Jump to content

සැවුල් අසුන් පවත්-17

Wikibooks වෙතින්

සැවුල් අසුන් පවත්-17

[සංස්කරණය]

161. පෙළ:- එහි බිඟු කැන් සහ, කෙළනා සලෙළු ද අඟනන් වතයැයි හැගැ පුල් පියුම ද, පිපි රන් පියුමැයි හැඟැ වුවනද නඳ වෙමින් සැකයෙන් විමසා බලති.

(එහි මී මැස්සොත්, දිය කෙළනා සලෙළුවෝත් ගෑනුන් ගේ මුහුණ යැයි හැගී පිපුණු නෙළුම් මල්ද, පිපුණු නෙළුම් මල් යැයි හැඟී ගෑනුන් ගේ මූණුද සතුටු වෙවී සැකින් විමසා බලති).

එ ග‍ ඟේ පිපුණු නෙළුම් මල් ඇති. ඒවායේ රොන් ගැනීමට මීමැස්සෝ සරති. ග‍ඟේ ගෑනුන් දිය කෙළනා හෙයින් උන් ළඟින් ඇසුරු කිරීමට සලෙළෝ ද දිය කෙළියට එති. මී මැස්සනට නෙළුම් මලින් මිසැ ගෑනුන් ගේ මූණින් වැඩෙක් නැති. සලෙළනට ගෑනුන් ගේ මූණින් මිසැ පියුමෙන් පිරිමැස්මෙක් නැති . ගෑනු මූණුත් පිපුණු රත් නෙළුම් මලත් එක් සම හෙයින් එක් තැනැදී වෙන් කොටැ දැන්ම අසීරු යි, පිපුණු නෙළුම් මලට බස්නා මී මැස්සෝ මෙය ගෑනුමූණක් වත් දෝ යි සැකින් එය විමසා බලති. ගෑනු මූණට නෙත් දෙන සලෙළෝ ‘මේ පුල් පියුමෙක් දෝ’ යි සැකින් එ විමසති. එ අරතරේ එ දෙක්හි ඇති එක් වන් බවට සතුටු ද වෙති. ‘සලෙළෝ’ යනු පිණිසැ ‘සලෙළු’ යි යෙදීම සුදුසු නො වේ.


162. පෙළ:- දුළ පියොවුරු රන කුම්බා සරිවන, පළ හෙළ වැලිතල උකුළැති අම්බා පියුමම්බාහිමි කිරිසිඳු අළලත කමලම්බා පත් සිරිසර පළ කළෝ.

(බබළන තන රන් කළ සමවන්නා වූ, සුදු වැලි තලා මෙන් පළ වැ පෙනෙන උකුළු ඇති ගෑනු, වෙන් දෙවියා කිරි සයුර කලඹවන විටැ සිරිකත පහළ වූ සැටි පළ කළෝ).

කුම්බා = කුඹු, අම්බා = අඹුවෝ. පියුමම්බා = පියුම්අම්බා. කමලම්බා = කමල් අම්බා’ මේ ඉතා බාල යෙදුම්යැ. පියුමම්බා කමලම්බා යන දෙක මැ දෙන්නේ එක් අරුතයි. ‘පියුමම්බා’ නම් සිරි යි. ‘පියුමම්බාහිමි’ නම් වෙන් (විෂ්ණු) දෙවියායි. ‘අම්බා’ යන එක් මැ වදන එළි වැටෙහි තුන් පෙළෙකැ මැ යෙදීම මහ මඳි කමෙකි.


163. පෙළ:- බිඟු කැන් දිගු බැම, සියපත් වතිනි (යුත්) හස පුන් පියොවුරු, රතුපුල් ලවනි, සොබමන් ගඟඟන සතොසින් මද හසිනි මින් නෙතිනි තොප බලනෙව්.

(මී මැසි රළ නැමැති දික් බැමින් ද, නෙළුම්මල් නැමැති මූණින් ද, හසුන් නැමැති පිරි පියොවුරින් ද යුත් ‍ෙහාබනා ගඟ නැමැති අඟන සතුටු වී ‍ෙකාද නැමැති මද හසින් යුතු වැ මසුන් නැමැති නෙතින් තොප බලන වැනියි).

මේ නදී වැනුමක් මිසැ දියකෙළි වැනුමෙක් නො වේ. පැදියේ වදන් යෙදීම ද වියතුන් ගේ සිත් ගන්නා සේ නො වේ.

‘දිගු බැම’ ‘වතිනි’ ‘පියොවුරු’ ‘ලවනි’ යන උපමාන පද මෙසේ නන් වී බත් අරුතින් තිබීම එළිවැට අන් ඇමට පරම කොටැ සිතා එහි බෙලෙන් කළ දැයෙකි.

ගඟඟන = ගඟ අඟන. බලනෙව් = බලන එව්.

‘රජ හස සුපුන් තන

රළ සළුපටින් වසමින

ඇළ පෑ පෙටි නෙතින

බලන වැනි ඔහු එ ගඟ වරඟන’ (ක. සේ. iii. 40) යන්න මෙහි දී සදහන් වූ සැටි යි.



164. පෙළ:- දිය තුළ පැන පැන උන් කොමළඟ උනුන ගෙන ඉසි දල දර උර බීත ගැසෙමින තන සිළගින් නික්මුණ රඟ කෙලෙසින? ගිරිමුඳුනෙත හැලි සිරි කියෙලී.

(දියට පැනැ පැනැ උන් ගෑනුන් ඔවු නොවුන් ගන්මින් ඉසි දිය දහර ළැපැත්තේ ගැටී තන පුඬු අගින් නික්මුණු හැටි කෙ සේ ද කියනවා නම් කදු මුදුනින් ඇදැහැළෙන්නා වූ ඇලි මෙනි).

නික්මුණු රඟ කෙලෙසින... හැලිසිරි කියෙලී’ යනු පෙර අපර පෙදෙස් ගැළැපෙන වැකියෙක් නො වේ. එ හෙයින් අරුත් බිණීමේ දී ඒ රැසැයුම නො තකන ලදී . මීට පෙරැදු මේ, ‘රඟ කෙලෙසින’ යන්න දෙපළෙ කැ ඇති (156.157) ‘උනුනුන’ යනු මහ විහිළුයෙකි. ‘උන් උන් උන්’ යනු ගැළැපීමෙනි ඒ සිදු වී ඇත්තේ. එහි විහිළු බව මදක් අඩු කරනු සලකායි එක් ‘උන්’ යන්නක් ‘පැනැ පැනැ’ යන තැනට යවා ‘පැනැ පැනැ උන්’ යැයි යොදන ලද්දේ.

මේ පැදියෙන් කියන දැය මීට පළමු ද (160) කියා ඇති.


165. පෙළ:- මුහුළස හැඩ පතරින මුදුනෙත් හළ කලදෝ පැහැසන් සිලිල් ඇහැ තැවැරෙන, සොබමන් එ පුරඟනෝ ගඟ බසිමින හර සිරි ගෙන මන මෙන් දිය කෙළියෝ.

(ගන්වන ලද කෙස් වැටියේ දඟර රැස මතුයෙන් යවන ලද රිදී පැහැයෙන් යුත් දිය ඇ‍ඟේ තැවැරෙන්නා වූ, හොබනා වූ, ඒ පුරේ ගෑනු ගඟට බැසැ මහ ඉසුරා ගේ සැටි ගෙනැ සිත් සේ දිය කෙළියෝ යි).

හිස් මුදුනේ කෙස් වැටිය ගන්වා ගෙනැ ගෑනු ගඟට බැසැ, විතින් දිය ගෙනැ ඉස් මුදුනට ඔවති. එ දිය කෙස් වැටියේ දඟර පසු කොටැ ගෙනැ බැසැ, ඇගේ තැවරේ. එ සේ විටැ පෙනෙන්නේ අහස් ගඟ දළ මඬලේ හී එය වටා ගොස් ඇදැහැළෙන දියෙන් නෑවෙන මහ ඉසුරා ගේ සැටි ඔවුන් ගත් සේයි.

අලගියවන්න රාලහාමින් ගේ ‘‍ෙසාබමන්’ යන්න ගැනැ යමක් කියැ යුතු නො වේ.

‘සොබමන්’ කුස නිරිඳු... (කුසදා) යි කීයේ ද මොවුන් නොවැ?

පතරින = පතරින්. බසිමින = බසිමින.


166. පෙළ:- මුතු පල වන් පළ හෙළ වැලි පිට කෙළැ කෙළැ උන් කොමළඟනන් දුටු විටැ කිරිමුහුදින් පහළ වැ දිසි මනතුට පබළකරන් යැයි ත සිතට සැලැකේ.

(මුතු ඇට මෙන් පැහැදිලි සුදු වැල්ල මත්තේ සෙල්ලම් කෙරෙමින් සිටියා වූ මුදු අඟනුන් දුටුවාම කිරි මුහුදින් මතු වී පෙනුණු සිත තුටු කරවන පබළු ගිරිද යැයි තගේ සිතට සැලැකැවේ).

     ‘මන තුට පබළකරන්’ යනු විහිළු යෙදුමෙකි.
        ‘දිමුතු  මුතු			විමල්

පුලින තල පත වමියෝ

 	 කියෙලු  		  කිරණවූයේ

පබළ ලිය පෙළ රඳනා’ (ක. සි. xi. 8.) යන්නයි එ කීයේ.


167. පෙළ:- වුවනින් පුන් සඳ, රතදර නාලිය, නුවනින්, නිලුපුල්, ගතිනි කනාලිය, මනාලිය මනමෙන් දිය කෙළි විලස උවිඳුන් මිසැ කවුරු වනාලිය හෙති.

(මූණේ හැටියෙන් පුරා හඳ වැනි වූ ද, රත් වූ තොලින් නා දළු වැනි වූ ද, ඇස්වල හැටියෙන් මානිල් වැනි වූ ද, කයින් රන් වැල් සරි වූ ද, නිසි වු අඟනුන් දිය කෙළි හැටි වෙන් දෙවියා හැරැ අන් කවුරු නම් විසිතුරු කොටැ කියා ලීමේ සමත් වෙති ද?).

අපේ කිවියනට මෙ වැනීමට සිත දීම නිසා තමන් කරමින් සිටි දැය ද නො සදහන් වූ සැටියි. කුකුළාට කළු ග‍ඟේ ගෑනුන් දිය කෙළිනා හැටි දක්නට යි කිවියා කියමින් සිටියේ. එසේ කියන අතර මැ දිය කෙළිය අවසන් වන බවක් ද නො කියා මැ ‘දිය කෙළි විලස’ යැයි ඉකුත් පවතක් හැටියට එය සදහන් කිරීම නිකම් මැ කිවිකම සලකා මිසැ කරන දැය සලකා කළ හැකි එකෙක්

නො වේ. මී ළඟ පැදියෙන් ‘මෙ ලෙසින් දිය කෙළැ නිමුණු ස‍ඳේයා’යි අයේ වරක් දිය කෙළිය අවසන් කිරීම ද මෙ නිසා මැ නුසුදුසු වේ. වැනීමෙහි සමතකු හැටියට වෙන් (විෂ්ණු) දෙවියා සදහන් කිරීම ද අරුමයෙකි. මෙහි දී ‘නාලිය’ යන තමනට ඉතා පිය එළි තෙවැට ගැනැ සිත දුන්නා මිසැ සරි නො සරි බවක් රාලහාමින් නො බැලූ බවයි මින් පෙනෙන්නේ. මේ ‘ නා-ලි-ය’ එළි වැට මීට පළමු දු දක්නට ලදී (148). ‘වුවනින් පුන් සඳ’ යැයි කී පසු ‘රතදරිනි නාලිය’ කියනු මිසැ ‘රතදර නාලිය’ යි කියනු අසබා යි.

‘ලෙළෙනා මෙන් ගඟැ තරඟ ක නා ලි ය

කෙළෙනා ලෙසැ එළි බැ සැ දි ව නා ලි ය

පි හි නා යන එන සොඳුරු ම නා ලි ය

සො බ නා රූ සිරි නො හැකි ව නා ලි ය’ යැයි හස් අසුන් කරුවෝ ද මේ එළිවැට බන්හ. එහෙත් එහි මෙහි මෙන් නය ඉක්මැවී මෙක් නො දක්නා ලැබේ.


168. පෙළ: සොබමන් එ පුරඟනන් රුසිරෙන් සුරඹ ලෙදේයා පසු කැරැ, සත මන් තදේයා තුටු කරවමිනි, පැහැදේයා මේ ලෙසින් දිය කෙළෑ නිමුණු ස‍ඳේයා.

(හොබනා වූ, එ පුර ලියන් රූ සපුයෙන් දෙව් ලියන් ගේ සැටි ද, ඉක්මවා, සතුන් ගේ සිත් තදින් තුටු වන පරිදි පැහැදී මේ විදියට දිය කෙළැ ඉවර වුණා ම-)

ලෙදේයා = ලෙද (ලෙස). තදේයා = තදින්. පැහැදේයා = පැහැදී. ස‍ඳේයා = සඳැ.


169. පෙළ:- මිතුර කපුරු සඳුන් වෙනෙ නව පලු තනවමින, පරපුටු සන් සහ බිඟු නද ද හැදැ ගෙනැ හමන පවන් විඳැ තුනු ගිමන පහ කැරැ පළමුවෙන එහි වෙහෙරට වඩින්.

(කපුරු ගසින් හා සඳුන් ගසින් යුත් වනයේ අලුත් දළු - හෙවත් වනයේ කපුරු ගස්හි ත් සඳුන් ගස්හි ත්


අලුත් දළු සල්වමින්, කොවුල් නද හා මී මැසි නදත් ඇදැ ගෙනැ හමන සුළඟ විඳීමන් ඇ‍ඟේ ගිමන් දුරු කැරැ මුල්න් මැ එහි වෙහෙරට යන්නැ ).


170. පෙළ:- ම මිතුර, ගොර සප් දරණ වැඩැ ඉඳැ නො මිනා දම් දෙසූ, දිය බප් මුනිරජු ගෙ දා තු ද නදනා කැරැ මහ පිනැති දනා කිසි ලප් නො වැ කැරැ වූ දහගප් හිමි ත මන පිනා නමදු.

(මගේ යහළුව, නා දරණ ගැබේ, වැඩැ ඉඳැ අපමණ දම් දෙසූ, ලොවට පියා වන් බුදු රජු‍ ගෙ දාවනුත් තන්පත් කොටැ මහ පින් ඇති දනන් විසින් කිසි කැලලක් නැති වන පරිද්දෙන් කරවන ලද දා ගප් මින් තගේ සිත සතුටු කොටැ ගෙනැ නමඳුව).

නො මිනා = නො මින්. නදනා = නදන් (නිදහන්). ‘දාතු’ යනු ‘ධාතු’ යන්න අවියත් වහරේ සිටුනා සැටියි. ‘දාතු ද’ යන තැනැ ‘ද’ යන්න ‘ම මිතුර’ යන තැන ‘ම’ යන්නට ද වැඩියෙන් තැනට නො හොබනේ යි. ‘දාතු ද නිදන් කැරැ’ යි කී විටැ එයට ද වැඩියෙන් නිදහනට සුදුසු වන තව දැයක් තන්පත් කරන ලද බවක් ඇඟැ වේ. එහෙත් මෙහි එවන් අරුතක් අදහස් කරනු නො ලැබේ.

‘මම බුදුන් වැන්දෙමි මහ සඟන ද වැන්දෙමි’ යි කී විටැ මගේ වැඳීම වෙසෙසින් වූයේ බුදුන් උදෙසා බවත් එ බුදුන් වැඳීම කරන ගමන් මහ සඟන ද වැඳී බවත් පළ වේ. එහි මුල් වන්නේ බුදුන් වැඳීම යි. මහ සඟන වැඳීම එ ගමන් කළ අමතර වැඩෙකි. එ මෙන් ‘දාතු ද නිදන් කොටැ’යි කී විටැ අනෙක් දැයක් නිදහනට කළ සෑයේ දාවනුත් ඒ අරතරේ නිදහන් කළ බව යි. ඇගැවෙන්නේ. එ නිදහනට තකා සෑය කළ දැය මෙහි නො සදහනි, එ වැන්නක් නුවූයෙන්. එ හෙයින් මෙහි මෙහි ‘දා තු ද’ යන තැනැ ‘ද’ යන්න යෙදීම නුසුදුසු යි.

‘නො මින දම් දෙසූ’ යන තැනැ ‘නොමින’ යනුත් නිකම් පුහු වදනෙකි. එක් තැනෙක වැඩැ හිඳැ අපමණ දම් දෙසීම බුදු සිරිත නො වෙයි. සවන සතියේ න, දරණ ගෙහි ‍වැඩැහුන් මුනි එහි දී ‘‍ෙකාපමණ’ දහමක් වත් දෙසූයේ නැති. එ අවදිය වන විටැ බුදුන් දම් දෙසීමට බැස සිටියේ නැති. එ‍ හෙයින් එ පැවැසුම නො විමසා ‘දහගප්’ යන්නට එළි වැටක් සැපැයීමේ සිහියෙන් මැ යෙදී කළ එකෙ‍කි.

"https://si.wikibooks.org/w/index.php?title=සැවුල්_අසුන්_පවත්-17&oldid=4120" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි