ත්‍රිපිටක පොත් වහන්සේ/සූත්‍ර පිටකය/දීඝ නිකාය/මහා සුදස්සන සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා නුවර උපවත්තන නම්වූ මල්ල රජුන්ගේ සල්වනයෙහි සල් ගස් දෙකක් අතරෙහි පිරිනිවන්පාන කාලයෙහි වාසය කළෝය.
2. එවිට ආයයුෂ්මත්වූ ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ මෙසේ කීය.
´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කුඩා නුවරක්වූ නොසම නුවරක්වූ ශාඛා නගරයක්වූ මේ කුසිනාරා නුවරෙහි පිරිනිවන් නොපාන සේක්වා.
3. ´´ආනන්දය, කුඩා නුවරය, නොසම නුවරය, ශාඛා නුවරයයි, මෙසේ නොකියව. ආනන්දය, පෙර එක් කාලයක අහිෂේක ලැබුවාවූ, ක්‍ෂත්‍රිය වංශයෙහි උපන්නාවූ,(ආයුධ නොගෙන)සතුරන් ජයගත්තාවූ ජනපදයන්හි ස්ථිර බවට පැමිණියාවූ, මහා සුදර්ශන නම් රජෙක් විය. ඔහුට මේ කුසිනාරා නුවර කුසාවතී නමින් රාජධානි වී. ඒ නගරය වනාහි නැගෙනහිරින්ද, බටහිරින්ද, දිගින් දොළොස් යොදුන් විය. උතුරු දිගින්ද දකණු දිගින්ද පළලින් සත් යොදුන් විය. ආනන්දය, කුසාවතී රාජධානිය සියලු සම්පත්තියෙන් සමෘද්ධ විය. සියල්ලෙන් සම්පුර්ණ විය. බොහෝ ජනයා ඇත්තී විය. මනුෂ්‍යයන්ගෙන් ගැවසී ගත්තීවිය. කෑම්බීම් ආදියෙන්ද ඉතා සුලභ විය. ආනන්දය, යම්සේ දෙවියන්ගේ ආළකමන්දා නම් රාජධානිය සියලු සම්පත්තියෙන් සමෘද්ධද සම්පූර්ණද එමෙන්ම කුසාවතී රාජධානිය සියලු සම්පත්තියෙන් සමෘද්ධ විය. සම්පූර්ණද විය.
4. ´´ආනන්දය, මහාසුදර්ශන රජ රත්න හතකින්ද සෘද්ධි සතරකින්ද සමන්විත වූයේය. ආනන්දය, ඒ පුණුපෝය දිනයෙහි ස්නානය කොට අටසිල් සමාදන්ව උඩුමහල් තලයට පැමිණ සිටි සුදර්ශන මහා රජුට දැති දහසයකින් යුක්තවූ නිම් වළලු සහිත වුනැබ මඩුලු (බොස් ගෙඩිය)සහිතවූ සියලු ආකාරයෙන් සම්පූර්ණවූ දිව්‍යය චක්‍ර රත්නය පහළ වූයේය. ඒ දැක මහා සුදර්ශන රජුට මෙවැනි අදහසක් ඇතිවිය. දිව්‍යමයවූ චක්‍ර රත්නයක් පහළවූ බැවින් ඔහු සක්විති රජ වෙම්දෝයි යනුවෙනි.
5. ´´ආනන්දය, ඉක්බිති මහා සුදර්ශන රජ උන් ආසනයෙන් නැගිට සලුවක් ඒකාන්ශ කොට පොරවා වම් අතින් රන් කෙන්ඩිය ගෙන ´පින්වත් චක්‍රරත්නය, (මාගේ අණසක) පවත්වාවා! පින්වත් චක්‍රරත්නය (සතර මහත් දිවයින) ජයගෙන දේවායි´ කියමින් දකුණු අතින් පැන් ඉස්සේය. ආනන්දය, එවිට ඒ චක්‍ර රත්නය මහා සුදර්ශන රජ සහ සිවුරඟ සෙනග කැටුවම පෙරදිගට ගමන්ගති. ආනන්දය, යම් පෙදෙසක චක්‍ර රත්නය පිහිටියේද එහි සුදර්ශන රජ සිවුරඟ සෙනග සමග වාසයට පැමිණියේය.
6. ´´ආනන්දය, නැගෙනහිර දිසාවෙහි යම් විරුද්ධ රජ කෙනෙක් වූවාහුද ඔවූහු මහා සුදර්ශන රජු වෙතට පැමිණ මෙසේ දැන්වූහ. ´´මහ රජ්ජුරුවන් වහන්ස, එනු මැනව. ඔබගේ ගමන ඉතා යහපත් වේමය.(මේ මහද්වීපය)ඔබ සන්තකය, අපට අනුශාසනා කළ මැනවයි´´ යනුවෙනි. මහාසුදර්ශන රජ (ඔවුන්ට) මෙසේ අනුශාසනා කළහ. සතුන් නොමැරිය යුතුය. නොදුන් දෙය සොර සිතින් නොගත යුතුය.(සොරකම් නොකල යුතුය) කාමයන්හි වරදවා නොහැසිරිය යුතුය. බොරු නොකිය යුතුය. සරා පානය නොකල යුතුය.(තොප) අනුහව කල අය බදුම අනුහව කරව්යයි´´(ඒ ඒ රජවරුන්ටම ඒ ඒ රටවල් පාවා දෙයි) ආනන්දය, නැගෙනහිර දිශාවෙහි යම් විරුද්ධ රජ කෙනෙක් ඇද්ද ඔවූහු මහා සුදර්ශන රජුට අනුව පැවැත්තාහුය.(යටත්වූහ)
7. ´´ආනන්දය. ඉක්බිති ඒ චක්‍ර රත්නය පෙරදිග සමුද්‍රයට බැසගෙන එයින් නැගී මහා සුදර්ශන රජ සහ සිවුරඟ සෙනග කැටුවම දකුණු දිශාවට පෙරදිග ගමන මෙන් විය. බස්නාහිර ගිය ගමනද උතුරට ගිය ගමනද එසේම විය.
8. ´´ආනන්දය, ඉක්බිති ඒ චක්‍ර රත්නය මුහුද කෙළවර කොට ඇති මුළු පොළව ජය ගෙන කුසාවතී රාජධානියට ආපසු ඇවිත් මහා සුදර්ශන රජුගේ ඇතුළු නුවර වාසල් දොර නඩු ශාලාව ඉදිරියෙහි, රජුගේ ඇතුළු නුවර(අන්තංපුරය) වැඩියක් හොබවමින් රථ අලවන්ගුවේ ඇතුළත් කරන ලද්දක් මෙන් සිටියේය. ආනන්දය, මහාසුදර්ශන රජහට මෙබදු(ආනුහාව ඇති) චක්‍රරත්නය පහළ වූයේය.
9. ´´ආනන්දය, නැවතද සර්වාන්ගයම සූදුවූ ස්ථාන හතකින් පොළව ස්පර්ශ කරන්නාවූ, සෘද්ධි ඇත්තාවූ අහසින් යන්නාවූ, උපොසථ නම් හස්ති රාජ රත්නයක් පහළවූයේය. ඒ දැක මහාසුදර්ශන රජුගේ සිත පැහැදුනේය. පින්වත්නි, ඒකාන්තයෙන් හස්තියානය ඉදින්නික්මීමට පැමිණේ නම් ඉතා යහපතැයි කියායි, ආනන්දය එවිට ඒ හස්ති රත්නය ඉතා බොහෝ කලක් යහපත්ව දමනය කරන ලද උතුම් අජානීය හස්ති රාජයෙක් යම්සේද එමෙන්ම දමනයට පැමිණ ඉතා හොදින් හික්මුනේය.
