සැවුල් අසුන් පවත්-12

Wikibooks වෙතින්

සැවුල් අසුන් පවත්-12[සංස්කරණය]

111. පෙළ:- කමල සැටිය වත, පෙටිය දිගු නිල් නෙත්, යුග තන තිසර පැටිය විලසින් සිටිය ගමඹු මදයුදට වෙමිනටිය සිටිය මිලිලවිටිය යුග දිටිය තොස කැරැ බල.

(පියුම සරි මුහුණින් යුතු, පෙටියන් බඳු දිගුනිල් නෙත් ඇති, දෙ පියොවුර හස් පැටියන් සෙයින් සිටි ගම් වැසි ලියන් රති කෙළි ලොල් වැ සිටිනා මිලිලවිටිය දැස තුටු වන පරිදි බල).

යුග දිටිය (දෑස). යුග තන (දෙ තන). මෙහි ‘ගමඹු’ යනු ගම් වැසි ලියන් ඇඟැවීමට යොදා ඇති. එහෙත් :-

‘වැන්නේ ගම්ඹු ගලැ පලමල් කුමුකුවට’ (සැළ) යන තැනැ ගමඹු යනු දෙන්නේ ‘ගම නැමැති අඹුව’ යන අරුතයි.

‘ගසමින් කාල් වැටි

තැවැරූ ඇඟැ කසා මැටී

ගම්වැසි ලියන් සැටී

බැලී මහසත් මඟැ යෙමින් සිටී’ (ක. සේ)යි ගමැ ගෑනුන් ‘ගම් වැසි ලියන්’ යන්නෙන් සදහන් වූ තන් පෙනේ. ‘ගමඹු’ යනු ‘ගමඹුන්’ කියාවත් යෙදිණි නම් යම්තමකට හෝ ගම්වැසි ගෑනුන් යන අරුත ගන්නට ඉඩ සැලසේ.


112. පෙළ:- මමිතුර, මිහිපිටැ හුණු සඳ කිරණ ලෙසට උදුළිය සුදු වැලි අතුළ, සුමට වැලි මළුයෙහි සැදී, රුදු නත දරණ යුරු සුමට පවුරෙනි යුතු දෙල්ගමු වෙහෙර වඳු ලැඟුමට.

(මගේ යහළු, බිමට වැටුණු හඳ පාන මෙන් තදට බබළන සුදු වැලි ඇතුරුවා වූ, හොඳ හැටි සමතල වූ වැලි මළුයෙන් සැදුම් ලද, මහත් වූ අනත් නයා ගේ දරණ වැළ බඳු, හොදට මට්ටම් වූ තාප්පය ඇති දෙල්ගමු වෙහෙරට මළුයෙන් වදින්නැ ලැගීම පිණිසැ).

උඳුලිය = උදුළ

සුදු වැලි අතුළ වැලිමළුයෙනි, සුමට, සුමට, යන යෙදුම් රමණී නො වේ.


133. පෙළ:- මිතුර, පවර තුඟු අවර ගිරි කිර රද විපුල අඹරලිය ලැහැබැ රැඳී දිනිඳු බිඹුපල පතර සඳවලා තුඩිනැ දැ රැගත් කල එහි මල වල තුරු සිරෙකැ ලගින්.

(යහළුව, උතුම් වූ, උස් වූ, අවර ගිරි නැමැති මහ ගිරවා මහත් වූ අහස නැමැති වැල් ගොල්ලේ රැඳී ඇති ඉර නැමැති කෙම් ගෙඩිය, පැතුරුණා වූ හෙවත් පුළුල් වූ සැඳෑවලා නමැති හොටින් ඇදැගත් කල්හි එහි දෙල්ගමු වෙහෙරේ - මල් පිපුණු ගසක් මුදුනේ ලගින්නැ).

විපුල = විපුල්. තුඩිනැදැ = තුඩින් ඇදැ.

අහසේ වූ ඉර සැදෑවලා අසරින් බැසැ යාම ලැහැබෙකැ වූ ඉදුණු කෙම් ගෙඩියක් ගිරවකු විසින් තුඩින් ඇදැගත්තා වැනි කොටැ මෙහි දැක්විණි.

‘පවර’ යන වෙසෙසුන ‘අවර ගිර’ යන්නට සුදුසු වන්නෙක් නොවේ. අඹර යන්නට ‘විපුල’ යන වෙසෙසුන ද අනැවැසි යි.

‘අඹර ලිය ලැහැබැ’ යනු ‘අවරඹර ලැහැබැ’යි යෙදිණි නම් පළමු වන පියට එය කැපී සිටිනු ඇති.


114. පෙළ:- වෙරළ හොයළ පතර මුතු බරණින් සැදි, පතළ සළා සක් අවි ලෙළ තරහ කර, පුවළ අවර දිගු උවිඳු ගෙ පුළුල් උර තරළ මිණෙකැ සිරි සහසකර කියෙලි යැ.)

(වෙරළ බඩ වැලි තල නැමැති, මහත් වූ මුතු පළදනායෙන් සැරැසුණු, පැතිරී ගිය සුළී නැමැති සක් අවි හෙවත් පරාවළලු අවි ලෙළ දෙන රළ නැමැති අත් ඇති, මහත් වූ - නැතහොත් ආඩම්බරවත් වූ - බටහිර දිසාව නැමැති වෙන් - විෂ්ණු - හු ගේ පළල් උරයේ මහ මැණිකෙකැ - හෙවත් පැංඩනයෙකැ - අයුර ඉරු තෙමේ දැක්වි).

මෙහි ‘මුතු බරණින් සැදි, අවි ලෙළ (තරඟ) කර’ යනු ‘උවිඳු ගෙ’ යන්නට වෙසෙසුනි. මුතු බරණ නම් වැලි තලයි, සක් අවි නම්, සුළි යි, කර (අත්) නම් තරඟ යි, උවිඳු නම් අවර දිග යි, එ විටැ පුළුල් උරය කීමෙක් ද?

වෙරළ හොයළ, සළා, තරඟයන එ සියල්ල ඇත්තේ සමුදුරට මිසැ අවර දිගකට නො වේ. එ හෙයින් ‘අවර දිගු’ යන්න ‘අවර සිඳු’ යි ගෙනැ ඒ අවුල මඳකට ලිහා දැක්වියැ හැකි වූවත් ‘උර’ යන්නට උවමේ වන දැයක් නො සදහන් වීම නිසා ඇති වන අඩුව එයිනුත් නොපිරිමැසේ.

‘පැළ දිගු වෙනුර සරසන කොතඹු මිණි ලෙසින්

දළ රිවිබිඹු බබළත වෙසෙස සයුරසින්’

(කොවුල්) යන වැනුම සිතේ තිබා ගෙනැ තවත් එ මේ තැනින්, කොටස් ලා උපමාවක් මැවූ බව මුත් එහි අරුත තම සිතේ මිසැ පැදියේ නො රැඳුණේ බව අපේ රාලහාමින් නුදුටුවා විය හැකි. සිත පුරා අරුත පවත්නා විටැ පැදියෙන් එ නො පළවන බව පෙනේ යැ?

‘පතර, පතළ, පුවළ’ යන අසල් අරුත් පද ළඟැ ළඟැ මැ යෙදූ හැටි පියකර නො වේ.



115. පෙළ:- නිසහන හත් පැහැසර ගනනිලඹර ද, අට දිගැතුන් කො‍ෙපාලතැ වන් බිඟු රොද ද, සැඳැවෙලා ගින්නෙන් නැඟී රුදු දුම් කඳ ද, මෙ ලෙසින් සැකයුත් ගන අඳුරු කඳ බල.

(‘රැය නැමැති ගෑනිය ඇඳී තද පාට ඇති වැහි වලා පෑ නිල් සළුව ද ‍හෝ, අට දිගැ, ඇතුන් ගේ කොපොල් හෙවත් කම්මුල් තලට පැමිණී, මී මැසි සමූහය දෝ හෝ සැදෑවලා නැමැති ගින්නෙන් නැඟුණු මහත් වූ දුම් කඳ ද හෝ’යි යන මේ විදියට සැක’ උපදවන තද අඳුරු කඳ බලව).

නිසඟන = නිසා අඟන. නිලඹර = නිල් අඹර. ගැතුන් = දිගු ඇතුන්.

මෙ වනාහි ගිරා අස්නේ ඇති :-

‘ප ළ ඟ ගඟණ කළ සදැ විහිඳුණු විස ද

ස ම ඟ කලා වැදැ නො හැසුණු මැදැ හිර ද

ම ත ඟ ඉසිහු බට මඟ තව නො මැකුණේ ද

බ ල ඟ මෙ බඳු සැක බද සද ලප සබඳ’

යන්න වෙනුවට යොදන ලද්දෙකි.

අට දිගැතුන්;-

ඓරාවත, පුණ්ඩරීක, වාමන, කුමුදු, අඤ්ජන, පුෂ්පදන්ත, සාර‍ෙභෟම, සුප්රගතික යන ඇතුන් පිළිවෙළින් පෙරදිගැ ඈ ඒ ඒ දික්හි පොළොව දරා සිටිති යි යෙති. (අමර කෝෂ).


116. පෙළ:- ම මිතුර, සිසි හිමි නො ලස වැ තම වෙතැ එන බැවින නිසි නිසහන නුඹ විමනත සුසදමින ඉසි අසෙනිය කුසුමන් විලසින් නො මින දිසි තුරුවැළ සිතු ලෙසින බල.

(මගේ යහළුව, සඳ නැමැති හිමියා පමා නැති වැතමා කරා එන නිසා - ඔහුට - සෑහෙන රැය නැමැති අඟන අහස නැමැති ගෙ තුළ මනා සේ සරසා ඉස්නා ලද විලඳ මෙන් බොහෝ වැ පෙනෙන තරු පෙළ හිතේ හැටියට බලන්නැ).

සඳ නැමැති හිමියා නො පමා වැ එන නිසා රැය නැමැති අඟන ඔහු පිළිගන්නට අහස නැමැති ගෙය හොඳින් සරසා විලඳ ඉසි සෙයින් තරු පෙනුණු බව යි ඒ කීයේ. හිමියකු පිළිගන්නා ළඳක සැරැසියැ යුත්තේ ගෙය නො වැ ඇඳ යි. විලඳ ඈ දැය ඉස්නේ ගෙට හිමියා වැඩමවන්නට නො වේ, උතුමන් වැඩම කරවන්නට මිසැ.

‘උ ඳු ළ සොමි කැලුම් නිසයුරු හිමි පුවළ

ප හ ළ වන බැවින් තම වෙතැ නිසඹු දොළ

ල ක ළ ගුවන් තල සිරියහනැ නිකසළ

අ තු ළ කුසුම් විලසින් සැදෙත තුරුවැළ’ (සැළ.) යැයි රහල් හිමියෝ එය නිසි පරදි කීහ.


බැවින = බැවින්. සදමින = සදමින්. නො මින = නොමින්. ලෙසින = ලෙසින්.


117. පෙළ:- නිසා කත උදය ගිරතින් පසන් කැලුම් යුතු පුන්සඳ වටාපත රැගන්මින් නුඹේ ගත ගමන් වැසන දුරු කරනුව පවන් ගසන මෙන් මඳ නල හමා එන -

(රැය නැමැති අඟන උදය ගිර නැමැති අතින් පහද වන ගුණයෙන් යුතු කාන්තිය සහිත පුරා හඳ නැමැති තල්වට ගෙනැ ඔබ ගේ සිරුරේ ගමනින් වූ විඩා දුරු කිරීමට පවන් සලන්නා මෙන් මද සුළඟ හමා එන විටැ-)

ගිරතින් = ගිරි අතින්. ගත = ගතැ.


118. පෙළ:- සකි, නොතෝරා සිරුරුරැසින් දිගු හෙළි කැරැ, පරසතු මදාරා මල් අතින් රැගෙනැ නියම නෑරා සුරන් පුදට යනු එනු උදාර බැති සිතින් ‍සතොසින් බල.

(යහළුව, තොරක් නැති වැසිරුරේ පැහැයෙන් දිගුන් හෙවත් පැති එළිය කරමින්, පරසතු මදාරා යන වගේ මල් අතින් ගෙනැ නියමය හෙවත් සිරිත කඩ නො කැරැ දෙවියන් පුදට එනවා මහත් බැති සිතින් සතොසින් යුතු වැ බලව).

සිතිනුදාරා = සිතින් උදාර (උදාර සිතින්) නෑරා = නෑරැ.

දෙල්ගමු වෙහෙරට මල් පුදනට දෙවියන් ද එන බවයි ඒ කීයේ. දෙවියන්, පිදීමට බෙහෙවින් ගෙනැ එන්නේ පරසතු, මදාරා යන දෙවගේ මල් මැයි. ඒ දෙව් ලොවේ මැ ඇති දැය හෙයිනි. මනු ලොවේ පරසතු නම් රුක්අත්තන යි, මදාරා නම් එරබදු යි.


119. පෙළ:- මනනඳ රාජසිහ රජු ගෙ නොමදින තෙදග රුපු රද යසස මැඩැ දස දෙසැ වතළ මෙන ගුවනැ පිරි සඳ කිරණ සහ තුරු මකමින් පෙරදිගින් සඳ පැහැ අරුණු රස් පැතිරේ.

(සිත් තුටු කරවන්නා වූ රජසිහ රජු ගෙ බොහෝ වූ හෙවත් මහත් වූ තෙද ගින්න සතුරු රජුන් ගේ යසස යටපත් කොටැ දහ අතේ පැතුරුණා ව‍ාගේ අහස පුරා පැවැති සඳ එළියත් තරුත් මකා නැගෙන හිරි පැත්තෙන් සැදෑ පැහැ ඇති අරුණු රස් පැතිරේ).

තෙදග = තෙද අග. මෙන = මෙන්. ගුවන = ගුවනැ. පෙරදිගින = පෙර දිගින්.

‘වඩනා තා තෙද

සේ මැඩැ පිරිපන්න යස

රැස් රස් දිවැ දිවයුරු

කෙ ළෙ සිසිහු පියවිළියුරු’ (ක. සි. vii. 16)-

යන්න මැ යි ඒ කීයේ ද.



120. පෙළ:- සබඳ, පෙරග ඉසි අරුණු රස් කසවත වැලඳ, ලොවහනෙහි නොමඳ ගනඳර කසළ රැස ඇමද එළි කරන ගනරන් මුසුන් ලෙස කිරණ කිඳු දුළ රිසි රිවි බලග.

(යහළුව, පෙරගිර නැමැති රුසියා අරුණු රස් නැමැති කහපාට සළුව පෙරවැ ගෙනැ ලොව නැමැති මළුයේ හෙවත් මිදුලේ බො‍හෝ වූ ගන අඳුර නැමැති කුණු රොඩු සමූහය අතුගා පායන ගන රන් මුසුන් හෙවත් ඉදල් මෙන් රස් කෙඳි දිළෙන, රිසිය වඩවන හිරි බලව).

ඉරු ගේ රස් කෙඳි රැස ඉදල් කූරු හැටියටත් ගන අඳුරු එයින් ඇමැදැ ලනු ලබන කසළ රැස හැටියටත්, මෙහි දැක්විණි.

පෙරග = පෙර අග ( අග නම් කන්දයි). ලොවඟනෙහි = ලොව අඟනෙහි (අඟන නම් මිදුලයි).

"https://si.wikibooks.org/w/index.php?title=සැවුල්_අසුන්_පවත්-12&oldid=4114" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි