දන්කෝගේ දැවෙන හදවත

Wikibooks වෙතින්

කතෘ - මැක්සිම් ගෝර්කි; රුසියන් බසින් ඉංග්‍රීසියට:මාග්‍රට් වෙට්ලින්
ඉංග්‍රීසියෙන් සිංහලට:ප්‍රභාත් සී.අබේසිරිවර්ධන (සිංහල කෘතියෙ අයිතීන් ඇවිරිණි.)විද්‌්‍යුත් තැපෑල: abeysiriwardana@yahoo.com
2007.06.28 පළමු විකිපීඩියා පළකිරීම

තරුණ කියවන්නන් උදෙසා මැක්සිම් ගෝර්කි (1868 - 1936) විසින් සිත් ගන්නා කතා කිහිපයක්ම ලියා ඇත.
මේ අතුරින් දන්කෝගේ පුරාවෘතය ආදරණීයතම කතා පුවත වේ.

ඉතා ඈත අතීතයේ තුන් පැත්තකින් ගන වනාන්තරයෙන් ද සිව්වන පැත්තෙන් තෘණ භූමියකින් ද මායිම් වූ ප්‍රදේශයක මිනිස්සු කොට්ඨාසයක් වාසය කළහ. ඔවුන් නිර්භීත, ශක්තිමත් සහ ප්‍රීතිමත් මිනිසුන් වුව ද නරක කාලයකට මුහුණ දීමට ඔවුන්ට සිදු විය. අනෙකුත් ගෝත්‍රික කණ්ඩායම් ඔවුන්ට එරෙහිව යුද වැදුණු අතර ඔවුන්ව වනාන්තරයේ ගැඹුරටම පළවා හැරියහ.

වනාන්තරය අතිශයින්ම පැරණි එකක් වූයෙන් අදුරෙන් වැසුනු අතර මඩ ගොහුරු වලින් බහුල වූයේ; රූක්ෂ වෘක්ෂයන්ගේ අතු පතර කෙතරම් එකට බැදී ගියේ ද යත් මඩ ගොහුරු වල ජලය සිඹ ගනු වස් සූර්්‍යයා කිරණයන්ට මහත් පරිශ්‍රමයක් දරන්නට සිදු විය. එසේම ඒවා මුණ ගැසුණු කළ ජලයෙන් විෂ සහිත වාෂ්පයන් නිකුත් වූයේ, මිනිසුන් රෝගී වී මිය යන්නට පටන් ගත්තේය.

එයින් මෙකී ගෝත්‍රයේ ගැහැණුන් සහ ළමයින් වැළපෙන්නට වූ අතර, සිදු වූයේ කුමක් දැයි සිතා ගත නොහැකි වූ මිනිස්සු කල්පනාවට වැටීමෙන් අධෛර්‍යමත්ව ගියහ. වනාන්තරයෙන් පිටතට පැමිණීම හැර වෙනත් විකල්පයක් ඔවුන් සතු නොවූ අතර එය සක්ෂාත් කර ගනු වස් කළ හැකිව තිබූ ක්‍රම දෙකක් වූයේ, එක්කෝ ඔවුන් පැමිණි මාර්ගයේම ආපසු යාම - නමුත් එහි කෙළවර ශක්තිමත්ව සහ දරුණු සතුරෝ රැදෙමින් සිටියහ; නැතහොත් වනාන්තරයේ ඉදිරියටම ගමන් කිරීමයි - නමුත් මෙහි දී සුවිශල් අතු එකිනෙකට ගැට ගැසී පැවතියා වූ ශක්තිමත් ගස් හමු වනු ඇති අතර ඒවායේ ගැට සහිත මුල් මඩ ගොහොරුවේ පත්ලම ග්‍රහණයට නතු කර ගත් ඒවා වනු ඇත. මෙකී ශෛලමය ගස් දිවා කාලයේදී නිහඩව සහ නිසොල්මන්ව එකත්පසව සිටිනු ඇති අතර ගිනි මැල ගසන ලද රාත්‍රී කාලයන්හි දී මිනිසුන් හමුවට කඩා පාත් වනු ඇතිවාක් මෙන් තර්ජනාත්මකව බලා සිටිනු ඇත. ඉතින් සෑම විටම, දිවා සහ රාත්‍රී කාලයන්හි දී, මෙකී ගෝත්‍රිකයෝ තණ බිමක් හමුවේ නිදහස ලබා ගනු වලකනු පිණිස ඔවුන් තලා පොඩි කර දැමීමට බලා සිටින්නාක් මෙන් වු සෙවනැලි පෙළ ගැසී සිටියේය. සියල්ලටම වඩා බිය ජනක වූයේ ගස් මතු පිටින් විලාප තබමින් හමා ගිය සුළගින් වනාන්තරයේ සිරකරුවන් වූ මිනිසුන් මත ඇති කළා වූ මළවුන්ට ගැයෙන ගීතයේ ශෝකාලාප බලපෑමයි.

මා විසින් කියන ලද පරිදි ඔවුහු නිර්භීත මිනිසුන් වූ අතර ඔවුන්ව කලින් පැරද වූ මිනිසුන් හා මරණය දක්වාම සටන් වැදීමට වුව ද ඉදිරිපත් වීමට සූදානම්ව සිටිය ද සටනින් ඔවුන්ව අතු ගෑවී යනු ඇතැයි යන බියටත් වඩා ඒ සමග ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ ශ්‍රේෂ්ඪත්වය වැනසී යනු ඇතැයි යන බිය ඔවුන්ව ඒ සදහා මන්දෝත්සාහී කළේය. ඉතින් එම කරුණ හේතුවෙන්ම එක්තැන්ව හිදිමින් ඔවුන්ගේ දෛවය පිළිබදව සිතමින්, දීර්ඝ රාත්‍රී කාලයන් පුරාවටම ඔවුන් වට කරමින් නැගෙන විෂ දුමාරයත් වනාන්තරයේ වැළපෙන ගීතයත් අතර හුදකළා වූහ. ඉතින් ඔවුන් හිදිමින් සිටිනාතුර ගිනි මැළයේ සෙවනැළි නිහඩව නර්තනයක විලාශයකින් ඔවුන් වට කර පැන නැගි අතර එකී සෙවනැළි වඩාත් සමාන වූයේ වනාන්තරයේත්, එහි වූ මඩ ගොහොරු ආශ්‍රයෙනුත් වූ ජයග්‍රාහී බවෙන් ඇති වූ දුෂ්ඪ ආත්ම ප්‍රකාශනයකටයි. එහි කල්පනාවේ ගිලී සිටි මිනිසුන් හිදිමින් සිටියේ, දුර්මුඛ සිතුවිලි තරම් මිනිසකු වෙහෙසට පත් කරවන අනෙකුත් කාරණයක් නොමැති බව ප්‍රකාශ වන්නාක් සේය. සිතුවිලි විසින් ඔවුන්ව තව දුරටත් දුර්වල කරමින් සිටියේය. ඔවුන්ගේ දෑත් වෙලා දමනු ලදුව හදවත් තුළ බිය ලැගුම් ගත් අතර විෂ වායූන් නිසා මිය ගිය දේහයන් හමුවේ වැළපෙන ගැහැණුන්ගේ ශෝකාළාපය සවනත වැකීමෙන් ද භීතිය විසින් ජීවත් වීමේ අයිතිය බාල්දු කළ දෛවය පිළිබද වේදනාවෙන් ද ඔවුහු කම්පනයට පත්ව සිටියහ. ඉතින් බියගුළු වදන් පළමුව සෙමෙන් සහ දුබලව වනාන්තරයෙන් මතුව ආ අතර කාලය ගෙවී යත් දී වඩ වඩාත් ප්‍රබලව ඇසෙන්නට විය. ඉතින් අවසානයේ දී මිනිසුන් සතුරා හමුවට ගොස් ඔවුන්ගේ නිදහස එවුන් වෙත පරිත්‍යාග කිරීමට සිතමින් සිටියහ. ඔවුන් මරණය පිළිබද සිතුවිල්ලෙන් කෙතරම් බියට පත්ව සිටියේ ද යත් ඔවුන්ගෙන් එකකු වත් වහලෙකු ලෙස ජීවත් වීමේ සිතුවිල්ලෙන් ඈත්ව සිටීමට ඉදිරිපත් වූයේ නැත ...... නමුත් මේ මොහොතේ දී දන්කෝ ඉදිරියට විත් ඔවුන්ව එවැනි දෛවයකින් ගලවා ගනු ලැබීය.

දන්කෝ ඔවුන්ගෙන් අයෙක් වූ අතර ඔහු තරුණ සහ කඩවසම් පුද්ගලයෙක් විය. කඩවසම් පුද්ගලයෝ සැමවිටම ධෛර්‌යවන්තයෝ වූහ. ඉතින් ඔහු ඔහුගේ සගයන්ට මෙසේ පැවසුවේය:

"කළු ගල් කල්පනා කිරීමෙන් පමණක් ඉවත් කරන්න බැහැ. යමෙක් නිකම්ම සිටියහොත් ඔහුට ලැබෙන කිසිවක් නැහැ. ඇයි අපි කල්පනා කිරීමෙන් සහ පසු තැවීමෙන් අපගේ ශක්තිය නාස්ති කර ගන්නේ? නැගිටින්න, අනෙක් පැත්තෙන් එළියට එන තෙක් අපි වනාන්තරය තුළින් ගමන් කරමු; කොච්චර වුනත්, එයට කෙළවරක් තියෙන්න ඕන - සෑම දෙයකටම කෙළවරක් තියෙනවා. එන්න, අපි ඉදිරියටම යමු!"

ඔවුන් ඔහු දෙස බැලූ අතර ඔහු ඔවුන් අතර සිටින ඒ සදහා සුදුසුම පුද්ගලයා බව ඔවුන්ට අවබෝධ විය, මක් නිසා ද යත් ඔහුගේ දෙනෙත ජීවයෙන් සහ ශක්තියෙන් දීප්තිමත්ව තිබූ හෙයිනි.

"අපට මග පෙන්වන්න," ඔවුහු පැවසූහ.

ඉතින් ඔහු පෙරමුණ ගත්තේය!

ඉතින් ඔහු ඔවුන්ට මග පෙන්වුවේය, මෙකී දන්කෝ. ඔවුහු කැමැත්තෙන්ම ඔහු පසු පස පිය මැන්නේ ඔවුන්ට එතරම්ම ඔහුව විශ්වාසවන්ත වූ හෙයිනි.

එය ඉතා දුෂ්කර ගමන් මගක් වූයේ, තබන පියවරක් පාසා කට අයා සිටින මඩ ගොහොරු මිනිසුන් ගිල ගත් අතර සුව්සල් ගස් මග අවුරම්න් සිටි පවුරක් මෙන් විය. ඒවායේ අතු ඉති තදින් එකිනෙක හා බැදී තිබුයේ, ඒවායේ මුල් සර්පයන් සේ සෑම දිශාවකටම පැතිර ගිය අතර සෑම පියවරකදී ම මෙකී මිනිස්සු ඒවාට ලෙයින් සහ දහඩියෙන් වන්දි ගෙවූහ. බොහෝ දිගු කලක් තිස්සේ ඔවුහු ගමන් කළහ..........

ඉතින් ඔවුන් තව දුරටත් ගමන් ගත්තේ, වනාන්තරය දැඩි වන්න වන්නට ඔවුන්ගේ අත-පයද දුර්වලව ගියේය. ඉතින් එවිට ඔවුහු දන්කෝට එරෙහිව මුමුණන්නට පටන් ගත්තේ, ඔහු තරුණ වැඩි බව ද අත් දැකීමෙන් තොර බව ද එනිසාම ඔවුන්ව මෙවැනි තත්ත්වයකට පත් කිරීම ඔහුට යුතු නොවන බව පවසමින්ය. නමුත් ඔහු ඔවුන් පෙරදැරි කර ගනිමින්ම ඇවි ද ගියේ ඔහුගේ ආත්ම විශ්වාසය නොසොල්වා ගනිමින් සහ මනස අදුරු නොකර ගනිමින්ය.

නමුත් දිනක් කුණාටුවක් වනාන්තරය පුරා පැතිර යන්නට වූ අතර ගස් එකමුතුව දුෂ්ට ලෙස ශබ්ද නගන්නට විය. ඉතින් එක වරම, වනාන්තරය ආරම්භ වූ දා සිටම පැවති සියළුම රාත්‍රීන් මෙදිනට එක්කාසු වූවා සේ මුළු වනාන්තරයම අදුරෙන් වැසී ගියේය. ඉතින් කුණාටුවේ ඝෝෂාව හමුවේ කුඩා මිනිසුන් සුවිශල් ගස් යටින් ඇවිද යන්නට වූයේ ඔවුන් ඇවිද යන විට දැවන්ත ශාක කරාස් ගාමින් භයානක ගීතිකා ගයන්නට වූ අතර මොහොතකට එළි දල්වමින් එසැණෙකින්ම අතුරුදහන්ව යමින් තුරු මතින් නිල් එළි විහිදවමින් අකුණු සැර ගසන්නට වූයේ මිනිසුන්ගේ හදවත් භීතියෙන් අලලවමින්ය. ඉතින් මේ ශීත අකුණු සැර පහරින් පණ ලැබුවාක් මෙන් වූ ගස් සජීවත්වයට පත් වූවාක් මෙන් ඒවායේ දිගු ඇඹරුණු හස්තයන් දිගු කරන්නට වූයේ; ඒවා දැලක් සේ වියෙමින්, අදුරෙන් ගැලවී යන්නට ප්‍රයත්න දරන මෙකී මිනිසුන් එයට හසු කර ගන්නට මෙන්ය. අදුරු පත්‍රයන් අතරින් ශීත, අදුරු භිය ජනක යම් කිසිවක් ඔවුන් දෙස එබී බලන්නට වුණි.

එය දුෂ්කර ගමන් මගක් වූයේ, ඒ මත පිය මැන්නවුන් වෙහෙසට පත්ව බලාපොරොත්තු සුන් කර ගත්හ. නමුත් ඔවුහු ඔවුන්ගේ දුර්වලතාවය පිළිගන්නට මැළි වූයෙන්, ඔවුන්ගේ කෝපය සහ කළකිරීම ඔවුන් පෙරටු කර ගමන් කළ දන්කෝ මත පුපුරුවා හැරියහ. ඔවුන්ට නිසි නායකත්වයක් සැපයිය නොහැකි වුනැයි ඔවුහු දන්කෝට දොස් පවරන්නට වූහ.

ඔවුහු මග හිටි අතර, කෝපයට සහ වෙහෙසට පත්ව සිටියේ, කුණාටුවේ ජයග්‍රාහී ඝෝෂාව අතර ඇග කිළි පොළා යන අදුරේම ඔහුව පහත් කොට කතා කරන්නට වූහ.

"උඹ නම් අපිව මෙවැනි දුකකට ගෙනාව පහත් ගණයේ දුෂ්ට තිරිසනෙක්," ඔවුහු පැවසූහ. "උඹ අපිව මෙතනට ගෙනවිත් අපව මහන්සි කෙරෙව්වා, ඉතින් උඹ කරපුවට උඹ මැරිල යන්න ඕන."

"නුඹල කිව්වා: අපට මග පෙන්නපන්! ඉතින් මම නුඹලට මග පෙන්නුවා," දන්කෝ කෑ ගැසුවේ ඔවුන් දෙසට හැරෙමින්ය. "මට ඒ සදහා ධෛර්‍යය තිබුණා, ඒකයි මම ඒ වැඩේට අත ගැහුවේ. නමුත් නුඹලා? නුඹලගේ යහපත වෙනුවෙන් නුඹල මොනව ද කරල තියෙන්නේ? නුඹල මා පසු පස එනවා හැරෙන්නට වෙන කිසිවක් කරල නැහැ, අඩු වශයෙන් මෙවැනි දිගු ගමනකට අවශ්‍ය ශක්තියවත් ඇති කරගෙන නැහැ. නුඹල නිකම්ම නිකම් බැටළු රැලක් සේ මා පසු පස ඇවිල්ලා."

ඔහුගේ වදන් ඔවුන් තව තවත් කෝප ගැන්නුවා පමණි.

"උඹ මැරියන්! උඹ මැරියන්!" ඔවුහු විලාප තබන්නට වුනහ.

වනාන්තරය ඔවුන්ගේ කෑ ගැසීම් දෝංකාර කරවමින් ගොරවන්නට වූ අතර අකුණු සැර අදුර කීතු කීතු කර දැමුවේය. ඔවුන්ගේ යහපත තකා මෙතරම් වෙහෙසක් ගත් දන්කෝ ඔවුන් දෙස බැලූ අතර ඔවුහු වන සතුන් මෙන් වූහ. බොහෝ පිරිස් ඔහු වටා තෙරපෙමින් සිටිය ද ඔවුන්ගේ මුහුණු වල අනුකම්පාවේ එකදු සලකුණක්වත් දෘෂ්‍යමාන නොවූ අතර ඔවුන්ගෙන් කිසිදු අනුකම්පාවක් බලාපොරොත්තු විය නොහැකි බව ඔහු ප්‍රත්‍යක්ෂ කර ගත්තේය. ඉක්බිති ඔහුගේ හදවතෙහි අප්‍රසාදයක් ඇති වුන අතර දයාවෙන් එය පසු බැස යන්නට වුනේය. ඔහු මෙම ජනතාවට ආදරය කළ අතර ඔහු නොමැතිව ඔවුන් විනාශය කරා ඇද වැටෙතැයි බියට පත් විය. ඉතින් ඔවුන්ව පහසු මගකට යොමු කර ආරක්ෂා කර ගැනීමේ දැඩි උවමනාවක ගිනි සිළු ඔහුගේ හදවතේ දැඩිව පැන නැගෙන්නට වූ අතර එම ප්‍රබල ගිනි සිළු ඔහුගේ දෙනෙතින් පරාවර්තනය වන්නට විය......... ඉතින් මෙය දැකීමෙන්, මිනිසුන් සිතූයේ ඔහු කෝපයට පත්ව ඇති බවකි; එහෙයින් ඔහුගේ දෙනෙත ගිනි ගෙන දැවෙන බවකි. ඉතින් ඔවුහු යුධ කාමී වූ අතර ඔවුන් මත ඔහු කඩා පනීවි යැයි අපේක්ෂාවෙන් වෘකයන් සේ ඔහුව ග්‍රහණයට ගෙන මරා දැමීමට මෙන් ඔහු වට කර ගන්නට වූනහ. ඔවුන්ගේ සිතුවිලි වලින් පොෂණය ලද ශෝකාකූල බවේ තෙල් ඔහුගේ අධිෂ්ඪානයේ ගිනි සිළුවට එක්කාසු වූවාක් සේ, ඔහුගේ හදවතේ වූ ඒ ගිනි සිළු තව තවත් දීප්තිමත්ව දැල්වෙන්නට වුණි.

ඉතින් වනාන්තරය එහි වැළපෙන ගීතය දිගින් දිගටම ගයන්නට වූයේ ගොරවන හඩ පහර පිට පහර ගසන්නට වූ අතර වර්ෂාව දෝර ගලා ඇද හැලෙන්නට විය........

"මේ මිනිසුන් බේර ගන්න මට තව මොනව ද කරන්න පුළුවන් ?" ගෙරවිලි හඩ පරයා දන්කෝ කෑ ගසා විමසුවේය.

ඉතින් එක් සැණයකින් ඔහු ඔහුගේ පපු කැණිත්ත ඉරා විවෘත කර එතුළින් හදවත එළියට ගත්තේ සිය හිස මුදුනට වන සේ එය ඔසවා තැබුවේය.

එය හිරු මෙන් බබලන්නට විය, හිරුටත් වඩා දීප්තිමත්ව බබලන්නට වූ අතර කුලප්පු වී සිටි වනාන්තරය සැරයෙන් බාල වී ගොස් මෙකී පන්දමින් - මිනිසුන් වෙනුවෙන් වූ සැබෑ ආදරයේ පන්දමින් - ඒකාලෝකමත්ව ගියේ, අදුර ඒ ඉදිරියේ පසු බැස ගොස් වෙව්ලමින් කට ඇරගෙන බලා සිටි මඩ ගොහොරු පත්ලටම සැගව නොපෙනී ගියේය. මෙකී ප්‍රාතිහාර්‌‍්‍යය හමුවේ මිනිස්සු ගල් ගැසුණාක් මෙන් වූහ.

"මා පසු පස එන්න !" දන්කෝ කෑ ගැසූ අතර, මග ආලෝකමත් කිරීමේ අරමුණින් සිය ගිනිගෙන දැවෙන හදවත සිය හිස මතින් රැගෙන වේගයෙන් ඉදිරියට ඇදුනේය.

ඉතින් මිනිස්සු මායා බන්ධයකට හසු වූවාක් මෙන් ඔහු පසු පස ඇදෙන්නට වුනහ. ඉතින් නැවත සැරයක් වනාන්තරය තොල් මතුරන්නට වු අතර එහි තුරු මුදුන් විමතියෙන් ඒ මේ අත වැනෙන්නට විය. නමුත් එහි තොල මැතිරුම දිව යන දෙපා ගැටීමෙන් ඇතිවන ශබ්දයෙන් යටපත්ව ගියේය. දැවෙන හදවතේ විශ්මය ජනක දර්ශනයෙන් මුසපත්ව ගිය මිනිස්සු නිර්භීතව සහ වේගයෙන් ඉදිරියටම දුව යන්නට වුනහ. ඉතින් දැනුදු විනාශ මුඛයට ඇද වැටුණු මිනිසුන් සිටිය ද ඔවුන් විනාශ වූයේ කදුලෙන් තොරව සහ දෝෂාරෝපන නොකරමින්ය. ඉතින් දන්කෝ ඔවුන් ඉදිරියෙන්ම ගමන් ගත්තේය, ඔහුගේ හදවත දීප්තියෙන් දීප්තියට පත්වෙමින් දැල්වෙන්නට වුනේය!

ඉතින් හදිස්සියේම ඔවුන් ඉදිරියේ වූ වනාන්තරය අහක්ව ගියේය, එය ඔවුන්ට ඉඩ කඩ සලසමින් ගොළුව සහ දැඩිව ඔවුන් පසු පසින් වැසී ගොස් තිබූයේ, දන්කෝ සහ ඔහුගේ අනුගාමිකයෝ හිරු රශ්මියෙන් සහ වර්ෂා ජලයෙන් නැවුම් බවට පැමිණ වා කදකට මැදිව ගියහ. මාරුතය දැන් ඔවුන්ගේ පසු පසට ඇද වැටී තිබූණේ මෙහි හිරු දිලෙන විට තණ බිම ජීවයෙන් ගැහෙමින් තිබූයේ තණ පත් මත දියමන්ති සේ දිදුළන වැහි බිදු රැදෙමින් තිබෙන අතර ගග ජලය රන්වන්ව ඉරි රටා මැව්වේය.........එය සැන්දෑවක් විය, හිරු අවරට යාම ගග දිය රුධිරය මෙන් රක්ත වර්ණයෙන් සායම් කිරීමට සමත් වූ අතර එය දන්කෝගේ පපු කැණිත්තෙන් ගලා ආ උණුසුම් රුධිර ධාරාව සේ විය.

නිර්භීත දන්කෝ තෙරක් නොපෙනෙන තෘණ භූමිය මතින් සිය දෙනෙත යැවූ අතර මෙකී නිදහසේ භූමිය වෙත සන්තෝෂයෙන් සිය දෙනෙත හෙළුයේ මද සිනහවක් මුවගට නගා ගත්තේය.

එයින් ඉක්බිති ඔහු පොළවට පතිත වී මරණයට පත් වුනේය.

ඉතින් ඔහුගේ අනුගාමිකයෝ කෙතරම් සතුටට පත්ව බලාපොරොත්තු සහගතව සිටියේ ද යත්, ඔහු මිය ගොස් ඔහුගේ නිර්භීත හදවත ඔහු පසක තවමත් ගිනිලමින් තිබෙන බව දුටුවේ නැත. නමුත් එක් බියගුළු සත්ත්වයෙක් එය දුටුවේ, එය කුමක්දැයි නොදැනීමේ බියෙන්, දැවෙන හදවත පාගා දැමුවේය........... එය ගිනි පුළුගු වරුසාවක් වස්සවා නිවී ගියේය.

අන්න ඒ නිසයි අදටත්, මහා කුණාටුවකට පෙර තණ බිම මතින් නිල් ගිනි පුළුගු දක්නට ලැබෙන්නේ

මෙම කෙටිකතාව මෙතකින් සමාප්තයි. කරුණාකර මෙහි ව්‍යාකරණ  දෝෂ පමණක් සංස්කරණය කරන්න.


"https://si.wikibooks.org/w/index.php?title=දන්කෝගේ_දැවෙන_හදවත&oldid=6281" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි