ත්‍රිපිටක පොත් වහන්සේ/සූත්‍ර පිටකය/සංයුත්ත නිකාය/පඨමං අපුත්තක සූත්‍රය

Wikibooks වෙතින්

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්‍දක නිවාප නම්වූ වේළුවනයෙහි වැඩවසන සේක.

එකල්හි පසේනදි කොසොල් රජ මැදුම් දවල් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේය. භාග්‍යවතුන් වහන්සේ, එකත් පස්ව හුන් පසේනදි කොසොල් රජහුගෙන් ’’මහරජ, ඔබ මේ මැදුම් දවල් කොහි සිට එහිදැ’’ යි ඇසීය.

’’ස්වාමීනි, මෙහි සැවැත් නුවර සිටු ගෘහපතියා මැරුණෙය. මම ඔහුගේ ඒ දරුවන් නැති වස්තුව ඇතුළු නුවරට හැර යවා එමි. ස්වාමීනි, රන් ( කහවනු ) කාසිම අසූ ලක්‍ෂයකි. රිදී කාසි ගැන කියනුම කවරේද? ස්වාමීනි, ඒ සිටු ගෘහ පතියාගේ බත් කෑම මෙසේ වෙයි. ’ මිරිස් හොදි සමග නිවුඩු හාලේ බත කයි. ඇඳුම් හැඳීම මෙසේ වෙයි, තුන් කඩක් එකට මූට්ටුකළ හණවැහැරියක් අඳියි. යාන පරිභෝගය මෙබඳු වූවක් වෙයි. කොළ කුඩයක් ( තල අත්තක් ) ඉහලමින් දිරාගිය රථයෙන් යයි.’’

මහරජ, ඒ එසේය. මහරජ, ඒ එසේය. මහරජ, අසත් පුරුෂයා වනාහි මහත් වස්තුව ලැබ තමන්ද සැපවත් නොකෙරෙයි. නොම පිණවයි. මව් පියන්ද සැපවත් නොකෙරෙයි. දස් කම්කරු මිනිසුන්ද ( වැඩ කාරයින්ද ) සැපවත් නොකෙරෙයි. නොම පිණවයි. මිත්‍රාමාත්‍යයන්ද ( වැඩපල කරදෙන යහළුවන්ද ) සැපවත් නොකෙරෙයි. නොම පිණවයි. මහණ බමුණන් විෂයෙහිද මතු සැප ගෙන දෙන, සුගතියට හිතවත්වූ, සැපවිපාක ගෙන දෙන, දිව්‍යලෝකයේ උප්පත්තිය ඇතිකරණ දාන නොම පිහිටවයි. මෙසේ හොඳින් පරිභෝග නොකරන්නාවූ ඔහුගේ ඒ ධනය රජවරු හෝ පැහැර ගනිති. හොරු හෝ ගෙන යති. ගින්න හෝ දවයි. ජලය හෝ පාකර හරියි. මව් පියන්ද සැපවත් නොකෙරෙයි. නොම පිණවයි. අඹු දරුවන්ද සැපවත් නොකෙරෙයි. නොම පිණවයි. දස් කම්කරු මිනිසුන්ද සැපවත් නොකෙරෙයි. නොම පිණවයි. වැඩපොල කරදෙන යහළුවන්ද අප්‍රිය නෑයෝ හෝ හැරගෙන යති. මහරජ, මෙසේ ඇති කල්හි හොඳින් පරිභෝග නොකරණ වස්තු විනාශයට යති. පරිභෝගයට ( පාවිච්චියට ) නොයති.

’’මහරජ, යම්සේ නම් අමනුෂ්‍යාධිගෘහිත ස්ථානයෙක්හිවූ ප්‍රසන්න ජලය ඇති, ශීතල ජලය ඇති, රසවත් ජලය ඇති, සුදු වැලිතලා ඇති, මනාව පිහිටි තොටුපොල ඇති, මනොඥවූ පොකුණක් වේද, එහි ජලය මහජනයා පරිභෝගයට නොම ගෙණ යන්නේය. නොබොන්නේය. නොනාන්නේය. ඒ ජලයෙන් රිසිවූ කිසිවක් නොකරන්නේය. මෙසේ ඇතිකල්හි, මහරජ, ඒ ජලය හොඳින් පාවිච්චි නොකරණු ලබන්නේ ක්‍ෂයව යයි, පරිභෝගයට නොයයි.’’

’’මහරජ, එසේම අසත්පුරුෂයා මහත් භෝගවස්තු ලැබ තමන් සැපවත් නොකෙරේ. නොම පිණවයි. මව් පියන්ද සැපවත් නොකෙරෙයි. නොම පිණවයි. අඹු දරුවන්ද සැපවත් නොකෙරෙයි. නොම පිණවයි. දස් කම්කරු මිනිසුන්ද සැපවත් නොකෙරෙයි. නොම පිණවයි. වැඩපොල කරදෙන යහළුවන්ද අප්‍රිය නෑයෝ හෝ හැරගෙන යති. මහරජ, මෙසේ ඇති කල්හි හොඳින් පරිභෝග නොකරනු ලබන්නෝ විනාශයට පැමිණෙති. පරිභෝගයට නොපැමිණෙති.’’

මහරජ,සත්පුරුෂයා වනාහි මහත්භෝග සම්පත් ලැබ තමන් සුවපත් කෙරෙයි. පිනවයි. මව් පියන් සැපවත් කෙරෙයි. පිනවයි. අඹු දරුවන් සැපවත් කෙරෙයි, පිනවයි. දස් කම්කරු පුරුෂයන් සැපවත් කෙරෙයි. පිනවයි. වැඩපොල කරදෙන යහළුවන්ද සැපවත් කෙරෙයි, පිනවයි. මහණ බමුණන් විෂයෙහි මතු කල සැප ගෙන දෙන, සුගතියට හිතවත්වූ, සැපවිපාක ඇතිකරණ, සග සැප පිණිස පවත්නා දාන පිහිටවයි. මෙසේ යහපත්ව පරිභෝග කරනු ලබන ඔහුගේ ඒ වස්තු රජවරු හැර නොගනිත්. හොරු නොගෙනියත්. ගින්න නොදවයි. ජලය හෝ පාකොට නොහරියි. අප්‍රිය නෑයෝ නොගෙනියත්. මහරජ, මෙසේ ඇති කල්හි මනාකොට පාවිච්චිකරනු ලබන්නාවූ ඒ සම්පත් පරිභෝගයට පැමිණෙති. (නිකරුනේ)ු විනාශයට නොපැමිණෙති.

’’මහරජ, යම්සේ නම් ගමක් හෝ නියම් ගමක් සමීපයෙහි පහන් දිය ඇති, සිහිල් දිය ඇති, රසවත් දිය ඇති, සුදු වැලිතලා ඇති, මනාව පිහිටි තොටුපල ඇති, මනොඥවූ පොකුණක් වේද, එහි දිය ජනයා සිත්සේ ගෙණ යන්නේද, බොන්නේද, නහන්නේද, රුචිසේ පාවිච්චි කරන්නේද වෙයි. මහරජ, ඒ ජලය මනාව පරිභෝග කරනු ලබන්නේ පරිභෝගට පැමිණෙයි. නිකරුණේ විනාශයට නොපැමිණෙයි.

මහරජ, එසේම නුවණැති සත්පුරුෂයා මහත් සම්පත් ලැබ තමන් සැපවත් කෙරෙයි. පිනවයි. මව් පියන් සැපවත් කෙරෙයි. පිනවයි. අඹු දරුවන් සැපවත් කෙරෙයි, පිනවයි. දස් කම්කරු පුරුෂයන් සැපවත් කෙරෙයි. පිනවයි. වැඩපොල කරදෙන යහළුවන් සැපවත් කෙරෙයි, පිනවයි. මහණ බමුණන් විෂයෙහි මතු කල සැප ගෙන දෙන, සුගතියට හිතවත්වූ, සැපවිපාක ඇතිකරණ, සග සැප පිණිස පවත්නා දාන පිහිටවයි. මෙසේ යහපත්ව පරිභෝග කරනු ලබන ඔහුගේ ඒ වස්තු රජවරු හැර නොගනිත්. හොරු නොගෙනියත්. ගින්න නොදවයි. ජලය හෝ පාකොට නොහරියි. අප්‍රිය නෑයෝ නොගෙනියත්. මහරජ, මෙසේ ඇති කල්හි මනාකොට පාවිච්චිකරනු ලබන්නාවූ ඒ සම්පත් පරිභෝගයට පැමිණෙති. (නිකරුනේ) විනාශයට නොපැමිණෙති. මෙසේ ඇතිකල්හි ඒ භෝගයෝ මනාව පරිභෝග කරනු ලබන්නෝ පරිභෝගයට භුක්තිවිඳීමට පැමිණෙති, නිකරුනේ විනාශයට නොපැමිණෙති.

’’අමනුෂ්‍යාධිගෘහිත ස්ථානයෙක්හි පිහිටි දිය නොබීම යම්සේ නිකරුනේ වියලීයාද, එමෙන් නින්‍දිත පුරුෂයා ධනය ලැබ තමනුත් පරිභෝග නොකරයි. අනුන්ටත් නොදෙයි. නුවණැති පණ්ඩිත යම් පුද්ගලයෙක් වේද, හෙතෙමේ සම්පත් ලැබ තමනුත් පරිභෝග කෙරෙයි. කටයුතු දේත් කරයි. ඒ උතුම් පුද්ගලයා නෑ සමූහයාද පෝෂණයකොට ප්‍රශංසා ලබා මරණින් පසු සුගතියට පැමිණේ.

( උපුටා ගැනීම - suttacentral.net )