සැවුල් අසුන් පවත්-10

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

සැවුල් අසුන් පවත්-10[සංස්කරණය]

91. පෙළ,- මෙ ලෙස සව් සිරිත් සැඳි, පවර සබයට පිවිස, ත සිතැ අදර බුහුමන් වඩමින්, තිදස හිමි සදිසි රජු වර පද කමල වැඳැ, සිතෙහි සතොස සපුරා අවසර ගෙනැ -

(මෙ අයුරු සියල් සැපතින් සැරැහුණු, ඉතා උතුම් සබයට ඇතුළු වී, තගේ සිතේ ඇති ආදරයත් ගරු සැලැකිල්ලත් වැඩි කොටැ ගෙනැ, සක් දෙව් රජු බඳු රජු‍ ගේ උතුම් වූ පා පියුම වැඳැ, සිතේ සතුට සපුරා අවසර ගෙනැ-)

ගෙනවසර = ගෙනැ අවසර ( අවසර ගෙනැ) මෙහි ‘සිරින්’ යන්න් නියම අරුත ‘සැපතින්’ යැයි කීවද එය යොදා ඇත්තේ විසිතුරින් යනු ඇඟැවීමට යි.

‘තිදස’ නම් තව්තිසා දෙව් ලොවයි. එහි හිමියා නම් සක් දෙව් රජ යි.

මෙ ලැසැ, පිවිසැ යනු එළි නිසා ‘ම ලෙස, පිවිස’යි සිටියේ යි.


92. පෙළ,- සව් සිරි පිරි මනනඳ එ පුර වරඟන ගෙ දෙව් රජ විමන් තන යුගතුරෙහි ගිලි, සොඳ, නිල වසා රොද එව් ගඟි නෙතරැ වැ, පැහැදැ, දෙව් විමනතැ රඟ වහසල තුළට වැඳැ-

(සියල් සැපත් පිරි ඇති, සිත් තුටු කරවන, එ පුරය නැමැති උතුම් අඟන ගේ දෙවොල යැ රජ මැදුර යැ යන වීමන් දෙක නැමැති තන දෙකට මැදින් ගිලී ඇති නිල් පැහැ වසා ‍ෙරාද වැනි ගඟින් එ තෙරැ වී, පැහැදී, දෙවොලේ රැඟුම් පුද පවත්වන හල ඇතුළට වැදී-)

මෙහි සීතාවක පුරය උතුම් අඟනක හැටියටත්, එ පුරයේ ඇති දෙවොලත් රජ මැදුරත් ඇගේ තන දෙක හැටියටත්, එ දෙක මැදින් ගලා බස්නා ( සිතුවක් ඔය නම්) නදිය ඇගේ වසා රොද හැටියටත් දක්වා

ඇති. වසා රොද නම් ළැ පැත්තේ මැදැ සිටැ දුවනා (උකුළ) තෙක් ඇති රෝම පෙළ යි. දෙ පසින් වැඩී ඇති ලොම් එකට ගැටීම නිසා මේ රෝම වැළ වහළයෙකැ මුදුන් යට ලීය සේ උස් වී පෙනේ.

සීතාවක පුරය ගඟ දෙ ගොඩේ මැ වූ බවත් දොවොලත් රජ මැදුරත් වූයේ එ දෙ ගොඩේ බවත් මින් පෙනේ.


93. පෙළ:- සබඳ වයිර ව සිටි නො මඳ අසුර සෙන් ජය ගෙනැ කයිරව සිය සදිසි පබඳ යසසින් යුතු බයිරව කෝවිලට වඳිමින්, සිතු පැහැද එහි රැඟුම් පුද නරඹා වයි යව.

(එදිරි වාද බැඳැ ගෙනැ සිටි බොහෝ වූ අසුර සෙන් පරදවා, සඳ රස් බඳු මහත් යසසින් යුතු වූ බයිරව දෙවියා ගේ දෙවොලට වැදී, සිත පැහැදෙන සේ එහි නැටුම් පූජාව බලා වහා යන්නැ).

‘වයිර වැ සිටි නො මඳ අසුර සෙන් ජය ගෙනැ .........පබඳ යසසින් යුතු’ යනු හොඳ සිංහල වැකියෙක් නො වේ. ‘ගෙනැ’ යන පෙර කිරිය රූ ගත් පදය එ තැනට යම්තම් වැ ත් සුදුසු වන්නේ ‘යුතු’ යන්නෙන් පසු වැ ‘වූ’ යි අයුහි පසරුත් වෙසෙසුනක් ඇති සේ සලකත් හොත් පමණෙකි. එ නැතහොත් ‘ජය ගෙනැ’ යන්න වෙනුවට ‘ජය ගත්’ යනු යොදා ගන්නට සිදු වෙයි වැකියේ පෙර අපර සැබැඳියාව ඇතිවන්නට. ‘වයිරව’ යනු එළි නිසා විකර වූ ‘වයිර වැ’ යන්න මැ යි. ‘කයිරව’ නම් සඳ එළියට පුබුදු වෙති යි කියන හෙල්මැලි වගේ මල් වෙසෙසෙකි. පුබුදු වීම ඉත නෑයන් දැක්මෙන් වෙයි. සඳ දැකැ කයිරව පුබුදු වන්නේ එය එ මල්හි නෑයා වන හෙයිනි. එ නිසා සඳට ‘කයිරව සිය’ යන නම යොදා ඇති. හිරුට නෙළුම්හි නෑයා යි ‘සියපත සිය’ යන්න යොදන්නා මෙනි-

බයිරව නම් මහ ඉසුරා ගේ එක් වෙසෙකි. සකුයේ ‘භෛරව’ යන්න මැ මෙසේ එළු කොටැ යොදන ලදී.

‘වයි’ යනු ‘වහා’ යන අරුත දෙයි. එළිය තකා යොදන ලද එය එ තැනට සුදුසු නොවේ. දොවොලේ තවත් දක්නට වඳින්නට සුදුසු අය පසුදු සඳහන් කරන්නට ඇති විටැ නේ ‘වහා’ යවයි කීම විසුළුයි.

වයිරව, කයිරව, වයි යව, යනු හුදෙක් ‘බයිරව’ යන්න හා එළි වැට තකා මැ යොදන ලද බව සැලැකියැ යුතු.


94. පෙළ,- සබඳ, දිය රම් රවුළු යුද, මහ බාරත යුද ද, මනරම් කඳකුමරු පෙරැ කළ දිත් යුද ද හිමි කොටැ ඇදැ ඇති නො මඳ සිතියම් රූ හිම් නො වැ සතොස පිරි ළෙන් දැකැ ගොස්-

(මිතුර, ජය රාම රාවණ යුදය, මහ බරත හටන ද, සිත් අලවන්නා වූ කඳකුමරා ආදී කළ අසුර යුද ද දක්වා ඇඳැ ඇත්තා වූ බොහෝ සිතියම් රූ නික්ම නැති වැ ඇතිවන සතුටින් පිරුණු සිත්න් බලා ගොසින්-)

ඒ කීයේ දෙවොලෙහි ඇඳැ ඇති බිතු සිතියම් පිළිබද පවතයි. වෙහෙර අරම්හි බුදු ගෙයි බිතුවලැ ජාතක කතාවන් සිතියමින් දක්වා ඇති සේ මේ දෙවොලෙහා දෙව් කතා පවත් සිතියම් කොටැ ඇත්තේ යි. රාමායණයෙහි සඳහන් වන රාම රාවණ යුද ද, මහා භාරතයෙහි සදහන් කුරු පාණ්ඩය සටන ද, කුමාර සම්භවයෙහි සදහන් තාරක අසුර රජු නසාලීමට කද කුමරු කළ සටන ද මෙ බිතු සිතුවම් වලින් දැක්වෙයි.

දියරම් යනු රාමචන්ද්රි නම් වූ සීතාව ගේ හිමියා සදහා යෙදිණි. දිත් යනු අසුරයන් සදහා යෙදිණි. දිතිය ගේ පුතුන් වූයෙන් ඔවුනට ඒ නම යෙදේ.



95. පෙළ:- ම මිතුර, පුවතර ගුරුවරන් ඉසිවර කී වදන් සත විදි අඩු නො කර, තුනු කර කිරිය ගේ දොර පිරිසුදු වැ කර, පුදකර නැමැති වර හරහන විමන්තුර වැඳැ -

(මගේ යහළුව, පසිදු ගුරු උතුමන් හෙවත් ආඬි ගුරුන් පෙර රුසියන් කී වදන් අනුවැ ශාස්ත්රන විදී අඩු නො කැරැ සිරුර, අත්, කීරියා, ගේ දොර පිරිසුදු කොටැ ගෙනැ හෙවත් පේවී පුද පවත්වා අවසන් වුණාට පසු මහ ඉසුරු දේවිය ගේ විමන තුළට වැදී-)

‘පේ වී’ යන්න ඇඟැවීමට ‘තුනු කර කිරිය........ පිරිසුදු ව’ යැයි පැවැසීම අවුලෙකි. ‘තුනු’ යි කී විටැ කර යනු ඉන් බැහැරි ‍ෙනා වෙයි.

‘හරා’ යනු මෙහෙසුරුට නමෙකි. හරා ගේ අඟන හරඟන යි. උමා කුමරි, ගිරිදු ආදී නම්වලින් සදහන් වන්නි මෙහෙසුරා ගේ අඟනයි. කාලී ‍, යනුද ඇගේ එක් වෙසකට පැවැසේ. මේ දෙවොලේ මුල්ි තැන හාර ගේ අඟනට දී ඇති බැවින් පෙනෙන්නේ එය කාලී කෝවිලක් වූ බවයි.



96. පෙළ:- පවර, තුඟු, තුල් හිමගිරි රජහට නදන වන - බසරුත (බස අරුත) ලෙසින් වෙන් නොවමින් සසදරබරණ වෙතැ හැම දවසැ නිති රඳනා - නිදොස - තුන් යමෙහි ගත් තුන් වෙසින් තුනු ‍ලෝ පරසිඳු - නම කළ සුර කිරුළු කෙමි, රතැඟිලි, (රත් ඇඟිලි) දලින (දලින්) සුලකළ සිරිසරණ සියපතිනි වොරඳින - පියුම් යොන්, උවිඳු, හර, සක් ඈ නො හිම් පවර සුරන් හට නිතොර වර වර දෙන - උතුම් ගුණෙන් යුතු - පවර- හරඟ (හරා අඟන) හට ළපෙම වෙමින් නම කැරැ අවසර රැගෙනැ.

(උතුම් වූ, උස් වූ, මහත් වූ හිමිවි පව්- හිමාලය පර්වත -රජු හට දුව වන - වදනත් එහි අරුතත් වාගේ වෙන් වීමක් නැති වැ මහ ඉසුරා කෙරේ ඇමදා මැ

නිබඳ වැ රැඳී පවත්නා වූ - දොසින් මිදුණු වූ හෙවත් කුමරි මැ වූ - තුන් යමට ගත්තා වූ තුන් වෙසින් තුන් ලොවේ පසිදු - වැන්දා වූ දෙවියන් ගේ වොටුනු නැමැති කෙමියෙනුත්, රත් පැහැ ඇඟලි නැමැති මල් පෙති වලිනුත් සැරැසුණු සිරිපා නැමැති රත්නෙළුම් මලින් බබළන - මහ බඹ, විෂ්ණු, ඊශ්වර, ශක්රූ ආදී සීමා රහිත ඉතා උතුම් දෙවියන් හට උතුම් වූ වර දෙන්නා වූ උතුම් වූ මාහේශ්වරිය හෙවත් උමා ළද සිතේ ආදරය සහිත වී නැමැඳැ අවසර ගෙනැ-)

එ කීයේ උමා ළද ගේ පවත යි. උමාව හිමවූ පව් රජු ගේ දූ බවක් පුරාණ කතා කරුවෝ පවසති. හිම වූ කඳු පියෙස උතුම් වෙයි. නො එක් රුසිවරන් සිදු විදුදරන් එහි ගැවසෙන්නේ එ හෙයින් වනැ එ පියෙස ඉතා උස් ද වෙයි. අදත් එහි මුදුනට නැගීමට සමත්තු වෙහෙසෙති; එ පියෙස මහත් ද වේ. එ සෙයින් උතුම් වූ, උස් වූ, මහත් වූ හිමවූ කඳු රජු ගේ දූ ලු උමාව. හිම වූ පවු රදු ගේ දූ වූ උමාව මහ ඉසුරා හට අඹු වූ පරිදි විසිතුරුවට පවසති මහා කවි කාලිදාසයෝ ‘කුමර සම්භව’ නම් මහ කවෙන්

උමා තොමෝ සසදරබරණයා ගේ පියාව යි. සස නම් සාවා යි. සාවා දරණ හෙයින් සසදර යැ යි නමෙක් වෙයි සඳට. ස‍ඳෙහි අපට කළුවට පෙනෙන ලපය සක් දෙව් රජු විසින් අඳිනා ලද ( සාගින්නෙන් පෙළෙන බමුණකු ගේ වෙසින් වන් තමහට ඇඟැ මස් පලහා දෙනු සිතා, තමා විසින් මැ ඉදුහයෙන් මවා පානා ලද ගින්නට පිනූ බෝසත්) සාවා ගේ රුව යැ යි බුදුනු ජාතක කතාවේ සදහනි. සසදර (එ නම් හඳ) අබරණ වුයේ යමකු හටද හේ සසදබරණ යි. මහ ඉසුරා තමා ගේ දළ (ජටා) අගැ නව (අලුත්) සඳ බඳිති යි පුරාණ කතා කරුවෝ කියති. එහෙයින් සසදර බරණයා නම් මහ ඉසුරා යි.


‘දළැ අඬසඳ බඳින

ගොර සප් හරක් පළදින’ ඈ විසින් බුදුගුණ අලංකාර කාරයන් කීයේ ද එ හෙයිනි.


උමාව මහ ඉසුරා ගෙන් මඳකට දූ වෙන් නො වනු දහමි. එ දෙදෙනා ගේ එක් බව හරියට මැ වදනේ යි එහි අරුතේ යි එක් බව මෙනැ යි යෙති. වදනක් එහි අරුතින් හෝ අරුතක් එ පළ කරන වදනින් හෝ වෙන් කළ නො හැකි යි. අරුත ඇත්තේ වදනේ මැ යි. වදන ඇසෙන්නේ අරුතත් පළ කරමින් මැයි. මෙ වනාහි:-


‘වාගර්ථාවිව සම්පෘක්තෞ

වාගර්ථප්රවතිපත්තයේ

ජගතඃ පිතරෞ වන්දේ

පාර්වතීපරමේශ්පරෞ’

යනුවෙන් ‘රඝුවංශ මහා කාව්ය ය’ ඇරැඹීමේ දී මහා කවි කාලිදාසයන් කී වදන යී. උමාව මෙහෙසුරු කෙරේ වසන්නේ ඔහු ‍ෙග් මැ කයේ අඩක් හැටියට යැයි හින්දුවෝ කියති. මෙහෙසුරු ගේ හැටි පවසන බුදුගුණ අලංකාර කරුවන්:-


‘තිසුලවි ගත් කරින

කළු පැහැ රැගත් උගුරින්

සම් සළු ගතඹරින්

අඩක් උමයඟන ගත් සිරිරින්-


දළැ අඬසඳ බඳින

ගොර සප්හරක් පළඳින

රඟ කරන දින දින

මහලු ගොන් වාහනෙන් ඇවිදින-


ලත් මහ පදෙවියා

සිර සුරගඟින් දෙවියා

අලඟරුව දැවියා

යෙහෙකැ පුදකරත මහ දෙවියා’ යැ යි කීයේ එහෙයිනි.


මෙ ගිරි දූ තොමෝ පෙර, මැඳි, අලු යන තුන් ය‍ම්හිදී උමා කාලි රුද්රි යැයි තුන් වෙසෙකින් පෙනී සිටිනා බව ශෛවයෝ කියති. ඇගේ එ තුන් වෙස තුන් ලොවේ මැ පසිදු යි.

‘ස්වර්ගි, මර්ත්ය , පාතාල යැයි හින්දුවෝ තුන් ලෝ සදහති. දෙව්, මනු, නා යැයි ද, එ දැක් වියැ හැකි. බුදුනුවෝ කාම, රූප, අරූප යැයි ලෝ තුනක් ද ‘සත්තව, සංස්කරාර, අවකාශ’ යැයි ලෝ - තුනක් ද සදහනි.

උමාව ගේ සිරිපා සඟළ රත් නෙළුම් මලක් සේ සැරැසී පෙනේ. එ නෙළුම් මලේ කෙමිය වන්නේ සිරි සරණ වදන දෙවියන් ගේ කිරුළ යි, එහි පෙති නම් රත් පැහැ ඇති ඇඟිලියි. උමා ළද දෙවියන් ගෙන් වැඳුම් ලබන බව ‍මින් පළ විණි.

පියුම්යොන් (බඹා) උවිඳු (විෂ්ණු) හර (ඊශ්වර) සක් (ශක්රස) යන ලෝ පළ උතුමෝ ද උමාවගෙන් උතුම් වූ වර ලැබැ ගනිති. බ්ර්හ්ම, විෂ්ණු, මාහේශ්වර යන පරමාත්මයා ගේ ත්රීඋ මූර්තිය යි. එ ත්රී‍ මූර්තිය පවා මෙ උමාව ගෙන් වර ලබනවා නම් ඇගේ උස් බව තවත් කීවමනා නො වේ.

ආදී දඹදිව් වැසියන් ගේ මිහි මවුන් වැඳුම් පිදුම් කිරීම කෙමෙන් වෙනස් වෙවී අවුත් මෙ අයුරු ලෙව් ‘මාපිය’ නැමැදුමට පත් හැටි පෙනේ. පසු කල්හි සින්දු දෙණියට බට සුදුවෝ හින්දු දනා ගේ මේ සිරිත් අසරින් තම ‘වේද’ දහම් ඇදැහීම වඩා - ගත්හ.



97. පෙළ:- හැමකල් සිදුවිදු දරඟන කෙළෙන, සොඳ තුල්හි මසෙල් සිරින් දිසි - රන් රිදී දද ලෙළ, තුඟු විසල් - නඳ වාසල් පළ මුදුනැ පැහැදුල්, කලදෝ, සුඟුසිරි පෑ මඳක් ඉඳැ -

(සියලු කල්හි සිද්ධ, විද්යා ධර, ගැහැනුන් කෙළින්නාවූ, යහපත් හිමවූ ගල්ලේ වීදියට පෙනෙන- රන් දද රිදී දද ලෙළදෙන්නා වූ, උස් වූ, ඉතා මහත් වූ, පියකර වාසල්

පළයේ - හෙවත් දොරටු ගෙහි පියස්සේ - පැහැපත් වැ බබළන හෙවත් පැහැයෙන් දිලියෙන රිදී කොතෙකැ - සැටි පෙන්නා මදක් වේලා ඉදැ -

‘විදුදරඟන’ යනු ‘ව්දු දර අඟන’ යන්නේ සන්දි වීමෙකි. එහෙත්:-

‘හැම කල් ‍කෙළෙන සිදුවිදුදර අහන සොඳ’ යැයි පැදි පිය යොදන ලද්දේ නම් හන්දිය මඟ හැරී යනු පමණක් නො වැ ‘‍ෙසාඳ’ යන්න ‘හිම සෙල්’ යන්නට වෙසෙසුන් වැ යෙදෙනවා වෙනුවට ‘සිදු විදුදර’ අඟන, යන්නට වෙසෙසුන් වැ යෙදේ. සුදුසුත් ඒ මැ තමා.

‘තුල් යන්න දෙන්නේ ‘මහත්, සම, පිළිකුල් කටයුතු’ යන අරුත් යැ. මෙහි ‘මහත්’ යන අරුත යෙදේ.

රූ සයුරේ පතුල්

නො පෑ උන් ගේ දෙ පතුල්

කෙරෙයි සිතැ ලොබ තුල්

කුමක් කියමිද මෙ ලො වැ කැරැ තුල්’ (බු. අ.) යන තැනැ ඒ මුල් දෙ අරුත පිණිසැ යෙදී ඇති. මෙහි ‘තුල්’ යනු මහත් අරුත්හි ගත් කලැ විසල් යන්න වැඩි වේ. එ හෙයින් ‘තුල් විසල්’ යන්න සදහා ‘ඉතා මහත්’ යැයි යම්තමකට කියන ලදී. ඒ සුදුසු යෙදීමක් වත් අරුත් බිණීමක් වත් වන්නේ නැති. ‘පැහැදුල්’ යනු මෙහි යොදා ඇත්තේ කැලුම් වගුරුවන යන අරුත දෙන්නට වියැ හැකි.

‘කලදෝ’ යනු විරිත නිසා ලුහු වූ කලදෝ යන්න මැයි. කලදෝ සුඟු සිරි පෑ යන තන්හි කුකුළා සුදු පැහැ හෙයින් කලදෝ - (රිදී) යන්න සුදුසු‍ වේ. එහෙත් කුකුළා හුල් කොතකට සරි කිරීම නම් සුදුසු නො වේ. එ සෙයින් මැ ‘පළ මුදුනැ කොතෙකැ සිරි පෑ’ ඉන්නැ යි කීමෙන් එ පළ මුදුන කොත් රහිත බවෙක් ද ඇඟැවේ. ඒ අසධා යි.


ගිරා අසුන් කරුවෝ :-

‘විහිදා කිරණ බබළන රන් කැරැලි අඟ

සුසදා මදක් ඉඳ බඳ අග මිණික්		රඟ’

......... ............ ........... .............. ...........

‘කොඳ සඳ කල් සුනුවම් උදුළ පළ බිතේ

ඉඳ මඳ කල් වහසල් කැරැලි මුදුන 	                         තේ’ යැ යි.

ගිරවා කැරැලි මුදුනේ මිසැ වහළ මුදුනේ නො රැදැ වූ.


‘අගිල් කපුරු දුම් කද පැතිරැ පිවිකුළු

විපුල්		මෙ පුරැ රන් දෙදෙනුදුළ	පහකුළු
ළකල්		සුරඹ සිදු ලිය කෙළි සිරස	කුළු
සියල්		හිමවූ ගිරි කුළු සිරි පැයි                   ලකුළු  (ගි. අ.)

යන්න මෙ පැදියට මුල් වූ බව පෙනේ.



98. පෙළ:- සබඳ, සුබද ගමනට පෙර ඉසිවර වදහළ, සරසිය දිනැ හත නැකතින් සද රැසෙහි සුරගුර, කිවි, බුද සබලවැ, උදා සඳ, වර මුනිගුණ සිහි කරැ වඩනේ.

(යහළුව, සුබ පමුණුවන හෙවත් ශුභ දායක ගමනට සුදුසු යැයි - ආදී වුසු ඉසිවරයන් - නියම කොටැ - කී ඉරිදා දවසේ හත නැකතින් කන්යා. රාශියෙහි සිටැ ගුරු, සිකුරු, බුද යන ග්ර හයන් උච්ඡ වැ පෑයූ කල්හි, උතුම් වූ බුදුගුණ සිහි කැරැ වඩින්නැ.

සුබද යනු ‘ශුභ දායක’ යන්නේ මැ අනෙක් රුවෙකි. එය සිටියැ යුත්තේ ‘සුබදා’ කියා වූවත් විරිත නිසා ‘දා’ යනු ‘ද’ යැයි ලහු වී සිටි.

‘සුබද සියල් සිවු වේ දැනැ පිවිතුරු වැ’ ‘වරද වරද හැරැ පින් කළ සවුසත ට’ (ගිරා. අ.) ඈ තන්හි මෙනි.

‘සර යනු නෙළුම් මලටද ‍නමෙකි. ‘සිය’ නම් නෑයා යි. සරසිය නම් නෙළුම් මලේ නෑයායි. නෙළුම් මල් පිපෙන්නේ හිරු දැකීමෙනැයි කවියන් ගේ සමයයේ එයි.


පිබිදීම නෑයන් දැක්මෙන් වනුයෙන් හිරු දැකැ පිපෙන නෙළුම් මලට හිරු නෑ වෙතියි ‘සරසිය’ යනු ඉරු සදහා පැවැසිණි. සිය පත සිය යනුයෙන් ද අලගියවන්න රාලහාමින් විසින් මේ සදහන් ලදී (සුභාෂිතය).

සරසිය දින, නම් ඉරු ගේ නමින් වූ දිනයයි. හෙවත් ඉරිදායි.

‘හත’ යනු සත් විසි නකතින් තෙළෙස් වැන්න යි.

1. අස්විද 14. සිත

2. බෙරණ 15. සා

3. කැති 16. විසා

4. රෙහෙණ 17. අනුර

5. මුවසිරස 18. දෙට

6. අද 19. මුල

7. පුනාවස 20. පුවසල

8. පුස 21. උතුරු සල

9. අස්ලිස 22. සුවණ

10. මා (නකත්) 23. දෙනට

11. පුවපල් 24. සියාවස

12. උතුරුපල් 25. පුව පුටුප

13. හත 26. උතුරු පුටුප

27. රේවති.

යැයි සත් විසි නකත සදහනි. ඊට මැ ‘අභිජිත්, යැයි අනෙකක් ද එක් කොටැ ‘අටවිසි නකත’ ක් ද අයෙක් සදහනි.

සුරගුරු, අමරගුරු, සුර ඇජර, යනු දෙවියනට ගුරු යැයි වෘහස්පතියාට නමෙකි. ඔහු නමින් සැදැහෙන තරුව ගුරු තරුවයි. කිවි නම් සිකුරා යි. අසුරයනට ගුරු වෙතිය යෙන සිකුරු ගේ තරුව පස්වරුයේ අගැදි ‘ඉරබටු තරුව’ යන නමින් ද, අලුයමේ දී පහන් තරුව යන නමින් ද මෙරට වැසියෝ දනිති. ‘බුද’ නම් ගහයා


ගේ තරුව එ නම් වේ. ‘සඳ’ යනු අඟනට ‍නමෙකි. එහෙයින් මෙහි සඳරැසෙහි යි කීයේ කන්යා රාශියේ යනු ඇඟවීමට යි. එහෙත් ‘සඳ යනු හුදෙක් ‘ඉතිරි’ අරුත මිසැ ‘කන්යා ’ අරුතක් නො දෙයි.

ඒ කීයේ :-

‘පොරණ රුසින් කී තොප යතුරට පවර

ල ද නි දොසි න් රිවි දිනැ නැකතැ දිනකර

කු ම රි රැ සි න් කිවි සුරගුරු සිටි ‍ නොහැර

මි තු ර ගොසින් වඩු සිහි කැරැ මෙන් සුතුර’ (ගි. අ) යන්න මැ යි.


99. පෙළ:- දිගා දෙන වෙද මතුරෙන් පැවැති ළඟැ සිටැ මනරඟ රඟා කැමැති වැඩ දෙන විප්දන ජය තුති නි පවසමිනි රහා එන කොමළඟ (යන) මේ පෙර මහ සුබ නිමිති මහා යන.

(දිගු ආසිරි දෙන හෙවත් ආවඩන්නාවූ, වේද මතුරට එකඟ වැ පැවැතෙමින් ළඟ ළඟ වැ සිටැ සිතේ හැටියට රැඟුම් කොටැ - නටා - රිසි දියුණුවක් දෙන්නා වූ බමුණු දනෝ යැ, ජය තුති කියමින් නටා එන ගෑනු යැ යන මේ ඉදිරි මඟැ සුබ ලකුණු බලා යන්නැ).

දිගා = දිගු ආ. විප් යනු බමුණනට නමෙකි. කොමළඟ = කොමළ අඟ කොමළ (මුදු) වූ අඟ (ගත) ක් ඇතියේ නු යි ගෑනුනට ‘කොමළඟ’ යනු පැවසේ.



100. පෙළ:- පවර අදික‍ාරි සහ සෙබෙහි ඇමදෙන සතර අගතියෙන් වැළැකී ඉඳැ ගැඹර අදිකරණ යෙහෙන විසදා පසිදැලන, මෙ පුර විදියෙහි මහපාය දැකැගෙනැ -

(උතුම් වූ අදිකාරම (මහනිලමේ) ත් උසාවියේ සෙසු- සියලු දෙනාත් සතර අගතියෙන් තොර වැ ඉදැගෙනැ ගැඹුරු වූ හෙවත් විසඳීමට අසීරු ගැටළු නඩු සුව සේ විසදා තීන්දුව දෙන්නා වූ, මෙහි පුර විදියේ පිහිටි මහි පාය - හෙවත් මහ අදිකරණ සබා ගෙය - දක්මින්)-

‘අදිකාරි’ නම් අධිකරණ නායක යි. ආදියෙහි අදිකරණ නායක තනතුර දැරුයේ ද මහ නිලමේයි. ‘සෙබෙහි’ මෙහි ‘සබ’ යන්නෙන් අදහස් කරන් ලද්දේ නඩු අසන තැනයි, හෙවත් උසාවියයි. සතර අගතියෙන් = නො මනා ගති සතරින්. විනිස කරුවන් විසින් වැළැකී සිටියැ යුතු අගති සතරෙකි. ඒ නම්.

‘ඡන්දා දොසා භයා මෝහා’ යි දක්වන ලද ගති සතරයි.

‘ඡන්දය’ නම් කැමැත්තයි, හෙවත් පක්ෂර බවයි. විනිස කරුවන් එක්පසකට පක්ෂඡ වැ අධිකරණ පසිදි විටැ යුක්තිය ඉෂ්ට’ නො‍ වේ. අදිකරණයන් ගේ එ අගතිය එදා සේ මැ මෙ දා ද දක්නට නො ලැබෙන්නේ මැ නො‍ වේ.

‘දෝස’ ය නම් එක් පිලක අයට ඇති ‘ද්වේෂ හෙවත් කුඩුකේඩු හැඟීමයි. අදිකරණය පසිඳිනා අය එක් පිලක් නුරුස්නා හැඟීමෙන් යුතු වැ එය කළහොත් එහි යුක්ති පසඳීමෙක් නො වේ.

‘භය’ නම් රජයේ මැති, සෙනෙවි, ඈපා, මාපා, ආදීන් කෙරේ ඇති බියයි. ඇමැති ආදීන් කෙරේ ඇති බිය නිසා ඔවුන් ගේ අතට නැමී අදිකරණය පසිඳින්නේ යුතු දහම නො දකි.

මෝහය නම් සිත මුළාවීම හෙවත් රැවැටෙන බවයි.

යෙහෙන = යෙහෙන්. දැනැගෙන = දැනැගෙනැ පුරවීදිය නම් පුරයේ මහි වීදියයි.

"https://si.wikibooks.org/w/index.php?title=සැවුල්_අසුන්_පවත්-10&oldid=4112" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි