Jump to content

ත්‍රිපිටක පොත් වහන්සේ/සූත්‍ර පිටකය/සංයුත්ත නිකාය/සුසිම සූත්‍රය

Wikibooks වෙතින්

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් නරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

ඉක්බිත්තෙන් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ.

පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක ඉඳගත්තේය. එක් පසෙක උන් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. ’’ආනන්‍දය, ශාරීපුත්‍ර තෙම තොපටත් රුස්නේද?’’

’’ස්වාමීනි, බාල නොවූ, දුෂ්ට නොවූ, මූඪ නොවූ, නොපෙරැළුණු සිතැති කාහට නම් ආයුෂ්මත් ශාරීපුත්‍රයාණෝ නොරුස්නෝද? ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයාණෝ පණ්ඩිතයහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ මහා ප්‍රාඥයහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ විශාල (පළල්) ප්‍රාඥයහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ බහුල ප්‍රඥාවෙන් යුක්තයහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ ජවන (වේලාවන්) පුඥාවෙන් යුක්තයහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ තීක්‍ෂන ප්‍රාඥයහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ නිර්වේධ (සංස්කාරයන්හි කළකිරීම් බහුලවූ) ප්‍රඥාවෙන් යුක්තයහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ (ත්‍රිවිධ) විවේකයෙන් තනිවූහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ කුලයන් හා නොගැටුණහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ සම්පූර්ණකළ වීර්‍ය්‍ය ඇත්තෝය. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ දක්‍ෂ කථිකයහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයාණෝ අවවාද ඉවසන සුල්ලෝය. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ දොස් පෙන්වන්නාහ, ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ පාපය පිළිකුල් කරන්නාහ. ස්වාමීනි, බාල නොවූ, දුස්ට නොවූ, මූඪ නොවූ, නොපෙරැළුණු සිත් ඇති, කාට නම් ශාරීපුත්‍රයෝ නොරුස්නෝද?’’

(එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ’’ආනන්‍දය, ඒ එසේය. ආනන්‍දය, ඒ එසේය. ආනන්‍දය

බාල නොවූ, දුෂ්ට නොවූ, මූඪ නොවූ, විපර්‍ය්‍යාසවූ සිත් නැති කාට නම් ශාරීපුත්‍රයෝ නොරුස්නෝද? ආනන්‍දය ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙම පණ්ඩිතයහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ මහා ප්‍රාඥයහ. ආනන්‍දය ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ විශාල (පළල්) ප්‍රාඥයහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ බහුල ප්‍රඥාවෙන් යුක්තයහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ ජවන (වේලාවන්) පුඥාවෙන් යුක්තයහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ තීක්‍ෂන ප්‍රාඥයහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ නිර්වේධ (සංස්කාරයන්හි කළකිරීම් බහුලවූ) ප්‍රඥාවෙන් යුක්තයහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ (ත්‍රිවිධ) විවේක යෙන් තනිවූහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ කුලයන් හා නොගැටුණහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ සම්පූර්ණකළ වීර්‍ය්‍ය ඇත්තෝය. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ දක්‍ෂ කථිකයහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයාණෝ අවවාද ඉවසන සුල්ලෝය. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ දොස් පෙන්වන්නාහ, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ පාපය පිළිකුල් කරන්නාහ. ආනන්‍දය, බාල නොවූ, දුෂ්ට නොවූ, මූඪ නොවූ, විපර්‍ය්‍යාසවූ සිත් නැති, කාට නම් ශාරීපුත්‍රයෝ නොරුස්නෝද?’’

එසෙමෙහි සුසීම දෙව්පුත් ආයුෂ්මත් ශාරීපුත්‍රයන් වහන්සේගේ ගුණ කියවෙන කල්හි මහ දෙවි පිරිසෙකින් පිරිවැරුණේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය, පැමිණ, වැඳ එක්පසෙක සිටියේය.

එක් පසෙක සිටි සුසීම දෙව්පුත් භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. ’’ භාග්‍යවතුන් වහන්ස, ඒ එසේමය, සුගතයන් වහන්ස, ඒ එසේමය, ස්වාමීනි, බාල නොවූ, දුෂ්ට නොවූ, මූඪ නොවූ, නොපෙරැළුණු සිතැති, කාහට නම් ආයුෂ්මත් ශාරීපුත්‍රයන් වහන්සේ නොරුස්නෝද? ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයන් වහන්සේ පණ්ඩිතයහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ මහා ප්‍රාඥයහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ විශාල (පළල්) ප්‍රාඥයහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ බහුල ප්‍රඥාවෙන් යුක්තයහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ ජවන (වේලාවන්) පුඥාවෙන් යුක්තයහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ තීක්‍ෂන ප්‍රාඥයහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ නිර්වේධ (සංස්කාරයන්හි කළකිරීම් බහුලවූ) ප්‍රඥාවෙන් යුක්තයහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ (ත්‍රිවිධ) විවේකයෙන් තනිවූහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ කුලයන් හා නොගැටුණහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ සම්පූර්ණකළ වීර්‍ය්‍ය ඇත්තෝය. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ දක්‍ෂ කථිකයහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයාණෝ අවවාද ඉවසන සුල්ලෝය. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ දොස් පෙන්වන්නාහ, ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ පාපය පිළිකුල් කරන්නාහ. ස්වාමීනි, බාල නොවූ, දුෂ්ට නොවූ, මූඪ නොවූ, නොපෙරැළුණු සිත් ඇති, කාට නම් ශාරීපුත්‍රයෝ නොරුස්නෝද?’’

’’ස්වාමීනි, මමත් යම් යම් දෙව්පුත් පිරිසක් කරා පැමිණෙම්ද ඒ හැම තැනදීම ’’ආයුෂ්මත් ශාරීපුත්‍රයන් වහන්සේ පණ්ඩිතයහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ මහා ප්‍රාඥයහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ විශාල (පළල්) ප්‍රාඥයහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ බහුල ප්‍රඥාවෙන් යුක්තයහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ ජවන (වේලාවන්) පුඥාවෙන් යුක්තයහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ තීක්‍ෂන ප්‍රාඥයහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ නිර්වේධ (සංස්කාරයන්හි කළකිරීම් බහුලවූ) ප්‍රඥාවෙන් යුක්තයහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ (ත්‍රිවිධ) විවේකයෙන් තනිවූහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ කුලයන් හා නොගැටුණහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ සම්පූර්ණකළ වීර්‍ය්‍ය ඇත්තෝය. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ දක්‍ෂ කථිකයහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයාණෝ අවවාද ඉවසන සුල්ලෝය. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ දොස් පෙන්වන්නාහ, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ පාපය පිළිකුල් කරන්නාහ.’’ යන මේ ශබ්දයම බොහෝ සෙයින් අසමි. ස්වාමීනි, බාල නොවූ, දුෂ්ට නොවූ, මූඪ නොවූ, විපර්‍ය්‍යාසවූ සිත් නැති, කාහට නම් ශාරීපුත්‍රයන් වහන්සේ නොරුස්නෝද?’’

එකල්හි සුසීම දෙව්පුතුගේ දෙව්පුත් පිරිස ආයුෂ්මත් ශාරීපුත්‍රයන් වහන්සේගේ ගුණ කියවෙන කල්හි සතුටුවූ සිත් ඇත්තාහු, ප්‍රීති වූහු, හටගත් ප්‍රීති සොම්නස් ඇත්තාහු, නොයෙක් වර්‍ණයන් පහළ කෙරෙත්.

සුන්දරවූ, ජාතිසම්පන්නවූ, සේදීම් ආදියෙන් හොඳින් පිරියම් කළ, රතු පළසෙක තබනලද, අටැස් වෙරළුමිණෙක් යම්සේ බබළාද, දිලිසේද, ප්‍රභා විහිදුවාද, එසේම ආයූෂ්මත් ශාරීපුත්‍රයන් වහන්සේගේ ගුණ කියවෙන කල්හි සුසීම දෙව්පුතුගේ දෙව්පුත් පිරිසද සතුටුවූ සිතැත්තෝ, ප්‍රීති ඇත්තෝ, ප්‍රීති සොම්නස් ඇත්තෝ, නොයෙක් වර්‍ණයන් පහළ කෙරෙති.

දක්‍ෂ කර්‍මකාර පුත්‍රයකු විසින් කෝවෙහි පිස මොනවට ශුද්‍ධකැරුණු දඹරන්මුවා නිකෙක් රතු පළසෙක තබන ලද්දේ යම්සේ බබළාද, දිලිසේද, ප්‍රභා විහිදුවාද එසේම සුසීම දෙව්පුතුගේ දෙව්පුත් පිරිස සතුටුවූ සිතැත්තෝ, ප්‍රීති ඇත්තෝ, ප්‍රීති සොම්නස් ඇත්තෝ, නොයෙක් වර්‍ණයන් පහළ කෙරෙති.

රෑ අලුයම්හි පහන් තරුව යම්සේ ප්‍රභා විහිදුවාද, දිලිසේද, බබළාද, එසේම සුසීම දෙව්පුතුගේ දෙව්පුත් පිරිස සතුටුවූ සිතැත්තෝ, ප්‍රීති ඇත්තෝ, ප්‍රීති සොම්නස් ඇත්තෝ, නොයෙක් වර්‍ණයන් පහළ කෙරෙති.

සරත් කාලයෙහි අහස පහවූ වළාකුළු ඇතිව පැහැදිලිවූ කල්හි හිරුතෙම ඉහළ නගින්නේ අහසෙහිවූ සියපු අඳුර දුරලා රැස් විහිදුවාද, දිලිසේද, බබළාද, එපරිද්දෙන්ම සුසීම දෙව්පුතුගේ දෙව්පුත් පිරිස සතුටුවූ සිතැත්තෝ, ප්‍රීති ඇත්තෝ, ප්‍රීති සොම්නස් ඇත්තෝ, නොයෙක් වර්‍ණයන් පහළ කෙරෙති.

එවිට සුසීම දෙව්පුත් ආයුෂ්මත් ශාරීපුත්‍රයන් වහන්සේ ගැන භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

’’ශාරීපුත්‍ර ඉර්ෂිතෙම පණ්ඩිතයයි, ක්‍රොධ නොකරන සුළුයයි, මෘදු මොළොක්යයි, හිත දමනයවූ තැනැත්තෙකැයි ප්‍රකටය. (හෙතෙම) ශාස්තෘාන් වහන්සේ විසින් ගෙනහැර දැක්වුණු ගුණ ඇත්තෙක.’’

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්‍රයන් වහන්සේ ගැන සුසීම දෙව්පුතුට ගාථායෙන් මෙසේ පෙරළා වදාළ සේක:

’’ශාරීපුත්‍රතෙම පණ්ඩිතයයි, ක්‍රොධ නොකරන්නෙකියයි, වුවමනාසුළුයයි, මෘදු මොළොක්යයි, හිත දමපයවූ තැනැත්තෙකැයි ප්‍රකටය. ඉතා දැමුණු හෙතෙම දිනපතා මෙහෙකරුවකු සෙයින් (පිරිනිවනට) කල් බලා සිටී.’’

( උපුටා ගැනීම - suttacentral.net )