ලෝකෝපකාරය-v

Wikibooks වෙතින්


201. නිරිඳුන්ගෙන් ඉසුරු -ලත් සත් නැසෙත් එම රදුන්ගෙන්

දියෙන් ඉපදුණු ලුණු - දීයට පත් දියවන විලස මෙන්.


පදාර්ථ:- නිරිඳුන්ගෙන් - රජුන්ගෙන්, ඉසුරු ලත් - සම්පත් ලැබුවාවූ, සත් - අය, එම රජුන්ගේ - එම රජ්ජුරුවන්ගෙන්, නැසෙත් - විනාශයට යත්, දියෙන් ඉපදුණු ලුණු - දියෙන් හටගත් ලුණු, දියට පත් - ඒ දියට එක්වූ කළ, දියවන විලස මෙන් - දිය වන්නා මෙන්.

භාවය:- රජුගෙන් සම්පත් ලැබූ අය එම රජවරුන් ගෙන්ම නැසෙති. දියෙන් සෑදෙන ලුණු ඒ දියට එක්ව දියවන්නා මෙනි.


202. මැදහත් රජ ඉසුරු - වැඩි වැඩිය ලොවටත් වැ‍වැඩේ වැඩ

සඳ වැළැඳි සාවැ - දිනෙන් දින කැටුවම වැඩෙන මෙන්.


පදාර්ථ:- මැදහත් රජ - මධ්යිස්ථ රජවරුන්ගේ, ඉසුරු - සම්පත්, වැඩි - වැඩෙන කල, ලොවටත් - ලෝකයාටත්, වැඩවැඩේ - වැඩ දියුණු වේ, සඳ වැලැඳි සාවා - සඳෙහි වාසය කරන සාවා, දිනෙන් දින - දිනපතා කැටුවම, සඳත් සමග ම, වැඩෙන මෙන් - වැඩෙන්නාක් මෙන්.

භාවය:- මධ්යවස්ථ රජුගේ සම්පත් දියුණු වන්නා ම ලෝකයාටත් එයින් වැඩ සිදුවේ. සඳ හා වාසය කරන හාවා දිනපතා හඳත් සමග වැඩෙන්නා මෙනි.


203. පින් පව් කළ සතන් - දිවසින් දුටුසෙ දකිත් නිරිඳෝ

වැඩ අවැඩ මෙ දෙක‍ම - උන් උන්ට පමුණුවත්

සැණෙකිත්.


පදාර්ථ:- නිරිඳෝ - රජවරු, පින් පවු කළ - පින් හා පව් කළ, සතන් - සතුන්, දිවසින - දිව ඇසිත්, දුටුසෙ - දුටුවා සේ, දකිත් - දකිත්, උන් උන්ට - උන්ට, වැඩ අවැඩ - වැඩ අවැඩ දෙක ද, සැණෙකින්ම - ඉක්මණින්ම පමුණුවත් - පමුණුවති.

භාවය:- රජවරුන් පින් පව් කළ සතුන් මොවුන් යයි දිවසින් ඇත්තා සේ දනිති. ඔවුන්ට වැඩ අවැඩ දෙක ම ඉක්මනින් ම දෙත්.


204. නිරිඳුහට විරිඳු - දන හා ඉවත වසන අවිසත්

මරහට තම කරා - අත්සනින් කැඳවන විලස් වේ.


පදාර්ථ:- නිරිඳුන්හට - රජුන්ට, නිරිඳු දන හා - සතුරු වූවන් සමග, ඉතව - හිතවත්ව, වසන - වාසය කරන්නා වූ, අවියත් - මෝඩ අය, මරහට - මාරයාට, තමා කරා - තමා සමීපයට, අත්සනින් - අතින්, කැඳවන විලස්වේ - කැඳවන්නා මෙනි.

භාවය:- රජුන්ට සුතුරු වුවත් සමග හිතවත්ව වාසය කරන මෝඩ අය මාරයාට තමා කරා අත් වනා කැඳවන්නා මෙනි.


205. බෝකල් පුරුදු රජු - යයි රදුන් අන් ලෙස නොම සිතව

කිරි දෙමි නැති කළත්- උරග ඇති විස පමණ නොකරව්.

පදාර්ථ:- බෝ කල් - බොහෝ කලක්, පුරුදු - පලපුරුදු, රඳු යයි - රජ යයි, අන් ලෙස - අන් අයුරකින්, නොම සිතව් - නො සිතව්, කිරි දෙමින් - කිරි දෙමින්, ඇති කළත් - පෝෂණය කළත්, උරග නාගයාගේ, ඇති විස - ඇත්තාවු විස, පමණ නො කරව් - ප්ර්මාණ නොකරච්.

භාවය:- බොහෝ පල පුරුදු රජ යයි අන් අයුරකින් නො සිතව්. කිරි දී පෝෂණය කළත් නාගයා ගේ ඇති විෂ ප්රිමාණ කළ නො හැක.


206. සිල්ප උපදෙස් බත් - අබය මේ සතර දෙවු උතුමන්

පියඹු තම පියහු - සමග පස් දෙනම පිය පිය වෙත්.


පදාර්ථ:- සිල්ප - සිල්පය, උපදෙස් - අවවාදය, බත් - ආහාරය, අබය - ජීවිත අභය, යන මේ හතර - මේ කරුණා හතර, පෙවූ උතුමෝ - දුන් උත්තමයෝ, තම පියඹු - තමන්ගේ ප්රි යාව බිරියගේ, පියහු සමග - පියා සමග, පස් දෙනම, පස් දෙනාම, පිය පිය වෙත් , ප්රිතයවූ පියවරු, වෙයි.

භාවය:- ශිල්ප දුන් තැනැත්තා අවවාද දුන් තැනැත්තා ආහාර දුන් තැනැත්තා ජීවිත අභය දුන් තැනැත්තා යන මේ හතර දෙනාත් තම පිය බිරියගේ පියා සමග ප්රී තිය උපදිනා පියවරු පස් දෙනා වෙත්.


207. අදහම් නෙලා සිත - දහම් නිති මෙනෙහි ලා සත රැක

දවසරිනා දනෝ - දෙලොව සැප විඳ නිවන් පුර යෙත්.


පදාර්ථ:- අදහම - අසඬර්මය, සිත නොළා - සිතට නොගෙන, නිතරම - නිරන්තරයෙන්, දහම් - ධර්මය, මෙනෙහි ලා - මෙනෙහි කරමින්, සත රැක - සත්වයා රැක, දවස් අරිනා - දවස් ගත කරන්නාවූ, දනෝ - මිනිස්සු, දෙ ලොව් සැප විඳ- දෙ ලොවෙහිම සැප විඳ, නිවන් පුර - නිවන් පුරයට, යෙත් - යෙති.

භාවය:- අසද්ධර්මය සිතට නො ගෙන නිතරම ධර්මය මෙනෙහි කරමින් සත්වයා රැක දවස ගත කරන්නාවූ මිනිසුන් දෙ ලොවෙහි ම සැප විඳ නිවන් පුරයට යති.


208. වැඩකට ගත නො හැකි - සතන් එක්කර ගනිති යමකට

වැඩකට නොගන්නා අබිජිත් - නැකත එක් කරනු මෙන්.

පදාර්ථ:- වැඩකට - කටයුත්තකට, ගත නො හැකි - ගත නො හැක්කාවූ, සතුන් - මිනිසුන්, යමකට - යම් කිසි දෙයකට, එක්කර ගනිති - යොදා ගනිති, කුමක් මෙන්ද? වැඩකට නො ගන්නා - වැඩකට නො ගන්නාවූ, අබිජිත් නැකත - අබිජිත් නම් නැකත, එක් කරනු මෙන් - එක් කරන්නා මෙනි.

භාවය:- වැඩකට ගත නො හැකි මිනිස්සු යම්කිසි දෙයකට ඈඳා ගනිති. කුමක් මෙන් ද? වැඩකට නො ගන්නා අබිජිත් නම් නැකැත එක්කර ගන්නා මෙනි.


209. තපසත් වයස කුල - ගුණ නැණ විකුම් දමින් වැඩුනත්

මේ ඇමට ම වැඩිත් - දනවත් දනෝ ලෙව්හි බැබළී.


පදාර්ථ:- තපසත් - තපස, වයස - වයස, කුල - කුලය, ගුණ - ගුණය, නැන - බුද්ධිය, වික්රයම - වික්රදමය, දමින් - දම් යන, මේ හැම දෙසින් වැඩුනත් - වැඩි ගියත්, දනවත් දනෝ - ධනවත් මිනිසුන්, මේ ඇමටම - මේ සියල්ලන් ම, - වඩිත් - උසස් වෙති.

භාවය:- තපස, වයස, කුලය, ගුණය, ඥානය, වික්රුමය, ධර්මය යන හැම දෙසින් ම වැඩුණත් ධනවත් මිනිස්සු මේ හැම දෙයට වඩා උසස්ව සිටිති.


210. එක බිලයකින් නික් මේ - පිපිලිකාවන්ගේ ගණනට

මුඵ දඹදිව දනෝ - නොසරිවෙත් දිවසින් බැලුවත්.


පදාර්ථ:- එක බිලකින් - එක ගුලකින්, නික්මෙන - නික්මෙන්නාවූ, පිපිලිකාවන්ගේ - කුහුඹියන්ගේ, ගණන - සංඛ්යාඵවට, මුළු දඹදිවම, දනෝ - ජනයෝ, දිවැසින් - දිවැස් වලින්, බැලිවත් - බැලිවත්, නො සරිවෙත් - සමාන නොවෙත්.

භාවය:- එක ගුලකින් පිටවන කුහුඹින්ගේ ගණන සලකන විට මුඵ දඹදිව ජනයන්ට වඩා වැඩිවෙත්.



211. කොතරම් තරමැතත් - දනෝ කිසි ඉල්ලූ සඳ ලගු වෙන්

උවාඳු මහ බලිගෙන් - බිමි දන් ගනුව කුඩා වූ මෙන්.


පදාර්ථ:- කොතරම් තරම ඇතත් - කොයි තරම් වුවත්, දනෝ - මිනිස්සු, කිසි - කිසිවක්, ඉල්ලූ සඳ - ඉල්ලූ සැණෙන්, ලගුවෙත් - කුඩා වෙත්, උවිඳු - විෂ්ණුතෙම, බලිගෙන් - බලි අස්රාගෙන්, බිම් බිම් කොටසක්, දන් ගනුව - දන් වශයෙන් ගැනීමට, කුඩා වූ මෙන් - කුඩා වූවා මෙනි.

භාවය:- කොතරම් උසස් කෙනෙක් වුව කිසිවක් ඉල්ලූ සැණෙන් කුඩා බවට පත්වෙති. උපේන්ද්රු බලි අසුරයාගෙන් බිම් කොටසක් ඉල්ලා ගැනීමට කුඩා වූවා මෙනි.



212. එක් යහපත් කළ - සුදනෝ සියක් වැරදි ඉවසත්

දුදනෝ නො මඳ වැඩ - කළත් එක් වරදක බිඳියෙත්.


පදාර්ථ:- එක් යහපතක් කළ - එක සුචරිතයක් කළ, සුදනෝ සත් පුරුෂයෝ, සියක් වැරදි ඉවසත් - සියයක් වැරදි ඉවසත්, දුදනෝ - දුර්ජනයෝ, නොමඳ -බොහෝ වරදකින්, බිඳියෙත් - බිඳෙති.

භාවය:- සුදනෝ එක් යහපතක් කළහොත් වැරදි සියයක් වුව ඉවසත්, කො තරම් යහපතක් කළත් දුර්ජනයෝ එක වරදකින් බි‍ඳෙති.



213. ලුහු දන නො දනිතත් - සුදන දැන ගනිති සුදනන් ගුණ

අකුරෙහි මැද තුබූ - රුවන් දැනගත් නැණතියන් සේ.


පදාර්ථ:- අකුරෙහි මැද තිබූ - ගල්කැට මැද තිබූ, රුවන් දැනගත් - මැණික් දැන ගත්තාවූ, නැණ ඇතියන්සේ - නුවණ ඇත්තන් සේ, ලුහු දන - පොඩි අය, නොගත්තත්,සුදන - සත්ජනයෝ, සුදනන් ගේ ගුණ - සජ්ජනයන්ගේ ගුණ, දැනගත් - දැන ගනිති.

භාවය:- ගල්කැට අතර තිබෙන මැණික් ගල් දැකගැනීමට නුවණ ඇත්තාසේ පොඩි අය දැන නො ගතත් සජ්ජනයෝ සුදන ගුණ දැන ගනිති.



214. දුන් දේ මේ ලොවට - වරව වියතුනි තෑගි දන්පින්

දුන් ලුණඹ වැස්සෙන් - ලෙව් රෑක නැවත සිඳු වදින මෙන්.


පදාර්ථ:- වියතුනි - වියත් ජනයානෙනි, දුන්දේ - දෙන ලද්ද, මෙලොව - මේ ලෝකයෙදි ම, දන්පින් - දානයට තෑගි කරව් - තෑගි සඳහා යොදවා, කෙසේ ද? ලුණු අඹ දුන් වැස්සෙන් - ලුණු ජලය දුන් වැස්සෙන්, ලෙව් රැක - ලෝකය ආරක්ෂා කොට, නැවත - ආපසු, සිඳු වදින මෙන් - මුහුදට යන්නා මෙනි.

භාවය:- උගතුනි, දුන්දේ මෙලොවදීම පරිත්යා්ග වශයෙන් ලැබේ. ලුණු ජලය දුන් වැස්සෙන් ලෝකයම රැක නැවත මුහුදට ම යන්නා මෙනි.



215. උතුමන් සෙවුම් කළ - දනහට සව් ඉසුරු ලැබේ නිති

නෙර ඇසිර ගිය හස - හැම සතුන් එක පැහැය වන මෙන්.


පදාර්ථ:- උතුමන් - උතුම් අය, සෙවුම් කළ - සේවනය කළ, දනහට - ජනයාට, සව් ඉසුරු - සියලු සැපත්, නිති - නිතර, ලැබේ - ලැබෙන්නේය, නෙර ඇසිර - නේරු පර්වතය, උඩින් අහස ගිය - අහසින් ගිය, හැම සතුන් හැම සතෙක්ම, එක පැහැය වනමෙන් - එක පාටක් වන්නා මෙනි.

භාවය:- උතුමන් ආශ්රපය කළහොත් බොහෝ සම්පත් ලැබේ. මේද පර්වතය උඩින් යන හැම සතෙක්ම එක පාටකට පැමිණෙන්නා මෙනි.


216. තදරුදු ගුණැතියන් - සමග විසුවත් සුදනෝ නොනසිත්

කුරිරු ගිනි වැද පත් - පවන සිහිලස නො නස්නාමෙනි.


පදාර්ථ:- තද රුදු ගුණැතියන් - තද රෞද්ර් ගුණ ඇත්තන්, සමග විසුවත් - වාසය කළත්, සුදනෝ - සත්පුරුෂයෝ, නො පෑසෙත් - විනාශයට නොයෙත්, කරිරු - කෲර, ගිනි වැදපත් - භයානක ගින්න මැදට පැමිණියත්, පවන - සුලගෙහි, සිහිලස - ශීතල භාවය නොනස්නා මෙනි - නොනසින්නා මෙනි.

භාවය:- රෞද්රි ගුණ ඇතියන් සමග වාසය කළත් සත්පුරුෂයෝ විනාශයට නොයති.බියකරු ගිනි මැදට පැමිණියත් සුල‍ඟෙහි සිසිල විනාශ නො වන්නා මෙනි.


217. තමනට වරද කළ - දුදනන්ට වෙර නො බැඳ කැරැ මෙත්

වඩ වඩා වැඩ කරව් - ඔවන් විළිබියට පැමිණෙන සේ.


පදාර්ථ:- තමනට - තමාට, වරද කළ - වැරදි කළාවූ, දුදනන්ට - දුර්ජනයන්ට, වෙර නොබැඳ - වෛර නොබැඳ, ඔවුන් ඒ අය, විළිබියට - ලැජ්ජාවට, බියට වැඩියෙන්, වැඩ කරව් - වැඩ කරව්.

භාවය:- තමන්ට විරුද්ධව වැඩ කළ දුදනන්ට වෛර නොකොට ඔවුන්ට ලජ්ජා ඇතිවන සේ වැඩි වැඩියෙන් වැඩ කරව්.


218. කුසුම් හීන වෙති - දුඟඳ නද සුවඳ මල්වලටත්

එමෙන් දනන් අතුර - සමහර ගැරඬි කුණක් වැනි වේ.


පදාර්ථ:- නද සුවද මල්වලටත් - හොඳ සුවඳැති මල්වලටත් වඩා, දුගඳ - සුවඳ නැති, කුසුම් - මල්, හීනවෙති - හීන වෙති, එමෙන් - එසේ , දනන් අතර - ජනයා අතර, සමහර අය - සමහර අය, ගැරඬි කුණක් වැනි - ගැරඬි කුණක් සම වේ.

භාවය:- සුවඳවත් මල් දුඟඳ මල්වලට වඩා හීන වෙති. එසේම මිනිසුන් අතර සමහරු ගැරඬි කුණක් සේ පිළිකුලට යෙති.


219. පෙර පින් නොකොට-දැන් සැපතට සැපෙන අවියත් දනෝ

නො වපුට බීජු කෙතෙහි -දන මඬිනවුන් දැක තැවෙත් ඉඳ


පදාර්ථ:- පෙර - පූර්ව කාලයෙහි, පින් නො කොට - පින් නොකර, දැන්, මේ කල්හි, සැපතට - සැප සඳහා, සැපෙන - සැරසෙන්නාවූ, අවියත් දනෝ - මෝඩ මිනිස්සු, කෙතෙහි - කෙතෙහි, බීජු නො වපුට - බිත්තර නො වපුටා, දන මඬිනවුන් - දන නැතිකරන්නවුන්, දැක - දැක, තැවෙත් - කම්පා වෙත්.

භාවය:- පෙර පින් නොකොට මේ කල්හි සැපත සඳහා තැත් කරන මෝඩ අය කෙතෙහි බිත්තර වී වපුරන්නෝ ධනය මඬින අය දැක තැවෙන්නෝය.



220. ලොව කළමනා දෙය - නො දැන කළහොත් නො පණත්

වැනසෙනු නියතමැයි - අහසට දැමූ කැටයක් හෙණමෙන්.


පදාර්ථ:- ලොව - ලෝකයෙහි, කළමනා දෙය - කටයුතු දෙය, නො දැන - නොදනී,නො පණත් කළහොත් - වැරදි දෙයක් කළහොත්, අහසට - ආකාශයට, දැමූ - දමන ලද, කැටක් විලසින් - ගල් කැටයක්, හෙණ මෙන්, වැටෙන්නා සේ වැනසෙනු - විනාශවීම නියතමැයි - ස්ථිර වේ.

භාවය:- ලෝකයෙහි කටයුතු දෙය නො දැන වැරදි දෙයක් කලහොත් අහසට දැමූ කැටයක් බිම වැටෙන්නාසේ විනාශයට යේ.



221. අවසෙසු දනෝ ලද - නො මඳ ඉසුරක් අමුත්තක් සේ

දුඹූල වූ දියට නැගි - මසුන් නැසෙනා ලෙසට වැනසෙත්.


පදාර්ථ:- නො මඳ - බොහෝ වූ, ඉසුරක් - වස්තුව, අමුත්තක් සේ - අමුත්තක් මෙන්, ලද - තබන ලද, අවසෙසු - අවශේෂ, දනෝ - මිනිස්සු, දුඳල වූ දියට - අඵත් ජලයට, නැඟි - නැගෙන්නා වූ මසුන් - මාළුන්, නැසෙන - නැසෙන, විලස - විලාශයෙන්, වැනසෙත් - විනාශයට යෙති.

භාවය:- විශාල වස්තුවක් එකවිට, ලැබුණ විට මෝඩයෝ එයින් විනාශයට යති.අඵත් දියට පැමිණි මාඵන් ඒ දිය නිසා මැරෙන්නා මෙනි.



222. කළ අල්ප පිනෙනුත් - සුරනැර සැපත් නො මඳ පැමිණේ

නුග බිජු වටින් නැඟි - විසල් තුසරා මඩුලු විලසින්.


පදාර්ථ:- කළ අල්ප පිනෙනුත් - කළා වු සුඵ පිනෙනුත්, සුර - නර සැපත් - දෙව් මිනිස් සැප, නොමද - බොහෝ සේ, පැමිණේ - පැමිණෙන්නේය, නුග බීජුවටින් - නුග ඇටයකින්, නැඟි - නැංගැවු, සාමඩුලු - අතු පතර ඇති, විසල් තුර විලසින් - විශාල වෘක්ෂයක් මෙනි.

භාවය:- සුළු පිනෙකින් බොහෝ වු දෙව් මිනිස් සැප ලැබේ. පොඩි නුග ඇටයකින් පැලව අතුපතර දමා විශාල වෙන නුග ගස මෙනි.


223. තිරසර ගුණැති සත - සව් සතට මැදහත්ව පවතිත්.

මහමෙර සුර අසුර - දෙ ලොවට සමව සදා සිටිනෙව්


පදාර්ථ:- තිරසර ගුණ ඇති - ස්ථිර ගුණ ඇත්තාවු, සක - සත් පුරුෂයෝ, සතට - සත්වයාට, මැදහත්ව - මධ්යුස්ථව, පවතිත් - පවතිත්, මහමෙර - මහා මෙරු පර්වතය, සුර අසුර දෙ ලොවට - දෙව් ඇසුර දෙ ලොවට - දෙව් අසුර දෙ ලොවටම, සමව සමව, සිටින - එව්- සිටින්නාක් මෙනි.

භාවය:- ස්ථිර සාර ගුණ ඇති සත් පුරුෂ අය සත්වයාට මධ්යොස්ථව පවතිත්. මහා මේරූ පර්වතය සුර අසුර යන දෙ ලොවට ම සමානව පවතින්නාක් මෙනි.



224. සහසික පවිටු දන - මළ කල යේය නිරයට

පහන නිව් ස‍ඳෙහි - මුළු ගෙය අඳුරු වැසෙන විලසින්.


පදාර්ථ:- සහසික පවිටු දන - සාහසික පවිටු අය, මළ කල - මළ කාලයෙහි, නිරයට - නරකයට, ගෙන යේ - ගෙන යන්නේය, පහන - ප්රිදීපය, නිව් ස‍ඳෙහි - නිවී ගිය කල්හි, මුළු ගෙය - මුඵ මහත් ගෙ.

භාවය:- සාහසික පවිටු මිනිස්සු මළ කල්හි නරකයට ගෙන යනු ලබති. එය කෙබඳුද? පහන නිව් කල්හි මුළු ගෙයම අඳුරෙන් වැසෙන්නා මෙනි.


225. නො තලා කුසුම් රොන් - ගන්නා රූසිරු බිඟුන් විලසින්

නො තලා ලොව සතුන් - අයබදු ගනුත් දෙලොව වැඩවේ.


පදාර්ථ:- කුසුම් නො තලා - මල් නො තලමින්, රොන් ගන්නා - රොන් ගන්නාවූ, බිඟුන් විලසින් - මී මැස්සන්‍ මෙන්, ලොව - ලෝකයෙහි, සතුන් - සත්ත්වයා, නො තලා - නො තලමින්, අයබදු ගනිත් - අයබදු ගැනීම, දෙ ලොව - දෙ ලොවෙහි ම, වැඩවේ - අභිවෘධිය ඇතිවේ.

භාවය:- මී මැස්සා මල නො තලා රොන් ගන්නා එ සේම සතුන් නො තලා අයබදු ගැනීම දෙ ලොවටම වැඩ සිදු කර දේ.


226. අසිරුවන් සතහට දුක්විය නොදෙත් තමන් නැසෙතත්

රාවණ තම මලුට - අල කොන පලක් මණ දැරුමෙන්.


පදාර්ථ:- අසිරුවන් සතහට - ආශ්රමය කළ ජනයාට, තමන් නැසෙතත් - තමන් විනාශයට ගියත්, දුක්විය නොදෙක් -දුක් විඳීමට ඉඩ නොදෙති. රාවණ - රාවණ තෙම, තම මලුට - තමන්ගේ මල්ලිට, (විභීෂණට) අලකොන ගැසුවා වූ - කුන්ත පහර, එක්මන - ලක්ෂමණ කුමාරයා, දැරූ මෙන් - දැරූමෙනි.

භාවය:- උත්තමයෝ තමන් ආශ්ර ය කල ජනයාට කරදරයක් වීමට ඉඩ නො දෙති.තමා ඒ විනාශයට මූණ පාති.රාවණ රජු විභීෂණට ගැසූ කුන්ත පහලට ලක්ෂමණ මූණ පෑවාමෙනි.


227. දුරුකර දුදනයන් - සුදන සමගම කර දෙලෝ වැඩ

අපමණ ඉසුරු තෙද - විකුම් නැණතත් මැකේ මරණින්.


පදාර්ථ:- දුදනයන් - දුර්ජනයන්, දුරු‍කර - දුරු තොට, සුදන සමගම - සුදනන් සමග, දෙ ලෝ වැඩ - දෙ ලොවෙහි අභිවෘද්ධිය, කර - කරන්නේය, අපමණ - අප්ර-මාණ, ඉසුරු - සම්පත්, තෙද - තේජසත්, වික්රවම - වික්ර මයත්, නැණ ඇතත් - නුවණ ඇතත්, මරණින් - මරණයෙන්, මැකේ - විනාශ වේ.

භාවය:- දුදනන් හැර සුදනන් සමග දෙ ලෝ වැඩ කළ යුතුය. බොහෝ සම්පත්,තේජස්, වික්රැම, බුද්ධිය, තිබුණත් ඒ සියල්ල මරණයෙන් කෙළවර වේ.


228. තෙදැති නිරිදුන් දික් - විජය නො කළත් පවති අණසක

සුර පුර ඉඳු ඉඳිත් - දෙව්දුනු දසදිගත තෙවුන මෙන්.


පදාර්ථ:- තෙදැති - තේජස් ඇති, නිරිඳුන් - රජුන්, දික් විජය නො කළත් - දිශා ජයග්ර හණය නො කළත්, අණසක - ආඥා චක්ර ය, පවතී - පවතින්නේය, ඉඳු - ශක්රචයා, සුරපුර - දෙව්ලොව, ඉඳිත් - වාසය කරමින්, දෙව් දුනු - දේවචාප, දස දිග - දශ දිසාවෙහි, තෙවුනමෙන් - බබළන්නාක් මෙන්.

භාවය:- තෙදැති රජවරුන් ජයග්රෙහණය නො කළත් ඔවුන්ගේ අණසක දශ දිසාවෙහි පැතිර පවතී. ශක්ර යා දෙව්ලොව වාසය කළත් ඔහුගේ දුන්න බබළන්නාමෙනි.


229. සරත් පුන්සඳකින් - මුඵ ගුවන බබළන මෙන්

නිරිඳුන් මැතිවරන් - මැදහත් කමින් ලොවත් බබළා.


පදාර්ථ:- සරත් - සරත් කාලයෙහි, පුන් සඳකින් - පූර්ණ චන්ද්රචයා ගෙන්, මුඵ ගුවන - මුඵ ආකාශයම, බබළන මෙන් - බබළන්නාක් මෙන්, නිරිඳුන් - රජුන්, මැතිවරන් - මන්ත්රීකවරුන්ගේ, මැදහත් කමින් - මධ්යබස්ථභාවයෙන්, බබළා - බබළයි.

භාවය:- සරත් කාලයෙහි පුන්සඳ මුඵ අහස ම බබළයි. රජුන් මැතිවරුන්ගේ මධ්යසස්ථ භාවය ලෝකයත් බබළවයි.


230. දිවිතෙක් සතුරු තද - පව් බිය අසන නොමඳ නුගුණත්

මෙකී සිවු අවැඩ ම - පරහන සතට පැමිණේ.


පදාර්ථ:- දිවි තෙක් - පණ ඇති තාක්, තද සතුරු - තද සතුරෝය. පව් - පව්ය, බිය - බියය, අගුණත් - නුගුණය, අසන - ඇසුමය, යන මෙකී සිවු අවැඩ ම - මේ අවැඩ සතර ම, පරඟන පතන - අන් ස්ත්රීවන් බලාපොරොත්තු වන සතට - අයට, පැමිණේ - පැමිණෙන්නේය.

භාවය:- ජීවිතය ඇති තාක් සතුරන් පව් , බිය , අගුණ ඇසීම යන කරුණු සතර අනුන්ගේ ස්ත්රීතන් කරා යන්නාට පැමිණේ.


231. නූපයා සව්සිරි - දුගී ලුහු දනගේ අඹු සොඬකම්

අවියත්ව පඬි බැව් - පානෙ නැණ නැති දද දනෝ වෙත්.


පදාර්ථ:- දුගී දුප්පත්, ලුහු දනගේ - පහත් ජනයාගේ, අඹු සොඬකම් - කාන්තාවන්ට සොඬවීම, සව්සිරි - සතල සම්පත්තිය, නූපයයි - නූපදවයි, අවියත්ව - ඉගෙනීමක් නො මැතිව, පඬි බැව් පානෙ - පණ්ඩිත බව ප්රවකාශ කරන්නාවූ, නැණ නැති- නුවණක් නැති, දද දනෝ - මෝඩ ජනයෝ, වෙත් - වෙති.

භාවය:- දුප්පත් පහත් ජනයාගේ අඹු සොඬකම නිසා සම්පත්තිය තවත් පිරිහේ. මෝඩව සිට පණ්ඩිතකම ප්රපකාශ කරන්නෝ මෝඩයෝය.


232. සක්විති රජ ඉසුරු - සරි කරත දෙව්ලොව සුරකු සිරි

නහස්නා පහනට - හිමව් කුඵ සරි කොට සිතන වැනි.


පදාර්ථ:- සක්විති රජ ඉසුරු - සක්විති රාජ්යන සම්පත්තීන්, දෙව්ලොව - දිව්යත ලෝකයෙහි, සුරකුසිරි - දෙවියකුගේ සැපතට, සරි කරන - සමාන කරන තල්හී, නහස්නා පහනට - උරගලට, හිමව්කුඵ - හිමාල පර්වතය, සරිකොට - සමානකොට, සිතන වැනි - සිතන්නාමෙනි.

භාවය:- සක්විති රාජ්යජ සම්පත් එක දෙවියකුගෙ සැපතට සමාන කරන විට උරගලට හිමාලය පර්වතය සමාන කොට සතීමක් වැනිය.


233. මෙ බඳු සුර පුරටත් - දඹදිව වැඩිය පින්කෙත්

එමතු නොව මුනිවර - මෙහි ඉපද බුදුව මොක් දෙනුවෝ.


පදාර්ථ:- දඹදිව - ජම්බු ද්වීපය, මෙ බඳු - මෙ වැනි, සුරපුරටත් - දෙව් ලොවටත්, වැඩිය - වැඩි වූ, පින් කෙතකි - පුණ්ය ක්ෂේත්රවයකි, එමතුදු නොව - එපමණක් නොව, මුනිවරු - බුදුවරු, මෙහි ඉපිද - මේ ජම්බුද්වීපයෙහි ඉපිද, බුදුව -බුදුවී, මොක් දෙනුව - නිර්වාණ සම්පත්තිය දෙන්නෝය.

භාවය:- දඹදිව සුරපුරයටත් වඩා පින් කෙතකි. බුදුවරු පහළ වන්නෝ ද මෙහිදී ය. ඒ බුදුවරු නිවන් සම්පත් දෙති.


234. සුදනන්ට කළ වැඩ - පළ නොදෙති යන සැකය නො සිතව්

නෙරළු පැලයට ඇදී - දියට අග පළ ගෙන සිටින මෙන්.


පදාර්ථ:- සුදනන්ට - සත් පුරුෂයන්ට, කළ වැඩ - කරන ලද වැඩ, පළ නො දෙති - පල නො දෙන්නේය, යන - යන, සැකය සිත - සැක සිත, නෙරළු පැලයට - පොල් පැලයට, ඇදි - ඇද්දාවූ, දියට - ජලයට, අග පල සිටින එව් - කෙළවර ගෙඩි ගෙන සිටින්නා මෙනි.

භාවය:- සත්පුරුෂයන්ට කළවැඩ පළ ගෙන නො දේය. යන සැක සිත නො සිතව. පොල් පැලයට ඇද්දදිය කෙළවර ගෙඩි ගෙන සිටින්නා මෙනි.


235. අග සිට මුලට උක් - කන වැන්න සුදනන්ගෙ ඉතකම්

දුදනන් සමග වනු - එහි මුල පටන් අගට බුදිනෙව්.


පදාර්ථ:- සුදනන්ගෙ - සත්පුරුෂයන්ගේ, ඉතකම් - හිතවත්කම්, අගසිට - කෙළවර සිට, මුලට - මුල තෙක්, උක් කන වැන්න - උක්ගස් කන්නාක් වැනිය, දුදනන් සමග - දුර්ජනයන් සමග, වනු - වීම, එහි - උක් ගසෙහි, මුල පටන් - මුල සිට, අගට - අග තෙක්, බුදින එව් -කන්නාක් මෙනි.

භාවය:- සත් පුරුෂ හිතවත්කම් අග සිට මුලට උක්ගස් කන්නාක් මෙනි. දුර්ජනයන් හා එක්වීම මුල සිට අග තෙක් උක් ගස් කන්නාක් මෙනි.


236. නොයෙක් කටයුතුකම්- දන්න ලෙසට ලොව නැණැති වී

නොයෙක් උපමායෙන් - සැදූ නිරතුරු බලා ගැනුමට.


237. අනුවණ දුරැර සැප - වාසය කර මෙලොව නිතිතුරෙන්

සඟමොක් සැපත් ලැබ - ගන්ට බලව් ලෝකෝපකාරය.


පදාර්ථ:- නැණ ඇතිවී - ඥනවන්තව, ලොව ඇති - ලෝකයෙහි ඇත්තාවූ, නොයෙක් කටයුතු කම් - නොයෙක් කටයුතු දන්නා ලෙසට - දැන ගැනිම පිණිසත්, නිරතුරුව - නිතර, අනුවණ දුරැර - අනුවණකම් බැහැරකොට,මෙ ලොව - මේ ලෝකයෙහි, නිරතුරෙන් - හැමවිට, සැප වාසය කර - සැප වාසය කොට, සඟමොක් සැපත් ලැබ - ස්වර්ග මෝක්ෂ සම්පත් ලබමින්, නොයෙක් උපමායෙන් - නන් වැදෑරුම් උපමායෙන්, සෑදු - සෑදුනා වූ, ලෝකෝපකාරය - ලෝකෝපකාරය, බලව් - බලව්.

භාවය:- බුද්ධිමත්ව ලෝකයෙහි ඇති කටයුතු දැන ගැනිමටත් නිරතුරුව අනුවණකම් දුරලා මෙලොව නිතර සැප වාසය කොට සඟමොක් සැපත් ලබා ගැනීමට නොයෙක් උපමායෙන් සෑදුණු ලෝකෝපකාරය බලව්.



කතෘ සන්දර්ශනය


කෙළවර කෙළෙ මෙ පොත - පුරා සත්යට සතවස පිරිසිටි පරපුර වණිජකුල - රණස්ගලු තෙර සාමින්.


ශත වර්ෂ 1721 දී වාණිජ කුලයෙහි උපන් රණස්ගල්ලේ හිමිවිසින් මේ ලෝකෝපකාරය ලියා නිම කරන ලදි . උන්වහන්සේ තොටගමුවේ විහාරයෙහි බොහෝ කලක් වැඩ සිටි කෙනෙකි.


තව මතයක්


කි ත් දිගු බිත් සුසැදු තුති හැම ස ඳ

මෙත් මහ නෙත් පහමුල යති ස ද

ස ත් වග සෙත් කළ සුගතිදු පද වැ ඳ

සි ත් ලෙස අත් කෙළෙ මොක් සැප මන න ද


සස ර ට ගැලවෙන උපදෙස් කී වා

අස ර කි මොක් පුර සතහට පෑ වා

නිත ර මෙ බස් සැම කල් පවතී වා

එත ර නිවන් පුර මෙමට ලැබේ වා


දස දෙ ස සව් සත සුවපත් වේ වා

විස ලෙ ස දස අකුසල් නො කෙරෙත් වා

දස කු ස ලෙන් හැම දෙන ම දිනෙත් වා

අස දි ස වූ මොක් සැපත ලබත් වා



නිමි.

"https://si.wikibooks.org/w/index.php?title=ලෝකෝපකාරය-v&oldid=6694" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි