Jump to content

සැවුල් අසුන් පවත්-13

Wikibooks වෙතින්

සැවුල් අසුන් පවත්-13

[සංස්කරණය]

121. පෙළ:- මමිතුර, ලොවැ නොමඳින් පිරි ගනඳර සිය කිරණින් දුර දමා හිරු උදාගිර පැමිණෙත, ලැගි නිවෙසින් නැහැ, තෙරුවන මෙනේ කෑර, මනෝහර දළදා ගෙට වඩින්.

(මගේ යහළුව, ලොවේ මඳ නොවන්නට - හෙවත් බොහෝ සෙයින් - පිරුණා වූ තද කළුවර තමා ගේ රසින් - දෝ ‍හෝ නොහොත් සිය ගණනින් සදහන් වන රස් සමූහයෙන් - දුරු කොටැ හැරැ හිරු උදය ගිරට පැමිණෙන විටැ, ලැගීම කළ නිවහනින් නැඟී සිටැ තුන් රුවන සිහි කොටැ, සිත් ගන්නා සුලු දළදා ගෙට පැමිණෙන්නැ).

ගනඳර = ගන අදර.

තෙරුවන නම් බුදු, දම්, සඟ යන රුවන් තුනයි.

මනෝහර යනු හොඳ එළු වදනෙක් නො වේ. මනහර යනු යි එහි නියම එළු වහර.


122. 123. පෙළ:- ම මිතුර, මුනිඳා සිරිමුවෙන් වදහළ එක බසින තෙ කෙළ සැට සුවහස් අයු ලදින පැහැදා සුරිඳා පිදු නවමිණි කිරුළෙව් තෙවුන, පබදා, රුවන් කරඬු තුළෙහි වොරඳන -

බඹ සුර නර උරග කිරුළඟ මිණි රසින හැම වර පුදන සිරි පා තඹරින් සොබන මුනිවර වදනඹර තරිඳු මෙන සුලකළ දළදා හිමිහට බැතින නමදු.

(මගේ යහළුව, බුදුන් සිරි මුවෙන් වදාළා වූ එක බසින් තුන්කෙල හැට ලස්සෙට ආයු ලැබීම නිසා පැහැදී සක් දෙව් රජු පිදුවා වූ නවරුවන් වොටුන මෙන් බබළන -

බඹහු යැ, සුරෝ යැ, නරෝ යැ, උරගයෝ යැ යන මුන් වොටුනු ඇගැමිණි රසින් හෙවත් සිළුමිණි කැල්මෙන් සියලු කල්හි පුදන්නා වූ පා පියුමෙන් හොබනා මුනිතුමා ගේ මුව ගබ නැමැති අහස සැරැසූ සඳ වන් දළදා සමිඳු හට බැතියෙන් නැමැඳීම කරව).

බසින = බසින්, ලදින = ලදින්, තෙවුන = තෙවුනා, වොරදඳන = වොරදනා, රසින = රසින්, මෙන = මෙන්, බැතින = බැතින්, පබඳා = පබඳ, පැහැදා = පැහැදී, කිරුළඟ = කිරුළු අග, වදනඹර = වදන අඹර.

ආයු පිරිහී මර ළංවැ හොත් සක් දෙවිඳු හට “ආයුබෝ” යැ යි බුදුන් කළ ආ වැඩීමෙන් තුන් කෙළ සැට ලස්සෙකට ආයු ලැබුණු බව බණ පොත් හි සදහනි.

‘ළං වැ සිටැ මරණෙ‍ට

 	 වැදැහොත් සක් දෙවිඳු	හට

තෙ කෙළ සැට ලස්සෙට ආයු දිනි එක බසින් තිර කොට යැයි බුදුගුණ අලංකාරය ද එ සදහයි.

නවමිණි කිරුළ නම් අලුත් මැණික් වොටුන යැයි ද ගත හැකි. එහෙත් මිණි පැරණි වන දැයෙක් නොවේ යනු සලකත එ අරුතින් වැටෙක් නැති.

මුතු, රතු කැට, වීදුරු, ගෝමේද, දියමන්ති, පබළු, පියුම්රා, මරකත, ඉඳුනිල් යන නවවගේ රුවනින් කරවන ලද කිරුළ නවමිණි කිරුළයි.

      පබද යනු ‘පසිදු’ යන අරුත සේ මැ ‘මහත්’ යන අරුත ද දෙයි.
        බඹ සුර නර උරග පුදන යනු හොඳ එළු නොවේ.
         සතර දළදාවෙකින් සැදුණු සිරිමුවක් එක් දළදා වෙකින් (අහස සඳින් සැරැහුණු          සේ) සැදිණියි කීම හැඩ මඳි.

‘දළදා හිමි හට නමඳු’ යනුදු ‘දළදා හිමි තුමන්’ යැයි යෙදිණි නම් සුදුසු යි.



124. පෙළ:- මිතුර, මුනිඳු දා නදන කැරැ කළ දාගබ ද, විහිදු ගන කුළක් බඳු රුදු ඳුම රදු ද, පසිඳු, උතුම් ලකුණෙන් කළ මුනි රුව ද තුන් සිත පැහැද බැතියෙන් නමඳු.

(යහළුව, බුදුන් ගේ ධාතු නිදන් කොටැ කරන ලද සෑය ද, පැතුරුණාවූ වැසිවලාකුළක් බඳු මහත් වූ බෝ රුක ද, පසිදු වූ සුබ ලකුණු යුතු කොටැ කරන ලද බුදු පිළිමය ද තුන් සිත පහදවා බැතියෙන් නමදින්නැ.)

තුන් සිත නම් සිතේ මුල, මැද, අග යන කොටස් තුන යි.


125. පෙළ:- සුගතිඳු සසුනඹරැ සිසිකර ලෙසින් තෙවුනා, වල් බිජු රකින සෙමෙර කිරළ විලසින් නිතොර සපිරි සිවු පිරිසුදු සිල් රකින, නැණ නැවිනි තෙවළා දම් සයුරෙ තෙර පැමිණි, කව් නළු සඳ ලකර නැණින පිරිසිඳැ දැනැ කවි කැල ගල පිරිසුදු යස හරින සැදු, දිනකර සිරිනි අවිදු අඳුර ඳුරු කළ, අමායුරු සිනිඳු මියුරු පිය තෙපුලැති, මිහිඳු ලකර තෙරහිමි සිරිපා තඹර බැති පෙම් සිත දියුණුකැරැ නමඳු.

(බුදු සසුන නැමැති අහසේ සඳ සෙයින් බබළන්නා වූ ද, වල රක්නා සෙමරාත් බිජු රක්නා කිරළාත් මෙන් නිබදවැ මැ සපිරි පවත්නා සිවු පිරිසුදු සිල් රක්නා වූ ද, නුවණ නැමැති නැවින් තුන්පිටක දහම නැමැති මහ මූදේ එ ගොඩට පැමිණියා වූ ද, කවි, නළු, සඳ, ලකර යන දැය නුවණින් අවසන් කොටැ දැනැගෙනැ කිවියන් සමූහයා ගේ ගල හෙවත් බෙල්ල පිරිසුදුවූ යසස නැමැති මුතු වැළින් සැරැසුවා වූ ද, හිරු සේ වෙමින් අවිද්යාූව නැමැති අඳුර දුරු කළා වූ ද, අමා බඳු සිනිඳු මිහිරි පියකර වදන් ඇති,

මිහිඳු ලකර තෙර හිමි තුමා ගේ සිරිපා පියුම බැති පෙම් සිත දියුණු කැරැ නමඳින්නැ).

දෙල්ගමු වෙහෙරේ එ දවස්හි අදිපති වැ සිටි මිහිඳු ලකර (මහින්දාලංකාර) තෙර හිමියන් ගේ සිරිපා පියුම නමදින්නටයි ඒ කීයේ.


එ හිමි තුමා :-

(1) බුදු සසුන නැමැති අහසේ සද සෙයින් බබළයි (බුදු සසුන අහස නම් මෙ තුමා එ අහසේ දිළෙන හඳ යි).

(2) සෙමෙර මුවා (යැක් නම් මුවා) උගේ වල රක්නා මෙන් ද, කිරළා බිජු රක්නා මෙන් ද, නිබඳ සපිරි ඇති සිවු පිරිසුදු සිල් රකී.

(3) නැවින් මූදේ එ තෙරට පැමිණෙන්නා සේ නැණින් තුන්පිටකය ගෙවා දත්තේ යි (තුන් පිටකය මහ මූද නම් මෙ තුමා ගේ නුවණ එ ඉක්මවන නැව යි).

(4) කව්, නළු, සඳ, ලකර නුවණින් නිමවා දැනැ කිවියන්‍ ගේ බෙල්ල තම යසස නැමැති මුතු වැළින් සැරැසුයේ යි (මෙ තුමා කව්, නළු, සඳ, ලකර නුවණින් ගෙවා දත් හෙයින් කිවියෝ මෙ තුමා ගේ යසස වනති. ඒ ඔවුන් ගේ කිවි බවට ද ලකරෙකි).

(5) ඉර අඳුර දුරු කරන්නා සේ අවිද්යාටව දුරු කෙළේ යි.( අවිද්යාළව අඳුර බඳු යි, මෙ තුමා ඉර බඳුයි).

(6) මෙ තුමා ගේ තෙපුල් අමා මෙන් සිනිඳු යි, මියුරු යි, පියයි.

රකින = රකිනා (රක්නා). නැණින = නැණින්. හරින = හරින්.

සෙමරු නම් තිබ්බතය බද හිමවූ පියෙසේ සිටිනා ‘යක්’ නම් සත්තු යි. සෙමෙර (චාමර) නම් වල් විදුනා මෙ සතුන් ගේ වල් යැ. සෙමෙරා උගේ වලට කොතරම් ආසාද යත හොත් එය කටු පඳුරෙ කැ පටලැවුණු හොත් එයන් කෙන්දක් සි‍ඳෙතියි බියේ නො සැලී සිටිලු.


කිරළුන් අසහ බිදැ වැටී සිය බිජු බිදෙති යි බියෙන් එය රදවන අදහසින් දෙ පය අහසට පා උඩු බැල්මෙන් හෙවැ බිජු රකිතියි කියති.

‘රකින තම බිජු වල්

කිරළ සෙමෙරෙව් හැර කල්

පොහො දවසැ අටසිල්

රකී නිති පිරිසුදු වැ පන්සිල්’ (කුසදා) යැයි මෙකවියා සිල් රැක්ම පිළිබඳ වැ මෙ උපමාව යළිදු පවසයි.

සිවු පිරිසුදු සිල් නම් ප්රාවතිමෝක්ෂ සංවර, ඉන්ද්රී ය සංවර, ආජීව පාරිශුද්ධි, ප්රුත්යලය සංනිශ්රීාත යන සතරයි.

ප්රා තිමෝක්ෂළ සංවරය නම් සික පද නො සිදියැ දී රැකැගැන්මයි. ඉන්ද්රිනය සංවර නම් ඉඳුරන් හසුරුවා ගැන්මයි. ආජීවපාරිශුද්ධිය නිවැරැදි දිවි පෙවෙතයි. ප්රරත්යහසංනිශ්රීරත ශීලය නම් සිවුපසය නිවැරැදි අයුරින් ලැබීමයි.

තෙවළාව නම් සුතක් වළා (සූත්රී පිටක), බිදම්වළා (අභිධර්ම පිටක), වනවළා (විනය පිටක) යන තුනයි.

කව් (කාව්යප) නම් රසවත් පබඳ යි. මේ ලොව පහළ වූයේ ‘වාල්මිකී’ රුසියා ගෙනැ යි දඹදිව් වැසියෝ කියති. එහෙත් සියල්ලේ මුල් තැන බඹු හැටියට සැලැකීමයි සිරිත.

නළු නම් නැටුම් පිළිබඳ ශාස්ත්රනයයි. රැඟුම්, ගැයුම්, වැයුම් යන සියල්ල මෙයට ඇතුළති. නළුව (නාට්යන ශාස්ත්ර ය) භරත මුනිහූ විසින් පහළ කරන ලද බවයි දඹදිවේ පඩියන් කියන්නේ.

සඳ (ඡන්දස්) නම් විරිත් පිළිබඳ මත්, අකුරු, ගණ, නියමයයි. පැදියෙකැ පිය ගණනත් ඒ ඒ පියේ දිග පමණත් ඉන් පැවැසේ. මෙය පිංගල නම් රුසියා විසින් පහළ කරන ලද්දේයි.

ලකර නම් කවි රසවත් වන අයුරු සරසන පරිදි දක්වන ශාස්ත්රගයයි. මෙය නළුයේ මැ අඟක් වැ පැවැතී වැඩුණේයි.

කව් කැලැ ගල සැදූ යන තැනැ ‘කවි’ යනු ‘කිවි’ යි වූව නිවැරැදි වේ. කිවි අරුතැ ‘කවි’ යන්නෙක් නො යෙදේ.

‘කිවි කැල ගලට මුතුහර වන් යස පබඳ’ (සැළ) යන සැළලිහිණි අස්නේ යෙදුම සරි යි.

සසුනඹරැ = සසුන් අඹරැ. සිසිකර = සිසිකර.


126. පෙළ:- සුමන සුරරද මනරම් සුරඹ සමඟින් ගඳ දුම් මල්, පහන් පුදකැරැ නිති වඳින, නරදම් සැරි එ සිරිපාද ලසිනි වොරඳන, පෙර දෙසැ පෙනෙන විහිගුම් සමන්ගිර බල

(සුමන දෙව් රජු, සිත් අලවන්නා වූ දෙව් ලියන් එක් වැ සුවඳ වහන දුම්, මල්, පහන් පුදා නිති වඳින්නා වූ, බුදුන් ගේ පසිදු සිරිපා ලකුණිනි, බබළන නැගෙනහිරි පැත්තෙන් පෙනෙන උස් වූ සමනොළ බලව.

නරදම් සැරි යනු බුදු නට නමෙකි.

‘සුර රද සමන් සමඟින් සුරඟන එ වර

පැහැනද මදාරා පරසතු මල් පතර

කැරැපුද වඳින රැඳි මුනි සිරි පා තඹර

සකිසද පෙනේ සමනොළ ගල නැගෙනහිර’ (සැ.ය.) යන්න සිහිපත් කරවන්නෙකි මේ.

මිහිඳු ලකර තෙරහිමි සිරිපා තඹර නමඳු’ යි පවසා ඉන් ඉක්බිති අන් කළ යුත්තක් නො කියා ‘සමන්ගිර බල’යි පැවැසීම සුදුසු මඳි. හිමි සිරිපා තඹර නැමැඳි ගමන් මැ එ තැනැ සිටැ සමන් ගිර බැලියැ නො හැකි. එ දැතුරට ‘ගමන් කොටැ, ගමනට බැසැ, නැගැ අවුත්’ ඈ විසින් යමක් පැවැසුණා නම් සුදුසු වේ.


127. පෙළ:- ගුණ නදන, බලවල කොකුම් ලිය වෙනෙනෙන රොන, සුනිමල අහස් ගඟ රළැ සීකර ද ගෙනැ හිමවල වැදැ සඳුන් පලු තනවා හමන මඳ නල පහස විඳැ යාගන්.

(ගුණයෙන් සිත් තුටු කරවන තැනැත්ත, මලින් අවුල් වූ හෙවත් මල් ගහන කොකුම් වැල් වනයෙන් එන මල් කුඩු ද, නො කිලිටි අහස් ග‍ඟේ රළින් එන කුඩු පොද ද හැදැගෙනැ හිම වූ වනයට වැඳී සඳුන් සල්වා හමන මඳ සුල‍ඟේ පහස හෙවත් ඇගේ වැඳීම විදැ ගමන් ගන්නැ).

එ කීයේ හිතේ මිසැ මෙ රටේ ඇතිවන පවනෙක් නො වේ. පවනේ ඇති සුවඳ කැවුණු බව, සිසිල් බව, මුදු බව යන තුන් ගුණයට ‘සුරහි’ ගුණය හෙවත් සෞරභ්ය ය’ යැයි කියනු ලැබේ. එ අයුර‍ැ පවන ‘සුරභි’ මාරුත යැයි නො එක් විටැ සදහන් වේ.

මල් අවල හෙවත් මල් අකුල් ගැසී ඇති කොකුම් වෙනෙන් එන මල් රොන් (පරාග) ගෙනැ එන බව කීමෙන් ඒ පවනේ සුවඳ කැවුණු බව පළ වෙයි. අහස් ග‍ඟේ රළින් විදෙන දිය රොන් ගෙනැ එන බව කීමෙන් එහි දැඩි සිසිල් බව පළ වෙයි. හිමවූ වන වැදී සඳුන් පල්ලේ ගැටී ගැටී එන බව කීමෙන් එහි මඳ වෙය, හෙවත් හමන වෙය බාලවී ඇති බව පළ වෙයි. වෙය බාල වීම වූයේ සඳුන් දළුයේ ගැටී නිසා ඒ ගැටීමේදී සිසිල බාල නො වෙයි. සඳුන් දළු සිසිල් ගුණය වහන දැයක් හෙයිනි. ඒ සියල්ල නම් සරි. එහෙත් අහස් ගඟ හෝ හිම වත හෝ මෙහි අසලෙකැ නැති. ‘හිමය’ යනු දැන් වහරේ ‘වනය’ ඇඟැවීමටත් යෙදෙන හෙයින් ඒ දෙල්ගමු පෙදෙසේ වනයෙකැ යි ගත හැකි වූවත් අහස් ගඟ නම් මෙ දිවයිනට අසල් තැනෙකැ නැත්තේ යි.

මලවල = මල් අවල. වෙනෙනෙන = වෙනෙන් එන..


128. පෙළ:- රසග මියඹ පානය කැරැ වෙළෙස් මතු කොවුල් විහග කැලැ, බිඟු දෙන නද නුමුතු පතහ කිරණ නො පහළ තුරුසෙවණ යුතු, තැනින් තැන සැදි, සොඳ උයන් වතු බලග.

(රසින් අග වූ මී අඹ පැණි බී, කරු මත්තේ කොවුල් කුරුල්ලන් සමූහ දෙන නද ත් මී මැස්සන් දෙන නදත් තොර නො වන්නා වූ, ඉරු රස් නො වැටුණු ගස් සෙවණැලි සහිත වූ, තැනින් තැනැ සැරැහි සිටුනා මනා වූ උයන් වතු බලව).

‘රසග මියඹ පානය කැරැ’යි කී විටැ රෙසෙන් අග වූ මී අඹ බී, යන අරුතයි ලැබෙන්නේ. අඹ බුදුනා දැයක් මිසැ බොන දැයෙක් නො වේ. අග මියඹ රස පානය කැරැ’යි ගත හොත් අග්රර වූ මී අඹ රස බී’ යැ යි මදකට ගත හැකි.

‘විහග කොවුල් කැල’ යනු ‘කොවුල් විහග කැල’යි ගන්නා ලද්දේ ‘කොවුල් කුරුලු සමූහයා’ යන අරුත ‍ගනු සඳහායි. ‘විහග’ යෝ නම් කුරුල්ලෝ යි. කුරුලු කැලන් වෙන මැ ත් කොවුලන් වෙන මැත් සදහන් කිරීම විසුළුයි.

කොවුලෝ ද කුරුල්ලෝ වෙති. ‘කොවුල් විහගැ’ යි කීම ද පුරා නිවැරැදි නො වේ. කොවුලනැ යි කී පමණින් කාරිය පිරිමසිනා තැනැ ‘විහග’ බවක් සැඳැහීම වැඩියෙකි.

‘වෙළෙප් මතැ ‍ෙකාවුල් කැල බිඟු දෙන නද’ යනු ද විසුළු යි. කොවුලන් වන්නා ඔහේ මතින් වත් වෙළෙපෙකැ සිටියා යි සිතමු, බිගුවෝ? මී මැස්සන් මල් අගැ මිසැ වෙළෙස් මතැ වසා නො සිටිත්.

‘මුළැ මුවරළ කෙළෙන

වෙළපෙහි මෙනෙර පැලැඹෙන

සුනිල් කොළ ලෙළදෙන

විහිදි අතු අගැ කොවුල් හඬලන’ (ක. සේ) යැයි


සිරි රහල් හිමියෝ කොවුලන් හඬලන තන් නිවැරැදි වැ සදහන් කළහ.


‘මී අඹ රසඹ පානය කරමින් වැහෙන

නිලබ පැහැති පරපුටු කැල තුටුරැවින’ (කු.දා)

යැයි මේ කිවියෝ මැ කොවුලන් මී අඹ පැණි බොන බවක් කියති. ඒ නයින් ‘රසඟ මීයඹ පානය කැරැ’ යන්නේ අදහස නිනයා ගත හැකි වෙයි.

‘පතඟ කිරණ නො පහළ තුරු සෙවන යුතු’ යන්න ‘පතහ කිරණ දුරු කළ තුරු සෙවණැල්ල’ (ගිරා) යනු සිහිපත් කරවයි.


129. පෙළ:- සැවුලිඳු සඳුනි, නොමඳින් සස්වගින් අස් වැදැ තිබෙන, මනා, පැසුණු හැල් කෙත්වලට මන පිනා බසිමින් බඩ සා පමණ දැනැගෙනා ගොදුරු බුදිමින් එ තැනින් සතොසින් වඩින්.

(කුකුළු රජතුමාණෙනි, බොහෝ වූ සස් ජාතීන් ගෙන් අස්වැදී තිබෙන, යහපත් වූ, පැසුණු ඇල් කෙත් වලට සතොසින් බැසැ කුස ගිනි විතරට ‍ෙගාදුරු බිදැ එ තැනින් සතුටු යන්නැ).

නො මඳින් = නො මද. දැනැගෙනා = දැනැගෙනැ. සතොසිනා = සතොසින්.

‘සස් වගන් අස් වැදැ’ යනු ‘සළුවලින් පිළි හැඳ’ යන්න වැනි අසබා පැවැසීමෙකි. නො මද සස්වගින් අස්වැදුණු ඇල් කෙත් යැ යි කීම ඊට ද වැඩියෙන් අසබා යි.


130. පෙළ:- සබද පුල්, රතු උපුල් මල් යුග සවනතැ පැළැඳැ, තුල් තුඟු ගල් කුළු මුදුනතැ නැඟී ඉඳැ ළකල් ඇල් ගෙවී ලියන් පවසන සොඳ ගී අසා ලොල් කැරැ කල් නො යවා යාගන්.

(යහළුව, පිපුණු රතු මානිල් මල් දෙකනේ පැළැඳැ, මහත් වූ උස් වූ ගල් මුදුන් මතු පිටට නැඟී ඉදැගෙනැ, සිත් අදනා, ඇල් කෙත් රක්නා ගෑනුන් කියන හොද ගී අසා අසා කොටැ කල් ගෙවන්නේ නැති වැ ගමන් ගන්නැ).

පැළැඳ = පැළැදැ. ඉඳ = ඉදැ.

මෙ පැදිය ගිරා අස්නෙ ඇති:-

‘දු ටු පටු නළල් තලාය දී ත ලා ය

පු ල් රතු උපුල් මලාය සවනැලාය

ග ල් කුළු මුදුන් වලාය සිටි කලාය

ඇ ල් ගෙවිලියන්බලාය තෝ පලාය’ යන්න සිහිපත් කරවයි.

"https://si.wikibooks.org/w/index.php?title=සැවුල්_අසුන්_පවත්-13&oldid=4115" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි