සැවුල් අසුන් පවත්-14

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

සැවුල් අසුන් පවත්-14[සංස්කරණය]

131. පෙළ:- ගුණ නඳන සකි, හිරුහට මඳක් බිමැ හිය නො මැදි දිළෙන තුරුයටැ, සොබන, සුපිරි සුදු වැලි තලැ මඳක් සැතැ පීයෙහින ඉඳැ තුනු ගිමන දුරු කොටැ කුරුවිට ගහ දොගොඩ බල.

(ගුණයෙන් සිත් තුටු කරවන යහළුව, ඉරට මද වූද අවසරයත් - හෙවත් ඉර අවුව වැටීමට සුළු ඉඩක් වත් - බීමින් නො දී මැ බබළන්නා වූ ගස් සෙවණේ ඇති, හොබනා වූ, ඉතා නිමල වූ සුදුවැලි තලයේ මදක් සැතැපුම් ලබා සුවසේ ඉදැ සිරුරේ ගිම් දුරු කොටැ ගනිමින් කුරුවිට ගඟ දෙගොඩ බලන්නැ).

යට = යටැ. ඳුරු කොට = දුරුකොටැ. යෙහෙන = යෙහෙන්.


132. පෙළ:- දිගු සොඬගින් ඇදැ තුඟු තුරු හෙළානේ, බිඳරැ කමින් සිටි මත ගජ රළානේ දැකැ මහ වළානේ නො ගොසින් කුරුවිට මූකළානේ සිරි සතොසින් නරඹන්.

(දික් වූ සොඬ අගින් ඇදැ උස් ගස් පෙරළා බිදැ ගෙනැ කමින් සිටිනා මත් ඇත් රළන් දැකැ වට මඟැ නො ගොස් කුරුවිට මූකළානේ සැටි සතුටින් බලන්නැ.

සොඬගින් = සොඬ අගින්. හෙළානේ = හෙළා ගෙනැ. බිඳැරැ = බිදැ ඇරැ. රළානේ = රළන්.


133. පෙළ:- මිතුර, තමල් නිල් වරල්, වැළබිඹු රත අදර සුපුල් නිල් උපුල් නෙත්, තිසර තන බර, කොවුල්, කුල් තෙපුල්, සුහුඹුල් රඹ වටොර, ළකල් කල් සෙ දුල් වනගළ බල.

(යහළුව, කොල්ලම් අකුල් නැමැති නිල් වරලින් ද, ඉදුණු කෙම් පල නැමැති රත් තොලින්ද, මනා වැ පිපිණු මානිල් නැමැති ඇසින්ද, හංසයන් නැමැති මහ පියොවුරින්ද, කොවුලන් ගේ නද නැමැති තෙපුලින්ද, සරුවට වැඩුණු කෙසෙල් කඳ නැමැති කලවායෙන් ද යුත් සිත් ඇදගන්නා අඟනක සේ බබළන වන පෙළ බලන්නැ).

වන පියෙස අඟනක සේ කොටැ රූපකයෙන් දැක්වීමයි ඒ කැරුණේ.

වන පියෙස ගෑනියක බඳුයි.

වනය අඟන යි.

වෙනේ කොල්ලම් ගොල්ල අඟන ගේ වරල යි.

   ,,        	ඉඳුණ කෙම් පල	  ,,              රතු තොලයි.
   ,,		සුපුල් මානිල්		  ,,	ඇසුයි.
   ,,		හස්හු			  ,,	මහ තන යි.
   ,,		‍ෙකාවුල් නද		  ,,	තෙපල  යි.
   ,,		සරු කෙසෙල් ගස්	  ,,	කලවා යි.


මේ වැනුම:-

‘තමලු වරලස නිලුපුලන් නෙත් සුරත් බිඹු වැළ ලවනතේ

තඹර වත කොඳ දසන් මදනල සුසුම් තඹපලු ‍ෙකාමළතේ

තිසර පියොවුරු බිඟු වසා රොද කනා රඹ වටොරින් යුතේ

මත කොවුල් සර පිය තෙපුල් ‍ දෙන එ වන දිටි වන් දිගු නෙතේ. (ක. සේ) යි

සිරි රහල් හිමියෝ සපුරා දැක් වූ, එය අලගියවන්න රාලහාමි‍න් සැකෙවි කොටැ මෙහි දැක් වූ බව පෙනේ. එ හෙත් ඒ කැටි කිරීමේ දී මුහුණ නො සදහන් කොට අත් හැරීම බර අඩුවෙකි.

වනයක් හෝ වන උයනක් හෝ ගැහැනියක කොටැ දක්වන්නා සේ මැගැනියක වනයක් හෝ වන උයනක් හෝ කොටැ දැක්වීම ද පෙරැ කිවියෝ කළහ. එ නයින් (කවි සිළුමිණි) කුසදා කරුවෝ පබවත වත උයනක් බදු කොටැ මෙ සේ දක්වති.


‘නෙතින් නිලුපුලන්

මුහුලස්නෙන් තමලු ලිය

පලු සුරතත්ලෙන් පෑ

පියොවුරුනි සක්වාවන්,


වටොරනෙත් සුවන්-

රඹ රතුපුල සරණනින්

ගන නිල් වසානි බිඟු-

වැළ තෙප්ලෙන් කොවුල් සර,


ලවනින් වැළ බිඹු

දසනගින් සැදි සිඳුවර

තුනු තුනු හවුනෙත් මඳ -

නල වැඳැ ලෙළ ලිය විලස්,


වුවනින් පුල් පියුම්

මද සුසුමෙන් සුවඳ නල

සවනත්නෙත් ලිය ඊල්

නළලත්ති මුවරඳ පට,


(ගන සා සැදි ලිය

ගුමැ වැළැහුණු කුස නිරිඳු

නෙත හමු යේ) පබවත්

උයන් සිරි නෙත් බදනා’ (x. 39-42)


134. පෙළ:- නිල් ගල, නිල් කටරොළු මලෙව් පිල් කැල විදනමින තුඟු තුල් ගිරිමුදුනැ රඟන රඟ, යන මෙ තොප බැල්මට යුග ඇස මඳ බැවින් පිල් ඇස් විදා සතොසින නරඹන වැන්නැ.

(මොනරුන් නිල් කටරොළු මල් වැනි පිල් රැස විදහා උස් වූ මහත් වූ කඳු මුදුනේ නටන හැටිය, යන්නා වූ මේ තොප බැලීමට දැස මඳ නිසා සදැස් පිල් විදා සතුටින් බලනවා වැනියි).

මොනරුන් පිල් විදා නටන විටැ ඔවුන් ගේ පිල් අගැ ඇති සඳැස් පෙනේ. එයින් ඇ‍ඟෙන්නේ මෙ කුකුළාගේ රූ සිරිසර සපුරා බලනට දෑස මද නිසා සඳැස් විදා එයින් සිත පුරා බැලීම කරනවා වෙන්නට ඇති යන්න යි.

විදන ලද මොනර පිල් නිල් ක‍ටරොළු මල් සැටි යි ගිරා අසුන් කරුවෝ ද:-

‘තුරු යට සුපිපි නිල් ක‍ටරොළු මල් කැලය

පැටිකොට විදා  දිගුනිල් ඇස්පිල් 	 කැලය’  යනුයෙන් කීහ.

මලෙව් = මල් එව්, විදහමින = විදහමින්, මුදුන = මුදුනැ, බැවින = බැවින්, සතොසින = සතොසින්.


135. පෙළ:- මරකත මිණි සදිසි පැහැයුත්, තඹ රත ගිරා පෙළ දෙළුම් පළනෙන් වගළ බිජු රැස් ගන කල් නො මැ පත වූව ද මිහි පිටැ වතළ, පැහැපත රනිඳු ගොවු සිරි ගෙනැර පළ කළ.

(මරා මිණි හෙවත් පච්ච මැණික් ගල් සම පැහැ ඇති, හොට රත් ගිරා රෑන දෙළුම් පල පළන හෙයින් වැගුරුණා වූ බිජු හෙවත් ඇට සමූහය - වැසි අවදිය පත් නුවූයේ මැ වූව ද පොළෝ තලයේ වැතුරුණු පැහැපත් හෙවත් පාට වැටුණු රත් ඉඳු ගොවුවන් ගේ හැටි ගෙනැ ඇරැ දැක්වි).


ගිරවුන් විසින් පළවු ලබන දෙළුම් පලවලින් බීමට වැටෙන (දෙළුම්) ඇටි සමූහය බිම ඉහිරී පවත්නා විටැ රනිඳු ගොවුවන් නැගුණා සේ පෙනේලු. රතිඳු ගොවුවන් ගේ නැගීම වන්නේ වැසි අවදියට යි. මේ වැසි අවදිය නො වේ. එ වුවත් රනිඳු ගොවුවන් මෙන් දෙළුම් ඇටි බිමැ ඉහිරී පෙනෙන හෙයින් වැසි කල් ආ සෙයක් සිතෙනට බැරි නැති.

උපමාව විසිතුරු රඟට මැවුණා නම් කියැවියැ යුතු වූයේ, වැසි කලැයි සැක උපදනා බව යි. ගිරවුන් සදහනත් ඔවුන් ගේ රුව වැනීමත් උපමායෙන් බැහැරැ වී සිටියි. එයින් පෙනෙන්නේ මැදුරක් ඉදිකිරීමට ඇවැසි දැය තැනැ තැනැ ගොඩ ගසා කණුවක් දෙකක් සිටුවා තුබූ සේ උපමාව මවන්නට සැරැසී එය අඩාළ වැ පවත්නට හළ බවයි.

‘බාණ’ නම් බමුණු ඇදුරා ගේ ‘කාදම්බරී’ නම් පබද කියවා ඇති සිරි රහල් හිමියෝ :-


‘විලිකුන් දෙළුම් පළ

පළමින් තුඩින් පැහැදුළ

කෙළිනෙන් ගිරා පෙළ

දැඟුම් දෙව්දුනු සිරින් සුලකළ’ (ක. සේ. 12.4.) යැයි ගිරවුන් ගේ දෙළුම් පැළීම සදහන් කළහ.


136. පෙළ:- මිතුර ලමහ, සබර, කිණිහිරි, කිහිරි, මා නුග, වෙලහ, ඩෙබර, පර, සොර, තුවර, බුනුග, පෙතහ, ප‍ඬෙර, කළු හර, තරණ, රෑ රහ, මහ තුරු වග මහ දෙ පසැ සිතහ මහ.

සිතහ මහ = සිතේ හැටියට බලන්නැ. ලමහ (කුරුඳු). වෙලහ (වෙලං). පෙතහ (පෙතං).


137. පෙළ:- කලබයුත් (වැසි කළුවක් බඳු) එ වන ගැබ, පලලඹ (ගෙඩි එල්ලෙන) ඇටඹ, පතඹ, මී අඹ දොඹ, ගිරා අඹ, සැළඹ, කොළොඹ, බට දොඹ, ගිවුළු, මා දඹ, කරඹ, කිරඹ, ඇට රඹ, නිඹ, පේර දඹ නරඹ, (බලව).

ගැබ = ගැබැ (ඇතුළේ). ඇට රඹ = (ඇටි කෙසෙල්). නිඹ (කොහොඹ).


138. පෙළ:- තඹ සිළ, මිණි මුතු මල් පබළු යුතු සල් පිල් දොරළ මහ විදි තුරු, දද, ලිය, තුරුරැව් වතළ, සිදුවර, වරණ, මිහිපා, රදලිය ලකළ වන (මිණි මුතු, මල් පබළු යුතු දොරළ සල් පිල්, මහ වීදි තුරු දද, ලිය, තුරු රැව් වතළ, සිඳුවර, වරණ, මිහිපා, ලකළ රද ලිය) පුරවර සිරිසර නරඹ.

(කුකුළ, පිපුණු මල් කැන් සහිත සල්, මොර, දොරළ ආදී- මහත් වැ විහිදුණා වූ ගස් ඇති, කුරුල්ලන්, වැල්, ගස් මැදෙන රාවය වැතිරැ ඇති, නික, වරණ, යන ගස් ඇති, මී මැස්සන් සහිත, රදලිය වලින් සැදී වනය නැමැති මැණික්, මුතු, මල්, පබළු ඇති දොරවල් ඇරැ පවත්නා අවන්හල් මහ වීදි අතුරේ පවත්නා, කොඩි ඇති, අඟනුන් සරන, තූර්ය රාවය පැතිරි, අසුන්, ඇතුන්, සරන, රජු සහිත, රජ ළඳුන් ගෙන් සැදි උතුම් පුරයේ සැපතින් සරු බව බල ව.)

ඉතා නිසරු සෙලෙස් උවමෙකි. පුරයෙකැ ඇති දැය සදහා ද යෙදියැ හැකි නම් ඇති වනයේ යම් යම් දැයේ නම් යෙදුවා මිසැ ‍වැකියේ ගැළැපීමක් බැලූ බවෙක් නො පෙනේ. එහෙයින් ‘සල්, පිල්, දොරළ’ යන ගස් නම් සදහන් කොටැ ඉන් ඉක්බිති අනෙක් අනෙක් දැය ද සදහන් කරන ගමන් ආයේ ආයේ ද ‘සිඳුවර, වරණ’ යන ගස් නම් සදහන් කොටැ ඇති.

වන, පුර යන දෙපයේ දී ඒ ඒ වදන්හි අරුත් ගන්නට සිදු වන්නේ මෙ සැටියෙනි:-

(වන) මිණිමුතු මල් පබළු යුතු සල්, පිල්, දොරළ මහ තුරු විදි (පුල් මල් කැන් යුත් හල්, මොර, දොරළ යන මහ ගස් පැතිරී ඇති).

(පුර) මහ වීදි, තුරු, දොර’ළ මිණි, මුතු, මල්, පබළු සල් පිල් යුතු (මහ වීදි අතුරේ දොර කඩැ ඇරැ ඇත්තා වූ මැණික්, මුතු, මල්, පබළු සල් පිල් ඇති)

සල් පිල් නම් වෙණෙද බඩු තිබා ඇති උස් වේදිකා හෙවත් පිල් කඳු යි.

(වන) දද, ලිය, තුරුරැව් වතළ (කුරුල්ලන් ඇති, වැල් ඇති, ගස් මැදෙන හඬ පැතිරැ පවත්නා).

(පුර) දද, ලිය, තුරු රැව් වතළ (කොඩි ඇති, ගෑනුන් සරන, තුරු ගොස පැතිරි)

(වන) සිඳුවර, වරණ, මිහිපා, රදලිය ලකළ (නික,වරණ, මී මැසි සමූහයා, රදලිය යන අය ගෙන් සැදි)

(පුර) සිඳුවර, වරණ, මිහිපා, රදලිය ලකළ (අස්, ඇත්, රජ, රජඟන යන මොවුන් ගෙන් සැදුණු).

තඹවන් සිළක් (කරමලක්) ඇත්තේ නු යි තඹසිළු යනු කුකුළාට නමෙකි.


139. පෙළ:- සිහිල්, සොඳුරු: ගං, හෝ, ඇළ, කඳුරු පැන, ගඟුල් හැලි සෙමෙර නල විඳැ ගිමන දැහැ, විසල් ගල් තලා සිහසනහි විපුල් රජ සිරින් හිඳි මින ගොස් එ වන ගෙවමින් -

(සිසිල් වූ, නෙත් සිත් පිනවන ගං හෝ ඇළ කඳුරු පනිමින්, ගඟුල් හැලි නැමැති වල් විදුනා පවන් විදැ ගිමන් නිවමින්, මහත් වූ ගල් තලා නැමැති සිහසුන්හි මහරජු සෙයින් හිඳැ හිඳැ යාමෙන් එ වනය ගෙවා-)

ගඟුල් හැලි නම් ගංගා පටන් ගන්නා සරියේ ඇදැ හැළෙන දිය දහරයි. ‘උල’ යනු මුල් දිය සීරාවට නමෙකි. ගඟක උපත සිදුවන දිය දහර ගං උලයි. එය ගලෙකින් ගොඩැල්ලෙකින් ඇදැ හැළෙන විටැ ඇල්ලයි. එහි පෙනීම සෙමෙරෙකැ පෙනීම බඳුයි. එ අසරින් හමා බස්නා පවන සිසිල් වේ.

	පැන  = පැනැ.   හිඳිමින  =  හිඳිමින්.   ගෙවමින  =  ගෙවමින්

ගඟුල් = ගඟ උල්. සිහසනහි = සිහ අසනහි


140. පෙළ:- යහදසන, රිවි රස් මැඩැදිසි ගනඳුරු යුතු, සොබන, තුඟු ගස් උඩ පැනැ යන සාමුවන දැකැ ‍ෙතාස් වඩමින් සැතැපී ඉඳැ යෙහෙන කොස් ගොඩ පසු කරමින් යව.

(දක්නට සුබ තැනැත්ත, ඉරු රස් යට පත් කොටැ පෙනුණු අඳර වැනිවූ, හොබනා, උස් ගස් මතු පිටින් පැනැ පැනැ යන වඳුරන් දක්මින්, ගමන් නිවනු වට ඉඳැ සුව සේ කොස්ගොඩ පසු කරමින් යන්නැ).

සාමුවන = සාමුවන්. යෙහෙන = යෙහෙන්

"https://si.wikibooks.org/w/index.php?title=සැවුල්_අසුන්_පවත්-14&oldid=4116" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි