Jump to content

ත්‍රිපිටක පොත් වහන්සේ/සූත්‍ර පිටකය/මජ්ක්ධීම නිකාය/කීටාගිරි සූත්‍රය

Wikibooks වෙතින්

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්‍ෂු සංයා සමග කසී ජනපදයෙහි චාරිකාවෙහි හැසිරෙන්නෝය. එකල භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට කථා කළහ. ´´මහණෙනි, මම රාත්‍රී භෝජනයෙන් තොරව අනුභව කරමි. ඒ රාත්‍රී භෝජනයෙන් වෙන්ව අනුභව කරන්නාවූ මම ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, පහසුවෙන් ඉරියව් පැවැත්වීමද, කාය බලයද, සැප විහරණයද ඇති බව දනිමි. මහණෙනි, තොපිද එව, රාත්‍රී භෝජනයෙන් තොරව අනුභව කරව්, රාත්‍රී භෝජනයෙන් තොරව අනුභව කරන්නා වූ තොපිද ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, පහසුවෙන් ඉරියව් පැවැත්වීමද, කාය බලයද, සැප විහරණයද දන්නාහුය.´´

´´එසේය පින්වතුන් වහන්සැ´´යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනයට උත්තර දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කසී ජනපදවල පිළිවෙළින් චාරිකාවෙහි හැසිරෙමින් කීටාගිරි නම් කසී රට වැස්සන්ගේ නියම් ගම යම් තැනකද, එහි වැඩි සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ කසී රට වැස්සන්ගේ නියම් ගම වූ කීටාගිරියෙහි විසුවාහ.

2. ඒ කාලයෙහි අස්සජි – පුනබ්බසුක නම් භික්‍ෂූහු කීටාගිරියෙහි ආවාසිකයෝ වෙත්. එකල්හි බොහෝ භික්‍ෂූහු අස්සජි පුනබ්බසුක භික්‍ෂුන් යම් තැනකද එහි පැමිණියාහුය. පැමිණ අස්සජි පුනබ්බසුක භික්‍ෂුන්ට මේ කාරණ්‍ය කීවාහුය. ´´ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේද භික්‍ෂු සංයාද රාත්‍රී භෝජනයෙන් තොරව අනුභව කරති. රාත්‍රී භෝජනයෙන් තොරව අනුභව කරන්නාහු ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, පහසුවෙන් ඉරියව් පැවැත්මද, කාය බලයද, සැප විහරණයද ඇතිබව දනිත්. ඇවැත්නි, තොපිද එව්. රාත්‍රී භෝජනයෙන් තොරව අනුභව කරන යුෂ්මත්හුද, ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, පහසුවෙන් ඉරියව් පැවැත්මද, කාය බලයද, සැප විහරණයද ඇතිබව දැනගනිත්වා.´´ මෙසේ කී කල්හි අස්සජි පුනබ්බසුක භික්‍ෂූහු ඒ භික්‍ෂූන්ට මෙසේ කීවාහුය.

3. ´´ඇවැත්නි අපි සවස් කාලයෙහිද අනුභව කරමු. උදේද අනුභව කරමු. දවල් කාලයෙහිද අනුභව කරමු. ඒ උදේද, සවසද, දවල්ද, නොකල්හිද අනුභව කරණ අපි ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, පහසුවෙන් ඉරියව් පැවැත්මද, කාය බලයද, සැප විහරණයද දනිමුඒ අපි අත්දුටු කරුණු හැර ඉදිරි කල පැමිණිය යුතු ප්‍රයෝජනයට කුමට දුවමුද? අපි සවසද, පෙරවරුද, දවල් නොකල්හිද අනුභව කරමු.´´ යි කීහ. යම් හෙයකින් ඒ භික්‍ෂූහු අස්සජි පුනබ්බසුක භික්‍ෂුන්ට ඒ කරුණ අවබෝධ කරවන්ට නොහැකි වූවාහුද, ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පැත්තක හුන්නාහුය. එක් පැත්තක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ කීවාහුය.

4. ´´ ස්වාමීනි, අපි අස්සජි පුනබ්බසුක භික්‍ෂුහු යම් තැනෙක්හිද එහි පැමිණියෙමු. පැමිණ, අස්සජි පුනබ්බසුක භික්‍ෂුන්ට මේ කරුණ කීවෙමු. ´ භාග්‍යවතුන් වහන්සේද භික්‍ෂු සංයාද රාත්‍රී භෝජනයෙන් තොරව අනුභව කරති. රාත්‍රී භෝජනයෙන් තොරව අනුභව කරන්නාහු ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, පහසුවෙන් ඉරියව් පැවැත්මද, කාය බලයද, සැප විහරණයද දනිත්. ඇවැත්නි, යුෂ්මත්හුද එව්. රාත්‍රී භෝජනයෙන් තොරව අනුභව කරව්. ඇවැත්නි, රාත්‍රී භෝජනයෙන් තොරව අනුභව කරණ යුෂ්මත්හුද, ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, පහසුවෙන් ඉරියව් පැවැත්මද, කාය බලයද, සැප විහරණයද දනිව් (කියායි.)

´´ ස්වාමීනි, මෙසේ කී කල්හි අස්සජි පුනබ්බසුක භික්‍ෂූහු අපට මේ කරුණ කීවාහුය. ´ඇවැත්නි අපි සවසද, උදේද, දවල්ද, නොකල්හිද අනුභව කරමු. සවසද, උදේද, දවල් නොකල්හිද අනුභව කරණ අපි ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, පහසු ඉරියව් පැවැත්මද, කාය බලයද, සැප විහරණයද දනිමු ඒ අපි දත් කරුණ හැර ඉදිරි කල පැමිණිය යුතු ප්‍රයෝජනයට කුමට දුවමුද? අපි සවසද, උදේද, දවල්ද, නොකල්හිද අනුභව කරමු.´යි කීවාහුය. ස්වාමීනි අපි යම් හෙයකින් අස්සජි පුනබ්බසුක භික්‍ෂූන්ට ඒ කරුණු අවබෝධ කරවන්ට නොහැකිවූමුද එහෙයින් අපි මේ කරුණ භාග්‍යවතුන් වහන්සේට දන්වමුයි කීහ.

6. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එක්තරා භික්‍ෂුවකට කථා කළහ. ´´ මහණ, මෙහි එව. ශාස්තෲන් වහන්සේ ආයුෂ්මතුන් කැඳවත්යයි මාගේ වචනයෙන් අස්සජි පුනබ්බසුක භික්‍ෂූන් කැඳවව.´´

´´එසේය, පින්වතුන් වහන්සැ´යි ඒ භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී, අස්සජි පුනබ්බසුක භික්‍ෂූන් යම් තැනෙක්හිද එහි පැමිණියේය. එහි පැමිණ, ´´ ශාස්තෲන් වහන්සේ ආයුෂ්මතුන් කැඳවත්යයි,´´ අස්සජි පුනබ්බසුක භික්‍ෂූන්ට කීය. ´´එසේය, ඇවැත්නියි´´ අස්සජි පුනබ්බසුක භික්‍ෂූහු ඒ භික්‍ෂුවට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් තැනෙක හුන්නාහුය. එක් තැනෙක හුන් අස්සජි පුනබ්බසුක භික්‍ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.

6. ´´මහණෙනි, සැබෑද? බොහෝ භික්‍ෂූහු තොප වෙත පැමිණ මේ කරුණ කීවාහුද? ´ ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ හා භික්‍ෂු සංයා රාත්‍රී භෝජනයෙන් තොරව අනුභව කරති. ඇවැත්නි, රාත්‍රී භෝජනයෙන් තොරව අනුභව කරන්නාහු ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, පහසුවෙන් ඉරියව් පැවැත්මද, කාය බලයද, සැප විහරණයද ඇතිබව දනිත්. ඇවැත්නි, යුෂ්මත්හුද එව්. රාත්‍රී භෝජනයෙන් තොරව අනුභව කරව්. ඇවැත්නි, යුෂ්මත්හුද රාත්‍රී භෝජනයෙන් තොරව අනුභව කරන්නාහු, ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, පහසුවෙන් ඉරියව් පැවැත්මද, කාය බලයද, සැප විහරණයද දැනගන්නාහුයයි (කියායි.)

´´ මෙසේ කී කල්හි තොපි ඒ භික්‍ෂූන්ට මෙසේ කීවාහුද? ´ ඇවැත්නි අපි සවසද, උදේද, දවල් විකාලයෙහිද අනුභව කරමු. පස්වරුද, උදේද, දවල්ද, නොකල්හිද අනුභව කරන්නාවූ අපි ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, කාය බලයද, සැප විහරණයද දන්නෙමු. ඒ අපි අත්දුටු කරුණ හැර ඉදිරියට ඇති ප්‍රයෝජන ගැණ කුමට දුවමුද? අපි පස්වරුද, උදේද, දවල්ද, නොකල්හිද අනුභව කරමුය´´ යි (කීවාහුද)

´´ එසේය ස්වාමීනි´´

7.´´මහණෙනි, ´ පුද්ගලයෙක් යම්කිසි සැපක් හෝ දුකක් හෝ සැප දුක් නොවූවක් හෝ විඳීද, ඔහුගේ අකුශල ධර්‍ම පිරිහෙත්, කුශල ධර්‍ම වැඩෙත්ය´යි මෙසේ මා විසින් දෙසන ලද ධර්‍මයක් තොපි දනිවුද?

´´ ස්වාමීනි, එසේ නොදනිමු.´´

´´ මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳු සැප වෙදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්‍මයෝ වැඩෙත්, කුශල ධර්‍මයෝ පිරිහෙත්,මේ ලෝකයෙහි මෙබඳු සැප වෙදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්‍මයෝ පිරිහෙත්, කුශල ධර්‍මයෝ වැඩෙත්. මේ ලෝකයෙහි මෙබඳු දුක් වෙදනාවක් විඳින ´ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්‍මයෝ වැඩෙත්, කුශල ධර්‍මයෝ පිරිහෙත්, මේ ලෝකයෙහි මෙබඳු දුක් වෙදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්‍මයෝ පිරිහෙත්, කුශල ධර්‍මයෝ වැඩෙත්, මේ ලෝකයෙහි මෙබඳු සැප දුක් නොවූ වෙදනාව විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්‍මයෝ වැඩෙත්, කුශල ධර්‍මයෝ පිරිහෙත්, මේ ලෝකයෙහි මෙබඳු සැප දුක් නොවූ වෙදනා විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්‍මයෝ පිරිහෙත්, කුශල ධර්‍මයෝ වැඩෙත්යයි මා විසින් දෙසන ලද ධර්‍මයක් තොපි දන්නාහු නොවෙත්ද?´´

´´ එසේය ස්වාමීනි, ´´

8.´´ මහණෙනි, යහපති, මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳු සැප වෙදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්‍මයෝ වැඩෙත්, කුසල ධර්‍මයෝ පිරිහෙත්යයි එය මා විසින් නොදන්නා ලද්දේ, නොදක්නා ලද්දේ, නොවිඳිනා ලද්දේ, ප්‍රත්‍යක්‍ෂ නොකරන ලද්දේ, නුවණින් ස්පර්‍ශනොකරන ලද්දේ, වන්නේනම් එසේ මම නොදන්නේ මෙබඳු සැප වෙදනාවක් දුරු කරව්යයි කියත් නම්, මහණෙනි, මට එය සුදුසු වන්නේද?´´

´´ස්වාමීනි, සුදුසු නොවේය.´´

´´මහණෙනි, යම් හෙයකින් මේ ලෝකයෙහි මෙබඳු සැප වෙදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්‍මයෝ වැඩෙත්, කුශල ධර්‍මයෝ පිරිහෙත්යයි, එය මා විසින් දන්නා ලද්දේද, දක්නා ලද්දේද, විඳිනා ලද්දේද, ප්‍රත්‍යක්‍ෂ කරන ලද්දේද, එහෙයින් මම මෙබඳු සැප වෙදනාවක් දුරුකරව් යයි කියමි.

9.´´ මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳු සැප වෙදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්‍මයෝ පිරිහෙත්, කුශල ධර්‍මයෝ වැඩෙත්ය´ යි, එය මා විසින් නොදන්නා ලද්දේ, නොදක්නා ලද්දේ, නොවිඳිනා ලද්දේ, ප්‍රත්‍යක්‍ෂ නොකරන ලද්දේ, නුවණින් ස්පර්‍ශනොකරන ලද්දේ, වන්නේනම් එසේ මම නොදන්නේ මෙබඳු සැප වෙදනාවකට එළඹ වාසය කරව්´ යයි කියම් නම්, මහණෙනි, මට එය සුදුසු වන්නේද?´´

´´ස්වාමීනි, සුදුසු නොවේය.´´

´´මහණෙනි, යම් හෙයකින් මේ ලෝකයෙහි යම්බඳු සැප වෙදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්‍මයෝ පිරිහෙත්, කුශල ධර්‍මයෝ වැඩෙත්´ යයි, එය මා විසින් දන්නා ලද්දේද, දක්නා ලද්දේද, විඳිනා ලද්දේද, එහෙයින් එහෙයින් මම මෙබඳු සැප වෙදනාවකට එළඹ වසව්´ යයි කියමි.

10.´´ මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳු දුක්වෙදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්‍මයෝ වැඩෙත්, කුශල ධර්‍මයෝ පිරිහෙත්´ යයි, එය මා විසින් නොදන්නා ලද්දේ, නොදක්නා ලද්දේ, නොවිඳිනා ලද්දේ, ප්‍රත්‍යක්‍ෂ නොකරන ලද්දේ, වන්නේනම් මෙසේ මම නොදන්නේ මෙබඳු දුක් වෙදනාවක් දුරු කරව්´ යයි කියන්නේ නම්, එය මට සුදුසු වන්නේද?´´

´´ස්වාමීනි, සුදුසු නොවේය.´´

´´මහණෙනි, යම් හේතුවකින් මේ ලෝකයෙහි මෙබඳු දුක් වෙදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්‍මයෝ වැඩෙත් කුසල ධර්‍මයෝ පිරිහෙත්,´ යයි, එය මා විසින් දන්නා ලද්දේද, දක්නා ලද්දේද, විඳිනා ලද්දේද, එහෙයින් මම මෙබඳු දුක් වෙදනාවකට එළඹ වසව්´ යයි කියමි.

11.´´ මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳු දුක්ද නොවූ සැපද නොවූ වෙදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්‍මයෝ වැඩෙත්, කුශල ධර්‍මයෝ පිරිහෙත්ය´ යි, මා විසින් එය නොදන්නා ලද්දේ, නොදක්නා ලද්දේ, නොවිඳිනා ලද්දේ, ප්‍රත්‍යක්‍ෂ නොකරන ලද්දේ වන්නෙම් නම් මෙසේ මම නොදන්නේ මෙබඳු දුක් වෙදනාවක් දුරු කරව්´ යයි කියන්නේ නම්, මහණෙනි, එය මට සුදුසු වන්නේද?´´

´´ස්වාමීනි, සුදුසු නොවේය.´´

´´මහණෙනි, යම් හේතුවකින් මේ ලෝකයෙහි මෙබඳු දුක්ද නොවූ සැපද නොවූ වෙදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්‍මයෝ වැඩෙත්, කුශල ධර්‍මයෝ පිරිහෙත්´ යයි, මා විසින් දන්නා ලද්දේද, දක්නා ලද්දේද, විඳිනා ලද්දේද, එහෙයින් මම මෙබඳු දුක්ද නොවූ සැපද නොවූ වෙදනාවකට එළඹ වාසයකරව්´ යයි කියමි.

12. ´´මහණෙනි, මම සියලුම භික්‍ෂූන්ට ´නොපමාවෙන් (කටයුතු) කළයුතුය´ යි නොකියමි. ´´මහණෙනි, මම සියලුම භික්‍ෂූන්ට නොපමා නොවීමෙන් (කටයුතු) කළයුතුය´ යි නොකියමි. මහණෙනි, රහත්වූ, ආශ්‍රවයන් ක්‍ෂයකළ, වැස නිමවූ බඹසර ඇති, කළ යුතු දේ කළ, බහා තැබූ ස්කන්‍ධාදී බර ඇති, පැමිණි ස්වකීයාර්ථය (-රහත් බව) ඇති, භව බන්‍ධනය නැතිකළ, මනාව දැන සසරින් මිදුනු, යම් ඒ භික්‍ෂූහු වෙත්ද, මහණෙනි, මම එවැනි භික්‍ෂූන්ට නොපමාවෙන් (කටයුතු) කළ යුතුය´ යි නොකියමි. ඊට හේතු කවරේද? ඔවුන් නොපමාවෙන් (කටයුතු) කරන ලද්දාහ. ඔවුහු පමා වන්ට නුසුදුස්සෝය. මහණෙනි, සෙඛ (-නිවන් ලැබීමට හික්මෙන) රහත් බවට නොපැමිණි, උතුම් නිවන් පතමින් යම් ඒ භික්‍ෂූහු වසත්ද, මහණෙනි, මම එවැනි භික්‍ෂූන්ට නොපමාවෙන් (කටයුතු) කළ යුතුය´ යි කියමි. ඊට හේතු කවරේද? මේ ආයුෂ්මත්හු සුදුසු සෙනසුන් සේවනය කරමින්, කළ්‍යාණ මිත්‍රයන් ඇසුරු කරමින්, ඉඳුරන් සම කරමින්, යමක් නිසා කුල පුත්‍රයෝ මනාකොට ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙත්ද, බ්‍රහ්මචරියාව කෙළවර කොට ඇති, ඒ උතුම් නිර්‍වාණය මේ අත්බැව්හි තමා නුවණින් දැන, ප්‍රත්‍යක්‍ෂකොට (රහත් බවට) පැමිණ වාසය කරන්නාහු නම්, යෙහෙකැයි (කියායි). මහණෙනි, මම මේ භික්‍ෂූන්ගේ මේ අප්‍රමාද ඵලය බලමින් නොපමාවෙන් (කටයුතු) කළ යුතුයයි කියමි.

13. ´´මහණෙනි, මේ ලෝකයෙහි මේ නම් පුද්ගලයෝ සත් දෙනෙක් වෙත්. ඒ සත් දෙන කවරහුද? උභතොභාග විමුත්තය, පඤ්ඤාවිමුත්තය, කායසක්ඛිය, දිට්ඨප්පත්තය, සද්Ȁdධාවිමුත්තය, ධම්මානුසාරීය, සද්Ȁdධානුසාරීය (යන සත් දෙනයි.)

´´මහණෙනි, උභතොභාග විමුක්ත පුද්ගලයා නම් කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් යම් ඒ ශාන්තවිමොක්‍ෂ යයි කියන ලද අරූපාවචර ධ්‍යානයෝ වෙත්ද, රූප ධ්‍යානයන් ඉක්මවා ඒ අරූප ධ්‍යානයන් කයින් ස්පර්‍ශ කොට වාසය කෙරේද, ඔහුගේ විදර්‍ශනා නුවණින් දැන ආශ්‍රවයෝ ක්‍ෂය වූවාහුද, මහණෙනි, මේ පුද්ගල තෙමේ උභතොභාග විමුක්ත පුද්ගලයායි, කියනු ලැබේ. ´´මහණෙනි, මම මේ භික්‍ෂුවට අප්‍රමාදයෙන් (කටයුතු) කළ යුතුයයි නොකියමි. ඊට හේතු කවරේද? ඔහු අප්‍රමාදයෙන් (කටයුතු) කරණ ලද්දාහ. ඔහු ප්‍රමාද වීමට නුසුදුසුය.

14. ´´මහණෙනි, පඤ්ඤාවිමුත්ත පුද්ගලයා නම් කවරේද? ´´මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් රූප ධ්‍යානයන් ඉක්මවා යම් ඒ ශාන්තවිමොක්‍ෂ යයි කියන ලද අරූපාවචර ධ්‍යානයෝ වෙත්ද, ඒ අරූප ධ්‍යානයන් කයින් ස්පර්‍ශ නොකොට වාසය කෙරේද, ඔහුගේ විදර්‍ශනා නුවණින් දැන ආශ්‍රවයෝ ක්‍ෂය වූවාහුද, මහණෙනි, මේ තෙමේ පඤ්ඤාවිමුත්ත පුද්ගලයායි, කියනු ලැබේ. මහණෙනි, මම මේ භික්‍ෂුවටද අප්‍රමාදයෙන් (කටයුතු) කළ යුතුයයි නොකියමි. ඊට හේතු කවරේද? ඔහු අප්‍රමාදයෙන් (කටයුතු) කරණ ලද්දාහ. ඔහු ප්‍රමාද වීමට නුසුදුසුය.

16. ´´මහණෙනි, කායසක්ඛි පුද්ගලයා නම් කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් රූපාවචර ධ්‍යානයන් ඉක්මවා යම් ඒ ශාන්තවිමොක්‍ෂ යයි කියන ලද අරූපාවචර ධ්‍යානයෝ වෙත්ද, ඒ අරූප ධ්‍යානයන් කයින් ස්පර්‍ශ කොට වාසය නොකෙරේද, ඔහුගේ විදර්‍ශනා නුවණින් දැක ඇතැම් ආශ්‍රවයෝ ක්‍ෂය වූවාහු වෙත්ද, මහණෙනි, මේ පුද්ගලයා කායසක්ඛිය යි කියනු ලැබේ. මහණෙනි, මම මේ භික්‍ෂුවටද අප්‍රමාදයෙන් (කටයුතු) කළ යුතුයයි කියමි. ඊට හේතු කවරේද? මේ ආයුෂ්මත් තෙමේ සුදුසු සෙනසුන් සේවනය කරමින්, කළ්‍යාණ මිත්‍රයන් ඇසුරු කරමින්, ඉඳුරන් සමකරමින්, යමක් නිසා කුල පුත්‍රයෝ මනාකොට ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙත්ද, ඒ මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති, අනුත්තර නිර්‍වාණය, මේ ආත්මයෙහි තමා නුවණින් දැන, ප්‍රත්‍යක්‍ෂකොට (රහත් බවට) පැමිණ වාසය කරන්නේ නම්, යෙහෙකැයි (කියායි). මහණෙනි, මම මේ භික්‍ෂූවට මේ අප්‍රමාද ඵලය දකිමින් අප්‍රමාදයෙන් (කටයුතු) කළ යුතුයයි කියමි.

16. ´´මහණෙනි, දිට්ඨප්පත්ත පුද්ගලයා නම් කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් රූපාවචර ධ්‍යානයන් ඉක්මවා ශාන්තවිමොක්‍ෂ යයි කියන ලද යම් ඒ අරූප ධ්‍යාන කෙනෙක් වෙත්ද, ඒ අරූප ධ්‍යානයන් නාම කයින් ස්පර්‍ශ කොට වාසය නොකරයිද, ඔහුගේ විදර්‍ශනා නුවණින් දැක ඇතැම් ආශ්‍රව ක්‍ෂය වූවාහු වෙත්ද, තථාගතයන් වහන්සේ විසින් දැන ගන්නා ලද ධර්‍මයෝ ඔහුගේ නුවණින් මනාකොට දැන ගන්නා ලද්දාහුද,

මහණෙනි, මේ තෙමේ දිට්ඨප්පත්ත පුද්ගලයාය යි කියනු ලැබේ. මහණෙනි, මම මේ භික්‍ෂුවටද අප්‍රමාදයෙන් (කටයුතු) කළ යුතුයයි කියමි. ඊට හේතු කවරේද? මේ ආයුෂ්මත් තෙමේ සුදුසු සෙනසුන් සේවනය කරමින්, කළ්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කරමින්, ඉන්‍ද්‍රියයන් සම කරමින්, යමක් නිසා කුල පුත්‍රයෝ මනාකොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති, ඒ නිර්‍වාණය, මේ ආත්මයෙහි තමා නුවණින් දැන, ප්‍රත්‍යක්‍ෂකොට ඊට පැමිණ වාසය කරන්නාහු නම්, යෙහෙකැයි (කියායි). මහණෙනි, මම මේ භික්‍ෂූවගේ අප්‍රමාද ඵලය බලමින් නොපමාවෙන් (කටයුතු) කළ යුතුයයි කියමි.

17. ´´මහණෙනි, සද්Ȁdධාවිමුත්ත පුද්ගලයා නම් කවරේද? ´´මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් රූපාවචර ධ්‍යානයන් ඉක්මවා යම් ඒ ශාන්තවිමොක්‍ෂ යයි කියන ලද අරූපාවචර ධ්‍යාන කෙනෙක් වෙත්ද, ඒ අරූප ධ්‍යානයන් කයින් ස්පර්‍ශ කොට වාසය කරයිද, ඔහුගේ විදර්‍ශනා නුවණින් දැක ඇතැම් ආශ්‍රවයෝ ක්‍ෂය වූවාහු වෙත්ද, තථාගතයන් වහන්සේ කෙරෙහි ඔහුගේ ශ්‍රද්Ȁdධාව බැසගත්තීවේද, මුල් බැස පිහිටියා වේද, මහණෙනි, මේ තෙමේ සද්Ȁdධාවිමුත්ත පුද්ගලයා යි කියනු ලැබේ. මහණෙනි, මම මේ භික්‍ෂුවටද අප්‍රමාදයෙන් (කටයුතු) කළ යුතුයයි කියමි. ඊට හේතු කවරේද? මේ ආයුෂ්මත් තෙමේ සුදුසු සෙනසුන් සේවනය කරමින්, කළ්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කරමින්, ඉන්‍ද්‍රියයන් සමකරමින්, යමක් නිසා කුල පුත්‍රයෝ මනාකොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති, ඒ නිර්‍වාණය, මේ ආත්මයෙහිම තමා නුවණින් දැන, ප්‍රත්‍යක්‍ෂකොට ඊට පැමිණ වාසය කරන්නේ නම්, යෙහෙකැයි (කියායි). මහණෙනි, මම මේ භික්‍ෂූවට මේ අප්‍රමාද ඵලය දකිමින් අප්‍රමාදයෙන් (කටයුතු) කළ යුතුයයි කියමි.

18. ´´මහණෙනි, ධම්මානුසාරී පුද්ගලයා නම් කවරේද? ´´මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් රූපාවචර ධ්‍යානයන් ඉක්මවා යම් ඒ ශාන්තවිමොක්‍ෂ යයි කියන ලද අරූපාවචර ධ්‍යානයෝ වෙත්ද, ඒ අරූප ධ්‍යානයන් නාම කයින් ස්පර්‍ශ නොකොට වාසය කරයිද, ඔහුගේ නුවණින් දැක ඇතැම් ආශ්‍රවයෝ ක්‍ෂය නොවූවාහු වෙත්ද, තථාගතයන් වහන්සේ විසින් දැනගන්නාලද ධර්‍මය ඔහුගේ නුවණින් පමණකින් දැකීමට පැමිණෙත්. තවද ඔහුට මේ ධර්‍මයෝ වෙත්, කවරහුද? සද්Ȁdධින්‍ද්‍රිය, විරියින්‍ද්‍රිය, සතින්‍ද්‍රිය, සමාධින්‍ද්‍රිය, පඤ්ඤින්‍ද්‍රිය ය (යන මොහුයි) මහණෙනි, මේ තෙමේ ධම්මානුසාරී පුද්ගලයායයි කියනු ලැබේ. මහණෙනි, මම මේ භික්‍ෂුවටද අප්‍රමාදයෙන් (කටයුතු) කළ යුතුයයි කියමි. ඊට හේතු කවරේද? මේ ආයුෂ්මත් තෙමේ සුදුසු සෙනසුන් සේවනය කරමින්, කළ්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කරමින්, ඉන්‍ද්‍රියයන් සමකරමින්, යමක් නිසා කුල පුත්‍රයෝ මනාකොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති, ඒ නිර්‍වාණය, මේ ආත්මයෙහි තමා නුවණින් දැන, ප්‍රත්‍යක්‍ෂකොට ඊට පැමිණ වාසය කරන්නේ නම්, යෙහෙකැයි (කියායි). මහණෙනි, මම මේ භික්‍ෂූවගේ අප්‍රමාද ඵලය දකිමින් අප්‍රමාදයෙන් කටයුතු කළ යුතුයයි කියමි.

19. ´´මහණෙනි, සද්ධානුසාරී පුද්ගලයා නම් කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් රූපාවචර ධ්‍යානයන් ඉක්මවා යම් ඒ ශාන්තවිමොක්‍ෂ යයි කියන ලද අරූපාවචර ධ්‍යානයෝ වෙත්ද, ඒ අරූප ධ්‍යානයන් නාම කයින් ස්පර්‍ශ කොට වාසය නොකරයිද, ඔහුගේ නුවණින් දැක ඇතැම් ආශ්‍රවයෝ ක්‍ෂය නොවූවාහු වෙත්ද, තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පමණක්, භක්තිය පමණක් වෙයිද, තවද ඔහුට මේ ධර්‍මයෝ වෙත්. එනම් ? සද්ධින්‍ද්‍රිය, විරියින්‍ද්‍රිය, සතින්‍ද්‍රිය, සමාධින්‍ද්‍රිය, පඤ්ඤින්‍ද්‍රිය ය (යන මොහුයි) මහණෙනි, මේ තෙමේ සද්ධානුසාරී පුද්ගලයාය යි කියනු ලැබේ. මහණෙනි, මම මේ භික්‍ෂුවටද අප්‍රමාදයෙන් කටයුතු කළ යුතුයයි කියමි.

ඊට හේතු කවරේද?

මේ ආයුෂ්මත් තෙමේ සුදුසු සෙනසුන් සේවනය කරමින්, කළ්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කරමින්, ඉන්‍ද්‍රියයන් සමකරමින්, යමක් නිසා කුල පුත්‍රයෝ මනාකොට ගිහිගෙන් නික්ම ශාසන යෙහි පැවිදි වෙත්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති, ඒ නිර්‍වාණය, මේ ආත්මයෙහිම තමා නුවණින් දැන, ප්‍රත්‍යක්‍ෂකොට ඊට පැමිණ වාසය කරන්නේ නම්, යෙහෙකැයි (කියායි). මහණෙනි, මම මේ භික්‍ෂූවගේ අප්‍රමාද ඵලය දකිමින් අප්‍රමාදයෙන් (කටයුතු) කළ යුතුයයි කියමි.

20. ´´මහණෙනි, මම එක්වරම රහත්වීමට නොකියමි. එසේවුවත් මහණෙනි, පිළිවෙළින් හික්මීමෙන්, පිළිවෙළින් කටයුතු කිරීමෙන් පිළිවෙළින් පිළිවෙත් පිරීමෙන් රහත්බවට පැමිණීමවේ.

´´මහණෙනි, කෙසේ පිළිවෙළින් හික්මීමෙන්, පිළිවෙළින් කටයුතු කිරීමෙන් පිළිවෙළින් පිළිවෙත් පිරීමෙන් රහත්බවට පැමිණීමවේද? මහණෙනි, මේ ශාසනයෙහි ශ්‍රද්ධාව හටගත් තැනැත්තේ ගුරුන් වෙත එළඹෙයි. ගුරුන් වෙත එළඹුනේ, ආශ්‍රය කරයි. ආශ්‍රය කරන්නේ, කණ එළවා තබයි. කණ එළවා තැබූයේ, බණ අසයි, බණ අසා දරා ගනියි. දරාගන්නේ ධර්‍මයන්ගේ අර්‍ථය සලකා බලයි. අර්‍ථය සලකා බලන්නේ, වැටහෙන නුවණ උපදියි. වැටහෙන නුවණ ඇතිවූ කල්හි කැමැත්ත ඇතිවෙයි. කැමැත්ත ඇත්තේ උත්සාහ කරයි. උත්සාහ කොට අනික්‍ය දුඃක අනාත්මයයි විමසා බලයි. විමසා බලා දැන මාර්‍ගය ලැබීමට උත්සාහ කරයි. මාර්‍ගය ලැබීමට උත්සාහ කළේ, නාමකයින් නිවන්සුව අවබෝධ කරයි.මාර්‍ග ප්‍රඥාවෙන් විනිවිද බලයි. මහණෙනි, ඒ ශ්‍රධාව නොවීද, මහණෙනි, ඒ ගුරුන් වෙත එළඹීමද, නොවීද, මහණෙනි, ඒ ආශ්‍රය නොවීද, මහණෙනි, ඒ කණ එළවා තැබීමද නොවේ. මහණෙනි, ඒ බණ ඇසීම නොවීද, මහණෙනි, ඒ ධර්‍මය දැරීමද නොවේ. මහණෙනි, ඒ දරන ලද ධර්‍මයාගේ අර්‍ථය සලකා බැලීම නොවීද, මහණෙනි, ඒ ධර්‍මය වටහා ගත් නුවණ නොවේ. මහණෙනි, ඒ කැමැත්ත නොවීද, මහණෙනි, ඒ උත්සාහය නොවේ. මහණෙනි, ඒ විමසා බැලීම නොවීද, මහණෙනි, ඒ මාර්‍ගය ලැබීමේ උත්සාහය නොවේ. මහණෙනි, විරුද්ධව පිළිපන්නෝ වූවාහුය. මහණෙනි, වරදවා පිළිපන්නෝ වූවාහුය. මහණෙනි, මේ හිස් පුරුෂයෝ කොතරම් දුර මේ ශාසනයෙන් පහවගියාහු වෙත්ද? මහණෙනි, මේ උදෙසීමක් (-කොටින් කීමක්) හේතු කොට ගෙන නුවණ ඇති පුරුෂ තෙමේ නොබෝ කලකින් නුවණින් අර්‍ථය (-කාරණය) දනීද, ඒ සතර පද (චතුස්සත්‍ය) ප්‍රකාශයක් ඇත්තේය.

21. ´´මහණෙනි, තොපට (එය) කොටින් කියමි. එය දැනගනිව්´´ ´´ස්වාමීනි, අපි කවුරුද, ධර්‍මය දැනගන්නෝ කවුරුද´´ (අපි ධර්‍මය දැන ගැනීමට තරම් නොවෙමු යන අදහසයි.) ´´ මහණෙනි, යම් ඒ ශාස්තෘවරයෙක් ආමිෂය ගරු කොට ඇත්තේ, ආමිෂය දායාද කොට ඇත්තේ, ආමිෂයෙහි ඇලී වසයිද, ඔහුගේ ධර්‍මයෙහිද. ´අපට මෙසේ වන්නේ නම් මෙසේ කරන්නෙමු. අපට එසේ නොවන්නේ නම් එය නොකරන්නෙමු´ යි මෙවැනි මිළ නියම කිරීමක් හා අඩුවෙන් ඉල්ලීමක් නැත.

22. ´´මහණෙනි, කිමෙක්ද? තථාගතතෙම සර්‍වප්‍රකාරයෙන් ආමිෂයෙන් වෙන්ව වසන්නේ නොවේද? (ඒ තථාගතයන්ගේ ශාසනයෙහි එවැනි මිළ නියම කිරීමක් හෝ අඩුකර ඉල්ලීමක් කෙසේ නම් යෙදෙන්නේ?) මහණෙනි, ශාස්තෲන් වහන්සෙගේ අනුශාසනයන් උසස් කොට ගෙණ ගන්නා සැදැහැවත් ශ්‍රවකයාගේ මේ ස්වභාවය වෙයි. භාග්‍යවතුන් වහන්සේ ශාස්තෘ වෙයි. මම ශ්‍රාවක වෙමි. භාග්‍යවතුන් වහන්සේ දකී. මම නොදකිමි.

23. මහණෙනි, ශාස්තෲන් වහන්සේගේ අනුශාසනයන් උසස්කොට ගන්නා ශ්‍රාවකයා නිසා ශාස්තෘ ශාසනය දියුණුවේ. ඕජාවත් වේ.

´´ මහණෙනි, ශාස්තෲන් වහන්සේගේ අනුශාසනයන් උසස් කොට ගන්නා සැදැහැවත් කුල පුත්‍රයාගේ මේ ස්වභාවවේ. ´´ඒකාන්තයෙන් ශරීරයෙහි සම, නහර, ඇට, ඉතිරිවේවා. මස් ලේ වියලේවා. යම් ඒ පුරුෂ ශක්තියකින් පුරුෂ වීය්‍ර්‍යයකින්, පුරුෂ පරාක්‍රමයකින්, යමකට පැමිණිය යුතුද, ඊට නොපැමිණ වීය්‍ර්‍යයාගේ නැවැත්මක් නොවන්නේය. (කියායි.)

24. ´´මහණෙනි, ශාස්තෘ ශාසනයන් උසස් කොට ගන්නා සැදැහැවත් කුලපුත්‍රයා දෙවැදෑරුම් ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතු. මේ අත් බැව්හි රහත් බව හෝ ස්කන්‍ධය ඉතිරිව ඇති කල්හි අනාගාමි බව හෝ ය.´´

භාග්‍යවතුන් වහන්සේ මෙය දෙසූ සේක. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ කීමට සතුටුවූහ.

දහවෙනිවූ කීටාගිරි සූත්‍රය නිමි.

උපුටා ගැනීම - උතුම් ශ්‍රී සද්ධර්මය ( dahamsithum.wordpress )