Jump to content

ත්‍රිපිටක පොත් වහන්සේ/සූත්‍ර පිටකය/මජ්ක්ධීම නිකාය/කණ්ණකත්‍ථල සූත්‍රය

Wikibooks වෙතින්

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ උජුකා නගරාසන්නයෙහි වූ මිගදාය නම්වූ කණ්නකත්‍ථලයෙහි වැඩ වෙසෙති.

එකල්හි පසේනදි කොසොල් රජ කිසියම් කටයුත්තෙක් පිණිස උජුකි නගරයට පැමිණියේ වෙයි. එහිදී පසේනදි කොසොල් රජ එක්තරා පුරුෂයෙක් කැඳවා, ´එම්බා පුරුෂය, මෙහි එව. නුඹ භාග්‍යවතුන් වහන්සේ යම් තෙනකද, එහි යව. ගොස් මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේ සිරිපා මුදුනෙන් වඳුව. ආබාධ රහිත බව, නීරෝග බව, සැහැල්ලුකම, කාය බලය, සැප විහරණය අසව. ´ස්වාමීනි, පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් මුදුනෙන් වඳියි. ආබාධ රහිත බව, නීරෝග බව, සැහැල්ලුකම, කාය බලය, සැප විහරණය විචාරයි´ කියාය. මෙසේද කියව.

´ස්වාමීනි, අද පසේනදි කොසොල් රජ දවල් ආහාර අනුභව කොට සවස් කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ දකින පිණිස පැමිණෙන්නේය ( කියාය. ) ´´දේවයන් වහන්ස, එසේය´´ කියා ඒ පුරුෂ කෙම පසේනදි කොසොල් රජහට උත්තර දී, භාග්‍යවතුන් වහන්සේ යම් තෙනකද, එහි පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක හුන්නේය. එක්පසෙක හුන් ඒ පුරුෂකෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. ´´ස්වවාමීනි, පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් මුදුනෙන් වඳියි. ආබාධ රහිත බව, නීරෝග බව, සැහැල්ලුකම, කාය ශක්තිය, සැප විහරණය විචාරයි´ මෙසේද කියයි. ´´ස්වාමීනි, අද පසේනදි කොසොල් රජ දවල් ආහාර ගෙන සවස් කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ දකිනු පිණිස පැමිණෙන්නේය´´ කියාය.

2. සොමා, සකුලා යන සොහොයුරියෝ දෙදෙන ´අද පසේනදි කොසොල් රජ දහවල් ආහාර ගෙන සවස් කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ දකිනු පිණිස පැමිණෙන්නේය´ කියා ඇසුවාහුය. එකල්හි සොමා, සකුලා යන සොහොයුරියෝ දෙදෙන බත් එලවන තෙනෙහි ( හුන් ) පසේනදි කොසොල් රජු වෙත පැමිණ මෙසේ කීහු. ´´එසේනම් මහරජ, අපගේ වචනයෙන්ද, භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් මුදුනෙන් වැන්ද මැනව.´´

´ආබාධ නැති බව, නීරෝග බව, කාය සැහැල්ලුව, කාය බලය, සැප විහරණය විචාළ මැනව. ´ස්වාමීනි, සොමා, සකුලා යන සොහොයුරියෝ භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් සිරසින් වඳිති. ආබාධ රහිත බව, නීරෝග බව, කයේ සැහැල්ලු බව, කාය බලය, සැප විහරණය විචාරත්ය´ කියාය.

3. ඉක්බිති පසේනදි කොසොල් රජ අනුභව කළ දවල් බත ඇත්තේ සවස් කාළයෙහි භාග්‍යවතුන් වහන්සේ යම් තෙනකද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වැඳ එක්පසෙක හිඳගත්තේය. එක්පසෙක හුන් පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. ´´ ස්වාමීනි, සොමා, සකුලා යන සොහොයුරියෝ භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් සිරසින් වඳිති. ආබාධ රහිත බව, නීරෝග බව, කයේ සැහැල්ලුබව, කාය බලය, සැප විහරණය අසත්ය´´ යි කීය. ´´කිමෙක්ද? මහරජ, සොමා, සකුලා යන සොහොයුරියෝ අනික් දූතයෙකු නොලැබුවාහුදැ´´ යි වදාළහ.

´´ස්වාමීනි, සොමා, සකුලා යන සොහොයුරියෝ ´අද පසේනදි කොසොල් රජ අනුභව කළ දවල් බත ඇත්තේ, සවස් කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ දකිනු පිණිස යන්නේද,´ කියා ඇසුවාහුය. ඉක්බිති ස්වාමීනි, සොමා, සකුලා යන සොහොයුරියෝ බත් එලවන තෙනෙහිදී මා කරා පැමිණ මෙසේ කීවාහුය. ´´එසේනම් මහරජ, අපගේ වචනයෙන්ද, භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් සිරසින් වඳිනු මැනවි. ආබාධ රහිත බව, නීරෝග බව, කයේ සැහැල්ලු බව, කාය බලය, සැප විහරණය විචාළ මැනව. ස්වාමීනි, සොමා, සකුලා යන සොහොයුරියෝ භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් සිරසින් වඳිති. ආබාධ රහිත බව, නීරෝග බව, කයේ සැහැල්ලුබව, කාය බලය, සැප විහරණය අසතියි´ කියාය. ´´මහරජ, සොමා, සකුලා යන සොහොයුරියෝ සුව ඇත්තියෝ වෙත්වා´´ යි වදාළහ.

4. ඉක්බිති පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ. ´´ස්වාමීනි, යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ සියල්ල දන්නේය. සියල්ල දක්නේයයි ඉතිරි නොවූ සියල්ල නුවණින් දැකීම ප්‍රතිඥා කරන්නේද, එබඳු ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ නැත. ඊට හේතු නැතැයි ශ්‍රමණ ගෞතම කෙම මෙසේ කියන්නේය, කියා මා විසින් අසනලදී.

´´ස්වාමීනි, යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ සියල්ල දන්නේය. සියල්ල දක්නේයයි ඉතිරි නොකොට සියල්ල නුවණින් දැකීම ප්‍රතිඥා කරන්නේද? එබඳු ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ නැත. ඊට හේතු නැතැයි ශ්‍රමණ ගෞතම තෙම කියන්නේය,´ යි යම් ඒ කෙනෙක් කීවාහුද, ස්වාමීනි, ඔවුහු භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද්දක් කියන්නාහුද? භාග්‍යවතුන් වහන්සේට බොරුවෙන් චෝදනා නොකරන්නාහුද? කරුණු අනුවම කියන්නාහුද, කරුණු සහිතවූ කිසියම් වාදයක් නින්‍දාවට සුදුසු බවට නොපැමිණේද?

5. ´´මහරජ, යම් ඒ කෙනෙක් මෙසේ කීහුද, ශ්‍රමණ ගෞතම කෙම මෙසේ කියන්නේය. යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ සියල්ල දන්නේය. සියල්ල දක්නේයයි ඉතිරි නොකොට සියල්ල නුවණින් දැකීම ප්‍රතිඥා කරන්නේද, එබඳු ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ නැත. ඊට හේතු නැත යනුවෙනි. එසේ කියන්නාවූ ඔවුහු මා විසින් කියන ලද්දක් කියන්නෝ නොවෙති. ඔවුහු අසතෘයෙන් මට චෝදනා කරන්නාහුය´´ යි වදාළහ.

එවිට පසේනදි කොසොල් රජ විඩූඩභ සේනාපතියාට කථාකොට, ´´කවරෙක් අද රජුගේ අන්තඃපුරයෙහිදී මේ කථාව කීවේදැ´´ යි ඇසී. ´´මහරජ, ආකාශ ගෝත්‍රයෙහිවූ සඤ්ජය නම් බ්‍රාහ්මණයාය´´ යි කීය.

ඉක්බිති පසේනදි කොසොල් රජ එක්තරා පුරුෂයෙක් කැඳවී. ´´එම්බා පුරුෂය, මෙහි එව. නුඹ මාගේ වචනයෙන් ආකාශ ගෝත්‍රයෙහි සඤ්ජය බ්‍රාහ්මණයා කැඳවව. ´පින්වත, පසේනදි කොසොල් රජ ඔබ කැඳවයි.´´ කියාය. ´´දෙවයන් වහන්ස, එසේය´´ කියා ඒ පුරුෂයා පසේනදි කොසොල් රජහට උත්තර දි ආකාශ ගෝත්‍රයෙහිවූ සඤ්ජය බ්‍රාහ්මණයා යම් තෙනකද, එහි පැමිණ ආකාශ ගෝත්‍ර ඇති සඤ්ජය බ්‍රාහ්මණයාහට මෙසේ කීය. ´පින්වත, පසේනදි කොසොල් රජ ඔබ කැඳවයි.´ කියාය.

6. ඉක්බිති පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් අන් කිසිවක් සඳහාම කියන ලද වචනයක් ඇත්තේද, එයද මිනිස්සු වරදවා ගන්නාහුය´´ යි කීය. ´´මහරජ, එසේ කියන ලද වචනයක් දනිමි´´ යි කීහ. ´´ස්වාමීනි, ( ඒ ) කියනලද වචනය භාග්‍යවතුන් වහන්සේ විසින් කෙසේ කියන ලද්දක් දැයි´´ ඇසී. ´´මහරජ, ( ඒ ) කියනලද වචනය මෙසේය. ´යමෙක් එකවරම සියල්ල දැනගණීද, දැකගනීද, එබඳු ශ්‍රමණයෙක් හෝ බ්‍රිහ්මණයෙක් හෝ නැත. ඊට කරුණු නැත යනුහි. යමෙක් එකවරම සියල්ල දන්නේද, දක්නේද, එබඳු ශ්‍රමණයෙන් හෝ බ්‍රාහ්මණයෙක් හෝ නැත. ඊට කරුණු නැතැයි´´ ( කියාය. ) ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ හේතු සහගතවූවක්ම වදාළේය. සවාමීනි, භාග්‍යවතුන් වහන්සේ කරුණු සහිත වූවක්ම වදාළේය.

7.´´ස්වාමීනි, ක්‍ෂත්‍රියෝය, බ්‍රාහ්මණයෝය, වෛශ්‍යයෝය, ශුද්‍රයෝය, කියා ජාති සතරක් වෙති. ස්වාමීනි, මේ සතර වෙනසක් වන්නේද, වෙනස් බවට කරුණක් වන්නේද´´ කියා ඇසී.

´´මහරජ, ක්‍ෂත්‍රියය, බ්‍රාහ්මණය, වෛශ්‍යය, ශුද්‍රය කියා මේ ජාති සතරක් වෙති. මහරජ, මේ සතර ජාතිය ක්‍ෂත්‍රියය, බ්‍රාහ්මණය යන දෙජාතිය වැඳීම, හුනස්නෙන් නැගිටිම, දොහොත් මුදුන් දීම, ගරුකිරීම යන මොවුන් පිළිමඳව උතුම්යය් කියන්නේය.´´

´´ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගෙන් මේ ආත්මය පිළිබඳ වූවක් නොඅසමි. ස්වාමීනි, පරලොව පිළිබඳ වූවක් භාග්‍යවතුන් වහන්සේගෙන් මම අසමි. ස්වාමීනි, ක්‍ෂත්‍රියය, බ්‍රාහ්මණය, වෛශ්‍යය, ශුද්‍රය කියා මේ ජාති සතරෙක් වෙති. ස්වාමීනි, මේ ජාති සතර පිළිබඳව විශෙෂයක් වෙනස් බවක් ඇත්තේදැ´´ යි ( ඇසී. )

8. ´´මහරජ, වීය්‍ර්‍ය කිරීම පිළිබඳව මේ අඞ්ග පසක් වෙති. කවර පසක්ද යත්, මහරජ, මේ ශාසනයෙහි භික්‍ෂුව ශ්‍රද්ධා ඇත්තේ වෙයි.

´´ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණු නිසා අර්‍හත්හ, සම්‍යක්සම්බුද්ධයහ, විජ්ජාචරණසම්පන්නයහ, සුගතයහ, ලොකවිදූහ, අනුත්තරයහ, පුරුෂදම්‍යසාරථිහ, දිව්‍යමනුෂ්‍යයන්ට ශාස්තෘහ, බුද්ධයහ, භාග්‍යවත්හ කියා තථාගතයන් වහන්සේගේ බෝධිය ( බුද්ධඥාණය ) අදහන්නේය.

´´අඩු වැඩි නොවූ වීය්‍ර්‍යයට යොග්‍ය මධ්‍යම සමව ආහාර පැසවන ගින්නෙන් යුක්තව ආබාධ රහිතවූ නීරොගවූයෙක් වෙයි. කපටි නොවූ මායා විරහිත ශාස්තෲන් වහන්සේටද, නැණවත් භික්‍ෂූන්ටද ඇති සැටියෙන් තමා හෙලි කරන්නෙක් වෙයි.

´´අකුසල් පහකිරීම පිණිසද, කුසල් වැජීම පිණිසද, උත්සාහවත්ම දැඩි වීය්‍ර්‍ය ඇතිව කුශලධර්‍මයන්හි බිම නොතැබූ බර ඇත්තේ ආය්‍ර්‍ය භාවය පිණිසවූ නිර්‍වෙදය පිණිසවූ මනාව දුක නැතිකිරීමට පමුණුවන්නාවූ.

´´විදර්‍ශනා ප්‍රඥාවෙන් යුක්තවූයේ ප්‍රඥාවත් කෙනෙක් වෙයි. මහරජ, මේ වීය්‍ර්‍ය පිණිසවූ අඞ්ග පස වෙති. මහරජ, ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර යයි ජාති සතරකි. ජාති සතරෙහි වූවෝද වීය්‍ර්‍ය පිණිස පවත්නා මේ අඞ්ග පසින් යුක්තවූවාහු වෙත් නම් ඒ කාරණය ඔවුන්ට බොහෝ කලක් හිත පිණිස, සුව පිණිස වන්නේය.´´ යි වදාළහ.

9.´´ස්වාමීනි, ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණය, වෛශ්‍යය, ශුද්‍රය යන සතර ජාතියට අයත්වූවෝ වීය්‍ර්‍ය පිණිසවූ මේ අඞ්ග පසින් යුක්ත වූවාහුද, ස්වාමීනි, මේ කරුණෙහිදී ඔවුන්ගේ වෙනසක් ඇත්තේදැ´´ යි ( ඇසී.) ´´මහරජ, මෙහිදී ඔවුන්ගේ වීය්‍ර්‍යය පිළිබඳ වෙනස කියමි.

´´මහරජ, යම්සේ මොනවට දැමුණු, මොනවට හික්මුණු නාඹු ඇතුන් දෙදෙනෙක් හෝ අසුන් දෙදෙනෙක් හෝ නාඹු ගවයන් දෙදෙනෙක් හෝ වෙත්ද, නොදැමුණු නොහික්මුණු නාඹු ඇතුන් දෙදෙනෙක් හෝ නාඹු අසුන් දෙදෙනෙක් හෝ නාඹු ගවයන් දෙදෙනෙක් හෝ වෙත්ද, මහරජ, ඒ කිමැයි සිතන්නෙහිද? ඔවුන් අතුරෙන් යහපත්වූ දැමුණු යහපත්ව හික්මුණු ඒ නාඹු ඇතුන් දෙදෙනම හෝ නාඹු අසුන් දෙදෙනම හෝ නාඹු ගවයන් දෙදෙනම හෝ දැමුණවුන් බවට, දැමුණවුන් තැනට කිම පැමිණෙන්නාහුද?´´

´´එසේය, ස්වාමීනි.´´

´´යම් ඒ දමණය නොවූ නොහික්මුණු නාඹු අතුන් දෙදෙනෙක් හෝ නාඹු අසුන් දෙදෙනෙක් හෝ නාඹු ගවයන් දෙදෙනෙක් හෝ වෙත්ද, ඔවුහු හොඳින් දමනයවූ හොඳින් හික්මුණු නාඹු ඇතුන් දෙදෙනා හෝ නාඹු අසුන් දෙදෙනා හෝ නාඹු ගවයන් දෙදෙනා හෝ මෙන් දැමුනවුන් බවට හික්මුනවුන්ගේ තැනට පත්වන්නාහුද?´´ ´´ස්වාමීනි, එය නොවන්නේය.

´´මහරජ, එපරිද්දෙන්ම, යම් තැනකට ශ්‍රද්ධා ඇත්තහු විසින් නීරෝගී වූවාහු විසින් කපටි නොවූවකු විසින් මායා නැත්තෙකු විසින් පටන්ගත් වීය්‍ර්‍ය ඇත්තෙකු විසින් නුවණ ඇත්තෙකු විසින් පැමිණිය යුතුද, එයට අශ්‍රද්ධාවත් රෝගීවූ කපටිවූ මායාකාරවූ කම්මැලිවූ අඥාන පුද්ගලයා පැමිණෙන්නේය. යන මේ කාරණය සිදු නොසිදුවන්නේය.´´

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ හේතු සහිත වූවක්ම කියන්නාහ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කරුණු සහිත වූවක්ම කියන්නාහ. ස්වාමීනි, ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර යයි මේ ජාති සතරට අයත්වූවෝ වීය්‍ර්‍ය පිණිස පවත්නා මේ අඞ්ග පසෙන් යුක්තවූවාහු වෙත්ද, සම්‍යක් ප්‍රධාන වීය්‍ර්‍යයෙන් යුක්තවූවාහු වෙත්ද, ස්වාමීනි, මෙහි මොවුන්ගේ වෙනසක් වන්නේද?´´ ´´මහරජ, නිවනට පැමිණියාවූ ඔවුන්ගේ මෙහි කිසි වෙනසක් ඇතැයි මම නොකියමි. මහරජ, යම්සේ පුරුෂයෙක් වියලුන සාක ලීයක් තෙන ගිනි උපදවන්නේය. ගිනි පහල කරන්නේය. නැවත අන් පුරුෂයෙන් වියලුන සල් ලීයක් ගෙන ගිනි උපදවන්නේය. ගිනි පහල කරන්නේය. නැවත අන් පුරුෂයෙක් වියලුන අඹ ලීයක් ගෙන ගිනි උපදවන්නේද, ගිනි පහල කරන්නේය. නැවත අන් පුරුෂයෙක් වියලුන ඉඹුල් ලීයක් ගෙන ගිනි උපදවන්නේය. ගිනි පහල කරන්නේය. මහරජ, ඒ තුමකැයි හඟින්නේද? වෙන වෙන ලී වලින් උපදවන ලද ඒ ගිනි, ගින්නෙන් ගින්න හෝ වර්‍ණයෙන් වර්‍ණය හෝ ආලොකයෙන් ආලොකය හෝ කිම කිසියම් වෙනසක් වන්නේද?´´ ´´නැත සවාමීනි.´´ ´´මහරජ, යම් ඒ පසුව උපන් ගින්නද උත්සාහයෙන් පැතිරේද, එපරිද්දෙන්ම යම් මේ නිවනට පැමිණියාහු වෙත්ද ( ඔවුන්ගේ ) වෙනසක් ඇතැයි මම නොකියමි.

10. ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ හේතු සහිත වූවක්ම කියන්නාහ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කරුණු සහිත වූවක්ම කියන්නාහ. ස්වාමීනි, කිමෙක්ද දෙවියෝ ඇත්තාහුද?´´ ´´මහරජ, තොප කුමක් හෙයින් ´ස්වුාමීනි, කිමෙක්ද දෙවියෝ ඇත්තාහුදැ´ යි කියන්නෙහිද?´´ ´´ස්වාමීනි, දෙවියෝ මෙලොවට පැමිණෙන්නාහු හෝ වෙත්ද, නොපැමිණෙන්නාහු හෝ වෙත්ද?´´

´´මහරජ, ව්‍යාපාද ( ෙවෂය ) සහිතවූ යම් ඒ දෙවි කෙනෙක් වෙද්ද, ඔවුහු මේ ලෝකයට පැමිණෙති. ව්‍යාපාද රහිතවූ යම් ඒ දෙවි කෙනෙක් වෙත්ද, ඔවුහු මේ ලෝකයට නොපැමිණෙති.´´

මෙසේ වදාළ කල්හි වීඩුඩභ නම් සේනාපති තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. ´´ස්වාමීනි, ව්‍යාපාද රහිතවූ මේ ලෝකයට නොපැමිණෙන යම් ඒ දෙවිකෙනෙක් වෙත්ද, ඔවුන් එතනින් චුතකරන්නාහු හෝ වෙත්ද නෙරපන්නාහු හෝ වෙත්ද?´´ කියායි.

11. එවිට ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට මේ අදහස විය. ´මේ විඩුඩභ සේනාපති තෙම වනාහි පසේනදි කොසොල් රජුගේ පුත්‍රයාය. මම භාග්‍යවතුන් වහන්සේගේ පුත්‍රයාය. පුත්‍රයා විසින් පුත්‍රයා කැඳවීමට දැන් සුදුසු කාලය´ (කියායි. ) ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ විඩුඩභ සේනාපතියාට කථා කෙළේය. ´´සේනාපතිය, එසේනම් මේ කාරණය නුඹගෙන්ම අසන්නෙමි. තොප යමක් කැමති වේද, එය එසේ ප්‍රකාශ කරව. සේනාපතිය, ඒ කුමකැයි හඟින්නේද? පසේනදි කොසොල් රජුගේ රාජ්‍යය යම් පමණ වේද, පසේනදි කොසොල් රජ යම් ප්‍රදේශයක අධිපති කම් කරවයිද, එහි ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ පින් ඇත්තෙකු හෝ පින් නැත්තෙකු හෝ බ්‍රහ්මචාරී වූවෙකු හෝ බ්‍රහ්මචාරී නොවූවෙකු හෝ ඉන් පහ කිරීමට හෝ රටින් නෙරපීමට හෝ පසේනදි කොසොල් රජ සමත්‍ර්‍ථ වේද?´´ ´´ පින්වතුන් වහන්ස, පසේනදි කොසොල් රජ යම් ප්‍රදේශයක අධිපති කම් කරවයිද, එහි ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ පින් ඇත්තෙකු හෝ පින් නැත්තෙකු හෝ බ්‍රහ්මචාරී වූවෙකු හෝ බ්‍රහ්මචාරී නොවූවෙකු හෝ ඉන් පහ කිරීමට හෝ රටින් නෙරපීමට හෝ පසේනදි කොසොල් රජ සමත්‍ර්‍ථ වෙයි.´´ සේනාපතිය, ඒ කුමකැයි හඟින්නෙහිද?

´´යම් පමණ පසේනදි කොසොල් රජුගේ රාජ්‍යය නොවේද, යම් ප්‍රදේශයක පසේනදි කොසොල් රජතෙම අධිපතිකම් නොකරයිද, එහි ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ පින් ඇත්තෙකු හෝ පින් නැත්තෙකු හෝ බ්‍රහ්මචාරී වූවෙකු හෝ බ්‍රහ්මචාරී නොවූවෙකු හෝ ඉන් පහ කිරීමට හෝ රටින් නෙරපීමට හෝ සමත්‍ර්‍ථ වේද?´´ ´´ පින්වතුන් වහන්ස, යම් පමණ පසේනදි කොසොල් රජුගේ රාජ්‍යය නොවේද, යම් ප්‍රදේශයක පසේනදි කොසොල් රජතෙම අධිපති කම් නොකරයිද, එහි යම් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ පින් ඇත්තෙකු හෝ පින් නැත්තෙකු හෝ බ්‍රහ්මචාරී වූවෙකු හෝ බ්‍රහ්මචාරී නොවූවෙකු හෝ ඉන් පහ කිරීමට හෝ රටින් නෙරපීමට හෝ පසේනදි කොසොල් රජ සමත්‍ර්‍ථ නොවෙයි.´´

සේනාපතිය, ඒ කුමකැයි හඟින්නෙහිද? තොප තව්තිසා දෙවියන් ගැන ඇසුවෙහිද,´´ ´´එසේය, පින්වත. තව්තිසා දෙවියන් ගැන මා අසා තිබේ. පින්වත මෙහිදී පසේනදි කොසොල් රජුගෙන්ද තව්තිසා දෙවියන් ගැන අසනලදී?´´ ´´සේනාපතිය, ඒ කුමකැයි හඟින්නෙහිද, තව්තිසා දෙවියන් ඉන් පහකිරීමට හෝ නෙරපීමට හෝ පසේනදි කොසොල් රජතෙම සමත්‍ර්‍ථර්‍වේද?´´ ´´පින්වත, තව්තිසා දෙවියන් දැකීමටවත් පසේනදි කොසොල් රජතෙම අසමත්‍ර්‍ථය. කෙසේනම් තව්තිසා දෙවියන් ඉන් පහකිරීමට හෝ නෙරපීමට හෝ සමත්‍ර්‍ථවෙයිද?´´ ´´සේනාපතිය, එපරිද්නේම මේ ලෝකයට පැමිණෙන්නාවූ ඒ ව්‍යාපාද සහිත දෙවි කෙනෙක් වෙත්ද, මේ ලෝකයට නොපැමිණෙන්නාවූ යම් ඒ ව්‍යාපාද රහිත දෙවි කෙනෙක් වෙත්ද, ඒකාන්තයෙන් ඒ දෙවියන් දැකීමටද නොහැකි වෙත්. කෙසේනම් ඉන් පහකරන්නේ හෝ නෙරපන්නේ හෝ වේද?´´

12.´´එකල්හි පසේනදි කොසොල් රජතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. ´´ස්වාමීනි, මේ භික්‍ෂුව කවරෙක්ද?´´ ´´මහරජ, ඒ ආනන්‍දය.´´ ´´පින්වත්නි, ඒකාන්තයෙන් සතුටකි. පින්වත්නි, ඒකාන්තයෙන් සතුටුවීමට කරුණකි. ස්වාමීනි, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ හේතු සහිත වූවක්ම කියන්නාහ. ස්වාමීනි, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ කරුණු සහිත වූවක්ම කියන්නාහ. කිමෙක්ද ස්වාමීනි, බ්‍රහ්මයෝ ඇද්ද?´´ ´´මහරජ කිමෙක්ද? තොප කුමක් හෙයින් ´ස්වාමීනි බ්‍රහ්මයෝ ඇද්දැ´ යි කියන්නහුද?´´

´´ස්වාමීනි, බ්‍රහ්මයෝ මේ ලෝකයට එන්නාහු වෙත්ද, නොඑන්නාහු හෝ වෙත්ද?´´ ´´මහරජ, යම් ඒ බ්‍රහ්මයෙක් ව්‍යාපාද සහිත වේද, හෙතෙම මේ ලෝකයට පැමිණෙයි. යම් ඒ බ්‍රහ්මයෙක් ව්‍යාපාද රහිත වේද, හෙතෙම මේ ලෝකයට නොපැමිණෙයි.

13.´´එකල්හි එක්තරා පුරුෂයෙක් පසේනදි කොසොල් රජුට මෙසේ කීයේය. ´´මහරජ, ආකාශ ගොත්‍ර ඇති සඤ්ජය බ්‍රාහ්මණ තෙම ආයේය´´ ( කියායි. ) ඉක්බිති පසේනදි කොසොල් රජතෙම ආකාශ ගොත්‍ර ඇති සඤ්ජය බ්‍රාහ්මණයාට මෙසේ කීය. ´´බ්‍රහ්මණය, රජුගේ අන්තඃපුරයේදී මේ කථාව උපදවා කථා කළේ කවරෙක්දථ´´ ´´මහරජ, විඩුඩභ සේනාපති තෙමේය.´´ විඩුඩභ සේනාපති තෙම මෙසේ කීය. ´´මහරජ, ආකාශගොත්‍ර ඇති සංජය බ්‍රාහ්මණයාය.´´

14. ඉක්බිති එක්තරා පුරුෂයෙක් පසේනදි කොසොල් රජුට මෙසේ කීය. ´´මහරජතුමනි, දැන් ගමනට සුදුසු කාලයයි.´´ එකල්හි පසේනදි කොසොල් රජතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. ´´ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේගෙන් සර්‍වඥ භාවය ගැන ඇසුවෙමු. භාග්‍යවතුන් වහන්සේ සර්‍වඥ භාවය විස්තර කළහ. එයද අපට රුචිවිය. කැමැත්ත පිණිස විය. එයින් අපි සතුටු සිත් ඇත්තෝ වීමු. ස්වාමීනි, සතර ජාතීන්ගේ සුද්ධිය ගැන අපි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසුවෙමු. භාග්‍යවතුන් වහන්සේ සතර ජාතීන්ගේ සුද්ධිය විස්තර කළහ. එයද අපට රුචිවිය. කැමැත්ත පිණිස විය. එයින් අපි සතුටු සිත් ඇත්තෝ වීමු. ස්වාමීනි, උසස් දෙවියන් ගැන අපි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසුවෙමු. භාග්‍යවතුන් වහන්සේ උසස් දෙවියන් ගැන විස්තර කළහ. එයද අපට රුචිවිය. කැමැත්ත පිණිස විය. එයින් අපි සතුටු සිත් ඇත්තෝ වීමු. ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේගෙන් උසස් බ්‍රහ්මයන් ගැන ඇසුවෙමු. භාග්‍යවතුන් වහන්සේ උසස් බ්‍රහ්මයන් ගැන විස්තර කළහ. එයද අපට රුචිවිය. කැමැත්ත පිණිස විය. එයින් අපි සතුටු සිත් ඇත්තෝ වීමු. ස්වාමීනි, දැන් අපි යන්නෙමු. අපි බොහෝ වැඩ කටයුතු ඇත්තෝ වෙමු´´ යි කීය. ´´මහරජ, තොප යමක් කැමැත්තෙහි නම් ඊට කල් දනුව´´ යි වදාළහ.

ඉක්බිති පසේනදි කොසොල් රජතෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුව අනුමෝදන්ව උන් ආසනයෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණු කොට ගියේය.

දහවෙනිවූ කණ්ණකත්‍ථල සූත්‍රය නිමි.

උපුටා ගැනීම - උතුම් ශ්‍රී සද්ධර්මය ( dahamsithum.wordpress )