එක් බඳු වු සතළිස් බිරියන් කරා එළැඹියේ ය. එළැඹ, ඔවුන් බණවා, "පින්වතියන් අතුරෙන් යම් තැනැත්තියක් කැමැත්තී ද, ඕ සිය නෑකුල කරා යේ වා, අන් සැමියෙකු හෝ සොයා ගනී වා. පින්වතියනි, මම් ගිහි ගෙන් නික්ම පැවිදි බිමට යන්නට රිසියෙමි. ආමගන්ධයන් හෙළි කොට කියන බඹහු ගේ වචනය මා ඇසු පරිදි ගිහිගෙයි වසන්නහු විසින් ඒ ආමගන්ධයන් බැහැරැ ලනු දුෂ්කර ය. (එ හෙයින්) පින්වතියනි, මම් ගිහි ගෙය හැර පැවිදි වන්නෙමි" යි කී ය.

"නෑයන් පතන අපට ඔබ ම නෑයාණෝ ය, සැමියකු පතන අපට ඔබ ම සැමියාණෝ ය. භවත් ගෝවින්දයන් ගිහි ගෙන් නික්ම පැවිදි වතොත් අපිත් ගිහි ගෙන් නික්ම පැවිදි වන්නමු. එ කල ඔබට ලැබෙන පරලොව් ගතිය ම අපට ද ලැබෙන්නේ යැ යි ඒ බිරියෝ කීහ.

මහාගෝවින්ද ප්‍රවුජ්‍යාව

36. භවත්නි, ඉක්බිති මහාගෝවින්ද බමුණු එ සතිය ඇවෑමෙන් කෙහෙ රවුලු බහවා, කසා වත් හැඳ, ගිහි ගෙන් පැවිදි බිමට වන. එසේ පැවිදි වු මහාගෝවින්ද බමුණුහු අනුව, මුදුනැ අබිසෙස් ලත් සත් කැත් රජුහු ද, සත් බමුණු මහ සල්හු ද, ස්නාතකයෝ සත්සියය ද, එකබඳු සතළිස් බිරියෝ ද, නොයෙක් දහස් ගණන් කැත්හු ද, නොයෙක් දහස් ගණන් බමුණෝ ද, නොයෙක් දහස් ගණන් ගැහැවියෝ ද, නොයෙක් ඇතොවුරු වලින් නොයෙක් තරුණ ස්ත්‍රීහු ද කෙහෙ රවුලු බහවා, කසාවත් හැඳ පැවිදි වුහ. භවත්නි, මහාගෝවින්ද බමුණු එසා මහ පිරිසක් විසින් පිරිවැරුණේ ගම් නියම්ගම් රජදහන්හි සැරිසරයි. භවත්නි, ඒ සමයෙහි මහාගෝවින්ද බමුණු යම් ගමකට හෝ නියම්ගමකට එළඹෙයි ද, හේ එහි රජුනට සක්විති රජක්හු බඳු වෙයි, බමුණට බඹහු බඳු වෙයි, ගැහැවියනට සක්දෙව් බඳු වෙයි.

එ සමයෙහි මිනිස්සු කිවිසුම් හරනාහු හෝ කණු කටු ආදියෙකැ හැපෙන්නාහු හෝ වෙත් ද ඔහු 'මහාගෝවින්ද බමුණුහට නමස්කාර වේ වා, සක් රජුන් ගේ පෙරෙවියාට නමස්කාර වේ වා' යි මෙසේ කීහ.

37. භවත්නි, මහාගෝවින්ද බමුණු තෙම මෙත් සහගත සිතින් එක් දිගක් පැතිරැ ගෙන විසී ය. එසේදෙවෙනි දිග ද, එසේ ම තෙවෙනි දිග ද, එසේ ම සතර වන දිග ද, මෙසේ උඩ යට සරස දැ යි සියලුතන්හි සර්වාත්මතායෙන් සර්වවත් ලෝකය විපුල වු මහද්ගත වු, අප්‍රමාණ වු, වෛර රහිත වු ව්‍යාපාද රහිත වු මෛත්‍රීසහගත සිතින් පැතිරැ ගෙන විසී ය; එසේ ම භවත් ගෝවින් ද බමුණු තෙම කරුණා සහගත සිතින් එක් දිගක් පැතිරැ ගෙන විසී ය. එසේදෙවෙනි දිග ද, එසේ ම තෙවෙනි දිග ද, එසේ ම සතර වන දිග ද, මෙසේ උඩ යට සරස දැ යි සියලුතන්හි සර්වාත්මතායෙන් සර්වවත් ලෝකය විපුල වු මහද්ගත වු, අප්‍රමාණ වු, වෛර රහිත වු ව්‍යාපාද රහිත වු කරුණාසහගත සිතින් පැතිරැ ගෙන විසී ය;

එසේ ම භවත් ගෝවින් ද බමුණු තෙම මුදිතාසහගත සිතින් එක් දිගක් පැතිරැ ගෙන විසී ය. එසේදෙවෙනි දිග ද, එසේ ම තෙවෙනි දිග ද, එසේ ම සතර වන දිග ද, මෙසේ උඩ යට සරස දැ යි සියලුතන්හි සර්වාත්මතායෙන් සර්වවත් ලෝකය විපුල වු මහද්ගත වු, අප්‍රමාණ වු, වෛර රහිත වු ව්‍යාපාද රහිත වු මුදිතාසහගත සිතින් පැතිරැ ගෙන විසී ය;

එසේ ම භවත් ගෝවින් ද බමුණු තෙම උපෙක්ෂා සහගත සිතින් එක් දිශාවක් පැතිර ගෙන විසී ය. එසේ දෙවෙනි දිශාව ද . . එසේ තෙවෙනි දිශාව ද . . . එසේ සිවුවන දිශාව ද පැතිර ගෙන විසී ය. මෙසේ උඩ යට සරස දැ යි සියලු තන්හි සර්වාත්මතායෙන් සර්වවත් ලෝකය විපුල වු මහද්ගත වු අප්‍රමාණ වු වෛර රහිත වු ව්‍යාපාදරහිත වු උපේක්ෂා සහගත සිතින් පැතිර ගෙන විසී ය. සව්වනට ද බඹලොවැ බඹහු හා එක් වීමට මඟ දෙසී ය.

38. භවත්නි, එ සමයෙහි මහාගෝවින්ද බමුණා ගේ යම් සවු කෙනෙක් මහාගෝවින්ද බ්‍රාහ්මණයා ගේ ශාසනය සියල්ලෙන් සියල්ල දැනගත්තාහු ද (හෙවත් අට සමවත් හා පංච අභිඥා හා ඉපැදැවුවාහු ද), ඔහු කා බුන් මරණින් මතු මනා ගති ඇති බඹ ලොවට උත්පත්ති වශයෙන් පැමිණියාහ. යම් කෙනෙක් ඔහු ගේ ශාසනය සියල්ලෙන් සියල්ල නො ම දැන ගත්තාහු ද (හෙවත් අට සමවත් හා පංච අභිඥා හා) නො ම ඉපැදැවුහු ද, ඔහු කා බුන් මරණින් මතු ඇතැම් කෙනෙක් පරනිර්මිත වශවර්ත්තී දෙවියන් ගේ සහභාවයට පැමිණියා හ. ඇතැම් කෙනෙක් නිර්මාණරති දෙවියන් ගේ සහභාවයට පැමිණියාහ. ඇතැම් කෙනෙක් තුෂිත දෙවියන් ගේ සහභාවයට පැමිණියාහ. ඇතැම් කෙනෙක් යාම දෙවියන් ගේ සහභාවයට පැමිණියාහ. ඇතැම් කෙනෙක් තව්තිසා වැසි දෙවියන් ගේ සහභාවයට පැමිණියාහ. ඇතැම් කෙනෙක් සිවු මහරජයෙහි දෙවියන් ගේ සහභාවයට පැමිණියාහ. යම් කෙනෙක් හැම දෙනාට ම පහත් දෙව්මුළුවක් පුරාලුවෝ ද, ඔහු ගඳෙවු මුළුව පුරාලුහ.

මෙසේ එ සියලු ම කුල පුතුන් ගේ පැවිද්ද නො සිස් ද නොවඳ ද එල සහිත ද වැඩීම් සහිත ද වී ය."

39. පන්සිළු තෙම දෙව් සබේ දී සනත්කුමාරයා කී මේ කථාව පවසා, භාග්‍යවතුන් වහන්සේ එ පවත් සිහි කරන සේක් දැ? " යි විචාළේය.

"පන්සිළුව, එය මම් සිහි කෙරෙමි. එ සමයෙහි මම් මහාගෝවින්ද බ්‍රාහ්මණ වීමි. මම් ඒ සව්වනට බඹලොවැ බඹා හා එක්වනුවට මඟ දෙසීමි. පන්සිළුව, මගේ ඒ බඹසර සසරැ කලකිරෙනු පිණිස නො පැවැත්තේය. විරාගය පිණිස නො පැවැත්තේය. නිරෝධය පිණිස නො පැවැත්තේය. උපශමය (දුක් සංසිඳුවීම) පිණිස නො පැවැත්තේය. අභිඥාව පිණිස නො පැවැත්තේය. සම්බොධිය පිණිස නො පැවැත්තේය. නිවන් පිණිස නො පැවැත්තේය. වැලිදු බඹ ලොවැ ඉපැත්ම පිණිස නො පැවැත්තේය. පන්සිළුව, මගේ මේ බඹසර (මෙසස්න) ඒකාන්තයෙන් සසරැ කලකිරෙනු පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, ව්‍යුපශමය පිණිස, අභිඥාව පිණිස, සම්බොධිය පිණිස, නිවන් පිණිස පවතී.

40. පන්සිළුව, මගේ යම් සවු කෙනෙක් මගේ ශාසනය සියල්ලෙන් සියල්ල (මගේ මුළු සස්නම) දැනගන්නාහු ද, ඔහු ආස්‍රවයන් ගේ ක්ෂයයෙන් ආස්‍රව රහිත වු, එලසමාධිය ද එල ඥානය ද මෙ අත්බව්හි ම තුමු වෙසෙසි නුවණින් දැන, පසක් කොට, ලැබ වෙසෙත්. යම් කෙනෙක් මෙ සස්න සියල්ලෙන් සියල්ල (මුළු සස්නම) නො දැන ගනිත් ද, ඔහු අවරභාගික සංයෝජනයන් වැනැසීමෙන්, එහි දී පිරිනිවෙන සුලු වැ, එ ලොවින් පෙරළා නො එන සුලු වැ සුදවස් බඹලොවැ ඕපපාතික වැ උපදනාහු වෙති. යම් කෙනෙක් සස්න සියල්ලෙන් සියල්ල (මුළු සස්න ම) නො දන්නහු ද, ඔවුන් ගෙන් ඇතැම් කෙනෙක් තුන් සංයොජනයන් ක්ෂීණ වීමෙන් රාගද්වෙෂ මොහයන් තුනී බැවින් සෙදැගැමිහු වෙත්. එක් වරක් ම මෙ ලොවට අවුත් දුක් කෙළවර කරන්නාහ. යම් කෙනෙක් සස්න සියල්ලෙන් සියල්ල නො දන්නහු ද, ඒ ඇතැම් කෙනෙක් තුන් සංයොජනයන් ක්ෂීණ වීමෙන් අවාහි නොවැටෙන සුලු, රහත් බවට නියත වු, සම්බොධිය (රහත් බව) ප්‍රතිෂ්ඨා කොටැති, සෝවාන්හු වෙත්. පන්සිළුව, මෙසේ ම මේ සියලු ම (සසුන් වන්) කුල පුතුන් ගේ පැවිද්ද නොසිස් වෙයි, නොවඳ වෙයි, සඑල වෙයි, වැඩීම් සහිත වෙයි."

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු වු පන්සිළු ගඳැවු පුත් තෙම භගවත් බුදුරජුන් ගේ වචනය පිළිගෙන, අනුමොවන් කොට ඔබ ආදරයෙන් වැඳ, පැදැකුණු කොට, එහි ම අතුරුදහන් විය.

සවැනි මහාගෝවින්ද සුත්‍රය නිමියේ ය.

උපුටා ගැනීම - ධම්මසංගායනා - www.dhammasanghayana.org