Jump to content

ත්‍රිපිටක පොත් වහන්සේ/සූත්‍ර පිටකය/දීඝ නිකාය/මහා සමය සූත්‍රය

Wikibooks වෙතින්

1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් පුර අසල මහ වෙනෙහි සියලු දෙනා ම රහත් වූ භික්ෂූන් පන්සියක් පමණ වූ මහ ද් භික්ෂූ සමූහයක් හා වැඩ වසන සේක. දස (දහසක්) ලෝදායෙනුත් භගවත් බුදුරජුන් ද බික්සඟන ද දක්නා පිණිස දෙවියෝ බෙහෙවින් මුළු දෙවුණාහු වෙත්.

එ කල්හි “මේ භාග්‍යවතුන් වහන්සේ වනාහි සැහැ රටැ කිඹුල්වත් පුර අසල මහ වෙනෙහි සියලු දෙනා ම රහත් වූ භික්ෂූන් පන්සියක් පමණ වූ මහත් මහණමුළුවක් හා වැඩ වසන සේක. දස (දහසක්) ලෝදායෙන් ද භාග්‍යවතුන් වහන්සේත් භික්ෂූසංඝයාත් දක්නා පිණිස දෙවියෝ බෙහෙවින් මුළු දෙවුණාහු වෙත්. අපි දු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹෙන්නමෝ නම්, එළැඹ භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි එක් එක් ගයක් කියන්නමෝ නම් යෙහෙකැ”යි සතර සුදවැසි බඹලෝ වැසි දෙවියනට මේ සිත විය.

2.ඉක්බිති ඒ දෙවියෝ, බල ඇති මිනිසක්හු වක් කළ අතක් දික් කරනු ද, දික් කළ අතක් වක් කරනු ද සෙයින් ම සුදවැසි දෙවියන් අතුරෙන් අතුරුදහන් වූවාහු, භගවත් බුදුරජුන් හමුයෙහි පහළ වූහ. එයට පසු ඒ දෙවියෝ භගවත් බුදුරජුන් වැඳ එක් පසෙකැ සිටියාහ. (ඔවුනතුරෙන්) එක් පසෙකැ සිටියා වූ ම එක් දෙවියෙක් භගවත් බුදුරජුන් හමුයෙහි මේ ගාථාව කී ය; (ගාථාවේ අර්ථය)

“මහ වෙනෙහි මහ මුළුවෙකි. දෙව්මුළුහු රැස් වූහ. කෙලෙසුන්ගෙන් නොපැරැදුණු සඟන දක්නට මේ දම් සමාම් ආමු.”

එ විටැ අන් දෙවියෙක් භගවත් බුදුරජුන් වෙතැ, “එ දහම් සමාම්හි මහණහු තමන් සිත එකඟ කළහ. (තමන් සිත) සෘජු කළහ. රියසැරියක්හු රැහැන් ගෙන (රිය හසුරුවන්නා) මෙන් නැණැත්තෝ ඉඳුරන් රකිත්” යැ යි ගයෙකින් පැවැසී ය. එ කලැ අන් දෙවියෙක් භගවත් බුදුරජුන් වෙතැ, “ඒ තරුණ නාගයෝ (රහත්හු) පසැසි බුදුරජුන් විසින් මොනොවට දැමුණාහු, කෙලෙස් හුල සිඳ, කෙලෙස් කණයම ද සිඳ, රාගද්වේෂ මෝහ ඉන්ද්‍රකීලය උදුරා පියා, තෘෂ්ණා නැති ව, පිරිසිදු වැ, නිර්මල වැ හැසිරෙත්” යි ගයින් කී ය.

එ කලැ අන් දෙවියෙක් භගවත් බුදුරජුන් වෙතැ, “යම් කෙනෙක් බුදුරජුන් සරණ ගියාහු ද, ඔහු අපායට නො යන්නාහ. මිනිස් කය හැර දෙව්මුළුව සපුරන්නාහ” යි ගයින් කී ය.

3. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මහණුන් අමතා, “මහණෙනි, බොහෝ සෙයින් දස (දහසක්) ලෝදාහි දෙවියෝ තථාගතයන් ද බික් සඟන ද දක්නට මුළුදෙවුණාහු වෙත්. මහණෙනි, ඉකුත් කලැ යම් සම්මාසම්බුදු කෙනෙක් වූහු ද, ඒ භගවත් බුදුවරුන්ගේ ද, දැන් මගේ (මෙ සමයෙහි) මෙන්, මෙ පරම කොට (මෙ පමණ) ම වූ දෙවියෝ රැස් වූහ. මහණෙනි, අනා කල්හි යම් රහත් සම්මාසම්බුදු කෙනෙක් වන්නාහු ද, ඔවුන් ගේ ද දැන් මගේ (මෙ සමයෙහි) සෙයින්, මෙතෙක් ම (මෙ පමණ) ම දෙවියෝ රැස් වන්නාහ.

මහණෙනි, දේව සමූහයන් ගේ නම් හෙළි කරන්නෙමි. මහණෙනි, දේව සමූහයන් ගේ නම් පෙහෙළි කරන්නෙමි. මහණෙනි, දෙවියන්ගේ නම් දෙසන්නෙමි. එය අසවු, මොනොවට මෙනෙහි කරවු, කියන්නෙමි” යි වදාළ සේක.

“එසේ ය, වහන් සැ” යි ම එ මහණහු භගවත් බුදුරජුනට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

4. “සිලොවක් කියන්නෙමි. යම් තැනෙක බූමාටු දෙවියෝ ඇත් ද, රහත් හු එ තැන් ඇසුරු කළාහු වෙත්. නිවන් කරා මෙහෙයූ සිත් ඇති, සමාධිගත සිත් ඇති, ලොමුදහ ගැනුම් මැඩැලූ, පිරිසිදු සිතැති, නො කිලිටි වූ, වෙසෙසින් පහන් වූ, නොකැලැඹුණු ඒ රහත්හු විචික්ත වූ බොහෝ සිංහයන් සේ ගිරි ගුහා ඇසුරු කළාහු වෙත්.”

කිඹුල්වත් පුර අසල වෙනෙහි දී ශාස්තෘහු සස්නැ ඇලුණු පන්සියකට වැඩි සව්වන් දැන, ඉක්බිති ඔවුන් අමතා, ‘මහණෙනි, දේව සමූහයෝ පැමිණියාහ. ඔවුන් දිවැස් නුවණින් දනිවු’ යි වදාළහ. ඔහු ද බුදුරජුන් ගේ හස්න අසා දිවැස උපදවනුවට වැර වැඩූහ.

වහා ම ඔවුනට අමනුෂ්‍යයන් දක්නා නුවණ පහළ විය. ඇතැම් මහණ කෙනෙක් අමනුෂ්‍යයන් සියයක් දුටුහු, ඇතැම් මහණ කෙනෙක් දහසක් අමනුෂ්‍යයන් දුටුහු. ඇතැම් මහණ කෙනෙක් සැත්තෑදහසක් දුටුහු. ඇතැම් මහණ කෙනෙක් සියදහසක් දුටුහු. ඇතැම් මහණ කෙනෙක් අනන්තදෙව් බඹුන් දුටුහු. සියලු දිශාවෝ දෙව්බඹුන් ගෙන් පැතිරගත්තෝ වූහ.

5. පසැස් ඇති ශාස්තෲන්වහන්සේ ඒ සියල්ල වෙසෙසි නුවණින් දැනැ වෙන් කොට දැක ඉක්බිති සස්නැ ඇලුණු ඒ සිය සව්වන් බණවා, “මහණෙනි, දෙව්මුළුවෝ එළැඹියාහ. වචනවලින් පිළිවෙළින් ඒ යම් දෙවිකෙනෙකු හෙළි කරන්නෙම් ද ඔවුන් දැන ගනිවු” යැ යි වදාළ සේක.

“කිඹුල්වත්පුර වැසි, ඉදුමත්, බබළන, පැහැපත්, යශස් ඇති සත්දහසක් බූමාටු දෙවියෝ සතුටු වන්නාහු, රහත් මහණ මුළුව දක්නට වනය කරා එළැඹියාහ.

හිමවත් වැසි, නන්වැදෑරුම් පැහැ සපු ඇති, ඉදුමත්, බබළන පැහැපත්, යශස් ඇති සදහසෙක් දෙවියෝ සතුටු වන්නාහු ඒ රහත් මහණ මුළුව දක්නට වනය කරා එළැඹියාහ.

6. සාතගිරි පර්වතවාසී, නන්වැදෑරුම් පැහැසපුව ඇති, ඉදුමත්, බබළන, පැහැපත්, යසස් ඇති තුන්දහසෙක් දෙවියෝ සතුටු වෙමින් භික්ෂූ සමාගමය දක්නට වනය කරා එළැඹියාහ.

මෙසේ නන්වැදෑරුම් පැහැසපු ඇති, ඉදුමත්, බබළන, පැහැපත්, යශස් ඇති සොළොස් දහසෙක් දෙවියෝ සතුටු වෙමින් රහත් භික්ෂූන් ගේ සමාගමය දක්නට වනයට පැමිණියාහ.

විශ්වාමිත්‍රපර්වතවාසී, නන්වැදෑරුම් පැහැසපු ඇති, ඉදුමත්, පැහැපත්, යසස් ඇති පන්සියයෙක් දෙවියෝ සතුටු වෙමින් ඒ රහත් භික්ෂූන්ගේ සමාගමය දක්නට වනයට පැමිණියාහ.

රජගහ නුවර වැසි කුම්භීර නම් යක් සෙනෙවියෙක් වෙයි. විපුලගිරි පව්ව ඔහු වසන තැන ය. සිය දහසකටත් වැඩි යක්කු ඔහු ඇසුරු කෙරෙත්. රජගහවැසි ඒ කුම්භීර තෙමේ ද භික්ෂූ සමාගමය දක්නට වනයට පැමිණියේ ය.

7. පෙර දිගට රජ වූ දහරට් (ධෘතරාෂ්ට්‍ර) තෙම එ දෙස පාලනය කරයි. ගන්ධර්වයනට අධිපති යශස් ඇති ඒ (වරම්) මහරජ ද මහ බලැති, ඉදුමත්, බබළන, පැහැපත්, යශස් ඇති ඉන්ද්‍ර යන නම ඇති බොහෝ වූ ඔහු පුත්තු ද සතුටු වන්නාහු භික්ෂූන් ගේ සමාගමය දක්නට වනය කරා එළැඹියාහ.

විරුළු (විරූඪක) වරම් රජ ඒ දකුණු දෙස පාලනය කෙරෙයි. කුම්භාණ්ඩ යනට අධිපති වූ ඒ යශස්වි මහරජ ද, මහත් බල ඇති, ඉදුමත්, බබළන, පැහැපත්, යශස් ඇති ඔහුගේ ඉන්ද්‍ර නම් වූ බොහෝ පුත්තු ද සතුටු වන්නාහු භික්ෂූන්ගේ සමාගමය දක්නට වනයට පැමිණියාහ.

විරූඇසි (විරූපාක්ෂ) වරම් රජ ඒ පැසිම් දෙස පාලනය කෙරෙයි. නාගයනට අධිපති වූ යශස්වී වූ ඒ වරම් මහරජ ද, මහ බලැති, ඉදුමත්, බබළන, පැහැපත්, යශස් ඇති ඔහුගේ ඉන්ද්‍ර නම් වූ බොහෝ පුත්තු ද, සතුටු වන්නාහු භික්ෂූසමාගමය දක්නට වනයට එළැඹියාහ.

වෙසවුණු (කුවෙර) වරම් රජ ඒ උතුරු දිග පාලනය කෙරෙයි. යක්ෂයනට අධිපති වූ යශස්වී වූ ඒ මහරජු ද ඉන්ද්‍ර යන නමැති මහ බලැති, ඉදුමත්, ද්‍යුතිමත්, වර්ණවත්, යශස්වී වූ ඔහුගේ බොහෝ පුත්තු ද, සතුටු වන්නාහු භික්ෂූන්ගේ සමාගමය දක්නට වනයට පැමිණියාහ.

8. ධෘතරාෂ්ට්‍ර වරම් රජ පෙර දිග ද, විරූඪක වරම් රජ දකුණු දිග ද, විරූපාක්ෂ වරම් රජ පැසිම් දිග ද, කුවෙර වරම් රජ උතුරු දිග දැ යි ඒ සතර වරම් මහරජුහු කිඹුල්වත් පුර වනයෙහි හාත්පසැ අතිසයින් බබළමින් සිටියාහ.

