Jump to content

සැවුල් අසුන් පවත්-21

Wikibooks වෙතින්

සැවුල් අසුන් පවත්-21

[සංස්කරණය]

201. පෙළ:- සමත සුර නරන් නෙතැ රස අඳුන් යුත, දිමුත, සුමන සුරිඳු ගෙ තුනු සිරි වනත, සතත, සවත, සුරගුරු, ගණිසුරු, අනත (යන) මහත මෙ සුර මිසැ අන් කෙවියත සමත?

(සියලු දෙවියන් ගේත් මිනිසුන් ගේත් ඇසට රස අඳුනක් බඳු, දිළිසීමෙන් යුත් සමන් දෙව් රජුගේ සිරුරේ හැටි වනත් හොත්, මහ බඹ යැ, කඳ කුමර යැ, සුර අදුරා හෙවත් වෘහස්පති යැ, ගණදෙව් යැ, අනත් නා රජ යැ යන මෙ උසස් දෙවියන් මිසැ අන් කවර වියතෙක් ද, සමත්?).

සතත = සත් අත (සතක් අතේ ඇත්තා, එනම් මහ බඹා).

සවත (මූණු සයක් ඇත්තා, එනම් කඳ කුමරා).

(යහළුව. එ දෙව් රජුට වෙසෙස් වූ මෙ හැටිවිත්තියක් දන්වන්නැ).


202. පෙළ:- මිතුරු සඳ, නම කළ සුර අසුර නර නා කිරුළු කෙමිනුඳුළ - වෙසෙස් නිදොස් රතැඟිලි පෙත්තෙන් තෙවුනා, අපිස් තවුස් හස් කැන් නිත්තෙන් සෙවුනා- මුනි සරණ සිය පත හැම සදැ මුදුනත පැළැඳි, තෙවළා දහම් කඳ සවන බරණ කළ, සුමන, සුමන සුර රජු සිරි පා නැමැඳ -

මෙ අප පවර මුනි සස්න ද, සත් ලොව ද, ළතර රාජසිහ නිරිඳු ද, මැති ගණ ද, පතර ඇතස් රිය පාබල සෙන් පබඳ (ද) නිතොර රකින ලෙසැ අයදින්.

(මිතුරු තුමෙනි, නැමඳීම කළ හෙවත් වැදැ සිටියාවූ දෙව්, අසුර, මිනිස්, නා යන වගේ රජුන් ගේ වොටුනු නැමැති කෙමිය (බට්ට) බබළන්නා වූ, අන් අයට නැති තමනට මැ ඇරුණු, දොස් රහිත රත් ඇඟිලි නැමැති පෙතිවලින් දිළෙන්නා වූ, මඳ දැයින් තුටු වන තවුසන් හෙවත් සඟන නැමැති හසුන් සමූහයා නිති සෙවුම් කරන්නාවූ,

බුදුන් ගේ පා පියුම්

සියලු විටැ හිස් මුදුනේ පැළැඳැ සිටුනා, තුන් පිටක දහම අසන, මනා වූ පහන් සිතක් ඇති සමන් දෙව් රජු ගේ සිරිපා වැඳැ,

‍ මෙ අප ගේ උතුම් වූ බුදු සස්නත්. සත් ලොව හෙවත් ලෝ සතුනුත්, සිත දැඩි වූ රජසිහ රජුත් ඇමැති රැසත්, මහත් වූ ඇත්, අස්, රිය, පාබල සෙන් සමූහයත් නිතින් රකිනා හැටියට අයදින්නැ).

ඇතස් = ඇත් අස්


204. පෙළ:- සබඳ සිරි සර මෙසුරනිඳු සුරතුර වැලැඳී, සොඳ, මනහර කප් ලියක් මෙන් හැම සඳ දිලෙන, පුවතර, බිසෝ දෙවියන් පද කමල වැඳ, එක් පසෙකැ සිටැ මෙ පුවත සැළ කර.

(යහළුව, සිරින් සරු වූ මෙ දෙව් රජු නැමැති කප් රුක වැලැඳී, මනා වූ, සිත් ගන්නා සුලු වූ, කප් ලියක් සෙයින් සියලු කල්හි බබළන, පසිඳු වූ බිසෝ දෙවියන් ගේ පා පියුම වැඳැ, එකත් පස් වී සිටැ ගෙනැ මෙ පුවත දන්වන්නැ).


204. පෙළ:- සකි, සිසිර කර කිරණ, කිරණව තරඟ යුත පතර යස රැසින් මුළු දියත හෙළි කළ කුමර දෙවිඳු යුග සිරි සරණ සිය පත ත සිරු පැළැඳැ මෙ පුවත සැළ කරව.

(යහළුව, සඳ රස්, කිරි මුහුදේ රළ; වැනි මහත් යසසන් මුළු ලොව එළි කළාවූ - පුත් - කුමර දෙව් රජු ගේ දෙසිරි පා පියුම් තගේ හිසේ පැළෑඳැ හෙවත් දෙපය වැඳැ මෙ පුවත සැළ කරන්නැ).


205. පෙළ:- කළණ මිතුර, තිපුර දැවූ හර දළ නෙතගෙව් තෙදණ, අපමණ ලොවතුළ යසස් රැස සපුර කළා, සපු සුරිඳු ගෙ යුග සිරිසරණ නම කැරැ මෙපුවත සැළ කරව.

(මනා ගුණයෙන් යුත් මගේ යහළුව, ත්රිඳපුරය දැවූ මහ ඉසුරා ගේ නළල් ඇසේ ගින්න වැනි තෙද අණ යුත්, ඉමක් නිමක් නැති ලෝ කුසේ යසස් සමූහය - හෙවත් කීර්ති රාශිය සපිරීම කළාවූ, සපු දෙව් රජු ගේ දෙ සිරිපතුල වැඳ මෙ පවත දන්වන්නැ.

නෙතගෙව් = නෙතු අග එව්.

මීට පළමු පැදිය ඇති කල්හි මේ පැදිය අනවැසි වේ.

දෙව් රජුට අස්න කියා එය බිසෝ දෙවියනටත් පුත් දෙව් කුමරුටත් සදහන් කැරැවීම සිරි රහල් හිමියන් ගෙන් ගත් නියායෙකි. පෙරැ මෙ රටේ මහවත් ගේ කුලුණ ලැබීමට දනන් පිළිපන් නියර තමා ඒ.


206. පෙළ:- තඹසිළු මිතුර, නුඹමිනි තෙ දැති, එ, සොබන සුමන සුරිඳුට සුබ මෙ හසුන් අප ඇයැදුමෙන දන්වා, යසහිරවරණ බඹ මුදුනත සදමින නෑසියත හා පවතින්.

(කුකුළු යහළුව - හෙවත් යහළු කුකුළාණෙනි, ඉරුට බඳු තෙද ඇත්තා වූ, හොබනා වූ, පසිඳු, සුමන දෙව් රජුට, වැඩ දායක මෙ පහිණය අප ගේ අයැදීමක් හැටියට සැළ කොටැ, යසස් නැමැති සේසත බඹා ගේ මුදුනට නංවා හෙවත් තම යසස බඹුට සේසත කොටැ තම නෑයන් හා එක්වැ පවතින්නැ.

තෙදැති = තෙද ඇති.

යසස බඹුට සේසතක් කිරීමෙන් යසස බඹ ලොවිනුත් ඉහළට නැඟීම වේ.

‘ඔහු යෙසෙ සේසත්

සිරි රුකුළෙ බඹ මුදුනේ’ (ක: සි:) යන්නෙන් කරන ලද අදහස මැ යි මෙ ද?


207. ගැඹුරු සකු මගද කව් නළු සිඳු කිමිඳි, මිතුරු නොවන කිවිගජ සිග සිරින් බිඳි; සොඳුරු, අලගිවන්මුකවෙටි නැමැති සුදී, මියුරු පද රසැති - මෙ සැවුල් අස්න යෙදී.

(ගැඹුරු වූ සකු මගද දෙබසින් වූ කව් නළු නැමැති සයුරේ නිමිදියා වූ, සතුරු කිවින් නැමැති ඇතුන් සිංහයකු ගේ විලස් පෑ බින්දා වූ, යහපත් වූ අලගියවන්න මූකවෙටි නම් වූ හුදන තෙමේ මිහිරි වූ පද රස ඇති මෙ සැවුල් අස්න යෙදු වේ යි).

අලගියවන්න රාලහාමින සයුර සේ ගැඹුරු සකු මගද කව් නළු කියවා දත් බව මෙයින් පැවැසේ, එහෙත් එ තුමන් සකුව හෝ මගදය හෝ දත් බවට මේ ගතින් හෝ මොවුන් කළ අනෙක් ගතෙකින් හෝ දෙස් (සාක්කි) නො ලැබේ.

සතුරු කිවියන් ඇතුන් සේද මොවුන් සිහරදුන් සේද මෙහි දැක්විණි. එහෙත්,

මිතුරු නොවන කවිගජ සිහසිරින් බිඳී, යනු පැසැසුම් ලබන උවමෙක් නොවේ. එක් පළෙකැ කි‍විගජ, යැයි ද අනෙක් පෙළේ ‘සිහ සිරින්, යැයි ද යෙදීම නයහුරු හෝ විදුහුරු හෝ නොවේ.

‘ගජ බිඳි’ යනු ද වියත් යෙදුමෙක් නොවි. සිහරදු බි‍ඳිනේ ගජන් නොවැ ගජන් ගේ කුඹු යි.

‘කිවි ගජ බින්න කළ එකසර කෙසරයුර’ (සුභා.) යනු ද මොවුන් ගේ මැ යෙදීමෙකි.

‘අලගිවන්’ යනු ‘අලගියන්න’ යන්න විරිත නිසා කොට කිරීමෙන් නිපදවා ඇති.

‘පද රසැති’ යි යෙදීමෙන් මෙහි ඇත්තේ පද රස මුත් අරුත් රස නොවේ යැ යනු ඇඟැවේ. එහෙත්

‘මෙ මියුරු පදැති සැළ ලිහිණිය අස්න යෙදී’ (සැළ.) යන්න සිහි කොටැ නිකම් සිතට ආවාට මෙය යෙදුවා මිසැ එ වන අරුතක් සලකා යෙදුවා නො වේ. ‘මියුරු පදැති’ යන්නේත් ‘මියුරු පද රසැති’ යන්නේත් වෙසෙස මෙ කිවියනට නො හැගේ.

"https://si.wikibooks.org/w/index.php?title=සැවුල්_අසුන්_පවත්-21&oldid=4124" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි