ත්‍රිපිටක පොත් වහන්සේ/සූත්‍ර පිටකය/මජ්ක්ධීම නිකාය/සප්පුරිස සූත්‍රය

Wikibooks වෙතින්

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´´ යි කියා භික්‍ෂූන්ට කථාකළ සේක. ´´ස්වාමීනි´´ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ ට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ´´මහණෙනි, තොපට සත්පුරුෂ ධර්‍මයද, අසත්පුරුෂ ධර්‍මයද දේශනා කරන්නෙමි. එය අසව්. මැනවින් මෙනෙහි කරව්. දේශනා කරන්නෙමි´´ යි කියායි. ´´ස්වාමීනි, එසේය´´ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ ට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

2. ´´මහණෙනි, අසත්පුරුෂ ධර්‍මය කුමක්ද? මහණෙනි, මේ ශාසනයෙහි අසත්පුරුෂයෙක් තෙම උසස් කුලයකින් නික්ම පැවිදිවූයේ වේද, හෙතෙම මෙසේ කල්පනා කරයි. ´´මම වනාහි උසස් කුලයකින් නික්ම පැවිදිවූයේ වෙමි. මේ අනික් භික්‍ෂූහු වනාහි උසස් කුලයෙන් නික්ම පැවිදි වූවෝ නොවෙති.´´ හෙතෙම ඒ උසස් කුලවත් බව නිසා තමා උසස්කොට සලකයි. අනුන් පහත්කොට සලකයි. මහණෙනි, මෙයද අසත්පුරුෂ ධර්‍මයකි.

3. ´´මහණෙනි, සත්පුරුෂ තෙමේ වනාහි මෙසේ කල්පනා කරයි. ´උසස් කුලවත් බව කරනකොට ගෙන ලොභ ස්වභාවයෝ අඩුවීමට නොයෙති. ද්වේෂ ස්වභාවයෝ (කෝපය) හෝ අඩුවීමට නොයති. මෝහ ස්වභාවයෝ හෝ අඩුවීමට නොයති. ඉදින් උසස් කුලයෙන් නික්ම පැවිදි නොවූ නමුදු හෙතෙම ධර්‍මය අනුව පිළිපදින්නේ, සුදුසු පිළිවෙතට පිළිපන්නේ, ධර්‍මය අනුව හැසිරෙන්නේ වේද, හෙතෙම ඒ භික්‍ෂූන් අතුරෙන් පිළිපැදිය යුතුවේ.,´ හෙතෙම ඒ භික්‍ෂූන් අතුරෙන් ප්‍රශංසා කටයුතු වේය කියායි. හෙතෙම ඒ ප්‍රතිපත්තියම අභ්‍යන්තරකොට ඒ උසස් කුලවත් බව කරණකොටගෙන තමා උසස් කොට නොසිතයි. අනුන් පහත්කොට නොසිතයි. මහණෙනි, මෙය සත්පුරුෂ ධර්‍මයකි.

4. ´´තවද මහණෙනි, අසත්පුරුෂ තෙමේ මහා කුලයකින් පැවිදිවූයේ වේද, හෙතෙම මෙසේ කල්පනා කරයි. මම වනාහි මහා කුලයෙන් නික්ම පැවිදිවූයේ වෙමි. මේ අනික් භික්‍ෂූහු වනාහි මහා කුලයෙන් නික්ම පැවිදිවූවෝ නොවෙත්ය කියායි. හෙතෙම ඒ මහත්වූ කුලවත්බව නිසා තමා උසස්කොට සලකයි. මහණෙනි, මෙයද අසත්පුරුෂ ධර්‍මයකි. මහණෙනි, සත්පුරුෂ තෙමේ වනාහි, මෙසේ කල්පනාකරයි. මහත්වූ කුලවත් බව කරණකොට ගෙන ලොභ ස්වභාවයෝ අඩුවීමට නොයෙති. ෙව්ෂ ස්වභාවයෝ හෝ අඩුවීමට නොයෙති. මෝහ ස්වභාවයෝ හෝ අඩුවීමට නොයෙති. ඉදින් මහත් කුලයෙන් නික්ම පැවිදි නොවූ නමුදු හෙතෙම ධර්‍මය අනුව පිළිපදින්නේ, සුදුසු පිළිවෙතට පිළිපන්නේ, ධර්‍මය අනුව හැසිරෙන්නේ වේද, හෙතෙම ඒ භික්‍ෂූන් අතුරෙන් පිදිය යුතුවේ. හෙතෙම ඒ භික්‍ෂූන් අතුරෙන් ප්‍රශංසා කළයුතු වේය කියායි. හෙතෙම ප්‍රතිපත්තියම අභ්‍යන්තරකොට ඒ මහත් කුලවත් බව කරණකොටගෙන තමා උසස් කොට නොසිතයි. අනුන් පහත්කොට නොසිතයි. මහණෙනි, මෙයද සත්පුරුෂ ධර්‍මයකි. මහත් වස්තුව ඇති කුලයකින් නික්ම පැවිදිවූයේ වේද. හෙතෙම මෙසේ කල්පනා කරයි. ´මම වනාහි මහත් වස්තුව ඇති කුලයෙන් නික්ම පැවිදිවූයේ වෙමි. මේ අනික් භික්‍ෂූහු වනාහි මහත් වස්තුව ඇති කුලයෙන් නික්ම පැවිදි වූවෝ නොවෙත්ය කියායි. හෙතෙම ඒ උසස් වස්තුව ඇති කුලවත් බව නිසා තමා උසස්කොට සලකයි. අනුන් පහත්කොට සලකයි. මහණෙනි, උසස් වස්තුව ඇති කුලයෙන් නික්ම පැවිදිවූයේ වේද, හෙතෙම මෙසේ කල්පනා කරයි. ´මම වනාහි උසස් වස්තුව ඇති කුලයෙන් නික්ම පැවිදිවූයේ වෙමි. මේ අනික් භික්‍ෂූහු වනාහි උසස් වස්තුව ඇති කුලයෙන් නික්ම පැවිදි වූවෝ නොවෙත්ය.´ කියායි. හෙතෙම ඒ උසස් වස්තුව ඇති කුලවත් බව නිසා තමා උසස්කොට සලකයි. අනුන් පහත්කොට සලකයි. මහණෙනි, මෙයද අසත්පුරුෂ ධර්‍මයකි.

5. ´´මහණෙනි, සත්පුරුෂ තෙමේ වනාහි මෙසේ කල්පනා කරයි. ´උසස් වස්තුව ඇති බැවින් ලොභ ස්වභාවයෝ අඩුවීමට නොයෙත්. ෙව්ෂ ස්වභාවයෝ අඩුවීමට නොයෙත්. මෝහ ස්වභාවයෝ හෝ අඩුවීමට නොයෙති. ඉදින් උසස් වස්තුව ඇති කුලයකින් නික්ම පැවිදි නොවූයේ වේද, හෙතෙම ධර්‍මය අනුව පිළිපදින්නේ, සුදුසු පිළිවෙතට පිළිපන්නේ, ධර්‍මය අනුව හැසිරෙන්නේ වේද, හෙතෙම ඒ භික්‍ෂූන් අතුරෙන් පිදිය යුතුවේ. හෙතෙම ඒ භික්‍ෂූන් අතුරෙන් ප්‍රශංසා කටයුතු වේ කියායි. හෙතෙම ප්‍රතිපත්තියම අභ්‍යන්තරකොට ඒ උසස් වස්තුව ඇති බැවින් තමන් උසස් කොට නොසිතයි. අනුන් පහත්කොට නොසලකයි. මහණෙනි, මෙයද සත්පුරුෂ ධර්‍මයකි.

6. ´´තවද මහණෙනි, අසත්පුරුෂ තෙමේ ප්‍රසිද්ධ වූයේ පිරිවර ඇත්තේ වේද, හෙතෙම මෙසේ කල්පනා කරයි. ´මම වනාහි ප්‍රසිද්ධ වූයෙම් පිරිවර ඇත්තේ වෙමි. මේ අනික් භික්‍ෂූහු ප්‍රසිද්ධ නොවූවෝය. යස පිරිවර ඇත්තෝද නොවෙති´ යි කියායි. හෙතෙම ඒ ප්‍රසිද්ධ බව කරණකොටගෙන තමා උසස්යයි සිතයි. අනුන් පහත්කොට සිතයි. මහණෙනි, මෙයද අසත්පුරුෂ ධර්‍මයකි.

7. ´´මහණෙනි, සත්පුරුෂ තෙමේ වනාහි මෙසේ කල්පනා කරයි. ´ප්‍රසිද්ධ බව කරණකොටගෙන ලොභ ස්වභාවයෝ අඩුවීමට නොයෙති. ෙවෂ ස්වභාවයෝ අඩුවීමට නොයෙති. මොහ ස්වභාවයෝ අඩුවීමට නොයෙති. ඉදින් අප්‍රකටවූ, පිරිවර නැත්තේ නමුදු හෙතෙම ධර්‍මය අනුව පිළිපදින්නේ, සුදුසු පිළිවෙතට පිළිපන්නේ, ධර්මය අනුව හැසිරෙන්නේ වේද, හෙතෙම ඒ භික්‍ෂූන් අතුරෙන් පිදියයුතු වේ. හෙතෙම ඒ භික්‍ෂූන් අතුරෙන් ප්‍රශංසා කටයුතු වේ කියායි. හෙතෙම ප්‍රතිපත්තියම අභ්‍යන්තරකොට ඒ ප්‍රසිද්ධ බැවින් තමන් උසස් කොට නොසිතයි. අනුන් පහත්කොට නොසලකයි. මහණෙනි, මෙයද සත්පුරුෂ ධර්‍මයකි.

8. ´´තවද මහණෙනි, අසත්පුරුෂ තෙමේ චීවර, පිණ්ඩපාත, සෙනාසන, ගිළානප්‍රත්‍යය යන සිව්පසය ලබන්නෙක් වේද, හෙතෙම මෙසේ කල්පනාකරයි. ´මම වනාහි චීවර, පිණ්ඩපාත, සෙනාසන, ගිළානප්‍රත්‍යය යන සිව්පසය ලබන්නෙම් වෙමි. අනික් භික්‍ෂූහු එසේ චීවර, පිණ්ඩපාත, සෙනාසන, ගිළානප්‍රත්‍යය යන නොලබත්ය´ කියායි. හෙතෙම ඒ ලාභය කරණකොටගෙන තමා උසස් කොට සලකයි. අනුන් හෙළාදකියි. මහණෙනි, මෙයද අසත්පුරුෂ ධර්‍මයකි.

9. ´´මහණෙනි, සත්පුරුෂ තෙමේ වනාහි මෙසේ කල්පනාකරයි. ´ලාභය කරණකොටගෙන ලොභ ස්වභාවයෝ අඩුවීමට නොයෙත්. ෙවෂ ස්වභාවයෝ අඩුවීමට නොයෙත්. මොහ ස්වභාවයෝ අඩුවීමට නොයෙත්. ඉදින් චීවර, පිණ්ඩපාත, සෙනාසන, ගිළානප්‍රත්‍යයන් නොලබන්නේ නමුදු හෙතෙම ධර්‍මය අනුව පිළිපදින්නේ, සුදුසු පිළිවෙතට පිළිපන්නේ, ධර්මය අනුව හැසිරෙන්නේ වේද, හේ භික්‍ෂූන් අතුරෙන් පිදියයුතු වේ. හේ භික්‍ෂූන් අතුරෙන් ප්‍රශංසා කටයුතු වේ, හෙතෙම ප්‍රතිපත්තියම අභ්‍යන්තරකොට ඒ ලාභය කරණකොටගෙන තමන් උසස් කොට නොසිතයි. අනුන් පහත්කොට නොසලකයි. මහණෙනි, මෙයද සත්පුරුෂ ධර්මයකි.

10. ´´තවද, මහණෙනි, අසත්පුරුෂ තෙමේ බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තේ වේද, හෙතෙම මෙසේ කල්පනාකරයි. ´මම වනාහි බහුශ්‍රුත වෙමි. මේ අන්‍ය භික්‍ෂූහු බහුශ්‍රුතයෝ නොවෙති´ යි කියායි. හෙතෙම ඒ බහුශ්‍රුත බැවින් තමා උසස් කොට සලකයි. අනුන් හෙළාදකියි. මහණෙනි, මෙයද අසත්පුරුෂ ධර්‍මයකි.

11. ´´මහණෙනි, සත්පුරුෂ තෙමේ වනාහි මෙසේ කල්පනා කරයි. ´බහුශ්‍රුත බව කරණකොටගෙන ලොභ ස්වභාවයෝ හෝ පිරිහීමට නොයෙති. ෙවෂ ස්වභාවයෝ හෝ පිරිහීමට නොයෙති. මොහ ස්වභාවයෝ පිරිහීමට නොයෙති. ඉදින් බහුශ්‍රුත නොවූයේ නමුදු හෙතෙම ධර්‍මය අනුව පිළිපදින්නේ, සුදුසු පිළිවෙතට පිළිපන්නේ, ධර්මය අනුව හැසිරෙන්නේ වේද, හෙතෙම ඒ භික්‍ෂූන් අතුරෙන් පිදියයුතු වේ. හෙතෙම ඒ භික්‍ෂූන් අතුරෙන් ප්‍රශංසා කටයුතු වේ´ කියායි. හෙතෙම ප්‍රතිපත්තියම අභ්‍යන්තරකොට ඒ බහුශ්‍රුත බව කරණකොටගෙන තමා උසස් කොට නොසලකයි. අනුන් පහත්කොට නොසලකයි. අනුන් පහත්කොට නොසිතයි. මහණෙනි, මෙයද සත්පුරුෂ ධර්‍මයකි.

12. ´´තවද, මහණෙනි, අසත්පුරුෂ තෙමේ විනයධරයෙක් වේද, හෙතෙම මෙසේ කල්පනාකරයි. ´මම වනාහි විනයධරයෙක් වෙමි. මේ අන්‍ය භික්‍ෂූහු විනයධරයෝ නොවෙති´ යි කියායි. හෙතෙම ඒ විනයධර බැවින් තමා උසස් කොට සලකයි. අනුන් හෙළාදකියි. මහණෙනි, මෙයද අසත්පුරුෂ ධර්‍මයකි.

13.´´මහණෙනි, සත්පුරුෂ තෙමේ වනාහි මෙසේ කල්පනා කරයි. ´විනයධර බව කරණකොටගෙන ලොභ ස්වභාවයෝ හෝ පිරිහීමට නොයෙති. ද්වේෂ ස්වභාවයෝ පිරිහීමට නොයෙති. මොහ ස්වභාවයෝ හෝ පිරිහීමට නොයෙති. ඉදින් විනය ධරයෙක් නොවූයේ නමුදු හෙතෙම ධර්‍මය අනුව පිළිපදින්නේ, සුදුසු පිළිවෙතට පිළිපන්නේ, ධර්මය අනුව හැසිරෙන්නේ වේද, හෙතෙම ඒ භික්‍ෂූන් අතුරෙන් පිදියයුතු වේ. හෙතෙම ඒ භික්‍ෂූන් අතුරෙන් ප්‍රශංසා කටයුතු වෙයි´ කියායි. හෙතෙම ප්‍රතිපත්තියම අභ්‍යන්තරකොට ඒ විනයධර බව කරණකොටගෙන තමා උසස් කොට නොසලකයි. අනුන් පහත්කොට නොසිතයි. මහණෙනි, මෙයද සත්පුරුෂ ධර්‍මයකි.

14. ´´තවද, මහණෙනි, අසත්පුරුෂ තෙමේ ධර්ම කථිකයෙක් වේද, හෙතෙම මෙසේ කල්පනාකරයි. ´මම වනාහි ධර්ම කථිකයෙක් වෙමි. මේ අන්‍ය භික්‍ෂූහු ධර්ම කථිකයෝ නොවෙති´ යි කියායි. හෙතෙම ඒ ධර්‍ම කථික බව කරණ කොට ගෙන තමා උසස් කොට සලකයි. අනුන් හෙළාදකියි. මහණෙනි, මෙයද අසත්පුරුෂ ධර්මයෙකි.

15. ´´මහණෙනි, සත්පුරුෂ තෙමේ වනාහි මෙසේ කල්පනා කරයි. ´ධර්‍ම කථික බව කරණකොටගෙන ලොභ ධර්මයෝ තුනී නොවෙති. ෙවෂ ධර්මයෝ තුනී නොවෙති. මොහ ධර්මයෝ තුනී නොවෙති. ඉදින් ධර්‍ම කථිකයෙක් නොවන නමුදු හෙතෙම ධර්‍මය අනුව පිළිපදින්නේ, සුදුසු පිළිවෙතට පිළිපන්නේ, ධර්මය අනුව හැසිරෙන්නේ වේද, හෙතෙම ඒ භික්‍ෂූන් අතුරෙන් පිදියයුතු වේ. හෙතෙම ඒ භික්‍ෂූන් අතුරෙන් ප්‍රශංසා කටයුතු වේ´ කියායි. හෙතෙම ප්‍රතිපත්තියම අභ්‍යන්තරකොට ඒ ධර්‍ම කථික බව කරණකොටගෙන තමා උසස් කොට නොසලකයි. අනුන් පහත්කොට නොසලකයි. මහණෙනි, මෙයද සත්පුරුෂ ධර්‍මයකි.

16. ´´තවද, මහණෙනි, අසත්පුරුෂ තෙමේ ආරණ්‍යකයෙක් (වනයෙහි වසන්නෙක්) වේද, හෙතෙම මෙසේ කල්පනාකරයි. ´මම වනාහි ආරණ්‍යකයෙක් වෙමි. මේ අන්‍ය භික්‍ෂූහු ආරණ්‍යකයෝ නොවෙති´ යි කියායි. හෙතෙම මේ ආරණ්‍යක බව කරණ කොට ගෙන තමා උසස් කොට සිතයි. අනුන් හෙළාදකියි. මහණෙනි, මෙයද අසත්පුරුෂ ධර්‍මයකි.

17. ´´මහණෙනි, සත්පුරුෂ තෙමේ වනාහි මෙසේ කල්පනා කරයි. ´ ආරණ්‍යක බව බව කරණකොටගෙන ලොභ ධර්මයෝ අඩු නොවෙති. ෙවෂ ධර්‍මයෝ අඩු නොවෙති. මොහ ධර්‍මයෝ අඩු නොවෙති. ඉදින් ආරණ්‍යකයෙක් නොවන නමුදු හෙතෙම ධර්‍මය අනුව පිළිපදින්නේ, සුදුසු පිළිවෙතට පිළිපන්නේ, ධර්මය අනුව හැසිරෙන්නේ වේද, හෙතෙම ඒ භික්‍ෂූන් අතුරෙන් පිදියයුතු වේ. හෙතෙම ඒ භික්‍ෂූන් අතුරෙන් ප්‍රශංසා කටයුතු වේ´ කියායි. හෙතෙම ප්‍රතිපත්තියම අභ්‍යන්තරකොට ඒ ආරණ්‍යක බව කරණකොටගෙන තමා උසස් කොට නොසිතයි. අනුන් පහත්කොට නොසලකයි. මහණෙනි, මෙයද සත්පුරුෂ ධර්‍මයකි.

18. ´´තවද, මහණෙනි, අසත්පුරුෂ තෙමේ පාංශුකූලිකයෙක් (පාංශූකූල සිවුරු දරන්නෙක්) වේද, හෙතෙම මෙසේ කල්පනාකරයි. ´මම වනාහි පාංශුකූලිකයෙක් වෙමි. මේ අනික් භික්‍ෂූහු පාංශුකූලිකයෝ නොවෙති´ යි කියායි. හෙතෙම ඒ පාංශුකූලික බැවින් තමා උසස් කොට සලකයි. අනුන් හෙළාදකියි. මහණෙනි, මෙයද අසත්පුරුෂ ධර්‍මයකි.

19. ´´මහණෙනි, සත්පුරුෂ තෙමේ වනාහි මෙසේ කල්පනා කරයි. ´පංශුකූලික බව කරණකොටගෙන ලොභ ධර්‍මයෝ හෝ ක්‍ෂයවීමට නොයෙති. ෙවෂ ධර්‍මයෝ හෝ ක්‍ෂයවීමට නොයෙති. මොහ ධර්මයෝ හෝ ක්‍ෂයවීමට නොයෙති. ඉදින් පාංශුකූලිකයෙකු නොවන නමුදු හෙතෙම ධර්‍මය අනුව පිළිපදින්නේ, සුදුසු පිළිවෙතට පිළිපන්නේ, ධර්මය අනුව හැසිරෙන්නේ වේද, හෙතෙම ඒ භික්‍ෂූන් අතුරෙන් පිදියයුතු වේ. හෙතෙම ඒ භික්‍ෂූන් අතුරෙන් ප්‍රශංසා කළයුතු වේ´ කියායි. හෙතෙම ප්‍රතිපත්තියම අභ්‍යන්තරකොට ඒ පාංශුකූලිකත්වය කරණකොටගෙන තමා උසස් කොට නොසිතයි. අනුන් පහත්කොට නොසලකයි. මහණෙනි, මෙයද සත්පුරුෂ ධර්මයකි.

20. ´´තවද, මහණෙනි, අසත්පුරුෂ තෙම පිණ්ඩපාතිකයෙක් (පිණ්ඩපාතිකාඞ්ගය සමාදන් වූවෙක්) වේද, හෙතෙම මෙසේ සිතයි. ´මම වනාහි පිණ්ඩපාතිකයෙක් වෙමි. මේ අනික් භික්‍ෂූහු පිණ්ඩපාතිකයෝ නොවෙත්ය´ කියායි. හෙතෙම ඒ පිණ්ඩපාතික බව කරණකොට තමා උසස් කොට සලකයි. අනුන් හෙළාදකියි. මහණෙනි, මෙයද අසත්පුරුෂ ධර්‍මයකි.

21. ´´මහණෙනි, සත්පුරුෂ තෙමේ වනාහි මෙසේ කල්පනා කරයි. ´පිණ්ඩපාතික බව කරණකොටගෙන ලොභ ධර්‍මයෝ හෝ ක්‍ෂයවීමට නොයෙති. ෙවෂ ධර්‍මයෝ හෝ ක්‍ෂය බවට නොපැමිණෙති. මොහ ධර්‍මයෝ හෝ ක්‍ෂයබවට නොපැමිණෙති. ඉදින් පිණ්ඩපාතිකයෙක් නොවන නමුදු හෙතෙමේ ධර්‍මය අනුව පිළිපදින්නේ, සුදුසු පිළිවෙතට පිළිපන්නේ, ධර්මය අනුව හැසිරෙන්නේ වේද, හෙතෙම ඒ භික්‍ෂූන් අතුරෙන් පිදියයුතු වේ. හෙතෙම ඒ භික්‍ෂූන් අතුරෙන් ප්‍රශංසා කටයුතු වේ´ කියායි. හෙතෙම ප්‍රතිපත්තියම අභ්‍යන්තරකොට ඒ පිණ්ඩපාතික බව කරණකොටගෙන තමා උසස් කොට නොසිතයි. අනුන් පහත්කොට නොසලකයි. මහණෙනි, මෙයද සත්පුරුෂ ධර්‍මයකි.

22. ´´තවද, මහණෙනි, අසත්පුරුෂ තෙමේ (වෘක්‍ෂමූලිකාංගය සමාදන්වූයේ) රුක්ඛ මූලිකයෙක් වේද, හෙතෙම මෙසේ සිතයි. ´මම වනාහි වෘක්‍ෂමූලිකයෙක් වෙමි. මේ අනික් භික්‍ෂූහු වෘක්‍ෂමූලිකාංගය සමාදන්වූවෝ නොවෙත්ය´ කියායි. හෙතෙම ඒ වෘක්‍ෂමූලිකාංගය කරණකොටගෙන තමා උසස් කොට සලකයි. අනුන් හෙළාදකියි. මහණෙනි, මෙයද අසත්පුරුෂ ධර්‍මයකි.

23. ´´මහණෙනි, සත්පුරුෂ තෙමේ වනාහි මෙසේ කල්පනා කරයි. ´ වෘක්‍ෂමූලිකාංගය සමාදන්වූ බැවින් ලොභ ධර්‍මයෝ හෝ ක්‍ෂයබවට නොයෙති. ෙවෂ ධර්‍මයෝ හෝ ක්‍ෂය බවට නොයෙති. මොහ ධර්මයෝ හෝ ක්‍ෂයබවට නොයෙති. ඉදින් වනාහි වෘක්‍ෂමූලිකයෙක් නොවූයේ නමුදු හෙතෙමේ ධර්මය අනුව පිළිපදින්නේ, සුදුසු පිළිවෙතට පිළිපන්නේ, ධර්මය අනුව හැසිරෙන්නේ වේද, හෙතෙම ඒ භික්‍ෂූන් අතුරෙන් පිදියයුතු වේ. හෙතෙම ඒ භික්‍ෂූන් අතුරෙන් ප්‍රශංසා කටයුතු වේ´ කියායි. හෙතෙම ප්‍රතිපත්තියම අභ්‍යන්තරකොට ඒ වෘක්‍ෂමූලික බව කරණකොටගෙන තමා උසස් කොට නොසිතයි. අනුන් පහත්කොට නොසලකයි. මහණෙනි, මෙයද සත්පුරුෂ ධර්‍මයකි.

24. ´´තවද, මහණෙනි, අසත්පුරුෂ තෙමේ සොසානිකාඬ්ග ඇත්තෙක් වේද, හෙතෙම මෙසේ සිතයි. ´මම වනාහි සොසානිකාඬ්ගය ඇත්තෙක් වෙමි. මේ අනික් භික්‍ෂූහු සොසානිකාඬ්ගය ඇත්තෝ නොවෙත්´ කියායි. හෙතෙම ඒ සොසානිකාඬ්ගය කරණකොටගෙන තමා උසස් කොට සිතයි. අනුන් හෙළාදකියි. මහණෙනි, මෙයද අසත්පුරුෂ ධර්මයකි.

´´මහණෙනි, සත්පුරුෂ තෙමේ වනාහි මෙසේ කල්පනා කරයි. ´ සොසානිකාඬ්ගය ඇත්තේ වී නමුත් ලොභධර්මයෝ හෝ ක්‍ෂයබවට නොයෙති. ෙවෂ ධර්‍මයෝ හෝ ක්‍ෂය බවට නොයෙති. මොහ ධර්මයෝ හෝ ක්‍ෂයබවට නොයෙති. ඉදින් සොසානිකාඬ්ගය නැත්තේ වී නමුදු හෙතෙමේ ධර්මය අනුව පිළිපදින්නේ, සුදුසු පිළිවෙතට පිළිපන්නේ, ධර්මය අනුව හැසිරෙන්නේ වේද, හෙතෙම ඒ භික්‍ෂූන් අතුරෙන් පිදියයුතු වේ. හෙතෙම ඒ භික්‍ෂූන් අතුරෙන් ප්‍රශංසා කළයුතු වේ´ කියායි. හෙතෙම ප්‍රතිපත්තියම අභ්‍යන්තරකොට ඒ සොසානිකාඬ්ගය කරණකොටගෙණ තමා උසස් කොට නොසිතයි. අනුන් පහත්කොට නොසලකයි. මහණෙනි, මෙයද සත්පුරුෂ ධර්‍මයකි.

25. ´´තවද, මහණෙනි, අසත්පුරුෂ තෙමේ අබ්භොකාසිකාඞ්ග ඇත්තෙක් වේද, හෙතෙම මෙසේ සිතයි. ´මම වනාහි අබ්භොකාසිකාඞ්ගය සමාදන් වූයෙක් වෙමි. මේ අනික් භික්‍ෂූහු අබ්භොකාසිකාඞ්ගය සමාදන් නොවූවෝය´ කියායි. හෙතෙම ඒ අබ්භොකාසිකාඞ්ගය කරණකොටගෙන තමා උසස් කොට සිතයි. අනුන් හෙළාදකියි. මහණෙනි, මෙයද අසත්පුරුෂ ධර්මයකි.

´´මහණෙනි, සත්පුරුෂ තෙමේ වනාහි මෙසේ කල්පනා කරයි. ´ අබ්භොකාසිකාඞ්ගය සමාදන්වූයේ වී නමුත් ලොභ ධර්මයෝ හෝ පිරිහීමට නොයෙති. ෙවෂ ධර්‍මයෝ හෝ පිරිහීමට නොයෙති. මොහ ධර්මයෝ හෝ පිරිහීමට නොයෙති. ඉදින් අබ්භොකාසිකාඞ්ගය සමාදන් නොවූයේ වී නමුදු හෙතෙමේ ධර්මය අනුව පිළිපදින්නේ, සුදුසු පිළිවෙතට පිළිපන්නේ, ධර්මය අනුව හැසිරෙන්නේ වේද, හෙතෙම ඒ භික්‍ෂූන් අතුරෙන් පිදියයුතු වේ. හෙතෙම ඒ භික්‍ෂූන් අතුරෙන් ප්‍රශංසා කළයුතු වේය´ යනුවෙනි. හෙතෙම ඒ ප්‍රතිපත්තියම අභ්‍යන්තරකොට ඒ අබ්භොකාසිකාඞ්ගය කරණකොටගෙණ තමා උසස් කොට නොසිතයි. අනුන් පහත්කොට නොසලකයි. මහණෙනි, මෙයද සත්පුරුෂ ධර්‍මයකි.

26. ´´තවද, මහණෙනි, අසත්පුරුෂ තෙමේ නෙසජ්ජිකාඬ්ගයෙන් යුක්ත වූයේ වෙයිද, හෙතෙම මෙසේ සිතයි. ´මම වනාහි නෙසජ්ජිකාඬ්ගයෙන් යුක්තවූයේ වෙමි. මේ අන්‍ය භික්‍ෂූහු නෙසජ්ජිකාඬ්ගයෙන් යුක්තවූවෝ නොවෙත්´ කියායි. හෙතෙම නෙසජ්ජිකාඬ්ගය කරණකොටගෙන තමා උසස් කොට සිතයි. අනුන් පහත් කොට සලකයි. මහණෙනි, මෙයද අසත්පුරුෂ ධර්මයකි.

´´මහණෙනි, සත්පුරුෂ තෙමේ වනාහි මෙසේ කල්පනා කරයි. ´නෙසජ්ජිකාඬ්ගයෙන් යුක්තවූයේ වී නමුත් ලොභ ධර්මයෝ හෝ ක්‍ෂයවීමට නොපැමිණෙත්. ෙවෂ ධර්‍මයෝ හෝ නැතිවීමට නොපැමිණෙත්. මොහ ධර්මයෝ හෝ නැතිවීමට නොපැමිණෙත්. ඉදින් නෙසජ්ජිකාඬ්ගයෙන් යුක්ත නොවූයේ නමුත් හෙතෙම ධර්මය අනුව පිළිපදින්නේ, සුදුසු පිළිවෙතෙහි පිළිපදින්නේ, ධර්මයට අනුව හැසිරෙන්නේ වේද, හෙතෙම ඒ භික්‍ෂූන් අතුරෙන් පිදියයුත්තෙක් වෙයි. ප්‍රශංසා කළයුත්තෙක් වෙයි´ කියායි. හෙතෙම ප්‍රතිපත්තියම අභ්‍යන්තරකොට ඒ නෙසජ්ජිකාඬ්ගය කරණකොටගෙණ තමා උසස් කොට නොසිතයි. අනුන් පහත්කොට නොසලකයි. මහණෙනි, මෙයද සත්පුරුෂ ධර්‍මයකි.

27. ´´තවද, මහණෙනි, අසත්පුරුෂ තෙමේ යථාසන්ථතිකාඞ්ග ඇත්තෙක් වෙයිද, හෙතෙම මෙසේ සිතයි. ´මම වනාහි යථාසන්ථතිකාඞ්ගයෙන් යුක්තවූයේ වෙමි. මේ අනික් භික්‍ෂූහු යථාසන්ථතිකාඞ්ගයෙන් යුක්තවූවෝ නොවෙති´ කියායි. හෙතෙම ඒ යථාසන්ථතිකාඞ්ගය කරණකොටගෙන තමා උසස් කොට සිතයි. අනුන් පහත් කොට සලකයි. මහණෙනි, මෙයද අසත්පුරුෂ ධර්මයකි.

´´මහණෙනි, සත්පුරුෂ තෙමේ වනාහි මෙසේ කල්පනා කරයි. ´ යථාසන්ථතිකාඞ්ගයෙන් යුක්ත වූයේ වී නමුත් ලොභ ධර්මයෝ හෝ නැතිවීමට නොපැමිණෙත්. ෙවෂ ධර්‍මයෝ නැතිවීමට නොපැමිණෙත්. මෝහ ධර්මයෝ නැතිවීමට නොපැමිණෙත්. ඉදින් යථාසන්ථතිකාඞ්ගයෙන් යුක්ත නොවූයේ වී නමුත් හෙතෙමේ ධර්මය අනුව පිළිපදින්නේ, සුදුසු පිළිවෙතෙහි පිළිපදින්නේ, ධර්මයට අනුව හැසිරෙන්නේ වේද, හෙතෙම ඒ භික්‍ෂූන් අතුරෙන් පිදියයුත්තෙක් වෙයි. ප්‍රශංසා කළයුත්තෙක් වෙයි´ කියායි. හෙතෙම ඒ ප්‍රතිපත්තියම අභ්‍යන්තරකොට ගෙන ඒ යථාසන්ථතිකාඞ්ගය කරණකොටගෙණ තමා උසස් කොට නොසිතයි. අනුන් පහත්කොට නොසලකයි. මහණෙනි, මෙයද සත්පුරුෂ ධර්‍මයකි.

28. ´´තවද, මහණෙනි, අසත්පුරුෂ තෙමේ එකාසනිකාඞ්ග ඇත්තෙක් වෙයිද, හෙතෙම මෙසේ කල්පනා කරයි. ´මම වනාහි එකාසනිකාඞ්ග ඇත්තේ වෙමි. මේ අනික් භික්‍ෂූහු එකාසනිකාඞ්ග ඇත්තෝ නොවෙත්ය´ කියායි. හෙතෙම ඒ එකාසනිකාඞ්ග ඇති බැවින් තමා උසස් කොට සලකයි. අනුන් හෙළාදකියි. මහණෙනි, මෙයද අසත්පුරුෂ ධර්මයකි.

´´මහණෙනි, සත්පුරුෂ තෙමේ වනාහි මෙසේ සිතයි. ´ එකාසනිකාඞ්ගයෙන් යුක්තවූයේ වී නමුත් ලොභ ධර්මයෝ නැතිවීමට නොයෙති. ෙවෂ ධර්‍මයෝ නැතිවීමට නොයෙති. මොහ ධර්මයෝ නැතිවීමට නොයෙති. එකාසනිකාඞ්ග ඇත්තේ නොවූයේ නමුදු හෙතෙම ධර්මය අනුව පිළිපදින්නේ, සුදුසු පිළිවෙතට පිළිපන්නේ, ධර්මය අනුව හැසිරෙන්නේ වේද, හෙතෙම ඒ භික්‍ෂූන් අතුරෙන් පිදියයුතුවේ. හෙතෙම ඒ භික්‍ෂූන් අතුරෙන් ප්‍රශංසා කටයුතුවේ.´ කියායි. හෙතෙම ප්‍රතිපත්තියම අභ්‍යන්තරකොට එම එකාසනිකාඞ්ග බව කරණකොටගෙණ තමා උසස් කොට නොසිතයි. අනුන් පහත්කොට නොසලකයි. මහණෙනි, මෙයද සත්පුරුෂ ධර්‍මයකි.

29. ´´තවද, මහණෙනි, අසත්පුරුෂ තෙම කාමයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිතවූ, විචාර සහිතවූ, විවේකයෙන් හටගත්තාවූ ප්‍රීති සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි. හෙතෙම මෙසේ කල්පනා කරයි. ´මම වනාහි ප්‍රථමධ්‍යාන සමාපත්ති ලාභියෙක් වෙමි. මේ අනික් භික්‍ෂූහු ප්‍රථමධ්‍යාන සමාපත්ති ලාභිහු නොවෙත්ය´ කියායි. හෙතෙම ඒ ප්‍රථමධ්‍යාන සමාපත්තිය කරණකොටගෙණ තමා උසස් කොට සලකයි. අනුන් හෙළාදකියි. මහණෙනි, මෙයද අසත්පුරුෂ ධර්මයකි.

´´මහණෙනි, සත්පුරුෂ තෙමේ වනාහි මෙසේ සිතයි. ´මහණෙනි, ප්‍රථමධ්‍යාන සමාපත්තියෙනුදු තාෂ්ණා රහිත වන බව භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණ ලදී. යම් යම් ආකාරයකින් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් හඟිත්ද, එය එයින් අන් අයුරකින්ම වේ.´ හෙතෙම තෘෂ්ණා රහිත බවම කරුණු කොට ඒ ප්‍රථමධ්‍යාන සමාපත්තියෙන් තමා උසස් කොට නොසිතයි. අනුන් පහත්කොට නොසලකයි. මහණෙනි, මෙයද සත්පුරුෂ ධර්‍මයකි.

30. ´´තවද, මහණෙනි, අසත්පුරුෂ තෙමේ විතර්ක විචාරයන්ගේ සංසිඳුවීමෙන් සිත පහදවන්නාවූ, සිත එකඟ කරන්නාවූ, විතර්‍ක රහිතවූ, විචාර රහිතවූ, ද්විතීයධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම මෙසේ කල්පනා කරයි. ´මම වනාහි ද්විතීයධ්‍යාන ලාභියෙක් වෙමි. මේ අනික් භික්‍ෂූහු ද්විතීයධ්‍යාන ලාභිහු නොවෙත්´ කියායි. හෙතෙම මේ ද්විතීයධ්‍යාන සමාපත්තිය කරණකොටගෙණ තමා උසස් කොට සලකයි. අනුන් පහත් කොට සලකයි. මහණෙනි, මෙයද අසත්පුරුෂ ධර්මයකි.

´´මහණෙනි, සත්පුරුෂ තෙමේ වනාහි මෙසේ සිතයි. ´මහණෙනි, ද්විතීයධ්‍යාන සමාපත්තියෙනුදු තාෂ්ණා රහිත වන බව භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණ ලදී. යම් යම් ආකාරයකින් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් හඟිත්ද, එය එයින් අන් අයුරකින්ම වේ.´ හෙතෙම තෘෂ්ණා රහිත බවම කරුණු කොට තමා උසස් කොට නොසිතයි. අනුන් පහත්කොට නොසිතයි. මහණෙනි, මෙයද සත්පුරුෂ ධර්‍මයකි.

31. ´´තවද, මහණෙනි, අසත්පුරුෂ තෙමේ ප්‍රීතියද දුරු කිරීමෙන්, උපෙක්‍ෂාවෙන් යුක්තව වාසය කරයි. සිහි නුවණ දෙකින් යුක්තව කයින්ද සැපය විඳියි. යම් ධ්‍යානයක් උපෙක්‍ෂාවෙන් යුක්තවූයේ, සිහියෙන් යුක්තවූයෙන්, සැපයෙන් යුක්තව වාසය කෙරේයයි, ආය්‍ර්‍යයෝ කියත්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම මෙසේ සිතයි. ´මම වනාහි තෘතීයධ්‍යාන ලාභියෙක් වෙමි. මේ අනික් භික්‍ෂූහු තෘතීයධ්‍යාන ලාභිහු නොවෙත්´ කියායි. හෙතෙම ඒ තෘතීයධ්‍යාන සමාපත්තිය කරණකොටගෙණ තමා උසස් කොට සලකයි. අනුන් පහත් කොට සලකයි. මහණෙනි, මෙයද අසත්පුරුෂ ධර්මයකි.

´´මහණෙනි, සත්පුරුෂ තෙමේ වනාහි මෙසේ සිතයි. ´මහණෙනි, මේ තෘතීයධ්‍යාන සමාපත්තියෙනුදු තාෂ්ණා රහිත වන බව භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණ ලදී. යම් යම් ආකාරයකින් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් හඟිත්ද, එය එයින් අන් අයුරකින්ම වේ.´ හෙතෙම තෘෂ්ණා රහිත බව කරුණු කොට ඒ තෘතීයධ්‍යාන සමාපත්තියෙන් තමා උසස් කොට නොසිතයි. අනුන් පහත්කොට නොසලකයි. මහණෙනි, මෙයද සත්පුරුෂ ධර්‍මයකි.

32. ´´තවද, මහණෙනි, අසත්පුරුෂ තෙමේ සැපය දුරු කිරීමෙන්ද, දුක්ඛය දුරු කිරීමෙන්ද, පළමුවම සොම්නස් දොම්නස් දෙක දුරු කිරීමෙන්ද, සැපයද නැති, දුකද නැති, උපෙක්‍ෂාවෙන් හටගත් පිරිසිදු සිහිය ඇති, චතුර්ථ ධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම මෙසේ සිතයි. ´මම වනාහි චතුර්ථ ධ්‍යාන ලාභියෙක් වෙමි. මේ අන්‍ය භික්‍ෂූහු චතුර්ථ ධ්‍යාන ලාභිහු නොවෙත්´ කියායි. චතුර්ථ ධ්‍යාන සමාපත්තිය කරණකොටගෙණ තමා උසස් කොට සලකයි. අනුන් හෙළාදකියි. මහණෙනි, මෙයද අසත්පුරුෂ ධර්මයකි.

´´මහණෙනි, සත්පුරුෂ තෙමේ වනාහි මෙසේ සිතයි. ´ චතුර්ථ ධ්‍යාන සමාපත්තියෙනුදු තාෂ්ණා රහිත වන බව භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. යම් යම් ආකාරයකින් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් හඟිත්ද, එය අනික් පරිද්දකින්ම වේය.´ යනුවෙනි. හෙතෙම තෘෂ්ණා රහිත බවම කරුණු කොට ඒ චතුර්ථ ධ්‍යාන සමාපත්තිය කරණකොටගෙන තමන් උසස් කොට නොසලකයි. අනුන් පහත්කොට නොසිතයි, මහණෙනි, මෙයද සත්පුරුෂ ධර්‍මයකි.

33 ´´තවද, මහණෙනි, අසත්පුරුෂ තෙමේ සියලු ආකාරයෙන් රූප සංඥාවන්ගේ ඉක්මවීමෙන්, ගැටීම් සංඥාවන්ගේ දුරුකිරීමෙන්, නොයෙක් සංඥාවන්ගේ නොමෙනෙහි කිරීමෙන්, ආකාශය අනන්තයයි භාවනා කොට ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කෙරෙයි. හෙතෙම මෙසේ සිතයි. ´මම වනාහි ආකාසානඤ්චායතන සමාධි ලාභියෙක් වෙමි. මේ අන්‍ය භික්‍ෂූහු ආකාසානඤ්චායතන සමාපත්ති ලාභිහු නොවෙත්ය´ කියායි. හෙතෙම ඒ ආකාසානඤ්චායතන සමාපත්තිය කරණකොට තමා උසස් කොට සිතයි. අනුන් හෙළාදකියි. මහණෙනි, මෙයද අසත්පුරුෂ ධර්මයකි.

´´මහණෙනි, සත්පුරුෂ තෙමේ වනාහි මෙසේ සිතයි. ´ ආකාසානඤ්චායතන සමාපත්තියෙනුදු තාෂ්ණා රහිත බව භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. යම් යම් ආකාරයකින් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් හඟිත්ද, එය එයින් අන් අයුරකින්ම වෙයි.´ කියායි. හෙතෙම තෘෂ්ණා රහිත බව කරුණු කොට ඒ ආකාසානඤ්චායතන සමාපත්තිය කරණකොටගෙන තමා උසස් කොට නොසිතයි. අනුන් හෙළා නොදකියි, මහණෙනි, මෙයද සත්පුරුෂ ධර්‍මයකි.

34 ´´තවද, මහණෙනි, අසත්පුරුෂ තෙමේ සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤානය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරයි. හෙතෙම මෙසේ කල්පනා කරයි. ´මම වනාහි විඤ්ඤාණඤ්චායතන සමාපත්ති ලාභියෙක් වෙමි. මේ අනික් භික්‍ෂූහු විඤ්ඤාණඤ්චායතන සමාපත්ති ලාභිහු නොවෙති´ කියායි. හෙතෙම ඒ විඤ්ඤාණඤ්චායතන සමාපත්තිය කරණකොට තමන් උසස් කොට සිතයි. අනුන් හෙළාදකියි. මහණෙනි, මෙයද අසත්පුරුෂ ධර්මයකි.

´´මහණෙනි, සත්පුරුෂ තෙමේ වනාහි මෙසේ සිතයි. ´ විඤ්ඤාණඤ්චායතන සමාපත්තියෙනුදු තාෂ්ණා රහිත බව භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. යම් යම් ආකාරයකින් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් හඟිද්ද, එය එයින් අන් අයුරකින්ම වේය.´ කියායි. හෙතෙම තෘෂ්ණා රහිත බව කරුණු කොට එම විඤ්ඤාණඤ්චායතන සමාපත්තිය කරණකොටගෙන තමා උසස් කොට නොසිතයි. අනුන් පහත්කොට නොසලකයි, මහණෙනි, මෙයද සත්පුරුෂ ධර්‍මයකි.

35 ´´තවද, මහණෙනි, අසත්පුරුෂ තෙමේ සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි භාවනාකොට ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසෙයි. හෙතෙම මෙසේ සිතයි. ´මම වනාහි ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති ලාභියෙක් වෙමි. මේ අනික් භික්‍ෂූහු ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති ලාභිහු නොවෙති´ කියායි. හෙතෙම ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය කරණකොට තමන් උසස් කොට සිතයි. අනුන් හෙළාදකියි. මහණෙනි, මෙයද අසත්පුරුෂ ධර්මයකි.

´´මහණෙනි, සත්පුරුෂ තෙමේ වනාහි මෙසේ සිතයි. ´ ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙනුදු තාෂ්ණා රහිත බව භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. යම් යම් ආකාරයකින් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් හඟිද්ද, එය අන් අයුරකින්ම වෙයි.´ කියායි. හෙතෙම තෘෂ්ණා රහිත බව කරුණු කොට එම ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය කරණකොටගෙන තමා උසස් කොට නොසිතයි. අනුන් පහත්කොට නොසලකයි, මහණෙනි, මෙයද සත්පුරුෂ ධර්‍මයකි.

36. ´´තවද, මහණෙනි, අසත්පුරුෂ තෙමේ සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වෙසේ. හෙතෙම මෙසේ සිතයි. ´මම වනාහි නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්ති ලාභියෙක් වෙමි. මේ අනික් භික්‍ෂූහු නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්ති ලාභිහු නොවෙති´ කියායි. හෙතෙම ඒ නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය කරණකොට තමන් උසස් කොට සිතයි. අනුන් හෙළාදකියි. මහණෙනි, මෙයද අසත්පුරුෂ ධර්මයකි.

´´මහණෙනි, සත්පුරුෂ තෙමේ වනාහි මෙසේ සිතයි. ´ නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියෙනුදු තාෂ්ණා රහිත බව භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. යම් යම් ආකාරයකින් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් හඟිද්ද, එය එයින් අන් අයුරකින්ම වෙයි.´ කියායි. හෙතෙම තෘෂ්ණා රහිත බව කරුණු කොට එම නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය කරණකොටගෙන තමා උසස් කොට නොසිතයි. අනුන් පහත්කොට නොසලකයි, මහණෙනි, මෙයද සත්පුරුෂ ධර්‍මයකි.

37. ´´තවද මහණෙනි, සත්පුරුෂ තෙමේ සියලු ආකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ වෙසෙයි. නුවණින් දැක ආශ්‍රවයෝ ක්‍ෂය බවට පමුණුවත්. මහණෙනි, මේ මහණ තෙමේද, කිසිවක් තණ්හා දිට්ඨි මාන වශයෙන් නොසිතයි. කිසි තැනෙක්හි තණ්හා දිට්ඨි මාන වශයෙන් නොසිතයි. කිසිවක් කරණකොටගෙණ තණ්හා දිට්ඨි මාන වශයෙන් නොසිතයි.´´ භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සතුටුවූහ.

තුන්වෙනි සප්පුරිස සූත්‍රයයි.

උපුටා ගැනීම - උතුම් ශ්‍රී සද්ධර්මය ( dahamsithum.wordpress )