9. ඔවුන්ගේ මායාවී වූ වංචනික වූ ශඨ වූ කපට වූ කුටෙණ්ඩු, වේටෙණ්ඩු, විටු, විටුඩ යන දාසයෝ ද,

චන්දන, කාමසෙට්ඨ, කින්නිඝණ්ඩු, පනා ද, ඕපමඤ්ඤ, දෙව්රියැදුරු මාතලී යන දෙවියෝද, චිත්‍ර, සේන, චිත්‍රසේන යන ගඳැවු තිදෙනා ද, නළ නම් දෙව්රජ ද, ජනවසභ දෙව්පුත් ද,

පන්සිළු දෙව්පුත් ද, තිම්බරූ නම් ගඳැවූ රජ ද, සුරියවච්චසා දෙව්දු ද යන මේ සියල්ලෝ ද, අන් ගඳැවු රජුහුද සතුටු වන්නාහු සිය රජුන් සමග භික්ෂූන් ගේ සමාගමය දක්නට වනයට පැමිණියාහ.

තව ද ආකාශස්ථ නාගයෝ ද, විසාලා නාගපුර වැසි නාගයෝ තක්ෂක නම් නාගයන් කැටුව ආහ. කම්බල අස්සතර යන කුල දෙකේ නාගයෝ ද ප්‍රයාගවාසී නාගයෝ ද නෑයන් කැටුව ආහ.

යශස් ඇති, යමුනානදි වසන නාගයෝ ද, ධෘතරාෂ්ට්‍ර කුලයට අයත් නාගයෝ ද, ඓරාවන නම් ඒ මහානාගයා ද භික්ෂූ සමාගමය දක්නට වනයට පැමිණියාහ.

10. පිරිසිදු ඇස් ඇති යම් දිව්‍ය ගරුඬ පක්ෂී කෙනෙක් නා රජුන් වහා ඩැහැගෙන යෙත් ද, ඔහු අහසින් වනයට පැමිණියාහ. චිත්‍ර ද සුපර්ණ ද යනු ඔවුන් ගේ නම් ය.

එ දා නාරජුනට අභය (බිය නැති බව) විය. බුදුරජුහු ගරුඬයන් කෙරෙන් නිරුපද්‍රැත බව කළහ. නාගයෝ ද ගරුඬයො ද මොළොක් බසින් උනුන් කැඳවන්නාහු බුදුරජුන් සරණ ගියාහ.

11. විදුරත් (සක්දෙව්) විසින් දිනන ලද, මුහුද ඇසුරු කළ, සක් දෙව් රජුගේ භ්‍රාතෘ වූ, ඉදුමත්, යශස් ඇති අසුරයෝ ද,

කාලකංජ දානාව්ඝය යන නම් ඇති මහ බියකුරු අසුරයෝ ද, වේපචිත්ති සුචිත්ති යන අසුරයෝ ද, පහාරාද (ප්‍රහ්ලාද) නම් අසුර ද නමුවිහු කැටුව ආහ.

හැම දෙනා ම වේරොච යන නම් ඇති, බලි අසුරයා පුත් සිය දෙනා ද බල සෙන් සන්නද්ධ කොට ගෙන රාහු අසුරිඳු වෙත එළැඹියාහ. ‘ඔබට සෙත් වේ වා’! දැන් භික්ෂූන් ගේ සමාගමය දක්නට වනයට යන්නට කල් පැමිණියේ යැ යි ඔහු සැළ කළාහ.

12. අබ් දේවතාවෝ ද පෘථිවි දේවතාවෝ ද තේජෝ දේවතාවෝ ද වායු දේවතාවෝ ද එයට ආහ. වරුණ, වාරුණ යන දෙව්හු ද සෝම දෙවියා ද යශස් නම් දෙවියා කැටුව ආහ. යශස් ඇති මෙත්තාකායික කරුණා කායික දෙවියෝ ද ආහ.

නන් වැදැරුම් පැහැති දස පරිද්දෙන් වූ ඉදුමත් වූ ද්‍යුතිමත් වූ වර්ණවත් වූ යශස්වී වූ දශ දේව සමූහයෝ සතුටු වන්නාහු, භික්ෂූන් ගේ සමාගමය දක්නට වනය කරා දස අයුරෙකින් එළැඹුණාහ.

13. විෂ්ණු දෙවනිකායයේ දෙවියෝ ද, සහලී නිකායේ දෙවියෝ ද, අසම නම් නිකායේ දෙවියෝ ද යම නම් දේව නිකාය දෙකෙක දෙවියෝ ද ආහ. සඳමඬල නිසා වසන දෙවියෝ (සඳ මඬලට අධිපති) සඳු දෙව්පුතු පෙරටු කොට ආහ.

හිරුමඬල නිසා වසන දෙවියෝ (හිරුමඬලට අධිපති) හිරුදෙව් පුතු පෙරටු කොට ගෙන ආහ. නකත් තරු ඇසිරැ වසන දෙවියෝ නකත් තරුනට අධිපති දෙවියන් පෙරටු කොට ගෙන ද ආහ. මන්දවලාහක දෙවියෝ ද ආහ.

වසු දේවතාවනට නායක වූ පුරින්ද යන අපර නාමධෙයයක් ඇති සක් දෙවිඳු ද ආයේ ය.

නන් පැහැති ඉදුමත් ද්‍යුතිමත් වර්ණවත් යශස්වී වූ දස දෙවනිකාය කෙනෙක් සතුටු වන්නාහු භික්ෂූන් ගේ ඒ සමාගමය දක්නට දස සැටියෙකින් වනයට ආහ.

14. ඉක්බිත් සහභූ නම් දෙවියෝ ගිනිසිළු මෙන් දිලියෙන්නාහු වනයට ආහ. දියබෙරලිය මල් පැහැති අරිට්ඨක නම් දෙවියෝ ද රෝජ නම් දෙවියෝ ද, වරුණ, ධම්ම, අච්චුත, අනෝජක යන නම් ඇති දෙවියෝ ද ආහ. සූලෙය්‍ය රුචිර යන දෙවියෝ ද ආහ. වාසවනේසි නම් දෙවියෝ ද ආහ.

නන් පැහැති සෘද්ධිමත් ද්‍යුතිමත් වර්ණවත් යශස්වී වූ මේ දශ දේවසමූහයෝ සතුටු වන්නාහු භික්ෂූන් ගේ සමාගමය දක්නට වනය කරා දස පරිද්දෙකින් ආහ.

15. සමාන, මහාසමාන, මානුස, මානුසුත්තම, ඛිඩ්ඩාපදෝසික නම් දෙවියෝ ද ආහ.මනෝපදොසික නම් දෙවියෝ ද ආහ. ඉක්බිති හරි නම් දෙවියෝ ද ආහ. රතුවත් හඳනා යම් දෙවි කෙනෙක් ඇද් ද, ඔහු ද යශස් ඇති පාරග මහාපාරග නම් වූ දෙවියෝ දැ යි මේ දස දෙව්මුළුහු භික්ෂූන් ගේ ඒ සමිතිය දක්නට වනය කරා දස පරිද්දෙකින් ආහ.

16. සුක්ක කරුම්හ වරුණ යන දෙවියෝ වේඛනස යන දෙවියන් හා ආහ. ඔදාතගය්හ පාමොක්ඛ විඡක්ඛණ යන දෙවියෝ ද ආහ.

යශස් ඇතී සදාමත්ත භාරගජ යන නමැති දෙවියෝ ද මිස්සක නම් දෙවියෝ ද ආහ. යමෙක් දිශාවන් තෙමන්නේ ද, ඒ පර්ජන්‍ය දෙවි ද අහස ගුගුරුවමින් ආය.

නානා වර්ණ ඇති සෘද්ධිමත් වූ ද්‍යුතිමත් වූ වර්ණවත් වූ යශස්වී වූ මේ සියලු දශ දේව සමූහයෝ සතුටු වන්නාහු භික්ෂූන් ගේ සමාගමය දක්නට දස පරිද්දෙන් වනයට ආහ.

17. කීර්තිමත් ඛේමිය නම් දෙවියෝ ද තුසිත යාම කට්ඨක ලම්බිත කාලාම සෙට්ඨ ජෝති ආසව නම් දෙවියෝ ද, නිම්මානරතී නම් දෙවියෝ ද ආහ. ඉක්බිති පරනිම්මිත නම් දෙවියෝ ද ආහ.

නන් පැහැති සෘද්ධිමත් ද්‍යුතිමත් වර්ණවත් යශස් ඇති මේ දශ දෙව නිකායයෝ සතුටු වෙමින් භික්ෂූන් ගේ සමාගමය දක්නට දස අයුරින් වනයට එළැඹියාහ.

18. නන් පැහැති, මේ සියලු සැටෙක් දේව නිකායයෝ, තව ද තමනට සමාන යම් අන් දෙව් කෙනෙක් ඇද්ද, ඔවුන් ද කැටුවැ නම් පිළිවෙළින් ආහ.

‘වැසැ නිමැවූ ජාති ඇති, කෙලෙස් හුල් නැති, සතර කෙලෙස් මහ වතුරු තිනූ, ආසව නැති අරී සඟන ද, ඔඝයන් තිනූ, අගතියට නොයන (නොහොත් පව් නැති) අඳුරු පැහැ ඉක්මි සඳුහු වැනි බුදුරජු ද දකුම්හ’ යි ආහ.

සෘද්ධිමත් බුදුරජු ගේ (ආර්‍ය්‍ය) ශ්‍රාවක පුත්‍ර වූ සුබ්‍රහ්ම පරමාත්ම යන දෙවිහු ද සනත්කුමාර බඹහු හා ආහ. ඒ තිස්ස නම් බ්‍රහ්ම ද භික්ෂූන් ගේ සමාගමයට වනයට ආ ය.

මහබඹ තෙම බඹලෝ දහසක් අභිබවා සිටී. බඹලොවැ උපන්, ද්‍යුතිමත් බිහිසුණු මහකයක් ඇති, කීර්තිමත් හෙ තෙමේ ද ආයේ ය.

වෙන් වෙන්වැ තම පිරිස් සිය වශයෙහි පවත්වන, ඊශ්වර වූ බඹහු දස දෙනෙක් ද මෙහි ආහ. ඔවුන් මැදින් බඹ පිරිස විසින් පිරිවැරුණු හාරිත නම් බ්‍රහ්ම තෙම ආයේ ය.

19. එළැඹැ සිටි ඉන්ද්‍රයා සහිත බ්‍රහ්මයා සහිත ඒ සියලු දෙවියන් කරා මරසෙන්හු පැමිණියාහ. බලව මරහු ගේ මුළා වෙක සැටි!

“එවු, ගනිවු, බඳිවු, මොහු හැම රාගයෙන් බඳනා ලදුවෝ ම වෙත් වා. හාත්පසින් පිරිවරවු (වටා මුර කොට සිටිවු). තෙපි ඒ කිසිවකු දු නො මුදවු.” මෙසේ බිහිසුණු හඬ කොට, අත්ලෙන් පොළොව පැහැරැ මහසෙන් (මරදෙව්පුත්) තෙම මරසෙන් එහි යැවී ය.

20. යම් සේ වැසි සමයෙහි වසින මේඝය ගර්ජනා කරනුයේ විදුලිය සහිත වනුයේ ද, එසේ ම එදා ඒ මරදෙව් පුත් ඒ දෙව්පිරිස තමා වශයෙහි පැවැත්විය නුහුණුයේ, ඉතා කිපියේ, පෙරැළා නැඟී ගියේ ය.

පසැස් ඇති ශාස්තෘන් වහන්සේ ඒ සියල්ල දැන, වෙසෙසා දැක, ඉක්බිති සස්නැ ඇලුණු ඒ සව්වන් බණවා, “මහණෙනි, මරසෙන්හු ආහ. ඔවුන් දැනැගනිවු යි වදාළ සේක.

ඔහු ද බුදුරජුන් ගේ අනුශාසනය අසා වැර වැඬූහ. පහ වූ රාග ඇති ඒ භික්ෂූන් කෙරෙන් මරසෙන්හු ඉවත් ව ගියහ. ඒ රහතුන්ගේ ලෝමයකුදු සොලවනු නො හැකි වූහ.

ජනයා කෙරෙහි ප්‍රකට වූ ඒ සියලු බුදු සව්වෝ දිනූ මර යුද ඇතියාහු, බිය ඉක්මියාහු, එහෙයින් ම කීර්තිමත් වූවාහු, අරිසව්වන් හා සතුටු වෙත්.

සත්වැනි මහාසමය සූත්‍රය නිමියේ ය.

උපුටා ගැනීම - ධම්මසංගායනා - www.dhammasanghayana.org