Jump to content

ත්‍රිපිටක පොත් වහන්සේ/සූත්‍ර පිටකය/දීඝ නිකාය/මහා පදාන සූත්‍රය

Wikibooks වෙතින්

පුබ්බෙනිවාසපටිසංයුත්තකථා

1.මේ මාගේ ඇසීමය-(මා විසින් මෙසේ අසනලදී,) එක් කලක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු මහා සිටාණන් විසින් කරවනලද ආරාමයෙහි වාසය කරති. එවිට පසුබත් කාලයෙහි පිණ්ඩපාතයෙන් හැරී ඇවුත් කරෙරි (ලුණුවරණ ගස්වලින් වටවූ) මණ්ඩපය අසල විවේකගන්නා ශාලාවෙහි එක්ව උන්නාවූ රැස්වූ භික්ෂූන් අතරෙහි අතීත ආත්ම පිළිවෙළ මෙසේය. පෙරවිසූ ආත්ම මෙසේයයි භාග්‍යවතුන්වහන්සේගේ පෙරවිසූ ආත්ම දන්නාවූ ඥානය පිළිබඳ ධාර්මික කථාවක් උපන්නේය.

2.භාග්‍යවතුන් වහන්සේ පිරිසිදුවූ මනුෂ්‍ය ඥානය ඉක්ම පැවැත්තාවූ දිව්‍යකණින් ඒ භික්ෂූන්ගේ මේ කථාවඇසුවෝය. එවිට භාග්‍යවතුන් වහන්සේ උන් ආසනයෙන් නැගිට කෙරෙරි මණ්ඩපය සමීපයෙහිවූ විවේකගන්නා ශාලාව යම් තැනෙක්හිද එතනට පැමිණියෝය. පැමිණ පැණවූ ආසනයෙහි වැඩ උන්හ. වැඩහිඳ භාග්‍යවතුන්වහන්සේ “මහණෙනි, මෙහි තෙපි දැන් කිනම් කථාවකින් යුක්තව උන්නහුද? තොපගේ කිනම් කථාවක් අතරතුර නතර කළාහුදැයි” ඇසුවෝය.

3.මෙසේ ඇසූකල ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීවෝය. “ස්වාමීන් වහන්ස, මෙහි පිණ්ඩපාතයෙන් හැරී ආවාවූ, කරෙරි මණ්ඩපය සමීපයෙහිවූ විවේක ගන්නා ශාලාවෙහි එක්ව උන්නාවූ රැස්වූ අප අතරෙහි පෙර ආත්ම මෙසේය. පෙර ආත්ම මෙසේයයි භාග්‍යවතුන් වහන්සේගේ ඉහත ආත්ම දැනගැනීමේ ඥානය පිළිබඳවූ ධාර්මික කථාවක් භාග්‍යවතුන් වහන්සේ ගැන උපන්නේය. ස්වාමීන් වහන්ස, අපගේ මේ කථාව අතරතුර නැවැත්වූහ. එකල භාග්‍යවතුන් වහන්සේ වැඩියෝයයි” කීවාහුය.

4.“මහණෙනි, තෙපි පෙර විසූ ආත්ම පිළිබඳවූ ධර්ම කථාවක් අසන්නට කිමෙක කැමැත්තහුදැයි” ඇසුවෝය.

“යම් හේතුවකින් භාග්‍යවතුන් වහන්සේ ඉහත ආත්ම පිළිබඳවූ ධර්ම කථාවක් දෙශනා කරන්නේ නම්, භාග්‍යවතුන් වහන්ස, මේ ඊට සුදුසු කාලයයි. තථාගතයන් වහන්ස, මේ ඊට සුදුසු කාලයයි. භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසා භික්ෂූහු දරාගන්නාහුයයි” කීවෝය

“මහණෙනි, එහෙනම් අසව්, හොඳින් සිහිකරව්, කියන්නෙමියි’ වදාළහ.

“ස්වාමීන් වහන්ස, එසේයයි” ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළෝය.

5.“මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සි බුදුරජාණන් වහන්සේ මෙයින් අනූඑක්වෙනි කල්පයෙහි ලොවපහළ වූවෝය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ සිඛී බුදුරජාණන් වහන්සේ මෙයින් තිස්එක්වෙනි කල්පයෙහි ලොව පහළ වූවෝය. මහණෙනි, ඒ තිස් එක්වෙනි කල්පයෙහිම අර්හත් සම්‍යක් සම්බුද්ධවූ වෙස්සභූ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූවෝය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කකුසන්ධ නම් බුදුරජාණන් වහන්සේ මේ මහාභද්‍ර කල්පයෙහිම ලොව පහළ වූවෝය මහණෙනි, මේ මහාභද්‍ර කල්පයෙහිම අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කොණාගමන නම් බුදුරජාණන් වහන්සේ ලොව පහළවූවෝය. මහණෙනි, මේ මහාභද්‍ර කල්පයෙහිම අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූවෝය. මහණෙනි, මේ මහාභද්‍ර කල්පයෙහිම දැන් අර්හත් සම්‍යක් සම්බුද්ධවූ මම උපන්නෙමි.”

(කල්ප පරිච්ඡෙද කථායි.)

6.“මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී බුදුරජාණන් වහන්සේ ජාතියෙන් ක්ෂත්‍රිය වූවෝය. ක්ෂත්‍රිය කුලයෙහි උපන්නෝය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ සිඛී බුදුරජාණන් වහන්සේ ජාතියෙන් ක්ෂත්‍රිය වූවෝය. ක්ෂත්‍රිය කුලයෙහි උපන්නෝය මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ වෙස්සභූ බුදුරජාණන් වහන්සේ ජාතියෙන් ක්ෂත්‍රිය වූවෝය. ක්ෂත්‍රිය කුලයෙහි උපන්නෝය මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කකුසන්ධ බුදුරජාණන් වහන්සේ ජාතියෙන් බ්‍රාහ්මණ වූවෝය. බ්‍රාහ්මණ කුලයෙහි උපන්නෝය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කොණාගමන බුදුරජාණන් වහන්සේ ජාතියෙන් බ්‍රාහ්මණ වූවෝය. බ්‍රාහ්මණ කුලයෙහි උපන්නෝය. මහණෙනි අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ජාතියෙන් බ්‍රාහ්මණ වූවෝය, බ්‍රාහ්මණ කුලයෙහි උපන්නෝය. මහණෙනි, දැන් අර්හත් සම්‍යක් සම්බුද්ධවූ මම ජාතියෙන් ක්ෂත්‍රිය වූයෙමි. ක්ෂත්‍රිය කුලයෙහි උපන්නෙමි.”

(ජාති පරිච්ඡෙද කථායි.)

7.“මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී බුදුරජාණන් වහන්සේ ගොත්‍රයෙන් කොණ්ඩඤ්ඤ නම් වූවෝය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ සිඛී බුදුරජාණන් වහන්සේ ගොත්‍රයෙන් කොණ්ඩඤ්ඤ නම් වූවෝය මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ වෙස්සභු බුදුරජාණන් වහන්සේ ගොත්‍රයෙන් කොණ්ඩඤ්ඤ නම් වූවෝය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කකුසන්ධ බුදුරජාණන් වහන්සේ ගොත්‍රයෙන් කාශ්‍යප නම් වූවෝය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කොණාගමන බුදුරජාණන් වහන්සේ ගොත්‍රයෙන් කාශ්‍යප නම් වූවෝය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගොත්‍රයෙන් කාශ්‍යප නම් වූවෝය. මහණෙනි, දැන් අර්හත් සම්‍යක් සම්බුද්ධවූ මම ගොත්‍රයෙන් ගෞතම නම් වූයෙමි.”

(ගොත්‍ර පරිච්ඡෙද කථායි)

8.“මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට අසූ දහසක් අවුරුදු ආයුෂ කාලය විය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ සිඛී භාග්‍යවතුන් වහන්සේට සැත්තෑ දහසක් අවුරුදු ආයුෂ කාලය විය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ වෙස්සභු භාග්‍යවතුන් වහන්සේට සැට දහසක් අවුරුදු ආයුෂ කාලය විය මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කකුසන්ධ භාග්‍යවතුන් වහන්සේට සතලිස් දහසක් අවුරුදු ආයුෂ ප්‍රමාණය විය මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කොණාගමන භාග්‍යවතුන් වහන්සේට තිස් දහසක් අවුරුදු ආයුෂ ප්‍රමාණය විය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට විසිදහසක් අවුරුදු ආයුෂ ප්‍රමාණය විය. මහණෙනි, දැන් මට ආයුෂ ප්‍රමාණය ස්වල්ප ටික කාලයක් වෙයි යමෙක් වැඩි කලක් ජීවත් වේනම් ඔහු අවුරුදු සියයකට අඩු කාලයක් හෝ වැඩි කාලයක් ජීවත් වෙයි”

(ආයුෂ පරිච්ඡෙද කථාවයි.)

9.“මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සීවූ බුදුරජාණන් වහන්සේ පළොල් රුක මුල බුදුවූසේක. මහණෙනි, අර්හත්වූ සම්මා සම්බුද්ධවූ සිඛී බුදුරජාණන් වහන්සේ ඇටඹ රුක් මුලදී බුදුවූ සේක. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ වෙස්සභු බුදුරජාණන් වහන්සේ සල්රුක මුලදී බුදුවූ සේක. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කකුසඳ බුදුරජාණන් වහන්සේ මහරි රුක් මුලදී බුදුවූ සේක. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කොණාගමන බුදුරජාණන් වහන්සේ දිඹුල් රුක්මුලදී බුදුවූසේක. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කාශ්‍යප බුදු රජාණන් වහන්සේ නුගරුක් මුලදී බුදුවූසේක. මහණෙනි, දැන් අර්හත් සම්‍යක් සම්බුද්ධවූ මම ඇසටු රුක් මුලදී බුදුවූයෙමි”

(බොධි පරිච්ඡෙද කථායි.)

10.“මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට ඛණ්ඩය, තිස්සය යනු අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වූවෝය.

“මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ සිඛී භාග්‍යවතුන් වහන්සේට අභිභු, සම්භව යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වූවෝය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ වෙස්සභු භාග්‍යවතුන් වහන්සේට සොණය, උත්තරය යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වූවෝය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කකුසන්ධ භාග්‍යවතුන් වහන්සේට විධුරය සංජීවය යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වූවෝය.

“මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කොණාගමන භාග්‍යවතුන් වහන්සේට භීය්‍යොසොය, උත්තරය යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වූවෝය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කාශ්‍යප භාග්‍යවතුන්වහන්සේට තිස්සය, භාරද්වාජය යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වූවෝය. මහණෙනි, දැන් මට සාරිපුත්තය, මොග්ගල්ලානය යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වූවෝය.”

(ශ්‍රාවක යුග පරිච්ඡෙද කථායි)

11.“මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට ශ්‍රාවකයන්ගේ රැස්වීම් තුණක් වූහ. සැට අටලක්ෂයක් භික්ෂූන් ඇති එක් ශ්‍රාවක රැස්වීමක් වීය. භික්ෂූන් ලක්ෂයක් ඇති එක් ශ්‍රාවක රැස්වීමක් විය. අසූ දහසක් භික්ෂූන් ඇති එක් ශ්‍රාවක රැස්වීමක් වීය. මහණෙනි අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට සියල්ලන්ම රහත්වූ මේ ශ්‍රාවක රැස්වීම් තුණ වූහ. මහණෙනි අර්හත් සම්‍යක් සම්බුද්ධවූ සිඛී භාග්‍යවතුන් වහන්සේට ශ්‍රාවකයන්ගේ රැස්වීම් තුනක් වූහ. අර්හත් භික්ෂුන් ලක්ෂයක් ඇති එක් ශ්‍රාවක රැස්වීමක් වීය. අර්හත් භික්ෂුන් අසූදහසක් ඇති එක් ශ්‍රාවක රැස්වීමක් විය. තිස්හත් දහසක් අර්හත් භික්ෂූන් ඇති එක් ශ්‍රාවක රැස්වීමක් විය. මහණෙනි අර්හත් සම්‍යක් සම්බුද්ධවූ සිඛී භාග්‍යවතුන් වහන්සේට සියල්ලන්ම රහත්වූ භික්ෂූන්ගේ මේ රැස්වීම් තුණ වූහ.

“මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේට ශ්‍රාවකයන්ගේ රැස්වීම් තුණක් වූහ. අසූ දහසක් භික්ෂූන් ඇති එක් ශ්‍රාවක රැස්වීමක් විය. සැත්තෑ දහසක් භික්ෂූන් ඇති එක් ශ්‍රාවක රැස්වීමක් විය. සැටදහසක් භික්ෂූන් ඇති එක් ශ්‍රාවක රැස්වීමක් විය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේට සියල්ලන්ම රහත්වූ මේ ශ්‍රාවක රැස්වීම් තුණ වූහ.

“මහණෙනි අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කකුසන්ධ භාග්‍යවතුන් වහන්සේට සතළිස් දහසක් භික්ෂූන් ඇති එක් ශ්‍රාවක රැස්වීමක් විය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කකුසන්ධ භාග්‍යවතුන් වහන්සේට සියල්ලන්ම රහත්වූ මේ එකම ශ්‍රාවක රැස්වීම වූයේය, මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කොණාගමන භාග්‍යවතුන් වහන්සේට තිස්දහසක් භික්ෂුන් ඇති එක් ශ්‍රාවක රැස්වීමක් වීය. මහණෙනි, කොණාගමන භාග්‍යවතුන්වහන්සේට සියල්ලන්ම රහත්වූ මේ එකම රැස්වීම වීය. මහණෙනි අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට විසිදාහක් ශ්‍රාවකයන් ඇති එක රැස්වීමක් විය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට සියල්ලන්ම රහත්වූ මේ එකම ශ්‍රාවක රැස්වීම වූයේය. මහණෙනි, දැන් මට එක් දහස් දෙසිය පණසක් භික්ෂූන් ඇති එක් ශ්‍රාවක රැස්වීමක් වූයේය. මහණෙනි, මට සියල්ලන්ම රහත්වූ මේ එකම රැස්වීම වූයේය.”

(ශ්‍රාවක රැස්වීම් පරිච්ඡෙද කථායි.)

12.මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට උතුම් ලෙස උපස්ථාන කරන්නාවූ අසොක නම් භික්ෂු කෙනෙක් උපස්ථායක වූයේය, මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ සිඛී භාග්‍යවතුන් වහන්සේට උතුම් ලෙස උපස්ථාන කරන්නාවූ ඛෙමංකර නම් භික්ෂුකෙනෙක් උපස්ථායක වූයේය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ වෙස්සභු භාග්‍යවතුන් වහන්සේට උතුම් ලෙස උපස්ථාන කරන්නාවූ උපසන්ත නම් භික්ෂු කෙනෙක් උපස්ථායක වූයේය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කකුසන්ධ භාග්‍යවතුන් වහන්සේට උතුම් ලෙස උපස්ථාන කරන්නාවූ බුද්ධිජ නම් භික්ෂු කෙනෙක් උපස්ථායක වූයේය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කොණාගමන භාග්‍යවතුන්වහන්සේට උතුම් ලෙස උපස්ථාන කරන්නාවූ සොත්ථිජ නම් භික්ෂු කෙනෙක් උපස්ථායක වූයේය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට උතුම් ලෙස උපස්ථාන කරන්නාවූ සබ්බමිත්ත නම් භික්ෂු කෙනෙක් උපස්ථායක වූයේය. මහණෙනි, දැන් මට උතුම් ලෙස උපස්ථාන කරන්නාවූ ආනන්ද භික්ෂුතෙම උපස්ථායක වූයේය.

(උපස්ථායක භික්ෂු පරිච්ඡෙද කථායි.)

13.“මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට බන්ධුමාන නම් රජතෙම පිය වූයේය. බන්ධුමතී නම් දේවියක් මව් විය. බන්ධුමාන රජහට බන්ධුමතී නුවර රාජධානිය විය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ සිඛී භාග්‍යවතුන් වහන්සේට අරුණ නම් රජ පිය වූයේය. පභාවතී නම් දේවිය මව් විය අරුණ රජහට අරුණවතී නම් නුවර රාජධානි විය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේට සුප්පතීත නම් රජතෙම පිය විය, යසවතී නම් දේවියක් මව් විය. සුප්පතීත රජහට අනොපම නුවර රාජධානි විය.

“මහණෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධවූ කකුසන්ධ භාග්‍යවතුන් වහන්සේට අග්නිදත්ත නම් බ්‍රාහ්මණතෙම පිය විය. විශාඛා නම් බැමිණිතොමෝ මව් විය. මහණෙනි, ඒ කාලයේදී ඛෙම නම් රජෙක් වූයේය. ඛෙම රජුහට ඛෙමවතී නම් නුවරක් රාජධානි විය.

“මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කොණාගමන භාග්‍යවතුන් වහන්සේට යඤ්ඤදත්ත නම් බ්‍රාහ්මණතෙම පිය වූයේය උත්තරා නම් බැමිණිතොමෝ මව් විය. මහණෙනි, ඒ කාලයෙහී සොභ නම් රජෙක් වූයේය. සොභ රජහට සොභවතී නම් නුවරක් රාජධානි වූයේය.

“මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට බ්‍රහ්මදත්ත නම් බ්‍රාහ්මණතෙම පිය වූයේය. ධනවතී නම් බැමිණිතොමෝ මව් විය. මහණෙනි, ඒ කාලයෙහිදී කිකී නම් රජෙක් වූයේය. කිකී රජහට බරණැස් නම් නුවරක් රාජධානි වූයේය. මහණෙනි, දැන් මට සුද්ධොදන රජතෙම පිය වූයේය. මායාදේවී තොමෝ මව් විය. කපිල වත්ථු නම් නගරයක් රාජධානි විය.”

භාග්‍යවතුන්වහන්සේ මේ කරුණු කීවෝය. තථාගතයන් වහන්සේ පෙර ඇතිවූ ආත්ම භාවයන් සම්බන්ධවූ ධර්ම දේශනාව කර උන් ආසනයෙන් නැගිට වෙහෙරට වැඩියෝය.

(මාතා පිතා පරිච්ඡෙද කථායි.)

14.එවිට භාග්‍යවතුන් වහන්සේ වැඩමකොට ගොස් නොබෝ වේලාවකින් ඒ භික්ෂූන් අතර මේ අතුරුකථාව පහළ විය. “ආයුෂ්මතුනි තථාගතයන් වහන්සේගේ මහත් සෘද්ධිමත් භාවය හා මහත් ආනුභාවය පුදුමයි. පෙර නොවූ, දෙයකි. පිරිනිවන් පෑවාවූ සසර ප්‍රමාද කරන ධර්මයන් කපා දැම්මාවූ කපාදමනලද කුසලාකුසල ධර්ම ඇති සංසාරය අවසාන කල සියලු දුක් කෙළවර කළ අතීත බුදුවරයන් ජාති වශයෙනුත් සිහිකළෝය, ආයුෂ ප්‍රමාණ වශයෙනුත් සිහි කළෝය, ශ්‍රාවක දෙදෙනා වශයෙනුත් සිහිකළෝය, ශ්‍රාවක රැස්වීම් වශයෙනුත් සිහිකළෝය, කෙසේද? ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙවැනි ජාති ඇත්තෝ වූහයි කියාද, මෙවැනි නම් ඇත්තෝයයි කියාද, මෙබඳු ගොත්‍ර ඇත්තෝයයි කියාද, මෙබඳු සිල් ඇත්තෝ යයි කියාද, මාර්ගඵල සමාධි ආදී මෙවැනි සමාධි ඇත්තෝයයි කියාද, මාර්ගඵල ප්‍රඥා අදී මෙවැනි ප්‍රඥා ඇත්තෝයයි කියාද, නිරොධ සමාපත්ති ආදී මෙවැනි විහරණ ඇත්තෝයයි කියාද, මෙවැනි (විමුක්ති) මිදීම් ඇත්තෝයයි කියාද වෙත්.

“ඇවැත්නි, කිමෙක්ද? තථාගතයන් වහන්සේ යම් ඥානයක් මනාකොට අවබොධ කිරීම හේතුකොට ගෙන (පිරිනිවන් පෑවාවූ, කපාදැමූ සසර ප්‍රමාදකරන ධර්මයන් ඇත්තාවූ කපාදමනලද කුසලාකුසල කර්ම ඇති සංසාරය අවසාන කල සියලු දුක් කෙළවර කළ අතීත බුදුරවයන් ජාති වශයෙනුත් සිහිකරති, ආයුෂ ප්‍රමාණ වශයෙන්ද සිහිකරති, ශ්‍රාවක දෙදෙනා වශයෙනුත් සිහි කරති, ශ්‍රාවක රැස්විම් වශයෙනුත් සිහිකරති. කෙසේද? ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙවැනි ජාති ඇත්තෝයයි කියාද, මෙවැනි නම් ඇත්තෝයයි කියාද, මෙබඳු සිල් ඇත්තෝයයි කියාද මාර්ගඵල සමාධි ආදි මෙවැනි සමාධි ඇත්තෝයයි කියාද මාර්ගඵල ප්‍රඥා ආදී මෙවැනි ප්‍රඥා ඇත්තෝ යයි කියාද නිරොධ සමාපත්ති ආදී මෙවැනි විහරණ ඇත්තෝයයි කියාද පස්වැදෑරුම් (විමුක්ති) මිදීම් ඇත්තෝයයි කියාද වෙත්.) ඒ ඥානය තථාගතයන් වහන්සේ විසින්ම අවබොධ කරගන්නා ලද්දේද?

“නැතහොත් දේවතාවෝ තථාගතයන් වහන්සේට මේ කාරණය දැන්නුවාහුද? යම් කාරණයකින් තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවාවූ කපාදැමූ සසර ප්‍රමාදකරන ධර්මයන් ඇත්තාවූ, කපාදමනලද කුසලාකුශල කර්ම ඇති, සංසාරය අවසානකළ සියලු දුක් කෙළවරකළ අතීත බුදුවරයන් ජාති වශයෙනුත් සිහිකරති, නාම වශයෙනුත් සිහි කරති, ගොත්‍රවශයෙනුත් සිහිකරති, ආයුෂ ප්‍රමාණවශයෙනුත් සිහිකරති, ශ්‍රාවක දෙදෙනා වශයෙනුත් සිහිකරති, ශ්‍රාවක රැස්වීම් වශයෙනුත් සිහිකරති, කෙසේද? ඒ භාග්‍යවතුන් වහන්සේලා, මෙවැනි ජාති ඇත්තෝයයි කියාද, මෙවැනි නම් ඇත්තෝයයි කියාද, මෙබඳු ගොත්‍ර ඇත්තෝයයි කියාද, මෙබඳු සිල් ඇත්තෝයයි කියාද, මාර්ගඵල, සමාධි ආදී මෙවැනි සමාධි ඇත්තෝයයි කියාද, මාර්ගඵල ප්‍රඥා ආදී මෙවැනි ප්‍රඥා ඇත්තෝයයි කියාද නිරොධ සමාපත්ති ආදී මෙවැනි විහරණ ඇත්තෝ යයි කියාද, පස්වැදෑරුම් (විමුක්ති) මිදිම් ඇත්තෝයයි කියාද වෙත්. යන මේ අතුරු කථාවකොට නිමවීය.

15.එවිට භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි විවේකයෙන් නැගී සිට කරේරි මණ්ඩපය සමීපයේවූ විවේක ගන්නා ශාලාව යම් තැනකද එතනට පැමිණියෝය. පැමිණ පණවනලද ආශනයෙහි වැඩඋන්නෝය. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ ඒ භික්ෂූන්ට කථාකළෝය. කථාකර, “මහණෙනි, මෙහි තෙපි කිනම් කථාවකින් උන්නහුද, තොපගේ කිනම් කථාවක් කොට කිමකළාහුදැයි” ඇසුවෝය.

මෙසේ ඇසූකල ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීවෝය. “ස්වාමීන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වැඩි නොබෝ වේලාවකින් මෙහි අප අතරෙහි මේ අතුරු කථාව උපන්නේය. එනම්: “ඇවැත්නි, තථාගතයන් වහන්සේගේ මහත් ඍද්ධිමත්භාවය හා මහත් ආනුභාවය පුදුමයි. ඇවැත්නි, පෙර නොවූ දෙයකි පිරිනිවන් පෑවාවූ සසර ප්‍රමාද කරන ධර්මයන් කපා දැම්මාවූ කපා දමනලද කුසලාකුසල කර්ම ඇති සංසාරය අවසාන කළ සියලු දුක් කෙළවර කළ අතීත බුදුවරයන් ජාති වශයෙනුත් සිහි කරන්නාහුය, නාම වශයෙනුත් සිහිකරන්නාහුය, ගොත්‍ර වශයෙනුත් සිහිකරන්නාහුය, ආයුෂ ප්‍රමාණ වශයෙනුත් සිහි කරන්නාහුය, ශ්‍රාවක දෙදෙනා වශයෙනුත් සිහිකරන්නාහුය ශ්‍රාවක රැස්වීම් වශයෙනුත් සිහිකරන්නාහුය. කෙසේද? ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙවැනි ජාති ඇත්තෝ යයි කියාද, මෙවැනි නම් ඇත්තෝයයි කියාද මෙවැනි සිල් ඇත්තෝ යයි කියාද, මාර්ගඵල ආදී මෙවැනි සමාධි ඇත්තෝයයි කියාද, මාර්ගඵල ප්‍රඥාආදී මෙවැනි ප්‍රඥා ඇත්තෝයයි කියාද. නිරොධ සමාපත්තිආදී මෙවැනි විහරණ ඇත්තෝයයි කියාද, මෙවැනි පස්වැදෑරුම් මිදීම් ඇත්තෝ යයිද කියායි.”

“ඇවැත්නි, කිමෙක්ද? තථාගතයන් වහන්සේ යම් ඥානයක් අවබොධ කිරීම හෙතුකොටගෙන පිරිනිවන් පෑවාට සසර ප්‍රමාද කරන ධර්මයන් කපා දැම්මාවූ, කපා දමනලද, කුසලාකුසල කර්ම ඇති සංසාරය අවසාන කළ සියලු දුක් කෙළවර කළ අතීත බුදුවරයන් ජාති වශයෙනුත් සිහි කරන්නාහ, ආයුෂ ප්‍රමාණ වශයෙනුත් සිහිකරන්නාහ, ශ්‍රාවක දෙදෙනා වශයෙනුත් සිහිකරන්නාහ. ශ්‍රාවක රැස්වීම වශයෙනුත් සිහිකරන්නාහ. කෙසේද? ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙවැනි ජාති ඇත්තෝ වූහයි කියාද, මෙවැනි නම් ඇත්තෝයයි කියාද, මෙබඳු ගොත්‍ර ඇත්තෝයයි කියාද, මෙවැනි සිල් ඇත්තෝයයි කියාද, මාර්ගඵල සමාධි ආදි මෙවැනි සමාධි ඇත්තෝයයි කියාද, මාර්ග ඵල ප්‍රඥා ආදි මෙවැනි ප්‍රඥා ඇත්තෝයයි කියාද, නිරෝධ සමාපත්ති ආදි මෙවැනි විහරණ ඇත්තෝයයි කියාද, මෙවැනි පස්වැදෑරුම් මිදීම් ඇත්තෝයයිද කියායි. ඒ ඥානය තමන් වහන්සේ විසින්ම අවබොධකරන ලද්දේද?

“නැතහොත් දෙවතාවෝ තථාගතයන් වහන්සේට මේ කාරණය සැළකළාහුද? යම් කාරණයක් හෙතුකොට ගෙන තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවාවූ කපා දැමූ සසර ප්‍රමාද කරන ධර්මයන් ඇත්තාවූ කපාදමන ලද කුසලාකුසල කර්ම ඇති, සංසාරය අවසාන කළ සියලු දුක් කෙළවර කළ අතීත බුදුවරයන් ජාති වශයෙනුත් සිහි කරති, නාම වශයෙනුත් සිහි කරති. ගොත්‍ර වශයෙනුත් සිහි කරති. ආයුෂ ප්‍රමාණ වශයෙනුත් සිහි කරති, ශ්‍රාවක දෙදෙනා වශයෙනුත් සිහි කරති, ශ්‍රාවක රැස්වීම් වශයෙනුත් සිහි කරති. කෙසේද? ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙවැනි ජාති ඇත්තෝයයි කියාද, මෙවැනි නම් ඇත්තෝයයි කියාද, මෙබඳු ගොත්‍ර ඇත්තෝයයි කියාද, මෙබඳු සිල් ඇත්තෝයයි කියාද, මාර්ගඵල සමාධි ආදි මෙවැනි සමාධි ඇත්තෝයයි කියාද, මාර්ගඵල ප්‍රඥා ආදි මෙවැනි ප්‍රඥා ඇත්තෝයයි කියාද, නිරොධ සමාපත්ති ආදි මෙවැනි විහරණ ඇත්තෝයයි කියාද මෙවැනි පස්වැදෑරුම් මිදීම් ඇත්තෝ යයි කියාද වෙත් යන මේ අපේ අතුරු කථාව ඇතිවූයේය. එකල භාග්‍යවතුන් වහන්සේ පැමිණියෝය’ යි කීවෝය.

16.“මහණෙනි, තථාගතයන් වහන්සේ විසින්ම මේ ඥානය අවබොධකරන ලද්දේය. යම් ඥානයක් අවබොධ කිරීම හෙතුකොටගෙන තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවාවූ කපාදැමූ සසර ප්‍රමාද කරන ධර්මයන් ඇති කපා දමනලද කුසලාකුසල කර්ම ඇති සංසාරය අවසාන කළ සියලු දුක් කෙළවර කළ අතීත බුදුවරයන් ජාති වශයෙනුත් සිහි කරති. නාම වශයෙනුත් සිහි කරති. ගොත්‍ර වශයෙනුත් සිහි කරති. ආයුෂ ප්‍රමාණ වශයෙනුත් සිහි කරති, ශ්‍රාවක දෙදෙනා වශයෙනුත් සිහි කරති, ශ්‍රාවක රැස්වීම් වශයෙනුත් සිහි කරති, කෙසේද? ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙවැනි ජාති ඇත්තෝයයි කියාද, මෙවැනි නම් ඇත්තෝයයි කියාද, මෙබඳු ගොත්‍ර ඇත්තෝයයි කියාද, මෙබඳු සිල් ඇත්තෝයයි කියාද, මාර්ගඵල සමාධි ආදි මෙවැනි සමාධි ඇත්තෝයයි කියාද මාර්ගඵල ප්‍රඥා ආදි මෙවැනි ප්‍රඥා ඇත්තෝයයි කියාද නිරොධ සමාපත්ති ආදි මෙවැනි විහරණ ඇත්තෝයයි කියාද මෙවැනි පස්වැදෑරුම් මිදීම් ඇත්තෝයයි කියාද වෙත්.

“දෙවතාවෝද තථාගතයන් වහන්සේට මේ කාරණය දැන්නුවාහුය. යම් කාරණයකින් තථාගතයන් වහන්සේ පරිනිර්වානයට පැමිණියාවූ කපාදැමූ සසර ප්‍රමාද කරණ ධර්මයන් ඇත්තාවූ කපා දමනලද කුසලාකුසල කර්ම ඇති, සංසාරය අවසාන කළ සියලු දුක් කෙළවර කළ අතීත බුදුවරයන් ජාති වශයෙනුත් සිහි කරත්ද නාම වශයෙනුත් සිහි කරත්ද, ගොත්‍ර වශයෙනුත් සිහිකරත්ද, ආයුෂ ප්‍රමාණ වශයෙනුත් සිහි කරත්ද, ශ්‍රාවක දෙදෙනා වශයෙනුත් සිහි කරත්ද, ශ්‍රාවක රැස්වීම් වශයෙනුත් සිහි කරත්ද කෙසේද? ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙවැනි ජාති ඇත්තෝ වූහයි කියාද, මෙවැනි නම් ඇත්තෝයයි කියාද, මෙබඳු ගොත්‍ර ඇත්තෝයයි කියාද, මෙබඳු සිල් ඇත්තෝයයි කියාද මාර්ග ඵල සමාධි ආදී මෙවැනි සමාධි ඇත්තෝයයි කියාද, මාර්ග ඵල ප්‍රඥා ආදි මෙවැනි ප්‍රඥා ඇත්තෝයයි කියාද, නිරොධ සමාපත්ති ආදි මෙවැනි විහරණ ඇත්තෝයයි කියාද මෙවැනි පස්වැදෑරුම් මිදීම් ඇත්තෝයයි කියාද වෙත්.

“මහණෙනි, තොපි බොහෝ සෙයින්ම පෙර විසීම් පිළිබඳවූ ධර්ම කථාවක් ඇසීමට කැමති නොවන්නහුදැයි” ඇසුවෝය.

17.“යම් හෙතුවකින් භාග්‍යවතුන් වහන්සේ බොහෝ සෙයින් පෙර විසීම් පිළිබඳ ධර්ම කථා කරත් නම්, භාග්‍යවතුන් වහන්ස, මේ ඊට සුදුසු කාලයයි. තථාගතයන් වහන්ස, මේ ඊට සුදුසු කාලයයි. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂුහු සිත්හි දරා ගන්නාහුයයි” කීවෝය.

“මහණෙනි, එසේ නම් අසව්. හොඳින් හිතට ගනිව්. කියන්නෙමි” යි කීවෝය.

“පින්වතුන් වහන්ස, එසේ යහපතැයි” ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නෝය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ දෙශනා කළහ.

18.“මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ යම් කලෙක ලොව පහලවූ සේක්ද ඒ මෙයින් අනූඑක්වෙනි කල්පයයි. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ ජාතියෙන් ක්ෂත්‍රිය වූසේක. ක්ෂත්‍රිය කුලයෙහි උපන්සේක. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ ගොත්‍රයෙන් කොණ්ඩඤ්ඤ නම් වූසේක. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට අසූදහසක් අවුරුදු ආයුෂ ප්‍රමාණවීය මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන්වහන්සේ පළොල්රුක මුලදි චතුස්සත්‍යය අවබොධ කළසේක. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට ඛණ්ඩය තිස්සය යන නම් ඇති ප්‍රධාන ශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට ශ්‍රාවකයන්ගේ රැස්වීම් තුණක් වූයේය. අටසැට ලක්ෂණයක් භික්ෂූන් ඇති එක් ශ්‍රාවක රැස්වීමක් විය. භික්ෂූන් ලක්ෂයක් ඇති එක් ශ්‍රාවක රැස්වීමක් වූයේය. අසූදහසක් භික්ෂූන් ඇති එක් ශ්‍රාවක රැස්වීමෙක් වූයේය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට සියල්ලන්ම රහත්වූ භික්ෂූන්ගෙන් යුක්තවූ මේ ශ්‍රාවකයන්ගේ රැස්වීම් තුණක් වූයේය. මහණෙනි අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට අග්‍ර ලෙස උපස්ථාන කරන්නාවූ අශොක නම් භික්ෂු කෙනෙක් වූයේය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට බන්ධුම නම් රජතෙම පිය වූයේය. බන්ධුමතී නම් දේවී තොමෝ මව් විය. බන්ධුම රජහට බන්ධුමතී නම් නුවර රාජධානි වීය.


බොධිසත්තධම්මතා

19.“මහණෙනි, එවිට විපස්සී බොධිසත්වයන් වහන්සේ තුසිත දෙව්ලොවින් චුතව සිහි නුවණින් යුක්ත වූයේ මව් කුස පිළිසිඳ ගත්තේය. මෙසේ සිහිනුවණින් යුක්තව මව් කුස පිළිසිඳීම බුදුවරයන්ගේ ධර්මතාවකි

20.“මහණෙනි, යම් කලෙක බෝධිසත්වතෙම තුසිත දෙව් ලොවින් චුතව මව් කුස පිළිසිඳගනීද එකල දෙවියන් සහිතවූ මරුන් සහිතවූ බඹුන් සහිතවූ ලොකයෙහිද, මහණ බමුණන් සහිතවූ දෙව්මිනිසුන් සහිතවූ සත්වයන් කෙරෙහිද දෙවියන්ගේ දිව්‍ය ආනුභාවය ඉක්මවා අප්‍රමාණවූ මහත්වූ ආලොකයක් පහළවෙයි. යම් තැනක් මෙසේ මහත් ඍද්ධි ඇති මහත් ආනුභාව ඇති සඳු හිරු දෙදෙන තමන්ගේ ආලොකයෙන් ආලොක නොකරත්ද මහත් ඝනාන්ධකාරයෙන් අඳුරුව පවත්නාවූ යටින් පිහිටීමක් හෝ උඩින් වැසීමක් හෝ නැත්තාවූ ඒ ලොකාන්තරික නිරයෙහිද දෙවියන්ගේ දෙවානුභාවය ඉක්මවා මහත් ආලොකයක් පහළ වන්නේය.

“යම් සත්ව කෙනෙක් එහි උපන්නාහුද ඒ සත්වයෝද ඒ ආලොකයෙන් ඔවුනොවුන් හඳුනත්. පින්වත්නි, යම්සේ මෙහි අපි මහ දුක් විඳිමුද එපරිද්දෙන් දුක් විඳින්නාවූ මෙහි උපන් අන්‍ය සත්වයෝද ඇත්තාහයි කියායි. මේ දශ සහශ්‍රී ලොක ධාතුවද කම්පාවෙයි. ඉතා වැඩිව කම්පාවෙයි. වැඩිව සෙලවෙයි. දෙවියන්ගේ දෙවානුභාවය ඉක්මවා අප්‍රමාණවූ මහත් ආලොකයක් පහළවෙයි මෙයද බුදුවරයන්ගේ ධර්මතාවකි.

21.“මහණෙනි, මේ කියනු ලබන්නේද ධර්මතාවකි. එනම්, යම් කලක බොධිසත්වයන් වහන්සේ මව් කුස පිළිසිඳ ගත්සේක්ද, එකල දිව්‍ය පුත්‍රයෝ සතර දෙනෙක් හතර දිසාව ආරක්ෂාව පිණිස පැමිණෙත්. ඒ බොධිසත්වයන් වහන්සේ හෝ බොධිසත්වයන් වහන්සේගේ මව මනුෂ්‍යයෙක් හෝ අමනුෂ්‍යයෙක් හෝ පාංශු පිශාචාදි අන් කිසිවෙක් නො පෙළාවායි” කියායි. මේද බුදුවරයන්ගේ ධර්මතාවකි

22.“මෙයද ධර්මතාවකි. මහණෙනි, යම් කලෙක බොධිසත්වයන් වහන්සේ මව් කුසට පැමිණියේ වේද, ස්වභාවයෙන්ම බොධිසත්ව මව් තොමෝ සිල් ඇත්තියක් වේ ප්‍රාණඝාතයෙන් වැළැක්කේවෙයි නුදුන් දෙය ගැනීමෙන් වැළැක්කේවෙයි. කාමමිථ්‍යාචාරයෙන් වැළැක්කේවෙයි. බොරු කීමෙන් වැළැක්කේවෙයි, මත්පැන් පාන ආදියෙන් වැළැක්කේවෙයි, මෙයද මෙහි ධර්මතාවකි.

23.“මෙයද ධර්මතාවකි. මහණෙනි, යම් කලක බොධි සත්වයන් වහන්සේ මව් කුසට පැමිණියේ වේද, එකල බොධිසත්වයන් වහන්සේගේ මවට කිසියම් පුරුෂයෙකු කෙරෙහි කාම ගුණ සහිත සිතක් නූපදී.

“රාග සිත් ඇති කිසියම් පුරුෂයෙකු විසින් බොධිසත්වයන් වහන්සේගේ මව් තොමෝ ආශ්‍රය නොකළ හැක්කේවෙයි. මේද ධර්මතාවකි.

24.“මෙයද ධර්මතාවකි. මහණෙනි, යම් කලෙක බොධි සත්වයන් වහන්සේ මව් කුසට පැමිණියේ වේද එකල බොධි සත්ව මව් තොමෝ බොහෝ සම්පත් ලබන්නියක් වේ. ඈ බොහෝවූ සම්පත්තියෙන් යුක්ත කොට හසුරුවයි. මෙයද ධර්මතාවකි.

25.“මෙයද ධර්මතාවකි. මහණෙනි, යම් කලක බොධි සත්වයන් වහන්සේ මව් කුසට ඇතුළත් වූයේ වේද එකල බොධිසත්ව මවුට කිසියම් ආබාධයක් නූපදී. බොධිසත්ව මව සැප ඇත්තියක් වේ. බොධිසත්ව මවු දුර්වල නුවූ ශරීර ඇත්තීම කුස තුළවූ සම්පූර්ණ ඉන්ද්‍රියයන් ඇති සියලු අඟපසඟ ඇත්තාවූ බොධිසත්වයන් දකී.

“මහණෙනි, යහපත්වූ ජාතිමත්වූ අටැස්වූ හොඳින් පිරිසිදු කරන ලද්දාවූ විශෙෂයෙන් හිත් ප්‍රිය කරන සෑම ආකාරයෙන් සම්පූර්ණවූ වෙරළුමැණිකක් යම්සේද ඒ මැණිකේ සිදුරෙහි නිල් නූලක් හෝ රන්වන් නූලක් හෝ රතු නූලක් හෝ සුදු නූලක් හෝ පඬුවන් නූලක් හෝ අමුණන ලද්දේවේද, ඒ නූල සහිත මැණික ඇස් ඇති පුරුෂයෙක් අතට ගෙන නුවණින් පරීක්ෂා කර බලන්නේද, කෙසේද? මේ වෛඩූර්‍ය්‍ය මාණික්‍යය යහපත්ය, යහපත් ජාති ඇත්තේය, අටැස්ස, හොඳින් ඔප දැමීමාදියෙන් සකස් කර තිබේ නිර්මලය, විශෙෂයෙන් හිත් ප්‍රිය කරන්නේය. හැම ආකාරයෙන් සම්පූර්ණය, ඒ මැණිකෙහි මේ නිල් නූල් හෝ මේ රන්වන් නූල හෝ මේ සුදු නූල හෝ මේ පඬුවන් නූල හෝ අමුණන ලද්දේය,’ කියායි.

“මහණෙනි, එසේම යම් කලක බොධි සත්වයන් වහන්සේ මව් කුසට ඇතුළත් වූයේ වේද එකල බොධිසත්ව මවුට කිසියම් ආබාධයක් නූපදී. බොධිසත්ව මවු සැප ඇත්තියක් වේ. බොධිසත්ව මවු දුර්වල නුවූ ශරීර ඇත්තියක්වෙයි. බොධිසත්ව මවු සියලු අඟපසඟ ඇත්තාවූ සම්පූර්ණ ඉන්ද්‍රියයන් ඇති බොධිසත්වයන් දකී. මේද මෙහි ධර්මතාවයි.

26.“මෙයද ධර්මතාවකි. මහණෙනි, බොධිසත්වයන් උපන් සත්වෙනි දිනයෙහි බොධිසත්ව මවු පරලොව යන්නීය. තුෂිත දිව්‍ය ලොකයෙහි උපදී. මේද මෙහි ධර්මතාවයි.

27.“මෙයද ධර්මතාවකි. මහණෙනි, අන්‍ය ස්ත්‍රීහු නව මාසයක් හෝ දස මාසයක් ගැබක් කුසින් උසුලා සිට යම්සේ වදත්ද, එසේ බොධිසත්වයන් නොවදයි. බොධිසත්ව මව බොධිසත්වයන් දසමසක්ම කුසින් උසුලා සිට වදයි. මේද මෙහි ධර්මතාවයි.

28.“මෙයද ධර්මතාවකි. මහණෙනි, යම්සේ අන්‍ය ස්ත්‍රීහු නිදාගෙන හෝ හිඳගෙන හෝ වදත්ද, ඒ ආකාරයෙන් බොධිසත්ව මවු බොධිසත්වයන් නොවදයි. බොධිසත්ව මවු සිටගෙනම බොධිසත්වයන් වදයි. මේද මෙහි ධර්මතාවයි

29.“මෙයද ධර්මතාවකි මහණෙනි යම් කලක බොධිසත්වයෝ මව්කුසින් බිහිවේද, දෙවියෝ පළමුකොට පිළිගනිත්. පසුව මනුෂ්‍යයෝ පිළිගනිත්. මේද මෙහි ධර්මතාවයි.

30.“මෙයද ධර්මතාවකි මහණෙනි, යම් කලක බොධි සත්වයෝ මව් කුසින් නික්මෙත්ද, එකල බෝධිසත්වයෝ පොළොවට නොපැමිණියෝම වෙත්. දෙවිවරු හතරදෙනෙක් ඒ බොධිසත්වයන් පිළිගෙන මෑණියන් ඉදිරියේ තබත්. ‘දේවියනි, ඔබට මහානුභාව ඇති පුතෙක් උපන්නේය’ දේවිය සතුටු වෙයි. මේද මෙහි ධර්මතාවයි.

31.“මෙයද ධර්මතාවකි. මහණෙනි, යම් කලක බොධි සත්වයෝ මව් කුසින් නික්මෙත්ද, එකල පිරිසිදුව නික්මෙති. ලෙයෙන් නොතැවරෙණ ලද්දේ වේ. සෙමෙන් නොතැවරෙන ලද්දේවේ. එසේම අන්‍ය කිසි කැතකුණකින් නොතැවරෙන ලද්දේවේ, සුද්ධවෙයි, පිරිසිදුවෙයි. මහණෙනි, කසීරට රෙද්දක තබනලද්දාවූ මැණික් රත්නයක් යම්සේද, ඒ මැනික්රත්නය කසීරට රෙද්ද ඒ මැණික් කාන්තියෙන් ගැල්වීම නොකෙරේමය. කසීරෙද්ද මැණික් රත්නය රෙද්දේ කාන්තියෙන් ගැල්වීම නොකෙරේමය ඊට හේතුව කුමක්ද? දෙකම පිරිසිදු බැවිනි. මහණෙනි, එසේම යම් කාලයක බොධිසත්වයෝ මව් කුසින් නික්මේද පිරිසිදුවම නික්මෙයි. ලෙයෙන් නො තැවරෙණ ලද්දේවේ. සෙමෙන් නොතැවරෙණ ලද්දේ වේ. එසේම අන්‍ය කිසි කැතකුණකින් නොතැවරෙණ ලද්දේවේ. සුද්ධවෙයි, පිරිසිදු වෙයි. මේද මෙහි ධර්මතාවයි.

32.“මෙයද මහණෙනි, ධර්මතාවකි. යම් කලක බොධි සත්වයෝ මව් කුසින් නික්මෙත්ද එකල බොධිසත්වයන්ගේ හා මවගේ යම් කටයුත්තක් ජලයෙන් කෙරෙත්ද ඒ සඳහා ජලධාරා දෙකක් අහසින් පහළ වෙත්. එයින් එකක් සීත ජලය වෙයි. එකක් උෂ්ණ ජලය වෙයි. මේද මෙහි ධර්මතාවයි.

33.“මෙයද මහණෙනි, ධර්මතාවකි. බොධිසත්වයන් වහන්සේ උපන්කෙණෙහි බ්‍රහ්ම දේව මනුෂ්‍යයන්ගේ අතින් පොළොවට බැස සම පාදයන්ගෙන් පොළොවේ පිහිටා උතුරු දිසාවට අභිමුඛව ශ්වෙතච්ඡත්‍රය දරමින් සත් පියවරක් ඉදිරියට ගමන් කෙරෙයි. සියලු දිසාවන්ද බලයි. ‘මම ලෝකයට අග්‍ර වෙමි. මම ලෝකයට ප්‍රධාන වෙමි. මම ලොකයට උතුම් වෙමි. මේ අවසාන ජාතියයි. දැන් මට මෙයින් මතු නැවත උත්පත්තියක් නැතැයි” යන අභීත වචන කියයි. මෙයද මෙහි ධර්මතාවයි.

34.“මෙයද මහණෙනි, ධර්මතාවකි, යම් කලක බොධිසත්වයෝ මව් කුසින් නික්මෙත්ද, එකල දෙවියන් සහිතවූ මරුන් සහිතවූ බඹුන් සහිතවූ ලෝකයෙහිද මහණ බමුණන් සහිතවූ දෙව් මිනිසුන් සහිතවූ සත්වයන් කෙරෙහිද දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ප්‍රමාණ නොකළහැකි මහත්වූ ආලෝකයක් පහළවේ.

“මහත් ආනුභාව ඇත්තාවූ ඉර හඳ දෙදෙනාටත් ආලෝක කළ නොහැක්කාවූ ගැටීමක් නැති, වැසී නැති, යට පිහිටීමක් නැති, අඳුර ඇත්තාවූ, ගණ අඳුර ඇත්තාවූ යම් ලොකාන්තරික නම් නිරයක් ඇත්තේද, ඒ ලෝකාන්තරික නිරයෙහිද දෙවියන්ගේ දෙවානුභාවය ඉක්මවූ මහත් ආලොකය පහළ වෙයි. ඒ ලොකාන්තරික නිරයෙහි උපන්නාවූ යම් සත්වයෝ වෙත්ද, ඒ සත්වයෝද ඒ ආලොකයෙන් ඔවුන් ඔවුන් දැනගනිත්. කෙසේද? “යම්සේ අපි මෙහි මහ දුක් විඳිමුද, එසේම දුක් විඳින්නාවූ මෙහි උපන් අන්‍ය සත්වයෝද ඇත්තාහුයයි. කියායි. මේ දස දහසක් ලෝකධාතුව කම්පාවෙයි. ඉතා වැඩියෙන් කම්පාවෙයි. වැඩියක් වෙව්ලයි. දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවූ ප්‍රමාණ නොකළ හැකි මහත් ආලෝකයක් පහළවෙයි. මේද මෙහි ධර්මතාවයි.


ද්වත්තිංසමහාපුරිසලක්ඛණා

35.“මහණෙනි, විපස්සී කුමාරයා උපන් කල්හි, ‘දේවයන් වහන්ස, ඔබට පුතෙක් උපන්නේය. දේවයන්, වහන්සේ ඒ පුතු බලනු මැනවයි බන්ධුම රජුහට දැන්වූහ. මහණෙනි, බන්ධුම රජතෙම විපස්සි කුමාරයා දුටුයේය දැක නිමිති දත් බමුණන් කැඳවා මෙසේ කීයේය ‘පින්වත් නිමිති දත් බ්‍රාහ්මණයෝ මේ කුමාරයා බලත්වා’ කියාය. මහණෙනි, නිමිති දත් බ්‍රාහ්මණයෝ විපස්සී කුමාරයා දුටුවාහුය. දැක බන්ධුම රජහට මේ කාරණය කීහ. “දේවයන් වහන්ස, ඔබ වහන්සේ සතුටු සිත් ඇත්තෙක් වුවමැනව. දේවයන්වහන්ස, ඔබවහන්සේට මහා ආනුභාව ඇති පුතෙක් උපන්නේය. යම් බඳුවූ ඔබගේ කුලයෙහි මෙබඳු කුමරෙක් උපන්නේද මහරජ, එය ඔබට ලාභයකි. මහරජ එය ඔබට යහපත් ලාභයකි, දේවයන් වහන්ස, මේ කුමරු දෙතිස් මහ පුරිස් ලකුණෙන් යුක්තය මේ ලකුණෙන් යුක්තවූ මහාපුරුෂයෙකුගේ ගති දෙකක්ම වෙත්. අනික් ගතියක් නොවේ. ඉදින් ගිහිගෙයි වාසයකෙරේ නම් ධාර්මිකවූ සතර මහාද්විපයට අධිපතිවූසියලු සතුරන් දිනන ලද්දාවූ ජනපදයන්හි ස්ථීරවූ රත්න හතකින් යුක්තවූ සක්විති රජෙක්වෙයි. ඒ රජුගේ රත්න හතක් වෙත්. එනම් චක්‍ර රත්නය, අශ්ව රත්නය, මානික්‍ය රත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය, සත්වෙනිවූ පරිනායක රත්නය, (පුත්‍ර රත්නය) යන මොව්හුයි ඔහුට නිර්භීත විර්‍ය්‍ය ඇත්තාවූ පරසේනාව මැඩ පවත්වන්නාවූ දහසකට වැඩි පුත්‍රයෝ වෙත්. ඒ සක්විතිරජ සාගරයෙන් වටකොටඇති මේ පෘථිවිය දඬුවම් කිරීමක් නැතුව ආයුධ නැතුව ධර්මයෙන් ජයගෙන අධිපතිව වාසය කෙරේ ඉදින් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවේ නම් කෙලෙස් නමැති වහළ සිඳ දමා ලොකයෙහි අර්හත් සම්‍යක් සම්බුදු වන්නේය

36.“දේවයන් වහන්ස, මේ කුමාරයා කවර දෙතිස්මහා පුරුෂ ලකුණුවලින් යුක්තද? යම් ලකුණුවලින් යුක්තවූ මහා පුරුෂයෙකුගේ ගති දෙකක්ම වෙත්ද, අනික් ගතියක් නොවේද, එනම් ගිහිගෙයි වාසය කෙරේනම්, ධාර්මිකවූ හතර මහාද්වීපයට අධිපතිවූ සතුරන් දිනන්නාවූ ජනපදයන්ට ස්ථිර වූ රත්න හතෙන් යුක්තවූ සක්විති රජෙක් වෙයි. ඒ රජුගේ රත්න හතක් වෙත්. එනම්, චක්‍රරත්නය, හස්තිරත්නය, අශ්ව රත්නය, මාණික්‍ය රත්නය, ස්ත්‍රි රත්නය, ගෘහපති රත්නය, සත්වෙනිවූ පුත්‍ර රත්නය යන මොව්හුයි ඔහුට නිර්භීත වීර්‍ය්‍ය ඇත්තාවූ පර සේනාව මැඩපවත්වන්නාවූ දහසකට වැඩි පුත්‍රයෝ වෙත්. ඒ සක්විති රජ සාගරයෙන් වටකොට (සිමාවී) ඇති මේ පෘථිවිය දඬුවම් නැතුව ආයුධ නැතුව ධර්මයෙන් ජයගෙන අධිපතිව වාසයකෙරේ. ඉදින් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවේ නම් කෙලෙස් නමැති වැස්ම සිඳ ලෝකයෙහි අර්හත් සම්‍යක් සම්බුදු වන්නේද?

37.“දේවයන් වහන්ස, මේ කුමාරයා යහපත් ලෙස පිහිටි පාද තල ඇත්තේය, දේවයන් වහන්ස, යම් හේතුවකින් මේ කුමාරයා එක පහරින් භුමිය ස්පර්ශවෙන යහපත් ලෙස පිහිටි පාදතල ඇත්තෙක්වේද, මෙය ඒ මහාපුරුෂයාගේ මහාපුරුෂ යයි දැනගන්නා ලක්ෂණවේ. දේවයන්වහන්ස, මේ කුමාරයාගේ යටිපතුල්හි දහසක් දැති (ගරාදි) ඇත්තාවූ නිම්වලලු (වක් අතු) සහිතවූ නාභි (බොස්ගෙඩිය) සහිතවූ සෑම ආකාරයෙන් සම්පූර්ණවූ චක්‍ර දෙකක් හටගත්තාහු වෙත්. දේවයන් වහන්ස යම් හේතුවකින් මේ කුමාරයාගේ යටි පතුල්හි දහසක් දැති ඇත්තාවූ, වක්අතුවලල්ල සහිතවූ බොස්ගෙඩිය සහිතවූ සෑම ආකාරයෙන් සම්පූර්ණවූ චක්‍ර දෙකක් හටගත්තාහු වේද, ඒ මහා පුරුෂයාගේ මහා පුරුෂ ලක්ෂණයක් වේ.

“දේවයන් වහන්ස, මේ කුමාරයාගේ දික්වූ සම්පූර්ණ විලුඹක් ඇත්තේය. මේ කුමාරයාගේ දිඟුවූ අත්පා ඇඟිලි ඇත්තේය. දේවයන් වහන්ස, යම් හේතුවකින් වේද ඒ මහා පුරුෂයාගේ මහා පුරුෂ ලක්ෂණයක් වේ.

“දේවයන් වහන්ස, මේ කුමාරයා මොලොක් ලපටි අත්පා ඇත්තෙකි. මේ කුමාරයා අත්වල ඇඟිලි සතරද පාදයේ ඇඟිලි පසද අගින් සමව විනිවිද පෙනෙන ජාල හස්ත පාද ලක්ෂණයෙන් යුක්තය.

“දේවයන් වහන්ස, මේ කුමාරයා උස්ව සිටි විලුම් ඇත්තෙකි

“දේවයන් වහන්ස, මේ කුමාරයා ඒණිමුවන්ගේ (මුවන් වර්ගයක්) කෙණ්ඩා හා සමාන, සමවූ මසින් වටවූ කෙණ්ඩා ඇත්තෙකි. දේවයන්වහන්ස, මේ කුමාරයා සිට නොනැමී දෙදන (දනහිස්) අතගෑමට සමර්ථය. දේවයන්වහන්ස, මේ කුමාරයා කය තුළ වැද සිටියාවූ පුරුෂ නිමිති ඇත්තේය.

“දේවයන් වහන්ස, මේ කුමාරයා රත්රන් පාට වෙයි. රත්රන් පාට සිහින් සමක් ඇත්තෙකි.

“දේවයන් වහන්ස මේ කුමාරයා සිහින් සිවි ඇත්තෙකි. සිවිය සියුම් බැවින් ශරීරයේ දූවිලි දැලි නොඇලේ. දේවයන්වහන්ස, මේ කුමාරයා එක එක කූපයක එක එක ලොම් ඇත්තෙකි. එක එක ලොම් ලොම කූපයන්හි හටගත්තාහුය.

“දේවයන් වහන්ස, නිල්වූ අඳුන් වැනි පාට ඇති කන් මුදුවක් සේ දකුණට කැරකැවී අග උඩට හැරීගිය ලොම් ඇත්තෙකි. දේවයන්වහන්ස, මේ කුමාරයා බ්‍රහ්ම ශරීරයක්මෙන් කෙලින් පිහිටි ශරීර ඇත්තෙකි.

“දේවයන් වහන්ස, මේ කුමාරයා දෙඅත් පිටය, දෙපා පිටය, දෙඋරය පිටය යන තන්හි පිරුණු මස් ඇත්තෙකි.

“දේවයන් වහන්ස, මේ කුමාරයා සිංහයෙකුගේ මෙන් සම්පූර්ණවූ කයේ උඩු කොටස ඇත්තෙකි.

“දේවයන් වහන්ස, මේ කුමාරයා තුනටියේ සිට උරහිස් දක්වා මස් රොදකින් වැසීගිය පිට මැද ඇත්තෙකි. දේවයන්වහන්ස, මේ කුමාරයා නුග ගසක් මෙන් උසට සරි මහතද මහතට සරි උසද ඇත්තෙකි. ඔහුගේ ශරීරය යම් ප්‍රමාණයක් වේද ඔහුගේ බඹයද එපමණම වේ. ඔහුගේ බඹය යම් පමණද ඔහුගේ ශරීරයද එපමණ වේ. දේවයන්වහන්ස මේ කුමාරයා දිග ද නොවූ කොටද නොවූ යහපත් ලෙස පිහිටි ගෙල (බෙල්ල) ඇත්තේය දේවයන්වහන්ස, මේ කුමාරයා උඩුකුරුව බෙල්ලෙහි බැඳී සිටි සත්දහසක් රස නහර ඇත්තෙකි.

“දේවයන් වහන්ස, මේ කුමාරයා සිංහයෙකුගේ මෙන් පිරුණු හනු දෙකක් ඇත්තෙකි.

“දේවයන් වහන්ස, මේ කුමාරයා දත් හතලිහක් ඇත්තෙකි.

“දේවයන් වහන්ස, මේ කුමාරයා උස් මිටි නොව සමව පිහිටි දත් ඇත්තෙකි

“දේවයන් වහන්ස, මේ කුමාරයා අතර සිදුරු නැති දත් ඇත්තෙකි.

“දේවයන් වහන්ස, මේ කුමාරයා ඉතා සුදු රැස් විහිදෙන දත් ඇත්තෙකි.

“දේවයන් වහන්ස, මේ කුමාරයා දික්වූද පලල්වූද දිවක් ඇත්තෙකි.

“දේවයන් වහන්ස, මේ කුමාරයා කොවුලන්ගේ හඬ මෙන් මිහිරි උතුම් නාදයක් ඇත්තෙකි.

“දේවයන් වහන්ස, මේ කුමාරයා ඉතා නිල් ඇස් දෙකක් ඇත්තෙකි.

“දේවයන් වහන්ස, මේ කුමාරයා වස්සෙකුගේ මෙන් නොගිලුණු නොඉල්පුණු ඇස් ඇත්තෙකි.

“දේවයන් වහන්ස, මේ කුමාරයා දෙබැම මැද නලලෙහි හටගත් සුදුපාට පුළුන් රොදක්සේ මෘදුවූ ඌර්ණ නම් රෝමයක් ඇත්තෙකි.

“දේවයන් වහන්ස, යම් හේතුවකින් මේ කුමාරයා දෙබැම මැද නලලෙහි හටගත් ඌර්ණ නම් රෝමයක් ඇත්තෙක්වීද මේද ඒ මහා පුරුෂයාගේ මහා පුරුෂ ලක්ෂණයක් වෙයි.

“දේවයන් වහන්ස, මේ කුමාරයා නලල් පටක් සහිත හිස ඇත්තේය. නොහොත් දිය බුබුලක් මෙන් වටවූ හිසක් ඇත්තෙකි.

“දේවයන් වහන්ස, යම් හේතුවකින් මේ කුමාරයා දිය බුබුලක් මෙන් වටවූ හිසක් ඇත්තෙක් වේද, මේද ඒ මහා පුරුෂයාගේ මහාපුරුෂ ලක්ෂණයක් වේ.

38.“දේවයන් වහන්ස, මේ කුමාරයා මේ දෙතින් මහ පුරුෂ ලක්ෂණවලින් යුක්තය. යම් ලක්ෂණයන්ගෙන් යුක්ත වූ මහා පුරුෂයෙකුගේ ගති දෙකක්ම වෙත්ද අනික් ගතියක් නොවේද, ඉදින් ගිහිගෙයි වාසය කෙරේ නම් දසකුසල ධර්මය ඇත්තාවූ ධර්මයෙන් රජකම් කරන්නාවූ හතර මහාද්වීපයට අධිපතිවූ සතුරන් දිනන්නාවූ ජනපදයන්ට ස්ථිරවූ රත්න හතෙන් යුක්තවූ සක්විති රජ වෙයි. ඒ රජුගේ මේ රත්න හත වෙත්. එනම්, චක්‍රරත්නය, ඇත් රත්නය, අශ්ව රත්නය මැණික් රත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය හත්වෙනිවූ පුත්‍ර රත්නය යන මොහු වෙත්. ඔහුට නිර්භීතවූ වීර්‍ය්‍ය ඇත්තාවූ සේනා මැඩ පවත්වන්නාවූ පුත්‍රයෝ දහසකට වැඩිවෙත්. ඒ සක්විති රජ සාගරය සීමාකොට ඇති මේ පෘථිවිය දඬුවම් රහිතව ආයුධ රහිතව ධර්මයෙන් ජය ගෙන අධිපතිව වාසය කරයි. ඉදින් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වේනම් ලොකයෙහි රාගාදී කෙලෙස් වැසීම් නසා අර්හත් සම්‍යක් සම්බුදු වෙයිද එවැනි ලක්ෂණයෝයි.


විපස්සීසමඤ්ඤා

39.“මහණෙනි, එවිට බන්ධුම නම් රජ නිමිති දත් බ්‍රාහ්මණයන් අලුත් ඇඳුම් අන්දවා සියලු කැමති දෙයින් සිත් සතුටු කළේය.

“මහණෙනි, එවිට බන්ධුම රජ විපස්සී කුමාරයාට කිරි මවුන් පත්කළේය. වෙනත් ස්ත්‍රීහූ කිරි පොවත්, වෙනත් ස්ත්‍රීහු නාවත්, වෙනත් ස්ත්‍රීහු දරත්, වෙනත් ස්ත්‍රීහු ඇකයෙන් වඩා ගනිත්.

“මහණෙනි, උපන්නාවූ විපස්සී කුමාරයාට රෑ දාවල් දෙකෙහි සේසත (සුදු කුඩය) දැරූහ. ඒ බොධිසත්වයන් සීතල හෝ උෂ්ණය හෝ තණ හෝ දූවිලි හෝ පිනි හෝ පීඩා නොකෙරේවායි කියායි. මහණෙනි, උපන්නාවූ විපස්සී කුමාර තෙම බොහෝ දෙනාට ප්‍රිය වූයේය. හිත සතුටු කරන්නෙක්ද විය.

“මහණෙනි, මහනෙල් මල් හෝ නෙළුම් මල් හෝ සුදු නෙළුම් මල් හෝ යම්සේ බොහෝ දෙනාට ප්‍රියවේද හිත සතුටු කරන්නේ වේද, මහණෙනි, එසේම විපස්සී කුමාරයා බොහෝ දෙනාට ප්‍රිය විය. හිත් සතුටු කරන්නේ විය. ඒ විපස්සී කුමාරයා අතින් අතට උකුලෙන් උකුලට වඩා ගනිමින් පරිහරණය කරණු ලැබේ.

40.“මහණෙනි, උපන්නවූ විපස්සි කුමාරයා සිහින් කටහඬ ඇත්තේද, දක්ෂවූ කටහඬ ඇත්තේද, මිහිරි කටහඬ ඇත්තේද, ප්‍රේම කටයුතු කටහඬ ඇත්තේද විය. මහණෙනි, හිමාල පර්වතයෙහි සිහින් කටහඬ ඇත්තාවූද, දක්ෂ කටහඬ ඇත්තාවූද, මිහිරි කටහඬ ඇත්තාවූද, ප්‍රේම කටයුතු කටහඬ ඇත්තාවූද කරවීක නම් පක්ෂි වර්ගයක් ඇත්තේය. මහණෙනි, ඒ පරිද්දෙන්ම විපස්සී කුමාරයා ඒ කොවුලන්ගේ කටහඬ මෙන් සිහින් කටහඬ ඇත්තේද, දක්ෂ කටහඬ ඇත්තේද, මිහිරි කටහඬ ඇත්තේද, ප්‍රේමනීය කටහඬ ඇත්තේද විය.

“මහණෙනි, උපන්නාවූ විපස්සී කුමාරයාට රෑ දාවල් දෙකෙහි තමන් වටේට යොදුන් සියයක් තැන පෙණේද, එවැනි කර්ම විපාකයෙන් හටගත්තාවූ දෙවියන්ගේ ඇස් වැනි ඇස් ඇත්තේය.

“මහණෙනි, උපන්නාවූ විපස්සී කුමාරයා තව්තිසා දෙවියන් මෙන් ඇස්පිය නොහෙලමින් බලයි. මහණෙනි, කුමාරයා ඇස්පිය නොහෙළා බලයි. යන කාරණයෙන්ම විපස්සී කුමාරයාට විපස්සීය විපස්සීය යන නාමය උපන්නේය.

41.මහණෙනි, එවිට බන්ධුම රජතෙම රාජ්‍යානුශාසනා කරන තන්හි විපස්සී කුමාරයා උකුලේ හිඳුවාගෙන රාජ්‍යානුශාසනා කෙරේ. මහණෙනි, විපස්සී කුමාරයා එකල්හි පිය මහරජුගේ උකුලෙහි ඉඳගෙන විශෙෂයෙන් පරීක්ෂා කරමින් යුක්තිය ලෙස කාරණයන් පෙන්වා දෙයි. මහණෙනි, කුමාරයා පරීක්ෂා කරමින් යුක්තිලෙස කාරණයන් පෙන්වා දෙයි යන මේ කාරණයෙන් වැඩියක් විපස්සීය විපස්සීය යන මේ නාමය උපන්නේය.

42.“මහණෙනි, එවිට බන්ධුම රජතුමා විපස්සී කුමාරයාට ප්‍රාසාද තුනක් කරවීය. එක් ප්‍රාසාදයක් වර්ෂා ඍතුවට සුදුසු වේ. එක් ප්‍රාසාදයක් හිමි ඍතුවව සුදුසු වෙයි එක් ප්‍රාසාදයක් ග්‍රීෂ්ම ඍතුවට සුදුසු වෙයි. සියලු පඤ්චකාම සැපද සම්පූර්ණ කෙළේය. මහණෙනි, එක් කලක විපස්සී කුමාරයා වර්ෂා කාලයට සුදුසුවූ ප්‍රාසාදයෙහි වර්ෂා සාරමාසය මුලුල්ලෙහි, පුරුෂයන් නැති, ස්ත්‍රීන් විසින්ම පවත්වන තූර්‍ය්‍යයෙන්, පිරිවරණ ලද්දේ පහළ තලයට නොබැසම වාසය කෙරේ.”

ජාතික්ඛණ්ඩය නිමියේයි.


ජිණ්ණපුරිසො

43.“මහණෙනි, එකල්හි විපස්සී කුමාර තෙමේ බොහෝ අවුරුදු සිය ගණන් අවුරුදු දහස් ගණන් අවුරුදුගතවීමෙන් පසු රියදුරාට කථාකොට යහලු රියැදුර, හොඳ හොඳ යානාවන් පිළියෙල කරව. උයන දැකීම සඳහා උයනට යන්නෙමුයි කීය. මහණෙනි, ‘දේවයන්වහන්ස, එසේයයි’ රියැදුරු තෙමේ විපස්සී කුමාරයාට පිළිතුරුදී හොඳ හොඳ යානාවන් පිළියෙල කොට විපස්සී කුමාරයාට දැන්වීය. ‘දෙවයන් වහන්ස නුඹ වහන්සේට යානා පිළියෙල කරන ලද්දාහුය.’ යම් ගමනකට කැමැත්තේ නම් දැන් ඊට කාලය දනුමැනවැයි කීය. මහණෙනි, එකල්හි විපස්සී කුමාර තෙමේ හොඳ යානාවකට නැග හොඳ හොඳ යානාවලින් උයන් බිමට පැමිණියේය.

44.“මහණෙනි, උයන් බිමට යන්නාවූ විපස්සී කුමාර තෙමේ ජරාවටගියාවූ ගොනැස්සක් (වකුටුපරාලය) මෙන් නැමූණාවූ මැදින් බිඳුණාවූ සැරයටියක් පිහිට කොට ඇත්තාවූ වෙව්ලමින් යන්නාවූ ලෙඩ සහිතවූ තරුණකම ගතවූ පුරුෂයකු දැක්කේය. දැක රියැදුරාට කථා කළේය. ‘යහළු රියැදුර’ මේ පුරුෂ තෙම කුමක් කරන ලද්දේද, ඔහුගේ කෙස්ද අන්‍යයන්ගේ කෙස් මෙන් නොවෙත්. ඔහුගේ කයද අන්‍ය පුරුෂයන්ගේ කය මෙන් නොවේ, කීයේය ‘දෙවයන් වහන්ස, මෙතෙමේ ජරාවටපැමිණි පුරුෂයෙක්යයි’ කීයේය ‘කිමෙක්ද යහළු රියැදුර, මේ තෙමේ ජරාවට ගිය පුරුෂයෙක්දැයි ඇසීය ‘දේවයන්වහන්ස, එසේය, මෙතෙමේ ජරාවට ගිය කෙනෙක් නම් වේ දැන් ඔහු වැඩි කලක් ජීවත් නොවන්නේයයි’ කීය. ‘යහළු සාරථිය, කිමෙක්ද මමත් ජරාව ස්වභාවකොට ඇත්තෙම්ද? මා විසින් ජරාව නොඉක්මවනලද්දීදැයි, ඇසීය, ‘දෙවයන් වහන්ස, නුඹ වහන්සේද අපිද යන සියල්ලෝම ජරාව ස්වභාවකොට ඇත්තෝ වෙමු. අපවිසින් ජරාව නොයික්මවන ලද්දීයයි’ කීයේය. එහෙනම් අද උයන් ක්‍රීඩාවට යාමෙන් කමක් නැත, දැන්ම ආපසුහැරී ඇතුළුනුවරට රථය ගෙනයවයි’ කීය.

“මහණෙනි, රියදුරුතෙමේ ‘දේවයන් වහන්ස, එසේයයි’ පිළිතුරුදී එතනින්ම ඇතුළු නුවරට ආපසු ගියේය. මහණෙනි, එසේ ඇතුළු නුවරට පැමිණියාවූ විපස්සී කුමාර තෙමේ දුක් සහිත වූයේ නොසතුටු සිත් ඇත්තේ කලකිරුණු සිත් ඇතිව මෙසේ සිතයි. කෙසේද? ‘පින්වත්නි, ඉපදීමට නින්දා වේවා, යම් තැනක උපන්නහුගේ ජරාව පෙනේයයි’ කියායි.

45.මහණෙනි, එකල බන්ධුම රජ රියැදුරාට කථාකොට මෙසේ කීය. ‘රියැදුර, කිමෙක්ද කුමාරයා උයනෙහි ඇලී වාසය කෙළේද, කිමෙක්ද රියැදුර, කුමාරයා උයනෙහි සතුටු සිත් ඇතිව වාසය කෙළේද’ කියායි. ‘දේවයන් වහන්ස, කුමාරතෙමේ උයනෙහි සතුටු සිත් ඇතිව වාසය නොකෙළේ යයි’ කීය. ‘යහළු රියැදුර, උයනට යන්නාවූ කුමාර තෙමේ කුමක් දුටුයේද?’ ‘දේවයන්වහන්ස, උයනට යන්නාවූ කුමාර තෙමේ ජරාවටගියාවූ දෙකට නැමුණුවූ මැදින් බිඳුනාවූ සැරයටියක් පිහිට කොට ඇති වෙව්ලමින් යන ජරාවෙන් පෙළෙන ගතවූ තරුණකම ඇති එක් පුරුෂයකු දිටුවේය. දැක, මට මෙසේ කීයේය. ‘යහළු සාරථිය, මේ පුරුෂතෙමේ කුමක් කරන ලද්දේද? ඔහුගේ කෙස්ද අන්‍යයන්ගේ මෙන් නොවේ. ඔහුගේ කයද අන්‍යයන්ගේ මෙන් නොවේයයි’ කීය. ‘දෙවයන් වහන්ස, මෙතෙමේ ජරාවට ගිය කෙනෙකැයි කීයෙමි’ ‘යහළු රියැදුර, කිමෙක්ද, ඔහු ජරාවට ගිය කෙනෙක් දැයි’ ඇසීය. ‘දෙවයන් වහන්ස, ඔහු ජරාවට ගිය කෙනෙක ඔහු වැඩි කලක් ජීවත් නොවන්නෙකැයි’ කීවෙමි. ‘රියැදුර, මමද ජරාව ඇත්තෙම්ද? මා විසින් ජරාව නොයික්මවන ලද්දී දැයි’ ඇසීය. ‘දෙවයන් වහන්ස, ඔබ වහන්සේද අපිද යන සියල්ලෝම ජරාවට පැමිණෙන්නාහුය. ජරාව නොඉක්මවන ලද්දීයයි’ කියෙමි. ‘යහළු රියැදුර, එසේ නම් අද උයනට යාමෙන් කම් නැත. මෙතැනින් ආපසු ඇතුළු නුවරට රථය ගෙන යවයි’ කීය. ‘දෙවයන් වහන්ස, ‘එසේයයි’ මම විපස්සී කුමාරයාට උත්තරදී එතනින් ඇතුල් නුවරට රථය ගෙන ගියෙමි.

‘දෙවයන්වහන්ස, ඇතුල්නුවරට පැමිණියාවූ කුමාර තෙමේ දුක් සහිත වූයේ නොසතුටු සිත් ඇත්තේ කලකිරී මෙසේ සිතයි. ‘පිංවත්නි, ඉපදීමට නින්දා වේවා. යම්තැනක උපන්නහුගේ ජරාව පෙනේය’ කියායි.


බ්‍යාධිතපුරිසො

46.“මහණෙනි, එකල බන්ධුම රජහට මේ අදහස ඇති විය. ‘කුමාරයා රාජ්‍යය කරන්නෙක්ම වේවා. විපස්සී කුමාරයා ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වන්නෙක් නොවේවා. නිමිති දත් බ්‍රාහ්මණයන්ගේ වචනය සත්‍යනොවේවායි’ කියායි. මහණෙනි, එවිට බන්ධුම රජ බොහෝසෙයින්ම විපස්සී කුමාරයාට පඤ්චකාම සම්පත් ගෙනදුන්නේය. එනම්, යම්සේ විපස්සී කුමාරයා රජය කරවන්නේද, යම්සේ විපස්සී කුමාරයා ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි නොවන්නේද යම්සේ නිමිති දත් බ්‍රාහ්මණයන්ගේ වචනය සත්‍ය නොවන්නේද, එබඳු පස්කම් සැප වෙත්. මහණෙනි, එකල්හි විපස්සී කුමාරයා පස්කම් සැපයෙන් යුක්තවූයේ එයින් ඉන්ද්‍රියයන් පිනවමින් වාසය කරයි.

47.“මහණෙනි, එවිට විපස්සී කුමාරයා බොහෝ අවුරුදු බොහෝ සියගණන් අවුරුදු බොහෝ දහස් ගණන් අවුරුදු පසුවූකල රථාචාර්‍ය්‍යයාට කථාකර මෙසේ කීයේය. “යහලුව සාරථිය, යහපත් යහපත් යානාවන් යොදව. උයන දැකීමට උයන්බිමට යන්නෙමියි” කීයේය. මහණෙනි, ‘දේවයන් වහන්ස, එසේයයි’ ඒ සාරථී විපස්සී කුමාරයාට උත්තරදී යහපත් යානාවන් යොදවා විපස්සී කුමාරයාට දැන් විය. ‘දේවයන් වහන්ස, නුඹවහන්සේට යහපත් යහපත් යානාවෝ යොදන ලද්දාහුය. නුඹවහන්සේ යම් ගමනකට කාලය බව දන්නේ නම් එය කරනු මැනවයි’ ද කීවේය.

48.“මහණෙනි, එවිට විපස්සී කුමාරයා යහපත් යානාවකට නැගී යහපත් යහපත් යානාවලින් උයනට ගියේය. විපස්සී කුමරු උද්‍යානයට යන අතර ලෙඩ ඇත්තාවූ දුක් ඇත්තාවූ දැඩිසේ ලෙඩවූ තමාගේ මල මුත්‍රයෙහි සයනය කරන්නාවූ, අනුන් විසින් නැගිටවනු ලබන්නාවූ අනුන් විසින් සයනය කරවනු ලබන්නාවූ අනුන් විසින් කවනු පොවනු ලබන්නාවූ පුරුෂයෙකු දුටුවේය. දැක සාරථියාගෙන් මෙසේ ඇසුවේය. ‘යහලුව සාරථිය, මේ පුරුෂයා කුමක් කරන ලද්දේද? ඔහුගේ ඇස් අනුන්ගේ ඇස් මෙන් නොවෙත්, ඔහුගේ ශබ්දයද අනුන්ගේ ශබ්දයන් මෙන් නොවේ’ ‘දේවයන් වහන්ස, මොහු ලෙඩ වූවෙක්’ යයි කීයේය. ‘කිමෙක්ද? සාරථිය, මොහු ලෙඩවූවෙක්දැයි’ ඇසුවේය.

‘දේවයන් වහන්ස, මොහු ලෙඩ වූවෙකැයි’ කීවේය. ‘ඒ රෝගයෙන් මිදෙන්නේ නම් ඉතා හොඳයයි’ කීයේය. ‘කිමෙක්ද? යහලු රියැදුර, මමත් ලෙඩවන ස්වභාව ඇත්තෙක් වම්ද? ලෙඩවන ස්වභාව නැති නොකළ කෙනෙක් වෙම් දැයි’ ඇසුවේය.

‘දේවයන් වහන්ස, ඔබවහන්සේද අපිද යන සියල්ලෝම ලෙඩවන ස්වභාව ඇත්තෝවෙමු. ලෙඩවන ස්වභාව නොඉක්මවූවෝ වමු.’

‘යහලුව, සාරථිය, එහෙනම් දැන් උයනට යාමෙන් කම් නැත. මෙතනින්ම ඇතුළු නුවරට ආපසු රථය ගෙනයවයි’ කීයේය.

“මහණෙනි, එකල විපස්සී කුමාරයා ඇතුළුනුවරට ගියේ දුකින්, නොසතුටු සිතින් නොයෙක් ආකාරයෙන් පසුතැවිලි සිතිවිලි සිතයි. මහණෙනි, ‘යම් තැනෙක උපන් අයගේ දිරීම පෙනෙන්නේද, ලෙඩ පෙනෙන්නේද ඒ ඉපදීමට නින්දා වේවායි’ කියායි.

49.“මහණෙනි, එවිට බන්ධුම රජ රියැදුරාට කථාකර මේ කාරණය ඇසුවේය. ‘යහලුව සාරථිය, කිමෙක්ද? කුමාරයා උයනෙහි ඇලුණේද? යහලු සාරථිය, කිමෙක්ද? කුමාරයා උද්‍යානයෙහි සතුටුවූයේදැයි’ ඇසුවේය.

‘දේවයන් වහන්ස, කුමාරයා උයනෙහි නොඇලුණේය. දේවයන් වහන්ස, කුමාරයා උයනෙහිදී සතුටු නොවූයේයයි’ කීවේය

‘යහලුව සාරථිය, කිමෙක්ද කුමාරයා උයනට යන අතර මගදී කුමක් නම් දුටුවේදැයි’ ඇසුවේය.

50.‘දේවයන් වහන්ස, කුමාරයා උයනට යන කල් අතර මගදී ලෙඩ ඇත්තාවූ දුඃඛිතවූ දැඩි ගිලන් බැව් ඇත්තාවූ තමාගේ මලමුත්‍රයෙහි සයනය කරන්නාවූ අනුන් විසින් ඔසවනු ලබන්නාවූ, අනුන් විසින් සයනය කරවනු ලබන්නාවූ, අනුන් විසින් කවනු පොවනු ලබන්නාවූ පුරුෂයෙකු දුටුයේය. දැක මට මෙසේ කීයේය. ‘යහලුව සාරථිය, මේ පුරුෂයා කුමක් කරන ලද්දේද? ඔහුගේ ඇස් අනුන්ගේ ඇස් මෙන් නොවෙත්. ඔහුගේ ශබ්දයද අනුන්ගේ ශබ්දයන් මෙන් නොවේ’ යනුයි.

‘දේවයන් වහන්ස, මොහු ලෙඩ තැනැත්තෙක් යයි’ කීයේය ‘කිමෙක්ද? සාරථිය, මොහු ලෙඩ ඇත්තෙක්දැයි, ඇසුවේය. ‘දේවයන් වහන්ස, මොහු ලෙඩ ඇත්තෙක්වේ. ඔහු ඒ රෝගයෙන් මිදෙන්නේ නම් ඉතා හොඳයයි කීයේය.

‘කිමෙක්ද? යහලු රියැදුර, මමත් ලෙඩවන ස්වභාව ඇත්තෙක්, ලෙඩ නැති නොකළ කෙනෙක් වෙම්දැයි’ ඇසුවේය.

‘දේවයන් වහන්ස, ඔබවහන්සේද අපිද යන සියල්ලෝම ලෙඩ ස්වභාවකොට ඇත්තෝ වමු. ලෙඩ නැති නොකළ ඇත්තෝ වෙමුයයි’ කීයෙමි.

‘යහලුව සාරථිය, එහෙනම් දැන් අද උයනට යාමෙන් කම් නැත. මෙතනින්ම ඇතුළු නුවරට ආපසු රථය ගෙනයවයි’ කීයේය. දේවයන් වහන්ස ‘මම, දේවයිනි ඒ මැනවයි’ විපස්සී කුමාරයාට උත්තරදී එතනින්ම ඇතුළු නුවරට ආපසු ආවෙමි.

‘දේවයන්වහන්ස, ඒ කුමාරයා ඇතුළුනුවරට පැමිණියේ දුක් ඇතුව නොසතුටු සිත් ඇතිව නොයෙක් ආකාරයෙන් පසුතැවිලි සිතිවිලි සිතයි’ මහණෙනි, ‘යම්තැනක උපන්නහුගේ ජරාව පෙනේද ලෙඩවීම පෙනේද එවැනි ඉපදීමට නින්දා වේවායි’ කියායි.


කාලඞ්කතපුරිසො

51.මහණෙනි, එකල බන්ධුම රජහට මේ අදහස ඇති විය. ‘විපස්සි කුමාරයා රාජ්‍යය කරන්නෙක්ම වේවා. විපස්සී කුමාරයා ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවන්නෙක් නොවේවා නිමිතිදත් බ්‍රාහ්මණයන්ගේ වචනය සත්‍යනොවේවායි’ කියායි.

52.මහණෙනි, එවිට බන්ධුම රජ බොහෝසෙයින්ම විපස්සී කුමාරයාට පඤ්චකාම සැප ගෙන දුන්නේය. යම්සේ විපස්සී කුමාරයා රාජ්‍යය කරවන්නේද, යම්සේ විපස්සී කුමාරයා ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි නොවන්නේද, යම්සේ නිමිති දත් බ්‍රාහ්මණයන්ගේ වචනය සත්‍ය නොවන්නේද එබඳු පස්කම් සැපයෙනි.’ මහණෙනි, එහි විපස්සී කුමාරයා පස්කම්සැපයෙන් යුක්තවූයේ ඉන්ද්‍රියයන් පිනවමින් වසයි.

53.“මහණෙනි, එවිට විපස්සී කුමාරයා බොහෝ අවුරුදු බොහෝ සියගණන් අවුරුදු බොහෝ දහස්ගණන් අවුරුදු පසුවූකල රථාචාර්‍ය්‍යයාට කථාකර මෙසේ කීයේය. ‘යහළුව සාරථිය යහපත් යහපත් යානාවන් යොදව. උයන දැකීම සඳහා උයනට යන්නෙමි’ යි කියායි. මහණෙනි, දේවයන් වහන්ස, එසේයයි’ ඒ සාරථි විපස්සි කුමාරයාට උත්තරදී යහපත් යහපත් යානාවන් යොදවා විපස්සී කුමාරයාට දැන් වීය. දේවයන්වහන්ස, නුඹවහන්සේට යහපත් යහපත් යානාවෝ යොදන ලද්දාහුය. යම්ගමනක් සඳහා නුඹවහන්සේ දැන් කාලය බව දන්නේ නම් එය කරනු මැනවයිද’ කීවේය.

“මහණෙනි, එවිට විපස්සී කුමාරයා යහපත් යානාවකට නැගී යහපත් යහපත් යානාවලින් උයනට ගියේය.

54.“මහණෙනි, විපස්සී කුමාරයා උයනට යන කල නොයෙක් රත්නවලින් හා රෙදිවලින් සිවිගෙයක් සාදන්නාවූ මිනිසුන් බොහෝ සමූයක් දුටුවේය. දැක රියැදුරාගෙන් මෙසේ ඇසුවේය. ‘යහලුව සාරථිය, රැස්වූ මේ මහජනයා කුමක් සඳහා නොයෙක් රත්නවලින් හා රෙදිවලින් සිවි ගෙයක් කෙරේදැයි’ ඇසුවේය. ‘දේවයන් වහන්ස, මේ මළමිනියකැයි’ කීය.

‘යහලුව සාරථිය, එමෙන්ම ඒ මලමිනිය යම් තැනකද එතනට රථය ගෙනයවයි’ කීයේය.

‘දේවයන් වහන්ස, එසේ යහපතැයි’ ඒ සාරථියා විපස්සී කුමාරයාට උත්තරදී, මහණෙනි, ඒ මළමිනිය යම් තැනකද එතනට රථය යැවීය.

55.“මහණෙනි, විපස්සී කුමාරයා මළමිනිය දුටුවේය. දැක සාරථියාට කථා කර (මෙසේ) කීයේය. ‘යහලුව, සාරථිය, කිමෙක්ද? මේ මළමිනියක්දැයි’ ඇසීය.

‘දේවයන් වහන්ස, මේ මළමිනියකැයි කීය’ ‘දැන් ඔහුගේ මව් හෝ පියා හෝ අන්‍ය සහ ලේ නෑයෝ හෝ ඔහු නොදකිත්. ඒ මැරුණු තැනැත්තාද මව් හෝ පියා හෝ අන් සහ ලේ නෑයන් හෝ නොදකින්නේය’ ‘යහලුව සාරථිය, කිමෙක්ද? මමත් මරණය ස්වභාව කොට ඇත්තෙම්ද? මරණය නොයික්මවන ලද්දේම්දැයි’ ඇසුවේය.

‘දේවයන් වහන්සේ හෝ, දෙවීන් වහන්සේ හෝ අන්‍යවූ සහ ලේ නෑයෝ හෝ මා නොදකිත්ද? මමත් දේවයන් වහන්සේ හෝ දේවීන්වහන්සේ හෝ අන්‍යවූ සහ ලේ නෑයින් හෝ නොදකින්නෙම්දැයි’ ඇසුවේය.

‘ඔබ වහන්සේද අපිද යන සියල්ලෝ මරණය ස්වභාව කොට ඇත්තෝවෙමු. මරණය වළක්වන ලද්දෝ හෝ නොවෙමුයි’ කීයේය. ‘දේවයන් වහන්සේ හෝ දේවීන් වහන්සේ හෝ අන්‍යවූ සහ ලේ නෑයෝ හෝ ඔබ වහන්සේද නොදකිත්. ඔබවහන්සේද දේවයන් වහන්සේ හෝ දේවීන් වහන්සේ හෝ අන්‍යවූ සහ ලේ නෑයන් හෝ නොදකින්නෙහිය.’

‘යහලුව, සාරථිය, එහෙනම් දැන් අද උයනට යාමෙන් කම් නැත. මෙතැනින්ම ඇතුළු නුවරට ආපසු යන ලෙස රථය පදවයි’ කීයේය.

‘දේවයන් වහන්ස, එසේයයි’ සාරථි තෙම විපස්සී කුමාරයාට උත්තරදී එතනින්ම ආපසු ඇතුළු නුවරට ගියේය. මහණෙනි, එකල ඇතුළුනුවරට පැමිණි විපස්සී කුමාරයා දුක් සහිතව නොසතුටු සිත් ඇතුව නොයෙක් ආකාරයෙන් පසුතැවිලි සිතිවිලි සිතයි. මහණෙනි, ‘යම් තැනක උපන්නහුගේ දිරීම පෙනෙන්නේද, ලෙඩවීම පෙනෙන්නේ ද, මරණය පෙනෙන්නේ ද ඒ ජාතියට නින්දා වේවා’ කියායි.

56.“මහණෙනි, එවිට බන්ධුම රජ රියැදුරාට කථාකර මේ කාරණය කීයේය. ‘යහලුව, සාරථිය, කිමෙක්ද? කුමාරයා උයනෙහි ඇලුණේද? යහලුව සාරථිය කිමෙක්ද? කුමාර තෙම උයනෙහි සතුටු වූයේදැයි’ විචාළේය. ‘දේවයන් වහන්ස, කුමාරතෙම උයනෙහි ඇලුම් නොකෙළේය. දෙවයන් වහන්ස, කුමාරතෙම උයනෙහිදී සතුටු නොවූයේ යයි’ කීයේය. ‘යහළු සාරථිය, කුමාරතෙම උයනට යන අතර මගදී කුමක් දුටුවේදැයි’ විචාළේය.

57.දෙවයන්වහන්ස, කුමාර තෙම උයනට යද්දී නොයෙක් රත්නවලින් හා රෙදිවලින් සිව් ගෙයක් කරන්නාවූ, මහත් ජනසමූහයක් දුටුවේය. දැක, මට මෙසේ කීයේය. ‘යහලුව සාරථිය, මේ මහාජන සමූහය රැස්ව නොයෙක් රත්නවලින් හා රෙදිවලින් කුමක් පිණිස සිවිගෙයක් කරන්නේදැයි’ විචාළේය. ‘දෙවයන් වහන්ස, මේ මළ මිනියකැයි’ කියෙමි. ‘යහලු සාරථිය, එහෙනම් ඒ මළ මිනිය යම් තැනෙක්හිද, එතැනට රථය ගෙන යවයි’ කීයේය ‘දෙවයන් වහන්ස, මමද, දෙවයිනි, ඒ මැනවයි’ විපස්සී කුමාරයන්ට උත්තර දී ඒ මළමිනිය යම් තැනකද එතැනට රථය යැව්වෙමි. දේවයන් වහන්ස, කුමාර තෙමේ ඒ මළමිනිය දුටුයේය. දැක, මට මෙසේ කීයේය. ‘යහලුව, සාරථිය, කිමෙක්ද? මේ මළ කෙනෙක්දැයි විචාළේය.

‘දෙවයන් වහන්ස, මේ මළකෙනෙකි. මව් හෝ පියා හෝ අන්‍යවූ සහ ලේ නෑයෝ හෝ ඔහු නොදකිත්, ඒ මළ තැනැත්තේද මව හෝ පියා හෝ අන්‍යවූ සහ ලේ නෑයන් හෝ නොදක්නේයයි’ කීයෙමි. ‘යහලුව සාරථිය, කිමෙක්ද? මමත් මරණය ස්වභාව කොට ඇත්තෙම්ද? මරණය නොයික්මවන ලද්දෙම්ද?’

‘දෙවයන් වහන්සේ හෝ දෙවීන් වහන්සේ හෝ අන්‍යවූ සහ ලේ නෑයෝ හෝ මා නොදකිත්ද? මමත් දෙවයන් වහන්සේ හෝ දෙවීන් වහන්සේ හෝ අන්‍යවූ සහ ලේ නෑයන් නොදක්නේමදැයි’ විචාළේය. ‘දෙවයන්වහන්ස, ඔබ වහන්සේද අපිද යන සියල්ලෝම මරණය ස්වභාවකොට ඇත්තෝ වම්හ. මරණය නොයික්මවන ලද්දෝ වම්හ. දෙවයන් වහන්සේ හෝ දෙවීන් වහන්සේ හෝ අන්‍යවූ සහ ලේ නෑයෝ හෝ ඔබවහන්සේ නොදක්නාහ. ඔබවහන්සේද දෙවයන් වහන්සේ හෝ දෙවීන් වහන්සේ හෝ අන්‍යවූ සහ ලේ නෑයන් හෝ නොදක්නෙහියයි‘ කීයෙමි. ‘යහලුව සාරථිය, එහෙනම් දැන් උයනට යාමෙන් කම් නැත. මෙතැනින්ම ඇතුළුනුවරට පෙරළා යවයි කීයේය. දෙවයන් වහන්ස’ මම, ‘දෙවයිනි ඒ මැනවැයි’ විපස්සී කුමාරයාට උත්තරදී එතැනින්ම ඇතුළුනුවරට පෙරළා ගියෙමි දෙවයන් වහන්ස ඒ මේ කුමාරතෙම ඇතුළුනුවරට පැමිණියේම දුක් ඇත්තේ නොසතුටු සිත් ඇත්තේ නොයෙක් ලෙසින් විපිළිසර සිතිවිලි සිතයි. ‘පින්වත්නි, යම් තැනක උපන්නහුගේ ජරාව පෙනෙන්නේද, ලෙඩවීම පෙනෙන්නේද, මරණය පෙනෙන්නේද ඒ ජාතියට (උත්පත්තියට) නින්දාවේවායි’ කියායි.


පබ්බජිතො

58.“ඉක්බිති බන්ධුම රජහට මේ අදහස වීය. ‘විපස්සී කුමාරතෙම රාජ්‍යය කෙරේවා. විපස්සී කුමාරතෙම ගිහි ගෙන් නික්ම සස්නෙහි පැවිදි නොවේවා. නිමිති කියන බමුණන්ගේ වචනය බොරු වේවා” යි මහණෙනි, ඉක්බිති බන්ධුම රජතෙම විපස්සී කුමාරයාට බොහෝසෙයින්ම පස්කම් ගුණයන් සැලැස්වීය. කෙසේද? යම්සේ විපස්සී කුමාරතෙම රාජ්‍යය කරවන්නේද? යම්සේ විපස්සී කුමාර තෙම ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි නොවන්නේද, නිමිති කියන බමුණන්ගේ වචන බොරු වන්නේද, එබඳු පඤ්චකාම ගුණයෝයි. මහණෙනි, එකල විපස්සී කුමාරතෙම පස්කම් ගුණයන්ගෙන් පිණා ගියේ, එයින්ම යුක්ත වූයේ ඉන්ද්‍රියයන් හසුරුවාලයි.

59.“මහණෙනි, ඉන්පසු විපස්සී කුමාරතෙම බොහෝ අවුරුදු, බොහෝ සියගණන් අවුරුදු, බොහෝ දහස් ගණන් අවුරුදු පසුවූකල රියැදුරාට කථාකළේය ‘යහලුව සාරථිය, හොඳ හොඳ යානාවන් යොදව, උයන දැකීම පිණිස යන්නෙමි’ යි කීය. ‘දෙවයන්වහන්ස ඒ මැනවැයි’ ඒ රියැදුරුතෙම කුමරුට පිළිතුරුදී හොඳ හොඳ යානාවන් යොදවා, විපස්සී කුමාරයාට දැන්වීය. ‘දෙවයන්වහන්ස, ඔබවහන්සේට හොඳ හොඳ යානාවෝ යොදන ලද්දාහුය. දැන් ඔබවහන්සේ යම් ගමනකට කල් දන්නාසේක් නම් එය කරනු මැනවැයි’ කීයේය. මහණෙනි, එවිට විපස්සී කුමාරතෙම යහපත් යානාවකට නැඟී හොඳ හොඳ යානාවලින් උයනට පිටත්ව ගියේය.

60.“විපස්සී කුමාරයා උයනට යන කල හිස මුඩුකළාවූ පැවිදිවූ කහවස්ත්‍ර ඇඳගත් පුරුෂයෙකු දැක, රියැදුරාගෙන් මෙසේ ඇසුවේය. ‘යහලුව සාරථිය, මේ පුරුෂයා කුමක් කරන ලද්දේද, ඔහුගේ හිස සෙසු අයගේ හිස මෙන් නොවේ. ඔහුගේ ඇඳුම් අන්‍යයන්ගේ ඇඳුම් මෙන් නොවේයයි’ කීයේය.

‘දෙවයන් වහන්ස, මොහු ශ්‍රමණයෙක්යයි’ කීයේය.

‘යහලුව සාරථිය, කිමෙක්ද? මොහු ශ්‍රමණයෙක්දැයි’ ඇසුවේය.

“දෙවයන් වහන්ස, මොහු ධර්මයෙහි හැසිරීම යහපතැයි කියාද, උතුම් පිළිපැදීම යහපතැයි කියාද, කුශලයෙහි හැසිරීම යහපතැයි කියාද, පින් කිරීම යහපතැයි කියාද, සත්ව හිංසා නොකිරීම යහපතැයි කියාද, සත්ව අනුකම්පාව යහපතැයි කියාද, පැවිදි වූයේය’ ‘යහලුව සාරථිය ඔහු ධර්මයෙහි හැසිරීම යහපතියි කියාද, උතුම් පිළිපැදීම් යහපතියි කියාද, කුශලයෙහි හැසිරීම යහපතැයි කියාද, පින් කිරීම යහපතැයි කියාද, සත්ව හිංසා නොකිරීම යහපතැයි කියාද, සත්ව අනුකම්පාව යහපතියි කියා පැවිදි වූයේද? ‘යහලුව සාරථිය, එහෙනම් ඒ ප්‍රව්‍රජිත තෙම යම් තැනකද එතැනට රථය යවවයි’ කීයේය.

“මහණෙනි, ‘දේවයන්වහන්ස, එසේ යහපතියි’ සාරථි තෙම විපස්සී කුමාරයාට උත්තර දී ඒ පැවිදිතෙම යම් තැනකද එතැනට

රථය යැව්වේය. මහණෙනි, එවිට විපස්සී කුමාරයා ඒ ප්‍රව්‍රජිතයාගෙන් මේ කාරණය ඇසුවේය.

‘යහලුව, ඔබ කුමක් කරන ලද්දෙහිද? ඔබගේ හිසද අනුන්ගේ හිසමෙන් නොවේ. ඔබගේ ඇඳුම්ද අනුන්ගේ ඇඳුම් මෙන් නොවේ”

‘දේවයෙනි, මම පැවිදි වූවෙක් නමැයි’ කීයේය. ‘යහලුව, කිමෙක්ද? ඔබ පැවිදි වූවෙක් නම් වෙහිදැයි’ ඇසුවේය. ‘දේවයෙනි, මම ධර්මයෙහි හැසිරීම යහපතැයි කියාද, ඉන්ද්‍රියයන් සංසිඳුවා විසීම යහපතැයි කියාද, කුශලයෙහි හැසිරීම යහපතැයි කියාද, පින් කිරීම යහපතැයි කියාද, සත්ව හිංසා නොකිරීම යහපතැයි කියාද, සත්ව අනුකම්පාව යහපතැයි කියාද පැවිදි වූයෙමි’ යි දැන්වීය.

‘යහලුව, ධර්මයෙහි හැසිරීම යහපතැයි කියාද, සංසිඳී විසීම යහපතැයි කියාද, කුශලයෙහි හැසිරීම යහපතැයි කියාද, පින් කිරීම යහපතැයි කියාද, සත්ව හිංසා නොකිරීම යහපතැයි කියාද, සත්ව අනුකම්පාව යහපතැයි කියාද, පැවිදිවූ ඔබ යහපත්ය’ යි කීයේය.


බොධිසත්තපබ්බජ්ජා

61.“මහණෙනි, එවිට විපස්සී කුමාරයා රථාචාර්‍ය්‍යයාට කථාකොට (මෙසේ) කීයේය. ‘යහලුව, රියැදුර, එහෙනම් රථය රැගෙණ මෙතැනින්ම ඇතුළුනුවරට ආපසු යව. මම හිසකෙස් රැවුල් කපා දමා කහවස්ත්‍ර ඇඳ ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වන්නෙමියි’ කීයේය. මහණෙනි, ‘ඒ යහපත දේවයන් වහන්සැයි’ සාරථියා විපස්සී කුමාරයාට උත්තර දී රථය රැගෙන එතැනින්ම ඇතුළුනුවරට පෙරළා ගියේය. විපස්සී කුමාරයා එහිදීම හිසකෙස් රැවුල් කපාදමා කහවස්ත්‍ර ඇඳ ගිහිගෙයින් නික්ම සස්නෙහි පැවිදි වූයේය.


මහාජනකායඅනුපබ්බජ්ජා

62.“මහණෙනි, බන්ධුමති නම් රාජ්‍යයෙහි අසූහාර දහසක් ප්‍රාණීන්වූ ජන සමූහයා විපස්සී කුමාරයා හිස රැවුල් කපාදමා කහ වස්ත්‍ර හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූයේයයි ඇසුයේය. අසා ඔවුන්ට මේ අදහස ඇතිවිය. ‘විපස්සී කුමාරයා හිස රැවුල් කපාදමා කහ වස්ත්‍ර හැඳ ගිහි ගෙයින් නික්ම යම් සස්නෙක පැවිදි වූයේ නම් ඒ ධර්ම විනය ඒකාන්තයෙන් ලාමක නොවන්නේය. ඒ මහණ වීමද ලාමක නොවන්නේය. විපස්සී නම් කුමාරයා හිස රැවුල් කපාදමා කහ වස්ත්‍රය හැඳ ගිහිගෙයින් නික්ම සස්නෙහි පැවිදි වූයේ නම්, අපි පැවිදි වෙමුය, යනු කියනුම කවරේදැයි, සිතීය.

“මහණෙනි, එකල අසූහාරදාහක්වූ ඒ මහජන සමූහය හිස රැවුල් කපාදමා කහ වස්ත්‍ර හැඳ ගිහිගෙයින් නික්ම සස්නෙහි පැවිදිවූ විපස්සී බොධි සත්වයන් අනුව යමින් පැවිදි වීය.

“මහණෙනි, එකල්හි ඒ මහත් පිරිස විසින් පිරිවරන ලද්දාවූ විපස්සී බොධිසත්ව තෙමේ ගම් නියම් ගම් ජනපද රාජධානීන්හි චාරිකාවෙහි හැසිරෙයි

63.“මහණෙනි, එවිට තනිව විවේකව උන්නාවූ විපස්සී බොධිසත්වයන්හට මෙවැනි කල්පනාවක් පහළ විය. එනම්: ‘මේ සමූහයක් පිරිවරාගෙන වාසය කිරීම මට සුදුසු නොවෙයි මා තනිව සමූහයාගෙන් වෙන්ව වාසය කෙරෙම් නම් යහපති’ කියායි.

“මහණෙනි, එවිට විපස්සී බොධිසත්වයන් වහන්සේ පසු කලකදී තනිව සමූහයෙන් වෙන්ව වාසය කළේය. ඒ අසූහාර දහසක් පැවිද්දෝ අන් මගකින් ගියාහුය. විපස්සී බොධිසත්වයෝ අන් මගකින් ගියාහුය.


බොධිසත්තඅභිනිවෙසො

64.“මහණෙනි, එවිට බෝමැඩ එක් රාත්‍රියක් විසීමට පැමිණියාවූ රහසිගතවූ, තනිව හුන්නාවූ විපස්සී බොධිසත්වයන් වහන්සේට මෙවැනි අදහසක් පහළ වීය. ‘ඒකාන්තයෙන් මේ ලෝවැසි සත්වයා මහත් දුකට පැමිණියේය. උපදින්නේද වෙයි දිරන්නේද වෙයි, මැරෙන්නේද වෙයි. චුතවන්නේද වෙයි, නැවත උපදින්නේද වෙයි. එසේද වුවත් මේ ජරා මරණ දුක් කෙළවර කිරීමක් නොදනී. කෙසේද, කවර කලක මේ ජරා මරණ අවසාන කිරීමක් දකින්නේදැයි:’ කියායි.

65.“මහණෙනි, එවිට විපස්සී බොධිසත්වයන් වහන්සේට මේ අදහස විය. ‘කුමක් ඇති කල ජරා මරණ වේද, කුමක් හෙතුකොට

ගෙන ජරා මරණ දෙක වේදැයි කියායි,

“මහණෙනි, එකල විපස්සී බොධිසත්වයන් වහන්සේට නුවණින් මෙනෙහි කිරීම හෙතුකොටගෙන ඉපදීම ඇති කල ජරා මරණ දෙක වෙයි. ඉපදීම නිසා ජරා මරණ දෙක වේ යයි’ යන මේ ප්‍රඥාවගේ අවබොධය විය.

66.“මහණෙනි, එවිට විපස්සී බොධිසත්වයන් වහන්සේට කුමක් නම් ඇති කල ඉපදීම වේද, කුමක් නිසා ඉපදීම වේදැයි’ මේ කල්පනාව ඇති විය.

“මහණෙනි, එකල විපස්සී බොධිසත්වයන් වහන්සේට (යොනිසො මනස්කාරය) නුවණින් මෙනෙහි කිරීම හෙතු කොට ගෙන, කර්ම භවය (දෙවෙනි භවයෙහි උපදවන කර්මය) ඇති කල ඉපදීම වෙයි, කර්ම භවය නිසා ඉපදීම වේයයි ප්‍රඥාවගේ අවබොධය විය.

67.“මහණෙනි, ඉක්බිත්තෙන් විපස්සී බොධිසත්වයන් වහන්සේට මෙබඳු අදහසක් විය. ‘කුමක් ඇති කල කර්ම භවය වේදැයි කියායි.

“මහණෙනි, එකල විපස්සී බොධිසත්වයන් වහන්සේට නුවණින් මෙනෙහි කිරීම හෙතුකොටගෙන දැඩිසේ අල්වා ගන්නා ආශාව ඇති කල කර්ම බවය වෙයි, දැඩිසේ අල්වා ගන්නා ආශාව නිසා කර්ම භවය වේයයි ප්‍රඥාවගේ අවබොධය වූයේය.

68.“මහණෙනි එවිට විපස්සී බොධිසත්වයන්හට මේ අදහස විය. කුමක් නම් ඇති කල දැඩි ආශාව වේද, කුමක් නිසා දැඩි ආශාව වේදැයි’ කියායි මහණෙනි, එකල විපස්සී බොධි සත්වයන් වහන්සේට නුවණින් සිහිකිරීම හෙතුකොටගෙන ආශාව ඇති කල දැඩි ආශාව වෙයි. දැඩි ආශාව නිසා වේයයි ප්‍රඥාවේ අවබොධය වූයේය.

69.“මහණෙනි, එවිට විපස්සී බොධිසත්වයන් වහන්සේට මේ අදහස ඇතිවිය. ‘කුමක් නම් ඇති කල ආශාව වේද. කුමක් හෙතුකොටගෙන ආශාව වේදැයි’ කියායි

“මහණෙනි, එකල විපස්සී බොධිසත්වයන් වහන්සේට සැප, දුක් විඳීම ඇති කල ආශාව වෙයි. ‘විඳීම හේතුකොට ගෙන ආශාව වේයයි’ නුවණින් මෙනෙහි කිරීමෙන් ප්‍රඥාවගේ අවබොධය වූයේය.

70.“මහණෙනි, එවිට විපස්සී බොධිසත්වයන්ට මේ අදහස ඇතිවිය. ‘කුමක් නම් ඇති කල විඳීම වේද, කුමක් හේතු කොටගෙන විඳීම වේදැයි කියායි.

“මහණෙනි, එකල විපස්සී බොධිසත්වයන්ට නුවණින් මෙනෙහි කිරීමෙන්’ සිත අරමුණෙහි ගැටීම (ස්පර්ශ) ඇති කල්හි වේදනාව වෙයි ස්පර්ශය හේතුකොට වේදනාව වේයයි’ නුවණින් මෙනෙහි කිරීමෙන් ප්‍රඥාවගේ අවබොධය වූයේය.

71.“මහණෙනි, එවිට විපස්සී බොධිසත්වයන්ට මේ අදහස වූයේය. ‘කුමක් නම් ඇති කල සිත අරමුණෙහි ගැටීමවේද? කුමක් හේතුකොටගෙන සිත අරමුනෙහි ගැටීම වේදැයි’ කියායි.

“මහණෙනි, එකල විපස්සී බොධිසත්වයන්ට ‘ඇස, කන, දිව, නාසය, කය, සිත යන දොරටු සය (ෂඩායතනය) ඇතිකල ස්පර්ශය වෙයි. ෂඩායතනය හේතු කොටගෙන ස්පර්ශය වේයයි’ නුවණින් මෙනෙහි කිරීමෙන් ප්‍රඥාවගේ අවබොධය වූයේය.

72.“මහණෙනි, එවිට විපස්සී බොධිසත්වයන්ට මේ අදහස වූයේය. ‘කුමක් නම් ඇති කල ෂඩායතනය වේද, කුමක් හේතුකොටගෙන ෂඩායතනය වේදැයි, කියායි.

“මහණෙනි, එකල විපස්සී බොධිසත්වයන්ට නුවණින් මෙනෙහි කිරීමෙන් නාම රූප (සිත කය) දෙක ඇති කල ආයතන සය (දොරටු) වෙයි නාම රූප (සිත කය) දෙක හෙතුකොටගෙන ආයතන සය වේයයි, නුවණින් මෙනෙහි කිරීමෙන් ප්‍රඥාවේ අවබොධය වූයේය.

73.“මහණෙනි, එවිට විපස්සී බොධිසත්වයන්ට මේ අදහස ඇති විය. ‘කුමක් නම් ඇති කළ නාමරූප දෙක වේද? කුමක් හෙතුකොටගෙන නාමරූප දෙක වේදැයි කියායි.’

“මහණෙනි, එකල විපස්සී බොධිසත්වයන්ට නුවණින් මෙනෙහි කිරීම හේතුකොටගෙන ප්‍රතිසන්ධි විඥානය (උත්පත්තිය ඇති කරන සිත) ඇතිකල නාමරූප දෙක වෙයි, ප්‍රතිසන්ධි විඥානය හේතුකොටගෙන නාමරූප දෙක වේයයි නුවණින් මෙනෙහි කිරීමෙන් ප්‍රඥාවගේ අවබොධය වූයේය.

74.“මහණෙනි, එවිට විපස්සී බොධිසත්වයන්ට මේ අදහස ඇතිවිය. ‘කුමක් නම් ඇති කල්හි විඥානය වේද, කුමක් හෙතුකොටගෙන විඥානය වේදැයි කියායි.’

“මහණෙනි, එකල විපස්සී බොධිසත්වයන්ට නුවණින් මෙනෙහි කිරීම හෙතුකොටගෙන නාම රූප දෙක ඇති කල විඥානය වෙයි, නාමරූප හෙතුකොටගෙන විඥානය වේයයි ප්‍රඥාවගේ අවබොධය වූයේය.

75.“මහණෙනි, එවිට විපස්සී බොධිසත්වයන්ට මේ අදහස ඇතිවිය. ප්‍රතිසන්ධි සිතත් විදර්ශනා සිතත් යන මේ දෙකම නාමරූප දෙකින් වෙන්ව නොපවතියි. මේ ආකාරයෙන් සත්වයෝ උපදින්නාහුද දිරන්නාහුද මැරෙන්නාහුද චුත වන්නාහුද වෙත්. එහෙයින් නාමරූප දෙක විඤ්ඤාණයට හේතුවේ. මෙසේ යම්සේ නාමරූපයන් හේතුකොටගෙන පිළිසිඳගන්නා සිත ඇතිවේද, පිළිසිඳගන්නාසිත හේතුකොට

ගෙන නාම රූප දෙක ඇතිවන්නේය. නාම රූප දෙක හේතු කොටගෙන ඇස ආදි දොරටු සය ඇතිවන්නේය. දොරටු සය හේතුකොටගෙන සිත අරමුණෙහි වැදීම වන්නේය. සිත අරමුණෙහි වැදීම හේතුකොටගෙන තුන් ආකාර වේදනාව වන්නේය, වේදනාව හේතුකොටගෙන උපාදානය (අරමුණු දැඩිකොට අල්වා ගැනීම) වන්නේය. උපාදානය හේතුකොටගෙන ඉපදීම ඇතිකරන කර්මය (කර්ම භවය) වන්නේය. කර්ම භවය හේතුකොටගෙන ජාතිය වන්නේය, ජාතිය හේතුකොටගෙන ජරාව හා මරණයද වන්නේය. ජරා මරණ දෙක හේතුකොටගෙන සොක කිරීමය, වැලපීමය, කයේ දුකය, සිතේ දුකය සොකයෙන් ඇතිවන වෙහෙස (උපායාස) යන මොව්හු පහල වෙත්. මේ ආකාරයෙන් තනි කර දුක් රාශියක්හුගේම පහලවීම වේ.

76.“මහණෙනි, දුක් ඇති කිරීමේ හේතුව දුක් ඇති කිරීමේ හේතුවයයි විපස්සී බොධිසත්වයන් වහන්සේට, මින් පෙර නොඇසූ ධර්මයන් පිළිබඳ දැනීම පහළ විය. ඥානය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලොකය පහළ විය.

77.“මහණෙනි, එවිට විපස්සී බොධිසත්වයන්ට මේ අදහස ඇතිවිය. ‘කුමක් නම් නැති කළ ජරා මරණ දෙක නොවේද. කුමක් නම් නැති කිරීමෙන් ජරා මරණ නැති කිරීම වේදැයි’ කියායි.

“මහණෙනි, එකල විපස්සී බොධිසත්වයන්ට නුවණින් කරුණු සහිතව සිතා බැලීම හේතුකොටගෙන ඉපදීම නැති කල ජරා මරණ දෙක නොවෙයි. ඉපදීම නැතිකිරීමෙන් ජරා මරණ නැතිකිරීමෙන් වේයයි යන ප්‍රඥාවගේ ප්‍රතිවෙධය විය.

78.“මහණෙනි, එවිට විපස්සි බොධිසත්වයන්ට මේ අදහස වූයේය. ‘කුමක් නම් නැති කල ඉපදීම නොවේ ද? කුමක් නැති කිරීමෙන් ඉපදීම නැතිවේදැයි’ කියායී

“මහණෙනි, එකල විපස්සී බොධිසත්වයන්ට නුවණින් මෙනෙහි කිරීමෙන් ‘උත්පත්තියට හේතු වන කර්මය නැති කල ඉපදීම නොවෙයි. උත්පත්තියට හේතුවන කර්මය නැති කිරීමෙන් ඉපදීම නැතිවේයයි’ නුවණින් කල්පනා කිරීමෙන් ප්‍රඥාවෙන් දැකීම ඇතිවිය.

79.“මහණෙනි, එවිට විපස්සී බොධිසත්වයන්ට මේ අදහස ඇතිවූයේය ‘කුමක් නම් නැතිකල උත්පත්තියට හේතුවන කර්මය නොවේද? කුමක් නැති කිරීමෙන් උත්පත්තියට හේතු වන කර්මය නැතිවීම වේදැයි’ කියායි,

“මහණෙනි, එකල විපස්සි බොධිසත්වයන්ට නුවණින් මෙනෙහි කිරීම හේතුකොටගෙන ‘දැඩිසේ අල්වා ගන්නා ආශාව (උපාදානය) නැති කල කර්ම භවය නොවෙයි දැඩිසේ අල්වා ගන්නා ආශාව (උපාදානය) නැති කිරීමෙන් කර්ම භවය නැතිවේයයි’ ප්‍රඥාවෙන් දැකීම ඇතිවිය.

80.“මහණෙනි, එකල විපස්සී බොධිසත්වයන්ට මේ අදහස වූයේය. ‘කුමක් නැති කළ කල දැඩිව අල්වා ගන්නා ආශාව නොවේද? කුමක් නැති කිරීමෙන් දැඩිව අල්වාගන්නා ආශාව නැතිවීම වේදැයි’ කියායි.

“මහණෙනි, එකල විපස්සී බොධිසත්වයන්ට නුවණින් මෙනෙහි කිරීමෙන් ‘ආශාව නැති කල කළ, දැඩි ලොභය නොවෙයි. ආශාව නැති කිරීමෙන් (උපාදාන) තද ඇල්ම නැතිවේයයි’ ප්‍රඥාවෙන් දැකීම පහළ විය.

81.“මහණෙනි, එවිට විපස්සී බොධිසත්වයන්ට මේ අදහස වූයේය කුමක් නම් නැති කල ආශාව නොවේද? කුමකගේ නැති කිරීමෙන් ආශාව නැතිවේදැයි’ කියායි.

“මහණෙනි, එකල විපස්සී බොධිසත්වයන්ට නුවණින් මෙනෙහි කිරීම හේතුකොටගෙන ‘තුන් ආකාර වේදනාව නැති කළ කල ආශාව නොවේය. වේදනාවන්ගේ නැතිකිරීමෙන් ආශාව නැති කිරීම වේවයි’ ප්‍රඥාවෙන් දැකීම ඇතිවිය.

82.“මහණෙනි, එවිට විපස්සී බොධිසත්වයන්ට මේ අදහස වූයේය.’ කුමක්නම් නැතිකල වේදනාව නොවේද? කුමකගේ නැති කිරීමෙන් වේදනා විඳීම නැති වේදැයි කියායි.

“මහණෙනි, එකල විපස්සී බොධිසත්වයන්ට නුවණින් සිහිකිරීම හේතුකොටගෙන ‘අරමුණෙහි සිතගැටීම නැතිකල වේදනාව නොවෙයි අරමුණෙහි සිත ගැටීම නැති කිරීමෙන් වේදනාව නැතිකිරීම වේයයි’ ප්‍රඥාවෙන් දැකීම විය.

83.“මහණෙනි, එවිට විපස්සී බොධිසත්වයන්ට මේ අදහස වූයේය. ‘කුමක් නම් නැති කල අරමුණෙහි සිත ගැටීම නොවේද? කුමක් නැති කිරීමෙන් අරමුණෙහි සිත ගැටීම නැතිවේදැයි’ කියායි.

“මහණෙනි, එකල විපස්සී බොධිසත්වයන්ට නුවණින් සිහිකිරීම හේතුකොටගෙන ‘ෂඩායතනය (ඇස්, කන්, නාසා දිව, ඇඟ, හිත යන දොරටු සය) නැතිකල අරමුණෙහි සිත හැපීම නොවෙයි, දොරටු සය නැති කිරීමෙන් අරමුණෙහි සිත හැපීම නැතිවේයයි’ ප්‍රඥාවෙන් දැකීම විය.

84.“මහණෙනි, එවිට විපස්සී බොධිසත්වයන්ට මේ අදහස ඇතිවූයේය. ‘කුමක් නම් නැති කල ෂඩායතනය (ඇස්, කන්, නාසා, දිව්, ඇඟ, හිත) නොවේද, කුමකගේ සම්පූර්ණ විනාශයෙන් ෂඩායතන (ඇස්, කන්, නාසා, දිව්, ඇඟ, හිත යන දොරටු සය) නැතිවේදැයි’ කියායි.

“මහණෙනි, එකල විපස්සී බොධිසත්වයන්ට නුවණින් සිහි කිරීම හේතුකොටගෙන ‘නාමය හා රූපය නැති කල ෂඩායතනය (ඇස්, කන්, නාසා, දිව්, ඇඟ, හිත) නොවෙයි. නාම රූප විනාශය හේතුකොටගෙන ෂඩායතන (ඇස්, කන්, නාසා, දිව්, ඇඟ හිත) විනාශයවේයයි’ ප්‍රඥාවේ අවබොධයවිය.

85.“මහණෙනි, එවිට විපස්සී බොධිසත්වයන්ට මේ අදහස ඇතිවූයේය ‘කුමක් නම් නැතිකල නාමරූප දෙක නොවේද? කුමකගේ නැතිවීමෙන් නාමරූප දෙක නැතිවේදැයි’ කියායි

“මහණෙනි, එකල විපස්සී බොධිසත්වයන්ට නුවණින් සිහි කිරීම හේතුකොටගෙන ‘ප්‍රතිසන්ධි විඥානය නැති කල නාමරූප නොවෙයි. ප්‍රතිසන්ධි විඥානය නැති කිරීමෙන් නාම රූප දෙක නැතිවේයයි ප්‍රඥාවෙන් දැකීම ඇති විය.

86.“මහණෙනි, එවිට විපස්සී බොධිසත්වයන්ට මේ අදහස ඇතිවූයේය. ‘කුමක් නම් නැති කල විඥානය නොවේද? කුමකගේ නැතිවීමෙන් විඥානය නැතිවේදැයි’ කියායි

“මහණෙනි, එකල විපස්සී බොධිසත්වයන්ට නුවණින් සිහිකිරීම හේතුකොටගෙන නාමරූප දෙක නැතිකල විඥානය නොවෙයි. නාමරූප දෙදෙනාගේ නැතිකිරීමෙන් ප්‍රතිසන්ධි විඥානය විනාශවෙයි. යනු ප්‍රඥාවෙන් දැකීම විය.

87.“මහණෙනි, එවිට විපස්සී බොධිසත්වයන්ට මේ අදහස ඇතිවූයේය. “මා විසින් බුදුවීම පිණිස මේ මාර්ගය අවබොධ කරණ ලද්දේය. එනම් නාමරූප දෙක නැතිවීමෙන් විඥානය නැතිවෙයි විඥානය නැතිවීමෙන් නාමරූප දෙක නැතිවෙයි. නාමරූප දෙක නැතිවීමෙන් (ඇස්, කන්, නාසා, දිව්, ඇඟ, හිත) දොරටු සය නැතිවෙයි. (ඇස්, කන්, නාසා, දිව්, ඇඟ, හිත) දොරටු සය නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි. ස්පර්ශය නැතිවීමෙන් තුන් ආකාර වේදනා නැතිවේ. වේදනා නැතිවීමෙන් තන්හාව නැතිවේ. තන්හාව නැතිවීමෙන් දැඩිකොට ගන්නා ආශාව විනාශවෙයි. දැඩිව ගන්නා ආශාව විනාශවීමෙන් (උත්පත්තිය දෙන) කර්මභවය විනාශවෙයි. භවය විනාශවීමෙන් ජාතිය විනාශවෙයි. ජාතිය (උත්පත්තිය) විනාශවීමෙන් ජරාව සහ මරණ දෙක නැතිවෙයී. එයින් ශෝක කිරීම, වැළපීම, කයේ දුක, සිතේ දුක, තද වෙහෙස යන මොහු උපදින්නේ නැතිවීමෙන් නිදහස් වෙත්. මෙසේ මේ සියලු දුක් රාශියේ උපදින්නේ නැති නිදහස්වීම වෙයි.

“මහණෙනි, නිදහස්වීම, නිදහස්වීමයයි විපස්සී බොධි සත්වයන්ට පෙර නොඇසූ ධර්මය පිළිබඳ ඇස පහළ විය, ඥානය පහළවිය, ප්‍රඥාව පහළවිය, විද්‍යාව පහළවිය, ආලොකය පහළවිය.

88.“මහණෙනි, එවිට විපස්සී බොධිසත්වයෝ පසුව පංචස්කන්ධයෙහි ඇතිවීම හා නැතිවීම, නැවත නැවත නුවනින් සලකමින් වාසය කළේය. කෙසේදයත්, මේ රූපයයි. මේ රූපය ඇතිවීමට හෙතුවයි. මේ රූපයන්ගේ නැතිවීමයි, මේ වේදනාවයි, මේ වේදනාව ඇතිවීමට හෙතුවය, මේ වේදනාවේ නැතිවීමයි. මේ සංඥාවයි, මේ සංඥාව ඇතිවීමට හෙතුවයි. මේ සංඥාවේ නැතිවීමයි. මේ සංස්කාරයෝයි. මේ සංස්කාරයන් ඇතිවීමට හෙතුවයි. මේ සංස්කාරයන් නැතිවීමය. මේ විඥානයයි මේ විඥානය ඇතිවීමට හෙතුවයි. මේ විඥානයේ නැතිවීමයි. මෙසේ පඤ්ච උපාදාන ස්කන්ධයන්ගේ ඇතිවීම හා නැතිවීම නැවත නැවත බලමින් වාසය කරන්නාවූ බොධිසත්වයන්ගේ සිත කාමාදී කෙලෙසුන් කෙරෙන් මිදුනේය.

දෙවෙනි බණවර නිමියේය.


බ්‍රහ්මයාචනකථා

89.“මහණෙනි, එවිට අර්හත්වූ සම්මා සම්බුදුවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට මේ අදහස ඇතිවිය එනම්, මම ධර්මය දෙශනා කරන්නෙම් නම් යහපත්ය යනුයි.

“මහණෙනි, එවිට අර්හත්වූ සම්මා සම්බුදුවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට මේ අදහස ඇතිවිය. මා විසින් අවබොධ කරගත් මේ ධර්මය ගැඹුරුවෙයි, දුකසේ දැක්ක යුතුවෙයි, දුකසේ අවබොධ කටයුතුවෙයි. සාන්තවෙයි, ප්‍රණීත වෙයි, තර්කඥානයෙන් බැසගත නොහැකිවෙයි. සියුම්වෙයි, පණ්ඩිතයන් විසින්ම දතයුතුවෙයි. මේ ජනයා පංචකාම සැපයෙහි කැමතිව වසන්නේය. පංචකාම සැපයෙහි ඇලුනේ වෙයි. පංචකාම සැපයෙන් සතුටු වන්නේය මේ පංචකාමයෙහි කැමති වන්නාවූ, එහි ඇලුනාවූ, එහි ප්‍රීතිමත් වන්නාවූ සත්වයන් විසින් මේ හේතුවෙන් මේ ඵලය වන්නේයයි දක්වන පටිච්ච සමුප්පාද ධර්මය දුකසේ දැක්ක යුතුවෙයි.

“හේතූන් නිසා ඇතිවන ස්වභාවය ඇත්තාවූ සියලු සංස්කාරයන්ගේ සංසිඳීමට හේතුවූ, සියලු කෙලෙස් නැති කිරීමට තණ්හාව නැතිකිරීමට හේතුවූ, නොඇලීමට හේතුවූ, සියලු දුක් නැති කිරීමට හේතුවූ, නිර්වාණය යන යමක් ඇද්ද මේ කාරණයද දුකසේ දැක්ක යුතුවෙයි.

“මම ධර්මය දෙශනා කරන්නෙම් නමුත් අනුන් මගේ ධර්මය අවබොධ නොකරන්නාහු නම් ඒ කටයුත්ත මට වෙහෙසීමක් වන්නේය. ඒ ධර්ම දෙශනාව මට වෙහෙස වන්නීය.

“මහණෙනි, තවද අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට පෙර නොඇසූ මේ අද්භූත ගාථා ඥානයට ගොචර (අසු) වූහ.

“මා විසින් දුකසේඅවබොධ කර ගන්නාලද මේ ධර්මය දැන් දෙශනා කිරීමෙන් ප්‍රයෝජන නැත. රාග ද්‍වෙෂාදීන්ගෙන් පීඩිතවූවන් විසින් මේ ධර්මය හොඳින් අවබොධ කළ නොහැකි වන්නේය. ලොක වාසීන් යන අතට නොගොස් උඩ අතට, යන්නාවූ සියුම්වූ, ගැඹුරුවූ, එහෙයින්ම දුකසේ දැක්ක යුතුවූ, දුකසේ අවබොධ කටයුතුවූ මේ ධර්මය කාම රාගාදීන් ඇලුණාවූ මෝහයෙන් යට කරන ලද්දාවූ සත්වයෝ නොදක්නාහුය’ යනුයි.

“මහණෙනි, මෙසේ මේ ධර්මයේ ගැඹුරු භාවය ගැන සලකන්නාවූ අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ උත්සාහය අඩු බවට නැමුනේය. ධර්ම දෙශනාව පිණිස හිත නොනැමුනේය.

90.“මහණෙනි, එවිට අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ සිත පිළිබඳවූ අදහස් දැනගත් එක්තරා මහා බ්‍රහ්මයෙකුට මේ අදහස ඇති විය. යම් ලොකයක අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ සිත ධර්ම දෙශනාවට උනන්දු නොවේද, ඒ ධර්ම දෙශනාව පිණිස සිත නොනැමේද, ඒකාන්තයෙන් ඒ ලොකය විනාශ වන්නේය. පින්වත්නි, ඒකාන්තයෙන් ඒ ලොකය වැනසෙන්නේය’ කියායි.

“මහණෙනි, එවිට ඒ මහා බ්‍රහ්මතෙම, බලවත් පුරුෂයෙක් නැමූ අත දික් කරන්නේ හෝ දික් කළ අත නමන්නේ හෝ යම්සේද එසේම බඹලොවදී නොපෙනී ගියේ අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි පහළ වූයේය.

91.මහණෙනි, එකල ඒ මහා බ්‍රහ්මතෙම උතුරු සලුව එක අංසයකින් පොරවා දකුණු දණහිස බිම තබා අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හි නම් ඒ දෙසට ඇඟිලි එක්කොට තබා වැඳ අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැලකළේය.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කරණ සේක්වා, සුගතයන් වහන්සේ ධර්මදෙශනා කරනසේක්වා ප්‍රඥා ඇසෙහි ස්වල්පවූ රාගාදී කිලුටු ඇත්තාවූ සත්වයෝ ඇත්තාහ. ධර්මය නොඇසීම හේතුකොටගෙන සත්වයෝ පිරිහෙත්. ධර්මය අවබොධකර ගන්නෝ ඇතිවන්නාහයි’ කියායි.

92.“මහණෙනි, මෙසේ ආරාධනා කළ කල අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ ඒ මහා බ්‍රහ්මයාට මේ කාරණය වදාළෝය. බ්‍රහ්මය, මම ධර්මදෙශනා කරන්නෙම් නම් යහපත්යයි මට මේ අදහස ඇතිවිය. බ්‍රහ්මය, මා විසින් අවබොධ කරනු ලැබූ මේ ධර්මය ගැඹුරුවෙයි, එහෙයින්ම දුකසේ අවබොධ කටයුතුවෙයි. ශාන්තයි, ශ්‍රෙෂ්ඨ වෙයි, තර්ක ඥානයෙන් බැසගත නොහැකිවෙයි, සියුම්වෙයි, පණ්ඩිතයින් විසින්ම දතයුතුවෙයි

“මේ ජනයා පංචකාම සැපයෙහි කැමතිව වාසය කරන්නේය. පංචකාම සැපයෙහි ඇලුණේය, පංචකාම සැපයෙහි සතුටු වන්නේය. මේ පංචකාමයට කැමතිව එහි ඇලුනාවූ එහි සතුටු වන්නාවූ සත්වයන් විසින් පටිච්ච සමුප්පාද ධර්මය යන මේ කාරණය දුකසේ දැක්ක යුතුවෙයි. සියලු සංස්කාරයන්ගේ සංසිඳීමට හේතුවූ, තන්හාව නැති කිරීමට හේතුවූ රාගාදී කිලුටු නැත්තාවූ නිර්වාණය යන යමක් ඇද්ද මේ කාරණයද දුකසේ දැක්ක යුතුවෙයි. මම ධර්මය දෙශනා කරන්නෙම් නමුත් අනුන් මගේ ධර්මය අවබොධ නොකරන්නාහු නම් ඒ කටයුත්ත මට වෙහෙසීමක් වන්නේය ඒ ධර්මදෙශනාව මට වෙහෙස වන්නීය.

“මහණෙනි, තවද අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට පෙර නොඇසූ මේ අද්භූත ගාථා ඥානයට (ගොචර) පහළ විය.

මා විසින් දුකින් අවබොධ කරගන්නාලද ධර්මය දැන් දෙශනා කිරීමෙන් ප්‍රයෝජන නැත. රාග ද්‍වෙෂාදීන්ගෙන් පීඩිතවූවන් විසින් මේ ධර්මය හොඳින් අවබොධ කළ හැකි නොවන්නේය. උඩු අතට යන්නාවූ සියුම්වූ ගැඹුරුවූ එහෙයින් දුකසේ දැක්ක යුතුවූ දුකසේ අවබොධ කටයුතුවූ ඉතා උතුම්වූ ධර්මය කාමරාගාදීන් ඇළුණාවූ මෝහයෙන් යට කරණලද්දාවූ සත්වයෝ නොදක්නාහුයයි කියායි

“බ්‍රහ්මය, මෙසේ ධර්මයේ ගැඹුරු භාවය ගැන සලකන්නාවූ මාගේ සිත උනන්දු නැති බවට නැමුනේය. ධර්ම දෙශනාව පිණිස සිත නොනැමුනේය.

“මහණෙනි, දෙවනුවද ඒ මහා බ්‍රහ්මතෙම අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සීභාග්‍යවතුන්වහන්සේට මේ කාරණය සැළකළේය ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ධර්මදෙශනා කරන සේක්වා. සුගතයන් වහන්සේ ධර්මදෙශනා කරන සේක්වා. ප්‍රඥා ඇසෙහි ස්වල්පවූ රාගාදී කිලුටු ඇත්තාවූ සත්වයෝ ඇත්තාහ. ධර්මය නොඇසීම හේතුකොටගෙන සත්වයෝ පිරිහෙත්. ධර්මය අවබොධ කරගන්නෝ ඇති වන්නාහයි’ කියායි.

“මහණෙනි, තුන්වෙනි වරද ඒ මහාබ්‍රහ්මතෙම අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළකළේය. ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ධර්මදෙශනා කරනසේක්වා සුගතයන් වහන්සේ ධර්මදෙශනා කරනසේක්වා. ප්‍රඥා ඇසෙහි ස්වල්පවූ රාගාදී කිලුටු ඇත්තාවූ සත්වයෝ ඇත්තාහ. ධර්මය නොඇසීම හේතුකොට ගෙන සත්වයෝ පිරිහෙත්. ධර්මය අවබෝධ කරගන්නෝ ඇති වන්නාහ’යි කියායි.

93.“මහණෙනි, එවිට අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ ඒ මහාබ්‍රහ්මයාගේද ආරාධනාව දැන සත්වයන් කෙරෙහි කරුණාභාවයද නිසා බුද්ධඥානයෙන් ලොව බැලුවෝය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ බුද්ධඥානයෙන් ලොව බැලුකල ස්වල්පවූ කෙලෙස් ඇත්තාවූද මහත් ක්ලේශයන් ඇත්තාවූ තියුණුවූ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන් ඇත්තාවූද මඳවූ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන් ඇත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද යහපත් ආකාර ඇත්තාවූද අයහපත් ආකාර ඇත්තාවූද සුවසේ අවබොධ කළ හැක්කාවූද, දුකසේ අවබොධ කටයුතුවූද සත්වයන්ද, පරලොව සහ වරදෙහි බිය දක්නාවූ සමහර සත්වයන්ද දුටුවෝය.

“මානෙල් විලක හෝ නෙළුම්විලක හෝ සුදු නෙළුම්විලක හෝ වතුරෙහි හටගත්තාවූ වතුරෙහි වැඩුනාවූ වතුරෙන් උඩ නොනැංගාවූ වතුරට යටව වැඩෙන්නාවූ සමහර මානෙල් හෝ සමහර නෙළුම් හෝ සමහර සුදු නෙළුම් හෝ යම්සේද, වතුරෙහි හටගත්තාවූ වතුරෙහි වැඩුනාවූ වතුරමට්ටමට සමව සිටියාවූ සමහර මානෙල් හෝ නෙළුම් හෝ සමහර සුදුනෙළුම් හෝ යම්සේද, වතුරෙහි හටගත්තාවූ වතුරෙහි වැඩුනාවූ සමහර මානෙල් හෝ සමහර නෙළුම් හෝ සමහර සුදුනෙළුම් හෝ වතුරෙන් උඩනැගී යම්සේ සිටිද්ද, මහණෙනි, එසේම අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ බුද්ධ ඥානයෙන් ලොව බලා වදාරණසේක් ප්‍රඥා ඇසෙහි ස්වල්පවූ රාගාදී කිලුටු ඇත්තාවූද, මහත්වූ රාගාදී කිලුටු ඇත්තාවූද, තියුණු ඉඳුරන් ඇත්තාවූද, මෘදු ඉඳුරන් ඇත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, නපුරුගති ඇත්තාවූද, යහපත් ආකාර ඇත්තාවූද, අයහපත් ආකාර ඇත්තාවූද, සත්වයන්ද පරලොව සහ වරදෙහි බය දකින ස්වභාව ඇතිව වාසය කරන්නාවූ සමහර සත්වයන්ද දුටුවෝය.

94“මහණෙනි, එවිට ඒ මහා බ්‍රහ්මතෙම අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ සිත පිළිබඳව අදහස් දැනගෙන, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට ගාථාවලින් මෙසේ සැලකළේය.

“යම්සේ ඝන ගල් පර්වතයක් මුදුනේ සිටියාවූ පුරුෂයෙක් ඒ පර්වතය වටේ සිටියාවූ ජනසමූහයා සුවසේ දකීද, යහපත් ප්‍රඥා ඇත්තාවූ හැමතැනම පෙනෙන ඇසක් වැනි වූ සර්වඥතාඥානය ඇත්තාවූ භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේද ඒ ගල්පර්වතය වැනි ප්‍රඥා ප්‍රාසාදයට නැඟී ඔබවහන්සේ සෝක දුරුකළ බැවින් සෝකයෙහි වැටුනාවූ ජාති, ජරා ආදියෙන් මිරිකී සිටින්නාවූ ජනසමූහයා ප්‍රඥාවෙන් නැවත නැවත පරීක්ෂා කරනු මැනව. දිනනලද ක්ලේශ කාමාදී යුද්ධ ඇති ජාති කාන්තාරාදියෙන් සත්වයන්නිර්වාන නමැති ශාන්ත මාර්ගයට පමුණුවන්නාවූ, කාම තෘෂ්ණාව නමැති ණය නැත්තාවූ මහා වීරයන්වහන්ස, නැගිටිනු මැනව, ලෝකයෙහි හැසිරෙනු මැනව. භාග්‍යවතුන් වහන්ස, ධර්ම දෙශනා කරනු මැනව. ධර්මය අවබොධ කරගන්නෝ ඇතිවන්නාහු යයි” සැලකළේය.

95.එවිට අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ ඒ මහා බ්‍රහ්මයාට ගාථාවකින් උත්තර දුන්නෝය

“බ්‍රහ්මය, යම් කෙනෙක් ධර්මය අසන්නෝ නම් ඔවුන්ට අමෘතයට පැමිණෙන දොරටුව මා විසින් ඇර තබන ලද්දේය. සියලු සත්වයෝ ශ්‍රද්ධාව පහළ කෙරෙත්වා බ්‍රහ්මය, ධර්ම දෙශනාවට මට (කාය වාක්) වෙහෙස පැමිණේය යන අදහසින් ප්‍රගුණවූ ශ්‍රෙෂ්ඨවූ ධර්මය මනුෂ්‍යයන්ට නොකීයෙමියි” කීවෝය.

“මහණෙනි, එවිට ඒ මහාබ්‍රහ්මතෙම ‘අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මදෙශනාව පිණිස මම ඉල්ලනලද අවසර ඇත්තෙමියි’ අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ හොඳින් වැඳ (පැදකුණුකොට) ගෞරවයෙන් දකුණු පැත්තෙන් ගොස් ඒ අජපල් නුගගහ සමීපයේදීම නොපෙනී ගියේය.


අග්ගසාවකයුගං

96.“මහණෙනි, එකල අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන්වහන්සේට මේ අදහස ඇතිවිය. ‘මම කවරෙකුට නම් මුලින් ධර්මදෙශනා කරන්නෙම්ද? කවරෙක් නම් ධර්මය වහා දැනගනීද?” යනුයි.

“මහණෙනි, එවිට අර්හත් සම්‍යක්සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට මේ අදහස ඇතිවිය. ‘පණ්ඩිතවූ සමත්වූ ප්‍රඥා ඇත්තාවූ බොහෝ කලක් මුළුල්ලෙහි ප්‍රඥා ඇසෙහි ස්වල්පවූ රාග ආදී කිලුටු ඇත්තාවූ රාජපුත්‍රවූ මේ ඛණ්ඩ තෙමද පුරොහිත බමුණාගේ පුත්‍රවූ තිස්ස තෙමද යන දෙදෙනා බන්ධුමතී නම් රාජ්‍යයෙහි වාසය කෙරෙත්. මම ඛණ්ඩ නම් රාජ පුත්‍රයාට හා තිස්ස නම් පුරොහිත පුත්‍රයාටත් පළමුකොට ධර්මදෙශනා කරන්නෙම් නම් ඉතා යහපති ඔව්හු මේ ධර්මය වහාම අවබොධ කරගන්නාහුයයි’ යනුයි.

97.“මහණෙනි, එවිට අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ බලවත් පුරුෂයෙක් නැමුවාවූ අතක් දික්කරන්නේ හෝ යම්සේද දික්කළ අතක් නමන්නේ හෝ යම්සේද එමෙන්ම බෝගහ සමීපයෙහිවූ අජපල් නුගගහ මුලදී නොපෙනී ගොස් බන්ධුමතී රාජ්‍යයෙහිවූ මුවන්ට ජීවිත දානය පිණිස දෙන ලද ඛෙම නම් උයනෙහි පහළවූහ. මහණෙනි, එවිට අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ උයන බලාගන්නාට කථාකර මෙසේ කීවෝය. ‘යහලු උයන්පාලය, මෙහි එව, නුඹ බන්ධුමතී රාජධානියට ගොස් ඛණ්ඩ රාජපුත්‍රයාට හා තිස්ස නම් පුරොහිත පුත්‍රයාටත් මෙසේ කියව.

‘ස්වාමීනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ බන්ධුමතී රාජධානියට වැඩියෝය. මුවන්ට ජීවිත දානය පිණිස දුන් ඛෙම නම් උයනෙහි වාසය කරන්නෝය. ඒ භාග්‍යවතුන් වහන්සේ ඔබතුමන්ලා දැකීමට කැමැත්තෝය’ යනුයි.

‘ස්වාමීන් වහන්ස, යහපතැයි’ උයන්පාලයා අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන්වහන්සේට උත්තරදී බන්ධුමතී රාජධානියට ගොස් ඛණ්ඩ රාජපුත්‍රයාට හා තිස්ස නම් පුරෝහිත පුත්‍රයාටත් මේ කාරණය දැන්වීය. ‘ස්වාමීන් වහන්ස, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ බන්ධුමතී රාජධානියට පැමිණ මුවන්ට ජීවිත දානය පිණිස දුන් ඛෙම නම් උයනෙහි වාසයකරන්නෝය. ඒ භාග්‍යවතුන් වහන්සේ ඔබතුමන්ලා දැකීමට කැමැත්තෝය’ යනුයි.

98.“මහණෙනි, එවිට ඛණ්ඩ නම් රාජපුත්‍රයාද තිස්ස නම් පුරොහිත පුත්‍රයාද යහපත් යහපත් යානාවන් යොදවා යහපත් යානාවකට නැගී යහපත් යහපත් යානාවලින් බන්ධුමතී රාජධානියෙන් පිටත්ව ගියාහුය. මුවන්ට ජීවිත දානය පිණිස දෙනලද ඛෙම නම් උයන යම් තැනකද එතැනට ගියාහුය. යානාවෙන් යාහැකි භූමිය යම්පමණද එපමණ තැන යානාවෙන් ගොස් යානාවෙන් බැස අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන්වහන්සේ යම් තැනකද එතැනට පයින්ම පැමිණියාහුය. පැමිණ අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ හොඳාකාර වැඳ එකපැත්තක උන්හ

“අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට පිළිවෙළ කථාව කීවෝය. එනම්ත දාන කථාය, ශීල කථාය, ස්වර්ග කථාය, කාමයන්ගේ දොෂය, ලාමක බවය, කෙලෙසෙන බවය (නෛෂ්ක්‍රම්‍යයෙහි) පැවිදිවීමෙහි අනුසස්ද ප්‍රකාශ කළෝය. යම් කලෙක භාග්‍යවතුන් වහන්සේ ඔවුන් යහපත් සිත් ඇතියන් බවද, මෘදු සිත් ඇතියන් බවද, (නිවනට) බාධාකරණ කරුණුවලින් පහවූ සිත් ඇතියන් බවද, ප්‍රීතිමත් සිත් ඇතියන් බවද, ප්‍රසන්න සිත් ඇතියන් බවද දැනගත්සේක්ද එකල බුදු වරයන් වහන්සේලා තමන් ඔසවා දැක්වූ දුකය, දුකට හේතුවය, දුක් නැතිවීමය, ඊට මගය යන තමන්වහන්සේම අවබොධ කළ යම් ධර්ම දේශනාවක් ඇත්තීද එය ප්‍රකාශ කළේය.

“යම්සේ පහවූ කලුපාට ඇති පිරිසිදුවූ රෙද්දක් හොඳට සායම අල්වා ගන්නේද, එසේම චණ්ඩරාජ පුත්‍රයාට හා තිස්ස නම් පුරොහිත පුත්‍රයාටත් ඒ අස්නෙහිදීම පහවූ කෙලෙස් නමැති දූවිලි ඇති, පහවූ රාගාදී කිලුටු ඇති ධර්ම ඇස පහළ වූයේය. කෙසේදයත් යම් කිසිවක් (සමුදය) හටගන්නා ස්වභාවය ඇත්තේ වේද ඒ සියල්ල වැනසීම ස්වභාව කොට ඇත්තේය’ කියායි,

99.“දක්නාලද ධර්ම ඇත්තාවූ, පැමිණි මාර්ග ධර්ම ඇත්තාවූ, දන්නාලද ධර්ම ඇත්තාවූ, සෑම ආකාරයෙන් ඥානයෙන් බැසගත් ධර්ම ඇත්තාවූ, සැක දුරුකළාවූ බය නැති බවට පැමිණියාවූ, අන්‍ය ගුරුවරයන් කෙරෙහි ඇදහීමක් නැත්තාවූ ඔව්හු අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය දැන්වූහ. භවද්, ගෞතමයන් වහන්ස, යටිකුරු කරන ලද්දක් උඩුකුරු කර තබන්නේ හෝ යම්සේද, තණකොළ ආදියෙන් වසන ලද්දක් එලිදරව් කොට දක්වන්නේ හෝ යම්සේද, මංමුළා වූවෙකුට මග කියන්නේ හෝ යම්සේද, ඇස් ඇත්තෝ රූපයන් දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දරන්නේ හෝ යම්සේද එපරිද්දෙන්ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ප්‍රකාරයෙන් ධර්මය දෙශනා කරන ලද්දේය. ස්වාමීන් වහන්ස, මේ අපි භාග්‍යවතුන් වහන්සේද ධර්මයද පිහිට කොට යමු ස්වාමීන් වහන්ස, අපි භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මහණ වන්නෙමු. උපසම්පදාවද ලබන්නෙමුයි’ සැලකළෝය.

100.“මහණෙනි, රාජ පුත්‍රවූ ඛණ්ඩ තෙමේද පුරොහිත පුත්‍රවූ තිස්ස තෙමේද යන දෙදෙන අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන්වහන්සේගේ සමීපයෙහි මහණකමලැබූහ. උපසම්පදාව ලැබූහ. අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන්වහන්සේ ඔවුන්ට ධර්ම කථාවෙන් කරුණු දැක්වූවෝය. එය අවබොධ කරවූහ. එහි තෙද ගැන්වූවෝය. එහි වැඩියක් සතුටු කළාහුය. සංස්කාරයන්ගේ දොෂයද, ලාමක බවද, කෙලෙසන බවද, නිර්වාණයෙහි අනුසස්ද ප්‍රකාශ කළෝය. අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ ධර්ම කථාවෙන් කරුණු දක්වනු ලබන්නාවූ, එහි අවබොධය කරනු ලබන්නාවූ එහි තෙද ගන්වනු ලබන්නාවූ එහි පහදවනු ලබන්නාවූ ඒ ඛණ්ඩරාජ පුත්‍ර තිස්ස පුරෝහිත පුත්‍ර දෙදෙනාගේ සිත් නොබෝ කලකින්ම කාමාදී ආශ්‍රවයන් කෙරෙන් මිදුනාහ.


මහාජනකායපබ්බජ්ජා

101.“බන්ධුමතී රාජධානියෙහි අසූහාර දාහක් මහජන සමූහයා අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ බන්ධුමතී රාජධානියට පැමිණ මුවන්ට ජීවිත දානය පිණිස දෙනලද ඛෙම උයනෙහි වාසය කරන්නේයයිද ඛණ්ඩ රාජ පුත්‍රයාද තිස්ස පුරෝහිත පුත්‍රයාද අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි හිස කෙස් රැවුල් කපාදමා කහ වස්ත්‍රයන් ඇඳ ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහුයයි ඇසූයේය. අසා ඔවුන්ට මේ අදහස ඇතිවිය. යම් සසුනෙක ඛණ්ඩ නම් රාජ පුත්‍රයා හා තිස්ස නම් පුරොහිත බමුණු පුත්‍රයා හිසකෙස් රැවුල් කපා දමා කහ වස්ත්‍ර හැඳ ගිහිගෙන් නික්ම මහණ වූවාහු නම් ඒකාන්තයෙන් ඒ ශාසනය ලාමක නොවේමය. ඛණ්ඩ රාජ පුත්‍රතෙමේද තිස්ස පුරෝහිත පුත්‍ර තෙමේද හිසකෙස් රැවුල් කපාදමා කහ වස්ත්‍ර හැඳ ගිහිගෙයින් නික්ම සසුනෙහි මහණ වන්නාහු නම් අපි මහණ වෙමු යනු කියනුම කවරේ දැයි කියායි.’

102.එකල අසූහාර දහසක් පමණ ඒ මහජන සමූහයා බන්ධුමතී රාජධානියෙන් නික්ම මුවන්ට ජීවිත දානය පිණිස දෙන ලද්දාවූ ඛෙම උයන නම් තැනකද අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතනට පැමිණියේය. පැමිණ අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට වැඳ එක පැත්තකින් උන්හ.

“අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට පිළිවෙල කථාව වදාළසේක. ඒ කවරේද යත්, දාන කථාය, සීල කථාය, ස්වර්ග කථාය, කාමයන්ගේ දොෂය, ලාමක බවය, කිලුටුවන බවය, ගිහිගෙන් නික්මීමේ අනුසස් වදාළසේක. යම් කලක භාග්‍යවතුන් වහන්සේ ඔවුන් යහපත් සිත් ඇත්තන් බවද, මොලොක් සිත් ඇත්තන් බවද, නීවරණයන් කෙරෙන් තොරවූ සිත් ඇත්තන් බවද, ප්‍රීතිමත් සිත් ඇත්තන් බවද, පැහැදුනු සිත් ඇත්තන් බවද, දැන වදාළසේක්ද, එකල්හිදී බුදුවරයන්ගේ තමාම අවබොධකර ගත්තාවූ යම් ධර්ම දෙශනාවක් වේද, දුකය, දුක් ඉපදීමට හේතුවය. දුක් නැති කිරීමය, දුක් නැති කිරීමේ මාර්ගය යන ඒ ධර්ම දෙශනාව දෙශනා කළසේක, කළු පැහැය නැති පිරිසිදු වස්ත්‍රයක් යම්සේ ඉතා හොඳින් සායම අල්ලා ගන්නේද, එපරිද්දෙන්ම ඒ අසූහාර දහසක් ප්‍රාණීන්ට ඒ ආසනයේදීම (හෙවත් ඒ දෙශනාව අසද්දීම) කෙලෙස් දූවිල්ලෙන් තොරවූ, කෙලෙස් කිලුටු නැති දහම් නමැති ඇස හෙවත් සෝවාන් මාර්ග ඥානය පහළ වූයේය. යම්කිසිවක් ඇතිවන ස්වභාව ඇත්තේද, ඒ සියල්ල නැතිවීම ස්වභාව කොට ඇත්තේය කියායි.

103.“ධර්මය දැක්කාවූ, මාර්ග ධර්මයට පැමිණියාවූ ධර්මය දැනගන්නාවූ, ධර්මයට බැසගත්තාවූ, සැකය දුරු කළාවූ, භය නැති බවට පැමිණියාවූ ශාස්තෘ ශාසනයෙන් පිට පිහිට නොසොයන්නාවූ ඒ අසූහාර දහසක් දෙනා අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීහ. ‘ස්වාමීන් වහන්ස, ධර්ම දෙශනාව ඉතා හොඳය. ස්වාමීන් වහන්ස, ධර්ම දෙශනාව ඉතාම හොඳය. ස්වාමීනි, යටිකුරු කොට තබන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ යම් සේද, වසා තබන ලද්දක් වැසුම් හැර දක්වන්නේ හෝ යම්සේද, මංමුළාවූවෙකුට මග කියන්නේ හෝ යම්සේද ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දරන්නේ හෝ යම්සේද, එමෙන්ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්ම දෙශනා කරන ලද්දේය. ස්වාමීන් වහන්ස මේ අපි භාග්‍යවතුන් වහන්සේද ධර්මයද පිහිටකොට යමු ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මහණකම ලබන්නෙමු. උපසම්පදාවද ලබන්නෙමුයි’ සැලකළාහුය.

“මහණෙනි, ඒ අසූහාර දහසක් දෙනා අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මහණකම ලැබුවාහූය, උපසම්පදාව ලැබුවාහුය.

104.“අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන්වහන්සේ ඔවුන්ට ධර්ම කථාවකින් කරුණු දැක්වූහ. එහි සමාදන්කර වූහ. එහි තියුණු කරවූහ වැඩියක් සතුටු කරවූහ, සංස්කාරයන්ගේ දොෂයද, ලාමක බවද, කිලුටුවන බවද, නිර්වාණයෙහි ආනිසංසද වදාළ සේක. අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ විසින් ධාර්මික කථාවෙන් කරුණු දක්වනු ලබන්නාවූ, එහි සමාදන් කරවනු ලබන්නාවූ එහි තියුණු කරවනු ලබන්නාවූ වැඩියක් සතුටු කරවනු ලබන්නාවූ ඒ අසූහාරදහසක් භික්ෂූන්ගේ සිත් (සසර) දැඩිකොට අල්ලාගැන්මෙන් තොරව (ආශ්‍රව) කෙලෙසුන් කෙරෙන් මිදුනාහුය.


පුරිමපබ්බජිතානං ධම්මාභිසමයො

105.“මහණෙනි පළමුකොට විපස්සී බොධිසත්වයන් වහන්සේ සමීපයෙහි මහණවූ ඒ අසූහාර දහසක් දෙනාද අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සි භාග්‍යවතුන්වහන්සේ බන්ධුමතී රාජධානියට පැමිණ මුවන්ට ජීවිත දානය පිණිස දෙන ලද ඛෙම නම් උයනෙහි වාසය කරති ධර්මයද දෙශනා කරතියි ඇසූහ. මහණෙනි, එවිට අසුහාර දහසක් (ප්‍රව්‍රජිතයෝ) මහණහුද බන්ධුමතී රාජධානිය යම් තැනෙකද මිගදාය නම් ලද ඛෙම උයන යම් තැනක්හිද අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතනට පැමිණියෝය. පැමිණ අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට වැඳ එක පැත්තකින් උන්හ.

106.“අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සි භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට පිළිවෙළ කථාව වදාළසේක. ඒ කවරේදයත්? දාන කථාය, සීල කථාය, ස්වර්ග කථාය, කාමයන්ගේ දොෂය, ලාමක බවය, කිලුටුවන බවය, ගිහිගෙන් නික්මීමේ අනුසස්ද වදාළ සේක. යම් කලක භාග්‍යවතුන් වහන්සේ ඔවුන්යහපත් සිත් ඇත්තන් බවද, මොලොක් සිත් ඇත්තන් බවද, නීවරණයන් කෙරෙන් තොරවූ සිත් ඇත්තන් බවද, ප්‍රීතිමත් සිත් ඇත්තන් බවද, පැහැදුනු සිත් ඇත්තන් බවද දැන වදාළ සේක්ද, එකල්හිදී බුදුවරයන්ගේ තමාම අවබොධ කරගත්තාවූ යම් ධර්ම දෙශනාවක් වේද, දුකය, දුක් ඉපදීමට හේතුවය දුක් නැතිකිරීමය දුක් නැති කිරීමේ මාර්ගයය යන ඒ ධර්ම දෙශනාව කළ සේක. කළු පැහැය නැති පිරිසිදු වස්ත්‍රයක් යම්සේ ඉතා හොඳින් සායම අල්ලාගන්නේද, එපරිද්දෙන්ම ඒ අසූහාරදහසක් භික්ෂූන්ට ඒ ආසනයේදීම (ඒ දෙශනාව අසද්දීම) කෙලෙස් දූවිල්ලෙන් තොරවූ කෙලෙස් කිලුටු නැති දහම් නමැති ඇස හෙවත් සොවාන් මාර්ගඥානය පහළවූ යේය යම් කිසිවක් ඇතිවන ස්වභාව ඇත්තේද ඒ සියල්ල නැතිවීම ස්වභාවකොට ඇත්තේය කියායි.

107.“ධර්මය දැක්කාවූ, මාර්ග ධර්මයට පැමිණියාවූ ධර්මය දැනගත්තාවූ, ධර්මයට බැසගත්තාවූ, සැක දුරුකළාවූ භය නැති බවට පැමිණියාවූ, ශාස්තෘ ශාසනයෙන් පිට පිහිට නොසොයන්නාවූ ඒ අසූහාරදහසක් දෙනා, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීහ.’ ස්වාමීන් වහන්ස, ධර්මදෙශනාව ඉතා හොඳය, ධර්ම දෙශනාව ඉතාම හොඳය, ස්වාමීනි, යටිකුරුකොට තබන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ යම්සේද, වසාතබන ලද්දක් වැසුම් හැර දක්වන්නේ හෝ යම්සේද, මංමුළාවූවෙකුට මග කියන්නේ හෝ යම්සේද, ඇස් ඇත්තේ රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දරන්නේ හෝ යම්සේද, එමෙන්ම භාග්‍යවතුන් වහන්සේ නොයෙක් ආකාරයෙන් ධර්මය දෙශනා කරන ලද්දේය. ස්වාමීනි, මේ අපි භාග්‍යවතුන් වහන්සේද ධර්මයද පිහිටකොට යමු ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මහණකම ලබන්නෙමු. උපසම්පදාවද ලබන්නෙමුයි’ සැලකළාහුය.

“මහණෙනි, ඒ අසූහාර දහසක් දෙනා අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි නැවත මහණකම ලැබුවාහුය, උපසම්පදාව ලැබුවාහුය

108.අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුන්ට ධර්ම කථාවකින් කරුණු දැක්වූහ, සමාදන් කරවූහ. එහි තියුණු කරවූහ. වැඩියක් සතුටු කරවූහ, සංස්කාරයන්ගේ දොෂයද, ලාමක බවද, කිලුටුවන බවද, නිර්වාණයෙහි ආනිසංසද වදාළ සේක. අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ විසින් ධාර්මික කථාවෙන් කරුණු දක්වනු ලබන්නාවූ එහි සමාදන් කරවනු ලබන්නාවූ, එහි තියුණු කරණු ලබන්නාවූ, වැඩියක් සතුටු කරනු ලබන්නාවූ, ඒ අසූසාර දහසක් භික්ෂූන්ගේ සිත් සසර දැඩි කොට අල්වාගැන්මෙන් තොරව (ආශව) කෙලෙසුන් කෙරෙන් මිදුනාහුය.


චාරිකාඅනුජානනං

109.“මහණෙනි, එකල බන්ධුමතී රාජධානියෙහි අටසැට ලක්ෂයක් මහා භික්ෂුසංඝයා වාසය කරයි. මහණෙනි, එවිට රහසිගතව තනිව වාසය කරන්නාවූ අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට මෙවැනි අදහසක් පහළවූයේය, ‘දැන් බන්ධුමතී රාජධානියෙහි හැටඅට ලක්ෂයක් මහත්වූ භික්ෂු සමූහයක් වාසය කෙරෙයි. මේ භික්ෂූන්ට මෙසේ නියම කරන්නේ නම් ඉතා යහපති. ‘මහණෙනි, බොහෝදෙනාට හිතපිණිස, බොහෝදෙනාට සැප පිණිස, ලොවට අනුකම්පා පිණිස දෙවි මිනිසුන්ට හිත පිණිසද, වැඩ පිණිසද, ගමින් ගමට ඇවිදීම කරව්. දෙදෙනෙක් එකමගින් නොයව්. මහණෙනි, මුල යහපත්වූද, මැද යහපත්වූද, අග යහපත්වූද, අර්ථ සහිතවූ ව්‍යඤ්ජන (යහපත් වචන) සහිතවූ ධර්මය දෙශනා කරව්. හැම ආකාරයෙන්ම සම්පූර්ණවූ පිරිසිදු මාර්ග බ්‍රහ්ම චරියාව උතුම් හැසිරීම ප්‍රකාශ කරව්. ප්‍රඥා ඇසෙහි ස්වල්පවූ රාගාදි කිලුටු (දූවිලි) ඇත්තාවූ සත්වයෝ ඇත්තාහ. ධර්මය නොඇසීම හේතුකොටගෙන ඒ සත්වයෝ පිරිහෙත්. එහෙයින් ධර්මය අවබොධ කරගන්නෝ ඇතිවන්නාහුය තවද අවුරුදු හයකට වරක් බැගින් බන්ධුමතී රාජධානියට (පාමොක් උදෙසීම) භික්ෂු ශීලය කීම පිණිස භික්ෂූහු පැමිණිය යුත්තාහුය’ කියායි.

110.“මහණෙනි, එවිටඑක්තරා මහාබ්‍රහ්මයෙක් අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ සිත පිළිබඳ විතර්කය තමාගේසිතින් දැනගෙන බලවත් පුරුෂයෙක් හකුළුවනලද අතක් දිගහරින්නේ යම්සේද, දික්කළ අතක් හකුළුවන්නේ හෝ යම්සේද එපරිද්දෙන්ම බ්‍රහ්මලොකයෙන් අතුරුදහන්වී අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි පහළ වූයේය.

“මහණෙනි, එකල්හි ඒ බ්‍රහ්මතෙම උතුරුසළුව එක් උරයකට කර අර්හත් සම්‍යක් සම්බුද්ධව විපස්සී භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද ඒ දෙසට අත් එකට බැඳ තබා වැඳ අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කියා සිටියේය.

“භාග්‍යවතුන් වහන්ස, නුඹවහන්සේ විසින් සිතනලද මේ කාරණය එසේමැයි. සුගතයන්වහන්ස, මේ කාරණය එසේමය. ස්වාමීන් වහන්ස, දැන් බන්ධුමතී රාජධානියෙහි සැටඅට ලක්ෂයක්වූ මහා භික්ෂු සංඝයා වාසය කරන්නේය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට මෙසේ නියම කරත්වා, ‘මහණෙනි, බොහෝදෙනාට හිත පිණිසද, බොහෝදෙනාට සැප පිණිසද, ලොවට අනුකම්පා පිණිසද, දෙවි මිනිසුන්ට හිත පිණිසද, වැඩ පිණිසද, සැප පිණිසද, ගමින් ගමට ඇවිදිව්. එක් මගකින් දෙදෙනෙක් නොයව්, මහණෙනි, මුල යහපත් වූද, අග යහපත්වූද, අර්ථ සහිතවූ යහපත් වචන සහිතවූ ධර්මය දෙශනාකරව්. සැමආකාරයෙන්ම සම්පූර්ණවූ පිරිසිදුවූ (මාර්ග බ්‍රහ්මචරියාව) උතුම් හැසිරීම ප්‍රකාශ කරව්. ප්‍රඥා ඇසෙහි ස්වල්පවූ රාගාදි කිලුටු දූවිලි ඇත්තාවූ සත්වයෝ ඇත්තාහ. ධර්මය නොඇසීම හේතුකොටගෙන සත්වයෝ පිරිහෙත්, එහෙයින් ධර්මය අවබොධ කරගන්නෝ ඇතිවන්නාහ. තවද ස්වාමීන් වහන්ස, අවුරුදු හයකට වරක් බන්ධුමතී රාජධානියට භික්ෂුහු (පාමොක් උදෙසීම පිණිස) එක්ව සීලය කීම සඳහා පැමිණෙන්නාහුද අපි එසේ කරමු’ යනුයි

මහණෙනි, ඒ මහා බ්‍රහ්ම තෙම මේ කාරණය කීයේය. මේ කාරණය කියා අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට වැඳ ගෞරවයෙන් දකුණු පැත්තෙන් ගොස් එහිම නොපෙනී ගියේය.

111.“මහණෙනි, එවිට අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි විවේකව හිඳීමෙන් නැගී සිට භික්ෂූන්ට කථාකර මෙසේ කීවෝය.

“මහණෙනි, මෙහි රහසිගතව විවෙකව සිටියාවූ මට සිත පිළිබඳ මෙබඳු විතර්කයක් උපන්නේය.

මේ කාලයෙහි බන්ධුමතී රාජධානියෙහි හැට අට ලක්ෂයක්වූ මහා භික්ෂු සංඝයා වාසයකෙරෙයි. මේ භික්ෂූන්ට මෙසේ නියම කරන්නේ නම් ඉතා යහපති. (“මහණෙනි, බොහෝ දෙනාට හිත පිණිස, සැප පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙවිමිනිසුන්ට හිත පිණිසද වැඩ පිණිසද සැපපිණිසද (චාරිකා කරව්) ඇවිදිව්, දෙදෙනෙක් එකමග නොයව්. මහණෙනි, මුල යහපත්වූද, මැද යහපත්වූද, අග යහපත්වූද අර්ථ සහිත වූද (ව්‍යංජන) යහපත් වචන සහිතවූ ධර්මය දෙශනා කරව්. හැම ආකාරයෙන්ම සම්පූර්ණවූ පිරිසිදු (මාර්ග බ්‍රහ්මචරියාව) උතුම් හැසිරීම ප්‍රකාශ කරව්. ප්‍රඥා ඇසෙහි ස්වල්පවූ රාගාදී කිලුටු (දූවිලි) ඇත්තාවූ සත්වයෝ ඇත්තාහ. ධර්මය නොඇසීම හේතුකොටගෙන ඒ සත්වයෝ පිරිහෙත්. ධර්මය අවබොධ කරගන්නෝ ඇතිවන්නාහුය. තවද අවුරුදු හයකට වරක් බන්ධුමතී රාජධානියට (පාමොක් උදෙසීම) සීලය සංක්ෂේපයෙන් කීම පිණිස පැමිණිය යුත්තාහුය යනුයි.

112.මහණෙනි, එවිට එක්තරා මහා බ්‍රහ්මයෙක් මාගේ සිත පිළිබඳ විතර්කය තමාගේ සිතින් දැනගෙන බලවත් පුරුෂයෙක් හකුළුවන ලද අතක් දිගහරින්නේ හෝ යම්සේද දික් කළ අතක් හකුළුවන්නේ හෝ යම්සේද එපරිද්දෙන්ම බ්‍රහ්ම ලෝකයෙන් අතුරුදහන්වී මාගේ ඉදිරියෙහි පහළවූයේය. මහණෙනි, ඒ බ්‍රහ්මතෙම උතුරුසලුව එක අංශයකට කර මම යම් තැනෙක්හිද ඒ දෙසට අත් එකතු කර වැඳ මට මේ කාරණය සැලකළේය. ‘භාග්‍යවතුන් වහන්ස, නුඹවහන්සේ විසින් සිතනලද ඒ කාරණය එසේමැයි. සුගතයන් වහන්සේ, ඒ කාරණය එසේමැයි. ස්වාමීන්වහන්ස, බන්ධුමතී රාජධානියෙහි සැටඅට ලක්ෂයක් මහත් භික්ෂුසංඝයා වාසය කරයි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට මෙසේ නියම කරත්වා.

“මහණෙනි, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, ලොවට අනුකම්පා පිණිස දෙවිමිනිසුන්ට හිත පිණිසද, වැඩ පිණිසද, සැප පිණිසද (චාරිකා කරව්) ඇවිදිව්. දෙදෙනෙක් එක් මගක නොයව්. මුල යහපත්වූද, මැද යහපත්වූද,

අග යහපත්වූද අර්ථ සහිතවූ පිරිසිදු වචන සහිතවූ, පිරිසිදු (මාර්ග බ්‍රහ්මචරියාව) උතුම් හැසිරීම ප්‍රකාශ කරව්. ප්‍රඥා ඇසෙහි ස්වල්පවූ රාගාදී කිලුටු (දූවිලි) ඇත්තාවූ සත්වයෝ ඇත්තාහ. ධර්මය නොඇසීම හේතු කොටගෙන ඒ සත්වයෝ පිරිහෙත්. ධර්මය අවබොධ කරගන්නෝ ඇතිවන්නාහුය. තවද ස්වාමීන් වහන්ස, අවුරුදු හයකට වරක් බන්ධුමතී රාජධානියට පාමොක් උදෙසීම පිණිස, භික්ෂූහු පැමිණිය යුත්තාහුය කියායි. අපි එසේ කරමුයි යනුයි.

මහණෙනි, ඒ මහා බ්‍රහ්මතෙම මේ කාරණය කීයේය. මේ කාරණය කියා මට වැඳ ගෞරවයෙන් දකුණු පැත්තෙන් ගොස් එහිදීම නොපෙනී ගියේය.

113.“මහණෙනි, මම මෙසේ ඔබලාට නියම කරමි. මහණෙනි, බොහෝ දෙනාට හිත පිණිසද බොහෝ දෙනාට සැප පිණිසද ලොවට අනුකම්පා පිණිසද දෙවිමිනිසුන්ගේ ප්‍රයෝජන පිණිසද, වැඩ පිණිසද, සැප පිණිසද ඇවිදිව්, (චාරිකා කරව්) දෙදෙනෙක් එක් මගින් නොයව්. මහණෙනි, මුල යහපත්වූද, මැද යහපත්වූද අවසානය යහපත්වූද අර්ථ සහිතවූ යහපත් වචන සහිතවූ ධර්මය දෙශනා කරව්. සියල්ලෙන් සම්පූර්ණවූ, පිරිසිදුවූ (බ්‍රහ්මචරියාව) උතුම් හැසිරීම ප්‍රකාශ කරව්. ප්‍රඥා ඇසෙහි ස්වල්පවූ රාගාදී කිලුටු (දූවිලි) ඇත්තාවූ සත්වයෝ ඇත්තාහ. ධර්මය නොඇසීම හෙතුකොට ගෙණ ඒ සත්වයෝ පිරිහෙත්. ධර්මය අවබොධ කරන්නෝ වන්නාහුය. තවද, හය අවුරුද්දකට වරක් පාමොක් උදෙසීම පිණිස බන්ධුමතී රාජධානියට පැමිණිය යුත්තාහ.) යනුවෙනි.

114.මහණෙනි, එවිට ඒ භික්ෂූහු බොහෝ සෙයින් එක් දවසකින්ම (දනව් සැරිසැරීමට) පලාත් සංචාරයට ගියාහුය.

මහණෙනි, එකල දඹදිව අසූහතර දහසක් (ආවාසයෝ) භික්ෂූන්ගේ වාසස්ථානය වෙත්.

එක් වසක් ඉක්මුණු කල දෙවතාවෝ ශබ්දනගා මෙසේ කීවාහුය. නිදුකාණෙනි, එක් අවුරුද්දක් ඉක්මුණේය. දැන් මින් ඉදිරියට අවුරුදු පහක් ගතවීමෙන් පාමොක් උදෙසීම පිණිස බන්ධුමතී නම් රාජධානියට පැමිණිය යුතුයි’ කියායි.

අවුරුදු දෙකක් ඉවරවූ කල දෙවතාවෝ ශබ්දනගා මෙසේ කීවාහුය. නිදුකාණෙනි, අවුරුදු දෙකක් ඉක්මුණාහුය. දැන් මින් ඉදිරියට අවුරුදු හතරක් ඉතුරුවූහ. අවුරුදු හතර ගතවූ කල පාමොක් උදෙසීම පිණිස බන්ධුමතී රාජධානියට පැමිණිය යුතුය.

අවුරුදු තුනක් ඉක්මුණු කල දෙවතාවෝ ශබ්ද නගා මෙසේ කීවාහුය. ‘නිදුකානෙනි, අවුරුදු තුනක් ඉක්මුණාහුය. දැන් මින් ඉදිරියට අවුරුදු තුනක් ඉතිරිවූහ. අවුරුදු තුණ ගතවූ කල පාමොක් උදෙසීම පිණිස බන්ධුමතී රාජධානියට පැමිණිය යුතුය.’ අවුරුදු හතරක් ඉක්මුණු කල දේවතාවෝ ශබ්දනගා මෙසේ කීවාහුය. නිදුකානෙනි, අවුරුදු හතරක් ඉක්මුණාහුය. දැන් මින් ඉදිරියට අවුරුදු දෙකක් ඉතුරුවූහ. අවුරුදු දෙක ගතවූ කල බන්ධුමතී රාජධානියට පාමොක් උදෙසීම පිණිස පැමිණිය යුතුය, කියායි. අවුරුදු පහක් ඉක්මුණු කල දේවතාවෝ ශබ්දනගා මෙසේ කීවාහුය.

‘නිදුකාණෙනි, අවුරුදු පහක් ඉක්මුණාහුය. දැන් මින් ඉදිරියට අවුරුද්දක් ඉතුරුවූයේය. එක් අවුරුද්දක් ගතවීමෙන් බන්ධුමතී රාජධානියට පාමොක් උදෙසීම පිණිස පැමිණිය යුතුය’ කියායි. අවුරුදු හයක් ඉක්මුණු කල දේවතාවෝ ශබ්දනගා මෙසේ කීවාහුය. නිදුකාණෙනි, අවුරුදු හයක් ඉක්මුණාහුය. දැන් බන්ධුමතී රාජධානියට පාමොක් උදෙසීම පිණිස පැමිණීමට සුදුසු කාලයයි, කියායි.

115.එවිට ඒ භික්ෂූහු ඇතැම්කෙනෙක් ස්වකීය ඍද්ධි ආනුභාවයෙන්ද ඇතැම් කෙනෙක් දෙවියන්ගේ දෙවානුභාවයෙන්ද බන්ධුමතී රාජධානියට එක දවසකින්ම පාමොක් උදෙසීම පිණිස පැමිණියාහුය.

“මහණෙනි, එකල අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ බන්ධුමතී රාජධානියෙහිවූ සංඝ සමාගමයෙහි මෙසේ පාමොක් උදෙසති.

“අනුන්ගේ තැළීම් පෙළීම් දොස් කීම් ආදිය ඉවසීමයයි කියනලද ක්ෂාන්තිය මේ ශාසනයෙහි උතුම් තපසෙක. සියලු බුදුවරයෝ නිර්වාණය උතුම් සැපයයි කියත්. අනුන්ට හිංසා කරන තැනැත්තා පැවිද්දෙක් නම් නොවේ. අනුන්ට වෙහෙස කරන තැනැත්තාද මහණෙක් නම් නොවේ.

සියලු අකුසල් නොකිරීමද, නූපන් කුසල් ඉපදවීම හා උපන් කුසල් වැඩීමද, සිත පිරිසිදු කිරීමද යන මෙය සියලු බුදුවරයින්ගේ අනුශාසනායි. හිත රිදෙන වචන නොකීමද හිංසාවෙන් වැළකීමද උතුම් සීලයෙන් සංවරවීමද ආහාරයෙහි පමණ දැනීමද වනාන්තරයෙහි ඇල්මද සමාධියෙහි යෙදී වාසය කිරීමද යන මෙය සියලු බුදුවරයින්ගේ අනුශාසනායි.


දෙවතාරොචනං

116.“මහණෙනි, මම එක් කලක උක්කාට්ඨා නුවර සුභග නම් වනයෙහි මහා සල්ගස සමීපයෙහි වාසය කරමි. මහණෙනි, රහසිගතවූ තනිව වාසය කරන්නාවූ ඒ මට සිතෙහි මෙවැනි විතර්කයක් පහළවිය. ‘මා විසින් මේ දීර්ඝ කාලය තුළ සුද්ධාවාස බඹතලය හැර වාසය නොකළ යම් සත්වාවාසයක් ඇත්නම් එවැනි සත්වාවාසයක් සුලභ නොවේ. මම සුද්ධාවාස දෙවියෝ යම් තැනෙක්හිද එතනට පැමිණෙම් නම් ඉතා යහපති කියායි.

මහණෙනි, එවිට මම ශක්තිමත් පුරුෂයෙක් හකුළුවන ලද අතක් දික් කරන්නේ හෝ යම්සේද දික්කළ අතක් හකුළු වන්නේ හෝ යම්සේද, එමෙන්ම උක්කාට්ඨා නුවර සුභග නම් වනයෙහි මහා සල්ගස සමීපයෙහිදී නොපෙනී ගොස් අවිහ දෙවියන් කෙරෙහි පහළවූයෙමි.

117.ඒ දිව්‍ය සමූහයෙහි නොයෙක් දහස් ගණන් දේවතාවෝ මම යම් තැනකද එතනට පැමිණියාහුය. පැමිණ මට නමස්කාර කොට එක පැත්තක සිටියාහුය. එක පැත්තක සිටියාවූ ඒ දේවතාවෝ මට මේ කාරණය දැන්වූහ. ‘නිදුකාණෙනි, යම් කලක අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන්වහන්සේ ලොව පහළවූ සේක්ද, එය මෙයින් අනූ එක්වෙනි කල්පයයි. නිදුකාණන් වහන්ස, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ ජාතියෙන් ක්ෂත්‍රියවූහ. ක්ෂත්‍රිය කුලයෙහි උපන්නාහ. නිදුකාණන් වහන්ස, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ ගොත්‍රයෙන් කොණ්ඩඤ්ඤ නම් වූහ. නිදුකාණන් වහන්ස, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන්වහන්සේට අවුරුදු අසූදහසක් ආයුෂ ප්‍රමාණය වූයේය. නිදුකාණන් වහන්ස, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ පලොල් ඟස මුලදී බුදු බවට පැමිණියෝය. නිදුකාණන් වහන්ස. අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට ඛණ්ඩය, තිස්සය යන නම් ඇත්තෝ අග්‍රශ්‍රාවක දෙදෙනාවූහ. නිදුකාණන් වහන්ස, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට ශ්‍රාවකයන්ගේ රැස්වීම් තුනක් වූහ. හැටඅට ලක්ෂයක් භික්ෂූන්වූ ශ්‍රාවකයන්ගේ එක් රැස්වීමක් වූයේය. භික්ෂූන් ලක්ෂයක් ඇත්තාවූ ශ්‍රාවකයන්ගේ එක් රැස්වීමක් වූයේය. අසූදහසක් භික්ෂූන් ඇති ශ්‍රාවකයන්ගේ එක් රැස්වීමක් වූයේය. නිදුකාණන් වහන්ස, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට සියල්ලම අර්හත් භික්ෂූන්ගෙන් යුත් මේ ශ්‍රාවකයන්ගේ රැස්වීම් තුණ වූයේය. නිදුකාණන් වහන්ස, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට උතුම් ලෙස උපස්ථාන කරන්නාවූ අසොක නම් භික්ෂූකෙනෙක් අග්‍රඋපස්ථායක වූයේය. නිදුකාණන් වහන්ස, සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට බන්ධුම නම් රජ පිය වූයේය. බන්ධුමතී නම් දේවිය වැදූ මව් විය. බන්ධුම නම් රජහට බන්ධුමතී නම් නුවර රාජධානිය විය. නිදුකාණන් වහන්ස, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ ගිහිගෙය අත්හැර යාම මෙසේ වූයේය. මෙසේ මහණවීම වූයේය. මෙසේ වීර්‍ය්‍ය වැඩීම විය. මෙසේ සම්‍යක් සම්බොධිය වූයේය. දම්සක් පැවැත්වීම මෙසේ විය. නිදුකාණන් වහන්ස, ඒ අපි විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ සස්නෙහි (බ්‍රහ්මචරියාව කොට) උතුම් හැසිරීමේ පැවත අනාගාමි මාර්ගයෙන් කාමයන්හි ආශාව සම්පූර්ණයෙන් දුරු කොට මේ බ්‍රහ්ම ලොකයෙහි උපන්නෙම්හයි දැන්නුවාහුය.’

118.“මහණෙනි, ඒ දිව්‍ය සමූහයෙහිම නොයෙක් දහස් ගණන් දෙවතාවෝද, නොයෙක් සිය ගණන් දේවතාවෝද මම යම් තැනෙකද එතනට පැමිණියාහුය. පැමිණ මට වැඳ එක පැත්තක සිටියාහුය. මහණෙනි, එක පැත්තක සිටියාවූ ඒ දේවතාවෝ මට මේ කාරණා දැන්නුවාහුය.

‘නිදුකාණන් වහන්ස, දැන් අර්හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන්වහන්සේ මේ භද්‍ර කල්පයෙහිම ලොව පහළ වූයේය. නිදුකාණන් වහන්ස, ඒ භාග්‍යවතුන් වහන්සේ ජාතියෙන් ක්ෂත්‍රිය වූහ. රජ කුලයෙහි උපන්හ. නිදුකාණන් වහන්ස, ගෞතම භාග්‍යවතුන් වහන්සේ ගොත්‍රයෙන් ගෞතම වූවෝය. නිදුකාණන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ ආයුෂ ප්‍රමාණය ඉතා ස්වල්පයි, කොටයි. යමෙක් කලක් ජීවත් වේනම් හෙතෙම අවුරුදු සියයකට අඩුවෙන් හෝ ටිකක් වැඩියෙන් ජීවත් වේ. නිදුකාණන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ඇසතුගස මුලදී බුදු බව ලැබුවෝය. නිදුකාණන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේට සැරියුත් මුගලන් නම් අග්‍රශ්‍රාවක දෙදෙනෙක්වූහ. නිදුකාණන්වහන්ස, භාග්‍යවතුන්වහන්සේට එක්දහස්දෙසියපණහක් ඇති ශ්‍රාවක රැස්වීමක් වූයේය. නිදුකාණන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේට සියල්ලන්ම රහත් භික්ෂූන්ගෙන් යුත් මේ එකම භික්ෂු රැස්වීම වූයේය. නිදුකාණන්වහන්ස, භාග්‍යවතුන් වහන්සේට උතුම් ලෙස උපස්ථාන කරන්නාවූ ආනන්ද භික්ෂු තෙම ප්‍රධාන උපස්ථායක වූයේය. නිදුකාණන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේට සුද්ධොදන රජ පියවූයේය. මායාදේවි වැදූ මව් විය. කිඹුල්වත් නුවර රාජධානි විය. නිදුකාණන් වහන්ස, මෙසේ භාග්‍යවතුන් වහන්සේ ගිහිගේ අත්හැර ගියෝය. මෙසේ වීර්‍ය්‍ය වැඩුවෝය. මෙසේ බුදුවූහ, මෙසේ ධම්මචක්ක දෙශනාව වීය. නිදුකාණන් වහන්ස, ඒ අපි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි (බ්‍රහ්මචර්‍ය්‍යාව) උතුම් හැසිරීම කොට අනාගාමි මාර්ගයෙන් කාමයන්හි ආශාව සම්පූර්ණයෙන් දුරු කොට මේ බ්‍රහ්මලොකයෙහි උපන්නෙමුයයි’ දැන්නුවාහුය.

119.“මහණෙනි, එවිට මම අවිහ දෙවියනුත් සමග අතප්ප දෙවියෝ යම් තැනෙක්හිද එතැනට පැමිණියෙමි. මහණෙනි, එකල මම අවිහ දෙවියනුත් අතප්ත දෙවියනුත් සමග සුදස්ස දෙවියෝ යම් තැනකද එතැනට පැමිණියෙමි. මහණෙනි, තවද අවිහ දෙවියනුත් අතප්ප දෙවියනුත් සුදස්ස දෙවියනුත් සමග සුදස්සී දෙවියෝ යම් තැනෙක්හිද එතැනට පැමිණියෙමි. මහණෙනි, තවද අවිහ දෙවියනුත් අතප්ප දෙවියනුත් සුදස්ස දෙවියනුත් සුදස්සී දෙවියනුත් සමග අකනිට්ඨක දෙවියෝ යම් තැනෙක්හිද එතැනට පැමිණියෙමි. මහණෙනි, දිව්‍ය නිකායෙහි නොයෙක් දහස් දහස් ගණන් දේවතාවෝ මම යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ, මට වැඳ එක පැත්තක සිටියාහුය. එකපැත්තක සිටියාවූ ඒ දේවතාවෝ මට මේ කාරණය දැන්නුවාහුය. නිදුකාණන් වහන්ස, යම් කලක අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ ලොව පහළවූවාහුද ඒ මෙයින් අනූඑක්වෙනි කල්පයයි. නිදුකාණන් වහන්ස, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ ජාතියෙන් ක්ෂත්‍රියවූහ. ක්ෂත්‍රිය කුලයෙහි උපන්නාහ. නිදුකාණන් වහන්ස, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ ගොත්‍රයෙන් කොණ්ඩඤ්ඤ නම් වූහ. නිදුකාණන් වහන්ස, අර්හත් සම්‍යක් සම්බුද්ධ විපස්සී භාග්‍යවතුන් වහන්සේට අවුරුදු අසූදහසක් ආයුෂ ප්‍රමාණය වූයේය. නිදුකාණන් වහන්ස, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ පළොල් ගස මුලදී බුදු බවට පැමිණියාහුය. නිදුකාණන් වහන්ස, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට ඛණ්ඩය, තිස්සය යන නම් ඇති අග්‍ර ශ්‍රාවක දෙදෙනෙක් වූහ. නිදුකාණන් වහන්ස, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට ශ්‍රාවකයන්ගේ රැස්වීම් තුනක් වූහ. සැටඅට ලක්ෂයක් භික්ෂූන්වූ ශ්‍රාවකයන්ගේ එක් රැස්වීමක් වූයේය. භික්ෂූන් ලක්ෂයක් ඇත්තාවූ ශ්‍රාවකයන්ගේ එක් රැස්වීමක් වූයේය. අසූදහසක් භික්ෂූන් ඇති ශ්‍රාවකයන්ගේ එක් රැස්වීමක් වූයේය, නිදුකාණන් වහන්ස, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට සියල්ලම අර්හත් භික්ෂූන්ගෙන් යුත් මේ ශ්‍රාවකයන්ගේ රැස්වීම් තුණ වූයේය. නිදුකාණන් වහන්ස, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන්වහන්සේට උතුම් ලෙස උපස්ථාන කරන්නාවූ අශොක නම් භික්ෂුකෙනෙක් අග්‍ර උපස්ථායකවූහ. නිදුකාණන්වහන්ස, සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යගවතුන් වහන්සේට බන්ධුම නම් රජ පිය වූයේය. බන්ධුමති නම් දේවිය වැදූ මව් විය. බන්ධුම නම් රජහට බන්ධුමතී නම් නුවර ප්‍රධාන රාජධානිය විය.

නිදුකාණන් වහන්ස, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ මෙසේ ගිහිගෙය අත්හැර ගියේය. මෙසේ මහණ වූයේය. මෙසේ උතුම් වීර්‍ය්‍ය වැඩූයේය. මෙසේ සම්‍යක් සම්බොධිය වූයේය. දම්සක් පැවතුම් දෙශනාව මෙසේ විය. නිදුකාණන්වහන්ස, ඒ අපි විපස්සී භාග්‍යවතුන්වහන්සේගේ සස්නෙහි (බ්‍රහ්මචරියාව කොට) උතුම් හැසිරීමේ පැවත අනාගාමි මාර්ගයෙන් කාමයන්හි (කාමච්ඡන්දය) ආශාව සම්පූර්ණයෙන් දුරුකොට මේ බ්‍රහ්ම ලොකයෙහි උපන්නෙම්හයි දැන්නුවාහුය,

120.“මහණෙනි, ඒ දිව්‍ය නිකායෙහිම නොයෙක් දහස් ගණන් දේවතාවෝද, නොයෙක් සියගණන් දේවතාවෝද මම යම්තැනකද එතැනට පැමුණුනාහුය. පැමිණ, මට වැඳ එකපැත්තක සිටියාහුය. මහණෙනි, එකපැත්තක සිටියාවූ ඒ දේවතාවෝ මට මේ කාරණා දැන් නුවාහුය. ‘නිදුකාණන් වහන්ස, දැන් අර්හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ මේ භද්‍ර කල්පයෙහිම ලොව පහළවූහ. නිදුකාණන් වහන්ස, ඒ භාග්‍යවතුන් වහන්සේ ජාතියෙන් ක්ෂත්‍රියහ. රාජ කුලයෙහි උපන්හ. නිදුකාණන්වහන්ස, ගෞතම භාග්‍යවතුන්වහන්සේ ගොත්‍රයෙන් ගෞතම වූයේය. නිදුකාණන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ ආයුෂ ප්‍රමාණය ස්වල්පවූයේ ඉතා ස්වල්ප යයි. යමෙක් කලක් ජීවත්වේ නම් හෙතෙම අවුරුදු සියයක් හෝ සියයකට ටිකක් වැඩියෙන් හෝ ජීවත්වේ. නිදුකාණන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ඇසතු ගස මුලදී බුදුබව ලැබුවෝය. නිදුකාණන් වහන්ස, භාග්‍යවතුන්වහන්සේට සැරියුත් මුගලන් නම් අග්‍රශ්‍රාවක දෙදෙනෙක්වූහ. නිදුකාණන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේට එක්දහස් දෙසියපණහක් භික්ෂූන් ඇති ශ්‍රාවක රැස්වීමක් වූයේය. නිදුකාණන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේට සියල්ලන්ම රහත් භික්ෂූන්ගෙන් යුත් මේ එකම ශ්‍රාවක රැස්වීම වූයේය. නිදුකාණන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේට උතුම් ලෙස උපස්ථාන කරන්නාවූ ආනන්ද භික්ෂුතෙම ප්‍රධාන උපස්ථායක වූයේය. නිදුකාණන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේට සුද්ධොදන රජ පිය වූයේය. මායාදේවී වැදූ මව විය. කිඹුල්වත් නුවර රාජධානි විය. නිදුකාණන් වහන්ස, මෙසේ භාග්‍යවතුන් වහන්සේ ගිහිගේ අත්හැර ගියෝය. මෙසේ මහණවූහ. මෙසේ උතුම් වීර්‍ය්‍ය වැඩුවෝය. මෙසේ බුදු වූහ. මෙසේ ධම්මචක්ක දෙශනාව විය. නිදුකාණන් වහන්ස, ඒ අපි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි (බ්‍රහ්මචර්‍ය්‍යාව) උතුම් හැසිරීම කොට අනාගාමි මාර්ගයෙන් කාමයන්හි කාමච්ඡන්දය (ආශාව) සම්පූර්ණයෙන් දුරුකොට මේ බ්‍රහ්ම ලොකයෙහි උපන්නෙමුයයි දැන්නුවාහුය.

121.“මහණෙනි, මෙසේ මේ ඥානය තථාගතයන් වහන්සේ විසින් හොඳාකාර අවබොධකරන ලද්දේය. එනම්, යම් ඥානයක් අවබොධ කළ බැවින් තථාගතයන් වහන්සේ පිරිනිවන්පෑවාවූද, කපාදමනලද ලොභ මාන දෘෂ්ටි ඇත්තාවූද කපාදමනලද කුසල් අකුසල් කර්ම ඇති කෙළවර කළ සංසාරය ඇති දුක් රාශිය ඉක්මවූ අතීත බුදුවරයන් ජාති වශයෙන් සිහිකෙරේද, ආයුස ප්‍රමාණ වශයෙන් සිහිකෙරේද ශ්‍රාවක දෙදෙනා වශයෙන් සිහිකෙරේද ශ්‍රාවක රැස්වීම් වශයෙනුත් සිහිකෙරේද ඒ ඥානයයි. කෙසේ සිහිකෙරේදයත් ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු ජාති ඇත්තෝ වූහයිද මෙබඳු නම් ඇත්තෝ වූහයිද, මෙබඳු ගොත්‍ර ඇත්තෝ වූහයිද මෙබඳු සීල ඇත්තෝ වූහයිද, මෙබඳු ධර්ම ඇත්තෝ වූහයිද, මෙබඳු ප්‍රඥා ඇත්තෝ වූහයිද, මෙබඳු (විහරණ) වාසය කිරීම් ඇත්තෝ වූහයිද යනුවෙනි. භාග්‍යවතුන්වහන්සේ පෙර ජාති පිළිබඳවූ මෙම ධර්මදෙශනාව දේශනා කළාහුය. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ ඒ ධර්මදෙශනාව සතුටින් පිළිගත්හ.

දාහතරවෙනි මහාපදාන සූත්‍රය මෙතෙකින් නිමියේය.

( උපුටා ගැනීම - suttacentral.net )