වෙනස් වෙන ගමක සාරධර්ම 1
වෙනස් වෙන ගමක සාරධර්ම 1
නව ශතවර්ෂයක හා නව සහස්‍රයක උදාවත් සමඟ අපේ අනාගතය ගැන අපි වැඩි වැඩියෙන් සිත් ය්මු කරමින් සිටිමු. සමාජීය විද්‍යාඥ්ඥයන් අනාවැකි පළ කරන හැටියට ගෝලීයකරණය අප අළුත් අපේක්ෂාවන් සහිත නව ගම්මානයකට " විශ්ව ගම්මානයකට " ගෙන යනු ඇත. මේ විශ්ව ගම්මානය පාරම්පරික සාරධර්මවලින් පෝෂිත ශ්‍රී ලංකාව වැනි ආසියානු සමාජ කෙරේ කෙසේ බලපානු ඇද්ද ?
නූතන තාක්ෂණය අතින් කොතෙකුත් දියුණු වෙමින් පැවතියත් ශ්‍රී ලංකාව තවමත් මූලික වශයෙන් පාරම්පරික ගම්වලින් සමන්විත රටකි. බෞතික දියුණුව සොයා බොහෝ දෙනා නගරයට පිවිසියත් ලංකාවේ බහුතරය තවමත් ගැමියෝය. නව ආර්ථික ව්‍යුහයට අනුගතව සිය ජීවන රටාව සකස්කර ගැනීමට පොර බඳින ගැමියෝය.ශ්‍රී ලංකාව මූලාරම්භයෙහි සිට ම ගම්වලින් සැදුණු දේශයකි.සංස්කෘත භාෂාවෙන් "ග්‍රාම" යනුවෙන්ද සිංහලෙන් "ගම" යනුවෙන්ද හැඳින්වෙන මේ ඒකකය "නගරය" "නුවර" හා "පුරය" යනුවෙන් හැඳින්වෙන ඒකකයෙන් වෙනස් වේ.ලංකාවේ පළමුවන රාජකීය අගනුවර වූ අනුරාධපුරයද ආරම්භයේදී ගමක් වශයෙන් උපන්නකි. ක්‍රිස්තු වර්ෂ පළමුවන සියවසෙහි දී ලංකාවේ පළමු සිතියම ඇන්ද ටොලමි නමැති ග්‍රීක භූගෝල විද්‍යාඥයාගේ සිතියමෙහි මේ නගරය පැහැදිලිව සටහන් කොට ඇත්තේ "අනුරෝග්‍රාමොන්" ( Anurogrammon ) යන නමිනි.
ගමෙහි පාලකයා "ග්‍රාමණී" යනුවෙන් සංස්කෘතයෙන් ද " ගාමණී" යනුවෙන් පාලියෙන්ද "ගැමුණු" යනුවෙන් සිංහලයෙන් ද හැඳින්විණ. මේ නාමය ඈත අතීතයෙහි සිටම සිංහල රජ දරුවන්ගේ නාමයටද එක් විණ.සිංහල රාජාවලියෙහි විශිෂ්ඨතමයන් දෙදෙනෙකු වන දුට්ඨ ගාමිණී හා වට්ඨ ගාමිණී යන රජවරුන්ගේ නම්වල මෙනි.මානව විද්‍යාඥයන් දකින විධිහට සිංහල ගම එක් අතකින් පාරම්පරික ගමත් අනික් අතින් නගරයත් යන සමාජ දෙකේම සංයෝගයකි. සිංහල ගමත් නගරයත් අතර ඉතා සමීප සම්බන්ධතාවක් පැවතිණ. මානව විද්‍යාඥයන් කියන පරිදි නගරයේ මහා සම්ප්‍රදායත් ගමෙහි චූල සම්ප්‍රදායත් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් පැවතිණි.
ගමක ව්‍යුහය දෘෂ්ටිකෝණ තුනක පිහිටා විග්‍රහ කළ හැකිය. එහි "බෞතික සංස්කෘතිය" "චර්යාත්මක සංස්කෘතිය" " සදාචාරාත්මක සංස්කෘතිය" යනුවෙනි.එහි බෞතික සංස්කෘතිය මූලික වශයෙන් කෘෂිකර්මය පාදක කොටගත් ආර්ථික ව්‍යුහය හා බැඳෙන්නකි. එහි චර්යාත්මක සංස්කෘතිය එහි සාරධර්මත් ඇදහිලි විශ්වාස පද්ධතියත් මූර්තිමත් කරන සිරිත් විරිත් , මංගල්‍ය හා උත්සව හා බැඳෙන්නකි. එහි සදාචාරත්මක සංස්කෘතිය මානව සම්බන්ධතාවල ස්වභාවය පිළිබිඹු කරන සාරධර්ම පද්ධතිය හා බැඳෙන්නකි.
සිංහල ගම අනාදිමත් කාලයක සිට හැම පැත්තකින්ම වෙනස් වෙමින් පැවත එන්නකි.ආසියානු රටවල මේ වෙනස්කම් ඇති කළ මූලික පරිණාමකාරක වූයේ බටහිරීකරණය , කාර්මීකරණය , නාගරීකරණය ,වාණිජකරණය,නූතනීකරණය හා මෑතක සිට ගෝලීයකරණය හා තාක්ෂණීකරණයයි. වෙනස් වීම හෙවත් පරිණාමය සියලුම සත්වයන්ටත් වස්තුවලටත් බලපාන විශ්වසාධාරණ ලක්ෂණයකි.සියලු සංස්කාරයන් අනිත්‍ය බව අවබෝධකොට ගෙන සිටින බෞද්ධයා වෙනස් වීම නියාම ධර්මයක් සේ වටහා ගත්තෙකි.එබැවින් ගම නියත වශයෙන්ම වෙනස්වන බව බෞද්ධයා ඒකාන්ත වශයෙන් දනී. අපේ වැඩි අවධානය යොමු විය යුත්තේ මේ වෙනස ඇතිවන ආකාරය කෙරෙහිය. මේ වෙනස්වීම මානව සම්බන්ධතා හසුරවන සාර ධර්ම කෙරෙහි බලපාන්නේ කෙසේද යන්න ගැනය.
ගමක සිදුවන වෙනස් වීම ඉතාම හොඳින් ප්‍රකට වන්නේ එහි බෞතික ප්‍රස්තරයෙහිය. නිදසුනක් වශයෙන් දක්වතොත්, ගමන් කරත්තය වෙනුවට වායු සමීකරණය කළ යාන වාහන දැන් දක්නට ලැබේ. අතිරස,අග්ගලා වැනි පාරම්පරික රසකැවිලිවලට ලැබුණු තැන කේක් ආදී බටහිර කෑම වලට ලැබී ඇත . පන් මලුත් වේවැල් වට්ටි පෙට්ටිත් වෙනුවට පොළිතීන් මලු භාවිත කෙරේ.සාරි හැට්ට වෙනුවට ටී ෂර්ට් හා ඩෙනිම් කලිසම් දක්නට ලැබේ.