වෙනස් වෙන ගමක සාරධර්ම 5
වෙනස් වෙන ගමක සාරධර්ම 5
පාරම්පරික ගමේ ගොවියන් එකිනෙකාට උදව් උපකාර කොට ගත් ආකාරය මූලික වශයෙන් පස්වැදෑරුම්ය.
මේ අතරින් පළමුවැන්න හැඳින්වූයේ "අත්තම" යනුවෙනි. අත්තම යනු මිනිස් ශ්‍රමය හුවමාරු කොට ගැනීමට යොදාගත් ක්‍රමයකි. සිරිපාල නම් ගොවියා ගුණපාලගේ කුඹුරු වැඩට සහභාගී වේ. මේ වැඩ සඳහා කුලී මලී ගෙවීමක් හෝ මුදල් හුවමාරුවක් සිදු නොවිණ. මෙසේ අත්තමට වැඩ කරණු පිණිස එක්වූ පිරිස "කයිය" යනුවෙන් හැඳින්විණ. සමහර පළාත්වල කයියට සම්බන්ධ වූයේ නෑයන් පමණකි.
දෙවෙනි ක්‍රමය ක්‍රියාත්මක වූයේ අත්තමට නොව "බුලතටය" කයියට අයත් ගොවියකු ඔත්පළ වුවහොත් සෙසු ගොවියන්ගේ කුඹුරු වැඩ කරදෙන්නට ඔහු අපොහොසත් වේ. එසේ වූ විට ඔහුගේ කුඹුරු කටයුතු කරගන්නේ කෙසේද ? මෙවැනි අවස්ථාවක් උද්ගත වූ විට ඒ ගොවියාගේ බිරිඳ මේ බව කයියේ නායකයාට දන්වා සිටී. එසේ දන්වා සිටින්නේ නායකයා වෙත බුලත් අතක් පිළිගැන්වීමෙනි.කයියේ නායකයා මේ බුලත් අතෙන් කොළය කොළය ගෙන සෙස්සන්ට දී අවශ්‍යතාවය හෙළි කරයි. බුලත් කොළ ලබා ගත් සියලු දෙනාම ඔත්පළ ගොවියාගේ කුඹුරු වැඩ ඉටුකොට දෙති. මේ වැඩ කෙරෙන්නේ "බුලතට" යැයි කියනු ලැබේ.
තුන්වන ක්‍රමයේදී මිනිස් ශ්‍රමය වෙනුවට ආහාරපාන හුවමාරු වේ.කුඹුරට ගෙන යන ආහාර පාන හැඳින්වීමට යෙදෙන එක් පදයක් "මුත්තෙට්ටුව" යනුයි. ( සමහර පළාත්වල "වෑදම" හෝ "ඇඹුල" යන පදය ද යෙදේ )කිසියම් නිලයක් දරන මුලාදෑනියෙකුට කුඹුරු වැඩ කිරීමට වේලාවක් නැත. එබැවින් ඔහු කරන්නේ තමාගේ කුඹුරු වැඩ කරදෙන ගොවියන්ට බත බුලතින් හොඳින් ආදර සංග්‍රහ කිරීමයි . මෙය "මුත්තෙට්ටුවට" වැඩ කිරීම සේ සැලකේ.
හතරවන ක්‍රමයේදී මිනිස් ශ්‍රමය වෙනුවට වෙනත් සේවාවක් හුවමාරු වේ. ඇතැම් ගොවීන්ට අත්තමට වැඩ කළ නොහැක්කේ ගමට අවශ්‍යය වෙනත් සේවාවන් සැපයීමේ යෙදී සිටින බැවිනි. නිදසුනක් වශයෙන්, ගමේ කම්මල්කරුවා ගොවියන්ට අවශ්‍යය උදලු දෑකැති ආදිය සකස් කොට දෙයි. මෙසේ සැපයුණු සේවාව "පේරුව" යන නමින් හැඳින්විණ. මේ සේවා සඳහා මුදල් නොගෙවිණ. ඒ වෙනුවට කම්මල්කරුවාගේ කුඹුරු කටයුතු ඉටුකර දෙනු ලැබිණ. මේ ක්‍රමය හඳුන්වන ලද්දේ "පේරුවට වැඩ කිරීම" යනුවෙනි.
මේ සියල්ලටම වඩා උතුම් කොට සලකන ලද්දේ පන්සලට අයත් කුඹුරේ වැඩ කර දුන් ආකාරයයි. පින් තකා පන්සලට පූජා කරන ලද කුඹුරු හැම ගමකම පාහේ විණ. මේ කුඹුරු හැඳින්වීමට "පිං කුඹුර" "පිං කනටිය" හෝ "පිං අරාව" වැනි නම් යෙදිණ. මේ කුඹුර අයත් වුණේ පන්සලට වුවත් කුඹුරු වැඩ හාමුදුරුවන්ට අකැප විය . එබැවින් ගමේ ගොවියෝ සියලු දෙනාම එක්වී පින් තකා මේ කුඹුරු වැඩ ඉටු කොට දුන්හ. පිනට වැඩ කිරීම තරම් උතුම් කටයුත්තක් ගමේ ගොවියාට නොතිබිණ.
සාමූහිකව කටයුතු කරන්නට පාරම්පරික ගැමියන් දිරි ගැන්වූ මූලික උත්තේජකය මුදල් නොව පින් ය. ගමට පාරක් අවශ්‍යය විණි නම් ගමේ කවුරුත් එකතු වී ශ්‍රමය යොදා මේ පාර සාදා ගත් හ. ශ්‍රමදානයෙන් සාදන ලද මේ පාර එදා හඳුන්වන ලද්දේ "පින් පාර" යන නමිනි. ගමට අවශ්‍යය ඒ දඬු ආදිය කවුරුත් එක් වී ඉදි කොට ගත් හ. මඟ තොට යන එන්නේන්ගේ පහසුව තකා පාර අද්දර අම්බලම් ඉදි කෙරිණ. ගමන් කරන්නන්ගේ පිපාසය සන්සිඳවනු පිණිස අම්බලම අසළ දිය පිරුණු කළ ගෙඩියක් තැනිණ. එහි "පිං තාලිය" හෝ "පිං පැන්" යන නම ද ලියවිණ. පින් සලකා සාමූහික කටයුතු කිරීමට හාමුදුරුවන් ගැමියන් දිරිමත් කළේ එසේ කිරීමෙන් "මෙතේ බුදුන් දැක නිවන් දකින්ට" ලැබෙන බව කීමෙනි.