සැවුල් අසුන් පවත්-16
සැවුල් අසුන් පවත්-16
[සංස්කරණය]151. පෙළ:- යදි යදිනට දනා දෙවන දනා රඳනා, දනාදිපපුරෙව් දිසි මෙ පුරැ නනා සිරි, නනා, සවත, සිවුවත, සරසවිය, විනා, විනා කවර කිවියර ඇති විලස වනා?
(ඉල්ලන්නාවූ හෙවත් ලබන රිසි ඇත්තා වූ යදියනට දත දෙවන දනන් රඳන, කුවෙර පුර මෙන් පෙනෙන මෙ පුරේ නො එක් සැපත්, අනත් නා රජ යැ, කඳ කුමරා යැ, මහ බඹා යැ, සරසවි යැ, ගණ දෙවි යැ, යන අය මිසැ කවර නම් කිවියා ඇති හැටියට හෙවත් ඇත්තේ විලසින් වනයි ද?)
ඉතා අසරණ සදහට යමක බැඳුමෙකි.
දනා = දන. දනා දිප = දන අදිප (දනයට අදිපති, එනම් කුවෙරයා) නනා = නා නා (නා රජ, එනම් අනත් නා රජ) න නා = (නො එක් නො එක්. විනා = (1. ගණ දෙව් 2. හැරැ)
152. පෙළ:- සකිසඳ, ලකතන සමන් ගිරි සිරසින් ගොතා හළ, මලගිය මලින් සැදි වරලස මෙන් උදුළ, එ නුවර මැදින් හුණු, පෙණ විසුළ කළු ගඟ, ගොසින් ත මන දොළ පුරා බල.
(මිතුරුතුමාණෙනි, ලක් දිව නැමැති ගෑනිය සමනොළ ගල නැමැති සිරසින් - පාතට - ගොතා හැරියා වූ, ඉද්ද මලින් සරසන ලද කෙස් වැටිය මෙන් බැබැළි, පෙණ විසිරී පවත්නා, එ නුවර මැදින් වැටී ඇති, කළු ගඟ ගොස් තගේ සිතේ ආසාව පිරෙන පරිද්දෙන් බලන්නැ).
‘ලක කොමළඟ සමනොළ ගිරි හිසින් ගොතා
හළ ම න හ ර මලිගිය මල් දමින් යුතා
ව ර ල ස ර ඟ පෙණ වැළ හැලි සියෙන් ඉතා
දි ළි එ ග ඟ ළඟ වැදැ හරු ගිමන් ගතා යැයි ගිරා අසුන් කරුවෝ ද මේ මැ කීහ.
‘දු ළ මිණි සැදි සිරි ලකඟන ලකළ
ලෙළ පෙණ වැළ මලිගිය මල් බර මුහළ’ යැයි කොවුල් අසුන් කරුවෝ ගිං ගඟ සදහා කියති.
153. පෙළ:- ලකළ එ ගහවර, වතළ තරඟ බැම, දියරොනලුයෙන්යුති, නැබළා සළා නැබ, නිල් සෙවෙල වරලැති, වෙරළ පුලිනතල හර සහ නිති රඳන උමඟයන සිරිගති.
(සැදී ඇති එ උතුම් ගඟ, පැතුරුණාවූ රළ නැමැති බැමින් ද, දිය රොන් හෙවත් සීකර නැමැති පැහැයෙන් ද යුත්, මහත් වූ සුළී නැමැති නැබත් නිල් සෙවෙල නැමැති වරලත් ඇති, වෙරළ බඩ හෙවත් ඇළයේ වැලි තලය නැමැති මෙහෙසුරු හා නිබඳ වැ රදන්නා වූ උමා ළඳ ගේ සැටිය ගත්තේ යි).
සැදී ඇති එ ගඟ මෙහෙසුරු හා නිබැඳී පවත්නා උමාව ගේ සැටි ගත්තේ වෙයි.
ගඟ උමාව යි.
ගඟේ තරඟ (රළ) උමාව ගේ බැම යි.
,, සීකර ,, කැල්ම යි.
., මහ සුළී ,, (ගැඹර) නැබයි.
,, සෙවෙල ,, වරල යි.
,, ඉවුරස වැලිතලය ,, මෙහෙසුරා යි.
රොනලුයෙන් = රොන් අලුයෙන්
154. පෙළ:- හිමවතිනා සුවඳ මල් මුවරඳ ගෙනැ මඳ මඳිනා එන නල පහස විඳැ විඳැ, තුනු ගිමනා දැහැ, සැනැසී, සිතු පැහැද ගහස මනා මල් පුල් තුරු සිරෙකැ ඉඳ -
(වන පියෙසින් සුවඳ මල් රොන් ගෙනැ මඳින් මද හමන පවන් පහස් විඳිමින් සිරුරේ ගිමන නිවා, සැනැහී සිත පහන් කොට ගෙනැ ගඟ අයිනේ මල් පිපුණු හොද ගසක් මුදුනේ හිදැ -)
ගහසැ = ගඟ අයිනේ
මෙහි ‘හිමවත’ යන්නෙන් අදහස් කරන ලද්දේ හිමවූ පියස නොවැ වන පියෙසයි. මෙ රටේ ගම් වහරේ වනයට ‘හිමේ’ යනු එයි.
‘හි ම න නිවන සිසිලස තරඟ රොන් වැද
බ ම න බමර රැවු සහ මල් සුවඳ හැද
හ ම න සිනිදු මදනල පහස විද විද
ත ම න ලෙසින් විසිතුරු තුරු සිරෙකැ ඉද’ යන ගිරා ඇසුන් පැදිය මෙයින් සිහිපත් කැරැවේ. එ ද කළු ගඟේ දියකෙළි වැනුමකට පෙරාතු වැ යොදන ලද්දේ වෙයි.
155. පෙළ:- නිල් වරලස මල් අවුල් කැරැ බඳිමින්, මැදැ දෙස වසමින් රතු නිල් වසන් ඇඳ, සිහිල් ඇල් ගඟැ පැනැ රන විදුලිය ලෙසැ දිය කෙළිනා මියුලැස ලොල් කැරැ බල.
නිල් කෙස් වැටිය මල් ගවසා බැදැ,- සිරුරේ මැදි පෙදෙස වැසෙන පරිදි රත් නිල් රෙදි ඇඳැගෙනැ, ඉතා සිහිල් වූ ගඟට පැනැ රන් වැල්, විදුලි වැල් මෙන් පෙනෙමින් දිය කෙළිනා වූ ගෑනුන් සිතේ ආසාව ඇතිවැ බලව).
මලවුල් = මල් අවුල්.
156. පෙළ:- පුරවරඟන දිය කෙළියට වන් සඳ රන් හස ගඟ හැර ගිය රඟ කෙලෙසින; උන් පියොවුරු සරි නොවැ. තද විළියෙන මතු දිනවන මෙන රන්ගබ සෙවූ වැනි.
(පුරවරයේ ගෑනුන් දිය කෙළියට පැමිණි විටැ - එහි සිටි - රන් හසුන් ගඟ හැරැ ගිය හැටි කෙසේ ද - කියනවා නම් - එ ගෑනුන් ගේ පියොවුරුවලට අසම වීම නිසා ලජ්ජායෙන් මතු දවසෙකැ ඔවුන් දිනවල සේ ඇයැදැ මහ බඹුට සේවය පිණිසැ ගියා වැනි යි).
පුරේ ලියන් ගඟැ දිය කෙළියට බට විටැ එහි වූ රන හස් හු ගඟ හැරැ ගියහ. ඔවුන් එ ගියේ ගඟට බට ගෑනුනු ගේ පියොවුරු එ හසුන් ගේ රුවට වඩා හැඩ ඇතියෙන් පැරැදීම තම හට අත් වන බව දැනී විළියෙන්, මතු වාරයෙකැ හෝ තමන් හට ගෙනැ දී අඟනුන් ගේ පියොවුරනට පැරැදීම ලැබැ දෙවනු පිණිසැ බඹු සෙවුම් කරනට සේ යි මෙහි දැක්විණි.
(ඉතා පළ වැනුමෙකි)
පුරඟන යනු පමණ වැ තිබියැ දී ‘පුරවරඟන’ යැයි යෙදීම විරිත මැ තකා යි. රන්ගබ යනු බඹුට නමෙකි. ලෙසින = ලෙසින්. විළියෙන = විළියෙන්. මෙන = මෙන්. මෙහි ‘කෙලෙසින’ යන්න යොදා ඇත්තේ ‘කෙලෙසද’ යන්න වෙනුවටයි.
157. පෙළ:- රත් තුඩු පද පබළකුරෙව් වොරඳන සිත් හස ගඟ පැලැඹෙන රහ කෙලෙසින; පුරඟන සහ කෙළිනට ගහඟන ගත් රත්මිණි බන් කලදෝ දිය විත් මෙන.
(රත් පෑ තුඩුත්, පාත් පබළු දළු මෙන් බබළන්නාවූ, සුදු හසුන් ගඟේ හැසිරෙන හැටි කෙසේ ද කියනවා නම් පුර අඟනුන් හා සෙල්ලම් කිරීමට ගඟ නැමැති අඟන ගත්තා වූ රතු මැණික් බැඳි රිදී කළහ මෙනි).
පබළ කුරෙව් = පබළ අකුරු එව්. වොරඳන = වොරදනා. කෙලෙසින = කෙ ලෙසිනි. ගඟඟන = ගඟ අඟන. පුරඟන = පුර අඟන
මීට පළමු පැදියෙන් හසුන් පැලෑ බවක් පවසා එ එක් වැ මැ හසුන් ගේ පැලැඹීමක් සදහන් කරනු සිතට නැඟෙන නැඟෙන දැය කීමක් මිසැ සැබැවි වැනීමක් මෙහි නැති බවට දෙස් දෙයි. පරෙවි අසුන් කරුවෝ සුදු හසුන් ‘රිදී දිය’ මෙනැයි කියති. (ප. 100)
158. පෙළ:- පුර පියඹා තුනු රුසිරෙන් වර සුරඹා පසු බා, දුටු දන මන පොලොඹා සිලිලැ දොඹා කෙළැ ගනබා ලෙළ සසොබා විදුලිය මෙන රඟ පෑ.
(පුරයේ පිය අඟනෝ සිරුරේ රූ සපුයෙන් උතුම් වූ සුර අඟනන් පසු බස්වා, දුටු දනන් ගේ සිත්හි මහත් ලොබ උපදවමින්, දියට ඉහළ සිටැ පැනැ, කෙළිමින් වැසි වලාව ඇතුළේ ලෙළෙන, බැබැළීම සහිත විදුලිය සමූහයේ සැටි දැක් වූ).
ඉතා දුඹුල් පබඳෙකි.
සුරඹා (සුර අඹා) යනු ‘සුර අඹුවන්’ යන්න සදහා යෙදිණි. පසු බවා යන අරුත සදහායි ‘පසුබා’ යන්න යෙදුණේ. ‘දොඹ හී’ යන්න වෙනුවට යි. දොඹා යනු යොදා ඇත්තේ. ‘ගනබා’ කීයේ ‘ගන ගැබැ’ යනු වෙනුවට යි. කලඹා = කලඹ,
ළදරු වකු ගේ සීපද බැඳුමක් බඳුයි මෙද.
159. පෙළ:- සිසිවත්, තුඟු බැම, නිල් නෙත්. පුන් තන යුතු කත් උඩුහුරු වෙමින කෙළිනුයෙන සියපත්. බිඟුදැල්, නිලුපුල්,තිසරුන, නැතිවැත් ගඟ හැම තැනැ ඇති මෙන් වියැ.
(සඳ බඳු මුහුණ, උස් වූ බැම, නිල් පෑ ඇස්, පිරුණු තන ඇති ගෑනුන් උඩු බැල්ලෙන් - දිය - ෙකළනා නිසා නෙළුම්, මී මැසි රළ, මානිල්, හසුන් නැති වූවද ගඟ හැම තැනැ ඇති සේ විණි).
ලියෝ ගඟේ උඩු බැල්මෙන් පීනමින් දිය කෙළිති. එ විටැ ඔවුන් ගේ මූණූ පෙනෙන්නේ ගග පුරා පිපුණු නෙළුම් මල් මෙනි, බැම පෙනෙන්නේ මල් ඇසුරු කරන මී මැසි රොද මෙනි, නෙත් පෙනෙන්නේ මානිල් මල් මෙනි, තන පෙනෙන්නේ ගඟේ පීනන හසුන් මෙනි; එ හෙයින් සැබැවී නෙළුම්, මීමැස්සන්, මානිල්, හසුන්, ගඟේ නැති වුණත් හැමැ තැනැ ඇති සේ පෙනෙයි.
ගඟේ නෙළුම් මල් වෙනුවට පෙනෙන මූණු සඳහා ‘සිසි වත්’ යනු යෙදීම සුදුසු නො වේ. සිසි යන්න වෙනුවට ‘දිසි’ යනු යෙදිණි නම් ඒ දොස මැකෙයි.
කෙළිනුයෙන = කෙළිනුයෙන්. තිසරුන = තිසරුන්. හැම තැන = හැම තැන.
‘පි හි න ත උඩුහුරු වෙමිනඟනන් ගඟ
සි ය ප ත ඉඳුවර දිසි තිසරුන් රඟ
පැ හැප ත බිඟුරළ කෙළනා මන රඟ
සි රි ග ත ගඟ දිගු ගෙ දිගු විලෙ කැ රඟ’ යැයි හස් අසුන් කරුවෝ මේ මැ අන් ලෙසෙකින් කීහ.
160. පෙළ:-මන පිනවන වරඟන උරබිතැ වැද, හෙන දලදර සෙද මුදුනෙත් ගෙනැ සිටි තන සිය පතකුරු ඇද තුඩගින් ගෙනැ සිටි, පැහැනද රනහස සිරිසර කියෙලි යැ.
(සිත පිනවන්නා වූ උතුම් අඟනන් ගේ ළපැත්තේ ගැටී ඇදැ හැළෙන්නා වූ දිය දහර වහා මුදුනින් ගෙනැ සිටි තන, නෙළුඹුදැලි, (නෙළුම් දඬු) ඇදැ හොට අගින් ගෙනැ සිටිනා පැහැපත් රන හසුන් ගේ රූ සපුව ඇඟැවී).
වරඟන = වර අඟන. වැදැ = වැදැ. ගෙන = ගෙනැ සියපතකුරු = සියපත් අකුරු.