සැවුල් අසුන් පවත්-1

Wikibooks වෙතින්

සැවුල් අසුන් පවත්-1[සංස්කරණය]

පෙළ:- රතමිණි සදිසි සිළු යුත්, මුතුකලබෙව් දිමුත්,

පළ හෙළ - පිය පතර සැදි සැවුලිඳු සඳ සැරද!


(රත් මැණික් සරිවැ පෙනෙන කරමලක් සහිත වූ,

මුතු රැස මෙන් බබළන, පැතිර පෙනෙන සුදු පැහැ

ඇති පියා පත් සමූහයෙන් සැරැසුණු කුකුළු රජ

තුමාණෙන, ආයුබෝවන්).


විතර :- සැවුලිඳු සඳ, සැරද’ යනු මෙහි සැකෙවි වදනයි.


සැවුල් :- යනු කුකුළාට නමෙකි. ඉඳු යන්නෙන් නායකයා, රජ, ‍ෙලාක්කා යන අරුත් පළ කෙරෙයි. ‘සැවුල් ඉඳු’ යනු ‘සැවුලිඳු’යි ගැළැපී සිටි. ගතකුරකුත් පණකුරකුත් මෙ අයුරෙන් ගැළැපීම හුදු ස්වර සන්ධියක් නොවෙතත් සිදත්දඟරා කරුවෝ මේ ගැළැපීමට ‘ස්වර සන්ධි’ යන නම කියති.

     1.	‘සැවැලිඳු’ යන්නෙන් ‘කුකුළු රජ’ කුකුළු නයුවා’ ‘කුකුළු ලොක්කා’ (මහ කුකුළා) යන අරුත් ගත හැකි. ‘ප්රිභූ’ අරුතෙහි ‘රජ’ සදද යෙදෙනුයෙන් මෙහි කුකුළු රජ, යනු ගනුමු.  ‘සඳ’ යන්නේ නො එක් අරුත් ඇතත් මෙහි ඒ යෙදුණේ ‘උතුම්’ යන අරුත දීමට යි. ‘සැවුලිඳු සඳ’ යනු ‘කුකුළු රජතුමා’යි මෙ දා බසින් සදහන් කළ හැකි.

සැර:- යනු දිගු කල් යන අරුත්හි ‘වීර’ යන්නට හුරු වන එළු වදනයි. ‘ද’ යනු ‘ජීවත් වේ වා’ යන අරුත දෙන ‘දෙ’ යන කිරිය පදය ‘සැර’ යන්න හා එකට බැඳිමේ දී. ගත් වෙසෙ‍ස් රුවයි. ‘සැ‍ර‍ෙද්’ යනු ‘සැරද’යි එක්වී සිටි.


දේ දෙති’

‘දිනි දුනු’


යන පිළිවෙළටයි ජීවත් වීම් අරුත්හි ‘දෙ’ යන්න දෙ කැලැ දෙ බසෙහි සිටිනේ. එහෙත් මෙ දවස්හි ඒ


දිනා දිනති

දිනි දුනු’


යි බෙහෙවින් අසන්නට ලැබේ. අද වහරේ සැරදේ යන්න වෙනුවට ඇසෙන්නේ, ආයු බෝ වන්! යනුයි’ ‘ආයු බෝ! ආයු බෝ වේ වා! යනු වෙසෙස් ආවැඩුම් හි දී අසන්නට ලැබේ.

‘සිළුයුත්’ ‘පියපතරසැදි’ යනු සැවුලිඳු යන්න වෙසෙසීමට යෙදුණේ වෙයි. ‘කරමලින් යුතු’ ‘පියාපත් රැසින් සැරැසුණු’ යන අරුත් එ වෙසෙසුන්වලින් ලැබේ. ‘සිළු’ යනු ‘අග’ (මුදුන) යන අරුත දෙතත් බෙහෙවින් ඒ යෙදෙන්නේ මුඳුන් කෙස් රොදටයි. එහෙත් මුඳුන් වී නගිනා ගිනි දැලි සදහා ද ‘ගිනිසිළු’ යනු යෙදේ. ‘සිළුමිණ’ යනු මුඳුන් කෙස් රොද අගට යොදනු ලබන මැණික අඟවයි. බමුණා ගේ ‘සිළුව’ නම් ඔහි ගේ හිස මුඩු කිරීමේදී මුඳුනේ ඉතිරි කරන කෙස් රොදයි. කුකුළාට - උගේ හිසේ මුඳුන් වී සිටිනේ උගේ කරමල හෙයින් - සිළුව වන්නේ එ කරමලයි.

‘රතමිණ සදිසි’ යනු සිළුව වෙසෙසන්නට යෙදිණි. රතින් බබළන මිණි රතමිණියි. දිසි යනු ‘පෙනෙන’ යන අරුත ඇති - පෙනීම් අරුත්හි - දිස් දයින් වූ වත් - මනැ පසරුත් වෙසෙසුනයි. ‘ස’ යනු ‘සම’ යන අරුත දෙයි. සම වැ (එක් බඳු වැ) පෙනෙන්නේ ‘සදිසි’ යි. රත්මිණි හා එක් සම වැ දිසෙන්නේ ‘රත්මිණි සදිසි’ යි. මැණික් අතුරෙහි මහත් අගය ඇත්තේ ද රත්මිණි යි.

‘රුවනතුරෙන් මහඟු රත් මැණ’ (සි: ස:) යන්නෙන් ද ඒ පළ වෙයි.

‘පිය’ යනු පියාපත් සදහා ද, ‘පතර’ යනු රැස, (සමුහය) අඟවනු සදහා ද යෙදිණි. පියාපත් රැස යනුයි ‘පිය පතර’ යන්නේ අරුත. පියා පත් රැසින් සැරැහුණේ ‘පියපතර සැදි’ යි.

මුතු කලබෙව් දිමුතු’ යන්නත් ‘පළ හෙළ’ යන්නත් පිය පතර වෙසෙසීම පිණිසැ යෙදිණි. මුතු කලබ නම් මුතු රැස යි. ‘එව්’ යනු ‘මෙන්’ සේ, වැනි’ යන අරුත් දෙන අවිය ‍සදෙකි. කලබ එව්, යනු ‘කලබෙව්’ යැයි සැසැදී සිටි. ඒ ඈඳීමෙ නයට ‘පෙරසර ලොප් සඳ’ විදිය යනු සිදත් සඟරා කාරයෝ කියති. ‘පළ’ යනු පැතිරී පෙනෙන, පසිදු යන අරුත් දෙන්නෙකි. ‘හෙළ යන්නේ අරුත ‘සුදු’ යනු යි. පළ හෙළ යන්නෙන් පැතිරී පෙනෙන සුද යනු ඇඟැවේ. කණ කොකා ගේ ‍ෙග් සුද පෙනෙන්නේ ඉගිළුණු විටැ පමණයි. එ හෙයින් උගේ පියා පත් පළ හෙළ නොවේ. මෙ කුකුළා ගේ පියා පත් පළ හෙළ යි හෙවත් පසිදු වැ මැ පෙනෙන සුදින් යුතුයි.

තතු:- මෙ ගීය එළු සැදැස් ලකුණේ සදහන් විරිතකට අනුවැ බදනා ලද්දෙක් නො වේ. මෙහි වසම් පිය දෙකේ මත් නවය නවය ද, සම දෙ පියේ මත් එකොළොස ද ඇති. එ හැටි විරිතකට නමෙක් එළු සදැස් ලකුණෙ නැති. එ හෙයින් මෙය අලගියවන්න රාලහාමින් විසින් අමුතු වැ පහළ කරන ලද විරිතක් අනුවැ හෝ පැරැණි කිවියන් ගේ පබදක් අසරින් හුරුවූ විරිතක් අනුවැ හෝ බදනා ලද්දක් වියැ යුතු. අලගියවන්න රාලහාමිනේ ගී විරිත් පහළ කරන පමණට සැහැසි වන වගේ කිවි කෙනකුන් නො වන බව ඔවුන් ගේ පැදිවල තරමින් මැ පෙනෙන හෙයින් මෙය පෙ රැ ගී කරුවන් ගෙන් දත් ගීයක් අනුවැ කරන ලද බව අපට සිතා ගත හැකියි.


එළු සදැස් ලකුණේ වෙසෙස් විසිතුරු බැඳුම් හැරැ සරල ගී නව වගෙකැ ලකුණු දැක් වේ. ඒ ගී වලැ ‍මත් ගණන සිටින්නේ මෙ හැටියි.

ගී. මත්. 9. 11. 11. 11.

පියුමු ගී ,, 8. 11. 8. 14.

මත්වල ,, ,, 8. 8. 8. 13.

උමතු ,, ,, 9. 10. 9. 10.

කවි ,, ,, 9. 10. 9. 11.

බමර ,, ,, 8. 11. 10. 13.

යහ ,, ,, 9. 11. 11. 11. (සියල්ල ලුහු)

දුවඟ ,, ,, 9. 11. 11. 13.

යොන් ,, ,, 8. 11. 10. 11.


මේ එකකට වත් සැවුල් අස්නේ මුලැ ගීය අයත් නොවේ. එහි මත් ඇත්තේ 9. 11. 9. 11 ගණනේයි. 9. 14. 9. 14. යන පිළිවෙළට මත් සිටුවා බදනා ලද ගී වෙසෙසෙක් රනස්ගලු තෙර සාමින් ගේ ලෝකෝපකාර නම් පොතේ දක්නා ලැබේ. එ ද එළු සදැස් ලකුණේ නො සදහන් ගී වෙසෙසෙකි. එ නයින් මෙ ද එළු සදැස් ලකුණු කරුවන් නුදුටු හෝ ඔවුන්ට පසු පහළ වූ හෝ ගී වෙසෙසක් වියැ හැකි. පැදි කරුවනට කෙළ සවහස් ගණන් විරිත් පහළ කළ හැකි බව :-


කෙළ සුවහස් විරිත්

සදැස් ලකුණු දනු එළුයෙ,

එ බඳුන් හොත් කිවියරන්

නොවිරිත් නමැයි කොවිරිත්?


යන්නෙන් එළු සදැස් ලකුණු කරුවෝ ද පවසති මේ සැවුල් අස්න ළඟට මැ වැඩි මහලු ‘හස් අස්නේ’


‘සරද හස රද සද

පුන් සඳ පහන් පිරිසුදු

පියකරු පියන් පිරි

පියොවුරු ලෙසින් හොබනා’ යි මුල් ගීය මෙ විරිතින් දක්නා ලැබේ. එ හෙත් මේ විරිත එළු සදැස් ලකුණේ නැතු බව දත් වියතුන්,

‘පියකරු පියන් පිරි පිය


පියොවුරු ලෙසින් හොබනා’ යි තුන්වන පියට ‘පිය’ යැයි දෙ මතක් ලා අඩුව පුරා එය ගීතියක් කොටැ ගත් බව කිසි පිටපතෙකින් පෙනේ. අලගියවන්න රාලහිමින් විසින් ඒ අඩුව පුරවන්නට පළමු පැවැති ‘හස් අසුන්’ ගීය දක්නා ලද්දේ ද යනු නො දනිමි. ඒ ගීයේ අඩුව පුරවා ඇත්තේ ‘නිසි’ යි කියැ හැකි වදනක් යොදා නම් නො වේ. එ අස්නේ මැ: -

‘අඟට ගෙනැ රත් මැටි

සිටැ දිගට කුර අදිමින්

ගවයන් සිටි පොරට

ඕවිට බලා සතොසින්’


යැයි අඩුව පුරා නැති ගීයෙක් ද වෙයි. එ ද එක් ගී වෙසෙසක් මිසැ අඩු වීමෙකින් ඇති වූ, විරිතකට නැති ගීයක් නොවන බව එයින් ‍පෙ‍ෙන්. එ සේ නම් හස් අස්නේ මුල් ගීය ආයේ වඩන්නට පිටපත් කරුවන් නැමුණේ හැයිදැ’යි පැනයෙක් නැගේ. එයට කරුණු වූයේ ගියවුන් පස්සේ, ඔවුන් ගිය සේ්න‍ මැ යනු මිසැ ඉන් අමුත්තක් අපේ කිවියන් නො කළ බව කාත් පිළිගත් පවතක් වීමයි. එ තෙක් දක්නා ලද අසුන් කවි (සන්දේශ කාව්ය ) ගීයෙකින් පුරා ඇතිබවත්, එ ළඟට කටයුත්තට බැසැ ඇත්තේ දස පද හෑල්ලෙකින් බවත් නිතින් දුටු අපේ කිවියෝ බුදුනුවන් කටයුත්තකට බැසීම නමකර, තිසරණ, පන්සිල, ද දපා කරන්නාසේ මැ එ ද රැකියැ යුතු සිරිත් පනතක් කොටැ ගත් හ. ආසිරි ගීය ද නිති


දක්නා ලද්දේ මත් 9. 11. 11. 11. යන පිළිවෙළට සිවු පියේ සිටුවා බැදැ ඇති සෙයිනි. එ හෙයින් ‘හස් අසුන්’ කවේ ආසිරි ගීය වඩන්නට පෙළක් පිටපත් කරුවන්ගේ සිත නැමෙනට ඇත්තේ.


2. පෙළ :- කඳ කුමර අත සුලකළ, නඳ, පවර, ම - මිතුර! නුඹ:-

මා නස නම් සරසිනෙන හසරද සිරින්, සිය සඳ ඔදවඩවා,. නිසි ලෙසින් නුබ අරා - එන වරැ,

      (1)	කිරිසිදු තුළිනුලැඟි අම පි‍ඬෙකැ යන සිතින් කුල්මතින් සුර නර මුළු නො මැ ළැගැ වූ ද?
     (2)	නඳුනුයනින් ගිලි කුසුමෙ කැ හැහැවෙමින් ළද සිදඹුවෝ උතුමඟැ නො පැළැඳියෝ ද? සකි සඳ,
     (3)	මහ කිසි දුකක් නො වැ අවු ද?
     (4)	තොප දුටු සඳ මෙසඳ සඳ දුටු කිරණ රඟ!

(කතරගමැ දෙවියා ගේ අතට මනා සේ අලංකාරයක් හෙවත් හොඳ හැරැහිල්ලක් වූ, සිතට තොස දෙන, ඉතා උතුම් වූ මගේ යාළුවේ, ඔබ - මානය නම් විලෙන් එන්නාවූ හංස රජ කු වාගේ, සිත පුබුදුවා ගෙනැ, තමන් හට සුදුසු වන පරිදි අහසට නැගී එන වේලාවේ දී -

(1) කිරිමුද ඇතුළෙන් නැඟුණු අමා කැටියක් යැ කියා සිතේ සැකක් ඇති කොටැ ගෙනැ, කුල්මත් වී දෙව් සමූහයනුත් මිනිස් සමූහයනුත් කිට්ටු වූයේ මැ නැති ද?

(2) නඳුන් උයනින් වැටුණු මලක් යැයි හැගී තරුණ සිද්ධ ලියෝ ඉසේ පැළැදැ නො ගත්තෝ ද?

මිතුරු තුමෙනි,


(3) අතර මඟැදී යම් කරදරයකට නො පත් වී ආවහු ද?

(4) ඔබ දුටු විටැ මගේ සිත සද දුටු කිරිමුහුද වැනියි. සරසිනෙන, තුළනුලැගි, නඳුනුයනින්න උතුමඟ’ යනු සරසින් එන, තුළින් උලැඟි, නඳුන් උයනින්, උතුම් අඟ, යන පද ගැළැපීමෙන් සිදු යි. ‘සිදඹුවෝ’ යනු සිදු අඹුවෝ, යන වදන් එක්වීමෙන් සිදු‍ යි.

කුකුළා කඳ කුමරු ගේ අතට මනා අබරණක් බව කීමෙන් ඇඟැවෙන්නේ කඳ කුමරු අතේ කුකුළකු රදන බවයි. එ කුකුළා රැඳීමෙන් කද කුමරු ගේ අත මනා සේ සැරැසෙන බව යි මෙහි කියැවුණේ. එ හෙයින් මැ වනැ කඳ කුමරු‍ ගේ කොඩි කුකුළු රුවින් යුතු කරන්නේ.

‘ග නේ මිණි බැබැළු කිරණෙව් සත පාය

ර නේ යටගැ සැවුලිඳු දද ගළ පාය

අ නේ ලකළ කළ පුර අප තර පාය

පෙනේ දකුණැ මහසෙන් දෙව්රද පාය’


යනුයෙන් කද කුමරු ගේ දෙවොලේ කුකුළු කොඩි ඇති පවත් සැළ ලිහිණි අස්නේ ද සදහනි.

කඳ කුමරා නම්!

     	‘මු  ණු	   සයෙකි අත් දොළොසෙකි මයුරා පිට 	වාහනේ

රූ ණු රටේ පිහිටි කන්ද කදිර දේව රාජනේ’


යි සදහන් වන කතරගම දෙවියා යි. මෙ තෙමේ ලක් දිවේ තෙද බල මහිමයෙන් සිටි ‘තාරක’ නම් අසුර රජු නසනු පිණිසැ බඹු ගේ උවදෙසින් දෙවියන් විසින් මෙහෙසුරු ලා උමාව ගේ කුසේ දා කරවන ලද පුතා ලූ. මොහු ගේ උපත පිණිසැ උමාව කෙරේ මහ ඉසුරා ගේ සිත යොමු කරවන්නට ගොස් ලූ මල්සරා මෙහෙසුරු දළැසැ ගින්නෙන් දා අළු වූයේ. එ පුවත මහා කවි කාලිදාසයන් ගේ ‘කුමර සම්භව’ නම් (සංස්කෘත) කවෙහි විසිතුරුවට පවසා ඇති.


මෙහෙසුරු උමා සමවායෙන් උපන් මේ කදකුමරා ලක් දිවට පැමිණැ තාරකා අසුර රජු නැසු පසු මෙහි අඟනක විසි වී කතර ගමේ රැඳුණේ ලූ. දෙමළු එ අඟනට ‘වල්ලි අම්මා’ යන නම කියති. වල්ලි යනු හෙළුයේ ‘මැණිකේ’ යන්නට සම අරුත් ඇති නමෙකි. ‍ෙපාත්හි මෙ දෙවියාගේ දෙවිය ‘සේනා’ යන නමින් සදහන් වෙයි. යුදට අදිපති මෙ දෙවියා රජුන් විසින් පුදනු ලබන්නෙකි. අඟහරු ගහයා මොහු ගේ ඇසුරේ සිටිල. මහ සෙන්, කුමර, කඳ, සමුව, බරනෙත් ඈ නම් මොහුට ඇති මොහ‍ු ගේ වහන මොනරා යි. අවිය කොතවිය යි.

මානස සරසිය නම් මෙහෙසුරුට නිවෙස් වූ කෙලෙස් ගිර ඇසැ ඇති විලෙකි. අද තිබ්බතයේ (ටිබෙට් රටේ) මනසරාවාර් යන නමින් සදහන් වන්නේ ඒ විල ලූ හංසයන් ගේ නිති විසුම මානස විලේ යැයි පැරැණි දඹදිව් වැසියෝ ඇදැහූ. වෙසෙසින් වැසි අවදියේ දී දඹදිවේ හංසයන් මානස විලේ ලැගුම් ගැනීමට යෙතිය එහි දනෝ අදහති. කුකුළා මානස විලෙන් එන රජ හසකු සෙයින් එන බව කීමෙන් පෙනෙන්නේ මෙ අස්න යැවීමට අලගියවන්න රාලහාමින් විසින් නිලකොටැ ගන්නා ලද්දේ ඇළි‍ (සුදු) කුකුළකු බවයි. ආසිරි ගීයේ දිමුතු මුතු කලඹෙව් පළ හෙළ පිය පතර සැදි යන්නෙන් ද ඒ පෙනෙයි. ඇම කුකුළෝ සුදු පැහැ ඇත්තෝ නො වෙති.

‘නිසි ලෙසින් නුම අරා’ යන තැනැ ‘නිසි ලෙසිනැ’යි කියන ලද්දේ අහසට නැඟිම කළ හැටි ඇඟැවීමට නො වේ. පියාපත් ඇත්තවුන් ගමන් යනු නිසි අහසට නැඟී යි. කුකුළා ද පියාපත් ඇත්තෙකි. එ හෙයන් ඌත් ගමන් යනු නිසි නුබ අරා (අහසට නැඟී) යි, එ ඇඟැවීමට වනැ ‘නිසි ලෙසින්’ යන්න කීයේ. එ හෙත් ගම් කුකුළෝ අහසින් මැ යන්නෝ නො වෙති.


අම පිඬු (අමා කැටි) කිරි මුහුද කලඹත් දී එයින් නැඟි බව පුරාණ කතා යි. ඇළි කුකුළා අහසින් එන විටැ ඌ කිරි මූහුද තුළින් නැඟී අමා කැටි‍යක් වෙති යි දෙව් සමුහයනුත් මිනිස් සමූහයනුත් ඌට ළං වීම උගේ ගමනට දුකෙකි. අමා කැටි දැකැ දෙවියන් රළ බැදැ දිවීම නම් සිරිති. එ හෙත් නරන් ‘අමා’ කැටි මත්තේ දිවෙන බවක් හෝ අමාව වළදිනා බවක් හෝ ලොවේ නො පළයි. එ හෙයින් මෙහි ‘සුර නර මුළු’යි නර යන්නන් යෙදීම නිකමට මිසැ නයට නම් සුදුසු නො වේ. මිනිස්සු සිතින් මිසැ කටින් අමා නුබුදිති.

‘හැඟැවෙමින්’ යන තැනැ ‘වෙමින්’ යනු නිකම් පද පිරැවීමෙකි. ‘හැඟැ’ යනු නිසි අරුත දෙන්නට පමණ වෙයි. හැඟී මෙ ‘හඟ’ දය ‘හඟී, හඟිති, හැඟී, හිඟි’යි දෙකල් දෙ බසෙහි වරනැගේ. එහි පෙර කිරිය සිටිනේ ‘හැඟැ’ කියායි. හැඟැවෙමින් යනු ‘දැකැවෙමින්’ යන්න සේ අසබායි. මේ ‘වෙමින්’ යන්නක් ගැට ගසන්නට සිදු වූයේ අලගියවන්න රාලහාමින් සෙසු පොතින් තමාට පාඩම් වී ඇති ‘මල් කැතෙකැ’ යන්න සිහි කොටැ එය ‘කුසුමෙකැ’ කියා වෙස් මාරුකැරවීමේදී ඇති වූ දිග මඳ බව මකා ලීමට බව පෙනේ.

තිසර අස්නේ මෙ තැනැ මැ ඇති දස පද හෑල්ලේ :-


‘දෙව්ලොව් නෙත අම පි‍ඬෙකැයි සත පිනෙති

දෙව් තොප දැකැ වට නො කළෝද සදෙකිනි?


උ ය ති න් නඳුන් ගිලි මල් කැනෙකැ වී හැග

සොබමන් ත දැකැ නුවු ද සිදඹුවො ළඟ?

ග ම න න් දුකෙක් නො ‍වී ද සකි අතර මඟ?

යන කොටසත්, පරෙවි අස්නේ ද මෙ තැනැ මැ ඇති දස පද හැ ල්ලේ :-


‘සදෙකි න් නදුනුය‍නිනෙන මලෙකැ සුරනබේ

ස‍ඳෙකි න් අවුත් වටලා නොදැමුද ඉඹේ?

නි දු කි න් අ වු ද සකි සඳ අතර මඟැ නුබේ?

යන කොටසත් මෙහි දී රාලහාමින් සිහිපත් කළ බව නම් එකති.


තිසර අස්නේ ‘මල් කැනෙකැ වී හැඟැ’ යන තැනැ ‘වී හැඟැ’ යනු ‘හැඟ වී’ යැයි ගත් සෙයක් රාලහාමින් හට පෙනෙන්නට ඇති. එ හෙත් එහි ‘වී’ යන්නේ අරුත ‘කියා’ යනුයි. මල් කැනෙකැ වී හැඟැ’ යන්නෙන් අදහස් කරන ලද්දේ ‘මල් කැනක් යැ යි හැඟී’ යන්නයි. යී, වී, යන දෙක මැ දෙන්නේ ‘කියා’ යන අරුතයි.


‘වියා, වියති

වියී, වියූ, යනුත්,

‘කීයා කියති

කියී කියූ, යනුත්,

‘යේ යෙති

යී යූ, යනුත් හෙළුයේ දෙන්නේ එක් අරුතයි. වී කියා, යී, යනු එ තුන් විදියේ පෙර කිරි ය වදනු යි.


‘මෙ වියූ වීබත් සයට මැ

කරු නම්, වියූ පඬුවෝ, (සිදත් සඟරා)

යන තැනැ ‘වියූ’ යනු කියූ යන අරුත දෙයි.


‘නොබා අප වාදය

කෙරෙමියි කියයි වාදය’


‘කෙරෙමි යෙයි වාදේ

මෙසවු අයටත් සිල්ප සෑදේ’ (ගුත්තිල දා කව) යන තැන්හි ‘කියයි’ ‘යෙයි’ යන දෙ වදන මැ දෙන්නේ එක් අරුතයි.


ළද සිදඹුවෝ නම් තුරුණු සිදු ලියෝ යි. සිදුවෝ නම් හිමවත මැතැ අහස් පියෙසේ ගැවැසෙතියි සලකන ලද සුළු දෙව් වෙසෙසෙකැ ඇත්තෝ යි.


‘විදුදර, අසර, යක්, රකුස්, ගදඹ, කීනුර, පියස්, ගෙහැකි, සිදු, බූ’ යැයි දස දෙව් කුලයක් වෙතියි යෙති. අමර සිංහයෝ:-

‘විද්යාලධරෝප්සරෝයක්ෂ-

රක්ෂෝ ගන්ධර්ව කින්තරාඃ

පිශාචෝ ගුභ්යවකඃ සිද්ධෝ

භූතෝ මි දේවයෝනඃ. යැයි එ සදහනි. අට කරුණක් සිදු කොටැ ගෙනැ සිටිනා හෙයින් සිදු වනට එ නම් යෙදේ ලූ.

‘සුළු වීම, මහත් වීම, ලුහු වීම, ගුරු වීම, කුමකට වූවද පැමිණීම, රිසිය නො වැළැක්වියැ හැකි බව, පබු බව, විසි කරන බව යන අට කරුණ ඔවුන් සිදු කොටැ ගෙනැ ඇත්ලූ.

‘අණීමා මහිමා වෛව

ලඝිමා ගරිමා තථා

ප්රාාප්තිඃ ප්රා කාම්ය මීශීත්වං

වශීත්වං වාෂ්ටසිද්ධයඃ’ යනුයෙන් හින්දුවෝ ඒ සදහන්.

තොප දුටු සද යන තැනැ ‘සද’ යනු ‘කල්හි’ යන අරුත ද, ‘මෙසද’ යන තැනැ ‘සඳ’ යනු සිත යන අරුත ද, ‘සද දුටු’ යන තැනැ ‘සද’ යන්න ‘හඳ’ (චන්ද්රදයා) යන අරුත ද, දෙයි.

සද එළියට කිරි මූහුද ඔද වැඩෙන බව පසිදුයි. කිරි මූහුදේ පමණක් නොවැ කොහින් සඳින් ඔද වැඩීම වන බව දක්නා ලැබේ. මෙහි කිරි මූහුද මැ සදහන් වූයේ සද එළියත් කිරි මුහුදත් එක් සේ සුදු හෙයිනි. අමාවට උපත් තන් වූ කිරි මුහුද සිත්මත් (හිතලූ) එකෙකි.

3. පෙළ:- මෙ මුළු පුවතර සක්වළ ගබ මැදුරු තුරු, පබසර මිණි මිතුරු මෙන් අඳුරු දුරලන දින කර එන යන වර කවර බව දැනැ, මෙ විතර පමණ යැයි කවුරු නිබොරු පවසති?


(මෙ මුළු මහත් සක්වළ කුස නැමැති ගෙ ඇතුළේ අඳුරු දුරු කරන, පබසර මැණික් පාන මෙන් අඳුරු දුරු කරන ඉර බස්නා පායන වේලා ක‍වරේ දැ යි දැනැ මෙන්න මේ වෙලාවට පමණ ඇති’යි කවුරු නම් නො වරදින්නට පවසති ද? ‘පුවතර’ යන්නෙන් දෙන්නේ ‘පසිදු’ යන අරුත යි, එහෙත් මෙහි එ යොදා ඇත්තේ ‘මහත්’ යන්න සදහා යි. මුළු මහත් සක්වළ ගබ අඳුර පිරි ගෙ තුළක් සේ ද, ඉර එ ගෙ තුළින් අඳුර දුරු කරන පබසර මිණි පානක්මෙන් ද මෙහි සැලැකිණි. මිණිපාන නම් ගිනි දල්වනට කඩ වැටියක් නොලා වැට (වැටිය) ට මැණිකක් යෙදූ පානයි. ‘පබසර’ යන්නෙන් අදහස් කරන්නේ ලොවැ ඇතිතාක් පැහැ වෙන් වෙන්වැ එක් තන් කළ විටැ ඇතිවන පෙනීමයි.

‍’ලොවැති පැහැ එක් කොට කළ රුසිරු සිතියම් පට

විදහන මෙන් රැවට

දිවි පබසර කැලුම් එකවිට


‘ඇති සියලු ලොවතුරු

පැහැය ගෙනැ ඇළැලු යුර

කැලුම් කද පබසර

දිටි තල් කද පමණ මනහර

ඈ විසින් පැරැණි ගත් කරුවන් පබසර කැලුම් සදහන්නේ එ හෙයිනි. එ පැහැගේ ලෙසත් අපට පලිඟු වීදුරු අසෙකින් දැක්කැ හැකි. ඉර බස්නාවේලා ආසන්නයේ ගස් නැගී හැඩැලීමත් ඉර පායන්නාට පළමු හඬලා ගසින් බැසීමත් කුකුළන් කරනු සිරිති. ඔවුන් ගේ ඒ වේලා දැන්ම නො වරදිනා එකෙකි. එ සැටියට, නො වරදිනනට වේලා නියම දැනැපවසන්නට කුකුළාට මිසැ වෙන කාටත් බැරි බවයි මෙ කීයේ. සෙසු ඇදුරන් ගැණැ බලා කී නකත් වේලා වරදන්නට පිළිවති. එයින් ඔවුන් ‍ෙග් කීම් බොරු වන්නට ඉඩ ඇති. කුකුළා ගේ කල් දැනීම වරදින්නේ නැති. එයින් උගේ කීම බොරු නොවේ. ‘එ හැටි නො


වරදින්නට නකත් වේලා දැනැ කීම කුකුළාට මැ මිසැවෙන කාටත් බැරි බව කීමෙන් ඇඟැවෙන්නේ ලොවේ බොරු කාරයකු නොවන එක මැ නැකැත්තා ඌ බවයි.

‘මැදුරුතුරු’ යනු මැදුරු අතුරු’ යන දෙපදය එක් කිරීමෙන් නිපදවන ලද්දෙකි.


1. පෙළ:- දිව, තද තෙද බලැති, සක, හර, වෙන් පවා නන් අවි සෙන්සහ ගෙනැ විරිදුන් නසති; පද පහරින් රුපුන්වනසන, අබිමන් ඇති තොප විකුමන් නත මුත් කවුරු පවසති?

(දෙව් මහිමය මැ වූ දැඩි තෙදන් බලත් ඇති ශක්ර , ඊශ්වර, විෂ්ණු යන මූ පවා නො එක් අවිත් බල පිරිසුත් ඇරැගෙනැ සතුරන් වනසති; පා පහරින් සතුරන් වනසන පමණට එඩින් මනුත් ඇති තොපගේ සපන් කම් අනත් නා රජු හැරැ වෙන කවුරු කීයත් ද?)

සපන් කමින්, එඩියෙන්, මානයෙන්, කුකුළා සක් දෙව් රජුටත්, මහ ඉසුරාටත්, විෂ්ණු හටත් වැඩියෙන් ඉහළ බව යි මෙ වැනුමෙන් පැවැසුණේ.

‘සක්’ දෙවියා තද තෙද ඇත්තෙකි, මහ බල ඇත්තෙකි; ඔහු ගේ එ තෙදත් බලත් අණ තෙද හෝ වෙර බල හෝ නො වෙයි, දිව මහිමය විසින් පවත්නා උතුරු තද තෙද බල යි. එ හැටි ‍තද තෙද බල ඇති සක් දෙවියා සතුරන් නැසීමට යන්නේ වෙසෙස් බල ඇති වරද (වජ්රතය හෙවත් හෙණය) නම් අවිය ගන්මිනුයි. ඒත් තනි වැ නො වේ, බල සෙත් ද පිරිවරා ගෙනැයි.

‘හරා’ නම් වූ මෙහෙසුරා දිව තද තෙද ඇති පරම දෙවියා යි. ඔහු ද රුපුන් නසන්නේ තිසුලවිය (හෝ වේලායුදය හෝ) ගන්මිනුයි.

‘තිසුලවි ගත් කරින්

කළු පැහැ රැගත් උගරින්, යැයි (බුදුගුණ අලංකාරයේ) සදහන් වන්නේ එ හෙයිනි. එ මහ දෙවියාත් රුපුන් නැස්මට යන්නේ සහ පිරිවරිනි.


‘වෙන්’ (විෂ්ණු) දෙවියා පරම බල කඳ යි. එ දෙවියා ද රුපුන් නස්නට යන්නේ යගදාවක් ගන්මිනු යි.

‘ගත් යගදා අතට

පත් දිව ගුරුළු යහනට’ යි (බුදු ගුණ අලංකාරයේ) ඔහු සැටි සදහන් වෙයි. ඔහු ද සතුරන් නැසීමට යන්නේ සහ පිරිවරිනි.


කුකුළාට කිසිදු දිව තද තෙදෙක්, දිව බල මහිමයෙක් නැති. හේ කිසිදු අවියක් නො ගෙනැ තනිවැ මැ ගොස් රුපුන් හට පහර දී ඔවූන් නසති. පහර දෙන්නේ ද අතින් වැත් නො වේ, පයිනි. එ හෙයින් කුකුළාගේ සපන් කම් වෙසෙසියි. එ වැනීම අනත් නම් (මුව දාහක් ඇති) නා රජුට මිසැ වෙන කාට වූවද බැරි යි.

වැනීම හැකිවන්නේ කටවල් වැඩි වූ පමණට යැ යි. අපේ පැරැණි මිනිසුන් සිතු බවෙක් මින් පෙනේ. කවර කවියාත් වැනීමක් අවසන් කරන්නේ මේ මුව දාහේ වදන් මත් නා රජුට ඉතිරි සරිය පැවැරීමෙනි.

බලැති, අබිමනැති, යනු බල ඇති, අබිමන් ඇති’යි වහරේ දී බිඳී සිටි.

	5. පෙළ:-  මිතුරු කෙසර තෙල් මන රන පතිනි දර, දිනකර සිරිනි මිතුරු තඹර නද දුන් දිවි දෙවැනි කර තමා මන් පතුරුවන මිතුර!

මා තෙපලන මෙ බස සවන් පුර.

(යහළු ගුණය නැමැති සිහ තෙල් සිත නැමැති රන් පාත්තරයෙන් දරන්නාවූ, ඉරු ගේ විලසින් යහළුවන් නැමැති නෙළුම් මල් තුටු කැරැ වූ, පණට පළමු තමා ගේ මානය පතුරුවා හැරීම සලකන යහළුව! මා කියන මෙ වදන් අසන්නැ.)

සිහ තෙල් හිඟ දැයෙකි. එ හෙයින් අගනේ ද වෙයි. සිංහයා උතුම් සතකු හැටියට සලකන ලද්දේ යි. එ හෙයින් සිහ තෙල් උතුම් දැයෙක් ද වේ. මෙහි තෙල්


යනු ගිතෙල් සදහා යෙදෙන්නේ යැයි. අයෙක් යෙති. එසේ නම් සිහ ‍ගිතෙල වඩාත් අගනේ ද උතුම් ද වෙයි. උතුමෝ උතු‍මන් කෙරේ මුත් පහතුන් කෙරේ. නොරැදෙති. එ සෙයින් මැ උතුම් දැයක් උතුම් දැයකෙරේ මියැ පහත් දැය කෙරේ නො රැ‍ඳේ. එ සේ හෙයින් උතුම් දැයක් වූ සිහ තෙල එ සෙයින් මැ උතුම් දැයක් වන රන් බදනෙහි මුත් සෙසු තැනැ නො රදතියි සම්මත පුවතෙකි.

මිතුරු දහම් උතුම් දැයෙකි. ඒ මිතුරු දහම සිහ තෙල වතොත් ඒ රදනා රන් බදනා තමා කුකුළා ගේ සිත. කුකුළා මිතුරු දහම නිසගින් රක්නා බව යි. මේ කීයේ.

‘හෙම් පත් අයුරු සදහම් සීතෙල රදන

දම් කි ත් මෙ මාහිමි සද සමඟ උදුළන’ (කොවුල්) යන්නෙන්ද සදහන් වූයේ මෙ හැටි මැ උවමෙකි.


රන් බදනෙහි කෙසර

තෙල් අඩු නොවී පවතින මෙන්,

යැයි රනස්ගල හිමියෝද මේ සිහ තෙල් කතාව කී හ.


හිරු රසින් යැ නෙළුම් මල් පුබුදු වන්නේ යනු ද පසිදු පවතෙකි. පුබුදු වීම සිදු වන්නේ ස‍ෙතාස ඇති වීමෙනි. හිරු දැකැ, එ දුටු තොසින් නෙළුම් මල් පුබුදු වේලු. මේ කුකුළා දුටු විටැ උගේ මිතුරෝත් තොසින් පුබුදු වෙති. එ හෙයින් මිතුරෝ නෙළුම් මල් බඳු වෙති, මෙ කුකුළා හිරු බඳුයි.

‘මිතුරු කෙසර තෙල්, මන රන පතිනි, යි පළමු පියේ උවම යොදා ඇති හැටිය හා නො ගැළැපේ, දින කර සිරින් මිතුරු තඹර (නද දුන්)’යන උවම යොදා ඇති සැටි. ‘මිතුරු තඹර නඳ දුන්’ යනු ද හොඳ යෙදුමෙක් නොවේ. ‘මිතුරු තඹරනට නදදුන්’ යැයි යෙදිණි නම් මදකට දොස මැකේ. එ හෙත් විරිතින් එයට ඉඩ නො ලැබේ.


‘සතුරු සුර අඳුරු එක පැහැර දුරු කළ

මිතුරු තඹුරු වන නිරතුරු පුබුදු කළ’ (සැළ) යන තැනැ නම් ඒ යෙදූ හැටි මැනවි.


මිතුරු නද දුන් යනු ‘ගොනුන් තණ දුන්’ යන්න මෙන් අසබා යි.

‘කුකුළා දිවි යතන් තමා ගේ අබිමන නම් බස්වන්නේ නැති’ යනුයි, දිවි දෙවැනි කර මන් පතුරුවන, යන්නේ අදහස.


6. මිතරු කොඳ නඳ සඳ සබඳ, තොප අදහස ලෙසින් මෙ දැන් මම් කුම් කෙරෙමි දෝ හෝ.

යහළුවන් නැමැති කොද මල් පුබුදුවන්නට සද වන් වූ සබදාණෙනි, ඔබේ හිතේ හැටියට මම් මෙ දැනි කුමක් කෙරෙම් ද (යත් හොත්.) ..............

‘මිතුරු කොද නද සද’ යන්නෙන් අදහස් කැරෙන්නේ මෙ සබදා (එනම්, කුකුළා) නිසා හදට කොඳ පිපෙන්නා වගේ යහළුවන් පුබුදු වන බවයි.

මෙ වැකිය පරෙවි අස්නේ . ඇති :-

‘මෙ මා මන මැදුරුතුරු මිතුරු යුරු මිතුරු සද මෙසද කුම් කෙරෙම් දෝ හෝ! යන්නට සමයි.


7-8. පෙළ:- සොබන, තඹර කරේ කිරණෙව් දිගතැ පැතිරෙන පහ කොත් මිණි රැසින අඳුර දුරේ හළ, අමරපුරේ ලෙසැ සව් සිරි නොමන පිරි,

සපරපුරේ - තෙමහල් පහතුරු රදන බඹසුරනර - තු‍ෙරන සමන් කෙනකුනු, සමන්බඳුරු සිරිපද ලස නමදිමින සමන් ගිර නිවෙස් කැරැ නිරතුරු වසන, සමන් සුරිඳු දැකැ මෙ හසුන් දෙව්.

(හොබනා තැනැත්ත, හිරු ගේ කැලුම් සෙයින් දිසා කෙළවරතෙක්’ පැතිරෙන්නා වූ මැදුරු කොත්වලැ මැණික් එළියෙන්’


අඳුර දුරට හැරියා වූ, දෙව් පුරය සේ සියලු සැපත් පමණක් නැති වැ පිරි ඇත්තා වූ,

සපර පුරයේ, තුන් මාල් මැදුර ඇතුළේ නැවැති සිටින්නා වූ,

බඹුන් සෙවියන් මිනිසුන් අතරේ - තමහට - සරි කෙනකු නොවූ බුදුන් ගේ සිරි පා ලකුණ වඳිමින් සමනොළ නිති නිවෙස කොටැ ගෙනැ විසීම කරන සමන් දෙව් රජු වෙතට ගොස් මේ අස්න දෙන්නැ.)

රැසින, නොමින, බඹසුරනරතුරෙන, යනු රැසින් නොමින්, බඹසුරනරතුරෙන් යැයි වහරේ සිටිනු යි සරි. බඹ සුර නර අතුරෙන් යනු එකට කැටි වීමෙනුත් සන්ධි වීමෙනුත් ‘බඹ සුරනරතුරෙන්’ යැයි සිටි. බඹහු ද සුරෝ ද නරෝ ද බඹ සුරනරෝයි.

‘තඹර කර’ යනු හිරු සැදැහීමට යෙදිණි, හිරු ගේ රස් තඹ (තාම්රද) පැහැ ඇති හෙයිනි. එහෙත් ඒ පළ නමෙක් නො වේ. ‘තඹර අකර’ යනු එක් වී ‘තඹර කර යැයි සිටි. තඹරනට හෙවත් නෙළුම්වලට ආකාර වන්නේයි විලට ඒ නම යෙදේ. එ හැටි පළ අරුතක් ඇති වදනක් පළ නොවූ අරුතක් දීමට මෙහි යොදන්නට වූයේ ‘සපර’ යන්න හා එළිසම වැ සිටීමට ‘හිරු’ අඟවන අන් වදනක් නො දැක්මෙනි.

නො මැරෙන්නෝනු යි දෙවියනට ‘අමරැ’යි නමෙකි. අමරයන් ගේ පුර අමර පුරයි. පුරය යනු කැටි වීමෙන් ‘පුරේ’යි සිටි. කොළය, කොළේ; කැලය, කැලේ; වනය, වනේ ආදිය මෙනි.

සපර පුරයට දැන් ‘සපරගමුව’ යනු පැවැසේ. සබරගමු යනුදු බොහෝ විටැ ඇසේ.

මෙහි ‘තෙමහල් පායි’ යි කියන ලද්දේ සොල්දර තට්ටු තුනක් එ පායට වූ හෙයින් නො වේ. පිටතින් පියැස්ස මාල තුනක් වැ පෙනෙන සේ යොදා ඇති හෙයිනි.


සමාන කෙනකු යන අරුත දෙන්නට ‘සමන්’ කෙනෙකු යි යෙදීම ද වියතුනට රිසියෙන්නේක් නො වේ. එ ද සුරිඳු ගේ නම වූ ‘සමන්’ යන්න හා එළි වැටට සිටිනා සේ වෙනස් කරන ලද්දෙකි. ‘සුර ඉඳු’ යන දෙ වදන එක් වීමෙනුයි ‘සුරිඳු’ යනු වූයේ. ‘නු’ යනු ‘නොවූ’ යන්න කැටි වීමෙන් ඇති වූවෙකි. ‘සමන් බඳුරු’ යනු බුදුනට නමෙකි. ඒ ‘සමන්තභද්රඳ’ යන්නේ එළු හුරුව යි. පිරිපදලස යන තැනැ ‘ලස’ යනු ලකුණ යන අරුත් ඇති ‘ලාඤ්ඡන’ යන්නේ එළු මුණුවර යි.

‘සපර පුරේ තෙමහල් පහතුර රඳන, සමන් ගිර නිවෙස් කැරැ නිරතුරු වසන සමන් සුරිඳු’ යි කීම මදක් හැඩ මද සේ පෙනේ. සමන් ගිරේ නිති වසන දෙවියා සපර පුරේ පායේ රැදී සිටිති යි කීම සිනා උපදවන්නෙකි. මෙහි තෙමහල් පායේ රැදෙනවා යැයි කීයේ සමන් දෙවියා‍ ගේ පිළිමය සලකා යි. සමන් ගිර නිති නිවෙස් කැරැ වසනවා යි කීයේ බසින් ඇසෙන පමණක් වූ සමන් දෙවියා සලකා යි. ‘නිරතුරු වසන’ යනු වෙනුවට නබද ගැවැසෙන’ ‘නිරතුරු සරන’ ඈ විසින් යොදන ලද්දේ නම් මේ අසබා පවත මැකී යයි.


9. මිතුරු හර- ලකළ- කළ- මෙරද රද- විසුළ ලෙළ- තරළ මිණ- සදිසි වූ - මිතුර රස - බස් නුසුන්- ඒ අසුන් - කියමි මතු - දැන් මෙ තොප- නිකුත් වන- සව් ඉසුරු - නුමුත් වන - මෙ පුරැසිරි - සර වැනුම්- මිණි කො‍ඬොල්- තා සවන් - සද.

(මිතුරන් නැමැති මුතු වැළ හැරැහුවා වූ, රස් රොද - වල් පැතිරී බබළන අග මැණික් බඳු යහළුවේ, රසවදන් නැසී නැති ඒ පහිණය මතුවට කියමි. දැනට මෙ ඔබ පිටත් වන්නා වූ - සියල් සැපත් නො මිදී පවත්නා මේ පුරයේ මහිමය වැනීම ඔබේ කනේ මිණි කොඩොලක් පළදින්නා සේ අසන්නැ)

‘හර’ යනු මුතු වැළට නමෙකි. ‘මෙරද රද’ යනු ‘මරීචි රාජි’ යන්න මැ එළු මුණුවර ගන්වා කළ නිපැදැවීමෙකි. ‘තරළ මිණ’ නම් ඇට වැළෙකැ මහ මිණ යි.

දැන් එ වෙනුවට ලොවාදුක් (පැංඩනයක්) යොදනු: පෙනේ. ඇට වැළ එය නොමැති විටැ හොබනේ නැති ලු.


‘වෙළ නැති සයුර මෙන

තරළ මිණ නැති හර මෙන’ (දහම් සොඬ)


යනුත් මේ රාලහාමිනේ ගේ මැ යෙදුමකි.


‘උ දු ළ තරළ මිණ වෙන් ඇර - ගනී තමා

පු ව ළ තනිඳු හට පමුණන ලෙසින් බමා

ත ර ළ නැබළ රළ ගොස පහළ කැරැ දමා

වෙ ර ළ වතළ සිඳු රඟ බලග නෙත් යොමා (ගිරා)


යන්නෙන් ‘තරළ’ යනු ‘ඉහළ’ යන අරුත දෙන බව පෙනේ.


10. පෙළ:- ම මිතුර, සේ පැහැසර තාරක පති සෙ දුළ යසැති, මුළු දියතෙක නැබළ මාතාවක වන් හැම වර සිරි දී තා රකවරණ කළ, ලකළ සීතාවක පුර ‍දනු.

(මා යහළුව, සුදු පැහැයෙන් සරු සද සේ දිළෙන යසස් ඇත්තා වූ, මුළු ලොවට මහත් වූ එක මවක බදු සියලු කල්හි සැපත් දෙමින් ඔබ ආරක්ෂා සෙවණ කළා වූ, අලංකාර වූ සීතාවක පුරය දන්නැ.)

යසැති, දියතෙක, රකවරණ, යනු ‘යස ඇති, දියතැ එක, රක අවරණැ’යි සිටි පද ගැළැපීමෙන් වූයේ යි.

මේ පැදිය ‘සීතාවක’ යනු සිතැ ගන්වා ගෙනැ එය එළි වැටෙක්හි ලා බඳින්නට යාම නිසා ගැන්මකට නැති පලාපයක් බවට පත් සේ පෙනේ. ‘තාරක පති’ යනු හොඳ එළු නො වේ. ‘තුරු පති’ යනුයි එහි නියම එළු වදන. සකුයේ වුවද ‘තාරා පති’ යනු මිසැ තාරක පති යනු පැසැසුම් නො ලබයි. ‘තාරක’ යනු පළ කරන්නේ හෙළ අසුර රජකු ගේ නමෙකි.

‘මුළු දියත එක මාතාවක වන්’ යනුත් දෙන්නේ පැසැසුම් නො වේ. මුළු ලොවට ‘එක මවැ’යි කියනවා මිසැ ‘එක මවකැ’ යි කියනු නො යෙදේ. ‘එක මවක්’ යැයි නොකීවාට ‘මවක්’ යැයි කී පමණින් මව ගේ එක් බව ඇගේ. ‘එක මවක්’ යැයි කීමෙන් ඇ‍ඟෙන්නේ බොහෝ මවුන් ගෙන් එකක බව යි. එ හෙත් මෙහි අදහස් කරන ලද්දේ ‘එක මැ මව’ යන අරුත යි.

‘‍ෙලාවට කුලුණින් සදිසි මාතා’ (කව්සේකර) යන තැනැ එක් යනු තැතත් ඒ අරුත ලැබේ. ‘නැබළ’ යන්න ද ‘මාතාවක’ යන්නට නිසි වන වෙසෙසුනෙක් නො වේ. මෙ සියලු අවුල් වූයේ එළිවැටේ බලයෙනි.

‘මහ දොසෙහි විළි යේ

නැබළ බල බලව එළි කෙළියේ (විරිත් වැකිය) යනු සිහි වන්නේ මෙ වන් තැනැ දී යි.


‘මුළු දියතෙක’ යනු මුළු දෙරණෙකැ,යි පෙරළා සිවු වන පියේ දනු ම මිතුර යනු ‘ම මිතුර දනු’ යි පද මාරු කිරීමෙන් තවත් එළි වැටක් බැදැ ගන්නට හැකි වුව ද අපේ රාලහාමින් හට ඒ නො පෙනුණේ ‘සිතාවක’ යන්නට එළි වැටක් බැඳීම එක් මැ අරමුණ වැ සිතේ පැවැති හෙයිනි.

"https://si.wikibooks.org/w/index.php?title=සැවුල්_අසුන්_පවත්-1&oldid=19405" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි