සැවුල් අසුන් පවත්-18
සැවුල් අසුන් පවත්-18
[සංස්කරණය]171. පෙළ:- මිතුර, සිදුහත් ගැබෙහි සිවු ඉරියවුව හැකි වන දොළොසත් බුදු බඳින් යුතු අප දිය නඳන දකුනැළයෙන් වැද හොත් විලස පළ කරන ඔත් පිළිම හිමි හට අදරින වඳු.
(යහළුව, අබය ඇතුළේ හතර ඉරියවුව පිළිවන් වන්නා වූ දහ අට රියන් බුදු කඳින් යුතු අපේ ලෝ පිය තුමා දකුණු ඇළයෙන් වැදහොත් හැටි පෙන්නුම් කරන ඔත් පිළිම හිමි හට ආදරයෙන් වඳින්න).
ෙදාළොසත් = දොළොස් අත් (අතෙක් රියන් එක් සමාරෙකි). දකුණැළයෙන් = දකුණු ඇළයෙන්.
සිවු ඉරියවුව නම්, සක්මන, ඉඳීම, සිටීම, හෙවීම හෙවත් සැතැපීම. මේ අබ පෙළහර බුදුගුණ අලංකාර කරුවෝ :-
‘දසට රියනක් ගත
රැගෙනැ අබලුව ඇතුළත
යත සැතැපෙත ඉඳිත
සමත ඒ මුනි මිසක් වෙන නැත. යැයි තුන් ඉරියවුවෙක් හි ගන්වා සදහති.
172. පෙළ:- අඩයටි. කග, පළග, දුනු, නනවි දරමින සැඩ ලෙටි මරු සරොසින යුදට වන් සඳෙහි මැඬැ පැටි කැරැ දිනු සොබන අප සුගතිඳු (ගේ) වැඩැ සිටි පිළිම හිමි පිරිසිදු සිතින වඳු. (අඩ යටි- හෙවත් දෙරියන් පොලු - කඩු, පළිස්, දුනු ආදී නො එක් අවි දරා, රළු වූ, ලොබින් පිරුණු මරදෙවියා හටනට පැමිණි වේලායේ ඔහු මැඩ පරදවා සුළු කොටැ ජයගත්, අපේ හොබනා බුදුන් ගේ වැඩැ හිටි පිළිම සාමි පිරිසුදු සිතින් වඳුව).
දරමින = දරමින්. සරොසින = සරොසින්. මැඩ = මැඩැ. සිතින = සිතින්. ලෙටි යනු දැඩි ලොබ යන අරුත්හි නො එක් සන්දේශ පොත්හි යෙදී ඇති. අලගිය වන්න රාලහාමින් මෙ පැදිය යොදා ඇත්තේ:-
‘සැඬ ලෙටි මරු පැරැයු ඉඳ - බෝ තුරු ළඟෙහි
දි ඬ දි ටි රුවෙල් කැස්බන් ලූ අග මගෙහි
මැ ඬ පැ ටි කරන දිටු පව’ ඳුරු සතනගෙහි
වැ ඩ සි ටි පිළිම හිමි වඳු සිටි පිළිම ගෙහි (පරෙවි). යන්න සලකා යි.
173. පෙළ:- ම මිතුර විදුලි රැඳි මහ ගන කුළ ලෙසින පැහැසර, තරසර, කිසලගන සා මඩලින් දිළෙන, එ වෙහෙරතුර රඳන, තුඟු තර දූම - රඳුට, බැති සිතින සඟසිරි ලබනුව නුමුඳු.
(මගේ යහළුව, විදුලිය රැඳුණු මහ වැහි වලා කුළ සේ පැහැපත්, තිර බැවින් යුතු, දළු ගනවැ ඇති, අතු පතරින් හොබනා, එ වෙහෙර බිමේ පවත්නා ඉතා උස් බෝ රුක් රජ බැති සිතින් සග සැපත් ලබන පිණිසැ නමදුව).
‘දූමරදුට - නමඳු’ යනු හොඳ සිංහල නො වේ.
‘එ වෙහෙර තුර රඳන’ යන්නේ වදන් අරුත නම් එ වෙහෙර ඇතුළේ රැදී පවත්නා යනුයි. ඒ මෙහි නො යෙදෙනුයෙන් සැබැවී අරුත දක්වන ලදී. සඟ සිරි නම් දෙව්ලෝ සැපතයි. එ මොක් සිරියි විණි නම් මීට වැඩියෙන් සුදුසු වෙයි.
බැතින = බැතින්. කිසල (දළු).
174. පෙළ:- එ වෙහෙර සරැ සරන තිසර යුරු, ගුණ රඳනා, සිවු පිරිසුදු සිල් සිය සක්මෙන් රකිනා, හැම වරැ සිවුබඹ විහරණින් දවසරිනා, යුග කෙළ රිවි කිරණ මෙන දිවු තද තෙදින් යුත්, තරු පිරිවරින දිසි පැහැපත් පුන්සඳෙව් පිළිවෙත් සරු සහගණ සමඟ වැජැඹෙන, මොක් වෙරළින් සොබන දහම් මහ සයුර සියුම් නුවණ මෙර පහරින් අලළමින නො හිම් මියුරු පදරුත් මිණි ලොවට දෙන දහම් ලකර යති හිමි අදරින නමදු.
(එ විහාරය නැමැති විලේ හැසිරෙන හසා බඳු, ගුණ රැඳී ඇත්තාවූ, සතර වැදෑරුම් පිරිසුදු සිල් තමා ගේ ඇඟ මෙන් රක්නාවූ, සියලු විටැ සතර බඹ වෙරින් දවස් හරනා වූ, කප අඟැ ඉරු රස් සෙයින් පතළා වූ දැඩි තෙදින් යුත්, තරුයෙන් පිරිවැරී පෙනෙන පැහැයෙන් යුත් හෙවත් බබළන පුරා හද සේ පිළිවෙතින් සරු සඟ පිරිස හා උසින් පෙනී හිටිනා, නිවන් නැමැති වෙරළින් හොබනා දහම් නැමති මහ සයුර තිහුණු නුවණ නැමැති මහමෙර පාරින් කළඹවමින් කෙළවරක් නැති වැ පදයන් ගේ අරුත් නැමැති මැණික් ලෝ වැසියාට දෙන්නාවූ දහම් ලකර තෙර - ධර්මාලංකාර ස්ථවිර - හිමි අදරින් නමඳින්නැ).
පුන් සඳෙව් = පුන් සඳ එව්. පදරුත් = පද අරුත්.
සිවුපිරිසුදු සිල පෙරැ සදහන් විණි (125). බඹුගේ පැවැත්ම බඹ විහරණයි. සතර වැදෑරරුම් වූ බඹ පවත සිවු බඹ විහරණය යි. මෙත් (මෛත්රී ) කුලුණු, (කරුණා), මුදිතා, උපේ (උපේක්ෂාහ) යනු සතර බඹ විහරණයයි.
මෙත නම් මා පිය සනාවයි. කුලුණු නම් අනුන් දුක් නො ඉවැසීමයි. මුදිතා නම් අනුන් සැපතෙහි තුටු වීමයි. උපේ නම් මැදහත් බව යි.
දහම් මහ සයුර සියුම් නුවණ මෙර පහරින් අලළමින නොහිමි මියුරු පදරුත් ෙලාවට දෙන යනු:-
‘ගැ ඹු රු විජම් පෙළ කිරි සයුර ඇම විට
ෙසා ඳු රු නුවණ මෙර පහරින් සකොබ කොට
මි යු රු පද අරුත් අම ගෙනැ දෙන ලොව ට
ක වු රු සදිසි වෙති මෙකලට එ යතිඳුට’ (ගිරා. 234) යන්න සදහනින් කීයේයි.
175. පෙළ:- මිතුරු සඳ, මෙලෙසැ හැම තන් නඳ බැති සිතින් වඳිමින්, නො මඳ එ වැඳුම් පල සිරි මෙනෙහි පුරමින්, වෙසෙසින් අනැගි වත් සපිරුණු නැවක් ලෙද එ තැනින් දෙව් රජ ගෙට වඩුව.
(මිතුරු තුමෙනි, මේ විදියට ඇති සියලු තන් සතුට පෙට දැරි බැති සිතින් වැදැ බොහෝ වූ එ වැඳුම් පල සැපත් සිතෙහි පුරා ගෙනැ, තනි කැරැ, අගය නිම කළ නොහැකි දැයින් මැ සපිරුණු නැවක් මෙන් එ තැනින් හෙවත් එ වෙහෙරින් දෙව් රජු ගේ ගෙට - එ නම් දොවොලට වඩින්නැ).
මෙ ද:-
‘පි රි සි ඳ නොහැකි මෙ වැඳුම් පුද පින් පඬුරු
ම න බැ ඳ රැගෙනැ දෙන ලෙසැ දැකැ එ සුර වීරු
සු ර ර ද පායා වන් විජයොත් නම් මහරු
එ මැ ස ද වඩන රජ ගෙට මිතුර වැඩ කරු (සැළ). යන්න මැයි.
176. පෙළ:- පතඟ කුලැ කිරුළ සුලකළ අගමිණෙක රඟ, කෙසර මෙන් රුපු රජ ගජන් එඩි මැඩි, දැඩි, සිරි රජසිහ රජු ගෙ සිරිපද සෙවණැ වැඩිරන ගිර ෙලසැ සව් අවිසිප් සයුරැ පමණ දුටු - කණ්ඩාපසගුරුසෙ නැබළ විකුමෙන් යුතු - පුවළ.
බණ්ඩාර නායක තනතුරු, ලත් - හස රද සෙ සිය කුල කමල විල සුල කළ- සුනිමල නානම්බි කුරුප්පු මැතිඳු සද එහි නිල කරන පබඳ ගුරු හැම දෙන හා තරිඳු ලෙසැ සබ කිරණ ඔද කැරැ සිටි කල-
(හිරු ගොත නැමැති වොටුන - හෙවත් ඔටුන්න මැනැවින් සැරැසීම කළ අග මිණි හෙවත් සිළුමිණ හා එක් වන්, සිංහයා සේ සතුරා රජුන් නැමැති ඇතුන් ගේ එඩිය යටපත් කළ, දැඩි වූ සිරි රාජසිහ රජුගේ සිරිපා සෙවණේ වැඩුණු - මහ මෙර සේ සියල් අවි සිප් සයුරේ ගැඹර පමණ දුටුවාවූ -
වෙනු සේ මහත් විකුමෙන් යුතු - පසිඳු වූ මහ කපු පදෙවිය ලැබූ - හස් රජු සෙයින් තම පෙළපත නැමැති පිල පුරා ලකර කළ- දොස් රහිත, නානම්බි කුරුප්පු මැතිතුමා, එ දොවොලේ තනතුරු ලැබී කරවන පසිදු ගුරු හෙවත් කපු ගොල්ල ඇම දෙනා හා එක් වැ සඳ සෙයින් වී සබය නැමැති කිරිමූද ඔද වඩවා සිටි කල්හි-)
පතහ කුල - (හිරු ගොත). අගමිණෙක රහ = අග මිණ එක රඟ. රන ගිර (මහ මෙර). මහමෙර සයුරේ ගැඹර පමණ දන්නේයි. මෙ කුරුප්පු මැති අවිසිප් සියල්ල දන්නේයි. මැතිඳු සඳු. මෙ ද ‘උනුනුන්’ යන්න මෙන් ඉවක් බවක් නැතිවැ යොදන ලද්දෙකි. ‘මැතිඳු’ යන්න හෝ ‘මැතිසඳු’ යන්න හෝ යෙදීම මෙහි පමණි. එහෙත් විරිත!
කණ්ඩා පසගුරු (පන් සරා ගේ පියා, එනම් වෙනු) බණ්ඩාර නායක තනතුරු. මේ භාණ්ඩාර නායක තනතුර නොවේ. ‘පණ්ඩාර නායක’ යන ආඬිගුරු (කපු) නායක තනතුර මිසැ. ගුරු (කපු ආඬිගුරු). කිරණ = කිරි අණ (අණ නම් සයුරයි).
177. පෙළ:- ළදඟන මිණි බන් අනැගි අබරණ දරමින් සුරඹුන් සිරින් රුවට සැරැසී විත් ගන රන් තලි රිදී තලි අතට ගනිමින් දෙ පසැ සිටැ සිරිතින්. ආවඩා නැවැති විටැ-
(තුරුණු ලියන්, මැණික් බැඳි, අගය පමණ නැති පළදනාවන් ලා ගෙනැ, දෙව් ලියන් සේ හැඩට සැරැසී අවුත් ගනරන් තැටි, රිදී තැටි අතට ගෙනැ දෙ පැත්තේ සිටැ ගෙනැ සිරිතේ හැටියට ආවඩා නැවතුණාම-)
සිට - සිටැ. විට = විටැ. විත් = ඇවිත් (අවුත්).
සුරඹුන් - සුර අඹුන්. ළඳඟන = ළඳ අඟන.
171. පෙළ:- මලවුල් කැරැ සරල්. දිගු, නිල් වරල් බැඳැ, නිලුපුල් සදිසිනෙත් රසඳුන් ඇඳැ තනා, සුනිමල් දුහුල් ඇඳැ, නන් අබරණ පැළඳ, එහි රඟ කරන කල්බද ලොල් සිතින් බල.
(මල් ගවසා, රැළි සහිත, දික්, නිල් කෙස් වැටී බැඳැ, නිල් උපුල් හෙවත් මානිල් මල් බඳු ඇස්, රස අඳුන් ඇඳීමෙන් සරසා, ඉතා පිරිසුදු සිනිඳු සළු ඇදැ නො එක් පළදනා ලා ගෙනැ එහි නටන ගෑනුන් සිතේ ලොබ වඩවමින් බලව).
මලවුල් = මල් අවුල්. නිලුපුල් = නිල් උපුල්. රසඳුන් = රස අඳුන්.
179. පෙළ:- දිමුත නළඹ, පෙර ඉසිවර බරත සතෙහි කීලෙසට, දෙනෙත, යුගත, දෙපයෙහි පමණ සරි කොට සමත මද්දල තාළ ගියට එක්කොට දිව නළ ෙලසට රඟ දෙති.
(දිළෙන නිළියෝ හෙවත් නටන ගෑනු ආදී රුසිවරන් නැටුම් සතරේ කී නියායෙන් දෑසත් දෑතත් දෙපයත් සරි සරි පමණින් සිටුවා සියලු මද්දල තාළයන් ගීයට එක් වන නියායෙන් දෙව්ලොවේ නිළියන් සේ නැටුම් කරති.)
යුගත = යුග අත. නළඹ = නළ අඹ. කොට = කොටැ.
180. පෙළ:- නිසි තාළ බේදය සිතු ලෙසට ඉගෙන, වයන සුද්ද මද්දල නදට පෑදය, විරෝදය, නොවැ අත පය හෙළන නඟන නළඹ රඟන සූබෝදය මමිතුරු බල.
(මනාවූ තාළ බේද හෙවත් වෙනස් වෙනස් වූ තාළ හිතේ හැටියට ඉගෙනැ වැයීම කරන සුද්ද මද්දල නම් වූ උඩැක්කි නදට පෑදි, වෙනසක් නො වන පරිදි අත් පා හෙළීම නැඟීම කරන නිළියන් නටන හැටි මනා වැටැහීමක් ඇති මා යහළුව, බලන්නැ).
පෑදය = පෑදී. වීරෝදය = විරෝද. සුබෝදය = සුබෝද.
‘අත පය හෙළන නඟන රඟන නළඹ’ යනු විසුළු යෙදීමෙකි. යම්තම් පිරිමැස්මක් වන නියා ‘රඟන’ යනු රඟනු (රැඟීම) යි අරුතට ගන්නා ලදී.
බේද, විරෝද, සුබෝද, යනු හොඳ සිංහල නො වේ. ‘සුබෝද’ යන්නට මනා වැටැහීමක් ඇතියි අරුත් බණන ලද්දේ වූවද ‘මනා’ යන අරුතෙහි ‘සුබෝ’ යන්නක් අපේ රාලහාමින්ගේ බසෙහි ඇති බවෙක්ද පෙනේ.
‘සුබෝ’ පබාවත් ළඳගෙන් වෙන්වැ හඳ’ (කුසදා,) ඈ යෙදුම් වලින් ඒ පෙනේ. ඉගෙන = ඉගෙනැ