සැවුල් අසුන් පවත්-2
සැවුල් අසුන් පවත්-2
[සංස්කරණය]11. පෙළ:- දිගත පැතිරෙන මන හර සඳ කැන් හරණ කිරණ රැඳි, තරසර, තුඟු පිළිමිණි පවුර - නරවර නරණ රඳනා මෙ නුවර කිරණ වට කර - අනත නාරද ලූ දරණ වැනි.
(දිසා කෙළවර තෙක් විහිදී යන, සිත් ගන්නා, සඳ එළිය බඳු රස් රැඳී පවත්නා, නො සැලෙන සවි ඇති උස් පළිඟු තාප්පය - රජු නැමැති වෙනු - එ නම්, විෂ්ණු - නැවැතී සිටිනා පුරය නැමැති කිරි මූද වටේට අනත් නම් නා රජු ලා - ගත් දරණ වාගේ යි.)
පැදියේ දෙවන පිය තරසර තුඟු පවුර රැඳි පිළිමිණි කිරණ’ යැයි ද දක්නා ලැබේ. එ සේ වත් හොත් පිළිමිණි කිරණ රැඳී......පවුර’ කියා මිසැ ‘කිරණ රැඳි..........
පිළිමිණි පවුර’ කියා පෙළ ගන්නට ඉඩෙක් නැති. එ විටැ අදහස් කැරෙන්නේ ‘..........සඳ එළිය බඳු පළිඟු කැල්ම රැදී පවත්නා......... පවුර’ යනු යි. නැති පළිඟු පවුරක් සදහන් කරනවාට වඩා ඒ ඉතා මැ සුදුසු වෙතත් අපේ රාලහාමින් හට නිති හුරු පුරුදු පළිඟු පවුරු මැ හෙයින් මෙහි ද ඒ මැ ගන්නට සිදු විණි.
‘තුඟු ගොපුර පණ කැර
නත ලු දරණ වැළ යුර
එ පුරැ පිළිමිණිවුර
දිළෙයි සුරපුර හිමි වැ හැමවර’ (දහම්සොඬ)
‘අගළ පිළිමිණ උර
සිටි නා සුර දෙ පුර හිමි කර’ (කුසදා)
යන තන්හිදු රාලහාමින් සදහන් කරන්නේ පිළිමිණි පවුර මැයි.
අනත් නා රජු සුදු යැයි සම්මත හෙයින් ඔහු ගේ දරණ වැළට පවුරක් සම කිරීම වැරැදි නොවේ.
‘පබා විහිදි පවුරට නත දරණ යොමා
ෙනාබා කියමි නො සරිද යම්තමක් තමා’ (ගිරා)
යනු එ සැටි සුදුසු යෙදීමෙකි. එ හෙත් කිරි සයුරක් වටා අනත් නයකු දරණ ගැසීමක් කීම අසබායි. සිරි රජ සිහ රජු වෙන් දෙවි හැටියටත් සීතාවක පුර කිරිමුහුද හැටියටත් මෙ අසු අස්සේ මැ සදහන්නට යාමෙන් මෙ අවුල වූ බව පෙනේ. වෙන් දෙවියා කිරි මූහුදේ අනත් නා රජු ගේ දරණ වැළ පිට සැතැපෙන බව සමය කතා යි. එහෙත් කිරිමුහුද වට කොටැ අනත් නා රජු දරණ ගසන බවක් අසන්නට නො ලැබේ.
‘නාරායණ’ යනු වෙනු දෙවියාට නමෙකි. එ මැ එළුවට හුරු වී ‘නරණැ’ යි සිටි. ‘කිරණ’ යනු ‘කිරි අණ’ යන දෙව දන එක් වීමෙන් නිපණ. අණ (අර්ණවය) නම් මූද යි.
12. පෙළ:- පැහැදුළ, තුඟු, පළ හෙළ පවුර අබියෙස - රළ පෙළ වතළ කළ, ලෙළ - දිය’ ගළ විලස දළැසරඟ දෙන වරැ ගත අඹළ වෙයින් කෙලෙස වටැහුණු, දළ සුලකළ, අහස් ගඟ වැනි.
(පැහැය පතුරුවමින් දිළෙන්නා වූ, උස් වූ, පැතිරි සුදු පැහැ ඇති, තාප්පය ඉදිරියේ - රළ පෙළ වතුරුවා හැරියා වූ, බබළන්නා වූ - දිය අගළේ හැටිය මහ ඉසුරා නටන වේලායේ දී ඇඟ කැරැකැවූ වේගය නිසා කෙලෙස් ගිරා වටා වැටුණු - ජටාවට මනා අබරණක් වූ - අහස් ගඟ බඳුයි.)
පැහැදුළ, දියගළ, ගතඹළ, දළැස, යනු පැහැ උදුළ දිය අගළ, ගත අඹළ, දළ ඇස’යයි බිඳී සිටි.
නළලේ ඇසක් ඇතියෙන් දළැස (දළ ඇස) යනුයෙන් ද මහ ඉසුරා සදහන් වෙයි. අහස් ගඟ මහ ඉසුරා ගේ දළ මඬලේ දහර වටා ගොස් ලූ බිමට ඇදැහැළෙන්නේ. ඔහු බහුරි රඟ නම් නැටුමේ යෙදී සිරුර වෙයින් කරකවන විටැ ඒ ගඟේ දිය දහරා ඉහිරී ගොස් කෙලෙස් ගිර වටා වැටෙයි. මහ ඉසුරා නටන්නේ කෙලෙස් ගිර මුඳුනේ සිටැ ගෙනැයි. මහ ඉසුරා ගේ මේ නැටීමත් ඔහු ෙග් දළ මඬලින් අහස් ගඟ විහිදී යාමත් අපේ කිවියෝ නිති සදහන් කරති.
‘පිළිමිණි පවුර ළඟ
බබළන දිය අගළ රඟ
ගත හර බහුරි රඟ
කෙලෙස වටැහුණු වැන්නැ සුර ගඟ’ (කුසදා)
යන්නෙන් ද මෙ රාලහාමින් කියන්නේ ද මේ මැයි.
‘අඹළ වෙයින් ගත පඬෙරඟ රඟන වරා (කොවුල්) යනුවෙන් ද සැදැහුණේ මහ ඉසුරා ගේ මේ සුරලය යි. ආදි කපේ දී අහස් ගඟ වූ යේ හිම වතින් ඇදැහැළෙන්නා වූ ‘ගංගා’ නදියේ ඉහළ ෙකාටසයි.
‘අහස් ගඟ යමු නා
එක් වූ තැනැහි දි නා
පයාගයැ දිය නා
ගිමන් සැනැහී කුමරු දිය නා (කවිසේකර) යනු අපේ පඬුවන් එ දත් බව පළ කරයි. එ හෙත් කිවියන් බෙහෙවින් සදහන්නේ දෙව්ලොව ඔස්සේ එන්නා වූ සිත් මත් අහස් ගඟෙකි. එය වෛකුණ්ඨයේ සිටිනා වෙන් දෙව්හු ගේ පයේ මාපටැඟිල්ලෙන් හෙන බවත් එක් වට මැ එය බීමට හීමෙන් පොළොව බිදී යා හැකි හෙයින් එ දිය කදට මහ ඉසුරා තම හිස ඇල්ලූ බවත් එයින් ඔහු ගේ දළ මඬලට හුණු දිය දහර බාල වූ වෙයින් දළ මඬලේ දඟර පිරිවටා ගොස් තවද වෙය බාල කොටැ ගෙනැ හිමවතට බස්නා බවත් යෙති පුරාණ කතා කරුවෝ.
13. පෙළ:- මෙ පුරවරැ අපමණ මනහර පහ කොතගැ - ගනඳර දුරැරැ බබළන - රතමිණි කිරණ තම පරපුර රඳුට දුන් දරණ කිරණ දෝ (යි) බිසරුවො රැයිදු දින කර හට උරණ වෙති.
(මෙ උතුම් පුරයේ ගණන් නැති සිත් කලු මැඳුරු කොත් මුදුනේ - ගන අදර දුරු කරමින් දිලෙන - රත් මැණික් එළිය තම කුලයේ වූ රජුට දුන්නා වූ සැඩ රස් දෝ යි සිතා අබිසරු ලියෝ රෑත් ඉරුට කිපෙති).
මේ පුරය උතුම් වෙයි. මෙහි මැඳුරු සිත් ඇඳැ ගන්නා ඒවායි. ඒවායේ ගණන නිමක් නැති. ඒ මැඳුරු වලැ කොත් අගැ රත් මැණික් ඇති, ඒවායේ රස් විහිදී රැ දැඩි කළුවර දුරැලයි. ඒ අඳුර දුර ලන්නා වූ රස් විහිදුවන රතු මැණික් අබිසරුවනට පෙනෙන්නේ හිරුගේ දරුණු තෙද කැටි වාගේ යි. සීතාවක සිරි රජ සිහ රජු හිරු ගොතැ (සූර්ය වංශයේ) උපනෙකි, එ හෙයින් හිරු ගේ නෑයෙකි. මේ (රස් විහිඳුවන රතු මැණික්) හිරු තම පරපුරේ නෑයා වන රජුට දුන් දරුණු වූ තෙද කැටි ද හෝයි අබිසරුවෝ සිතති.
අබිසරුවෝ රැයේ අඳුර මිසැ එළිය රිසි වන්නෝ ෙනා වෙති. එ හෙයින් ගන අඳුර දුර ලන්නා වූ එ දරුණු තෙද කැටි තම කුෙල් රදුට දුන් හයි ඌ තුමු රෑට හිරු කෙරේ කිපෙති.
‘රැයිදු’ යන්නේ අරුත ‘රැත්’ යනුයි. අබිසරුවෝ රෑත් කිපෙතියි කියන විටැ දවාලේත් ඔවුන් කිපිවන මැ සිටුනා බවෙක් ඇඟැවේ. එ හෙත් දවාලේ එළිය කෙරෙතියි හිරුට අබිසරුවන් තිබා බැස්සියෝ වත් නො කිපෙති. එ හෙයින් ‘රෑ’ යනු කියැයුතු තැනැ ‘රැයිදු’යි යෙදූ බව සුදුසු නො වේ.
අබිසරුවෝ නම් පුරවලැ රැයේ අවිදුනා (වෙසඟන වෙසෙසෙකැ) අගනෝයි. පිරිමින් සොයා යන්නා වූ මෙ අඟනෝ ආදි දඹදිවේ පුර වැසියන් ගෙන් අදර බුහුමන් ලැබූ වැදගත් පෙළකට අයත් ලියෝ වූ එ හෙයින් ආදී කිවියෝ පුර වැනුම්හි ඔවුන් වෙසෙසින් සදහන් කළ හ. අද එ පවත් ඇත්තේ පෙරැළියි. අබිසරුවම මෙ දිවයිනේ ගැරැහුමට මුත් පැසැසුමට බඳුන් වැ පැවැති බවෙක් නො පෙනේ. සීතාවක අවදියේ දී මෙ රටේ වැනුමට සුදුසු වූ පළ අබිසරුවෝ නුවු. එ හෙයින් අපේ රාලහාමිනේ ගේ මේ වැනීම සිරිතට නම්මතින් කළ සදහනෙකි. ඒ වැනීම පිළිමිණි පවුරු සදහන මෙන් නිකම් පෙර සිරිත රැකීමෙකි. අපේ රටේ සිරිතට අබිසරුවෝ ගැරැහුම් ලබන්නියෝයි.
මේ පැදිය රහල් හිමියන්ගේ :-
‘පහගැ කොත් රත මැණ
එ පුරැ යන සදැ නුබමැණ
බිසරුව වන උරණ
කිරණ රැඳුණේව් බැබළි අපමණ’ (ක: සේ: 1.32)
යන ගීය නිසා කැරුණෙකි.
බිසරුව යනු අබිසරුව යන්නේ ‘අ’ යන්න අනුසුරු වීමෙන් වූයේයි. උතුමා, අනත්, අසිපත ඈ වදන් තුමා, නත්, සිපත් ඈ විසින් සිය බසෙහි වහර වනු දහමි.
14. පෙළ:- නිලා මිණින් සුලකළ මැඳුරු මුදුනතා දුලා දුහුල්, කලදෝ, රන් දද ලෙළෙතා, බලා විදු රැඳි ගන කුළු යැ සිතා පුලා, ගෙමියුරු ලොලා වෙලා මියුරු රඟ දෙතා.
(නිල් මැණික්වලින් මනා සේ සරසන ලද ගෙවල් මුඳුනේ දිළි දිළි දුහුල් දද රිදී දද රන් දද ලෙළ දෙන විටැ කොකුන් සහිත වැ පෙනෙන විදුලිය රැඳුණු වැහි කළු යැයි සිතා තුටු වී හීලෑ මොනරු ලොල් වෙමින් මිහිරි නැටුම් දක්වති)
නිලා, මුඳුනතා, ලෙළෙතා, ලොලා, රඟ දෙතා යනු නිල්, මුඳුනතැ, ලෙළෙත, ලොල්, රඟ දෙත්, යනුවෙනි නො එළි වහරේ සිටිනේ.
මෙහි ‘පුලා බලා’ යනු ‘තුටු වැ බලා’යි ද ගතහැකි. එ විටැ ‘කලදෝ’ දද සදහනින් වැඩක් නැති වෙයි.
විමන් මුදුනේ කොත්හි නිල් මිණි යොදා ඇති. ඒ වායනි රස් අහසට නැගේ, එ රස් එ විමන් මුඳුනේ අහසේ ලෙළෙන දුහුල් දදවලැ වැදුණු විටැ ඒවා ද නිල් පැහැ වි වැසි වලා මෙන් පෙනේ. රිදී දද හා රන් දදත් දුහුලින් හෝ අනෙක් පිළියෙකින් හෝ නො කරන ලද හෙයින් ඒවායේ පැහැය වෙනස් නොවේ. එයින් රිදී දද කොක් පෙළ සේ ද රන් දද විදුලිය සේ ද පෙනී වැසි ලකුණු තව ද වැඩි කෙරෙයි. එ දුටු ගෙ වැසි මොනරු වැසි නඟන්නා වනැයි තුටු වී ඊට ෙලාල් වෙමින් පිය කරු නැටුම් දක්වති.
අලගියවන්න මුකවෙටි තුමන් මෙහි දී තමා උගත් පැදි කීපයක් එකට මුසු කළ බව පෙනේ.
‘පහ කොතැ නිල් රතන
පැහැ රැඳි දුහුල් දද වන
වැසි කලැ වලා මෙන
විමන් මොනරුන් පහන් කෙළෙමන’ (කවි සේකරය) යන්න ද,
‘සදහම් නදින් යුතු
ඉඳු නිල් මිණි පහස මතු
ලෙළ රන් දද දිමුතු
බලා මේ හැඟැ මියුරු රඟ ගතු’ (කවි: සේ)
යන්න ද මෙහි දී සිතට නැඟී ඒ හා,
‘මන කල් දසත පවනින් රන් දද අඹළ
ඉඳු නි ල් මිණි පා සියන ගැසි මුතු වැළ
පැහැ දුල් ලෙළෙන විදුලිය සහ බලා වැළ
සුවි පුල් ගනැ යි සෙද රඟ දෙති ගෙසිත පෙළ (කොවුල් අස්න)
යන්න ද සිහි වන්නට ඇති මෙහි දී.
එද:- ‘සුනිල් වලා සිරි
පෑ ලෙළ බලා වැළ සහ
මරා මිණි තොරණෙ පුරේ
සල මුතු ලැල් වජඹනා (මුව දෙව්දා) යන්නෙහි සේසයි-
15. පෙළ:-විසල් සල් පිල් තුළෙහි දුළ, පතර, අතැගි මිණි මුතු රැස් රස් විසුළ මෙ පුර වර - අගතිසි ඇදිලියෙන් ගෙනැ සිලිල් උළ එ වර-- සයුර විලස් නො හැරැ සතහට පළ කළ.
(මහත් වූ වෙණෙද ගල් ඇතුළේ බබළන්නා වූ මහත් වූ, අගය නො කළ හැකි මැණික් මුතු ගොඩ වලැ කාන්තිය පැතුරුණා වූ මෙ උතුම් පුරය, අගත් රුසියා දෝතින් ගෙනැ දිය ඉරූ ඒ වේලායේ දී සයුරේ හැටියට වූ පරිදි මැ මිනිසුනට දක්නට සැලැස්වි.)
‘ගෙනැඳිලියෙන්’ යනු ගෙනැ ඇඳිලියෙන් යන දෙ පදය එක් වීමෙන් ද, අගනිසි යනු අගත් ඉසි යන දෙ පදය එක් වීමෙන් ද නිපණි.
අගත් රුසියා දකුණු දෙසැ ඇදුරා වෙයි. අහසින් යන්නා වූ ‘මිතුරු යැ, වරණ යැ, යන දෙ දෙන (අහසින් යත් දී) උරුවිසිය දැක්මෙන් උපන් අනුරාව මහත් වී මෙන් ඔවුන් ගේ දනදාවත් වගුළ බව ත්, ඉනි කොටසක් ඔවුන් ගේ දනදාවන් බවත් ඉන් කොටසක් කළයකට වැටී එ තුළැ මෙ රුසියා උපන් බවත් එ හෙයින් ඔහුට කුඹුයොන් යන නම යෙදුණු බවත් හින්දුවෝ කියති. ‘අග’ යනු කළයට නමෙකි. එ සේ මැ කන්දට ද, ‘අග’ යන නම යෙදේ. ‘අස්ති’ යනු ‘දමන්නා’ යන අරුත දෙයි. කඳු මැඩීමේ ද මොහු සමත් බව යෙති හින්දු දනෝ. ආයේ උතුරට නො යන්නට මොහු දකුණට ආ පරිදි දක්වන අපුරු කතාවෙක් වෙයි.
තමා ගේ උස් බැවින් මන් මත් වූ විනධ්යාි පර්වතය මෙ වටා යන හිරත් සඳුත් අමතා තමා වටා යන සේ අණ කෙළේ ල. එ හෙත් එ දෙදෙන එ අණෙහි නො පිහිටා පුරුදු පරිදි මෙර වටා මැ යන්නට වූයෙන් කිපියා වූ වින්ධ්යාො පර්වතය කෙමෙන් උස් වන්නට පටන්ගනිල. එයින් හිරු සඳු යන මං පවා ඇවිරෙන බව දැකැ දුකට පත් දෙවියෝ අගත් රුසියා වෙතැ ගොස් ඔහු ගේ පිහිට අයැදියෝ ල. රුසියා දෙවියන් අස්වසා දකුණු දිග බලා අහසින් යන්නට පටන්ගනි අහසින් යන්නා වූ ඔහු දුටු වින්ධ්යා පර්වතය හිස නමා, වත් දක්වා සිටියේ ල. එ දැකැ ඉන් පහන් වූ සෙයක් පාමින් එ රුසි තෙමේ ‘මා පෙරළා නොඑන තුරු මෙසේ (නැමුණු වන) මැ සිටුව’යි කියා දකුණට ගියේ ල. ඒ ගියා ගියා මැ යි, රුසියා. ‘වින්ධ්යාන’ පර්වතය අදත් නැමුණු වන මැ සිටී. දෙමළුනට සතර හදාරන්නට ලැබුණේ එ සේ දකුණු පසට ආ අගත් රුසියා ගෙන් ල.
සයුර වරක් තමා කුප්වා ලූයෙන් එහි පළි ගන්නා අදහසින් ද, තුන්ලොව පෙළූ ද, ඉඳුරු දික්පතියාට සතුරු වූ ද, රකුසන් සයුරේ සැගී උන් හෙයින් ඔවුන් යුරනට පෙන්වන අදහසින් ද මෙ රුසියා සයුරේ සියල් දිය එක්වරැ දෝතට ගෙනැ පූයේ යැ යි පුරාණ කතා කරුවො කියති. මේ පවත අපේ ගත් කරුවෝ නිති සදහන් කළ හ. එ යින් :-
‘තෙ විසිතුරු රුවනු-
දුළ තර පතර කෙළියෙන්
ඉසිහු සිලිලුළ සියල්
රුවනාර දුරැ ලන්නා’ (ක.සි. iii 14)
යන්නයි මෙහ දි අපේ රාලහාමිනේ හට ගුරු වූයේ.
‘දඹ දිව්හි හැමන්
රජ මුහුදු ඔද වඩමින්
දැවැ ම සෙත් වැළමඩුත්
මෙ කගිසි මුව නො යොමු වුව. (ක.සි.)
‘සයුරු බොමින් කුඹුයොන් දුටු සෙ මිණපබා
පොකුණු බොනුව අවටත් සැලැසි නම් බඹා’ (මයුර)
‘කළයෙන් උපන් අගතිසි නම් එකකු පෙර
එකැඳිලිනි ගත් වරැ වියැළිණි සත් සයුර’ (තිසර)
‘දිය කඳ ගැඹර පිරි පුවතර මහ සයුර
මුවරඳ ලෙසින් වත අගතිසි කර තඹර’ (සැළ)
‘අගතිසිහු දිය රැස
ඇඳිලින් ගතෙව් දිය රැස’ (කවි. සේ)
එ ඈ නො එක් තැනැ මෙ පුවත සදහනි.
16. පෙළ:- එහි මත මතහ - සුනිල් මිණි මඳුරු වලැසී මැඳුරු පත ළකල් කලුන් දිමුත වත් සිරි නරඹා, සුපුල්, සොඳුරු පියුමැයි අත දිගු කෙරෙමින් කුහුල් සිතින් හැසිරෙති.
එ පුරේ මද ඇත්තු - ඉඳුනිල් මැණික පහයන්හි කවුළු වෙතැ පැමිණි සිත්කලු ලියන් ගේ කැලුම් සහිත මුහුණු වලැ හැටි බලා පුබුදු වූ හොඳ නෙළුම්මල් වෙතියි සොඬ දික් කෙරෙමින් සැක සිතින් ඇවිදිති.)
එ පුරේ ඉඳුනිල් මැණික්මය විමන් ඇති. එ විමන්හි සිත් කලු ලියෝ වෙති. එ ලියෝ මඟ දෙසැ බැලීමට කවුළු වෙතට පැමිණෙති. එ විටැ උන් ගේ දිළෙන මුහුණු දකිති මඟැ යන මද ඇත්තු. උන් හට ඒ මුහුණු පෙනෙන්නේ විලෙකැ පිපි හොද නෙළුම් මල් මෙනි. එ හෙයින් ඌ එ නෙළුම් මලක් නෙළා ගන්නට සොඬ දිගු කෙරෙති, හා! එය නෙළුමෙක් නොවේ! එ විටැ අනෙක් මැඳුරෙකැ කවුළුව ළඟැ නෙළුම් මලෙක් පෙනේ. එ ද ගන්නට ඌ සොඬ දිගු කෙරෙති, එ ද නෙළුමෙක් නො වේ! එ අයුරින් කවර එක නෙළුමෙක් ද කවර එක නෙළුමෙක් දැයි සැක සිතින් ඒ ඇත්තු එහා මෙහා යමින් සිටිති.
ඉඳුනිල් මිණි මැඳුරු විල්හි දිය කඳ සේ ද, ගෑනුන් ගේ මූණු පුබුදු රතු නෙළුම් මල් සේ ද පෙනෙන බවෙකි මෙයින් දැඟැවුණේ. ආදි මැ නම් පියුම උපමානයට ගන්නා ලද්දේ මුව ගබ (කට) සදහා යි, සුදුසුත් ඒ මැයි. එහෙත් මෑතැ දී මුව මඬල යනුයෙන් ඒ අවට ද පැතිරී මුළු මුළු මුහුණ මැ එයින් ඇඟැවෙන්නට වූයේ යි.
‘සී මැඳුර’ (සීහ පඤ්ජර) නම් සිංහ කූඩුවට සෙයින් කූරු ගසා ඇති කවුළුවයි. සිහ පඤ්ජර, ගජ පඤ්ජර, ව්යාසල පඤ්ජර, ජල පඤ්ජර, යැ යි ආදි කවුළු සිවු වගෙක්හි වි.
නිල් මිණි මැදුරේ සී මැඳුරක සැපත කල් බඳ සොඳ වත දකිමින් මතඟ ම ත පුල් පියුමෙකැ කුහුලින් දිගු කරත අ ත තුල් රහු වැනි සිසි ගැනුමට ගමන් ග ත’ (තිසර) යනු මෙහි ගුරු වූ සේ යි.
17. පෙළ:- මෙ පුරවර පවර මනහර අඟනන් ගෙ පැහැසර ගහන් කෙමි, ලවනත් පත් ලකර, පියකර තෙපුල් මුවරඳ රස යුත් - වත් තඹර මත් සලෙළුන් නෙත් බමර හැරවර කෙළිති.
මෙ උතුම් පුරේ ඉතා උතුම්, සිත් කලු ගෑනුන් ගේ, පැහැයෙන් සරු නැහැය නැමැති බටුව (කෙමිය) ක් ඇති, තොල් නැමැති පෙති සැරැසිල්ල ඇති, ඇල්ම වඩවන වදන් නැමැති රසවත් මල් පැන් සහිත - මුහුණු නැමැති නෙළුම් මලේ මත් වූ සන්ලාල නැමැති මී මැස්සෝ ඇම වේලේ කෙළිති.)
ගෑනුන් ගේ මුව ගබ පියුම් ගබකට සම කිරීම නිතර දක්නට අසන්නට ලැබේ. මුව ගබ වටා ඇති ලවන දල හැටියට ද, දසන් කෙසරු හැටිය ද ගැන්ම අපේ කිවියනට ඉතා හුරු යි. එ හෙත් අලගියවන්න රාලහාමින් පුරා මුහුණ පියුමක් කොටැ පාන්නට ෙගාස් වෙතින් ඔබ්බේ ඇති නැහැයක් කෙමිය හැටියට පෑමෙන් කටයුත්ත අවුල් කොටැ ගත් බව පෙනේ. පිය කර තෙපුල් රස කෙමියෙන් බැහැරි පෙදෙසෙකැ මකාගත් බව,
පැහැපත් ලවනත් පත් පෙළිනුදු ලා
දිසිදත් මුව රඳ දිව් කෙමි නිම ලා
දන නෙත් කැන් බිඟු කැන් සෙවි නිම ලා
සිරි ගත්තේ යැ එ ළඳගෙ මුව කම ලා (කුසදා)
යන්නෙන් පෙනේ. එ හෙත් එහි දී වූ වරද නම් ‘කෙසරු’ වියැ යුතු දත් මුවරද බවට හැරීම යි!
‘ළහිරු පියහු වස වසගත කරත දෙ ත
කෙසරු දසන් මඳ මඳ පෑ එ පෑ ප ත
තඹුරු මුවින් සිනසෙන සදෙහි විල් ක ත
සොඳුරු සබඳ ඉන් යැ ගන්නැ මාව ත (තිසර)
යනතැනැ නෙළුම් මල් කෙසරු නිසි පරිදි උපමානයට ගෙනැ ඇති එ ද:-
‘දෙත දිවයුරු සරා
කර වසනත්හි විල් කල්
කෙසර දසනග තඹර
මියැ මඳ මද රැපෑ බද’ (ක: සි: vii. 18)
යන්නේ පිළිබිඹුවෙපෑකි.
18. ගනඳුර දුරු කරන රතමිණ තොරැණැ රස් වැද රතවන් සුපුන් සඳ එහි සරන සොඳ අබිසරු. සලෙළුන් හට නව දිවයුරු යැයි සඳ සැක දැනැවියැ.
(තද අඳුර දුරු කරන්නා වූ රත්මිණි තොරණේ රස් වැදී රත් පැහැවූ සපිරි සඳ එහි ගැවැසෙන අබිසරුවන් හටත් සන්ලාලයන් හටත් ඒ - අලුත් හෙවත් පායාගෙනැ එන ඉර දෝ යි සිතේ සැක ඉපැදවි).
“ සද සැක’ යනු සැක සඳ යැයි ගෙනැ ‘සැකසිත්” යනුවෙන් ද අරුත් ගත හැකි.
රත්මිණි තොරණේ රස් අබිසරුවනට බිය දෙන බව අපේ සන්දේශ පොත් සියල්ලේමැ සදහනි. අබිසරුවෝ කවුරු දැයි අපි පළමු දතුමු. අපේ රාලහාමිහු පෙරැ කිවිවරුන් ගේ අබිසරුවන් ගොඩට සලෙළු පිරිසක් ද මෙහි දී එක් කොටැ ලති. එ හෙත් සලෙළුවෝ අබිසරුවන් සෙයින් රැයෙහි ඇවිදින්නෝ නො වෙති. ඌ තුමු දවල් එළියේ යෙහෙළියන් හා කෙළි දෙළෙන් ඇවිදින්නෝයි, රැයේ ගෑනුන් සොයා යන්නෝ නො වෙති.
‘ස පු ම ල් යොහොඹුලා බැඳැ වරල මන ර ඟ
පැ හැ දු ල් දොඹ කැකැළු හර කැරැ ලා තන ඟ
රො නවු ල් නා කුසුම් කනැ ලා කොඩොල් ර ඟ
ද හ ව ල් උයන් කෙළි කෙළැ සලෙළුන් සම ඟ’ (සැළ)
යන්නෙන් පෙනේ සලෙළුවන් අසරට ලියන් යන කල් හා තන් ද. පෙරැ කිවියන් කීයේ රත් පැහැ ගත් සඳ අබිසරුවන්හට නො සතුට දැනැ වූ බව පමණෙකි.
‘රත මිණි තොරණැ රැස්
රැසින් රතෙ පුරේ සුපුන්
සද ළහිරි හොයි නො සරස්
දැනැවි සැකබිසරුවන්’ (කව්: සි: 1:12) යන, මෙ සිවු පැදියට ගුරු වූ ගීයේ සදහන් වනුත් අබිසරුවන් පමණෙකි.
පරෙවි අස්නෙහි,
‘සත කුම් යුතු පහ මතු කැරැලි කෙළව ර
පිහිටි පියුම් රා රුවනින් කැලුම් බ ර
රත් පැහැ ගත් සිසි වුවනට ලියනෙපු ර
පැරැ දැ අවර රිවි වෙස් ගත් එව් එව් ර’
යැයි මේ රත් පැහැ ගත් සඳ අවර රිවි කොටැ දක්වති.
‘රත් මිණි ගෙ මෙරදැ
රැඳී සද එ පුරැ වමියන්
වතට පැරැදැ නුළු කැරැ
ගිය වන් ළහිරු වෙස් ගෙනැ’ (සසදා) යන්නට අන් වෙසක් දුන් හැටියි ඒ.
‘ගනඳුර’ යනු ගන අඳුරු යන දෙපදයේ එකට ගැළැපීමෙකි.
19. පෙළ:- සිරිමත, මෙ පුරැ තුඟු, තුල් පහගැ ලෙළ දද, ඉඳු නිල්මිණි දෙරණැ පිළිබිඹු වැ බබළත මනකල් කලිඳු ගඟ තුළැ සතත කෙළනා, පැහැ දුල්, දිමුත, නොයෙක් මින් වග සිරි පැයි.
(සිරිමතාණෙනි, මේ පුරයේ උස මහත ඇති විමන් අගැ සැලෙන කොඩි රැස සුනිල් මැණික් බීමේ සේයා වැටී බබළන විටැ, සිත්කලු වූ යමුනා නදියේ දිය තුළ, පැහැයෙන් බබළන කාන්තිමත්, අනෙක් වගෙ මසුන් සමූහයා ගේ සබාව දැක්වි).
මෙහි ඉඳු නිල් මිණි දෙරණැ යි කීයේ ගෙ පිළි සදහා නො වියැ හැකි. පහ අගැ බද දද ගෙ පිළේ පිළිබිඹු නො දෙයි. එ හෙයින් අද කළු ගල් දමා තළා තාර දමා ඇති සේ එදා ඉඳුනිල් මැණික් අතුරා කරන ලදු වැ පැවැති විදි බිම ඉන් ගත යුතු වෙයි.
‘පහග’ යන්න වෙනුවට ‘යටග’ යන්න ද දක්නට ලැබේ. ‘තුඟු, තුල්’ වෙසෙසුන් එ පිණිසැ නුසුදුසුයි.
‘කලිඳු ගඟ’ යනු යමුනා නදියට නමෙකි. ‘පැහැදුල්’ යන වෙසෙසුන ‘මින් වග’ යන්නට යෙදූ පසු තව ‘දිමුත’ යන්නකුත් යෙදීම විසුළුවෙකි. එ දෙකේ මැ අරුත එතරම් පරතරයක් නො දක්වයි. එ හෙයින් ‘දිමුත’ යන්න යොදන්නට සිදු වූයේ අරුතක් පළකිරීමට නො වැ සීපදය සපුරා ගැනීමට බව කිය, හැකි.
පිළිබිඹු බඳ දද
සුමු සුනිල් මිණි වේ බිමැ
පෙරැළෙත කලිඳු ගඟැ මින්
කැලැ කෙළී පෑ එ පුර වර’ (කවි: සි: 1.11)
යන්නයි මේ සීපදයට ගුරු වූයේ.
‘සුනිල් මිණි බිමැ දුළ
පිළිබිඹු වැ දිසි දද වැළ
කෙළි කලිඳු ගඟ තුළ
අමින් මින් රළ විලස් පළ කළ’ (දහම් ෙසාඬ:)
යන්නෙන් ද ඒ මැ කියයි මෙ කිවියා.
20. පෙළ:-මනහර, පවර රුසිරැති, මෙ පුරැ වර ගන - කරදර සරණ නවදළු, හස කුසුම් සර, තුඟුතර සුපුන් තන පතර අම පල යුතු රන ලිය සිරින හැමවර පුර තුර සරති.
(සිත්කලු වූ, උතුම් රූ සැපත් හෙවත් රූප සම්පත - ඇත්තා වූ, මෙ පුරේ උතුම් ලියෝ නොවත් හොත් වෙසඟනෝ - අතුල්, තොල්, පතුල් නැමැති ළා දළු ද,
සිනාව නැමැති සරු මල් ද, උස්, දැඩි, මනා සේ. පිරුණු තන නැමැති මහත් මිහිරි ගෙඩි ද සහිත රන් වැල් හැටියෙන් සියලු විටැ මැ පුරය ඇතුළේ සරා ඇවිදිති).
‘මෙ පුර වරඟන පුරතුර සරති’යි පැවැසීම එ තරම් මැ සුදුසු නොවේ.
‘කර’ යනු අතට නමෙකි. මෙහි එ නමින් ගන්නේ අතුලයි.
‘ගිනි ගෙනැ දිලි අඟුරු ගත් කලැ දවයි කර, (සුබාසිත) යන්නෙන් ද මෙ කිවියා අදහස් කළේ ඒ මැයි. අදර, යන්නෙන් තොල ඇඟැවේ. කර අදර යන දෙ පදය ‘කරදර’ යැයි සසඳා ඇති. වරඟන යනු ‘වර අඟන’ යන දෙ පදය සබද වීමෙන් තිපණී. උතුම් ලිය යන අරුතෙහි ‘වරාංගනා’ යන සකු වදනේ සේසත්, එ බසේ මැ, ‘වෙසඟන’ යන අරුත දෙන ‘වාරාංගනා’ යන වදනේ සේසත් එළුයෙහි සිටිනේ ‘වරඟන’ යනුයෙනි. මෙහි දී අපේ රාලහාමිනේ විසින් කවර අඟනන් සදහා මෙ නම යොදන ලද්දේ ද යනු ඉඳුරා නො කියැ හැකි. ලකුණු නම් බර දෙවන පසටයි.
කොම ළ අදර කර සරණත ළපලු දර
උ දු ළ දසන් කුසුමැති තන පල පතර
ස ලෙ ළ සලෙළු යදි දන මන නදන කර
ල ක ළ මෙ පුරැ ලිය කප් ලිය වැනි පවර’ (පරෙවි) යි
රහල් හිමියෝ ඔවුන් කප් ලිය කොටැ අරුත පෙනෙන තෙක්මානයේ තුබූ හ.
‘තොලතුල් පතුල් පලු
හස මල් කැනින් සිත් කලු
පියොවුරු පල ඉසිලු
ලියෝ ලිය වැනි පුර සරන සුලු’ (කවි : සේ: ii.8) යනුත් එ හිමියන් ගේ මැ පැවැසුම්.
‘නෙතු මුව කුසුමුදුල
කරදර සරණ නව දල
පුන් තන අමා පල
එ පුර ලිය කප් ලියන්එක තුල’ (කුසදා) යැයි මෙ කිවියෝ මැ පසුවැ මෙ දියුණු කොටැ පවසති.