සැවුල් අසුන් පවත්-15
සැවුල් අසුන් පවත්-15
[සංස්කරණය]141. පෙළ:- සැවුල, අනුදත්තේ සිලිලෙව් සුනිමල පැහැති දිය මත්තේ ඇළ පෑ පෑ ඉපිලිපිල එක රොත්තේ එන තුමුල මින් කැලැ දැකැ බෙලි අතේ වළ පසු කැරැ යව.
(කුකුළ, අනෝතත්ත විලේ දිය මෙන් ඉතා පිරිසුදු පැහැ ඇති දිය මතු පිටැ ඇළ පතේ පැහැය පෙනෙන සේ ඉල්පි ඉල්පී එක වැළට එන මසුන් මහත් සමූහය බලා බෙලිඅත්තේ වළ පසු කොටැ යන්නැ).
සිලිලෙව් = සිලිල් එව්. ඉපිලිපිල = ඉපිලැ ඉපිලැ.
142. පෙළ:- මඟ දෙපසැ දිලෙනා තුඟු තුල් ගිරි මත්ත මොනර ගණ පිල් සැත්ත විදහා රඟනා පිපි කුසුමෙන් යුත්ත සපුනා තුරු පෙළැති බමුණාවත්ත පෙරමඟැ දකිනා මැනැවි.
(පාර දෙපැත්තේ බබළන උස් වූ මහත් වූ කඳු පිටැ මොනර සමූහයා පිල් වල්ල දිගඇරැ නටන, පිපුණු මල් සහිත සපු ගස් නා ගස් පේළි ඇති බමුණා වත්ත ඉදිරි මඟැ හෙවත් මඟ ඉදිරියේ දැකැ යන්නැ).
ගිරිමත්ත = ගිරි මත්තේ. දිලෙනා = දිළෙන. රහනා = රඟන. පෙළැති = පෙළ ඇති. දකිනා = දකිනු.
143. පෙළ:- ම මිතුර, දිගුතර නිල් වරලැ කුසුම් කඩ ගවසා, කුසුම්කඩ යුද ජය ෙගනැ දිය තුර පසිඳු තුනු සිර ලියන් සරඹ මන් මැඩ රඳනා ගණේරගොඩ පසුකරමින් වඩිත්.
(මා යහළුව, ඉතා දික් වූ නිල් වරලේ මල් කැටි ගවසා ගෙනැ, මද යුද දිනා ලොවේ පසිඳු වූ, තුනු සිරින් යුතු ගෑනුන් දෙව් ලියන් ගේ අබිමන යට පත් කොටැ සිටිනා ගණේ ගොඩ පසු කොටැ යන්නැ).
කුසුම් කඩ (1. මල් කැටි. 2. අනංගයා). තුනුසිර = තුනසිරි. රඳනා = රඳන. සුරඹ = සුර අඹ.
සුරඹන් ගේ මානය නම් ‘අපි රූමත් හූ වමු’යි යන දැපීම යි.
144. පෙළ:- මිතුර, පවර, අමරපුර සරවන් රුසිරු සර, සමර සමර දිනු වරඟන නිතොර රැඳි, පැතිර ඉතිර පිරිතිර සිරිනි නොවිතර, පතර සපරගමු පුරවර වඳු.
(යහළුව. උතුම් වූ, දෙව් ලියන් බඳු රූ සැපතින් සරුවූ, මද යුද දිනූ වැදගත් ගෑනුන් ෙතාරක් නැති වැ රැඳී සිටිනාවූ ද, පැතිරී, ඉතිරී, පිරී ඉතිරී යන සැපතින් පමණ නො කළ හැකි, මහත් වූ, සපරගමු පුරවරයට ඇතුළු වන්නැ).
අ ම ර පුරසර (දෙව් පුරේ ලියන්). සමර සමර (මඳ යුද). පැතිර = පැතිරැ. ඉතිර = ඉතිරැ.
මීට පළවූ ගණේ ගොඩ ගෑනුන් ගේ අගය කියන ලද්දේ ඔවුන් මද (කුසුම් කඩ) යුද දිනා දෙව්ලියන් ගේ මැන් මැඩ සිටිනා බව පැවැසීමෙනි. දැන් මෙ සපරගමු
පුරේ ලියන් ද මද යුද (සමර සමර) දිනා සුර ළඳුන් සේ සිටිනා බවයි උන් වැනීමේදී ද පැවැසෙන්නේ. ඒ මහ මැ දුඹුල් කමෙකි.
145. පෙළ:- මෙ පුරවරැ රඟන රුසිරු නළඟන විදු කිඳු ලෙළෙන, වයන නොයෙක් තුරු ගුම් ගැඹුරු ගුම් දෙන, දිලෙන ඉඳුනිල් විමන් ගන ගෙ මියුරු කැලන් මන නිතින සතුටු කෙළෙ.
(මෙ පුරවරේ නටන්නාවූ රූ සිරින් යුතු අඟනුන් නැමැති විඳිලි කෙඳි ලෙළෙන්නාවූ, වයනු ලබන නොයෙක් තුරු වලැ ගොස නැමැති මේ ගිඟුම් දෙන්නාවූ බබළන ඉඳුනිල් මිණි විමන් නැමැති වැසිවලා හීලෑ මොනර සමූහයන් ගේ සිත ඇම විටැ සතුටට පත් කෙළේයි).
මෙ පුරේ විමන් ඉඳු නිල් මිණෙන් බඳනා ලද්දේ දුරට මේ කුළු (වැහි කළු) සෙයින් දිස් වේ. ඒ විමන් තුළැ රූමත් නිළියෝ නටති. එ විට ඔවුන් ගේ සිරුරු පෙනෙන්නේ මේ කුළේ විදුලිය වැල් ලෙළෙන සේ යි. උන්හට නැටීමට එහි බෙර ඈ තුරු වයනු ලැබේ. ඒවායින් නික්මෙන හඬ වැසි ගිඟුම සේ ඇසේ. ගෙවලැ ඇති වන මොනරුන් එයින් රැවැටී වැසි එ තියි තුටු වෙති.
බැලූ බැල්මට අහසේ ගැටෙන මහ මේ කුළු පෙනේ නම්, එ තුළැ විදුලිය වැල් ලෙළෙනු පෙනේ නම්, මහ වැහි ගොස එ තුළින් නික්මෙනු ඇසේ නම් ඉතින් වැසි එතියි නො සිතා කුමක් සිතන්නටද? වැස්ස මොනරුනට ඉතා පියයි.
‘වහරේ කලෑ මොනර
තුටු වන මෙන් කෙකා කැර’ (ක. සේ) යි කීයේ එ හෙයිනි.
සපරගමුයේ ඉඳුනිල්මිණි විමන් නුවූ බව නම් ඇත්ත මැ යි. එ හෙයින් මේ නිකම් සිරිතට කළ වැනුමෙකි.
‘කෙළෙ තුටු මතඟන
ඔත රඟ විදු වැද ගැජුම්
ගෙනෙ ඉඳුනිල් මිණි විමන්
විමන් සිකි කැන් එ පුරේ’ (ක. සි,i. 16) යන්න යි මේ කීයේ.
නිතින = නිතින්. නළඟන = නළ අඟන.
146. පෙළ:- ගතිනා කනා ලිය, රතදරිනි නාලිය, තෙනෙනා රනා හස, ගමනින් එ නාලිය, නිතිනා දිනා එහි සරනා මනා ලිය නතනා විනා කවරෙක් වනා ලිය වති.
(ගතින් රන් වැල් බඳු වූ, රත් පෑ තොලින් නා දළු වැනිවූ, තනවලින් රන් හසුන් වැනි වූ, ගමනින් ඇතිනයන් බඳුවූ, එ පුරයේ ඇමදා සරන මනා වූ ගෑනුන් අනත් නම් නයා හැරැ කවරෙක් නම් වනාලීමේ සමත් ද?)
ඒ පුරයේ ගෑනු මනා (යහපත්) වූ වෝයි; උන් ගේ සිරුරු රන් වැල් බඳුයි. රත් පෑ තොල් නාදළු බඳුයි; තන රන් හසුන් බඳුයි, උන් ගේ ගමන ඇතිනියන් ගේ ගමන් බඳුයි (එ සේ වූ) ඔවුන් වැනීමට අනත් නම් (මුව දාහක් ඇති) නා රජු මිසැ අන් කවරෙක් සමත් ද?
එළියේ විහිළු පුරා පෙන්වන පැදියෙකි මේ.
ගතිනා = ගතින්. නෙතිනා = නෙතින්. නිතිනා = නිති. දිනා = දිනැ. එ නාලිය යන තැනැ ‘එ’ යනු එ හැම පිටින් විරිත රක්නා පිණිසැ යොදන ලද්දේයි.
නාදළු සඳහා ‘නාලිය’ යනු යෙදීම මෙ කවියන් හට මැ ඇරුණෙකි.
‘රතදරිනි නාලිය
ගමනින් සදිසි නාලිය
එ පුරෙහි මනාලිය
කවුරු නම් හැකි වෙති මනාලිය’ (කු: ස. දහම් යනු මේ කිවියන් අතින් ඇමැ තැනැදී සදහන් වන්නෙකි.
147. පෙළ:- එනුවර පුරසර මඳහස පනැදැ, මනරා තෙපුල සන් පියොවුරු ගල වසා පතර පස යොදමින් බැම සැව් නෙතු සරින් සලෙළු මුව සර විදැ වනසරන් මෙන් සරති.
(එ නුවරේ පුරඟනෝ මඳ සිනාව නැමැති මන්ද ඇදා සිත් අලවන තෙපුල නැමැති රැව් සන කොටැ පියොවුරු නැමැති මහ ගල මුවායේ මහත මල පුඩුව යොදා බැම නැමැති දුන්නෙහි යෙදූ නෙත් නැමැති ඊයෙන් සලෙළුවන් නැමැති මුව පොල්ලන් විදැ වැද්දන් සෙයින් සරති).
(කිසි පිට පතෙක් හි මේ පැදිය නැති).
පනැදැ = පනඇදැ.
පන, පස, යන, දෙක මැ දෙන්නේ එක් අරුතයි. පැරැණි කිවියෝ ‘පස’ යන්න මැ ගත්හ.
අඟනන් ගේ මද හස ‘පන’ සේ දැක්වීම මෙ කිවියනට ඉතා හුරු යි.
‘මෙ පුරඟනන් ගෙ දුල
දැවැටී නෙත් කැලුම් දැල
මදහස පන පැකිල
සිටිති යා නො වැ සලෙළු මුව කැල’ (දහම්.)
යනු ද මොවුන් ගේ මැ යෙදුමෙකි. ඒ:-
‘න ල ලෙළ රන් ලිය වන් සුරඟන නිමල
දු ල මුව ගැබ පිරි මදහස පන පැකිල
ෙලා ල වඩමින් නිති දැවැටී නුවන් දැල
බ ල සකි සඳ සිටිනා සලෙළු මුව කැල’ (කොවුල්) යන්න මැයි.
එ පු ර ලිය සරල් දිගු නිල් වරල් වලේ
ත ඹ ර වුවන් මද හස පනැදැ මන කලේ
ස ම ර සබර සලෙළුන් සිත් මියුල් කැලේ
නොහැර විදැ ඇවිදි සර පසිනි ඇම කලේ’ (පරෙවි.)
යැයි සිරි රහල් හිමියෝ සකු කිවියන් අනුසරින දක්වති)
වැද්දෝ මුවනට මල පුඬු අටවා ඔවුන් ගේ සිත් ඇදෙන රැව් කොටැ මුවන් බැඳැ ගනිති. ගල් අතරේ මල යොදා මුවන් අල්ලා ගනිති. දුනු හී ගෙනැ ගොස් මුවන් විදැ මරා ගනිති. මෙ පුරැ අඟනන්ද එ සෙයින් මද සිනා යෙන්, පිය තෙපළින්, පියොවුරු මුවායෙන්, වහස් බැල් මෙන් සලෙළුන් බැද ගන්නා බව යි කීයේ.
‘විදුනා දුතුමුවන්
හිද බිදැ පියොවුරු ගල සැ
පුරඟනන් බැම සැවුහි
ලා මද දිගු නුවන් හි’ (ක. සි. iii. 19) යන්න වියවුල් කිරීමෙකි මේ.
148. පෙළ:- දිවසරන් මෙන් සොබන මනනද රුවැති දෙ පසැ සිටින වරඟන නෙත් කැලුම් කද වේ මැදෙති යන සලෙළුන් ගෙ ලොබ බැඳැ අඳින සුනිල් දිගු රැහැනෙක විලස් ලද.
(දෙව් ලියන් මෙන් හොබනා, සිත් තුටු කරවන රූ ඇති - පාර දෙපැත්තේ සිටිනා. අනුන් විසී කරන ගෑනුන් ගේ ඇසින් නික්මෙන කැලුම් රැස විදිය මැදින් යන එන සලෙළ දනන් ගේ ආසාව බැදැ අඳිනා ඉතා නිල් පැහැති දික් ලණු හා එක් හැටි ගත්තේ යි.)
වරඟනෝ විදිය දෙ පසැ සිටැ බැලුම් හෙළති. ඒ බැල්මට හසු වෙනි විදියේ එහා මෙහා යන එන සලෙළදනෝ. ඔවුන් ගේ ආසාව මොවුන් කරා ඇදී එයි ලණුවෙකින් බැඳී ඇරදන සේ. විදියට බැලුම් හෙළන ඒ වරඟනන් ගේ නෙත් කැන් පෙනෙන්නේ මඟැ යන එන සලෙළන් ගේ ලොබ බැඳ අදනා පිණිසැ ලන ලද නිල් පැහැති දික් යොත් මෙනි. ඇස් ගැහීම යොත් දැමීමක් බඳු කොටැ බොහෝ කිවියෝ කීහ.
‘ලෙවන් බැලුම් කිඳු දිගු නිල් යොත් ලූවද
නුවන් යුවළ මින් යුවළෙකි එහි නොබද’ (ම : ස) යැයි මයුර සන්දේශකාරයෝ ද බැල් ම දික් නිල් යොතක් කොටැ පෑහ.
‘වරඟන’ යනු සිය බසෙහි ලා සකුයෙහි ‘වරාංගනා’ යන උතුම් අඟන සදහනැ ද ‘වාරාංගනා’ යන වෙසඟන සදහනට ද එක් සේ යෙදේ. උතුම් අඟනෝ කුමට මඟැ යන්නවුන් එන්නවුන් ඇසින් අදිති ද?
149. පෙළ:- සබඳ, අදර, කර, සරණ නවදළ, දසන් කොඳ, වදන තඹර, ගමන කලහස, රනබරණ දර, මනනඳ, පවර, අමරසර බඳ, නගරවර සරන වරඟන බල.
(යහළුව, තොල්, අත්, පා අලුත් දළු බඳු වූ, දත් කොඳ කැකුළු බඳු වූ, මූණ නෙළුම්මල වැනි වූ, ගමන රන හසුන් ගේ ගමන බඳු වූ, රන්අබරණ පැළැඳි, සිතට තොස දෙන, උතුම්, දෙව්ලියන් බඳු, පුරවරයේ ඇවිදුනා උතුම් අඟනුන් බලන්නැ).
ඉතා පළ උවම් රැසෙකි ඒ.
150. පෙළ:- තෙදියත පසිඳු, මනකල්, සමන් සුරිඳු ගෙ තුනු නිල් කැලුම් දස දිගත පතළා සේ, සුර කල් බඳුන් නෙත් කැන් කිඳු වන් අනත ඉඳුනිල් මිණි තොරණ රස් දිගත පැතිරෙයි.
(තුන් ලොවේ පළ වූ සමන් දෙව් රජු ගේ සිරුරේ නිල් පැහැ කැල්මන් දස අත්හි පැතුරුණා සේ, දෙව් ලියන් ගේ ඇස්හි කැලුම් කෙඳි වැනි - පමණක් නැති ඉඳුනිල් මැණික් තොරණ රස් දිසා අවසනට පැතිරේ).
මෙ පුරේ මෙ පමණැයි ගණන් නැති ඉඳුනිල් මිණි තොරණ ඇති. එ තොරණවලැ ඉඳු නිල් මිණි කෙරෙන් රස් කිඳු පැතිරේ. ඒ ඉඳු නිල් මිණි දෙව් ලියන්ගේ නෙත් බඳුයි. එයින් නික්මෙන රස් කිඳු දෙව් ලියන් ගේ
නෙතින් නික්මෙන කැලුම් කිඳු බඳුයි. එ රස් කිඳු සියල්ල පැතිරෙත් මැ පෙනෙන්නේ සුමන දෙව් රජු ගේ සිරුරේ නිල් පැහැ කාන්තිය දස දික් කෙළවර තෙක් පැතිරී සේ යි.
දිගත = දිගු අතැ