සැවුල් අසුන් පවත්-3
සැවුල් අසුන් පවත්-3
[සංස්කරණය]21. පෙළ:- මෙ පුරවරැ සොඳුරු පහ මුදුනතැ, දිමුත, මහරු, රුවන් කොත් මුදුනතිනි ගිය හොත නිසරු බවට පැමිණේ දෝ සිත විළි වැ දියනෙත උතුරු දකුණු වැද යන වැන්නැ.
(මෙ පුරයේ මනා පෙනීමෙන් යුත් මහ විමන් මුදුනේ, කැලුම් සහිත, බොහෝ අගනා මැණික් කොත් වලට ඉහළින් ගියොත් නිවට වන්න සිදුවේදෝ හෙවත් තමා නිකම් රොඹුවක බවට පත්වේ ද හෝ කියා සිතට ලජ්ජා ඇති වී ඉර උතුරටත් දකුණටත් බර වී ඈතින් යනවා වැනි යි).
හිරු එක් අවදියෙකැ (අප්රි යෙල් - සැප්තැම්බර) උතුරු අයණයේ ද තවත් අවදියෙකැ (ඔක්තෝබර - මාරතු) දකුණු අයණයේ ද යනු දන්නා ලැබේ. එසේ වරෙකැ උතුරට බර වී යන්නේ ත් වරෙකැ දකුණට බරවී යන්නේත් අහස මුඳුනින් යන්නට ගිය හොත් මෙ පුරේ රුවන් කොත් අසලැ දී තමාට නිවට වන්නට සිදු වෙතියි සිතට ලජ්ජා අට ගෙනැ දෝයි මෙහි දැක්විණි. රුවන් කොත්හි දිදුළ හිරු ගේ එළියට ද මහත් බවයි ඉන් පළ වුයේ. රුවන් කොත්හි උස් බව නිසා හිර ඒ මෙ පසට නැමී යෙතියි කියන ලද්දේ නම් ඒ සුදුසු වන්නට පිළිවනි එයින් පහා උස් බව පළවන හෙයින්. රුවන් කොතක් කැල්මෙන් හිරු පරයන බව කීම සුදුසු උවමෙක් නොවේ. මීට පලමු (තෙළෙස් වන පැදියෙන්) පහ කොත් අගැ රතමිණි කිරණ හිරු සිය පරපුරැ රජුට දුන් තෙද දො’යි සිතට නැඟෙන හැටි පවසා දැන් මෙහි හිරු ද රුවන් කොත් අබියෙසැ තිසරු වන බව පෑමේ විදු හුරු වැනීමෙක් නොවේ.
22. පෙළ:- නුවනුන් ඉඳුවරන්, වත සපිරුණු ඉන්දු, රුසිරැති ළන්දු කොමළතින් ගෙතු කුසුමන් පන්දු ගසමින් සලෙළුන් මන නුවන් තම වෙතට මැ කැන්දු.
(ඇස් නිල් උපුල් වැනි වූ, මූණ සපිරි සද වැනි වූ, රූ සැපත් ඇති ලියෝ මොළොක් අතින් ගොතන ලද මල් පන්දු ගැසීමෙන් සලෙළු දනන් ගේ සිතුන් ඇසුත් තමන් දිසාවට මැ ගෙන්වා ගත්හ).
රුසිරැති, කොමළතින්, යන පද ‘රුසිරු ඇති, කොමළ අතින්’ යැයි බිඳී සිටි.
මේ නම් ඉතා පළ වූ වැනුමෙකි.
‘නෙතිනිඳුවර වතිනිඳු සිරි පරදවති’ යනු හස් අසුන් කරුවෝ කී හ.
මේ නම්:-
‘සදලුවලැ පන්දූ
කෙළිනා ෙසාඳුරු ළන්දූ
රුසිරු නෙත ඇන්දූ
සලෙළු සිත් තම වෙතට කැන්දූ’ (කවි. සේ: i. 34) යන්නේ මැ අලුත් වැඩියාවෙකි.
23. පෙළ:- මිතුර, සතර පද, වලග, කර, රහසඟ, නිතොර දෙරණ පිහිටි, දුළ දකණ දළ උත්තුඟු, සමර වරැ කිපෙන, කලණ ලකුණෙන් යුතු, වේ මහැ සරණ වරණ නරඹ.
(යහළුවේ, පා සතර යැ, නගුවේ අග යැ, සොඬ යැ, රහස් අඟ හෙවත් හදන යැ යන තන් නිබද වැ බිමැ ගැටී සිටිනා වූ, දිළෙන දකුණු දළ උස් වැ නැගී ඇති, යුද ඇති විටැ කිපෙන්නා වූ වගේ - විදී මඟැ හැසිරෙන - ඇතුන් නරඹන්නැ.)
වලග, රහසඟ, යනු වල් අග, රහසි අඟ යැයි බිඳී සිටී.
මෙ වනාහි යම් තම් ඇත් රුවක් වූව ද සදහන් කරත් හොත් අපේ රාලහාමින් අතින් ඉබේ මැ කියැවෙන්නෙකි.
මෙ දැක්වුණේ:-
‘බිම පහළ සත් තන්
හිවි කුඹු දකුණු දළ උස්
රජ වහන් කළ මෙ ඇත්
බළහම් තුරිනි තුස්නා -
මෙ ගදත් නම් .............................., (කව්. සි:) යැයි සදහන්, ගඳැත් කුලේ ඇතුන් ගේ ලකුණු සමහරෙකි.
මේ මැ :-
‘විසි නිය කොපොල් බොල් සත් තන් බිමැ පිහිටි
උස් කුඹු දකුණු දළ දෙ අසුන් සම වැ සිටි
මද මත නො මද යුද බෙර ගිගුමට නො පැටි
බල මෙ ලකුණැති එහි තුඟු මඟුලැතුන් සිටි’ (ති: අ:) යි තිසර අසුන් කරුවෝ ද කීහ. මෙ කිවියා මෙහි මැ තවත් කිහිප පළෙකැ මේ සදහ යි. (63,102)
‘උස් කුඹු දළ දිළින
දෙරණ සුපිහිටි සතඟින
ලකුණෙන් යුතු සොබන
මතඟ සෙන් එහි සරති ඇම දින’ (දහම් සොඬ දා)
‘රහසඟ වලග කර
සතර පය සුපිහිටි දර
දකුණු දළ තුඟු තර
කලණ මත ගජ සරති එ නුවර’ (කුස දා)
යනු ද මෙ කිවියන් ගේ මැ පැවැසුමු යි.
24. පෙළ:- දුවන හ රළ තරවර සුනෙර, මැති කුල කුලගිරි ලකළ, පුවතර මහ සෙනඟ නැබළ දිය කඳ පිරි, පහඟ තියුනද ගොස හැමවර වතළ පුරවර කිරණ රළ වැනි.
(දුවන්නා වූ අස් පෙළ - රජු නැමැති මහ මෙර ඇති, කුල පවු පෙළින් සැරැසුණු, ඇමති කුල නැමැති පසිඳු වූ බළ සෙනඟ නැමැති මහ දිය කඳ පිරුණු පසඟ තුරු නදත් තුති නදත් නැමැති මුහුදු ගොස් සියලු කල්හි පැතිරෙන එ උතුම් පුරය නැමැති කිරි මූදේ රළ වැනියි).
පසඟ යනු පස් අඟ යැයි බිඳී සිටි. පස් අඟෙකැ හෙවත් පස් කොටසෙකැ තුරු පස් කොටසෙකැ තුරු පසඟ තුරුයි.
අතින් වයන බෙර, විතෙන් වයන බෙර (එනම් තම්මැට) අතිනුත් විතෙනුත් වයන බෙර, (එ නම් දවුල්) ගන හෙවත් තාළය සඳහා ගසන තැටි (කයිතාළ) පිඹිනා තුරු හෙවත් නළා යන දැය පසඟ තුරට ගැනේ.
මෙහි සීතාවක පුර කිරිමූදට සම කොටැ දක්වා ඇත.
පුරය කිරි මුහුදයි
පුර මැදැ වසන රජ ඒ මූද මැද්දේ පිහිටි මහ මෙරයි.
රජු පිරිවරා සිටුනා මැති කුලයෝ මහ මෙර වටා සිටුවා කුල පවු වෙති.
පුරය පුරා සිටුනා මහ බළ සෙනඟ සයුරේ මහ දිය කඳයි.
පුරයේ නිතින් පැතිරෙන පසඟ තුරු නද හා රජුට කියන තුති නදත් මූහුදේ නො කඩවා පැතිරෙන රළ ගොසයි.
පුරයේ දුවන අස් පෙළ සයුරේ රළ පෙළයි.
මහ මෙර වටා ඇති යි යෙන ‘යුගන්ධර, ඊශධර, කරවික, සුදර්ශන, නේමින්ධර, විනතක, අශ්වකර්ණ’ යන සත් පවුව සත් කුල පවු යන නමින් සැදැහේ. ඒ කඳු වළලු අතරේ ‘සීමන්ත’ සයුරු සත වේල.
පුරය සයුරක් බඳුයි ද අස් පෙළ එහි රළ බඳු යිද පැවැසීම අපේ කිවියනට ඉතා හුරු යි (ගිරා අස්න 18).
‘තුරඟ සෙන් වැනි තරඟ සයුරේ’ යි මෙන් මහ නෙත් පාමුළැ හිමියෝද වදාළහ.
‘ගිජිඳු ගිරි පෙළ රැඳී
රිය හය තරඟ වැළ සැදී
හිවි තුරු ගොස නිසැඳී
සයුරු සිරිසිලි එ පුර මන බැඳි’ (කව්. සේ. i 37) යැයි සිරි රහල් හිමියෝ ද මේ වදාළ හ. මේ කිවියෝ ද,
‘නරවර සුනෙර දුළ
ඇමැති ගණ කුල ගිරි පෙළ
පුර කිරණ වැ නැබළ
විසුළ රළ වැළ වැන්න හය රළ’ (කුස දා)
යැයි මේ මැ ආයේ කීහ.
25. පෙළ:- සිය තෙදන මහිමෙන දිතු සෙන් ජය රැගෙනැ සුදසුන් වේ මහැ සරන සුර සෙන් ලෙසින් රුපු සෙන් බිඳැ දිනා යස දසතැ පතුරන මහ සෙන්පුරවේ නො හැර පුරමින සිටිති.
(තමන් ගේ තෙද අණ බලයෙන් අසුර සෙන් පරදවා සුදසුන් විදියේ ඇවිදිනා දෙව් සෙන් සෙයින් - සතුරු සේනාවන් පරදවා පලවා හැරැ යසස දස දෙසැ අග තෙක් පතුරුවන්නා වූ මහ බල පිරිස නුවර විදිය අතුරු නොදී පුරා සැරීම කෙරෙති.)
‘තෙදණ, දසත’, යනු තෙද අණ, දස අත යැයි බිඳී සිටි. ‘මහිමෙන, පුරමින’ යනු ‘මහිමෙන්, පුරමින්’ යැ යි සැබැවින් සිටි. මේ එළි පිණිසැ කරන ලද පෙරැළීයි.
‘දිතු සෙන්’ යනු අසුරයන් සදහා යොදන ලද්දේ වෙයි. අසුරයෝ සුරතට සතුරෝයි, දැන් සුර පුරය පෙරැ අසුර පුරය වී. සුරයෝ අසුරයන් මෙර පත්ලේ තිකුළ අතරට පලවා හැරැ උන් ගේ පුරය වූ මෙර මුඳුන අත් කොටැ ගත්තෝ යි. සුරයෝත්, අසුරයෝත්, ‘කසුබු’ නම් පජාපතියා ගේ දරුවෝයි. එ පජාපති කසුබුවා හට ‘විනතා, තාම්රාම, කද්රෑි, සරසා, සුරභි, ක්රෝලධවසා, දිති, දනු, ඉරා, බසා, අරිෂ්ටා, මුනි, අඳිති යැයි තෙළෙස් බිරි කෙනකුන් වූ බව යෙති (පද්ම පුරාණ). ඔවුන් ගෙන් දිතිය කුසැ ඔත් දරුවෝ ‘දෛත්යියෝ’ යි. අදිතිය ගේ කුසැ ඔත් දරුවෝ ආදිත්යියෝ යි. ඒ දෛත්යතයන් සදහා යි මෙහි ‘දිතු’ යන නම යොදා ඇත්තේ. ඌ තමා අසුරයෝ. ආදිත්යයයෝ සුරයෝ යි. සුර අසුර යුදෙහි දී තමා කිරි මුහුද කලඹවන ලද්දේ. ඉදරුණු වූ අසුරයන් දිනා තොස් පත් සුර සෙන් දෙව් පුරේ සුදසුන් වීදියේ සැණ කෙළි කෙළිමින් සැරූ බවයි මෙහි සදහන් කරන ලද්දේ. සුදසුන් වීදිය නම් සක් දෙව් රජු ගේ විජයොත් පායේ සිටැ ‘සුදම්’ සබ මඩුවට ඇති මඟයි. එය තමා තිදසේ මහ මඟුල් වීදිය.
‘ජ ය ග ත් අසුර සෙන්
විකුමෙන් සදිසි මහසෙන්
දිනා නෙක රුපු සෙන්
එ පුර හැසිරෙති තුමුල බි සෙන්’ –(කුසදා) යැ යි මේ මැ කියති මෙ කිවියෝ පසුත්.
‘අසුරන් ජය ගෙනැ සිත සේ
සුර සෙන් කෙළි සැණ කෙළ සේ’ –(ගුත්තිලදා) යි අසුරන් දිනු සැණය වෑත්තෑවේ හිමියෝ ද සඳහති.
26. පෙළ:- නොමින් සව් ඉසුරු සහ පිරිසුදු කුලැති නුවන් පිනන රන් රූ සදිසි රුසිරැති, එහි පැවැති, සලෙළු සැලළන් හට පහන් වන පමණ මිසැ වෙන දුකෙක් නැති.
(පමණ නො කළ හැකි, සියලු වගේ මැ සැපතත්, සිරිසුදු වූ කුලයත් ඇත්තා වූ, ඇස් පිනවන රන්රූ බඳු වැ පෙනෙන රූ සපුව ඇති, එනුවරැ වසන්නා වූ, පිනාගිය සිත් ඇති, සලෙළුවන් හටත් සැලෙළන් හටත් එළිවෙනවා විතරක්, හැරැ අනෙක් කිසි දුකෙක් නැත්තේ යි.)
කුලැති, රුසිරැති යනු ‘කුල ඇති, රූ සිරි ඇති’ යි බිඳී සිටි.
සලෙළුවෝ නම් කෙළිදෙළෙන් සරන කම් සුව ලොල් දනෝ යි, සැලළෝ නම් උන් බඳු මැ අඟනෝ යි. ඔවුන් හට සියලු වගේ මැ සැපත් පමණ නැති වැ ඇත්තේ යි. උන් ගේ රූ සපුව (රූප සම්පත්තිය) රතින් කළ රුහි මෙන් ඇස් පිනවන්නේ යි. ඌ තුමු පෑදුණා වූ සිත් ඇත්තෝ යි. උන් හට ඇති එක් මැ දුක නම් රෑ එළි වීම පමණ යි, අන් කිසිදු දුකෙක් උන් හට නැත්තේ යි.
සියලු ඉසුරින් පිරි නුවරෙකැ වසන රූමත් දනන් පතන්නේ ලෝ දම් රසෙහි ඇලී ගැලී විසීම බවයි මෙයින් අපේ කිවියාණන් පවසන්නේ. සමහන් සුවයේ ගැලී විසී ම අදරේ මැ කැරෙන සිරිතක් වැ පැවැති බව ද මෙයින් ඇඟැවෙයි. අදර සෙසු කටයුත්තට සරස් වී සිටිනා හෙයන් අනෙක් කළ යුත්තක් නැති වේලාව ලෝ වගාවට නිල කොටැ ගත් බව නම් සුදුසු යි. රැයේ එක් තන් වී වුසූ අඹුන් හිමින් ඉරු නැඟෙන්නා හා අනෙක් කටයුතු පිණිසැ යා යුතු හෙයින් ඒ උන් වියෝ
වන වේලාවක් හැටියට සලකන හැකි. වියෝ දුක දරුණු යි. එ හෙයින් එ බඳු දුකක් පැමිණීමට කල් පත් බව අඟවා රැය එළිවීම, උනුන් ඇලී මැ වසනු ලොල් අඹුන් හිමින් හට දුක් උපදවන්නක් වියැ හැකි. සීතාවක පුරේ කම් ලොල් සිත් විසි පිරිමිනටත් ගෑනුනනටත් පැමිණෙන එක මැ දුක නම් ඒ මැ පමණයි. විඳින්නට සැප ඇතත් ඒ රිසි පුරා විදිනට කල් දිග මද සේ වැටැහෙන්නේ ඉන් නො තින් වන (ඇතිවීමකට නො පත් වන) දනන් හට යි.
අලුයමැ වියෝව දුක් දෙන බවක් ඃ-
‘පියුම් මුවරද බර
සුවඳ නල එත මනහර
වැලැඳැ දු කලුන් කර
දුකට පැමිණෙත් ලියෝ සමහර’ – (කවි. සේ. viii.8)
යැ යි රහල් හිමියෝ ද පෙරැ කිවියරන් අසරින දැනැ වදාළ හ.
එළි වීම කාත් පිය කරන්නෙකි. එ සේ වූ පිය දැය ද තම රිසියට සරසෙක් වේ නම් එ හමු ව දුක් දෙන්නෙකි. ඒ සබා දහමයි.
‘මෙ පමණෙක් දුක වී
හඟිත් එ කල් මහදනෝ
නරතුරෝ කෙළිමඬලේ
කැඳවත් අහර බුදුනට’ (සස. 217)
යනතැනැ දු රිසියට හරස් වීම නිසා පිය කරුණක් දුකට හැරුණු සේ දක්වා ඇති.
27. පෙළ:- සිවු වහසල් මුව, සිවු වේ හිසින් යුති, දෙව් විමනත සත ඉඳුනිල් කොත් දළැති, ලෙව් අග පත්, සුදු පැහැති, මෙහි රජ පහ (සිවු වහසල් මුව, සිවු වේ හිසින් යුති, දෙව් විමනත, සත, ඉඳුනිල් කොත් දළැති, ලෙව් අග පත්, සුදු පැහැති,) නො පමණ දිඟා ඇති බඹ එව් දිසි.
විමනත, පැහැති, දළැති, දිගා, = විමන් අත’ පැහැ ඇති, දළ ඇති, දිගු ආ.
(හතර වාසල් දොරැ හතර විදි ඉස්මත්ත පිහිටියා වූ, දෙවොලින් එ පසැ පිහිටියා වූ, සිය ගණන් ඉඳු නිල් මිණි කොත් සහිත මුඳුන ඇති, ලොවේ උසස් මැ තැනට පැමිණි, සුදු පාට ඇති, මෙ පුරේ රජු ගේ පාය - මහත් වූ සතර මුවක් ඇති, හතර වේදය මැ වූ සතර හිසෙකින් යුතු වූ, දෙව් විමනින් ඔබ්බේ හිඳිනා, ඉඳුනිල් පැහැයෙන් මුඳුන වූ ‘සේ’ සතක් ඇති, ජටාවක් සහිත වූ - පමණක් නැති දිගු ආයු ඇති බඹු මෙන් පෙනේ).
සීතාවක පුරයේ ඇති රජ විමන (වදනින් පමණක්) මහ බඹු වැනි කොටැ මෙහි දැක්විණි. එ සමකම බසින් මුත් අරුතින් නො වේ.
රජ පහයට සිවු වහසල් මුවක් ඇත්තේ යි. ඒ සිවු වහසල් මුවැ යි කීයේ හතර වාසල් දොරටයි.
මහ බඹ ද සිවු වහසල් මුවක් සහිතයි, ඒ සිවු වහසල් මුව නම් මහ මුව ගප් හතර යි.
රජ පහය සිවු වේ හිසින් යුතු වෙයි. ඒ සිවු වේ හිස නම් සතර විදියෙන් අවුත් පහයට නැඟීමට ඇති, පිය ගැට හිසයි.
මහ බඹ ද සිවු වේ හිසින් යුතු වෙයි. ඒ සිවු වේ හිස නම් සතර වේද නැමැති හිසයි. (බඹු ගේ හිස් වේද වෙති යි යෙති.)
රජ පහය දෙව් විමන් අතැවේ. දෙවොලින් මත්තේයි රජු ගේ පහය වූයේ
මහ බඹ ද දෙව් විමන් අතැ වෙයි. බඹු ගේ විසීම (ස) දෙව් ලොවින් මත්තේ යි.
රජ පහය සත ඉඳු නිල් කොත් (සිය ගණන් ඉඳු නිල් මිණි මුවා කොත් සහිත) වේ.
බඹ ද ඉඳු නිල් කොත් සත (මුඳුන ඉඳු නිල් මිණි මය සේසත) සහිත යි.
රජ පහයට දළ (ඇත් දත්) ඇත්තේ යි
බඹ ද දළ (ජටා) ඇත්තේ යි
රජ පහය සුදු පැහැ ඇත්තේ යි
බඹ ද සුදු පැහැ ඇත්තේ යි.
28. පෙළ:- තඹර වනිඳුවර නෙත්, රතු පුල් ලවනී, බමර බැම, සෙවෙල් වරලස, කොඳ දසනී, තිසර පතර තන, විල් ලිහිණි මෙවුලෙනි, එ පුරැ ගෙ දිගු විල් කල් බද සෙ සිත් ගනී.
(එළි නිසා විකාර කරන ලද වැකිය පෙරළා සකස් කළ වැටැ මෙ සේ සිටී.)
තඹර වත්, ඉඳුවර නෙත්, රත් උපුල් ලවන්, බමර බැම, සෙවෙල් වරලස, කොඳ දසන්, තිසර පතර තන, විල්ලිහිණි මෙවුල (ඇති) එ පුරැ විල් කල්බඳ සේ (වී) සිත් ගනී.
(නෙළුම් නැමැති මුහුණින් ද, නිල් උපුල් හෙවත් මානිල් නැමැති ඇසින් ද, රත් උපුල් නැමැති තොලින් ද බමරුන් නැමැති බැමෙන් ද, සෙවෙල් නැමැති වරලසින් ද, කොඳ නැමැති දත් වලින් ද, හංසයන් නැමැති මහ තන වලින් ද, විල් ලිහිණි නැමැති මෙවුලින් ද යුතු එ පුර ගෙදිගු විල් ගෑනුන් සෙයින් සිත් ගන්නේ යි).
ගෙ දිගු විල් නම් දිය කෙළි පිණිසැ ගෙ අසැ කැණැ පිළියෙළ කොටැ ගන්නා ලද මහ පොකුණු වෙසෙසෙකි. ‘දිගුවිල’ යනු එ විලේ පමණ සලකා දෙන ලද නමෙකි. දීර්ඝිකා යන සකු නම මැ එ සෙයින් වෙස් පෙරළවා ගත් සේ පෙනේ.
‘දුණු සියයක් සරියේ වූයේ පොකුණු (පුෂ්කරණී) යි, තුන් සියයක්සරියේ වූයේ දිගු (දීර්ඝිකා)යි, යාර සියයක් සරියේ වූයේ දොණු (ද්රෝරණි) යි, පන්සියයක් සරියේ
වූයේ තළා (තඩාග) යි’ යනු සකු ඇදුරන් ලකුණු කියන හැටි යි. දුන්නෙක් සතර බඹයෙකි, එ නයින් දිගු විලක් බඹ එක් දහස් දෙසියයෙක සරියේ බිම වසා සිටියැ යුතු. ඒ අක්කර බාගයක් පමණ වන දිය තලයෙකි.
විල්, ගං හෝ ආදිය ගෑනුන් මෙනැ යි ද, ගෑනු විල්, ගං හෝ ආදිය මෙනැයි ද ලකුණු සහිත වැ පැවැසීම දඹදිවේත් මෙ දිවේත් කිවින් හට ඉතා හුරු වූ ද ඉතා පිය වූ ද විසිතුරෙකි. ගෑනියක ෙග් අඟපසඟට උපමාන පිණිසැ ගඟේ විලේ ඇති දැය දැක්වීම ද, ගඟෙකැ විලෙකැ ඇති දැයට උපමාන හැටියට ගෑනියක ගේ අඟපසඟ දැක්වීම දැ’යි යන මේ දෙවිදියෙන් මැ මේ වැනීම කරනු දක්නට ලැබේ. ‘රූපෙට රූපෙ’ දක්වන්නා වූ මෙ උපමාවට ‘රූපක’ යන නම ලකර දතුවෝ කියති.
මෙහි ගෙදිගු විලත් එහි ඇති දැයත් අඟනකටත් ඇගේ අඟපසඟටත් සම කොටැ දක්නා ඇති.
ගෙදිකු විලේ, අඟනගේ,
නෙළුම්මල් මූණට ද
නිල් මානෙල් ඇස්වලට ද
රත් මානෙල් තොල්වලට ද
(සරන)බමරුන් රළ බැමට ද
දිය සෙවෙල් වරලට ද
කොද මල් දත්වලට ද
(සරන )හංසයන් පිරුණු තනවලට ද
,, විල් ලිහිණියන් මෙවුල්දමට ද - මෙහි සමාන කොටැ ඇති මේ කිවියා මේ මැ:-
‘හස තනිඳුවර නෙති
බමර බැම පුල්සර වති
නිල් සෙවෙල් වරලැති
එ පුරැ විල් කල්බදුන් එක යුති’ (කුසදා)යි පසු දු සදහන් කෙළේ යි.
‘නුවනුපුල් වුවන්
පියුම් වරල් බමරි රිළු
අවුල් මත වරඟනන්
මහ විල් සදිස් වන්නා’ (කව: සි.iii. 12)යි ගෑනුන් විල් සරි කොටැ දැක්වීම මෙහි අනෙක් පිට යි.
‘පෑ තෝ නෙත් මින්
විළි රළ හර පොකුරු කුරු
ළකල තුනු විල්නෙන්
පියොවුරු හසුසුලන්නා’ (කව් සි. ii 38) යනු ඒ අනෙක් අතට හරවා ඉතිරි රුව විලක් කොටැ පෙන්නීමෙකි.
රහල් හිමියෝ ගඟක් අඟනක සේ මවා පාමින් මේ ‘රූපෙට රූපෙ’ දැක්වීම බොහෝ දික් කොටැ :-
‘සුපිපි සියපත් - වත
රතුපුල් - ලවන් පැහැපත
කුමුදු - මදහස යුත
සසල පෙටි පෙළ- බලන දිගු නෙත’
තරඟ වැළ - බැම ලෙළ
සක සිරි - ගෙලෙන් සුලකළ
සළා - නැබ පළ කළ
පුලිනතල - පුළුලුකුළ සිරි කළ,
සක්වා ලිහිණි - තන
සැදි විල් ලිහිණි - මෙවුලෙ න
සයුරු රජ බිසෝ වුන
විලස ඉඳුරා එ ගඟ පෑ මෙන’ (කවි. සේ.iii. 29-31) යැයි වදාරති.
සෙබමන් වුවන් නෙත් පියොවුරු බැම සසල
අ ඟ න න් දිය කෙළෙනු දැකැ මෙහි ගෙදිගු විල
ග න ර න් පියුම් මිහි ලොල් තිසර බිඟු කැල
දන කැන් දනිති තොරතුරු ඇසුමෙන් තෙපල’-(පරෙවි)
යන තැනැ උපමානයන් ගේත් උපමේයයන් ගේත් එක් දිසි බව ඉතා අසල් කොටැ අනෙක් මඟෙකින් අඟවා ඇති. එද:-
‘දිය කෙළිය ලොල්කල
වුවනත නෙත පියොවුරින්
පියුමුපුල හස සැපත්
දියුණුකැරැ පෑ දිගුවිල්’-(සසදා) යන්නේ වැඩීමෙකි.
‘වනිඳුවර, රතුපුල් යනු ‘වත් ඉඳුවර, රත් උපුල්’ යැයි බිඳී සිටි.
මෙහි ‘කොඳ යනු ‘කුමුදු’ යන්න වෙනුවට වරදවා යොදන ලද්දෙකි. අසා උගත් ලකරක් පැවැසීම මිසැ ඇසින් දුටු දැයෙකැ ‘ලකරක්’ කිරීම නො කළ කවියෝ ‘කොඳ’ ‘කුමුදු’ දෙවගේ වෙසෙස නොසිහි කළහ. ‘කුමුදු’ දියේ පිපෙන හෙල් මැලි නම් මල් වෙසෙසයි. කොඳ නම් ගොඩ බිමේ අටගන්නා මල් වෙසෙයෙකි. ඒ වැල් කොඳ යැ ගස් කොඳයැයි දෙවගෙක් හි වේ.
‘කල්බඳ’ යනු අඟනනට නමෙකි. කාන්දම්ගුණයෙන් යුතු හෙවත් ඇද - ගන්නා (කාන්ත) ගුණය ඇති බදක් (සිරුරක්) ඇත්තී නු යි අඟන ‘කල්බඳ’ නම් වෙයි.
29. පෙළ :- සොබන මෙ පුරැ ගජ හය සෙන් දැරු බරින නොමින වෙහෙස විඳිනා නතනා විසින හෙළන නඟන සුසුමෙහි ඇසෙන ගිඟුමට දද දන නො දැනැ මුහුදු ගොස යැ යි කියති
(හොබනා වූ හෙවත් බබළන්නා වූ මේ පුරයේ ඇත් ඇස් සෙන් ඉසිලූ බරට, බොහෝ මහන්සිය විඳින්නා වූ අනත් නම් නයා විසින් හුස්ම පහළ හෙළීමේදීත් ඉහළ ඇදීමේදීත් හෙවත් හැති දැමීමේදී ඇතිවන ගගිරීමට මෝඩ මිනිස්සු නොදත් කම නිසා මුදු පරගෑම යැයි කියති).
‘හෝ! හෝ! ගාන හඬක් මූද දෙසින් එන්නා අසා ඊට මිනිස්සු මූදු පරගෑම හෙවත් රළ ගොසැයි කියති. එ සේ කියන්නෝ මෝඩයෝ යි. උන් එ කියන්නේ නො දත් කම නිසායි. එහි ඇත්ත නම් මෙයයි. එනම් :- මේ පොළොව රැඳී ඇත්තේ අනත් නම් මහ නයාගේ පෙණ මඬුලු පෙළ මත්තේයි. එය ඌට එ තරම් බරෙක් නො වේ. එහෙත් මේ සීතාවක පුරයේ ඇතුන් ගේත් අසුන් ගෙත් ගණන ඉතා මහත් හෙයින් එ පුරය පොළොවට බර වෙයි. එයින් බර දැනී පාතට බස්නා පොළොව එය රඳවා ගෙනැ සිටිනා අනත් මහ නයා ගේ පෙණ ගොබ මඬල මිරිකයි. එයින් එ මහත් බර දැරීමේ වෙහෙස විදින්නේ එ නයා හැති දමමිනුයි. අන්න ඒ හැති දැමීමේ දී ඌ හුස්ම හෙළන නඟන අඬයි මෙ ගොස නම්. ඒ මිසැ මුහුදු රළ ගොසෙක් නොවේ’යි මෙ කිවියා අමුතු වැනුමක් කරයි.
අනත පිරි ඉසුරු සැපතින් වෙමින් බර
අනත පෙණ මඬුලු පෙළ මැඩෙන එකවර (හංස)
යැයි සදහන් වන්නේ ද ‘අනත්’ නයා මෙ පොළොව දරා සිටිනා පුවතයි.
‘දුනු දඟරදරණු කැරැල්ලක් මැතැ රඳවන ලද පාත්තරයක් සෙයින් මෙ පොළොව අනත් නම් මහ නයකු ගේ මඬුල සතක් වූ පෙණ රැසක් පිටැ රැඳී පවත්නේ යැ’යි හින්දු පුරාණ කාරයෝ කියති.
‘නොදැන’ යන්නෙන් ‘නො දැනීම නිසා’ යන කරණ අරුත මිසැ පෙරකිරිය අරුතෙක් නො ලැබේ. ගොනකු දැකැ ළමයා බිය වී’ යන තැනැ ‘දැකැ’ යන්නෙන් දෙන්නේ ද ඒ අරුත යි.
30. පෙළ:- සතර දිගත හිමි හිමි හැම දින වසන, ගැඹර නැණින් යුතු නෙක මැති ගණ රඳන, ගජ සෙන් සරන මහ වේ විතර නොවන, නිති වැජඹෙන මෙපුර අමර පුර දිනී.
(සිවු සයුර කෙළවර කොටැ ඇති සතර දික් අතට මැ අදිපති හිමියා සියලු දා වසන්නා වූ ද, ගැඹර නුවණ ඇති බොහෝ ඇමති සමූහයන් රැඳී සිටිනා වූ ද, ඇත් සෙන් ගැවසෙන මහ වීදි අපමණ ඇත්තා වූ ද, නිති ඉහළින් පෙනී පවත්නා වූ මෙ පුරය දෙව් පුරය පැරැදැවී).
අමර පුරය නම් සක් දෙව්රජු වසන සුරපුරය යි. මේ සීතාවක පුරය එයට වඩා ඉහළ බවයි මෙයින් දැක්වුණේ. මේ පුරයේ සතර මහා දිසාවෙන් හටත් හතර මහ දිසාපතියන් හටත් හිමියා වන රජතෙමේ වසයි. අමර පුරයේ වසන්නේ එක් දිසාවකට - එ නම් ඉඳුරු දිසාවට - පමණක් හිමියා වන සක් දෙව් තෙමෙ යි.
‘මව ඉඳුරු දික් පති
දනෝ සක් දෙවිඳු යැයි පවසති’ (ගුත්තිලදා) යැයි සක් දෙව්රජ තමා ඉඳුරු (නැගෙනහිර) දිගට පමණක් පති බව සඳහයි.
ගැඹර නැණින් යුත් මැතිවරු මෙහි බොහෝයි. අමර පුරයේ වසන්නේ එක් මැ සුර ඇජරායි. මෙහි බොහෝ ඇතුන් සරන මහ වීදි ගණන් නැති. එහි ඇත්තේ සුදසුන් නම් එක් මැ මහ වීදියෙකි. එ වීදියේ සරන්නේද එරවණ නම් මැ ඇතෙකි. එයින් මෙ පුර අමර පුරය පරදවා සිටි. මෙය:-
‘සොඳුරු සියනදන් අනුතුරුදෙ සැ සිටින
කි නු රු නිය සරන් කදහස වෙතැ නොවන
ඉ සු රු දන ද සිය නිකෙලෙස් තැනැ රදන
උ තු රු දිගිදු පුර දිනි මෙපුර බැජඹෙන’
යන්න සිහපත් කරවයි. (සැළ)