ත්‍රිපිටක පොත් වහන්සේ/සූත්‍ර පිටකය/දීඝ නිකාය/මහා නිදාන සූත්‍රය

Wikibooks වෙතින්

පටිච්චසමුප්පාදො

1.මා විසින් මෙසේ අසන ලදී. එක් කලක භාග්‍යවතුන් වහන්සේ කුරුරට කම්මාසදම්‍ය නම්වූ කුරුරට වැස්සන්ගේ නියම්ගමක්වීද එහි වාසය කළෝය. එවිට ආයුෂ්මත් ආනන්ද තෙරුන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ හොඳින් වැඳ එක පැත්තක උන්නේය. එක පැත්තක උන්නාවූ ආයුෂ්මත් ආනන්ද තෙරුන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙ කාරණය දැන්නුවේය. ස්වාමීන්වහන්ස, මේ (පටිච්ච සමුප්පාදය) හෙතු ඵල දෙශනාව පමණ ඉක්මවා ගැඹුරුවේද හෙවත් ඉතා ගැඹුරු වේද ගැඹුරු දැකුම් ඇත්තේ වේද ස්වාමීන් වහන්ස, ඒ කාරණය පුදුමයි. ස්වාමීන් වහන්ස, ඒ කාරණය ඉතා පුදුමයි. එසේ නමුත් මට නොගැඹුරුවූවක් මෙන් පහසුවූවක් මෙන් වැටහේයයි” දැන්නුවේය.

2.“ආනන්දය, එසේ නොකියව. ආනන්දය, එසේ නොකියව ආනන්දය, මේ (පටිච්ච සමුප්පාදය) හේතු ඵල ධර්මය ගැඹුරු වෙයි. ගැඹුරු දැකුම් ඇත්තේද වෙයි. ආනන්දය, මේ ධර්මය නොදැනීම හේතුකොට ගෙන, හොඳින් අවබොධ නොකිරීම හේතුකොටගෙන මේ සත්ව සමූහයා මීයන් විසින් කපා අවුල් කර දමනලද රෙදි වියන්නන්ගේ නූල් කැටියක් මෙන් අවුල්වී, කුරුළු කූඩුවක් මෙන් ගෙතී, තණ බිස්සක් මෙන් පැටලී සැපයෙන් පහවූ බැවින් අපාය නම්වූ නපුරු ගති ඇත්තාවූ දුක් ඇත්තාවූ සසර නොයික්මවයි.

3.“ආනන්දය, යමක් හේතුකොටගෙන ජරාව හා මරණය වේ නම් ඒ හේතුව කිමෙක ඇත්තේදැයි මෙසේ අසනලද්දාවූ ප්‍රඥාවන්තයා විසින් ඒකාන්තයෙන් ඇත්තේම යයි ඔහුට කිය යුතුයි. යමක් හේතුකොටගෙන ජරා මරණ දෙක වේ නම් ඒ ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කවරේදැයි කියන්නෙම් නම් ජාතිය ප්‍රත්‍යය (අවශ්‍ය කරුණු) කොට ගෙන ජරා මරණ දෙක වේයයි කිය යුතුයි.

“ආනන්දය, යමක් ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොටගෙන ජාතිය වේනම් ඒ ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කිමෙක ඇත්තේ දැයි මෙසේ අසන ලද්දාවූ ප්‍රඥාවන්තයා විසින් එකාන්තයෙන් ඒ ප්‍රත්‍යය ඇත්තේමයයි ඔහුට කිය යුතුයි. යමක් කරුණු (ප්‍රත්‍යය) කොට ගෙන ජාතිය වේනම් ඒ ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කවරේදැයි මෙසේ කියන්නේ නම් භවය ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොටගෙන ජාතිය වේයයි ඔහුට මෙසේ කිය යුතුයි.

“ආනන්දය, යමක් ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොට ගෙන භවය වේනම් ඒ ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කිමෙක ඇත්තේදැයි මෙසේ අසනලද්දාවූ ප්‍රඥාවන්තයා විසින් ඒකාන්තයෙන් ඒ ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) ඇත්තේමයයි කිය යුතුයි. යමක් ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොටගෙන භවය වේනම් ඒ ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කුමක්දැයි මෙසේ කියන්නේ නම් උපාදානය දැඩිකොට (අල්වා ගැනීම) ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොටගෙන භවය වේයයි ඔහුට මෙසේ කිය යුතුයි.

“ආනන්දය, යමක් ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොටගෙන උපාදානය (දැඩි කොට අල්වාගැනීම) වේ නම් ඒ ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) ඇත්තේදැයි මෙසේ අසන ලද්දාවූ ප්‍රඥාවන්තයා විසින් ඒකාන්තයෙන් ඒ ප්‍රත්‍යය (අවශ්‍යකරුණ) ඇත්තේමයයි ඔහුට මෙසේ කිය යුතුයි. යමක් ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොටගෙන උපාදානය වේනම් ඒ ප්‍රත්‍යය (අවශ්‍යකරුණ) කුමක්දැයි මෙසේ කියන්නේ නම් ලොභය ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොටගෙන උපාදානය (දැඩිකොට අල්වාගැනීම) වේයයි ඔහුට මෙසේ කිය යුතුයි. ආන්නදය, යමක් ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොටගෙන, ලොභය වේනම් ඒ ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කිමෙක ඇත්තේදැයි මෙසේ අසන ලද්දාවූ ප්‍රඥාවන්තයා විසින් ඇත්තේමයයි ඔහුට මෙසේ කිය යුතුයි. යමක් ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොටගෙන ලොභය වේනම් ඒ ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කුමක්දැයි මෙසේ කියන්නේ නම් වේදනාව ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොටගෙන ලොභය වේයයි ඔහුට මෙසේ කිය යුතුයි.

“ආනන්දය, යමක් ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොටගෙන වේදනාව වේනම් ඒ ප්‍රත්‍යය අවශ්‍ය කරුණ) කිමෙක ඇත්තේදැයි මෙසේ අසන ලද්දාවූම ප්‍රඥාවන්තයා විසින් ඒකාන්තයෙන් ඒ ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) ඇත්තේමයයි ඔහුට මෙසේ කිය යුතුයි. යමක් ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොටගෙන වේදනාව වේනම් ඒ ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කුමක්දැයි මෙසේ කියන්නේ නම් ස්පර්ශය ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොටගෙන වේදනාව වේයයි ඔහුට මෙසේ කියයුතුයි.

“ආනන්දය, යමක් ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොටගෙන ස්පර්ශය වේනම් ඒ ප්‍රත්‍යය කිමෙක ඇත්තේ දැයී මෙසේ අසනලද්දාවූම ප්‍රඥාවන්තයා විසින් ඒකාන්තයෙන් ඒ ප්‍රත්‍යය ඇත්තේමයයි ඔහුට මෙසේ කියයුතුයි. යමක් ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොටගෙන ස්පර්ශය වේනම් ඒ ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කුමක්දැයි මෙසේ කියන්නේ නම් නාම රූප දෙක ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොටගෙන ස්පර්ශය වේයයි ඔහුට මෙසේ කියයුතුයි.

“ආනන්දය, යමක් ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොටගෙන නාම රූප දෙක වේ නම් ඒ ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කිමෙක ඇත්තේදැයි මෙසේ අසන ලද්දාවූම ප්‍රඥාවන්තයා විසින් ඒකාන්තයෙන් ඒ ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) ඇත්තේයයි කියයුතුය. යමක් ප්‍රත්‍යකොට ගෙන නාම රූප දෙක වේනම් ඒ ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කුමක්දැයි මෙසේ කියන්නේ නම් විඥානය ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොටගෙන නාම රූප දෙක වේයයි ඔහුට මෙසේ කියයුතුයි.

“ආනන්දය, යමක් ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොට ගෙන විඥානය වේ නම් ඒ ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කිමෙක ඇත්තේදැයි මෙසේ අසන ලද්දාවූ ප්‍රඥාවන්තයා විසින් ඒ ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) ඇත්තේමයයි ඔහුට මෙසේ කියයුතුයි. යමක් ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොටගෙන විඥානය වේනම් ඒ ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කුමක්දැයි මෙසේ කියන්නේ නම් නාම රූප දෙක ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොටගෙන විඥානය වේයයි මෙසේ ඔහුට කියයුතුයි.

ආනන්දය, මෙසේ ඇති කල නාම රූප ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොටගෙන විඥානය වෙයි, විඥානය ප්‍රත්‍යය කොටගෙන නාම රූප දෙක වෙයි. නාම රූප ප්‍රත්‍යය කොට ගෙන ස්පර්ශය වෙයි. ස්පර්ශය ප්‍රත්‍ය කොටගෙන වේදනා වෙයි. වේදනාව ප්‍රත්‍යය කොට ගෙන ලාභය (තන්හාව) වෙයි. තන්හාව ප්‍රත්‍යයකොට ගෙන උපාදානය (දැඩිව අල්වා ගැනීම) වෙයි. උපාදානය ප්‍රත්‍යය කොට ගෙන භවය වෙයි. භවය ප්‍රත්‍යය කොට ගෙන ජාතිය වෙයි. ජාතිය ප්‍රත්‍යය කොටගෙන ජරාව හා මරණය වෙයි, ජරා මරණ ප්‍රත්‍යය කොට ගෙන සොක කිරීමය, වැළපීමය, කායික දුකය, දොම්නස්ය, දැඩි වෙහෙසය යන මොහු පහළ වෙත්. මෙසේ මේ සියලු දුක් රාශීහුගේ පහළවීම වේ.

4.ආනන්දය, ජාතිය ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොටගෙන ජරාව මරණ වේය. මෙසේ මෙය කියන ලද්දේය. මෙය යම්සේ ජාතිය ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොටගෙන ජරාමරණ වෙන බව මේ ආකාරයෙන්ද දැනගත යුතුයි. ආනන්දය, දෙවියන්ගේ දෙව භාවය පිණිස හෝ ගන්ධර්වයන්ගේ ගන්ධර්ව භාවය පිණිස හෝ යක්ෂයන්ගේ යක්ෂභාවය පිණිස හෝ භූතයන්ගේ භූතභාවය පිණිස හෝ මනුෂ්‍යයන්ගේ මනුෂ්‍ය භාවය පිණිස හෝ පක්ෂීන්ගේ පක්ෂිභාවය පිණිස හෝ සිවුපාවන්ගේ සිව්පාභාවය පිණිස හෝ (දිග සතුන්ගේ) සර්පයින්ගේ සර්පභාවය පිණිස හෝ ජාතියක් ඉපදීමක් මුළුමනින් නොවන්නේ නම් ආනන්දය, ඒ සත්වයන්ගේ ඇතිවීමක් නොවන්නේය. සියලු ප්‍රකාරයෙන්ම උත්පත්තිය නැති කල ජාති නිරොධය (උත්පත්තියෙන් වැලකීම) හෙතුකොටගෙන ජරා මරණ දෙක පෙනෙන්නේදැයි” ඇසුවෝය.

“ස්වාමීන් වහන්ස, නොපෙනේයයි කීය.”

ආනන්දය, එබැවින් මෙසේ මේ හේතු ඵල ධර්මයෙහි යම් ඒ ජාතියක් වේද, ජරා මරණ දෙක ඇතිවීමට එයම හේතු වෙයි. එයම මුල් කාරණය වෙයි. මේ ඉපදීම හෙතුකොට ගෙන ජරා මරණ වන්නේයයි” කීවෝය.

5.“භවය ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොට ගෙන ජාතිය වේයයි මෙසේ මෙය කියන ලදී. ආනන්දය, භවය ප්‍රත්‍යය (අවශ්‍ය කාරණය) කොටගෙන ජාතිය වේද යන මේ කාරණය මේ ආකාරයෙන් දතයුතුයි. ආනන්දය, භවය සියලු ආකාරයෙන් කිසිවෙකු සම්බන්ධව කිසි භවයෙක්හි එනම්: කාම භවය, රූප භවය, අරූප භවය යනුවෙන් නොවන්නේ නම් සියලු ආකාරයෙන් භවය නැති කල භවය නිරුද්ධකිරීම හෙතුකොටගෙන ජාතිය (උත්පත්තිය) පෙනෙන්නේදැයි” ඇසුවෝය.

“ස්වාමීන් වහන්ස, මේ කාරණය නොවේමය.”

“ආනන්දය, එබැවින් මෙහි භවය හෙතුකොටගෙන යම් ජාතියක් වේනම් මේ භවයම ඊට හේතුවයි. මෙයම මූලකාරණය වෙයි. මෙසම ජාතිය හටගන්නා හේතුව වේයයි කීවෝය.

6.“උපාදානය (දැඩිකොට අල්වාගැනීම) හෙතු කොට ගෙන භවය වේයයි මෙසේ මෙය කියන ලදී.

“ආනන්දය, යම්සේ උපාදානය (දැඩිකොට අල්වාගැණීම) හේතුකොට ගෙන භවය වේද ඒ මේ කාරණයද මේ ආකාරයෙන් දත යුතුයි.

“ආනන්දය, සියලු ආකාරයෙන් උපාදානය (දැඩිකොට අල්වාගැනීම) කිසිවෙකු සම්බන්ධව කිසි තැනෙක්හි නොවේද එනම් කාම ආශාවෙන් දැඩිසේ අල්වා ගැනීමය, වරදවා ගැනීමෙන් දැඩිසේ අල්වා ගැනීමය, ශීලව්‍රත වශයෙන් දැඩිසේ අල්වා ගැනීමය, ආත්මය දැඩිසේ අල්වා ගැනීමය යන මොහුයි.

“හැම ආකාරයෙන් උපාදානය නැති කල උපාදානය නැති කිරීම හේතුකොට ගෙන භවය පෙනෙන්නේදැයි” ඇසුවෝය.

“ස්වාමීන් වහන්ස එසේ නොපෙනේයයි” කීය.

“ආනන්දය, එබැවින් මෙසේ මෙහි යම් මේ උපාදානයක් (දැඩිකොට අල්වාගැනීමක්) වේද භවය ලැබීමට මෙයම හේතු වෙයි, මෙයම මූල කාරණා වෙයි, මෙයම හටගන්නා හේතුව වෙයි, මෙයම ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) වේයයි” පැවසුවෝය.

7.“තණ්හාව හේතුකොටගෙන උපාදානය වේයයි මෙසේ මෙය කියන ලදී. ආනන්දය, යම්සේ තණ්හාව හෙතු කොටගෙන උපාදානය වේද, ඒ මේ කාරණයද මේ ආකාරයෙන් දත යුතුයි.

ආනන්දය, කිසිවෙකුට කිසිතැනෙක සියලු ආකාරයෙන් මුළුමනින් එනම්, රූප ආශාවය, ශබ්ද කෙරෙහි ආශාවය, ගන්ධ කෙරෙහි ආශාවය, රස කෙරෙහි ආශාවය, ස්පර්ශ කෙරෙහි ආශාවය, රූප ශබ්දාදියෙන් අන්‍ය දෙයෙහි ආශාවය යන තණ්හාවය සියලු ආකාරයෙන් තණ්හාව නැති කල තණ්හා නිරොධය හෙතුකොට ගෙන දැඩිකොට අල්වාගැනීම (උපාදානය) පෙනෙන්නේදැයි” ඇසුවෝය.

“ස්වාමීන් වහන්ස, එසේ නොපෙනේමයයි” කීය.

“ආනන්දය, එහෙයින් මෙසේ මෙහි යම් ඒ තණ්හාවක් වේද උපාදානයට මෙයම හේතුවේ, මෙයම මූලකාරණය වේ, මෙයම හටගැනීමේ හේතුව වේ. මෙයම ප්‍රත්‍යය (අවශ්‍ය කාරණය) වේයයි කීවෝය.”

8.“වේදනාව හෙතුකොට තණ්හාව වේයයි මෙසේ මෙය කියන ලදී.

“ආනන්දය, යම්සේ වේදනාව හෙතුකොටගෙන තණ්හාව වේද, ඒ මේ කරුණද මේ ආකාරයෙන් දතයුතුයි.

“ආනන්දය, කිසිවෙකුට කිසිතැනෙක්හි සියලු ආකාරයෙන් මුළුමනින් එනම්, ඇසේ ස්පර්ශයෙන් හටගන්නා වේදනාය, කන් ස්පර්ශයෙන් හටගන්නා වේදනාය, නාසයේ ස්පර්ශයෙන් හටගන්නා වේදනාය, දිවේ ස්පර්ශයෙන් හටගන්නා වේදනාය, ශරීරයේ ස්පර්ශයෙන් හටගන්නා වේදනාව යන මොහුයි. ඉදින් වේදනාව නොවන්නේ නම් සෑම ආකාරයෙන් වේදනාව නැති කල වේදනා නිරොධය හෙතුකොටගෙන තණ්හාව පෙනෙන්නේදැයි” ඇසුවෝය.

“ස්වාමීන් වහන්ස, එසේ නොවන්නේමය”

“ආනන්දය, එබැවින් මෙහි යම් ඒ වේදනාවක් වේද, තණ්හාව ඇතිවීම පිණිස වේදනාවම හේතුවෙයි. මෙයම මූල කාරණය වෙයි, මෙයම (සමුදය) හේතුව වෙයි, මෙයම ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) වේයයි” කීවෝය.

9.“ආනන්දය, මෙසේ ඇති කල වේදනාව ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොටගෙන තණ්හාව වේ. තණ්හාව ප්‍රත්‍යය කොටගෙන රූප ආදී අරමුණු සෙවීම ඇති වන්නේය. (පරියෙසනා) සෙවීම ඇති කල රූපාදී අරමුණු ලැබීම වේ. රූපාදී අරමුණු ලැබීම ඇති කල හොඳ නරක විනිශ්චය කරයි. විනිශ්චය ඇතිකල (ඡන්ද රාගය) දුර්වල රාගය සහ බලවත් රාගය උපදී. ඡන්දරාගය ඇති කල මමය මාගේය යන අදහස උපදී මමය මාගේය යන අදහස ඇතිකල දැඩිකොට ගැනීම (තණ්හාව වශයෙන් දැකීම) වෙයි. තණ්හා වශයෙන් දැකීම ඇතිකල මසුරු බව වේ. මසුරු බව ඇති කල ආරක්ෂා ඇති කිරීම වේ. ආරක්ෂා ඇති කිරීම ඇති කල දඬු ගැන්ම ආයුධ ගැන්ම, කොලහලය. විරුද්ධකම් විවාද, ‘තෝ’ ‘තා’ යන වචන කීම, බොරු කීම යනාදී නොයෙක් ලාමක අකුශල ධර්ම පහළ වෙත්.”

10.“ආරක්ෂා ඇති කිරීම කරණකොටගෙන දඬු ආයුධ ගැන්ම, කෝලාහල, විරුද්ධකම් වාදවිවාද, ‘තෝ තා’ යනාදී කේලාම් කීම, බොරු කීම යනාදීවූ නොයෙක් ලාමක අකුසල් ඇති වෙන්නේයයි මෙසේ මෙය ප්‍රකාශ කරන ලද්දේද.

“ආනන්දය, යම්සේ ආරක්ෂා ඇති කිරීම කරණකොට ගෙන දඬුගැන්ම, ආයුධ ගැන්ම, කෝලාහල, විරුද්ධකම් වාදවිවාද, ‘තෝ තා’ යනාදී කේළාම් කීම, බොරු කීම යනාදීවූ නොයෙක් ලාමක අකුසල් ඇති වන්නේද යනු මේ ආකාරයෙන් දතයුතුයි.

“ආනන්දය, සියලු ආකාරයෙන් කිසිවෙකුට කිසිතැනෙක ආරක්ෂාව ඉදින් නොවන්නේ නම් සෑම ආකාරයෙන් ආරක්ෂාව නැති කල ආරක්ෂාවක් නැතිවීම හෙතුකොටගෙන දඬුගැන්ම, ආයුධ ගැන්ම, කෝලාහල, විරුද්ධකම්, වාදවිවාද, ‘තෝ තා’ යනාදී කේළාම් කීම, බොරුකීම යනාදීවූ නොයෙක් ලාමක අකුශල් පහළ වන්නාහුදැයි” ඇසුවෝය.

“ස්වාමීන් වහන්ස, මේ කාරණය නොවේමය”

“ආනන්දය, එබැවින් මෙහි යම් මේ ආරක්ෂාවක් වේනම් ඒ ආරක්ෂාකිරීම, දඬුගැන්ම, ආයුධ ගැන්ම, කෝලාහල, විරුද්ධකම්, වාද විවාද, ‘තෝ තා’ යනාදී කේලාම් කීම, බොරු කීම, යනාදිවූ නොයෙක් ලාමක අකුසල් කරුණු ඇතිවීමට හේතුවේ. මෙයම ඊට මූල කාරණයවේ. මෙයම ඊට හේතුවවේ. මෙයම ඊට ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) වේයයි ප්‍රකාශ කළෝය.

11.“මසුරුකම නිසා ආරක්ෂාව වේයයි මෙය මෙසේ කියන ලදී. යම්සේ මසුරුකම නිසා ආරක්ෂාව වේද, එයද මේ ආකාරයෙන් දතයුතුයි. සියලු ආකාරයෙන් යම් කෙනෙකුට යම් තැනක මසුරුකම නොවන්නේ නම් සියලු ආකාරයෙන් මසුරුකම නැති කල්හි මසුරුකම සහමුලින් නැති කිරීම හේතුකොටගෙන ආක්ෂාව පෙනෙන්නේදැයි” ඇසුවෝය.

“ස්වාමීන් වහන්ස, මේ කාරණය නොවේමය” කීය.

“ආනන්දය, එහෙයින් යම් මේ මසුරු බවක් වේ නම් ආරක්ෂාවට මෙයම හේතුවවෙයි. මෙයම මුල් කාරණය වෙයි. මෙයම පහළවීමේ හේතුව වෙයි. මෙයම ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) වේයයි” කීවෝය.

12.“පරිග්‍රහණය (අයිතිකර ගැනීම) නිසා මසුරු බව වේයයි මෙසේ මෙය කියන ලදී.”

“ආනන්දය, යම්සේ පරිග්‍රහණය (අයිතිකර ගැනීම) නිසා මසුරු බව වේද? ඒ මේ කාරණය මේ ආකාරයෙන් දතයුතුයි.

“ආනන්දය, සියලු ආකාරයෙන් යම් කෙනෙකුට යම් තැනෙක ඉදින් අයිතිකර ගැනීම නොවන්නේ නම් සියලු ආකාරයෙන් අයිතිකර ගැනීම නැති කල්හි, අයිතිකර ගැනීම සහමුලින් නැතිකිරීම හේතුකොටගෙණ කිමෙක්ද මසුරු බව පෙණෙන්නේදැයි” ඇසුවෝය.

“ස්වාමීන් වහන්ස, මේ කාරණය නොවේමය” කීය.

“ආනන්දය, එහෙයින් මෙහි යම් යම් අයිතිකර ගැනීමක් වේ නම් මසුරු බවට මෙයම හේතුව වෙයි. මෙයම මුල් කාරණය වෙයි. මෙයම (සමුදය) ඇතිවීමේ කරුණවෙයි. මෙයම ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) වේයයි” කීවාහුය.

13.“මමය මාගේයයි දැඩිකොට ගැනීම නිසා අයිතිකර ගැන්ම වේයයි මෙසේ මෙය කියනලදී.

“ආනන්දය, යම්සේ මමය මාගේයයි දැඩිකොට ගැන්ම නිසා අයිතිකර ගැන්මවේද, ඒ මේ කරුණද මේ ආකාරයෙන් දතයුතුයි.

“ආනන්දය, සියලු ආකාරයෙන් යමෙකුට යම් තැනක ඉදින් මමය මාගේයයි දැඩිසේ ගැනීම නොවන්නේ නම් සියලු ආකාරයෙන් මමය මාගේයයි දැඩිසේ ගැනීම සහමුලින් නැති කිරීම හේතුකොට ගෙන අයිතිකර ගැනීම පෙණෙන්නේදැයි” ඇසුවෝය.

“ස්වාමීන් වහන්ස, ඒ කාරණය නොවේමය,”

“ආනන්දය, එහෙයින් මෙහි මමය මාගේයයි දැඩිකොට ගැනීම යන යමක් වේද අයිතිකර ගැනීමට මෙයම හේතුව වේ. මෙයම මුල් කාරණය වේ. මෙයම ඇතිවීමේ හේතුව (සමුදය) නම් වේ. මෙයම ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) වේයයි” කීවෝය.

14.“දුර්වලවූද බලවත්වූද ඇලීම (ඡන්ද රාගය) නිසා මමය මාගේයයි දැඩිකොට ගැනීම වේයයි මෙය මෙසේ කියන ලදී.

“ආනන්දය, දුර්වලවූද බලවත්වූද ඇලීම නිසා මමය මාගේ යයි දැඩිකොට ගැනීම වේද ඒ මේ කාරණයද මේ ආකාරයෙන් දතයුතුයි. සියලු ආකාරයෙන් යමෙකුට යම් තැනෙක්හි ඉදින් දුර්වල රාගය හා බලවත් රාගය නොවන්නේ නම් සියලු ආකාරයෙන් දුර්වල රාගය හා බලවත් රාගය නැතිවීම හේතුකොටගෙන මෙය මාගේයයි දැඩිකොට ගැනීම පෙණෙන්නේදැයි” ඇසුවෝය.

“ස්වාමීනි, මේ කාරණය නොවේමය.”

“ආනන්දය, එහෙයින් මමය මාගේයයි දැඩිකොට ගැනීමට යම් මේ දුර්වල රාගයක් හා බලවත් රාගයක් වේ නම් එයම හේතුව වෙයි. එයම මුල් කාරණය වෙයි. එයම ඇතිවීමේ හේතුව (සමුදය) වෙයි. එයම ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) වේයයි’ කීවෝය.

15.“විනිශ්චය (හොඳ නරක විමසීම) නිසා ඡන්ද රාගය වේයයි මෙසේ මෙය කියන ලදී

“ආනන්දය, යම්සේ විනිශ්චය නිසා ඡන්ද රාගය වේද ඒ මේ කාරණයද මෙසේ දතයුතුයි.

“ආනන්දය, සියලු ආකාරයෙන් යමෙකුට යම් තැනක ඉදින් විනිශ්චයක් නොවේ නම් සියලු ආකාරයෙන් විනිශ්චය නැති කල්හි සියලු ආකාරයෙන් විනිශ්චය නැතිවීම හේතු කොටගෙන දුර්වල රාගය හා බලවත් රාගය පෙණෙන්නේදැයි” ඇසුවෝය.

“ස්වාමීන් වහන්ස, මේ කාරණය නොවේමය.”

“ආනන්දය, එහෙයින් ඡන්ද රාගයට යම් මේ ප්‍රිය අප්‍රිය යන විනිශ්චයක් වේනම් මෙයම හේතුව වෙයි. මෙයම මුල් කාරණය වෙයි, මෙයම ඇතිවීමට හේතුව වෙයි, මෙයම ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) වේයයි” කීවෝය.

16.“රූපාදී අරමුණු ලැබීම නිසා ප්‍රිය අප්‍රිය යන විනිශ්චය වේයයි මෙසේ මෙය කියන ලදී.

“ආනන්දය, යම්සේ ලැබීම නිසා ප්‍රිය අප්‍රිය යන විනිශ්චය වේද මෙසේ මෙය මේ ආකාරයෙන් දතයුතුයි.

“ආනන්දය, සියලු ආකාරයෙන් යමෙකුට යම් තැනක ඉදින් රූපාදිය ලැබීම නොවේ නම් සියලු ආකාරයෙන් ලැබීම නැතිවීම හේතුකොටගෙන ප්‍රිය අප්‍රිය යන විනිශ්චය පෙණෙන්නේදැයි” ඇසුවෝය.

“ස්වාමීනි, මේ කාරණය නොවේමය”

“ආනන්දය, ප්‍රිය අප්‍රිය විනිශ්චයට යම් මේ ලැබීමක්වේ නම් මෙයම හේතුව වෙයි. මෙයම මුල් කරුණ වෙයි. මෙයම ඇතිවීමේ හේතුව වෙයි. මෙයම ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) වේයයි” කීවෝය.

17.“සෙවීම (පරියෙසන) නිසා ලැබීම වේයයි මෙසේ මෙය කියන ලදී. යම්සේ සෙවීම නිසා ලැබීම වේද යන මේ කාරණය මේ ආකාරයෙන් දතයුතුයි.

“ආනන්දය, සියලු ආකාරයෙන් යමෙකුට යම් තැනක ඉදින් සෙවීම නොවන්නේ නම් සියලු ආකාරයෙන් සෙවීම නැති කල්හි, සෙවීම නැතිවීම හේතුකොටගෙන ලැබීම පෙණෙන්නේදැයි” ඇසුවෝය.

“ස්වාමීනි, මේ කාරණය නොවේමය”

“ආනන්දය, මෙහි ලැබීමට යම් මේ සෙවීමක් වේනම්. මෙයම හේතුව වෙයි, මෙයම මුල් කරුණ වෙයි, මෙයම ඇතිවීමේ හේතුව වෙයි, මෙයම අවශ්‍ය කාරණය (ප්‍රත්‍යය) වේයයි” කීවෝය.

18.“තණ්හාව නිසා සෙවීම වන්නේයයි මෙසේ මෙය කියන ලදී.

“ආනන්දය, යම්සේ තණ්හාව නිසා සෙවීම වේද, ඒ මේ කරුණද මේ ආකාරයෙන් දත යුතුයි.

“ආනන්දය, සියලු ආකාරයෙන් කිසිවෙකුට කිසිතැනක තණ්හාව ඉදින් නොවන්නේ නම්, සියලු ආකාරයෙන් තණ්හාව නැතිකම, තණ්හා නැතිවීම හේතුකොට ගෙන සෙවීම පෙණෙන්නේදැයි” ඇසුවෝය.

“ස්වාමීනි, මේ කරුණ නොවේමය.”

“ආනන්දය, එහෙයින් මෙහි සෙවීමට යම් මේ තණ්හාවක් වේනම් මෙයම හේතුව වෙයි. මෙයම මුල් කරුණ වෙයි. මෙයම ඇතිවීමේ හේතුව වෙයි. මෙයම ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) වේයයි” කීවෝය.

19.“ස්පර්ශය හේතුකොට ගෙන වේදනාව (විඳීම) වේයයි මෙසේ කියන ලදී. යම්සේ ස්පර්ශ හේතුවෙන් වේදනාව වේද යන ඒ මේ කරුණද මේ ආකාරයෙන් දත යුතුයි.

“ආනන්දය, සියලු ආකාරයෙන් කිසිවෙකුට කිසි තැනක ඇසේ ස්පර්ශය, කණේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, ශරීරයේ ස්පර්ශය, සිතේ ස්පර්ශය, යන ස්පර්ශ ඉදින් නොවන්නේ නම් සියලු ආකාරයෙන් ස්පර්ශය නැති කල්හි, ස්පර්ශය නැතිවීම හේතුකොටගෙන වේදනාව (විඳීම) පෙනෙන්නේ දැයි” ඇසුවෝය.

“ස්වාමීනි, මේ කාරණය නොවේමය”

“ආනන්දය, යම් මේ ස්පර්ශයක් වේනම් මෙයම විඳීමට හේතුවෙයි, මෙයම මුල් කාරණය වෙයි, මෙයම ඇතිවීමේ හේතුව වෙයි, මෙයම ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) වේයයි” කීවෝය.

20.“නාමරූපයන්, ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොටගෙන ස්පර්ශය වේයයි මෙසේ මෙය කියන ලදී. ආනන්දය, යම්සේ නාම රූපයන් ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොට ස්පර්ශය වේද යන කාරණය මේ ආකාරයෙන් දත යුතුයි.

“ආනන්දය, යම් ආකාරයන්ගෙන් යම් හේතූන්ගෙන් යම් යම් කරුණු වලින් යම් (උදෙසුම්වලින්) දැක්වීම් වලින් නාම සමූහයේ (විත්ත චෛතසිකයන්ගේ) ඵස්ස වේදනා යනාදීන් පැණවීම වේද, ඒ ආකාරයන්ද, ඒ හේතුද, ඒ කරුණුද, (ඒ උදෙසුම්ද) ඒ දැක්වීම්ද නැති කල නාම කය අරමුණු කොට මනොද්වාරයෙහි ස්පර්ශය උපදින්නේද, කිමෙක්ද? ඒ මනො ස්පර්ශය රූප කයෙහි පඤ්චප්‍රසාද වස්තු කොට ඉපදීම පෙනෙන්නේදැයි” ඇසුවෝය.

“ස්වාමීන් වහන්ස, මේ කාරණය නොවේමය.”

“ආනන්දය, ඒ යම් ඔවුනොවුන්ට අසමාන ආකාරවලින්ද යම් ඒ වෙන් වෙන්වූ ස්වභාවයන්ගෙන්ද, යම් ඒ නාමධර්මයන් හැඳිනගන්නා හෙතුවලින්ද, යම් ඵස්ස වේදනාදි නම්වලින්ද, නාම සමූහයාගේ යම් පැනවීමක් වේද, ඒ ආකාරයන්ද, ඒ වෙන් වෙන්වූ ස්වභාවයන්ද, ඒ හැඳින ගන්නා හේතූන්ද, ඒ පැනවීම්ද, නැති කල සතර නාම ස්කන්ධයන් අරමුණු කොට මනොද්වාරයෙහි උපදින ස්පර්ශය වැනි ස්පර්ශයක් රූප කයෙහි දක්නට ලැබේදැයි” ඇසුවෝය.

“ස්වාමීන් වහන්ස, මේ කාරණය නොවේමය.”

“ආනන්දය, යම් ආකාරයන්ගෙන්, යම් වෙන් වෙන්වූ ස්වභාව වලින් යම් හැඳින ගතයුතු හෙතුවලින්, යම් පැනවිය යුතු කරුණුවලින් රූප කයේ පැනවීම වේද, ඒ ආකාරයන්ද, ඒ ස්වභාවයන්ද, ඒ පැනවිය යුතු කරුණුද, නැති කල හුදෙක් නාම කයෙහි හැපීම් සහිතවූ ස්පර්ශයක් දක්නට ලැබේදැයි” ඇසුවෝය.

“ස්වාමීන්වහන්ස, මේ කාරණය නොවේමය”

“ආනන්දය, යම් ආකාරවලින්ද, යම් වෙන් වෙන්වූ ස්වභාවවලින්ද, යම් හැඳින ගතයුතු හේතුවලින්ද, යම් පැනවියයුතු කරුණුවලින්ද, නාමකය රූප කය දෙදෙනාගේ පැනවීම වේද, ඒ ආකාරයෙන්ද, ඒ ස්වභාවයන්ද, ඒ කරුණද, ඒ පැනවියයුතු හේතුද, නැතිකල හුදෙක් නාමධර්ම අරමුණුවී මනො ද්වාරයේ උපදින ස්පර්ශය රූප කයෙහි හෝ හැපීම් සහිතවූ රූප ස්පර්ශය නාම කයෙහි හෝ දක්නට ලැබේදැයි” ඇසුවෝය.

“ස්වාමීන්වහන්ස, මේ කාරණය නොවේමය.”

“ආනන්දය, යම් ඔවුනොවුන්ට වෙනස්වූ ආකාරවලින්, යම් වෙන් වෙන්වූ ස්වභාව වලින්, යම් හැඳිනගතයුතු හේතු වලින්, යම් පැනවියයුතු කරුණුවලින් නාම රූප දෙදෙනාගේ පැනවීම වේද, ඒ ආකාරයන්ද, ඒ ස්වභාවයන්ද ඒ හේතුද, ඒ පැනවියයුතු කරුණුද, නැති කල හුදෙක් ස්පර්ශයක් දක්නට ලැබේදැයි” ඇසුවෝය.

“ස්වාමීනි, ඒ කාරණය නොවේමය”

“ආනන්දය, එබැවින් මෙහි ස්පර්ශයට යම් මේ නාම රූපයක් වේනම්, ඒ ස්පර්ශයම හේතුවෙයි. එයම මූල කාරණා වෙයි. එයම (සමුදය) ඇතිවීමේ හේතුව වෙයි. එයම ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) වේයයි කීවෝය.

21.“විඥානය ප්‍රත්‍ය (අවශ්‍ය කරුණ) කොටගෙන නාම රූප වේයයි මෙසේ මෙය කියනලදී. ආනන්දය, යම්සේ විඥානය ප්‍රත්‍යකොටගෙන නාමරූපය වේද යන කාරණය මේ ආකාරයෙන් දතයුතුයි. ආනන්දය, විඥානය මව්කුසට ප්‍රතිසන්ධි වශයෙන් නොපැමිණෙන්නේ නම් කිමෙක් ද මව් කුසෙහි ප්‍රතිසන්ධි විඥානය නැතිකල නාම රූපය කලල රූප ආදී භාවයන් මිශ්‍රව පවත්නේදැයි” ඇසුවෝය.

“ස්වාමීන්වහන්ස, මේ කාරණය නොවේමය.”

“ආනන්දය, විඥානය මව්කුසට බැසගෙන නිරුද්ධ (නැතිවීම) වන්නේ නම් නාම රූප දෙක මේ භවය පිණිස කිමෙක පවත්නේදැයි” ඇසුවෝය.

“ස්වාමීන්වහන්ස, මේ කාරණය නොවේය.”

“ආනන්දය, ලදරු අවස්ථාවෙහි සිටි පිරිමි දරුවෙකුගේ හෝ ගෑනුදරුවෙකුගේ හෝ විඥානය සිඳීගියේ නම් විඥානය විනාශවූ කල ඔවුහු හැදීමට වැඩීමට පැමිණෙන්නාහුදැයි’ ඇසුවෝය.

“ස්වාමීන්වහන්ස, මේ කාරණය නොවේමය.”

“ආනන්දය, එබැවින් මෙහි යම් මේ විඥානයෙක් වේනම් නාමරූපයට මෙයම හේතුවෙයි. මෙයම මූලකාරණය වෙයි. මෙයම (සමුදය) හටගන්නා හේතුව වෙයි. මෙයම ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) වේයයි” කීවෝය.

22.“නාම රූප ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොටගෙන විඥානය වේයයි මෙසේ මෙය කියනලදී ආනන්දය, යම්සේ නාම රූප දෙක ප්‍රත්‍යය කොටගෙන විඥානය පවතීද ඒ කාරණයද මේ ආකාරයෙන් දතයුතු, ආනන්දය, මෙහි විඤ්ඤාණය නාම රූප දෙකෙහි පිහිට නොලබන්නේ නම් මත්තෙහි ජාති, ජරා, මරණ, දුක් රාශියේ පහළවීම කිමෙක පෙනෙන්නේදැයි” ඇසුවෝය.

“ස්වාමීන්වහන්ස, මේ කාරණය නොවේමය.”

“ආනන්දය, එබැවින් මෙහි යම් මේ නාමරූපයක් වේනම් විඥානයට මෙයම හේතු වෙයි. මෙයම මූලකාරණය වෙයි. මෙයම (සමුදය) හටගන්නා හේතුව වෙයි. මෙයම ප්‍රත්‍යය වේයයි” කීවෝය. “ආනන්දය, විඥානය නාම රූපයට ප්‍රත්‍යය වීම නාම රූපය විඥානයට ප්‍රත්‍යය වීම යන මෙපමණකින් උපදින්නේ හෝ දිරන්නේ හෝ මැරෙන්නේ හෝ චුත වන්නේ හෝ නැවත උපදින්නේ හෝ වෙයි. මෙපමණකින් සිරිවඞ්ඪක ධනවඞ්ඪක යනාදී නාම මාත්‍රය පමණක් ඇති ව්‍යවහාරයට හේතු වේ. මෙපමණකින් ඒ ඒ අර්ථ ප්‍රකාශ කරන වචනයන්ට හේතු වෙයි. මෙපමණකින් ඒ ඒ අදහස් අඟවන නම්වලට හේතු වෙයි. මෙපමණකින් ප්‍රඥාවෙන් දත යුතු වෙයි. මෙපමණකින් සංසාර චක්‍රය පවතී. මෙපමණකින් විඥාන සහිතවූ නාම රූප දෙක මේ භවය පැණවීම පිණිස පවතී.


අත්තපඤ්ඤත්ති

23.“ආනන්දය, කොපමණකින්ම ආත්මය පණවන තැනැත්තේ පණවාද යත්, ආනන්දය, යමෙක් නොවඩනලද කසිණ නිමිත්ත ආත්මයයි ගනීද, ඔහු රූප සහිත ස්වල්ප ආත්මයක් පණවන්නේ රූප සහිතවූ මගේ ස්වල්ප ආත්ම යයි ප්‍රකාශ කරයි. ආනන්දය යමෙක් වඩනලද කසිණ නිමිත්ත ආත්මයයි ගනීද, ඔහු රූප සහිතවූ කෙලවරක් නැති ආත්මයක් ප්‍රකාශ කරන්නේ රූප සහිතවූ මාගේ කෙලවරක් නැති ආත්මයයි ප්‍රකාශ කරයි. ආනන්දය, අරූපීවූ ස්වල්ප ආත්මයක් පනවන්නේ මගේ අරූපීවූ ස්වල්ප ආත්මයයි පනවයි. ආනන්දය, අරූපීවූ අනන්ත ආත්මයක් පනවන්නේ මගේ අරූපීවූ අනන්ත ආත්මයයි පනවයි.

24.“ආනන්දය, ඒ සතරදෙනාගෙන් යම් කෙනෙක් රූප සහිතවූ ස්වල්පවූ ආත්මයක් ප්‍රකාශ කරමින් පණවාද ඔහු මෙලොව පමණක් ඇති පරලොවට නොයන රූප සහිතවූ ස්වල්ප ආත්මයක් හෝ ප්‍රකාශ කරමින් පණවයි. පරලොවට යන්නාවූ රූප සහිතවූ ස්වල්ප ආත්මයක් හෝ පණවයි. කෙසේදයත්, ඔවුනොවුන් ඔවුනොවුන්ගේ (විද්‍යමාන) සත්‍ය නොවූවක් සත්‍යබවට පමුණුවන්නෙමියි කියායි.

“ආනන්දය, මෙවැනිවූ මේ රූප කසිණ ලාභී පුද්ගලයා කෙරෙහි ස්වල්පවූ ආත්මයක් ඇත යන දෘෂ්ටිය සන්තානගතව ඇත්තේයයි කීමට සුදුසුයයි” කීවෝය.

25.“ආනන්දය, ඒ සතර දෘෂ්ටිකයන් අතුරෙන් යම් කෙනෙක් රූප සහිතවූ අවසානයක් නැති ආත්මයක් ප්‍රකාශ කරන්නේ පනවාද, ඔහු මෙලොව පමණක් ඇති පරලොවට නොයන රූප සහිතවූ අවසානයක් නැති ආත්මයක් හෝ ප්‍රකාශකරමින් පණවයි, පරලොවට යන රූප සහිත කෙළවරක් නැති ආත්මයක් හෝ ප්‍රකාශකරමින් පණවයි. කෙසේද? ඔවුනොවුන් ඔවුනොවුන්ගේ (විද්‍යමානනොවූ) සත්‍යයක් සත්‍ය බවට පමුණුවන්නෙමියි” කියායි.

“ආනන්දය, මෙවැනි මේ රූප කසිණලාභි පුද්ගලයා කෙරෙහි කෙළවරක් නැතිවූ ආත්මයක් ඇත යන ඇදහීම (දැකීම) සන්තානගතව නොනැසී පවතීය යන මෙය කීමට සුදුසුයයි” කීවෝය.

26.“ආනන්දය, ඒ දෘෂ්ටිකයන් සතරදෙනා අතුරෙන් යම් කෙනෙක් රූපනැත්තාවූ ස්වල්පවූ ආත්මයක් ප්‍රකාශ කරන්නේ පණවාද, ඔහු මෙලොව පමණක් ඇති රූප නැත්තාවූ ස්වල්ප ආත්මයක් හෝ ප්‍රකාශ කරන්නේ පණවයිද, පරලොවට යන්නාවූ රූප නැත්තාවූ ස්වල්පවූ ආත්මයක් හෝ ප්‍රකාශ කරන්නේ පණවයිද, කෙසේදයත්, ඔවුනොවුන් ඔවුනොවුන්ගේ අසත්‍යයක් සත්‍ය බවට පමුණුවන්නෙමියි” කියායි.

“ආනන්දය, මෙබඳුවූ මේ අරූප ධ්‍යාන ලාභි පුද්ගලයා කෙරෙහි ස්වල්පවූ අරූප ආත්මයක් ඇත යන මේ ඇදහීම (දැකීම) සන්තානගතව නොනැසී පවතීය යන මෙය කීමට සුදුසුයයි” කීවෝය.

27.“ආනන්දය, ඒ ඇදහීම් ඇත්තන් අතුරෙන් යම් ඒ කෙනෙක් රූප රහිතවූ කෙළවරක් නැති ආත්මයක් ප්‍රකාශ කරන්නේ පණවාද, ඔහු මෙලොව පමණක් ඇත්තාවූ හෝ පරලොවට යන්නාවූ හෝ රූප නැත්තාවූ කෙළවරක් නැතිවූ ආත්මයක් ප්‍රකාශ කරන්නේ පණවයි. කෙසේද? ඔවුනොවුන් ඔවුනොවුන්ගේ අසත්‍යයක් සත්‍ය බවට පමුණුවන්නෙමියි” කියායි.

“ආනන්දය, මෙබඳුවූම මේ අරූප ධ්‍යානලාභි තැනැත්තා කෙරෙහි කෙළවරක් නැති ආත්මයක් ඇත යන ඇදහීම සන්තානගතව නැති නොවී පවතීයයි කීමට සුදුසු වෙයි.

“ආනන්දය, මෙපමණකින් ආත්මයක් පනවන තැනැත්තේ පණවයි.”


නඅත්තපඤ්ඤත්ති

28.“ආනන්දය, කොපමණකින් නම් ආත්මය නො පණවන්නේ නොපණවාද, යතහොත්, ආනන්දය, රූප සහිතවූ ස්වල්ප ආත්මයක් හෝ නොපණවන්නේ රූප ඇත්තාවූ මාගේ ස්වල්පවූ ආත්මයයි ප්‍රකාශ නොකරයි.

“ආනන්දය, රූප සහිතවූ කෙළවරක් නැති ආත්මයක් ප්‍රකාශ නොකරන්නේ ‘රූප සහිතවූ මාගේ කෙලවරක් නැතිවූ ආත්මයයි’ ප්‍රකාශ නොකරයි.

“ආනන්දය, රූප නැත්තාවූ ස්වල්පවූ ආත්මයක් හෝ ප්‍රකාශ නොකරන්නේ ‘රූප නැත්තාවූ මාගේ ස්වල්පවූ ආත්ම යයි’ ප්‍රකාශ නොකරයි. ආනන්දය, රූප නැත්තාවූ කෙළවරක් නැතිවූ ආත්මයක් හෝ ප්‍රකාශ නොකරන්නේ ‘රූප නැත්තාවූ මාගේ කෙළවරක් නැති ආත්මයයි’ ප්‍රකාශ නොකරයි.

29.“ආනන්දය, යම් ඒ අයෙක් රූපවත්වූ ස්වල්පවූ ආත්මයක් හෝ ප්‍රකාශ නොකරන්නේ ප්‍රකාශ නොකරයිද, ඔහු මෙලොව පමණක් ඇති රූපවත්වූ ස්වල්පවූ ආත්මයක් හෝ ප්‍රකාශ නොකරන්නේ ප්‍රකාශ නොකරයි ද, පරලොවට යන්නාවූ රූපවත්වූ ස්වල්පවූ ආත්මයක් හෝ ප්‍රකාශ නොකරන්නේ ප්‍රකාශ නොකරයි. අසත්‍යයක් සත්‍ය බවට පමුණුවන්නෙමි යන අදහසක් ඔහුට නැත්තේය.

“ආනන්දය, මෙවැනිවූ රූපකසිණලාභී අය කෙරෙහි ස්වල්පවූ ආත්මයක් ඇත යන ඇදහීම සන්තානගතව නො පවතීයයි කීමට සුදුසුය.

30.“ආනන්දය ඒ ඇදහීම ඇත්තන් අතුරෙන් යම් කෙනෙක් රූපවත්වූ කෙළවරක් නැති ආත්මයක් ප්‍රකාශ නොකරන්නේ ප්‍රකාශ නොකරයිද, ඒ අය එසේ මෙලොව පමණක් ඇත්තාවූ හෝ පරලොවට යන්නාවූ හෝ රූපවත්වූ කෙළවරක් නැති ආත්මයක් ප්‍රකාශ නොකරන්නේ ප්‍රකාශ නොකරයි. ඔවුනොවුන් ඔවුනොවුන්ගේ අසත්‍ය සත්‍යබවට පමුණුවන්නෙමි යන අදහසක් ඔහුට නැත.

“ආනන්දය, මෙවැනිවූම රූපධ්‍යානලාභී පුද්ගලයා කෙරෙහි කෙළවරක් නැති ආත්මය ඇත යන මතය සන්තානගතව නොපවතී යන වචනය කීමට සුදුසුයි.

31.“ආනන්දය ඒ ඇදහීම ඇත්තන් අතුරෙන් යම් අයෙක් අරූපවත්වූ ස්වල්ප ආත්මයක් ප්‍රකාශ නොකරන්නේ ප්‍රකාශ නොකරයිද, ඔහු මෙලොව පමණක් ඇත්තාවූ හෝ පරලොවට යන්නාවූ හෝ අරූපවත්වූ ස්වල්ප ආත්මයක් ප්‍රකාශ නොකරන්නේ ප්‍රකාශ නොකරයි. ඔවුනොවුන් ඔවුනොවුන්ගේ අසත්‍යයක් සත්‍යබවට පමුණුවමි යන අදහසක් ඔහුට නැත.

“ආනන්දය, මෙවැනිවූම අරූප ධ්‍යානලාභී තැනැත්තා කෙරෙහි ස්වල්පවූ ආත්මය යන ඇදහීම (අනුසයනය) සන්තාන ගතව පැවැත්ම නොකෙරේයයි ඒ ඇදහීම් ඇත්තා සම්බන්ධව මේ වචනය කීමට සුදුසුයි.

32.“ආනන්දය, එහි යම් අයෙක් අරූපවත් ආත්මයක් ප්‍රකාශ නොකරන්නේ ප්‍රකාශනොකරයිද, මෙලොව පමණක් ඇත්තාවූ හෝ පරලොවට යන්නාවූ හෝ ඒ අරූපවත්වූ කෙළවරක් නැති ආත්මයක් ප්‍රකාශ නොකරන්නේ ප්‍රකාශ නොකරයිද, ඔවුනොවුන්ට ඔවුනොවුන්ගේ අසත්‍යයක් සත්‍ය බවට පමුණුවන්නෙමි යන අදහසක් ඔහුට නැත.

“ආනන්දය, මෙවැනිවූ අරූප ධ්‍යානලාභී තැනැත්තා කෙරෙහි කෙළවරක් නැති ආත්මයක් ඇත යන ඇදහීම (අනුස්සනය) සන්තානගතව නොපවතීයයි කීමට සුදුසු වෙයි. ආනන්දය, මෙපමණකින් ආත්මයයි ප්‍රකාශ නොකරන්නේ ප්‍රකාශ නොකරයි” කීවෝය.


අත්තසමනුපස්සනා

33.“ආනන්දය, කොපමණකින් නම් ආත්මය දෘෂ්ටි වශයෙන් දකින්නා දකීද යතහොත්ත ආනන්දය, වේදනාව හෝ ආත්මයයි දකින්නා වේදනාව මාගේ ආත්මයයි’ දකී. ආනන්දය, ‘වේදනාව මගේ ආත්මය නොවෙයි, මාගේ ආත්මය නොවිඳින ස්වභාව ඇත්තේය’යයි මෙසේත් ආත්මයයි දකින්නා දකී. ආනන්දය, ‘වේදනාව මාගේ ආත්මය නොවේමය, නොවිඳින ස්වභාවයද මගේ ආත්මය නොවේ. මාගේ ආත්මය විඳිනු ලබයි. මාගේ ආත්මය විඳීම ස්වභාව කොට ඇත්තේය’යයි මෙසේද ආත්මයයි දකින්නා දකී.

34.“ආනන්දය, එහි යමෙක් ‘වේදනාව මගේ ආත්ම යයි’ කියාද, ඔහුට මෙසේ කියයුතු වන්නේය. ‘ඇවැත්නි, මේ මේ වේදනා තුණක් වෙත්. සැප වේදනාවය, දුක් වේදනාවය උපෙක්ෂා (සැප හෝ දුක නුවූ) වේදනාවය යන මොව්හුයි. මේ තුන් වේදනා අතුරෙන් කවර නම් වේදනාවක් ආත්ම වශයෙන් දකීදැයි’ ඇසිය යුතුය. ආනන්දය, යම් කලක සැප විඳීමක් ලබාද එකල දුක් විඳීමක් නොලබයි. උපෙක්ෂා වේදනාවක් නොලබයි. ඒ කාලයෙහි සැප විඳීමක්ම විඳී, යම් කලක දුක් විඳීමක් විදීද එකල සැප විඳීමක් නොවිඳීමය. උපෙක්ෂා වේදනාවක් නොවිඳීමය. දුක් විඳීමක්ම විඳී. ආනන්දය, යම් කලක උපෙක්ෂා වේදනාවක් විඳීද, එකල සැප විඳීමක් නොවිඳී, දුක් විඳීමක්ද නොවිඳී. ඒ කාලයෙහි උපෙක්ෂා වේදනාවක්ම විඳී.

35.“ආනන්දය, සැප විඳීමද අනිත්‍යයි. (සැමදාම නොපවතී.) ඒ ඒ කාරණයන්ගෙන් රැස්වන ලද්දිය. ප්‍රත්‍යය හේතුවෙන් උපන්නීය. ගෙවීයාම ස්වභාවකොට ඇත්තීය. වැනසීම ස්වභාවකොට ඇත්තීය. නොඇලීම ස්වභාවකොට ඇත්තීය. නිරොධය (නැතිවීම) ස්වභාවකොට ඇත්තීය. ආනන්දය, දුක් විඳීමද අනිත්‍යයි. (හැමදා එකසේ නොපවනී) ඒ ඒ කාරණයන්ගෙන් රැස්වන ලද්දීය. ප්‍රත්‍යය කරණ කොට උපන්නීය. ගෙවියාම ස්වභාවකොට ඇත්තීය. වැනසීම ස්වභාවකොට ඇත්තීය. නොඇලීම ස්වභාව කොට ඇත්තීය. නිරොධය ස්වභාවකොට ඇත්තීය. ආනන්දය, දුක්ද නොවූ සැපද නොවූ විඳීමද අනිත්‍යයි ඒ ඒ කාරණයන්ගෙන් රැස්වන ලද්දීය. ප්‍රත්‍යය කරණකොට උපන්නීය. ගෙවීයාම ස්වභාවකොට ඇත්තීය. වැනසීම ස්වභාවකොට ඇත්තීය. නොඇලීම ස්වභාවකොට ඇත්තීය. නිරොධය (නැතිවීම) ස්වභාවකොට ඇත්තීය. ඒ සැප වේදනාව විඳින්නාහට මෙය මගේ ආත්මයයි සිතෙයි. ඒ සැප විඳීම නැතිවීමෙන්ම මාගේ ආත්මය පහව ගියේයයි අදහස් වෙයි. දුක් විඳීමක් විඳින්නාටද මෙය මගේ ආත්මය යයි අදහස් වෙයි. ඒ දුක් වේදනාව නැතිවීමෙන්ම මගේ ආත්මය පහව ගියේයි අදහස් වෙයි. දුක්ද නොවූ සැපද නොවූ විඳීමක් විඳින්නාහටද මෙය මාගේ ආත්මය යන අදහස වෙයි. ඒ උපෙක්ෂා වේදනාවගේ නැතිවීමෙන් මාගේ ආත්මය පහව ගියේයි අදහස වෙයි. මෙසේ ඒ පුද්ගලයා මේ ආත්මයේදීම අනිත්‍යවූ සැප දුක් වන්නාවූද ඒ දෙකින්ම මිශ්‍රවූද, ඉපදීම හා වැනසීම ස්වභාව කොට ඇතිවූවක් ආත්මයයි දකින්නේ දකී. යම් පුද්ගලයෙක් වේදනාව මගේ ආත්මයයි මෙසේ කියයිද, ආනන්දය, එහෙයින් මේ දැක්වූ කාරණයෙන්ද වේදනාව මාගේ ආත්මයයි දැකීමට සුදුසු නොවේ

36.“ආනන්දය, යම් ඒ කෙනෙක් වේදනාව මගේ ආත්මය නොවේමය. මගේ ආත්මය විඳින ස්වභාවයක් නැත්තේයයි මෙසේ කියයිද, ඔහු මෙසේ කියයුතු වන්නේය. ඇවැත්නි, යම් තැනක සියලු ආකාරයෙන් විඳීමක් නැත්තේද, කිමෙක්ද? එහි මම වෙමියි යන මේ අදහස වන්නේදැයි” කියායි.

“ස්වාමීනි මේ කාරණය නොවේමය.”

“ආනන්දය, එහෙයින් මෙහි මේ කාරණයෙන්ද වේදනාව මගේ ආත්මය නොවේමය. මගේ ආත්මය විඳින ස්වභාව නැත්තේයයි දැකීමට සුදුසු නොවේ

37.“ආනන්දය, යම් ඒ කෙනෙක් මෙසේ කියයිද, විඳීම මගේ ආත්මය නොවෙයි. මගේ ආත්මය නොවිඳින ස්වභාවයද නොවේ. මගේ ආත්මය විඳිනු ලබයි. මගේ ආත්මය විඳීම ස්වභාවකොට ඇත්තේය’ කියායි. ඔහු මෙසේ කියයුතු වන්නේය. ඇවැත්නි, විඳීම සියලු ස්වභාවයෙන්, සියලු ආකාරයෙන් සම්පූර්ණයෙන් නිරුද්ධ (නැති) වන්නේ නම් සියලු ආකාරයෙන් මිදීම නැති කල්හි වේදනා නිරොධයෙන් ඒ විඳීම කෙරෙහි මම වෙමියි යන දැකීමක් කිමෙක්ද වන්නේ දැයි විචාළේය.

“ස්වාමීනි, මේ කාරණය නොවේමය”

“ආනන්දය, එහෙයින් මේ කාරණයෙන්ද මෙහි විඳීම මගේ ආත්මය නොවෙයි. විදින ස්වභාවයද මගේ ආත්මය නොවෙයි. මගේ ආත්මය විඳිනු ලබයි. මගේ ආත්මය විඳීම ස්වභාවකොට ඇත්තේයයි දැකීමට සුදුසු නොවේ.

38.“ආනන්දය, යම් හෙයකින් භික්ෂුතෙම වේදනාව ආත්මයයි නොදකීද, නොවිඳින ස්වභාව ආත්මයයි නොදකීද, ආත්මය විඳිනු ලබයි, ‘මාගේ ආත්මය විඳීම ස්වභාවකොට ඇත්තේය’ කියා නොදකීද, මෙසේ නොදක්නාවූ හෙතෙමේ ස්කන්ධ සමූහයක්වූත් මේ ලෝකයෙහි රූපාදී කිසිවක් ආත්මයයි වරදවා නොගනී. එසේ නොගන්නා තැනැත්තේ කිසිවක නොඇලෙයි. නොඇලෙන්නේ තමන්ම ක්ලේශයන්ගෙන් මිදිමකෙරේ. ජාතිය (උත්පත්තිය) නැතිවිය (මඟබඹසර) උතුම් හැසිරීම වැස නිමවන ලද්දේය, කටයුතුකොට නිමවන ලද්දේය. මේ සඳහා මෙයින් මතු කළ යුත්තක් නැතැයි දැනගනී.

39.“ආනන්දය, මෙසේ ක්ලේශයන් කෙරෙන් මිදුනු සිත් ඇත්තාවූ භික්ෂුවට යමෙක් සත්වයා මරණින් මතු වේයයි මෙසේ කියන්නේද, එසේ ක්ලේශයන් කෙරෙන් මිදුනාවූ යම් අර්හත් කෙනෙක් වේද, උන්වහන්සේට මෙවැනි ඇදහිල්ලක් (දැකීමක්) වේයයි කියන්ට සුදුසු නොවෙයි,’ කීවෝය. සත්වයා මරණින් මතු නොවේයයි ඒ රහතන් වහන්සේට මෙවැනි ඇදහීමක් (දැකීමක්) වේයයි කියන්ට සුදුසුනොවෙයි’ කීවෝය. ‘සත්වයා මරණින් මතු වන්නේද නොවන්නේද නොවේයයි, ඒ රහතන් වහන්සේට මෙවැනි ඇදහීමක් (දැකීමක්) වේයයි කියන්ට සුදුසු නොවේයයි’ කීවෝය ‘සත්වයා මරණින් මතු නොවේමය, නොවන්නේත් නොවේයයි, ඒ රහතන් වහන්සේට මෙවැනි ඇදහීමක් (දැකීමක් වේයයි කියන්ට සුදුසු නොවෙයි’ කීවෝය. ඊට හේතු කවරේදයත්? ආනන්දය, ව්‍යවහාර යම් පමණ ඇත්තේද යම්පමණ ව්‍යවහාරයට හේතු ඇත්තේද, යම් පමණ අර්ථවත් වචන ඇත්තේද, යම් පමණ (අර්ථවත් වචනවලට) හේතු ඇත්තේද, යම්පමණ පැනවීම් ඇත්තේද යම්පමණ පැනවීම්වලට හේතු ඇත්තේද, යම්පමණ නුවණ ඇත්තේද, නුවණින් බැසගත යුතු කරුණු යම් පමණ ඇත්තේද යම් පමණ සංසාරය වේද යම් පමණ සංසාර චක්‍රය පවතීද, ඒ සියල්ල උසස් ඥානයෙන් දැනගෙන භික්ෂුතෙම ක්ලේශයන් කෙරෙන් මිදුනේද, එහෙයින් ඒ සියල්ල උසස් ඥානයෙන් දැනගෙන කෙලෙසුන් කෙරෙන් මිදුනු භික්ෂුතෙම නොදනී, නොදකී රහතන් වහන්සේට මෙවැනි ඇදහීමක් (දැකීමක්) වේයයි’ කියන්නට සුදුසු නොවෙයි’ කීවෝය.


සත්ත විඤ්ඤාණට්ඨිති

40.“ආනන්දය, විඥාන පිහිටන තැන් හතක් වෙත්. ආයතන (සත්ව වාසස්ථාන) දෙකක් වෙත්. ඒ විඥාන පිහිටන තැන් හත නම්, ආනන්දය, නොයෙක් ශරීර ඇත්තාවූද නොයෙක් ප්‍රතිසන්ධිවිඤ්ඤාණ ඇත්තාවූද සත්වයෝ ඇත්තාහ. එනම්, මනුෂ්‍යයෝද සමහර දෙවියෝද සමහර (විනිපාතික) සැපයෙන් අඩුවූ ප්‍රෙතයෝද යන මොව්හුය. මේ පළමුවෙනි විඥාන පිහිටන තැනයි. ආනන්දය නොයෙක් ශරීර ඇති එක සංඥාවක් (ප්‍රතිසන්ධි විඥානයක්) ඇත්තාවූ සත්වයෝද ඇත්තාහ. එනම් ප්‍රථම ධ්‍යානයෙන් උපන්නාවූ ප්‍රථමධ්‍යාන තළ වාසී දෙවියෝයි. මේ දෙවෙනි විඥාන පිහිටන තැනයි.

“ආනන්දය, සමාන ශරීර ඇත්තාවූ නොයෙක් සංඥා (ප්‍රතිසන්ධි විඤ්ඤාණ) ඇත්තාවූ සත්වයෝ ඇත්තාහ. එනම් ද්විතීයධ්‍යාන තල වාසීවූ ආභාශ්වර දෙවියෝයි, මේ තුන්වෙනිවූ විඥාන පිහිටන තැනයි. “ආනන්දය, සමාන ශරීර ඇත්තාවූද එකක්වූ සංඥා (ප්‍රතිසන්ධි විඤ්ඤාණ) ඇත්තාවූද සත්වයෝ ඇත්තාහ. එනම් තෘතීය ධ්‍යානතලවාසී පරිත්ත සුභ, අප්පමාණ සුභ, සුභකිණ්ණක යන ශුභකීර්ණක දෙවියෝයි. මේ හතරවෙනි විඥාන පිහිටන තැනයි. ආනන්දය, සියලු ආකාරයෙන් රූප සංඥාවන්ගේ ඉක්මවීමෙන් (ප්‍රතිඝ) ගැටීම් සහිත සංඥාවන්ගේ දුරලීමෙන් නොයෙක් ආකාර සංඥාවන්ගේ සිහි නොකිරීමෙන් ආකාශය අනන්තයයි ගෙන ආකාශානඤ්චායතන භූමියට පැමිණියාවූ සත්වයෝ ඇත්තාහ. මේ පස්වෙනි විඥාන පිහිටන තැනයි. ආනන්දය, සියලු ආකාශානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි වඩා විඤ්ඤාණඤ්චායතන භූමියට පැමිණි සත්වයෝ ඇත්තාහ. මේ හයවෙනිවූ විඥාන පිහිටන තැනයි. “ආනන්දය, සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි භාවනා වඩා ආකිඤ්චඤ්ඤායතනයට පැමිණියාවූ සත්වයෝ ඇත්තාහ. මේ සත්වෙනි විඥාන පිහිටන තැනයි. අසංඥසත්ව බ්‍රහ්ම ලොකය පළමුවෙනි (ආයතනය) සත්ව වාසයවෙයි. නෙවසංඥනාසංඥායතනය දෙවෙනි (ආයතනය) සත්ව වාසය වෙයි.

41.“ආනන්දය, ඒ විඥාන පිහිටන තැන් හත අතුරෙන් නොයෙක් ශරීර හා නොයෙක් සංඥා ඇත්තාවූ යම් මේ ප්‍රථම විඥාන පිහිටන තැනක් වේද ඒ නම් මනුෂ්‍යයෝද සමහර දෙවියෝද සමහර (විනිපාතික) සැපයෙන් අඩු ප්‍රෙතයෝද යන මොව්හුයි.

“ආනන්දය, යමෙක් ඒ පළමුවැනි විඥාන පිහිටන තැන් දනීද, ඒ විඥාන පිහිටන තැන පහළවීමට හේතුව දනීද, ඒ විඥාන පිහිටන තැනේ නැතිවීම දනීද, ඒ විඥාන පිහිටන තැනේ සැපය දනීද, ඒ විඥාන පිහිටන තැනේ දෝෂය දනීද, ඒ විඥාන පිහිටන තැනින් මිදීම දනීද ඔහු විසින් ඒ විඥානය පිහිටන තැන පිළිබඳව මමය මාගේයයි ගෙන සතුටුවීම කිමෙක යුතුදැයි ඇසුවෝය.”

“ස්වාමීන් වහන්ස, මේ කාරණය නුසුදුසුමය”

“ආනන්දය, යමෙක් ඒ දෙවෙනි විඥාන පිහිටන තැන දනීද, ඒ විඥාන පිහිටන තැන පහළවීමට හෙතුව දනීද, ඒ විඥාන පිහිටන තැනේ නැතිවීම දනීද, ඒ විඥාන පිහිටන තැනේ සැපය දනීද, ඒ විඥාන පිහිටන තැනේ දෝෂය දනීද, ඒ විඥාන පිහිටන තැනින් මිදීම දනීද, ඔහු විසින් ඒ විඥානය පිහිටන තැන පිළිබඳවූ මමය මාගේයයි ගෙන සතුටුවීම කුමක යුතුදැයි” ඇසුවෝය.

“ස්වාමීන් වහන්ස, මේ කාරණය නුසුදුසුමය”

“ආනන්දය, යම් කෙනෙක් ඒ තුන්වෙනි විඥාන පිහිටන තැන දනීද, ඒ විඥාන පිහිටන තැන පහළවීමට හෙතුව දනීද, ඒ විඥාන පිහිටන තැනේ නැතිවීම දනීද, ඒ විඥාන පිහිටන තැනේ සැපය දනීද, ඒ විඥාන පිහිටන තැනේ දෝෂය දනීද, ඒ විඥාන පිහිටන තැනින් මිදීම දනීද, ඔහු විසින් ඒ විඥාන පිහිටන තැන පිළිබඳව මමය මාගේයයි ගෙන සතුටුවීම කුමක සුදුසුදැයි” ඇසුවෝය.

“ස්වාමීන් වහන්ස, මේ කාරණය නුසුදුසුමය.”

“ආනන්දය, යමෙක් ඒ හතරවෙනි විඥාන පිහිටන තැන දනීද, ඒ විඥාන පිහිටන තැන පහළවීමට හේතුව දනීද, ඒ විඥාන පිහිටන තැනේ නැතිවීම දනීද, ඒ විඥාන පිහිටන තැනේ සැපය දනීද, ඒ විඥාන පිහිටන තැනේ දෝෂය දනීද, ඒ විඥාන පිහිටන තැනින් මිදීම දනීද, ඔහු විසින් ඒ විඥාන පිහිටන තැන පිළිබඳව මමය මාගේයයි ගෙන සතුටුවීම කුමක සුදුසුදැයි” ඇසුවෝය.

“ස්වාමීන් වහන්ස, මේ කාරණය නුසුදුසුමය.”

“ආනන්දය, යමෙක් ඒ පස්වෙනි විඥාන පිහිටන තැන දනීද ඒ විඥාන පිහිටන තැන පහළවීමට හෙතුව දනීද, ඒ විඥාන පිහිටන තැනේ නැතිවීම දනීද, ඒ විඥාන පිහිටන තැනේ සැපය දනීද, ඒ විඥාන පිහිටන තැනේ දෝෂය දනීද, ඒ විඥාන පිහිටන තැනින් මිදීම දනීද, ඔහු විසින් ඒ විඥාන පිහිටන තැන පිළිබඳව මමය මාගේයයි ගනිමින් සතුටුවීම කුමක සුදුසුදැයි” ඇසුවෝය.

“ස්වාමීන් වහන්ස, මේ කාරණය නුසුදුසුමය.’

“ආනන්දය, යමෙක් ඒ හයවෙනි විඥාන පිහිටන තැන දනීද, ඒ විඥාන පිහිටන තැන පහළවීමට හෙතුව දනීද, ඒ විඥාන පිහිටන තැනේ විනාශය දනීද, ඒ විඥාන පිහිටන තැනේ සැපය දනීද, ඒ විඥාන පිහිටන තැනේ දෝෂය දනීද, ඒ විඥාන පිහිටන තැනින් මිදීම දනීද, ඔහු විසින් ඒ විඥාන පිහිටන තැන පිළිබඳව මමය මාගේයයි ගනිමින් සතුටුවීම කුමක සුදුසුදැයි” ඇසුවෝය.

“ස්වාමීන් වහන්ස, මේ කාරණය නුසුදුසුමය.”

“ආනන්දය, යමෙක් ඒ හත්වෙනි විඥාන පිහිටන තැන දනීද, ඒ විඥාන පිහිටන තැන පහළවීමට හෙතුව දනීද, ඒ විඥාන පිහිටන තැනේ විනාශය දනීද, ඒ විඥාන පිහිටන තැනේ සැපය දනීද, ඒ විඥාන පිහිටන තැනේ දෝෂ දනීද, ඒ විඥාන පිහිටන තැනින් මිදීම දනීද, ඔහු විසින් ඒ විඥාන පිහිටන තැන පිළිබඳව මමය මාගේයයි ගැනීම කුමක සුදුසුදැයි” ඇසුවෝය.

“ස්වාමීන් වහන්ස, මේ කාරණය නුසුදුසුමය.”

“ආනන්දය, ඒ විඥාන පිහිටන තැන් හත අතුරෙන් යම් මේ සත්වෙනි විඥාන පිහිටන තැනක්වේද, එනම් සියලු ආකාරයෙන් විඥානඤ්චායතන ධ්‍යානය ඉක්මවා කිසිවක් නැතැයි නාස්තිභාව ප්‍රඥප්තිය වඩා ආකිඤ්චඤ්ඤායතන ලොකයට පැමිණියාවූ දෙවියෝ වෙත්ද,

“ආනන්දය, යමෙක් එය දනීද, ඊට හෙතුවත් දනීද එහි විනාශයත් දනීද, එහි සැපයත් දනීද, එහි දෝෂයත් දනීද, එයින් මිදීමක් දනීද, ඔහු විසින් එය මමය මාගේයයි ගෙන සතුටුවීම කුමක සුදුසුදැයි” ඇසුවෝය.

“ආනන්දය, ඒ සත්වාවාස අතුරෙන් අසඤ්ඤසත්තායතන නම්වූ යම් සිත නැති බඹලොවක් වේද, ආනන්දය, යමෙක් එය දනීද, ඊට හෙතුවත් දනීද, එහි විනාශයත් දනීද, එහි සැපයත් දනීද, එහි දෝෂයත් දනීද, එයින් මිදීමක් දනීද, ඔහු විසින් එය මමය මාගේයයි ගෙන සතුටුවීම කිමෙක සුදුසුදැයි” ඇසුවෝය.

“ස්වාමීන් වහන්ස, මේ කාරණය නුසුදුසුය.”

“ආනන්දය, ඒ සත්වාවාසයන් අතුරෙන් නෙවසඤ්ඤා නාසඤ්ඤායතන නම් සිත ඇතැයිද නොකියයුතු නැතැයිද නොකියයුතු යම් බඹලොවක් ඇත්තේද ආනන්දය, යමෙක් එය දනීද ඊට හෙතුවත් දනීද, එහි විනාශයත් දනීද, එහි සැපයත් දනීද, එහි දෝෂයත් දනීද, එයින් මිදීමත් දනීද, ඔහු විසින් එය මමය මාගේයයි ගෙන සතුටුවීම කිමෙක යුතුදැයි” ඇසුවෝය.

“ස්වාමීන් වහන්ස, මේ කාරණය නුසුදුසුමය.”

“ආනන්දය, යම් කලක භික්ෂු තෙම මේ විඥාන පිහිටි තැන් හතේද මේ දෙකක්වූ ආයතනයන්ගේද පහළවීමට හේතුවද, විනාශයද, සැපයද, මිදීමද, ඇතිසැටියෙන් දැන කෙලෙසුන් කෙරෙන් මිදුනේ වේද, ආනන්දය, මේ භික්ෂු තෙම ප්‍රඥාව හේතුකොටගෙන කෙලෙසුන් කෙරෙන් මිදුනේ යයි” කියනු ලැබේ.


අට්ඨ විමොක්ඛා

42.“ආනන්දය, මේ විමොක්ෂ ධර්ම (සතුරු ධර්ම කෙරෙන් මිදීම්) අටක් වෙත්. කවර නම් අටක්ද යත් තමාගේ හිස කෙස්වල වර්ණාදියෙන් ලබනලද නීල කසිණාදියෙන් උපදවා ගත් රූප ධ්‍යාන ඇත්තෙක්ව බාහිර රූපයන් දකීද මේ පළමුවැනි විමොක්ෂය (සතුරු ධර්මවලින් මිදීම) යි. තමාගේ හිස කෙස් ආදියේ වර්ණයෙන් උපදවාගත් රූප ධ්‍යාන නැත්තෙක්ව බාහිර රූපයන් දකීද මේ දෙවෙනි විමොක්ෂය (සතුරු ධර්මවලින් මිදීම) යි. පිරිසිදුවූ නීලාදී කසිණයක් අරමුණු කොට වාසය කරයිද මේ තුන්වැනි විමොක්ෂය (මිදීම) යි සියලු ආකාරයෙන් රූප හැඟීම් ඉක්මවා ගැටීම් සහිත හැඟීම් දුරු කිරීමෙන් නොයෙක් සංඥා නොමෙනෙහි කිරීමෙන් අනන්ත ආකාශය අරමුණුකොට ආකාසානඤ්චායතන ධ්‍යානයට පැමිණ වාසය කරයිද මේ සතරවැනි විමොක්ෂය (මිදීම) යි. සියලු ආකාරයෙන් අනන්ත ආකාශය ඉක්මවා එම අනන්තවිඤ්ඤාණය අරමුණුකොට විඤ්ඤාණඤ්චායතන ධ්‍යානයට පැමිණ වාසය කරයිද මේ පස්වැනි විමොක්ෂය (මිදීම) යි. සියලු ආකාරයෙන් අනන්තවිඤ්ඤාණය ඉක්මවා ඒ විඤ්ඤාණයාගේ කිසිවක් නැති බව අරමුණුකොට ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානයට පැමිණ වාසය කරයිද මේ හයවැනි විමොක්ෂය (මිදීම) යි සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤා නාසඤ්ඤායතන ධ්‍යානයට පැමිණ වාසයකරයිද, මේ සත්වැනි විමොක්ෂය (මිදීම) යි. සියලු ආකාරයෙන් නෙවසඤ්ඤා නාසඤ්ඤායතනය ඉක්මවා චිත්ත චෛතසිකයන්ගේ නිරොධයට (නිරොධ සමාපත්තියට) පැමිණ වාසය කරයි. මෙය අටවැනි විමොක්ෂය (මිදීම) යි. ආනන්දය, මේ වනාහි අටවැදෑරුම් විමොක්ෂයෝයි.

“ආනන්දය, භික්ෂුතෙමේ මේ විමොක්ෂ අටට මුල සිට අග දක්වාද සමවදියි (පැමිණ වාසය කරයි) අග සිට මුල දක්වාද සමවදියි. මුල සිට අග දක්වාද අග සිට මුල දක්වාද සමවදියි. කැමති තැනක කැමති සමාපත්තියකට කැමතිතාක් කල් සමවදින්නේද වෙයි. නැගිටින්නේද වෙයි. ආශ්‍රව ධර්මයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව නැති සමාධි සිතින් විඳීමද ප්‍රඥාවෙන් මිදීම වන අර්හත්ඵලය ඉහාත්මයෙහිම තම විශෙෂ ඥානයෙන් අවබොධ කොට ඊට පැමිණ වාසයකරයි. ආනන්දය, මේ භික්ෂුව අරූප සමාපත්තිය කරණකොට ගෙන රූප කයින්ද මාර්ගය කරණකොට ගෙන නාම කයින්ද යන දෙකොටසින් මිදුණු (උභතොභාග විමුක්ත) පුද්ගලයා යයි කියනුලැබේ. මේ නාම රූප දෙපසින් මිදීමට වඩා උතුම්වූද ප්‍රණීතවූද අන් මිදීමක් නම් නැත්තේය.

භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය දෙශනා කළෝය. සතුටු සිත් ඇත්තාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ දෙශනාව සතුටින් පිළිගත්තේය.

පසලොස් වෙනි වූ මහා නිදාන සූත්‍රය මෙයින් නිමියේය.

( උපුටා ගැනීම - suttacentral.net )