ආනන්දය, පෙරවූ දෙයක් කියමි. ඒ මහා සුදර්ශන රජ හස්ති රත්නය විමසන්නේ උදේ කාලයෙහි හස්ති යානාවට නැගී මුහුද කෙළවර කොට ඇති මුළු පොළවට අනුශාසනා කොට කුසාවතී රාජධානියට ආපසු ඇවිත් උදේ ආහාරය නිමවූයේය. ආනන්දය, මහාසුදර්ශන රජහට මෙබදු හස්ති රත්නයක් පහළ වූයේය.
10. නැවතද ආනන්දය, මහාසුදර්ශන රජහට, මුළු ශරීරිය සූදුවූ කාක ශීර්ෂවූ(කවුඩෙකුගේ හිසට සමාන හිසක් ඇති) දකුණට කැරකුන කෙශ කලාපයක් ඇති සෘද්ධිමත්වූ අහසින් යන්නාවූ වලාහක අශ්වරාජවූ අශ්ව රත්නයක් පහළ වූයේය. ආනන්දය, පෙරවූ දෙයක් කියමි. මහා සුදර්ශන රජ ඒ අශ්ව රත්නය විමසනුයේ උදය කාලයෙහි අසු පිටට නැගී සමුද්‍රය කෙළවර කොට ඇති මුළු පොළවෙහි ඇවිද කුසාවති රාජධානියට ආපසු ඇවිත් පෙරවරු ආහාරය නිමවූයේය. ආනන්දය, මහාසුදර්ශන රජහට මෙබදු අශ්ව රත්නයක් පහළ වූයේය.
11. ´´තවද අනිකක් නම්, ආනන්දය, ඒ මහා සුදර්ශන රජහට මාණික්‍ය රත්නයක් පහළ වූයේය. ඒ මාණික්‍ය රත්නයේ ආලෝකය හාත්පසින් යොදුනක් තැන පැතිර සිටියේය. ආනන්දය, පෙරවූ දෙයක් නම් මහා සුදර්ශන රජ ඒ මණි රුවන විමසනුයේ සිව්රඟ සේනාව සරසා ඒ මාණික්‍ය රත්නය කොඩියෙහි අගට නංවා ඇස් අදුරු කරන තද කළුවර රාත්‍රියෙහි(නුවර) සැරිසරයි, ආනන්දය, ඒ කුසාවති නගරය අවට ගම් වාසීහු මාණික්‍යයේ ආලෝකයෙන් දවාලයයි සිතා කර්මාන්ත ආරම්හ කළහ. මහාසුදර්ශන රජහට මෙබදු මාණික්‍ය රත්නයක් පහළ වූයේය.
12. ´´නැවතද අනිකක් නම්, ආනන්දය, මහා සුදර්ශන රජහට ස්ත්‍රිරත්නයක් පහළවූයේය. ඕ තොමෝ මනා රූ ඇත්තීය. දැකුම්කට යුත්තීය. උතුම්වූ වර්ණ සෞන්දර්යයයෙන් යුක්ත වූවාය. ඉතා උස්ද නොවීය. ඉතා මිටිද නොවිය. ඉතා කෙට්ටුද නොවීය. ඉතා මහත්ද නොවීය. ඉතා කළුද, ඉතා සුදුද නොවීය, මිනිස් වරණය ඉක්මුණාවූ දිව්‍යය වර්ණයට නොපැමිණියාවූ(දෙවඟනක් සමාන) ස්ත්‍රික් වූවාය. ආනන්දය, ඒ ස්ත්‍රිරත්නයාගේ මෙබඳුවූ ශරීර ස්පර්ශයක් වේ. ඉඹුල් පුළුන් වල හෝ කපු පුළුන් වල යම්බඳු ස්පර්ශයක් ඇද්ද, එබඳු ස්පර්ශයක් ඇත්තීය, ආනන්දය, ශීත කාලයේ ඒ ස්ත්‍රිරත්නයගේ ශරීරය උනුසුම් වෙයි, උණුසුම් කාලයේදී සීතවෙයි. ආනන්දය, ඒ ස්ත්‍රිරත්නයගේ ශරීරයෙන් සඳුන් සුවඳ විහිදෙයි, කටින් මහනෙල් මල් සුවඳ විහිදෙයි, ආනන්දය, ඒ ස්ත්‍රිරත්නය වනාහි මහා සුදර්ශන රජුට පළමු කොටම නැගිටින්නියක් වූවාය. පසුව සැතපෙන්නීය, දාසියක් මෙන් හැසිරෙන්නීය, ප්‍රියමනාපව හැසිරෙන්නීය, ප්‍රිය වචන කියන්නීය, ආනන්දය, ඒ ස්ත්‍රිරත්නය වනාහි මහා සුදර්ශන රජු ඉක්මවා සිතින්වත් නොහැසිරෙන්නීය. ශරීරයෙන් කියනුම කවරේද?ආනන්දය මහා සුදර්ශන රජුට මෙබඳුවූ ස්ත්‍රිරත්නයක් පහළ වූයේය.
13. ´´නැවතද අනිකක් නම්, මහා සුදර්ශන රජහට ගෘහපති රත්නයක් පහළ වූයේය. ඒ ගෘහපති රත්නයට කුශල විපාකයෙන් දිවැස් පහළ විය. ඒ ගෘහපති රත්නය මහා සුදර්ශන රජු වෙත පැමිණ මෙසේ කීවේය. දේවයන් වහන්ස, උත්සහ නොකල මැනව, මම ඔබ වහන්සේගේ ධනයෙන් වුවමනා කටයුතු කරන්නෙමියි´´ ධනයෙන් පැවරීය.
14. නැවතද අනිකක් නම් ආනන්දය, මහා සුදර්ශන රජුට පරිනායක රත්නයක් පහළ වූයේය. ඔහු පණ්ඩිත වූයේය. කීමෙහි, බිණිමෙහි දක්ෂ වූයේය. ඥාණවන්ත වූයේය. මහා සුදර්ශන රජු වෙතට පැමිණ විය යුත්තන් පැමිණ වීමටද, නොපැමිණවියයුත්තන් නොපැමිණවීමටද, සමර්ථ වූයේය. ඔහු මහා සුදර්ශන රජු වෙත පැමිණ, දේවයන් වහන්ස ඔබ වහන්සේ වෙහෙස නොවනු මැනව. මම අනුශාසනා කරන්නෙමි, කීය. ආනන්දය, මහා සුදර්ශන රජුට මෙබඳු පරිනායක රත්නයක් පහළ වූයේය. ආනන්දය, මහා සුදර්ශන රජු මේ සත් ආකාර රත්නයෙන් යුක්ත වූයේය.
15. ´´ආනන්දය, නැවතද අනිකක් නම්, මහා සුදර්ශන රජ සතර සෘද්ධියකින් යුක්ත වූයේය. මහා සුදර්ශන රජ අන්‍ය මනුෂ්‍යයන්ට වඩා අතිශයින් මනාවූ රූප ශෝහා ඇති දැකීමට ප්‍රියවූ සතුට ගෙන දෙන්නාවූ උතුම් වර්ණ සම්පත්තියෙන් යුක්ත විය.
සෙසු මනුෂ්‍යයන්ට වඩා බොහෝ කල් ජීවත් වන්නෙක් විය. අන්‍ය මනුෂ්‍යයන්ට වඩා ආබාධ අඩු කෙනෙක් විය.
16. තවද, ආනන්දය, සක් දෙවිඳු මහා සුදර්ශන රජුගේ සතිවිල්ල තමාගේ සිතින් දැන විස්වකර්ම දිව්‍ය පුත්‍රයාට කථා කර මහා සුදර්ශන රජුට විසීමට ´ධම්ම´ නම් ප්‍රාසාදයක් මවවයි, කීය. විස්වකර්ම දිව්‍ය පුත්‍ර තෙමේ ´ධර්ම´ නම්වූ ප්‍රාසාදයක් මැවූයේය.
17. ´´ආනන්දය, ඊට පසුව මහා සුදර්ශන රජහට මෙබඳු අදහසක් ඇතිවිය. එනම් යම් හෙයකින් මම දැන් මහත් සෘද්ධි ඇත්තේ මහත් ආනුහාව ඇත්තේ වෙම්ද, මාගේ මේ සම්පත්තිය කිනම් කුසලකර්මයක්හුගේ
ඵලයක්ද, කවර කර්මයෙක්හුගේ විපාකයෙක්ද?කියායි. ඉක්බිති රජහට මෙබඳු අදහසක් ඇතිවිය, මාගේ මේ සම්පත්තිය ත්‍රිවිධ කුශල කර්මයාගේ ඵලය වෙයි. ත්‍රිවිධ කර්මයන්ගේ විපාකය වෙයි. ඒ කවරේද යත්, දානයේද, උපෝසථ සීලයේද, කය හා වචනය සංවර කිරීමේද, යන ත්‍රිවිධ කුසල කර්මයේ ඵල විපාකය යනුයි,
18. තවද ආනන්දය, ඒ මහා සුදර්ශන රජ තෙම මහාබ්‍යහ නම් කූටාගාරයෙහි දොරටුව ළඟ සිට ප්‍රිති වාක්‍යයක් කීයේය. කාම සිතිවිලි සිටුව, ක්‍රොධ සිතිවිලි සිටුව කාම සිතිවිලි ක්‍රෝධ සිතිවිලි මෙපමණකින් සිටීවා, හින්සා සිතිවලි මෙපමණකින් සිටීවා, මෙපමණකින් සිටීවා කියායී.
19. තවද ආනන්දය, මහා සුදර්ශන රජ තෙම මහාබ්යුහ නම් කුටාගාරයෙහි රනින් කළ පර්යන්කයෙහි(ආසනයෙහි) හුන්නේ කාම තෘෂ්ණාවෙන් වෙන්වම අකුසල ධර්මයන්ගෙන් වෙන්වම, ප්‍රථම ධ්‍යානය උපදවා විසුයේය. දෙවැනි ධ්‍යානය උපදවා වාසය කළේය. තුන්වැනි ධ්‍යානය උපදවා විසුයේය. සතරවැනි ධ්‍යානය උපදවා විසුයේය.
20. නැවතද ආනන්දය, මහා සුදර්ශන රජ තෙම සෑම තන්හි සියලුම ප්‍රාණින් සහිතවූ සියලුම ලෝකය විශාලවූ මහත් බවට ගියාවූ අප්‍රමාණ වෛර නැති හින්සා රහිතවූ මෛත්‍රි සිතින් පතුරුවා විසුයේය. කරුණා සහගත සිතින්, මුදිතා සහගත සිතින් උපෙක්ෂා සහගත සිතින් පතුරුවා විසුයේය.
21. එකල්හි ආනන්දය, සුහද්‍රා දේවිය සිව්රඟ සෙනගද අන්තක්පුර ස්ත්‍රින්ද සමඟ ධර්මප්‍රාසාදයට එළඹ ධර්ම ප්‍රාසාදයට නැගී මහාබියූහ කූටාගාරයට පැමිණ දොරබාව අල්වා ගෙන සිටියාය. ඉක්බිති මහා සුදර්ශන රජ තෙම ශබ්දය ඇසී කිමෙක්ද?මේ මහත් සේනාවක්හුගේ ශබ්දයක් මෙනැයි සිතා මහාබියූහ කූටාගාරයෙන්, නික්මුණේ, දොරබාව අල්වා ගෙන සිටි සුහද්‍රා දේවිය දුටුවේය. දැක, සුහද්‍රා දේවියට මෙසේ කීවේය. එම්බා දේවිය, මෙතැන්හිම සිටුව, කූටාගාරයට ඇතුල් නොවෙවයි කීයේය.
22. ආනන්දය අනතුරුව, සුහද්‍රා දේවියට මෙබඳු අදහසක් ඇතිවිය. මහා සුදර්ශන රජහුගේ ඉන්ද්‍රියයෝ ඉතා ප්‍රසන්නයහ. ශරීර වර්ණය පිරිසිදුය. විශේෂයෙන් බබලන්නේය. මහා සුදර්ශන රජ තෙම කාලක්‍රියා නොකෙරේවා. දේවි තොමෝ කඳුළු පිසදමා, මහා සුදර්ශන රජහට මෙසේ කීවාය. දේවයන් වහන්ස, ප්‍රියවූ මනාපවූ සියල්ලන්ගේ නානා හාවයවන්නේය. වෙන්වන්නාවූ ස්වහාවය ඇත්තේය. අන්‍ය ගතියකට යන ස්වහාවය ඇත්තේය. දේවයන් වහන්ස, නුඹ වහන්සේ ආසාවක් නැතුවමකාලක්‍රියා කල මැනව. ආසාව ඇත්තහුගේ කාලක්‍රියාව දුක්වන්නේය. නින්දා වන්නේය.
23. එවිට මහා සුදර්ශන රජ තෙම නොබෝවේලාවකින්ම කාලක්‍රියා කළේය. ආනන්දය, කාලක්‍රියා කලාවූ මහා සුදර්ශන රජ තෙම මනා ගති ඇති හෙයින් සුගති නම්වූ බ්‍රහ්මලෝකයෙහි උපන්නේය. ආනන්දය, මම ඒ කාලයේදී මහා සුදර්ශන රජවීමීයි වදාළ සේක. ආනන්දය, ඒ අසූහාරදහසක් නගර අතුරින් යම් කුසාවතී රාජ ධානියෙක් වීද එසමයෙහි ඒ එකම කුසාවතී නුවර වාසයකෙළෙමි.
24. ආනන්දය, සංස්කාරයන්ගේ අනිත්‍යතාව බලව, සියලුම ඒ සංස්කාර ධර්මයෝඉකුත් වූහ. නිරුද්ධ වූහ. විනාශ වූහ. මෙසේ සංස්කාරයෝ අනිත්‍ය වන්නාහුය අස්තිර වන්නාහුමය. ආනන්දය, සංස්කාරයෝ මෙසේ අස්වැසීමක් නැත්තාහුමය. යම් මේ සියලු සංස්කාර ධර්මයන් කෙරෙහි කලකිරෙන්ට නොඇලෙන්ට මිදෙන්ට සුදුසු වන්නේමය.
25. ආනන්දය, මම වනාහි මේ ප්‍රදේශයෙහි හය වාරයක්ම ශරිර නික්‍ෂෙපය(ශරීරය දැමීම) කළ බව දනිමි. ඒ වනාහි ධාර්මිකවූ ධර්මරාජන්වූ චක්‍රවාළය කෙළවර කොට ඇති සතර මහාද්වීපය ජයගත්තාවූ ජනපදයන්හි ස්තිරහාවයට පැමිණියාවූ සප්තවිධ රත්නයෙන් යුක්තවූ සක්විති රජ කාලයන්හිමය. මේ සත්වෙනි ශරිර නික්‍ෂෙපය(ශරීරය දැමිම) වන්නේය. ආනන්දය, දෙවියන් සහිතවූ මරුන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ දෙවිමිනිසුන් සහිතවූ ලෝකයෙහි යම් තැනෙක්හි තථාගත තෙම අටවැනි වර ශරිර නික්‍ෂෙපය කරන්නේද එබඳුවූ ප්‍රදේශයක් මම නොදක්නෙමියි වදාළසේක. භාග්‍යවතුන් වහන්සේ මේ සුත්‍රය මෙසේ වදාරා එයින් මත්තෙහි සුගත නම්වූ ශාස්තෲන්වහන්සේ මෙසේද වදාළ සේක.
´´ඉපිද නැසෙන සුලුවූ සංස්කාර ධර්මයෝ ඒකාන්තයෙන් අනිත්‍යයහ. ඉපිද නැතිවෙත්, ඔවුන්ගේ සංසිඳීම සැපවන්නේය´´ යනුයි.
උපුටා ගැනීම - උතුම් ශ්‍රී සද්ධර්මය ( dahamsithum.wordpress )