වෙනස් වෙන ගමක සාරධර්ම 3

Wikibooks වෙතින්

වෙනස් වෙන ගමක සාරධර්ම 3

සාර ධර්ම කිසිවක් ඉන්ද්‍රීය ගෝචර වූවක් නොවේ. ඉන්ද්‍රීය ගෝචර වන්නේ මෙකී සාර ධර්ම පිළිබිඹු කරන චාරිත්‍ර වාරිත්‍ර පමණකි.අන්‍යයා තමාට වඩා ආදරයෙන්ද ගෞරවයෙන්ද පිදුම් ලැබිය යුත්තෙක්ය යන සාරධර්මය පිළිබිඹු කරන පාරම්පරික චාරිත්‍ර වාරිත්‍ර කවරේද ?

චාරිත්‍ර වාරිත්‍ර දෙයාකාර වේ. වාච්‍ය හා අවාච්‍ය යනුවෙනි. වචනවලින් ප්‍රකාශයට පත්වන චාරිත්‍ර වාරිත්‍ර, වාච්‍ය ගණයටද කායික හැසිරීම්වලින් ප්‍රකාශයට පත්වන චාරිත්‍ර වාරිත්‍ර, අවාච්‍ය ගණයටද ගැනේ.. පාරම්පරික ගමේ අඹුසැමියන් අතර පැවැත්තේ එකිනෙකා කෙරේ උපන් ආදරයත් ගෞරවයත් නිසා ඇති වුණ සම්බන්ධතාවකි. මේ සම්බන්ධතාව වාච්‍ය මාධ්‍යයෙන් පිළිබිඹු වුනේ කීප ආකාරයෙකිනි.

පළමුවැන්න , ආමන්ත්‍රණ විධි යි. බිරිඳ හෝ සැමියා එකිනෙකා ඇමතීමට නම යොදා ගත්තේ නැත. නම කියා ඇමතීම අගෞරවයක් සේ සැලකුණු බැවිනි. නම කියා කථා කරනු වෙනුවට " මේ " " මේ ඇහුණද ? " වැනි වහරක් යෙදිණ.

දෙවැන්න : තම සැමියා හෝ තම බිරිඳ දැන සඳහන් කළ ව්‍යවහාර විධි යි. සැමියා අරබයා "ළමයින්ගේ තාත්තා" "කොල්ලන්ගේ තාත්තා" යැයි කියා හෝ වැඩිමහල් දරුවාගේ නම සඳහන් කරමින් "සිරිපාලගේ තාත්තා" හෝ කියා යෙදිණ.

බිරිඳ අරබයා "ළමයින්ගේ අම්මා" "කොල්ලන්ගේ අම්මා" හෝ "සිරිපාලගේ අම්මා" වැනි වහරක් යෙදිණ. "ගෙදර ඇත්තො" යනුත් බිරිඳ යි .

මගේ මෑණියන් මපියාණන් හැඳින්වීමට යෙදුවේ "අර කාණ්ඩේ" යන වහර යි. "අර කාණ්ඩේ" කොහෙද ගියෙ ? " "අර කාණ්ඩේ" තාම ආවේ නැද්ද ? යනුවෙන් ඈ න්යෙක් දෙනාගෙන් නොයෙක් වර අහනු මා අසා ඇත.

අනුන්ට යමක් විධානය කරනු පිණිස යෙදෙන විධි ක්‍රියාව අඹු සැමියන් අතර නොයෙදිණි. එබැවින් "හැන්දෑවට පන්සල් පැත්තෙ ගියා නං" හෝ "පොළට ගිහින් ආවානං" යනුවෙන් යෝජනා කෙරිණ.එකිනෙකා තමා ළඟට කැඳවා ගැනීමට පවා යෙදුණේ "පොඩ්ඩක් මෙහාට ආවා නං" යනු වහරයි. මෙහි "පොඩ්ඩක්" යන පදය යෙදුණේ "සීනී පොඩ්ඩක්" යැයි කියන විට මෙන් කුඩා ප්‍රමාණයක් හැඟවීමට නොව අනිකාගේ හිත නොරිදෙන පරිදි ඒ ඉල්ලීම කිරීමටය. එහි ඇත්තේ Please යන ඉංග්‍රීසි පදයේ අර්ථයයි. සැමියා කී දෙයකට එකඟ නොවිය හැකි වූවත් ඊට විරුද්ධ වීම එළිපිට නොකෙරිණ. එසේ විරුද්ධ වීම එළිපිට නොකෙරිණ. ඒසේ විරුද්ධ වීම සැලකුණේ "එකට එක කීමක්" ලෙසිනි. එවේලේ එකට එක නොකීවත් පසුව ඒ කරුණු පැහැදිලි කිරීම බිරිඳ අතින් සිදුවිණ. වෙනත් අය ඉදිරියේ සිය සැමියාට හෝ බිරිඳට පහර ගැසීමක් පැරණි ගමේ නොසිදුවිණ.වචනවලින් මෙන්ම හැසිරීමෙන්ද අඹු සැමියන් ගෞරවාදරය පළකෙරිණ. බිරිඳ සැමියා ඉදිරියෙහි වාඩි වූයේ මිටි අසුනකය. කොග්ගල උපන් මාර්ටින් වික්‍රමසිංහ මහතා "උපන්දා සිට" නම් කෘතියෙහි සිය මවගේ හැසිරීම මෙසේ විස්තර කරයි. "අම්මා තාත්තා ඉදිරියෙහි හිදගත්තේ මිටි අසුනක ය". ගමනක් ගිය තාත්තා ගෙදරට එනු දුටු විගස "අම්මා හිඳ ගත් උස් අසුනෙන් පමණක් නොව මිටි අසුනෙන් ද නැඟී සිටියි" . ( 9 පිට )

කෑම මේසයෙහි දී මුලින්ම ආහාර බෙදුවේ සැමියාට ය. ඔහුට වෙන අයට වඩා මඳක් වැඩියෙන් බෙදුවේ "හම්බ කරන මනුස්සයා නෙ" යැයි කියමිනි. අම්මා කෑමට වාඩි වූයේ ගෙදර අන් සියලු දෙනාගේම දුක සැප ගැන විමසීමෙන් පසුවය. අන්තිමට නිඳා ගන්නට යන ඈ අනික් සියල්ලන්ටම කලින් අවදි වේ.අද බටහිරීකරණය හමුවෙහි මේ චාරිත්‍ර වාරිත්‍ර සියල්ලම වෙනස් වී ඇත. අද අඹු සැමියන් එකිනෙකා අමතා ගන්නේ තම තමන්ගේ පුද්ගල නම් වලිනි. එකට උස් අසුන්වල වාඩිවන ඔවුහු එකට වාඩිවී ආහාර අනුභව කරති. එහෙත් ඇත්ත වශයෙන්ම වැදගත් වන්නේ මොවුන් තම තමන්ගේ නම් වලින් එකිනෙකා හඳුන්වා ගන්නවාද නැද්ද යන්නවත් ඔවුන් එකට වාඩි වී ආහාර අනුභව කරනවද නැද්ද වත් නොව එකිනෙකා කෙරෙහි පැවතිය යුතු ආදරය හා ගෞරවය තවදුරටත් පවතිනවාද යන්න ය.

පාරම්පරික ගමේ දෙමාපියන් හා දරුවන් අතර ද පැවැත්තේ අප්‍රමාණ ගෞරවාදරයකි. බටහිර රටවල දරුවෝ සිය දෙමාපියන් ඇමතීමට පුද්ගල නාම යොදති. එහෙත් සිංහල දරුවෝ අද පවා එසේ නොකරති. පුද්ගලනාමය තබා "ඔබ" යන අර්ථය දෙන මධ්‍යම පුරුෂ සර්ව නාමය පවා දෙමාපියන් අරභයා නොයෙදිණි.දෙමාපියන් සිටින්නේ මධ්‍යම පුරුෂ සර්ව නාම වලින් හැඟවෙන පුද්ගලයන්ගේ තත්වයට වඩා ඉහළ තලයක බැවිනි. කිසිවෙකු ඇමතීම පිණිස මධ්‍යම පුරුෂ සර්ව නාමයක් රහිත වාක්‍යයක් නිර්මාණය කිරීමට ඉංග්‍රීසි වාක්‍යවල "ඔබ" යන අර්ථවත් "" යන පදය වියරණය නොබිඳ කිසිසේත් ඉවත් කළ නොහේ. එහෙත් ඒවාට අනුරූප සිංහල වාක්‍යවල "ඔබ" යන පදය නොයෙදේ.

( කොහොමද තාත්තේ ? ) How are you, daddy ? ( කොහෙද අම්මා යන්නේ ? ) Mummy,where are you gong ? ( මොනවද අම්මා ගෙනාවේ ? ) What did you bring,mumma ?

ඔබ යන සර්ව නාමය වෙනුවට "තාත්තා" හා "අම්මා" යන නාම පද යෙදීම සිංහල රීතියයි.

වෙනස් වෙන ගමක සාරධර්ම 4

"https://si.wikibooks.org/w/index.php?title=වෙනස්_වෙන_ගමක_සාරධර්ම_3&oldid=8870" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි