රවින්ද්‍රනාත් තාගෝරයන්ගේ "අඳුරු ගැබෙහි රජු"

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

I[සංස්කරණය]

[වීදියක්. මගීන් කිහිපදෙනෙක් හා නගරගුත්තිකයෙක්]

පළමු මිනිසා. මේ, මහතාණනි!

නගර ගුත්තික. ඔබට මොනවාද අවශ්‍ය?

දෙවන මිනිසා. අප කුමන මගෙහිද ගමන් කළ යුත්තේ? අපි මෙහි අමුත්තෝ. කරුණාකර අපට පවසන්න කුමන වීදියද අප පාවිච්චි කළ යුත්තේ.

නගර ගුත්තික. ඔබ යා යුත්තේ කොහිද?

තෙවන මිනිසා. අප පවසන්නේ අර මහත්වූ උත්සව පැවැත්වීමට නියමිත ස්ථානය ගැනයි. කුමන වීදියෙහිද අප ගමන් කළ යුත්තේ?

නගර ගුත්තික. මොන වීදියෙහි ගමන් කළත් එකම ප්‍රතිඵලය තමයි. කුමන වීදියෙහි ගමන් කලත් එතැනට ලඟාවීමට ඔබට හැකියි. කෙලින්ම ඉදිරියට යන්න, ඔබට එතැන නොවැරදීම හමුවෙයි. [පිටවෙයි.]

පළමු මිනිසා. ඔබට ඇසුනාද අර මෝඩයා පැවසූ වදන්: "කුමන මගෙහි ගියත් එතැනට ළඟාවීමට ඔබට හැකියි!" එහෙනම් , අප්පේ, මොන කෙහෙම්මලකටද මෙපමණ වීදි ගොඩක්?

දෙවන මිනිසා. යාළුවේ, ඔය කාරණාව ගැන ඔය තරම් මොලේ විකල් කරගන්න අවශ්‍ය නැහැ. යම් රටකට තමන්ගේ කටයුතු තමන්ට අවශ්‍ය ආකාරයට කිරීමට අවකාශ තිබෙනවා. දැන් අපේ රටේ පාරවල් ගැන කතා කරනවා නම්--බුදු අප්පේ, ඒවා තිබුණට නැහැ වගේ තමයි; වක ගැහුණු පටු මාවත්, වක් මං හා අඩි පාරවල් පිරුණු වංකගිරියක්. විවෘත මහා මාර්ග ගැන අපගේ රජුගේ මනාපයක් නැහැනේ; ඔහු සිතන්නේ ඔහුගේ රාජධානියෙන් රටවැසියාට පැනලා යන්නට මාවත් ටික හොඳටම ප්‍රමාණවත් කියලනේ. මෙතැන ඉතින් ඒකේ ප්‍රතිවිරුද්ධය; කිසිම කෙනෙක් අනෙකුන්ගේ ගමනට හරස් කපන්නේ නැහැ, ඕනෑම කෙනෙක් ඕනෑ තැනක ගියාට අනෙක් අයට ප්‍රශ්නයක් නැහැ; ඒවුනත් මේ රාජධානිය අත්හැරල යන මිනිසෙක්වත් පේන්න නම් නැහැ. මෙච්චර වීදි අපේ රටේ තිබුණ නම් රට නිමේශයකින් ජනශූන්‍ය වෙලා හමාරයි.