සැවුල් අසුන් පවත්-11

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

සැවුල් අසුන් පවත්-11[සංස්කරණය]

101. පෙළ:- නිකසළ නැණිනි විපුල් තාළ සත දැනැ ළකල් නද පසඟ තුරු වැයුමෙහි හසළ නිමල් එ පන්සිළු තුල්, නැබළ නළ රැඳි මඟුල් විදියෙන් කෙළැ කෙළ යාගන්නැ.

(පිරිසුදු නුවණින් මහත් වූ තාළ ශාස්ත්ර ය දැනැගෙනැ සිත් ඇදැගන්නා තදින් යුතු පස් අයුරු තූර්ය භාණ්ඩ වැයීම පුරුදු වූ, දොසක් නැති, පසිදු පන්සිළුවා බඳු මහත් නළු පිරිස් වසන්නා වූ මඟුල් විදිය ඔස්සේ සෙල්ලමින් යාගන්නැ).

වෙසෙසුන් යොදා ඇත්තේ කිසි වඟක් විබාවක් ඇති වැ නොවේ. පද යෙදීම ද ඊට නො දෙවැනියි.

සීතාවක පුරයේ මඟුල් වීදිය දෙවොලෙහි සේවය පිණිසැ ගැයුම් වැයුම් නැටුම් කරන්නවුන් ගේ විසීමට වෙන් වැ පැවැති බව මෙයින් පෙනේ. ‘එ පන්සිළු තුල් නැබළ නළ’ යනු මහ විහිළුවෙකි. පන්සිළුවා වෙණ වයන දෙවි‍යකු මිසැ නටන දෙවියෙක් නො වේ.


102. පෙළ:- සබඳ, සොඳ විකුම් සිහ මහ මැති තුමා සුවිපුල් හරසෙල් එකතුල් කැරැ කැරැවු, සුබද පබඳ වසුවිල් විටෙහි මහමඩම ද සිතැලොල් වඩා දැකැ නුබ නැහෙමින් යව.

(‘මිතුර, යහපත් වූ වික්රලමසිංහ මහ ඇමැති තුමා මහත් වූ කෛලාස කූටය හා එක සමාන වන පරිදි කැරැවූ, වැඩ දායක වූ, පසිඳු වූ, වසුවිල් විටෙහි මහ අම්බලමක් සිතේ ආසාව දියුණවා බලා ගෙනැ අහසට නැගී යන්නැ).

මෙහි ‘මහ මැති’ යනු මහ අදිකාරම බව ඇඟැවීමට නො වැ උසස් බව ඇඟැවීමේ ගරු පද හැටියට යොදන ලද බව පෙනේ. ‘වික්ර ම සිංහ’ යනු ආදී වූ ‘සෙනෙවි රත්’ යන්න මැයි.

‘මඩම’ ය න්නෙන් මිනිසුන් නවා තන් ගන්නා අම්බලම අඟවයි.

‘හරා’ යනු මහා ඉසුරාට නම්. හරා ගේ සෙලැ යි කෛලාස කූටයට ‘හර සෙල්’ යනු පැවැසේ. මහ ඉසුරා වසන්නේ කෙලෙස් ගිර මුදුනේ ලු. මේ මඩම කෛලාසය මෙනැයි කීමෙන් එහි උසත් සුනුවමින් වූ සුදත් අඟවන ලදී.



103. පෙළ:- මිතුර, වල,කර සතර පද, රහසඟ යැ යන සතඟ දෙරණැ සුපිහිටි, දළ දළින යුතු නොමින මතහ කැලන් සිටිනා - තොප යන වම් පසැ පෙනෙන - ඇත්හල බගඟ.

(යහළුව, නගුටේ අග යැ, පා සතර යැ, රහස් අඟ යැ යන අව යව සත පොළොවේ මනා වැ පිහිටි යාවූ, මහත් දළින් යුතු බොහෝ ඇත් සමූහයන් සිටිනා වූ, තොප යන මඟැ - වම් පැත්තේ පෙනෙන්නා වූ, ඇත් හල් බලව)-

වලඟ = වල් අග. රහසඟ = රහස් අඟ. සතඟ = සත් අඟ. දළින = දළින්, නොමින = නොමින්

මෙ ඇතුන් වැනීම මෙවිටැ විහිළුවක් බවට හැරෙන පමණට සදහන් ‍විණි. යම් තම් ‘ඇත්’ පුළුටක් සදහන්නට ඇත අපේ රාලහාමින් ගේ සිතට නැඟී එන්නේ මේ ලකුණුයි.



104. පෙළ:- යුග කෙළ සයුරත් මෙරත් වෙරළ පැනැ ගෙනැ වෙතැ පත් වෙතත් නවතනු වත් වනා බෙලෙන (යුත්), කඩු, කොත්, පළඟ, දුනු, වෙඩි ගත් සෙන් සිටින ගැට හැත්තේ කඩවතින සිත් ලෙසින් යව.

(කප අගැ මූදත් මහ මෙරත් වෙරළට උඩින් පැනැ ළඟට පැමිණෙතත් නැවැත්වීමට සමත් වන බෙලෙන් යුත් - කඩු, කොතවී, දුනු, පළිස්, තුවක්කු ගෙනැ බළන් සිටිනා ගැටහැත්තේ කඩවතින් හිතේ හැටියට යන්නැ).

කප අගැ දී මහ සයුර කැලැඹී රළ නඟා වෙරළ පැනැ එනු පුරාණ සමය වාදයෙහි ඇති.


ප්ර ලයේ හින්න මර්යාදා

භවන්ති කිල සාගරාඃ’


යැයි හින්දුවෝ කීහ. එහෙත් මෙරක් වෙරළ පැනැ ගෙනැ එනු සමය පවත්හි නැති. මෙර එ දාට එතොත් එන්නේ සැඬ පවනින් ඇලැළෙන සයුර රළින් තැළෙන දඬු කඩක් මෙන් යැ.

වෙඩි, යනුයෙන් අදහස් කරන ලද්දේ ගිනි අවි හෙවත් තුවක්කු යි.

කඩවත නම් රට ඉමේ ඇති මුර පළයි. එක් රටෙකින් අනෙක් රටකට වදනාහු එ තැනැ පසු කොටැ යෙති. එහි සෙබළුන් මුරට සිටින්නේ සතුරු සෙන් නො වැද්ද දෙනු සදහා යි. එ තන්හිදී වෙණෙ ද බඩු එහා මෙහා ගෙනැ යන්නෝ ද ‘සුත්’ (බදු) දී ලති.

මේ කඩවත මුර පළ වැනීම පුරා විහිළුවක් වන බව නිකම් වැනුම් බසට මිසැ සබා දහමට සිත නුදුන් කිවියා නුදුටුයේ යි.


‘අ යි රාවන වුවත් නවතන රිසින් එන

අ යි රාදහස් දිළි කඩු කොත් සිපත් ගෙන

ක යි කාවලැහි දැකැ සෙබළුන් රැකැ සිටින

ව යි යා කරන් මල් තුරු ගන වන හිසින’ (සැළ)

ඈ වැනුම් සිහි කොටැ මෙ පැදිය කළා මිසැ එහි සුදුසු නුසුදුසු බවක් කිවියා සිතුයේ නැති.

මෙ දෙවැනිවැ කී තැනැ සෙබළුණ් එ අවි ගෙනැ සිටිනුයේ එන්නා වූ ‘‍ෙඑරාවණ’ ඇතා වූව ද නවතන රිසිනි. එහෙත් අපේ රාලහාමි‍න් කියන තැනැ සෙබළුන් අවිගෙන සිටිනේ වෙරළ පැනැ එන සයුරද නවතන බලා ඇති වැ යි. සිත් පිත් නැති, ඉබේ ගලා එන සයුරක නැවැත් වීමට අවි දරා සිටීම විසුළු යි. අවි දැකබිය වන්නෙක් නො වේ සයුර.



105. පෙළ:- ඔප් නහා ලූ රන් රූ සිරින රූ පෑයෙන් දන මන බඳින, පන්සරා සර මෙන් තොප යන පෙර මඟැ සිටින යෝනත් බලා තොප ළ පුරමින මින්වානෙත් යාගන්.

(ඔප දැමූ රූ බඳු වූ සිරුරු පැහැයෙන් දනන් ගේ සිත බඳිනා වූ ද, අනගා ගේ ඊ මෙන් තොප යන මඟැ ඉදිරියේ සිටිනා වූ ද තුරුණු ලියන් බලා තොප ගේ සිත පුරා ගෙනැ මින්වානෙත් ගමන් ගනුව).

මින්වාන සරියේ ඉදිරි මඟැ තුරුණු ලියෝ සිටිති. උන් ගේ සිරුරු පැහැය ඔප් ලු රන් රූ පැහැය බඳුයි. එ රූ පැහැය දක්නා දනන් ගේ සිත් ඔවුන් කෙරේ බැ‍ඳේ. ඔවුන් පෙර මහැ සිටුනු අනඟා ගේ ඊ බඳු වැ යි. තුරුණු ලියන් නො දක්නා කුකුළා ගේ සිත සයින් පෙළෙමිනු යි පවත්නේ. මෙ තුරුණු ළඳුන් දැකැ සිත පුරා ගෙනැ යන්නා යි කීයේ එ හෙයිනි. නො එ සේ නම් කියැ යුතු වූයේ ඇසපුරා බලා යන්නට යි.

මෙහි ‘රූ’ ‘රූ’ ‘තොප’ ‘තොප’ යනු යෙදූ හැටි පැසැසුමට සුදුසු නො වේ.

සිරින = සිරින්. බඳින = බඳිනා. සිටින = සිටිනා. පුරමින = පුරමින්.

‘පන්සරා’ යනු ‘පස් සරා’ හෙවත් සර පසක් ඇත්තා යැයි අනඟාට නමෙකි. ‘පඤ්ච’ යන්න සලකා ‘පස්’ යනු ‘පන්’ යැයි වහරට ගත් සේ පෙනේ. පන්සිල්, පන්සියය, ඇතන්හි මෙනි.

‘අරවින්ද (නෙළුම්), අශෝක (හෝපලු) වූත (අඹ) නවමල්ලිකා (ඉද්ද), නීලෝත්පල (මානිල්) යන පස් වගේ මල් අනඟා ගේ ඊ වෙති යි යෙති. ඒ එක් එක් හීයෙන් විදි කලැ පිළිවෙළින්:-

සම්මෝහන (සපුරා විසී වීම), උන්මාදන (උමතුව), ශෝසන (වියැළීම), තාපන (තැවීම), ප්ර ගල්භ (ගල්වීම) යන ලෙඩ ඇති වෙති යි ව්යංලග විසින් පෙර ඇදුරෝ කීහ.


106. පෙළ:- සබඳ, දෙරණට බට විදුලිය සසඳ නිල් වෙලෙවි, වට පුල් සාමඩුලු නො මඳ තුරු පෙළ යුතු ගැට දෙල් ගස මඩමේ මඳ කලක් ඉඳ අට ලොල් වෙමින් නුබ නැඟැ යා ගන්නැ.

(යහළුව, බීමට බැස්සා වූ විදුලිය සහිත වැසි වලා වැනි, හාත් පසින් මල් පිපිණු අතු පතර සහිත බොහෝ ගස් ඇති ගැට දෙල් ගහ මඩමේ මදක් වේලා ඉදැ ගමනට ආසා වෙමින් අහසට නැඟී ගමන් ගන්නැ).

සිවු වැනි පියේ මුල ඇති ‘අට’ යන්න එළිවැට රක්නා පිණිසැ මැ වෑයමින් සපයා යොදන ලද්දේයි. අටනය නම් සැරිසැරීම යි. භික්ෂා අටනය (පිඬු සිඟා යාම) ඈ තන්හි මෙනි.

මෙහි අතු පතරින් හෙබී රුක් නිල් වලා සරි කිරීම සුදුසු වේ. එ රක්හි පිපි මල් විදුලිය හා සරි කිරීම කිවියන් කරතත් වියතුනට ඒ එ තරම් පියකරු නොවේ.


‘තු ලා ගනව ලා කු ළු වි දු ලි විදිය

නි ලා මනකලා තු රු දෙපසැ විදිය

දු ලා වනම ලා මැ ලි සු ව ඳ වීදිය

බ ලා සි රිප ලා ය ව එ තොට වීදිය’ (හ. ස)

යැයි හස් ස‍ඳෙස් කරුවෝ ද මේ දුඹුල් උපමාව දක්වති. එහෙත් :-

‘තරු බරිති දෙරණට

බට නුබි නඩක් විලසට

මල් පුල් එක ලෙසට

සුනිල් කැලයක් අතර මඟැදිට (ක.සේ)

යැයි සිරි රහල් හි‍මියෝ නිසි මැ උපමාව දක්වති.


‘උ දු සුනිලා පැහැගෙන ගන වලා පෙළ

වි දු ලි ය ලා සහ බට තන් තුලා කළ’

යන තැනැ මයුර සන්දේශ කාරයා විදුලියට සරි කරන්නේ අඟනුන් ගේ තුනු සිරුරු යි.


වෙලෙව් = වෙල එව් (වලා වැනි)


107. පෙළ: - පුන් ස‍ඳෙව්, පෑ‍පත්, නිසි වුවනින් දිලෙන, යාපත්, වෙන් ලීයෙව් සත සතන පිනවන, රූමත්, නන් කොමළ අඟනන් නිති රඳන බෝ පැත්තෙන් සිත් සේ සොඳ ලෙසින යව.

(පුරා හද වැනි වූ, පාට වැටුණු, සුදුසු මුහුණින් බබළන, මනා වූ, සිරි කත වන්, දනන් ගේ සිත පිනවන්නා වූ රුවින් යුතු, බොහෝ වූ මුදු ලියන් නිති රැඳී සිටිනා ‍බෝ පැත්තෙන් හිතේ හැටියට සුදුදු අන්දමින් යන්නැ).

ස‍ඳෙව් = සඳ එව්. ලියෙව් = ලිය එව්. ලෙසින = ලෙසින්.

‘සිත් සේ, සොඳ ලෙසින යව’ යනු නිකම් පැදිපිය පිරිමැසීමට, මිසැ සුදුසු අරුතක් දීමට යෙදුණෙක් නො වේ.



108. පෙළ:- වුවනතින් අමාකර පළ කැරැ දිළෙන, උමායුර සොඳුරු කොමළඟනන් කෙළෙන අස්ගම් අමාකර දැකැ හමන පවන විදැ තුනුගිම් නිවා හැරැ වඩන මැනැවි.

(මුහුණින් පුරාහදේ අයුර පෙන්වා බබළන්නා වූ, ගිරි දේවිය වැනි වූ, මනා රූ ඇති‍, මුදු ලියන් කෙළියේ යෙදී සිටිනා, අස් ගම නැමැති කිරි සයුර දැකැ, - එ පිරිමැදැ - හමන්නා වූ මඳ සුළඟ විඳීමෙන් ඇ‍ඟේ ගිමන නිමවා දමා යන්නැ.)

අමාකර = අමා වූ කර (රශ්මි) ඇත්තේ (සඳ). කොමළඟනන් = කොමළ අඟනන්. අමාකර = අමා (අමෘත) අකර (ආකාරය.)

මීට පළමු පැදියේ ‘පැපත් පුන් ස‍ඳෙව් නිසි වුවනින් දිළෙන’ යැයි පවසා එ එක් වැ ම‍ැ ආයේ, දිළෙන වුවනනින් පළ කරැ අමාකර’ යනු යෙදීම මහ නිවට කමෙකි.


109. පෙළ:- කරඬු සමා පුලා සිටිය පියොවුරු යුග, සුරඟන සදිසි ‍මන රමා සිටිය කලා බලා සිටිය කමන පමා වෙයි. පමා නො වී කලාපිටිය පසු කැරැ යව.

(කරඬු වැනි වූ, පිරුණු, කෙළින් සිටි දෙ තන ඇති, දෙව්ලියන් සරි වැ පෙනෙන, සිත් අලවන්නා වූ, සිටිනා ගෑනුන් බලා සිටිය හොත් ගමන පමා වෙයි. - එහෙයින් පමා වන්නේ නැති වැ කලා පිටිය පසු කැරැ යන්නැ.)

සමා = සම. මනරමා = මනරම්. පුලා සිටිය’ යන්නට ‘පිරි සිටිනා’ යි ද අරුත් ගත හැකි.


110. පෙළ:- මිතුර, වෙනේ සුපිපි මල් රොන් සහ බිඟුන් සර ගෙනේ හමන නල විදැ තුනු ගිමන හැර මෙනේරි පිටියා බැවුලෙන් බැස, මෙනේ පතර සතොස සපුරා යාගන්.

(යහළුව, කැලෑවේ, හොදට පිප‍ුණු මල්වලැ රොනුත් මී මැසි සදත් හැදැ ගෙනැ හමන්නා වූ සුළඟ විඳැ, ඇ‍ඟේ ගිමන නිවා දුරු‍ කොටැ ‘මෙනේරිපිටියා බැවුලෙන් බැසැ, සිතේ මහත් වූ සතුට සපුරා ගෙනැ ගමන් ගන්නැ).

ගෙනේ = ගෙනැ. හැර = හැරැ.

මෙහි පතර සතොස සපුරා යනු නම් සුදුසු නො වේ. ‘පතර සතොස පුරා’ යි සිටියේ නම් මදකට ඉවැසියැ හැකි. ‘පතර’ යනු ‘මෙනේරිපිටියා බැවුල’ යන්නට වෙසෙසුන් විසින් ගත හොත් මීට වඩා සුදුසු වේ. එහෙත් එ දෙක අතරැ ‘බැස’ යන පෙර කිරිය අරුතැ අවිය සඳ ඇති හෙයින් එසේ ගන්නට ඉඩෙක් නො ලැබේ.

බැවුලෙක් නම් ළන්දෙකි, හෙවත් කැලෑ ගොඩැල්ලෙකි.

"https://si.wikibooks.org/w/index.php?title=සැවුල්_අසුන්_පවත්-11&oldid=4113" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි