මානව සමාජයේ ප්‍රතිසංවිධානය හෙවත් ආගමික විශ්වාසයන්ගේ උඩුගංබලායාම

Wikibooks වෙතින්
Jump to navigation Jump to search
          සමාජයක් යනු හුදු මිනිසුන් පිරිසක්ය යන සංකල්පය බැහැර වූයේ අදක ඊයෙක නොවේ. මිනිසුන් පිරිසක් සමාජයක් බවට පත්වන යාන්ත්‍රනයේ අනිවාර්ය අංගයක් සමාජ අනුකලනය හෙවත් සාමූහික සවිඥානය හදුන්වන්න පුලුවන්. එවන් වූ සාමූහික සවිඥානය සමාජය තුල නගා සිටුවනු වස් මුල සිටම දරදිය ඇදි අසමසම සමාජ සංස්ථාවක් ලෙස ආගම සැලකිය හැකි වනවා මෙන්ම අනෙක් අතට වේගයෙන් වෙනස් වන වත්මන් සමාජ ක්‍රමය විසින් අංගවිකල තත්වයට ඇද දැමීමට සැරසෙන සමාජ සංස්ථාවන් අතරේද ආගම ඉහලින්ම ලයිස්තුගත වෙනවා.තත්වය කෙසේ උනත් යහපත් සමාජයක් කරා නැවත යන ගමනේදී ආගමට සමාජයේ නිසි තැන ලබාදීම අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තක්.


          ආගමක් ලෙස ගතහැකි ඇදහිලි රටාවකින් තොර සමාජයක බිහිවීම මෙන්ම පැවැත්මත් සිදුවිය නොහැක්කක් බවට තර්කයක් නැහැ.හෙවනැල්ලත් මගහැරෙන තරමේ වේගයකින් දුවන මිනිස් සන්තාන‍යෙන් ආගම දහම වාශ්ප වී යන්නේ ඉර පායන්නත් කලිනුයි. 


          විවෘත ආර්ථිකයත් සමග ඇතිවූ සමාජ විපර්යාසය එතෙක් වූ සමාජ හරයන්ගේ කොදු නාරටි කඩා දැමීමට සමත් වුනුබව නොරහසක්. මුදල් මත ලිස්සා යන සමාජ ක්‍රමය ආගම් රහිත සමාජයක් බිහිකිරීමට අරඅදින්නේ ගෙරිමස් බෙල්ලේ එල්ලාගෙන කන කය මිස සිත නැති,මසැස මිස මනැස නැති වානිජ සමාජයක් බිහි කිරීමට එයින් තිඹිරිගෙය සාදන බව හොදාකාරවම දන්නා නිසයි.


          වැල යන අත එසේ වුවද ඒ අතටම මැස්සත් ගහනවාද යන්න සිහිණුවන ඈති මිනිසුන් ලෙස දෙවරක් සිතා බැලිය යුත්තක්. ආගම් පිරීහුනු සමාජය තුල මතුවන අනිවාර්ය ගැටළුව වන්නේ මිනිසා තවදුරටත් මිනිසෙක්මද යන්නයි. අවශේෂ සත්ව කොටස් අතරීන් උසස්ම සත්වයින් යැයි අපිම කියාගන්නා අපි තුල ගහක් ගලක් කෙරෙහි හෝ විශ්වාසයක් නැත්නම්, ගහක් ගලක් ඉදිරිපිට වත් ඉදිමුනු හිස් නොනැමෙන්නේ නම් එතැන තවදුරටත් උත්තරිතර මනුසතාගේ ෆොසිල හෝ ශේෂව ඇත්ද යන්න කල්පනා කර බැලිය යුතුයි. අවාසනාව වන්නේ රජයන දුරාචාරය අබියස දෑස අන්ධ ලෙස බලා සිටිනවා වෙන කලහැකි දෙයක් නැතිවන එකයි.